ත්රිසිංහල සංකල්පයට අනුව රුහුණ, පිහිටි, මායා යනුවෙන් බෙදීමට පළමුව මහවැලි ගඟෙන් උතුරු පෙදෙස රජරට නමින් ද දකුණ රුහුණු රට (රෝහණය) ලෙස ද හඳුන්වා ඇත. අතීතයේ දී නැඟෙනහිර පළාතේ වැඩි කොටසක් අයත් වූයේ රෝහණ දේශයටය. වර්තමාන බෙදීම් අනුව නැඟෙනහිර සහ උතුරු පළාත දිස්ත්‍රික්ක හැඳින්වීම මත අම්පාර දිශාව, මඩකලපුව දිශාව, ත්‍රිකුණාමල දිශාව, මන්නාරම් දිශාව, වවුනියා දිශාව, මුලතිව් දිශාව, කිලිනොච්චි දිශාව හා යාපනය දිශාව ලෙස කොටස් අටකට බෙදා ඇත.
පැරණි පාලන කොට්ඨාස බෙදීම් අනුව උත්තරපස්සය යනුවෙන් හැඳින්වූ කොටසට උතුරු පළාත අයත් වූ අතර ඓතිහාසික සාධක මත වවුනියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය උත්තරපස්සට අයත්ව තිබිණි.
සෙල්ලිපිවල සඳහන් ගම් දනව් සහ නගර කිහිපයක් ලෙස මයුවෙලස ගාමය (හැඩ ඔය නිම්නයේ), කාම්බෝජගාම (කඹුක්කන් ඔය නිම්නයේ), දීඝවාපිය (ගල්ඔය නිම්නයේ), කසබ නගර, ගිරිතිශගම, විලගම, කරජිනිතිශගම, මලුගම, දහදියගම, ගෝණගාමය, උරුවේලා, මගන යනාදි ලෙස දැක්විය හැකිය.
රජරටේ අගනුවර වූ අනුරාධපුරය සමස්ත දිවයිනේම අගනුවර වූ අතර මහරජතුමා රාජ්‍යය නිලධාරී මණ්ඩලයක් මගින් මුළු රටම පාලනය කළේය. පාලන ඒකකවල ප්‍රධාන නිලධරයා ලෙස රජපවුලේ කෙනෙක්, ආසන්න ඥාතියෙක් හෝ විශ්වාසවන්ත පුද්ගලයෙක් පත් විය.
ඒ අනුව අතීතයේ සිටම නැඟෙනහිර පළාත ද උත්තර පස්සය නම් වූ උතුරු පළාත ද පාලනය කරන ලද්දේ රජු විසින් පත් කරන ලද නිලධරයකු යටතේය. කුඩා පාලන ඒකක ඔස්සේ එම නිලධරයා මහරජුට වගකීමෙන් බැඳී සිටියේය.
ධාතුවංසය සහ මහාවංසයට අනුව දේවානම්පියතිස්ස රජුගේ කාලවකවානුවේ දී ඔහුගේ සහෝදර මහානාග උපරජු, රෝහණයට පැමිණ මාගම නමින් පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවත් කතරගම සහ චන්දනගම නමින් පාලක පිරිස් දෙකක් සිටි බවත් සඳහන් වේ. බෝවත්තේගල, කොටාදැමුහෙළ, බුදුපැටුන්කන්ද වැනි සෙල්ලිපිවලින් කතරගම පාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි.
පාචීන පස්ස (නැඟෙනහිර පෙදෙස) හෙවත් පචිනභූමිය මහානාග යුවරජුගේ කාලයේ සිට රෝහණ දේශයේ නැගෙනහිර කොටස ලෙස සලකා ඇති අතර පචිනභූමිය රජ ලෙස එහි පාලකයා පිළිබඳ සේලිලිපිවල හැඳින්වෙයි.
ධාතුවංසයෙන් පැහැදිලි කෙරෙන ආකාරයට කාවන්තිස්ස රජුගේ කාල වකවානුවේ දී සේරුනුවර, ලෝණනුවර, ගිරිනුවර නමින් මාණ්ඩලික පාලකයන් සිටි ස්ථාන කිහිපයකි. පසු කාලීනව ගිරිනුවර සෝමනුවරට මාරු විය. එම මාණ්ඩලික පාලකයන් රජ නමින් හඳුන්වා ඇති අතර කාවන්තිස්ස රජු යටතේ සමස්ත රෝහණ දේශයම ඒකච්ඡත්ර විය. ඒ අනුව කාවන්තිස්ස රජුගේ පාලන සමය මධ්‍යයේ දී සමස්ත රෝහණය ඒකීය පාලනයට යටත් වූ බව සඳහන් වේ.
රෝහණයේ දකුණු කොටසේ ප්‍රධාන නගරය මාගම වූ අතර උතුරු කොටසේ ප්‍රධාන උපනගරය දීඝවාපිය විය. එම කාලවකවානුවේ දී රජරට ආක්රමණිකයකු වූ එළාර රජුට යටත් ව පැවති රජරට දුටුගැමුණු මහරජු යටතට පත් වීමෙන් ස්වාධීනව පැවති සමස්ත රෝහණ දේශයත් රජරට ඇතුළු මුළු දිවයිනම දුටුගැමුණු මහරජු යටතේ එක්සේසත් විය.
උතුරු පළාත හෙවත් උත්තර පස්ස පිළිබඳ මේ කාලවකවානුවේ දී සලකා බැලීමේ දී රජරට පාලන ප්‍රදේශය පස්ස නමින් හැඳින්වෙන ප්‍රදේශ හතරකට බෙදා තිබිණි. එනම්,
අනුරාධපුර අග නගරයෙන් දකුණු පෙදෙස දක්ඛිණ පස්ස
නැගෙනහිර පෙදෙස පාචීන පස්ස
බටහිර පෙදෙස පච්ඡිම පස්ස
උතුරු පෙදෙස උත්තර පස්ස
යනාදි වශයෙනි.
එම දිශා පාලි ලේඛනවල සඳහන් කර ඇත්තේ “පස්ස” යන වචනයෙනි. සෙල්ලිපිවල සඳහන් පරිදි උතුරු පස (උතුර), පඩි පස (බටහිර), පජිනි පස (නැඟෙනහිර) හා දකිණි පස (දකුණ) යන්නය.
මින් උත්තර පස්සට අයත් භූමි ප්‍රදේශ වශයෙන් වර්තමානයේ වවුනියා, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම්, යාපනය යනාදි වශයෙන් දැක්විය හැකිය. සෙල්ලිපි සාධක අනුව වවුනියාවේ තෝනිගල සෙල්ලිපියේ උත්තර පස්ස ලෙස ද මන්නාරම් සෙල්ලිපියේ උතුරුකරායෙ (කරායෙ යනු මුහුදු වෙරළ ආසන්න ප්‍රදේශය) ලෙස ද සඳහන් වේ.
සෙල්ලිපි මඟින් පැහැදිලි වන තවත් කරුණක් වනනේ දේවානම්පිය තිස්ස රාජ්‍ය සමයට සම වකවානුවේ මන්නාරම් ප්‍රදේශයේ රජ නමින් පෙනී සිටි කණ (කණ්ණ හෝ කෘෂ්ණ) එම ප්‍රදේශයේ පාලකයා යන්නය. එසේ වුව ද ඔහු දේවානම්පිය තිස්ස යටතේ ක්‍රියා කළ බව පෙනේ. පෙරියපුලියම්කුලමේ ඇති සෙල්ලිපිය අනුව වවුනියා ප්‍රදේශයේ නග, උති යනුවෙන් දෙදෙනෙකු රජ නමින් පෙනී සිටි බව සඳහන් වන අතර, උත්තර පස්සයේ වවුනියා, මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශ අනුප්රාප්තිකයන් ලෙස මහරජු යටතේ පාලන කටයුතු සිදු කරන ලද බව පෙනේ. ප්‍රාදේශීය පාලකයන් වූ රජ පවුලේ උදවිය රජ වශයෙන් හෝ අය වශයෙන් සඳහන් වී ඇති අතර අනුරාධපුරයෙන් සිටි රජ, මහරජ ලෙස සඳහන් වීම පැහැදිලි කරුණකි.
ඉහත සඳහන් බෙදීම් අනුව නාගදීපය උත්තර පස්සයෙහි ලා කිනම් පෙදෙසක පිහිටා තිබුණේ ද යන්න විමසා බැලීමේ දී යාපනයේ පැරණි නටබුන් පෙදෙසක් වූ වල්ලිපුරමේ විෂ්ණු දේවාලයක් සෑදීමට බෞද්ධ විහාරස්ථානයක් කණින අවස්ථාවක එහි අත්තිවාරම් බැම්මට ඇතුළත් කර තිබූ රන්පත ඉතා වැදගත් විය. එය වල්ලිපුරම් රන්පත ලෙස හැඳින්වේ. නාගදීපය පාලනය පිණිස පත් වී සිටි ඇමැතිවරයා එහි කටයුතු සංවිධානය කළේ මහරජුගේ අණසකට අනුව බව එමඟින් පැහැදිලි වේ. එම ලිපියේ නාගදීපය හඳුන්වා ඇත්තේ “නකදිව” යනුවෙනි. එය “නකදිව බුජමිනි” (නාගදීපය පාලනය කරමින්) යන්න සඳහන් වේ. මේ ලිපිය අනුව එවක නාගදීපය “ඉසිගිරිය” නම් ඇමතිවරයා විසින් පාලනය කරන ලදී. එමෙන්ම වසභ රජුගේ රාජ්‍යත්වයට අයත් නිලධාරියෙකු බව ඉන් පැහැදිලි වෙයි.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව වල්ලිපුරම් රන්පත අර්ථකථනය කර මෙසේ දැක්විය හැකිය.
සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයෙ නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ
අර්ථය
යහපතක් ම වේවා ! වහ (බ) මහරජුගේ රාජ්‍ය සමයෙහි අමාත්‍ය වූ ඉසිගිරිය නකදිව පාලනය කරන කල්හි පියගුකතිස බදකර - අතන නම් ස්ථානයෙහි විහාරයක් කරවන ලදී.
මේ අනුව වසභ රජුගේ කාලයේ දී නාගදීපය ඉසිගිර ඇමැතියා විසින් පාලනය කරන ලද බව පැහැදිලි වේ. එමෙන් ම දිගින් දිගටම උත්තර පස්සෙහි ශාසනික සේවා සිදු වූ බවට “නෙළුගල” සෙල්ලිපියේ සඳහන් පරිදි ඉසිගිරට සමාන ඇමැතිවරයෙකු වූ අසගිරි විසින් නැඟෙනහිර පළාතේ බෞද්ධ පූජනීය ස්ථානයක් සංවර්ධනය කළ ආකාරය පැහැදිලි වේ. මින් තවදුරටත් ඒකීය රාජ්‍යයක් යටතේ පාලනය වූ බවට සාක්ෂී දරයි.
“තුනුකායි” ශිලා ලිපියේ දැක්වෙන පරිදි නැඟෙනහිර පළාතේ තම රාජකාරිය ක්‍රියාත්මක කළ නිලධරයන් තිදෙනෙකු පිළිබඳ සඳහන් වේ. එනම්,
01- නිලවසැමන්දියා
02- කුඩුපසක්කැමිසෙනු
03- සෙනෙවිරත් වදුරා වැරූ මොකාප්පර්
නමු ඩෑ නිලා යනාදි වශයෙනි.
ඒ නිලධරයන් නාගදීපයට ද ගොස් මහරජුගෙන් ලද නියෝග ක්‍රියාත්මක කර ඇත.
හතරවන කාශ්‍යප රජුගේ (ක්‍රි-ව- 898-914) කාලයේ කදුරුගොඩ විහාරයේ ඇති සෙල්ලිපියේ රුහුණෙ සිට උතුරේ කෙළවර දක්වා “තමහට එකත්කොට” ගත් බව රජු ප්‍රකාශ කර තිබේ. එම ලිපියේ අදහස වූයේ කදුරුගොඩ අභයගිරි නම් වෙහෙරට වරප්‍රසාද දීමයි. එහි ඇතුළත කොටා ඇති ලිපියක (14 වන සියවසට අයත්) “උතුරුපස වල්පිට නාවෙහෙර” යනුවෙන් සදඟන් කර තිබේ. 4 වන කාශ්‍යප රජුගේ කාලයේ දී උතුරු පළාතෙන් සහ නැඟෙනහිර පළාතෙන් ලැබෙන සෙල්ලිපිවල අක්ෂර කලාව, භාෂාව, සංස්කෘතිය, පාලන රටාවට සමානව සෙල්ලිපි, වයඹ හා දකුණු පළාත් වලින් ලැබී ඇත. ඉන් පැහැදිලි වන්නේ රාජ්‍යයේ අඛණ්ඩ නායකත්වයක් පැවතුණ බවයි.
වංශකථාවල දැක්වෙන පරිදි දඹදෙණි රාජධානිය හෙබ වූ දෙවන පැරකුම්බා මහරජු (1236-1270) රට එක්සේසත් කිරීමේ දී රජරටේ කඳවුරු බැඳගෙන සිටි කාලිංග මාඝ සේනාවන් පලවා හැර ඇත. දකුණේ ගැටුම් පවතිද්දී යාපන ප්‍රදේශය ස්වාධීන කරගත් ආර්යචක්රවර්තීහු (ඔවුන් කාලිංගයෝය) කෝට්ටේ 6 වන පැරකුම්බා රජතුමාගේ (1412-1467) කාලයේ දී සපුමල් කුමරු අතින් පරාජයට පත් වූහ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් රචිත “සැළලිහිණි සංදේශයේ” සපුමල් කුමරු යාපාපටුන ජය ගෙන පැමිණි අයුරු වර්ණනා කොට ඇත. එමෙන්ම කෝකිල සංදේශයේ ද ආර්යචක්රවර්ති පැරදි රටහැර ගිය බව පවසයි. සපුමල් කුමරු 6 බුවනෙකබා නමින් රජ වූ (1470-1478) පසු වීදාගම හිමියන් යාපනයට වැඩමවා ධර්මදේශනයක් කරවූ බව සඳහන් වේ.
මේ අනුව උතුරු සහ නැඟෙනහිර පළාත්වල පරිපාලනය ඒකීය රාජ්‍යත්වයක් යටතේ පැවති බව සෙල්ලිපි මඟින් අනාවරණය වේ.
No comments:
Post a Comment