Thursday, December 10, 2015

ආදරණීය මානව හිතවාදියා.....

ඡායාරූපය - පීටර් ජෙරම්
අයුක්තියෙන් අශිෂ්ඨත්වයෙන් පරගැතිබවින් මෙරට සිහසුන කිළිටි වූ අසුවේ දශකයේදී එකී පාලනයට එරෙහිව නැගී සිටි මානව දයාවෙ ප්‍රතිමූර්තිය බඳු මිනිසුන් දහස් ගණනින් මරා මහමග හළු කර දැමීය. එකී ධවල භීෂණයටද, ඉන් පසු මෙරට රජවූ භීම සමයටද සමස්ථ සමාජයම ත්‍රාශයෙන් ඇලලී ගියේය. නිහඬතාවය රජකළ යුගයක එය දෙපඵැ කරමින් ඝාතක පාලකයන්ට අභියෝග කරමින් ජූලියස් පූචික් පරපුරේ මිනිසෙකු අභීතව නැගී සිටියේය. පන්හිඳ කගපතක් බවට පත්කරමින් දූෂණයෙන් භීෂණයෙන් පිරි අයුක්තිසහගත පාලනයකට එරෙහිව හෙණ පහරක් බඳු අකුරැ වලින් පත්තර පිටු පිරී ගියේය. ඔහු සුනිල් මාධව ප්‍රේමතිලක නම් සොඳුරැ මිනිසාය.

ජනතාව වෙනුවෙන් හඬ නැගූ වරදට බොහෝ පත්තර කන්තෝරැ වලින් හිස් දෑතින් එළියට බැසීමට සිදුවූ වාර අනන්තය. ජනතාව ගේ අයිතීන් වෙනුවෙන් අකුරැ වලින් සටන් කිරීමට කැට හොල්ලා ජනතාව ගේ ආධාරයෙන් පත්තර කල මිනිසාද ඔහුය. අසත්‍යයෙන් වැසීගිය ලෝක ඉතිහාසය පිළිබඳව සැබෑ වූ යථාර්ථයෙන් මෙරට ජනතාවගේ බුද්ධියට කථාකල මිනිසාද ඔබය. 



සමාජයේ උන්නතිය උදෙසා ජීවිතය දියකළ ඔහු අද ඔත්පළව හුදකලා දිවියක් ගෙවයි. සහෘදකම්. මිනිසත්කම් අගය කරන මිනිසුන්ට සැබෑ මිනිසුන් අතහැර දමා ඉදිරියට යා නොහැක. සුනිල් අයියා අගයන, ඔහුගේ මග ගත් මිනිසුන්ට මේ අවස්ථාව උදාවෙන්නේ ඔහු වෙනුවෙන් තමන්ට හැකි දායකත්වයක් ලබා දීමටය.



අපකළ ඉල්ලීමකට අනුව සෙලාන් බැංකුවේ බත්තරමුල්ල ශාඛාවේ ගිණුමක් ආරම්භ කළේය.


ගිණුම් අංකය :MR SM Premathilake/  Mrs MP Premathilake
1010 34498105-101
Battramulla Branch

දුරකථන අංකය
නිවස : 0112789536
සුනිල් අය්යා: 071 - 1337557
මනෝරා අක්කා : 071 - 8648866

ලිපිනය
සුනිල් මාධව ප්‍රේමතිලක
නො: 26, 
රිචර්ඩ් ද සොයිසා මාධ්‍ය නිවාස සංකීර්ණය,
කොස්වත්ත,
බත්තරමුල්ල.

සටහන - චූලක බණ්ඩාරවත්ත

ඡායාරූපය - පීටර් ජෙරම්


සත්‍යවාදියෙකුගේ දිනපොතින් ........


1986 අගෝස්තු 25


ප්‍රේමය ඉතාමත් සුන්දරයැයි මම සිතමි.එය එසේවූයේ කිසිවෙකුත් මට ප්‍රේමකරන නිසා නොව මා හැම කෙනෙකුටම ප්‍රේමකරන නිසායැයි සිතේ.ආමර් වීදිය හන්දියේ ආමර් බාර්එක අසල බස් නැවතුමේදී අද හවස හමුවූ තරුණියට මම ප්‍රේමකරමි.ඇය මට ප්‍රේමකරනු ඇතැයි මම සිතමි.අප අතරවූ දෙබස මට හොඳට මතකය.



''මහත්තයා බාර් එකේ ඉඳල නේද ආවේ ? වැඩිය බොන්න එපා මහත්තයා.


ඔයා කවුද ? 


අනං මනං කථා වැඩක් නැහැනේ මහත්තයා,මට රු.25.00 ක් දෙන්න.මම මහත්තයා කියන ඕනැම තැනකට එන්නම්''


අවුරුදු 16 කට වඩා වයස නැති ඒ සහෝදරියගේ කතාවෙන් මම පුදුමයට පත්වීමි.
ඇය ඉතා සුන්දරය.ඇය ගණිකාවක් යැයි කිසිම අයුරකින් සිතිය නොහැකිය.මම කිසිවක් කතානොකර ඇයදෙස බලා සිටියෙමි.



''ඇයි මහත්තයෝ බලන්නේ ? මම හොඳ නැද්ද ? '' 



මා පිළිතුරක් දුන්නේ නැත.ගෙදර ගෙනියන්න පොලියට ගත් සල්ලිවලින් රුපියල් විසිපහක් ඇද ඇයට දුන්නෙමි.ඇයද කිසිවක් කතාකළේ නැත.ඇගේ දෙනෙතේ කඳුළු පිරී ඇතිබව මම දුටුවෙමි.
දිවයිනෙන් වරින්වර අයින්වෙන්නට සිදුවුවත් ආමර් වීදියේදී මා ලැබූ අත්දැකීම්වල අපූරු සුන්දරත්වයක් තිබිණ.ආමර් වීදිය මගේ ජීවිතයේ කොටසක් බවට පත්වූයේ ඒ සුන්දරත්වය මා වින්ද නිසාය.ආමර් බාර් එකට ගොස් හුදකලාවේ අඩියක් ගසද්දී බොහෝ කලකට පෙර ලැබූ අත්දැකීම් මෙසේය.

- ප්‍රවීන මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක -


Friday, December 4, 2015

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "



"THE STONING OF SORAYA M"

ඔබත් අනිවාර්යෙන්ම මේ සිනමා කෘතිය නරඹන්න 

මේ මිලේච්ච සංස්කෘතියට එරෙහිව ඔබේ පළමු ගල ගසන්න ..!!!

Dont act like the hypocrite 

who thinks he can conceal his wiles 

while loudly quoting the Koran


වසාලන්නට තම කපටිකම්

කුරානය උපුටා දක්වමින්

කුහකයෙකු සේ

රඟනු කුමටද


14 වන සියවසේ ඉරානයේ විසු හෆේස් නම් කවියෙකුගේ පදමාලාවකින් මේ සිනමා කෘතිය ආරම්භ වේ. මේ උදෘතය තුලම මේ අනුවේදනීය කතාවම රැඳී ඇත. "සිරගතව සිටින අප සියල්ලම වැරදි නම් ඉන් පිටත සිටින සියල්ලන්ම  නිවැරදිද " මේ මැගසින් බන්ධනාගාරයේ නාඳුනන සිරකරුවෙකු ලිවූ වදනකි. මේ සිනමා සිත්තම තුලද එවැනිම මහා ගැඹුරක් ඇති දෙබසක් මා දුටුවෙමි. මේ කතාංගයේ ගල් ගසා මරාදමන සොරායා ගේ නැන්දනියවන සහ්රා මෙසේ අසන්නේය...

" කාන්තාවන් සියල්ලන්ම වැරදි නම් පිරිමි පමණක් නිවැරදිද ? "




මිත්‍යාදෘෂ්ඨික ජනයා තම ඇදහීම් 
තුලින් මනුෂ්‍යත්වය කීතු කීතු වලට
 ඉරා වනසා දමන අයුරු
 "THE STONING OF SORAYA M" 
චිත්‍රපටය අධ්‍යක්ෂ Cyrus 
Nowrasteh සමත් වී ඇත.





එමෙන්ම පුරුෂාධිපත්‍යට යටත් වූ  පසුගාමී සමාජ වටපිටාවක   කාන්තාවන් ගේ ඉරණම ඉතා  අසාධාරණ ලෙස විසඳෙන අයුරු   සිනමාවට නගා ඇත්තේ සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙනය. 
ප්‍රංශ ඉරාන සාහිත්‍යවෙදියෙකු වූ Freidoune Sahabjam විසින් රචිත  THE STONING OF SORAYA නවකතාව ලෝකයේ අලෙවි වාර්තා  තැබූ පොතකි. එම සිදුවීම් මාලාව අලලා ඉරාන සිනමාව ලොවට දායාද කල මහා ආදර්ශමත් මෙන්ම හද සසලවන සිනමා නිර්මාණයකි මේ.

(ආ)ත්මය( ග)ලවා ගැනීමේ (ම)ග වූ ආගම දඩමීමා කරමින් තමන්ගේ පටු  පවිටු චේතනා ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මෙවන් නීච සිදුවීම් ලොව පුරා බොහෝ රටවල සිදුවේ. අද දිනයේ අයෙකුට මවක් සහෝදරියක්  පෙම්වතියක් මිතුරියක් වූ අපේම ගැහැනියක් සෞදී අරාබියේ මොලේ නැති කාලකන්නින්ගේ ශාරියා නම් ගල් යුගයේ නීතියට යටත් කරමින්  මෙලෙසම මරා දමනු ඇත.






උපුටා ලන්නා ලද්දේ චූලක බණ්ඩාරවත්ත සොයුරාගෙ 'රතු වැස්සෙනි'.......



චිතුපටය නැරඹීමට මේ ලින්ක් ඔස්සේ පිවිසෙන්න...... 





ඉතිහාසයේ සැබෑ වීරවරයන්



ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් ඉස්‌මතු වන හුදු දැවැන්ත දැන්වීම් පුවරු වීරයන්ගේ මතකය ඔවුන් බලයෙන් පහව යැමෙන් පසුව ගිලිහී යන නමුත් සැබෑ යුගපුරුෂයන් ගේ මතකය, නිලඹර දිදුලන තාරකාවන් සේ යුගයෙන් යුගයට හා පරම්පරාවෙන් පරම්පරාවට ආලෝකය ලබාදෙමින් හා දිශානතිය සනිටුහන් කරමින් දීර්ඝ කාලීනව පවතී. 

මේ එවන් මිනිසෙකු ගැන විවරණයයි ....
 
ජුලියස් පුචික්  

ජුලියස් පුචික් යනු ලොව මෙතෙක් බිහි වූ අග්‍රගන්‍ය පුවත්පත් කලාවේදියෙක් මෙන්ම නොබියව පැසිසිට්වාදයට එරෙහිව සිය පන්හිඳ එසවූ මාකස්වාදී දේශපාලන ක්‍රියාකරුවෙකි. 1903 පෙබරවාරී 23 වෙනි දින චෙකොස්ලෝවැකියාවේ දිළිඳු කම්කරු පවුලක ඔහු උපත ලැබීය.

ඔහුගේ ලේඛන හැකියාවන් ඔප් නැංවුයේ දොළොස් හැවිරිදි වියේදීය. එවකට චෙකොස්ලෝවැකියාවේ පැවැති කොමියුනිස්ට්වාදී " වහලා " නම් පුවත් පතට ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කළේය. වසර විස්ස වන විට ඔහුගේ ජීවිතය පුර්ණකාලීන දේශපාලනයට යොමු විය. චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ දීප්තිමත් ක්‍රියාකරුවෙකු ලෙස පක්ෂය තුළ ප්‍රසාදයට ලක් විය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ප්‍රාග් විශ්වවිද්‍යාලයට බැඳෙමින් ජනමාධ්‍යවේදී උපාධිය හිමි කර ගත්තේය. ඉන් පසුව ජනතාව අතර ඉමහත් ජනප්‍රියට පත් වූ සඟරා කිහිපයකත් , Rudé právo ("Red Law") නම් සමාජවාදී පුවත්පතේ කතෘ වරයා ලෙසත් කටයුතු කළේය.

පක්ෂයේ තවත් දේශපාලන ක්‍රියාකාරිනියක් වූ ගුස්ටා පුචිකොවා සමග ජුලියස් පුචික් 1938 දී විවාහ වීය. එම වසර ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසරද විය. එවකට පැවැති ධනේශ්වර පාලනය ඔහුගේ පක්ෂය වූ චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය තහනම් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස රහසිගත දේශපාලනයට ඔහු ඇතුළු පක්ෂ නායකත්වය තල්ලු කරනු ලැබීය.

1939 නාසි ජර්මානුවන් චෙකොස්ලෝවකියානු අගනුවර ආක්‍රමණය කිරීමත් සමගම පළමුවෙන්ම දඩයමට ලක් වුයේ කොමියුනිස්ට්වාදීන්ය. නාසි පොලිසිය වූ ගෙස්ටාපෝ ඒකකයේ ප්‍රධානතම ඉලක්කය වුයේ කොමියුනිස්ට්වරුන්ය. නාසි ආක්‍රමණයට එරෙහිව ඔහු දිනෙන් දින ජනතාව දැනුවත් කරමින් සිය අවිය බඳු පන්හිඳ බිම නොතැබුවේය. තහනම් දේශපාලනය තුළද Rudé právo ("Red Law") පුවත්පත මුද්‍රණය කිරීම නොකඩවා කරගෙන ගිය ජුලියස් , පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් විය. නාසි ජර්මානුවන්ගේ අමානුශිකත්වයට එරෙහිව ජනතාවගේ පරමාර්ථ දිනවීමට දිවි පරදුවට තබමින් ඔහුගේ ලේඛන කටයුතු කරගෙන ගියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු අව්‍යාජ කොමියුනිස්ට්වාදියෙකු විය.

පක්ෂයේ රහසිගත මුද්‍රණාලය තුළ දී 1942 අප්‍රේල් 24 දින ඔහු ඇතුළු තවත් හය දෙනෙකු නාසි ගෙස්ටාපෝ පොලිසියට හසුවිය. අනතුරුව ඔහු Pankrác සිපිරිගෙය තුල සිරකළේය. එහිදී මිනිසෙකුට විඳිය නොහැකි දරුණු වධ හිංසාවලට ඔහු ලක් කළේය. එහෙත් විප්ලවවාදී සදාචාරය රකිමින් තමාගේ දේශපාලන ව්‍යාපාරයත් එහි සගයිනුත් ඔහු ආරක්ෂා කළේය. වධකාගාරය තුළදීද ඔහු ලිවීම අත් නොහළේය. Notes from the Gallows හෙවත් " පෝරකයේ සටහන් " නම් සුප්‍රකට ග්‍රන්ථයට පාදක වුයේ ඔහු වධකාගාරය තුළ මරණය පෙනී පෙනී ලිවූ සටහන්ය. ජුලියස් එම රචනා සටහන් කළේ සිගරට් පෙට්ටිෙවල ඇති කුඩා තීරු මතය. පසු කාලීනව ලුයිජි නෝනෝ විසින් Notes from the Gallows නමින් ඔහුගේ සියලු සටහන් ලෝකයේ යුක්තිගරුක මිනිසුන්ගේ , සත්‍ය ගවේෂණය කරන පුවත්පත් කලාවේදීන්ගේ පරමාදර්ශය ලෙස අගනා කෘතියක් නිර්මාණය කළේය.

1943 දී ඔහු චෙකොස්ලෝවැකියාවේ සිට ජර්මනියේ බර්ලින් නගරයට රැගෙන ආවේය. ඔහුට එල්ලකළ ප්‍රධානතම චෝදනාව වුයේ නාසි ජර්මානු පාලනයට එරෙහි පුවත් ලිවීම හා රහසිගත කොමියුනිස්ට් ව්‍යාපාරයක ක්‍රියාකරුවෙකු වීමය. අධිකරණය ඉදිරියේදී නිර්භීතව නාසි පාලනය විවේචනය කළ ජුලියස් පුචික් , පුවත්පත් කලාවේදීන් යනු පාලකයන්ගේ සට්ටම්බියන් නොවන බව ලොවට පෙන්වීය. මරණය තෙක්ම ජනතාවගේ යහපත් හෙට දිනක් වෙනුවෙන් පෙනීසිටි ඔහු මෙන්ම සිය දේශපාලන සගයා වූ ජරස්ලෝව් ක්ලේකාන් සමග 1943 සැප්තැම්බර් 8 වන දින එල්ලා මරාදැමීය.

නාසි ජර්මානුවන්ගෙන් නිදහස් වූ චෙකොස්ලෝවකියාව පුර්ණ සමාජවාදී රාජ්‍යක් බවට පත් විය. ඉන් අනතුරුව ජුලියස් පුචික් එරට ජනතා වීරයෙක් බවට පත් විය. එරට පාලනය හෙබවූ කොමියුනිස්ට් පක්ෂයේ සංකේතය බවට ජුලියස් පුචික් පත් විය.

උපුටා ගන්නා ලද්දේ - චූලක බණ්ඩාරවත්ත සොයුරාගෙ රතු වැස්සෙන්..........

Wednesday, December 2, 2015

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය...



වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය නව මගකට යොමුකරමින් කුඩා දරුවෙකු මෙලොවට ජනිත විය. ගාලුස්‌ සීසර් ට හා අවුරේලියා යුවලට දාව උපත ලද ඔහු ජුලියස් සීසර් නම් විය. උපතේදී තම මවගේ උදරය කපා මෙලොවට බිහිකිරීමට සිදුවීමෙන් අනතුරුව වර්තමානය තෙක් එය නම් කර ඇත්තේද සීසේරියන් සැත්කම ලෙසය. ජුලියස් සීසර් ක්‍රිස්‌තු පූර්ව 100 වැනි වර්ෂයේ රෝමයේ, සුදුර නමැති නගරයේ උපත ලැබූ බවට අනුමාණ කෙරේ.

අද මෙන්ම එදාද බොහෝ පිරිසකගේ ජීවනෝපාය වුයේ දේශපාලනයයි. සීස්ර්ටද තම දෙමාපියන්ගෙන් ලැබුණු වත්කමක් නොවූ හෙයින් 16 හැවිරිදි වියේදීම රෝම දේශපාලනයට අවතීර්ණ විය. ක්‍රමයෙන් ග්‍රීක වහල් හිමි සමාජය තුළින් ඉස්මතු වූ සීසර්, එම පාලනයේ මුදුනටම ළඟා වුයේ රණශුර වික්‍රමයන්ගේ ප්‍රතිඵලය තුළිනි. ඔහුගේ ජීවිත කාලය තුළදී රෝම ජනතාවගෙන් බොහෝ ගරු බුහුමන් ලැබුණි. ඒ මක් නිසාද යත් පාලකයන්ගේ කුරිරු බව ඉදිරියේ වැසියන් නැගී සිටීමට වඩා වහලුන් වන නිසාය. අවනත වීම හැර කිසිදු විකල්පයක් ආඥාදායක පාලනයක් තුළදී ජනතාවට නොමැත. එයට එරෙහිව නැගී සිටින්නේ නිර්භයත්වයෙන් පිරිපුන් මිනිසුන් පමණි. එවන් මිනිසුන් ඉතිහාසයේ වීරයන් බවට පත් වේ.

පුරාණ රෝමයේ කැලැන්ඩරයට අනුව ඔහු උපත ලැබූ මාසය හැඳින්වූයේ ක්‌වින්ටිලිස්‌ ලෙසය. නමුත් එම මාසය සීසර් ගේ නම ඉතිහාස ගත වීමට ජුලි නමින් වෙනස් විය. හරියටම විදේශ බැංකුවලින් ගිනි පොලියට ණය ගෙන ඒවා ජනතාව මත බදු පිට බදු ගසා තමන්ගේ නම් ගුවන් තොටුපළවල් , වරායවල් , පාසැල් වලට දමනවා සේ එදා ජුලියස් සීසර්ලාද තමන්ගේ නාමය බැබලවීමට බොහෝ දේ කර ඇත. සීසර්ගේ පෙලපත රෝමයේ රදල පංතියට අයත් විය. එහෙත් ඔවුන් හතරවැනි ශතවර්ෂයේදී පොදු ජනතාව සමග ඒකාබද්ධ වූහ. පොදු ජනතාව බොහෝ විට පාලකයන් සමීප කරගනු ලබන්නේ ඔවුන් ඔසවා ගෙන යන දෝලා කරුවන් ලෙසය. පුරාණ රෝමයේද එය එසේම සිදු විය.
ලොව තම අනසකට නතුකොට තිබු සීසර් ගේ අවසානය සිදුවන්නේද බොහෝ ආඥාදායකයන්ට සිදු වූ පොදු සිදුවීම් මාලාවකිනි. ඔහුගේ මරණය පිළිබඳව මහා කවි විලියම්  ශේක්ස්පියර්  ලියූ ජුලියස්‌ සීසර් නාට්‍යයේ මෙසේ ලියා ඇත.

ශාස්‌ත්‍රකරු - සීසර් උතුමාණෙනි,

සීසර් - මා අමතන්නේ කවුද?

ශාස්‌ත්‍ර කාරයා - (සීසර් අමතමින්)


මාර්තු 15 වැනි දා ප්‍රවේශම් වන්න, උතුමාණනි.

බෲටස්‌ - ඔබ මාර්තු 15 වැනිදා ප්‍රවේශම් විය යුතු බව ශ්‍රාස්‌ත්‍රකරුවෙක්‌ පවසයි.

සීසර් - ඔහු මා හමුවට පමුනුවන්න. මට ඔහුගේ මුහුණ බලන්නට සලස්‌වන්න.

කැෂියස්‌ - (මිත්‍රයා, රැස්‌කකා සිටිනා) ජනයා අතරින් ඇවිත් සීසර් දෙස බලන්න. 

සීසර්- ඔබ දැන් මට මොනවද කීවෙ? එය නැවතත් කියන්න.

ශාස්‌ත්‍රකාරයා - මාර්තු 15 වැනිදා ප්‍රවේශම් වන්න උතුමාණනි. 

සීසර් - ඔහු දවල් හීන දකිමින් කාලය නිකරුණේ ගතකරන්නෙක්‌, අපි ඔහු අතහැර දමමු. ඔහු ගියාවේ.

මාර්තු 15 වැනිදා උදා විය ...

(සෙනෙට්‌ සභාව බලා යමින් සිටි සීසර් අතරමගදී හමුවූ ශාස්‌ත්‍රකරු 

අමතමින්)

සීසර් - ඇයි මට ප්‍රවේශම් වෙන්න කියා බොරු කියන්නේ? ඔබ කිවූ 


දිනයත් අද උදාවෙලා.

ශාස්‌ත්‍රකරු - උදාවුණාට තවම දවස ගතවුණේ නැහැ, උතුමාණනි.

සර්විලස්‌ කැස්‌කා විසින් දෙන ලද ඔත්තුවකට අනුව සීසර්ට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති බව මාක් ඇන්ටනිට දැනගන්නට ලැබුණි. සීසර් ඝාතනය කිරීමට සුදානම් වූ පිරිසට තිබු එකම අභියෝගය වුයේ මාක් ඇන්ටනී සටනට පිවිසේ යයි යන අනියත බියයි.

 ඇන්ටනී සෙනෙට්‌ සභාවට පිවිසීම වැලක්වීම පිණිස හැඩි දැඩි ට්‍රෙබෝනියස්‌ යෙදවීමට තීරණය විය. කුමන්ත්‍රණය දියත් වුයේ සීසර් සෙනට් සභාවට පිවිස අසුන් ගැනීමෙන් පසුවය . රටින් නෙරපා සිටි තම සහෝදරයා වෙනුවෙන් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ටිලුස්‌ සිම්බර් ජුලියස්, සීසර් ගේ ඉදිරියට පැමිණ ආචාර කරමින් දනින් වැටුණි . ටිලුස්‌ට සහය පිණිස සේ සෙසු කුමන්ත්‍රණ කරුවන්ද වහාම ඉදිරියට පැමිණියේය. සිම්බර් වහාම නැගිටිමින් සීසර්ගේ "ටියුනික්‌" කබාය පහතට ඇද දැමීය. එවිටම කෙටි කඩුව ඇඳගත් කැස්‌කා එය සීසර්ගේ ගෙලට එල්ල කරමින් සීසර් යටත් කරගත්තේය. බෘෘටස්‌ ඇතුළු කැස්‌කාගේ පිරිස සීසර්ට පිහි පහර 23 ක් එල්ල කල අතර , රෝමය පමණක් නොව අවට සියලු රටවල් තම ආඥාදායක බලයෙන් යටපත් කර සිටි මිනිසෙකු කිසිවෙකුගේ පිහිටක් නොමැතිව ලේ විලක් මත මැරී වැටුණි.


ඉන් පසුව බෲටස්‌ ඔහුගේ අනුගාමිකයන්ද පිරිවරාගෙන අගනුවර දෙසම ගමන් ආරම්භ කොට "රෝම වැසියෙනි, අපි නැවතත් නිදහස්‌ ජනතාවක්‌" යනුවෙන් ඝෝෂා කරන්නට විය. නිවස තුළට වී එතෙක්‌ කල්ගත කළ ජනතාව මෙම ඝෝෂාව කුමක්‌දැයි විපරම් කළ විට සීසර් ඝාතනය කිරීමේ ප්‍රවෘත්තිය ලැව් ගින්නක්‌ සේ පැතිර ගියේය.

සීසර්ගේ භූමදාන අවස්‌ථාවේදී රැස්‌ව සිටි රෝම ජනතාව අමතා කතා කළ ප්‍රථම කථිකයාගේ කථාව එහි සිටි සියලුම දෙනාගේ හදවත් සසල කිරීමෙහි සමත්විය.

එම කථිකයා නම් සීසර්ගේ සමකාලීන සෙනෙට්‌ මන්ත්‍රීවරයකු වූ මාර්ක්‌ ඇන්ටනිය. මා මෙහි පැමිණියේ සීසර් වළ දැමීමට මිස ඔහු ගැන ප්‍රශංසා කිරීමට නොවේ. එහෙත් අප විසින් කරනු ලබන වැරැදි ක්‍රියා අප සමග වැළලී යන අතර අපගෙන් සිදුවන යහපත් ක්‍රියා සදාකාලිකවම පවතින්නේ යෑයිද එය අප හැම දෙනා විසින්ම ඉතා හොඳින් සිත්හි තබාගත යුතුව ඇතැයිද යනුවෙන් ඔහු දීර්ඝ කතාවක්‌ කළේය. 


මාක්‌ ඇන්ටනීගේ මෙම කතා විලාශය කථිකයන් පුහුණු කිරීමේ විෂය මාලාවේදී දැනටද ප්‍රයෝජනයට ගනු ලැබේ.

සටහන
- චූලක බණ්ඩාරවත්ත - 
(චූලක අයියගෙ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තෙ....)