Monday, September 7, 2020

නටබුන් මැද වැජඹෙන මැණික්දෙණ අරම



 නටබුන් මැද වැජඹෙන මැණික්දෙණ අරම

මාතලේ දිස්ත්රික්කයේ කන්දපල්ල කෝරලයේ වග පනහ පල්ලේසිය පත්තුවෙහි 39 වෙනි සැතපුම් කණුව අසල පන්නම්පිටිය මංසන්ධියේ සිට මැණික්දෙණ පබ්බත විහාරය සැතපුම් එකක පමණ දුරින් පිහිටා ඇත. පුරාවිද්යාත්මක සාක්ෂි හා වංශකථා තොරතුරු අනුව ක්රි.ව. 5 වන සියවසේ දි පමණ මෙම සංඝාරාමය ආරම්භ වී 12 වන සියවස දක්වා පවතින්නට ඇතැයි යන්න සඳහන්ය.

චෛත්ය, බෝධිඝරය, පටිමාඝරය (පිළිම ගෙය, ප්රතිමා ගෘහය) හා උපෝසථඝරය (පොහොය ගෙය) යන ප්රධාන ආගමික ගොඩනැගිලි හතරකින් සමන්විත පවුරකින් වට ආරාම සංකීර්ණයක් පබ්බත විහාර ලෙස හැඳින්වේ. එසේම ඊට පිටතින් ස්වාභාවික හෝ කෘත්රිමව සකස් කළ ජල මාර්ග ද භික්ෂු නේවාසිකාගාර, භෝජන ශාලා, ජලස්නානගෘහ හා වැසිකිළි කැසිකිළි ද වෙනත් ඉදිකිරීම් ද මෙම ආරාම සංකීර්ණයේ සැලසුමෙහි අන්තර්ගතය. පබ්බත විහාරය හෝ පබ්බත ආරාමය (Rock-Monastery or Mountain Temple) පවත විහර, පව් වෙහෙර, ගිරි වෙහෙර යනාදි නම් වලින් හැඳින්වූ අතර සංස්කෘත වචනයක් වූ පර්වත යන්න පාලියෙන් පබ්බත ලෙස ද සිංහලෙන් පව් වශයෙන් ද අර්ථ ගැන්වේ.

එකල පැවති බෞද්ධ සංඝාරාමයක ස්වභාවය පිහිටි භූ භෞතික පරිසර පද්ධතිය හා එහි පාරිසරික ලක්ෂණ පිළිබඳව අධ්යයනය කිරීමට මැණික්දෙණ ආරාම සංකීර්ණය ඉවහල් වේ. සෙල්ලිපි හා සාහිත්යමය සාධක අනුව අතීතයේ දී මැණික්දෙණ හඳුන්වනු ලැබ ඇත්තේ බුද්ගම් වෙහෙර, බුද්ගමු වෙහෙර, බුද්ධගාම විහාර හා බුද්ගමිය යනුවෙනි.

මැණික්දෙණ ආරාම සංකීර්ණයේ සැලැස්ම උපයෝගි කොට ගෙන ලංකාවේ බෞද්ධ සංඝාරාම සැලසුම්වල පබ්බත විහාර ආශ්රිත සැලසුම්හි ඇති සුවිශේෂි ලක්ෂණ අධ්යයනය කළ හැකි අතර නාගරික හා ප්රාදේශීය වශයෙන් පබ්බත විහාර පුරාවිද්යාත්මක මූලාශ්ර වශයෙන් ඇගයිය හැකිය. අනුරාධපුරය අවට තොළුවිල, විජයාරාමය, වෙස්සගිරිය, පුලියන්කුලම හා පාචීනතිස්සපබ්බතාරාමය ආදි ස්ථාන නාගරික වශයෙන්ද රුහුණේ මඟුල් මහා විහාරය, දෙමටමල් විහාරය, සීගිරිය, පිදුරංගල, කළුදිය පොකුණ, දඹුල්ල, දෙහිගහඇලකන්ද, කිරලැස්ස, මහානාග පබ්බතාරාමය හා මැණික්දෙණ ආදි විහාරයන් ප්රාදේශීය වශයෙන් ද දැක්විය හැකිය.

සෙනරත් පරණවිතානයන් දක්වන පරිදි අනුරාධපුර නුවර වැව සමීපයෙහි පිහිටි පාචීනතිස්සපබ්බත ආරාමය, පබ්බත විහාරයක් ලෙස ප්රථම වරට පුරාවිද්යාත්මක මුලාශ්රයක් තුළින් හඳුනාගත් ආරාමයයි.

මැණික්දෙණ ග්රාමීය වූ ප්රාදේශීය ස්ථානයක පිහිටිය ද එය ගොඩ නැංවීමට එකළ පැවති දේශපාලනික, සාමාජික හා ආගමික පාරිසරික තත්ත්වයන් බලපාන්නට ඇත. ඇතැම් විට සීගිරිය සමීපව මෙම ස්ථානය පිහිටීමත්, පිදුරංගල, දඹූල්ල, කළුදිය පොකුණ හා මහානාග පබ්බත විහාරය ඇතුළු සංඝාරාම රැසක් සමකාලීනව බිහිවීමත් ඊට හේතුවන්නට ඇත.

වචනාර්ථයෙන් ගත් කළ පර්වතයක් ඇසුරු කොට ගෙන පබ්බත විහාර නිර්මාණය කළ ද පබ්බත හෝ කඳු ශිඛර ඇසුරු නොකර තැනිතලා භූමිවල ඉදිකළ විහාර ද දක්නට ලැබේ. අනුරාධපුරයට නැගෙනහිරෙන් පිහිටි පාචීනතිස්සපබ්බත විහාරය හා සීගිරිය අසල මහානා පව් වෙහෙර එසේ ඉදිකළ විහාරයන්ය.

ලාංකීය බෞද්ධාගමික කේන්ද්රස්ථානය වූ අනුරාධපුර මහාවිහාරය, පබ්බත විහාරයන්හි සැලසුම්ගත ගොඩනැගිලි ඉදිවීමට ප්රථම ගොඩනැගුණි. මහාවිහාරය මෙරට ස්ථාපිත මුල්ම ආරාමය වූ අතර අනුරාධපුරය කේන්ද්රෙකාට ගෙන බිහි වූ අභයගිරිය හා ජේතවනාරාමය ද මුල් කාලීන ආරාම සැලසුම්වලට අයත්ය.

මහාවංශයේ පබ්බත විහාර හා එම විහාර කරවූ පුද්ගලයන් සම්බන්ධව කරුණු අන්තර්ගත වේ. ඒ අනුව කනිට්ඨ තිස්ස රජු (ක්රි.ව. 164-192) නැඟෙනහිර ගඟ රාජියෙහි අනුල තිස්සපබ්බත විහාර කරවූ බව ද පළමුවැනි දෙටුතිස් රජු (ක්රි.ව. 266-276) ථූපාරාමයේ තිබූ ගල් පිළිමයක් පාචීනතිස්සපබ්බත විහාරයේ පිහිට වූ බව ද සිවුවැනි කාශ්යප රජු කල (ක්රි.ව. 898- 914) සේන නම් මහලියන්නා විසින් මහාලේඛ පබ්බත නමින් විහාරයක් කර වූ බව ද දෙවැනි සේන රජුගේ (ක්රි.ව. 857-887) සංඝා නම් මෙහෙසිය විසින් සංඝසේන පබ්බත විහාරය ද දෙවැනි දප්පුල රජුගේ (ක්රි.ව. 815-831) මෙහෙසිය ජයසේන නම් පබ්බත විහාරක් ද යනාදි වශයෙන් රාජකීය අනුග්රහ මත රජ මෙහෙසියන්, ඇමතියන් සහ වෙනත් ප්රභූන් විසින් විහාර කර්මාන්ත කළ බව සඳහන්ය.

පබ්බත විහාරවල පිහිටි චෛත්යවල විශේෂ ලක්ෂණයක් වූයේ ඒවා එතරම් විශාල නොවූ කුඩා ප්රමාණයේ වීමත් උස් හතරැස් මළුවක් මත චෛත්ය ඉදිකිරීමත්ය. මැණික්දෙණ ස්තූපය ද සතරැස් මළුවක් මත ගොඩ නගා ඇති අතර එම මළුව ගඩොලින් නිමවා ඇත. මෙහි උතුරු සහ නැගෙනහිර සීමාව බොරදම් වලින් යුක්තය. දකුණු බැම්ම සකස් කොට තිබෙන්නේ ගල් පුවරු හා ගඩොලිනි.

1964- 65 වර්ෂවල සිදුකළ කැණිම් වාර්තාවේ චාල්ස් ගොඩකුඹුර දාගැබ් මළුවෙහි නිර්මාණය පිළිබඳව දක්වා ඇති විස්තරය අනුව “මළුවට ඇතුළුවීම සඳහා සිවුදිගින් ම දොරටු තිබී ඇති නමුත් පසු කාලයක දී නැගෙනහිර දොරටුව ගඩොළු බැම්මකින් වසා දමා ඇත. මේ බැම්මෙන් අඩි තුනක් පමණ උස කොටසක් නිරුපද්රිතව තිබේ. උතුරු දකුණු හා බටහිර පැතිවල එකක පඩි කඳන් 10 බැගින් ඇති දොරටු ඇත. මෙකී දොරටු තුනේ ම මුරගල් ඇතත් සඳකඩපහණ ඇත්තේ දකුණු හා බටහිර පැතිවල පමණි. බටහිර පැත්තේ මුරගල් පරිස්සම් වී ඇත. එහෙත් අනික් පැත්තේ මුරගල් කැඩිලාය.” යනුවෙන් සඳහන් කර ඇත.

මෙහි චෛත්ය ගර්භයේ පේසා මට්ටම දක්වා කොටස් ශේෂ වී ඇති අතර දාගැබේ මුල සිට අඩි 4 ක් පමණ උසට වැලි කොන්දේ ගල් ආරක්ෂා වී තිබේ. දාගැබේ පතුලේ එක් කොටසක හුණු බදාමය තිබුණු ලකුණු දක්නට ලැබේ. මැණික්දෙන දාගැබේ 1964 දී කළ කැණීමේ දී එහි ධාතු ගර්භය පිළිබඳ පරීක්ෂා කිරීමට අඩි 15 ක් පමණ ගැඹුරට කණින ලදී.

එහෙත් බෝධිඝර විවිධ සැලසුම් වලින් යුක්ත වූ අතර ඒවා සතරැස්, වෘත්තාකාර හා බහු අශ්ර යනාදි වශයෙන් විද්යාමාන විය. මේ අතරින් මැණික්දෙණ බෝධිඝරය වෘත්තාකාර ස්වභාවයක් ගනී. එය ඉතා විශිෂ්ට නිර්මාණයකි. බෝධිඝරය වූ කලී, බෝධි වෘක්ෂයක් වටා ඉදි වූ ගොඩනැගිල්ලකි.

බුද්ධ ප්රතිමාව තැන්පත් කිරීම සඳහා තනන ලද ගොඩනැගිල්ල පිළිමගෙය ලෙසින් ද වර්තමානයේ දී බුදුගේ, විහාරගේ යනුවෙන් ව්යවහාර වන අතර පටිමාධාර, බිම්බාලය හා පටිමා ඝර යනුවෙන් ද හඳුන්වයි.

මැණික්දෙණ පිළිමගෙය ගන්ධ කුටි සම්ප්රදායේ සතරැස් ගර්භ ගෘහයක් හා ඉදිරිපසින් නෙරා සිටින අන්තරාලයකින් ද යුත් පිළිම ගෙයකට කදිම නිදසුනකි. දිගින් මීටර් 21 ක් ද පළලින් ගර්භ ගෘහය මීටර් 12 ක් ද අන්තරාලය මීටර් 9 ක් ද වූ මෙහි ගඩොළුමය බිත්තියක් සහිත මළුවකින් යුක්තය. ගොඩැල්ලක් සහිත වූ මේ ස්ථානය පිළිමගෙයක් ලෙස හඳුනාගෙන 1970 දී කැණිම් සිදුකර තිබේ. පිළිමගේ වටා රැස්වන වර්ෂා ජලය බැස යාමට බිත්තියේ නැගෙනහිරින් හා බටහිරින් හුණුගලින් කළ පීලි කාණු දෙකක් යොදා ඇත.

පෝයගෙය, උපෝසථඝරය (Chapter house) නමින් හැඳින්වෙන මෙය ආරාමයක ඉදිවු මුල්කාලීන ගොඩනැගිලි වලින් එකකි. ලෝවාමහාපාය ලක්දිව ඉදි වූ මුල්ම උපෝසථ ගෘහයයි. සංඝ සමාජයේ අවශ්යතාවන් උදෙසා ගොඩ නැගුණු මෙහි භික්ෂූන් පසළොස්වක පෝයදා සහ මාසෙපෝය දින විනය කර්ම සඳහා රැස්වු ශාලාව පොහොය ගෙය ලෙස මහාවංශයේ සඳහන්ය. පබ්බත විහාරයක ප්රධාන ආගමික ගොඩනැගිලි අතර උපෝසථඝරයට සුවිශේෂි තැනක් හිමිවේ. ඉදිරිපස ප්රධාන දොරටුව සහිතව සමකෝණාශ්ර හෝ චතුරශ්ර වේදිකාවක දැවැන්ත ගල් කණු මත දෙමහල් හෝ මහල් කීපයකින් යුතුව මෙම ගොඩනැගිල්ල ඉදිවී ඇත.

1965-66 කාල වලදී චාල්ස් ගොඩකුඹුර කැණීම් විස්තරයෙහි දක්වා ඇත්තේ මැණික්දෙණ පෝය ගෙය ශේෂ වී පවතින නිර්මාණ ලක්ෂණ අනුව දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස පවතින්නට ඇති බවයි. ගඩොළුමය පේසාවන් දෙකකින් යුතුව බිම් මට්ටමේ සිට මීටර් 1 ක් පමණ වේදිකාවක් මත ගල් කණු සිටුවා මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ. දිග අතට ගල් කණු 8 ක් හා පළල අතට ගල්කණු 6 ක් යොදා ගල්කණු 48 ක් භාවිත කොට නිර්මාණය කර ඇති මෙහි එක් ගල් කණුවක් උසින් මීටර් 4 ක් පමණ වේ.

මැණික්දෙණ ආරාම සංකීර්ණය පංචායතන සැලැස්මට බොහෝ දුරට සමාන බව කියැවේ. එනම් මෙහි ආගමික ගොඩනැගිලි 5 ක නටබුන් උස් වේදිකාවක දක්නට ලැබීම හේතුවෙනි. මෙහි චෛත්ය ඊසාන දිගින් ද ප්රතිමා ගෘහය ගිනිකොනෙන් ද පොහොය ගෙය නිරිතෙන් ද බෝධිඝරය වයඹින් ද මෙම ගොඩනැගිලිවලට මධ්යයේ සභා ශාලාව ද පිහිටා තිබේ.

ප්රධාන පූජනීය ගොඩනැගිලි සතර මධ්යයේ ඇතැම් පබ්බත විහාරවල සභා ශාලාවක් ඉදිකොට තිබේ. මැණික්දෙණ පිහිටි සභා ශාලාවෙහි සැලැස්ම සතරැස්ව දක්වා ඇති අතර එහි සිවු පසින් දොරටු නිමවා ඇත. එම ශාලාව මධ්යයෙහි ප්රධාන භික්ෂුව සඳහා වෙන්කළ යැයි සඳහන් වේදිකාවක නටබුන් ශේෂව පවතී. මෙම ගොඩනැගිල්ල භික්ෂුන්වහන්සේලාගේ විනය කර්ම ආදිය සඳහා රැස් වූ ශාලාව ලෙස සඳහන්ය. එමෙන්ම එකවර භික්ෂූන් වහන්සේලා 90 කට පමණ පහසුවෙන් සිටිය හැකි ශාලාවක් යැයි විද්වතුන්ගේ මතයයි. මැණික්දෙණ ආශ්රිතව සිදුකරන ලද ගවේෂණ හේතුකොට ගෙන කුටි 96 ක් පමණ හඳුනාගෙන ඇත. මේ අනුව අධික භික්ෂූ සංඛ්යාවක් මෙහි සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.

මෙවැනි භික්ෂු පිරිසක් සඳහා සහ විහාර නඩත්තුව පිණිස විශාල ධනස්කන්ධයක් අවශ්ය විය. මහාචාර්ය සිරිමල් රණවැල්ල දක්වන පරිදි මැණික්දෙණ පුවරු ලිපිය මගින් එම විහාර දේපල නඩත්තුව පිණිස දුන් වතුපිටි, කුඹුරු හා ආරාම පාලනයත්, ආරක්ෂාව පිණිස ගත් ක්රියා පිළිවෙත් ගැනත් සඳහන්ය.

මැණික්දෙණ ආරාමික ස්ථානයක් ලෙස ප්රථමයෙන් ම ජනාවාස වී ඇත්තේ ක්රි.ව. 5-7 සියවස්වලදි බව මෙම ආරාම සංකීර්ණයෙන් ලැබුණු සෙල්ලිපි හා වළං කැබිලිති සාක්ෂි දරයි. ඓතිහාසික මූලාශ්ර අනුව මැණික්දෙණ සම්බන්ධව ප්රථමයෙන්ම සඳහන් වන්නේ අනුරාධපුර අවධියේ අවසන් භාගයේ සිටය.

මහාවංශයේ දෙවැනි සේන රජු විසින් (ක්රි.ව. 853-887) බුද්ධගාම විහාරයට භෝග උපදවන ගම් ප්රදානයක් පිළිබඳව දැක්වේ. මහාචාර්ය සිරිමල් රණවැල්ල පෙන්වා දෙන පරිදි ක්රි.ව 9 සියවසේ අග භාගයේ හෝ 10 වෙනි සියවසට මුල් භාගයට අයත් මෙම ස්ථානයෙන් ලැබුණු සෙල්ලිපියක බුද්ගමු විහාරය සතුව තිබූ අමුණු පහක කුඹුරක් සෙන් නම් වූ එක් කාන්තාවක උකසට හෝ සින්නක්කරයට පවරාගෙන එම විහාරයේ භික්ෂූන් වහන්සේලාට සලාක බත් සැපයීම සඳහා එම කුඹුරු යළිත් එම විහාරයට ම පූජා කර ඇත. එසේම මැණික්දෙණ විහාරය පාලනය කිරීම සඳහා නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටි බව සෙල්ලිපියේ සඳහන් පස් වෙහෙරෙ කැමියන් යන පාඨයෙන් පැහැදිලි වේ.

මෙම ආරාම සංකීර්ණයෙන් සොයා ගත් වළං කැබිලිතිවල වර්ගීකරණය සීගිරිය මැටි බඳුන් වර්ගීකරණයට බොහෝ දුරට සමීපය. මෙහිදී හමු වූ මැටි බඳුන් අතර කුසලාස, කබල, නෑඹිලිය (නෑඹිලියේ ඇතුළු පැත්තේ රේඛාමය මෝස්තර යෙදීමට දැවයෙන් කළ පනාවක් බඳු උපකරණයක් යොදාගෙන ඇති අතර එය ඉරිගහන කටුව නමින් හැඳින්වේ.), කොරහ, ඇතිළි - අප්පල්ල, කළ, මුට්ටි, බරණි - බුජම් (Storage Pot - ධාන්ය වර්ග, ආහාර වර්ග හෝ වෙනත් ද්රව්ය විශාල වශයෙන් ගබඩා කිරීමට), පාත්ර, දරණුව (Stand) යනාදිය දැක්විය හැකිය.

මැටි බඳුන් වර්ගීකරණය හේතුකොට ගෙන එකල සමාජීය වැදගත්කම හා කාල නිර්ණයන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වූ අතර මෙමගින් මැණික්දෙණ ආරාම සංකීර්ණයට ඉතිහාසමය වටිනාකමක් ද එකුවේ. අනුරාධපුර යුගයේ කාල පරිච්ඡේද තුනකට මෙම මැටි බඳුන් අයත් වන අතර ඒවා මුල් අනුරාධපුර සංස්කෘතිය (ක්රි.පූ. 1 සිට ක්රි.ව.4), මධ්ය ඓතිහාසික අවධිය (ක්රි.ව. 5-6), පශ්චාත් අනුරාධපුර අවධිය (ක්රි.ව. 700-1000) යනුවෙන් වර්ග කොට ඇත. මෙහිදී මුල් අනුරාධපුර අවධියට අයත් මැටි බඳුන් ඉතා සුළු වශයෙන් ද මධ්ය හා පශ්චාත් අනුරාධපුර අවධීන්ට අයත් බඳුන් බහුල ලෙසත් හමුවිය.

සිළුමිණ
2020 මැයි 03
රුක්ෂිලා වෙත්තමුණි

No comments:

Post a Comment