පාචීනපස්ස හා උත්තරපස්ස ලෙස අරුත් ගැන්වෙන නැගෙනහිර හා උතුරු පළාතට අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වව්නියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක අයත්ය. මහවැලි ගඟ, මෙම ප්‍රදේශ දෙක වෙන් කරන සීමාව වූ අතර එය අවසානයේ දී නැගෙනහිරට ගලා ගොස් මිණිපේ පෙදෙස හරහා ත්‍රිකුණාමලයේ ගෝකණ්ණතිත්ථ නමින් හැඳින් වූ කොට්ඨසාර (කොඩ්ඩියාර්) දෙසින් මුහුදට ගලා බසී.
නැගෙනහිර පළාතේ වැඩි කොටසක් නියෝජනය කරනුයේ රෝහණ දේශයයි. මහවැලි ගඟෙන් උතුරින් රජරටත් (පිහිටි) දකුණෙන් රෝහණයත් පිහිටා ඇත. වර්තමානයේ නැගෙනහිර පළාතේ දකුණු සීමාව කුඹුක්කන් ඔය ලෙසට සැලකේ. කකුධ නදී, කකුබන්ධ නදී, කුඹුබන් නදී ආදි වශයෙන් කුඹුක්කන් ඔය ව්‍යවහාර විය.
අතීතයේ දී දිගාමඩුල්ල නමින් හැඳින් වූ අම්පාර දිස්ත්‍රික්කය වර්තමාන බෙදීම් අනුව නැගෙනහිර පළාතට අයත් වන අතර මඩකලපුව, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට සීමා මායිම් වේ. මෙහි පරිපාලන කටයුතු අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පොතුවිල්, අක්කරපත්තුව, ඉරක්කාමන, දමන, පදියතලාව, උහන, සමන්තුරය, ලාහුගල හා අට්ටාලච්චේනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා සිදුවේ. අම්පාර පෙදෙසේ ඇති විශේෂත්වය වූයේ මෙම කලාපය පුරා විසිරී ඇති වඩාත් උස් නොවූ පර්වත මුදුන් ආශ්‍රිතව වෙහෙර විහාර ඉදිකර තිබීමයි. පැරණි සෙල්ලිපි වල දැක්වෙන ස්ථාන නාම හා වාරි නාම අනුව මෙම පෙදෙස ජනාවාසව පැවති බවට කදිම සාධකයකි. ඓතිහාසික ජනාවාසරකරණය පිළිබඳ සාධක සපයන සෙල්ලිපි, ස්ථානගත වී ඇති බොහෝ පෙදෙස් අතර ගනේගම කන්ද, උහන, වේරපුදාව, සන්ගමන්කන්ද, මුල්ලිකුලම්මලේ, පොකුණු දෙන, කොණ්ඩවටවන, රජගල යානාදි ස්ථාන විශේෂ වශයෙන් දැක්විය හැකිය.
ක්‍රි.ව. 9-10 සියවස් වලදී එකල මෙරට පැවති සමාජ, ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අම්පාර පිහිටි කොණ්ඩවටවන ටැම් ලිපිය ඉවහල් වේ. මෙම ලිපිය මඟින් දිගාමඩුල්ලේ ඇරෑගම හි පාලනය සම්බන්ධව පනවන ලද නීති පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වන අතර ප්‍රාදේශීය පාලනය, බඳු එකතු කිරීම් හා බැඳුණු තොරතුරු දැකගත හැකිය. එය IV වන දප්පුල රජු කල පිහිටුවන ලද ටැම් ලිපියකි.
කුමන ජාතික වනය ආශ්‍රිතව පිහිටා ඇති බෝවත්තේගල හා කොට්ටදැමූහෙල සෙල් ලිපි අනුව අනුරාධපුර යුගයේ දී මෙම පෙදෙස රුහුණේ ක්ෂත්‍රීයන් විසින් පාලනය කරන ලදැයි යන්න සඳහන්ය. අම්පාර පිහිටි සෙල් ලිපි විශාල ප්‍රමාණයකින් මෙරට පාලනය කළ රජවරු පිළිබඳ තොරතුරු බහුතරයක් අනාවරණය කර ගැනීමට හැකිය. ක්‍රි.ව. 650 දි පමණ රුහුණ පාලනය කළ දප්පුල රජු රුහුණු විහාරය කරවන ලද බවත් වර්තමානයේ එය මඟුල් මහා විහාරය යැයි හඳුනා ගැනීමටත් සෙල්ලිපි ඉවහල් විය. එමෙන්ම මහාදාඨික රජු අම්පාරෙ දකුණු දිශානුගතව පිහිටි කුඹුක්කන් ඔය ආසන්නයේ සමුද්ද විහාරය නමින් විහාරයක් කර වූ බව දැක්වේ. එය සමුද්‍රගිරි විහාරය නමින් වත්මනේ ව්‍යවහාර වේ.
අම්පාර ආශ්‍රිතව සියයකට අධිකව පෞරාණික ස්ථාන හඳුනා ගැනීමට හැකිය. ඒ අතර රජගල, දීඝවාපිය, සමන්ගල (බ්‍රාහ්මී අක්ෂර වලින් යුතු සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ගල් ලෙන් සමූහයක් ඇත), සමනබැද්ද, මඟුල් මහා විහාරය, කුඩුම්බිගල, නීලගිරිය, මුහුදු මහා විහාරය, ශාස්ත්‍රවෙල විහාරය, පරගහකැලේ නටබුන්, ලාහුගල කොටවෙහෙර, කඳුරුගොඩ, හෙනානිගල, නුවරගල කන්ද, ගොනාගොල්ල (පැරණි සිතුවම් ඇත), පියංගල ආරණ්‍ය සේනාසනය , පියංගල චිත්‍ර ලෙන, වැද්දාගල කන්ද නටබුන්, හීතවන්නිය කඳුබෑවුම, කොටිගල නටබුන්, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, කොණ්ඩවටවන නටබුන් හා ටැම් ලිපිය, නියුගුණ විහාරය යනාදි ස්ථාන ප්‍රධාන කොට දැක්විය හැකිය.
නැගෙනහිර පළාතට අයත් අනෙක් දිස්ත්‍රික්කය වන මඩකලපුව ද පෞරාණික නටඹුන් බහුල ලෙස විසිර පවත්නා භූමි පෙදෙසකි. සියඹලාදීපය යන්න අරුත්ව පුලියන්තිව් යන්න ද්‍රවිඩ භාෂාවෙන් ද මඩ බහුල කලපුවක් සහිත වූ බැවින් මැටි කලපු වී පසු කලෙක මඩකලපු වූ බව ද අදහසයි. එච්. සී. පී. බෙල්ගේ සටහන අනුව 1766 දී පෙරදිග ඉන්දියාවේ ලන්දේසි සමාගම මෙරට සමඟ අත්සන් තබන ලද ගිවිසුමේ සටහන්ව තිබෙන්නේ මඩකලපුව එම කාල වකවානුවේ දී කඳුකර පළාතට අයත්ව පැවති බවය. කඩඉම් පොතෙහි, මුල්කාල වකවානුවේ දී මඩකලපුව ඇතුළු පෙදෙස දීඝවාපිය ලෙස හැඳින්වූ බවත් 1833 ඔක්තෝම්බර් 01 දින කරන ප්‍රකාශයකින් සමස්ත දිවයිනම පළාත් පහකට කට බෙදා ඊට අදාළව ප්‍රදේශ නම් කළ බවත් දැක්වේ.
මඩකලපු ප්‍රදේශයට මුස්ලිම් ජනයා ව්‍යාප්ත වූයේ යැයි සැලකෙන්නේ ක්‍රි.ව. 8 වන සියවසේ දී මෙරටට පැමිණි අරාබි වෙළෙන්දුන්ගෙනි. එසේම පෘතුගීසින් විසින් 1622 දී මඩකලපුව අල්ලා ගත් අතර ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීම සඳහා එහි විසූ ද්‍රවිඩ ජනයා යොදා ගත් බව ද සඳහන්ය. පසුව 1639 දී ලන්දේසීන් මඩකලපුවේ බලය අත්පත් කරගත් අතර ඉංග්‍රීසි පාලන සමය වනතුරුම ලන්දේසීන් තම පරිපාලන කටයුතු මෙහෙය වනු ලැබූයේ එහි වූ බල කොටුවේ සිටය. නැගෙනහිර පළාතේ දිසාපතිවරයකු වූ R.A.G. Festing 1918 දී, කනගරත්නම් ගෙ මඩකලපුව විස්තරයට පෙරවදන ලියමින් ප්‍රකාශ කරනු ලැබූයේ, අතීතයේ දී සිංහල ජනයාගෙන් පිරී පැවති ප්‍රදේශයක් වූ මඩකලපුව තුළ තිබූ බොහෝ පෞරාණික නටඹුන් සියසින් දුටු බවය.
මඩකලපුව ආශ්‍රිතව දක්නට ලැබෙන පෞරාණික ස්ථාන අතර මඩකලපුව ලන්දේසි කොටුව ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා සේම කල්අඩි පාලම හා සම්බන්ධ පැරණි මාර්ගය, පුළුකුණාව රජමහා විහාරය, මඩකලපුව ප්‍රදීපාගාරය, රූගම වැව, කුසලානකන්ද, කලුදුපොතනමලේ, කොකාගල, එරුවිල, වහෙර උඩුමහලේ නටබුන් හා මාමංග පුල්ලෙයාර් දේවාලය යනාදිය ප්‍රධාන කොට සඳහන් කළ හැකිය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන වැදගත් ස්‌ථාන රැසක් පවතී. පදවි ශ්‍රීපුර, ත්‍රිකුණාමලය, සේරුවිල, වෙරුගල්, කඩවත්සතර, කුච්චවේලි, ගෝමරන්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යටතේ එහි පරිපාලනමය කටයුතු සිදුවේ. ත්‍රිකුණාමලය පුරා විසිරි ඇති පෞරාණික ස්ථාන අතර රන්මඩු රජ මහා විහාරය, ලංකාපටුන සමුද්‍රගිරි විහාරය, සේරුවිල මංගල රජමහා විහාරය, පාෂාණ පබ්බත විහාරය, කන්නියා (කින්නියා) උණුදිය ළිං, ත්‍රිකුණාමලය කොටුව, අසිරිමලේ රජමහා විහාරය, තිරියාය වටදාගෙය, වෙල්ගම් වෙහෙර, රිදී කන්ද (පැරණි ආරාම සංකීර්ණයක්) හා රංගිරි උල්පත විහාරය (පැරණි ආරාම සංකීර්ණයක්) යනාදිය පුමුඛස්ථානයක් ගනී.
සංවිධානාත්මකව සිදුකරනු ලබන පුරාවස්තු හානිය අද ඉතා බරපතළ තත්ත්වකට පත්ව ඇත. ත්‍රිකුණාමලය, ජිලාන්කුලම, කුච්චවේලි, තඹලගමුව, සේරුවිල, කින්නියා වැනි ප්‍රදේශ එසේ අවධානමට ලක්වුණු ස්ථාන අතර ප්‍රමුඛස්ථානයක් ගනී.
කුච්චවේලි හි පුරාවස්‌තු රැසක් ත්‍රිකුණාමලයෙ මනරම් වෙරළ තීරයක් වන නිලාවැලි ප්‍රදේශයට උතුරු දෙසින් පිහිටා ඇත. මුහුදු ඛාදනය හේතුවෙන් මෙම නටඹුන් ශිඝ්‍ර ලෙස විනාශ වෙමින් පවතී. මෙම ප්‍රදේශය තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ලංකාවට ගොඩ බැස්ස ස්‌ථානය යැයි සැලකෙන අතර එය වර්තමානයේ කල්ලරාම යනුවෙන් හඳුන්වයි.
1979 දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුච්චවේලි පුරාණ රජමහා විහාරය සම්බන්ධව අවධානය යොමුකොට එහි ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නට උත්සාහ දරන ලද අතර 1984 දි කුච්චවේලි ආසන්නයේ පිහිටා තිබූ තානායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සිදුකරගනු ලැබීය. එසේම පිච්ච මල් විහාරය නමින් ද මෙම විහාරය හැඳින්වේ. 2013 අගෝස්තු 13 දින අංක 1823/73 දරන ගැසට් නිවේදනය මගින් පිච්චමල් විහාරයේ පිහිටි පැරැණි දාගැබ හා ලෙන් ඇතුළු අවශේෂ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ද ප්‍රකාශයට පත් කෙරිණි.
1998 වසරේ දි දීඝවාපිය ප‍්‍රදේශයේ ඉඩම් බෙදීමක් සිදු කිරීමට දරන ලද උත්සාහයක් සමාජයෙන් එල්ල කරන ලද දැඩි විරෝධය හේතුවෙන් නතර කරන්නට සිදුවිය. දීඝවාපියෙන් පසුව දැවැන්ත ලෙස බෞද්ධ උරුමයන් සංහාරය සිදුවූයේ අක්කරපත්තුවේය. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව - ආලියඩිවේම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඵෙතිහාසික දාගැබක් ඩෝසර් කර විනාශ කිරීම මින් ප්‍රධාන තැනක් ගනී.
මොට්ටයාගල පර්වතය පාමුල තිබූ ඉපැරැණි ගරා වැටුණු චෛත්‍යයක් ද 2012 වසරේ සැප්තැම්බර් මස දි එම ස්ථානයේ ගොවිතැන් කටයුතු කළ පුද්ගලයකු විසින් ඩෝසර් කර දමා විනාශ කරණු ලැබීය. මෙම ස්ථානය ඓතිහාසික තොරතුරු ඇතුළත් පුදබිමක් වන අතර රජවරුන්ගේ නොමද අනුග්‍රහය ලද භූමියක් බව ද සඳහන්ය. මහානාග, යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජවරුන්ගේ තොරතුරු ඇතුළත් සෙල්ලිපි මෙහි දක්නට ඇත. එමෙන්ම මෙම ස්ථානය මොට්ටයාපල්ලු හා මොට්ටයාමල නමින්ද හැඳින්වේ. පියගැට පේළි ඔස්සේ පර්වතයට නැගිය යුතු අතර කටාරම් සහිත ලෙන්, පොකුණු මෙන්ම පර්වතය මුදුනේ පෞරාණික ලක්ෂණ විද්‍යාමාන වන දාගැබ් හා ගොඩනැගිලිවල සලකුණු ද දක්නට ලැබේ.
මෙම පර්වතයේ සඳහන් සෙල්ලිපියෙහි අන්තර්ගතය ලෙස සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙනුයේ දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂත‍්‍රීයන්ගේ පරම්පරාව විය හැකිය) උපථර නාග නාග නම් රජකෙනෙක් ගමිණි තිස්ස විහාරය කරවා පැමිණ නොපැමිණ සංඝයාට පූජා කළ බව ය.
මෙම පෙදෙසේ ඇති ස්ථාන අතර උස් පර්වතයක පිහිටි සෙම්බුමලේ විහාරය ද විශේෂ ස්ථානයක් ගනී. එම පුදබිම වටා ඓතිහාසිකමය වටිනාකමකින් යුත් ආරණ්‍ය සේනාසන කිහිපයක් දර්ශනය වේ. බඹරගල වන සෙනසුන සෙම්බුමලේ සෑයට නැගෙනහිර දෙසින් ද දෙඹරගල වන සෙනසුන උතුරින් ද වසන්වැව චෛත්‍යය බටහිරෙන් ද, තිරියාය සහ රංගිරි උල්පත ඊසාන දිසාවෙන් ද සෙම්බුමලේ වටා මෙලෙස පිහිටා ඇත.
අක්‌කර දෙසීයක පමණ වපසරියක පැතිරුණු භූමියක් පර්වතය සිසාරා දක්නට ඇති අතර එම භූමිය පුරාම ඓතිහාසික වටිනාකමකින් යුත් සාධක බහුලව දක්නට තිබේ. එහි ස්‌තූපය පිහිටි මළුවට පිවිසීමේ දොරටුව බටහිර දිශානුගතව ඇත. එසේම හුණු ගලින් නෙළන ලද හිටි පිළිමයක් නැගෙනහිර දෙසට වන්නට දැකගත හැකි වුවද එම පිළිමයේ හිස විනාශයට පත්ව තිබේ. එහි සිවුරේ රැළි මැනවින් නිරූපණය කොට ඇති අතර එක් හස්තයක් අස්ථානගතය. ඊට නුදුරින් පොකුණු දෙකක් ද ගොඩනැගිල්ලක ශේෂ වූ නටබුන් ද ස්තූපයට ඊසාන දෙසින් දර්ශනය වේ. එසේම උස් ගල් කණු නවයකින් යුක්ත විශාල ගොඩනැගිල්ලක නටඹුන් ද දැකගත හැකිය. හුණු ගලින් නෙළන ලද පාද ලාංඡනයක් දාගැබට නැගෙනහිරින් ඇති අතර ගොඩනැගිලි පාදම් කිහිපයක කොටස් ද මතුව ඇත.
මෙලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැඩි අවධානමකට හා ව්‍යසනයන්ට ලක්ව ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් උසුලන පෞරාණික ස්ථාන රැසකින් සමන්විත නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරමින් කාලීන අවශ්‍යතාවයක් සපුරාලීම අතිශය ප්‍රශංසා සහගතය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ද ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් එම පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කර ආරක්ෂා කිරීම ද කඩිනමින් කළ යුතු සේම මෙම ක්‍රියාවලිය පිළිබඳ සැමගේම අවධානය ද යොමුවිය යුතුව ඇත.
සිළුමිණ
2020 ජුනි 21
රුක්ෂිලා වෙත්තමුණි
No comments:
Post a Comment