Sunday, April 27, 2014

විල්පත්තුවෙන් වළපල්ලට යන පාරිසරික නීති......


විල් දහයක් යන අරුත ඇතිව නම් ලද විල්පත්තුව මෙරට පරිසර පද්ධතියෙහි සුවිශේෂී වූ අංගයකි. මෙරට වනාන්තර පද්ධතියෙහි අඥති සුවිශේෂී වූ වනාන්තරයක් ලෙසට විල්පත්තුව අවිවාදයෙන් පිළිගැනේ.
එලෙසම රැම්සා තෙත්බිමක් ලෙසටද විල්පත්තුව නම් කර තිබේ. මෙලෙස බලන කල විල්පත්තුව යනු ෙජෙව විවිධත්වය අතින් පාරිසරික වටිනාකම අතින් ඉහළ ස්ථානයක රැඳී තිබෙන වනාන්තර පද්ධතියකි.පුරා දශක තුනකට ආසන්න කාලයක් මෙරට උතුරු නැගෙනහිර ප්‍රදේශ වසා පැතිර තිබූ යුද ගිනිදැල් හමුවේ මෙම වන පියස අප්‍රමාණ වූ ගැහැට වින්දේය. මෙරට යුද ගිනිදැල් නිවී ගිය පසුව විල්පත්තුව වන පියස සැහැල්ලුවේ බර හුස්මක් වා තලයට මුදා හරින්නට ඇත. මන්ද දශක තුනක් විඳි කරදර අවසන් කර විල්පත්තු වනයට නිදහසේ හුස්ම ගන්නට හැකියාව ලැබූ නිසාය. ඒ වුවද ඒ නිදහස අත්විඳීමේ වාසනාව වනයට ලැබුණේ ඉතා කෙටි කාලයකි. අද විල්පත්තුවේ සිදුවන මහා වන විනාශය මුළු රටම ඇවිළවීමට සමත්ව තිබේ. වනය ආශ්‍රිත ප්‍රදේශයක අනවසර ලෙසට මිනිසුන් පදිංචි කිරීමට ප්‍රබල දේශපාලනඥයකු මැදිහත් වී ඇතැයි කියන වැඩපිළිවෙළක් නිසා ආගමික නායකයන්, පරිසරවේදීන් මෙන්ම දේශපාලන කරළියද උණුසුම් වී තිබේ.


මෙහිදී අදාළ චෝදනාව එල්ල වන පරිදි මෙලෙස නීතිවිරෝධී ආකාරයෙන් ජනතාව පදිංචි කර තිබෙනුයේ මෙරට පැරණිම අභයභූමි තුනෙන් එකක් වන විල්පත්තු උතුරු අභයභූමියේ අක්කර 500ක පමණ භූමි ප්‍රදේශයකය. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගංආරු ඔය හා සම්බන්ධ මෙම වන භූමිය පිහිටා තිබේ. මෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 632කි. 1932 අංක 2 දරන පනත ගෙන එමින් එවකට මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් සත්ත්ව ආරක්ෂක ආඥා පනත පළමුව නීතිගත කිරීමෙන් පසුව 1938 පෙබරවාරි 25 වැනිදා මෙම වනපෙත අභයභූමියක් ලෙසට නම් කර තිබේ. මෙම අභයභූමිය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව විහිදී ඇති අතරම මෝදරගංආරු ඔයෙහි ප්‍රධාන ජල ‍පෝෂක ප්‍රදේශයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ප්‍රදේශවලින් සහ කටු පඳුරු සහිත ළඳු කැලෑබිම්වලින් මෙම අභයභූමිය නිර්මිතය. එලෙසම විල්පත්තු උතුරු අභයභූමිය අලි ඇතුන් මෙන්ම කොටින්ද බහුල ලෙසට දිවි ගෙවන ප්‍රදේශයකි. 1938 තරම් ඈත යුගයක මෙම වන පියස අභය භූමියක් ලෙසට නම් කිරීමට තරම් ඉහළ වටිනාකමක් තිබුණි නම් එය අද වනවිට විශාල ලෙස දියුණු වී තිබිය යුතුය. එනමුත් දින දින වන විනාශය හා අනවසර පදිංචි කිරීම් හමුවේ වැනසෙනුයේ මෙරට ජාතික සම්පතකි.




මේ වනවිට විනාශය පිළිබඳව අදහස් දක්වන ඇතැම් පුද්ගලයන් පවසනුයේ මෙම පදිංචි කිරීම් සිදුවනුයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නොව ඉන් පිටත බවයි. ඒ වුවද එයද මෙරට පරිසර නීති මගින් ආරක්ෂාව සපයා තිබෙන අභයභූමියකි. පරිසර සංරක්ෂණ භාරය සඳහන් කරන පරිදි මෙලෙස අදාළ ඉදිකිරීම් විල්පත්තු ජාතික වනෝද්‍යානයට පිටතින් පිහිටි බවට පවසා ඇඟ බේරා ගැනීමට උත්සාහ දරන බව පෙනේ. එහෙත් මෙලෙස පුද්ගල පදිංචි කිරීම් සිදුකර තිබෙනුයේද ෙජෙව විද්‍යාත්මක, පාරිසරික විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක අතින් ඉහළ වටිනාකමින් යුතු අභයභූමි ප්‍රදේශයේය.
 එබැවින් මෙය වැරදි පූර්වාදර්ශයක්ද ලබාදෙන ක්‍රියාවකි.

 මේ ආකාරයට විල්පත්තු උතුරු අභයභූමියෙහි අනවසර පදිංචිකරුවන් පදිංචි කරනු ලබන්නේ මෙරට නීති පද්ධතියෙහි තිබෙන ප්‍රධාන පාරිසරික අනපනත් දෙකක් උල්ලංඝනය කරමින් බවද පරිසරවේදීහු අනාවරණය කර සිටිති. 2009 වර්ෂයේ අංක 22 දරන පනත මගින් අවසන් වරට සංශෝධනය කරන ලද 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව පත් කරන ලද අභයභූමියක මෙලෙස කිසිදු ආකාරයකින් ජනතාව පදිංචි කිරීමට නොහැකිය. මෙම පනතෙහි එන 7 වැනි වගන්තියට අනුව අභයභූමියක වනය එළපෙහෙළි කිරීම, මාර්ග තැනීම, ස්ථිර හෝ තාවකාලික ජනාවාස ඉදිකිරීම, ඒවායේ මිනිසුන් පදිංචි වීම, වනයේ නියම අයිතිකරුවන් වන සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම ආදී සියලු ක්‍රියාවන් නීතිවිරෝධී වේ. මේ අනුව දැනට එළිපෙහෙළි කර ජනාවාස ඉදිකර තිබෙනුයේ අභයභූමියකය. මේ ජනාවාස තාවකාලික ඉදිකිරීම් බැව් පවසා කිසිවකුට අත පිසදමා ගැනීමට නොහැකිය. මන්ද නීතිය ඉදිරියේ එම ඉදිකිරීම්ද නීත්‍යනුකූල නොවන බැවිනි. ඉහත පනතෙහිම 10 ඈ වගන්තියට අනුව මෙලෙස අභයභූමියට කුමන හෝ ආකාරයකින් හානි පමුණුවනු ලබන පුද්ගලයන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ විට රුපියල් 15,000-50,000 අතර මුදලක් දඩ මුදල් ලෙසට අයකර ගැනීමට අවස්ථාව තිබේ. මීට අමතරව වසර 2-5ක් අතර කාලයකට සිරදඬුවම් ලබාදීමට හෝ අදාළ දණ්ඩන දෙකටම හෝ යටත් කිරීමට හැකියාව තිබේ. එය එසේ වුවද අභයභූමියෙහි භාරකරුවන් වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටද නිසි පරිදි ක්‍රියාමාර්ග ගෙන නොමැත. මෙලෙස අනවසර ලෙසට පදිංචිව සිටින පුද්ගලයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යන බව පැවසුවද ඊට එළැඹෙන දිනය පිළිබඳව මේ වනවිටද දැනුම් දී නොමැත. මෙම සිද්ධිය හදිසියේ හෝ හොර රහසේ සිදුවූවක් නොවේ. විශාල කැලයක් කපා පැල්පත් ඇටවීම එක රැයකින් ඉටු කිරීමට නොහැකිය. මෙය දීර්ඝ කාලයක් පුරා සිදුවූ දෙයකි. මෙලෙස විල්පත්තුව උතුරු අභයභූමියෙහි විශාල කොටසක් කපා එළිපෙහෙළි කරන තුරු එහි පැල්පත් ඉදිකරන තුරු ඒවා නොදුටු බලධාරීන් දැන් හදිසියේ නින්දෙන් අවදිව ඒවාට නඩු දැමීමට කතා කිරීම එක අතකට විහිළුවට කරුණකි.


ඔවුන්ගේ මෙම ක්‍රියාව සිහි ගන්වනුයේ අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසා දැමීම වැනි ක්‍රියාවක් නොවේද? එලෙසම මෙම අනවසර ඉදිකිරීම් පිළිබඳව අදහස් දක්වන ඇතැම් පුද්ගලයන් මේවා ඉදිකර ඇත්තේ අභයභූමියෙන් පිටත සීමාවේ බවයි. එසේ වුව එයද නීතිය ඉදිරියේ වරදකි. මන්ද වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතෙහි 9 අ වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතැපුමක් ඇතුළත සීමාවේ මොන යම් ආකාරයක හෝ සංවර්ධන කටයුත්තක් ඉටු කිරීමට ප්‍රථම ඊට පරිසර ඇගැයීම් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ අනුව අදාළ බලපත්‍රයට යටත්ව පූර්ව ලිඛිත පරිසර අනුමැතියක්ද ලබාගත යුතුය. මෙම නීතියට අනුව බලන කලද විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව අසල සිදු කෙරෙන මෙම ඉදිකිරීම් නීතිවිරෝධීය. මෙරට විශාලම ජාතික වනෝද්‍යානය මෙන්ම ලෝකය ඉදිරියේ අතිශය වැදගත් රැම්සා තෙත් බිමක්ද වන විල්පත්තු වනය රැක ගැනීමට හෙවත් ඊට හානි හෝ බලපෑම් එල්ල වීම නතර කිරීමට අවශ්‍ය විධිවිධාන නොගන්නේ කවර අරමුණෙන්ද යන්න දැන් රට ඉදිරියේ ඇති ප්‍රශ්නයයි. දැනට සිදුවන මෙම පදිංචි කිරීම් හමුවේ ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ නීති සියල්ල හෑල්ලුවට ලක්වීම සිදුවේ.
මෙම වනභූමියට ආරක්ෂාව තිබෙනුයේ අදාළ ඉහත පනතින් පමණක්ම නොවේ. මෙරට නීතියේ ක්‍රියාවට නංවා තිබෙන 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධන 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුවද එහි ආරක්ෂාව තහවුරු කර තිබේ. මේ පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වැනි දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුවද අභයභූමියක් තුළ හෝ අභයභූමියක මායිමේ සිට කිලෝමීටර් 100ක ප්‍රදේශයක් ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් හිතුමතේට ඉටු කිරීමට අවසර ලබාදී නොමැත. එහිදී ද පරිසර ඇගැයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතියක් ලබා ගැනීමට පියවර ගත යුතුය. ඒ අනුව බලන කලද මෙම ඉදිකිරීම් අභයභූමියේ සීමාවෙන් පිටත තිබෙන බවට ඇතැම් පුද්ගලයන් පුන පුනා පැවසුවද එයද ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. මන්ද මෙලෙස කිසිදු වගකීමකින් තොරව පුද්ගලයන් පදිංචි කිරීමට පියවර ගනු ලැබූ දේශපාලකයන් හෝ අන් කිසිවකු අදාළ කිසිදු අවසරයක් ගෙන නොමැති බව දැනට ඇති තොරතුරු අනුව පැවසේ. එලෙසම පුද්ගල පදිංචි කිරීම්වලදී ද ලිඛිත පරිසර අනුමැතියක් ලබා ගැනීමට පියවර ගත යුතුය. එයද මෙම පදිංචි කිරීම්වලදී සිදුව නොමැත.


 ඒ ආකාරයට බලන කල මෙම එළිපෙහෙළි කිරීම් මෙන්ම පදිංචි කිරීම්ද මෙරට නීති පද්ධතියෙහි පවතින සියලු පාරිසරික නීතිරීති උල්ලංඝනය වී තිබේ.

මෙරට නීති සම්පාදනයේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ සියලු පරිසර නීති සුරැකීමට අපේ රටේ ආයතන ගණනාවක් තිබේ. ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව වගකීමට, සොයා බැලීමට, වැරදි නිවැරදි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය යන ආයතනවලට ඇත්තේ උපරිම වගකීමකි. 

රටක නීතිරීති පවතිනුයේ කොළයට සීමාවීමට නොවේ. ඒවා වැරදි ඉදිරියේ ක්‍රියාත්මක නොවන්නේ නම් ‍පොත්පත්වල කොතෙක් තිබුණද කවර පලක්ද?

මේ වනවිට විල්පත්තු අභයභූමියෙහි මිනිසුන් පදිංචි කිරීම හරහා නීතිරීති උල්ලංඝනය වීම මෙන්ම පරිසරය විනාශය සිදුවද්දී පදිංචි වූ පුද්ගලයන්ටද මුහුණ දීමට සිදුව තිබෙනුයේ දුෂ්කරතාවලටය. මෙම ප්‍රදේශය අලි ගැවසුම් ප්‍රදේශයකි. ඒ අනුව අනවසර පදිංචිකරුවන්ට දිවි ගෙවීමට සිදුව තිබෙනුයේ අලි ප්‍රහාරවලට ලක්වීමට සිදුවනු ඇති බවට වූ බියෙනි. මෙය රටේ අලි-මිනිස් ගැටුමට නව ප්‍රදේශයක් එක් කිරීමකි. වනාන්තරයේ වෙසෙන සර්පයන් දෂ්ට කිරීම්වලටද මෙම මිනිසුන් බහුල ලෙසට ලක්වන බවටද තොරතුරු වාර්තා වේ. මීළඟට මෙම පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවන ප්‍රබලම ගැටලුව පානීය ජලය ලබා ගැනීමට තිබෙන්නා වූ අතිශය දුෂ්කරතාවයයි. ප්‍රදේශයේ පිහිටි ප්‍රධානම ජල ධාරාව වන මෝදරගංආරු ඔයෙහි ප්‍රධාන ජල ‍පෝෂක ප්‍රදේශය විල්පත්තු උතුරු අභයභූමියයි. එම ජල ‍පෝෂක ප්‍රදේශය මෙසේ සීග්‍ර ලෙස මහා පරිමාණයෙන් එළිපෙහෙළි වීම හරහා ජල ධාරා සිඳීයෑම හමුවේ ඔයෙහි ජල මට්ටම අඩුවීම සිදුවේ. මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ මෙම පදිංචිකරුවන්ට මෙන්ම ඒ ආසන්නයේ සිටින පාරම්පරික පදිංචිකරුවන්ටද පානීය ජලය ලබා ගැනීමට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවීමයි.

වනයේ මෙලෙස ජනාවාස ඉදිකිරීම හමුවේ ඔවුනට යටිතල පහසුකම් ලබාදීමද අභියෝගයකි. එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවනුයේ වන විනාශය ඉහළ යෑමය. උතුරු නැගෙනහිර ප්‍රදේශයෙහි විශාල ලෙසට සිදුවන වන විනාශයන් හා ඒවායේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නිසා දැනට මෙම ප්‍රදේශවල අක්කර 3000ක් පමණ එළිපෙහෙළි කර මිනිසුන් පදිංචි කිරීමට දේශපාලන හෝ වෙනත් සම්බන්ධකම් සහිත පුද්ගලයන් ක්‍රියා කරනුයේ ඒවා සිය බූදලය ලෙස ගෙනය.

මෙලෙස දිගට හරහට එළිපෙහෙළි වනුයේ මෙරට වියළි ප්‍රදේශවල පිහිටි වනභූමියයි. ප්‍රදේශයේ තෙතමනය රැක දීමට සොබාදහම ලබාදුන් දායාදය මෙලෙස සිය පටු අවශ්‍යතා උදෙසා විනාශ කිරීමේ අවසාන ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවනුයේද ඒ මිනිසුන්ටමය. මේ උදෙසා ක්‍රියාත්මක වීමට අප රටේ පවතින පරිසර නීතිය ප්‍රමාණවත් නමුත් ජනතාව මෙන්ම බලධාරීන්ද ඒ පිළිබඳ දැනුවත් නොමැතිකම බරපතළ අවදානමකට අත වැනීමක් බව සියල්ලන්ම තේරුම්ගත යුතුය.

* ඡායාරූප අන්තර්ජාලයෙනි
නයනකේශි විජේකෝන් - රිවිර