Friday, September 25, 2020

මහින්දාගමනය හා බැඳුණු ඓතිහාසික සාධක


 මහාවංශයේ 13 වෙනි පරිච්ඡේදයේ (18-20 ගාථා) සඳහන් පරිදි මහින්දාගමනය සිදුවූයේ පොසොන් පොහෝ දිනකදීය. එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 ක් වූ පසුව (ක්රි.පූ. 250) ධර්මාශෝක අධිරාජ්යයාගේ 18 වන රාජ්ය වර්ෂයේදීය. එම කාලය ලක්දිව පාලනය කළ දෙවනපෑතිස් රජුගේ පළමු රාජ්ය වර්ෂය ලෙස සැලකේ. මහින්දාගමනය සම්බන්ධව සටහන් වූ දීපවංසය, මහාවංශය, සමන්තපාසාදිකාව, මහාබෝධි වංසය ආදි පාලි කෘති සහ පූජාවලිය, සිංහල බෝධිවංසය ආදි සාහිත්ය මූලාශ්ර ද මිහින්තලය හා රජගලින් හමු වූ සෙල් ලිපි පුරාවිද්යාත්මක සාක්ෂි ලෙස ද සඳහන් කළ හැකිය.


බුදුහදම මෙරට ස්ථාපිත කිරීමත් සමඟ එකල පැවති ජන ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වූ අතර රජරට සභ්යත්වයේ විශාල වර්ධනයක් සිදුවිය. මහින්දාගමනය සිදුවන මොහොත වන විටත් ලක්වැසි ජනතාව බුදු දහම ගැන අසා දැන සිටින්නට ඇතැයි සිතිය හැකිමුත් ඔවුන් විවිධ ඇදිහිලි හා විශ්වාස කෙරෙහි එල්ඹගෙන තිබුණි. එහෙත් දේවානම්පියතිස්ස රජු යටතේ රාජ්ය අනුග්රහය ලද හේතුවෙන් බුදු දහම ඉතා සීඝ්රයෙන් මෙරට ජනයා වැළඳ ගත් බැවින් මළවුන් ඇදහීම, ගස් ගල් පිදීම හා යකුත් පිළිබඳ වූ විශ්වාසයන් ක්රම ක්රමයෙන් අත් හැරීම සිදුවිය.

බුදු දහම තර්ක බුද්ධිය හා අවබෝධය පදනම් කොටගත් දර්ශනයක් වූ බැවින් ඇදහිලි හා පූජා සිරිත් විරිත් වලට සීමා නොවීය. ලංකාව, සමස්ත ලෝකයේම ථෙරවාද ග්රන්ථ ආරක්ෂා කිරීම පිළිබඳ ප්රමුඛතම මධ්යස්ථානය විය. ඒ බැව් සනාථ වන අවස්ථාවක් ලෙස ක්රි.ව. 5 වන සියවසේ දී චීනයේ සිට පැමිණි ෆාහියන් භික්ෂුව දැක්විය හැකිය. වසර දෙකකට ආසන්න කාලයක් අභයගිරියේ අධ්යාපනය ලද උන් වහන්සේ සඳහන් කරනුයේ ඒ වන විට අභයගිරියේ භික්ෂුන් වහන්සේලා 5000 ක් වාසය කළ බවත් මහාවිහාරයේ භික්ෂුන් වහන්සේලා 3000 ක් පමණ වැඩ සිටි බවයි.

එමෙන්ම ෆාහියන් හිමි විසින් චීනයේ බුදුදහම තවදුරටත් ප්රචලිත කිරීමේ අරමුණෙන් දීර්ඝාගම, සංයුක්තාගම හා සංයුක්ත සංචක පිටක වැනි සංස්කෘත භාෂාවෙන් රචිත මහීසාසක නිකායට අයත් ග්රන්ථ රැසක් අභයගිරි විහාරයෙන් ගෙන ගිය බැව් සඳහන්ය. එකල පැවති මෙරට බෞද්ධ අධ්යාපනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට එමගින් හැකියාවක් ලැබේ. අභයගිරි විහාරය ඔස්සේ අන්තර්ජාතික සබඳතා මඟින් මෙරට සංස්කෘතික වර්ධනය සිදුකිරීමට දායක විය. විටින් විට ඉන්දියාවෙන් මෙරටට පැමිණි මතවාද, සංකල්ප හා දෘෂ්ටි යනාදිය පිළිගැනීම හා එම අදහස් බෙදා හැරීම සිදු කරනු ලැබුයේ ද අභගිරිය මධ්යස්ථානය කරගනිමිනි.

සඟ සසුන හා සංඝාරාම යනුවෙන් ආයතන දෙකක් මෙරට බිහිවූයේ මහින්දාගමනය හේතුවෙනි. සංඝසාසනය මගින් ලක්දිව සංස්කෘතිය හැඩ ගැස් වූ අතර සංස්කෘතිය වර්ධනය කරමින් ව්යාප්ත කිරීම සංඝාරාමය මගින් සිදුවිය. එහි ප්රතිඵලයක් ලෙස මහාවිහාරය, අභයගිරිය හා ජේතවනාරාමය වැනි දැවැන්ත සංඝාරාම බිහිවිය. ජනතාවගේ සුබ සෙත වෙනුවෙන් කැප වූ භික්ෂුන් වහන්සේලා මෙහි විසූ අතර රජු හා රට වැසියන් විසින් එම භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනු ලැබීය. බුදු දහම මගින් රජයත්, සංඝයාත්, රටවැසියාත් යන ත්රිවිධ සංස්ථාවන් එකිනෙකට බද්ධ කරමින් පෝෂණය විය.

බුදුසමය මුලික කොට ගෙන ඉන්දියාව හා ලංකාව අතර ඉතා සමීප සම්බන්ධතාවක් පැවති බව දුට්ඨගාමිණි රජු ගේ ප්රධානත්වයෙන් පැවති රුවන්වැලි සෑයෙ පදනම දැමීමේ උත්සවය සඳහා ඉන්දියාවෙන් පැමිණි භික්ෂුන් වහන්සේලා සාක්ෂි දරන බව මහාවංශය ඇතුළු මූලාශ්රයන් හි කියැවේ. එනම් ඉන්දියාවේ බුද්ධගයා, උජ්ජෙයින්, ඉසිපතන හෙවත් බරණැස, කෝසම්බි, රජගහ, සාවත්ථි, පාඨලිපුත්ර, වෙශාලි, කාශ්මීර වැනි පෙදෙස් වලින් අනුරාධපුරයට භික්ෂුන් වහන්සේලා රාශියක් රැස් වූ බව සඳහන්ය. උතුරු ඉන්දියාවේ සිට ක්රි.ව. 5 වන සියවසේ දී පැමිණි බුද්ධඝෝෂ හිමියන් මහාවිහාරයේ දී අට්ඨකථා රචනා කළ බවත් එම විහාරයේදීම ක්රි.ව. 8 වන සියවසේ දී දකුණු ඉන්දියාවේ සිට පැමිණි ධම්මපාල හිමියන් අට්ඨකථාකරණයට සහභාගි වූ බවත් පැවසේ.

මහින්දාගමනය නිසා දෙරට අතර වූ සංස්කෘතික සම්බන්ධතා හේතුවෙන් ඉන්දියාවේ සිට භික්ෂුන් වහන්සේලා පැමිණියා සේම ලංකාවේ භික්ෂුන් වහන්සේලා ද ඉන්දියාවට සංක්රමණය වූ අවස්ථා දැක්වේ. වට්ටගාමිණි (වළගම්බා) රාජ්ය කාලයේ දී ඇති වූ දරුණු බැමිණිටියා සාගතය නිසා භික්ෂූන් වහන්සේලා ඉතා විශාල පිරිසක් දකුණු ඉන්දියාවට නැව් නැගී ගමන් ගත් බව “සම්මෝහවිනෝදනී” නම් වූ අට්ඨකතාවේ දක්වා ඇත. එසේම ලංකාවෙන් ගිය භික්ෂුන් වහ්න්සේලා වෙනුවෙන් “සීහලාරාම” නම් විහාරයක් ඉදිකොට තිබු බව නාගර්ජුන කොණ්ඩයෙන් හමු වූ සෙල් ලිපයක සටහන්ව ඇත.

ඉන්දියාවේ සංචාරය පිණිස හත්වන සියවසේ දී ගමන් ගත් හියුංසියෑං නම් චීන භික්ෂුන් වහන්සේ තම සංචාරක සටහන් හි සඳහන් කරන්නේ උන් වහන්සේ කාංචිපුරයෙහි වැඩ වාසය කරන විට එම ස්ථානයට ලංකාවේ භික්ෂූන් වහන්සේලා තුන් සියයක් පමණ වැඩම කළ බවයි. එසේම එම වාර්තාවල බුද්ධගයාවේ බෝධි වෘක්ෂය පිහිටි තැන උතුරු දොරටුවට නුදුරින් ලංකාවේ රජකු විසින් ඉදි කරවන ලද තෙමහල් මහබෝධි සංඝාරමයක් ගැන ද සඳහන් වේ. උදයසිරි නම් ලාංකිකයෙක් මහාබෝධියට බුදු පිළිමයක් ප්රදානය කළ බව ක්රි.ව. 10 වන සියවසට අයත් බුද්ධගයා හි ශිලා ලිපියක දැක්වේ.කාලිංග යුද්ධයේදී ලක්ෂ සංඛ්යාත මිනිසුන් මරුමුවට පත් වීමෙන් ලද කළකිරීම හේතුවෙන් අශෝක රජු බුදුදහම වැළඳ ගත් බවත් එසේ වැළඳ ගත් දහම ප්රචාරය කිරීම පිණිස ලෝකයේ අනිකුත් රටවල් වලට තම දූත කණ්ඩායම් යැවු බව සෙල්ලිපි වල සඳහන් වේ. එම රටවල් අතර ශ්රී ලංකාව ද සටහන්ව තිබූ බව කියැවේ.

තුන්වෙනි ධර්ම සංඝායනාව මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ ප්රධානත්වයෙන් පැවති බවත් ඉන්පසු ධර්ම දූතයන් යැවූ ලංකාව ඇතුළු රටවල් 9 ක් පිළිබඳව මහාවංසය හා වංසත්ප්පකාසිනියෙහි සඳහන්ය. එසේම තෙවන සංගායනාවෙන් පසු විවිධ ප්රදේශ වලට යැවූ ධර්මදූත කණ්ඩායම් පිළිබඳ කරුණු දැක්වීමේ දී හිමවත් ප්රදේශයට මජ්ජිම තෙරුන් යෑවු බව මහාවංශයේ සඳහන් වේ. පුරාවිද්යාත්මක සාක්ෂි අනුව වංසකතාවේ සඳහන් තෙවන සංගායනාවෙන් පසුව සිදු වූ ධර්ම දූත සේවය පිළිබඳව වූ කරුණු තහවුරු වේ. පුරාවිද්යාඥ ඇලෙක්සැන්ඩර් කනින්හැම් විසින් සාංචි ස්තූපයේ කරනු ලැබූ කැණීමේ දී ධාතු කරඬුවක් සොයා ගත් අතර එහි “සපුරිස මජිමස” ලෙස සටහන් කර තිබුණි. එහිම වෙනත් කරඬුවක “සපුරිස කසප ගොතස මෙවතා චරියස” යනුවෙන් සඳහන්ව ඇත. හිමවතට ගිය පිරිස් අතර කස්සප ගොත්ත හිමි ද වූ බව වංසකතාවල දැක්වේ. ඒ අනුව මෙම කරුණ සනාථ වූ බව පැහැදිලිය.

ධර්මය පැතිර ගිය ප්රදේශ පිළිබඳව අශෝක අධිරාජ්යාගේ ගිර්නාර් ලිපියේ සඳහන් වන අතර එම ප්රදේශ ලෙස චෝල, පණ්ඩ්ය සතියපුත, කේරළපුත, තම්බපණ්නි යනුවෙන් දක්වා තිබේ. එසේම 13 වන ලිපියේ තාම්රපණ්ණී යනුවෙන් දැක්වෙන අතර එය දක්ෂිණ ඉන්දියාවේ තිණ්ණවැලි ප්රදේශය යැයි වින්සන්ට් ස්මිත් ප්රකාශ කළ ද දකුණු ඉන්දියානු ඉතිහාසඥයෙකු වූ මුඛර්ජි ප්රකාශ කරන්නේ එය ශ්රී ලංකාව වන බවයි.

මුඛර්ජි පෙන්වා දෙන පරිදි තිණ්ණවැලි යනු ඉතා කුඩා ප්දේශයක් වූ බැවින් අශෝක අධිරාජ්යා එසේ කුඩා ප්රදේශයක තම ධර්ම ප්රචාරක කටයුතු සිදු නොකරන ලද බවත් තම පුත් වූ මිහිඳු හිමියන් ධර්ම ප්රචාරය පිණිස තම්බපණ්ණිය වූ ශ්රී ලංකාවට යැවූ බවත්ය. එසේම හියුං සියෑං භික්ෂුව, ලංකාවේ බුදු දහම ප්රචාරණය කරනු ලැබූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් යැයි තමා අසා ඇති බව සඳහන් කරයි.

දීපවංසය හා මහාවංසයට අනුව පැළලුප් නුවර සිට මහින්ද හිමි සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල සහ සංඝමිත්තාවන්ගේ පුත්ර සුමන සාමණේරයන් සහභාගී වූ බවත් පණ්ඩුක වේදිස නගරයේ දී මෙම කණ්ඩායමට එකතු වූ බවත් දක්වා ඇත.

මිහිඳු හිමියන් පැමිණ වසර 200 කට පමණ පසු කූටකණ්ණතිස්ස (ක්රි.පූ. 44-22) රජු කල ලියවන ලද මිහින්තලේ සෙල්ලිපියක් මඟින් මෙම දූත කණ්ඩායම ලංකාවට පැමිණි බව සනාථ වේ. එම ලිපියෙහි පැමිණි සිවු දෙනෙකු ලෙස මහින්ද තෙරනච, භද්දසාල තෙරනච, ඉට්ඨිය තෙරනච, උති තෙරනච යනුවෙන් නම් සටහන්ව ඇති අතර මෙම ලිපියේ අවසාන කොටස විනාශයට පත්ව තිබේ.

“ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික තෙර (ම) හිද තෙරහ තුබෙ” යනුවෙන් සඳහන් සෙල් ලිපියක් රජගල අම්පාරෙන් හමුවීමෙන්ද මහින්දාගමනය පිළිබඳ සාක්ෂි සපයයි. සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන්නේ මෙහි සඳහන් ස්තූපයන් මිහිඳු හිමියන් හා ඉට්ඨිය හිමියන් වෙනුවෙන් ඉදිකළ බවය. දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ උත්තිය රජු ගේ අටවන රාජ වර්ෂයේ දී මිහිඳු මිහියන් පිරිනිවන් පෑ බව වංසකතා හි දැක්වෙන අතර පිරිනිවන් පෑමෙන් පසුව එම ධාතු නිදන් කොට ස්තූප ඉඳිකළ බව සඳහන්ය. මිහින්තලේ ස්තූපය මින් එක් ස්තූපයක් බවත් එහි තිබී හමු වූ ධාතු කරඬුවෙ තැන්පත් කොට ඇත්තේ මිහිඳු හිමිගේ ධාතූන් විය හැකි බවත් සෙනරත් පරණවිතානයන්ගෙ අදහසයි. ක්රි.පූ. 2 වන සියවසට අයත් සාංචි ස්තූපයේ දකුණු දොරටුවේ කැටයම් අතර සංඝමිත්තා තෙරණිය විසින් ශ්රී මහා බෝධි ශාඛාවක් රැගෙන සිටිනා අයුරු නිරූපිත කැටයම මගින් ගම්ය වන කරුණක් වන්නේ මහින්දාගමනය සිදුව නොබෝ දිනකින්ම සංඝමිත්තා තෙරණියගේ ආගමනය ද සිදු වූ බවයි. මෙමගින් මහින්දාගමනය පිළිබඳ සත්යතාව තව දුරටත් තහවුරු වී ඇත.

සංඝමිත්තා තෙරණියගේ ප්රධානත්වයෙන් දේවානම්පියතිස්ස රජු දවස මෙහෙණි සසුන පිහිටුවීම නිසා මෙරට සංස්කෘතිමය වශයෙන් බොහෝ වෙනසක් කිරීමට ඉවහල් විය. එසේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාන්තා දායකත්වය ද ඉතා සැලකිය යුතුව පැවති බවට සෙල් ලිපි සාක්ෂි දරයි. ලෙන් ආරාම සකස් කොට එහි ප්රදානය කළ තැනැත්තියගෙ නම කොටනු ලැබීය. මෙම ස්ත්රීන් කිසියම් ප්රභූ තැනැත්තෙකුගේ භාර්යාව හෝ දුව ලෙසත් උපාසිකා ලෙසත් දක්වා ඇත. මූලාශ්රවල සඳහන් පරිදි මෙසේ ලෙන් පූජා කළ ස්ත්රීන් දෙසීයකට අධිකය.

මහින්දාගමනයේ ප්රතිඵලයක් ලෙස ගෘහ නිර්මාණ ශිල්පයේ හා වාස්තු විද්යාවේ ද නව දිශානතියක් දක්නට ලැබීය. ලංකාවේ ප්රථම ස්තූපය ලෙස සැලකෙන ථුපාරාමය, අභය වැවේ (බසවක්කුලම) මැටියෙන් ඉඳිකළ බව සඳහන් වූවත් වර්තමානය වන විට විවිධ කාලවකවානු වලදී කරනු ලැබු ප්රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එහි ආරම්භක ලක්ෂණ විනාශ වී ගොසින්ය. එහෙත් මිහින්තලේ කණ්ඨක චේතිය වැඩි වෙනස්කම් වලට බඳුන් නොවී පැරණිබව ආරක්ෂා වෙමින් ශේෂව පවතී.

“වැවයි දාගැබයි ගමයි පන්සලයි ”යන සංස්කෘතික සංකල්පය මහින්දාගමනයත් සමඟ සමාජගත වූ අතර බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක දියුණුව සංවේදී මිනිස් සමාජයක් බිහි කිරීමට ඉවහල් විය. සිත්පිත් නැති රළු කළු ගලෙකින් අතිශය කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් මිනිසා සංවේදී වී අධ්යාත්මික සංවර්ධනය කරා ගමන් කිරීමට බුදු දහමින් ලැබුණු හික්මීම හේතුවන්නට ඇත. මෙසේ සැලකිය යුතු අයුරින් විමසීමේ දී ශ්රී ලාංකික බෞද්ධයිනට පොසොන් පොහෝ දිනය ඓතිහාසික වශයෙන් මෙන්ම ආගමික වශයෙන් ද ඉතා වැදගත් දිනයකි.

සිළුමිණ
2020 මැයි 31
රුක්ෂිලා වෙත්තමුණි

No comments:

Post a Comment