Monday, October 5, 2020

කටුවන ඕලන්ද කොටුව සඟවා ගත් ඉතිහාසය


 මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ, මිද්දෙනිය නගරය පසුකර වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහළවක් පමණ ගමන් කළ විට ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවට පිවිසිය හැකිය. කටුවන යනු අනාදිමත් කාලයක පටන් ඓතිහාසික භූමියක් බව මහාවංශය අනුව සනාථ වේ. 12 වන සියවසෙහි දි පරාක්රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු රැඳී සිටි ස්ථානයක් ලෙස ද කටුවන පිළිබඳව සඳහන්ව ඇත.


ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට අයත් වූ උතුරු දිග සීමාවේ උඩරට රාජ්යයේ දකුණු දිගට මායිම්ම පිහිටවන ලද විශාලතම බලකොටුව ලෙස කටුවන හැඳින්වෙන අතර එය ක්රි. ව. 1697 දි ඉදිකරනු ලැබීය. රට අභ්යන්තරයෙ පිහිටි වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති ලන්දේසි බලකොටුව වීම එහි ඓතිහාසික වැදගත්කම ඉහළ දැමීමට ඉවහල් වේ. ජර්මන් ජාතික සැලසුම් ශිල්පියකු වු ජොහාන් වුල්ෆ්ගෑන්ග් හෙයිත් ((Johann Wolfgang Heydt) ) 1734 දි බලකොටුවට පැමිණ එකල පැවති තත්ත්වය පිළිබඳව සඳහන් කරනුයේ බලකොටුව සමචතුරශ්රාකාර, කපරාරු කළ බිත්ති සහිත ගොඩනැඟිල්ලක් බවත් එහි සමචතුරශ්රාකාර හැඩය ප්රතිමුඛ කොන් දෙකක මුරපලවල් (බැස්ටියන්) දෙකක් පිහිටීම හේතුවෙන් මඳක් විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය. එසේම මෙම එක් මුරපලක කාලතුවක්කු හය බැගින් තිබූ බැව් ද සඳහන් කරයි.

ඔහුගේ විස්තරයට අනුව කටුවන බලකොටුවේ බිම් සැලසුමෙහි ගොඩනැඟිලි පහත පරිදි ස්‌ථාපිත වී ඇත. එනම්, එයට ඇත්තේ එක්‌ ඇතුළු වීමේ දොරටුවක්‌ පමණි. දොරටුව අසලින්ම දකුණු පැත්තේ බලකොටුව අධිපති තැන වසන නිවාසය ඇත. ඔහු සාජන්ට්‌වරයෙකි. මෙය සමීපයේ තිර බිත්තිය දිගට ගබඩා ගෙයකි. සියලුම වර්ගවල බඩු ගබඩා කර ඇත්තේ මෙහිය. මෙහි කෙළවර වෙඩි බෙහෙත් ගබඩාවකි. ඊට යාබදව ඇත්තේ යුධෝපකරණ ගබඩාවයි. මෙය තට්‌ටු දෙකකින් යුත් ගොඩනැඟිල්ලකි. අනතුරුව ඇත්තේ කාලතුවක්‌කුකරුගේ නවාතැනය. මෙය ළඟට ඇත්තේ ආරක්ෂක භටයන්ගේ මුරපොළය. මෙම මුරගෙය කෙළවර ශල්ය වෛද්යවරයාගේ නවාතැනයි. බලකොටුවේ ගොඩනැගිලි ස්‌ථාපිත කර තිබෙනුයේ තුන් පැත්තක්‌ ආවරණය වන ආකාරයෙන් පමණක්‌ වීම විශේෂිත ලක්ෂණයකි. මෙහි මධ්යයේ හතරැස්‌ විවෘත මිදුලකි. කොටුවට ඇතුළු වන දොරටුවට වම් පැත්තෙන් ළිඳකි. එමෙන්ම හෙයිත්ගේ වාර්තාව අනුව බලකොටුවේ පිරිස් බලය 40 දෙනෙකුගෙන් පමණ සමන්විත වී ඇති අතර බලකොටුවේ වැසි වතුර බැසයාමට ක්රමවේදයක් වූ බව ද සඳහන් ය. එහෙත් ආර්.එල්.බ්රොහියර් පවසන්නේ කටුවන බලකොටුවේ ලන්දේසීන් 30 ක ගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ වාසය කළ බවය.

දිගින් සහ පළලින් අඩි 150 ක් වන චතුරශ්රාකාර ගොඩනැගිල්ලක් වූ මෙහි ප්රධාන කොටු පවුර පිටතින් අඩි 20 ක් පමණ උසින් යුක්තය. එහි අභ්යන්තරය අඩි 8 සිට 12 දක්වා වෙනස් වන උසකින් සමන්විත වූ අතර ප්රාකාරය විශාල ගල් කුට්ටි උපයෝගී කොට ගෙන හුණු බදාමයෙන් තනා ඇත. ගොඩනැගිල්ලට එක් ප්රවේශ දොරටුවක් පමණක් තිබුණි. වම් පසින් බලකොටුව තුළ ඉතා උස් වූ ගොඩනැගිල්ලක් ස්ථාපිත විය. එහි ඔර්ලෝසුවක් ද සවිකර තිබී ඇත. එය යුද්ධෝපකරණ ගබඩාවට ඉහළින් දර්ශනය වූ බවත්, කොටුවේ ප්රාකාරයට යාබදව දකුණු පසින් ප්රධාන අණ දෙන නිලධාරියාගේ නිල නිවස පිහිටා තිබූ බවත්, බලකොටුව සම්බන්ධව ඇති ඓතිහාසික තොරතුරු ඇතුළත් සැලැස්මේ අන්තර්ගතය.

ලන්දේසීන් කටුවන බලකොටුව ඉදි කිරීමේදී මූලික වශයෙන් අවධානය යොමු කරවන ලද අරමුණු දෙකක් විය. එනම් දකුණු මුහුදු තීරයේ සිය දේශ සීමාව හා කන්ද උඩරට දේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම හා වාණිජ අරමුණු ඉටු කර ගැනීමේ දී කලාපීය භාණ්ඩ මිලදී ගැනීමේ මධ්යස්ථානයක් ලෙස යොදා ගැනීමය. අගනුවර වූ මහනුවර සිට ලන්දේසීන්ගේ ප්රධාන නගරයක් වූ මාතර දක්වා දිවෙන මාර්ගය ආරක්ෂා කරගැනීමට හා උඩරට සමග වෙළඳ සබඳතා ආරක්ෂා කර ගැනීමට ද මෙම බලකොටුව පවත්වා ගැනීමට හේතුවක් විය.

බලකොටුවක් නිර්මාණය කිරීම උදෙසා සුදුසු පරිසරයක් කටුවන බලකොටුව අවට ප්රදේශයේ පිහිටීම ද මෙහිදී සුවිශේෂි හේතුවක් වී ඇත. මෙහි රැළි බිම් සහිත භූමි ලක්ෂණ පෙන්නුම් කළ ද, බටහිර හා වයඹ දිග මායිම්වල තරමක් උස කඳු පන්ති පිහිටා තිබීම දැකිය හැකිය. ඒ අතරින් රම්මලකන්ද, හිඟුරකන්ද, කරවිලකන්ද ප්රමුඛස්ථානයක් හිමිකර ගනී. වෙරළ ඉම දක්වා සමතලා භූමි ප්රදේශයක් ලෙස බලකොටුවට නැඟෙනහිර දෙසින් වූ බිම් කඩ පැතිරීම බලකොටුවේ විශේෂත්වට හේතුවිය.

ලන්දේසීන් විසින් නිර්මාණය කරනු ලැබූ හංවැල්ල හා අවිස්සාවේල්ල යන බළකොටුවලට සමගාමීව කටුවන බලකොටුව ඉදිකරන ලද මුත් වර්තමානය වන විට එම බළකොටු මෙතරම් ආරක්ෂා වී නැත.

මහනුවර රාජ්ය සමයේ උඩරට රාජ්යයත්, මුහුදුබඩ ප්රදේශයත් වෙන් කරන වැදගත් මුර පොළක් ලෙසට කටුවන බලකොටුව භාවිත විය. මුහුදුබඩ පළාත්හි ආරක්ෂක මර්මස්ථානවල බලකොටු ඉදිකිරීම විදේශිකයන් තම බලය පතුරුවාලීමටත් ආරක්ෂාවටත් උපයෝගි කරගනු ලැබීය. වෙරළාසන්න ප්රදේශයන්හි ලන්දේසීන් විසින් ඉදිකර ඇති බලකොටු අතර ගාල්ල, මාතර, යාපනය, ත්රිකුණාමලය හා කල්පිටිය ප්රමුඛස්ථානයක් ගනී. ඔවුන් වෙරළ තීරයේ මෙන්ම රට අභ්යන්තරයේ ද සිය යුද ශක්තිය විහිදුවා තම බලපරාක්රමය තහවුරු කිරීමට කටයුතු කරනු ලැබීය. එසේ මුහුදු සීමාවට සැතපුම් 20 ක් පමණ ඈතින් පිහිටුවන ලද බලකොටු අතර කටුවන කදිම සාක්ෂියකි.

කටුවන බලකොටුවක්‌ වශයෙන් ගත් කළ කුඩා ආරක්ෂක මුරපළක්‌ වශයෙන් ද ආහාර ද්රව්ය හා වෙනත් අත්යවශ්ය ද්රව්ය එක්‌රැස්‌ කරනු ලබන එසේම බෙදාහැරීමේ ගබඩා මධ්යස්‌ථානයක්‌ වශයෙන් ද ක්රියාකර ඇති බව පැහැදිලිය.

ආර්.එල්. බ්රෝහියර්ගේ සටහන්වල දැක්වෙන්නේ කැලෑවෙන් වට වූ මේ කුඩා බලකොටුවේ රන්පැහැති කෙස් ඇති, හිරු රැසින් දැවුණු සිරුරු ඇති ලන්දේසීන් තිස් දෙනෙක් ජීවත් වූ බවත්, ඔවුන් නියත වශයෙන් ම රටකින් පිටුවහල් කළ හෝ සිර කඳවුරක රැඳවූ පිරිස්‌ මෙන් ජීවිතය ගත කළ බවත්ය. ඔවුන්ගේ එකම විනෝදාංශය‌ වූයේ ගඟේ මාළු බෑමත්, මොණරුන් හෝ මුවන් දඩයම් කිරීමත්ය.

මෙසේ කල්ගත වත්ම, මාර්තු මාසයේ එක්‌ දිනෙක බලකොටුවේ භටයෝ රාත්රි ආහාරය ගනිමින් සිටිය දී හදිසියේම මුරපළින් අනතුරු හැඟවීමේ සංඥාව නිකුත් වූ අතර ආහාර ගැනීම නවතා දැමූ ඕලන්ද සොල්දාදුවන් වහ වහා තමන්ගේ ස්‌ථාන කරා ළඟා විය. ඈත කඳුකරයේ දුර්ග මාර්ගය දෙසින් පහළට දිවෙන පන්දම් පෙළ අතරින් සිංහල වැසියන්ගේ ජය ඝෝෂා හඬත්, බෙර හඬත් නැගෙන්නට විය. එසේ වුව ද මෙම දසුනින් බලකොටුවේ අණ දෙන නිලධාරියා වූ ආනවුඩ් වාන් වර්ඩේ එතරම් කලබලයට පත්වූ බවක්‌ පෙනෙන්නට නොතිබිණ. කන්ද උඩරට රජුගේ සේනා සිය බලකොටුවට පහර දෙන්නේ නම් ඊට සැලකිය යුතු කාලයක්‌ ගනු ලබන්නේය යන්න ඔහුගේ නිගමනය වීම ඊට හේතුව විය. නිදිවර්ජිතව සිටි ඔහු සිය බලකොටුවට නිසැකවම ප්රහාර එල්ල කිරීම සඳහා මෙම පිරිස පැමිණ ඇති බැව් වටහා ගත්තේය. එවැන්නකට මුහුණ දීමට තරම් ප්රබල ආත්ම ශක්‌තියක්‌ ඔහු සතු විය. එබැවින් පැයකට පමණ පසු භටයන් හය දෙනකු මුරට තබා සෙසු පිරිස්‌ හට නින්දට යැමට ඔහු අවසර ලබා දුණි. කිසිදු අනතුරකින් තොරව එදින රාත්රිය පහන් විය. පසු දින උදෑසන අවදි වූ සෙසු සොල්දාදුවන් යුහුසුළුව සිය ස්‌ථානයන් කරා ගොස්‌ සිංහල හමුදා සේනාවන්ට පෙනෙන පරිදි පෙළ ගැසුණහ. සතියක්‌ පමණ ගත විය. අවස්‌ථා කිහිපයක දී බලකොටුවට පහර දෙන ලෙසින් සංඥා නිකුත් කළ ද ප්රහාර එල්ල කිරීමක්‌ සිදු නොවීය. එහෙත් ලන්දේසි හේවායන් හට රාත්රි නින්දක්‌ නොවීය. ඇතැම් රාත්රියක බලකොටුව මුරකරන්නන් හට සිංහල භටයන් මරණීය ප්රහාර එල්ල කිරීම ඊට හේතුවයි. කටුවන කොටුවේ ඕලන්දයන් දුබල කිරීමේ සැලසුම් සහගත ප්රයත්නයක්‌ මෙසේ දියත් කළ සිංහල සේනාවෝ එය අතිශය සාර්ථක මෙහෙයුමක්‌ බවට පත්කර ගැනීමට සමත් විය.

අනතුරුව එක්‌ හිමිදිරි උදෑසනක මෙම බලකොටුව තරණය කිරීම ආරම්භ කළ දේශීය ජනයා උණ බම්බුවලින් සකසන ලද හිනිමං ආධාරයෙන් අඩි 15 ක්‌ පමණ උසැති කොටු පවුර තරණය කළ අතර තවත් පිරිසක්‌ කොටුව වටකර ඒ දෙසට වෙඩි ප්රහාර එල්ල කරන්නට විය. දේශීය වැසියන්ගේ ප්රහාරයකට මුහුණ දීමට තරම් ප්රමාණවත් පිරිසක්‌ කටුවන කොටුවේ නොවීය. එතෙක්‌ එල්ල වූ ප්රහාරයන්ගෙන් එකොළොස්‌ දෙනෙකු මියගොස්‌ සිටි අතර සෙසු පිරිස්‌ අතරින් කිහිප දෙනකු දැඩි ලෙස තුවාල ලබා සිටියහ. එසේම කොටුව තුළ වූ වෙඩි බෙහෙත් සංචිතය ද නිමාවට පත්ව තිබිණ. එබැවින් තවදුරටත් ප්රහාරයකට නොගොස්‌ උපක්රමශීලි විය යුතු බව අණ දෙන නිලධාරියාගේ අදහස විය. ඒ අනුව දේශීයයන්ට පහර නොදිය යුතු බවත් සියලු ද්වාර විවර කළ යුතු බවත් එක්‌ ඕලන්ද සොල්දාදුවකු පමණක්‌ කොටුවේ රැඳී සිටිය යුතු බවත් ඔහු සිය සොල්දාදුවන් වෙත දන්වන ලදී. රාත්රිය වන විට කොටුවේ ද්වාර විවර කර ඇති බව දැක්‌වීමට එහි ගිනිමැලයක්‌ දල්වන ලෙසත් ඔහු අණ කළේය. ගිනිමැලයේ ආලෝකයෙන් බලකොටුව දෙසින් කිසියම් උගුලක්‌ අටවා ඇතැයි සිතූ සිංහල සොල්දාදුවෝ පසු බසින්නට වූහ. පසු දින පහන් වන විට සිංහල හමුදාවෝ ගිරි දුර්ගය දිගේ ආපසු ගමන් කරනු දුටු වාන් වර්ඩේ අණ දෙන නිලධාරියා සැනසුම් සුසුමක්‌ හෙළන්නට ඇත.

ඈතින් යුද බෙර හඬ ඇසෙත්ම තැන් තැන්වල විසිරී සිටි ලන්දේසීහු කොටුව තුළට වැද දොරගුළුලා කොටු පවුර තද කොට සතුරාට ප්රතිප්රහාර දීමේ සටනට සූදානම් වූහ. කොටුව වටා රැකවල් දැමූ අපේ හමුදාවෝ කොටුවෙ තාප්පයට මදක්‌ දුරින් ශක්‌තිමත් ලෙස විශාල අට්‌ටාලයක්‌ බැඳ ඒ මත කාලතුවක්‌කු සවිකර දිවා රාත්රි නොකඩවා කොටුව තුළට වෙඩි තැබූහ. මෙසේ ප්රහාර එල්ල වන තෙවන දිනය වන විට කොටුව දෙසින් සමාදාන වීම හෝ යටත් වීමේ සංකේතය ලෙසින් සුදු කොඩියක්‌ ලෙළ දිණි. ඒ සමගම කොටුවේ ප්රධාන දොරටුව ද විවර විය. ආරක්ෂක භටයන් පිරිවරාගත් යුද්ධ හමුදාවත් සමග දිසාවේ, කොටුව තුළට පැමිණ අසුන් ගත් අතර කොටුවේ ඉතිරිව සිටි සියලු පිරිස්‌ හට සිය නිල ඇඳුමින් සැරසී ඉදිරියට පැමිණෙන ලෙසත් යටත් වන ලෙසත් ඔහු නියෝග කළේය. ලන්දේසි හමුදාව හිස නමා එම නියෝගය පිළිගනු ලැබීය. මෙම කොටුව තුළ සිට තමන් කුමක්‌ කළේ දැයි ඔහු ඕලන්දයන්ගෙන් විමසීය. එයට පිළිවදන් දී ඇත්තේ ජා මිනිසුන් අට දෙනෙකු පමණි. ඔවුන්ගෙන් සයදෙනෙක්‌ මෙහෙකරුවන් බවත් ඉතිරි දෙදෙනා හොරනෑ පිඹීම සහ බෙර වැයීම සිදුකරන බවත් පවසා ඇත. නිහඬව සිටි සියලු දෙනා මහ රජුගේ රාජධානියට විරුද්ධව සටන් කළවුන් බැවින් කැලයට රැගෙන ගොස්‌ මරා දැමූහ. පෙර කී ජා මිනිසුන් අට දෙනා සිර භාරයට පත්විය.

ක්රි.ව 1761 පෙබරවාරි මස 06, 07, හා 08 යන තෙදින පුරා කාලතුවක්කු ද උපයෝගී කර ගනිමින් සිංහල සේනාව විසින් එල්ල කර ඇති අඛණ්ඩ ප්රහාරය සමඟ කටුවන බලකොටුවේ අවසානය උදාවිය. 1761.02.08 වන දින මේ බලකොටුව සිංහල හමුදාව අත්පත් කරගන්නා ලද අතර මෙම ප්රහාරයෙන් කොටුවේ ප්රධාන දොරටුව මෙන්ම අභ්යන්තර ගොඩනැගිලි ද විනාශ විය. සිංහල රණකාමීන් තම යුද ශක්තිය මෙන්ම උපාය ඥානය ද යොදා ගනිමින් කොටුව විනාශ කිරීමට හේතු වූයේ උඩරට රාජ්යයට මෙම ස්ථානයේ සිට සංවිධානය වී පහර දීමට ඉඩ ඇති බවට සැක කළ බැවිනි.

මහනුවර මහා වාසලේදී කටුවන සටන ජය ගැනීම සඳහා සහභාගී වූ සබරගමුවේ ප්රධානින් 15 දෙනෙකුට පමණ නින්දගම් ප්රදානය කළ බව කියැවේ.

නටබුන්ව පැවති බලකොටුව 1980 දී පුරාවිද්යා ස්මාරකයක් ලෙස ප්රකාශයට පත් වූ අතර 2007 දී නෙදර්ලන්ත රජය හා පුරාවිද්යා දෙපාර්තමේන්තුව එක්ව කටුවන කොටුවෙ සංරක්ෂණ ව්යාපෘතියක් ද ක්රියාත්මක කරන ලදී.

සිළුමිණ
2020 ජුනි 28
රුක්ෂිලා වෙත්තමුණි