Monday, May 18, 2020

ප්‍රතිකාල්වරුන්ගේ බලකොටුවක් වූ ඓතිහාසික කුඩුම්බිගල




අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගම්මානය කුඩුම්බිගලට ආසන්නතම මිනිස් ජනාවාසයි. කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කි. මී. 340ක් පමණ දුරකින් කුමන වනෝද්‍යාන සීමාවේ පානම සිට රුහුණට ගමන් කරන මාවතේ කුඩුම්බිගල අභය භූමියෙහි කුඩුම්බිගල ආරණ්‍යය පිහිටා තිබෙන අතර මොණරාගල සිට කි. මී. 84 කින් හා පොතුවිල් සිට කි.මී. 30 ක දුරින් මෙම ඓතිහාසික පුදබිමට ළඟාවිය හැකිය. වයඹ දිශානුගතව මොණරාගල කඳුවැටියත්, ගිනිකොන දෙසින් මුහුදු වෙරළත් අතර භූමි භාගය කුඩුම්බිගලට අයත් වේ.

1973 සැප්තැම්බර් මස 28 වන දින විශේෂ ගැසට් නිවේදනයකින් අභයභූමියක් ලෙස එම පෙදෙස නම් කරන ලද අතර අක්කර දහසක පමණ ප්‍රමාණයක පර්වත පහකින් වට වූ භූමිය පුරා කුඩුම්බිගලට අයත් නටබුන් විසිර ඇතැයි සැලකේ. විල ඔයත්, කුඹුක්කන් ඔයත් අතර පිහිටි උසින් වැඩිම පර්වතය වූ සෑගිරි බැලුම් ගල ද ගිරි ජනපදයක් වූ කුඩුම්බිගල සුන්දර පරිසරයෙ කොටස්කරුවෝය. විල ඔය හා කුඹුක්කන් ඔය අතර භූමිය ඔස්සේ ගලා බසින කුඩුම්බිගල් ආර හා සැලව ආර නියං කාලයේ දී වියළී යයි.

නැඟෙනහිර මුහුදු වෙරළ ආසන්නව පිහිටා ඇති සැලව කලපුව අසල මාර්ගයෙන් ගමන් ගත් විට ඔකඳ දේවාලය හා බෞද්ධ සිද්ධස්ථානයට පිවිසිය හැකිය. කතරගම දෙවියන් ගොඩබට ස්ථානය ලෙස සැලකෙන අතර එහි දී කතරගම දෙවියන් පැමිණි රන් ඔරුව එම ස්ථානයේ දී ගල් වූ බව ද එය වෙරළෙ පිහිටා ඇති බව ද බොහෝ බැතිමතුන්ගේ වන්දනාමානයට බඳුන් වී ඇති බව ද එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කරයි.

පානම හා කුමණ කුඩුම්බිගලට ආසන්නව පිහිටි ගම්ය. අග විනිසුරුවරයෙකු වූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් 1806 දී මඩකලපුවේ සිට මාගමට නැගෙනහිර වෙරළ ඔස්සේ ගමන් කොට ඇති අතර ඔහුගේ වාර්තාවක ගම්මාන හතක් ඔස්සේ තම ගමන් මාර්ගය යෙදී තිබුණු බව සඳහන් කරයි. එම ගම් ලෙස හැලව, ඕකන්ද, කුමණ, පොතාන, යාල, බුත්තුව හා පලටුපාන දක්වා ඇත.

මේ ප්‍රදේශයට අයත් ඉතා පැරණි නගර දෙකක් ලෙස කෝන්ගල ලිපියෙහි සඳහන් නගරය හා නෙළුම්පත් පොකුණ ලිපියෙහි සඳහන් මහණ කරක දැක්විය හැකිය. 1821 දි පානම පෙදෙසේ පාලනය පිළිබඳ සඳහන් තොරතුරු අනුව එහි ජනාවාස පිහිටා තිබුණු බවත් මඩකලපුවේ විසූ කනගරත්න මුදලි විසින් ලියූ පොතක පුංචිරාල අගලම්මරාල රටේ මහතා එවක පානම පාලකයා ලෙස සිටි බවත් සඳහන්ය. 18 වන සියවස මැද භාගය වන විට මැලේරියා වසංගතය හේතුකොට ගෙන ජනවාස පවුල් කිහිපයකට පමණක් සීමා වීම නිසා එම පෙදෙස වන ගත වූ බවත් කුඩුම්බිගල ආරණ්‍යයද අභාවයට ගිය බවත් සැලකේ. මිනිස් වාසභූමියක් ලෙස නැවතත් එම පෙදෙස සක්‍රීය වූයේ 1964 දීය.

රුදුරු වන ප්‍රවාහයට ලක්ව ශත වර්ෂ ගණනක් පැවති කුඩුම්බිගල නටබුන් නැවත මිනිස් පහස ලද්දේ 1942 වසරේදීය. ඒ උපතින් කිතුනුවකු වූ පසුව බුදු දහම වැලඳගත් මෛත්‍රී නමින් හැඳින්වූ උපාසක මහතා නිසාය. ඔහු විසින් මෙහි සුදර්ශන ලෙන නමින් හැඳින්වෙන ලෙන පිළිසකර කොට කුටියක් සාදා ඉතා දුක සේ ජීවත් ව සිටි අතර 1954 දී තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේ වැඩම කොට ගෙන නැවත පූජනීය ස්ථානයක් බවට සකසා ඇත.

පැරණි වාරි කර්මාන්ත රැසක් කුඩුම්බිගල අවට පරිසරයේ දකින්නට ඇති අතර ඉන් වැව් ප්‍රධාන තැනක් හිමි කරගනී. වර්තමානය වන විට එම වැව් බොහෝ ප්‍රමාණයක් මඩවගුරු හෝ වියළි පිටි බවට පත්ව වනගහනයට ලක්ව ඇත. ගිනිකොන දෙසින් පිහිටි වැව කුඩුම්බිගල නමින් හැඳින්වෙන අතර එය ප්‍රමාණයෙන් ඉතා කුඩාය. ගල් බැම්මේ ශේෂයන් හා සොරොව්ව අද ද දක්නට ලැබේ. බඹරගස්තලා වැව ගිරිකුළු ආර හරස් කොට බැඳි වැවක් බටහිර දෙසින් පිහිටා ඇත. එසේම ඉයග්ගහ වැව පැරණි වැවක් ලෙස සැලකේ. එය කුඩුම්බිගලට වයඹ දිගින් පිහිටා තිබේ. මේ පෙදෙස ඔස්සේ ගලා යන සියලුම ජල පහරවල් හරස් වන පරිදි එම වැව බැඳ ඇත. සොරොව්ව කළුගලින් නිමවා තිබෙන අතර එහි නටබුන් දක්නට ලැබේ. සැලව ආර හරස්කර බැඳ ඇති විශාලම වැවක් වූ උඩහැලව වැව උතුරු දිශානුගතව පිහිටා ඇතිමුත් ගන කැලෑවක් බවට පත්ව තිබේ.

හෙන්රි පාකර් විසින් ලියන ලද පුරාතන ලංකාව (Ancient Ceylon) නැමැති ග්‍රන්ථයේ කුඩුම්බිගල සුදර්ශන ලෙනෙහි ඇති මිත්‍රගේ ලෙන් ලිපිය සහිත ලිපි 5 ක් පිටපත් කර දක්වා ඇත. එහෙත් ඒවායේ පිටපත් බොහෝ දුරට සාවද්‍ය බව දැනට පැහැදිලි වන බවයි එල්ලාවල මේධානන්ද හිමිගේ අදහස. ඒ.එම්. හෝකාට්, පානම හා ලාහුගල පෙදෙස ආශ්‍රිතව තබන ලද කෙටි සටහනේ කුඩුම්බිගල පිහිටි දාගැබක ලක්ෂණ විග්‍රහ කර ඇති අතර එය සිලින්ඩරයක හැඩය ගන්නා බවත් දක්වයි. රාජකීය ආසියාතික සංගමයේ ලංකා සඟරාවේ සී.ඩබ්ලිව්. නිකොලස් විසින් මෙහි ලිපි පහක් පිටපත් කර 147 වන පිටුවේ පළකර ඇත.

කුඩුම්බිගල ප්‍රදේශයේ ඇති මානව විද්‍යාත්මක කරුණු පිළිබඳව දැරණියගල විසින් පුරාතන ලංකාව සඟරාව (Ancient Ceylon, Agust 1972 No.I) සඳහා මිත්‍රගේ ලෙනෙහි ඡායාරූපයක් හා කුඩුම්බිගල ගොඩැල්ල ගැන කෙටි විස්තරයක් දක්වා ඇත.

කුඩුම්බිගල ඇති සියලු නෂ්ටාවශේෂ ගඩොල් හා ශිලා නිර්මාණවලින් යුක්තය. පැතලි උළු විශේෂයක් භාවිතා කොට ගොඩනැගිලි සෙවිලි කිරීම සිදු කර ඇති බව පෙනේ. මෙහි ස්තූප වශයෙන් හඳුනාගත හැකි ගොඩැලි 8ක් දක්නට ඇති අතර ඉන් තුනක් සෑගිරි බැලුම්ගල පිහිටා ඇත. මෙහි ප්‍රධාන ස්තූපය සංරක්ෂණය කර ඇති අතර එය සිලින්ඩරයක හැඩය ගනී. වේදිකාව හා පියගැට පෙළ ගඩොල්වලින් නිර්මාණය කොට ඇත. මළුව ගඩොල් අතුරා ඇති අතර ඇතැම් ගඩොල් කැටවල අක්ෂර හා විශේෂ සටහන් දක්නට ලැබේ. එම අක්ෂර අනුව යුග තුනක් නියෝජනය වන බව අදහසයි.

කුඩුම්බිගල ලෙන් ඉදිකිරීම සඳහා බිත්ති බැඳීමේ දී අත්තිවාරම් ඉතා ගැඹුරට හා පුළුල්ව යොදා ඇත. මෙහි ඇති තිස්ස ලෙන ඉදිකරීමේ දී ඉතා ශක්තිමත් ලෙස බෙලිකටු මිශ්‍රිත හුනු බදාමයක් යොදා ගෙන තිබේ.

මෙහි පියගැට පෙළවල් වර්ග දෙකකි. පර්වතයේම කපන ලද පියගැට මෙන්ම කෘත්‍රිමව සකසන ලද පියගැටය. මේ අතර විශේෂ සටහන් සහිත පියගැට පෙළවල් දෙකක් දක්නට ඇත. සුදර්ශන ලෙනට පිවීසීමට පියගැට 18 ක් නිමවා ඇත. එය ධර්මගුප්ත නම් කෙනෙකු විසින් පූජා කරවන ලද්දකි. මුල් කොටසට අයත් පියගැටෙහි සෙල් ලිපියක දක්වා තිබෙන්නේ මෙසේය.

දකුණේ සිට වමට සෙල් ලිපිය කියවීමේ දී,

බත දමගුතශ අටදශ පදගදිනි

අර්ථය - ස්වාමී ධර්මගුප්තගේ පියගැට දහ අට (දෙන ලදී)

වමේ සිට දකුණට සෙල් ලිපිය කියවීමේ දී,

අර්ථය - දායකයා පියගැට පෙළ කපා පූජා කරන ලද බව

දෙවන කොටසට අයත් පියගැට 12 වෙනත් දායකයෙකු විසින් කරවන ලද්දකි. නමුත් මෙහි දායකයාගේ නම සඳහන් කොටස පතුරු ගැලවී ඇති බැවින් කර වූ පුද්ගලයා හඳුනාගත නොහැකිය.

කුඩුම්බිගල ආරණ්‍යවාසී භික්ෂූන් උදෙසා තනවන ලද ලෙන් 105 ක් පමණ හඳුනාගෙන තිබේ. එකකට එකක් මඳ දුරක් සිටින සේ එම ලෙන් පිහිටා ඇත. මෙහි සෑම ලෙනක්ම කටාරම් කොටා ඇති අතර ඉන් පසක් වන්නේ එම සියල්ලේම අතීතයේ දී යෝගාචරයන් වහන්සේලා වැඩ විසූ බවයි. ඇතැම් ලෙන්වල බ්‍රහ්මී අක්ෂර වලින් එම ලෙන් කරවූ දායකයන් කවුරුද යන්න සටහන් කොට තිබේ.

ස්වභාවිකව නිමවුණු පොකුණු මෙහි දක්නට ලැබේ. ඒවා දියකෙමි හා ගල්කෙමි ලෙස හැඳින්වේ. එමෙන්ම ගල් කඳු අතරින් ගලාවිත් අඩි 20 ක් පමණ පහළට ඇද හැලෙන දිය ඇල්ල හේතුවෙන් භාවනායෝගී භික්ෂුණ්ගේ පැන් අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වේ. මෙම දිය ඇල්ල අවුරුද්ද පුරා මාස 9 ක් වැනි කාලයක් නොසිඳී පවතී.

කුඩුම්බිගල තපෝවනය පුරාණ කාලයේ දී රෝහණ චේතිය පබ්බතය යන්න ව්‍යවහාර කර ඇත. එහි ඉතාම වැදගත් ලෙස සැලකෙන දුර්ලභ වූ ජූජනීය සංකේත දෙකක් හමුවේ. එනම් සෑගිරි බැලුම් ගලෙහි පිහිටි පළමු වන ස්තූපය හා සුදර්ශන ලෙනෙහි ඇති ත්‍රිශූලාකාර සටහනයි.

අභිලේඛනවල දැක්වෙන පරිදි කුඩුම්බිගල පැරණි නිර්මාතෘවරු කිහිප දෙනෙකි. ලෙන් සැකසීමේ දී මේ සියලු දෙනාගේම දායකත්වය ලැබුණු බව සඳහන්ය. ඔවුන් ශුමන, මිත, දමගුත, පුශගුත, දමරකිත යනාදි වශයෙන් දැක්විය හැකිය.

පෘතුගීසි හා ලන්දේසින් මූදුබඩ පළාත් පාලනය කළ සමයේ කුඩුම්බිගල බලකොටුවක් ලෙස යොදා ගෙන තිබූ බව කියැවේ. සෑගිරි බැලුම්ගල අසල තිබී හමු වූ පෘතුගීසි හේවායකුගේ කවන්ධ රූප මැටි ජෝග්ගු කැබලි කීපය හා කාසි ඊට සාක්ෂි සපයයි.

මෙම භූමියෙන් හමූ වූ විවිධ දෑ අතර මැටියෙන් තැනූ පෘතුගීසි සෙබළෙකුගේ කවන්ධ රූප දෙකකි. අත් දිග හැර ඇති අයුරින් නිමකර තිබෙන්නට ඇති බවත් කඩුවක් පැළඳ මාලයක් කර බැඳ ඇති සෙබළාගේ අඳුම සම්පූර්ණ වශයෙන්ම පෘතුගීසීය.



සිළුමිණ
2020 අප්‍රේල් 12
රුක්ෂිලා වෙත්තමුණි

No comments:

Post a Comment