Showing posts with label ආස්වාදය ලත් පොතක වත. Show all posts
Showing posts with label ආස්වාදය ලත් පොතක වත. Show all posts

Friday, November 13, 2020

හිත නතර වුණු නේපාල්ගුන්ජ් හි මතක සටහන් 💗


හෘදය සංවේදී ලේඛකයෙක් සමඟ පිටු 261 පුරා දිවෙන නේපාල් වැසියන්ගේ හදවත් හි කැකෑරුණු දුක, සතුට, ආදරය, කරුණාව, ද්‍රරිද්‍රතාවය යනාදි නොයෙකුත් මාතෘකා ඔස්සේ "යාත්‍රාහාරි"   විඳගත්තා කිව්වොත් මං නිවරැදියි. 


වසන්තා කේ. මිහිඳුකුලසූරිය යනු රාජ්‍ය සම්මානලාභි ළමා ගීත රචිකාවියක්. ඇගෙ ප්‍රථම පරිවර්තිත නවකතාව වුව ද "යාත්‍රාහාරි"  ඉතා විශිෂ්ටය. ඉතා ළගන්නා සුළු බස් වහරකින් හා මනා පරිචයෙන් යුතුව ඇය තම පරිවර්තන කාර්‍ය් සිදුකර ඇති බව නොරහසකි. පාදක සටහන් උපයෝගී කොට ගෙන නේපාලය හා බැඳුණු සමාජ, සංස්කෘතික හා ආගමික පරිසරය පිළිබඳව අපගේ නිම් වළලු පුළුල් කිරීමට ඇය දැරූ වෙහෙස ඉමහත්‍ ය. මුල් කෘතියේ අන්තර්ගතයට හානියක් නොකර අලංකාර බස් වහරකින් අපේ සිත් බැඳ ගැනීමට  කළ උත්සාහය අමිලය. 


එසේම නේපාල ජාතික කවියෙක් වූ භීෂ්ම උප්‍රෙටි ගෙ Paaila Paaila නම් ප්‍රථම නවකතාව සඳහා ඇය ඉතා සාධාරණයක් සිදුකර ඇති බව ද සඳහන් කළ යුතුමය. එහි ඉංග්‍රීසි පරිවර්තනය An Endless Journey නමින් නේපාල ජාතිකයෙකු වූ මහේෂ් පෞද්‍යාල් විසින් සිදුකර ඇති අතර ඔහුට ද ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීම යුතුකමකි. 


රටපුරා ඇවිදීමට බොහෝ සේ ආසා කරන මගේත් එක්  හීනයක් තමයි ලෝකයෙ රටවල් කිහිපයක සංචාරය කිරීම. ඇවිද්ද පය දහස් වටී කියනවා වගේ ඒ තුළින් ලැබෙන අත් දැකීම් මිල කරන්න බැරි බව අපි හැමෝම දන්නා කාරණයක්.


" යාත්‍රාහාරි " පුරාම දිග හැරෙන මිනිස් සන්තානයේ හටගත් හැඟීම් විටෙක හදවතට යවුලකින් අනිනවා වගෙයි. එම නිසා මෙහි සඳහන්  මගේ හදවතේ ලැඟුම් ගත් ඇතැම් කොටස් ගැන  සටහනක් තබන්න හිතුවේ ඉන් අපට ගතහැකි ආදර්ශය මූලික කරගෙනයි. විවිධ ජන කණ්ඩායම් නියෝජනය කරමින් දේශගුණික කලාප කිහිපයක් හරහා දිවෙන සංචාරික ජීවිතයක අත් දැකීම් මේ තුළින් අපට විඳ ගැනීමට හැකියි.


"තමුන්නාන්සෙ ටවුමෙන් ආපු වැදගත් මහත්තයෙක්. අපි වගේ දුප්පතුන්ට ආචාර කරන්නේ ඇයි "


"ඔයත් මං වගේම මනුස්සයෙක්. හැම මනුස්සයෙක් ම එක සමානයි." (20 පිටුව )


මෙතැනදි  කූඩවල ජලය පුරවාගත් කාන්තාවක් හා ඇගෙ දියණිය හා කතාවට වැටෙන භාෂ්කර් ෂර්මා ගෞතම් නම් සංචාරකයා අතර සිදුවන්නේ ඉතා ගැඹුරින් අවධානය යොමුවිය යුතු කාරණයක්. කුල භේදය නිසා මිනිස්සු කොච්චර පීඩා විඳිනවා දැයි අපට යම් අවබෝධයක් ලබාගන්න මේ සංවාදය හේතු වෙනවා.


දැඩි ලෙස දරිද්‍රතාවයෙන් පීඩා විඳින ඔවුන්ගේ ජීවිත තුළ වඩා වැදගත් වූයේ අධ්‍යාපනය නොව ජීවන අරගලය බව ඒ දියණියගේ ප්‍රකාශය තුළින් මැනවින් විද්‍යාමාන වෙනවා.


ඔයා ඉස්කොලේ යනවා ද?


මම කලින් එකකට ගියා. ඒක අතෑරියා ...

ඒ මොකද ?


" ඉස්කෝලෙ අපට ගඟෙන් වතුර ගෙනැත් දෙන්නෙ නෑ, අපේ කෑම උයන්නෙවත් අපට ඇඳුම් ගන්ඩ සල්ලි දෙන්නෙවත් නෑනෙ, ඒකට අපි සල්ලි ගෙවනවා මිසක්...." (22 පිටුව)


ඒ වගේම දියණියගේ ඊළඟ ප්‍රකාශය කොච්චර ප්‍රබල ද කියලා දැනුණේ ඇගේ ජීවන අත් දැකීම් කෙතරම් නම් බලපාලා තියෙනවා ද කියල හිතෙන නිසයි.


" අම්මත් ඔයා වගේම හරි  ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවට ද ඔයා වැඩියෙන්ම  කැමති ? "


" පිට කොන්ද "


" ආහ්... ඇයි ඒ ?"


" හීන්දෑරී, කෙට්ටු එකක් වුණාට ඒක හුඟාක් ශක්තිමත්. අපේ හැම කරදරයක්ම, දුකක්ම දරාගන්ඩ අම්මට හයිය හත්තිය දෙන්නෙ එතනින්... බඩගින්නෙන්වත් හෙලුවෙන්වත් තියන්නෙ නැතුව අම්මා අපිව ආරස්සා කරන්නෙ එයාගෙ කොන්ද පණ තියෙන හින්දා..." ( 23 පිටුව )


සමාජයේ ඇත්ත කියන මිනිස්සු දිහා අනෙකා දකින දෘෂ්ටි කෝණය කතුවරයා දකින්නේ මෙසේයි.


'සමාජය, ඇත්ත කියන කෙනාට උන්මන්තක ලේබලය අලවනවා. ඒක ප්‍රවාදයක් වගේ ලුහුබඳිනවා.... ' (35 පිටුව )


කෙතරම් අඟ හිඟ පැවතුනද කඳුකරයේ වෙසෙන කාරුණික නේපාල ජාතිකයෙකුගේ ආගන්තුක සත්කාරය සම්බන්ධ සටහන මගේ හිත් ගත්තේ එහි සඳහන්ව තිබුණු කෑම ජාතිවල නම් නිසාය. 


2018 දී කයිට්ස් බලකොටුවෙ සිදුකළ කැණීමේ දී අපිත් එක්ක යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කරපු සොයුරියන් වැඩ කළා. එක් දිනක් එක් සොයුරියකගෙ ආරාධනයෙන් අපි ඇගේ නිවසට ගියේ සති දෙකක් තිස්සේම කඩ කෑම කාලා අප්‍රිය වෙලා හිටිය මොහොතකයි.

ඇත්තටම ඒ කෑම අපිට එදානම් අමෘතයක් වගේ. ගෙදරකින් බත් ටිකක් කන්න ලැබීමත් ඒ ලැබුණු කෑම අපේ සංස්කෘතියට වඩා වෙනස් වීමත් අමුතුම රසයක් වගේම සතුටක් ගෙන දුන්නෙ. පහත ඡේදයේ තියෙන්නේ ඇත්තටම එදා අපි කාපු කෑම වට්ටෝරුවමයි. 


.... නිවසේ ස්වාමිදුව අපට බත්, පරිප්පු, මෝරු සහ අඹ අච්චාරු ආදියෙන් බොහෝ ආදරයෙන් සංග්‍රහ කළාය. මවක් තම දරුවන්ට කෑම කවන ආකාරයටම ඇය අපට කෑම බීමෙන් සංග්‍රහ කළාය. (151 පිටුව )


මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළාන්තයටම කිඳා බහින කතුවරයා එක් තැනකදී ධීවර පිරිසක් ඉලක්ක කොට ගෙන කළ ප්‍රකාශය ඉතාම ගැඹුරුයි.


" බාබා, ඒ කට්ටිය මාළු පහක් - හයක් අල්ලා ගත්තා" 


" මාළු විතරක් නෙමෙයි පුතේ... ඒ අල්ලා ගන්නේ ඒ ගොල්ලන්ගේ අනාගතය, ඒ මිනිස්සුන්ගෙ හීන..." ( 165 පිටුව )


ගැහැනියක් එසේත් නැත්නම් බිරිඳක් කියන්නෙ ජීවිතයකට කෙතරම් ශක්තියක් ද බැඳීමක් ද කියල මනාලෙස ඉස්මතු වෙන අවස්ථාවක් ලෙස ගෞතම් නම් මහල්ලාගේ ප්‍රකාශය දැක්විය හැකියි.


"ඒ ගොල්ලො ඉන්නවා තමයි. ඒත් ටික කාලෙකට විතරයි. ජීවිත කාලෙටම පිරිමියෙක් එක්ක ඉන්න එකම කෙනා එයාගෙ පවුල විතරයි. එයා... හෙවණැල්ලයි, ආදරෙයි දෙකම.... " ( 175 පිටුව )


මේ තවත් එක්තරා මවක්. ඇයට හැබෑකර ගන්න නොහැකි වුණු හීන තම දරුවන්ගෙන් හැබෑකර ගන්න වෙහෙසෙන්නියක්. බොහෝ දෙමව්පියන් එහෙමයි. තමන් වින්ඳ දුක් දරුවන්ට නොදෙන්නයි ඔවුන්ගේ ඒකායන පරමාර්ථය.


" මේ ග්‍රීස්මෙ වැඩ කරන්න අමාරු නැද්ද "


" අමාරුයි, ඒත් මට මගේ දරුවො ඉස්කෝලෙ යවන්ඩ ඕනි. අපේ කාලෙ මට එහෙම වාසනාවක් තිබ්බෙ නෑ. ඒත් ළමයි ඉස්කෝලෙ ගියොත් ඒ දරුවන්ට කන්තෝරු රස්සාවක් හොයා ගන්ඩ පුළුවන් ...."  ( 214 පිටුව )


එසේම දරුවෙක්ගෙ සතුට වෙනුවෙන් එකී පාර්ෂවයේ කුලය නොසලකා හරින්න මැලි නොවන දෙමව්පියන් සිටින බවත් ඒ වෙනුවෙන් ඇතැම්  නේපාල්ගුන්ජ් හි වැසියන් බසුනොබටන බවටත්  කදිම සාක්ෂියක් ලෙස භීම් ප්‍රසාද්ගෙ චරිතය දැක්විය හැකිය.


..... " අපේ පුතා ෂර්පා කෙල්ලෙකුට කැමති වුණාම අපට කරන්න දෙයක් නැති වුණා. පුතා සතුටින් ඉන්නවා නම් එයාගෙ අම්මා සතුටු වෙනවා. එයා සතුටින් ඉන්නවා නම් මටත් සතුටුයි " ( 219 පිටුව )


රටක ආණ්ඩු තිස්සේම දුප්පත්කම දකින්නෙ ඡ්න්දය ඉල්ලන කාලෙට විතරයි. එතකොට දේශපාලකයා පුළුවන් නම් දුප්පතුන්ගේ රෙදිත් අපුල්ලලා දේවී. ජීවිතේ අන්තිම අඩියටම වැටුණු බඩ ඉරිඟු වෙළෙඳාමේ නිරත වෙච්චි ජගදීශ්වර්, සැහැල්ලුවෙන් පැවසුව ද ආණ්ඩුව ගැන කළ ප්‍රකාශය ඉතා බැරෑරුම් විය.


" අපේ කටහඬ එච්චර දුරක් කොහොම යන්ඩද සර්? ඒ පාරෙ උස් කඳු තියෙනවා. ඒවා මගදි අපේ හඬවල් පහළට ඇදගෙන යාවි" ( 232 පිටුව )


මේ තවත් ගැමියෙකුගේ ආණ්ඩු විවේචනයක්. අපේ රටේ ආණ්ඩු ද ඒ ආකාරයයි. වෙනසකට තියෙන්නේ ජාතිය හා භාෂාව විතරයි.


" සේරම අතුගාලා දාලා ආණ්ඩුව සහන ගැන කතා කරනවා. සේරම විනාස වෙලා. ඔය කියන 'සහන' අපේ ජීවිත කාලෙටම ඇතිද? අපට ඕනි  සහනය ඒක නෙමෙයි. අපට ඕනි කරන්නේ අස්සද්දල යමක් හොයා ගන්ඩ ඉඩම්"  ( 233 පිටුව )


කිසියම් කෙනෙක් මෘදු සිනහවක් පා ආදරණීය වදනක් කියන්නේ නම්, මේ අහිංසක මිනිස්සු ඔහු විශ්වාස කරති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට රජය ගැන අසන්නට ලැබෙන්නේ වසර කිහිපයකට වරක් පැවැත්වෙන මැතිවරණවලදී පමණි. ඉන් පසු කිසිදු රජයක් ඔවුන් ගැන විමසන්නේ නැත. ( 254 පිටුව )


හදවතින්ම සුබ පැතුම් ආදරණීය වසන්තා නැන්දෙ. ඔබ අපව මුළු නේපාලය පුරාම රැගෙන ගියාට බෙහෙවින්ම තුති.

ජය 💗 💐


රුක්ෂිලා වෙත්තමුණි 

2020 නොවැම්බර් 13

Monday, February 24, 2020

කල්පනා මැරූ සීතය - 12.12.12


දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක ලොව සුන්දර ම නගරයක සිදු වූ ඇඟ කිළිපොලන හදවත කීතූ කීතූ වලට ඉරා දමන ඒ බිහිසුණු මිනී මැරුම ජීවිත කාලේම විටින් විට ඇවිත් පපුව කොනිති ගසනු ඇත.

ඇත්තටම බොහෝ සෙයින් හදවත කම්පනය කළ කල්පනා - හසීල් ද්විත්ව ඝාතනය පිළිබඳ අවසානය වන තෙක්ම පාඨකයා නිරුත්සාහයෙන්ම අල්වා තබා ගැනීමට කතුවරයා දරපු වෙහෙස අපූර්ත්වයෙන් පොහොසත්.
"පිරිමි කවුරු ද වරදෙ නොබැඳෙන" යන කියමන නැවත වරක් පසක් කරමින් දිව යන මෙහි භාතිය ගැන හිතට නැගෙන සිතුවිලි අති විශාලයි.


ඉතිහාසය පුරාම විමසූ විට බොහෝ මිනී මැරුම් මෙන්න රටවල් අතර යුද්ධ පවා ඇති වීමට හේතු වූ ප්‍රධාන සාධකයකි ගැහැනිය. ඇගේ ලිංගික ආකර්ෂණය බොහෝ පිරිමින් වසඟයට නතු කිරීම සුලබ කරුණක්. තම බිරිඳ ව අත් හැර වෙනත් ස්ත්‍රියකගේ පහස ලැබීමට ඇතැම් පිරිමින් දරන වෙහෙස මහන්සි ය පුදුම සහගතය. ඒ වගේම වෙනත් පිරිමින්ගේ පහස ලැබීමට විවිධ වෑයම් දරන ගැහැනුන් ද සමාජයේ බහුලය.


භාතිය වෙනත් ස්ත්‍රියකගේ දොතොල්හි පහස ලබන අයුරු සියැසින් දකින කල්පනා ඒ වේදනාත්මක මොහොත දරා ගන්නා අයුරු අපූරුය.


තම බිරිඳ ට කොළේ වහන්නට උත්සාහ දරන ස්වාමීන් පුරුෂයන් අතර භාතිය ද තවත් එක් චරිතයකි . මෙහි පිටු අංක 210 සිට 214 දක්වා දැක්වෙන ඒ මුස්පේන්තු සිද්ධිදාමය මීට සිවු වසරකට පෙර මතකයන් අවදි කරන්නේ හදවතට යවුලකින් අනිමිනි.


ඉතා සූක්ෂම ලෙස පාඨකයාව ග්‍රහණයට නතු කර ගන්නා මංජුල සේනාරත්නයන් මේ කතාව පුරාම අපූරු රහස් පරීක්ෂකයෙකුගේ චරිතයට පණ පොවයි.


ජීවිත කාලය මුලුල්ලෙ බොහෝ පොත් රැසක් කියවා තිබුනද මිනී මැරුමක් සම්බන්ධ ව මෙතරම් කම්පනයට පත් වෙච්චි පොතක් මෙතෙක් කියවීමට නොහැකි විය.
එහි අවසානය පුදුම සහගතය. නොසිතූ ලෙස වට කිහිපයක් කරකවා අත් හැර දැමූ සේය.


මෙතෙක් මේ පොත කියවා නොමැති අය හේතුවෙන් ඒ දැනුණු කුතුහලය කීමට නොහැකි වීම දුකකි. ඒ ඔවුන්ගේ කුතුහලය විනාශ කිරීම අනුචිත හෙයිනි.


අවසානයට මෙසේ සටහන් කරන්නෙමි.
ඒ දරුණු හිම වැටුණු රාත්‍රියෙ සීතලට මාගේ හදවත ද ගල් ගැසුණු බවය.


හදවතින්ම සුබ පැතුම් කතුවරයාණනි ...
ඔබ බොහෝ හදවත් සොරාගත් සුන්දර මංකොල්ලකරුවෙකි.
ජය 👍

- රුක්ෂිලා වෙත්තමුණි -

මා බොහෝ සේ පෙම් බැඳි "තීන්ත නදිය"


කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය ලාංකීය ඉතිහාසයේ එක්තරා යුගයක් එනම් 13 වෙනි සියවසේ පොලොන්නරුවේ පරාක්‍රම රජතුමන්ගේ රාජකීය කවියා වූ අසංකගෙ ජීවිතය නොසිතූ ඉරණමකට ගොදුරු වේ. ඔහු දමිළ ජාතික යුවතියක් හා පෙමින් වෙලේ. 

අතිශය සැහැසි දරුණු පාලකයෙක් වූ කාලිංග මාඝගෙ ආක්‍රමණය හේතුවෙන් මෙරට සමාජය පත් වූ ව්‍යසනය කේන්ද්‍ර කොට ගෙන paul M.M. Cooper විසින් රචනා කරන ලද River of Ink යන කෘතිය සමන් කළුආරච්චි විසින් " තීන්ත නදිය" ලෙස පරිවර්තනය කරනු ලැබීය.

සිංහල, දෙමළ සහ සංස්කෘත යන භාෂා සියල්ලේම එක්කාසුවෙන් ලාංකීය සංස්කෘතිය හා ඉතිහාසය මනා ලෙස කැටි කොට ලියැවුණු අපූරු ඓතිහාසික නවකතාවක් වූ මෙහි ප්‍රේමය , ත්‍රාසය , භීතිය හා කුතුහලය මනාලෙස ඉස්මතු කොට පෙන්වයි.

ඔයාට මතකයි ද ඔයාගෙ කාමරය ඉස්සරහ මිදුලේ කූඩු හදාගෙන හිටපු මයිනො රංචුව ...? අගනුවර බිඳ වැටිච්ච දවසේ, උන් ඔක්කොම එකට රංචු ගැහිලා මං කවදාවත් දැකලා නැති තරම් මහ හයියෙන් කිචි බිචි ගාගෙන ගහෙන් ගහට පියාඹන්න පටන් ගත්තා. ඒක මහ පුදුම ගෝසාවක්....... (21 පිටුව )

"මගේ රටවැසියන් හාමතේ මැරෙනවා බලාගෙන ඉන්න මට පුළුවන් නම් මං මොන ජාතියෙ රජෙක්ද.....? (පිටුව 30)

"දොරටු අරින්න ..... ඇරල ඒවා විවෘත කරලාම තියන්න. කාලිංග දේශයෙන් ආපු මේ තරුණයා .... මේ මාඝගෙ හිතේ කොතැනක හරි තෙතමනයක් තියේවි කියල ප්‍රාර්ථනා කරන එක විතරයි දැන් අපිට කරන්න පුළුවන් ".(පිටුව 31)

.... පහන් දල්වන්නන් වත්තේ අපි හිටපු කෙළවරට තවමත් ළං වෙලා නොතිබුණු හින්දා පහළට නැමුණු මං ඔයාගෙ අත ඇල්ලුවා. වතුර නිසා ඔයා සීතල වෙලයි හිටියේ......

"ඔයාට මොකද වුණේ ....?" මගේ මුහුණේ තිබුණු දූවිලි සෝදන ගමන් මං ඇහුවා. " අර සොල්දාදුවෝ....උන් ඔයාට හිරිහැර කළාද...?
( පිටුව 72)

ඉතාම සිත් ගන්නා සුළු භාෂා රටාවකින් රචිත මෙම නවකතාව රාජ්‍යය සාහිත්‍ය සම්මාන උළෙලේ පරිවර්තිත නවකතා නිර්දේශිත ග්‍රන්ථ අතරට එක්වීම ඉමහත් සතුටක්.

ඇත්තටම ඔබ කියවා රසවිඳිය යුතු අපුරු නවකතාවක් ....

රුක්ෂිලා වෙත්තමුණි

Tuesday, February 18, 2014

- මා කම්පාවට පත්කළ සරත් විජේසූරියන්ගේ " තාත්තා" -





මට කියවා නිම කළ නොහැකි මහ පොතකි තාත්තා.......!! (සරත් විජේසූරිය)

අම්මාගේ වියෝවෙන් පසු තාත්තා මට තවත් ළං වූවා යැයි මට නිතර  හිතෙනවා. 78 වන වියේ පසුවන මගේ තාත්තා ගේ ජීවිතය, දැන් ජීවිතයත් මරණයත් අතර සටනක පොර බඳිමිනුයි තිබෙන්නේ. මත්පැන්, සිගරට් තියා බුලත් විටක්වත් නොකන මගෙ තාත්තාගේ එක් වකුගඩුවත් දැන් සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි. කාලාන්තරයක් තිස්සේ දියවැඩියා රෝගයට බෙහෙත් ගන්න නිසා මෙවන් අකරතැබ්බයකට මුහුණ දේවි යැයි අපි කිසිකෙනෙක් හිතුවේ නැහැ. සරත් විජේසූරියන්ගේ "තාත්තා" පොත බොහෝ කාලයක් තිස්සේ කියවීමට ආසාවෙන් සිටි පොතක් නිසා, මෙවර කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි මොහොතේ මිලදී ගත්තද ස්වර්ණපුස්තක තරඟයේ හබාගිය පොත් කියවීමට කාලය වැය කළ හෙයින් මේ පොත මගේ මතකයෙන් ගිලිහී තිබුණා. අද දින අප හිතවත් ප්‍රවීණ ගායක සමන් ජයනාත් ජිනදාස අයියාගේ බිරිඳ වු අනෝමා අක්කා "තාත්තා" පොත තියෙනවා නම් එවන්නයැයි මගෙන් කළ ඉල්ලීමට මා අපේ පොත් රාක්ක අතර සැරිසැරුවා. පිටු 80 ක් වැනි පුංචි පොතක් එක හුස්මට කියවා හමාර කළ හැකි නිසා මා කියවා සිටි සුමිත්‍රා රාහුබද්ධගේ "අත අත නෑර" අත්හැර "තාත්තා" කියවීමට උදයෙන්ම සාලයේ දිග පුටුවේ දිගෑදුණා. ඒත් ඒ පොතේ ඉන්න තාත්තා දැක්කම මට මතක් වුණේ මගේ තාත්තව. හැම ඉරිදාකම තාත්තා එක්ක ස්කයිප් එකෙන් කතා කළත් ඉඩ ලද විටෙක ලොකු අක්කාට දුරකථන ඇමතුමක් දී තාත්තා ගැන තතු විමසන්න මං අමතක කළේ නැහැ. "තාත්තා" පොත කියවන්න කලියෙන් මගේම තාත්තාගේ හඬ අහන්නට මට උවමනා වුණා. තාත්තාගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙන බව අක්කා මා සමඟ පැවසූ විට තාත්තාගේ හඬ ඇසීමේ ලෝබ කමින් මා වඩාත් පෙළුණා. 

අම්මාගේ හදිසි වියෝවීමෙන් පසු තාත්තා නිතර කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා අසනීප තත්ත්වය දිනෙන් දින උග්‍ර වීම අපි කාටත් දරාගන්න අමාරු වුණා. තාත්තාගේ ජීවිත අත්දැකීම් පුදුමාකාරයි. මං පුංචි කාලේ හිටන්ම ඒ රසවත් කතා අහන්න පුදුම කැමැත්තක් තිබුණේ. ලංකාවට නිදහස ලැබෙද්දි මගේ තාත්තට වයස අවුරුදු 12 ක් වුනත් තම දෑසින් සජීවිව නැරඹූ නිදහස් දිනයේ අපූර්වත්වය චිත්‍රපටයක් වගේ එක දිගට ගලායන රසවත් සිද්ධී මතකයෙන් කියන්න තරම් වාසනාවන්තයි. තාත්තා හරිම කැමතියි පොත් කියවන්න. ඇත්තටම මටත් පොත් කියවන්න පුරුදු කළේ මගේ ආදරණීය තාත්තා. මට තේරෙන වයසේ ඉදලාම අපේ ගෙදර තිබිච්ච පොත් රාක්කවල, පොත් මං ආදරෙන් රැක බලා ගත්තා. පංච තන්ත්‍රය, අමාවතුර, බුත්සරණ ආදි විවිධ පොත් වලින් රාක්කය පිරී තිබ්බා. "පංචතන්ත්‍රයේ" පොත් නාරටිය ගැලවිලා තියෙන විත්තිය දැක්ක මං කළේ රෙදි කෑල්ලක් තියලා මට පුළුවන් විදියට පොත බැන්ඳ එකයි. මකත හැටියට මං එතකොට 5 වසරේ.

තාත්තා දිගින් දිගටම අම්මා ගැන හිතමින් ඉන්න එක වළක්වන්න ක්‍රමයක් විදියට මං තාත්තට අපූරු යෝජනාවක් කළා. ඒ තමයි තාත්තගේ ජීවිත කතාව ලියන්න කියලා. ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක වුණා. තාත්තා දැන් එක දිගටම ලියනවා. ලොකු අක්කා කියනවා පාන්දර හතරටත් නැගිටලා ලියනවා කියලා. මං ඒ අතර කියවන්න අපේ පොත් ගුලෙන් තාත්තට පොත් ගොඩකුත් දීලා ආවා. තාත්තා හරිම ආසයි "චින්තා ලක්ෂ්මි සිංහආරච්චිගේ" පොත් කියවන්න. 
"'...බන පොත් කියවද්දි දන්නෙම නැතිව නින්ද යනවා පුතේ. ඊටත් මට ඒ පොත් ඇතුලෙන් අම්මව පේන්න ගන්නවා. ඉතිං මට දැන් පොත් කියවන්න අමාරුයි"
මං ඉන්නේ ගව් ගාණක් ඈත. මගේ අම්මගේ මරණයේදී මං අම්මා ළඟ හිටියේ නැහැ. අම්මා නැති වෙන්න දවස් දෙකකට කලින් මාත් එක්ක ස්කයිප් එකෙන් කතා කළා. අනේ ඉතිං අම්මා නින්දෙන්ම මැරෙයි කියලා කවුද හිතුවේ. මගේ තාත්තා තව කවර කාලයක් ජීවත් වෙයිද කියලා මං දන්නෙ නැහැ. ලංකාවේ ඉද්දී මං මට පුළුවන් උපරිමයෙන් මගේ අම්මටයි තාත්තටයි සැලකුවා. අසනීප වුණාම ආදරෙන් බලා ගත්තා. නෑව්වා, බත් කැව්වා, රෙදි හේදුවා. මට අවුරුදු 17 ඉදලා මං මගේ වියදම් පියව ගන්න උත්සාහ කළා. ඒ අනුව උ.පෙළ ලියන ගමන් පෞද්ගලික පන්ති කළා ගෙවල් වලට ගිහින්. මට ලැබිච්ච මුදලින් මං අම්මා තාත්තට මට පුළුවන් උපරිමයෙන්ම සැලකුවා. "අද කළ යුතු දේ අදම කරන්න ඕන" කියන දේ සත්‍යයක් බව මට වඩාත් තේරුම් ගියේ මගේ අම්මා නැති වුණාට පස්සෙයි. මං කසාදයක් බැඳලා අම්මට තාත්තට සලකන්න හිටිය නම් මට අද කොච්චර පසු තැවෙන්න සිද්ධ වෙයිද? මගේ අම්මගේ මරණය මාව කම්පනයට පත් කළත් අම්මා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න පුළුවන් වෙච්ච එක මට සතුටක්. 
සරත් විජේසූරියන්ගේ "තාත්තා" කෙටිකතා සංග්‍රහය කියවද්දී මට මගේ තාත්තා මැවිලා පෙනුණා. ඇත්තමයි මට ඒ පොත කියවන්න අමාරු වුණා. මගෙ පපුව හිරවුණා වගේ දැනුණා. මගේ ඇස් වලින් කඳුළු කඩා වැටුණේ හරියට ටකරන් වහලයකට හයියෙන් වැහි බිඳු කඩා වැටෙනවා වගෙයි. ඒත් මං කොහොම හරි මුළු පොතම කියෙව්වා. ඒ හැම කතාවකවම විවිධ තාත්තලා හිටියා. මගේ තාත්තත් ඒ චරිත අතර හිටිය විත්තිය දැනුණු නිසා වෙන්න ඇති මාව කම්පනයට පත්වුණේ. ආරම්භයේදීම මාව හඬවන්න ගත්තේ මගේ තාත්තා මං දුරකථන ඇමතුම දුන්න වෙලේ කිව්ව දේ නිසා වෙන්න ඇති.
"පුතේ.... මං මේ ජීවිත කතාව ලියන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. මගේ ජීවිතයේ ලැබුණු අත්දැකීම් අලුත් පරම්පරාවේ දරුවෝ එක්ක බෙදා හදා ගන්නයි. මේකේ තියෙන්නේ මං ඉපදිච්ච බත්තරමුල්ලේ ඉදලා විවාහ වෙලා හැඳලට පදිංචියට ආවට පස්සේ තියෙන අත්දැකීම්. අපි සුදුසු කෙනෙක්ට දීලා මේ පොත ප්‍රින්ට් කරමු පුතේ. මං දැන් පිටු 180 ක් විතර ලියලා තියෙන්නේ. පුතා ලංකාවට එනකල් මං බලාගෙන ඉන්නේ. පිටු 250 ක් විතර ලියැවෙයි. සමහර විට ඊටත් වැඩිවෙයි...."
 තාත්තාගේ ජීවිත කතාවේ පිටු ගණනාවක් මං ගිය මාසේ ලංකාවට ගිය වේලේ කියෙව්වා. අපි අහලවග් නැති වචන. ඇත්තටම මගේ තාත්තා කොච්චර නම්  ජීවිත අත්දැකීමෙන් පොහොසත්ද කියලා මට දැනුණේ ඒ මොහොතේදියි. 
වෙනදාට වැඩියෙන් මට තාත්තගේ හඬ දැනෙන්න ගත්තා. මං තාත්තගෙ බාල දියණිය. ඒ වගේම බඩ පිස්සි. ගමනක් යද්දි තාත්තගේ ඔරලෝසුව බැඳපු අත අල්ලගෙන යන්න මාත් මගේ එකම අයියාත් හැමදාම පොරකෑවා. අද අම්මා නැති ගෙදර මගේ ලොකු අක්කාත් පොඩි අක්කාත් එක්ක සැදෑසමය ගත කරන මගේ තාත්තා ගැන දැනෙන හැඟීම් මට වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ හැම කරුණක්ම එක දිගට ලියාගෙන යද්දී ඇස් වලින් වැටෙන කඳුළු වෙනදට වැඩිය හරිම බරයි කියලා මට දැනෙන්නේ. 
මා දියණියක් වූවත් පුතේ.........කියලා තමයි තාත්තා හැමදාම කතා කළේ. ලියන්න ගියොත් නම් පිටු ගණන් ලියන්න පුළුවන්.
ඇත්තටම ...........
මට කියවා නිම කළ නොහැකි මහ පොතකි තාත්තා.......!!



- රුක්ෂිලා වෙත්තමුණි -

2013 - 09 - 24