Monday, September 7, 2020

මෛථුන්‍ය කැටයමින් සුසැදූ නාලන්දය


මෛථුන්‍ය කැටයමින් සුසැදූ නාලන්දය

මාතලේ සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ නාලන්ද ඔයට දකුණු දෙසින් නාලන්ද ග්රාමය පිහිටා ඇති අතර එහි ගෙඩිගේ සම්ප්රදායට අයත් විහාර නටබුන් දක්නට ලැබේ. මාතලේ දඹුල්ල ප්රධාන මාර්ගයේ 48 වන කි.මී. කණුව ආසන්නයෙන් දකුණු දෙසට හැරී කි.මී. එකහමාරක පමණ දුරක් ගමන් ගත් විට මෙම භූමියට පිවිසිය හැකිය.

මහබලිපුරම් හි පල්ලව සම්ප්රදායට අයත් අංග ලක්ෂණ සහිත ලංකාවේ අවශේෂව පවත්නා එකම බුද්ධ ප්රතිමා මන්දිරය ලෙස නාලන්ද ගෙඩිගේ හැඳින්වේ. සමස්තයක් ලෙස කළු ගල් භාවිතා කොට ශිලාමය නිර්මාණයක් ලෙස මෙය නිමවා ඇත. ක්රි.ව. 7 වන සියවසට අයත් මෙම ගෘහ නිර්මාණ ශිල්පීය ක්රමය ඉතා සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. පුරාවිද්යා සාධක අනුව මෙම ප්රතිමා මන්දිරය 8 ත් 10 ත් වූ සියවස් කාලය නියෝජනය කරතැයි විශ්වාස කෙරේ. නාලන්ද ගෙඩිගේ බෞද්ධ හා හින්දු ආගමික ඇදහිලිවල සංකලනයත්, ථෙරවාදය හා මහායාන සංකල්ප මතත් ගොඩ නැගී ඇති බැවින් එය විශේෂිත ස්ථානයකි.ලංකාවේ මධ්ය කේන්ද්රීය ස්ථානයේ මෙම ගෙඩිගේ ඉදිකර ඇති බව විශ්වාසයයි. එමෙන්ම අතීතයේ සිටම සිංහල රජුන් දවසත් බ්රිතාන්ය යටත් විජිත සමයේ ත් මෙම භූමියට ප්රමුඛත්වයක් හිමි විය. එයට හේතු වූයේ අනුරාධපුරය, පොලොන්නරුව හා මහනුවර යන නගරයන් කේන්ද්රීයව මෙම ස්ථානය පිහිටීමයි.

මහාවංශයට අනුව නාලන්ද බලකොටුවක් ලෙස පළමුවන පරාක්රමබාහූ (ක්රි. 1153- 1186) විසින් පිහිටුවා ගත් බවත් ඔහු සිය රාජ්යත්වය ලැබීමට පෙර පොලොන්නරුවේ ගජබාහුත් රුහුණේ මානාභරනත් අතර ඇති වූ සටන් වලදී මෙම ස්ථානය උපයෝගි කරගෙන ඇත. පරාක්රමබාහු, පොලොන්නරුව යටත් කර ගැනීමට ප්රථම ඇළහැර පෙදෙස යටත් කර ගැනීමේ දී නාලන්ද බලකොටුව ඉහමත් ප්රයෝජනවත් විය.

නාලන්දයට නැගෙනහිරින් පිහිටි වර්තමාන ඇළහැර ප්රදේශය පුරාණයේ දී ආළිසාර නමින් හැඳින් වූ අතර එහි අනුරාධපුර යුගයට අයත් නටබුන් රාශියක් විසිර ඇතැයි සඳහන් වේ. එම නටබුන් අතර අතරගල්ලෑවේ ගලින් නෙළා ඇති සැතපෙන බුදු පිළිමය සුවිශේෂීය.

යුධමය කටයුතු සඳහා ඉතා යෝග්ය තැනක් බව පසක් වූ බ්රිතාන්යයන් ද 1818 දී ඇතිවුණු උඩරට මහ කැරැල්ල අවස්ථාවේ දී හමුදා මූලස්ථානයක් ලෙස නාලන්ද තෝරාගෙන තිබේ. එසේ පිහිටුවා ගත් බ්රිතාන්ය බල කොටුව පිහිටි ස්ථානය කුඩා කඳු ගැටයක ඇති බවත් වර්තමානයේ කොටුවේගොඩැල්ල ලෙස ව්යවහාර වන බවත් දැක්වේ. නාලන්ද විහාරය ඉතා සුවිශේෂී ප්රතිමා මන්දිරයකින් සමන්විත වූවත් මේ සම්බන්ධව ඓතිහාසික මූලාශ්ර හිඟ වූව ද මෙහි දී සොයා ගත් ශිලා ලිපිය ඇසුරින් කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය. එමගින් දකුණු ඉන්දියානූ පල්ලව නිර්මාණ නියෝජනය කරන ගෙඩිගේ හි වාස්තු විද්යාත්මක ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

වැඩි කොටසක් මැකී ගිය 9 හා 10 වෙනි සියවසට අයත් ටැම් ලිපියෙහි, නොනිසි ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත්, සොරුන් හා මිනීමරුවන් වැන්නන් විහාරස්ථානයට ඇතුළත් නොවිය යුතු බවත්, ආරාමය පිළිබඳව වූ සියලු කටයුතු සංඝ සම්මුතියකින් කළ යුතු බවත් මෙහි අන්තර්ගතය.

ඇළහැර හා මැණික්දෙණ ආරාමික ස්ථාන අනුරාධපුරය අවසන් භාගයේ දී ඉදිකරන්නට ඇතැයි සාක්ෂි ලැබෙන අතර නාලන්දෙද මෙම ආරාම සමීපයේ පිහිටි බැවින් එකල සැලකිය යුතු බෞද්ධ ආරාමයක් ලෙස පවතින්නට ඇතැයි යන්න අදහසයි.

නාලද්දාව පිළිබඳව මෙරට මුල්ම පුරාවිද්යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් දක්වා ඇති අදහස වූයේ, (නාලන්දේ ගෙඩිගෙය) නොසළකා හරින ලදුව පිහිටුවා ඇති අතර කලාතුරකින් පමණක් මෙහි පැමිණෙන නරඹන්නකුගේ නෙතට ලක්වෙමින්, එහි නිර්මාණය පිළිබඳව වාර්තාගත තොරතුරකින් හෝ සාම්ප්රදායික ජනවහර තුළින් හෝ හැඟිමක් පවා අප තුළ ඇති කරන්නට අසමත් වන බවයි.

1890 දි පුරාවිද්යා දෙපාර්තුමේන්තුව පිහිටුවීමෙන් පසු වැඩි කලක් යන්නට මත්තෙන් ගෙඩිගේ පිළිබඳව එච්.සී.පී. බෙල්ගෙ අවධානය යොමුවිය. නාලන්ද ගෙඩිගෙය තහවුරු කිරීමේ කටයුතු රජයේ ප්රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව විසින් 1893 දී ආරම්භ කරනු ලැබීය. මෙම කාලවකවානුව වනවිට ගොඩනැගිල්ලේ සැලකිය යුතු ප්රමාණයක් පසින් යට වී තිබු බැවින් රජයේ වැඩ දෙපාර්තමේන්තුව ගෙඩිගෙයි දකුණු පස ආරක්කුව තෙක් බිත්තිය හා අනෙකුත් කොටස් කිහිපයක් ඉදිකරවීය.

එච්.සී.පී. බෙල් 1911 දි කැණීම් කොට පසින් යට වී පැවති ගොඩනැගිල්ලේ කොටස් මතුකර ගත් නමුදු එය අවසන් කිරීමට ප්රථම ඔහුට විශ්රාම යාමට සිදුවිය. ඔහු විසින් ඉතා වැදගත් සේවයක් නාලන්දාව වෙනුවෙන් කරනු ලැබීය. එනම් විවිධ ශිලාමය නිර්මාණ ඉතා ක්රමානූකූලව තැන්පත් කිරීමයි.

නැවත නාලන්ද ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු වී තිබෙන්නේ වසර 10 කට අධික කාලයකට පසුවය. සී.පී. වින්සර් 1927 හා 1928 යන කාලයේ දී පුරාවිද්යා කොමසාරින් තනතුර හොබවන ලද අතර ඔහුගේ අවධානය මේ සඳහා යොමුවිය. වින්සර් පෙන්වා දෙන පරිදි ගෙඩිගෙ පුරාම නුග මුල් අරක්ගෙන තිබූ බවත් ඉන් දැඩි හානියක් සිදුව තිබූ බැවින් මෙම නුග මුල් ඉවත් කිරීමට ගෙඩිගේ වේදිකාවෙන් කොටසක් ගලවා ඉවත් කරන්නට සිදුවිය.ඉන් අනතුරුව ප්රථම ශ්රී ලාංකික පුරාවිද්යා කොමසාරිස් ලෙස පත් වූ සෙනරත් පරණවිතානයන්ගේ කාල වකවානුව වන තෙක් ගෙඩිගේ හුදෙක් කටුහොහොල් හරිනු ලැබූ ස්ථානයක් පමණක් විය. ඒ අනුව 1953 දි පරණවිතානයන් විසින් ගෙඩිගේ මළුවේ පනාබැමි පදාගනු ලැබු අතර ගෙඩිගෙට උතුරින් පිහිටි ගරා වැටුණු ස්තූපයේ පර්යේෂණ කටයුතු ද ආරම්භ කරන ලදී.

1970 දී රජය විසින් සැලසුම් කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්යාපාරය හේතුවෙන් ගෙඩිගේ පිහිටි සමස්ත වෙල්යායම ජලයෙන් යට වීමට නියමිත විය. මෙවැනිම අර්බුදකාරී තත්ත්වයක් ලෝක ඉතිහාසයේද වාර්තා වේ. එනම් ඊජිත්තුවේ අස්වාන් වේල්ල තැනීමේ දී ගලෙන් නිර්මිත අබුසිම්බල් දේවස්ථානය ද ජලයෙන් යට වී යාමට නියමිත වීමය. එහෙත් මෙම දේවස්ථානය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට වෙනත් ස්ථානයක ඉඳිකිරීම සිදුවිය.

එසේම ලංකාවේ ද නාලන්ද ගෙඩිගේ සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට පසු කලෙක ප්රතිනිර්මාණය කිරීම පිණිස පුරාවිද්යා කාර්යාල භූමියේ තැන්පත් කරවීය. මෙම අවස්ථාවේ ගෙඩිගේ පිහිටා තිබූ භූමිය කැණීම් කරන ලද අතර එහිදී ගෙඩිගේ මන්දිරය යට නිමවා තිබූ ශිලාමය පදනමක් මතු කර ගැනීමට හැකිවිය. එය චතුරස්රාකාර හැඩයක් ගනු ලැබීය. බෝවතැන්න ජලවිදුලි යෝජනා ක්රමය පිහිටි කඳු මුදුනක ගෙඩිගේ නිර්මාණය නාලන්දෙන් ඉවත් කොට එහි ඉදිකිරීමට යෝජනා වූ නමුත් අවසානයේ දී එය ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේම ඉදිකිරීමට තීරණය විය.

එවක සංස්කෘතික කටයුතු අමාත්ය ඊ.එල්.බී. හුරුල්ලේ ගේ මග පෙන්වීම යටතේ 1977 දි තිබුණු ස්ථානයේ ම ඉදිකිරීමට වූ තීරණය ක්රියාත්මක විය. එම නිර්මාණ කාර්යයේ භාරකාරත්වය හිමි වූයේ පේරාදෙණිය විශ්වවිද්යාලීය පුරාවිද්යා අංශය භාර මහාචාර්ය පී.එල්. ප්රේමතිලකයන්ටය.

ඒ අනුව මූලික පියවර ලෙස ගෙඩිගේ පිහිටි භූමිය අඩි 23 ක් පමණ උස්කොට තැනීම මහවැලි සංවර්ධන මණ්ඩලය විසින් සිදු කරනු ලැබීය. මෙම ස්ථානයට පිවිසුම් මාර්ගය ද එම උසින්ම නිමවීය. මහාචාර්ය පී.එල්. ප්රේමතිලකයන්ගේ උපදෙස් අනුව මූලික සැලසුම් වලින් අනතුරුව 1980 දී පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ එම්. විමලදාස නම් වූ පළපුරුදු මේසන් බාස් කෙනෙකු ප්රධාන කම්කරු පිරිසක් විසින් ගෙඩිගේ තහවුරු කරනු ලැබීය. ගොඩනැගිල්ල ගලවා ඉවත් කරන අවස්ථාවේ පැවති ප්රමාණයට තිබූ වැරදි නිවරැදි කරමින් සැකසීම හා ගර්භගෘහයත් මණ්ඩපයත් සහිත ගෙඩිගේ හැකිතාක් පරිපූර්ණ ලෙස තහවුරු කිරීම යන පියවර දෙක යටතේ ගෙඩිගේ තහවුරු කිරීම සිදුවිය.

නාලන්ද ගෙඩිගේ වැදගත් වන තවත් ප්රධාන සාධකයක් ලෙස එහි බිත්තියෙ පහළ පේකඩක මෛථුන්ය ඉරියව්වෙන් සිටින කැටයම දැක්විය හැකිය. මෙහි තිදෙනෙක් එකවර පසුපසින් ලිංගිකව එක්ව රමණයේ යෙදෙන අයුරු දැක්වේ. ඉන්දියාවේ කජුරාහෝ දේවාලයේ ඉතා සුලභ ලෙස මෙවැනි කැටයම් දක්වා තිබුණ ද ලංකාවේ එවැනි කැටයමක් හමුවන එකම ස්ථානය මෙයයි. මෙම කැටයම හේතුකොට ගෙන මේ ස්ථානය තාන්ත්රික බෞද්ධ ඇදහීම් කළ ස්ථානයක් වන්නට ඇතැයි ඇතමුන්ගේ මතයයි. 1910 -11 කාලයේදී මෙවැනි කැටයමක් පිළිබඳව අදහසක් එච්.සී.පී. බෙල් විසින් තම පුරාවිද්යා ගවේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ. ඔහුට අනුව මෙම ස්ථානයේ කණුවක මෙවැනිම මෛථුන්ය කැටයමක් තිබී ඇත. එහෙත් වර්තමානයේදී එම කැටයම මෙහි දක්නට නැත.

ගර්භය ශිලා ස්තම්භ 24 කින් සමන්විත ආලින්දයකින් යුක්ත අතර අන්තරාලයක් හා මණ්ඩපයකින් නිර්මිත මෙහි අනුරාධපුර යුගයට අයත් ලක්ෂණ සහිත බුද්ධ ප්රතිමාවක් දක්නට ලැබේ. එය අභය මුද්රාවෙන් නිරූපිත අතර ගොඩනැගිල්ලේ මධ්යයෙහි පිහිටි ගර්භය තුළ තැන්පත් කර ඇත.

මෙහි ගොඩනැගිල්ලේ ඇතුළත වටා පැදකුණු කිරීමට ප්රදක්ෂිණා පථයක් ද නිමවා තිබේ. එමෙන් ම මෙම ගෙඩිගේ ගොඩනැගිල්ල වටේම පිහිටි බිත්ති වාමන හිස්, විවිධ සත්ත්ව රූප, චෛත්ය කාවාට සහ පේකඩ ආදි විවිධ කැටයමින් නිරූපිතය.

වත්මනේ දී බෝවතැන්න ජලාශයෙන් වටව උස් බිමක පිහිටි නාලන්ද ගෙඩිගෙය වේදිකාවක් මත ඉදි කළ ස්ථූපය , බෝධි වෘක්ෂය සහ භූමිය වට කරමින් තැනූ ගඩොලින් බැඳි ප්රාකාරයකින් ද යුක්ත වූ අපූර්ව නිර්මාණයකි.

සිළුමිණ
17 මැයි, 2020
රුක්ෂිලා වෙත්තමුණි

 

නටබුන් මැද වැජඹෙන මැණික්දෙණ අරම



 නටබුන් මැද වැජඹෙන මැණික්දෙණ අරම

මාතලේ දිස්ත්රික්කයේ කන්දපල්ල කෝරලයේ වග පනහ පල්ලේසිය පත්තුවෙහි 39 වෙනි සැතපුම් කණුව අසල පන්නම්පිටිය මංසන්ධියේ සිට මැණික්දෙණ පබ්බත විහාරය සැතපුම් එකක පමණ දුරින් පිහිටා ඇත. පුරාවිද්යාත්මක සාක්ෂි හා වංශකථා තොරතුරු අනුව ක්රි.ව. 5 වන සියවසේ දි පමණ මෙම සංඝාරාමය ආරම්භ වී 12 වන සියවස දක්වා පවතින්නට ඇතැයි යන්න සඳහන්ය.

චෛත්ය, බෝධිඝරය, පටිමාඝරය (පිළිම ගෙය, ප්රතිමා ගෘහය) හා උපෝසථඝරය (පොහොය ගෙය) යන ප්රධාන ආගමික ගොඩනැගිලි හතරකින් සමන්විත පවුරකින් වට ආරාම සංකීර්ණයක් පබ්බත විහාර ලෙස හැඳින්වේ. එසේම ඊට පිටතින් ස්වාභාවික හෝ කෘත්රිමව සකස් කළ ජල මාර්ග ද භික්ෂු නේවාසිකාගාර, භෝජන ශාලා, ජලස්නානගෘහ හා වැසිකිළි කැසිකිළි ද වෙනත් ඉදිකිරීම් ද මෙම ආරාම සංකීර්ණයේ සැලසුමෙහි අන්තර්ගතය. පබ්බත විහාරය හෝ පබ්බත ආරාමය (Rock-Monastery or Mountain Temple) පවත විහර, පව් වෙහෙර, ගිරි වෙහෙර යනාදි නම් වලින් හැඳින්වූ අතර සංස්කෘත වචනයක් වූ පර්වත යන්න පාලියෙන් පබ්බත ලෙස ද සිංහලෙන් පව් වශයෙන් ද අර්ථ ගැන්වේ.

එකල පැවති බෞද්ධ සංඝාරාමයක ස්වභාවය පිහිටි භූ භෞතික පරිසර පද්ධතිය හා එහි පාරිසරික ලක්ෂණ පිළිබඳව අධ්යයනය කිරීමට මැණික්දෙණ ආරාම සංකීර්ණය ඉවහල් වේ. සෙල්ලිපි හා සාහිත්යමය සාධක අනුව අතීතයේ දී මැණික්දෙණ හඳුන්වනු ලැබ ඇත්තේ බුද්ගම් වෙහෙර, බුද්ගමු වෙහෙර, බුද්ධගාම විහාර හා බුද්ගමිය යනුවෙනි.

මැණික්දෙණ ආරාම සංකීර්ණයේ සැලැස්ම උපයෝගි කොට ගෙන ලංකාවේ බෞද්ධ සංඝාරාම සැලසුම්වල පබ්බත විහාර ආශ්රිත සැලසුම්හි ඇති සුවිශේෂි ලක්ෂණ අධ්යයනය කළ හැකි අතර නාගරික හා ප්රාදේශීය වශයෙන් පබ්බත විහාර පුරාවිද්යාත්මක මූලාශ්ර වශයෙන් ඇගයිය හැකිය. අනුරාධපුරය අවට තොළුවිල, විජයාරාමය, වෙස්සගිරිය, පුලියන්කුලම හා පාචීනතිස්සපබ්බතාරාමය ආදි ස්ථාන නාගරික වශයෙන්ද රුහුණේ මඟුල් මහා විහාරය, දෙමටමල් විහාරය, සීගිරිය, පිදුරංගල, කළුදිය පොකුණ, දඹුල්ල, දෙහිගහඇලකන්ද, කිරලැස්ස, මහානාග පබ්බතාරාමය හා මැණික්දෙණ ආදි විහාරයන් ප්රාදේශීය වශයෙන් ද දැක්විය හැකිය.

සෙනරත් පරණවිතානයන් දක්වන පරිදි අනුරාධපුර නුවර වැව සමීපයෙහි පිහිටි පාචීනතිස්සපබ්බත ආරාමය, පබ්බත විහාරයක් ලෙස ප්රථම වරට පුරාවිද්යාත්මක මුලාශ්රයක් තුළින් හඳුනාගත් ආරාමයයි.

මැණික්දෙණ ග්රාමීය වූ ප්රාදේශීය ස්ථානයක පිහිටිය ද එය ගොඩ නැංවීමට එකළ පැවති දේශපාලනික, සාමාජික හා ආගමික පාරිසරික තත්ත්වයන් බලපාන්නට ඇත. ඇතැම් විට සීගිරිය සමීපව මෙම ස්ථානය පිහිටීමත්, පිදුරංගල, දඹූල්ල, කළුදිය පොකුණ හා මහානාග පබ්බත විහාරය ඇතුළු සංඝාරාම රැසක් සමකාලීනව බිහිවීමත් ඊට හේතුවන්නට ඇත.

වචනාර්ථයෙන් ගත් කළ පර්වතයක් ඇසුරු කොට ගෙන පබ්බත විහාර නිර්මාණය කළ ද පබ්බත හෝ කඳු ශිඛර ඇසුරු නොකර තැනිතලා භූමිවල ඉදිකළ විහාර ද දක්නට ලැබේ. අනුරාධපුරයට නැගෙනහිරෙන් පිහිටි පාචීනතිස්සපබ්බත විහාරය හා සීගිරිය අසල මහානා පව් වෙහෙර එසේ ඉදිකළ විහාරයන්ය.

ලාංකීය බෞද්ධාගමික කේන්ද්රස්ථානය වූ අනුරාධපුර මහාවිහාරය, පබ්බත විහාරයන්හි සැලසුම්ගත ගොඩනැගිලි ඉදිවීමට ප්රථම ගොඩනැගුණි. මහාවිහාරය මෙරට ස්ථාපිත මුල්ම ආරාමය වූ අතර අනුරාධපුරය කේන්ද්රෙකාට ගෙන බිහි වූ අභයගිරිය හා ජේතවනාරාමය ද මුල් කාලීන ආරාම සැලසුම්වලට අයත්ය.

මහාවංශයේ පබ්බත විහාර හා එම විහාර කරවූ පුද්ගලයන් සම්බන්ධව කරුණු අන්තර්ගත වේ. ඒ අනුව කනිට්ඨ තිස්ස රජු (ක්රි.ව. 164-192) නැඟෙනහිර ගඟ රාජියෙහි අනුල තිස්සපබ්බත විහාර කරවූ බව ද පළමුවැනි දෙටුතිස් රජු (ක්රි.ව. 266-276) ථූපාරාමයේ තිබූ ගල් පිළිමයක් පාචීනතිස්සපබ්බත විහාරයේ පිහිට වූ බව ද සිවුවැනි කාශ්යප රජු කල (ක්රි.ව. 898- 914) සේන නම් මහලියන්නා විසින් මහාලේඛ පබ්බත නමින් විහාරයක් කර වූ බව ද දෙවැනි සේන රජුගේ (ක්රි.ව. 857-887) සංඝා නම් මෙහෙසිය විසින් සංඝසේන පබ්බත විහාරය ද දෙවැනි දප්පුල රජුගේ (ක්රි.ව. 815-831) මෙහෙසිය ජයසේන නම් පබ්බත විහාරක් ද යනාදි වශයෙන් රාජකීය අනුග්රහ මත රජ මෙහෙසියන්, ඇමතියන් සහ වෙනත් ප්රභූන් විසින් විහාර කර්මාන්ත කළ බව සඳහන්ය.

පබ්බත විහාරවල පිහිටි චෛත්යවල විශේෂ ලක්ෂණයක් වූයේ ඒවා එතරම් විශාල නොවූ කුඩා ප්රමාණයේ වීමත් උස් හතරැස් මළුවක් මත චෛත්ය ඉදිකිරීමත්ය. මැණික්දෙණ ස්තූපය ද සතරැස් මළුවක් මත ගොඩ නගා ඇති අතර එම මළුව ගඩොලින් නිමවා ඇත. මෙහි උතුරු සහ නැගෙනහිර සීමාව බොරදම් වලින් යුක්තය. දකුණු බැම්ම සකස් කොට තිබෙන්නේ ගල් පුවරු හා ගඩොලිනි.

1964- 65 වර්ෂවල සිදුකළ කැණිම් වාර්තාවේ චාල්ස් ගොඩකුඹුර දාගැබ් මළුවෙහි නිර්මාණය පිළිබඳව දක්වා ඇති විස්තරය අනුව “මළුවට ඇතුළුවීම සඳහා සිවුදිගින් ම දොරටු තිබී ඇති නමුත් පසු කාලයක දී නැගෙනහිර දොරටුව ගඩොළු බැම්මකින් වසා දමා ඇත. මේ බැම්මෙන් අඩි තුනක් පමණ උස කොටසක් නිරුපද්රිතව තිබේ. උතුරු දකුණු හා බටහිර පැතිවල එකක පඩි කඳන් 10 බැගින් ඇති දොරටු ඇත. මෙකී දොරටු තුනේ ම මුරගල් ඇතත් සඳකඩපහණ ඇත්තේ දකුණු හා බටහිර පැතිවල පමණි. බටහිර පැත්තේ මුරගල් පරිස්සම් වී ඇත. එහෙත් අනික් පැත්තේ මුරගල් කැඩිලාය.” යනුවෙන් සඳහන් කර ඇත.

මෙහි චෛත්ය ගර්භයේ පේසා මට්ටම දක්වා කොටස් ශේෂ වී ඇති අතර දාගැබේ මුල සිට අඩි 4 ක් පමණ උසට වැලි කොන්දේ ගල් ආරක්ෂා වී තිබේ. දාගැබේ පතුලේ එක් කොටසක හුණු බදාමය තිබුණු ලකුණු දක්නට ලැබේ. මැණික්දෙන දාගැබේ 1964 දී කළ කැණීමේ දී එහි ධාතු ගර්භය පිළිබඳ පරීක්ෂා කිරීමට අඩි 15 ක් පමණ ගැඹුරට කණින ලදී.

එහෙත් බෝධිඝර විවිධ සැලසුම් වලින් යුක්ත වූ අතර ඒවා සතරැස්, වෘත්තාකාර හා බහු අශ්ර යනාදි වශයෙන් විද්යාමාන විය. මේ අතරින් මැණික්දෙණ බෝධිඝරය වෘත්තාකාර ස්වභාවයක් ගනී. එය ඉතා විශිෂ්ට නිර්මාණයකි. බෝධිඝරය වූ කලී, බෝධි වෘක්ෂයක් වටා ඉදි වූ ගොඩනැගිල්ලකි.

බුද්ධ ප්රතිමාව තැන්පත් කිරීම සඳහා තනන ලද ගොඩනැගිල්ල පිළිමගෙය ලෙසින් ද වර්තමානයේ දී බුදුගේ, විහාරගේ යනුවෙන් ව්යවහාර වන අතර පටිමාධාර, බිම්බාලය හා පටිමා ඝර යනුවෙන් ද හඳුන්වයි.

මැණික්දෙණ පිළිමගෙය ගන්ධ කුටි සම්ප්රදායේ සතරැස් ගර්භ ගෘහයක් හා ඉදිරිපසින් නෙරා සිටින අන්තරාලයකින් ද යුත් පිළිම ගෙයකට කදිම නිදසුනකි. දිගින් මීටර් 21 ක් ද පළලින් ගර්භ ගෘහය මීටර් 12 ක් ද අන්තරාලය මීටර් 9 ක් ද වූ මෙහි ගඩොළුමය බිත්තියක් සහිත මළුවකින් යුක්තය. ගොඩැල්ලක් සහිත වූ මේ ස්ථානය පිළිමගෙයක් ලෙස හඳුනාගෙන 1970 දී කැණිම් සිදුකර තිබේ. පිළිමගේ වටා රැස්වන වර්ෂා ජලය බැස යාමට බිත්තියේ නැගෙනහිරින් හා බටහිරින් හුණුගලින් කළ පීලි කාණු දෙකක් යොදා ඇත.

පෝයගෙය, උපෝසථඝරය (Chapter house) නමින් හැඳින්වෙන මෙය ආරාමයක ඉදිවු මුල්කාලීන ගොඩනැගිලි වලින් එකකි. ලෝවාමහාපාය ලක්දිව ඉදි වූ මුල්ම උපෝසථ ගෘහයයි. සංඝ සමාජයේ අවශ්යතාවන් උදෙසා ගොඩ නැගුණු මෙහි භික්ෂූන් පසළොස්වක පෝයදා සහ මාසෙපෝය දින විනය කර්ම සඳහා රැස්වු ශාලාව පොහොය ගෙය ලෙස මහාවංශයේ සඳහන්ය. පබ්බත විහාරයක ප්රධාන ආගමික ගොඩනැගිලි අතර උපෝසථඝරයට සුවිශේෂි තැනක් හිමිවේ. ඉදිරිපස ප්රධාන දොරටුව සහිතව සමකෝණාශ්ර හෝ චතුරශ්ර වේදිකාවක දැවැන්ත ගල් කණු මත දෙමහල් හෝ මහල් කීපයකින් යුතුව මෙම ගොඩනැගිල්ල ඉදිවී ඇත.

1965-66 කාල වලදී චාල්ස් ගොඩකුඹුර කැණීම් විස්තරයෙහි දක්වා ඇත්තේ මැණික්දෙණ පෝය ගෙය ශේෂ වී පවතින නිර්මාණ ලක්ෂණ අනුව දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස පවතින්නට ඇති බවයි. ගඩොළුමය පේසාවන් දෙකකින් යුතුව බිම් මට්ටමේ සිට මීටර් 1 ක් පමණ වේදිකාවක් මත ගල් කණු සිටුවා මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ. දිග අතට ගල් කණු 8 ක් හා පළල අතට ගල්කණු 6 ක් යොදා ගල්කණු 48 ක් භාවිත කොට නිර්මාණය කර ඇති මෙහි එක් ගල් කණුවක් උසින් මීටර් 4 ක් පමණ වේ.

මැණික්දෙණ ආරාම සංකීර්ණය පංචායතන සැලැස්මට බොහෝ දුරට සමාන බව කියැවේ. එනම් මෙහි ආගමික ගොඩනැගිලි 5 ක නටබුන් උස් වේදිකාවක දක්නට ලැබීම හේතුවෙනි. මෙහි චෛත්ය ඊසාන දිගින් ද ප්රතිමා ගෘහය ගිනිකොනෙන් ද පොහොය ගෙය නිරිතෙන් ද බෝධිඝරය වයඹින් ද මෙම ගොඩනැගිලිවලට මධ්යයේ සභා ශාලාව ද පිහිටා තිබේ.

ප්රධාන පූජනීය ගොඩනැගිලි සතර මධ්යයේ ඇතැම් පබ්බත විහාරවල සභා ශාලාවක් ඉදිකොට තිබේ. මැණික්දෙණ පිහිටි සභා ශාලාවෙහි සැලැස්ම සතරැස්ව දක්වා ඇති අතර එහි සිවු පසින් දොරටු නිමවා ඇත. එම ශාලාව මධ්යයෙහි ප්රධාන භික්ෂුව සඳහා වෙන්කළ යැයි සඳහන් වේදිකාවක නටබුන් ශේෂව පවතී. මෙම ගොඩනැගිල්ල භික්ෂුන්වහන්සේලාගේ විනය කර්ම ආදිය සඳහා රැස් වූ ශාලාව ලෙස සඳහන්ය. එමෙන්ම එකවර භික්ෂූන් වහන්සේලා 90 කට පමණ පහසුවෙන් සිටිය හැකි ශාලාවක් යැයි විද්වතුන්ගේ මතයයි. මැණික්දෙණ ආශ්රිතව සිදුකරන ලද ගවේෂණ හේතුකොට ගෙන කුටි 96 ක් පමණ හඳුනාගෙන ඇත. මේ අනුව අධික භික්ෂූ සංඛ්යාවක් මෙහි සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.

මෙවැනි භික්ෂු පිරිසක් සඳහා සහ විහාර නඩත්තුව පිණිස විශාල ධනස්කන්ධයක් අවශ්ය විය. මහාචාර්ය සිරිමල් රණවැල්ල දක්වන පරිදි මැණික්දෙණ පුවරු ලිපිය මගින් එම විහාර දේපල නඩත්තුව පිණිස දුන් වතුපිටි, කුඹුරු හා ආරාම පාලනයත්, ආරක්ෂාව පිණිස ගත් ක්රියා පිළිවෙත් ගැනත් සඳහන්ය.

මැණික්දෙණ ආරාමික ස්ථානයක් ලෙස ප්රථමයෙන් ම ජනාවාස වී ඇත්තේ ක්රි.ව. 5-7 සියවස්වලදි බව මෙම ආරාම සංකීර්ණයෙන් ලැබුණු සෙල්ලිපි හා වළං කැබිලිති සාක්ෂි දරයි. ඓතිහාසික මූලාශ්ර අනුව මැණික්දෙණ සම්බන්ධව ප්රථමයෙන්ම සඳහන් වන්නේ අනුරාධපුර අවධියේ අවසන් භාගයේ සිටය.

මහාවංශයේ දෙවැනි සේන රජු විසින් (ක්රි.ව. 853-887) බුද්ධගාම විහාරයට භෝග උපදවන ගම් ප්රදානයක් පිළිබඳව දැක්වේ. මහාචාර්ය සිරිමල් රණවැල්ල පෙන්වා දෙන පරිදි ක්රි.ව 9 සියවසේ අග භාගයේ හෝ 10 වෙනි සියවසට මුල් භාගයට අයත් මෙම ස්ථානයෙන් ලැබුණු සෙල්ලිපියක බුද්ගමු විහාරය සතුව තිබූ අමුණු පහක කුඹුරක් සෙන් නම් වූ එක් කාන්තාවක උකසට හෝ සින්නක්කරයට පවරාගෙන එම විහාරයේ භික්ෂූන් වහන්සේලාට සලාක බත් සැපයීම සඳහා එම කුඹුරු යළිත් එම විහාරයට ම පූජා කර ඇත. එසේම මැණික්දෙණ විහාරය පාලනය කිරීම සඳහා නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටි බව සෙල්ලිපියේ සඳහන් පස් වෙහෙරෙ කැමියන් යන පාඨයෙන් පැහැදිලි වේ.

මෙම ආරාම සංකීර්ණයෙන් සොයා ගත් වළං කැබිලිතිවල වර්ගීකරණය සීගිරිය මැටි බඳුන් වර්ගීකරණයට බොහෝ දුරට සමීපය. මෙහිදී හමු වූ මැටි බඳුන් අතර කුසලාස, කබල, නෑඹිලිය (නෑඹිලියේ ඇතුළු පැත්තේ රේඛාමය මෝස්තර යෙදීමට දැවයෙන් කළ පනාවක් බඳු උපකරණයක් යොදාගෙන ඇති අතර එය ඉරිගහන කටුව නමින් හැඳින්වේ.), කොරහ, ඇතිළි - අප්පල්ල, කළ, මුට්ටි, බරණි - බුජම් (Storage Pot - ධාන්ය වර්ග, ආහාර වර්ග හෝ වෙනත් ද්රව්ය විශාල වශයෙන් ගබඩා කිරීමට), පාත්ර, දරණුව (Stand) යනාදිය දැක්විය හැකිය.

මැටි බඳුන් වර්ගීකරණය හේතුකොට ගෙන එකල සමාජීය වැදගත්කම හා කාල නිර්ණයන් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වූ අතර මෙමගින් මැණික්දෙණ ආරාම සංකීර්ණයට ඉතිහාසමය වටිනාකමක් ද එකුවේ. අනුරාධපුර යුගයේ කාල පරිච්ඡේද තුනකට මෙම මැටි බඳුන් අයත් වන අතර ඒවා මුල් අනුරාධපුර සංස්කෘතිය (ක්රි.පූ. 1 සිට ක්රි.ව.4), මධ්ය ඓතිහාසික අවධිය (ක්රි.ව. 5-6), පශ්චාත් අනුරාධපුර අවධිය (ක්රි.ව. 700-1000) යනුවෙන් වර්ග කොට ඇත. මෙහිදී මුල් අනුරාධපුර අවධියට අයත් මැටි බඳුන් ඉතා සුළු වශයෙන් ද මධ්ය හා පශ්චාත් අනුරාධපුර අවධීන්ට අයත් බඳුන් බහුල ලෙසත් හමුවිය.

සිළුමිණ
2020 මැයි 03
රුක්ෂිලා වෙත්තමුණි

Monday, May 18, 2020

මඩ ගොහොරුවෙන් රජ දහනක් වූ ජයවඩනපුර



15 වන සියවසෙහි දී සමෘධිමත්ව වැජඹුණු රාජධානියක් වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජුගේ නියෝජිත රාජධානියයි. බලකොටු නගරයක ඉතිහාසගත තොරතුරු සඳහා මං විවිර කරන කෝට්ටේ රාජධානිය කලක් දියුණුවේ හිනි පෙත්තටම නැග පසුව පාලකයන්ගේ දුර්වලතා හේතුකොට ගෙන කෙමෙන් පරිහානිය කරා ගොස් අප්‍රසිද්ධියේම අතීතයට එක් වූ රාජධානියකි. කෝට්ටේ යනු කොට්ටි යන දෙමළ හා මළයාලම් පදයෙන් බිඳී ආවකි.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කුරුවර් හි (වර්තමානයේ වංචිපුරම්) ධනවත් වාණිජ පවුලකින් උපත ලද නිශ්ශංක අලගක්කෝනාර (වීර අලකේශ්වර) විසින් තනවන ලැබූ බලකොටුව ලෙස කෝට්ටේ පුරවරය හැඳින්වේ. ගම්පොළ තුන්වන වික්‍රමබාහු රජුගේ (1357-1372) හා පස්වන භුවනෙකබාහු රජුගේ (1372-1408) ප්‍රධාන අමාත්‍ය හා උපදේශක ලෙස කටයුතු කළ ඔහු ප්‍රභූ රාජ නම් තනතුරෙන් ද ව්‍යවහාර විය. එසේ ඔහුව හැඳින්වූයේ රයිගම පරිපාලන කේන්ද්‍රස්ථානයේ සිටි රජු දුර්වල වූ අවස්ථාවල ප්‍රධාන පාලකයා ලෙස කටයුතු කිරීම හේතුවෙනි.

සමකාලීන යාපන පාලකයා වූ ආර්ය චක්‍රවර්ති තම බලය සිංහල රජුගේ ප්‍රදේශයන්හි ව්‍යාප්ත කිරීම හේතුකොට ගෙන එය වැළැක්වීමේ අරමුණින් අලගක්කෝනාර විසින් කෝට්ටේ බළකොටුව ගොඩනැංවීය. තම ස්වකීය දේශපාලන ශක්තිය මත ක්‍රි.ව. 1359 දී ආර්ය චක්‍රවර්ති ගම්පොළ රාජධානියේ ඇතැම් පෙදෙස් ආක්‍රමණය කරන්නට විය. හලාවත, මීගමුව, වත්තල හා කොළඹ යුද බලකොටු තැනු අතර බදු එකතු කිරීම පිණිස තම නිලධාරීන් මාතලේ, සිඟුරුවාන, බලවිට, දුම්බර හා සගම තුන්රට යන ප්‍රදේශ සඳහා ආර්ය චක්‍රවර්තී විසින් යොමු කරවන ලදී.

සිංහල රජුගේ වාණිජ ශක්තිය වර්ධනය කිරීමටත් යාපනය රජුගේ ආක්‍රමණ වලට මුහුණ දීමටත් ඇති පහසුව පිණිස කෝට්ටේ බළකොටුව තැනීමට නිශ්ශංක අලගක්කෝනාර තීරණය කළ අතර එය එකළ පැවති වත්තල, මීගමුව, හලාවත, කොළඹ, බේරුවල හා බෙන්තොට වැනි වරාය ආශ්‍රිත නගර අතර සම්බන්ධතා පැවැත්වීමට ද ඉවහල් විය.

කැලණි නදියට දකුණින් පිහිටි මඩ ගොහොරු සහිත පෙදෙස බළකොටුව ඉදි කිරීම පිණිස යොදා ගත් අතර එය දාරුග්‍රාමය නමින් හැඳින්විය. කොළොන්නා ඔයෙන් හා දියවන්නා ඔයෙන් තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබූ දැඩි ආරක්ෂක ඉසවුවක් වූ දාරුග්‍රාමය මඩ ගොහොරු සහිත වූ බැවින් එයට ප්‍රවේශ වීමට හැකි වූයේ දකුණු දිශානුගතව පිහිටි පටු භූමී තීරයකිනි. මෙහි පළලින් වැඩිම පෙදෙස කිලෝ මීටර් දෙකහමාරක් පමණ වූ අතර අලගක්කෝනාරයන් විසින් දාරුග්‍රාමය වටා ඉතා පුළුල්ව හා ගැඹුරට දිය අගලක් ද කළු ගල් උපයෝගිකොට ගෙන ඊට මායිම්ව ශක්තිමත් ප්‍රාකාරයක් ද තනවනු ලැබීය.

එකිනෙක මත පිහිටන සේ වේදිකාවක් අයුරින් පදනම් දෙකක් මත ප්‍රාකාරය ඉදිකළ අතර විවිධ හැඩයෙන් යුත් කබොක් ගල් උපයෝගි කොට ගෙන ජල මට්ටම දක්වා පහළ කොටසත්, කළු ගලින් ඉහළ කොටසත් නිමවිය. අඩි 10 කින් යුක්තව බැම්මේ ඉවුරු දෙක පැවති බැවින් ඒ මත මුර සෙබළුන්ට ගමන් කරන්නට ඉඩ ලැබුණි. සිංහල මෙන්ම වැටුප් ලැබූ ද්‍රවිඩ සොල්දාදුවන් කෝට්ටේ ආරක්ෂාව සඳහා අලගක්කෝනාර විසින් යෙදවීය. නිකාය සංග්‍රහයේ දැක්වෙන පරිදි වේදිකාවේ ආරක්ෂාව පිණිස අට්ටාල, යකඩ කූරු, ලී උල්, බොරු වළවල් හා කොටි මුහුණු ස්වරූපයෙන් තනා තිබූ උගුල් භාවිතා කොට ඇත.

දාරුග්‍රාමය කොළඹ සිට සැතපුම් 06 ක් වැනි දුරකින් පිහිටීම ද කොළඹ, හලාවත, මීගමුව හා පානදුර තොටුපොළ වලට ආර්ය චක්‍රවර්ති සතු වෙළෙඳ ‍යාත්‍රා නිරන්තරයෙන් පැමිණීම ද ජලයෙන් ගොස් ඒවා වැනසීමට හැකි වීම ද ප්‍රහාරක යාත්‍රා ඒ තැන් වෙත යවා ප්‍රහාර එල්ල කර එසැණින් ඒවා නැවත ගෙන්වා ගැනීමට ද ඇති හැකියාව පදනම් කොට ගෙන කෝට්ටේ බලකොටුව තැනවීම සුදුසු බව අවබෝධවීම හේතුවෙන් අලගක්කෝනාර විසින් මෙම භූමිය තෝරාගෙන ඇත.

සදා ජයග්‍රහනයෙන් යුක්ත බළකොටුව යන අර්ථයෙන් ඉදිකළ ජයවර්ධනපුර කෝට්ටේ බළකොටුවෙහි ප්‍රාකාරය මත සතර දිශානුගතව උපුල්, සමන්, විභීෂණ හා ස්කන්ධ කුමාර යන දෙවිවරුන්ට කැප කළ දේවාල සතරක් ඉදි කොට එහි අඛණ්ඩවම පුද පූජා පැවැත්විය යුතුය යන්න අලගක්කෝනාරයන්ගේ නියෝගය විය. ස්කන්ධ යනු හින්දු විශ්වාසය අනුව යුද්ධයට අධිපති දෙවියන්ය.

රාජාවලියේ දැක්වෙන පරිදි ක්‍රි.ව. 1521 දී සිදු වූ විජයබා කොල්ලය විස්තරය අනුව නගරයට ඇතුළු වීමට තිබී ඇත්තේ එක් ප්‍රධාන දොරටුවක් පමණි. එය දකුණු පස වූ පටු ගොඩබිම් තීරය ඔස්සේය. එසේම ඇතුළු නගර ප්‍රාකාරයෙන් බැහැරව ස්ථාන කිහිපයක් පිට කෝට්ටේට පිවිසීමට තිබුණු බව සඳහන්ය. නියම්ගම්පාය සන්නසෙහි ආර්ය චක්‍රවර්ති පරාජය කොට අලගක්කෝනාර ජයග්‍රහනය කළ අයුරු දක්වා ඇත.

මයුර සංදේශය සිංහල සාහිත්‍යයේ පැරණිතම සංදේශ කාව්‍ය වූ අතර එහි මෙම ප්‍රාකාරය පිළිබඳව වර්ණනා කරයි. මෙම බළකොටුව තුළ සිංහල හා දෙමළ යන ජන වර්ග වලට අයත් සොල්දාදුවන් හා ඔවුන්ගේ පවුල්වල අය පදිංචිව සිටි බව සඳහන් වෙන අතර මයුර සංදේශය රචනා වූ ගම්පොළ පස්වන භුවනෙකබාහු රජුගේ කාලයේ දී කෝට්ටේ පරිපූර්ණ නගරයක් නොවූ බවත් එහි රජ මාළිගයක් නොතිබූ බවත් සඳහන්ය.

ක්‍රි.ව. 1386/87 කාලය වන විට නිශ්ශංක අලගක්කෝනාර හෙවත් අලකේශ්වර මිය යාම හේතුකොට ගෙන ඔහුගේ බෑණනු වූ වීරබාහු රයිගම පාලක වූ අතර ප්‍රභූරාජ තනතුර ද හිමි විය. ඔහුගේ කාල වකවානුව තුළ ක්‍රි.ව. 1391 දී ආර්ය චක්‍රවර්ති විසින් මුල් පරාජයට පසුව නැවතත් ආක්‍රමණයක් දියත් කරන ලදී.

හයවන පරාක්‍රමබාහූ (1412-1467) ගේ රාජ්‍ය කාලය තුළ කෝට්ටේ නගරයක් ලෙස වර්ධනය වීමේ උච්චතම අවස්ථාව සිදුවිය. ඔහු රයිගම වසර තුනක් පදිංචි වී පසුව කෝට්ටේ රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස භාවිතා කළ බව රාජාවලියේ දැක්වේ. මෙම රාජ්‍ය සමය තුළ බොහෝ ප්‍රතිසංස්කරණයන් සිදු වූ අතර සංඝාරාම හා වීථී ගණනාවක්ම පිළිසකර විය.

ඊ.ඩබ්ලිව්. පෙරේරා පවසන පරිදි හයවන පරාක්‍රමබාහූ රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වත්මනේ ද පවතින පස්මල්පාය වත්ත දැක්විය හැකිය. සංදේශ කාව්‍ය කිහිපයකම කෝට්ටේ පැවති පස් මහල් සහ තෙමහල් ගොඩනැගිලි පිළිබඳව සඳහන් වේ. එසේම මෙම රජුගේ කාලයේ දී රචනා කරන ලද ගිරා, කෝකිල හා හංස යන සංදේශ කාව්‍යයන් හි රාජකීය මන්ත්‍රණ ශාලාවක් සම්බන්ධව කරුණු අන්තර්ගත වේ. ගණේගොඩ සන්නස, ඕපාත නාරාවල තඹ සන්නස සහ පැපිලියාන ශිලා ලිපියෙහි ද මෙම මන්ත්‍රණ ශාලාව පිළිබඳ සඳහන්වන අතර එය රජ මාළිගයට පිටතින් ඉදිකර තිබෙන්නට ඇති බවත් දක්වා ඇත. එහෙත් කෝට්ටේ යුගය අවසාන භාගය වන විට එම මන්ත්‍රණ ශාලාව, රජ මාළිගය ඇතුළත පැවතුණු බව වේරගම සහ දෙවුන්දර දේවාල සන්නස් හි සඳහන්ය.

ක්වේරෝස්ගේ කෘතියෙ දක්වා ඇති පරිදි කෝට්ටේ රජුගේ මන්ත්‍රණ ශාලාව පර්සියානු බුමුතුරුණු අතුරා තිබූ අතර ස්වර්ණමය රෙදිවලින් ආවරණය කළ, පියගැට පේළි සතරකින් යුත් වේදිකාවක් මත ඇත් දළින් කැටයම් කරන ලද සිංහාසනයකින් යුක්ත විය. එසේම රජු ඉතා වටිනා මැණික් හා මුතු ඔබ්බවන ලද ඔටුන්නක් පැළඳි බවත් අලංකාර වස්ත්‍ර වලින් සැරසී, රතු මැණික් වලින් වැඩදැමූ පාවහන් පැළද මුතු හා දියමන්ති වලින් තැනූ මුදු වලින් ඇඟිලි සරසා උරහිස දක්වා එල්ලා වැටෙන කර්ණාභරණ වලින් යුක්ත වූ බව ලොරෙන්සෝ ද අල්මේදාගේ දූතයෙක් වූ පායෝ ද සූසා රජු බැහැ දැකීමට ගිය අවස්ථාවේ දුටු අයුරු සඳහන් කර ඇත.

1909 දී කෝට්ටේ මාළිගාවත්ත නම් වූ තම පෞද්ගලික ස්ථානයේ ඩබ්ලිව්. එම්. ෆොන්සේකා විසින් කරන ලද කැණීමේ දී අඟල් 1.5 සිට 2 දක්වා ඝණකමකින් යුක්ත හුණු බදාමයක් යෙදූ කබොක් ගලින් නිම කරන ලද ගොඩනැගිල්ලක් සහ මකර තොරණක සලකුණු සොයා ගන්නට විය. එමෙන්ම මෙහි මකර මුවින් නෙළුම් මලක් සහ කැකුළු කිහිපයක් එල්ලෙමින් පැවති බව ද එම ගොඩනැගිල්ලේ තිබු දොර ජනෙල් සහ උළුවහු සිංහ, මොණර හා නෙළුම් මල් යෙදු කැටයමින් අලංකාර කර තිබූ බව ද සඳහන්ය.

කෝට්ටේ ඇතුළු නගරය තුළ පදිංචි වූයේ රාජ සභාවේ සේවය කළ ප්‍රභූ පිරිස සහ හමුදාවේ ඉහළ නිලධාරීන්ය. සේවා අවශ්‍යතාවය හා නිලයේ ගෞරවනීයත්වය ඊට හේතු විය. එසේම නගර ප්‍රාකාරයෙන් ඇතුළත සංඝාරාමවල භික්ෂූන්ගෙන් සුළු පිරිසක් වාසය කළ බව ද දැක්වේ. සුනේත්‍රා දේවි පිරිවෙන පැපිලියානේත්, විජයබා පිරිවෙන තොටගමුවේත්, ශ්‍රී ඝණානන්ද පිරිවෙන වීදාගමත්, පද්මාවතී පිරිවෙන කෑරගලත්, ඉරුගල්තිලක පිරිවෙන දෙවුන්දරත් යනාදි වශයෙන් වූ ආගමික මධ්‍යස්ථාන කෝට්ටේ නගරයට බැහැරව පිහිටා තිබුණි.

ඩග්ලස් ඩී. රණසිංහ පෙන්වා දෙන පරිදි වර්තමාන බත්තරමුල්ල මුල් කාලයේ දී බත්තොටමුල්ල නමින් හඳුන්වන්නට ඇති බවත් එම ප්‍රදේශය රජ මාළිගයෙහි මුළුතැන්ගෙයි සේවය කළ පිරිස වෙනුවෙන් පරවේණි ග්‍රාමයක් ලෙස පවරා තිබෙන්නට ඇතැයි යන්න දක්වා ඇත. එමෙන්ම ආරක්ෂක කටයුතුවල නියුතු වු සුළු සේවකයින්, නගර ශෝධකයින්, පරිපාලන කටයුතුවල හා ආගමික ආයතනවල සේවය කළ පුද්ගලයින්, ඇතුළු නුවරින් බැහැරව ජීවත් වන්නට ඇති බව කියැවේ.

1948.12.19 දින පුරා විද්‍යා දෙපාර්ත මේන්තුවට පවරා ගෙන ඇති බැද්දගාන වෙහෙර කන්ද, පැරණි කෝට්ටේ බලකොටු සීමාවෙන් මදක් බැහැරින් පිහිටා ඇති අතර අක්කර 2 යි රූඞ් 2 ක පමණ භූමියක් වර්තමානයේ ඊට වෙන්ව ඇත. සෙනරත් පරණවිතාන විසින් 1949 වර්ෂයේදී මෙම ස්ථානය කැණීමට බඳුන් කරන ලද අතර එහිදී ඔහුට කුඩා ප‍්‍රමාණයේ පැරණි දාගැබ් දෙකක සාධක අනාවරණය කර ගැනීමට හැකි විය.

කෝට්ෙට් යුගය සාහිත්‍යමය වශයෙන් ඉතා විශිෂ්ට ස්ථානයක් හිමි කර ගන්නා අතර එම සේවාවන් සඳහා අනුග්‍රහය දැක් වූ සුවිශේෂි රාජ්‍ය පාලකයන් පස්‌දෙනක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැකිය. ඔවුන් හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1412-1467), දෙවැනි ජයබාහු රජු (ක්‍රි. ව. 1467-1469), හයවැනි බුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1469-1480), හත්වැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1480-1490), අටවැනි වීර (ධර්ම) පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1490-1509), හයවැනි විජයබාහු (ක්‍රි.ව. 1509-1521) ලෙස දැක්විය හැකිය.

සිංහල රාජ වංශයේ අවසන් වරට මුළු ලංකාවම එක්‌සේසත් කළ පාලකයා වශයෙන් සැලකෙන හයවැනි පරාක්‍රමබාහු රජු මෙම රජවරුන් අතුරින් අද්විතීය ස්‌ථානයක් හිමිකර ගනී.

පෘතුගීසි සොල්දාදුවෙකු විසින් අහම්බෙන් තබන ලද වෙඩිල්ලකින් මිය ගියේ යැයි කියැවෙන හත්වැනි භුවනෙකබාහු රජුගේ මරණයත් සමඟ මෙම රාජ්‍ය අවසන් වූවා යැයි සඳහන් වේ. ඊට හේතු වූයේ භුවනෙකුබාහූගේ මුණුපුරු ධර්මපාල ක්‍රි.ව. 1551 දී කෝට්ටේ රජු බවට නිරායාසයෙන්ම පත් වීමයි. එනම් දොන් ජුවන් ධර්මපාල පෘතුගීසින්ගේ රූකඩ පාලකයකු ලෙස කටයුතු කළ අයෙකි.

සීතාවකෙන් එල්ල වූ තර්ජනවලට බියෙන් ධර්මපාලයන් කෝට්ටේ බලකොටුවෙහි වාසය නොකොට පෘතුගීසීන් විසින් ඉදි කරන ලද කොළඹ බලකොටුවට රැකවරණය පිණිස පලා යාම හේතුවෙන් කෝට්ටේ නගරය අභාවයට පත්ව ඇත. එමෙන්ම වරින් වර සීතාවකින් එල්ල වූ ප‍්‍රහාර නිසා කෝට්ටේ නගරයේ ගොඩනැගිලි විනාශ වූ අතර සීතාවක රාජසිංහගේ මරණයෙන් පසුව පෘතුගීසීන් කෝට්ටේ නගරයේ තිබූ ආගමික ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් කඩා බිඳ දමා කොළඹ නගරයේ නව ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස භාවිතයට පැහැර ගෙන ගොස් ඇත.

කෝට්ටේ තිබුණු කළු ගල් විශාල ප්‍රමාණයක් කොළඹ කොටුව ශක්තිමත් කිරීම පිණිස සහ දේවස්ථාන ඉදිකිරීමට පෘතුගීසීන් විසින් ගලවා ගෙන ගොස් ඇති අතර ලන්දේසීන් ද පැරණි නගරයේ ශේෂව පැවති කොටස් වලින් නිවාස තැනීමටත් ආදුරුප්පු වීදියේ වුල්ෆන්ඩල් (Wolfondhol) වැනි දේවස්ථාන ඉදිකරීමටත් පාලම් සෑදීමටත් භාවිතා කොට ඇත.

ක්වේරොස් සඳහන් කරන පරිදි ක්‍රි.ව. 1566 වර්ෂයට පසුව නගරය අතහැර දමන ලදුව අවලක්ෂණ මට්ටමක පැවතුණි. ගොඩනැඟිලිවල බිත්ති ඉවත් වෙමින් අලි ඇතුනට හා වෙනත් වන සතුන්ට එහි ඉඩකඩ ඇති විය.



සිළුමිණ
2020 අප්‍රේල් 19
රුක්ෂිලා වෙත්තමුණි

ප්‍රතිකාල්වරුන්ගේ බලකොටුවක් වූ ඓතිහාසික කුඩුම්බිගල




අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානම ගම්මානය කුඩුම්බිගලට ආසන්නතම මිනිස් ජනාවාසයි. කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කි. මී. 340ක් පමණ දුරකින් කුමන වනෝද්‍යාන සීමාවේ පානම සිට රුහුණට ගමන් කරන මාවතේ කුඩුම්බිගල අභය භූමියෙහි කුඩුම්බිගල ආරණ්‍යය පිහිටා තිබෙන අතර මොණරාගල සිට කි. මී. 84 කින් හා පොතුවිල් සිට කි.මී. 30 ක දුරින් මෙම ඓතිහාසික පුදබිමට ළඟාවිය හැකිය. වයඹ දිශානුගතව මොණරාගල කඳුවැටියත්, ගිනිකොන දෙසින් මුහුදු වෙරළත් අතර භූමි භාගය කුඩුම්බිගලට අයත් වේ.

1973 සැප්තැම්බර් මස 28 වන දින විශේෂ ගැසට් නිවේදනයකින් අභයභූමියක් ලෙස එම පෙදෙස නම් කරන ලද අතර අක්කර දහසක පමණ ප්‍රමාණයක පර්වත පහකින් වට වූ භූමිය පුරා කුඩුම්බිගලට අයත් නටබුන් විසිර ඇතැයි සැලකේ. විල ඔයත්, කුඹුක්කන් ඔයත් අතර පිහිටි උසින් වැඩිම පර්වතය වූ සෑගිරි බැලුම් ගල ද ගිරි ජනපදයක් වූ කුඩුම්බිගල සුන්දර පරිසරයෙ කොටස්කරුවෝය. විල ඔය හා කුඹුක්කන් ඔය අතර භූමිය ඔස්සේ ගලා බසින කුඩුම්බිගල් ආර හා සැලව ආර නියං කාලයේ දී වියළී යයි.

නැඟෙනහිර මුහුදු වෙරළ ආසන්නව පිහිටා ඇති සැලව කලපුව අසල මාර්ගයෙන් ගමන් ගත් විට ඔකඳ දේවාලය හා බෞද්ධ සිද්ධස්ථානයට පිවිසිය හැකිය. කතරගම දෙවියන් ගොඩබට ස්ථානය ලෙස සැලකෙන අතර එහි දී කතරගම දෙවියන් පැමිණි රන් ඔරුව එම ස්ථානයේ දී ගල් වූ බව ද එය වෙරළෙ පිහිටා ඇති බව ද බොහෝ බැතිමතුන්ගේ වන්දනාමානයට බඳුන් වී ඇති බව ද එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කරයි.

පානම හා කුමණ කුඩුම්බිගලට ආසන්නව පිහිටි ගම්ය. අග විනිසුරුවරයෙකු වූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් 1806 දී මඩකලපුවේ සිට මාගමට නැගෙනහිර වෙරළ ඔස්සේ ගමන් කොට ඇති අතර ඔහුගේ වාර්තාවක ගම්මාන හතක් ඔස්සේ තම ගමන් මාර්ගය යෙදී තිබුණු බව සඳහන් කරයි. එම ගම් ලෙස හැලව, ඕකන්ද, කුමණ, පොතාන, යාල, බුත්තුව හා පලටුපාන දක්වා ඇත.

මේ ප්‍රදේශයට අයත් ඉතා පැරණි නගර දෙකක් ලෙස කෝන්ගල ලිපියෙහි සඳහන් නගරය හා නෙළුම්පත් පොකුණ ලිපියෙහි සඳහන් මහණ කරක දැක්විය හැකිය. 1821 දි පානම පෙදෙසේ පාලනය පිළිබඳ සඳහන් තොරතුරු අනුව එහි ජනාවාස පිහිටා තිබුණු බවත් මඩකලපුවේ විසූ කනගරත්න මුදලි විසින් ලියූ පොතක පුංචිරාල අගලම්මරාල රටේ මහතා එවක පානම පාලකයා ලෙස සිටි බවත් සඳහන්ය. 18 වන සියවස මැද භාගය වන විට මැලේරියා වසංගතය හේතුකොට ගෙන ජනවාස පවුල් කිහිපයකට පමණක් සීමා වීම නිසා එම පෙදෙස වන ගත වූ බවත් කුඩුම්බිගල ආරණ්‍යයද අභාවයට ගිය බවත් සැලකේ. මිනිස් වාසභූමියක් ලෙස නැවතත් එම පෙදෙස සක්‍රීය වූයේ 1964 දීය.

රුදුරු වන ප්‍රවාහයට ලක්ව ශත වර්ෂ ගණනක් පැවති කුඩුම්බිගල නටබුන් නැවත මිනිස් පහස ලද්දේ 1942 වසරේදීය. ඒ උපතින් කිතුනුවකු වූ පසුව බුදු දහම වැලඳගත් මෛත්‍රී නමින් හැඳින්වූ උපාසක මහතා නිසාය. ඔහු විසින් මෙහි සුදර්ශන ලෙන නමින් හැඳින්වෙන ලෙන පිළිසකර කොට කුටියක් සාදා ඉතා දුක සේ ජීවත් ව සිටි අතර 1954 දී තාඹුගල ආනන්දසිරි ස්වාමීන් වහන්සේ වැඩම කොට ගෙන නැවත පූජනීය ස්ථානයක් බවට සකසා ඇත.

පැරණි වාරි කර්මාන්ත රැසක් කුඩුම්බිගල අවට පරිසරයේ දකින්නට ඇති අතර ඉන් වැව් ප්‍රධාන තැනක් හිමි කරගනී. වර්තමානය වන විට එම වැව් බොහෝ ප්‍රමාණයක් මඩවගුරු හෝ වියළි පිටි බවට පත්ව වනගහනයට ලක්ව ඇත. ගිනිකොන දෙසින් පිහිටි වැව කුඩුම්බිගල නමින් හැඳින්වෙන අතර එය ප්‍රමාණයෙන් ඉතා කුඩාය. ගල් බැම්මේ ශේෂයන් හා සොරොව්ව අද ද දක්නට ලැබේ. බඹරගස්තලා වැව ගිරිකුළු ආර හරස් කොට බැඳි වැවක් බටහිර දෙසින් පිහිටා ඇත. එසේම ඉයග්ගහ වැව පැරණි වැවක් ලෙස සැලකේ. එය කුඩුම්බිගලට වයඹ දිගින් පිහිටා තිබේ. මේ පෙදෙස ඔස්සේ ගලා යන සියලුම ජල පහරවල් හරස් වන පරිදි එම වැව බැඳ ඇත. සොරොව්ව කළුගලින් නිමවා තිබෙන අතර එහි නටබුන් දක්නට ලැබේ. සැලව ආර හරස්කර බැඳ ඇති විශාලම වැවක් වූ උඩහැලව වැව උතුරු දිශානුගතව පිහිටා ඇතිමුත් ගන කැලෑවක් බවට පත්ව තිබේ.

හෙන්රි පාකර් විසින් ලියන ලද පුරාතන ලංකාව (Ancient Ceylon) නැමැති ග්‍රන්ථයේ කුඩුම්බිගල සුදර්ශන ලෙනෙහි ඇති මිත්‍රගේ ලෙන් ලිපිය සහිත ලිපි 5 ක් පිටපත් කර දක්වා ඇත. එහෙත් ඒවායේ පිටපත් බොහෝ දුරට සාවද්‍ය බව දැනට පැහැදිලි වන බවයි එල්ලාවල මේධානන්ද හිමිගේ අදහස. ඒ.එම්. හෝකාට්, පානම හා ලාහුගල පෙදෙස ආශ්‍රිතව තබන ලද කෙටි සටහනේ කුඩුම්බිගල පිහිටි දාගැබක ලක්ෂණ විග්‍රහ කර ඇති අතර එය සිලින්ඩරයක හැඩය ගන්නා බවත් දක්වයි. රාජකීය ආසියාතික සංගමයේ ලංකා සඟරාවේ සී.ඩබ්ලිව්. නිකොලස් විසින් මෙහි ලිපි පහක් පිටපත් කර 147 වන පිටුවේ පළකර ඇත.

කුඩුම්බිගල ප්‍රදේශයේ ඇති මානව විද්‍යාත්මක කරුණු පිළිබඳව දැරණියගල විසින් පුරාතන ලංකාව සඟරාව (Ancient Ceylon, Agust 1972 No.I) සඳහා මිත්‍රගේ ලෙනෙහි ඡායාරූපයක් හා කුඩුම්බිගල ගොඩැල්ල ගැන කෙටි විස්තරයක් දක්වා ඇත.

කුඩුම්බිගල ඇති සියලු නෂ්ටාවශේෂ ගඩොල් හා ශිලා නිර්මාණවලින් යුක්තය. පැතලි උළු විශේෂයක් භාවිතා කොට ගොඩනැගිලි සෙවිලි කිරීම සිදු කර ඇති බව පෙනේ. මෙහි ස්තූප වශයෙන් හඳුනාගත හැකි ගොඩැලි 8ක් දක්නට ඇති අතර ඉන් තුනක් සෑගිරි බැලුම්ගල පිහිටා ඇත. මෙහි ප්‍රධාන ස්තූපය සංරක්ෂණය කර ඇති අතර එය සිලින්ඩරයක හැඩය ගනී. වේදිකාව හා පියගැට පෙළ ගඩොල්වලින් නිර්මාණය කොට ඇත. මළුව ගඩොල් අතුරා ඇති අතර ඇතැම් ගඩොල් කැටවල අක්ෂර හා විශේෂ සටහන් දක්නට ලැබේ. එම අක්ෂර අනුව යුග තුනක් නියෝජනය වන බව අදහසයි.

කුඩුම්බිගල ලෙන් ඉදිකිරීම සඳහා බිත්ති බැඳීමේ දී අත්තිවාරම් ඉතා ගැඹුරට හා පුළුල්ව යොදා ඇත. මෙහි ඇති තිස්ස ලෙන ඉදිකරීමේ දී ඉතා ශක්තිමත් ලෙස බෙලිකටු මිශ්‍රිත හුනු බදාමයක් යොදා ගෙන තිබේ.

මෙහි පියගැට පෙළවල් වර්ග දෙකකි. පර්වතයේම කපන ලද පියගැට මෙන්ම කෘත්‍රිමව සකසන ලද පියගැටය. මේ අතර විශේෂ සටහන් සහිත පියගැට පෙළවල් දෙකක් දක්නට ඇත. සුදර්ශන ලෙනට පිවීසීමට පියගැට 18 ක් නිමවා ඇත. එය ධර්මගුප්ත නම් කෙනෙකු විසින් පූජා කරවන ලද්දකි. මුල් කොටසට අයත් පියගැටෙහි සෙල් ලිපියක දක්වා තිබෙන්නේ මෙසේය.

දකුණේ සිට වමට සෙල් ලිපිය කියවීමේ දී,

බත දමගුතශ අටදශ පදගදිනි

අර්ථය - ස්වාමී ධර්මගුප්තගේ පියගැට දහ අට (දෙන ලදී)

වමේ සිට දකුණට සෙල් ලිපිය කියවීමේ දී,

අර්ථය - දායකයා පියගැට පෙළ කපා පූජා කරන ලද බව

දෙවන කොටසට අයත් පියගැට 12 වෙනත් දායකයෙකු විසින් කරවන ලද්දකි. නමුත් මෙහි දායකයාගේ නම සඳහන් කොටස පතුරු ගැලවී ඇති බැවින් කර වූ පුද්ගලයා හඳුනාගත නොහැකිය.

කුඩුම්බිගල ආරණ්‍යවාසී භික්ෂූන් උදෙසා තනවන ලද ලෙන් 105 ක් පමණ හඳුනාගෙන තිබේ. එකකට එකක් මඳ දුරක් සිටින සේ එම ලෙන් පිහිටා ඇත. මෙහි සෑම ලෙනක්ම කටාරම් කොටා ඇති අතර ඉන් පසක් වන්නේ එම සියල්ලේම අතීතයේ දී යෝගාචරයන් වහන්සේලා වැඩ විසූ බවයි. ඇතැම් ලෙන්වල බ්‍රහ්මී අක්ෂර වලින් එම ලෙන් කරවූ දායකයන් කවුරුද යන්න සටහන් කොට තිබේ.

ස්වභාවිකව නිමවුණු පොකුණු මෙහි දක්නට ලැබේ. ඒවා දියකෙමි හා ගල්කෙමි ලෙස හැඳින්වේ. එමෙන්ම ගල් කඳු අතරින් ගලාවිත් අඩි 20 ක් පමණ පහළට ඇද හැලෙන දිය ඇල්ල හේතුවෙන් භාවනායෝගී භික්ෂුණ්ගේ පැන් අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වේ. මෙම දිය ඇල්ල අවුරුද්ද පුරා මාස 9 ක් වැනි කාලයක් නොසිඳී පවතී.

කුඩුම්බිගල තපෝවනය පුරාණ කාලයේ දී රෝහණ චේතිය පබ්බතය යන්න ව්‍යවහාර කර ඇත. එහි ඉතාම වැදගත් ලෙස සැලකෙන දුර්ලභ වූ ජූජනීය සංකේත දෙකක් හමුවේ. එනම් සෑගිරි බැලුම් ගලෙහි පිහිටි පළමු වන ස්තූපය හා සුදර්ශන ලෙනෙහි ඇති ත්‍රිශූලාකාර සටහනයි.

අභිලේඛනවල දැක්වෙන පරිදි කුඩුම්බිගල පැරණි නිර්මාතෘවරු කිහිප දෙනෙකි. ලෙන් සැකසීමේ දී මේ සියලු දෙනාගේම දායකත්වය ලැබුණු බව සඳහන්ය. ඔවුන් ශුමන, මිත, දමගුත, පුශගුත, දමරකිත යනාදි වශයෙන් දැක්විය හැකිය.

පෘතුගීසි හා ලන්දේසින් මූදුබඩ පළාත් පාලනය කළ සමයේ කුඩුම්බිගල බලකොටුවක් ලෙස යොදා ගෙන තිබූ බව කියැවේ. සෑගිරි බැලුම්ගල අසල තිබී හමු වූ පෘතුගීසි හේවායකුගේ කවන්ධ රූප මැටි ජෝග්ගු කැබලි කීපය හා කාසි ඊට සාක්ෂි සපයයි.

මෙම භූමියෙන් හමූ වූ විවිධ දෑ අතර මැටියෙන් තැනූ පෘතුගීසි සෙබළෙකුගේ කවන්ධ රූප දෙකකි. අත් දිග හැර ඇති අයුරින් නිමකර තිබෙන්නට ඇති බවත් කඩුවක් පැළඳ මාලයක් කර බැඳ ඇති සෙබළාගේ අඳුම සම්පූර්ණ වශයෙන්ම පෘතුගීසීය.



සිළුමිණ
2020 අප්‍රේල් 12
රුක්ෂිලා වෙත්තමුණි

ශීත ලෙන් තැනූ රජගල උරුමය


නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් තුනකට රජගල කන්ද අයත් වන අතර රජගල ආරාමික පුරාවිද්‍යා භූමිය අම්පාර මහඔය මාර්ගයේ කිලෝ මීටර් 26 කින් පසුව බක්කිඇල්ල හන්දියට නුදුරින් පිහිටා තිබේ.

1940 අංක 69 දරණ පුරාවස්තු ආඥා පනත මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ලෙස මෙම පෞරාණික ආරාම සංකීර්ණය නම් කොට ඇත. අනුරාධපුර යුගය නියෝජනය කරනු ලබන ස්මාරක අවශේෂ හා පුරාවස්තු මෙම භූමිය පුරාම විසිරි පවතී. 1968.09.28 වන දින රජයේ මිණුම් දෙපාර්තමේන්තුව විසින් අක්කර 1025 පර්චස් 16ක භූමි ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස නම් කෙරුණු අතර 1977.02.14 වන දින නැවත මිණුම්ගත කර එම අක්කර ගණන තහවුරු කොට තිබේ.

2012 සැප්තැම්බර් මස 01 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව ගිවිසුම් ප්‍රකාරව රජගල පුරාවිද්‍යා රක්ෂිතයේ ගවේෂණ , කැණීම් සහ සංරක්ෂණ කටයුතු ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයට පවරන ලදී. ඒ අනුව රජගල ඉදිරි සියලු කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විශ්වවිද්‍යාලයේ අදාළ අංශය විසින් සිදු කරනු ලැබීය.

ගිරිකුම්භීල යන්න රජගල සඳහා භාවිත කළ අතීත නාමයයි. වර්තමානයේ දී රජගල හෝ රාස්සහෙළ යනුවෙන් මෙම පුරාවිද්‍යා භූමිය නම්කොට තිබේ. ගිරිකුම්භීල යන්නෙහි කුම්භීල යනු පාලි භාෂාවෙන් කිඹුලා යන්නය. ගිරි යනු කන්ද හෙවත් පර්වතයයි. කුම්භීලගිරි ලෙස අතීතයේ දී රජගල කඳුවැටිය සඳහා නම්කොට තිබුණේ කිඹුල් කන්ද යන අර්ථය හේතුවෙනි. එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ ඈත සිට බලන විට රජගල කඳු වැටිය වැතිරී සිටින කිඹුලෙකුගේ ස්වරූපයෙන් පෙනෙන බැවින් කිඹුල් කන්ද යන අදහසින් කුම්භීලගිරි ලෙස නම් කරන්නට ඇති බවයි.

මහාවංශයේ මෙන්ම සහස්සවත්ථුපකරණය හා සද්ධර්මාලංකාරයේ රජගල, ගිරිකුම්භීල ලෙස මුලින් හැඳින්වුවද පසුව අරියාකර විහාරය හෝ අරිකාරි වෙහෙර ලෙස සඳහන් කොට ඇත. අරියවංශ දේශනාවට ප්‍රසිද්ධ ස්ථානයක් වීම හේතුවෙන් අරියාකර විහාරය යන්න ප්‍රචලිත විය. මෙතෙක් හමු වී ඇති ශිලා ලිපි අනුව වඩාත් පැරණිම නාමය ලෙස කූඨකණ්ණ තිස්ස රජුගේ කාලයේ දී යුව රජු වූ මහාදාඨික මහානාග විසින් කරවන ලද ගිරි ලිපියක කුම්බිලපිතිසපවත විහර යන්න දක්වා තිබේ.

ලජ්ජිතිස්ස රජු විසින් ගිරිකුම්භීල විහාරය කරවූ බව සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි සාක්ෂි දරනු ලැබේ. දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්සගේ වැඩිමහල් පුත් ලෙස ලජ්ජිතිස්ස සඳහන්ය. මෙම රජු විසින් ශීත ලෙන් 25ක් කර වූ බව රජගලින් අනාවරණය කරගත් ශිලා ලිපියකින් තහවුරු වේ. ඒ අනුව අතීතයේ සිටම එනම් ක්‍රි.පූ. දෙවන සියවසේ දී ලක්දිව ශීත ලෙන් තනා ඇති බවට සාක්ෂි සපයයි. රජගල කඳුවැටිය හරහා හමා එන සිහිල් සුළඟ ගල්ලෙන් තුළට පැමිණීමට සලස්වා ශීත ලෙන් ඉඳිකොට තිබුණු බව වියතුන්ගේ මතයයි.

සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන පරිදි ගිරිකුම්භීල විහාරය හා ලජ්ජිතිස්ස රජු අතර විශාල සබඳතාවක් පැවත ඇත. රජගලින් හමු වූ ශිලා ලේඛන 07 න් එක් ලිපියක මෙසේ සඳහන් කොට තිබේ.

දෙවනපිය මහරජ ගාමිණි තිස්සගේ පුත් ලංජක රජු යන්නය. පරණවිතානයන්ට අනුව දෙවනපිය මහරජු යනු සද්ධාතිස්ස රජු යන්නත් ලංජක රජු යනු සද්ධාතිස්සගේ පුත් ලජ්ජිතිස්ස බවත්ය.

රජගලෙන් හමු වූ මෙම ශිලා ලිපි 07 අතර ඉතිරි ලිපි 06 න් 04 ක් තිශ අය හෝ මහ අය ලෙස හැඳින්වෙන අයෙකුගේ භාර්යාවන් විසින් ලෙන් පූජා කරන ලද ඇති බවත් එම භාර්යාවන් ලෙස යසස්සිනී, බුද්ධදත්තා, සාමිකා හා අභිජාතා යන්න දක්වා ඇත. තිශ අය හෝ මහ අය නමින් හැඳින්වූ අයෙක් ලෙන් පූජා කළ බව අනෙක් ලිපි දෙකෙහි සඳහන්ව ඇත.

සාමිකා නම් වූ භාර්යාව විසින් පූජා කරන ලද ලෙනේ ඇති ශිලා ලේඛනයේ මෙසේ සඳහන්ය.

දෙවනපිය මහරඣහ ගමණි තිශහ පුතහ තිශ අයහ ඣය උපශික ශමිකය ලෙණෙ

අර්ථය - දෙවියන්ට ප්‍රිය වූ ගාමිණිතිස්ස මහරජුගේ පුත්‍ර තිස්ස කුමාරයාගේ භාර්යා උපාසිකා සාමිකාගේ ලෙන

මිහින්තලය, රිටිගල, අරන්කැලේ, කුඩුම්බිගල ආදී ආරණ්‍යවාසී භික්ෂු වාසස්ථාන මෙන් අනුරාධපුර යුගයේ දී ප්‍රචලිත ආරණ්‍ය සේනාසනයක් ලෙස රජගල හැඳින්විය හැකිය. එහෙත් අනුරාධපුර රාජධානිය බිඳ වැටීම හේතුකොටගෙන කාලයාගේ ඇවෑමෙන් භික්ෂූන්ගෙන් තොර භූමියක් බවට පත්ව රජගල වනගත විය. රජගල සිදුකළ ගවේෂණ හා කැණීම්වලදී තහවුරු වූයේ අනුරාධපුර යුගයට පසුව කිසිදු කාලවකවානුවක මෙහි ප්‍රතිසංස්කරණයක් හෝ ඉදිකිරීමක් කර නොමැති බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික මැදිහත් වීමෙන් 1935 දී ලෝංහස්ට් නම් එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ සමයෙහි රජගල භූමියේ සෙල්ලිපි පිටපත් කිරීම ආරම්භ කර ඇත. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය 1949 දී ආරම්භ කිරීම හේතුකොට ගෙන එහි නිලධාරියෙකු වූ පී. දාබරේ මහතාගේ මූලිකත්වයෙන් වනගතව පැවති රජගල භූමියේ පෞරාණික ස්මාරක සැලකිය යුතු ප්‍රමාණයක් මතුකර ගැනීමට හැකිවිය.

1950න් පසුව මෙම භූමියේ ස්මාරක හඳුනා ගැනීමටත්, ශිලා ලේඛන පිටපත් කිරීම හා කැණීම් කටයුතු සිදුකිරීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යොමුවිය. 1959 දී නිකුත් කළ පුරාවිද්‍යාා පාලන වාර්තාව අනුව රජගල සම්බන්ධව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. එනම්,

“නො.33 ගම අසල පිහිටි තේක්ක වත්තක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගල කන්ද නැමැති කැලෑ බිහි වූ කන්දකට පැමිණේ.... එහි නටබුන් දේ අතර ස්තූපයක හා වටකුරු ගොඩනැගිල්ලක ද ගල් කුළුණු සහිත හතරැස් පායක හා නෙලා අවසන් නොකළ සෙල්මුවා බුදු පිළිමයක ද නෂ්ඨාවශේෂයෝ වෙත්. අඩි 19 ක් උස මේ බුදුරුව අවුකන ප්‍රතිමාව සිහිපත් කරවයි” යන්න සඳහන්ව ඇත.

එමෙන්ම 1962 පාලන වාර්තාව අනුව “මෙහි ලැබුණු එකම බුදු පිළිමය තරමක් දුරට වැඩ කර නැවැත්වූවක්ය. එය තවමත් තියෙන්නේ ශිල්පියා ගල තියාගෙන වැඩ කළ තැනමය” යනුවෙන් විස්තර කොට ඇති අතර එම වාර්තාවේම මෙම වර්ෂයේ දී ලෙන් ලිපි 22 ක් හා තවත් සෙල්ලිපි 5 ක් ලැබුණු බව ද මෙහි කොරවක් ගල්, ගල්පාත්‍ර, ස්තූප හා ගොඩනැගිලි පිළිබඳව ද කරුණු අන්තර්ගතය.

1960 පාලන වාර්තාෙව් දැක්වෙන පරිදි රජගල පුරාවිද්‍යාභූමිය පුරාවිද්‍යා තහනම් ඉඩමක් බවට පත්කොට තිබේ. එමගින් එහි සම්පූර්ණ අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුවිය.

රජගල භූමියේ ඇතැම් ගල්ලෙන් වන වැදී තිබුණු කාලවකවානුවේ දී දිවුලාන හරහා පැමිණෙන ආදිවාසීන්ගේ තාවකාලික වාසභූමි බවට පත්ව තිබී ඇත. එසේ පැමිණි වැදි ජනයා විසින් ඇතැම් ලෙන්වල සටහන් කරන ලද චිත්‍ර හා රේඛා සටහන් මෙහි ශේෂව ඇත. රාස්සගල සිටි නාගකච්චා නම් ආදිවාසියා ගැන ආර්.එල්.ස්පිට්ල් මහතා තම සංචාරක සටහන්හි දක්වා තිබේ.

මෙම පුරාවිද්‍යාභූමියෙන් හමු වූ යකඩින් තැනූ මල කෑ කෙටේරිය එම ආදිවාසීන් විසින් භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ඉට්ඨිය තෙරුන් හා මිහිඳු තෙරුන්ගේ නම් සඳහන් ශිලා ලිපිය රජගලින් හමු වූ ශිලා ලිපි අතර එහි ඓතිහාසිකත්වය පදනම් කොට ගෙන ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. පරණවිතානයන් දක්වන පරිදි එම ශිලා ලේඛනය,

යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිදතෙරහ තුබෙ

අර්ථය - මේ දිවයිනට පළමුවෙන් සමුර්ධිය සඳහා පැමිණි ඉත්තිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ස්තූපයයි

මෙම ශිලා ලිපිය අසල පිහිටි කුඩා ස්තූපයේ ඉට්ඨිය හා මිහිඳු යන හිමිවරුන්ගේ ධාතු නිධන් කොට තිබෙන්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. පරණවිතානයන් ප්‍රකාශ කරන්නේ මිහිඳු හිමිගේ පරිනිර්වාණයෙන් නොබෝ කලකින් ම මෙම ස්තූපය ගොඩ නංවන්නට ඇති බවයි. චාල්ස් ගොඩකුඹුර තම වාර්තාවක දක්වා තිබෙන්නේ මෙම ශිලා ලේඛනය ක්‍රි.පූ. 3 වන සියවසට පමණ අයත් විය හැකිය යන්නය.

රජගලින් හමු වී ඇති ශිලා ලේඛන අනුව ලජ්ජිතිස්ස රජුගෙන් පසු කාලයේ සිටි රජවරු ද රුහුණේ සිටි උප රජවරු ද වෙනත් ප්‍රභූවරුන් ද රජගල ආරාමයේ සමෘද්ධිය උදෙසා විවිධ පරිත්‍යාග කළ බවත්, ගම්බිම් පූජා කොට ඇති අතර විවිධ ගොඩනැගිලි තැනීම ද සිදුකොට ඇති බව පැහැදිලි වේ.

විහාරස්ථානයේ ප්‍රයෝජනය පිණිස කූඨකණ්ණ තිස්ස රජු උපරාජ අවදියේ දී ගම් දෙකක් පූජා කොට ඇත. එමෙන් ම භාතික අභය රජු විසින් යජිනි නම් සංඝාරාමයක් කරවීම, මරගම නැමැති වැව විහාරයට පූජා කිරීම, බෝධිඝරයක් සහ ආසන කරවීම, මහරජ ඇළේ බද්දෙන් කොටසක් විහාරයට පූජා කිරීම, වෙනත් වැව් හා ජල බදු විහාරයට ලබා දීම යනාදිය කරවන ලද බව සෙල්ලිපි ඇසුරින් තහවුරු වේ.

මහාචාර්ය සිරිමල් රණවැල්ල විසින් කියවා ප්‍රකාශයට පත්කොට ඇති ක්‍රි.ව. 9-10 ට අයත් ශිලා ලේඛනය අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ අවසානය දක්වා භික්ෂු වාසස්ථානයක් ලෙස රජගල විහාර සංකීර්ණය පැවති බවය.

කඳුවැටියක මුදුනේ මෙම ආරාම සංකීර්ණය පිහිටා ඇති බැවින් අතීතයේ දී වූව ද එම ස්ථානය කරා පිය මැනීමට පා ගමනින්ම කඳුවැටියට නැගීමට සිදු වූ බව සිතිය හැකිය. අතීතයේ දී තැනූ මාවත් දෙකක් ඔස්සේ මෙහි මුදුනට නැගිය හැකි අතර එහි අඩි ප්‍රමාණය 1038 ක් ලෙස සඳහන්ය. රජගල වත්මනේ දී ඉදිකොට ඇති රථගාලට දකුණු පසින් හා නැගෙනහිර පසින් මෙම අතීත මාර්ග දෙකට පිවිසිය හැකි අතර මිහිඳු සෑය අසල දී මෙම මාර්ගයන් ඒකාබද්ධ වේ. වසර දහසක පමණ කාලයක් වනගතව පැවති මෙම මාර්ගවල පියගැට පේළී සැලකිය යුතු හානියක් සිදුව පැවතුණි. 2013 වසරේ දී රජගල ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පියගැට පෙළ හා පෙත් මඟ සංරක්ෂණය කරන්නට විය.

මෙහි පිය ගැට පෙළ ඉදිකිරීමේ දී ගෝමුත්‍රිකා රටාවකට (Zigsag ක්‍රමයට) එය සකස් කොට තිබේ. එනම් පියගැට කිහිපයක් පසු කිරීමෙන් අනතුරුව සමතලා අංගනයකට පිවිසීමට ඇති අතර නැවත පිටගැට පෙළක් හා සමතලා අංගනයක් ලෙසින් නිර්මාණය කොට තිබීමයි. පියගැට පෙළ නගින්නන් හට අවම වෙහෙසක් ගෙන දෙන්නට එසේ මාලක සකසා තිබීම අතීත නිර්මාණකරුවාගේ දක්ෂතාවයයි. ඔවුන් මෙම මාලක සකස් කිරීමට පස් මෙන්ම ගල් ද භාවිත කොට ඇත.

රජගල ආරාම සංකීර්ණය ආශ්‍රිතව සෙල් ලිපි 80 ක ට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන තිබෙන අතර මැටි කරඬුවක හා උළු කැටයක ලියන ලද ලිපි හමුවීම මෙහිදි සුවිශේෂි වේ. 2009 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණයක දී දැනට කැණීම් කොට සංරක්ෂණය කොට ඇති ප්‍රධාන දාගැබ් දෙකෙන් විශාල දාගැබ අසන්නයේ තිබී මෙම මැටි කරඬු ලිපිය සොයා ගන්නා ලදී. මෙබඳු මැටි කරඬු කිහිපයක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව හමූවූව ද ඒවායේ අක්ෂර සටහන්ව නොතිබුණි. මෙම අක්ෂර සහිත කරඬුව පියන හා බඳ වශයෙන් කොටස් දෙකකින් යුක්තය. පියන කේතුකාර හැඩයක් ගන්නා අතර බඳ පාත්‍රයකට සමාන වේ. අඟල් 07ක උසකින් යුත් මෙහි මුවවිටට මදක් ආසන්නව අක්ෂර පේළි දෙකක් ලෙස ලියා ඇත. දැනට ලංකාවෙන් හමු වී ඇති මැටි බඳුනක ලියන ලද පැරණිම ලිපිය ලෙස මෙය හැඳින්වේ. මෙහි අක්ෂර ලක්ෂණ අනුව ක්‍රි.ව. 1-2 සියවස් වලට අයත් යැයි සඳහන්ය.

අංක 10 දරණ ජන්තාඝර ගොඩනැගිලි භූමියෙන් මතුපිට සිට සෙ.මි. 23ක ගැඹුරින් මැටි උළු කැටයක ලියන ලද ලිපිය හමුවිය. කොටස් 03 කට කැඩී තිබුණු මෙය අසම්පූර්ණ උළු කැටයක් ලෙසත් මෘදු මැටි විශේෂයක් භාවිතා කොට නිර්මාණය කරල ලද බවත් සඳහන්ය. ලේඛනය හුරු අයෙක් විසින් සිහින් තුඩකින් මෙම අක්ෂර සටහන් කරන්නට ඇතැයි යන්නත් එය පේළි 03 කින් සමන්විත යන්න දැක්වේ. මෙහි සඳහන් ලිපියේ අර්ථය ලෙස දක්වා ඇත්තේ, බුදල් නම් තීරු බදු අය කරන නිලධාරියා විසින් පිනට කරවන ලද උළු කැටයයි යන්නය.

රජගල මහලෙන තුළ කළ කැණීම්වලින් මධ්‍ය ශිලා යුගයට අයත් මානව අවශේෂ ලැබුණු අතර නැගෙනහිර පළාතෙන් හමු වූ පළමු ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය ලෙස රජගල ඉතිහාසගත විය.

සිළුමිණ
2020 අප්‍රේල් 05
රුක්ෂිලා වෙත්තමුණි