Wednesday, September 30, 2020

යාපා පටුනේ රැකගත යුතු උරුම


අලිමංකඩ පටු තීරුවට මායිම් වු වෙනම ප්‍රදේශයක් ලෙස උතුරු පළාතට අයත්ව පිහිටි යාපනය දිස්ත්‍රික්කයේ නියෝජිත භූමිය අර්ධද්වීපයක් ලෙස හඳුනාගත හැකිය. උතුරු මුහුදු තීරය සිසාරා පැතිරුණ යාපනය, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් යාපනය අර්ධද්වීපය සමන්විතය. වර්ග කිලෝමීටර් 1025 ක් පුරා ව්‍යාප්ත වූ යාපනය දිස්ත්‍රික්කය උතුරු දෙසින් කරෙයිනගර් සිට වල්ලිපුරම් දක්වා පුළුල්ව විහිදෙන අතර, දකුණු දෙසට වන විට එය ක්‍රමයෙන් පටු වේ.


ක්‍රි.ව. 14 වන සියවසේ පමණ සිට යාපනය, යාල්පානම් යන්න භාවිතයට පැමිණ ඇත. මෙම ප්‍රදේශය යාල්පානයන් පට්ටනම් ලෙස ක්‍රි.ව. 1435 විජයනගර රජ පරපුරේ තමිල්නාඩු තිරුමනික්කුක්ලි ශිලා ලිපියේ දැක්වේ. සිංහල සංදේශ කාව්‍යයන් හි යාපා පටුන නමින් හඳුන්වා ඇති අතර යාල්පානම් ලෙස දෙමළ සාහිත්‍ය මූලාශ්‍රවල යාපන රාජධානිය සඳහන්ය. නම්පොත නම් කෘතියෙහි දෙමළපට්ටනම ලෙසින් උතුරු දිග ප්‍රදේශය නම්කර තිබේ.


මයෝසීන චාතුර්ථික අවදියට අයත් භූමි නිර්මාණයකට උරුමකම් කියන මෙහි රතු, දුඹුරු පස්, රතු හා දුඹුරු වැලි, වෙරළ සහ වැලිවැටි, අවසාධිත හුණුගල් දැකිය හැකි කලාපයකි. ප්‍රාග් ඓතිහාසික අවදියේ සිට මානව ක්‍රියාකාරකම්වලට ලක්වුණු ප්‍රදේශයක් වූ යාපනය අනුරාධපුර සිට යටත් විජිත පාලන සමය දක්වාම විවිධ කාලරාමු නියෝජනය කරන පුරාවිද්‍යාත්මක සාධක බහුල ලෙස සමන්විත භූමියකි. යාපනය, කරෙයිනගර්, ඩෙල්ෆ්ට්, නල්ලූර්, කරවෙඩ්ඩි, වඩමාරච්චි, කෝපායි, පේදුරුතුඩුව, චාවකච්චේරි, වේලනෛ, තෙලිප්පලෛයි, වලිකාමම්, පුනරින්, චංකානෙයි, කයිට්ස්, උඩුවිල් යනාදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන බහුතරයක් දක්නට ලැබේ.


යාපන අර්ධද්වීපය කෙරෙහි යුරෝපීයන්ගේ අවධානය යොමු වීමට මූලික හේතුවක් වූයේ ස්වභාවිකව පිහිටි නැව් තොටුපොළවල්ය. එසේම අනෙක් ප්‍රධාන කරුණ කුළුබඩු වෙළදාමය. මහාවංශයට අනුව උතුරේ පිහිටි මාතොට වරාය විදේශීය සම්බන්ධතා පුළුල් ලෙස පවත්වාගෙන යාමට ඉමහත් පිටිවහලක් විය.


මාතොට වරාය පූර්ව ඓතිහාසික යුගයේ සිටම ප්‍රධාන වරායක්ව පැවතුණු බව 1982, 1984 කාලවකවානු වලදී J. කාස්වල්, M.E ප්‍රිකට් හා S.U. දැරණියගල විසින් සිදුකරන ලද කැණීම් වලින් සනාථ විය. 1979 දී යාපනය විශ්වවිද්‍යාලීය මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා, පේදුරුතුඩුවේ මායක්කායි අසල පිහිටි ලෙන් සහිත ස්ථානය පිළිබඳව මුල් වරට ගවේෂණයක් සිදු කරනු ලැබීය. එම ලෙනෙහි මුහුණත ආසන්නව 1983 දී ගල් ආයුධ සොයාගත් අතර එය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙස නම් කරන්නට විය. විමලා බෙග්ලි විසින් කන්දරෝඩෙයි සිදුකරනු ලැබූ කැණීමක් මඟින් එම ස්ථානය බෞද්ධ ආගමික නටබුන් ඇති ස්ථානයක් සේම පොළෝ මට්ටමේ සිට අඩි 12 ක් පමණ ගැඹුරට වන්නට ප්‍රාග් ඓතිහාසික සාධක සහිත භූමියක් ලෙස ද පෙන්වා දී තිබේ.


මෙහිදී අවදි 4 ක් නියෝජනය වන පරිදි කරුණු දක්වා ඇති අතර මුල්ම අවදිය ලෙසට යකඩ යුගයේ ශේෂ වූ සාධකත්, දෙවන අවදිය ලෙසට පූර්ව ඓතිහාසික සංස්කෘතික නියෝජිත මෙවලම් ද තෙවන අවදිය ලෙසට රූලේටඩ් මැටි බඳුන්, ලක්ෂ්මි කාසි, කොරල් කැබලි වලින් යුක්ත වූ බවත් සිව්වන අවදිය ලෙසට බෞද්ධ ශේෂ හඳුනා ගන්නටත් විය.


මහාචාර්ය K.ඉන්ද්‍රපාල 1980 දී මාන්තායි හි සිදු කළ කැණීම් වලින් පැරණි සුසාන භූමි දෙකක් හඳුනා ගැනිණි. මානව ඇට සැකිලි, සත්ත්ව ඇට කැබලි, කළු රතු මැටි බඳුන්, රතු මැටි බඳුන් මෙහිදී සොයාගත් අතර එම සුසාන හා පුරා කෘති ඉන්දියානු මෙගලිතික සුසාන සංස්කෘතියට සමාන යැයි සඳහන්ය.පේදුරු තුඩුවට නොදුරු මායක්කායි විවපාරිමලෛ ප්‍රදේශයේ 2001 දී යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන ලද ගවේෂණයේ දී ශිලා මෙවලම් රැසක් සොයාගන්නට විය.


2011 දී ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක හා ආචාර්ය නිමල් පෙරේරා යන විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කන්දරෝඩයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබීය. මායක්කායි ප්‍රදේශයයෙන් හමු වූ ශිලා මෙවලම්, පුරාශිලා යුගයට අයත් යැයි නිගමනය විය. කහඳ පාෂාණයෙන් නිමවා තිබූ කැපුම් ආයුධවලින් යුත් ආයුධ අතර අත්පොරොව මෙම ශිලා මෙවලම් වලින් සුවිශේෂි විය. ඉරණමඩු හා බුන්දල ප්‍රදේශයේ “මිනිහා ගල්කන්ද” නම් වූ ස්ථානයෙන් සොයාගත් වසර 125,000 ක් පැරණි ශිලා මෙවලම් ලංකාවෙන් මෙතෙක් හමු වූ පැරණිතම සාධක ලෙස සැලකු අතර යාපනයෙන් සොයාගත් ශිලා මෙවලම් අදින් වසර 600,000 හෝ (හය ලක්ෂයක්) හෝමෝ ඉරෙක්ටස් මානව සංස්කෘතිය නියෝජනය කරන්නක් බව විද්වතුන්ගේ මතයයි. එය ඇචූලියන් ආයුධ සම්ප්‍රදායට අයත් ශිලා මෙවලම් ලෙස හඳුනා ගෙන ඇත.


ආචාර්ය ශිරාන් දැරණියගලයන් පෙන්වා දෙනුයේ ශිලා මෙවලම් හමු වූ මායක්කායි පෙදෙසෙහි පාරිසරික තත්ත්වය ඉපැරණි විල්ලුවක ලක්ෂණ පෙන්නුම් කරන බවත් එය ඇචූලියන් සාම්ප්‍රදායික මිනිසා භාවිත කළ භූමියක් විය හැකිය යන්නය. කුඩා පඳුරු සහිත මෙම භූමිය අක්කර 55 ක් පුරා පැතිර පවතී.


කඳුරුගොඩ විහාරය පිහිටි කන්දරෝඩියට ළඟාවීමට යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් හන්දිය දක්වා ගමන් කළ යුතුය. කන්දරෝඩෙයි (කන්තරෝඩය) පිළිබඳව විවිධ මතවාද පවතින අතර මහාවංශයට අනුව සංඝාමිත්තා තෙරණියගේ ලංකා ගමන හා සම්බන්ධ වේ. එනම් ලක්දිවට වැඩි මහරහතන් වහන්සේලා 60 නමක් මෙම පෙදෙසේ වැඩවාසය කළ හෙයින් උන්වහන්සේලා අපවත් වීමෙන් අනතුරුව එම ශාරීරික ධාතු නිදන්කොට මෙහි ස්තූප 60 ක් ඉදිකළ බව සඳහන්ය. අක්කර 72 ක් පමණ වූ භූමි ප්‍රමාණයක් රක්ෂිත කලාපයක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් එකල වෙන්කරනු ලැබීය. විටින් විට මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබූ අතර එහිදී මතුකරගත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නටබුන් අතර දුර්ලභ කවන්ධ බුදු පිළිමයක කොටස් ද හමු විය.


එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේගේ ප්‍රධානත්වයෙන් 1965 දි සිදුකළ පුරාවිද්‍යා කැණීම් මඟින් ඉතා වැදගත් සාධක මතුකර ගැනීමට හැකිවිය. එහි දී ස්තූප 21 ක් නිරාවරණය කරගත් අතර ස්තූප 36 ක පාදම් මතුකර ගැනීමට පුළුවන් විය.


ආචාර්ය ශිරාන් දැරණියගල කන්දෙරෝඩිය සම්බන්ධව දක්වන අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කරනුයේ මෙය ලංකාවේ හතරවැනි මානව ජනාවාස පෙදෙස නියෝජනය කරන බවයි. අනුරාධපුරය පළමු යුගය ලෙසත්, තිස්සමහාරාමය දෙවැන්නත්, මන්නාරමේ මාතොට හෙවත් මහාතිත්ථ වරාය ආශ්‍රිත පෙදෙස තෙවැන්න ලෙසත් කන්දරෝඩෙ (කඳුරුගොඩ විහාරය) ආශ්‍රිත මානව ජනාවාස පෙදෙස සිව්වැන්නත් ලෙස දැරණියගලයන් පෙන්වා දෙයි.


1970 දශකයේ දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කැණීමේ දී කානේලියන් පාෂාණයෙන් නිම වූ මුදුවක් හමු වූ අතර එහි මුද්‍රාවෙන් අශ්වාරෝහකයෙක් නිරූපණය කොට ඇත. ඊට අමතරව අක්ෂර සහිත මැටි බඳුන් කැබලි සොයාගන්නට හැකි විය.


යාපනයේ දක්නට ලැබෙන පැරණි ගොඩනැගිලි අතර නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මන්ත්‍රී මාළිගය සුවිශේෂි තැනක් හිමිකර ගනී. සිංහල ව්‍යවහාරයෙන් රාජමන්ත්‍රී මාළිගය ලෙස ද මන්ද්‍රිමානායි නමින් දෙමළෙන් ද හැඳින්වේ. මෙම ස්ථානය සංකිලියන් රජවරුන්ගේ මාළිගය ලෙස ද ඇතැමුන්ගේ විශ්වාසයයි. ආර්ය චක්‍රවර්ති පරපුරේ අවසාන යුගය නියෝජනය සංකිලියන් රජුගේ කාලය ලෙස ඉතිහාසයේ සඳහන්ය. මෙම ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම පෘතුගීසි යුගයේ දී එකතු කරන්නට ඇති බවත් 1890 දී ඒ.එස්. තම්බයියා පිල්ලේ විසින් මෙහි ප්‍රධාන දොරටුව නැවත ඉදිකරවූ බව ඊට සම්බන්ධ ද්‍රවිඩ සෙල්ලිපියක දක්වා තිබේ.


එමෙන්ම නල්ලූර් පේදුරුතුඩුව මාර්ගයේ පිහිටා ඇති සංගිලියන් තෝප්පු හෙවත් සංගිලියන් දොරටුව යාපන අර්ධද්වීපයේ ඇති පුරාවස්තු අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනී. මෙය සංගිලියගේ පැරණි මාළිගයට ප්‍රවේශ වන දොරටුව ලෙස සැලකේ. මෙම ස්මාරකය යාපනය රාජධානියේ විසූ සංගිලියන් හෝ සංකිලි (ක්‍රි.ව. 1519) ගේ නමින් හඳුන්වා ඇත. මෙය සංගිලියන් තෝප්පු ලෙස නම්කොට ඇති අතර තෝප්පු යනු තොරණ බවත් දැක්වේ. ගඩොලින් නිමවා හුණු බදාමයෙන් කපරාරු කොට ඇති මෙහි අලංකාර කැටයමින් යුක්තය.


යාපනය කොටුව සම්බන්ධව රුබෙයිරෝගේ “ලංකා ඉතිහාසය” කෘතියෙහි “යාපා පටුන බලකොටුව හතරැස් වූ අතර අට්ටාල හතරක් ද අඩසඳ හතරක් ද තාප්පයක් ද තිබිණි. මේවා සාදා තිබුණේ කොරල් ගල් වලිනි. අවශ්‍ය තුවක්කු මෙහි තිබුණු අතර, රාජධානියේ ආණ්ඩුකාරවරයා ද මෙහි විසුවේය. තාප්පයට පිටින් එක පැත්තක නගරය පිහිටා තිබුණි. යුරෝපීය පාලන සමය තුළ දක්නට ඇති වැදගත්ම පුරාවිද්‍යා උරුමයක් ලෙස යාපනය කොටුව හැඳින්වීම නිවරැදිය” යන්න දක්වා තිබේ. ක්‍රි.ව. 1619 පෘතුගීසින් විසින් මෙම බලකොටුව ගොඩනැංවූ අතර ලන්දේසී පාලන කාලයේ දී නැවත ගොඩනැංවීමක් සිදුකර ඇත. 1658 දී ලන්දේසීන්ට මෙම බලකොටුව යටත් විය. පෘතුගීසින් චතුරස්‍රාකාර ලෙස නිම වූ බලකොටුව ලන්දේසින් විසින් පංචාස්‍රාකාර හැඩයට නිමවීය. කොටුවේ පිට ප්‍රාකාරය අඩි 40 ක් පළලින් ද අඩි 30 ක් උසකින් ද යුක්ත වූ අතර අක්කර 64 ක භූමිභාගයක් පුරා විහිදී ඇත.


උතුරු පළාතේ ආරක්ෂා කර ගත යුතු උරුමයන් අතර ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි බයෝබැබ් ගස නම්කළ හැකිය. මෙම ශාකය සීකිරියාම්පල්ලම් වැව ආසන්නයේ දක්නට ලැබෙන අතර අශ්වයින්ගේ ආහාර පිණිස ආරාබි වෙළඳුන් විසින් මෙරටට ගෙන එන ලදැයි සැලකේ. මෙහි පත්‍ර සතුන්ගේ ප්‍රියතම ආහාර වේ. අඩි 50 ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත මෙම ශාකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙවැනිම වූ බයෝබැබ් ශාක මන්නාරම පල්ලිමුනෙයි හා තලෙයිමාන්නරමේ ද දැකිය හැකිය. 


ඩෙල්ෆ්ට් දූපතේ ඇති පෞරාණික බෞද්ධ නටබුන් සහිත පැරණිම ස්ථානය ලෙස එදිරේසන්ගේ කොටුව නමින් හඳුන්වනු පෙදෙසේ ඉදිකළ මෙම ස්තූපය දැක්විය හැකිය. ක්‍රි.පූ. 2 වන සියවස මෙහි ආරම්භක අවදිය ලෙස සැලකේ. අඩි 34 ක විෂ්කම්භයකින් යුතු ප්‍රධාන ස්තූපය සංරක්ෂණය කොට ඇති අතර එය අඩි 03 ක ප්‍රමාණයකින් යුක්තය. මෙම පෙදෙසේ පිහිටි උසම ස්ථානයේ කොරල් ගල් උපයෝගි කොට ගෙන ස්තූපය නිමවා තිබේ. එමෙන්ම එයට බටහිර හා නැගෙනහිර දිශානුගතව තවත් ස්තූප දෙකක් දක්නට ලැබේ. ඒවායේ පාදම පමණක් දැනට ශේෂව පවතී. මෙම භූමිය පුරාම පැරණි වළං කැබිලිති විසිරී ඇත. ඒ අනුව ඩෙල්ෆ්ට් දූපතේ බෞද්ධ නටබුන් සහිත ස්ථාන ද රැකිය යුතු උතුරේ උරුමයන්ය.


සිළුමිණ 

2020 ජුනි 14

රුක්ෂිලා වෙත්තමුණි 


අන්තවාදීන්ගෙන් බැට කන දෙවනගල ඓතිහාසික පුදබිම


පුරාවිද්‍යාත්මක, ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන දෙවනගල රජමහා විහාරය සතු ඉඩකඩම් හා පුරාවස්තු කලක පටන් බාහිර පුද්ගලයින්ගේ මංකොල්ල කෑමට ගොදුරු වී තිබේ. මේ සම්බන්ධව ජනමාධ්‍ය තුළ බොහෝ කතිකාවට ලක්ව ඇති අතර ඊට පිළියම් ලෙස රජය මැදිහත්වීම කාලීන අවශ්‍යතාවකි.


 සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප‍්‍රාදේ‍ශීය ලේකම් කෝට්ඨාසයට අයත් සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවෙ ‌‌ඓතිහාසික දෙවනගල රජමහා විහාරය පිහිටා ඇති අතර අක්කර 72 ක් පුරා පැතිරුණු මෙම පුදබිමට මාවනැල්ලේ සිට හෙම්මාතගම දක්වා දිවෙන මාර්ගයේ කටුගහවත්ත කඩ මණ්ඩියෙන් කිලෝ මීටර් 4 ක් පමණ ගමන් කිරීමෙන් ද අයගම හන්දියේ ඉදිරිපිට මගෙහි උඩපමුණුව මාර්ගයෙන් ද පිවිසිය හැකිය.


1941 දෙසැම්බර් 12 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවට දෙවනගල විහාරය සන්තක භූමි පෙදෙස ඇතුළත් කර ඇතිමුත් රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකරන ලද ගම් බිම් සහිත සම්පූර්ණ විහාරගම ඇතුළත් බිම් මැනුම සකස් කර ඇත්තේ 1876 දීය. දෙවනගල ගල් පර්වතයේ සිට රුවන්දෙනිය ගම දක්වා අක්කර 72 ක් පුරා මෙම භූමිය විහිදේ. බතලේගල, අම්බුළුගල, සුරසරදියෙල්ගල, දනකිරිගල , ඌරගල, සැලවගල, කඩුගන්නාව යනාදි කඳු වැටි රාශියක් දෙවනගලට අවටින් දර්ශනය වේ.


පුරාණ නම් පොතේ පරණ නුවර නමින් දෙවනගල නම් කර ඇති අතර දෙවනගල සම්බන්ධ ඉතා රසවත් ලෙස ගොඩ නැඟුණු ජනප්‍රවාද බහුල වශයෙන් ඇත. ඉන් එකක් ලෙස අලුත්නුවර දෙවියන් හිඟුලේ කිරුංගල්පායට වැඩම කොට දෙවැනිව මෙතැනට වැඩම කළ හෙයින් දෙවනගල වු බව කියැවේ. එසේම රන් වංගෙඩි දෙකක් මෙහි නිදන් කොට තිබීමත් හේතුවක් ලෙස සඳහන්ය. මෙම ප්‍රදේශයේ වඩාත් උසින් පෙනෙන බතලේගලට පමණක් දෙවැනි වූ බැවින් එය දෙවනගල ලෙස හැඳින් වූ බවත් දෙවියන් වැඩ විසූ ගල කියන අරුතින් මෙම පර්වතය අමර ගිර ලෙසත් ව්‍යවහාරයේ පවතී.


දෙල්ගමු විහාරයේ කුරහන් ගලක සඟවලා තිබුණු දළදා වහන්සේ මහනුවරට වැඩමවාගෙන යන අතරතුර එක් රාත්‍රියක් දෙවනගලත් තැන්පත් කර තිබූ බවට මතයක් ඇති අතර මෙහි එසේ තැන්පත් කළා යැයි සැලකෙන කුරහන් ගලක් ද දක්නට ලැබේ. එසේම දළදා වහන්සේ තැන්පත් කර වසර ගණනාවක් පුද සත්කාර කළ කුටිය ලෙස තනිකර කළුගලින් පමණක් නිමවා ඇති ගොඩගැගිල්ල සම්බන්ධව ද අදහස් පවතී.


ජනප්‍රවාද ගත තොරතුරු අනුව ධාතුසේන රජ දවස මෙම පර්වතයෙහි විහාරයක් සෑද වූ බව දැක්වෙන කවි පන්තියක් ලෙස මෙසේ දැක්විය හැකිය.


දිලේ දිලේ රැස් බුදු සසුන ලක තුලේ

විලේ ජලේ නොසිඳේ සැදුණ හැම කලේ

කලේ නිරිඳු දාසෙන් වෙහෙර මන කලේ

ගලේ දෙවන නැග ගොස් වඳිමු සිතු ලොලේ


දෙවනගල පර්වතයට පිවිසීම සඳහා ඇති ගලේ කෙටූ පියගැටපෙළ, පැති දෙකකින් යුක්තය. ටැම්පිට විහාරයකින් යුතු විහාර මන්දිරයක්, අලංකාර පොකුණක්, ස්තූපයක්, බෝධියක්, පැරණි ආවාස ගෘහයක් සහ අතීතයේදී විහාර මන්දිරයක් වූවා යැයි විශ්වාස කරන ශෛලමය ගොඩනැගිල්ලක් මෙම පර්වතයෙහි පිහිටා ඇත.


පර්වතය මුදුනේ ශිලා ලේඛන දෙකක් දක්නට ඇති අතර ඉන් එකක් පොළොන්නරු යුගයේ පළමුවෙනි පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දක් වන අතර අනෙක මහනුවර යුගයේ පළමුවෙනි විමලධර්මසූරිය රජ සමයට අයත්ය.


මහාවංශයේ අනුරාධපුර යුගයේ දී ධාතුසේන රජු විසින් දාසෙන් පව්වෙහි කරවන ලද විහාරයක් ගැන සඳහන් කෙරේ. එකල මෙම ස්ථානය දාසෙන් පව්ව ලෙස හඳුන්වන්නට ඇතැයි යන්න මින් අදහස් වේ. එසේම “ දෙවනගල දාසෙන් වෙහෙර ” නමින් රාජාවලියේ ද දැක්වේ. කිත්සෙන් පව්ව ලෙස පොලොන්නරු යුගයේ දී දෙවනගල හඳුන්වා ඇති අතර ඒ බැව් දෙවනගලට නගින පඩිපෙළ ආසන්නයේ ඇති ගිරි ලිපිය මගින් සනාථ කෙරේ.


මහාවංශයේ සඳහන් පරිදි පළමුවන පරාක්‍රමබාහු (1153-1186) රජුගේ දෙළොස්වන රාජ්‍ය වර්ෂයේදී ලංකාව හා රාමඤ්ඤ දේශය (බුරුමය) අතර පැවති වෙළඳ සබඳතා (ඇතුන් විකිණීම) බිඳ දමමින් , ශ්‍රී ලාංකික නාවිකයන්ට කරන ලද වධ හිංසාවන්ට විරුද්ධව එරට සමඟ යුද වැදුණු බවත් එම සටන ජයග්‍රහණය කළ කිත්නුවරගිරි (කිත්නුවරගල්) සෙනෙවියාට ගම්වර පිදූ බව දෙවනගල සෙල්ලිපියෙහි සඳහන් වේ. එනම් මෙම ලිපිය මහා පරාක්‍රමබාහු රජු විසින් තම ප්‍රධාන සෙනෙවි කීර්ති නගරගිරි වෙනුවෙන් කරවන ලද්දක් යැයි පිළිගැනේ. බුරුමය ආක්‍රමණය කිරිමේ දී මෙම සෙනෙවියා කුසුමිය නගරය යටත් කර බලය අත්පත් කර ගැනීමට කටයුතු කළ නිසා ඒ පිළිබඳ සතුටු වූ රජතුමා ඔහුට ප්‍රදානය කළ ගම්වරය සම්බන්ධ විස්තරය පිළිබඳව මෙම සෙල්ලිපියේ අන්තර්ගත කර ඇත.


සෙල් ලිපියේ අන්තර්ගතය ලෙස ගත් කළ පරාක්‍රමබාහු රජුගේ සෙන්පතියෙකු වූ කිත්නුවරගල් විසින් (බුරුමය) රාමඤ්ඤ රට ආක්‍රමණය කර “කුසම්ය” නම් නගරය දිනා ගැනීම වෙනුවෙන් මලබටුව ඉඩම හා කිත්සෙන් පව්වෙන් අමුණු 12 ක් හා යාල දෙකක ඉඩම් පමුණු කොට දීම පිළිබඳව විස්තර දැක්වේ. එමෙන්ම පරාක්‍රමබාහු රජු විසින් තම ඥාති සොයුරන් වූ ගජබාහු සහ මානාභරණ යන දෙදෙනාට විරුද්ධව කළ යුද්ධය ගැන ද එහි සදහන්ව ඇත. භික්ෂූන් වහන්සේලාට විරුද්ධව සීතාවක රාජසිංහයන් විසින් ආඬි පක්ෂය ගෙන කටයුතු කරන අවස්ථාවේ දී සෙංකඩගලින් ඊට විරුද්ධව කොනප්පු බණ්ඩාර නැගී සිටින්නට විය. පරංගින්ට විරුද්ධව කළ සටනේදී මල්වතු විහාරයට අයත් භික්ෂු පරම්පරාවේ දෙවනගල රතනාලංකාර හිමි ඔහුට සහය දුන් බව සඳහන්ය.


මේ හේතුවෙන් උඩරට අත්පත් කර ගැනීමටත් රාජ උරුමය ඇති කුසුමාසන දේවිය තමාසතු කර ගැනීමටත් කොනප්පු බණ්ඩාරයන්ට අවස්ථාව උදාවිය. පිරිහෙමින් පැවති උඩරට රාජධානියට නව ජීවයක් ලබා දෙමින් පළමුවන විමලධර්මසූරිය නමින් කොනප්පු බණ්ඩාර රාජ්‍යත්වයට පත්විය. ඔහු විසින් උපසම්පදාව යළි ස්ථාපිත කොට ආඬින් ගෙන් ශ්‍රී පාදය නැවත පවරා ගෙන බෞද්ධයින් සතු කරන ලද අතර තමන්ට උපකාර කළ දෙවනගල රතනාලංකාර හිමියන්ට කෘත ගුණ සැලකීම පිණිස ගම් බිම් පුදා දෙවනගල පර්වතයේ පිහිටුවන ලද ශිලා ලිපිය මෙහි දී දක්නට ලැබේ. එසේම පරංගින්ට විරුද්ධව සේනාව සංවිධානය කළ ඉතා සුවිශේෂි ස්ථානයක් ලෙසට ද දෙවනගල නම්කළ හැකි අතර මෙහි ස්වර්ණමය යුගය මහනුවර රාජ්‍ය සමයවිය.


දෙවනගල පර්වත මස්තකයේ පළමුවන විමලධර්මසූරිය රජු විසින් කරවන ලද සෙල් ලිපියට යාබදව විශේෂිත සිරිපතුලක සටහනක් දක්නට ඇති අතර එහි මඟුල් ලකුණු සටහන්ව ඇත. මහනුවර යුගයට අයත් යැයි සැලකෙන මෙය එම යුගයේ නිර්මාණය වූ විශාලතම සහ අලංකාරම සිරිපතුල් සටහන ලෙස ද සඳහන්ය. අඩි 4 ක් පමණ දිගින් යුතුව සෘජුකෝණාස්‍රාකාර රාමුවක් තුළ මෙම සිරිපතුල් සටහන නිමවා තිබේ. එහි දාගැබ් දොළහක්, බෝ රුක් දෙකක් සහ වෙනත් මල් මෝස්තර කීපයක් සහිත රූ සටහන් කොටා ඇත. එමෙන්ම මෙම සිරිපතුලෙහි තවත් සිරිපතුලක සටහනක් ද දක්නට ලැබේ.


පළමුවැනි විමලධර්මසූරිය රජුගේ අනුග්‍රහයෙන් රතනාලංකාර හිමිගේ මූලිකත්වයෙන් පර්වතය මුදුනේ පිහිටුවා ඇති ටැම්පිට පිළිම ගෙය කරන ලද බව සඳහන්ය. මෙම පිළිම ගෙය වටා ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන බැවින් එකවර එය ටැම්පිට පිළිම ගෙයක් යැයි හඳුනා ගැනීමට අපහසුය. මෙම නිර්මාණකාර්යෙහි නිරත වුණු ශිල්පියාගේ නම එහි ඉදිරියෙන් වූ ගල්තලාවේ සටහන් කර ඇති බව දක්නට ලැබේ. මෙම ගොඩනැගිල්ලට පිවිසීමට දොරටු තුනක් නිමවා ඇති අතර ඉතා අගනා කැටයමින් රූකම් කරන ලද උළුවස්සක් පිළිමගෙට ඇතුළුවන දොරටුවේ දක්නට ලැබේ. පිළිමගෙය අභ්‍යන්තරයේ නිරූපිත සූවිසි විවරණය, සොළොස්මස්ථාන, රහතන් වහන්සේලාගේ යැයි සැලකෙන රූප, ඉර හඳ, වෘක්ෂලතා, ලියවැල් ආදි වූ සිතුවම් මහනුවර යුගයේ මුල්කාලයට අයත් යැයි සැලකේ.


ස්වභාවික පිහිටීම උපයෝගී කොටගෙන පර්වතය මුදුනෙහි නිමවා ඇති ඉතා අලංකාර හා විශාල පොකුණක් මෙහි දී දැක ගැනීමට හැකිය. මෙම පොකුණට යාබදව කුඩා ළිඳක් දක්නට ඇති අතර පොකුණ කළු ගල් බැම්මකින් ආවරණය කර තිබේ. දෙවනගල විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය පිණිස මෙම පොකුණ ඉදිකරන්නට ඇති බව සඳහන්ය.


පළමුවැනි විමලධර්මසූරිය රජුගේ කාලයේදී මෙම පොකුණ ආශ්‍රිතව උමං මාර්ගයක් තැනු බවට මතයක් පවතී. පරංගීන්ගේ උවදුරු ඇති වීම හේතුවෙන් රජු සහ බිසව නිතර මුණ ගැසීමට නොහැකියාව හේතුවෙන් තම බිසව කුසුමාසන දේවිය නොහොත් දෝනකතරිනා මුණ ගැසීමට එසේ මෙම උමග නිමවන්නට ඇති බව කියැවේ. ඇය දෙවනගල අසල ගමක් වන ගල්ලෑල්ල කැකිරිගොඩ රජ මහා විහාරයේ එවකට කුඩා මාලිගාවේ විසූ බැවින් මෙම පොකුණ හරහා උමං මාර්ගයක් තනා ඇති බවත් මෙහි අනෙක් කෙළවර කොටවෙහෙර රජමහා විහාරයේ පොකුණට යාබදව පිහිටා ඇති බවත් මතයකි. එසේම නියං කාලයක දී වුව ද මෙම පොකුණු දෙකෙහිම ජලය නොසිඳෙන බැවින් එය මෙහි ඇති සුවිශේෂි ලක්ෂණයකි.


මෙම පර්වතය මුදුනෙහි පිහිටි ස්මාරක අතරින් විශේෂිත ස්මාරකයක් ලෙස සම්පූර්ණ වශයෙන් ගලින් ම නිමවා ඇති ඉපැරණි ගල් ගොඩනැගිල්ල දැක්විය හැකිය. විවිධ ප්‍රමාණයෙන් යුක්ත ගල් කුට්ටි එකමත එකිනෙකට යා වනසේ බදාම රහිතව ගොඩනගා ඇති අතර ශේෂව ඇති බිත්ති කොටස් අනුව ගොඩනැගිල්ල අඩි දොළහක් දක්වා උසින් යුතුව පවතින්නට ඇතැයි යන්න අනුමාන කළ හැකිය. ගොඩනැගිල්ල ඉදිකිරීමට මිණුම් සහිතව ගල් කුට්ටි කපා ගන්නට ඇතැයි යන්න විශ්වාස කරන අතර එම ගල් කුට්ටි කපා ගත් ස්ථානය ලෙසට පළමුවන විමලධර්මසූරිය රජු විසින් කරවන ලද සෙල්ලිපිය ආසන්නව පිහිටි ගල්තලාව විය හැකිය යන්න සැලකේ.


මෙවැනිම ආකාරයේ ගල් ගෙයක් දෙවුන්දර ද දක්නට ලැබීම සුවිශේෂීය. දෙවනගල පිහිටි ශෛලමය ගොඩනැගිල්ල පොළොන්නරු කාලයට අයත් යැයි පැවසේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී දෙවනගල සංවර්ධන කටයුතු කළ බවත් ගම්වර පිදූ බවත් පිළිගැනේ. ජනප්‍රවාදය අනුව මේ ගොඩනැගිල්ල ඉසුරුමුණිපාය නමින් ද හඳුන්වා ඇතැයි යන්න කියැවේ.


ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ H.C.P. බෙල්ගේ කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ එකල මෙහි පැවති දාගැබ ගරා වැටී තිබූ බව සඳහන්ය. ධාතුසේන රජුකල මෙහි ගල මත වෙහෙරක් ඉදිකර තිබූ බව සඳහන් වුව ද වර්තමානයේ දක්නට ඇත්තේ මහනුවර යුගයේ පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලවකවානුවේ දී කරවන ලද දාගැබ යන්න පිළිගැනීමයි. එසේම නිරන්තරයෙන් නිදන් හොරුන්ගේ ග්‍රහණයට මෙම දාගැබ ලක්ව ඇති අතර විවිධ කාල වකවානු වලදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කර තිබේ. මෙම ඓතිහාසික පුදබිමේ බෝධි ප්‍රාකාරයක් දක්නට ඇති අතර ඒ තුළ අඩි 15x15 වැනි ප්‍රමාණයෙන් යුක්තව අභ්‍යන්තර කොටු බැම්මකින් නිමවා ඇත. එසේම මෙහි පිහිටුවා ඇති බෝධිය අෂ්ටඵල බෝධි අතරින් එකක් බවත් එය පොළොන්නරුව යුගයට අයත් යැයි ද මතයකි.


එහෙත් 80 දශකයෙන් පසුව දෙවනගල ඓතිහාසික පුදබිම අරාජිකව පැවතීම හේතුවෙන් විවිධ තාඩන පීඩන වලට ගොදුරු විය. ඉතාම ශෝචනීය කරුණක් වනුයේ විමලධර්මසූරිය රජු විසින් කර වූ ශිලා ලේඛනය මතට ඇසිඩ් වත්කර විනාශ කිරීමට උත්සාහ කිරීමයි. එසේම පිළිමගෙයි පිහිටි පිළිමවහන්ස්ගේ උදරය සහිත පෙදෙස යවුලකන් ඇණ විනාශ කිරීම ද ඉතා කනගාටුදායක තත්ත්වයක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මෙම පිළිමය නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

අනුරාධපුර යුගය දක්වා ඉතා ඈත අතීතයකට දිවයන මෙම විහාරය මහනුවර යුගය ඔස්සේ වර්තමානය දක්වාම පැවතගෙන පැමිණි මුත් අවාසනාවකට මෙන් විහාරයට අයත් භූමි ප්‍රදේශය අන්‍යාගමික අන්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබීම ඉතා ශෝචනීය තත්ත්වයකි.

සිළුමිණ

2020 ජුනි 07

රුක්ෂිලා වෙත්තමුණි


https://epaper.silumina.lk/Home/ShareArticle?OrgId=2b43a8df&imageview=0