ශ්‍රී ලංකාවේ පවතින අතිශය වටිනාකමින් ඉහළ කෞතුක වස්තු කීපයක් දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කිරීමට අගමැතිවරයා එකඟ විය. කෞතුක භාණ්ඩ විදෙස් ගත කරවීමේදී ඒවායේ ආරක්ෂාව පිළිබඳවද ගැටලුවක් මතු වේ. කෞතුක භාණ්ඩ කැඩී බිඳී යෑම මෙන්ම කෞතුක වස්තු වෙනුවට ව්‍යාජ භාණ්ඩ මාරු කිරීමට ඉඩකඩ ඇති බැවින් ආවාට ගියාට ඒවා විදෙස් ප්‍රදර්ශනවලට යවන්නට නොහැකිය. අවසානයේ කෞතුක භාණ්ඩ විදෙස් ගතකළ හැකි වන්නේ ඉතා බරපතළ කොන්දේසි යටතේය. එසේ යවනවා නම් යවන්නේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුතු සඳහා පමණි. මේ සියල්ල සලකා බලා කෞතුකාගාර අධ්යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත්, පුරාවිද්‍යා විද්වතුන්ගේත් විරෝධය නිසා පුරාවස්තු කොරියානු ප්‍රදර්ශනයට යැවීම වැළැකිණි. දේශපාලනික සබඳතා තහවුරු කර ගැනීමට පුරාවස්තු යැවීමේ නාටකයද එතැනින් අවසාන විය.
කෞතුක වස්තු, කෞතුකාගාරයේ පිහිටීම හා ඒ භූමියේ පවතින ඉඩකඩ අනුව කෞතුකාගාරයට හෙළන ආර්ථික බැල්ම එතැනින් නැවතුණේ නැත.
පෞද්ගලික සංවිධානයක් යැයි කියාගනිමින් කොළඹ කටුගෙය ඉදිරිපස මිදුල කොටස විලාසිතා දැක්මකට ඉල්ලා ඇති බව පසුගිය මාස කිහිපයකට පෙර දා පුවත් මවන සිදුවීමක් විය. කෞතුකාගාර අධ්යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත් පුරාවිද්‍යා පිළිබඳ විද්වතුනුත් එකහෙළා පැවැසුවේ එවැනි කාර්යයක් සඳහා කෞතුකාගාර පරිශ්‍රය ලබාදිය නොහැකි බවයි. එහෙත් අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කෞතුකාගාර භූමිය මේ විලාසිතා ප්‍රදර්ශනයට ඉඩ ලබාදිය යුතු බවට නිගමනය විය. අගමැතිවරයාගේ පැත්තෙන් කෞතුකාගාර පරිශ්‍රය විලාසිතා දැක්මකට ලබාදීමට කොළ එළිය පත්තු කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රතු එළිය පත්තු කළේය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කෞතුකාගාර භූමිය විලාසිතා දැක්මකට යොදා ගැනීම වළක්වන ලදී.
ඊළඟට කෞතුකාගාර කොළඹ නගරයේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ යෝජනාවක් අගමැතිවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරික කටයුත්තකට කෞතුකාගාරය යොදා ගැනීම මෙහි අරමුණ විය. මේ සඳහා ප්‍රබල ව්‍යාපාරිකයකු සම්බන්ධ භාරයක් පිහිටුවාගත් ආයතනයක් මුල් වූයේය. එහෙත් මේ ආයතනය භාරකාර මණ්ඩලයේ අනුමැතිය හෝ පුණ්‍යාධාර ආයතනයක් විදියට ලියාපදිංචි වී නොතිබිණි. අඩුම ගණනේ කෞතුකාගාරය කොළඹ නගරයේ සංචාරක කේන්ද්‍රස්ථානය කිරීම කියන යෝජනාවට අනුව අදාළ ක්‍රියාවලිය සිදුවන විටදීවත් මෙවැනි ආයතනයක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම්පත්‍ර මහා භාරකාර මණ්ඩලයට ඉල්ලීම් ලැබී තිබුණේ නැත. එසේ වුවත් මේ ක්‍රියාවලියට අදාළ කැබිනට් පත්‍රය අනුමත කරගෙන තිබිණි. එහිදී මේ ආයතනයට කෞතුකාගාරයෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටත් සංචාරක කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කිරීමට වසර තුනක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලැබුණේය.
මේ කටයුතු සිදුවන විට අදාළ ආයතනය කෞතුකාගාර භූමිය මැනීමට මිනින්දෝරුවන් එව්වේය. එම මැනීම් කටයුතුවලට කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ඉඩ ලබාදුන්නේ නැත. ඉන්පසුව අදාළ ආයතනයේ නියෝජිත කණ්ඩායමක් ආවේ කෞතුකාගාරයේ බිම් සැලැස්මට අදාළ බිම් ලේඛන ලබා ගැනීමටය. කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ඒවා ලබාදුන්නේද නැත.
එහෙත් මේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය ලැබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ක්‍රියාවලිය දිගින් දිගට ක්‍රියාත්මක විය. මේ ක්‍රියාවලිය සම්බන්ධ නීත්‍යනුකූල වගකීම ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාටය. ඔහුගේ හැසිරීම අනුව ඔහුට පුරාවස්තු පිළිබඳව හෝ කෞතුකාගාරය හෝ රාජ්‍ය දේපොළ සම්බන්ධ අවබෝධයක් තිබේදැයි සැක සහිත විය.
මේ ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ව්‍යාපාරික ආයතනයේ නියෝජිතයන් සමඟ වරින් වර සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන්ව කැඳවීම් කළේය. මේ කටයුත්තට කෞතුකාගාරයේ විෂයභාර අතිරේක ලේකම් විරුද්ධ බැවින් ඔහු වෙනුවට වෙනත් විෂයක් භාර ලේකම්වරයකු මේ රැස්වීම්වලට සහභාගි කිරීමට නම්කර තිබිණි. රැස්වීම් මවු භාෂාවෙන් නොපැවැත්වෙන අතර නම් කරන ලේකම්වරයාට භාෂා ගැටලුවක් ඇති බැවින් මේ රැස්වීම්වලට සහභාගි නොවන බවක් දන්වා තිබිණි. ඒ වෙනුවට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරියකු හෝ අමාත්‍යාංශයේ වෙනත් කනිෂ්ඨ නිලධාරියකු රැස්වීම්වලට සහභාගි කරවනු ලැබීය. එහිදී රැස්වීම්වලට යවන කනිෂ්ඨ නිලධාරීන්ට ඒ සම්බන්ධව කතා කිරීමට බලයක් නොමැති බැවින් පෞද්ගලික ව්‍යාපාරික අවශ්‍යතා අනුව කටයුතු සිදුවෙමින් ඇත.
මේ ව්‍යාපාරික කටයුත්තට විරුද්ධ වීම නිසා කෞතුකාගාර අධ්යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත් මේ වනවිට දැඩි අර්බුධයකට මුහුණ දී සිටිති.
කෞතුකාගාරය පමණක්් නොව පුරාවිද්‍යාත්මක වටිනාකම මෙතෙක් යැයි කියා මැනිය නොහැකි ලෝකප්‍රකට සීගිරියද පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සල්ලි මවන උල්පතක් කරන්නට යන ව්‍යායාමය ආණ්ඩුව අත්හැර නැත. ඒ අනුව සීගිරිය, කලුදිය පොකුණ පරිශ්‍රයේ කටාරම් සහිත ලෙන් දෙකක් ව්‍යාපාරිකයකුට දෙන්නට පිඹුරුපත් සැකසිණි. ඒ සංචාරක හෝටලයකටය. එහෙත් ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාගත යුත්තේ පුරවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ගෙනි. පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා සීගිරිය කළුදිය පොකුණ මේ ව්‍යාපාරික කටයුත්තට අනුමැතිය ලබා නොදීම නිසා ඔහුට දිගින් දිගට බලපෑම් පැමිණියේය.
සීගිරිය කළුදිය පොකුණ පරිශ්‍රය පමණක් නොව සීගිරියේ දකුණු ප්‍රවේශ ෙදාරටුව අසල දිය අගලක් කපා ඒ ප්‍රදේශයේ සංචාරක ගිමන්හලක් හැදීමේ ව්‍යාපාරික කටයුත්තකට ද සූදානමක් තිබිණි. මේ පෞද්ගලික ව්‍යාපාරික ව්‍යාපෘතියට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණේ නැත.
මේ විරුද්ධකම් නිසා පුරාවිද්‍යා අධ්යක්ෂවරයාට මේ ආයතනයට සම්බන්ධ දේශපාලන බලාධිකාරියේ ඉහළ තැනින් දිගින් දිගටම වාචික බලපෑම් එන්නට පටන් ගැනිණි. දේශපාලන අධිකාරිය ඔහුගේ ඉල්ලා අස්වීම අපේක්ෂා කරයි. එසේ නොවුණහොත් දැනට පුරාවිද්‍යා ප්‍රසම්පාදන කටයුත්තක සිදුවී ඇති අක්‍රමිකතාවකට චෝදනා කර ඔහුගේ සේවය අත්හිටුවන බව වාචිකව දන්වයි. පැන්ෂන් එකක් රහිතව ගෙදර යවන බව කියයි.
කෞතුකාගාරය, පුරාවිද්‍යාත්මක වස්තු හා පුරාවිද්‍යාත්මක ස්ථාන යනු ව්‍යාපාරික අවශ්‍යතාවලට යොදා ගන්නා ආයතන හෝ ස්ථාන නොවේ. එය රටක සංස්කෘතික විකාශනය පිළිබඳව අනාගත පරම්පරාවට කියාදෙන කැටපතකි. අනාගත පරම්පරා වෙනුවෙන් ඒවා ආරක්ෂා කිරීම ජනතාවගේ මෙන්ම බලයට පත්වන ආණ්ඩුවේද වගකීමකි.
නමුත් අපේ රටේ ආණ්ඩුවලට සංස්කෘතිය යනු අමාරුවෙන් කරපින්නාගෙන යන බරම බර තවලමක් පමණි. එක් පැත්තකින් සංස්කෘතිය දේශපාලනඥයන්ගේ නිධානයකි. සංස්කෘතිය ජනතාවගේ හදවතේ රුධිර පීඩනය වැඩි කරන නිලයකි. අවශ්‍ය වන්නේ වෙලාව බලා මඳක් උත්තේජනය කිරීම පමණි. මැතිවරණයකදී, ආණ්ඩු පෙරළියකදී, සංස්කෘතියේ මෙකී ප්‍රයෝජනය එක් පැත්තකින් ගන්නා විට ඔවුන් සංස්කෘතිකමය වටිනාකම හා එහි ජීවමාන සාක්ෂි තම හිතවතුන්ට විකුණා ආර්ථික ලාභ ගැනීමද අත්හරින්නේ නැත.
සංස්කෘතියේ ජීවමාන සාක්ෂි රැකගැනීමට ගිය පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට එල්ල වී ඇති බලපෑම් හමුවේ ඔහු මේ ලිපිය ලියන මොහොත වන විට නිවාඩු පිට හිඳී. ඊළග මොහොතේ ඔහු ඉල්ලා අස්වනු ඇත. නොඑසේනම් ඔහුව සේවයෙන් පහ කිරීමට කටයුතු යෙදෙනු ඇත. සීගිරිය ලෝක උරුමය අවියත් ව්‍යාපාරික පරිශ්‍රයක් වනු ඇතිද? කෞතුකාගාරය හෝටලයක් වනු ඇතිද? කටුගෙයි කාමර පෙම් යුවළවලට කුලියට දේවිද?
ආණ්ඩුවේ උත්තර ඔව් වුණත් ජනතාව ඒ උත්තරය පිළිගන්නට සූදානම් නම් නැති බවත් ලියා තැබිය යුතුය.
රසිකා හේමමාලිතීරු ලිපි