Wednesday, September 30, 2020

යාපා පටුනේ රැකගත යුතු උරුම


අලිමංකඩ පටු තීරුවට මායිම් වු වෙනම ප්‍රදේශයක් ලෙස උතුරු පළාතට අයත්ව පිහිටි යාපනය දිස්ත්‍රික්කයේ නියෝජිත භූමිය අර්ධද්වීපයක් ලෙස හඳුනාගත හැකිය. උතුරු මුහුදු තීරය සිසාරා පැතිරුණ යාපනය, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් යාපනය අර්ධද්වීපය සමන්විතය. වර්ග කිලෝමීටර් 1025 ක් පුරා ව්‍යාප්ත වූ යාපනය දිස්ත්‍රික්කය උතුරු දෙසින් කරෙයිනගර් සිට වල්ලිපුරම් දක්වා පුළුල්ව විහිදෙන අතර, දකුණු දෙසට වන විට එය ක්‍රමයෙන් පටු වේ.


ක්‍රි.ව. 14 වන සියවසේ පමණ සිට යාපනය, යාල්පානම් යන්න භාවිතයට පැමිණ ඇත. මෙම ප්‍රදේශය යාල්පානයන් පට්ටනම් ලෙස ක්‍රි.ව. 1435 විජයනගර රජ පරපුරේ තමිල්නාඩු තිරුමනික්කුක්ලි ශිලා ලිපියේ දැක්වේ. සිංහල සංදේශ කාව්‍යයන් හි යාපා පටුන නමින් හඳුන්වා ඇති අතර යාල්පානම් ලෙස දෙමළ සාහිත්‍ය මූලාශ්‍රවල යාපන රාජධානිය සඳහන්ය. නම්පොත නම් කෘතියෙහි දෙමළපට්ටනම ලෙසින් උතුරු දිග ප්‍රදේශය නම්කර තිබේ.


මයෝසීන චාතුර්ථික අවදියට අයත් භූමි නිර්මාණයකට උරුමකම් කියන මෙහි රතු, දුඹුරු පස්, රතු හා දුඹුරු වැලි, වෙරළ සහ වැලිවැටි, අවසාධිත හුණුගල් දැකිය හැකි කලාපයකි. ප්‍රාග් ඓතිහාසික අවදියේ සිට මානව ක්‍රියාකාරකම්වලට ලක්වුණු ප්‍රදේශයක් වූ යාපනය අනුරාධපුර සිට යටත් විජිත පාලන සමය දක්වාම විවිධ කාලරාමු නියෝජනය කරන පුරාවිද්‍යාත්මක සාධක බහුල ලෙස සමන්විත භූමියකි. යාපනය, කරෙයිනගර්, ඩෙල්ෆ්ට්, නල්ලූර්, කරවෙඩ්ඩි, වඩමාරච්චි, කෝපායි, පේදුරුතුඩුව, චාවකච්චේරි, වේලනෛ, තෙලිප්පලෛයි, වලිකාමම්, පුනරින්, චංකානෙයි, කයිට්ස්, උඩුවිල් යනාදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන බහුතරයක් දක්නට ලැබේ.


යාපන අර්ධද්වීපය කෙරෙහි යුරෝපීයන්ගේ අවධානය යොමු වීමට මූලික හේතුවක් වූයේ ස්වභාවිකව පිහිටි නැව් තොටුපොළවල්ය. එසේම අනෙක් ප්‍රධාන කරුණ කුළුබඩු වෙළදාමය. මහාවංශයට අනුව උතුරේ පිහිටි මාතොට වරාය විදේශීය සම්බන්ධතා පුළුල් ලෙස පවත්වාගෙන යාමට ඉමහත් පිටිවහලක් විය.


මාතොට වරාය පූර්ව ඓතිහාසික යුගයේ සිටම ප්‍රධාන වරායක්ව පැවතුණු බව 1982, 1984 කාලවකවානු වලදී J. කාස්වල්, M.E ප්‍රිකට් හා S.U. දැරණියගල විසින් සිදුකරන ලද කැණීම් වලින් සනාථ විය. 1979 දී යාපනය විශ්වවිද්‍යාලීය මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා, පේදුරුතුඩුවේ මායක්කායි අසල පිහිටි ලෙන් සහිත ස්ථානය පිළිබඳව මුල් වරට ගවේෂණයක් සිදු කරනු ලැබීය. එම ලෙනෙහි මුහුණත ආසන්නව 1983 දී ගල් ආයුධ සොයාගත් අතර එය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙස නම් කරන්නට විය. විමලා බෙග්ලි විසින් කන්දරෝඩෙයි සිදුකරනු ලැබූ කැණීමක් මඟින් එම ස්ථානය බෞද්ධ ආගමික නටබුන් ඇති ස්ථානයක් සේම පොළෝ මට්ටමේ සිට අඩි 12 ක් පමණ ගැඹුරට වන්නට ප්‍රාග් ඓතිහාසික සාධක සහිත භූමියක් ලෙස ද පෙන්වා දී තිබේ.


මෙහිදී අවදි 4 ක් නියෝජනය වන පරිදි කරුණු දක්වා ඇති අතර මුල්ම අවදිය ලෙසට යකඩ යුගයේ ශේෂ වූ සාධකත්, දෙවන අවදිය ලෙසට පූර්ව ඓතිහාසික සංස්කෘතික නියෝජිත මෙවලම් ද තෙවන අවදිය ලෙසට රූලේටඩ් මැටි බඳුන්, ලක්ෂ්මි කාසි, කොරල් කැබලි වලින් යුක්ත වූ බවත් සිව්වන අවදිය ලෙසට බෞද්ධ ශේෂ හඳුනා ගන්නටත් විය.


මහාචාර්ය K.ඉන්ද්‍රපාල 1980 දී මාන්තායි හි සිදු කළ කැණීම් වලින් පැරණි සුසාන භූමි දෙකක් හඳුනා ගැනිණි. මානව ඇට සැකිලි, සත්ත්ව ඇට කැබලි, කළු රතු මැටි බඳුන්, රතු මැටි බඳුන් මෙහිදී සොයාගත් අතර එම සුසාන හා පුරා කෘති ඉන්දියානු මෙගලිතික සුසාන සංස්කෘතියට සමාන යැයි සඳහන්ය.පේදුරු තුඩුවට නොදුරු මායක්කායි විවපාරිමලෛ ප්‍රදේශයේ 2001 දී යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන ලද ගවේෂණයේ දී ශිලා මෙවලම් රැසක් සොයාගන්නට විය.


2011 දී ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක හා ආචාර්ය නිමල් පෙරේරා යන විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කන්දරෝඩයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබීය. මායක්කායි ප්‍රදේශයයෙන් හමු වූ ශිලා මෙවලම්, පුරාශිලා යුගයට අයත් යැයි නිගමනය විය. කහඳ පාෂාණයෙන් නිමවා තිබූ කැපුම් ආයුධවලින් යුත් ආයුධ අතර අත්පොරොව මෙම ශිලා මෙවලම් වලින් සුවිශේෂි විය. ඉරණමඩු හා බුන්දල ප්‍රදේශයේ “මිනිහා ගල්කන්ද” නම් වූ ස්ථානයෙන් සොයාගත් වසර 125,000 ක් පැරණි ශිලා මෙවලම් ලංකාවෙන් මෙතෙක් හමු වූ පැරණිතම සාධක ලෙස සැලකු අතර යාපනයෙන් සොයාගත් ශිලා මෙවලම් අදින් වසර 600,000 හෝ (හය ලක්ෂයක්) හෝමෝ ඉරෙක්ටස් මානව සංස්කෘතිය නියෝජනය කරන්නක් බව විද්වතුන්ගේ මතයයි. එය ඇචූලියන් ආයුධ සම්ප්‍රදායට අයත් ශිලා මෙවලම් ලෙස හඳුනා ගෙන ඇත.


ආචාර්ය ශිරාන් දැරණියගලයන් පෙන්වා දෙනුයේ ශිලා මෙවලම් හමු වූ මායක්කායි පෙදෙසෙහි පාරිසරික තත්ත්වය ඉපැරණි විල්ලුවක ලක්ෂණ පෙන්නුම් කරන බවත් එය ඇචූලියන් සාම්ප්‍රදායික මිනිසා භාවිත කළ භූමියක් විය හැකිය යන්නය. කුඩා පඳුරු සහිත මෙම භූමිය අක්කර 55 ක් පුරා පැතිර පවතී.


කඳුරුගොඩ විහාරය පිහිටි කන්දරෝඩියට ළඟාවීමට යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් හන්දිය දක්වා ගමන් කළ යුතුය. කන්දරෝඩෙයි (කන්තරෝඩය) පිළිබඳව විවිධ මතවාද පවතින අතර මහාවංශයට අනුව සංඝාමිත්තා තෙරණියගේ ලංකා ගමන හා සම්බන්ධ වේ. එනම් ලක්දිවට වැඩි මහරහතන් වහන්සේලා 60 නමක් මෙම පෙදෙසේ වැඩවාසය කළ හෙයින් උන්වහන්සේලා අපවත් වීමෙන් අනතුරුව එම ශාරීරික ධාතු නිදන්කොට මෙහි ස්තූප 60 ක් ඉදිකළ බව සඳහන්ය. අක්කර 72 ක් පමණ වූ භූමි ප්‍රමාණයක් රක්ෂිත කලාපයක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් එකල වෙන්කරනු ලැබීය. විටින් විට මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබූ අතර එහිදී මතුකරගත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නටබුන් අතර දුර්ලභ කවන්ධ බුදු පිළිමයක කොටස් ද හමු විය.


එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේගේ ප්‍රධානත්වයෙන් 1965 දි සිදුකළ පුරාවිද්‍යා කැණීම් මඟින් ඉතා වැදගත් සාධක මතුකර ගැනීමට හැකිවිය. එහි දී ස්තූප 21 ක් නිරාවරණය කරගත් අතර ස්තූප 36 ක පාදම් මතුකර ගැනීමට පුළුවන් විය.


ආචාර්ය ශිරාන් දැරණියගල කන්දෙරෝඩිය සම්බන්ධව දක්වන අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කරනුයේ මෙය ලංකාවේ හතරවැනි මානව ජනාවාස පෙදෙස නියෝජනය කරන බවයි. අනුරාධපුරය පළමු යුගය ලෙසත්, තිස්සමහාරාමය දෙවැන්නත්, මන්නාරමේ මාතොට හෙවත් මහාතිත්ථ වරාය ආශ්‍රිත පෙදෙස තෙවැන්න ලෙසත් කන්දරෝඩෙ (කඳුරුගොඩ විහාරය) ආශ්‍රිත මානව ජනාවාස පෙදෙස සිව්වැන්නත් ලෙස දැරණියගලයන් පෙන්වා දෙයි.


1970 දශකයේ දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කැණීමේ දී කානේලියන් පාෂාණයෙන් නිම වූ මුදුවක් හමු වූ අතර එහි මුද්‍රාවෙන් අශ්වාරෝහකයෙක් නිරූපණය කොට ඇත. ඊට අමතරව අක්ෂර සහිත මැටි බඳුන් කැබලි සොයාගන්නට හැකි විය.


යාපනයේ දක්නට ලැබෙන පැරණි ගොඩනැගිලි අතර නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මන්ත්‍රී මාළිගය සුවිශේෂි තැනක් හිමිකර ගනී. සිංහල ව්‍යවහාරයෙන් රාජමන්ත්‍රී මාළිගය ලෙස ද මන්ද්‍රිමානායි නමින් දෙමළෙන් ද හැඳින්වේ. මෙම ස්ථානය සංකිලියන් රජවරුන්ගේ මාළිගය ලෙස ද ඇතැමුන්ගේ විශ්වාසයයි. ආර්ය චක්‍රවර්ති පරපුරේ අවසාන යුගය නියෝජනය සංකිලියන් රජුගේ කාලය ලෙස ඉතිහාසයේ සඳහන්ය. මෙම ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම පෘතුගීසි යුගයේ දී එකතු කරන්නට ඇති බවත් 1890 දී ඒ.එස්. තම්බයියා පිල්ලේ විසින් මෙහි ප්‍රධාන දොරටුව නැවත ඉදිකරවූ බව ඊට සම්බන්ධ ද්‍රවිඩ සෙල්ලිපියක දක්වා තිබේ.


එමෙන්ම නල්ලූර් පේදුරුතුඩුව මාර්ගයේ පිහිටා ඇති සංගිලියන් තෝප්පු හෙවත් සංගිලියන් දොරටුව යාපන අර්ධද්වීපයේ ඇති පුරාවස්තු අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනී. මෙය සංගිලියගේ පැරණි මාළිගයට ප්‍රවේශ වන දොරටුව ලෙස සැලකේ. මෙම ස්මාරකය යාපනය රාජධානියේ විසූ සංගිලියන් හෝ සංකිලි (ක්‍රි.ව. 1519) ගේ නමින් හඳුන්වා ඇත. මෙය සංගිලියන් තෝප්පු ලෙස නම්කොට ඇති අතර තෝප්පු යනු තොරණ බවත් දැක්වේ. ගඩොලින් නිමවා හුණු බදාමයෙන් කපරාරු කොට ඇති මෙහි අලංකාර කැටයමින් යුක්තය.


යාපනය කොටුව සම්බන්ධව රුබෙයිරෝගේ “ලංකා ඉතිහාසය” කෘතියෙහි “යාපා පටුන බලකොටුව හතරැස් වූ අතර අට්ටාල හතරක් ද අඩසඳ හතරක් ද තාප්පයක් ද තිබිණි. මේවා සාදා තිබුණේ කොරල් ගල් වලිනි. අවශ්‍ය තුවක්කු මෙහි තිබුණු අතර, රාජධානියේ ආණ්ඩුකාරවරයා ද මෙහි විසුවේය. තාප්පයට පිටින් එක පැත්තක නගරය පිහිටා තිබුණි. යුරෝපීය පාලන සමය තුළ දක්නට ඇති වැදගත්ම පුරාවිද්‍යා උරුමයක් ලෙස යාපනය කොටුව හැඳින්වීම නිවරැදිය” යන්න දක්වා තිබේ. ක්‍රි.ව. 1619 පෘතුගීසින් විසින් මෙම බලකොටුව ගොඩනැංවූ අතර ලන්දේසී පාලන කාලයේ දී නැවත ගොඩනැංවීමක් සිදුකර ඇත. 1658 දී ලන්දේසීන්ට මෙම බලකොටුව යටත් විය. පෘතුගීසින් චතුරස්‍රාකාර ලෙස නිම වූ බලකොටුව ලන්දේසින් විසින් පංචාස්‍රාකාර හැඩයට නිමවීය. කොටුවේ පිට ප්‍රාකාරය අඩි 40 ක් පළලින් ද අඩි 30 ක් උසකින් ද යුක්ත වූ අතර අක්කර 64 ක භූමිභාගයක් පුරා විහිදී ඇත.


උතුරු පළාතේ ආරක්ෂා කර ගත යුතු උරුමයන් අතර ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි බයෝබැබ් ගස නම්කළ හැකිය. මෙම ශාකය සීකිරියාම්පල්ලම් වැව ආසන්නයේ දක්නට ලැබෙන අතර අශ්වයින්ගේ ආහාර පිණිස ආරාබි වෙළඳුන් විසින් මෙරටට ගෙන එන ලදැයි සැලකේ. මෙහි පත්‍ර සතුන්ගේ ප්‍රියතම ආහාර වේ. අඩි 50 ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත මෙම ශාකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙවැනිම වූ බයෝබැබ් ශාක මන්නාරම පල්ලිමුනෙයි හා තලෙයිමාන්නරමේ ද දැකිය හැකිය. 


ඩෙල්ෆ්ට් දූපතේ ඇති පෞරාණික බෞද්ධ නටබුන් සහිත පැරණිම ස්ථානය ලෙස එදිරේසන්ගේ කොටුව නමින් හඳුන්වනු පෙදෙසේ ඉදිකළ මෙම ස්තූපය දැක්විය හැකිය. ක්‍රි.පූ. 2 වන සියවස මෙහි ආරම්භක අවදිය ලෙස සැලකේ. අඩි 34 ක විෂ්කම්භයකින් යුතු ප්‍රධාන ස්තූපය සංරක්ෂණය කොට ඇති අතර එය අඩි 03 ක ප්‍රමාණයකින් යුක්තය. මෙම පෙදෙසේ පිහිටි උසම ස්ථානයේ කොරල් ගල් උපයෝගි කොට ගෙන ස්තූපය නිමවා තිබේ. එමෙන්ම එයට බටහිර හා නැගෙනහිර දිශානුගතව තවත් ස්තූප දෙකක් දක්නට ලැබේ. ඒවායේ පාදම පමණක් දැනට ශේෂව පවතී. මෙම භූමිය පුරාම පැරණි වළං කැබිලිති විසිරී ඇත. ඒ අනුව ඩෙල්ෆ්ට් දූපතේ බෞද්ධ නටබුන් සහිත ස්ථාන ද රැකිය යුතු උතුරේ උරුමයන්ය.


සිළුමිණ 

2020 ජුනි 14

රුක්ෂිලා වෙත්තමුණි 


3 comments:

  1. ගිය අවුරුද්දේ ඩෙල්ෆ්ට් ගියා කට්ටියම.. මම අවුරුදු ගානක් ගිහින් ගිහින් ඇවිත් තිබ්බට වල් අශ්වයන්ට අමතරව ඩෙල්ෆ්ට් වල කොච්චර දේවල් බලන්න තියෙනවද කියල හිතුන,

    එතකොට අර පතුල නොපෙනෙන ලිඳ ගැන පුරාවිද්‍යා කැණීම්/ සොයා බැලීම් කරලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. මං ඩෙල්ෆ්ට් ගැන වෙනම ලිපියක් ලිව්වා. ඉදිරියේ දි දාන්නම් ඒකත්.
      ළිඳ ගැන හරියට ම තොරතුරු හොයල කියන්නම්.

      Delete