Monday, May 18, 2020

මඩ ගොහොරුවෙන් රජ දහනක් වූ ජයවඩනපුර



15 වන සියවසෙහි දී සමෘධිමත්ව වැජඹුණු රාජධානියක් වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජුගේ නියෝජිත රාජධානියයි. බලකොටු නගරයක ඉතිහාසගත තොරතුරු සඳහා මං විවිර කරන කෝට්ටේ රාජධානිය කලක් දියුණුවේ හිනි පෙත්තටම නැග පසුව පාලකයන්ගේ දුර්වලතා හේතුකොට ගෙන කෙමෙන් පරිහානිය කරා ගොස් අප්‍රසිද්ධියේම අතීතයට එක් වූ රාජධානියකි. කෝට්ටේ යනු කොට්ටි යන දෙමළ හා මළයාලම් පදයෙන් බිඳී ආවකි.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කුරුවර් හි (වර්තමානයේ වංචිපුරම්) ධනවත් වාණිජ පවුලකින් උපත ලද නිශ්ශංක අලගක්කෝනාර (වීර අලකේශ්වර) විසින් තනවන ලැබූ බලකොටුව ලෙස කෝට්ටේ පුරවරය හැඳින්වේ. ගම්පොළ තුන්වන වික්‍රමබාහු රජුගේ (1357-1372) හා පස්වන භුවනෙකබාහු රජුගේ (1372-1408) ප්‍රධාන අමාත්‍ය හා උපදේශක ලෙස කටයුතු කළ ඔහු ප්‍රභූ රාජ නම් තනතුරෙන් ද ව්‍යවහාර විය. එසේ ඔහුව හැඳින්වූයේ රයිගම පරිපාලන කේන්ද්‍රස්ථානයේ සිටි රජු දුර්වල වූ අවස්ථාවල ප්‍රධාන පාලකයා ලෙස කටයුතු කිරීම හේතුවෙනි.

සමකාලීන යාපන පාලකයා වූ ආර්ය චක්‍රවර්ති තම බලය සිංහල රජුගේ ප්‍රදේශයන්හි ව්‍යාප්ත කිරීම හේතුකොට ගෙන එය වැළැක්වීමේ අරමුණින් අලගක්කෝනාර විසින් කෝට්ටේ බළකොටුව ගොඩනැංවීය. තම ස්වකීය දේශපාලන ශක්තිය මත ක්‍රි.ව. 1359 දී ආර්ය චක්‍රවර්ති ගම්පොළ රාජධානියේ ඇතැම් පෙදෙස් ආක්‍රමණය කරන්නට විය. හලාවත, මීගමුව, වත්තල හා කොළඹ යුද බලකොටු තැනු අතර බදු එකතු කිරීම පිණිස තම නිලධාරීන් මාතලේ, සිඟුරුවාන, බලවිට, දුම්බර හා සගම තුන්රට යන ප්‍රදේශ සඳහා ආර්ය චක්‍රවර්තී විසින් යොමු කරවන ලදී.

සිංහල රජුගේ වාණිජ ශක්තිය වර්ධනය කිරීමටත් යාපනය රජුගේ ආක්‍රමණ වලට මුහුණ දීමටත් ඇති පහසුව පිණිස කෝට්ටේ බළකොටුව තැනීමට නිශ්ශංක අලගක්කෝනාර තීරණය කළ අතර එය එකළ පැවති වත්තල, මීගමුව, හලාවත, කොළඹ, බේරුවල හා බෙන්තොට වැනි වරාය ආශ්‍රිත නගර අතර සම්බන්ධතා පැවැත්වීමට ද ඉවහල් විය.

කැලණි නදියට දකුණින් පිහිටි මඩ ගොහොරු සහිත පෙදෙස බළකොටුව ඉදි කිරීම පිණිස යොදා ගත් අතර එය දාරුග්‍රාමය නමින් හැඳින්විය. කොළොන්නා ඔයෙන් හා දියවන්නා ඔයෙන් තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබූ දැඩි ආරක්ෂක ඉසවුවක් වූ දාරුග්‍රාමය මඩ ගොහොරු සහිත වූ බැවින් එයට ප්‍රවේශ වීමට හැකි වූයේ දකුණු දිශානුගතව පිහිටි පටු භූමී තීරයකිනි. මෙහි පළලින් වැඩිම පෙදෙස කිලෝ මීටර් දෙකහමාරක් පමණ වූ අතර අලගක්කෝනාරයන් විසින් දාරුග්‍රාමය වටා ඉතා පුළුල්ව හා ගැඹුරට දිය අගලක් ද කළු ගල් උපයෝගිකොට ගෙන ඊට මායිම්ව ශක්තිමත් ප්‍රාකාරයක් ද තනවනු ලැබීය.

එකිනෙක මත පිහිටන සේ වේදිකාවක් අයුරින් පදනම් දෙකක් මත ප්‍රාකාරය ඉදිකළ අතර විවිධ හැඩයෙන් යුත් කබොක් ගල් උපයෝගි කොට ගෙන ජල මට්ටම දක්වා පහළ කොටසත්, කළු ගලින් ඉහළ කොටසත් නිමවිය. අඩි 10 කින් යුක්තව බැම්මේ ඉවුරු දෙක පැවති බැවින් ඒ මත මුර සෙබළුන්ට ගමන් කරන්නට ඉඩ ලැබුණි. සිංහල මෙන්ම වැටුප් ලැබූ ද්‍රවිඩ සොල්දාදුවන් කෝට්ටේ ආරක්ෂාව සඳහා අලගක්කෝනාර විසින් යෙදවීය. නිකාය සංග්‍රහයේ දැක්වෙන පරිදි වේදිකාවේ ආරක්ෂාව පිණිස අට්ටාල, යකඩ කූරු, ලී උල්, බොරු වළවල් හා කොටි මුහුණු ස්වරූපයෙන් තනා තිබූ උගුල් භාවිතා කොට ඇත.

දාරුග්‍රාමය කොළඹ සිට සැතපුම් 06 ක් වැනි දුරකින් පිහිටීම ද කොළඹ, හලාවත, මීගමුව හා පානදුර තොටුපොළ වලට ආර්ය චක්‍රවර්ති සතු වෙළෙඳ ‍යාත්‍රා නිරන්තරයෙන් පැමිණීම ද ජලයෙන් ගොස් ඒවා වැනසීමට හැකි වීම ද ප්‍රහාරක යාත්‍රා ඒ තැන් වෙත යවා ප්‍රහාර එල්ල කර එසැණින් ඒවා නැවත ගෙන්වා ගැනීමට ද ඇති හැකියාව පදනම් කොට ගෙන කෝට්ටේ බලකොටුව තැනවීම සුදුසු බව අවබෝධවීම හේතුවෙන් අලගක්කෝනාර විසින් මෙම භූමිය තෝරාගෙන ඇත.

සදා ජයග්‍රහනයෙන් යුක්ත බළකොටුව යන අර්ථයෙන් ඉදිකළ ජයවර්ධනපුර කෝට්ටේ බළකොටුවෙහි ප්‍රාකාරය මත සතර දිශානුගතව උපුල්, සමන්, විභීෂණ හා ස්කන්ධ කුමාර යන දෙවිවරුන්ට කැප කළ දේවාල සතරක් ඉදි කොට එහි අඛණ්ඩවම පුද පූජා පැවැත්විය යුතුය යන්න අලගක්කෝනාරයන්ගේ නියෝගය විය. ස්කන්ධ යනු හින්දු විශ්වාසය අනුව යුද්ධයට අධිපති දෙවියන්ය.

රාජාවලියේ දැක්වෙන පරිදි ක්‍රි.ව. 1521 දී සිදු වූ විජයබා කොල්ලය විස්තරය අනුව නගරයට ඇතුළු වීමට තිබී ඇත්තේ එක් ප්‍රධාන දොරටුවක් පමණි. එය දකුණු පස වූ පටු ගොඩබිම් තීරය ඔස්සේය. එසේම ඇතුළු නගර ප්‍රාකාරයෙන් බැහැරව ස්ථාන කිහිපයක් පිට කෝට්ටේට පිවිසීමට තිබුණු බව සඳහන්ය. නියම්ගම්පාය සන්නසෙහි ආර්ය චක්‍රවර්ති පරාජය කොට අලගක්කෝනාර ජයග්‍රහනය කළ අයුරු දක්වා ඇත.

මයුර සංදේශය සිංහල සාහිත්‍යයේ පැරණිතම සංදේශ කාව්‍ය වූ අතර එහි මෙම ප්‍රාකාරය පිළිබඳව වර්ණනා කරයි. මෙම බළකොටුව තුළ සිංහල හා දෙමළ යන ජන වර්ග වලට අයත් සොල්දාදුවන් හා ඔවුන්ගේ පවුල්වල අය පදිංචිව සිටි බව සඳහන් වෙන අතර මයුර සංදේශය රචනා වූ ගම්පොළ පස්වන භුවනෙකබාහු රජුගේ කාලයේ දී කෝට්ටේ පරිපූර්ණ නගරයක් නොවූ බවත් එහි රජ මාළිගයක් නොතිබූ බවත් සඳහන්ය.

ක්‍රි.ව. 1386/87 කාලය වන විට නිශ්ශංක අලගක්කෝනාර හෙවත් අලකේශ්වර මිය යාම හේතුකොට ගෙන ඔහුගේ බෑණනු වූ වීරබාහු රයිගම පාලක වූ අතර ප්‍රභූරාජ තනතුර ද හිමි විය. ඔහුගේ කාල වකවානුව තුළ ක්‍රි.ව. 1391 දී ආර්ය චක්‍රවර්ති විසින් මුල් පරාජයට පසුව නැවතත් ආක්‍රමණයක් දියත් කරන ලදී.

හයවන පරාක්‍රමබාහූ (1412-1467) ගේ රාජ්‍ය කාලය තුළ කෝට්ටේ නගරයක් ලෙස වර්ධනය වීමේ උච්චතම අවස්ථාව සිදුවිය. ඔහු රයිගම වසර තුනක් පදිංචි වී පසුව කෝට්ටේ රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස භාවිතා කළ බව රාජාවලියේ දැක්වේ. මෙම රාජ්‍ය සමය තුළ බොහෝ ප්‍රතිසංස්කරණයන් සිදු වූ අතර සංඝාරාම හා වීථී ගණනාවක්ම පිළිසකර විය.

ඊ.ඩබ්ලිව්. පෙරේරා පවසන පරිදි හයවන පරාක්‍රමබාහූ රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වත්මනේ ද පවතින පස්මල්පාය වත්ත දැක්විය හැකිය. සංදේශ කාව්‍ය කිහිපයකම කෝට්ටේ පැවති පස් මහල් සහ තෙමහල් ගොඩනැගිලි පිළිබඳව සඳහන් වේ. එසේම මෙම රජුගේ කාලයේ දී රචනා කරන ලද ගිරා, කෝකිල හා හංස යන සංදේශ කාව්‍යයන් හි රාජකීය මන්ත්‍රණ ශාලාවක් සම්බන්ධව කරුණු අන්තර්ගත වේ. ගණේගොඩ සන්නස, ඕපාත නාරාවල තඹ සන්නස සහ පැපිලියාන ශිලා ලිපියෙහි ද මෙම මන්ත්‍රණ ශාලාව පිළිබඳ සඳහන්වන අතර එය රජ මාළිගයට පිටතින් ඉදිකර තිබෙන්නට ඇති බවත් දක්වා ඇත. එහෙත් කෝට්ටේ යුගය අවසාන භාගය වන විට එම මන්ත්‍රණ ශාලාව, රජ මාළිගය ඇතුළත පැවතුණු බව වේරගම සහ දෙවුන්දර දේවාල සන්නස් හි සඳහන්ය.

ක්වේරෝස්ගේ කෘතියෙ දක්වා ඇති පරිදි කෝට්ටේ රජුගේ මන්ත්‍රණ ශාලාව පර්සියානු බුමුතුරුණු අතුරා තිබූ අතර ස්වර්ණමය රෙදිවලින් ආවරණය කළ, පියගැට පේළි සතරකින් යුත් වේදිකාවක් මත ඇත් දළින් කැටයම් කරන ලද සිංහාසනයකින් යුක්ත විය. එසේම රජු ඉතා වටිනා මැණික් හා මුතු ඔබ්බවන ලද ඔටුන්නක් පැළඳි බවත් අලංකාර වස්ත්‍ර වලින් සැරසී, රතු මැණික් වලින් වැඩදැමූ පාවහන් පැළද මුතු හා දියමන්ති වලින් තැනූ මුදු වලින් ඇඟිලි සරසා උරහිස දක්වා එල්ලා වැටෙන කර්ණාභරණ වලින් යුක්ත වූ බව ලොරෙන්සෝ ද අල්මේදාගේ දූතයෙක් වූ පායෝ ද සූසා රජු බැහැ දැකීමට ගිය අවස්ථාවේ දුටු අයුරු සඳහන් කර ඇත.

1909 දී කෝට්ටේ මාළිගාවත්ත නම් වූ තම පෞද්ගලික ස්ථානයේ ඩබ්ලිව්. එම්. ෆොන්සේකා විසින් කරන ලද කැණීමේ දී අඟල් 1.5 සිට 2 දක්වා ඝණකමකින් යුක්ත හුණු බදාමයක් යෙදූ කබොක් ගලින් නිම කරන ලද ගොඩනැගිල්ලක් සහ මකර තොරණක සලකුණු සොයා ගන්නට විය. එමෙන්ම මෙහි මකර මුවින් නෙළුම් මලක් සහ කැකුළු කිහිපයක් එල්ලෙමින් පැවති බව ද එම ගොඩනැගිල්ලේ තිබු දොර ජනෙල් සහ උළුවහු සිංහ, මොණර හා නෙළුම් මල් යෙදු කැටයමින් අලංකාර කර තිබූ බව ද සඳහන්ය.

කෝට්ටේ ඇතුළු නගරය තුළ පදිංචි වූයේ රාජ සභාවේ සේවය කළ ප්‍රභූ පිරිස සහ හමුදාවේ ඉහළ නිලධාරීන්ය. සේවා අවශ්‍යතාවය හා නිලයේ ගෞරවනීයත්වය ඊට හේතු විය. එසේම නගර ප්‍රාකාරයෙන් ඇතුළත සංඝාරාමවල භික්ෂූන්ගෙන් සුළු පිරිසක් වාසය කළ බව ද දැක්වේ. සුනේත්‍රා දේවි පිරිවෙන පැපිලියානේත්, විජයබා පිරිවෙන තොටගමුවේත්, ශ්‍රී ඝණානන්ද පිරිවෙන වීදාගමත්, පද්මාවතී පිරිවෙන කෑරගලත්, ඉරුගල්තිලක පිරිවෙන දෙවුන්දරත් යනාදි වශයෙන් වූ ආගමික මධ්‍යස්ථාන කෝට්ටේ නගරයට බැහැරව පිහිටා තිබුණි.

ඩග්ලස් ඩී. රණසිංහ පෙන්වා දෙන පරිදි වර්තමාන බත්තරමුල්ල මුල් කාලයේ දී බත්තොටමුල්ල නමින් හඳුන්වන්නට ඇති බවත් එම ප්‍රදේශය රජ මාළිගයෙහි මුළුතැන්ගෙයි සේවය කළ පිරිස වෙනුවෙන් පරවේණි ග්‍රාමයක් ලෙස පවරා තිබෙන්නට ඇතැයි යන්න දක්වා ඇත. එමෙන්ම ආරක්ෂක කටයුතුවල නියුතු වු සුළු සේවකයින්, නගර ශෝධකයින්, පරිපාලන කටයුතුවල හා ආගමික ආයතනවල සේවය කළ පුද්ගලයින්, ඇතුළු නුවරින් බැහැරව ජීවත් වන්නට ඇති බව කියැවේ.

1948.12.19 දින පුරා විද්‍යා දෙපාර්ත මේන්තුවට පවරා ගෙන ඇති බැද්දගාන වෙහෙර කන්ද, පැරණි කෝට්ටේ බලකොටු සීමාවෙන් මදක් බැහැරින් පිහිටා ඇති අතර අක්කර 2 යි රූඞ් 2 ක පමණ භූමියක් වර්තමානයේ ඊට වෙන්ව ඇත. සෙනරත් පරණවිතාන විසින් 1949 වර්ෂයේදී මෙම ස්ථානය කැණීමට බඳුන් කරන ලද අතර එහිදී ඔහුට කුඩා ප‍්‍රමාණයේ පැරණි දාගැබ් දෙකක සාධක අනාවරණය කර ගැනීමට හැකි විය.

කෝට්ෙට් යුගය සාහිත්‍යමය වශයෙන් ඉතා විශිෂ්ට ස්ථානයක් හිමි කර ගන්නා අතර එම සේවාවන් සඳහා අනුග්‍රහය දැක් වූ සුවිශේෂි රාජ්‍ය පාලකයන් පස්‌දෙනක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැකිය. ඔවුන් හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1412-1467), දෙවැනි ජයබාහු රජු (ක්‍රි. ව. 1467-1469), හයවැනි බුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1469-1480), හත්වැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1480-1490), අටවැනි වීර (ධර්ම) පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1490-1509), හයවැනි විජයබාහු (ක්‍රි.ව. 1509-1521) ලෙස දැක්විය හැකිය.

සිංහල රාජ වංශයේ අවසන් වරට මුළු ලංකාවම එක්‌සේසත් කළ පාලකයා වශයෙන් සැලකෙන හයවැනි පරාක්‍රමබාහු රජු මෙම රජවරුන් අතුරින් අද්විතීය ස්‌ථානයක් හිමිකර ගනී.

පෘතුගීසි සොල්දාදුවෙකු විසින් අහම්බෙන් තබන ලද වෙඩිල්ලකින් මිය ගියේ යැයි කියැවෙන හත්වැනි භුවනෙකබාහු රජුගේ මරණයත් සමඟ මෙම රාජ්‍ය අවසන් වූවා යැයි සඳහන් වේ. ඊට හේතු වූයේ භුවනෙකුබාහූගේ මුණුපුරු ධර්මපාල ක්‍රි.ව. 1551 දී කෝට්ටේ රජු බවට නිරායාසයෙන්ම පත් වීමයි. එනම් දොන් ජුවන් ධර්මපාල පෘතුගීසින්ගේ රූකඩ පාලකයකු ලෙස කටයුතු කළ අයෙකි.

සීතාවකෙන් එල්ල වූ තර්ජනවලට බියෙන් ධර්මපාලයන් කෝට්ටේ බලකොටුවෙහි වාසය නොකොට පෘතුගීසීන් විසින් ඉදි කරන ලද කොළඹ බලකොටුවට රැකවරණය පිණිස පලා යාම හේතුවෙන් කෝට්ටේ නගරය අභාවයට පත්ව ඇත. එමෙන්ම වරින් වර සීතාවකින් එල්ල වූ ප‍්‍රහාර නිසා කෝට්ටේ නගරයේ ගොඩනැගිලි විනාශ වූ අතර සීතාවක රාජසිංහගේ මරණයෙන් පසුව පෘතුගීසීන් කෝට්ටේ නගරයේ තිබූ ආගමික ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් කඩා බිඳ දමා කොළඹ නගරයේ නව ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස භාවිතයට පැහැර ගෙන ගොස් ඇත.

කෝට්ටේ තිබුණු කළු ගල් විශාල ප්‍රමාණයක් කොළඹ කොටුව ශක්තිමත් කිරීම පිණිස සහ දේවස්ථාන ඉදිකිරීමට පෘතුගීසීන් විසින් ගලවා ගෙන ගොස් ඇති අතර ලන්දේසීන් ද පැරණි නගරයේ ශේෂව පැවති කොටස් වලින් නිවාස තැනීමටත් ආදුරුප්පු වීදියේ වුල්ෆන්ඩල් (Wolfondhol) වැනි දේවස්ථාන ඉදිකරීමටත් පාලම් සෑදීමටත් භාවිතා කොට ඇත.

ක්වේරොස් සඳහන් කරන පරිදි ක්‍රි.ව. 1566 වර්ෂයට පසුව නගරය අතහැර දමන ලදුව අවලක්ෂණ මට්ටමක පැවතුණි. ගොඩනැඟිලිවල බිත්ති ඉවත් වෙමින් අලි ඇතුනට හා වෙනත් වන සතුන්ට එහි ඉඩකඩ ඇති විය.



සිළුමිණ
2020 අප්‍රේල් 19
රුක්ෂිලා වෙත්තමුණි

ප්‍රතිකාල්වරුන්ගේ බලකොටුවක් වූ ඓතිහාසික කුඩුම්බිගල




අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගම්මානය කුඩුම්බිගලට ආසන්නතම මිනිස් ජනාවාසයි. කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කි. මී. 340ක් පමණ දුරකින් කුමන වනෝද්‍යාන සීමාවේ පානම සිට රුහුණට ගමන් කරන මාවතේ කුඩුම්බිගල අභය භූමියෙහි කුඩුම්බිගල ආරණ්‍යය පිහිටා තිබෙන අතර මොණරාගල සිට කි. මී. 84 කින් හා පොතුවිල් සිට කි.මී. 30 ක දුරින් මෙම ඓතිහාසික පුදබිමට ළඟාවිය හැකිය. වයඹ දිශානුගතව මොණරාගල කඳුවැටියත්, ගිනිකොන දෙසින් මුහුදු වෙරළත් අතර භූමි භාගය කුඩුම්බිගලට අයත් වේ.

1973 සැප්තැම්බර් මස 28 වන දින විශේෂ ගැසට් නිවේදනයකින් අභයභූමියක් ලෙස එම පෙදෙස නම් කරන ලද අතර අක්කර දහසක පමණ ප්‍රමාණයක පර්වත පහකින් වට වූ භූමිය පුරා කුඩුම්බිගලට අයත් නටබුන් විසිර ඇතැයි සැලකේ. විල ඔයත්, කුඹුක්කන් ඔයත් අතර පිහිටි උසින් වැඩිම පර්වතය වූ සෑගිරි බැලුම් ගල ද ගිරි ජනපදයක් වූ කුඩුම්බිගල සුන්දර පරිසරයෙ කොටස්කරුවෝය. විල ඔය හා කුඹුක්කන් ඔය අතර භූමිය ඔස්සේ ගලා බසින කුඩුම්බිගල් ආර හා සැලව ආර නියං කාලයේ දී වියළී යයි.

නැඟෙනහිර මුහුදු වෙරළ ආසන්නව පිහිටා ඇති සැලව කලපුව අසල මාර්ගයෙන් ගමන් ගත් විට ඔකඳ දේවාලය හා බෞද්ධ සිද්ධස්ථානයට පිවිසිය හැකිය. කතරගම දෙවියන් ගොඩබට ස්ථානය ලෙස සැලකෙන අතර එහි දී කතරගම දෙවියන් පැමිණි රන් ඔරුව එම ස්ථානයේ දී ගල් වූ බව ද එය වෙරළෙ පිහිටා ඇති බව ද බොහෝ බැතිමතුන්ගේ වන්දනාමානයට බඳුන් වී ඇති බව ද එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කරයි.

පානම හා කුමණ කුඩුම්බිගලට ආසන්නව පිහිටි ගම්ය. අග විනිසුරුවරයෙකු වූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් 1806 දී මඩකලපුවේ සිට මාගමට නැගෙනහිර වෙරළ ඔස්සේ ගමන් කොට ඇති අතර ඔහුගේ වාර්තාවක ගම්මාන හතක් ඔස්සේ තම ගමන් මාර්ගය යෙදී තිබුණු බව සඳහන් කරයි. එම ගම් ලෙස හැලව, ඕකන්ද, කුමණ, පොතාන, යාල, බුත්තුව හා පලටුපාන දක්වා ඇත.

මේ ප්‍රදේශයට අයත් ඉතා පැරණි නගර දෙකක් ලෙස කෝන්ගල ලිපියෙහි සඳහන් නගරය හා නෙළුම්පත් පොකුණ ලිපියෙහි සඳහන් මහණ කරක දැක්විය හැකිය. 1821 දි පානම පෙදෙසේ පාලනය පිළිබඳ සඳහන් තොරතුරු අනුව එහි ජනාවාස පිහිටා තිබුණු බවත් මඩකලපුවේ විසූ කනගරත්න මුදලි විසින් ලියූ පොතක පුංචිරාල අගලම්මරාල රටේ මහතා එවක පානම පාලකයා ලෙස සිටි බවත් සඳහන්ය. 18 වන සියවස මැද භාගය වන විට මැලේරියා වසංගතය හේතුකොට ගෙන ජනවාස පවුල් කිහිපයකට පමණක් සීමා වීම නිසා එම පෙදෙස වන ගත වූ බවත් කුඩුම්බිගල ආරණ්‍යයද අභාවයට ගිය බවත් සැලකේ. මිනිස් වාසභූමියක් ලෙස නැවතත් එම පෙදෙස සක්‍රීය වූයේ 1964 දීය.

රුදුරු වන ප්‍රවාහයට ලක්ව ශත වර්ෂ ගණනක් පැවති කුඩුම්බිගල නටබුන් නැවත මිනිස් පහස ලද්දේ 1942 වසරේදීය. ඒ උපතින් කිතුනුවකු වූ පසුව බුදු දහම වැලඳගත් මෛත්‍රී නමින් හැඳින්වූ උපාසක මහතා නිසාය. ඔහු විසින් මෙහි සුදර්ශන ලෙන නමින් හැඳින්වෙන ලෙන පිළිසකර කොට කුටියක් සාදා ඉතා දුක සේ ජීවත් ව සිටි අතර 1954 දී තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේ වැඩම කොට ගෙන නැවත පූජනීය ස්ථානයක් බවට සකසා ඇත.

පැරණි වාරි කර්මාන්ත රැසක් කුඩුම්බිගල අවට පරිසරයේ දකින්නට ඇති අතර ඉන් වැව් ප්‍රධාන තැනක් හිමි කරගනී. වර්තමානය වන විට එම වැව් බොහෝ ප්‍රමාණයක් මඩවගුරු හෝ වියළි පිටි බවට පත්ව වනගහනයට ලක්ව ඇත. ගිනිකොන දෙසින් පිහිටි වැව කුඩුම්බිගල නමින් හැඳින්වෙන අතර එය ප්‍රමාණයෙන් ඉතා කුඩාය. ගල් බැම්මේ ශේෂයන් හා සොරොව්ව අද ද දක්නට ලැබේ. බඹරගස්තලා වැව ගිරිකුළු ආර හරස් කොට බැඳි වැවක් බටහිර දෙසින් පිහිටා ඇත. එසේම ඉයග්ගහ වැව පැරණි වැවක් ලෙස සැලකේ. එය කුඩුම්බිගලට වයඹ දිගින් පිහිටා තිබේ. මේ පෙදෙස ඔස්සේ ගලා යන සියලුම ජල පහරවල් හරස් වන පරිදි එම වැව බැඳ ඇත. සොරොව්ව කළුගලින් නිමවා තිබෙන අතර එහි නටබුන් දක්නට ලැබේ. සැලව ආර හරස්කර බැඳ ඇති විශාලම වැවක් වූ උඩහැලව වැව උතුරු දිශානුගතව පිහිටා ඇතිමුත් ගන කැලෑවක් බවට පත්ව තිබේ.

හෙන්රි පාකර් විසින් ලියන ලද පුරාතන ලංකාව (Ancient Ceylon) නැමැති ග්‍රන්ථයේ කුඩුම්බිගල සුදර්ශන ලෙනෙහි ඇති මිත්‍රගේ ලෙන් ලිපිය සහිත ලිපි 5 ක් පිටපත් කර දක්වා ඇත. එහෙත් ඒවායේ පිටපත් බොහෝ දුරට සාවද්‍ය බව දැනට පැහැදිලි වන බවයි එල්ලාවල මේධානන්ද හිමිගේ අදහස. ඒ.එම්. හෝකාට්, පානම හා ලාහුගල පෙදෙස ආශ්‍රිතව තබන ලද කෙටි සටහනේ කුඩුම්බිගල පිහිටි දාගැබක ලක්ෂණ විග්‍රහ කර ඇති අතර එය සිලින්ඩරයක හැඩය ගන්නා බවත් දක්වයි. රාජකීය ආසියාතික සංගමයේ ලංකා සඟරාවේ සී.ඩබ්ලිව්. නිකොලස් විසින් මෙහි ලිපි පහක් පිටපත් කර 147 වන පිටුවේ පළකර ඇත.

කුඩුම්බිගල ප්‍රදේශයේ ඇති මානව විද්‍යාත්මක කරුණු පිළිබඳව දැරණියගල විසින් පුරාතන ලංකාව සඟරාව (Ancient Ceylon, Agust 1972 No.I) සඳහා මිත්‍රගේ ලෙනෙහි ඡායාරූපයක් හා කුඩුම්බිගල ගොඩැල්ල ගැන කෙටි විස්තරයක් දක්වා ඇත.

කුඩුම්බිගල ඇති සියලු නෂ්ටාවශේෂ ගඩොල් හා ශිලා නිර්මාණවලින් යුක්තය. පැතලි උළු විශේෂයක් භාවිතා කොට ගොඩනැගිලි සෙවිලි කිරීම සිදු කර ඇති බව පෙනේ. මෙහි ස්තූප වශයෙන් හඳුනාගත හැකි ගොඩැලි 8ක් දක්නට ඇති අතර ඉන් තුනක් සෑගිරි බැලුම්ගල පිහිටා ඇත. මෙහි ප්‍රධාන ස්තූපය සංරක්ෂණය කර ඇති අතර එය සිලින්ඩරයක හැඩය ගනී. වේදිකාව හා පියගැට පෙළ ගඩොල්වලින් නිර්මාණය කොට ඇත. මළුව ගඩොල් අතුරා ඇති අතර ඇතැම් ගඩොල් කැටවල අක්ෂර හා විශේෂ සටහන් දක්නට ලැබේ. එම අක්ෂර අනුව යුග තුනක් නියෝජනය වන බව අදහසයි.

කුඩුම්බිගල ලෙන් ඉදිකිරීම සඳහා බිත්ති බැඳීමේ දී අත්තිවාරම් ඉතා ගැඹුරට හා පුළුල්ව යොදා ඇත. මෙහි ඇති තිස්ස ලෙන ඉදිකරීමේ දී ඉතා ශක්තිමත් ලෙස බෙලිකටු මිශ්‍රිත හුනු බදාමයක් යොදා ගෙන තිබේ.

මෙහි පියගැට පෙළවල් වර්ග දෙකකි. පර්වතයේම කපන ලද පියගැට මෙන්ම කෘත්‍රිමව සකසන ලද පියගැටය. මේ අතර විශේෂ සටහන් සහිත පියගැට පෙළවල් දෙකක් දක්නට ඇත. සුදර්ශන ලෙනට පිවීසීමට පියගැට 18 ක් නිමවා ඇත. එය ධර්මගුප්ත නම් කෙනෙකු විසින් පූජා කරවන ලද්දකි. මුල් කොටසට අයත් පියගැටෙහි සෙල් ලිපියක දක්වා තිබෙන්නේ මෙසේය.

දකුණේ සිට වමට සෙල් ලිපිය කියවීමේ දී,

බත දමගුතශ අටදශ පදගදිනි

අර්ථය - ස්වාමී ධර්මගුප්තගේ පියගැට දහ අට (දෙන ලදී)

වමේ සිට දකුණට සෙල් ලිපිය කියවීමේ දී,

අර්ථය - දායකයා පියගැට පෙළ කපා පූජා කරන ලද බව

දෙවන කොටසට අයත් පියගැට 12 වෙනත් දායකයෙකු විසින් කරවන ලද්දකි. නමුත් මෙහි දායකයාගේ නම සඳහන් කොටස පතුරු ගැලවී ඇති බැවින් කර වූ පුද්ගලයා හඳුනාගත නොහැකිය.

කුඩුම්බිගල ආරණ්‍යවාසී භික්ෂූන් උදෙසා තනවන ලද ලෙන් 105 ක් පමණ හඳුනාගෙන තිබේ. එකකට එකක් මඳ දුරක් සිටින සේ එම ලෙන් පිහිටා ඇත. මෙහි සෑම ලෙනක්ම කටාරම් කොටා ඇති අතර ඉන් පසක් වන්නේ එම සියල්ලේම අතීතයේ දී යෝගාචරයන් වහන්සේලා වැඩ විසූ බවයි. ඇතැම් ලෙන්වල බ්‍රහ්මී අක්ෂර වලින් එම ලෙන් කරවූ දායකයන් කවුරුද යන්න සටහන් කොට තිබේ.

ස්වභාවිකව නිමවුණු පොකුණු මෙහි දක්නට ලැබේ. ඒවා දියකෙමි හා ගල්කෙමි ලෙස හැඳින්වේ. එමෙන්ම ගල් කඳු අතරින් ගලාවිත් අඩි 20 ක් පමණ පහළට ඇද හැලෙන දිය ඇල්ල හේතුවෙන් භාවනායෝගී භික්ෂුණ්ගේ පැන් අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වේ. මෙම දිය ඇල්ල අවුරුද්ද පුරා මාස 9 ක් වැනි කාලයක් නොසිඳී පවතී.

කුඩුම්බිගල තපෝවනය පුරාණ කාලයේ දී රෝහණ චේතිය පබ්බතය යන්න ව්‍යවහාර කර ඇත. එහි ඉතාම වැදගත් ලෙස සැලකෙන දුර්ලභ වූ ජූජනීය සංකේත දෙකක් හමුවේ. එනම් සෑගිරි බැලුම් ගලෙහි පිහිටි පළමු වන ස්තූපය හා සුදර්ශන ලෙනෙහි ඇති ත්‍රිශූලාකාර සටහනයි.

අභිලේඛනවල දැක්වෙන පරිදි කුඩුම්බිගල පැරණි නිර්මාතෘවරු කිහිප දෙනෙකි. ලෙන් සැකසීමේ දී මේ සියලු දෙනාගේම දායකත්වය ලැබුණු බව සඳහන්ය. ඔවුන් ශුමන, මිත, දමගුත, පුශගුත, දමරකිත යනාදි වශයෙන් දැක්විය හැකිය.

පෘතුගීසි හා ලන්දේසින් මූදුබඩ පළාත් පාලනය කළ සමයේ කුඩුම්බිගල බලකොටුවක් ලෙස යොදා ගෙන තිබූ බව කියැවේ. සෑගිරි බැලුම්ගල අසල තිබී හමු වූ පෘතුගීසි හේවායකුගේ කවන්ධ රූප මැටි ජෝග්ගු කැබලි කීපය හා කාසි ඊට සාක්ෂි සපයයි.

මෙම භූමියෙන් හමූ වූ විවිධ දෑ අතර මැටියෙන් තැනූ පෘතුගීසි සෙබළෙකුගේ කවන්ධ රූප දෙකකි. අත් දිග හැර ඇති අයුරින් නිමකර තිබෙන්නට ඇති බවත් කඩුවක් පැළඳ මාලයක් කර බැඳ ඇති සෙබළාගේ අඳුම සම්පූර්ණ වශයෙන්ම පෘතුගීසීය.



සිළුමිණ
2020 අප්‍රේල් 12
රුක්ෂිලා වෙත්තමුණි

ශීත ලෙන් තැනූ රජගල උරුමය


නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් තුනකට රජගල කන්ද අයත් වන අතර රජගල ආරාමික පුරාවිද්‍යා භූමිය අම්පාර මහඔය මාර්ගයේ කිලෝ මීටර් 26 කින් පසුව බක්කිඇල්ල හන්දියට නුදුරින් පිහිටා තිබේ.

1940 අංක 69 දරණ පුරාවස්තු ආඥා පනත මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ලෙස මෙම පෞරාණික ආරාම සංකීර්ණය නම් කොට ඇත. අනුරාධපුර යුගය නියෝජනය කරනු ලබන ස්මාරක අවශේෂ හා පුරාවස්තු මෙම භූමිය පුරාම විසිරි පවතී. 1968.09.28 වන දින රජයේ මිණුම් දෙපාර්තමේන්තුව විසින් අක්කර 1025 පර්චස් 16ක භූමි ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස නම් කෙරුණු අතර 1977.02.14 වන දින නැවත මිණුම්ගත කර එම අක්කර ගණන තහවුරු කොට තිබේ.

2012 සැප්තැම්බර් මස 01 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව ගිවිසුම් ප්‍රකාරව රජගල පුරාවිද්‍යා රක්ෂිතයේ ගවේෂණ , කැණීම් සහ සංරක්ෂණ කටයුතු ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයට පවරන ලදී. ඒ අනුව රජගල ඉදිරි සියලු කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විශ්වවිද්‍යාලයේ අදාළ අංශය විසින් සිදු කරනු ලැබීය.

ගිරිකුම්භීල යන්න රජගල සඳහා භාවිත කළ අතීත නාමයයි. වර්තමානයේ දී රජගල හෝ රාස්සහෙළ යනුවෙන් මෙම පුරාවිද්‍යා භූමිය නම්කොට තිබේ. ගිරිකුම්භීල යන්නෙහි කුම්භීල යනු පාලි භාෂාවෙන් කිඹුලා යන්නය. ගිරි යනු කන්ද හෙවත් පර්වතයයි. කුම්භීලගිරි ලෙස අතීතයේ දී රජගල කඳුවැටිය සඳහා නම්කොට තිබුණේ කිඹුල් කන්ද යන අර්ථය හේතුවෙනි. එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ ඈත සිට බලන විට රජගල කඳු වැටිය වැතිරී සිටින කිඹුලෙකුගේ ස්වරූපයෙන් පෙනෙන බැවින් කිඹුල් කන්ද යන අදහසින් කුම්භීලගිරි ලෙස නම් කරන්නට ඇති බවයි.

මහාවංශයේ මෙන්ම සහස්සවත්ථුපකරණය හා සද්ධර්මාලංකාරයේ රජගල, ගිරිකුම්භීල ලෙස මුලින් හැඳින්වුවද පසුව අරියාකර විහාරය හෝ අරිකාරි වෙහෙර ලෙස සඳහන් කොට ඇත. අරියවංශ දේශනාවට ප්‍රසිද්ධ ස්ථානයක් වීම හේතුවෙන් අරියාකර විහාරය යන්න ප්‍රචලිත විය. මෙතෙක් හමු වී ඇති ශිලා ලිපි අනුව වඩාත් පැරණිම නාමය ලෙස කූඨකණ්ණ තිස්ස රජුගේ කාලයේ දී යුව රජු වූ මහාදාඨික මහානාග විසින් කරවන ලද ගිරි ලිපියක කුම්බිලපිතිසපවත විහර යන්න දක්වා තිබේ.

ලජ්ජිතිස්ස රජු විසින් ගිරිකුම්භීල විහාරය කරවූ බව සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි සාක්ෂි දරනු ලැබේ. දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්සගේ වැඩිමහල් පුත් ලෙස ලජ්ජිතිස්ස සඳහන්ය. මෙම රජු විසින් ශීත ලෙන් 25ක් කර වූ බව රජගලින් අනාවරණය කරගත් ශිලා ලිපියකින් තහවුරු වේ. ඒ අනුව අතීතයේ සිටම එනම් ක්‍රි.පූ. දෙවන සියවසේ දී ලක්දිව ශීත ලෙන් තනා ඇති බවට සාක්ෂි සපයයි. රජගල කඳුවැටිය හරහා හමා එන සිහිල් සුළඟ ගල්ලෙන් තුළට පැමිණීමට සලස්වා ශීත ලෙන් ඉඳිකොට තිබුණු බව වියතුන්ගේ මතයයි.

සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන පරිදි ගිරිකුම්භීල විහාරය හා ලජ්ජිතිස්ස රජු අතර විශාල සබඳතාවක් පැවත ඇත. රජගලින් හමු වූ ශිලා ලේඛන 07 න් එක් ලිපියක මෙසේ සඳහන් කොට තිබේ.

දෙවනපිය මහරජ ගාමිණි තිස්සගේ පුත් ලංජක රජු යන්නය. පරණවිතානයන්ට අනුව දෙවනපිය මහරජු යනු සද්ධාතිස්ස රජු යන්නත් ලංජක රජු යනු සද්ධාතිස්සගේ පුත් ලජ්ජිතිස්ස බවත්ය.

රජගලෙන් හමු වූ මෙම ශිලා ලිපි 07 අතර ඉතිරි ලිපි 06 න් 04 ක් තිශ අය හෝ මහ අය ලෙස හැඳින්වෙන අයෙකුගේ භාර්යාවන් විසින් ලෙන් පූජා කරන ලද ඇති බවත් එම භාර්යාවන් ලෙස යසස්සිනී, බුද්ධදත්තා, සාමිකා හා අභිජාතා යන්න දක්වා ඇත. තිශ අය හෝ මහ අය නමින් හැඳින්වූ අයෙක් ලෙන් පූජා කළ බව අනෙක් ලිපි දෙකෙහි සඳහන්ව ඇත.

සාමිකා නම් වූ භාර්යාව විසින් පූජා කරන ලද ලෙනේ ඇති ශිලා ලේඛනයේ මෙසේ සඳහන්ය.

දෙවනපිය මහරඣහ ගමණි තිශහ පුතහ තිශ අයහ ඣය උපශික ශමිකය ලෙණෙ

අර්ථය - දෙවියන්ට ප්‍රිය වූ ගාමිණිතිස්ස මහරජුගේ පුත්‍ර තිස්ස කුමාරයාගේ භාර්යා උපාසිකා සාමිකාගේ ලෙන

මිහින්තලය, රිටිගල, අරන්කැලේ, කුඩුම්බිගල ආදී ආරණ්‍යවාසී භික්ෂු වාසස්ථාන මෙන් අනුරාධපුර යුගයේ දී ප්‍රචලිත ආරණ්‍ය සේනාසනයක් ලෙස රජගල හැඳින්විය හැකිය. එහෙත් අනුරාධපුර රාජධානිය බිඳ වැටීම හේතුකොටගෙන කාලයාගේ ඇවෑමෙන් භික්ෂූන්ගෙන් තොර භූමියක් බවට පත්ව රජගල වනගත විය. රජගල සිදුකළ ගවේෂණ හා කැණීම්වලදී තහවුරු වූයේ අනුරාධපුර යුගයට පසුව කිසිදු කාලවකවානුවක මෙහි ප්‍රතිසංස්කරණයක් හෝ ඉදිකිරීමක් කර නොමැති බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික මැදිහත් වීමෙන් 1935 දී ලෝංහස්ට් නම් එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ සමයෙහි රජගල භූමියේ සෙල්ලිපි පිටපත් කිරීම ආරම්භ කර ඇත. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය 1949 දී ආරම්භ කිරීම හේතුකොට ගෙන එහි නිලධාරියෙකු වූ පී. දාබරේ මහතාගේ මූලිකත්වයෙන් වනගතව පැවති රජගල භූමියේ පෞරාණික ස්මාරක සැලකිය යුතු ප්‍රමාණයක් මතුකර ගැනීමට හැකිවිය.

1950න් පසුව මෙම භූමියේ ස්මාරක හඳුනා ගැනීමටත්, ශිලා ලේඛන පිටපත් කිරීම හා කැණීම් කටයුතු සිදුකිරීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යොමුවිය. 1959 දී නිකුත් කළ පුරාවිද්‍යාා පාලන වාර්තාව අනුව රජගල සම්බන්ධව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. එනම්,

“නො.33 ගම අසල පිහිටි තේක්ක වත්තක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගල කන්ද නැමැති කැලෑ බිහි වූ කන්දකට පැමිණේ.... එහි නටබුන් දේ අතර ස්තූපයක හා වටකුරු ගොඩනැගිල්ලක ද ගල් කුළුණු සහිත හතරැස් පායක හා නෙලා අවසන් නොකළ සෙල්මුවා බුදු පිළිමයක ද නෂ්ඨාවශේෂයෝ වෙත්. අඩි 19 ක් උස මේ බුදුරුව අවුකන ප්‍රතිමාව සිහිපත් කරවයි” යන්න සඳහන්ව ඇත.

එමෙන්ම 1962 පාලන වාර්තාව අනුව “මෙහි ලැබුණු එකම බුදු පිළිමය තරමක් දුරට වැඩ කර නැවැත්වූවක්ය. එය තවමත් තියෙන්නේ ශිල්පියා ගල තියාගෙන වැඩ කළ තැනමය” යනුවෙන් විස්තර කොට ඇති අතර එම වාර්තාවේම මෙම වර්ෂයේ දී ලෙන් ලිපි 22 ක් හා තවත් සෙල්ලිපි 5 ක් ලැබුණු බව ද මෙහි කොරවක් ගල්, ගල්පාත්‍ර, ස්තූප හා ගොඩනැගිලි පිළිබඳව ද කරුණු අන්තර්ගතය.

1960 පාලන වාර්තාෙව් දැක්වෙන පරිදි රජගල පුරාවිද්‍යාභූමිය පුරාවිද්‍යා තහනම් ඉඩමක් බවට පත්කොට තිබේ. එමගින් එහි සම්පූර්ණ අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුවිය.

රජගල භූමියේ ඇතැම් ගල්ලෙන් වන වැදී තිබුණු කාලවකවානුවේ දී දිවුලාන හරහා පැමිණෙන ආදිවාසීන්ගේ තාවකාලික වාසභූමි බවට පත්ව තිබී ඇත. එසේ පැමිණි වැදි ජනයා විසින් ඇතැම් ලෙන්වල සටහන් කරන ලද චිත්‍ර හා රේඛා සටහන් මෙහි ශේෂව ඇත. රාස්සගල සිටි නාගකච්චා නම් ආදිවාසියා ගැන ආර්.එල්.ස්පිට්ල් මහතා තම සංචාරක සටහන්හි දක්වා තිබේ.

මෙම පුරාවිද්‍යාභූමියෙන් හමු වූ යකඩින් තැනූ මල කෑ කෙටේරිය එම ආදිවාසීන් විසින් භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඉට්ඨිය තෙරුන් හා මිහිඳු තෙරුන්ගේ නම් සඳහන් ශිලා ලිපිය රජගලින් හමු වූ ශිලා ලිපි අතර එහි ඓතිහාසිකත්වය පදනම් කොට ගෙන ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. පරණවිතානයන් දක්වන පරිදි එම ශිලා ලේඛනය,

යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිදතෙරහ තුබෙ

අර්ථය - මේ දිවයිනට පළමුවෙන් සමුර්ධිය සඳහා පැමිණි ඉත්තිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ස්තූපයයි

මෙම ශිලා ලිපිය අසල පිහිටි කුඩා ස්තූපයේ ඉට්ඨිය හා මිහිඳු යන හිමිවරුන්ගේ ධාතු නිධන් කොට තිබෙන්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. පරණවිතානයන් ප්‍රකාශ කරන්නේ මිහිඳු හිමිගේ පරිනිර්වාණයෙන් නොබෝ කලකින් ම මෙම ස්තූපය ගොඩ නංවන්නට ඇති බවයි. චාල්ස් ගොඩකුඹුර තම වාර්තාවක දක්වා තිබෙන්නේ මෙම ශිලා ලේඛනය ක්‍රි.පූ. 3 වන සියවසට පමණ අයත් විය හැකිය යන්නය.

රජගලින් හමු වී ඇති ශිලා ලේඛන අනුව ලජ්ජිතිස්ස රජුගෙන් පසු කාලයේ සිටි රජවරු ද රුහුණේ සිටි උප රජවරු ද වෙනත් ප්‍රභූවරුන් ද රජගල ආරාමයේ සමෘද්ධිය උදෙසා විවිධ පරිත්‍යාග කළ බවත්, ගම්බිම් පූජා කොට ඇති අතර විවිධ ගොඩනැගිලි තැනීම ද සිදුකොට ඇති බව පැහැදිලි වේ.

විහාරස්ථානයේ ප්‍රයෝජනය පිණිස කූඨකණ්ණ තිස්ස රජු උපරාජ අවදියේ දී ගම් දෙකක් පූජා කොට ඇත. එමෙන් ම භාතික අභය රජු විසින් යජිනි නම් සංඝාරාමයක් කරවීම, මරගම නැමැති වැව විහාරයට පූජා කිරීම, බෝධිඝරයක් සහ ආසන කරවීම, මහරජ ඇළේ බද්දෙන් කොටසක් විහාරයට පූජා කිරීම, වෙනත් වැව් හා ජල බදු විහාරයට ලබා දීම යනාදිය කරවන ලද බව සෙල්ලිපි ඇසුරින් තහවුරු වේ.

මහාචාර්ය සිරිමල් රණවැල්ල විසින් කියවා ප්‍රකාශයට පත්කොට ඇති ක්‍රි.ව. 9-10 ට අයත් ශිලා ලේඛනය අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ අවසානය දක්වා භික්ෂු වාසස්ථානයක් ලෙස රජගල විහාර සංකීර්ණය පැවති බවය.

කඳුවැටියක මුදුනේ මෙම ආරාම සංකීර්ණය පිහිටා ඇති බැවින් අතීතයේ දී වූව ද එම ස්ථානය කරා පිය මැනීමට පා ගමනින්ම කඳුවැටියට නැගීමට සිදු වූ බව සිතිය හැකිය. අතීතයේ දී තැනූ මාවත් දෙකක් ඔස්සේ මෙහි මුදුනට නැගිය හැකි අතර එහි අඩි ප්‍රමාණය 1038 ක් ලෙස සඳහන්ය. රජගල වත්මනේ දී ඉදිකොට ඇති රථගාලට දකුණු පසින් හා නැගෙනහිර පසින් මෙම අතීත මාර්ග දෙකට පිවිසිය හැකි අතර මිහිඳු සෑය අසල දී මෙම මාර්ගයන් ඒකාබද්ධ වේ. වසර දහසක පමණ කාලයක් වනගතව පැවති මෙම මාර්ගවල පියගැට පේළී සැලකිය යුතු හානියක් සිදුව පැවතුණි. 2013 වසරේ දී රජගල ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පියගැට පෙළ හා පෙත් මඟ සංරක්ෂණය කරන්නට විය.

මෙහි පිය ගැට පෙළ ඉදිකිරීමේ දී ගෝමුත්‍රිකා රටාවකට (Zigsag ක්‍රමයට) එය සකස් කොට තිබේ. එනම් පියගැට කිහිපයක් පසු කිරීමෙන් අනතුරුව සමතලා අංගනයකට පිවිසීමට ඇති අතර නැවත පිටගැට පෙළක් හා සමතලා අංගනයක් ලෙසින් නිර්මාණය කොට තිබීමයි. පියගැට පෙළ නගින්නන් හට අවම වෙහෙසක් ගෙන දෙන්නට එසේ මාලක සකසා තිබීම අතීත නිර්මාණකරුවාගේ දක්ෂතාවයයි. ඔවුන් මෙම මාලක සකස් කිරීමට පස් මෙන්ම ගල් ද භාවිත කොට ඇත.

රජගල ආරාම සංකීර්ණය ආශ්‍රිතව සෙල් ලිපි 80 ක ට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන තිබෙන අතර මැටි කරඬුවක හා උළු කැටයක ලියන ලද ලිපි හමුවීම මෙහිදි සුවිශේෂි වේ. 2009 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණයක දී දැනට කැණීම් කොට සංරක්ෂණය කොට ඇති ප්‍රධාන දාගැබ් දෙකෙන් විශාල දාගැබ අසන්නයේ තිබී මෙම මැටි කරඬු ලිපිය සොයා ගන්නා ලදී. මෙබඳු මැටි කරඬු කිහිපයක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව හමූවූව ද ඒවායේ අක්ෂර සටහන්ව නොතිබුණි. මෙම අක්ෂර සහිත කරඬුව පියන හා බඳ වශයෙන් කොටස් දෙකකින් යුක්තය. පියන කේතුකාර හැඩයක් ගන්නා අතර බඳ පාත්‍රයකට සමාන වේ. අඟල් 07ක උසකින් යුත් මෙහි මුවවිටට මදක් ආසන්නව අක්ෂර පේළි දෙකක් ලෙස ලියා ඇත. දැනට ලංකාවෙන් හමු වී ඇති මැටි බඳුනක ලියන ලද පැරණිම ලිපිය ලෙස මෙය හැඳින්වේ. මෙහි අක්ෂර ලක්ෂණ අනුව ක්‍රි.ව. 1-2 සියවස් වලට අයත් යැයි සඳහන්ය.

අංක 10 දරණ ජන්තාඝර ගොඩනැගිලි භූමියෙන් මතුපිට සිට සෙ.මි. 23ක ගැඹුරින් මැටි උළු කැටයක ලියන ලද ලිපිය හමුවිය. කොටස් 03 කට කැඩී තිබුණු මෙය අසම්පූර්ණ උළු කැටයක් ලෙසත් මෘදු මැටි විශේෂයක් භාවිතා කොට නිර්මාණය කරල ලද බවත් සඳහන්ය. ලේඛනය හුරු අයෙක් විසින් සිහින් තුඩකින් මෙම අක්ෂර සටහන් කරන්නට ඇතැයි යන්නත් එය පේළි 03 කින් සමන්විත යන්න දැක්වේ. මෙහි සඳහන් ලිපියේ අර්ථය ලෙස දක්වා ඇත්තේ, බුදල් නම් තීරු බදු අය කරන නිලධාරියා විසින් පිනට කරවන ලද උළු කැටයයි යන්නය.

රජගල මහලෙන තුළ කළ කැණීම්වලින් මධ්‍ය ශිලා යුගයට අයත් මානව අවශේෂ ලැබුණු අතර නැගෙනහිර පළාතෙන් හමු වූ පළමු ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය ලෙස රජගල ඉතිහාසගත විය.

සිළුමිණ
2020 අප්‍රේල් 05
රුක්ෂිලා වෙත්තමුණි

Wednesday, April 1, 2020

නාමල් උයනේ සැඟවුණු විවිධත්වය

අදින් වසර මිලි­යන 550 ක ඈත ඉති­හා­ස­යක් නියෝ­ජ­නය කරන ජාතික නාමල් උයන රෝස තිරි­වානා කඳු­වැ­ටිය අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පලා­ගල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ගල්කි­රි­යා­ගම ග්‍රාමයේ පිහිටා ඇත. ශාක හා සත්ත්ව විවි­ධ­ත්ව­යෙන් පොහො­සත් පරි­සර පද්ධ­ති­ය­කින් යුත් මෙම භූමිය ඓති­හා­සික නට­බුන් රැස­කින් සම­න්වි­තය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වූ නා ගස පද­නම් කොට ගෙන 1991 වස­රේදී නා වන­යක්ව පැවති භූමි භාගය නා උය­නක් බවට පත්විය. ඒ වන­වාසී රහුල හිමිගේ ප්‍රධා­න­ත්ව­යෙනි. අදින් වසර 29 කට පෙර 1991 මාර්තු 28 වන දින රාහුල හිමි­යන් නා වනයේ පදිං­චි­යට යාම හේතු­කොට ගෙන මෙම ජාතික උරු­මය ආරක්ෂා විය.
නාමල් උයනේ ඓති­හා­සි­ක­ත්වය පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරීමේ දී එය අතී­තයේ දී සංඝා­රා­ම­යක් ලෙස පැව­තුණ යැයි විශ්වාස කෙරේ. වත්ම­නේදී ද ශේෂ වූ නට­බුන් රැසක් දක්නට ලැබේ. 2018 වසරේ දී මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල විසින් සිදු කරන ලද ගවේ­ෂණ කට­යුතු වලින් පුරා­වි­ද්‍යා­ත්මක, භූ විද්‍යා­ත්මක, ජෛව විද්‍යා­ත්මක කරුණු මෙන්ම ජාතික, ආග­මික හා අධ්‍යා­ප­නික වටි­නා­කම ඉස්මතු කරනු ලැබීය.
2018 වසරේ අව­සන් භාගයේ සිට මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ ව්‍යාපෘ­ති­යක් ලෙස ස්ථාපිත කොට ජාතික නාමල් උයනෙ පූර්ණ අයි­තිය පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සතු වන අතර චෛත්‍ය හා බෝධි­ඝ­රය මීට ඉහ­තදී කැණීම් කොට ඇත. නාමල් උයනේ අක්කර 60 ක පමණ භූමි භාගය පුරා­විද්‍යා භූමි­යක් ලෙස නම් කොට තිබේ. ලංකාවේ විශා­ල­තම නා උයන ලෙස මෙය සැල­කෙන අතර දඹුලු ඔය, ඉබ්බ­න්ක­ටුව වැව හා ඉඳි­ගොල්ල වැව නා උය­නෙන් පෝෂ­ණය වේ.
ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ වර්ෂ 2005 අප්‍රේල් මස 07 වැනි බ්‍රහ­ස්ප­තින්දා අංක 138/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් වන ආඥා­ප­නතේ 1966 අංක 13, 1979 අංක 56, 1982 අංක 13, 1988 අංක 84, 1995 අංක 23 දරන සංශෝ­ධිත පනතේ 451 වැනි “අ”වග­න්තිය 3“අ”වග­න්තියේ නිය­ම­යන්ට පරිදි රණව කන්ද හෙවත් නාමල් උයන 2005 අප්‍රේල් 26 වන දින සිට රක්ෂිත වනා­න්ත­ර­යක් බවට පත්විය. එව­කට අක්කර 260 ක භූමි භාග­යක වවන ලද නා ගස් දහස් ගණ­න­කින් යුක්ත වී ඇත. ජාතික නාමල් උයන වර්ත­මා­නය වන විට අක්කර 2000 ට (හෙක්ට­යාර් 972) වැඩි භූමි ප්‍රදේ­ශ­යක් නා ගස් වලින් පම­ණක් පෝෂ­ණය වන අතර බටු නා ප්‍රභේ­ද­යට අයත් නා ශාක මෙහි දක්නට ඇත. එය 85% ක ප්‍රති­ශ­ත­යකි. නා ගස ශ්‍රී ලංකා­වට ඒක දේශිය ශාක­යක් වන අතර දිය නා ප්‍රභේ­ද­යට අයත් නා ගස් ද මෙහි දක්නට ලැබේ.
වනය පුරා දිය­පා­ර­වල් ඔස්සේ ගලා යන ජලය, රෝස තිරි­වානා කඳු ශිඛ­රය ආර­ම්භ­යේ­දීම අඩි 5 ක් පමණ ඉහළ සිට පහළ ගල් පාත්‍රය (ගල් පහන) මතට දිය ඇල්ලක් ආකා­ර­යෙන් ඇද හැලේ. ගල් පාත්‍රය මතින් ගලා­යන ජලය මඳ දුරක් ගොස් අතු­රු­ද­හන්ව නැවත ඌරා කොටේ ප්‍රදේ­ශ­යෙන් මතු වේ. එසේ මතු­වන්නේ කිලෝ­මී­ට­ර­යක් පමණ දුරක් ගලා ගිය පසුය. එසේම වනය මැදින් ගලා යන අනෙක් දිය කඩිති උල්ප­ත­ගම සහ මහ ඉදි­ගොල්ල අස­ලින් නැවත දිය උල්ප­තක් ලෙස මතු වේ.
බෞද්ධ සාහිත්‍ය අනුව නා ගස බෞද්ධ­යන්ගේ පූජ­නීය වෘක්ෂ­යකි. එනම් මංගල, සුමන, රේවත හා සෝභිත නම් වූ බුදු­වරු නා ගස් සෙවණේ බුද්ධ­ත්ව­යට පත්වී­මයි. නාමල් උයනේ පිහිටා තිබෙන ඓති­හා­සික ස්මාරක අතර ස්තූපය, බෝධි­ඝ­රය, සීමා මාල­කය, ගල් පහන, භික්ෂූ ආවාස කුටි­වල නට­බුන් හා සඳ­කඩ පහණ විශේ­ෂ­ත්ව­යක් හිමි­කර ගනී. නාමල් උයන සම්බ­න්ධව සෘජුව ලේඛ­න­ගත තොර­තුරු හමු නොවූව ද පුරා­වි­ද්‍යා­ත්මක සාධක රැසක් දක්නට ලැබේ. නාමල් උය­නට පිවි­සෙන මඩා­ටු­ගම රණව ගම්මා­නය ජන­ප්‍ර­වා­ද­යට අනුව දුටු­ගැ­මුණු රජුගේ සේනා­වට ආයුධ නිප­දවා සේනාව රැස්කළ ස්ථාන­යකි. එළාර දුටු­ගැ­මුණු යුද්ධය ඉතා දරු­ණුව සිදු වූ විජි­ත­පු­ර­යට සැත­පුම් 5 ක් පමණ දුරින් මඩා­ටු­ගම ගම්මා­නයේ දෙව්රද රන්දද විහා­රය පිහිටා ඇත.
එහි මනාව කැට­යම් කරන ලද අට­ප­ට්ටම් ගල් කණු­වක ශිලා ලේඛ­න­යක් දක්නට ඇති අතර එය ආඬි­යා­ගල සෙල්ලි­පිය ලෙස හැඳින්වේ. IV වන දප්පුල රජු විසින් මෙම සෙල්ලි­පිය පිහිටු බවත් එම­ඟින් සඳ­හන් වනුයේ නා උයන පැවති ප්‍රදේ­ශ­යට ඇතුළු වූ රාජ­ද්‍රෝ­හි­යෙකු අල්ලා ගැනී­මට රජුට පවා බල­යක් නොමැ­තිය යන්නය. එමෙන්ම කිසිම පුද්ග­ල­යෙ­කුට හිංසා පීඩා කිරී­මට මෙම ප්‍රදේ­ශ­යට ඇතුළු විය නොහැකි යන්නය.
මින් ගම්‍ය වනුයේ නා උයන සතුන්ට මෙන්ම මිනි­සුන්ට ද අභය දානය දුන්, මිනිස් අභය භූමි­යක් බවය. මෙය මිනිස් අභය භූමි­යක් සම්බ­න්ධව සට­හන් වූ ලොව ප්‍රථම හා එකම ලේඛ­න­ගත සට­හන වන්නට ඇති බවට මත­යක් පවතී.
අති­ෂය මානූ­ෂීය මෙන්ම අවි­හිං­සා­වාදි රාජ ආඥා­වක් ලෙස මෙම සෙල්ලි­පිය සැලකේ. පරි­ස­රය හා මිනිස් අයි­ති­වා­සි­කම් පිළි­බ­ඳව අතී­තයේ විසූ රජ­වරු කෙත­රම් සැල­කි­ල්ලක් දක්වා තිබුණි ද යන්න මින් පැහැ­දි­ලිය. ජන­ප්‍ර­වාද අනුව දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ රාජ­කීය උද්‍යා­නය ලෙස මෙම නා උයන නිර්මා­ණය කිරී­මට ඇර­ඹුව ද අත­ර­මග නවතා දමා රාජ­කීය උයන ලෙස අනු­රා­ධ­පු­රයේ මහ­මෙ­වු­නාව පිහිට වූ බව කියැවේ. III වැනි දප්පුල රජු විසින් නාව­ඩුන්න නැමැති විහා­ර­යක් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බව මහා­වං­ශයේ සඳ­හන් වන අතර I වැනි විජ­ය­බාහු රජු රුක් විහා­ර­යක් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බව ද දැක්වේ. එම විහා­ර­යන් නාමල් උයන ආශ්‍රි­තව තැනූ විහාර විය හැකි යැයි සැලකේ. මිනිස් අභය භූමි­යක් ස්ථාපිත කළ IV වන දප්පුල රජු රත්දෙ­ම­ට­මල් පිරි­වෙන නමින් පිරි­වෙ­නක් කරවූ බවත් දැනට නා උයන තුළ නට­ඹුන්ව පව­තින විහා­රය මෙම පිරි­වෙන විය හැකිය යන්න මත­යක් පවතී.
එසේම IV වන කාශ්‍යප රජු රත්ම­ල­ගල නමින් හැඳින් වූ විහා­ර­යක කුටි සෑදු බවට මහා­වං­ශයේ සඳ­හන් වන අතර එම රත්ම­ල­ගල යන්න රෝස තිරි­වාන කන්ද විය හැකිය. IV වන දප්පුල රජු විසින් නාමල් උයන වනා­න්තර ප්‍රදේ­ශය මිනිස් අභය භූමි­යක් ලෙස නම් කොට තිබූ බැවින් මෙම වනා­න්ත­රය අවට ප්‍රදේ­ශය ජනා­වාස භූමි­යක් ලෙස පැවති බවට විශ්වාස කෙරෙයි. මෙග­ලි­තික සුසාන භූමි­යක් වූ ඉබ්බ­න්ක­ටුව ආදි මානව සොහොන් බිම පිහිටා තිබෙන්නේ ද මෙම නා වන­යට තර­මක් දුරිනි.
නා උයනේ සුව­දා­ය­කම පරි­ස­ර­යක නාමල් සෑය ඉදි­කොට ඇති අතර පොළොව මට්ට­මින් අඩි 4-5 ක් තරම් උස් හත­රැස් මළු­වක මෙම චෛත්‍ය ගොඩ­නගා ඇත. සතර දිශා­වෙන් ඇතුළු විය හැකි ආකා­ර­යට කළු ගලින් නිර්මිත දොරටු 4 ක් දක්නට ලැබේ. එමෙන්ම මල් පහන් පූජා කිරී­මට ආසන සත­රක් සතර දිශා­නු­ග­තව පිහිටා තිබේ. මෙම ස්තූපය ගල් සහ ගඩොල් භාවිතා කර නිමවා ඇත.
එමෙන්ම නාමල් සෑයට නැගෙ­න­හිර දෙසින් බෝධි­ඝ­ර­යක නට­බුන් දක්නට ලැබේ. මාලක දෙක­කින් යුත් බෝධි­ඝ­ර­යක් යන්න ඉති­රිව ඇති නට­බුන් මගින් අව­බෝධ වේ. ලංකාව තුළ හමු­වන ඉතා විශි­ෂ්ට­තම බෝධි­ඝ­රය ලෙස සැල­කෙන නිල්ල­ක්ගම බෝධි­ඝ­රය මෙන් චතු­ර­ස්‍රා­කාර බෝධි­ඝ­ර­යක් වූ නාමල් උයනේ බෝධි­ඝ­රය කැට­ය­මින් තොරව සර­ලව නිර්මා­ණය කොට ඇති අතර මීටර් 1.3 ක උස­කින් යුත් මළුවේ පිට බැම්ම රෝස තිරි­වානා ගලින් ඉදි­කොට ඇත. එසේම සතර දෙසින් ගල් කණූ සත­රක් සිටුවා බැම්ම ශක්ති­මත් කොට ඇති බව දක්නට ලැබේ.
දොර­ටුවේ පළල අඩි 1.5 ක් වන අතර උස මීටර් 1.4 කි. මින් සිතිය හැක්කේ බෝධි වන්ද­නා­වට කෙනෙකු පිටු­පස අනෙකා යා හැකි වන අයු­රින් මෙම දොරටු නිමවා ඇති බවය.
තිරි­වානා කන්ද සමී­පව පොදු ගොඩ­නැ­ගිලි වලින් තර­මක් බැහැ­රව ආවාස ගෙය යැයි හඳුනා ගත් ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය පිහිටා ඇත. බට­හිර දෙසට මුහුණ ලා එකම ගොඩ­ලැ­ගිල්ල තුළ වෙන් වෙන්ව ඉදි­කළ ආවාස කුටි මෙහි දක්නට ලැබේ. රෝස තිරි­වානා ගල් භාවිතා කොට මෙහි අත්ති­වා­රම ඉදි­කොට ඇති අතර ගොඩ­නැ­ගි­ල්ලට පිවි­සී­මට ඇති පඩි පෙළ ගලින් නිමවා තිබේ.
චෛත්‍ය මළු­වට දකුණු පසින් සෙන්ටි මීටර් 90 ක පමණ විශ්ක­ම්භ­ය­කින් යුතු හා සෙන්ටි­මී­ටර් 10 ක් ගැඹු­ර­කින් යුතු ගල් පහ­නක් දක්නට ලැබේ. මෙහි තිර 8 ක් දැමිය හැකි ලෙස නිමවා තිබේ. ඉතා හොඳින් ඔප මට්ටම් කොට ඇති මෙම පහන දොළොස් මහ පහ­නක් ලෙස භාවිතා කර­න්නට ඇත. නාමල් උයන ආශ්‍රි­තව සක්මන් මළු කිහි­ප­යක් දක්නට ලැබෙන අතර ‍මෙම මළු බොර­දම් සහිත ගල් පතුරු යොදා සකස් කොට ඇත. භාව­නා­යෝගී භික්ෂූන් වහ­න්සේ­ලාට සක්මන් කිරීම පිණිස වැලි හා ගල් පතුරු යොදා සක්මන් මළු සකස් කරනු ලැබේ.
මෙම සක්මන් මළු භාව­නා­යෝගී භික්ෂුන්ට අත්‍ය­ව­ශ්‍යය ම අංග­යක් වන අතර පධා­න­ඝර ආශ්‍රි­තව ඉදි­කර තිබීම සුවි­ශේෂි ලක්ෂ­ණ­යකි. භික්ෂූන් වහ­න්සේ­ලාට භාව­නා­යෝ­ගීව වැඩ සිටීම සඳහා යොදා­ගත් ගොඩ­නැ­ගිලි පධා­න­ඝර ලෙස හැඳි­න්වෙන අතර පිය­න්ගල් නමින් ද අර්ථ ගන්වා ඇත.
මේ අනුව බලන කළ ජාතික නාමල් උයන හා ඒ ආශ්‍රි­තව දක්නට ලැබෙන ජෛව විවි­ධ­ත්වය හේතු­කොට ගෙන වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සංර­ක්ෂණ වනා­න්ත­ර­යක් (Conservation forest) ලෙස ද ඒ හා බැඳුණු සංස්කෘ­තික විවි­ධ­ත්වය, ඓති­හා­සික හා පුරා­වි­ද්‍යා­ත්මක, පාරි­ස­රික සංචා­රා­ත්මක වටි­නා­කම සලකා බලා ජාතික භූ ගර්භ සමී­ක්ෂණ හා පතල් කැණීම් කාර්යාං­ශය මඟින් පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­මක් සහිත ස්ථාන­යක් (Archaeological Reserve) ලෙසට ද ප්‍රකා­ශ­යට පත්කර ඇත. එසේම සංචා­රක මණ්ඩ­ලය මඟින් සංචා­රක ප්‍රව­ර්ධන කලා­ප­යක් ලෙස ද නාමල් උයන නම්කර ඇත.

සිළුමිණ
2020 මාර්තු 29
රුක්ෂිලා වෙත්තමුණි


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/?fbclid=IwAR3AiklFy5FliNZ21G3_Qse1jw8CY0vJNQlso23lUZM4oK-Io2b91RuhIA8

Wednesday, March 18, 2020

ලෝක උරුමයන් අතරට එක්වූ අප්සරාවන්ගේ පාරාදීසය


යුනෙස්කෝව විසින් 1982 දී සීගිරිය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. අපරදිග වාසීන්ගේ අවධානය මුල්වරට සීගිරිය වෙත යොමු වූයේ 1840 දි ඉංග්‍රීසි ජාතික මේජර් එච්.ෆෝබ්ස් විසින් රචිත Eleven years in Ceylon නම් ග්‍රන්ථය හේතුවෙනි. එසේම සීගිරිය පිළිබඳ අධ්‍යනය කළ තවත් පුද්ගලයින් ලෙස ඒ.වයි.ඇඩම්ස්, ජේ.බේලි, රීස් ඩේවිස්, මහජන වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්ලෙක් හා මරේ දැක්විය හැකිය. ඉතිහාසඥයෙක් වූ එමර්සන් ටෙනන්ට් Ceylon නමින් කෘතියක් පළ කළ අතර එහි සීගිරිය පිළිබඳ විස්තර කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ H.C.P. බෙල් සීගිරිය පිළිබඳ ප්‍රාරම්භක පුරාවිද්‍යාත්මක සොයා ගැනීම කළ අතර 1894 අප්‍රේල් 15 වන දා සීගිරි ගල මුදුනට නැග කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. එසේ ආරම්භ කළ කටයුතු 1895 සිට 1905 දක්වා ක්‍රියාත්මක විය.

ක්‍රි.ව. 5 වන සියවසේ දී පළමු කාශ්‍යප රජු විසින් සීගිරිය ඉදිකළ අතර එකල ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, කලාව, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ සුවිශේෂි එක්තැන්වීම් නිරූපිත ස්ථානයකි. සීගිරිය බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් පුරා විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.

1930 දි සීගිරියේ කුරුටු ගීත කියවීම ලංකාවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ආරම්භ කරන ලද අතර ඔහු විසින් කුරුටු ගීත 685 ක් කියවන ලදී. 1956 දී එම කුරුටු ගීත ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්විය. මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ අධීක්ෂණයෙන් යුතුව 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සීගිරියේ මංගල උද්‍යානයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වාස්තු විද්‍යාත්මක හා වාරි තාක්ෂණයෙන් පොහොසත් ක්ෂුද්‍ර ජල උද්‍යානය පාදා ගැනීමට හැකිවිය. එම කාලවකවානුවේ දී සිදු වූ තවත් සුවිශේෂි සිද්ධියක් වූයේ ආචාර්ය බෙනිල් ප්‍රියංක විසින් පරණවිතානයන් කියවූ කුරුටු ගීත වලට අමතරව කුරුටු ගීත හා කුරුටු ගී කොටස් 800 ක් කියවා අර්ථ ගැන්වීමයි.

සීගිරිය පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු කරනු ලැබූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට පසුව ආචාර්ය රාජා ද සිල්වා, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර හා ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න යනාදි වියතුන් දැක්විය හැකිය. සීගිරියේ මෙතෙක් කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඓතිහාසික අවදීන් 08 ක් හඳුනාගෙන තිබේ.

ආදි ආරාමික අවදිය - ක්‍රි.පූ. 3 සහ 2 සිට ක්‍රි.ව. 1 දක්වා අයත් බ්‍රහ්මී ශිලා ලිපි මෙයට අයත් වේ. පූර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව. 1 සියවස සිට 5 වන සියවස දක්වා, කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495, පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වූ පසු ආරාමික යුගය, පශ්චාත් කාශ්‍යප යුගය‍ සීගිරිය අත් හැරීමේ යුගය - ක්‍රි.ව. 13 -17 අතර කාලය, නුවර යුගය - ක්‍රි.ව.17- 19 , නූතන පුනරුදය - 1830 ගණන් වල සිට 70 දශකය දක්වා, කෞටිල්‍ය‍ගේ අර්ථ ශාස්ත්‍රයට අනුව බලකොටුවත් දුර්ගයත් නිර්මාණ කිරීම පිළිබඳව කරුණු දක්වා ඇත. ඔහු පවසන පරිදි රාජ්‍යයක හෝ නගරයක සතර දිශාවේ ම බලකොටු ගොඩනැඟිය යුතුය. ලංකාවේ බලකොටු හඳුන්වා තිබෙන්නේ ‘පුර‘ යන වචනයෙනි. බලකොටුවක් යනු රජමාලිගයක හෝ කඳවුරක ආරක්ෂාවට තනනු ලැබූ පවුරු සහ දිය අගල්වලින් සමන්විත ආරක්ෂිත විධි ක්‍රමයකි. ජල දුර්ග හා පර්වත දුර්ග ජනාකීර්ණ ප්‍රදේශ සඳහා වඩා වැදගත් වන බව කෞටිල්‍ය‍ දක්වා ඇත. බලකොටු නිර්මාණාත්මක අතින් ශිඛර, වාහිනී, මුඛ, ස්ථානීය, දොණක, සංවිධික, වර්ධක, කෝලක, නිගම, සකන්ධවාර ආදි විවිධ ස්වරූප වලින් යුක්තය.

සීගිරිය නටබුන් පමණකින් හෝ දැනට කරුණු සාධනය කර ගැනීමට ඇති පැරණිම බලකොටුවකි. ස්වභාවික දුර්ගයක් උපයෝගි කොට ගෙන සීගිරිය නිර්මාණය කර ඇති අතර මෙහි බටහිර හා නැගෙනහිර යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. මෙම කොටස්වල රජමාලිගය ඇතුළු රාජාංගන අංග ගොඩනංවා ඇති අතර දිය අගල් හා පවුරු වලින් වට වී ඇත. සීගිරියේ මාලිගා සංකීර්ණයේ ආරක්ෂාව පිණිස දිය අගළ දෙකක් සහ පවුරු තුනක් ඉදිකොට තිබේ. පිටතින්ම පිහිටි ප්‍රාකාරය මැටිවලින් ද මැද ප්‍රාකාරය ගඩොලින් ද ඇතුළු ප්‍රාකාර ගල්, ගඩොල්, මැටි යනාදියෙන් තනා ඇති බවද සඳහන්ය. මෙම පවුරු උසින් එකිනෙකට වෙනස්ය. ඇතුළු පවුර ඉතා උසින් හා ශක්තිමත් බවින් යුක්ත වූ අතර මැද පවුර පිටත පවුරට වඩා උසින් යුක්තය.

දිය අගළ දෙකකින් යුත් සීගිරිය පිටතින් වූ දිය අගළ ඇතුළු දිය අගළ මෙන් පළලින් තුන් ගුණයයක් වන අතර ඇතුළු දිය අගළ පිට දිය අගළ මෙන් තුන් ගුණයක් ගැඹුරින් යුක්තය. ප්‍රධාන වශයෙන් බලකොටුවට ඇතුළු වීමට දොරටු තුනක් තිබුණු බව සඳහන්ය. හැකිළිය හැකි පාලමකින් යුත් බටහිර දොරටුව ප්‍රධාන දොරටුව වූ අතර අනෙක් දොරටු උතුරින් හා දකුණින් පිහිටි දැවැන්ත ගඩොල් නිර්මාණයන් විය. මේවායේ ද හැකිළිය හැකි දොරවල් තිබුණු බවට විශ්වාස කළ හැකි සාධක හමුවෙයි. සීගිරියේ පැවති ජනාවාස රටාව අවබෝධ කර ගැනීමට පිදුරංගල, පොතාන, දඹුල්ල, මාපාගල ආදී ස්ථානවලින් සොයා ගත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධකත් රොටවැව, ඉබ්බන්කටුව, පන්සල්ගොඩැල්ල ආදී ස්ථාන වලින් සොයා ගත් පූර්ව ඓතිහාසික යුගයේ සාධකත් ඉවහල් වේ.

ආසියාවේ සොයා ගන්නා ලද පැරණිම රජ මාලිගා ගොඩනැගිලි පදනම් අතර සීගිරියේ පර්වත මුදුනේ ඇති රජමාලිගා ගොඩනැගිල්ලේ පදනම සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. එමෙන්ම ලොව පුරාවිද්‍යාත්මකව ස්ථාපිත කර ඇති පැරණිම උද්‍යානයක් ලෙස සීගිරි රාජ්‍ය උද්‍යානය සැලකිය හැකිය.

සීගිරියේ දක්නට ලැබෙන රාජකීය උද්‍යානය වූ කලි ලෝකයේ වෙනත් තැනක පෙනෙන්නට නොමැති විශේෂංගවලින් හෙබි උද්‍යානයකි. රජමාලිගාවක් කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලැබූ මේ උද්‍යානය තුළ දැනට දෘෂ්‍යමාන වන්නේ බටහිර අංගනය පුරා විසිරී ගිය නටබුන් පමණකි. නටබුන් වූ පමණින් ම එය විනාශ වී ඇති බවක් නොපෙනෙන බැවින්, එහි අතීතයේ තිබූ උද්‍යානයේ වගතුග කෙසේ වී දැයි සිතාගැනීමට තරම් හැකියාවක් ලැබේ. ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ වාස්තු විද්‍යාත්මක දැනුම කොතරම් ද යන්න මනාව පිළිබිඹු කරන මෙහි පොකුණු, මණ්ඩප, ගුහා සහ මල්වතු ආදියෙන් ද, චීනයේ ඇති මළුපෙත් උද්‍යාන ලක්ෂණයන්ගෙන් ද අලංකාරවත් වී තිබේ යන්න සඳහන් කරයි. එමෙන්ම පරණවිතානයන් මේ උද්‍යානය ප්‍රමද වනයක් ලෙස හඳුවනු ලබන අතර ප්‍රමද වනයක් යනු බොහෝ විට විනෝද උයන් සඳහා යෙදෙන පර්යාය පදයකි යන්න දක්වයි.

ප්‍රධාන වශයෙන් සීගිරි උද්‍යානය කොටස් කිහිපයකට බෙදෙන අතර ඒවා ජල උද්‍යානය, ශිලා උද්‍යානය, මාලක උද්‍යානය සහ ගල උඩ උද්‍යානය ලෙස නම් කෙරෙයි. එසේම ජල උද්‍යානය නැවත ක්ෂුද්‍ර ජල උද්‍යානය සහ වතුර මල් උද්‍යානය ලෙස බෙදෙයි. මෙම උද්‍යානයේ තිබෙන සුවිශේෂි ලක්ෂණයකි, ජ්‍යාමිතිකානුකූල ව සමමිතිකව කොටස් දෙකකට බෙදී තිබීම. බටහිර ද්වාරයෙන් ඇතුළු වූ විට ප්‍රථමයෙන් ජල උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. ක්ෂුද්‍ර ජල උද්‍යානයේ තැනින් තැන මණ්ඩප වටා රවුම් ගල් සහ ස්පටික හුණු ගල් යොදා නිර්මාණය කොට තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

හුණුගල් වලින් නිර්මිත භූගත නල දෙකක් වර්තමානයේ ද වැසි දිනවල ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.ඉහළ මාලයේ සිට එන ජලය මෙම නල තුළින් ගමන් කරන අතර එම නල මාර්ග හුණුගල් පුවරු වලින් ආවරණය කර තිබේ.

මාලක උද්‍යානයේ දක්නට ලැබෙන සුවිශේෂි වාස්තු විද්‍යාත්මක නිර්මාණය වන්නේ දෙපා පමණක් ඉතිරිව ඇති සිංහයෙකුගේ ප්‍රතිමාවයි. මහාවංශයේ මෙම සිංහ රුව පිළිබඳව දක්වා ඇති අතර ක්‍රි.ව. 7 වෙනි සියවසට අයත් යැයි සැලකෙන කුරුටු ගී කිහිපයක් ද කැටපත් පවුරේ ලියා ඇත. එනම්

සී රජු යසස සිරි - තැබූ මුළු ලොව පැතිරී

නිළුපුල් ඇසුන් ඇසිරී - බැලුමො සිහිගිරි

අර්ථය - මේ මහා සිංහ රාජයාගේ කීර්ති කදම්බයත් තේජස් බල පරාක්‍රමයත් මුළු ලොව පැතිරී ඇත.

නැගි ඇති බලනට - බැලිමි සිහිමියන් සිහිගිරි

මනදොල පුරය ඇය - බලන රිසි නොව බෙයන් ද රන්වන්අර්ථය - එහි කුමක් ඇත් දැයි බැලීමට සිංහ ගිරියට නැඟුණු මම එය සිත් සේ බලාගතිමි. මහා සිංහ රාජයා ද දුටිමි. කැටපත් පවුරේ ලියා ඇති කුරුටු ගීයක් අනුව නිශ්ශංකමල්ල රජු සීගිරිය නැරඹීමට පැමිණි බව ද පොළොන්නරු යුගයේ අග භාගයේ දී රජුන් කිහිප දෙනෙකු සීගිරියට පැමිණි බව ද කුරුටු ගී වලින් අනාවරණය වේ.

සීගිරිය දේශපාලනමය වශයෙන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් සේ ක්‍රියා කොට ඇති බව පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු වේ. රෝම කාසි 1000 කට අධික සංඛ්‍යාවක් කැණීම් වලින් හමු වූ අතර මධ්‍යධරණී ප්‍රදේශයෙන් ගෙන්වන ලදැයි විශ්වාස කරන මැටි බඳුන් කිහිපයක් ද සාක්ෂි සපයයි. සීගිරියේ බටහිර පර්වතයෙහි ගුහා 22 ක චිත්‍ර දක්නට ලැබේ. මෙම චිත්‍රවල නිරූපිත ස්ත්‍රින් පිළිබඳව බොහෝ විද්වත් මත දක්නට ලැබේ. ඒ අතර H.C.P බෙල් සඳහන් කරන්නේ පිදුරංගල විහාරය කරා පා නගන රජ කුමරියන් බවයි. ආනන්ද කුමාරස්වාමි ප්‍රකාශ කරන්නේ වලාකුළු මත පාවී යන දිව්‍ය අප්සරාවන් බවයි. සෙනරත් පරණවිතානයන් දක්වන්නේ කුවේරගේ වාස භවනය වූ කෛලාස පර්වතය වටා ගැවසෙන මේඝලතාවන් හා විජ්ජුලතාවන් බවයි. සීගිරි චිත්‍ර ඇදීමට භාවිත කරන ලද නිල් පැහැය ඇෆ්ගනිස්ථානයෙන් ආනයනය කරන්නට ඇතැයි යන්න අදහසයි.

සීගිරි අඟනන්ගේ මුහුණු නරඹා ගීයක් ලියන මානාමි පවසා සිටින්නේ, මෙවැනි ප්‍රිය ජනක වූ ද සරාගී වූ ද සීගිරි අඟනන්ගේ පිටිපස තමන්හට දැක ගැනීමට නොහැකි වීම සිතෙහි ඇති වූ අනුරාගයේ ශෝකාලාපය බවයි.

බෙයන්ද්හි රන්වනුන් එහි තුබු මුළුල් (ලෙ)න්

බැලුමො මුහුණේ පිටපස් නො දුට්මො මුළුල්ලෙන්

අර්ථය - එහි බෙයදයෙහි තුබූ රන්වන් (ලියන්ගේ) මුහුණු සම්පූර්ණයෙන් බැලුවෙමු. (එහෙත් ඔවුන්ගේ) පිටිපස මුළුමනින්ම නුදුටුවෙමු.

ස්ත්‍රියගේ සිරුරේ පිටිපස ද ඇතැම් පුරුෂයන් තුළ ප්‍රබල අනුරාගී හැඟිම් මතු කිරීමට හේතුවන බව මෙම කුරුටු ගීතය මඟින් ගම්‍ය වේ.



පත්තරෙන් බැලීමට
http://www.silumina.lk/2020/03/14/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B7%83%E0%B6%BA?fbclid=IwAR0jZStAMqi5Fqgm7QAuAq-Amqyl5XZPuCFOEWH29wkoIJFhUyW-WDdxprc

සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි


15 මාර්තු, 2020

රෝග නිවාරණයට අතීත පාඩම්


අතීතයේ සිටම මෙරට සෞඛ්‍ය විධි, ආරෝග්‍ය ශාලා, වෛද්‍ය ශාස්ත්‍රය, රෝග නිවාරණ මාධ්‍යය පිළිබඳව පැරණි ලේඛනවලින් මෙන්ම අභිලේඛන හා පුරාවිද්‍යාත්මක සාධක බොහෝමයක් දැක ගත හැකිය. දැනට විද්‍යාමානව ඇති ආරෝග්‍ය ශාලාවල නටබුන් අනුව පැහැදිලි වන්නේ සෞඛ්‍ය හා ස්වස්ථතාව සම්බන්ධයෙන් ඉදි කෙරුණු ගෘහ නිර්මාණ ප්‍රභූන් වූ රාජකීය පවුල් සහ භික්ෂුන් උදෙසා ගොඩ නැගුණු බවය. ශිලා ලේඛන අනුව ආරෝග්‍ය ශාලා බොහෝමයක් ඉදිවී ඇත්තේ ආරාම ආශ්‍රිතවය.


සහස්සවත්ථූපකරණය, සද්ධර්ම රත්නාවලිය හා පූජාවලිය යන සාහිත්‍ය කෘති අනුව එකල විසූ බහුතර ගොවිතැන් කටයුතු කළ ගොවි ජනතාව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ බව සඳහන් වූවත් රජු හා ඒ ආශ්‍රිත ප්‍රභූන්ගේ ජීවන රටාව සුඛෝපභෝගී වූ බවට රන්මසු උයනේ නාන තටාක හා ඔවුන් භාවිතා කළ ආනයනික පිඟන් හා මැටි භාණ්ඩ සාක්ෂි දරයි.

වංශකථා අනුව සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව පිළිබඳ වාස්තු විද්‍යාත්මක නිර්මාණ තිබූ බවට සාධක හමුවන අතර වංසත්ථප්පකාසනියේ දැක්වෙන පරිදි සොත්ථිසාලා නමින් පණ්ඩුකාභය අවදියේ දී ඉදිකරන ලද ගෘහයයක් සම්බන්ධව සඳහන් වේ. එය ආරෝග්‍ය ශාලාවක් විය හැකි බවට අදහස් වේ.

පුරාවිද්‍යාත්මක නටබුන්වලින් තහවුරු වන පරිදි ප්‍රධාන විහාරාරාම ආශ්‍රිත භික්ෂු සමාජයේ ජීවන රටාව උසස් මට්ටමක පැවතිණි. අභයගිරි පරිශ්‍රයේ කුට්ටම් පොකුණ, ඇත් පොකුණ ඇතුළු පොකුණු ද වැසිකිළි, කැසිකිළි, ජලය හා අපද්‍රව්‍ය අපහරණය පිණිස යොදා ගත් කානු මෙන්ම අපද්‍රව්‍ය තැන්පත් වීමට වළවල් ද ටෙරාකොටා නළ ද (පුලුස්සන ලද මැටි නළ) භාවිතා කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබේ.

අනුරාධපුර පශ්චාත් අවධියේ සෙල්ලිපිවලින් එකල තිබූ රෝහල් හා බෙහෙත් ගෙවල් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. IV වන මිහිඳු රජුගේ ජේතවනාරාම පුවරු ලිපියේ ගිලන් පුතු සඳහා වෙදහලක් ඉදිකළ බවත් V වන කාශ්‍යප රජුගේ පුවරු ලිපියේ නගරයේ මඟුල් මහාවීදියේ දකුණු දොරටුව අසල රාජකීය වෛද්‍ය ශාලාවක් කරවූ බවත් සඳහන්ය.

එමෙන්ම පුණ්‍ය ක්‍රියාවන් අතර සෞඛ්‍ය කටයුතු සඳහා අනුග්‍රහය දැක් වූ රජවරු අතර දුටුගැමුණු, දෙවන උපතිස්ස, පළමු පරාක්‍රමබාහු ආදීන් දැක්විය හැකිය. ගැබිනි කාන්තාවන්ට, යාචකයින්ට, අන්ධයින්ට මෙන්ම රෝගීන්ට ද මහත් ප්‍රයෝජන පිණිස ශාලාවන් ද දන්හල් ද කරවීය.

පො‍ෙලාන්නරු නගරයේ II දප්පුල විසින් රෝහල් ඉදිකර වූ බවත් IV කාශ්‍යප පොළොන්නරුවේ සහ අනුරාධපුර රෝහල් ඉදිකර ඒවායේ නඩත්තු සඳහා ගම් ද පූජා කළ බවත් V කාශ්‍යප වෛද්‍යශාලා ද ඉදි කරවූ බවත් සඳහන් වන අතර IV වන මහින්ද හා ඔහුගේ පුතු ද සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රියා සඳහා දායක වී ඇති බව විස්තර වේ.

භික්ෂු සමාජයේ පෞද්ගලික පවිත්‍රතාව පිණිස ජල ස්නානය, පදිංචි ස්ථාන හා අවට පිරිසිදුව තබා ගැනීම මෙන්ම දිගු ලොම් හා නිය කැපීම ද පිළිබඳව පැරණි ග්‍රන්ථ වල සඳහන්ව ඇති අතර මහාවග්ගපාලිය හා සමන්තපාසාදිකාව වැනි විනය ග්‍රන්ථවල භික්ෂූන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද වත් පිළිවෙත් පිළිබඳව කරුණු අන්තර්ගත වේ. ඉන්දීය පැරණි ආයුර්වේද ග්‍රන්ථ අතර චරක සංහිතා හා සුශ්‍රැත සංහිතා ව්‍යායාමයන් හි ගුණ පිළිබඳව විශේෂයෙන් ම කරුණු දක්වා තිබේ. ඉන් චරක සංහිතාවේ දැක්වෙන පරිදි පාද හා මළ මාර්ග නිතර පිරිසිදුව කිරීමෙන් ද නිය කෙස් හා රැවුල් නිසි පරිදි නඩත්තු කිරීමෙන් ආයුෂ වැඩි වී සිතත් ශරීරයත් පවිත්‍ර වන බව දක්වා ඇත.

IV වන කාශ්‍යප රජ සමයට අයත් කුකුරුමහන්දමන ටැම් ලිපියේ සඳහන් පරිදි සෙන් නම් සෙනෙවියෙකු විසින් කරවන ලද අනුරාධපුර ඇතුළු නුවර මංගල වීථිය අසල මහින්දාරාම ඉදිරි පස ආරෝග්‍ය ශාලාවට කළ ඉඩම් ප්‍රදානයක් පිළිබඳව දැක්වෙන අතර ඉන් පසක් වනුයේ රාජ්‍ය අනුග්‍රහයට අමතරව රාජ සභාවේ කනිෂ්ඨ නිලධාරීන් ද රෝහල් කරවා ඒවාට ගම්බ්ම් ප්‍රදානය කර ඇති බවයි. එමෙන්ම කිරිබත් වෙහෙර ටැම් ලිපියෙ බමුණු කුඹුර නම් බෙහෙත් ගෙයක් ගැන ද තුනුකායි ටැම්ලිපියෙ පොල්කඩුනම් ගමක් වෙදහලකට පැවරු බව ද පොළොන්නරුව රාජසභා මැදිරි ටැම් ලිපියේ දොතිවලක්නා නම් පුද්ගලයෙක් කරවූ රෝහලක් ගැන ද සඳහන් වේ. පණ්ඩුකාභය පුරාවෘත්තය අනුව අනුරාධ නගරයෙන් බැහැරව සැඩොලුන් උදෙසා ගම් පිහිට වූ බවත් එම සැඩොලුන් ලෙස නගර ශෝධක සැඩොලුන්, වැසිකිළි ශෝධක සැඩොලුන්, මෘත ශරීර ඉවත් කරන සැඩොලුන් හා සොහොන් බිම්වල කටයුතු කරන සැඩොලුන් යන්න දැක්වීය.

අනුරාධපුර අභයගිරි විහාරය හා පොළොන්නරු බද්ධසීමා ප්‍රාසාදයෙහි දක්නට ඇති කැසිකිළි, වැසිකිළි ඉදිකිරීම් තාක්ෂණයෙ වර්ධනීය අවස්ථාවකි. අභයගිරි විහාරයෙ කැසිකිළි හා වැසිකිළි ආරාම පද්ධතියට පිටින් ඉදිකොට ඇති මුත් බද්ධසීමා පාසාදයෙහි භික්ෂූන්ගේ කුටි ආසන්නයේම ඉදිකොට ඇත. එමෙන්ම මැදිරිගිරි විහාර භූමියේ රෝහල ආශ්‍රිතව ඇති වැසිකිළි හා කැසිකිළි වළවල් විහාරයට හා රෝහලට බොහෝ දුරින් පිහිටා ඇත.

පරිසර කළමනාකරණය හා පවිත්‍රතාව පිළිබඳ පැරණි වාස්තු විද්‍යාඥයින් අවධානය යොමු කළ බවට අභයගිරියෙන් හමු වූ කැසිකිළි මුට්ටි සාක්ෂි දරයි. බද්ධසීමා පාසාදයේ සහ අභයගිරියේ කැසිකිළි වලින් පිටවන මුත්‍රා ආවරණය කරන ලද නළ මාර්ගයක් ඔස්සේ කැසිකිළි වළකට එක් වේ. එහෙත් අභයගිරියෙ එකිනෙකට සම්බන්ධ කරන ලද ඉහළ සිට පහළට පිහිටුවන ලද සිදුරු සහිත මුට්ටි තුළින් මුත්‍රා පෙරීමක් සිදුවිය. මෙම මුට්ටිවල වැලි, අළුහුණු, අඟුරු ආදි ලෙස තැන්පත් කොට තිබූ බවත් අවසානයේ දී මුත්‍රා සියල්ල පෙරී පිරිසිදු ජලය ලෙස පරිසරයට මුදා හැරිය බවත් පැවසේ. මුට්ටි එකිනෙකට සම්බන්ධ කිරීමට බදාමයක් භාවිතා කොට තිබුණු අතර ඇතැම් තැන්වල මුට්ටි හතක් පමණ තිබූ බව ද තවත් තැන්වල ඊට අඩු මුට්ටි ප්‍රමාණයක් තිබූ බවද සඳහන්ය.

අතීතයේ දී පැවති විවිධාකාර ආරෝග්‍ය ශාලා අතර ආරාම ආශ්‍රිතව ඉදිකරන ලද භික්ෂූ නේවාසික වෙදහල්, ගිහි නේවාසික වෙදහල්, සූතිකාගාර සහ බාහිර රෝගීන් සඳහා බෙහෙත් ගෙවල් යනාදි වශයෙන් හඳුනාගත හැකිය. මින් ආරාම ආශ්‍රිත නේවාසික රෝහල් සම්බන්ධව බහුල ලෙස පුරාවිද්‍යා සාක්ෂි ලැබේ. මිහින්තලය, මැදිරිගිරිය, දීඝවාපිය, මාලිගාවිල ආසන්න දඹේගොඩ හා පොළොන්නරුව ආලාහන පරිවෙන සංකීර්ණයේ රෝහල්වල නටබුන් දක්නට ලැබේ.

1954 කරන ලද කැණීමේදී මිහින්තලේ රෝහල් භූමියෙන් මැද පෙරදිගින් ආනයන කරන ලද බරණි දෙකක කැබලි හමු වී ඇති අතර මෙම බඳුන් වාතයෙන් ආරක්ෂා වීමට ඇතුළත හා පිටත බදාමයක් ආලේප කොට තිබිණි. මෙම බරණි බෙහෙත් ද්‍රව්‍ය ගබඩා කර තබන්න ඇතැයි යන්න විශ්වාස කෙරේ. මිහින්තලේ වෙදහලේ මෙන් මධ්‍යයේ බුදු මැදුරක් හා නේවාසික රෝගීන් සඳහා කුටි තිබුණු බවට අනුරාධපුර ථුපාරාම චෛත්‍ය ආසන්නයේ ඇති බෙහෙත් ඔරුව සහිත වෙදහලේ නටබුන් සාක්ෂි සපයයි. කිරිබත් වෙහෙර ශිලා ලිපිය අනුව IVවන කාශ්‍යප කළ ථුපාරාමයේ බෙහෙත් ගෙට සිදු කරන ලද ඉඩම් ප්‍රදානයක් ගැන සඳහන් වේ. වංශකථා තොරතුරු අනුව බුද්ධදාස රජු (337-365) සෑම ගමක් පාසාම රෝහල් ඉදි කරවන ලද බවත් ගම් දහයකට වෛද්‍යවරයෙක් පත් කර ඔවුන්ට වැටුප් ගෙවන ලද බවත් කියැවේ. එසේම එම රජුගේ පුත් පළමු උපතිස්ස රජු (365-406) අංග විකල රෝගීන් සහ ගර්භනීන් සඳහා රෝහල් ඉදි කළේ යැයිද සඳහන් වේ.

ගිහි නේවාසික රෝහල් පිළිබඳ ඉතා අල්ප ලෙස පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබෙන අතර වංශකථා තුළින් දුටුගැමුණු රජු දවස ස්ථාන 18 ක ගිලන්හල් පැවති බව දැක්වේ. V වන කාශ්‍යප රජු විසින් රෝග උපද්‍රව නැසීමට අනුරාධපුර ඇතුළු නුවර මංගල මහා වීථියෙහි දකුණු දොරටුව අසල කරවන ලද රාජකීය වෛද්‍ය ශාලාවක් (රජවෙදහල) ගැන අභයගිරියෙන් හමු වූ පුවරු ලිපියේ අන්තර්ගතය.

මහාවංශයට අනුව ගැබිණි මව්වරුන් සඳහා සූතිකාගාර ඉදිකොට පැවති බවත් පණ්ඩුකාභය දවස සිවිකා ශාලා නම් ගොඩනැගිල්ලක් තිබූ බවත් සඳහන්ය. වෛද්‍යවරුන් වෙජ හෝ වෙද යන්නෙන් හඳුන්වනු ලැබූ අතර පිච්චින්දියාව, මඟුල් මහා විහාර, රාජාංගන යන ස්ථාන වලින් හමු වු ආදීම බ්‍රාහ්මී ශිලා ලිපි ලෙන්වල කොටවා භික්ෂූන්ට ප්‍රදානය කළ වෙජ හෙවත් වෛද්‍යවරුන් සිටි බව දැක්වේ.

IV වන මිහිඳු (956-972) ගේ මිහින්තලා පුවරු ලිපිය මගින් වෙදහල්වල සේවය කළ අයට ආරාමය විසින්ම ගෙවීම් කළ බවත් ඒ අනුව ආරාම ආශ්‍රිත වෙදහල් ඊට අදාළ ආරාම මගින්ම කළමනාකරණය වූ බවත් පැහැදිලිය. මෙම පුවරු ලිපිය මගින් මිහින්තලේ රෝහලේ වෛද්‍යවරයාට සහ පුහුඩා වෙදා යන අයට ගෙවීම් කරන ලද බව ප්‍රකාශ වේ.

වෙදහලක ප්‍රධාන වෛද්‍යවරයා මහ වෙදනා ලෙසත් වෙජ හෝ වෙද යන්නෙන් සාමාන්‍ය වෛද්‍යවරු ද ඔවුන්ට තරමක් දෙවෙනි වු වෛද්‍යවරු සුලු වෙදනා ලෙසත් කූඩැල්ලන් මගින් විෂ උරවන වෛද්‍යවරයා පුහුඩා වෙදා ලෙසත් සෙනරත් පරණවිතානයන් අර්ථ දක්වා තිබේ.

වෙදහලේ වෛද්‍ය කටයුතු මෙන්ම පරිපාලන කටයුතු කළ නිලධාරීන් වෙදහල් සම්දරුවන් ලෙස ද සාමාන්‍ය සේවකයින් කුඩින් ලෙස ද භාවිතා කොට ඇත. එමෙන්ම බෙහෙත් නිෂ්පාදනයේ දී උදව් කළ සේවකයින් බෙහෙද් වැරියන් නමින් ද සුළු සේවකයන් දසුන් ලෙස ද සුළු නිලධාරීන් කැමියන් යනුවෙන් ද හඳුන්වා ඇත. බෙහෙත් ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන් ඔඩොටුවන් ලෙස අර්ථ දක්වා ඇති අතර සියලු රෝහල් අධීක්ෂණය කළ නිලධාරීන් රදොල් සම්දරුවන් ලෙස දක්වා තිබේ.

පත්තරෙන් බැලීමට


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 මාර්තු 08


Tuesday, February 25, 2020

රජවරුන්ට යුද කඳවුරක් වූ රිටි­ගල

රිටි­ගල පුරා විද්‍යා­ත්මක හා වාස්තු විද්‍යා­ත්මක ඓති­හා­සික නට­බුන් භූමි­යකි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටි­ගල කන්ද පිහිටා ඇති අතර අක්කර 7 200 ක පමණ භූමි­ය­කින් යුත් මෙම වන පෙදෙස හබ­රණ - අනු­රා­ධ­පුර මාර්ගයේ ගල­පි­ටි­ගල හා ගනේ­ව­ල්පොල අතර ප්‍රදේ­ශයේ පැතිර ඇත. රිටි­ගල, ඖෂධ කන්ද - කොඩි­ගල කන්ද - උණ කන්ද - ආඬියා කන්ද - පළ­තුරු කන්ද - අම­රා­පති කන්ද - උල්පත් කන්ද යන පරි­වාර කඳු හතක් වට කර­ගෙන පිහිටි ස්‌වභාව ධර්මයේ අපූ­ර්ව­තම නිර්මා­ණ­යකි. ‍රජරට පිහිටි උසම කන්ද ලෙස ද රිටි­ගල හඳු­න්වනු ලබන අතර අනු­රා­ධ­පු­රය, දඹුල්ල හා සීගි­රිය රිටි­ග­ලට ආස­න්නව පිහිටා ඇත.

මහා­වං­ශය හා වෙනත් වංශ­ක­තා­වන් හි සඳ­හන් අරි­ට්ඨ­ගාම, අරිට්ඨ පබ්බත යනු රිටි­ග­ලම බව පැහැ­දිලි වේ. ඒ අනුව අරිට්ඨ පබ්බත යනු­වෙන් හැඳින්වූ මෙම භූමිය රිටි­ගල ලෙස හැඳි­න්වී­මට හේතු ගණ­නා­වක් ඇති අතර සෙල්ලිපි මඟින් තව දුර­ටත් එය තහ­වුරු වේ. 11 වැනි සිය­ව­සට පෙර සිටම රිටි­ගල, ආර­ණ්‍ය­වාසී භික්‍ෂූන් වාසය කළ සේනා­සන සංකී­ර්ණ­යකි. චෝල ආක්‍ර­මණ හේතු­වෙන් මෙම ආරණ්‍ය සේනා­ස­නය කිසි­වෙ­කුගේ අව­ධා­නට ලක් නොවී වල් බිහි වන්නට විය.

රිටි­ගල නාඋ­ල්පත කොටසේ ගිරි­ලිපි අතර “අරිටෙ“ යනු­වෙන් හා වේවැ­ල්තැන්නේ “අරිට මහ­ගම“ යනු­වෙන් සඳ­හන්ව ඇත. රිටි­ගල යනු වචන දෙක­කින් යුත් පද­යකි. එනම් රිටි+ගල යන්නය. පාලි භාෂා­වෙන් රිටි යන්න අරිට්ඨ ලෙස අර්ථ දැක්වේ. ගිරි හෝ පබ්බත ලෙස ගල හැඳින්වේ. අභි­ලේ­ඛඥ ඩී.එම්.ද. ඉසෙඩ් වික්‍ර­ම­සිංහ විසින් රිටි­ගල යන්නෙහි නිරුක්ති කිහි­ප­යක් පරීක්ෂා කරන ලද අතර ඒ සෑම නිර්ව­ච­න­ය­කින් ම කන්දේ සුවි­ශේෂි ලක්ෂණ නිරූ­ප­ණය කොට ඇත.

එසේම රිටි­ගල සම්බ­න්ධව ඇති විවිධ මත අතර මහා අරිට්ඨ මෙහි වාසය කළ නිසා ඒ නම පට බැඳුණු බවත් අරිට්ඨ ශබ්දයේ කාල පාෂාණ (කළු ගල්) යන්න අද­හස් වෙන බැවින් කළු­ගල් පර්ව­තය යන අද­හ­සින් අරිට්ඨ පබ්බත වූ යැයි ද සඳ­හන්ය. තවත් මත­යක් ලෙස ‘රිටි’ යනු පාලි ‘අරිට්ඨ’ යන්නෙන් ‘ආර­ක්ෂාව’ යන අරුත් ඇති පද­යක් වන බැවින් රිටි­ගල යනු ආර­ක්ෂක පර්ව­ත­යකි.

ලංකාවේ පළමු පුරා­විද්‍යා කොම­සා­රිස් වූ එච්.සී.පී බෙල් සඳ­හන් කරන්නේ ආර්ය ලක්දිව යක්ෂ “අරිට්ඨ“ යනු ආර­ක්ෂීත ගල යන්නය. රජ­ව­රුන්ට මෙන් ම හොරුන්ට ද ආර­ක්ෂිත ස්ථාන­යක් ලෙස රිටි­ගල පැවති බව චූල­වං­ශයේ ද සඳ­හන්වේ.එච්.සී.පී බෙල්, රිටි­ගල කන්දේ කරන ලද ගවේ­ෂණ පද­නම් කර­ගෙන එහි ලෙන් හා ශිලා ලිපි හඳු­නා­ගෙන ඇත.

දිග රිට යන අර්ථ­ය­යෙන් ද රිටි­ගල හැඳින්වේ. එසේ ම රිටි­ගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්ව­තය රිටි­ගල නමින් හඳු­න්ව­න්නට ඇත යන්න තවත් මත­යකි. මහා­නාම හිමි විසින් මහා­වං­ශයේ රිටි (අරිට්ඨ) භයා­නක යන්න හැඟ­වී­මට යොද­න්නට ඇති බව ද විශ්වාස කෙරෙයි.

1872 දී රජයේ මිනි­න්දෝ­රු­වකු වූ ජේම්ස් මැන්ටෙල් විසින් සිදු කරන ලද ගවේ­ෂණ හේතු­කොට ගෙන වන­ග­තව පැවති රිටි­ගල ලෝක ප්‍රජා­වගේ අව­ධා­න­යට යොමු විය. කඳු මුදු­නෙහි ත්‍රිකෝ­ණ­මි­තික ස්ථාන­යක් ඔහු විසින් පිහි­ට­වනු ලද අතර රිටි­ගල නට­බුන් ඇසු­රින් සකස් කරන ලද වාර්තාව එම වර්ෂයේ දී ප්‍රකා­ශ­යට පත්විය. එය ප්‍රථම වරට රිටි­ගල නට­බුන් සම්බන්ධ වූ වාර්තා­වයි. ඊට පසුව ජේම්ස් මැන්ටෙල් ගේ සොහො­යුරු වූ ඩී.ජී. මැන්ටෙල් විසින් 1878 දී රිටි­ගල චාරි­කා­වක නිර­තව වාර්තා­වක් සැකසී ය. 1892 දී ජේ.බී.එන්. රිඩ­වුඩ් නම් රජයේ මිනි­න්දෝරු විසින් රාජ­කීය ආසි­යා­තික සමි­තියේ සඟ­රා­වට රිටි­ගල නට­බුන් පිළි­බඳ ව සවි­ස්තර සට­හ­නක් පළ කරනු ලැබීය.

රිටි­ගල පිහිටි වෘක්ෂ­ලතා පරීක්ෂා කොට ඒවායේ එක­තු­වක් ගොඩ නැගූ ප්‍රථම උද්භිද විද්‍යා­ඥයා වූයේ Ceylon Handbook to the Flora of Ceylon නැමැති ග්‍රන්ථයේ කතු­වර හෙන්රි ට්‍රීමන් ය. 1887 දී කීට විද්‍යා­ඥ­යෙක් වූ ඒ.පී. ග්‍රීන් එක්ව රිටි­ගල නරඹා ඊට අදා­ළව සකස් කළ ලිපිය රාජ­කීය ආසි­යා­තික සංග­මයේ ලංකා ශාඛා සඟ­රාවේ පළ­විය.

හෙන්රි ට්‍රීමන් පව­සන පරිදි පහත් තෙත් බිම්වල පිහිටි උස් කලා­ප­වල වෘක්ෂ­ලතා අනෙක් කඳු­කර ප්‍රදේශ වලට වඩා වෙනස් ය. රිටි­ගල කාල­ගු­ණය සෞම්‍ය බවින් යුතු අතර ඒ වටා ඇති වියළි කලා­පීය ප්‍රදේ­ශ­යට වඩා අධික වර්ෂා­වක් ඊසාන දිග මෝසම් සුළ­ඟින් ලැබේ. එමෙන් ම විශේ­ෂ­යෙන් නිරිත දිග මෝසම් කාලයේ දී සිදු­වන අධික වාෂ්ප ඝණී­භ­ව­නය වීම හේතු­වෙන් පහළ තැන්නේ නියං තත්ත්ව­යක් ඇති වුව ද රිටි­ගල කන්දේ පස තෙත­ම­න­යෙන් යුක්තය. 1922 දි රිටි­ගල වෘක්ෂ­ලතා පිළි­බඳ අධ්‍ය­ය­නය කළ උද්භිද විද්‍යාඥ ජේ.සී.විලීස් විසින් Age and Area කෘති­යෙන් වෘක්ෂ­ල­තා­වන්ගේ භූගෝ­ලීය ව්‍යාප්තිය පිළි­බ­ඳව න්‍යායක් ඉදි­රි­පත් කරන ලදී. ලංකා­වට ම ආවේ­ණීක උද්භිද වර්ග 3 ක් රිටි­ගල කඳු මුඳුනේ ඇති බව ඔහු සඳ­හන් කර ඇත.

එමෙන් ම 1933 දී ආර්. එල්. බ්‍රෝහි­යර් විසින් සම්පා­දිත ශ්‍රී ලංකාවේ අතීත වාරි ශිල්පය නමැති ග්‍රන්ථ­යෙන් රිටි­ගල පිහිටි වාරි පද්ධ­තිය ඉතා සුවි­ශේෂි නිර්මා­ණ­යක් බව පෙන්වා දී ඇත. 1941.11.07 දින අංක 8809 දරණ රජයේ ගැස­ට්‌ ­නි­වේ­ද­නය නිකුත් කර­මින් රිටි­ගල කන්දේ වර්ග කිලෝ­මී­ටර් 5.28 ක්‌ වූ භූමි ප්‍රදේ­ශය දැඩි ආර­ක්‍ෂිත කලා­ප­ය­ක්‌ ­බ­වට එව­කට සිටි පුරා­විද්‍යා කොම­සා­රි­ස්‌ ­ආ­චාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රකා­ශ­යට පත් කරන ලදී. 1960 දි ඔහුගේ මූලි­ක­ත්වය යටතේ රිටි­ගල පුරා­වි­ද්‍යා­ත්මක කට­යුතු ආරම්භ කරන ලද අතර 1980 දී පිහි­ටු­වන ලද සංස්කෘ­තික ත්‍රිකෝ­ණය (මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල) ආරම්භ වීමත් සමඟ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව එක්ව එහි කැණීම් හා සංර­ක්ෂ­ණය කර­න්නට විය.

රිටි­ගල ආශ්‍රිත ජන­ප්‍ර­වාද හා ඓති­හා­සික තොර­තුරු අතර රාම-රාවණ පුවත පුමු­ඛ­ස්ථා­න­යක් ගනු ලබයි. එනම් රාවණ විසින් ඉන්දි­යාවේ රාමගේ බිසව වූ සීතා දේවිය පැහැ­ර­ගෙන විත් සඟවා තැබූයේ රිටි­ගල යැයි ව්‍යව­හා­රයේ ඇත. ඇය සොයා පැමිණි රාමගේ සොයුරු ලක්ෂ්මන් අතර මගදි රෝගා­තුර වූ බැවින් ඔහු සමඟ පැමිණ සිටි හනු­මන්තා හිමා­ලය වන­යට ගොස් සෙවු ඖෂ­ධය සොයා ගන්නට නොහැකි වූ බැවින් හිමා­ලය කන්දෙන් කොට­සක් කඩා­ගෙන පැමිණි බවත් එයින් කොට­සක් කැඩි ගොස් රිටි­ගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මා­ණය වූ බවත් එමෙන්ම රූම­ස්සල හා දොළු­කන්ද මෙසේ කඩා වැටුණු කොටස් වලින් ඉතිරි කොටස් ලෙස ද ජන­ප්‍ර­වා­දයේ කියවේ.

එමෙන් ම දුටු­ගැ­මුණු රජ­තු­මාගේ (ක්‍රී.පු. 101 – 77) කාලයේ දි දස­මහා යෝධ­යන් අතර සිටි ගෝඨ­යි­ම්බර හා රිටි­ගල අර­ක්ගත් යක්ෂ ගෝත්‍රික සෙන්ප­ති­යෙක් වු රිටි­ගල ජය­සේන අතර ඇති වූ සටන ජන­ප්‍ර­වා­දයේ එන තවත් කතා­වකි. මේ සට­නේදි ගෝඨ­යි­ම්බර යෝධ­යාගේ පහ­ර­කට ජය­සේ­නගේ හිස වෙන්වි සොයා ගත නොහැකි තැනක වැටුණු බවත්, සෙන­සුරු විසින් කඳේ පණ ඇති බව දැක හදි­සියේ පැමිණ වළ­ස­කුගේ හිසක් ජය­සේ­නට සවි­කල බවද පුරා­වෘ­ත්ත­වල දැක්වෙන අතර හදි­ස්සි­යට හිස සවි­කි­රිමේ දි හිස පසු­ප­සට සවි­කළ බවත් සඳ­හන්ය. එබැ­වින් පසුව ජය­සේන මහ­සෝන් යක්ෂයා විය.

ලක්දිව පළමු මහ රහ­තන් වහන්සේ ලෙස සඳ­හන් වෙන අරිට්ඨ හිමි ප්‍රමුඛ 500 ක් සංඝයා වහ­න්සේලා රිටි­ගල සේනා­ස­න­වල ආර­ණ්‍ය­වා­සීව වැඩ විසූ බව දැක්වේ. පුරා­වි­ද්‍යා­ත්මක අග­ය­ක්‌ ­ඇති විවිධ ගොඩ­නැ­ඟිලි 140 ක පමණ නට­බුන් හා පැරණි ආයු­ර්වේද රෝහ­ලක නට­බුන් වර්ත­මා­නයේ දී පවා රිටි­ගල දී දැක බලා ගත හැකි ය.

කටා­රම් කොටන ලද 70 කට අධික ලෙන් ද බ්‍රාහ්මි අක්‍ෂ­ර­ව­ලින් ලියන ලද ශිලා ලේඛන අත­රින් 35 ක්‌ සහ පරි­ව­ර්ත­නය කරන ලද ලිපි දෙකක් ගල් පර්ව­තයේ ඇති බව සඳ­හන් ය. බට­හිර දෙසට නාම­ළුව සහ නාඋ­ල්පොත වැටිය, ගිනි­කොන දෙසට කුඩා අර­ම්බැද්ද වැටියේ, දකුණු අන්තයේ මර­ක්කල උල්පොත සහ නැගෙ­න­හිර දෙසට ආඬි­යා­කන්ද වැටි­යෙන් විශා­ල­තම ගුහා සංකී­ර්ණ­යන් හමුවේ. කර­ඹේ­හින්න වැටියේ පර්ව­ත­යෙන් ගුහා දෙකක් හමු­වන අතර බන්දා පොකුණ ආස­න්නයේ ලෙන් හයක් දක්නට ලැබේ.

අනු­රා­ධ­පුර රාජ­ධා­නිය බිහි­වී­මට පෙර සිට ම පැහැ­දිලි ඉති­හා­ස­යක් රිටි­ගල සම්බ­න්ධව ඇත. එනම් ක්‍රි.පූ. 437 දී පණ්ඩු­කා­භ­යගේ (ක්‍රි.පූ. 377–307) සටන් මධ්‍ය­ස්ථා­න­යක්ව රිටි­ගල පැව­තුණු බවත් ඔහු සිය මාමා­ව­රුන් සමග කළ සටනේ දී ප්‍රධාන මධ්‍ය­ස්ථා­නය ලෙස මෙම භූමිය යොදා­ගත් බව ද සඳ­හන්ය. පණ්ඩු­කා­භය සමයේ රිටි­ගල යක්ෂ­යින්ගේ නිජ භූමි­යක් ලෙස පැව­තුණු බව ද දුටු­ගැ­මුණු රාජ්‍ය කාලයේ දී යක්ෂ­යින්ට අධි­ප­තී­ත්වය දැරූ ජය­සේන නම් යක්ෂ සේනා­ධි­ප­ති­යෙක් විසූ බව ද පැවැසේ. රිටි­ගල කන්දේ නාඋ­ල්පත ඇති සෙල්ලි­පිය අනුව ක්‍රි.පූ. 119 - 109 සද්ධා­තිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජ­තිස්ස, රිටි­ගල “කන්ද­ර­හී­නක” නම් විහා­ර­යක් සාදා ඇති බව ද අඹ­තලා (අබ­ද­ලක) වැව බඳවා එම විහා­රයේ භික්ෂූන්ට පිදූ බව ද සඳ­හන්ය.

රිටි­ගල ආරා­මය, කන්දේ නැගෙ­න­හිර ට පිහිටා ඇත. මෙහි කළ කැණීම් වල දී පධා­න­ඝර කිහි­ප­යක් හමු විය. එහි ශිලා ස්ථම්භ මුදුනේ පියැසි තිබුණු බවට සාධක ලැබේ. එසේම මෙම භූමි­යට ප්‍රවේශ වීමේ දී හමු­වෙන “බන්දා පොකුණ” අති විශාල වූ ශිලා­මය නිර්මා­ණ­යකි. පොකුණේ ඉවුරු ඇතුළු මුහු­ණතේ ගල් පඩි දක්නට ඇති අතර අතී­තයේ දී මෙම පඩි ජල මට්ටම දක්වා පහ­ළට පව­ති­න්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. ජලා­ශයේ සැලැස්ම බහු කෝණික වේ. එහි පරි­ධිය මීටර් 366 (අඩි 1200) පම­ණය.

මෙම පොකුණ සම්බ­න්ධව විවිධ මත පවතී. ආර­ණ්‍ය­වා­සීව වැඩ වාසය කළ පන්සි­ය­ය­ක්‌ ­සං­ඝ­ර­ත්නයේ පැන් පහ­සුව සඳහා මෙම බන්දා පොකුණ ඉදි කර­න්නට ඇත යන්නත්, ආරා­මයේ තවත් නාන පොකුණු රැසක් පව­තින බැවින් මෙත­රම් විශාල පොකු­ණක් භික්ෂුන්ගේ ස්නානය සඳහා වෙන් වූවක් නොව ආරා­ම­යට පැමි­ණෙ­න්නන්ගේ චාරි­ත්‍රා­නූ­කූල ස්නාන කට­යුතු සඳහා බන්දා පොකුණ භාවිත කර­න්නට ඇතැයි යන්න තවත් අද­හ­සකි.

ආරා­මයේ ප්‍රධාන ගොඩ­නැ­ගිලි දක්වා යාමට තිබෙන ශිලා පදික වේදි­කාව අඩි 8 ක් පළ­ලින් සහ අඩි 15000 දිගින් (මීටර් 437) යුක්ත ය. මීට අම­ත­රව ගල්පා­ලම්, පිය­ගැට පේළි, කවා­කාර ශෛල­මය වේදිකා, ඔප දැමූ සුවි­සල් ගල් පුවරු, සෙල්මුවා පහණ, තටාක, බෙහෙත් ඔරු, සල­ප­තළ මළු, විවි­ධා­කාර ගිම­න්හල් ආදී විශ්මය ජනක ශිලා­මය නිර්මාණ රිටි­ගල දක්නට ලැබේ.


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
23 පෙබරවාරි, 2020


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/Home/Index

සංඛ පද්ම සමඟ බැඳුණු පුරා­වි­ද්‍යා­ත්මක සාධක


සඳ­කඩ පහණ දෙපස ඇති දොරටු අංග මුර­ගල ලෙස හැඳින්වේ. මුර­ගලේ විකා­ශය සඳ­කඩ පහ­ණට වඩා වේග­යෙන් සිදු­විය. අභ­ය­ගිරි විහා­ර­යෙන් එසේ විකා­ශනය වූ විවිධ සංව­ර්ධන අව­ධීන් හි මුර­ගල් හමුවේ. කැට­යම් කිසිත් නැති දිග හත­රැස් ගල් පුව­රු­වක් සහිත කොර­වක් ගල් අග කෙළින් සිටුවා ඇති මුර­ගල් විකා­ශ­නයේ මුල් ම අව­ස්ථා­වයි. පසු­කා­ලී­නව එයට නිය­රක් වැනි කොට­සක් එකතු විය. පුන්ක­ලස තුන්වැ­නිව එක් වූ අංග­යකි. ඊට පසු අව­ස්ථාවේ දී වාමන රූප උප­යෝගී කොට ගෙන ඇත.

මුර­ගලේ විකා­ශ­නයේ ඊට පසු අව­ස්ථාවේ දී දිසා පාලක රූප­ව­ලට ප්‍රමු­ඛ­ස්ථා­න­යක් දී ඇත. එම දිසා පාලක මහා­ර­ජ­ව­රුන් හඳුනා ගැනී­මට මුර­ග­ල්වල සංකේත යොදා තිබේ. උතුර, දකුණ, බට­හිර හා නැගෙ­න­හිර නියෝ­ජ­නය කර­මින් මුර­ගලේ එක් පසෙක කුලුනක් මත සිටින සිවුපා රූප දැක්විය හැකිය. එම­ඟින් උතුර සඳහා සිංහයා ද දකුණ ට ගවයා ද බට­හි­රට අශ්වයා ද නැගෙ­න­හි­රට ඇතා ද යනු­වෙන් සංකේ­ත­වත් කොට ඇත.

ධෘත­රාෂ්ට්‍ර, විරූඪ, විරූ­පාක්ෂ හා වෛශ්‍ර­වණ යන සත­ර­ව­රම් මහ­ර­ජ­ව­රුන්ගේ රූප ඉතා අලං­කාර ලෙස මෙම මුර­ග­ල්වල නිරූ­ප­ණය කැර ඇත. දිව්‍යා­භ­රණ හා දිව්‍ය ඇඳු­ම්ව­ලින් යුක්තව දකුණු අතින් පුන්ක­ල­සක් ද කටියේ රඳ­වන ලද වම­තින් මල් ඉත්තක් ද ගෙන සම­භංග හෝ ත්‍රිභංග ලෙස මෙම රූප කැට­ය­මට නගා ඇත. මොවුන් දේව­ත්වයේ ලා සල­කන අතර වෛශ්‍ර­වණ හැර අනිත් තිදෙනා නාග සම්බ­න්ධය ඇති අය ලෙස හඳු­න්වන බැවින් ඔවුන්ගේ හිස් වටා නා පෙණ දක්වා තිබේ.

අභ­ය­ගිරි විහාර පරි­ශ්‍රයේ ඇති රත්න ප්‍රාසා­දයේ දොර­ටුව නැගෙ­න­හි­රට මුහුණ ලා පිහිටි බැවින් එහි ඇති මුර­ග­ලෙහි ඇත් රුව නිරූ­ප­ණය කර තිබේ. එමෙන් ම කපා­රා­රා­මයේ උතු­රට මුහුණ ලා තනා ඇති දොර­ටුවේ මුර­ග­ලෙහි සිංහ රූපය නියෝ­ජ­නය වේ.

ඒ අනුව උතු­රෙහි ප්‍රධාන දිසා­පා­ලක ලෙස වෛශ්‍ර­වණ හෙවත් කුවේර හඳු­නා­ගත හැකි අතර මුදල් පෙට්ටික් අතැ­තිව සිටින වාම­න­යෙ­කුගේ රූප­යක් මෙහි දී නිරූ­පි­තය. එම­ගින් ඉතා පහ­සු­වෙන් කුවේර හඳුනා ගන්නට හැකි බව සඳ­හන් ය.

අභ­ය­ගිරි පරි­ශ්‍රය පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීමේ දී මූල හත­රක් යටතේ එකල පාල­නය වූ බව 10 වන සිය­වසේ v වන කාශ්‍යප රජුගේ අභ­ය­ගිරි ශිලා ලේඛ­නය අනුව පැහැ­දි­ලිය. එනම් සතර මූල­යෙන් වට වූ අභ­ය­ගිරි වෙහෙ­රෙහි රත්න­ප්‍රා­සා­දය දිව්‍ය භව­නක් සේ දිස් වූ බව දැක්වේ. කපා­රා­රාම මූලය, මහ­නෙත්පා මූලය, වහදු මූලය හා උත්තර මූලය ලෙස මෙම සතර මූල­යන් හඳුන්වා ඇත.

බහි­රව උපත හා බැඳුණු ජන­ප්‍ර­වාද අනුව බහි­ර­වගේ උපත වෛදික යුගය හා දිව යයි. බහු දේව­වාදි සංක­ල්පය මත පද­නම් ව විවිධ ස්වභා­වික ද්‍රව්‍ය­යන් එනම්, ගස් ගල්, ගාංගා, සුළඟ, අව්ව, වැස්ස, පර්වත ආදි ජූජ­නීය වස්තූන් ලෙස සලකා වන්ද­නා­මාන කිරීම සිදු­විය. දේව වන්ද­නාවේ ආර­ම්භය ඒ ආකා­ර­යෙන් සිදු­වන විට බ්‍රහ්මණ අව­ධිය වන විට ඒක දේව වාදය, පුද්ගල දේව වාදය මත පද­නම් ව සමා­ජය තුළ මුල්බැස ගන්නට විය.

පුරා විද්‍යා­ත්මක සාක්ෂි ඉතා අල්ප ලෙස විග්‍රහ කෙරෙන පද­යක් ලෙස නිදන් දැක්විය හැකිය. සර­ලව ගත්කළ නිදන් යනු තැන්පත් කිරීම යි. අභ­ය­ගිරි දාගැ­බෙහි දකුණු වාහ­ල්ක­ඩින් හමු වී ඇති ශිලා­ලේ­ඛන දෙකක් ඇසු­රින් මේ පිළි­බ­ඳ අද­හ­සක් ලබා­ගත හැකි ය. මළු­තිස හෙවත් කණි­ට්ඨ­තිස්ස රජු විසින් (ක්‍රිස්තු වර්ෂ 164 – 192) කර­වන ලද මෙම ශිලා ලේඛන අනුව,

I. මළු­තිස මහ­ර­ජහ රජිණි මිත­බිය ධාතු නිජනෙ

අද­හස – මළු­තිස මහ රජුගේ බිසව වූ මිතගේ ධාතු මෙහි තැන්පත් කරන ලදි

II. මලි­තිස මහ­ර­ජහ මති සිර­බිය ධාතුනිජනෙ

අද­හස – මලි­තිස මහ රජුගේ මව් වූ සිරි­බි­යගේ ධාතු රජු විසින් මෙහි තැන්පත් කරන ලදි

ක්‍රි.ව. 2 වන සිය­වසේ සිට නිදන් කිරීමේ සංක­ල්පය පිළි­බඳ සාධක හමු­ වන අතර මෙහි ධාතු නිජනෙ යනු­වෙන් නිදන් කිරීම එසේත් නැති­නම් තැන්පත් කිරීම යන අරුත් සප­යයි.

නිදන් සංක­ල්පය අනුව පට බැඳු­ණකි බහි­රව යන්න. ඒ අනුව බහි­රව යනු භූමි­යට අධි­ගෘ­හිත යක්ෂ බල­වේ­ග­යකි යන්න මත­යකි. 11 වෙනි සිය­වසේ දී රචිත “බෝධි වංශ­යට” අනුව බහි­රව යනු බිය ජනක යන අද­හ­සයි. 12 වන සිය­වසේ දී ගුරුළු ගෝමීන් විසින් ධර්ම ප්‍රදී­පි­කාවේ මෙම පදය බිය ජනක රූප යන්න අරුත් ගන්වා ඇත. ජාතක කතා රච­කයා විසින් භයා­නක ස්වරූප යන්න යොදා ඇත. එමෙන් ම කාලි­දා­සගේ සෘතු සංහා­ර­යට අනුව යක්ෂ­යාගේ ප්‍රධා­නියා කුවේ­රය. කුවේ­රගේ ආල­ක­ම­න්දාවේ බහි­ර­ව­යන් සිටින අතර එම දේව සභාවේ ප්‍රධා­නීන් දෙදෙ­නකු ලෙස සංඛ පද්ම හඳුන්වා ඇත.

කාශ්‍යප සීගි­රිය ගොඩ නැගී­මට කුවේ­රගේ අල­කා­පුර සංක­ල්පීය ලක්ෂණ උප­යෝගි කර ගත් බවත්, සංඛ පද්ම නිධි සංක­ල්පය කුවේර සතු නව නිධා­න­යක් ආරක්ෂා කරන බහි­ර­ව­යන් ලෙස දැක්වී­ම­ටත් යොදා ගෙන ඇත. මේ අනුව කිසි­යම් වටි­නා­ක­මක් ඇති වස්තු­වක් සඟවා තැබීම හෝ නිධන් කිරීම යන්න මෙම සංක­ල්පයේ මූලික අර්ථ­යයි.

බහි­රව උත්පත්ති කතා අනුව බහි­ර­ව­යන් ගණ­නා­වකි. එනම් මහා බහි­රව, හැඩ බහි­රව,කෘර බහි­රව, කාල බහි­රව, නාග බහි­රව, සංඛ හා පද්ම බහි­රව යනාදි වශ­යෙනි. අභ­ය­ගිරි විහා­රයේ වල­ගම්බා රජුගේ කාලයේ සිට සංඛ පද්ම බහි­ර­ව­යන් වෙනු­වෙන් වාර්ෂික පූජා මංග්‍ය­ල­යක් පැවැ­ත්විණි.

සංඛ නිධි හා පද්ම නිධි යනු­වෙන් හැඳි­න්වෙන මෙම බහි­ර­ව­යන් අභ­ය­ගිරි ස්තූපයේ දකුණු පිවි­සුම් දොර­ටු­වෙහි පිහි­ටුවා ඇති අතර, ඉන් සංඛ දකුණු පසත්, පද්ම වම් පසත් දක්නට ලැබේ. මෙම බහි­රව රූප හඳුනා ගැනීමේ සංකේත ලෙස පද්මගේ හිසෙහි නෙළුම් මලක් ද සංඛගේ හිසෙහි හක් ගෙඩි­යක් ද නිරූ­ප­ණය කර ඇත. එමෙන් ම දෑස් දල්වා­ගෙන ඇති අතර ශරී­රය හරහා පූන නූලක් පැලඳ, බඳ පටි­ය­කින් සැරසී මාල දෙකක් හා අතේ ඉහළ කෙළ­ව­රෙහි වළලු දෙකක් පැලඳ සිටියි. ඉනේ වටා යන රෙදි කඩ­කින් ඇඳුම නිරූ­පි­තය.

විජ­යබා මාලි­ගයේ තිබෙන මුර­ගලේ බහි­රව රූප සහිත මුර­ගල් හා සසඳා බලන විට නිර්මාණ ලක්ෂණ අතින් ඉතා සංකීර්ණ ස්වභා­ව­යක් ගනී. මෙහි විද්‍යමාන වන ලක්ෂණ ලෙස දිගැටි හිස කෙස්, ආභ­රණ හා කර්ණා­භ­රණ පැළ­ඳ­ගෙන සිටීම යනාදි වශ­යෙන් දැක්විය හැකි ය. පද්ම බහි­රව ඉතා සෞම්‍ය ලෙසත්, සුදු පැහැති මල් මාල­ය­කින් සරසා ඇති බවත් දක්නට ලැබෙන අතර, විභාග ජය, මංග­ල්‍ය­ය, දරු ඵල, අපල දුරු කර ගැනීම, ගොවි­තැන් ඇර­ඹීම, සුව නොවන රෝග සුව කර ගැනීම ආදි විවිධ අභි­ලා­ෂ­යන් ඉටු කර ගැනීමේ අපේ­ක්ෂා­වෙන් වත්මනේ දී පවා බොහෝ පිරිස් පුද පූජා පවත්වා බාර­යන් ගැට ගසති. එමෙන්ම සංඛ බහි­රව සඳහා නඩු හබ, පළි­ගැ­නීම්, නැති දෙයක් සෙවී­මට යනාදි ලෙස රතු රෙදි පටි­යක කාසි­යක් ඔතා බාර­යන් ගැට ගසනු දක්නට ලැබේ. සංඛ යනු පද්මගේ විරුද්ධ පැත්ත බවත් රතු පැහැති මල් මාලය­කින් සරසා තිබීම විශේ­ෂ­ත්ව­යකි.

ලංකාවේ මෑත ඉති­හා­සය තුළ වඩාත් ජන­ප්‍රිය බහි­රව ඇද­හීම අභ­ය­ගි­රිය ආශ්‍රය කොට ගෙන සිදු වේ. එමෙන් ම දැනට සංඛ පද්ම අද­හන එකම ස්ථානය වන්නේ ද අභ­ය­ගි­රි­යයි යන්න පැවසේ. සංඛ පද්ම බහි­රව රූප සහිත මුර­ගල් අත­රින් අනු­රා­ධ­පු­රයේ ඇති පැර­ණිත ම මුර­ගල ලෙස තොළු­විල භූමියේ ඇති මුර­ගල හැඳින්වේ. කුවේර, නව නිධා­න­යන් ගෙන් යුත් එක් සංක­ල්ප­යක් බවත් එය පෙර­දිග කලාවේ ධනේ­ශ්වර ලෙස ද හඳුන්වා ඇත. ගිරා සංදේ­ශ­යට අනුව,

ගත් මෙන් නව නදන්
කෙරෙ­මින් කලි අකුරු දන්
කර සත සිත නදන්
දේය අවු­රුදු පතා මහ දන්

යනු­වෙන් දක්වා තිබේ. ගිරා සන්දේ­ශයේ සඳ­හන් පරිදි නව නදන් හෙවත් නව­නි­ධාන නම් සංඛ පද්ම ඇතුළු බහි­ර­ව­යන් 9 දෙනෙකි. කාලි­දා­ස­යන් විසින් රචිත මේඝ­දූ­තයේ දූතයා වූ මේඝ (වැහි වළාව) කුවේ­රගේ මාලි­ගය කරා පැමි­ණෙන විට දොර­ටුව අසල ඇඳ තිබූ සංඛ පද්ම දෙදෙ­නාගේ රූප දුටු බව කියවේ. ඉන්දි­යාවේ කැට­යම් අතර නිධි රක්ෂ­යන් වශ­යෙන් දක්වා ඇත්තේ සංඛ හෝ පද්ම වෙනු­වට කුවේ­රගේ ම රූප දෙකකි.

මෙම රූප මැද ඇති බඳුන් පද්ම හා සංඛ නිධි තැන්පත් කළ ඒවා­යැයි සැලකේ. මහා­චාර්ය අනු­රාධ සෙනෙ­වි­ර­ත්න­යන්ට අනුව මුර­ගල් ධන නිධි ආරක්ෂා කරන, ධන­යට අධි­පති කුවේර දෙවි­යාගේ නිරූ­ප­ණ­යක් ලෙසින් සැලකේ. මෙහි වූ බහි­රව රූ ධන­යෙහි ආර­ක්ෂ­ක­යන් සේ සැලකේ. බහි­රව රූප සහිත මුර­ගල් මුල දී යක්ෂ රූපයේ පටන් වඩාත් සංකීර්ණ හා විචිත්‍ර ස්වරූ­ප­යක් දක්වා අභි­ව­ර්ධ­න­යට පත්විය. මුර­ග­ලෙහි විකා­ශ­නයේ අව­සන් අව­ස්ථාවේ දී නාගයා ජල­යෙහි හා ධන­යෙහි ආර­ක්ෂාව සංකේ­ත­වත් කර­මින් බහි­රව රූප ඉක්මවා එම ස්ථාන­යට පත්විය.

කාල­යක් ගත වන විට බහි­ර­වයා ධන­යෙහි ආර­ක්ෂාව පිළි­බඳ සිය භූමි­කා­වෙන් ඉවත් ව ධනය විනා­ශය සල­ස­න්නෙක් බවට ස්ථාන­ගත විය. මෙලෙ­සින් මුර­ග­ලෙහි සංව­ර්ධ­නයේ අව­සාන අව­ස්ථාවේ දී මෙම සියලු සංකේත එකම මූර්ති­ය­කට ගොනු­වෙ­මින් එයින් නව අරු­තක් ධ්වනිත කර­න්නට විය.


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 පෙබරවාරි 16


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/Home/ShareArticle?OrgId=6fa2a246&imageview=0