Monday, October 5, 2020

කටුවන ඕලන්ද කොටුව සඟවා ගත් ඉතිහාසය


 මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ, මිද්දෙනිය නගරය පසුකර වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහළවක් පමණ ගමන් කළ විට ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවට පිවිසිය හැකිය. කටුවන යනු අනාදිමත් කාලයක පටන් ඓතිහාසික භූමියක් බව මහාවංශය අනුව සනාථ වේ. 12 වන සියවසෙහි දි පරාක්‍රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු රැඳී සිටි ස්ථානයක් ලෙස ද කටුවන පිළිබඳව සඳහන්ව ඇත.


ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට අයත් වූ උතුරු දිග සීමාවේ උඩරට රාජ්‍යයේ දකුණු දිගට මායිම්ම පිහිටවන ලද විශාලතම බලකොටුව ලෙස කටුවන හැඳින්වෙන අතර එය ක්‍රි. ව. 1697 දි ඉදිකරනු ලැබීය. රට අභ්‍යන්තරයෙ පිහිටි වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති ලන්දේසි බලකොටුව වීම එහි ඓතිහාසික වැදගත්කම ඉහළ දැමීමට ඉවහල් වේ. ජර්මන් ජාතික සැලසුම් ශිල්පියකු වු ජොහාන් වුල්ෆ්ගෑන්ග් හෙයිත් ((Johann Wolfgang Heydt) ) 1734 දි බලකොටුවට පැමිණ එකල පැවති තත්ත්වය පිළිබඳව සඳහන් කරනුයේ බලකොටුව සමචතුරශ්‍රාකාර, කපරාරු කළ බිත්ති සහිත ගොඩනැඟිල්ලක් බවත් එහි සමචතුරශ්‍රාකාර හැඩය ප්‍රතිමුඛ කොන් දෙකක මුරපලවල් (බැස්ටියන්) දෙකක් පිහිටීම හේතුවෙන් මඳක් විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය. එසේම මෙම එක් මුරපලක කාලතුවක්කු හය බැගින් තිබූ බැව් ද සඳහන් කරයි.

ඔහුගේ විස්තරයට අනුව කටුවන බලකොටුවේ බිම් සැලසුමෙහි ගොඩනැඟිලි පහත පරිදි ස්‌ථාපිත වී ඇත. එනම්, එයට ඇත්තේ එක්‌ ඇතුළු වීමේ දොරටුවක්‌ පමණි. දොරටුව අසලින්ම දකුණු පැත්තේ බලකොටුව අධිපති තැන වසන නිවාසය ඇත. ඔහු සාජන්ට්‌වරයෙකි. මෙය සමීපයේ තිර බිත්තිය දිගට ගබඩා ගෙයකි. සියලුම වර්ගවල බඩු ගබඩා කර ඇත්තේ මෙහිය. මෙහි කෙළවර වෙඩි බෙහෙත් ගබඩාවකි. ඊට යාබදව ඇත්තේ යුධෝපකරණ ගබඩාවයි. මෙය තට්‌ටු දෙකකින් යුත් ගොඩනැඟිල්ලකි. අනතුරුව ඇත්තේ කාලතුවක්‌කුකරුගේ නවාතැනය. මෙය ළඟට ඇත්තේ ආරක්‍ෂක භටයන්ගේ මුරපොළය. මෙම මුරගෙය කෙළවර ශල්‍ය වෛද්‍යවරයාගේ නවාතැනයි. බලකොටුවේ ගොඩනැගිලි ස්‌ථාපිත කර තිබෙනුයේ තුන් පැත්තක්‌ ආවරණය වන ආකාරයෙන් පමණක්‌ වීම විශේෂිත ලක්‍ෂණයකි. මෙහි මධ්‍යයේ හතරැස්‌ විවෘත මිදුලකි. කොටුවට ඇතුළු වන දොරටුවට වම් පැත්තෙන් ළිඳකි. එමෙන්ම හෙයිත්ගේ වාර්තාව අනුව බලකොටුවේ පිරිස් බලය 40 දෙනෙකුගෙන් පමණ සමන්විත වී ඇති අතර බලකොටුවේ වැසි වතුර බැසයාමට ක්‍රමවේදයක් වූ බව ද සඳහන් ය. එහෙත් ආර්.එල්.බ්‍රොහියර් පවසන්නේ කටුවන බලකොටුවේ ලන්දේසීන් 30 ක ගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ වාසය කළ බවය.

දිගින් සහ පළලින් අඩි 150 ක් වන චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක් වූ මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20 ක් පමණ උසින් යුක්තය. එහි අභ්‍යන්තරය අඩි 8 සිට 12 දක්වා වෙනස් වන උසකින් සමන්විත වූ අතර ප්‍රාකාරය විශාල ගල් කුට්ටි උපයෝගී කොට ගෙන හුණු බදාමයෙන් තනා ඇත. ගොඩනැගිල්ලට එක් ප්‍රවේශ දොරටුවක් පමණක් තිබුණි. වම් පසින් බලකොටුව තුළ ඉතා උස් වූ ගොඩනැගිල්ලක් ස්ථාපිත විය. එහි ඔර්ලෝසුවක් ද සවිකර තිබී ඇත. එය යුද්ධෝපකරණ ගබඩාවට ඉහළින් දර්ශනය වූ බවත්, කොටුවේ ප්‍රාකාරයට යාබදව දකුණු පසින් ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ නිල නිවස පිහිටා තිබූ බවත්, බලකොටුව සම්බන්ධව ඇති ඓතිහාසික තොරතුරු ඇතුළත් සැලැස්මේ අන්තර්ගතය.

ලන්දේසීන් කටුවන බලකොටුව ඉදි කිරීමේදී මූලික වශයෙන් අවධානය යොමු කරවන ලද අරමුණු දෙකක් විය. එනම් දකුණු මුහුදු තීරයේ සිය දේශ සීමාව හා කන්ද උඩරට දේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම හා වාණිජ අරමුණු ඉටු කර ගැනීමේ දී කලාපීය භාණ්ඩ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමය. අගනුවර වූ මහනුවර සිට ලන්දේසීන්ගේ ප්‍රධාන නගරයක් වූ මාතර දක්වා දිවෙන මාර්ගය ආරක්ෂා කරගැනීමට හා උඩරට සමග වෙළඳ සබඳතා ආරක්ෂා කර ගැනීමට ද මෙම බලකොටුව පවත්වා ගැනීමට හේතුවක් විය.

බලකොටුවක් නිර්මාණය කිරීම උදෙසා සුදුසු පරිසරයක් කටුවන බලකොටුව අවට ප්‍රදේශයේ පිහිටීම ද මෙහිදී සුවිශේෂි හේතුවක් වී ඇත. මෙහි රැළි බිම් සහිත භූමි ලක්ෂණ පෙන්නුම් කළ ද, බටහිර හා වයඹ දිග මායිම්වල තරමක් උස කඳු පන්ති පිහිටා තිබීම දැකිය හැකිය. ඒ අතරින් රම්මලකන්ද, හිඟුරකන්ද, කරවිලකන්ද ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනී. වෙරළ ඉම දක්වා සමතලා භූමි ප්‍රදේශයක් ලෙස බලකොටුවට නැඟෙනහිර දෙසින් වූ බිම් කඩ පැතිරීම බලකොටුවේ විශේෂත්වට හේතුවිය.

ලන්දේසීන් විසින් නිර්මාණය කරනු ලැබූ හංවැල්ල හා අවිස්සාවේල්ල යන බළකොටුවලට සමගාමීව කටුවන බලකොටුව ඉදිකරන ලද මුත් වර්තමානය වන විට එම බළකොටු මෙතරම් ආරක්ෂා වී නැත.

මහනුවර රාජ්‍ය සමයේ උඩරට රාජ්‍යයත්, මුහුදුබඩ ප්‍රදේශයත් වෙන් කරන වැදගත් මුර පොළක් ලෙසට කටුවන බලකොටුව භාවිත විය. මුහුදුබඩ පළාත්හි ආරක්ෂක මර්මස්ථානවල බලකොටු ඉදිකිරීම විදේශිකයන් තම බලය පතුරුවාලීමටත් ආරක්ෂාවටත් උපයෝගි කරගනු ලැබීය. වෙරළාසන්න ප්‍රදේශයන්හි ලන්දේසීන් විසින් ඉදිකර ඇති බලකොටු අතර ගාල්ල, මාතර, යාපනය, ත්‍රිකුණාමලය හා කල්පිටිය ප්‍රමුඛස්ථානයක් ගනී. ඔවුන් වෙරළ තීරයේ මෙන්ම රට අභ්‍යන්තරයේ ද සිය යුද ශක්තිය විහිදුවා තම බලපරාක්‍රමය තහවුරු කිරීමට කටයුතු කරනු ලැබීය. එසේ මුහුදු සීමාවට සැතපුම් 20 ක් පමණ ඈතින් පිහිටුවන ලද බලකොටු අතර කටුවන කදිම සාක්ෂියකි.

කටුවන බලකොටුවක්‌ වශයෙන් ගත් කළ කුඩා ආරක්‍ෂක මුරපළක්‌ වශයෙන් ද ආහාර ද්‍රව්‍ය හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්‌රැස්‌ කරනු ලබන එසේම බෙදාහැරීමේ ගබඩා මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් ද ක්‍රියාකර ඇති බව පැහැදිලිය.

ආර්.එල්. බ්‍රෝහියර්ගේ සටහන්වල දැක්වෙන්නේ කැලෑවෙන් වට වූ මේ කුඩා බලකොටුවේ රන්පැහැති කෙස් ඇති, හිරු රැසින් දැවුණු සිරුරු ඇති ලන්දේසීන් තිස් දෙනෙක් ජීවත් වූ බවත්, ඔවුන් නියත වශයෙන් ම රටකින් පිටුවහල් කළ හෝ සිර කඳවුරක රැඳවූ පිරිස්‌ මෙන් ජීවිතය ගත කළ බවත්ය. ඔවුන්ගේ එකම විනෝදාංශය‌ වූයේ ගඟේ මාළු බෑමත්, මොණරුන් හෝ මුවන් දඩයම් කිරීමත්ය.

මෙසේ කල්ගත වත්ම, මාර්තු මාසයේ එක්‌ දිනෙක බලකොටුවේ භටයෝ රාත්‍රි ආහාරය ගනිමින් සිටිය දී හදිසියේම මුරපළින් අනතුරු හැඟවීමේ සංඥාව නිකුත් වූ අතර ආහාර ගැනීම නවතා දැමූ ඕලන්ද සොල්දාදුවන් වහ වහා තමන්ගේ ස්‌ථාන කරා ළඟා විය. ඈත කඳුකරයේ දුර්ග මාර්ගය දෙසින් පහළට දිවෙන පන්දම් පෙළ අතරින් සිංහල වැසියන්ගේ ජය ඝෝෂා හඬත්, බෙර හඬත් නැගෙන්නට විය. එසේ වුව ද මෙම දසුනින් බලකොටුවේ අණ දෙන නිලධාරියා වූ ආනවුඩ් වාන් වර්ඩේ එතරම් කලබලයට පත්වූ බවක්‌ පෙනෙන්නට නොතිබිණ. කන්ද උඩරට රජුගේ සේනා සිය බලකොටුවට පහර දෙන්නේ නම් ඊට සැලකිය යුතු කාලයක්‌ ගනු ලබන්නේය යන්න ඔහුගේ නිගමනය වීම ඊට හේතුව විය. නිදිවර්ජිතව සිටි ඔහු සිය බලකොටුවට නිසැකවම ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම පිරිස පැමිණ ඇති බැව් වටහා ගත්තේය. එවැන්නකට මුහුණ දීමට තරම් ප්‍රබල ආත්ම ශක්‌තියක්‌ ඔහු සතු විය. එබැවින් පැයකට පමණ පසු භටයන් හය දෙනකු මුරට තබා සෙසු පිරිස්‌ හට නින්දට යැමට ඔහු අවසර ලබා දුණි. කිසිදු අනතුරකින් තොරව එදින රාත්‍රිය පහන් විය. පසු දින උදෑසන අවදි වූ සෙසු සොල්දාදුවන් යුහුසුළුව සිය ස්‌ථානයන් කරා ගොස්‌ සිංහල හමුදා සේනාවන්ට පෙනෙන පරිදි පෙළ ගැසුණහ. සතියක්‌ පමණ ගත විය. අවස්‌ථා කිහිපයක දී බලකොටුවට පහර දෙන ලෙසින් සංඥා නිකුත් කළ ද ප්‍රහාර එල්ල කිරීමක්‌ සිදු නොවීය. එහෙත් ලන්දේසි හේවායන් හට රාත්‍රි නින්දක්‌ නොවීය. ඇතැම් රාත්‍රියක බලකොටුව මුරකරන්නන් හට සිංහල භටයන් මරණීය ප්‍රහාර එල්ල කිරීම ඊට හේතුවයි. කටුවන කොටුවේ ඕලන්දයන් දුබල කිරීමේ සැලසුම් සහගත ප්‍රයත්නයක්‌ මෙසේ දියත් කළ සිංහල සේනාවෝ එය අතිශය සාර්ථක මෙහෙයුමක්‌ බවට පත්කර ගැනීමට සමත් විය.

අනතුරුව එක්‌ හිමිදිරි උදෑසනක මෙම බලකොටුව තරණය කිරීම ආරම්භ කළ දේශීය ජනයා උණ බම්බුවලින් සකසන ලද හිනිමං ආධාරයෙන් අඩි 15 ක්‌ පමණ උසැති කොටු පවුර තරණය කළ අතර තවත් පිරිසක්‌ කොටුව වටකර ඒ දෙසට වෙඩි ප්‍රහාර එල්ල කරන්නට විය. දේශීය වැසියන්ගේ ප්‍රහාරයකට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් පිරිසක්‌ කටුවන කොටුවේ නොවීය. එතෙක්‌ එල්ල වූ ප්‍රහාරයන්ගෙන් එකොළොස්‌ දෙනෙකු මියගොස්‌ සිටි අතර සෙසු පිරිස්‌ අතරින් කිහිප දෙනකු දැඩි ලෙස තුවාල ලබා සිටියහ. එසේම කොටුව තුළ වූ වෙඩි බෙහෙත් සංචිතය ද නිමාවට පත්ව තිබිණ. එබැවින් තවදුරටත් ප්‍රහාරයකට නොගොස්‌ උපක්‍රමශීලි විය යුතු බව අණ දෙන නිලධාරියාගේ අදහස විය. ඒ අනුව දේශීයයන්ට පහර නොදිය යුතු බවත් සියලු ද්වාර විවර කළ යුතු බවත් එක්‌ ඕලන්ද සොල්දාදුවකු පමණක්‌ කොටුවේ රැඳී සිටිය යුතු බවත් ඔහු සිය සොල්දාදුවන් වෙත දන්වන ලදී. රාත්‍රිය වන විට කොටුවේ ද්වාර විවර කර ඇති බව දැක්‌වීමට එහි ගිනිමැලයක්‌ දල්වන ලෙසත් ඔහු අණ කළේය. ගිනිමැලයේ ආලෝකයෙන් බලකොටුව දෙසින් කිසියම් උගුලක්‌ අටවා ඇතැයි සිතූ සිංහල සොල්දාදුවෝ පසු බසින්නට වූහ. පසු දින පහන් වන විට සිංහල හමුදාවෝ ගිරි දුර්ගය දිගේ ආපසු ගමන් කරනු දුටු වාන් වර්ඩේ අණ දෙන නිලධාරියා සැනසුම් සුසුමක්‌ හෙළන්නට ඇත.

ඈතින් යුද බෙර හඬ ඇසෙත්ම තැන් තැන්වල විසිරී සිටි ලන්දේසීහු කොටුව තුළට වැද දොරගුළුලා කොටු පවුර තද කොට සතුරාට ප්‍රතිප්‍රහාර දීමේ සටනට සූදානම් වූහ. කොටුව වටා රැකවල් දැමූ අපේ හමුදාවෝ කොටුවෙ තාප්පයට මදක්‌ දුරින් ශක්‌තිමත් ලෙස විශාල අට්‌ටාලයක්‌ බැඳ ඒ මත කාලතුවක්‌කු සවිකර දිවා රාත්‍රි නොකඩවා කොටුව තුළට වෙඩි තැබූහ. මෙසේ ප්‍රහාර එල්ල වන තෙවන දිනය වන විට කොටුව දෙසින් සමාදාන වීම හෝ යටත් වීමේ සංකේතය ලෙසින් සුදු කොඩියක්‌ ලෙළ දිණි. ඒ සමගම කොටුවේ ප්‍රධාන දොරටුව ද විවර විය. ආරක්‍ෂක භටයන් පිරිවරාගත් යුද්ධ හමුදාවත් සමග දිසාවේ, කොටුව තුළට පැමිණ අසුන් ගත් අතර කොටුවේ ඉතිරිව සිටි සියලු පිරිස්‌ හට සිය නිල ඇඳුමින් සැරසී ඉදිරියට පැමිණෙන ලෙසත් යටත් වන ලෙසත් ඔහු නියෝග කළේය. ලන්දේසි හමුදාව හිස නමා එම නියෝගය පිළිගනු ලැබීය. මෙම කොටුව තුළ සිට තමන් කුමක්‌ කළේ දැයි ඔහු ඕලන්දයන්ගෙන් විමසීය. එයට පිළිවදන් දී ඇත්තේ ජා මිනිසුන් අට දෙනෙකු පමණි. ඔවුන්ගෙන් සයදෙනෙක්‌ මෙහෙකරුවන් බවත් ඉතිරි දෙදෙනා හොරනෑ පිඹීම සහ බෙර වැයීම සිදුකරන බවත් පවසා ඇත. නිහඬව සිටි සියලු දෙනා මහ රජුගේ රාජධානියට විරුද්ධව සටන් කළවුන් බැවින් කැලයට රැගෙන ගොස්‌ මරා දැමූහ. පෙර කී ජා මිනිසුන් අට දෙනා සිර භාරයට පත්විය.

ක්‍රි.ව 1761 පෙබරවාරි මස 06, 07, හා 08 යන තෙදින පුරා කාලතුවක්කු ද උපයෝගී කර ගනිමින් සිංහල සේනාව විසින් එල්ල කර ඇති අඛණ්ඩ ප්‍රහාරය සමඟ කටුවන බලකොටුවේ අවසානය උදාවිය. 1761.02.08 වන දින මේ බලකොටුව සිංහල හමුදාව අත්පත් කරගන්නා ලද අතර මෙම ප්‍රහාරයෙන් කොටුවේ ප්‍රධාන දොරටුව මෙන්ම අභ්‍යන්තර ගොඩනැගිලි ද විනාශ විය. සිංහල රණකාමීන් තම යුද ශක්තිය මෙන්ම උපාය ඥානය ද යොදා ගනිමින් කොටුව විනාශ කිරීමට හේතු වූයේ උඩරට රාජ්‍යයට මෙම ස්ථානයේ සිට සංවිධානය වී පහර දීමට ඉඩ ඇති බවට සැක කළ බැවිනි.

මහනුවර මහා වාසලේදී කටුවන සටන ජය ගැනීම සඳහා සහභාගී වූ සබරගමුවේ ප්‍රධානින් 15 දෙනෙකුට පමණ නින්දගම් ප්‍රදානය කළ බව කියැවේ.

නටබුන්ව පැවති බලකොටුව 1980 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර 2007 දී නෙදර්ලන්ත රජය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව කටුවන කොටුවෙ සංරක්ෂණ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කරන ලදී.

සිළුමිණ
2020 ජුනි 28
රුක්ෂිලා වෙත්තමුණි

Saturday, October 3, 2020

නැගෙනහිර උරුමය හෙළිකරන ඓතිහාසික ප්‍රෞඪත්වය


පාචීනපස්ස හා උත්තරපස්ස ලෙස අරුත් ගැන්වෙන නැගෙනහිර හා උතුරු පළාතට අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වව්නියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක අයත්ය. මහවැලි ගඟ, මෙම ප්‍රදේශ දෙක වෙන් කරන සීමාව වූ අතර එය අවසානයේ දී නැගෙනහිරට ගලා ගොස් මිණිපේ පෙදෙස හරහා  ත්‍රිකුණාමලයේ ගෝකණ්ණතිත්ථ නමින් හැඳින් වූ කොට්ඨසාර (කොඩ්ඩියාර්) දෙසින් මුහුදට ගලා බසී.

නැගෙනහිර පළාතේ වැඩි කොටසක් නියෝජනය කරනුයේ රෝහණ දේශයයි. මහවැලි ගඟෙන් උතුරින් රජරටත් (පිහිටි)  දකුණෙන් රෝහණයත් පිහිටා ඇත. වර්තමානයේ නැගෙනහිර පළාතේ දකුණු සීමාව කුඹුක්කන් ඔය ලෙසට සැලකේ. කකුධ නදී, කකුබන්ධ නදී, කුඹුබන් නදී ආදි වශයෙන් කුඹුක්කන් ඔය ව්‍යවහාර විය.


අතීතයේ දී දිගාමඩුල්ල නමින් හැඳින් වූ අම්පාර දිස්ත්‍රික්කය වර්තමාන බෙදීම් අනුව නැගෙනහිර පළාතට අයත් වන අතර මඩකලපුව, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට සීමා මායිම් වේ. මෙහි පරිපාලන කටයුතු අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පොතුවිල්, අක්කරපත්තුව, ඉරක්කාමන, දමන, පදියතලාව, උහන, සමන්තුරය, ලාහුගල හා අට්ටාලච්චේනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා සිදුවේ. අම්පාර පෙදෙසේ ඇති විශේෂත්වය වූයේ මෙම කලාපය පුරා විසිරී ඇති වඩාත් උස් නොවූ පර්වත මුදුන් ආශ්‍රිතව වෙහෙර විහාර ඉදිකර තිබීමයි. පැරණි සෙල්ලිපි වල දැක්වෙන ස්ථාන නාම හා වාරි නාම අනුව මෙම පෙදෙස ජනාවාසව පැවති බවට කදිම සාධකයකි. ඓතිහාසික ජනාවාසරකරණය පිළිබඳ සාධක සපයන සෙල්ලිපි, ස්ථානගත වී ඇති බොහෝ පෙදෙස් අතර ගනේගම කන්ද, උහන, වේරපුදාව, සන්ගමන්කන්ද, මුල්ලිකුලම්මලේ, පොකුණු දෙන, කොණ්ඩවටවන, රජගල යානාදි ස්ථාන විශේෂ වශයෙන් දැක්විය හැකිය. 


ක්‍රි.ව. 9-10 සියවස් වලදී එකල මෙරට පැවති සමාජ, ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අම්පාර පිහිටි කොණ්ඩවටවන ටැම් ලිපිය ඉවහල් වේ. මෙම ලිපිය මඟින් දිගාමඩුල්ලේ ඇරෑගම හි පාලනය සම්බන්ධව පනවන ලද නීති පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වන අතර ප්‍රාදේශීය පාලනය, බඳු එකතු කිරීම් හා බැඳුණු තොරතුරු දැකගත හැකිය.  එය IV වන දප්පුල රජු කල පිහිටුවන ලද ටැම් ලිපියකි.


කුමන ජාතික වනය ආශ්‍රිතව පිහිටා ඇති බෝවත්තේගල හා කොට්ටදැමූහෙල සෙල් ලිපි අනුව අනුරාධපුර යුගයේ දී මෙම පෙදෙස රුහුණේ ක්ෂත්‍රීයන් විසින් පාලනය කරන ලදැයි යන්න සඳහන්ය. අම්පාර පිහිටි සෙල් ලිපි විශාල ප්‍රමාණයකින් මෙරට පාලනය කළ රජවරු පිළිබඳ තොරතුරු බහුතරයක් අනාවරණය කර ගැනීමට හැකිය.  ක්‍රි.ව. 650 දි පමණ රුහුණ පාලනය කළ දප්පුල රජු රුහුණු විහාරය කරවන ලද බවත් වර්තමානයේ එය මඟුල් මහා විහාරය යැයි හඳුනා ගැනීමටත් සෙල්ලිපි ඉවහල් විය. එමෙන්ම මහාදාඨික රජු අම්පාරෙ දකුණු දිශානුගතව පිහිටි කුඹුක්කන් ඔය ආසන්නයේ සමුද්ද විහාරය නමින් විහාරයක් කර වූ බව දැක්වේ. එය සමුද්‍රගිරි විහාරය නමින් වත්මනේ ව්‍යවහාර වේ. 


අම්පාර ආශ්‍රිතව සියයකට අධිකව පෞරාණික ස්ථාන හඳුනා ගැනීමට හැකිය. ඒ අතර රජගල, දීඝවාපිය, සමන්ගල (බ්‍රාහ්මී අක්ෂර වලින් යුතු සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ගල් ලෙන් සමූහයක් ඇත), සමනබැද්ද, මඟුල් මහා විහාරය, කුඩුම්බිගල, නීලගිරිය, මුහුදු මහා විහාරය, ශාස්ත්‍රවෙල විහාරය, පරගහකැලේ නටබුන්, ලාහුගල කොටවෙහෙර, කඳුරුගොඩ, හෙනානිගල, නුවරගල කන්ද, ගොනාගොල්ල (පැරණි සිතුවම් ඇත), පියංගල ආරණ්‍ය සේනාසනය , පියංගල චිත්‍ර ලෙන, වැද්දාගල කන්ද නටබුන්, හීතවන්නිය කඳුබෑවුම, කොටිගල නටබුන්, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, කොණ්ඩවටවන නටබුන් හා ටැම් ලිපිය, නියුගුණ විහාරය යනාදි  ස්ථාන ප්‍රධාන කොට දැක්විය හැකිය.


නැගෙනහිර පළාතට අයත් අනෙක් දිස්ත්‍රික්කය වන මඩකලපුව ද පෞරාණික නටඹුන් බහුල ලෙස විසිර පවත්නා භූමි පෙදෙසකි. සියඹලාදීපය යන්න අරුත්ව පුලියන්තිව් යන්න ද්‍රවිඩ භාෂාවෙන් ද මඩ බහුල කලපුවක් සහිත වූ බැවින් මැටි කලපු වී පසු කලෙක මඩකලපු වූ බව ද අදහසයි.  එච්. සී. පී. බෙල්ගේ සටහන අනුව 1766 දී පෙරදිග ඉන්දියාවේ ලන්දේසි සමාගම මෙරට සමඟ අත්සන් තබන ලද ගිවිසුමේ සටහන්ව තිබෙන්නේ මඩකලපුව එම කාල වකවානුවේ දී කඳුකර පළාතට අයත්ව පැවති බවය. කඩඉම් පොතෙහි, මුල්කාල වකවානුවේ දී මඩකලපුව ඇතුළු පෙදෙස දීඝවාපිය ලෙස හැඳින්වූ බවත් 1833 ඔක්තෝම්බර් 01 දින කරන ප්‍රකාශයකින් සමස්ත දිවයිනම පළාත් පහකට කට බෙදා ඊට අදාළව ප්‍රදේශ නම් කළ බවත් දැක්වේ.


මඩකලපු ප්‍රදේශයට මුස්ලිම් ජනයා ව්‍යාප්ත වූයේ යැයි සැලකෙන්නේ ක්‍රි.ව. 8 වන සියවසේ දී මෙරටට පැමිණි අරාබි වෙළෙන්දුන්ගෙනි. එසේම පෘතුගීසින් විසින් 1622 දී මඩකලපුව අල්ලා ගත්  අතර ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීම සඳහා එහි විසූ ද්‍රවිඩ ජනයා යොදා ගත් බව ද සඳහන්ය. පසුව 1639 දී ලන්දේසීන් මඩකලපුවේ  බලය අත්පත් කරගත් අතර ඉංග්‍රීසි පාලන සමය වනතුරුම ලන්දේසීන් තම පරිපාලන කටයුතු මෙහෙය වනු ලැබූයේ එහි වූ බල කොටුවේ සිටය.  නැගෙනහිර පළාතේ දිසාපතිවරයකු වූ R.A.G. Festing 1918 දී, කනගරත්නම් ගෙ මඩකලපුව විස්තරයට පෙරවදන ලියමින් ප්‍රකාශ කරනු ලැබූයේ, අතීතයේ දී සිංහල ජනයාගෙන් පිරී පැවති ප්‍රදේශයක් වූ මඩකලපුව තුළ තිබූ බොහෝ පෞරාණික නටඹුන් සියසින් දුටු බවය.


මඩකලපුව ආශ්‍රිතව දක්නට ලැබෙන පෞරාණික ස්ථාන අතර මඩකලපුව ලන්දේසි කොටුව ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා සේම  කල්අඩි පාලම හා සම්බන්ධ පැරණි මාර්ගය, පුළුකුණාව රජමහා විහාරය, මඩකලපුව ප්‍රදීපාගාරය, රූගම වැව, කුසලානකන්ද, කලුදුපොතනමලේ, කොකාගල, එරුවිල, වහෙර උඩුමහලේ නටබුන් හා මාමංග පුල්ලෙයාර් දේවාලය යනාදිය ප්‍රධාන කොට සඳහන් කළ හැකිය.                                                      


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන වැදගත් ස්‌ථාන රැසක්‌ පවතී. පදවි ශ්‍රීපුර, ත්‍රිකුණාමලය, සේරුවිල, වෙරුගල්, කඩවත්සතර, කුච්චවේලි, ගෝමරන්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යටතේ එහි පරිපාලනමය කටයුතු සිදුවේ. ත්‍රිකුණාමලය පුරා විසිරි ඇති පෞරාණික ස්ථාන අතර රන්මඩු රජ මහා විහාරය, ලංකාපටුන සමුද්‍රගිරි විහාරය, සේරුවිල මංගල රජමහා විහාරය, පාෂාණ පබ්බත විහාරය, කන්නියා (කින්නියා) උණුදිය ළිං, ත්‍රිකුණාමලය කොටුව, අසිරිමලේ රජමහා විහාරය, තිරියාය වටදාගෙය, වෙල්ගම් වෙහෙර, රිදී කන්ද (පැරණි ආරාම සංකීර්ණයක්) හා රංගිරි උල්පත විහාරය (පැරණි ආරාම සංකීර්ණයක්) යනාදිය පුමුඛස්ථානයක් ගනී.


සංවිධානාත්මකව සිදුකරනු ලබන පුරාවස්තු හානිය අද ඉතා බරපතළ තත්ත්වකට පත්ව ඇත. ත්‍රිකුණාමලය, ජිලාන්කුලම, කුච්චවේලි, තඹලගමුව, සේරුවිල, කින්නියා වැනි ප්‍රදේශ එසේ අවධානමට ලක්වුණු ස්ථාන අතර ප්‍රමුඛස්ථානයක් ගනී.


කුච්චවේලි හි පුරාවස්‌තු රැසක්‌ ත්‍රිකුණාමලයෙ මනරම් වෙරළ තීරයක්‌ වන නිලාවැලි ප්‍රදේශයට උතුරු දෙසින් පිහිටා ඇත.  මුහුදු  ඛාදනය හේතුවෙන් මෙම නටඹුන් ශිඝ්‍ර ලෙස විනාශ වෙමින් පවතී. මෙම ප්‍රදේශය තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ලංකාවට ගොඩ බැස්ස ස්‌ථානය යැයි සැලකෙන අතර එය වර්තමානයේ කල්ලරාම  යනුවෙන් හඳුන්වයි. 


1979 දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුච්චවේලි පුරාණ රජමහා විහාරය සම්බන්ධව අවධානය යොමුකොට එහි ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නට උත්සාහ දරන ලද අතර  1984 දි කුච්චවේලි ආසන්නයේ පිහිටා තිබූ තානායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සිදුකරගනු ලැබීය. එසේම පිච්ච මල් විහාරය නමින් ද මෙම විහාරය  හැඳින්වේ. 2013 අගෝස්තු 13 දින අංක 1823/73 දරන ගැසට් නිවේදනය මගින් පිච්චමල් විහාරයේ පිහිටි පැරැණි දාගැබ හා ලෙන් ඇතුළු අවශේෂ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ද ප්‍රකාශයට පත් කෙරිණි.


1998 වසරේ දි දීඝවාපිය ප‍්‍රදේශයේ ඉඩම් බෙදීමක් සිදු කිරීමට දරන ලද උත්සාහයක් සමාජයෙන් එල්ල කරන ලද දැඩි විරෝධය හේතුවෙන් නතර කරන්නට සිදුවිය. දීඝවාපියෙන් පසුව දැවැන්ත ලෙස බෞද්ධ උරුමයන් සංහාරය සිදුවූයේ අක්කරපත්තුවේය. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව - ආලියඩිවේම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඵෙතිහාසික දාගැබක් ඩෝසර් කර විනාශ කිරීම මින් ප්‍රධාන තැනක් ගනී.


මොට්ටයාගල පර්වතය පාමුල තිබූ ඉපැරැණි ගරා වැටුණු චෛත්‍යයක්  ද 2012 වසරේ සැප්තැම්බර් මස දි එම ස්ථානයේ ගොවිතැන් කටයුතු කළ පුද්ගලයකු විසින් ඩෝසර් කර දමා විනාශ කරණු ලැබීය.  මෙම ස්ථානය ඓතිහාසික තොරතුරු ඇතුළත් පුදබිමක් වන අතර රජවරුන්ගේ නොමද අනුග්‍රහය ලද භූමියක් බව ද සඳහන්ය. මහානාග, යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජවරුන්ගේ  තොරතුරු ඇතුළත් සෙල්ලිපි මෙහි දක්නට ඇත. එමෙන්ම මෙම ස්ථානය මොට්ටයාපල්ලු හා මොට්ටයාමල නමින්ද හැඳින්වේ.  පියගැට පේළි ඔස්සේ පර්වතයට නැගිය යුතු අතර කටාරම් සහිත ලෙන්, පොකුණු මෙන්ම  පර්වතය මුදුනේ පෞරාණික ලක්ෂණ විද්‍යාමාන වන දාගැබ් හා ගොඩනැගිලිවල සලකුණු ද දක්නට ලැබේ. 


මෙම පර්වතයේ සඳහන් සෙල්ලිපියෙහි අන්තර්ගතය ලෙස සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙනුයේ  දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂත‍්‍රීයන්ගේ පරම්පරාව විය හැකිය) උපථර නාග නාග නම් රජකෙනෙක් ගමිණි තිස්ස විහාරය කරවා පැමිණ නොපැමිණ සංඝයාට පූජා කළ බව ය.


 මෙම පෙදෙසේ ඇති ස්ථාන අතර උස් පර්වතයක පිහිටි සෙම්බුමලේ විහාරය ද විශේෂ ස්ථානයක් ගනී. එම පුදබිම වටා ඓතිහාසිකමය වටිනාකමකින් යුත් ආරණ්‍ය සේනාසන කිහිපයක් දර්ශනය වේ. බඹරගල වන සෙනසුන සෙම්බුමලේ සෑයට නැගෙනහිර දෙසින් ද දෙඹරගල වන සෙනසුන උතුරින් ද වසන්වැව චෛත්‍යය බටහිරෙන් ද, තිරියාය සහ රංගිරි උල්පත ඊසාන දිසාවෙන් ද සෙම්බුමලේ  වටා මෙලෙස පිහිටා ඇත. 


අක්‌කර දෙසීයක පමණ වපසරියක පැතිරුණු භූමියක් පර්වතය සිසාරා දක්නට ඇති අතර එම භූමිය පුරාම ඓතිහාසික වටිනාකමකින් යුත් සාධක බහුලව දක්නට තිබේ.  එහි ස්‌තූපය පිහිටි මළුවට පිවිසීමේ දොරටුව බටහිර දිශානුගතව ඇත. එසේම හුණු ගලින් නෙළන ලද හිටි පිළිමයක් නැගෙනහිර දෙසට වන්නට දැකගත හැකි වුවද එම පිළිමයේ හිස විනාශයට පත්ව තිබේ. එහි සිවුරේ රැළි මැනවින් නිරූපණය කොට ඇති අතර එක් හස්තයක් අස්ථානගතය. ඊට නුදුරින් පොකුණු දෙකක් ද ගොඩනැගිල්ලක ශේෂ වූ නටබුන් ද ස්තූපයට ඊසාන දෙසින් දර්ශනය වේ. එසේම උස් ගල් කණු නවයකින් යුක්ත විශාල ගොඩනැගිල්ලක නටඹුන් ද දැකගත හැකිය. හුණු ගලින් නෙළන ලද පාද ලාංඡනයක් දාගැබට නැගෙනහිරින් ඇති අතර ගොඩනැගිලි පාදම් කිහිපයක කොටස්  ද මතුව ඇත. 

මෙලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැඩි අවධානමකට හා ව්‍යසනයන්ට ලක්ව ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් උසුලන පෞරාණික ස්ථාන රැසකින් සමන්විත නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරමින් කාලීන අවශ්‍යතාවයක් සපුරාලීම අතිශය ප්‍රශංසා සහගතය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ද ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් එම පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කර ආරක්ෂා කිරීම ද කඩිනමින් කළ යුතු සේම මෙම ක්‍රියාවලිය පිළිබඳ සැමගේම අවධානය ද යොමුවිය යුතුව ඇත. 

සිළුමිණ

2020 ජුනි 21

රුක්ෂිලා වෙත්තමුණි

 

Wednesday, September 30, 2020

යාපා පටුනේ රැකගත යුතු උරුම


අලිමංකඩ පටු තීරුවට මායිම් වු වෙනම ප්‍රදේශයක් ලෙස උතුරු පළාතට අයත්ව පිහිටි යාපනය දිස්ත්‍රික්කයේ නියෝජිත භූමිය අර්ධද්වීපයක් ලෙස හඳුනාගත හැකිය. උතුරු මුහුදු තීරය සිසාරා පැතිරුණ යාපනය, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් යාපනය අර්ධද්වීපය සමන්විතය. වර්ග කිලෝමීටර් 1025 ක් පුරා ව්‍යාප්ත වූ යාපනය දිස්ත්‍රික්කය උතුරු දෙසින් කරෙයිනගර් සිට වල්ලිපුරම් දක්වා පුළුල්ව විහිදෙන අතර, දකුණු දෙසට වන විට එය ක්‍රමයෙන් පටු වේ.


ක්‍රි.ව. 14 වන සියවසේ පමණ සිට යාපනය, යාල්පානම් යන්න භාවිතයට පැමිණ ඇත. මෙම ප්‍රදේශය යාල්පානයන් පට්ටනම් ලෙස ක්‍රි.ව. 1435 විජයනගර රජ පරපුරේ තමිල්නාඩු තිරුමනික්කුක්ලි ශිලා ලිපියේ දැක්වේ. සිංහල සංදේශ කාව්‍යයන් හි යාපා පටුන නමින් හඳුන්වා ඇති අතර යාල්පානම් ලෙස දෙමළ සාහිත්‍ය මූලාශ්‍රවල යාපන රාජධානිය සඳහන්ය. නම්පොත නම් කෘතියෙහි දෙමළපට්ටනම ලෙසින් උතුරු දිග ප්‍රදේශය නම්කර තිබේ.


මයෝසීන චාතුර්ථික අවදියට අයත් භූමි නිර්මාණයකට උරුමකම් කියන මෙහි රතු, දුඹුරු පස්, රතු හා දුඹුරු වැලි, වෙරළ සහ වැලිවැටි, අවසාධිත හුණුගල් දැකිය හැකි කලාපයකි. ප්‍රාග් ඓතිහාසික අවදියේ සිට මානව ක්‍රියාකාරකම්වලට ලක්වුණු ප්‍රදේශයක් වූ යාපනය අනුරාධපුර සිට යටත් විජිත පාලන සමය දක්වාම විවිධ කාලරාමු නියෝජනය කරන පුරාවිද්‍යාත්මක සාධක බහුල ලෙස සමන්විත භූමියකි. යාපනය, කරෙයිනගර්, ඩෙල්ෆ්ට්, නල්ලූර්, කරවෙඩ්ඩි, වඩමාරච්චි, කෝපායි, පේදුරුතුඩුව, චාවකච්චේරි, වේලනෛ, තෙලිප්පලෛයි, වලිකාමම්, පුනරින්, චංකානෙයි, කයිට්ස්, උඩුවිල් යනාදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් පුරාවිද්‍යාත්මක ස්ථාන බහුතරයක් දක්නට ලැබේ.


යාපන අර්ධද්වීපය කෙරෙහි යුරෝපීයන්ගේ අවධානය යොමු වීමට මූලික හේතුවක් වූයේ ස්වභාවිකව පිහිටි නැව් තොටුපොළවල්ය. එසේම අනෙක් ප්‍රධාන කරුණ කුළුබඩු වෙළදාමය. මහාවංශයට අනුව උතුරේ පිහිටි මාතොට වරාය විදේශීය සම්බන්ධතා පුළුල් ලෙස පවත්වාගෙන යාමට ඉමහත් පිටිවහලක් විය.


මාතොට වරාය පූර්ව ඓතිහාසික යුගයේ සිටම ප්‍රධාන වරායක්ව පැවතුණු බව 1982, 1984 කාලවකවානු වලදී J. කාස්වල්, M.E ප්‍රිකට් හා S.U. දැරණියගල විසින් සිදුකරන ලද කැණීම් වලින් සනාථ විය. 1979 දී යාපනය විශ්වවිද්‍යාලීය මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා, පේදුරුතුඩුවේ මායක්කායි අසල පිහිටි ලෙන් සහිත ස්ථානය පිළිබඳව මුල් වරට ගවේෂණයක් සිදු කරනු ලැබීය. එම ලෙනෙහි මුහුණත ආසන්නව 1983 දී ගල් ආයුධ සොයාගත් අතර එය ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙස නම් කරන්නට විය. විමලා බෙග්ලි විසින් කන්දරෝඩෙයි සිදුකරනු ලැබූ කැණීමක් මඟින් එම ස්ථානය බෞද්ධ ආගමික නටබුන් ඇති ස්ථානයක් සේම පොළෝ මට්ටමේ සිට අඩි 12 ක් පමණ ගැඹුරට වන්නට ප්‍රාග් ඓතිහාසික සාධක සහිත භූමියක් ලෙස ද පෙන්වා දී තිබේ.


මෙහිදී අවදි 4 ක් නියෝජනය වන පරිදි කරුණු දක්වා ඇති අතර මුල්ම අවදිය ලෙසට යකඩ යුගයේ ශේෂ වූ සාධකත්, දෙවන අවදිය ලෙසට පූර්ව ඓතිහාසික සංස්කෘතික නියෝජිත මෙවලම් ද තෙවන අවදිය ලෙසට රූලේටඩ් මැටි බඳුන්, ලක්ෂ්මි කාසි, කොරල් කැබලි වලින් යුක්ත වූ බවත් සිව්වන අවදිය ලෙසට බෞද්ධ ශේෂ හඳුනා ගන්නටත් විය.


මහාචාර්ය K.ඉන්ද්‍රපාල 1980 දී මාන්තායි හි සිදු කළ කැණීම් වලින් පැරණි සුසාන භූමි දෙකක් හඳුනා ගැනිණි. මානව ඇට සැකිලි, සත්ත්ව ඇට කැබලි, කළු රතු මැටි බඳුන්, රතු මැටි බඳුන් මෙහිදී සොයාගත් අතර එම සුසාන හා පුරා කෘති ඉන්දියානු මෙගලිතික සුසාන සංස්කෘතියට සමාන යැයි සඳහන්ය.පේදුරු තුඩුවට නොදුරු මායක්කායි විවපාරිමලෛ ප්‍රදේශයේ 2001 දී යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙල්ලයියා ක්‍රිෂ්ණරාජා ප්‍රමුඛ කණ්ඩායම විසින් සිදුකරන ලද ගවේෂණයේ දී ශිලා මෙවලම් රැසක් සොයාගන්නට විය.


2011 දී ආචාර්ය ශිරාන් දැරණියගල, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක හා ආචාර්ය නිමල් පෙරේරා යන විද්වතුන්ගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ කන්දරෝඩයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබීය. මායක්කායි ප්‍රදේශයයෙන් හමු වූ ශිලා මෙවලම්, පුරාශිලා යුගයට අයත් යැයි නිගමනය විය. කහඳ පාෂාණයෙන් නිමවා තිබූ කැපුම් ආයුධවලින් යුත් ආයුධ අතර අත්පොරොව මෙම ශිලා මෙවලම් වලින් සුවිශේෂි විය. ඉරණමඩු හා බුන්දල ප්‍රදේශයේ “මිනිහා ගල්කන්ද” නම් වූ ස්ථානයෙන් සොයාගත් වසර 125,000 ක් පැරණි ශිලා මෙවලම් ලංකාවෙන් මෙතෙක් හමු වූ පැරණිතම සාධක ලෙස සැලකු අතර යාපනයෙන් සොයාගත් ශිලා මෙවලම් අදින් වසර 600,000 හෝ (හය ලක්ෂයක්) හෝමෝ ඉරෙක්ටස් මානව සංස්කෘතිය නියෝජනය කරන්නක් බව විද්වතුන්ගේ මතයයි. එය ඇචූලියන් ආයුධ සම්ප්‍රදායට අයත් ශිලා මෙවලම් ලෙස හඳුනා ගෙන ඇත.


ආචාර්ය ශිරාන් දැරණියගලයන් පෙන්වා දෙනුයේ ශිලා මෙවලම් හමු වූ මායක්කායි පෙදෙසෙහි පාරිසරික තත්ත්වය ඉපැරණි විල්ලුවක ලක්ෂණ පෙන්නුම් කරන බවත් එය ඇචූලියන් සාම්ප්‍රදායික මිනිසා භාවිත කළ භූමියක් විය හැකිය යන්නය. කුඩා පඳුරු සහිත මෙම භූමිය අක්කර 55 ක් පුරා පැතිර පවතී.


කඳුරුගොඩ විහාරය පිහිටි කන්දරෝඩියට ළඟාවීමට යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් හන්දිය දක්වා ගමන් කළ යුතුය. කන්දරෝඩෙයි (කන්තරෝඩය) පිළිබඳව විවිධ මතවාද පවතින අතර මහාවංශයට අනුව සංඝාමිත්තා තෙරණියගේ ලංකා ගමන හා සම්බන්ධ වේ. එනම් ලක්දිවට වැඩි මහරහතන් වහන්සේලා 60 නමක් මෙම පෙදෙසේ වැඩවාසය කළ හෙයින් උන්වහන්සේලා අපවත් වීමෙන් අනතුරුව එම ශාරීරික ධාතු නිදන්කොට මෙහි ස්තූප 60 ක් ඉදිකළ බව සඳහන්ය. අක්කර 72 ක් පමණ වූ භූමි ප්‍රමාණයක් රක්ෂිත කලාපයක් ලෙස බ්‍රිතාන්‍යයන් විසින් එකල වෙන්කරනු ලැබීය. විටින් විට මෙම ස්ථානයේ කැණීම් කටයුතු සිදුකරනු ලැබූ අතර එහිදී මතුකරගත් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නටබුන් අතර දුර්ලභ කවන්ධ බුදු පිළිමයක කොටස් ද හමු විය.


එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේගේ ප්‍රධානත්වයෙන් 1965 දි සිදුකළ පුරාවිද්‍යා කැණීම් මඟින් ඉතා වැදගත් සාධක මතුකර ගැනීමට හැකිවිය. එහි දී ස්තූප 21 ක් නිරාවරණය කරගත් අතර ස්තූප 36 ක පාදම් මතුකර ගැනීමට පුළුවන් විය.


ආචාර්ය ශිරාන් දැරණියගල කන්දෙරෝඩිය සම්බන්ධව දක්වන අදහස් දැක්වීමේ දී ප්‍රකාශ කරනුයේ මෙය ලංකාවේ හතරවැනි මානව ජනාවාස පෙදෙස නියෝජනය කරන බවයි. අනුරාධපුරය පළමු යුගය ලෙසත්, තිස්සමහාරාමය දෙවැන්නත්, මන්නාරමේ මාතොට හෙවත් මහාතිත්ථ වරාය ආශ්‍රිත පෙදෙස තෙවැන්න ලෙසත් කන්දරෝඩෙ (කඳුරුගොඩ විහාරය) ආශ්‍රිත මානව ජනාවාස පෙදෙස සිව්වැන්නත් ලෙස දැරණියගලයන් පෙන්වා දෙයි.


1970 දශකයේ දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමලා බෙග්ලි එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කැණීමේ දී කානේලියන් පාෂාණයෙන් නිම වූ මුදුවක් හමු වූ අතර එහි මුද්‍රාවෙන් අශ්වාරෝහකයෙක් නිරූපණය කොට ඇත. ඊට අමතරව අක්ෂර සහිත මැටි බඳුන් කැබලි සොයාගන්නට හැකි විය.


යාපනයේ දක්නට ලැබෙන පැරණි ගොඩනැගිලි අතර නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මන්ත්‍රී මාළිගය සුවිශේෂි තැනක් හිමිකර ගනී. සිංහල ව්‍යවහාරයෙන් රාජමන්ත්‍රී මාළිගය ලෙස ද මන්ද්‍රිමානායි නමින් දෙමළෙන් ද හැඳින්වේ. මෙම ස්ථානය සංකිලියන් රජවරුන්ගේ මාළිගය ලෙස ද ඇතැමුන්ගේ විශ්වාසයයි. ආර්ය චක්‍රවර්ති පරපුරේ අවසාන යුගය නියෝජනය සංකිලියන් රජුගේ කාලය ලෙස ඉතිහාසයේ සඳහන්ය. මෙම ගොඩනැගිල්ලේ ඉදිරිපස පිවිසුම පෘතුගීසි යුගයේ දී එකතු කරන්නට ඇති බවත් 1890 දී ඒ.එස්. තම්බයියා පිල්ලේ විසින් මෙහි ප්‍රධාන දොරටුව නැවත ඉදිකරවූ බව ඊට සම්බන්ධ ද්‍රවිඩ සෙල්ලිපියක දක්වා තිබේ.


එමෙන්ම නල්ලූර් පේදුරුතුඩුව මාර්ගයේ පිහිටා ඇති සංගිලියන් තෝප්පු හෙවත් සංගිලියන් දොරටුව යාපන අර්ධද්වීපයේ ඇති පුරාවස්තු අතර ප්‍රමුඛස්ථානයක් හිමිකර ගනී. මෙය සංගිලියගේ පැරණි මාළිගයට ප්‍රවේශ වන දොරටුව ලෙස සැලකේ. මෙම ස්මාරකය යාපනය රාජධානියේ විසූ සංගිලියන් හෝ සංකිලි (ක්‍රි.ව. 1519) ගේ නමින් හඳුන්වා ඇත. මෙය සංගිලියන් තෝප්පු ලෙස නම්කොට ඇති අතර තෝප්පු යනු තොරණ බවත් දැක්වේ. ගඩොලින් නිමවා හුණු බදාමයෙන් කපරාරු කොට ඇති මෙහි අලංකාර කැටයමින් යුක්තය.


යාපනය කොටුව සම්බන්ධව රුබෙයිරෝගේ “ලංකා ඉතිහාසය” කෘතියෙහි “යාපා පටුන බලකොටුව හතරැස් වූ අතර අට්ටාල හතරක් ද අඩසඳ හතරක් ද තාප්පයක් ද තිබිණි. මේවා සාදා තිබුණේ කොරල් ගල් වලිනි. අවශ්‍ය තුවක්කු මෙහි තිබුණු අතර, රාජධානියේ ආණ්ඩුකාරවරයා ද මෙහි විසුවේය. තාප්පයට පිටින් එක පැත්තක නගරය පිහිටා තිබුණි. යුරෝපීය පාලන සමය තුළ දක්නට ඇති වැදගත්ම පුරාවිද්‍යා උරුමයක් ලෙස යාපනය කොටුව හැඳින්වීම නිවරැදිය” යන්න දක්වා තිබේ. ක්‍රි.ව. 1619 පෘතුගීසින් විසින් මෙම බලකොටුව ගොඩනැංවූ අතර ලන්දේසී පාලන කාලයේ දී නැවත ගොඩනැංවීමක් සිදුකර ඇත. 1658 දී ලන්දේසීන්ට මෙම බලකොටුව යටත් විය. පෘතුගීසින් චතුරස්‍රාකාර ලෙස නිම වූ බලකොටුව ලන්දේසින් විසින් පංචාස්‍රාකාර හැඩයට නිමවීය. කොටුවේ පිට ප්‍රාකාරය අඩි 40 ක් පළලින් ද අඩි 30 ක් උසකින් ද යුක්ත වූ අතර අක්කර 64 ක භූමිභාගයක් පුරා විහිදී ඇත.


උතුරු පළාතේ ආරක්ෂා කර ගත යුතු උරුමයන් අතර ඩෙල්ෆ්ට් දූපතේ පිහිටි බයෝබැබ් ගස නම්කළ හැකිය. මෙම ශාකය සීකිරියාම්පල්ලම් වැව ආසන්නයේ දක්නට ලැබෙන අතර අශ්වයින්ගේ ආහාර පිණිස ආරාබි වෙළඳුන් විසින් මෙරටට ගෙන එන ලදැයි සැලකේ. මෙහි පත්‍ර සතුන්ගේ ප්‍රියතම ආහාර වේ. අඩි 50 ක පමණ වට ප්‍රමාණයකින් යුක්ත මෙම ශාකය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙවැනිම වූ බයෝබැබ් ශාක මන්නාරම පල්ලිමුනෙයි හා තලෙයිමාන්නරමේ ද දැකිය හැකිය. 


ඩෙල්ෆ්ට් දූපතේ ඇති පෞරාණික බෞද්ධ නටබුන් සහිත පැරණිම ස්ථානය ලෙස එදිරේසන්ගේ කොටුව නමින් හඳුන්වනු පෙදෙසේ ඉදිකළ මෙම ස්තූපය දැක්විය හැකිය. ක්‍රි.පූ. 2 වන සියවස මෙහි ආරම්භක අවදිය ලෙස සැලකේ. අඩි 34 ක විෂ්කම්භයකින් යුතු ප්‍රධාන ස්තූපය සංරක්ෂණය කොට ඇති අතර එය අඩි 03 ක ප්‍රමාණයකින් යුක්තය. මෙම පෙදෙසේ පිහිටි උසම ස්ථානයේ කොරල් ගල් උපයෝගි කොට ගෙන ස්තූපය නිමවා තිබේ. එමෙන්ම එයට බටහිර හා නැගෙනහිර දිශානුගතව තවත් ස්තූප දෙකක් දක්නට ලැබේ. ඒවායේ පාදම පමණක් දැනට ශේෂව පවතී. මෙම භූමිය පුරාම පැරණි වළං කැබිලිති විසිරී ඇත. ඒ අනුව ඩෙල්ෆ්ට් දූපතේ බෞද්ධ නටබුන් සහිත ස්ථාන ද රැකිය යුතු උතුරේ උරුමයන්ය.


සිළුමිණ 

2020 ජුනි 14

රුක්ෂිලා වෙත්තමුණි 


අන්තවාදීන්ගෙන් බැට කන දෙවනගල ඓතිහාසික පුදබිම


පුරාවිද්‍යාත්මක, ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත්කමක් උසුලන දෙවනගල රජමහා විහාරය සතු ඉඩකඩම් හා පුරාවස්තු කලක පටන් බාහිර පුද්ගලයින්ගේ මංකොල්ල කෑමට ගොදුරු වී තිබේ. මේ සම්බන්ධව ජනමාධ්‍ය තුළ බොහෝ කතිකාවට ලක්ව ඇති අතර ඊට පිළියම් ලෙස රජය මැදිහත්වීම කාලීන අවශ්‍යතාවකි.


 සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප‍්‍රාදේ‍ශීය ලේකම් කෝට්ඨාසයට අයත් සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවෙ ‌‌ඓතිහාසික දෙවනගල රජමහා විහාරය පිහිටා ඇති අතර අක්කර 72 ක් පුරා පැතිරුණු මෙම පුදබිමට මාවනැල්ලේ සිට හෙම්මාතගම දක්වා දිවෙන මාර්ගයේ කටුගහවත්ත කඩ මණ්ඩියෙන් කිලෝ මීටර් 4 ක් පමණ ගමන් කිරීමෙන් ද අයගම හන්දියේ ඉදිරිපිට මගෙහි උඩපමුණුව මාර්ගයෙන් ද පිවිසිය හැකිය.


1941 දෙසැම්බර් 12 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවට දෙවනගල විහාරය සන්තක භූමි පෙදෙස ඇතුළත් කර ඇතිමුත් රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකරන ලද ගම් බිම් සහිත සම්පූර්ණ විහාරගම ඇතුළත් බිම් මැනුම සකස් කර ඇත්තේ 1876 දීය. දෙවනගල ගල් පර්වතයේ සිට රුවන්දෙනිය ගම දක්වා අක්කර 72 ක් පුරා මෙම භූමිය විහිදේ. බතලේගල, අම්බුළුගල, සුරසරදියෙල්ගල, දනකිරිගල , ඌරගල, සැලවගල, කඩුගන්නාව යනාදි කඳු වැටි රාශියක් දෙවනගලට අවටින් දර්ශනය වේ.


පුරාණ නම් පොතේ පරණ නුවර නමින් දෙවනගල නම් කර ඇති අතර දෙවනගල සම්බන්ධ ඉතා රසවත් ලෙස ගොඩ නැඟුණු ජනප්‍රවාද බහුල වශයෙන් ඇත. ඉන් එකක් ලෙස අලුත්නුවර දෙවියන් හිඟුලේ කිරුංගල්පායට වැඩම කොට දෙවැනිව මෙතැනට වැඩම කළ හෙයින් දෙවනගල වු බව කියැවේ. එසේම රන් වංගෙඩි දෙකක් මෙහි නිදන් කොට තිබීමත් හේතුවක් ලෙස සඳහන්ය. මෙම ප්‍රදේශයේ වඩාත් උසින් පෙනෙන බතලේගලට පමණක් දෙවැනි වූ බැවින් එය දෙවනගල ලෙස හැඳින් වූ බවත් දෙවියන් වැඩ විසූ ගල කියන අරුතින් මෙම පර්වතය අමර ගිර ලෙසත් ව්‍යවහාරයේ පවතී.


දෙල්ගමු විහාරයේ කුරහන් ගලක සඟවලා තිබුණු දළදා වහන්සේ මහනුවරට වැඩමවාගෙන යන අතරතුර එක් රාත්‍රියක් දෙවනගලත් තැන්පත් කර තිබූ බවට මතයක් ඇති අතර මෙහි එසේ තැන්පත් කළා යැයි සැලකෙන කුරහන් ගලක් ද දක්නට ලැබේ. එසේම දළදා වහන්සේ තැන්පත් කර වසර ගණනාවක් පුද සත්කාර කළ කුටිය ලෙස තනිකර කළුගලින් පමණක් නිමවා ඇති ගොඩගැගිල්ල සම්බන්ධව ද අදහස් පවතී.


ජනප්‍රවාද ගත තොරතුරු අනුව ධාතුසේන රජ දවස මෙම පර්වතයෙහි විහාරයක් සෑද වූ බව දැක්වෙන කවි පන්තියක් ලෙස මෙසේ දැක්විය හැකිය.


දිලේ දිලේ රැස් බුදු සසුන ලක තුලේ

විලේ ජලේ නොසිඳේ සැදුණ හැම කලේ

කලේ නිරිඳු දාසෙන් වෙහෙර මන කලේ

ගලේ දෙවන නැග ගොස් වඳිමු සිතු ලොලේ


දෙවනගල පර්වතයට පිවිසීම සඳහා ඇති ගලේ කෙටූ පියගැටපෙළ, පැති දෙකකින් යුක්තය. ටැම්පිට විහාරයකින් යුතු විහාර මන්දිරයක්, අලංකාර පොකුණක්, ස්තූපයක්, බෝධියක්, පැරණි ආවාස ගෘහයක් සහ අතීතයේදී විහාර මන්දිරයක් වූවා යැයි විශ්වාස කරන ශෛලමය ගොඩනැගිල්ලක් මෙම පර්වතයෙහි පිහිටා ඇත.


පර්වතය මුදුනේ ශිලා ලේඛන දෙකක් දක්නට ඇති අතර ඉන් එකක් පොළොන්නරු යුගයේ පළමුවෙනි පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දක් වන අතර අනෙක මහනුවර යුගයේ පළමුවෙනි විමලධර්මසූරිය රජ සමයට අයත්ය.


මහාවංශයේ අනුරාධපුර යුගයේ දී ධාතුසේන රජු විසින් දාසෙන් පව්වෙහි කරවන ලද විහාරයක් ගැන සඳහන් කෙරේ. එකල මෙම ස්ථානය දාසෙන් පව්ව ලෙස හඳුන්වන්නට ඇතැයි යන්න මින් අදහස් වේ. එසේම “ දෙවනගල දාසෙන් වෙහෙර ” නමින් රාජාවලියේ ද දැක්වේ. කිත්සෙන් පව්ව ලෙස පොලොන්නරු යුගයේ දී දෙවනගල හඳුන්වා ඇති අතර ඒ බැව් දෙවනගලට නගින පඩිපෙළ ආසන්නයේ ඇති ගිරි ලිපිය මගින් සනාථ කෙරේ.


මහාවංශයේ සඳහන් පරිදි පළමුවන පරාක්‍රමබාහු (1153-1186) රජුගේ දෙළොස්වන රාජ්‍ය වර්ෂයේදී ලංකාව හා රාමඤ්ඤ දේශය (බුරුමය) අතර පැවති වෙළඳ සබඳතා (ඇතුන් විකිණීම) බිඳ දමමින් , ශ්‍රී ලාංකික නාවිකයන්ට කරන ලද වධ හිංසාවන්ට විරුද්ධව එරට සමඟ යුද වැදුණු බවත් එම සටන ජයග්‍රහණය කළ කිත්නුවරගිරි (කිත්නුවරගල්) සෙනෙවියාට ගම්වර පිදූ බව දෙවනගල සෙල්ලිපියෙහි සඳහන් වේ. එනම් මෙම ලිපිය මහා පරාක්‍රමබාහු රජු විසින් තම ප්‍රධාන සෙනෙවි කීර්ති නගරගිරි වෙනුවෙන් කරවන ලද්දක් යැයි පිළිගැනේ. බුරුමය ආක්‍රමණය කිරිමේ දී මෙම සෙනෙවියා කුසුමිය නගරය යටත් කර බලය අත්පත් කර ගැනීමට කටයුතු කළ නිසා ඒ පිළිබඳ සතුටු වූ රජතුමා ඔහුට ප්‍රදානය කළ ගම්වරය සම්බන්ධ විස්තරය පිළිබඳව මෙම සෙල්ලිපියේ අන්තර්ගත කර ඇත.


සෙල් ලිපියේ අන්තර්ගතය ලෙස ගත් කළ පරාක්‍රමබාහු රජුගේ සෙන්පතියෙකු වූ කිත්නුවරගල් විසින් (බුරුමය) රාමඤ්ඤ රට ආක්‍රමණය කර “කුසම්ය” නම් නගරය දිනා ගැනීම වෙනුවෙන් මලබටුව ඉඩම හා කිත්සෙන් පව්වෙන් අමුණු 12 ක් හා යාල දෙකක ඉඩම් පමුණු කොට දීම පිළිබඳව විස්තර දැක්වේ. එමෙන්ම පරාක්‍රමබාහු රජු විසින් තම ඥාති සොයුරන් වූ ගජබාහු සහ මානාභරණ යන දෙදෙනාට විරුද්ධව කළ යුද්ධය ගැන ද එහි සදහන්ව ඇත. භික්ෂූන් වහන්සේලාට විරුද්ධව සීතාවක රාජසිංහයන් විසින් ආඬි පක්ෂය ගෙන කටයුතු කරන අවස්ථාවේ දී සෙංකඩගලින් ඊට විරුද්ධව කොනප්පු බණ්ඩාර නැගී සිටින්නට විය. පරංගින්ට විරුද්ධව කළ සටනේදී මල්වතු විහාරයට අයත් භික්ෂු පරම්පරාවේ දෙවනගල රතනාලංකාර හිමි ඔහුට සහය දුන් බව සඳහන්ය.


මේ හේතුවෙන් උඩරට අත්පත් කර ගැනීමටත් රාජ උරුමය ඇති කුසුමාසන දේවිය තමාසතු කර ගැනීමටත් කොනප්පු බණ්ඩාරයන්ට අවස්ථාව උදාවිය. පිරිහෙමින් පැවති උඩරට රාජධානියට නව ජීවයක් ලබා දෙමින් පළමුවන විමලධර්මසූරිය නමින් කොනප්පු බණ්ඩාර රාජ්‍යත්වයට පත්විය. ඔහු විසින් උපසම්පදාව යළි ස්ථාපිත කොට ආඬින් ගෙන් ශ්‍රී පාදය නැවත පවරා ගෙන බෞද්ධයින් සතු කරන ලද අතර තමන්ට උපකාර කළ දෙවනගල රතනාලංකාර හිමියන්ට කෘත ගුණ සැලකීම පිණිස ගම් බිම් පුදා දෙවනගල පර්වතයේ පිහිටුවන ලද ශිලා ලිපිය මෙහි දී දක්නට ලැබේ. එසේම පරංගින්ට විරුද්ධව සේනාව සංවිධානය කළ ඉතා සුවිශේෂි ස්ථානයක් ලෙසට ද දෙවනගල නම්කළ හැකි අතර මෙහි ස්වර්ණමය යුගය මහනුවර රාජ්‍ය සමයවිය.


දෙවනගල පර්වත මස්තකයේ පළමුවන විමලධර්මසූරිය රජු විසින් කරවන ලද සෙල් ලිපියට යාබදව විශේෂිත සිරිපතුලක සටහනක් දක්නට ඇති අතර එහි මඟුල් ලකුණු සටහන්ව ඇත. මහනුවර යුගයට අයත් යැයි සැලකෙන මෙය එම යුගයේ නිර්මාණය වූ විශාලතම සහ අලංකාරම සිරිපතුල් සටහන ලෙස ද සඳහන්ය. අඩි 4 ක් පමණ දිගින් යුතුව සෘජුකෝණාස්‍රාකාර රාමුවක් තුළ මෙම සිරිපතුල් සටහන නිමවා තිබේ. එහි දාගැබ් දොළහක්, බෝ රුක් දෙකක් සහ වෙනත් මල් මෝස්තර කීපයක් සහිත රූ සටහන් කොටා ඇත. එමෙන්ම මෙම සිරිපතුලෙහි තවත් සිරිපතුලක සටහනක් ද දක්නට ලැබේ.


පළමුවැනි විමලධර්මසූරිය රජුගේ අනුග්‍රහයෙන් රතනාලංකාර හිමිගේ මූලිකත්වයෙන් පර්වතය මුදුනේ පිහිටුවා ඇති ටැම්පිට පිළිම ගෙය කරන ලද බව සඳහන්ය. මෙම පිළිම ගෙය වටා ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන බැවින් එකවර එය ටැම්පිට පිළිම ගෙයක් යැයි හඳුනා ගැනීමට අපහසුය. මෙම නිර්මාණකාර්යෙහි නිරත වුණු ශිල්පියාගේ නම එහි ඉදිරියෙන් වූ ගල්තලාවේ සටහන් කර ඇති බව දක්නට ලැබේ. මෙම ගොඩනැගිල්ලට පිවිසීමට දොරටු තුනක් නිමවා ඇති අතර ඉතා අගනා කැටයමින් රූකම් කරන ලද උළුවස්සක් පිළිමගෙට ඇතුළුවන දොරටුවේ දක්නට ලැබේ. පිළිමගෙය අභ්‍යන්තරයේ නිරූපිත සූවිසි විවරණය, සොළොස්මස්ථාන, රහතන් වහන්සේලාගේ යැයි සැලකෙන රූප, ඉර හඳ, වෘක්ෂලතා, ලියවැල් ආදි වූ සිතුවම් මහනුවර යුගයේ මුල්කාලයට අයත් යැයි සැලකේ.


ස්වභාවික පිහිටීම උපයෝගී කොටගෙන පර්වතය මුදුනෙහි නිමවා ඇති ඉතා අලංකාර හා විශාල පොකුණක් මෙහි දී දැක ගැනීමට හැකිය. මෙම පොකුණට යාබදව කුඩා ළිඳක් දක්නට ඇති අතර පොකුණ කළු ගල් බැම්මකින් ආවරණය කර තිබේ. දෙවනගල විහාරයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය පිණිස මෙම පොකුණ ඉදිකරන්නට ඇති බව සඳහන්ය.


පළමුවැනි විමලධර්මසූරිය රජුගේ කාලයේදී මෙම පොකුණ ආශ්‍රිතව උමං මාර්ගයක් තැනු බවට මතයක් පවතී. පරංගීන්ගේ උවදුරු ඇති වීම හේතුවෙන් රජු සහ බිසව නිතර මුණ ගැසීමට නොහැකියාව හේතුවෙන් තම බිසව කුසුමාසන දේවිය නොහොත් දෝනකතරිනා මුණ ගැසීමට එසේ මෙම උමග නිමවන්නට ඇති බව කියැවේ. ඇය දෙවනගල අසල ගමක් වන ගල්ලෑල්ල කැකිරිගොඩ රජ මහා විහාරයේ එවකට කුඩා මාලිගාවේ විසූ බැවින් මෙම පොකුණ හරහා උමං මාර්ගයක් තනා ඇති බවත් මෙහි අනෙක් කෙළවර කොටවෙහෙර රජමහා විහාරයේ පොකුණට යාබදව පිහිටා ඇති බවත් මතයකි. එසේම නියං කාලයක දී වුව ද මෙම පොකුණු දෙකෙහිම ජලය නොසිඳෙන බැවින් එය මෙහි ඇති සුවිශේෂි ලක්ෂණයකි.


මෙම පර්වතය මුදුනෙහි පිහිටි ස්මාරක අතරින් විශේෂිත ස්මාරකයක් ලෙස සම්පූර්ණ වශයෙන් ගලින් ම නිමවා ඇති ඉපැරණි ගල් ගොඩනැගිල්ල දැක්විය හැකිය. විවිධ ප්‍රමාණයෙන් යුක්ත ගල් කුට්ටි එකමත එකිනෙකට යා වනසේ බදාම රහිතව ගොඩනගා ඇති අතර ශේෂව ඇති බිත්ති කොටස් අනුව ගොඩනැගිල්ල අඩි දොළහක් දක්වා උසින් යුතුව පවතින්නට ඇතැයි යන්න අනුමාන කළ හැකිය. ගොඩනැගිල්ල ඉදිකිරීමට මිණුම් සහිතව ගල් කුට්ටි කපා ගන්නට ඇතැයි යන්න විශ්වාස කරන අතර එම ගල් කුට්ටි කපා ගත් ස්ථානය ලෙසට පළමුවන විමලධර්මසූරිය රජු විසින් කරවන ලද සෙල්ලිපිය ආසන්නව පිහිටි ගල්තලාව විය හැකිය යන්න සැලකේ.


මෙවැනිම ආකාරයේ ගල් ගෙයක් දෙවුන්දර ද දක්නට ලැබීම සුවිශේෂීය. දෙවනගල පිහිටි ශෛලමය ගොඩනැගිල්ල පොළොන්නරු කාලයට අයත් යැයි පැවසේ. එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී දෙවනගල සංවර්ධන කටයුතු කළ බවත් ගම්වර පිදූ බවත් පිළිගැනේ. ජනප්‍රවාදය අනුව මේ ගොඩනැගිල්ල ඉසුරුමුණිපාය නමින් ද හඳුන්වා ඇතැයි යන්න කියැවේ.


ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ H.C.P. බෙල්ගේ කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ එකල මෙහි පැවති දාගැබ ගරා වැටී තිබූ බව සඳහන්ය. ධාතුසේන රජුකල මෙහි ගල මත වෙහෙරක් ඉදිකර තිබූ බව සඳහන් වුව ද වර්තමානයේ දක්නට ඇත්තේ මහනුවර යුගයේ පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලවකවානුවේ දී කරවන ලද දාගැබ යන්න පිළිගැනීමයි. එසේම නිරන්තරයෙන් නිදන් හොරුන්ගේ ග්‍රහණයට මෙම දාගැබ ලක්ව ඇති අතර විවිධ කාල වකවානු වලදී මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කර තිබේ. මෙම ඓතිහාසික පුදබිමේ බෝධි ප්‍රාකාරයක් දක්නට ඇති අතර ඒ තුළ අඩි 15x15 වැනි ප්‍රමාණයෙන් යුක්තව අභ්‍යන්තර කොටු බැම්මකින් නිමවා ඇත. එසේම මෙහි පිහිටුවා ඇති බෝධිය අෂ්ටඵල බෝධි අතරින් එකක් බවත් එය පොළොන්නරුව යුගයට අයත් යැයි ද මතයකි.


එහෙත් 80 දශකයෙන් පසුව දෙවනගල ඓතිහාසික පුදබිම අරාජිකව පැවතීම හේතුවෙන් විවිධ තාඩන පීඩන වලට ගොදුරු විය. ඉතාම ශෝචනීය කරුණක් වනුයේ විමලධර්මසූරිය රජු විසින් කර වූ ශිලා ලේඛනය මතට ඇසිඩ් වත්කර විනාශ කිරීමට උත්සාහ කිරීමයි. එසේම පිළිමගෙයි පිහිටි පිළිමවහන්ස්ගේ උදරය සහිත පෙදෙස යවුලකන් ඇණ විනාශ කිරීම ද ඉතා කනගාටුදායක තත්ත්වයක් විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත මෙම පිළිමය නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

අනුරාධපුර යුගය දක්වා ඉතා ඈත අතීතයකට දිවයන මෙම විහාරය මහනුවර යුගය ඔස්සේ වර්තමානය දක්වාම පැවතගෙන පැමිණි මුත් අවාසනාවකට මෙන් විහාරයට අයත් භූමි ප්‍රදේශය අන්‍යාගමික අන්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබීම ඉතා ශෝචනීය තත්ත්වයකි.

සිළුමිණ

2020 ජුනි 07

රුක්ෂිලා වෙත්තමුණි


https://epaper.silumina.lk/Home/ShareArticle?OrgId=2b43a8df&imageview=0

 

Friday, September 25, 2020

මහින්දාගමනය හා බැඳුණු ඓතිහාසික සාධක


 මහාවංශයේ 13 වෙනි පරිච්ඡේදයේ (18-20 ගාථා) සඳහන් පරිදි මහින්දාගමනය සිදුවූයේ පොසොන් පොහෝ දිනකදීය. එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236 ක් වූ පසුව (ක්‍රි.පූ. 250) ධර්මාශෝක අධිරාජ්‍යයාගේ 18 වන රාජ්‍ය වර්ෂයේදීය. එම කාලය ලක්දිව පාලනය කළ දෙවනපෑතිස් රජුගේ පළමු රාජ්‍ය වර්ෂය ලෙස සැලකේ. මහින්දාගමනය සම්බන්ධව සටහන් වූ දීපවංසය, මහාවංශය, සමන්තපාසාදිකාව, මහාබෝධි වංසය ආදි පාලි කෘති සහ පූජාවලිය, සිංහල බෝධිවංසය ආදි සාහිත්‍ය මූලාශ්‍ර ද මිහින්තලය හා රජගලින් හමු වූ සෙල් ලිපි පුරාවිද්‍යාත්මක සාක්ෂි ලෙස ද සඳහන් කළ හැකිය.


බුදුහදම මෙරට ස්ථාපිත කිරීමත් සමඟ එකල පැවති ජන ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වූ අතර රජරට සභ්‍යත්වයේ විශාල වර්ධනයක් සිදුවිය. මහින්දාගමනය සිදුවන මොහොත වන විටත් ලක්වැසි ජනතාව බුදු දහම ගැන අසා දැන සිටින්නට ඇතැයි සිතිය හැකිමුත් ඔවුන් විවිධ ඇදිහිලි හා විශ්වාස කෙරෙහි එල්ඹගෙන තිබුණි. එහෙත් දේවානම්පියතිස්ස රජු යටතේ රාජ්‍ය අනුග්‍රහය ලද හේතුවෙන් බුදු දහම ඉතා සීඝ්‍රයෙන් මෙරට ජනයා වැළඳ ගත් බැවින් මළවුන් ඇදහීම, ගස් ගල් පිදීම හා යකුත් පිළිබඳ වූ විශ්වාසයන් ක්‍රම ක්‍රමයෙන් අත් හැරීම සිදුවිය.

බුදු දහම තර්ක බුද්ධිය හා අවබෝධය පදනම් කොටගත් දර්ශනයක් වූ බැවින් ඇදහිලි හා පූජා සිරිත් විරිත් වලට සීමා නොවීය. ලංකාව, සමස්ත ලෝකයේම ථෙරවාද ග්‍රන්ථ ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රමුඛතම මධ්‍යස්ථානය විය. ඒ බැව් සනාථ වන අවස්ථාවක් ලෙස ක්‍රි.ව. 5 වන සියවසේ දී චීනයේ සිට පැමිණි ෆාහියන් භික්ෂුව දැක්විය හැකිය. වසර දෙකකට ආසන්න කාලයක් අභයගිරියේ අධ්‍යාපනය ලද උන් වහන්සේ සඳහන් කරනුයේ ඒ වන විට අභයගිරියේ භික්ෂුන් වහන්සේලා 5000 ක් වාසය කළ බවත් මහාවිහාරයේ භික්ෂුන් වහන්සේලා 3000 ක් පමණ වැඩ සිටි බවයි.

එමෙන්ම ෆාහියන් හිමි විසින් චීනයේ බුදුදහම තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණෙන් දීර්ඝාගම, සංයුක්තාගම හා සංයුක්ත සංචක පිටක වැනි සංස්කෘත භාෂාවෙන් රචිත මහීසාසක නිකායට අයත් ග්‍රන්ථ රැසක් අභයගිරි විහාරයෙන් ගෙන ගිය බැව් සඳහන්ය. එකල පැවති මෙරට බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට එමගින් හැකියාවක් ලැබේ. අභයගිරි විහාරය ඔස්සේ අන්තර්ජාතික සබඳතා මඟින් මෙරට සංස්කෘතික වර්ධනය සිදුකිරීමට දායක විය. විටින් විට ඉන්දියාවෙන් මෙරටට පැමිණි මතවාද, සංකල්ප හා දෘෂ්ටි යනාදිය පිළිගැනීම හා එම අදහස් බෙදා හැරීම සිදු කරනු ලැබුයේ ද අභගිරිය මධ්‍යස්ථානය කරගනිමිනි.

සඟ සසුන හා සංඝාරාම යනුවෙන් ආයතන දෙකක් මෙරට බිහිවූයේ මහින්දාගමනය හේතුවෙනි. සංඝසාසනය මගින් ලක්දිව සංස්කෘතිය හැඩ ගැස් වූ අතර සංස්කෘතිය වර්ධනය කරමින් ව්‍යාප්ත කිරීම සංඝාරාමය මගින් සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාවිහාරය, අභයගිරිය හා ජේතවනාරාමය වැනි දැවැන්ත සංඝාරාම බිහිවිය. ජනතාවගේ සුබ සෙත වෙනුවෙන් කැප වූ භික්ෂුන් වහන්සේලා මෙහි විසූ අතර රජු හා රට වැසියන් විසින් එම භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනු ලැබීය. බුදු දහම මගින් රජයත්, සංඝයාත්, රටවැසියාත් යන ත්‍රිවිධ සංස්ථාවන් එකිනෙකට බද්ධ කරමින් පෝෂණය විය.

බුදුසමය මුලික කොට ගෙන ඉන්දියාව හා ලංකාව අතර ඉතා සමීප සම්බන්ධතාවක් පැවති බව දුට්ඨගාමිණි රජු ගේ ප්‍රධානත්වයෙන් පැවති රුවන්වැලි සෑයෙ පදනම දැමීමේ උත්සවය සඳහා ඉන්දියාවෙන් පැමිණි භික්ෂුන් වහන්සේලා සාක්ෂි දරන බව මහාවංශය ඇතුළු මූලාශ්‍රයන් හි කියැවේ. එනම් ඉන්දියාවේ බුද්ධගයා, උජ්ජෙයින්, ඉසිපතන හෙවත් බරණැස, කෝසම්බි, රජගහ, සාවත්ථි, පාඨලිපුත්‍ර, වෙශාලි, කාශ්මීර වැනි පෙදෙස් වලින් අනුරාධපුරයට භික්ෂුන් වහන්සේලා රාශියක් රැස් වූ බව සඳහන්ය. උතුරු ඉන්දියාවේ සිට ක්‍රි.ව. 5 වන සියවසේ දී පැමිණි බුද්ධඝෝෂ හිමියන් මහාවිහාරයේ දී අට්ඨකථා රචනා කළ බවත් එම විහාරයේදීම ක්‍රි.ව. 8 වන සියවසේ දී දකුණු ඉන්දියාවේ සිට පැමිණි ධම්මපාල හිමියන් අට්ඨකථාකරණයට සහභාගි වූ බවත් පැවසේ.

මහින්දාගමනය නිසා දෙරට අතර වූ සංස්කෘතික සම්බන්ධතා හේතුවෙන් ඉන්දියාවේ සිට භික්ෂුන් වහන්සේලා පැමිණියා සේම ලංකාවේ භික්ෂුන් වහන්සේලා ද ඉන්දියාවට සංක්‍රමණය වූ අවස්ථා දැක්වේ. වට්ටගාමිණි (වළගම්බා) රාජ්‍ය කාලයේ දී ඇති වූ දරුණු බැමිණිටියා සාගතය නිසා භික්ෂූන් වහන්සේලා ඉතා විශාල පිරිසක් දකුණු ඉන්දියාවට නැව් නැගී ගමන් ගත් බව “සම්මෝහවිනෝදනී” නම් වූ අට්ඨකතාවේ දක්වා ඇත. එසේම ලංකාවෙන් ගිය භික්ෂුන් වහ්න්සේලා වෙනුවෙන් “සීහලාරාම” නම් විහාරයක් ඉදිකොට තිබු බව නාගර්ජුන කොණ්ඩයෙන් හමු වූ සෙල් ලිපයක සටහන්ව ඇත.

ඉන්දියාවේ සංචාරය පිණිස හත්වන සියවසේ දී ගමන් ගත් හියුංසියෑං නම් චීන භික්ෂුන් වහන්සේ තම සංචාරක සටහන් හි සඳහන් කරන්නේ උන් වහන්සේ කාංචිපුරයෙහි වැඩ වාසය කරන විට එම ස්ථානයට ලංකාවේ භික්ෂූන් වහන්සේලා තුන් සියයක් පමණ වැඩම කළ බවයි. එසේම එම වාර්තාවල බුද්ධගයාවේ බෝධි වෘක්ෂය පිහිටි තැන උතුරු දොරටුවට නුදුරින් ලංකාවේ රජකු විසින් ඉදි කරවන ලද තෙමහල් මහබෝධි සංඝාරමයක් ගැන ද සඳහන් වේ. උදයසිරි නම් ලාංකිකයෙක් මහාබෝධියට බුදු පිළිමයක් ප්‍රදානය කළ බව ක්‍රි.ව. 10 වන සියවසට අයත් බුද්ධගයා හි ශිලා ලිපියක දැක්වේ.කාලිංග යුද්ධයේදී ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මරුමුවට පත් වීමෙන් ලද කළකිරීම හේතුවෙන් අශෝක රජු බුදුදහම වැළඳ ගත් බවත් එසේ වැළඳ ගත් දහම ප්‍රචාරය කිරීම පිණිස ලෝකයේ අනිකුත් රටවල් වලට තම දූත කණ්ඩායම් යැවු බව සෙල්ලිපි වල සඳහන් වේ. එම රටවල් අතර ශ්‍රී ලංකාව ද සටහන්ව තිබූ බව කියැවේ.

තුන්වෙනි ධර්ම සංඝායනාව මොග්ගලීපුත්තතිස්ස තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති බවත් ඉන්පසු ධර්ම දූතයන් යැවූ ලංකාව ඇතුළු රටවල් 9 ක් පිළිබඳව මහාවංසය හා වංසත්ප්පකාසිනියෙහි සඳහන්ය. එසේම තෙවන සංගායනාවෙන් පසු විවිධ ප්‍රදේශ වලට යැවූ ධර්මදූත කණ්ඩායම් පිළිබඳ කරුණු දැක්වීමේ දී හිමවත් ප්‍රදේශයට මජ්ජිම තෙරුන් යෑවු බව මහාවංශයේ සඳහන් වේ. පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව වංසකතාවේ සඳහන් තෙවන සංගායනාවෙන් පසුව සිදු වූ ධර්ම දූත සේවය පිළිබඳව වූ කරුණු තහවුරු වේ. පුරාවිද්‍යාඥ ඇලෙක්සැන්ඩර් කනින්හැම් විසින් සාංචි ස්තූපයේ කරනු ලැබූ කැණීමේ දී ධාතු කරඬුවක් සොයා ගත් අතර එහි “සපුරිස මජිමස” ලෙස සටහන් කර තිබුණි. එහිම වෙනත් කරඬුවක “සපුරිස කසප ගොතස මෙවතා චරියස” යනුවෙන් සඳහන්ව ඇත. හිමවතට ගිය පිරිස් අතර කස්සප ගොත්ත හිමි ද වූ බව වංසකතාවල දැක්වේ. ඒ අනුව මෙම කරුණ සනාථ වූ බව පැහැදිලිය.

ධර්මය පැතිර ගිය ප්‍රදේශ පිළිබඳව අශෝක අධිරාජ්‍යාගේ ගිර්නාර් ලිපියේ සඳහන් වන අතර එම ප්‍රදේශ ලෙස චෝල, පණ්ඩ්‍ය සතියපුත, කේරළපුත, තම්බපණ්නි යනුවෙන් දක්වා තිබේ. එසේම 13 වන ලිපියේ තාම්‍රපණ්ණී යනුවෙන් දැක්වෙන අතර එය දක්ෂිණ ඉන්දියාවේ තිණ්ණවැලි ප්‍රදේශය යැයි වින්සන්ට් ස්මිත් ප්‍රකාශ කළ ද දකුණු ඉන්දියානු ඉතිහාසඥයෙකු වූ මුඛර්ජි ප්‍රකාශ කරන්නේ එය ශ්‍රී ලංකාව වන බවයි.

මුඛර්ජි පෙන්වා දෙන පරිදි තිණ්ණවැලි යනු ඉතා කුඩා ප්‍ර‍දේශයක් වූ බැවින් අශෝක අධිරාජ්‍යා එසේ කුඩා ප්‍රදේශයක තම ධර්ම ප්‍රචාරක කටයුතු සිදු නොකරන ලද බවත් තම පුත් වූ මිහිඳු හිමියන් ධර්ම ප්‍රචාරය පිණිස තම්බපණ්ණිය වූ ශ්‍රී ලංකාවට යැවූ බවත්ය. එසේම හියුං සියෑං භික්ෂුව, ලංකාවේ බුදු දහම ප්‍රචාරණය කරනු ලැබූයේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් යැයි තමා අසා ඇති බව සඳහන් කරයි.

දීපවංසය හා මහාවංසයට අනුව පැළලුප් නුවර සිට මහින්ද හිමි සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල සහ සංඝමිත්තාවන්ගේ පුත්‍ර සුමන සාමණේරයන් සහභාගී වූ බවත් පණ්ඩුක වේදිස නගරයේ දී මෙම කණ්ඩායමට එකතු වූ බවත් දක්වා ඇත.

මිහිඳු හිමියන් පැමිණ වසර 200 කට පමණ පසු කූටකණ්ණතිස්ස (ක්‍රි.පූ. 44-22) රජු කල ලියවන ලද මිහින්තලේ සෙල්ලිපියක් මඟින් මෙම දූත කණ්ඩායම ලංකාවට පැමිණි බව සනාථ වේ. එම ලිපියෙහි පැමිණි සිවු දෙනෙකු ලෙස මහින්ද තෙරනච, භද්දසාල තෙරනච, ඉට්ඨිය තෙරනච, උති තෙරනච යනුවෙන් නම් සටහන්ව ඇති අතර මෙම ලිපියේ අවසාන කොටස විනාශයට පත්ව තිබේ.

“ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික තෙර (ම) හිද තෙරහ තුබෙ” යනුවෙන් සඳහන් සෙල් ලිපියක් රජගල අම්පාරෙන් හමුවීමෙන්ද මහින්දාගමනය පිළිබඳ සාක්ෂි සපයයි. සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන්නේ මෙහි සඳහන් ස්තූපයන් මිහිඳු හිමියන් හා ඉට්ඨිය හිමියන් වෙනුවෙන් ඉදිකළ බවය. දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ උත්තිය රජු ගේ අටවන රාජ වර්ෂයේ දී මිහිඳු මිහියන් පිරිනිවන් පෑ බව වංසකතා හි දැක්වෙන අතර පිරිනිවන් පෑමෙන් පසුව එම ධාතු නිදන් කොට ස්තූප ඉඳිකළ බව සඳහන්ය. මිහින්තලේ ස්තූපය මින් එක් ස්තූපයක් බවත් එහි තිබී හමු වූ ධාතු කරඬුවෙ තැන්පත් කොට ඇත්තේ මිහිඳු හිමිගේ ධාතූන් විය හැකි බවත් සෙනරත් පරණවිතානයන්ගෙ අදහසයි. ක්‍රි.පූ. 2 වන සියවසට අයත් සාංචි ස්තූපයේ දකුණු දොරටුවේ කැටයම් අතර සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධි ශාඛාවක් රැගෙන සිටිනා අයුරු නිරූපිත කැටයම මගින් ගම්‍ය වන කරුණක් වන්නේ මහින්දාගමනය සිදුව නොබෝ දිනකින්ම සංඝමිත්තා තෙරණියගේ ආගමනය ද සිදු වූ බවයි. මෙමගින් මහින්දාගමනය පිළිබඳ සත්‍යතාව තව දුරටත් තහවුරු වී ඇත.

සංඝමිත්තා තෙරණියගේ ප්‍රධානත්වයෙන් දේවානම්පියතිස්ස රජු දවස මෙහෙණි සසුන පිහිටුවීම නිසා මෙරට සංස්කෘතිමය වශයෙන් බොහෝ වෙනසක් කිරීමට ඉවහල් විය. එසේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාන්තා දායකත්වය ද ඉතා සැලකිය යුතුව පැවති බවට සෙල් ලිපි සාක්ෂි දරයි. ලෙන් ආරාම සකස් කොට එහි ප්‍රදානය කළ තැනැත්තියගෙ නම කොටනු ලැබීය. මෙම ස්ත්‍රීන් කිසියම් ප්‍රභූ තැනැත්තෙකුගේ භාර්යාව හෝ දුව ලෙසත් උපාසිකා ලෙසත් දක්වා ඇත. මූලාශ්‍රවල සඳහන් පරිදි මෙසේ ලෙන් පූජා කළ ස්ත්‍රීන් දෙසීයකට අධිකය.

මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස ගෘහ නිර්මාණ ශිල්පයේ හා වාස්තු විද්‍යාවේ ද නව දිශානතියක් දක්නට ලැබීය. ලංකාවේ ප්‍රථම ස්තූපය ලෙස සැලකෙන ථුපාරාමය, අභය වැවේ (බසවක්කුලම) මැටියෙන් ඉඳිකළ බව සඳහන් වූවත් වර්තමානය වන විට විවිධ කාලවකවානු වලදී කරනු ලැබු ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එහි ආරම්භක ලක්ෂණ විනාශ වී ගොසින්ය. එහෙත් මිහින්තලේ කණ්ඨක චේතිය වැඩි වෙනස්කම් වලට බඳුන් නොවී පැරණිබව ආරක්ෂා වෙමින් ශේෂව පවතී.

“වැවයි දාගැබයි ගමයි පන්සලයි ”යන සංස්කෘතික සංකල්පය මහින්දාගමනයත් සමඟ සමාජගත වූ අතර බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක දියුණුව සංවේදී මිනිස් සමාජයක් බිහි කිරීමට ඉවහල් විය. සිත්පිත් නැති රළු කළු ගලෙකින් අතිශය කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් මිනිසා සංවේදී වී අධ්‍යාත්මික සංවර්ධනය කරා ගමන් කිරීමට බුදු දහමින් ලැබුණු හික්මීම හේතුවන්නට ඇත. මෙසේ සැලකිය යුතු අයුරින් විමසීමේ දී ශ්‍රී ලාංකික බෞද්ධයිනට පොසොන් පොහෝ දිනය ඓතිහාසික වශයෙන් මෙන්ම ආගමික වශයෙන් ද ඉතා වැදගත් දිනයකි.

සිළුමිණ
2020 මැයි 31
රුක්ෂිලා වෙත්තමුණි

ආන්දෝලනයට තුඩු දුන් මුහුදු මහා විහාරයේ ඉතිහාස කතාව


 

නැගෙනෙහිර පළාතේ අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොතුවිල් ප්‍රදේශයේ පොතුවිල් නගරයට නැගෙනහිර මුහුදු වෙරළේ මෙම ඓතිහාසික සිද්ධස්ථානය පිහිටා තිබේ. කොළඹ සිට කි.මී. 350 ක් පමණ දුරින් පොතුවිල් සිට දිවෙන පානම මාර්ගයේ මීටර් 800 ක් පමණ ගමන් කිරීමේදී මුහුදු මහාවිහාරයට පිවිසිය හැකිය.

මෙම ස්ථානයේ පිහිටි බොහෝ පුරාවස්තු මුහුදු රැල්ල හේතුවෙන් වැලි කඳු ගොඩ ගැසීම නිසා වැල්ලෙන් යට වී ඇත. දාගැබක නටබුන් වෙරළේ උස් බෑවුම් කොටසේ දක්නට ඇති අතර දාගැබට බටහිරින් ගල් කණු සහිත ගොඩනැගිල්ලක ශේෂයන් දැක ගැනීමට හැකිය.

ලක්දිව පැරණි රාජ්‍ය ඉතිහාසයේ 28 වැනි රජු වශයෙන් අභිසෙස් ලත් මහදැළියමානා නොහොත් මහාදාඨික මහා නාග රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලදැයි සැලකෙන අතර; එය රුහුණු රජ පෙළපතේ සිටම වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයක් ලෙස පැවතුණු බව සඳහන්ය.

එම කාල වකවානුවේ දී රුහුණේ රාජ්‍යත්වය හිමිව පැවතියේ කාවන්තිස්ස රජුටය. එමෙන්ම ලංකාවේ පැරැණි බෙදීම් අනුව මෙම ස්ථානය රුහුණු රාජ්‍යයට අයත්ව තිබුණි.

ඉතිහාසයේ සඳහන් පරිදි කාවන්තිස්ස රාජ්‍ය කාලයේ දී මුහුද ගොඩ ගැලීමේ සිද්ධියක් මුල්කොට ගෙන ඇති වූ කතා පුවතක් ඔස්සේ මුහුදු මහා විහාරය වැදගත් ස්ථානයක් හිමිකර ගනී. කැලණිතිස්ස රජුගේ දූ කුමරිය වූ දේවි මුහුද ගොඩ ගැලීමේ ව්‍යසනයෙන් රට බේරා ගැනීම සඳහා සිය ජීවිතය මුහුදට බිලිදීම පිණිස යාත්‍රාවක නැගී ගමන් ගත්බව සාහිත්‍ය මූලාශ්‍රයන්හි සඳහන්ය.

ඒ අනුව එම කුමරිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට අසුව පාවී අවුත් රුහුණේ තොටමුණකට ගොඩ ගැසූ බව කියවෙන අතර එම ස්ථානය කතරගම අසල කිරින්ද යැයි පැවසේ. එහෙත් ජනප්‍රවාදය අනුව දේවි කුමරිය වත්මන් පොතුවිල් අසල ඇති මුහුදු මහා විහාර සීමාව වෙත පාවී පැමිණි බව කියැවේ.

මහාවංශයේ සඳහන් වන්නේ විහාර මහාදේවිය ගොඩ බට ස්ථානය තෝලක විහාරය ලෙසයි. ඇය විහාරයක් ආසන්නයේ ගොඩ බැසීම හේතුවෙන් විහාර මහාදේවි වූ බවද සඳහන්ය. එමෙන්ම ඇය ගොඩ බැස්සේ ‘තොටලුතොට’ නම් ස්ථානයට බවත් ඒ වන විට ද ‘තොට්ටලක’ නම් විහාරයක් එතැන තිබූ නිසා එතැන් සිට කුමරිය විහාර මහා දේවිය වූ බව ද කියැවෙයි.

විහාර මහදේවී කුමරිය පිළිබඳ මෙම පුවත දැන එතැනට පැමිණ ඇයව පිළිගත් එකල රුහුණේ රජ කළ කාවන්තිස්ස රජු පසුව තම බිසෝ තනතුරෙහි ඇය පිහිටුවා ගත් බව පැවසේ.

ජනප්‍රවාදය අනුව ඉතා රසවත් සිද්ධි පදනම් කොටගෙන ග්‍රාම නාම බොහොමයක් බිහි වූ අතර ඒවායින් සමහරක් මෙම කුමරියගේ කතාව සමඟ පටබැඳී තිබේ.

එනම් කුමරියක් දියේ ගසාගෙන කොයි අත පාවී ඒවි දැයි අට්ටාල ගසාගෙන ධීවරයෝ විමසිල්ලෙන් බලා සිටි බවත් ඒසේ අට්ටාල ගැසූ ස්ථානය ‘අට්ටාලෙච්චන’ වී පසුව ‘අඩ්ඩාලෙච්චන ‘ වූ බව ද රජු නොඉවසිල්ලෙන් “කෝ කුමරිය” “කෝ කුමරිය” යැයි කියමින් පැමිණ තැන ‘කෝමාරිය’ වූ බව ද ධීවරයන් හා සෙනෙවියන් පිළිතුරු වශයෙන් ‘අර ගම’යැයි කියු තැන ‘ආරුගම්බේ’ නම් වී ඇති බව ද රජතුමාට උදව් කළ පිරිසට රජතුමා නින්දගම් ප්‍රදානය කළ බවත් එම ස්ථානය ‘නින්දූර්’ නම් වූ බව ද; පසුව සෙසු අයට අක්කර 10 බැගින් ත්‍යාග වශයෙන් දුන් ගම්බිම් එකතුව අක්කරේපත්තුව වූ බව ද කියැවේ.

කාලයේ ඇවෑමෙන් මුහුදු මහා විහාරයට අයත් පොතුවිල් මුහුදු තීරය නිරන්තරයෙන් මුහුදු ඛාදනට බඳුන්වීම හේතුවෙන් විහාරයට අයත් භූමි ප‍්‍රදේශයේ සැලකිය යුතු ප‍්‍රමාණයක් මුහුදට බිලි විය.

මුහුදු රළ සමඟ ගසාගෙන පැමිණි වැලි කඳු ගොඩ ගැසීම නිසා විහාරයෙ බොහෝ අංග යට වූ බැවින් විහාරයක් තිබූ බවට සලකුණක් හඳුනා ගැනීම පවා දුෂ්කර විය.

වර්ෂ 1951 ජනවාරි 26 ගැසට් පත‍්‍රයෙන් අක්කර 72 යි රූඩ් තුනයි පර්චර්ස් දහතුනක භූමි ප්‍රමාණයක් මුහුදු මහ විහාරට අයත් වී තිබුණු අතර පසුගිය කාලය පුරා සිදුවූ ඉඩම් කොල්ලකෑම නිසා අක්කර 3 කටත් වඩා අඩු භූමි
‍ප්‍රමාණයකට මේ විහාරභූමිය සීමා විය.

වත්මන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් දැන් නැවත ඒ භූමි ප්‍රමාණය ලබා දීමට ක්‍රියා කිරීම වැදගත් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන 1950 දශකයේ දි නැගෙනහිර පළාතේ පිහිටි පුරාවස්තු පිළිබඳ සිදුකළ ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු මහා විහාරය ඇතුළත් භූමි ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට නම් කෙරුණි. වාරකන් කාලවලදී මුහුදු දිය ඈතට යාමත් සමඟ මතුවන නටබුන් හේතුවෙන් ඉතා පුළුල් පරාසයක මුහුදු මහා විහාරයට අයත් භූමි භාගය පැතිර ඇතැයි යන්න අවබෝධ කර ගත හැකිය.

අතීතයේ දී අක්කර 264 ක් පමණ තිබුණේ යැයි සැලකෙන මුහුදු මහා විහාරය සතු ඉඩම 1965 අංක 773 PP 1450 දරණ ගැසට් නිවේදනයට අනුව අක්කර 30 ක් දක්වා අඩු වී ඇති බව සඳහන්ය.

ඒ අනුව නැවතත් 1965 මැයි 28 වන දින මුහුදු මහා විහාර භූමිය රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත්වූ අතර 1975 වසරේ දී මෙහි කැණීම් හා ගවේෂණ කටයුතු එවක පුරාවිද්‍යා කොමසාරිස් ලෙස ක්‍රියාකළ කළ රාජා ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අනුරාධපුර යුගයෙන් පසුභාගයට හා මුල්භාගයට අයත් පිළිම ගෙවල් දෙකක නටබුන් මෙම කැණිම් වලදී හඳුනා ගන්නට හැකි වූ අතර; මුහුදු තීරයෙ වැල්ලෙන් වැසුණු දාගැබ් දෙකක ශේෂ හඳුනා ගැනුණි. එමෙන් ම බෝධිසත්ත්ව පිළිම දෙකක් ද සොයා ගැනීමට හැකිවිය. කැණීම් කටයුතු වලදී බහුල ලෙස හමු වූයේ උළු කැබලි සහ ගඩොල් කැබලිය.

මෙම උළු හා ගඩොළු විවිධ කාල වකවානු වලට අයත් යැයි එහි හැඩය හා තාක්ෂණය අනුව නිගමනය කළ හැකිය. මෙහි තහවුරු කිරීමේ කටයුතු වර්ෂ 1978 වන විට අවසන් වූ අතර පිළිම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි.

මුහුදු මහාවිහාරය ආශ්‍රිතව ලැබුණු බෝධිසත්ව ප්‍රතිමා හේතුකොට ගෙන මහායාන බුදු දහමේ බලපෑමක් ඇතැයි යන්න සැලකිය හැකිය. ක්‍රි.ව. 8 සහ 9 යන සියවස් වලදී රුහුණේ මහායාන බුදු දහම පැතිර යාම එයට බොහෝ දුරට ඉවහල් වන්නට ඇත.

හැඩ ඔයේ අතු ගංඟාවක්, මුහුදු මහා විහාරය හා පානම් පත්තුවේ කැලෑව ආශ්‍රිතව පිහිටා ඇති ශාස්ත්‍රවෙල විහාරය මැදිව මුහුදට ගලා බසී. මෙම ශාස්ත්‍රවෙල විහාරය හා මුහුදු මහා විහාරය අතර ඉතා සමීප සම්බන්ධතාවක් පැවතෙන්නට ඇතැයි සැලකේ.

මේ දිනවල කවුරුත් කතා කරන්නේ මුහුදු මහා විහාරයේ ඉඩම් මංකොල්ලය ගැනය. වර්ෂ 1951 ජනවාරි 26 ගැසට් පත‍පත්‍රයෙන් අක්කර 72 යි රූඩ් තුනයි පර්චර්ස් දහතුනක එකී විහාරභූමියේ ඉඩම කලක් තිස්සේ අනවසර පදිංචිකරුවන් විසින් අල්ලාගත් අතර මේ අවනඩුව ගැන විහාරාධිපති හිමියන් කෙතෙක් පැමිණිලි කළ ද විසඳුමක් නම් ලැබුණේ නැත. එහෙත් කොරෝනා සමයේ තවත් සීඝ්‍රයෙන් කොල්ලකෑමට ලක්වූ මෙකී විහාරභූමියට ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජයෙන් නිවැරදි තීරණයක් ලැබුණේය. ඒ අනුව මේ වනවිට එය සුරක්ෂිත වී තිබේ.

සිළුමිණ
24 මැයි, 2020
රුක්ෂිලා වෙත්තමුණි