අතීතයේ දී වළවේ ගඟේ මෝය වන ගොඩවාය දක්වා පුරාවස්තු විසිරී තිබුණු බවට සාධක ලැබෙන අතර රම්බා වෙහෙර සංකීර්ණය දෙපස ජලවහන පද්ධති නිසා ඉතා සශ්‍රීකව පැවති බව සඳහන් වේ. මෙම භූමි ප්‍රදේශය අර්ධ ශුෂ්ක කලාපයට අයත් වූවත් මාමඩල ඇළෙන් හා වළවේ ගඟෙන් වට වී ඇති හෙයින් කර්කෂ හා වියළි බවින් අඩු තෙතමනය සහිත භූමියක ලක්ෂණ දරයි.
ලංකාවේ ලියැවුණු ප්‍රථම සංදේශ කාව්‍ය වූ පාලි භාෂාවෙන් රචිත මානාවුළු සංදේශ කාව්‍ය පළමු වන පරාක්‍රමබාහු රජු සමයේ (1153-1186) එනම් 1181 රම්බා විහාරයේ දී රචනා කරන ලද්දක් බව සඳහන් වෙන අතර එය පාලි කාව්‍ය 62 කින් යුක්තය. දැනට ශේෂව ඇති ලාංකේය සංදේශ කාව්‍යයන් අතර පැරණීතම කෘතිය වන්නේ රුහුණේ මානාවුළුපුර කදලිනාවලියෙන් යුතු මෙම සංදේශ කාව්‍යයයි.
එය රචනා කරන සමයේ දී සාමණේර භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලද පිරිවෙනක් ලෙස රම්බා විහාරය පැවති බව ඉතිහාසය දක්වයි. එමෙන් ම පියදස්සී නම් තෙරුන් වහන්සේ නමක් විසින් පාලි භාෂාවෙන් රචනා කළ මුගලන් වියරණය පහසු කිරීම සඳහා පද සාධනය කර එය රම්බා විහාරයේ සිට රචනා කළ බව ද සඳහන් වේ.
මානාවුළු සංදේශය අනුව පෙනී යන්නේ රම්බා විහාරය 12 වන සියවසේ දී බුරුමයේ රාමඤ්ඤ දේශය සමඟ සමීප සබදතා පවත්වා ඇති බවය. එනම් රාමඤ්ඤ දේශයේ කාශ්‍යප නම් තෙර නමක් විසින් රම්බා විහාරයට එවන ලද සංදේශයකට පිළිතුරු වශයෙන් පාලි භාෂාවෙන් ලියූ මානාවුළු සංදේශය එකල මෙහි විහාරාධිපතිව වැඩ සිටි නාගසේන නම් යතිවරයෙකු විසින් ලියන ලද්දක් බව සැලකේ.
මානාවුළු සංදේශය අනුව රම්බා විහාරයේ විශාල අලි ඇතුන් ගැවසෙන බවත්, උසස් කුලවතුන් විසින් මේ නගරය දියුණු කරන ලද බවත් සඳහන් වන අතර මෙම සමෘද්ධිමත් නගරය සතුරන්ට ළඟා විය නොහැකි බලකොටුවක් ලෙස නිර්මාණය කොට ඇති බවත් කෙසෙල් ගස් විශාල වශයෙන් ඇති බවත් සඳහන් වේ. ආරාමයක් ලෙස රම්බා විහාර පරිශ්‍රය පැවති බවට මහානාග යුව රජුගේ කාලය දක්වා ඉතිහාසය දිවයයි. මානාවුළුපුරය යුවරජු ලෙස මහානාග රාජධානිය කර ගනිමින් ඉදිකළ වෙහෙර විහාර අතර ප්‍රමුඛස්ථානයක් රම්බා විහාරයට හිමි වේ.
පළමු වන පරාක්‍රමබාහු රජු, බුරුම රට ආක්‍රමණය කිරීමට කටයුතු කරන ලද අතර භික්ෂූන්ගේ මැදිහත්වීම මත කීර්ති නගරගිරි සෙනෙවි විසින් අත්පත් කර ගන්නා ලද කුසුමිය නුවර පවා අතහැර පැමිණියේය. පළමු වන විජයබාහූ රජුට, චොල්යින්ට විරුද්ධව සටන් කිරීම සඳහා බුරුමය සහය දුන්න ද පළමු පරාක්‍රමබාහු රජු දවස බුරුමය ආක්‍රමණය කළ හෙයින් දෙරට අතර දේශපාලන අරගලයක් ඇති විය. මෙසේ රටවල් දෙක අතර ඇති වූ භේදය දෙරටේම භික්ෂුන් වහන්සේ ලා අනුමත නොකළ බැවින් රාජ්‍ය දෙකේ සමගිය සඳහා කළ උත්සාහයක් ලෙස මානාවුළු සංදේශය රචනා වීමට ඉවහල් වූ බව කියවේ.
මේ අනුව විශේෂයෙන් පෙනී යන කරුණක් වන්නේ මානාවුළුපුර රම්බා විහාරය ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් වූ ආගමික මධ්‍යස්ථානයක් ලෙස පළමු වන පරාක්‍රමබාහූ රජු දවස පැවති බවයි. මෙහි වැඩ සිටි භික්ෂුන් වහන්සේලා රාජකීය වශයෙන් වැදගත් මෙහෙවරක් සිදුකර ඇති බව මින් පෙනෙයි. එමෙන්ම රම්බා විහාර භික්ෂූන් සාහිත්‍යමය වශයෙන් සුවිශේෂි ක්‍රියාදාමයක නියැළුණු බව ද සඳහන් වේ. අනුරාධපුර සමයේ දී මහාවිහාරය, අභයගිරි වැනි ජාත්‍යන්තර සබඳතා පැවති විශ්වවිද්‍යාල මඟින් ඉටුකළ මෙහෙයන් සේම එවැනිම ශාසනික සේවාවක් රම්බා විහාරය ආශ්‍රිතව සිදුවිය. එනම් කාව්‍ය, ව්‍යාකරණ, පාලි, සංස්කෘත ආදි භාෂා ශාස්ත්‍ර ඉගැන් වූ විශිෂ්ට විද්‍යා ස්ථානයක් විය.
මානාවුළුපුරයේ රජමහා විහාරය වූ රම්බා විහාරය, අතීතයේ දී සම්බා, කදලි යන නම් වලින් හඳුන්වා ඇති අතර ක්‍රි.ව. 15 වන සියවස දක්වාම රජවරුන්ගේ හා භික්ෂුන් වහන්සේලාගේ අනුග්‍රහය යටතේ සංවර්ධනය විය. රම්බා විහාරයේ හමුවන ශිලා ලිපියක “සිරිසඟබෝ රජු රම්බා චේතියේ මැණික් කොත පළදවා දළදාව ආරක්ෂා කිරීමට මුලාදෑනින් පත් කළ බව” සඳහන් වේ. ඒ අනුව ජනප්‍රවාදයේ පැවත එන ලෙස රම්බා විහාරයේ දන්ත ධාතුන් වහන්සේ කාලයක් වැඩ සිටි බවට පැවැත එන මතය සනාථ වේ.
එසේම මහානාග රජු විසින් ධාතු නිදන් කොට ස්තූපයක් තනවා එහි කොත රනින් නිම කළ නිසා “රම්බා” නමින් හඳුන්වා ඇති බවට ද සඳහන් වේ. තව ද වළගම්බා රාජ්‍ය සමයේ දී ඇති වූ බැමිණිටියාසාය නම් සාගතයේ දී අනුරාධපුර හා තිස්සමහාරාමය විහාරවල වැඩ විසූ භික්ෂුන් දොළොස් දහසක ප්‍රමාණයක් පිඬුසිඟා වඩින අවස්ථාවේ දී දෙගොල්ලෝ ම සම්මුඛ වූ ස්ථානය “සම්බා විහාරය” ලෙස හැදින්වූ බව ජනප්‍රවාදයේ දැක් වේ.
නිශ්ශංකමල්ල රජුගේ අනුග්‍රහය රම්බා විහාරයට ලැබී ඇති බවට සෙල්ලිපි සාක්ෂි දරන බැවින් මෙම විහාරය රාජ්‍ය අනුග්‍රහය නොමදව ලත් ජීවමාන පූජා භූමියක් ලෙස පැවති බවට අනාවරණය වේ. එමෙන් ම 15 වන සියවසේ දී තම ප්‍රථම අධ්‍යාපනය ලැබීමට තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පැමිණ තිබෙන්නේ ද මෙම විහාරස්ථ පිරිවෙන වෙතය.
මානාවුළුපුරයේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී අතිශය වැදගත් ස්ථානයක්, පළමු වන විජයබාහූ (ක්‍රි.ව. 1055-1110) රජුට හිමි වේ. එනම් මෙරට බලය අත්පත් කරගෙන සිටි චෝලයින්ගෙන් රට මුදා ගැනීමට දියත් කළ සටන් ව්‍යාපාරයේ මූලස්ථානය ලෙස රම්බා විහාරය හෙවත් ඉපැරණි මානාවුළුපුර රාජධානිය තෝරා ගත් බව සැලකේ.
පළමු වන විජයබාහු රජු සිය රජ පවුලත් සමඟ රුහුණේ රම්මලේ කන්ද ආශ්‍රිතව කුඩා කාලයත්, තරුණ කාලයත් ගත කළ බව අනාවරණය වේ. කීර්ති කුමරු ලෙස කුඩා අවධියේ දී සිත්නරු බිම් බූදල්නාවන් නම් රුහුණේ සෙන්පතියෙකුගේ ආරක්ෂාව යටතේ හැදී වැඩුණු බව පනාකඩුව තඹ සන්නස අනුව පැහැදිලි වේ. කීර්ති කුමාරයා ක්‍රි.ව. 1055 දී පළමු වන විජයබාහු නමින් රෝහණයේ රාජ්‍යත්වයට පත්ව ක්‍රි.ව. 1070 දි චෝලයින්ගෙන් මෙරට නිදහස් කර ගන්නා තෙක් මහානාගකුල හෙවත් මානාවුළුපුර මධ්‍යස්ථානය කර ගනිමින් ක්‍රියා කළ බව සඳහන් වේ.
ක්‍රි.පූ. 03 වන සියවසේ දී දේවානම්පියතිස්සගෙන් පසු රාජ්‍යත්වය හිමිවීමට එම රජුගේ බාල සොහොයුරෙකු වන මහානාග උරුම කිව්ව ද ජීවිතාරාක්ෂාව පතා අනුරාධපුරය අත්හැර මහාගාමයට පැමිණ රෝහණයේ පාලකයා විය. මහාවංශයට අනුව රෝහණ දේශයේ දේශපාලනය, උපරාජ මහානාගගෙන් ආරම්භ වූ බවත් ඔහු රෝහණයේ ප්‍රථම පාලකයා ලෙසත් සඳහන් වේ. කෙසේ වෙතත් මහානාගට සමකාලීනව කාචරගාම හා චන්දනගාම යනුවෙන් ග්‍රාම මුල්ලකර ගත් රාජ්‍යයක් රෝහණයේ බැවති බව ද මහාවංශයේ දක්වා ඇත.
ධාතුවංශයෙහි සඳහන් මෙම කතරගම දස බෑ රජුගේ ඓතිහාසිකත්වය රෝහණ දේශයේ බෝවත්තේගල, කුසලාකන්ද, කඳුරුපොතාන, මොට්ටයාකල්ලු, හෙන්නානිගල හා සිතුල්පව්ව යන ස්ථාන වලින් ලැබෙන ක්‍රි.පූ. 3 සහ ක්‍රි.පූ. 2 වැනි සියවස් වලට අයත් මුල් කාලීන බ්‍රහ්මීය සෙල්ලිපි වලින් සනාථ වේ. මෙම සෙල් ලිපි ස්ථානගත වී ඇත්තේ කිරිඳිඔය, මැණික්, කුඹුක්කන්, ගල්ඔය සහ මුන්දෙණි ආරු යන ගංගා ද්‍රෝණි පදනම් කරගෙනය.
පළමු වන පරාක්‍රමබාහූ රජුගෙන් පසු මානාවුළුපුර පිළිබඳ තොරතුරු බොහෝමයක් අනාවරණය කර ගැනීමට නිශ්ශංකමල්ල රජුගේ කාලයේ ගාවුත කණු ඇසුරු කරගෙන පිහිටුවන ලද ශිලා ලිපි ඉවහල් වේ. රම්බා විහාරයෙන් ලැබුණු පුවරු ලිපියට අනුව නිශ්ශංකමල්ල රජු එම ප්‍රදේශයට පැමිණෙන විට එහි සෞභාග්‍ය හීන වී තිබු බැවින් රම්බා විහාරය අවට ප්‍රදේශවලින් අයබදු රැස් කිරීම අවුරුදු හතරකට නතර කළ බව සඳහන් වේ. එහෙමන් ම එකල මෙම විහාරය අසල විසූ විවිධ ජන කොටස් හා පරම්පරා දැක්වෙන අතර ඔවුන්ගේ ආර්ථික අපහසුතාවයන් පිළිබඳව ද සෙල් ලිපියේ සටහන්ව ඇත.
කෝට්ටේ යුගයේ දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත බුද්ධපසාදිනි ටීකාවේ රම්බා විහාරය ගැන සඳහන් කර ඇත. එමෙන් ම හයවන පරාක්‍රමබාහු සමයේ ලියවුණු පැරකුම්බා සිරිත නම් වූ ප්‍රශස්ති කාව්‍යයේ මානාවුළුපුර රාජ පරම්පරාව පිළිබඳව කරුණු අන්තර්ගත වේ.
1925 දී කොඩ්රින්ටන් විසින් Ceylon Topography in the twelth century නම් ග්‍රන්ථයේත් පැරණි රම්බා විහාරය හා පැරණි මාළිගා පිහිටි ස්ථාන පිළිබඳව දක්වා ඇත. ඩබ්. නිකලස්ගේ පුරාණ මධ්‍යම ලංකාවේ ඓතිහාසික විස්තරය නම් ග්‍රන්ථයෙන් ද රම්බා විහාරය පිළිබඳ සඳහන් කරන අතර රෝහණයේ වළවේ ගං මෝය අසල පිහිටි රුහුණේ දෙවෙනි අගනුවර වූ මහානාගහුල පිහිටා තිබුණේ අම්බලන්තොට ස්ථානයේය යනුවෙන් විල්හෙල්ම් ගයිගර් විසින් රචිත ග්‍රන්ථයේ දක්වා ඇත. එමෙන් ම රම්බා විහාරය ආශ්‍රිත ප්‍රදේශය පිළිබඳ 1880 දී අම්බලන්තොට හා මාමඩල ආශ්‍රිත ප්‍රදේශයේ වාරිමාර්ග කටයුතු වල නිරත වූ ආර්.එල්. බ්‍රෝහියර් විසින් විස්තර කර ඇත.
1950 දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් රම්බා විහාරය හා නටබුන් සහිත ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත්තොට ඇති අතර 1959 දී Archaeological Survey of Ceylon Annual හි රම්බා විහාරය පිළිබඳව සඳහන් කර ඇත.
රම්බා විහාර භූමිය තුළ කරන ලද ගවේෂණ හා කැණීම් මඟින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක දත්ත මත ගොඩනැගිලිවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව අනුරාධපුර අවසාන භාගයේ දී ඉදි කරන්නට ඇතැයි යන්න සිතිය හැකි සාධක හමු වී ඇත. මෙතෙක් සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස ගොඩනැගිලි සංකීර්ණ 15 ක් පමණ හඳුනාගත හැකිය. එක් ගොඩනැගිලි සංකීර්ණයක් වටා ගඩොල් ප්‍රාකාර බැමි දක්නට ලැබෙන අතර එම සංකීර්ණයක් ඇතුළත ගොඩනැගිලි 04 ක් හෝ 05 ක් ඉදිකොට ඇත. එසේ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව බෝධිඝර, සන්නිපාත ශාලා, ස්තූප, ප්‍රතිමා ගෘහ, පොකුණු, භික්ෂු කුටි, කැසිකිළි සහ වැසිකිලි ගල් යනාදිය දැක්විය හැකිය.
අංක 21 සංකීර්ණයේ ඇති ප්‍රතිමා ගෘහය හුණු බදාම පිරියම් කර වර්ණ ගන්වා ඇත. මෙහි නිර්මාණ ලක්ෂණ අනුව පොලොන්නරු යුගයේ දී නිර්මාණය කරන්නට ඇතැයි යන්න සිතිය හැකිය. එමෙන් ම අංක 22 සංකීර්ණයේ ඇති ස්ඵටික හුනු ගලින් නිර්මිත හිටි පිළිමය සහිත ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වන්නට ඇති බව පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු වී ඇත. අංක 15 සංකීර්ණයේ ඇති සාධක බෝධිඝරයක ලක්ෂණ දරන අතර ගඩොලින් නිර්මාණය කර ඇත. ක්‍රි.ව. 5-10 සියවස්වලට අයත් බෝධිඝරය චතුරස්‍රාකාර හැඩයක් ගනු ලබන අතර සතර දිශාවට බුද්ධ ප්‍රතිමා 4 ක් තිබුණු බවට සාධක හමු වේ. එමෙන් ම බෝධිඝරයේ තිබී හමු වී ඇති මැටි පාත්‍රය බෝධිය රෝපණය කිරීමට භාවිත කරන ලද පාත්‍රය බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.
විහාර භූමියෙන් හිටි, හිඳි, සැතපෙන යන බුද්ධ ප්‍රතිමා වර්ග තුනම හමුවෙන අතර එම ප්‍රතිමාවන් නිර්මාණය කිරීමට හුණු ගල්, මැටි හා ශෛලමය වශයෙන් මාධ්‍යයන් භාවිතා කොට ඇත.
එමෙන් ම මෙහෙදී කැණීම් මගින් මතුකර ගත් ආභරණ අතර වළලු, මුදු දැක්විය හැකි අතර ඒවා පබළු හා තඹ ලෝහයෙන් නිර්මාණය කර ඇත. මෙම ආභරණ ආගමික ස්මාරක ආශ්‍රිතව හමු වූ බැවින් ආගමික පුද පූජා සඳහා උපයෝගී කර ගන්නට ඇතැයි සැලකේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් රම්බා විහාරයේ සිදු කරන ලද පර්යේෂණවලින් විහාර පරිශ්‍රයේ පිටත ප්‍රාකාර බැම්මේ උතුරු දෙසට විහිදුණ ගොඩනැගිල්ලක තිබූ පහන් කණුවක පාදස්ථ කොටසේ තිබී රාජ්‍යත්ව අවදි තුනකට අයත් කාසි 231 ක් සොයාගනු ලැබීය.
එම කාසි පොළොන්නරු යුගය නියෝජනය කරමින් ලීලාවති රැජින, චොඩගංගදේව රජු හා සහස්සමල්ල රජු විසින් නිකුත් කරන කර ඇති බවට හෙළි වේ. මෙම කාසි, පස් සමඟ ගුළියක් ලෙස තිබී හමු විය.
රම්බා විහාරය පරිශ්‍රයේ දැනට අත්තාණි කනු දෙකක් දක්නට ලැබෙන අතර ඒවා ක්‍රි.ව. 10-12 සියවස් නියෝජනය කෙරෙයි.