Sunday, December 25, 2016

ජීවිතේ තවත් එක් දවසක් - 02



බොහෝ කාලයකින් හිත නිදහස් වුණු නිසා පොතක් කියවන්න පටන් ගත්තා උදෙන්ම. කුරුල්ලන්ගෙ මිහිරි නාදය, නිදහස් වුණු හිතට තවත් අත්වැසිල්ලක්. මට මතක් වුණේ 'විභූතිභූෂණ බන්ද්‍යෙපාධ්‍යායගෙ', චින්තා ලක්ෂ්මි සිංහආරච්චි පරිවර්තනය කරපු 'අරණකට පෙම් බැඳ' කියන පොත.

පුංචි කාලේ ඉදලම පරිසරය එක්ක බද්ධ වෙලා හැදුණු වැඩුණු නිසාද මංදා මං ඒ පොතට පුදුම විදියට ආදරෙයි. කියවන්න ගත්ත පොත පැත්තක තියලා මං අරණකට පෙම් බඳින්න පටන් ගත්තා.
විභූතිභූෂණ තරම් අව්‍යාජ ලෙස, චිත්තාකර්ෂණීය ලෙස ස්වභාවික පරිසරය ගැන වර්ණනා කළ වෙනත් ලේඛකයෙක් නොමැති බවයි ඉන්දියානු විද්වතුන්ගෙ මතය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර්හි වනගත වතුයායක් මේ කතාව සඳහා පාදක වී තිබෙන්නෙ.
'ශාන්ත පරිසරයකදී ඇසෙන විලම්බ ලයකින් වාදනය වන, වස්දඬුවක මිහිරි ස්වර මාලාවක් ලෙසයි' මෙම ග්‍රන්ථය හඳුන් වන්නෙ.
දිනෙන් දින විනාශ වන සොඳුරු පරිසරයෙන් මිනිසා ඈත් වෙද්දි මෙවැනි පොතක් ඇත්තටම දිවි ඔසුවක් මනසට. ස්වභාවික සුන්දරත්වයට පමණක් සීමා නොවී එම පරිසරයෙ ජීවත් වන විවිධාකාර වූ මිනිසුන්ගෙ ජීවිත තුළට එබී ඔවුන් දෙස බලන දෘෂ්ටියට මං බොහෝ කැමතියි.
මේ කතාවේ පිවිසුමයි.
දවස පුරාම කාර්යාලයේ වැඩ කර වෙහෙස වූ මම නගරයේ බලකොටුව ළඟ ඇති පිට්ටනිය අයිනේ හිඳ ගතිමි.....
මාත් බොහෝ වෙලාවට විහාර මහාදේවී පාර්ක් එකට ගිහිං තනිවෙච්චි බංකුවක පැයක් දෙකක් ඉඳගෙන ඉන්න පුරුදු වෙලා හිටියා. විවිධාකාර මිනිස්සු මාව පසුකරගෙන යද්දි මං ඔවුන් දිහා බලාගෙන හිටියෙ ආසාවෙන්. ඒ අය අතරින්, අතින් කරින් වෙලුණු පෙම්වතුන් හා කුඩා දරුවන් තමයි මගෙ හිත පැහැර ගත්තෙ. කොළොම්පුරය සිසාරා හමායන ඒ සිසිල් සුළඟට මං බොහෝ පෙම් බැන්ඳා.
ජීවිතේ හුදකලාවට මං දැං ආදරෙයි. හරිම නිදහස්. තියෙන දෙයක් කාලා පොතක් පතක් බලාගෙන ඉන්න තියෙන එකත් එක්තරා සුන්දර අත්දැකීමක්.
මට වෙලාවකට හිතෙනවා මේ කතා පොතේ ඉන්න 'සත්‍යවරණ' ට වගෙ මටත් වනගත වතුයායක රැකියාවක් ලැබුණා නම් කියල.
දිනපතා අත් විඳින කොළඹ නරගයේ කර්කෂ ජීවිතයෙන් මිදී, බයිහාරයෙ මෙන් සඳ එළියෙන් ආලෝකමත් වූ, තිමිරයෙන් වැසුණු නිහඬ රාත්‍රියෙ වනය මැදින් දුවන ගෝනුන්ගේ පා හඬ අසන්නට, මිටියාවතෙ පිපුණු වර්ණවත් වන මල් වලින් සුසැදි පරිසරයක ජීවත් වන්නට ඇත්නම් කෙතරම් වාසනාවක්ද.


ජීවිතේ තවත් එක් දවසකින් හමුවෙමු.

- රුක්ෂිලා වෙත්තමුණි -
2016 - 12 - 24

Thursday, December 15, 2016

ජීවිතේ තවත් එක් දවසක් - 01



කියවීමට මිනිසා හුරුකළ මහගෙදරට ඒ කියන්නේ පිටකොටුවෙ එම්.ඩී. ගුණසේන සහ සමාගමට අද මං ගොඩ වුණේ මගෙ පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු සඳහා අතවශ්‍ය පොත් කිහිපයක් ගන්න කියලා හිතාගෙනයි.

රත්තරං බඩු කඩයකට හිස පොවන්නවත් අකමැති මං පොත් සාප්පුවකට රිංගන්නනම් බොහෝම කැමතියි.
පිටකොටුව, ගුණසේන සහ සමාගම කියන්නෙ මගෙ ළමා කාලය තුළ ඉතා සුන්දර අතීතයක් එක්කල ස්ථානයක්.
අපි පුංචි කාලේ පාසලට අවශ්‍ය සියලුම පොත් පත් ගන්න ගියෙ එහෙටයි. මගෙ අක්කලා දෙන්නටයි අයියටයි මටයි. තාත්තා පොත් ගේන්න යන දවසට මාත් කොහොම හරි තාත්තගෙ අතේ එල්ලිලා යනවා. අලුත් පොත්වල සුවඳ විඳින්න මං එදා වගේම අදත් මනාපයි.
තාත්තා අපි හතර දෙනාට අවශ්‍ය පොත්, පෑන්, පැන්සල්, පොත් කවර ඔය වගේ ගොඩාක් දේවල් ගද්දි කොහොමත් පැයක් දෙකක් ගත වෙනවා. ඒ වෙලාවට මං කරන්නෙ ළමා කතන්දර පොත් ගොන්නක අතරමං වෙන එකයි. කොහොම හරි පොත් 6 ක් 7 ක් කියවනවා. ඊට පස්සෙ කියවන්න ආස හිතුණු පොත් කිහිපයක් උස්සගෙන ඇවිත් තාත්ගෙ බිලට එකතුකර ගන්නවා කොහොම හරි. ඇත්තටම මට කියවන්න හුරු කළේ මගෙ ආදරණීය තාත්තා.
අද ආයෙමත් මං ඒ සුන්දර අතීතයට ගියා. කාලය බොහෝ වෙනස් වෙලා. මං වැඩිහිටි අවදියට අවතීර්ණ වෙලා. ඒත් ළමා කතන්දර පොත් දකිද්දි ඉස්සර වගේම ආයෙත් කියවන්න ආස හිතුණා. මං ඒ සුන්දර අතීතයත් එක්ක පොත් කිහිපයක් පෙරලලා බැලුවෙ පුංචි දරුවෙක් වගෙයි.
ගන්න හිතාගෙන ගිය කිසිම පොතක් මට හොයා ගන්න නම් බැරි වුණා. ඒත් පොත් එක්ක පැය දෙකක් විතර ගත කරලා අන්තිමට කියවන්න ඕන කියලා හිතුණු පොත් 4 ක් අර ගත්තා. 'සාර භූමි' බොහෝම ඉස්සර දහ දොලොස් වතාවක් කියවල තිබ්බත් අද ආයෙ ආස හිතුණා ඒ පොත සල්ලි දීලා ගන්න. ඒ පොත පුරා ඉන්න දිරිය ගැහැනිය 'ඕලෑං' ට මං හරිම ආදරෙයි.
මගෙ ජීවිත කාලය තුළදි සිදුවුණු විවිධ හැලහැප්පීම් එක්ක බලද්දි මටත් 'ඕලෑං' කෙනෙක් වගෙ ශක්තිමත් වෙන්න ඕනෙ.
පොත් අතර අතරමං වුණාම කාලය ගෙවෙන්නෙ ඉතාම වේගයෙන්. පොත් සාප්පුව වහන්න ආසන්න වුණාම තමයි මං දැන ගත්තෙ රාත්‍රී 7 ත් පහු වෙලා කියල. පොත් කියන්නෙ මගෙ කලණ මිතුරෝ. කිසිම දාක මාව අත් හැරලා නොයන මං බොහෝ සෙයින් පෙම් බඳින සුමිතුරෝ.
පොත් සාප්පුවක වැඩ කරන්න තියෙනවා නම් කියල හිතෙනවා වෙලාවකට. කවදා හරි දවසක පොත් සාප්පුවක හිමිකාරියක් වීම මගෙ හීනයක්. අපි උත්සාහ කළොත් මොනවද කරන්න බැරි ඇත්තටම. හීනය අනාගතයට බාර දීලා මං පොත් ගොන්නෙන් එළියට ආවෙ හුදකලා වෙච්චි මගෙ නවාතැනට යන්න බස් එකට නගින්නයි.
පිටකොටුවෙ දහසක් මිනිස්සු අතර මං තනිවෙලා නේද කියලයි හිතුණෙ. ජීවිතය කියන්නෙ ඇත්තටම හිස් සුදු කඩදාසියක්. ඒ කඩදාසියෙ විවිධ රටා මවා ගන්නෙත් අපිමයි. ඒ රටා විකෘති කර ගන්නෙත් අපිමයි. ජීවිතේ විවිධ අවස්ථා වලදී අපි දුරදිග නොහිතා ගන්න තීරණ වලින් සුදු හිස් කඩදාසිය අපවිත්‍ර වෙනවා. ඒ අපවිත්‍ර වුණු කඩදාසිය ආයෙමත් පවිත්‍ර කර ගන්න ඕනෙත් අපිමයි.
ජීවිතේ තවත් එක් දවසකින් ආයෙ මුණ ගැහෙමු...

- රුක්ෂිලා වෙත්තමුණි - 
2016 දෙසැම්බර් මස 14