ඇමුණුම්
- ආස්වාදය ලත් පොතක වත (4)
- ඉතිහාසය හා පුරාවිද්‍යාව (4)
- එහෙන් මෙහෙන් (26)
- කවි වගේ කවි (49)
- ජීවිතේ ලස්සන දවස් (1)
- පොතක් කියවා දැනුණු දේ........ (1)
- මං පත්තරේට ලිව්ව දෑ (19)
- මා ගත් සේයා රූ (18)
- මා ලියූ කෙටිකතා (2)
Friday, November 19, 2021
මහායානික සාධක ශේෂ වූ විජයාරාමය
Thursday, October 8, 2020
අතීත මානව සමාජය පිළිබිඹු කරන ඉබ්බන්කටුව සුසානය
මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉබ්බන්කටුව, කලා ඔයේ පෝෂක ශාඛාවක් වූ දඹුලු ඔයේ වම් ඉවුර කේන්ද්‍රගතකොට ගෙන කුරුණෑගල ත්රිකුණාමලය පාරේ දඹුල්ලට සමීපව පිහිටා ඇත. ඉබ්බන්කටුව ජලාශයේ ඉහත්තාවේ ස්වභාවික ගොඩැල්ලක හෙක්ටයාර් 13 ක භූමිය වසා පැතිරී පවතින ඉබ්බන්කටුව සුසාන භූමිය මෙගලිතික සම්ප්‍රදායට (මහාශිලා සම්ප්‍රදාය) අයත් ශිලා මංජුසා සුසාන (Cist burials) ස්වරූපයේ සොහොන් ගණනාවකින් සමන්විත වන අතර, එය මෙරටින් සොයා ගත් මනාලෙස සංරක්ෂිත පූර්ව-ඓතිහාසික සුසාන භූමියකි.
1970 දී එවකට පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි ආචාර්ය රාජා ද සිල්වා විසින් ඉබ්බන්කටුව සුසාන භූමියෙහි පළමු පුරාවිද්යා කැණීම් කටයුතු කළ අතර 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය මගින් මූලික ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදු කරනු ලැබීය. 1983-1984 යන කාල වකවානු වලදී එම ව්‍යාපෘතියෙන් සුසාන භූමියේ උතුරු කෙළවරෙහි පිහිටි සුසාන ගර්භ පොකුරක් විවෘත කෙරිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ මැදිහත් වීම මත 1986 දි සමස්ත සුසාන භූමියෙහිම අධ්‍යනයකින් පසුව විස්තරාත්මක සැලසුමක් සකස් කරන්නට විය.
ඉන් පසුව 1988 හා 1990 දී මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනය සහ ජර්මනියේ කාවා (The Kommission fur Algemeine und Vergleichende Archaeologie) යන ආයතන එක්ව දෙස් විදෙස් ගවේෂකයන් විසින් සිදුකළ පුරාවිද්‍යාත්මක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස සොහොන් කොත් 21 ක් සොයා ගන්නට හැකිවිය. ඉබ්බන්කටුවෙන් ලැබුණු අඟුරු සාම්පල රේඩියෝ කාබන් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව එය ක්‍රි.පූ. 6 වන සියවසට අයත් යැයි නිගමනය විය.
ජර්මනියේ කාවා අරමුදලේ අනුග්‍රයෙන් කැලණිය විශ්වවිද්‍යාලය මගින් 1988 දී කැණීමක් ආරම්භ කරන ලද අතර වර්ග මීටර් පහළොවක් පමණ භූමි ප්‍රමාණයක් මෙම කැණීමට යොදා ගෙන තිබුණි. මේ අවස්ථාවේ දී සුසාන 10 ක් මතුකර ගැනීමට හැකිවිය. එහි මැටියෙන් කළ බරණි රාශියක් හඳුනා ගනු ලැබීය. එසේම මිනී දැවූ පිලිස්සු ආදාහන වේදිකාවක්ද මතු කර ගැනීමට හැකි වූ බව සඳහන්ය. මැටි බරණි තුළ විචිත්‍ර කානේලියන් පබළු සහ ඔනික්ස් ගණයේ මාල හමු වීම සුවිශේෂීය.
1988 කරන ලද කැණීමේ දී මතු කරගත් එක් සොහොනක ගල් පියනක් මත දකුණු ආසියාවේ පැරණිතම ශිලා සටහනක් හමු විය. පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරනු ලැබූයේ මෙම පියන් ගල් වලින් හමු වූ සංකේත අක්ෂර දෙක ඉන්දියාවේ මොහෙන්දෝජාරෝ -හරප්පා වලින් හමු වූ සංකේත හා සමාන බවය. මෙම සංකේතය බ්‍රහ්මී “බ” අක්ෂරයට එකතු කළ සංකේතයක් ලෙසින් පෙනුන ද මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහස වූයේ ඉබ්බන්කටුව ශිලා සංස්කෘතිය දකුණු ඉන්දියාවේ මෙගලිතික සංස්කෘතියක් හෝ උතුරු ඉන්දියාවේ ප්‍රභවයක් හෝ නොවන බවය. මූල ඓතිහාසික යුගයේ සභ්‍යයත්වය ඉන්දියාවෙන් ආනයනය කරන ලද්දක් නොවන බව මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ අදහසයි. එහෙත් එකළ දේශපාලන, සමාජීය, ආර්ථික හා සංස්කෘතිකමය ලක්ෂණ වලින් දියුණු වුණු සමාජයකින් කලාපීය සම්බන්ධතා තිබෙන්නට ඇත.
2015 දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ එවකට අධ්යක්ෂ ජනරාල්ව සිටි මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ගේ මගපෙන්වීම යටතේ පුරාවිද්යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් බණ්ඩාර දිසානායක විසින් ඉබ්බන්කටුව මහා ශිලා සුසානයේ කැණීම් නැවත ආරම්භ කරන ලදී. එය මෙම සුසාන භූමිය සම්බන්ධව සිදුකළ පර්යේෂණ ඉතිහාසයේ තෙවන අදියරයයි. මෙම පුරාවිද්‍යාත්මක කැණීමේ දී මූලික අවධානය යොමු වූයේ ඉබ්බන්කටුව මහාශිලා සුසාන භූමියේ මූල ඓතිහාසික අවදියට අයත් මහාශිලා භූමි දර්ශනය (Megalithic Landscape) අධ්‍යයනය කිරීමයි. ඒ අනුව එහි නිර්මිත පරිසරය (built environment) හා ද්‍රව්‍යාත්මක සංස්කෘතිය (Material Culture) කෙරෙහි විශේෂයෙන්ම සැලකිල්ලක් දැක් වූ අතර තදාශ්රිත පරිසරය පිළිබඳ වාර්තා කිරීමට මෙම කැණීම මගින් හැකිවිය.
මෙහිදී අවධානය යොමු කරවනු ලැබූයේ මීට පෙර අවස්ථාවේ දී සොයා ගත් 21 සුසාන පොකුරට මඳක් බටහිරින් පිහිටි සුසාන ය. බටහිර පෙදෙසෙහි මතුපිට සුසාන ගර්භ 2 ක් දක්නට ලැබීම හා එහි පොළොවෙහි ස්වභාවය එම ස්ථානය තෝරා ගැනීමට හේතුවිය. මෙම කැණීමේ දී සුසාන ගර්භ 47 ක් අනාවරණය කරගැනීමට හැකි වූ අතර ශිලා මංජුසා (Stone cist) 26 ක් සහ බරණි (Clay urn) සුසාන 21 ක් මතුකර ගැනීමට හැකිවිය. මින් බරණි සුසාන 6 ක අභ්යන්තර කැණීම් සිදුකළ අතර ඒ සියලු බරණිවලින් අස්‌ථි කොටස්, පුරාණ පබළු සහ මෙවලම් යනාදි වශයෙන් මානවකෘති සොයා ගැනිණි.
මෙගලිතික් යන්නට ග්‍රීක භාෂාවෙන් විශාල ගල් යන්නට අර්ථ දක්වා ඇති අතර ගල් පුවරු උපයෝගී කොට ගෙන මෙම සොහොන් කොත් නිමවා ඇත. ඇතැම් සොහොන් කොත් ගල් පියන්වලින් වසා තිබුණු අතර එහි අභ්යන්තරයේ විවිධ ප්‍රමාණයේ මැටි භාජන තබා ඒවායේ මළවුන්ගේ අළු තැන්පත් කොට තිබුණි. මෙම මැටි බඳුන් විවිධ හැඩයන් ගත් අතර කාලරක්ත (කළු රතු) මැටිබදුන් විශේෂය (Black and Red Ware), හා රතු මැටිබදුන් විශේෂය (Red Ware), යනුවෙන් වර්ග දෙකකින් යුක්ත විය. මින් විශාල බරණි අයත් වූයේ රතු මැටි බඳුන් විශේෂයටයි. එවැනි විශාල බරණි 20 ක් පමණ ද කුඩා ප්‍රමාණයේ කළු රතු මැටි බඳුන් 30 කට අධික ප්‍රමාණයක් හමූ වූ බව ද සඳහන්ය.
කැණිම් වාර්තාවේ දැක්වෙන පරිදි මෙහිදි අනාවරණය කරගත් මැටි බඳුන් ඒවා හමු වූ සන්දර්භ, භාවිතය හා ස්වභාවය අනුව කාණ්ඩ 4 ට වෙන් කරනු ලැබීය.
ඒකල බරණි (Solitary Urns) - මේවා විශාල භාණ්ඩ විය. සුසාන බඳුන් ලෙස භාවිත වී ඇත. සිරස් ආකාරයට තැන්පත් කොට ඇති මෙම බරණි පියනකින් (Lid cum bowl or Capstone) හෝ පියන්ගලකින් ආවරණය කොට තිබේ.
තරමක් විශාල බරණි (Main urns with serving ware in the cist) - මේවා ශිලාකුටීර සොහොන් අභ්යන්තරයේ තැන්පත් කොට ඇති ප්‍රධාන සුසාන භාණ්ඩයි. ඒවා සිරස් හෝ තිරස් ආකාරයට තැන්පත් කොට තිබේ.
වත් සිරිත් භාණ්ඩ (Supplementary serving ware) - සුසාන ගර්භ අභ්යන්තරයේ තැන්පත් කොට ඇති විවිධ ප්‍රමාණ හා හැඩවලින් යුක්තය.
පිදවිලි භාණ්ඩ (Secondary urns or Offering pots)
මෙම කැණිමෙන් ලැබුණු බරණි ප්‍රධාන ප්‍රවර්ග (Burial type) දෙකකට අයත් වන අතර ඒවා ශිලා මංජුසා (Stone cist) සහ බරණි (Clay urn) සුසාන යනුවෙන් දක්වා ඇත. එමෙන්ම සුසාන වාස්තුවිද්‍යාව, ඉදිකිරීමේ ස්වභාවය, අන්තර්ගත සුසාන ද්‍රව්‍ය සහා සුසාන බඳුන් තැන්පත් කොට ඇති ආකාරය යන ලක්ෂණ අනුව ඒවා උප වර්ග 12 කට වර්ග කොට තිබේ.
ආයතාකාර හා චතුරස්‍රාකාර හැඩවලින් යුක්තව විවිධ ප්‍රමාණවලින් ශිලා මංජුසා සුසාන ගර්භ සමන්විත විය. එසේම පියන්ගල් රහිත හා පියන්ගල් සහිත යනුවෙන් සුසාන දෙයාකාරයකි. බරණි සුසාන වර්ග කිහිපයකි. එනම්, පියනක් සහිත බරණි සුසාන හා මතුපිටින් පියන්ගලක් තබන ලද සුසාන බරණි යනුවෙනි. කැණීමෙන් සොයාගැනුණු සොහොන්ගත කළ බරණි 47 අතරින් 21 ම මළවුන්ගේ අළු තැන්පත් වූ මැටි භාජනය.
තඹ සහ යකඩ ලෝහයෙන් කළ මෙවලම් සහ විවිධ අමුද්‍රව්‍යවලින් හා හැඩවලින් යුතු පබළු වර්ග ද ටෙරාකොටා නිර්මාණ, මාල, වළලු, කරාබු ආදිය ද මෙහි දී හඳුනාගන්නට හැකි වූ අතර කානීලියන්, ඇගේඩ් යන දකුණු ඉන්දියානු කලාපයට ආවේණික විශේෂිත පබළුවලින් කළ ආභරණ අවශේෂ එයින් සොයාගත් විශේෂිත පුරාවස්තු අතරට අයත් වේ.
සුසාන ගර්භ තුළ තැන්පත් කරන ලද පැරණි පබළු බොහෝ ප්‍රමාණයක් අනාවරණය කර ගැනීමට හැකිවිය. මෙම පබළු කැණිම් කරන අවස්ථාවේ දී මෙන් ම ගර්භයේ තිබුණු පස් ඉවත් කොට වියළි හා තෙත හැලීමේ දී හමු වූ බව සඳහන්ය. තිරාවාණ (Clear quarts) හා කානීලියන් (Carnilean) යන ඛණිජ වලින් පබළු නිමවා තිබුණු අතර මැටි මුවා පබළු (terra-cotta) ද හමූ වූ බව සඳහන්ය.
ඉබ්බන්කටුව සුසානය ශ්‍රී ලංකාවෙන් හමු වූ මූල ඓතිහාසික සුසාන භූමි අතුරෙන් විශාලතම සුසාන භූමියයි. මුල්කාලීන යකඩ යුගයට අයත් වූ මෙරටින් සොයා ගැනුණු මානව ජනාවාසය හා ඊට අනුබද්ධ සුසාන භූමිය ලෙස ඉබ්බන්කටුවට නුදුරින් සොයාගත් පොල්වත්ත නමින් හැඳින්වෙන ජනාවාස භූමිය නම් කළ හැකිය. ඉබ්බන්කටුව සුසාන භූමියට සමාන්තරව ඉබ්බන්කටුව වැවට ඉහළින් මෙම පොල් වත්තේ ජනාවාසයක අවශේෂයන් හඳුනාගත හැකිය. එම ජනාවාසයේ සිටි මිනිසුන්ගේ මළමිනී මෙහි මිහිදන් කරන්නට ඇතැයි යන්න අදහසයි. සීගිරිය සහ යටිගල්පොත්ත ප්‍රදේශ වලින් මෙම කාල වකවානුවට අයත් යැයි සැලකෙන සුසාන හමු වූවද මෙහි විශේෂත්වය වනුයේ ඉබ්බන්කටුවෙ මහශිලා සුසානය ඉතා විශාල වීමය.
පූර්ව ඓතිහාසික සංස්කෘතියට අදාළ (එනම්: ක්‍රි.පූ.1000, අදින් වසර 3000කට පෙර) පැරණිතම සාධක ලෙස වාර්තා වන්නේ අනුරාධපුර ඇතුළු-නුවරිනි. විකිරණ මාන දින නියමය හා ඔක්ස්කැල් කාලනිර්ණය අනුව මේ සංස්කෘතිය ක්රි.පූ.1000 තරම් ඈතට දිවෙන බව ආචාර්ය ශිරාන් දැරණියගලගේ අදහසයි. එමෙන්ම මෙගලිතික සුසාන ආශ්‍රිතව පැරණිතම කාලනිර්ණ (ක්රි.පූ.800) දැනට කොක්එබේ ප්‍රදේශයෙන් ලැබී තිබේ.මධ්‍ය යාන්ඔය නිම්නය තුළ යකඩ හා තඹ කර්මාන්තය මෙන් ම රන් කර්මාන්තය ට අදාළ තොරතුරු ක්රි. පු. 800 පමණ කාලය වන විට ලැබීම ඉතා ම වැදගත් වේ.
හුදෙකලා කඳු වැටයකින් වටව සරුපසින් යුතු භූමියක් ලෙස මධ්‍ය යාන්ඔය නිම්නය ආශ්‍රිත පූර්ව ඓතිහාසික අවධියේ දී එහි පරිසරය සැකසී තිබුණි. එසේනම් පරිසරය ඇසුරු කොට ගෙන පූර්ව ඓතිහාසික ජනාවාස ගණනාවක් ස්ථානගතව ඇති බව හඳුනාගත හැකිය. ගුරුගල්හින්න, දිවුල්වැව, කොක්එබේ, රඹෑව, වඩිගවැව, තම්මැන්නාගොඩැල්ල, පරංගියාවාඩිය යනාදිය එසේ පරිසර පද්ධතිය මුල්කොට ගෙන බිහි වූ ජනාවාසයන්ය. මෙවැනි හුදෙකලා කඳු හෝ ගොඩැලි සහිත භූවිෂමතාව නිසා ඒ පරිසරයේ ස්වාභාවික භූපතනයක් (Hollow) නිර්මාණය වී ඇති බවත් මේ භූපතන ඊසානදිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම සමඟ ජලය රැඳෙන ස්ථාන බවට පත්වන බවත් සඳහන්ය. පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාසවල ස්ථානගත වීම පිළිබඳ විමර්ශනය කිරීමේදී මෙවැනි භූපතන සහිත ස්ථානවල එම ජනාවාස ස්ථානගත වී ඇති බව මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නයන්ගේ අදහසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉබ්බන්කටුව, ඉදමොරළුවවැව, පොම්පරිප්පුව යනාදි ස්ථානවලින් මේ ජනාවාස පිළිබඳව හඳුනාගත හැකි බවයි.
දිවයිනේ විවිධ පෙදෙස්වලින් මෙවැනි සුසාන භූමි ඉතා බහුල ලෙස හමු වූව ද ඉබ්බන්කටුව මහාශිලා සුසානය අතීත මානව සමාජයේ එක් පැතිකඩක් නිරූපණය කරන ප්රබල සාධකයකි. මෙම තොරතුරු අනුව සනාථ වනුයේ අතීතයේ දී ශ්‍රී ලාංකිකයන් පූර්ව ඵෙතිහාසික යුගයේ දියුණු තාක්ෂණයකින් හෙබි සංස්කෘතියකට හිමිකම් කී මානව පිරිසක් බවය.
සිළුමිණ
2020 ජූලි 12
රුක්ෂිලා වෙත්තමුණි
Monday, October 5, 2020
කටුවන ඕලන්ද කොටුව සඟවා ගත් ඉතිහාසය
Saturday, October 3, 2020
නැගෙනහිර උරුමය හෙළිකරන ඓතිහාසික ප්‍රෞඪත්වය
පාචීනපස්ස හා උත්තරපස්ස ලෙස අරුත් ගැන්වෙන නැගෙනහිර හා උතුරු පළාතට අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වව්නියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක අයත්ය. මහවැලි ගඟ, මෙම ප්‍රදේශ දෙක වෙන් කරන සීමාව වූ අතර එය අවසානයේ දී නැගෙනහිරට ගලා ගොස් මිණිපේ පෙදෙස හරහා ත්‍රිකුණාමලයේ ගෝකණ්ණතිත්ථ නමින් හැඳින් වූ කොට්ඨසාර (කොඩ්ඩියාර්) දෙසින් මුහුදට ගලා බසී.
නැගෙනහිර පළාතේ වැඩි කොටසක් නියෝජනය කරනුයේ රෝහණ දේශයයි. මහවැලි ගඟෙන් උතුරින් රජරටත් (පිහිටි) දකුණෙන් රෝහණයත් පිහිටා ඇත. වර්තමානයේ නැගෙනහිර පළාතේ දකුණු සීමාව කුඹුක්කන් ඔය ලෙසට සැලකේ. කකුධ නදී, කකුබන්ධ නදී, කුඹුබන් නදී ආදි වශයෙන් කුඹුක්කන් ඔය ව්‍යවහාර විය.
අතීතයේ දී දිගාමඩුල්ල නමින් හැඳින් වූ අම්පාර දිස්ත්‍රික්කය වර්තමාන බෙදීම් අනුව නැගෙනහිර පළාතට අයත් වන අතර මඩකලපුව, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට සීමා මායිම් වේ. මෙහි පරිපාලන කටයුතු අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පොතුවිල්, අක්කරපත්තුව, ඉරක්කාමන, දමන, පදියතලාව, උහන, සමන්තුරය, ලාහුගල හා අට්ටාලච්චේනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා සිදුවේ. අම්පාර පෙදෙසේ ඇති විශේෂත්වය වූයේ මෙම කලාපය පුරා විසිරී ඇති වඩාත් උස් නොවූ පර්වත මුදුන් ආශ්‍රිතව වෙහෙර විහාර ඉදිකර තිබීමයි. පැරණි සෙල්ලිපි වල දැක්වෙන ස්ථාන නාම හා වාරි නාම අනුව මෙම පෙදෙස ජනාවාසව පැවති බවට කදිම සාධකයකි. ඓතිහාසික ජනාවාසරකරණය පිළිබඳ සාධක සපයන සෙල්ලිපි, ස්ථානගත වී ඇති බොහෝ පෙදෙස් අතර ගනේගම කන්ද, උහන, වේරපුදාව, සන්ගමන්කන්ද, මුල්ලිකුලම්මලේ, පොකුණු දෙන, කොණ්ඩවටවන, රජගල යානාදි ස්ථාන විශේෂ වශයෙන් දැක්විය හැකිය.
ක්‍රි.ව. 9-10 සියවස් වලදී එකල මෙරට පැවති සමාජ, ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අම්පාර පිහිටි කොණ්ඩවටවන ටැම් ලිපිය ඉවහල් වේ. මෙම ලිපිය මඟින් දිගාමඩුල්ලේ ඇරෑගම හි පාලනය සම්බන්ධව පනවන ලද නීති පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වන අතර ප්‍රාදේශීය පාලනය, බඳු එකතු කිරීම් හා බැඳුණු තොරතුරු දැකගත හැකිය. එය IV වන දප්පුල රජු කල පිහිටුවන ලද ටැම් ලිපියකි.
කුමන ජාතික වනය ආශ්‍රිතව පිහිටා ඇති බෝවත්තේගල හා කොට්ටදැමූහෙල සෙල් ලිපි අනුව අනුරාධපුර යුගයේ දී මෙම පෙදෙස රුහුණේ ක්ෂත්‍රීයන් විසින් පාලනය කරන ලදැයි යන්න සඳහන්ය. අම්පාර පිහිටි සෙල් ලිපි විශාල ප්‍රමාණයකින් මෙරට පාලනය කළ රජවරු පිළිබඳ තොරතුරු බහුතරයක් අනාවරණය කර ගැනීමට හැකිය. ක්‍රි.ව. 650 දි පමණ රුහුණ පාලනය කළ දප්පුල රජු රුහුණු විහාරය කරවන ලද බවත් වර්තමානයේ එය මඟුල් මහා විහාරය යැයි හඳුනා ගැනීමටත් සෙල්ලිපි ඉවහල් විය. එමෙන්ම මහාදාඨික රජු අම්පාරෙ දකුණු දිශානුගතව පිහිටි කුඹුක්කන් ඔය ආසන්නයේ සමුද්ද විහාරය නමින් විහාරයක් කර වූ බව දැක්වේ. එය සමුද්‍රගිරි විහාරය නමින් වත්මනේ ව්‍යවහාර වේ.
අම්පාර ආශ්‍රිතව සියයකට අධිකව පෞරාණික ස්ථාන හඳුනා ගැනීමට හැකිය. ඒ අතර රජගල, දීඝවාපිය, සමන්ගල (බ්‍රාහ්මී අක්ෂර වලින් යුතු සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ගල් ලෙන් සමූහයක් ඇත), සමනබැද්ද, මඟුල් මහා විහාරය, කුඩුම්බිගල, නීලගිරිය, මුහුදු මහා විහාරය, ශාස්ත්‍රවෙල විහාරය, පරගහකැලේ නටබුන්, ලාහුගල කොටවෙහෙර, කඳුරුගොඩ, හෙනානිගල, නුවරගල කන්ද, ගොනාගොල්ල (පැරණි සිතුවම් ඇත), පියංගල ආරණ්‍ය සේනාසනය , පියංගල චිත්‍ර ලෙන, වැද්දාගල කන්ද නටබුන්, හීතවන්නිය කඳුබෑවුම, කොටිගල නටබුන්, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, කොණ්ඩවටවන නටබුන් හා ටැම් ලිපිය, නියුගුණ විහාරය යනාදි ස්ථාන ප්‍රධාන කොට දැක්විය හැකිය.
නැගෙනහිර පළාතට අයත් අනෙක් දිස්ත්‍රික්කය වන මඩකලපුව ද පෞරාණික නටඹුන් බහුල ලෙස විසිර පවත්නා භූමි පෙදෙසකි. සියඹලාදීපය යන්න අරුත්ව පුලියන්තිව් යන්න ද්‍රවිඩ භාෂාවෙන් ද මඩ බහුල කලපුවක් සහිත වූ බැවින් මැටි කලපු වී පසු කලෙක මඩකලපු වූ බව ද අදහසයි. එච්. සී. පී. බෙල්ගේ සටහන අනුව 1766 දී පෙරදිග ඉන්දියාවේ ලන්දේසි සමාගම මෙරට සමඟ අත්සන් තබන ලද ගිවිසුමේ සටහන්ව තිබෙන්නේ මඩකලපුව එම කාල වකවානුවේ දී කඳුකර පළාතට අයත්ව පැවති බවය. කඩඉම් පොතෙහි, මුල්කාල වකවානුවේ දී මඩකලපුව ඇතුළු පෙදෙස දීඝවාපිය ලෙස හැඳින්වූ බවත් 1833 ඔක්තෝම්බර් 01 දින කරන ප්‍රකාශයකින් සමස්ත දිවයිනම පළාත් පහකට කට බෙදා ඊට අදාළව ප්‍රදේශ නම් කළ බවත් දැක්වේ.
මඩකලපු ප්‍රදේශයට මුස්ලිම් ජනයා ව්‍යාප්ත වූයේ යැයි සැලකෙන්නේ ක්‍රි.ව. 8 වන සියවසේ දී මෙරටට පැමිණි අරාබි වෙළෙන්දුන්ගෙනි. එසේම පෘතුගීසින් විසින් 1622 දී මඩකලපුව අල්ලා ගත් අතර ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීම සඳහා එහි විසූ ද්‍රවිඩ ජනයා යොදා ගත් බව ද සඳහන්ය. පසුව 1639 දී ලන්දේසීන් මඩකලපුවේ බලය අත්පත් කරගත් අතර ඉංග්‍රීසි පාලන සමය වනතුරුම ලන්දේසීන් තම පරිපාලන කටයුතු මෙහෙය වනු ලැබූයේ එහි වූ බල කොටුවේ සිටය. නැගෙනහිර පළාතේ දිසාපතිවරයකු වූ R.A.G. Festing 1918 දී, කනගරත්නම් ගෙ මඩකලපුව විස්තරයට පෙරවදන ලියමින් ප්‍රකාශ කරනු ලැබූයේ, අතීතයේ දී සිංහල ජනයාගෙන් පිරී පැවති ප්‍රදේශයක් වූ මඩකලපුව තුළ තිබූ බොහෝ පෞරාණික නටඹුන් සියසින් දුටු බවය.
මඩකලපුව ආශ්‍රිතව දක්නට ලැබෙන පෞරාණික ස්ථාන අතර මඩකලපුව ලන්දේසි කොටුව ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා සේම කල්අඩි පාලම හා සම්බන්ධ පැරණි මාර්ගය, පුළුකුණාව රජමහා විහාරය, මඩකලපුව ප්‍රදීපාගාරය, රූගම වැව, කුසලානකන්ද, කලුදුපොතනමලේ, කොකාගල, එරුවිල, වහෙර උඩුමහලේ නටබුන් හා මාමංග පුල්ලෙයාර් දේවාලය යනාදිය ප්‍රධාන කොට සඳහන් කළ හැකිය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන වැදගත් ස්‌ථාන රැසක් පවතී. පදවි ශ්‍රීපුර, ත්‍රිකුණාමලය, සේරුවිල, වෙරුගල්, කඩවත්සතර, කුච්චවේලි, ගෝමරන්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යටතේ එහි පරිපාලනමය කටයුතු සිදුවේ. ත්‍රිකුණාමලය පුරා විසිරි ඇති පෞරාණික ස්ථාන අතර රන්මඩු රජ මහා විහාරය, ලංකාපටුන සමුද්‍රගිරි විහාරය, සේරුවිල මංගල රජමහා විහාරය, පාෂාණ පබ්බත විහාරය, කන්නියා (කින්නියා) උණුදිය ළිං, ත්‍රිකුණාමලය කොටුව, අසිරිමලේ රජමහා විහාරය, තිරියාය වටදාගෙය, වෙල්ගම් වෙහෙර, රිදී කන්ද (පැරණි ආරාම සංකීර්ණයක්) හා රංගිරි උල්පත විහාරය (පැරණි ආරාම සංකීර්ණයක්) යනාදිය පුමුඛස්ථානයක් ගනී.
සංවිධානාත්මකව සිදුකරනු ලබන පුරාවස්තු හානිය අද ඉතා බරපතළ තත්ත්වකට පත්ව ඇත. ත්‍රිකුණාමලය, ජිලාන්කුලම, කුච්චවේලි, තඹලගමුව, සේරුවිල, කින්නියා වැනි ප්‍රදේශ එසේ අවධානමට ලක්වුණු ස්ථාන අතර ප්‍රමුඛස්ථානයක් ගනී.
කුච්චවේලි හි පුරාවස්‌තු රැසක් ත්‍රිකුණාමලයෙ මනරම් වෙරළ තීරයක් වන නිලාවැලි ප්‍රදේශයට උතුරු දෙසින් පිහිටා ඇත. මුහුදු ඛාදනය හේතුවෙන් මෙම නටඹුන් ශිඝ්‍ර ලෙස විනාශ වෙමින් පවතී. මෙම ප්‍රදේශය තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ලංකාවට ගොඩ බැස්ස ස්‌ථානය යැයි සැලකෙන අතර එය වර්තමානයේ කල්ලරාම යනුවෙන් හඳුන්වයි.
1979 දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුච්චවේලි පුරාණ රජමහා විහාරය සම්බන්ධව අවධානය යොමුකොට එහි ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නට උත්සාහ දරන ලද අතර 1984 දි කුච්චවේලි ආසන්නයේ පිහිටා තිබූ තානායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සිදුකරගනු ලැබීය. එසේම පිච්ච මල් විහාරය නමින් ද මෙම විහාරය හැඳින්වේ. 2013 අගෝස්තු 13 දින අංක 1823/73 දරන ගැසට් නිවේදනය මගින් පිච්චමල් විහාරයේ පිහිටි පැරැණි දාගැබ හා ලෙන් ඇතුළු අවශේෂ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ද ප්‍රකාශයට පත් කෙරිණි.
1998 වසරේ දි දීඝවාපිය ප‍්‍රදේශයේ ඉඩම් බෙදීමක් සිදු කිරීමට දරන ලද උත්සාහයක් සමාජයෙන් එල්ල කරන ලද දැඩි විරෝධය හේතුවෙන් නතර කරන්නට සිදුවිය. දීඝවාපියෙන් පසුව දැවැන්ත ලෙස බෞද්ධ උරුමයන් සංහාරය සිදුවූයේ අක්කරපත්තුවේය. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව - ආලියඩිවේම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඵෙතිහාසික දාගැබක් ඩෝසර් කර විනාශ කිරීම මින් ප්‍රධාන තැනක් ගනී.
මොට්ටයාගල පර්වතය පාමුල තිබූ ඉපැරැණි ගරා වැටුණු චෛත්‍යයක් ද 2012 වසරේ සැප්තැම්බර් මස දි එම ස්ථානයේ ගොවිතැන් කටයුතු කළ පුද්ගලයකු විසින් ඩෝසර් කර දමා විනාශ කරණු ලැබීය. මෙම ස්ථානය ඓතිහාසික තොරතුරු ඇතුළත් පුදබිමක් වන අතර රජවරුන්ගේ නොමද අනුග්‍රහය ලද භූමියක් බව ද සඳහන්ය. මහානාග, යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජවරුන්ගේ තොරතුරු ඇතුළත් සෙල්ලිපි මෙහි දක්නට ඇත. එමෙන්ම මෙම ස්ථානය මොට්ටයාපල්ලු හා මොට්ටයාමල නමින්ද හැඳින්වේ. පියගැට පේළි ඔස්සේ පර්වතයට නැගිය යුතු අතර කටාරම් සහිත ලෙන්, පොකුණු මෙන්ම පර්වතය මුදුනේ පෞරාණික ලක්ෂණ විද්‍යාමාන වන දාගැබ් හා ගොඩනැගිලිවල සලකුණු ද දක්නට ලැබේ.
මෙම පර්වතයේ සඳහන් සෙල්ලිපියෙහි අන්තර්ගතය ලෙස සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙනුයේ දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂත‍්‍රීයන්ගේ පරම්පරාව විය හැකිය) උපථර නාග නාග නම් රජකෙනෙක් ගමිණි තිස්ස විහාරය කරවා පැමිණ නොපැමිණ සංඝයාට පූජා කළ බව ය.
මෙම පෙදෙසේ ඇති ස්ථාන අතර උස් පර්වතයක පිහිටි සෙම්බුමලේ විහාරය ද විශේෂ ස්ථානයක් ගනී. එම පුදබිම වටා ඓතිහාසිකමය වටිනාකමකින් යුත් ආරණ්‍ය සේනාසන කිහිපයක් දර්ශනය වේ. බඹරගල වන සෙනසුන සෙම්බුමලේ සෑයට නැගෙනහිර දෙසින් ද දෙඹරගල වන සෙනසුන උතුරින් ද වසන්වැව චෛත්‍යය බටහිරෙන් ද, තිරියාය සහ රංගිරි උල්පත ඊසාන දිසාවෙන් ද සෙම්බුමලේ වටා මෙලෙස පිහිටා ඇත.
අක්‌කර දෙසීයක පමණ වපසරියක පැතිරුණු භූමියක් පර්වතය සිසාරා දක්නට ඇති අතර එම භූමිය පුරාම ඓතිහාසික වටිනාකමකින් යුත් සාධක බහුලව දක්නට තිබේ. එහි ස්‌තූපය පිහිටි මළුවට පිවිසීමේ දොරටුව බටහිර දිශානුගතව ඇත. එසේම හුණු ගලින් නෙළන ලද හිටි පිළිමයක් නැගෙනහිර දෙසට වන්නට දැකගත හැකි වුවද එම පිළිමයේ හිස විනාශයට පත්ව තිබේ. එහි සිවුරේ රැළි මැනවින් නිරූපණය කොට ඇති අතර එක් හස්තයක් අස්ථානගතය. ඊට නුදුරින් පොකුණු දෙකක් ද ගොඩනැගිල්ලක ශේෂ වූ නටබුන් ද ස්තූපයට ඊසාන දෙසින් දර්ශනය වේ. එසේම උස් ගල් කණු නවයකින් යුක්ත විශාල ගොඩනැගිල්ලක නටඹුන් ද දැකගත හැකිය. හුණු ගලින් නෙළන ලද පාද ලාංඡනයක් දාගැබට නැගෙනහිරින් ඇති අතර ගොඩනැගිලි පාදම් කිහිපයක කොටස් ද මතුව ඇත.
මෙලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැඩි අවධානමකට හා ව්‍යසනයන්ට ලක්ව ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් උසුලන පෞරාණික ස්ථාන රැසකින් සමන්විත නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරමින් කාලීන අවශ්‍යතාවයක් සපුරාලීම අතිශය ප්‍රශංසා සහගතය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ද ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් එම පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කර ආරක්ෂා කිරීම ද කඩිනමින් කළ යුතු සේම මෙම ක්‍රියාවලිය පිළිබඳ සැමගේම අවධානය ද යොමුවිය යුතුව ඇත.
සිළුමිණ
2020 ජුනි 21
රුක්ෂිලා වෙත්තමුණි
Wednesday, September 30, 2020
යාපා පටුනේ රැකගත යුතු උරුම
අලිමංකඩ පටු තීරුවට මායිම් වු වෙනම ප්‍රදේශයක් ලෙස උතුරු පළාතට අයත්ව පිහිටි යාපනය දිස්ත්‍රික්කයේ නියෝජිත භූමිය අර්ධද්වීපයක් ලෙස හඳුනාගත හැකිය. උතුරු මුහුදු තීරය සිසාරා පැතිරුණ යාපනය, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් යාපනය අර්ධද්වීපය සමන්විතය. වර්ග කිලෝමීටර් 1025 ක් පුරා ව්‍යාප්ත වූ යාපනය දිස්ත්‍රික්කය උතුරු දෙසින් කරෙයිනගර් සිට වල්ලිපුරම් දක්වා පුළුල්ව විහිදෙන අතර, දකුණු දෙසට වන විට එය ක්‍රමයෙන් පටු වේ.
ක්‍රි.ව. 14 වන සියවසේ පමණ සිට යාපනය, යාල්පානම් යන්න භාවිතයට පැමිණ ඇත. මෙම ප්‍රදේශය යාල්පානයන් පට්ටනම් ලෙස ක්‍රි.ව. 1435 විජයනගර රජ පරපුරේ තමිල්නාඩු තිරුමනික්කුක්ලි ශිලා ලිපියේ දැක්වේ. සිංහල සංදේශ කාව්‍යයන් හි යාපා පටුන නමින් හඳුන්වා ඇති අතර යාල්පානම් ලෙස දෙමළ සාහිත්‍ය මූලාශ්‍රවල යාපන රාජධානිය සඳහන්ය. නම්පොත නම් කෘතියෙහි දෙමළපට්ටනම ලෙසින් උතුරු දිග ප්‍රදේශය නම්කර තිබේ.
මයෝසීන චාතුර්ථික අවදියට අයත් භූමි නිර්මාණයකට උරුමකම් කියන මෙහි රතු, දුඹුරු පස්, රතු හා දුඹුරු වැලි, වෙරළ සහ වැලිවැටි, අවසාධිත හුණුගල් දැකිය හැකි කලාපයකි. ප්‍රාග් ඓතිහාසික අවදියේ සිට මානව ක්‍රියාකාරකම්වලට ලක්වුණු ප්‍රදේශයක් වූ යාපනය අනුරාධපුර සිට යටත් විජිත පාලන සමය දක්වාම විවිධ කාලරාමු නියෝජනය කරන පුරාවිද්‍යාත්මක සාධක බහුල ලෙස සමන්විත භූමියකි. යාපනය, කරෙයිනගර්, ඩෙල්ෆ්ට්, නල්ලූර්, කරවෙඩ්ඩි, වඩමාරච්චි, කෝපායි, පේදුරුතුඩුව, චාවකච්චේරි, වේලනෛ, තෙලිප්පලෛයි, වලිකාමම්, පුනරින්, චංකානෙයි, කයිට්ස්, උඩුවිල් යනාදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන බහුතරයක් දක්නට ලැබේ.
යාපන අර්ධද්වීපය කෙරෙහි යුරෝපීයන්ගේ අවධානය යොමු වීමට මූලික හේතුවක් වූයේ ස්වභාවිකව පිහිටි නැව් තොටුපොළවල්ය. එසේම අනෙක් ප්‍රධාන කරුණ කුළුබඩු වෙළදාමය. මහාවංශයට අනුව උතුරේ පිහිටි මාතොට වරාය විදේශීය සම්බන්ධතා පුළුල් ලෙස පවත්වාගෙන යාමට ඉමහත් පිටිවහලක් විය.
මාතොට වරාය පූර්ව ඓතිහාසික යුගයේ සිටම ප්‍රධාන වරායක්ව පැවතුණු බව 1982, 1984 කාලවකවානු වලදී J. කාස්වල්, M.E ප්‍රිකට් හා S.U. දැරණියගල විසින් සිදුකරන ලද කැණීම් වලින් සනාථ විය. 1979 දී යාපනය විශ්වවිද්‍යාලීය මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා, පේදුරුතුඩුවේ මායක්කායි අසල පිහිටි ලෙන් සහිත ස්ථානය පිළිබඳව මුල් වරට ගවේෂණයක් සිදු කරනු ලැබීය. එම ලෙනෙහි මුහුණත ආසන්නව 1983 දී ගල් ආයුධ සොයාගත් අතර එය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙස නම් කරන්නට විය. විමලා බෙග්ලි විසින් කන්දරෝඩෙයි සිදුකරනු ලැබූ කැණීමක් මඟින් එම ස්ථානය බෞද්ධ ආගමික නටබුන් ඇති ස්ථානයක් සේම පොළෝ මට්ටමේ සිට අඩි 12 ක් පමණ ගැඹුරට වන්නට ප්‍රාග් ඓතිහාසික සාධක සහිත භූමියක් ලෙස ද පෙන්වා දී තිබේ.
මෙහිදී අවදි 4 ක් නියෝජනය වන පරිදි කරුණු දක්වා ඇති අතර මුල්ම අවදිය ලෙසට යකඩ යුගයේ ශේෂ වූ සාධකත්, දෙවන අවදිය ලෙසට පූර්ව ඓතිහාසික සංස්කෘතික නියෝජිත මෙවලම් ද තෙවන අවදිය ලෙසට රූලේටඩ් මැටි බඳුන්, ලක්ෂ්මි කාසි, කොරල් කැබලි වලින් යුක්ත වූ බවත් සිව්වන අවදිය ලෙසට බෞද්ධ ශේෂ හඳුනා ගන්නටත් විය.
මහාචාර්ය K.ඉන්ද්‍රපාල 1980 දී මාන්තායි හි සිදු කළ කැණීම් වලින් පැරණි සුසාන භූමි දෙකක් හඳුනා ගැනිණි. මානව ඇට සැකිලි, සත්ත්ව ඇට කැබලි, කළු රතු මැටි බඳුන්, රතු මැටි බඳුන් මෙහිදී සොයාගත් අතර එම සුසාන හා පුරා කෘති ඉන්දියානු මෙගලිතික සුසාන සංස්කෘතියට සමාන යැයි සඳහන්ය.පේදුරු තුඩුවට නොදුරු මායක්කායි විවපාරිමලෛ ප්‍රදේශයේ 2001 දී යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන ලද ගවේෂණයේ දී ශිලා මෙවලම් රැසක් සොයාගන්නට විය.
2011 දී ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක හා ආචාර්ය නිමල් පෙරේරා යන විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කන්දරෝඩයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබීය. මායක්කායි ප්‍රදේශයයෙන් හමු වූ ශිලා මෙවලම්, පුරාශිලා යුගයට අයත් යැයි නිගමනය විය. කහඳ පාෂාණයෙන් නිමවා තිබූ කැපුම් ආයුධවලින් යුත් ආයුධ අතර අත්පොරොව මෙම ශිලා මෙවලම් වලින් සුවිශේෂි විය. ඉරණමඩු හා බුන්දල ප්‍රදේශයේ “මිනිහා ගල්කන්ද” නම් වූ ස්ථානයෙන් සොයාගත් වසර 125,000 ක් පැරණි ශිලා මෙවලම් ලංකාවෙන් මෙතෙක් හමු වූ පැරණිතම සාධක ලෙස සැලකු අතර යාපනයෙන් සොයාගත් ශිලා මෙවලම් අදින් වසර 600,000 හෝ (හය ලක්ෂයක්) හෝමෝ ඉරෙක්ටස් මානව සංස්කෘතිය නියෝජනය කරන්නක් බව විද්වතුන්ගේ මතයයි. එය ඇචූලියන් ආයුධ සම්ප්‍රදායට අයත් ශිලා මෙවලම් ලෙස හඳුනා ගෙන ඇත.
ආචාර්ය ශිරාන් දැරණියගලයන් පෙන්වා දෙනුයේ ශිලා මෙවලම් හමු වූ මායක්කායි පෙදෙසෙහි පාරිසරික තත්ත්වය ඉපැරණි විල්ලුවක ලක්ෂණ පෙන්නුම් කරන බවත් එය ඇචූලියන් සාම්ප්‍රදායික මිනිසා භාවිත කළ භූමියක් විය හැකිය යන්නය. කුඩා පඳුරු සහිත මෙම භූමිය අක්කර 55 ක් පුරා පැතිර පවතී.
කඳුරුගොඩ විහාරය පිහිටි කන්දරෝඩියට ළඟාවීමට යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් හන්දිය දක්වා ගමන් කළ යුතුය. කන්දරෝඩෙයි (කන්තරෝඩය) පිළිබඳව විවිධ මතවාද පවතින අතර මහාවංශයට අනුව සංඝාමිත්තා තෙරණියගේ ලංකා ගමන හා සම්බන්ධ වේ. එනම් ලක්දිවට වැඩි මහරහතන් වහන්සේලා 60 නමක් මෙම පෙදෙසේ වැඩවාසය කළ හෙයින් උන්වහන්සේලා අපවත් වීමෙන් අනතුරුව එම ශාරීරික ධාතු නිදන්කොට මෙහි ස්තූප 60 ක් ඉදිකළ බව සඳහන්ය. අක්කර 72 ක් පමණ වූ භූමි ප්‍රමාණයක් රක්ෂිත කලාපයක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් එකල වෙන්කරනු ලැබීය. විටින් විට මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබූ අතර එහිදී මතුකරගත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නටබුන් අතර දුර්ලභ කවන්ධ බුදු පිළිමයක කොටස් ද හමු විය.
එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේගේ ප්‍රධානත්වයෙන් 1965 දි සිදුකළ පුරාවිද්‍යා කැණීම් මඟින් ඉතා වැදගත් සාධක මතුකර ගැනීමට හැකිවිය. එහි දී ස්තූප 21 ක් නිරාවරණය කරගත් අතර ස්තූප 36 ක පාදම් මතුකර ගැනීමට පුළුවන් විය.
ආචාර්ය ශිරාන් දැරණියගල කන්දෙරෝඩිය සම්බන්ධව දක්වන අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කරනුයේ මෙය ලංකාවේ හතරවැනි මානව ජනාවාස පෙදෙස නියෝජනය කරන බවයි. අනුරාධපුරය පළමු යුගය ලෙසත්, තිස්සමහාරාමය දෙවැන්නත්, මන්නාරමේ මාතොට හෙවත් මහාතිත්ථ වරාය ආශ්‍රිත පෙදෙස තෙවැන්න ලෙසත් කන්දරෝඩෙ (කඳුරුගොඩ විහාරය) ආශ්‍රිත මානව ජනාවාස පෙදෙස සිව්වැන්නත් ලෙස දැරණියගලයන් පෙන්වා දෙයි.
1970 දශකයේ දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කැණීමේ දී කානේලියන් පාෂාණයෙන් නිම වූ මුදුවක් හමු වූ අතර එහි මුද්‍රාවෙන් අශ්වාරෝහකයෙක් නිරූපණය කොට ඇත. ඊට අමතරව අක්ෂර සහිත මැටි බඳුන් කැබලි සොයාගන්නට හැකි විය.
යාපනයේ දක්නට ලැබෙන පැරණි ගොඩනැගිලි අතර නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මන්ත්‍රී මාළිගය සුවිශේෂි තැනක් හිමිකර ගනී. සිංහල ව්‍යවහාරයෙන් රාජමන්ත්‍රී මාළිගය ලෙස ද මන්ද්‍රිමානායි නමින් දෙමළෙන් ද හැඳින්වේ. මෙම ස්ථානය සංකිලියන් රජවරුන්ගේ මාළිගය ලෙස ද ඇතැමුන්ගේ විශ්වාසයයි. ආර්ය චක්‍රවර්ති පරපුරේ අවසාන යුගය නියෝජනය සංකිලියන් රජුගේ කාලය ලෙස ඉතිහාසයේ සඳහන්ය. මෙම ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම පෘතුගීසි යුගයේ දී එකතු කරන්නට ඇති බවත් 1890 දී ඒ.එස්. තම්බයියා පිල්ලේ විසින් මෙහි ප්‍රධාන දොරටුව නැවත ඉදිකරවූ බව ඊට සම්බන්ධ ද්‍රවිඩ සෙල්ලිපියක දක්වා තිබේ.
එමෙන්ම නල්ලූර් පේදුරුතුඩුව මාර්ගයේ පිහිටා ඇති සංගිලියන් තෝප්පු හෙවත් සංගිලියන් දොරටුව යාපන අර්ධද්වීපයේ ඇති පුරාවස්තු අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනී. මෙය සංගිලියගේ පැරණි මාළිගයට ප්‍රවේශ වන දොරටුව ලෙස සැලකේ. මෙම ස්මාරකය යාපනය රාජධානියේ විසූ සංගිලියන් හෝ සංකිලි (ක්‍රි.ව. 1519) ගේ නමින් හඳුන්වා ඇත. මෙය සංගිලියන් තෝප්පු ලෙස නම්කොට ඇති අතර තෝප්පු යනු තොරණ බවත් දැක්වේ. ගඩොලින් නිමවා හුණු බදාමයෙන් කපරාරු කොට ඇති මෙහි අලංකාර කැටයමින් යුක්තය.
යාපනය කොටුව සම්බන්ධව රුබෙයිරෝගේ “ලංකා ඉතිහාසය” කෘතියෙහි “යාපා පටුන බලකොටුව හතරැස් වූ අතර අට්ටාල හතරක් ද අඩසඳ හතරක් ද තාප්පයක් ද තිබිණි. මේවා සාදා තිබුණේ කොරල් ගල් වලිනි. අවශ්‍ය තුවක්කු මෙහි තිබුණු අතර, රාජධානියේ ආණ්ඩුකාරවරයා ද මෙහි විසුවේය. තාප්පයට පිටින් එක පැත්තක නගරය පිහිටා තිබුණි. යුරෝපීය පාලන සමය තුළ දක්නට ඇති වැදගත්ම පුරාවිද්‍යා උරුමයක් ලෙස යාපනය කොටුව හැඳින්වීම නිවරැදිය” යන්න දක්වා තිබේ. ක්‍රි.ව. 1619 පෘතුගීසින් විසින් මෙම බලකොටුව ගොඩනැංවූ අතර ලන්දේසී පාලන කාලයේ දී නැවත ගොඩනැංවීමක් සිදුකර ඇත. 1658 දී ලන්දේසීන්ට මෙම බලකොටුව යටත් විය. පෘතුගීසින් චතුරස්‍රාකාර ලෙස නිම වූ බලකොටුව ලන්දේසින් විසින් පංචාස්‍රාකාර හැඩයට නිමවීය. කොටුවේ පිට ප්‍රාකාරය අඩි 40 ක් පළලින් ද අඩි 30 ක් උසකින් ද යුක්ත වූ අතර අක්කර 64 ක භූමිභාගයක් පුරා විහිදී ඇත.
උතුරු පළාතේ ආරක්ෂා කර ගත යුතු උරුමයන් අතර ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි බයෝබැබ් ගස නම්කළ හැකිය. මෙම ශාකය සීකිරියාම්පල්ලම් වැව ආසන්නයේ දක්නට ලැබෙන අතර අශ්වයින්ගේ ආහාර පිණිස ආරාබි වෙළඳුන් විසින් මෙරටට ගෙන එන ලදැයි සැලකේ. මෙහි පත්‍ර සතුන්ගේ ප්‍රියතම ආහාර වේ. අඩි 50 ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත මෙම ශාකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙවැනිම වූ බයෝබැබ් ශාක මන්නාරම පල්ලිමුනෙයි හා තලෙයිමාන්නරමේ ද දැකිය හැකිය.
ඩෙල්ෆ්ට් දූපතේ ඇති පෞරාණික බෞද්ධ නටබුන් සහිත පැරණිම ස්ථානය ලෙස එදිරේසන්ගේ කොටුව නමින් හඳුන්වනු පෙදෙසේ ඉදිකළ මෙම ස්තූපය දැක්විය හැකිය. ක්‍රි.පූ. 2 වන සියවස මෙහි ආරම්භක අවදිය ලෙස සැලකේ. අඩි 34 ක විෂ්කම්භයකින් යුතු ප්‍රධාන ස්තූපය සංරක්ෂණය කොට ඇති අතර එය අඩි 03 ක ප්‍රමාණයකින් යුක්තය. මෙම පෙදෙසේ පිහිටි උසම ස්ථානයේ කොරල් ගල් උපයෝගි කොට ගෙන ස්තූපය නිමවා තිබේ. එමෙන්ම එයට බටහිර හා නැගෙනහිර දිශානුගතව තවත් ස්තූප දෙකක් දක්නට ලැබේ. ඒවායේ පාදම පමණක් දැනට ශේෂව පවතී. මෙම භූමිය පුරාම පැරණි වළං කැබිලිති විසිරී ඇත. ඒ අනුව ඩෙල්ෆ්ට් දූපතේ බෞද්ධ නටබුන් සහිත ස්ථාන ද රැකිය යුතු උතුරේ උරුමයන්ය.
සිළුමිණ
2020 ජුනි 14
රුක්ෂිලා වෙත්තමුණි
අන්තවාදීන්ගෙන් බැට කන දෙවනගල ඓතිහාසික පුදබිම
පුරාවිද්‍යාත්මක, ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන දෙවනගල රජමහා විහාරය සතු ඉඩකඩම් හා පුරාවස්තු කලක පටන් බාහිර පුද්ගලයින්ගේ මංකොල්ල කෑමට ගොදුරු වී තිබේ. මේ සම්බන්ධව ජනමාධ්‍ය තුළ බොහෝ කතිකාවට ලක්ව ඇති අතර ඊට පිළියම් ලෙස රජය මැදිහත්වීම කාලීන අවශ්‍යතාවකි.
සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප‍්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට අයත් සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවෙ ඓතිහාසික දෙවනගල රජමහා විහාරය පිහිටා ඇති අතර අක්කර 72 ක් පුරා පැතිරුණු මෙම පුදබිමට මාවනැල්ලේ සිට හෙම්මාතගම දක්වා දිවෙන මාර්ගයේ කටුගහවත්ත කඩ මණ්ඩියෙන් කිලෝ මීටර් 4 ක් පමණ ගමන් කිරීමෙන් ද අයගම හන්දියේ ඉදිරිපිට මගෙහි උඩපමුණුව මාර්ගයෙන් ද පිවිසිය හැකිය.
1941 දෙසැම්බර් 12 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවට දෙවනගල විහාරය සන්තක භූමි පෙදෙස ඇතුළත් කර ඇතිමුත් රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකරන ලද ගම් බිම් සහිත සම්පූර්ණ විහාරගම ඇතුළත් බිම් මැනුම සකස් කර ඇත්තේ 1876 දීය. දෙවනගල ගල් පර්වතයේ සිට රුවන්දෙනිය ගම දක්වා අක්කර 72 ක් පුරා මෙම භූමිය විහිදේ. බතලේගල, අම්බුළුගල, සුරසරදියෙල්ගල, දනකිරිගල , ඌරගල, සැලවගල, කඩුගන්නාව යනාදි කඳු වැටි රාශියක් දෙවනගලට අවටින් දර්ශනය වේ.
පුරාණ නම් පොතේ පරණ නුවර නමින් දෙවනගල නම් කර ඇති අතර දෙවනගල සම්බන්ධ ඉතා රසවත් ලෙස ගොඩ නැඟුණු ජනප්‍රවාද බහුල වශයෙන් ඇත. ඉන් එකක් ලෙස අලුත්නුවර දෙවියන් හිඟුලේ කිරුංගල්පායට වැඩම කොට දෙවැනිව මෙතැනට වැඩම කළ හෙයින් දෙවනගල වු බව කියැවේ. එසේම රන් වංගෙඩි දෙකක් මෙහි නිදන් කොට තිබීමත් හේතුවක් ලෙස සඳහන්ය. මෙම ප්‍රදේශයේ වඩාත් උසින් පෙනෙන බතලේගලට පමණක් දෙවැනි වූ බැවින් එය දෙවනගල ලෙස හැඳින් වූ බවත් දෙවියන් වැඩ විසූ ගල කියන අරුතින් මෙම පර්වතය අමර ගිර ලෙසත් ව්‍යවහාරයේ පවතී.
දෙල්ගමු විහාරයේ කුරහන් ගලක සඟවලා තිබුණු දළදා වහන්සේ මහනුවරට වැඩමවාගෙන යන අතරතුර එක් රාත්‍රියක් දෙවනගලත් තැන්පත් කර තිබූ බවට මතයක් ඇති අතර මෙහි එසේ තැන්පත් කළා යැයි සැලකෙන කුරහන් ගලක් ද දක්නට ලැබේ. එසේම දළදා වහන්සේ තැන්පත් කර වසර ගණනාවක් පුද සත්කාර කළ කුටිය ලෙස තනිකර කළුගලින් පමණක් නිමවා ඇති ගොඩගැගිල්ල සම්බන්ධව ද අදහස් පවතී.
ජනප්‍රවාද ගත තොරතුරු අනුව ධාතුසේන රජ දවස මෙම පර්වතයෙහි විහාරයක් සෑද වූ බව දැක්වෙන කවි පන්තියක් ලෙස මෙසේ දැක්විය හැකිය.
දිලේ දිලේ රැස් බුදු සසුන ලක තුලේ
විලේ ජලේ නොසිඳේ සැදුණ හැම කලේ
කලේ නිරිඳු දාසෙන් වෙහෙර මන කලේ
ගලේ දෙවන නැග ගොස් වඳිමු සිතු ලොලේ
දෙවනගල පර්වතයට පිවිසීම සඳහා ඇති ගලේ කෙටූ පියගැටපෙළ, පැති දෙකකින් යුක්තය. ටැම්පිට විහාරයකින් යුතු විහාර මන්දිරයක්, අලංකාර පොකුණක්, ස්තූපයක්, බෝධියක්, පැරණි ආවාස ගෘහයක් සහ අතීතයේදී විහාර මන්දිරයක් වූවා යැයි විශ්වාස කරන ශෛලමය ගොඩනැගිල්ලක් මෙම පර්වතයෙහි පිහිටා ඇත.
පර්වතය මුදුනේ ශිලා ලේඛන දෙකක් දක්නට ඇති අතර ඉන් එකක් පොළොන්නරු යුගයේ පළමුවෙනි පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දක් වන අතර අනෙක මහනුවර යුගයේ පළමුවෙනි විමලධර්මසූරිය රජ සමයට අයත්ය.
මහාවංශයේ අනුරාධපුර යුගයේ දී ධාතුසේන රජු විසින් දාසෙන් පව්වෙහි කරවන ලද විහාරයක් ගැන සඳහන් කෙරේ. එකල මෙම ස්ථානය දාසෙන් පව්ව ලෙස හඳුන්වන්නට ඇතැයි යන්න මින් අදහස් වේ. එසේම “ දෙවනගල දාසෙන් වෙහෙර ” නමින් රාජාවලියේ ද දැක්වේ. කිත්සෙන් පව්ව ලෙස පොලොන්නරු යුගයේ දී දෙවනගල හඳුන්වා ඇති අතර ඒ බැව් දෙවනගලට නගින පඩිපෙළ ආසන්නයේ ඇති ගිරි ලිපිය මගින් සනාථ කෙරේ.
මහාවංශයේ සඳහන් පරිදි පළමුවන පරාක්‍රමබාහු (1153-1186) රජුගේ දෙළොස්වන රාජ්‍ය වර්ෂයේදී ලංකාව හා රාමඤ්ඤ දේශය (බුරුමය) අතර පැවති වෙළඳ සබඳතා (ඇතුන් විකිණීම) බිඳ දමමින් , ශ්‍රී ලාංකික නාවිකයන්ට කරන ලද වධ හිංසාවන්ට විරුද්ධව එරට සමඟ යුද වැදුණු බවත් එම සටන ජයග්‍රහණය කළ කිත්නුවරගිරි (කිත්නුවරගල්) සෙනෙවියාට ගම්වර පිදූ බව දෙවනගල සෙල්ලිපියෙහි සඳහන් වේ. එනම් මෙම ලිපිය මහා පරාක්‍රමබාහු රජු විසින් තම ප්‍රධාන සෙනෙවි කීර්ති නගරගිරි වෙනුවෙන් කරවන ලද්දක් යැයි පිළිගැනේ. බුරුමය ආක්‍රමණය කිරිමේ දී මෙම සෙනෙවියා කුසුමිය නගරය යටත් කර බලය අත්පත් කර ගැනීමට කටයුතු කළ නිසා ඒ පිළිබඳ සතුටු වූ රජතුමා ඔහුට ප්‍රදානය කළ ගම්වරය සම්බන්ධ විස්තරය පිළිබඳව මෙම සෙල්ලිපියේ අන්තර්ගත කර ඇත.
සෙල් ලිපියේ අන්තර්ගතය ලෙස ගත් කළ පරාක්‍රමබාහු රජුගේ සෙන්පතියෙකු වූ කිත්නුවරගල් විසින් (බුරුමය) රාමඤ්ඤ රට ආක්‍රමණය කර “කුසම්ය” නම් නගරය දිනා ගැනීම වෙනුවෙන් මලබටුව ඉඩම හා කිත්සෙන් පව්වෙන් අමුණු 12 ක් හා යාල දෙකක ඉඩම් පමුණු කොට දීම පිළිබඳව විස්තර දැක්වේ. එමෙන්ම පරාක්‍රමබාහු රජු විසින් තම ඥාති සොයුරන් වූ ගජබාහු සහ මානාභරණ යන දෙදෙනාට විරුද්ධව කළ යුද්ධය ගැන ද එහි සදහන්ව ඇත. භික්ෂූන් වහන්සේලාට විරුද්ධව සීතාවක රාජසිංහයන් විසින් ආඬි පක්ෂය ගෙන කටයුතු කරන අවස්ථාවේ දී සෙංකඩගලින් ඊට විරුද්ධව කොනප්පු බණ්ඩාර නැගී සිටින්නට විය. පරංගින්ට විරුද්ධව කළ සටනේදී මල්වතු විහාරයට අයත් භික්ෂු පරම්පරාවේ දෙවනගල රතනාලංකාර හිමි ඔහුට සහය දුන් බව සඳහන්ය.
මේ හේතුවෙන් උඩරට අත්පත් කර ගැනීමටත් රාජ උරුමය ඇති කුසුමාසන දේවිය තමාසතු කර ගැනීමටත් කොනප්පු බණ්ඩාරයන්ට අවස්ථාව උදාවිය. පිරිහෙමින් පැවති උඩරට රාජධානියට නව ජීවයක් ලබා දෙමින් පළමුවන විමලධර්මසූරිය නමින් කොනප්පු බණ්ඩාර රාජ්‍යත්වයට පත්විය. ඔහු විසින් උපසම්පදාව යළි ස්ථාපිත කොට ආඬින් ගෙන් ශ්‍රී පාදය නැවත පවරා ගෙන බෞද්ධයින් සතු කරන ලද අතර තමන්ට උපකාර කළ දෙවනගල රතනාලංකාර හිමියන්ට කෘත ගුණ සැලකීම පිණිස ගම් බිම් පුදා දෙවනගල පර්වතයේ පිහිටුවන ලද ශිලා ලිපිය මෙහි දී දක්නට ලැබේ. එසේම පරංගින්ට විරුද්ධව සේනාව සංවිධානය කළ ඉතා සුවිශේෂි ස්ථානයක් ලෙසට ද දෙවනගල නම්කළ හැකි අතර මෙහි ස්වර්ණමය යුගය මහනුවර රාජ්‍ය සමයවිය.
දෙවනගල පර්වත මස්තකයේ පළමුවන විමලධර්මසූරිය රජු විසින් කරවන ලද සෙල් ලිපියට යාබදව විශේෂිත සිරිපතුලක සටහනක් දක්නට ඇති අතර එහි මඟුල් ලකුණු සටහන්ව ඇත. මහනුවර යුගයට අයත් යැයි සැලකෙන මෙය එම යුගයේ නිර්මාණය වූ විශාලතම සහ අලංකාරම සිරිපතුල් සටහන ලෙස ද සඳහන්ය. අඩි 4 ක් පමණ දිගින් යුතුව සෘජුකෝණාස්‍රාකාර රාමුවක් තුළ මෙම සිරිපතුල් සටහන නිමවා තිබේ. එහි දාගැබ් දොළහක්, බෝ රුක් දෙකක් සහ වෙනත් මල් මෝස්තර කීපයක් සහිත රූ සටහන් කොටා ඇත. එමෙන්ම මෙම සිරිපතුලෙහි තවත් සිරිපතුලක සටහනක් ද දක්නට ලැබේ.
පළමුවැනි විමලධර්මසූරිය රජුගේ අනුග්‍රහයෙන් රතනාලංකාර හිමිගේ මූලිකත්වයෙන් පර්වතය මුදුනේ පිහිටුවා ඇති ටැම්පිට පිළිම ගෙය කරන ලද බව සඳහන්ය. මෙම පිළිම ගෙය වටා ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන බැවින් එකවර එය ටැම්පිට පිළිම ගෙයක් යැයි හඳුනා ගැනීමට අපහසුය. මෙම නිර්මාණකාර්යෙහි නිරත වුණු ශිල්පියාගේ නම එහි ඉදිරියෙන් වූ ගල්තලාවේ සටහන් කර ඇති බව දක්නට ලැබේ. මෙම ගොඩනැගිල්ලට පිවිසීමට දොරටු තුනක් නිමවා ඇති අතර ඉතා අගනා කැටයමින් රූකම් කරන ලද උළුවස්සක් පිළිමගෙට ඇතුළුවන දොරටුවේ දක්නට ලැබේ. පිළිමගෙය අභ්‍යන්තරයේ නිරූපිත සූවිසි විවරණය, සොළොස්මස්ථාන, රහතන් වහන්සේලාගේ යැයි සැලකෙන රූප, ඉර හඳ, වෘක්ෂලතා, ලියවැල් ආදි වූ සිතුවම් මහනුවර යුගයේ මුල්කාලයට අයත් යැයි සැලකේ.
ස්වභාවික පිහිටීම උපයෝගී කොටගෙන පර්වතය මුදුනෙහි නිමවා ඇති ඉතා අලංකාර හා විශාල පොකුණක් මෙහි දී දැක ගැනීමට හැකිය. මෙම පොකුණට යාබදව කුඩා ළිඳක් දක්නට ඇති අතර පොකුණ කළු ගල් බැම්මකින් ආවරණය කර තිබේ. දෙවනගල විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය පිණිස මෙම පොකුණ ඉදිකරන්නට ඇති බව සඳහන්ය.
පළමුවැනි විමලධර්මසූරිය රජුගේ කාලයේදී මෙම පොකුණ ආශ්‍රිතව උමං මාර්ගයක් තැනු බවට මතයක් පවතී. පරංගීන්ගේ උවදුරු ඇති වීම හේතුවෙන් රජු සහ බිසව නිතර මුණ ගැසීමට නොහැකියාව හේතුවෙන් තම බිසව කුසුමාසන දේවිය නොහොත් දෝනකතරිනා මුණ ගැසීමට එසේ මෙම උමග නිමවන්නට ඇති බව කියැවේ. ඇය දෙවනගල අසල ගමක් වන ගල්ලෑල්ල කැකිරිගොඩ රජ මහා විහාරයේ එවකට කුඩා මාලිගාවේ විසූ බැවින් මෙම පොකුණ හරහා උමං මාර්ගයක් තනා ඇති බවත් මෙහි අනෙක් කෙළවර කොටවෙහෙර රජමහා විහාරයේ පොකුණට යාබදව පිහිටා ඇති බවත් මතයකි. එසේම නියං කාලයක දී වුව ද මෙම පොකුණු දෙකෙහිම ජලය නොසිඳෙන බැවින් එය මෙහි ඇති සුවිශේෂි ලක්ෂණයකි.
මෙම පර්වතය මුදුනෙහි පිහිටි ස්මාරක අතරින් විශේෂිත ස්මාරකයක් ලෙස සම්පූර්ණ වශයෙන් ගලින් ම නිමවා ඇති ඉපැරණි ගල් ගොඩනැගිල්ල දැක්විය හැකිය. විවිධ ප්‍රමාණයෙන් යුක්ත ගල් කුට්ටි එකමත එකිනෙකට යා වනසේ බදාම රහිතව ගොඩනගා ඇති අතර ශේෂව ඇති බිත්ති කොටස් අනුව ගොඩනැගිල්ල අඩි දොළහක් දක්වා උසින් යුතුව පවතින්නට ඇතැයි යන්න අනුමාන කළ හැකිය. ගොඩනැගිල්ල ඉදිකිරීමට මිණුම් සහිතව ගල් කුට්ටි කපා ගන්නට ඇතැයි යන්න විශ්වාස කරන අතර එම ගල් කුට්ටි කපා ගත් ස්ථානය ලෙසට පළමුවන විමලධර්මසූරිය රජු විසින් කරවන ලද සෙල්ලිපිය ආසන්නව පිහිටි ගල්තලාව විය හැකිය යන්න සැලකේ.
මෙවැනිම ආකාරයේ ගල් ගෙයක් දෙවුන්දර ද දක්නට ලැබීම සුවිශේෂීය. දෙවනගල පිහිටි ශෛලමය ගොඩනැගිල්ල පොළොන්නරු කාලයට අයත් යැයි පැවසේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී දෙවනගල සංවර්ධන කටයුතු කළ බවත් ගම්වර පිදූ බවත් පිළිගැනේ. ජනප්‍රවාදය අනුව මේ ගොඩනැගිල්ල ඉසුරුමුණිපාය නමින් ද හඳුන්වා ඇතැයි යන්න කියැවේ.
ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ H.C.P. බෙල්ගේ කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ එකල මෙහි පැවති දාගැබ ගරා වැටී තිබූ බව සඳහන්ය. ධාතුසේන රජුකල මෙහි ගල මත වෙහෙරක් ඉදිකර තිබූ බව සඳහන් වුව ද වර්තමානයේ දක්නට ඇත්තේ මහනුවර යුගයේ පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලවකවානුවේ දී කරවන ලද දාගැබ යන්න පිළිගැනීමයි. එසේම නිරන්තරයෙන් නිදන් හොරුන්ගේ ග්‍රහණයට මෙම දාගැබ ලක්ව ඇති අතර විවිධ කාල වකවානු වලදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කර තිබේ. මෙම ඓතිහාසික පුදබිමේ බෝධි ප්‍රාකාරයක් දක්නට ඇති අතර ඒ තුළ අඩි 15x15 වැනි ප්‍රමාණයෙන් යුක්තව අභ්‍යන්තර කොටු බැම්මකින් නිමවා ඇත. එසේම මෙහි පිහිටුවා ඇති බෝධිය අෂ්ටඵල බෝධි අතරින් එකක් බවත් එය පොළොන්නරුව යුගයට අයත් යැයි ද මතයකි.
එහෙත් 80 දශකයෙන් පසුව දෙවනගල ඓතිහාසික පුදබිම අරාජිකව පැවතීම හේතුවෙන් විවිධ තාඩන පීඩන වලට ගොදුරු විය. ඉතාම ශෝචනීය කරුණක් වනුයේ විමලධර්මසූරිය රජු විසින් කර වූ ශිලා ලේඛනය මතට ඇසිඩ් වත්කර විනාශ කිරීමට උත්සාහ කිරීමයි. එසේම පිළිමගෙයි පිහිටි පිළිමවහන්ස්ගේ උදරය සහිත පෙදෙස යවුලකන් ඇණ විනාශ කිරීම ද ඉතා කනගාටුදායක තත්ත්වයක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මෙම පිළිමය නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.
අනුරාධපුර යුගය දක්වා ඉතා ඈත අතීතයකට දිවයන මෙම විහාරය මහනුවර යුගය ඔස්සේ වර්තමානය දක්වාම පැවතගෙන පැමිණි මුත් අවාසනාවකට මෙන් විහාරයට අයත් භූමි ප්‍රදේශය අන්‍යාගමික අන්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබීම ඉතා ශෝචනීය තත්ත්වයකි.
සිළුමිණ
2020 ජුනි 07
රුක්ෂිලා වෙත්තමුණි
https://epaper.silumina.lk/Home/ShareArticle?OrgId=2b43a8df&imageview=0





