Tuesday, February 25, 2020

රජවරුන්ට යුද කඳවුරක් වූ රිටි­ගල

රිටි­ගල පුරා විද්‍යා­ත්මක හා වාස්තු විද්‍යා­ත්මක ඓති­හා­සික නට­බුන් භූමි­යකි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටි­ගල කන්ද පිහිටා ඇති අතර අක්කර 7 200 ක පමණ භූමි­ය­කින් යුත් මෙම වන පෙදෙස හබ­රණ - අනු­රා­ධ­පුර මාර්ගයේ ගල­පි­ටි­ගල හා ගනේ­ව­ල්පොල අතර ප්‍රදේ­ශයේ පැතිර ඇත. රිටි­ගල, ඖෂධ කන්ද - කොඩි­ගල කන්ද - උණ කන්ද - ආඬියා කන්ද - පළ­තුරු කන්ද - අම­රා­පති කන්ද - උල්පත් කන්ද යන පරි­වාර කඳු හතක් වට කර­ගෙන පිහිටි ස්‌වභාව ධර්මයේ අපූ­ර්ව­තම නිර්මා­ණ­යකි. ‍රජරට පිහිටි උසම කන්ද ලෙස ද රිටි­ගල හඳු­න්වනු ලබන අතර අනු­රා­ධ­පු­රය, දඹුල්ල හා සීගි­රිය රිටි­ග­ලට ආස­න්නව පිහිටා ඇත.

මහා­වං­ශය හා වෙනත් වංශ­ක­තා­වන් හි සඳ­හන් අරි­ට්ඨ­ගාම, අරිට්ඨ පබ්බත යනු රිටි­ග­ලම බව පැහැ­දිලි වේ. ඒ අනුව අරිට්ඨ පබ්බත යනු­වෙන් හැඳින්වූ මෙම භූමිය රිටි­ගල ලෙස හැඳි­න්වී­මට හේතු ගණ­නා­වක් ඇති අතර සෙල්ලිපි මඟින් තව දුර­ටත් එය තහ­වුරු වේ. 11 වැනි සිය­ව­සට පෙර සිටම රිටි­ගල, ආර­ණ්‍ය­වාසී භික්‍ෂූන් වාසය කළ සේනා­සන සංකී­ර්ණ­යකි. චෝල ආක්‍ර­මණ හේතු­වෙන් මෙම ආරණ්‍ය සේනා­ස­නය කිසි­වෙ­කුගේ අව­ධා­නට ලක් නොවී වල් බිහි වන්නට විය.

රිටි­ගල නාඋ­ල්පත කොටසේ ගිරි­ලිපි අතර “අරිටෙ“ යනු­වෙන් හා වේවැ­ල්තැන්නේ “අරිට මහ­ගම“ යනු­වෙන් සඳ­හන්ව ඇත. රිටි­ගල යනු වචන දෙක­කින් යුත් පද­යකි. එනම් රිටි+ගල යන්නය. පාලි භාෂා­වෙන් රිටි යන්න අරිට්ඨ ලෙස අර්ථ දැක්වේ. ගිරි හෝ පබ්බත ලෙස ගල හැඳින්වේ. අභි­ලේ­ඛඥ ඩී.එම්.ද. ඉසෙඩ් වික්‍ර­ම­සිංහ විසින් රිටි­ගල යන්නෙහි නිරුක්ති කිහි­ප­යක් පරීක්ෂා කරන ලද අතර ඒ සෑම නිර්ව­ච­න­ය­කින් ම කන්දේ සුවි­ශේෂි ලක්ෂණ නිරූ­ප­ණය කොට ඇත.

එසේම රිටි­ගල සම්බ­න්ධව ඇති විවිධ මත අතර මහා අරිට්ඨ මෙහි වාසය කළ නිසා ඒ නම පට බැඳුණු බවත් අරිට්ඨ ශබ්දයේ කාල පාෂාණ (කළු ගල්) යන්න අද­හස් වෙන බැවින් කළු­ගල් පර්ව­තය යන අද­හ­සින් අරිට්ඨ පබ්බත වූ යැයි ද සඳ­හන්ය. තවත් මත­යක් ලෙස ‘රිටි’ යනු පාලි ‘අරිට්ඨ’ යන්නෙන් ‘ආර­ක්ෂාව’ යන අරුත් ඇති පද­යක් වන බැවින් රිටි­ගල යනු ආර­ක්ෂක පර්ව­ත­යකි.

ලංකාවේ පළමු පුරා­විද්‍යා කොම­සා­රිස් වූ එච්.සී.පී බෙල් සඳ­හන් කරන්නේ ආර්ය ලක්දිව යක්ෂ “අරිට්ඨ“ යනු ආර­ක්ෂීත ගල යන්නය. රජ­ව­රුන්ට මෙන් ම හොරුන්ට ද ආර­ක්ෂිත ස්ථාන­යක් ලෙස රිටි­ගල පැවති බව චූල­වං­ශයේ ද සඳ­හන්වේ.එච්.සී.පී බෙල්, රිටි­ගල කන්දේ කරන ලද ගවේ­ෂණ පද­නම් කර­ගෙන එහි ලෙන් හා ශිලා ලිපි හඳු­නා­ගෙන ඇත.

දිග රිට යන අර්ථ­ය­යෙන් ද රිටි­ගල හැඳින්වේ. එසේ ම රිටි­ගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්ව­තය රිටි­ගල නමින් හඳු­න්ව­න්නට ඇත යන්න තවත් මත­යකි. මහා­නාම හිමි විසින් මහා­වං­ශයේ රිටි (අරිට්ඨ) භයා­නක යන්න හැඟ­වී­මට යොද­න්නට ඇති බව ද විශ්වාස කෙරෙයි.

1872 දී රජයේ මිනි­න්දෝ­රු­වකු වූ ජේම්ස් මැන්ටෙල් විසින් සිදු කරන ලද ගවේ­ෂණ හේතු­කොට ගෙන වන­ග­තව පැවති රිටි­ගල ලෝක ප්‍රජා­වගේ අව­ධා­න­යට යොමු විය. කඳු මුදු­නෙහි ත්‍රිකෝ­ණ­මි­තික ස්ථාන­යක් ඔහු විසින් පිහි­ට­වනු ලද අතර රිටි­ගල නට­බුන් ඇසු­රින් සකස් කරන ලද වාර්තාව එම වර්ෂයේ දී ප්‍රකා­ශ­යට පත්විය. එය ප්‍රථම වරට රිටි­ගල නට­බුන් සම්බන්ධ වූ වාර්තා­වයි. ඊට පසුව ජේම්ස් මැන්ටෙල් ගේ සොහො­යුරු වූ ඩී.ජී. මැන්ටෙල් විසින් 1878 දී රිටි­ගල චාරි­කා­වක නිර­තව වාර්තා­වක් සැකසී ය. 1892 දී ජේ.බී.එන්. රිඩ­වුඩ් නම් රජයේ මිනි­න්දෝරු විසින් රාජ­කීය ආසි­යා­තික සමි­තියේ සඟ­රා­වට රිටි­ගල නට­බුන් පිළි­බඳ ව සවි­ස්තර සට­හ­නක් පළ කරනු ලැබීය.

රිටි­ගල පිහිටි වෘක්ෂ­ලතා පරීක්ෂා කොට ඒවායේ එක­තු­වක් ගොඩ නැගූ ප්‍රථම උද්භිද විද්‍යා­ඥයා වූයේ Ceylon Handbook to the Flora of Ceylon නැමැති ග්‍රන්ථයේ කතු­වර හෙන්රි ට්‍රීමන් ය. 1887 දී කීට විද්‍යා­ඥ­යෙක් වූ ඒ.පී. ග්‍රීන් එක්ව රිටි­ගල නරඹා ඊට අදා­ළව සකස් කළ ලිපිය රාජ­කීය ආසි­යා­තික සංග­මයේ ලංකා ශාඛා සඟ­රාවේ පළ­විය.

හෙන්රි ට්‍රීමන් පව­සන පරිදි පහත් තෙත් බිම්වල පිහිටි උස් කලා­ප­වල වෘක්ෂ­ලතා අනෙක් කඳු­කර ප්‍රදේශ වලට වඩා වෙනස් ය. රිටි­ගල කාල­ගු­ණය සෞම්‍ය බවින් යුතු අතර ඒ වටා ඇති වියළි කලා­පීය ප්‍රදේ­ශ­යට වඩා අධික වර්ෂා­වක් ඊසාන දිග මෝසම් සුළ­ඟින් ලැබේ. එමෙන් ම විශේ­ෂ­යෙන් නිරිත දිග මෝසම් කාලයේ දී සිදු­වන අධික වාෂ්ප ඝණී­භ­ව­නය වීම හේතු­වෙන් පහළ තැන්නේ නියං තත්ත්ව­යක් ඇති වුව ද රිටි­ගල කන්දේ පස තෙත­ම­න­යෙන් යුක්තය. 1922 දි රිටි­ගල වෘක්ෂ­ලතා පිළි­බඳ අධ්‍ය­ය­නය කළ උද්භිද විද්‍යාඥ ජේ.සී.විලීස් විසින් Age and Area කෘති­යෙන් වෘක්ෂ­ල­තා­වන්ගේ භූගෝ­ලීය ව්‍යාප්තිය පිළි­බ­ඳව න්‍යායක් ඉදි­රි­පත් කරන ලදී. ලංකා­වට ම ආවේ­ණීක උද්භිද වර්ග 3 ක් රිටි­ගල කඳු මුඳුනේ ඇති බව ඔහු සඳ­හන් කර ඇත.

එමෙන් ම 1933 දී ආර්. එල්. බ්‍රෝහි­යර් විසින් සම්පා­දිත ශ්‍රී ලංකාවේ අතීත වාරි ශිල්පය නමැති ග්‍රන්ථ­යෙන් රිටි­ගල පිහිටි වාරි පද්ධ­තිය ඉතා සුවි­ශේෂි නිර්මා­ණ­යක් බව පෙන්වා දී ඇත. 1941.11.07 දින අංක 8809 දරණ රජයේ ගැස­ට්‌ ­නි­වේ­ද­නය නිකුත් කර­මින් රිටි­ගල කන්දේ වර්ග කිලෝ­මී­ටර් 5.28 ක්‌ වූ භූමි ප්‍රදේ­ශය දැඩි ආර­ක්‍ෂිත කලා­ප­ය­ක්‌ ­බ­වට එව­කට සිටි පුරා­විද්‍යා කොම­සා­රි­ස්‌ ­ආ­චාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රකා­ශ­යට පත් කරන ලදී. 1960 දි ඔහුගේ මූලි­ක­ත්වය යටතේ රිටි­ගල පුරා­වි­ද්‍යා­ත්මක කට­යුතු ආරම්භ කරන ලද අතර 1980 දී පිහි­ටු­වන ලද සංස්කෘ­තික ත්‍රිකෝ­ණය (මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල) ආරම්භ වීමත් සමඟ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව එක්ව එහි කැණීම් හා සංර­ක්ෂ­ණය කර­න්නට විය.

රිටි­ගල ආශ්‍රිත ජන­ප්‍ර­වාද හා ඓති­හා­සික තොර­තුරු අතර රාම-රාවණ පුවත පුමු­ඛ­ස්ථා­න­යක් ගනු ලබයි. එනම් රාවණ විසින් ඉන්දි­යාවේ රාමගේ බිසව වූ සීතා දේවිය පැහැ­ර­ගෙන විත් සඟවා තැබූයේ රිටි­ගල යැයි ව්‍යව­හා­රයේ ඇත. ඇය සොයා පැමිණි රාමගේ සොයුරු ලක්ෂ්මන් අතර මගදි රෝගා­තුර වූ බැවින් ඔහු සමඟ පැමිණ සිටි හනු­මන්තා හිමා­ලය වන­යට ගොස් සෙවු ඖෂ­ධය සොයා ගන්නට නොහැකි වූ බැවින් හිමා­ලය කන්දෙන් කොට­සක් කඩා­ගෙන පැමිණි බවත් එයින් කොට­සක් කැඩි ගොස් රිටි­ගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මා­ණය වූ බවත් එමෙන්ම රූම­ස්සල හා දොළු­කන්ද මෙසේ කඩා වැටුණු කොටස් වලින් ඉතිරි කොටස් ලෙස ද ජන­ප්‍ර­වා­දයේ කියවේ.

එමෙන් ම දුටු­ගැ­මුණු රජ­තු­මාගේ (ක්‍රී.පු. 101 – 77) කාලයේ දි දස­මහා යෝධ­යන් අතර සිටි ගෝඨ­යි­ම්බර හා රිටි­ගල අර­ක්ගත් යක්ෂ ගෝත්‍රික සෙන්ප­ති­යෙක් වු රිටි­ගල ජය­සේන අතර ඇති වූ සටන ජන­ප්‍ර­වා­දයේ එන තවත් කතා­වකි. මේ සට­නේදි ගෝඨ­යි­ම්බර යෝධ­යාගේ පහ­ර­කට ජය­සේ­නගේ හිස වෙන්වි සොයා ගත නොහැකි තැනක වැටුණු බවත්, සෙන­සුරු විසින් කඳේ පණ ඇති බව දැක හදි­සියේ පැමිණ වළ­ස­කුගේ හිසක් ජය­සේ­නට සවි­කල බවද පුරා­වෘ­ත්ත­වල දැක්වෙන අතර හදි­ස්සි­යට හිස සවි­කි­රිමේ දි හිස පසු­ප­සට සවි­කළ බවත් සඳ­හන්ය. එබැ­වින් පසුව ජය­සේන මහ­සෝන් යක්ෂයා විය.

ලක්දිව පළමු මහ රහ­තන් වහන්සේ ලෙස සඳ­හන් වෙන අරිට්ඨ හිමි ප්‍රමුඛ 500 ක් සංඝයා වහ­න්සේලා රිටි­ගල සේනා­ස­න­වල ආර­ණ්‍ය­වා­සීව වැඩ විසූ බව දැක්වේ. පුරා­වි­ද්‍යා­ත්මක අග­ය­ක්‌ ­ඇති විවිධ ගොඩ­නැ­ඟිලි 140 ක පමණ නට­බුන් හා පැරණි ආයු­ර්වේද රෝහ­ලක නට­බුන් වර්ත­මා­නයේ දී පවා රිටි­ගල දී දැක බලා ගත හැකි ය.

කටා­රම් කොටන ලද 70 කට අධික ලෙන් ද බ්‍රාහ්මි අක්‍ෂ­ර­ව­ලින් ලියන ලද ශිලා ලේඛන අත­රින් 35 ක්‌ සහ පරි­ව­ර්ත­නය කරන ලද ලිපි දෙකක් ගල් පර්ව­තයේ ඇති බව සඳ­හන් ය. බට­හිර දෙසට නාම­ළුව සහ නාඋ­ල්පොත වැටිය, ගිනි­කොන දෙසට කුඩා අර­ම්බැද්ද වැටියේ, දකුණු අන්තයේ මර­ක්කල උල්පොත සහ නැගෙ­න­හිර දෙසට ආඬි­යා­කන්ද වැටි­යෙන් විශා­ල­තම ගුහා සංකී­ර්ණ­යන් හමුවේ. කර­ඹේ­හින්න වැටියේ පර්ව­ත­යෙන් ගුහා දෙකක් හමු­වන අතර බන්දා පොකුණ ආස­න්නයේ ලෙන් හයක් දක්නට ලැබේ.

අනු­රා­ධ­පුර රාජ­ධා­නිය බිහි­වී­මට පෙර සිට ම පැහැ­දිලි ඉති­හා­ස­යක් රිටි­ගල සම්බ­න්ධව ඇත. එනම් ක්‍රි.පූ. 437 දී පණ්ඩු­කා­භ­යගේ (ක්‍රි.පූ. 377–307) සටන් මධ්‍ය­ස්ථා­න­යක්ව රිටි­ගල පැව­තුණු බවත් ඔහු සිය මාමා­ව­රුන් සමග කළ සටනේ දී ප්‍රධාන මධ්‍ය­ස්ථා­නය ලෙස මෙම භූමිය යොදා­ගත් බව ද සඳ­හන්ය. පණ්ඩු­කා­භය සමයේ රිටි­ගල යක්ෂ­යින්ගේ නිජ භූමි­යක් ලෙස පැව­තුණු බව ද දුටු­ගැ­මුණු රාජ්‍ය කාලයේ දී යක්ෂ­යින්ට අධි­ප­තී­ත්වය දැරූ ජය­සේන නම් යක්ෂ සේනා­ධි­ප­ති­යෙක් විසූ බව ද පැවැසේ. රිටි­ගල කන්දේ නාඋ­ල්පත ඇති සෙල්ලි­පිය අනුව ක්‍රි.පූ. 119 - 109 සද්ධා­තිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජ­තිස්ස, රිටි­ගල “කන්ද­ර­හී­නක” නම් විහා­ර­යක් සාදා ඇති බව ද අඹ­තලා (අබ­ද­ලක) වැව බඳවා එම විහා­රයේ භික්ෂූන්ට පිදූ බව ද සඳ­හන්ය.

රිටි­ගල ආරා­මය, කන්දේ නැගෙ­න­හිර ට පිහිටා ඇත. මෙහි කළ කැණීම් වල දී පධා­න­ඝර කිහි­ප­යක් හමු විය. එහි ශිලා ස්ථම්භ මුදුනේ පියැසි තිබුණු බවට සාධක ලැබේ. එසේම මෙම භූමි­යට ප්‍රවේශ වීමේ දී හමු­වෙන “බන්දා පොකුණ” අති විශාල වූ ශිලා­මය නිර්මා­ණ­යකි. පොකුණේ ඉවුරු ඇතුළු මුහු­ණතේ ගල් පඩි දක්නට ඇති අතර අතී­තයේ දී මෙම පඩි ජල මට්ටම දක්වා පහ­ළට පව­ති­න්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. ජලා­ශයේ සැලැස්ම බහු කෝණික වේ. එහි පරි­ධිය මීටර් 366 (අඩි 1200) පම­ණය.

මෙම පොකුණ සම්බ­න්ධව විවිධ මත පවතී. ආර­ණ්‍ය­වා­සීව වැඩ වාසය කළ පන්සි­ය­ය­ක්‌ ­සං­ඝ­ර­ත්නයේ පැන් පහ­සුව සඳහා මෙම බන්දා පොකුණ ඉදි කර­න්නට ඇත යන්නත්, ආරා­මයේ තවත් නාන පොකුණු රැසක් පව­තින බැවින් මෙත­රම් විශාල පොකු­ණක් භික්ෂුන්ගේ ස්නානය සඳහා වෙන් වූවක් නොව ආරා­ම­යට පැමි­ණෙ­න්නන්ගේ චාරි­ත්‍රා­නූ­කූල ස්නාන කට­යුතු සඳහා බන්දා පොකුණ භාවිත කර­න්නට ඇතැයි යන්න තවත් අද­හ­සකි.

ආරා­මයේ ප්‍රධාන ගොඩ­නැ­ගිලි දක්වා යාමට තිබෙන ශිලා පදික වේදි­කාව අඩි 8 ක් පළ­ලින් සහ අඩි 15000 දිගින් (මීටර් 437) යුක්ත ය. මීට අම­ත­රව ගල්පා­ලම්, පිය­ගැට පේළි, කවා­කාර ශෛල­මය වේදිකා, ඔප දැමූ සුවි­සල් ගල් පුවරු, සෙල්මුවා පහණ, තටාක, බෙහෙත් ඔරු, සල­ප­තළ මළු, විවි­ධා­කාර ගිම­න්හල් ආදී විශ්මය ජනක ශිලා­මය නිර්මාණ රිටි­ගල දක්නට ලැබේ.


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
23 පෙබරවාරි, 2020


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/Home/Index

සංඛ පද්ම සමඟ බැඳුණු පුරා­වි­ද්‍යා­ත්මක සාධක


සඳ­කඩ පහණ දෙපස ඇති දොරටු අංග මුර­ගල ලෙස හැඳින්වේ. මුර­ගලේ විකා­ශය සඳ­කඩ පහ­ණට වඩා වේග­යෙන් සිදු­විය. අභ­ය­ගිරි විහා­ර­යෙන් එසේ විකා­ශනය වූ විවිධ සංව­ර්ධන අව­ධීන් හි මුර­ගල් හමුවේ. කැට­යම් කිසිත් නැති දිග හත­රැස් ගල් පුව­රු­වක් සහිත කොර­වක් ගල් අග කෙළින් සිටුවා ඇති මුර­ගල් විකා­ශ­නයේ මුල් ම අව­ස්ථා­වයි. පසු­කා­ලී­නව එයට නිය­රක් වැනි කොට­සක් එකතු විය. පුන්ක­ලස තුන්වැ­නිව එක් වූ අංග­යකි. ඊට පසු අව­ස්ථාවේ දී වාමන රූප උප­යෝගී කොට ගෙන ඇත.

මුර­ගලේ විකා­ශ­නයේ ඊට පසු අව­ස්ථාවේ දී දිසා පාලක රූප­ව­ලට ප්‍රමු­ඛ­ස්ථා­න­යක් දී ඇත. එම දිසා පාලක මහා­ර­ජ­ව­රුන් හඳුනා ගැනී­මට මුර­ග­ල්වල සංකේත යොදා තිබේ. උතුර, දකුණ, බට­හිර හා නැගෙ­න­හිර නියෝ­ජ­නය කර­මින් මුර­ගලේ එක් පසෙක කුලුනක් මත සිටින සිවුපා රූප දැක්විය හැකිය. එම­ඟින් උතුර සඳහා සිංහයා ද දකුණ ට ගවයා ද බට­හි­රට අශ්වයා ද නැගෙ­න­හි­රට ඇතා ද යනු­වෙන් සංකේ­ත­වත් කොට ඇත.

ධෘත­රාෂ්ට්‍ර, විරූඪ, විරූ­පාක්ෂ හා වෛශ්‍ර­වණ යන සත­ර­ව­රම් මහ­ර­ජ­ව­රුන්ගේ රූප ඉතා අලං­කාර ලෙස මෙම මුර­ග­ල්වල නිරූ­ප­ණය කැර ඇත. දිව්‍යා­භ­රණ හා දිව්‍ය ඇඳු­ම්ව­ලින් යුක්තව දකුණු අතින් පුන්ක­ල­සක් ද කටියේ රඳ­වන ලද වම­තින් මල් ඉත්තක් ද ගෙන සම­භංග හෝ ත්‍රිභංග ලෙස මෙම රූප කැට­ය­මට නගා ඇත. මොවුන් දේව­ත්වයේ ලා සල­කන අතර වෛශ්‍ර­වණ හැර අනිත් තිදෙනා නාග සම්බ­න්ධය ඇති අය ලෙස හඳු­න්වන බැවින් ඔවුන්ගේ හිස් වටා නා පෙණ දක්වා තිබේ.

අභ­ය­ගිරි විහාර පරි­ශ්‍රයේ ඇති රත්න ප්‍රාසා­දයේ දොර­ටුව නැගෙ­න­හි­රට මුහුණ ලා පිහිටි බැවින් එහි ඇති මුර­ග­ලෙහි ඇත් රුව නිරූ­ප­ණය කර තිබේ. එමෙන් ම කපා­රා­රා­මයේ උතු­රට මුහුණ ලා තනා ඇති දොර­ටුවේ මුර­ග­ලෙහි සිංහ රූපය නියෝ­ජ­නය වේ.

ඒ අනුව උතු­රෙහි ප්‍රධාන දිසා­පා­ලක ලෙස වෛශ්‍ර­වණ හෙවත් කුවේර හඳු­නා­ගත හැකි අතර මුදල් පෙට්ටික් අතැ­තිව සිටින වාම­න­යෙ­කුගේ රූප­යක් මෙහි දී නිරූ­පි­තය. එම­ගින් ඉතා පහ­සු­වෙන් කුවේර හඳුනා ගන්නට හැකි බව සඳ­හන් ය.

අභ­ය­ගිරි පරි­ශ්‍රය පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීමේ දී මූල හත­රක් යටතේ එකල පාල­නය වූ බව 10 වන සිය­වසේ v වන කාශ්‍යප රජුගේ අභ­ය­ගිරි ශිලා ලේඛ­නය අනුව පැහැ­දි­ලිය. එනම් සතර මූල­යෙන් වට වූ අභ­ය­ගිරි වෙහෙ­රෙහි රත්න­ප්‍රා­සා­දය දිව්‍ය භව­නක් සේ දිස් වූ බව දැක්වේ. කපා­රා­රාම මූලය, මහ­නෙත්පා මූලය, වහදු මූලය හා උත්තර මූලය ලෙස මෙම සතර මූල­යන් හඳුන්වා ඇත.

බහි­රව උපත හා බැඳුණු ජන­ප්‍ර­වාද අනුව බහි­ර­වගේ උපත වෛදික යුගය හා දිව යයි. බහු දේව­වාදි සංක­ල්පය මත පද­නම් ව විවිධ ස්වභා­වික ද්‍රව්‍ය­යන් එනම්, ගස් ගල්, ගාංගා, සුළඟ, අව්ව, වැස්ස, පර්වත ආදි ජූජ­නීය වස්තූන් ලෙස සලකා වන්ද­නා­මාන කිරීම සිදු­විය. දේව වන්ද­නාවේ ආර­ම්භය ඒ ආකා­ර­යෙන් සිදු­වන විට බ්‍රහ්මණ අව­ධිය වන විට ඒක දේව වාදය, පුද්ගල දේව වාදය මත පද­නම් ව සමා­ජය තුළ මුල්බැස ගන්නට විය.

පුරා විද්‍යා­ත්මක සාක්ෂි ඉතා අල්ප ලෙස විග්‍රහ කෙරෙන පද­යක් ලෙස නිදන් දැක්විය හැකිය. සර­ලව ගත්කළ නිදන් යනු තැන්පත් කිරීම යි. අභ­ය­ගිරි දාගැ­බෙහි දකුණු වාහ­ල්ක­ඩින් හමු වී ඇති ශිලා­ලේ­ඛන දෙකක් ඇසු­රින් මේ පිළි­බ­ඳ අද­හ­සක් ලබා­ගත හැකි ය. මළු­තිස හෙවත් කණි­ට්ඨ­තිස්ස රජු විසින් (ක්‍රිස්තු වර්ෂ 164 – 192) කර­වන ලද මෙම ශිලා ලේඛන අනුව,

I. මළු­තිස මහ­ර­ජහ රජිණි මිත­බිය ධාතු නිජනෙ

අද­හස – මළු­තිස මහ රජුගේ බිසව වූ මිතගේ ධාතු මෙහි තැන්පත් කරන ලදි

II. මලි­තිස මහ­ර­ජහ මති සිර­බිය ධාතුනිජනෙ

අද­හස – මලි­තිස මහ රජුගේ මව් වූ සිරි­බි­යගේ ධාතු රජු විසින් මෙහි තැන්පත් කරන ලදි

ක්‍රි.ව. 2 වන සිය­වසේ සිට නිදන් කිරීමේ සංක­ල්පය පිළි­බඳ සාධක හමු­ වන අතර මෙහි ධාතු නිජනෙ යනු­වෙන් නිදන් කිරීම එසේත් නැති­නම් තැන්පත් කිරීම යන අරුත් සප­යයි.

නිදන් සංක­ල්පය අනුව පට බැඳු­ණකි බහි­රව යන්න. ඒ අනුව බහි­රව යනු භූමි­යට අධි­ගෘ­හිත යක්ෂ බල­වේ­ග­යකි යන්න මත­යකි. 11 වෙනි සිය­වසේ දී රචිත “බෝධි වංශ­යට” අනුව බහි­රව යනු බිය ජනක යන අද­හ­සයි. 12 වන සිය­වසේ දී ගුරුළු ගෝමීන් විසින් ධර්ම ප්‍රදී­පි­කාවේ මෙම පදය බිය ජනක රූප යන්න අරුත් ගන්වා ඇත. ජාතක කතා රච­කයා විසින් භයා­නක ස්වරූප යන්න යොදා ඇත. එමෙන් ම කාලි­දා­සගේ සෘතු සංහා­ර­යට අනුව යක්ෂ­යාගේ ප්‍රධා­නියා කුවේ­රය. කුවේ­රගේ ආල­ක­ම­න්දාවේ බහි­ර­ව­යන් සිටින අතර එම දේව සභාවේ ප්‍රධා­නීන් දෙදෙ­නකු ලෙස සංඛ පද්ම හඳුන්වා ඇත.

කාශ්‍යප සීගි­රිය ගොඩ නැගී­මට කුවේ­රගේ අල­කා­පුර සංක­ල්පීය ලක්ෂණ උප­යෝගි කර ගත් බවත්, සංඛ පද්ම නිධි සංක­ල්පය කුවේර සතු නව නිධා­න­යක් ආරක්ෂා කරන බහි­ර­ව­යන් ලෙස දැක්වී­ම­ටත් යොදා ගෙන ඇත. මේ අනුව කිසි­යම් වටි­නා­ක­මක් ඇති වස්තු­වක් සඟවා තැබීම හෝ නිධන් කිරීම යන්න මෙම සංක­ල්පයේ මූලික අර්ථ­යයි.

බහි­රව උත්පත්ති කතා අනුව බහි­ර­ව­යන් ගණ­නා­වකි. එනම් මහා බහි­රව, හැඩ බහි­රව,කෘර බහි­රව, කාල බහි­රව, නාග බහි­රව, සංඛ හා පද්ම බහි­රව යනාදි වශ­යෙනි. අභ­ය­ගිරි විහා­රයේ වල­ගම්බා රජුගේ කාලයේ සිට සංඛ පද්ම බහි­ර­ව­යන් වෙනු­වෙන් වාර්ෂික පූජා මංග්‍ය­ල­යක් පැවැ­ත්විණි.

සංඛ නිධි හා පද්ම නිධි යනු­වෙන් හැඳි­න්වෙන මෙම බහි­ර­ව­යන් අභ­ය­ගිරි ස්තූපයේ දකුණු පිවි­සුම් දොර­ටු­වෙහි පිහි­ටුවා ඇති අතර, ඉන් සංඛ දකුණු පසත්, පද්ම වම් පසත් දක්නට ලැබේ. මෙම බහි­රව රූප හඳුනා ගැනීමේ සංකේත ලෙස පද්මගේ හිසෙහි නෙළුම් මලක් ද සංඛගේ හිසෙහි හක් ගෙඩි­යක් ද නිරූ­ප­ණය කර ඇත. එමෙන් ම දෑස් දල්වා­ගෙන ඇති අතර ශරී­රය හරහා පූන නූලක් පැලඳ, බඳ පටි­ය­කින් සැරසී මාල දෙකක් හා අතේ ඉහළ කෙළ­ව­රෙහි වළලු දෙකක් පැලඳ සිටියි. ඉනේ වටා යන රෙදි කඩ­කින් ඇඳුම නිරූ­පි­තය.

විජ­යබා මාලි­ගයේ තිබෙන මුර­ගලේ බහි­රව රූප සහිත මුර­ගල් හා සසඳා බලන විට නිර්මාණ ලක්ෂණ අතින් ඉතා සංකීර්ණ ස්වභා­ව­යක් ගනී. මෙහි විද්‍යමාන වන ලක්ෂණ ලෙස දිගැටි හිස කෙස්, ආභ­රණ හා කර්ණා­භ­රණ පැළ­ඳ­ගෙන සිටීම යනාදි වශ­යෙන් දැක්විය හැකි ය. පද්ම බහි­රව ඉතා සෞම්‍ය ලෙසත්, සුදු පැහැති මල් මාල­ය­කින් සරසා ඇති බවත් දක්නට ලැබෙන අතර, විභාග ජය, මංග­ල්‍ය­ය, දරු ඵල, අපල දුරු කර ගැනීම, ගොවි­තැන් ඇර­ඹීම, සුව නොවන රෝග සුව කර ගැනීම ආදි විවිධ අභි­ලා­ෂ­යන් ඉටු කර ගැනීමේ අපේ­ක්ෂා­වෙන් වත්මනේ දී පවා බොහෝ පිරිස් පුද පූජා පවත්වා බාර­යන් ගැට ගසති. එමෙන්ම සංඛ බහි­රව සඳහා නඩු හබ, පළි­ගැ­නීම්, නැති දෙයක් සෙවී­මට යනාදි ලෙස රතු රෙදි පටි­යක කාසි­යක් ඔතා බාර­යන් ගැට ගසනු දක්නට ලැබේ. සංඛ යනු පද්මගේ විරුද්ධ පැත්ත බවත් රතු පැහැති මල් මාලය­කින් සරසා තිබීම විශේ­ෂ­ත්ව­යකි.

ලංකාවේ මෑත ඉති­හා­සය තුළ වඩාත් ජන­ප්‍රිය බහි­රව ඇද­හීම අභ­ය­ගි­රිය ආශ්‍රය කොට ගෙන සිදු වේ. එමෙන් ම දැනට සංඛ පද්ම අද­හන එකම ස්ථානය වන්නේ ද අභ­ය­ගි­රි­යයි යන්න පැවසේ. සංඛ පද්ම බහි­රව රූප සහිත මුර­ගල් අත­රින් අනු­රා­ධ­පු­රයේ ඇති පැර­ණිත ම මුර­ගල ලෙස තොළු­විල භූමියේ ඇති මුර­ගල හැඳින්වේ. කුවේර, නව නිධා­න­යන් ගෙන් යුත් එක් සංක­ල්ප­යක් බවත් එය පෙර­දිග කලාවේ ධනේ­ශ්වර ලෙස ද හඳුන්වා ඇත. ගිරා සංදේ­ශ­යට අනුව,

ගත් මෙන් නව නදන්
කෙරෙ­මින් කලි අකුරු දන්
කර සත සිත නදන්
දේය අවු­රුදු පතා මහ දන්

යනු­වෙන් දක්වා තිබේ. ගිරා සන්දේ­ශයේ සඳ­හන් පරිදි නව නදන් හෙවත් නව­නි­ධාන නම් සංඛ පද්ම ඇතුළු බහි­ර­ව­යන් 9 දෙනෙකි. කාලි­දා­ස­යන් විසින් රචිත මේඝ­දූ­තයේ දූතයා වූ මේඝ (වැහි වළාව) කුවේ­රගේ මාලි­ගය කරා පැමි­ණෙන විට දොර­ටුව අසල ඇඳ තිබූ සංඛ පද්ම දෙදෙ­නාගේ රූප දුටු බව කියවේ. ඉන්දි­යාවේ කැට­යම් අතර නිධි රක්ෂ­යන් වශ­යෙන් දක්වා ඇත්තේ සංඛ හෝ පද්ම වෙනු­වට කුවේ­රගේ ම රූප දෙකකි.

මෙම රූප මැද ඇති බඳුන් පද්ම හා සංඛ නිධි තැන්පත් කළ ඒවා­යැයි සැලකේ. මහා­චාර්ය අනු­රාධ සෙනෙ­වි­ර­ත්න­යන්ට අනුව මුර­ගල් ධන නිධි ආරක්ෂා කරන, ධන­යට අධි­පති කුවේර දෙවි­යාගේ නිරූ­ප­ණ­යක් ලෙසින් සැලකේ. මෙහි වූ බහි­රව රූ ධන­යෙහි ආර­ක්ෂ­ක­යන් සේ සැලකේ. බහි­රව රූප සහිත මුර­ගල් මුල දී යක්ෂ රූපයේ පටන් වඩාත් සංකීර්ණ හා විචිත්‍ර ස්වරූ­ප­යක් දක්වා අභි­ව­ර්ධ­න­යට පත්විය. මුර­ග­ලෙහි විකා­ශ­නයේ අව­සන් අව­ස්ථාවේ දී නාගයා ජල­යෙහි හා ධන­යෙහි ආර­ක්ෂාව සංකේ­ත­වත් කර­මින් බහි­රව රූප ඉක්මවා එම ස්ථාන­යට පත්විය.

කාල­යක් ගත වන විට බහි­ර­වයා ධන­යෙහි ආර­ක්ෂාව පිළි­බඳ සිය භූමි­කා­වෙන් ඉවත් ව ධනය විනා­ශය සල­ස­න්නෙක් බවට ස්ථාන­ගත විය. මෙලෙ­සින් මුර­ග­ලෙහි සංව­ර්ධ­නයේ අව­සාන අව­ස්ථාවේ දී මෙම සියලු සංකේත එකම මූර්ති­ය­කට ගොනු­වෙ­මින් එයින් නව අරු­තක් ධ්වනිත කර­න්නට විය.


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 පෙබරවාරි 16


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/Home/ShareArticle?OrgId=6fa2a246&imageview=0