Monday, May 18, 2020

මඩ ගොහොරුවෙන් රජ දහනක් වූ ජයවඩනපුර



15 වන සියවසෙහි දී සමෘධිමත්ව වැජඹුණු රාජධානියක් වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍රගතව පැවැති කෝට්ටේ රාජධානිය ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට සමත්වූ අවසන් දේශීය රජුගේ නියෝජිත රාජධානියයි. බලකොටු නගරයක ඉතිහාසගත තොරතුරු සඳහා මං විවිර කරන කෝට්ටේ රාජධානිය කලක් දියුණුවේ හිනි පෙත්තටම නැග පසුව පාලකයන්ගේ දුර්වලතා හේතුකොට ගෙන කෙමෙන් පරිහානිය කරා ගොස් අප්‍රසිද්ධියේම අතීතයට එක් වූ රාජධානියකි. කෝට්ටේ යනු කොට්ටි යන දෙමළ හා මළයාලම් පදයෙන් බිඳී ආවකි.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ කුරුවර් හි (වර්තමානයේ වංචිපුරම්) ධනවත් වාණිජ පවුලකින් උපත ලද නිශ්ශංක අලගක්කෝනාර (වීර අලකේශ්වර) විසින් තනවන ලැබූ බලකොටුව ලෙස කෝට්ටේ පුරවරය හැඳින්වේ. ගම්පොළ තුන්වන වික්‍රමබාහු රජුගේ (1357-1372) හා පස්වන භුවනෙකබාහු රජුගේ (1372-1408) ප්‍රධාන අමාත්‍ය හා උපදේශක ලෙස කටයුතු කළ ඔහු ප්‍රභූ රාජ නම් තනතුරෙන් ද ව්‍යවහාර විය. එසේ ඔහුව හැඳින්වූයේ රයිගම පරිපාලන කේන්ද්‍රස්ථානයේ සිටි රජු දුර්වල වූ අවස්ථාවල ප්‍රධාන පාලකයා ලෙස කටයුතු කිරීම හේතුවෙනි.

සමකාලීන යාපන පාලකයා වූ ආර්ය චක්‍රවර්ති තම බලය සිංහල රජුගේ ප්‍රදේශයන්හි ව්‍යාප්ත කිරීම හේතුකොට ගෙන එය වැළැක්වීමේ අරමුණින් අලගක්කෝනාර විසින් කෝට්ටේ බළකොටුව ගොඩනැංවීය. තම ස්වකීය දේශපාලන ශක්තිය මත ක්‍රි.ව. 1359 දී ආර්ය චක්‍රවර්ති ගම්පොළ රාජධානියේ ඇතැම් පෙදෙස් ආක්‍රමණය කරන්නට විය. හලාවත, මීගමුව, වත්තල හා කොළඹ යුද බලකොටු තැනු අතර බදු එකතු කිරීම පිණිස තම නිලධාරීන් මාතලේ, සිඟුරුවාන, බලවිට, දුම්බර හා සගම තුන්රට යන ප්‍රදේශ සඳහා ආර්ය චක්‍රවර්තී විසින් යොමු කරවන ලදී.

සිංහල රජුගේ වාණිජ ශක්තිය වර්ධනය කිරීමටත් යාපනය රජුගේ ආක්‍රමණ වලට මුහුණ දීමටත් ඇති පහසුව පිණිස කෝට්ටේ බළකොටුව තැනීමට නිශ්ශංක අලගක්කෝනාර තීරණය කළ අතර එය එකළ පැවති වත්තල, මීගමුව, හලාවත, කොළඹ, බේරුවල හා බෙන්තොට වැනි වරාය ආශ්‍රිත නගර අතර සම්බන්ධතා පැවැත්වීමට ද ඉවහල් විය.

කැලණි නදියට දකුණින් පිහිටි මඩ ගොහොරු සහිත පෙදෙස බළකොටුව ඉදි කිරීම පිණිස යොදා ගත් අතර එය දාරුග්‍රාමය නමින් හැඳින්විය. කොළොන්නා ඔයෙන් හා දියවන්නා ඔයෙන් තුන් පැත්තකින් ජලයෙන් වටවී තිබූ දැඩි ආරක්ෂක ඉසවුවක් වූ දාරුග්‍රාමය මඩ ගොහොරු සහිත වූ බැවින් එයට ප්‍රවේශ වීමට හැකි වූයේ දකුණු දිශානුගතව පිහිටි පටු භූමී තීරයකිනි. මෙහි පළලින් වැඩිම පෙදෙස කිලෝ මීටර් දෙකහමාරක් පමණ වූ අතර අලගක්කෝනාරයන් විසින් දාරුග්‍රාමය වටා ඉතා පුළුල්ව හා ගැඹුරට දිය අගලක් ද කළු ගල් උපයෝගිකොට ගෙන ඊට මායිම්ව ශක්තිමත් ප්‍රාකාරයක් ද තනවනු ලැබීය.

එකිනෙක මත පිහිටන සේ වේදිකාවක් අයුරින් පදනම් දෙකක් මත ප්‍රාකාරය ඉදිකළ අතර විවිධ හැඩයෙන් යුත් කබොක් ගල් උපයෝගි කොට ගෙන ජල මට්ටම දක්වා පහළ කොටසත්, කළු ගලින් ඉහළ කොටසත් නිමවිය. අඩි 10 කින් යුක්තව බැම්මේ ඉවුරු දෙක පැවති බැවින් ඒ මත මුර සෙබළුන්ට ගමන් කරන්නට ඉඩ ලැබුණි. සිංහල මෙන්ම වැටුප් ලැබූ ද්‍රවිඩ සොල්දාදුවන් කෝට්ටේ ආරක්ෂාව සඳහා අලගක්කෝනාර විසින් යෙදවීය. නිකාය සංග්‍රහයේ දැක්වෙන පරිදි වේදිකාවේ ආරක්ෂාව පිණිස අට්ටාල, යකඩ කූරු, ලී උල්, බොරු වළවල් හා කොටි මුහුණු ස්වරූපයෙන් තනා තිබූ උගුල් භාවිතා කොට ඇත.

දාරුග්‍රාමය කොළඹ සිට සැතපුම් 06 ක් වැනි දුරකින් පිහිටීම ද කොළඹ, හලාවත, මීගමුව හා පානදුර තොටුපොළ වලට ආර්ය චක්‍රවර්ති සතු වෙළෙඳ ‍යාත්‍රා නිරන්තරයෙන් පැමිණීම ද ජලයෙන් ගොස් ඒවා වැනසීමට හැකි වීම ද ප්‍රහාරක යාත්‍රා ඒ තැන් වෙත යවා ප්‍රහාර එල්ල කර එසැණින් ඒවා නැවත ගෙන්වා ගැනීමට ද ඇති හැකියාව පදනම් කොට ගෙන කෝට්ටේ බලකොටුව තැනවීම සුදුසු බව අවබෝධවීම හේතුවෙන් අලගක්කෝනාර විසින් මෙම භූමිය තෝරාගෙන ඇත.

සදා ජයග්‍රහනයෙන් යුක්ත බළකොටුව යන අර්ථයෙන් ඉදිකළ ජයවර්ධනපුර කෝට්ටේ බළකොටුවෙහි ප්‍රාකාරය මත සතර දිශානුගතව උපුල්, සමන්, විභීෂණ හා ස්කන්ධ කුමාර යන දෙවිවරුන්ට කැප කළ දේවාල සතරක් ඉදි කොට එහි අඛණ්ඩවම පුද පූජා පැවැත්විය යුතුය යන්න අලගක්කෝනාරයන්ගේ නියෝගය විය. ස්කන්ධ යනු හින්දු විශ්වාසය අනුව යුද්ධයට අධිපති දෙවියන්ය.

රාජාවලියේ දැක්වෙන පරිදි ක්‍රි.ව. 1521 දී සිදු වූ විජයබා කොල්ලය විස්තරය අනුව නගරයට ඇතුළු වීමට තිබී ඇත්තේ එක් ප්‍රධාන දොරටුවක් පමණි. එය දකුණු පස වූ පටු ගොඩබිම් තීරය ඔස්සේය. එසේම ඇතුළු නගර ප්‍රාකාරයෙන් බැහැරව ස්ථාන කිහිපයක් පිට කෝට්ටේට පිවිසීමට තිබුණු බව සඳහන්ය. නියම්ගම්පාය සන්නසෙහි ආර්ය චක්‍රවර්ති පරාජය කොට අලගක්කෝනාර ජයග්‍රහනය කළ අයුරු දක්වා ඇත.

මයුර සංදේශය සිංහල සාහිත්‍යයේ පැරණිතම සංදේශ කාව්‍ය වූ අතර එහි මෙම ප්‍රාකාරය පිළිබඳව වර්ණනා කරයි. මෙම බළකොටුව තුළ සිංහල හා දෙමළ යන ජන වර්ග වලට අයත් සොල්දාදුවන් හා ඔවුන්ගේ පවුල්වල අය පදිංචිව සිටි බව සඳහන් වෙන අතර මයුර සංදේශය රචනා වූ ගම්පොළ පස්වන භුවනෙකබාහු රජුගේ කාලයේ දී කෝට්ටේ පරිපූර්ණ නගරයක් නොවූ බවත් එහි රජ මාළිගයක් නොතිබූ බවත් සඳහන්ය.

ක්‍රි.ව. 1386/87 කාලය වන විට නිශ්ශංක අලගක්කෝනාර හෙවත් අලකේශ්වර මිය යාම හේතුකොට ගෙන ඔහුගේ බෑණනු වූ වීරබාහු රයිගම පාලක වූ අතර ප්‍රභූරාජ තනතුර ද හිමි විය. ඔහුගේ කාල වකවානුව තුළ ක්‍රි.ව. 1391 දී ආර්ය චක්‍රවර්ති විසින් මුල් පරාජයට පසුව නැවතත් ආක්‍රමණයක් දියත් කරන ලදී.

හයවන පරාක්‍රමබාහූ (1412-1467) ගේ රාජ්‍ය කාලය තුළ කෝට්ටේ නගරයක් ලෙස වර්ධනය වීමේ උච්චතම අවස්ථාව සිදුවිය. ඔහු රයිගම වසර තුනක් පදිංචි වී පසුව කෝට්ටේ රාජ්‍ය මධ්‍යස්ථානය ලෙස භාවිතා කළ බව රාජාවලියේ දැක්වේ. මෙම රාජ්‍ය සමය තුළ බොහෝ ප්‍රතිසංස්කරණයන් සිදු වූ අතර සංඝාරාම හා වීථී ගණනාවක්ම පිළිසකර විය.

ඊ.ඩබ්ලිව්. පෙරේරා පවසන පරිදි හයවන පරාක්‍රමබාහූ රජුගේ මාළිගය පැවති ස්ථානය ලෙස වත්මනේ ද පවතින පස්මල්පාය වත්ත දැක්විය හැකිය. සංදේශ කාව්‍ය කිහිපයකම කෝට්ටේ පැවති පස් මහල් සහ තෙමහල් ගොඩනැගිලි පිළිබඳව සඳහන් වේ. එසේම මෙම රජුගේ කාලයේ දී රචනා කරන ලද ගිරා, කෝකිල හා හංස යන සංදේශ කාව්‍යයන් හි රාජකීය මන්ත්‍රණ ශාලාවක් සම්බන්ධව කරුණු අන්තර්ගත වේ. ගණේගොඩ සන්නස, ඕපාත නාරාවල තඹ සන්නස සහ පැපිලියාන ශිලා ලිපියෙහි ද මෙම මන්ත්‍රණ ශාලාව පිළිබඳ සඳහන්වන අතර එය රජ මාළිගයට පිටතින් ඉදිකර තිබෙන්නට ඇති බවත් දක්වා ඇත. එහෙත් කෝට්ටේ යුගය අවසාන භාගය වන විට එම මන්ත්‍රණ ශාලාව, රජ මාළිගය ඇතුළත පැවතුණු බව වේරගම සහ දෙවුන්දර දේවාල සන්නස් හි සඳහන්ය.

ක්වේරෝස්ගේ කෘතියෙ දක්වා ඇති පරිදි කෝට්ටේ රජුගේ මන්ත්‍රණ ශාලාව පර්සියානු බුමුතුරුණු අතුරා තිබූ අතර ස්වර්ණමය රෙදිවලින් ආවරණය කළ, පියගැට පේළි සතරකින් යුත් වේදිකාවක් මත ඇත් දළින් කැටයම් කරන ලද සිංහාසනයකින් යුක්ත විය. එසේම රජු ඉතා වටිනා මැණික් හා මුතු ඔබ්බවන ලද ඔටුන්නක් පැළඳි බවත් අලංකාර වස්ත්‍ර වලින් සැරසී, රතු මැණික් වලින් වැඩදැමූ පාවහන් පැළද මුතු හා දියමන්ති වලින් තැනූ මුදු වලින් ඇඟිලි සරසා උරහිස දක්වා එල්ලා වැටෙන කර්ණාභරණ වලින් යුක්ත වූ බව ලොරෙන්සෝ ද අල්මේදාගේ දූතයෙක් වූ පායෝ ද සූසා රජු බැහැ දැකීමට ගිය අවස්ථාවේ දුටු අයුරු සඳහන් කර ඇත.

1909 දී කෝට්ටේ මාළිගාවත්ත නම් වූ තම පෞද්ගලික ස්ථානයේ ඩබ්ලිව්. එම්. ෆොන්සේකා විසින් කරන ලද කැණීමේ දී අඟල් 1.5 සිට 2 දක්වා ඝණකමකින් යුක්ත හුණු බදාමයක් යෙදූ කබොක් ගලින් නිම කරන ලද ගොඩනැගිල්ලක් සහ මකර තොරණක සලකුණු සොයා ගන්නට විය. එමෙන්ම මෙහි මකර මුවින් නෙළුම් මලක් සහ කැකුළු කිහිපයක් එල්ලෙමින් පැවති බව ද එම ගොඩනැගිල්ලේ තිබු දොර ජනෙල් සහ උළුවහු සිංහ, මොණර හා නෙළුම් මල් යෙදු කැටයමින් අලංකාර කර තිබූ බව ද සඳහන්ය.

කෝට්ටේ ඇතුළු නගරය තුළ පදිංචි වූයේ රාජ සභාවේ සේවය කළ ප්‍රභූ පිරිස සහ හමුදාවේ ඉහළ නිලධාරීන්ය. සේවා අවශ්‍යතාවය හා නිලයේ ගෞරවනීයත්වය ඊට හේතු විය. එසේම නගර ප්‍රාකාරයෙන් ඇතුළත සංඝාරාමවල භික්ෂූන්ගෙන් සුළු පිරිසක් වාසය කළ බව ද දැක්වේ. සුනේත්‍රා දේවි පිරිවෙන පැපිලියානේත්, විජයබා පිරිවෙන තොටගමුවේත්, ශ්‍රී ඝණානන්ද පිරිවෙන වීදාගමත්, පද්මාවතී පිරිවෙන කෑරගලත්, ඉරුගල්තිලක පිරිවෙන දෙවුන්දරත් යනාදි වශයෙන් වූ ආගමික මධ්‍යස්ථාන කෝට්ටේ නගරයට බැහැරව පිහිටා තිබුණි.

ඩග්ලස් ඩී. රණසිංහ පෙන්වා දෙන පරිදි වර්තමාන බත්තරමුල්ල මුල් කාලයේ දී බත්තොටමුල්ල නමින් හඳුන්වන්නට ඇති බවත් එම ප්‍රදේශය රජ මාළිගයෙහි මුළුතැන්ගෙයි සේවය කළ පිරිස වෙනුවෙන් පරවේණි ග්‍රාමයක් ලෙස පවරා තිබෙන්නට ඇතැයි යන්න දක්වා ඇත. එමෙන්ම ආරක්ෂක කටයුතුවල නියුතු වු සුළු සේවකයින්, නගර ශෝධකයින්, පරිපාලන කටයුතුවල හා ආගමික ආයතනවල සේවය කළ පුද්ගලයින්, ඇතුළු නුවරින් බැහැරව ජීවත් වන්නට ඇති බව කියැවේ.

1948.12.19 දින පුරා විද්‍යා දෙපාර්ත මේන්තුවට පවරා ගෙන ඇති බැද්දගාන වෙහෙර කන්ද, පැරණි කෝට්ටේ බලකොටු සීමාවෙන් මදක් බැහැරින් පිහිටා ඇති අතර අක්කර 2 යි රූඞ් 2 ක පමණ භූමියක් වර්තමානයේ ඊට වෙන්ව ඇත. සෙනරත් පරණවිතාන විසින් 1949 වර්ෂයේදී මෙම ස්ථානය කැණීමට බඳුන් කරන ලද අතර එහිදී ඔහුට කුඩා ප‍්‍රමාණයේ පැරණි දාගැබ් දෙකක සාධක අනාවරණය කර ගැනීමට හැකි විය.

කෝට්ෙට් යුගය සාහිත්‍යමය වශයෙන් ඉතා විශිෂ්ට ස්ථානයක් හිමි කර ගන්නා අතර එම සේවාවන් සඳහා අනුග්‍රහය දැක් වූ සුවිශේෂි රාජ්‍ය පාලකයන් පස්‌දෙනක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ හැකිය. ඔවුන් හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි. ව. 1412-1467), දෙවැනි ජයබාහු රජු (ක්‍රි. ව. 1467-1469), හයවැනි බුවනෙකබාහු රජු (ක්‍රි.ව. 1469-1480), හත්වැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1480-1490), අටවැනි වීර (ධර්ම) පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1490-1509), හයවැනි විජයබාහු (ක්‍රි.ව. 1509-1521) ලෙස දැක්විය හැකිය.

සිංහල රාජ වංශයේ අවසන් වරට මුළු ලංකාවම එක්‌සේසත් කළ පාලකයා වශයෙන් සැලකෙන හයවැනි පරාක්‍රමබාහු රජු මෙම රජවරුන් අතුරින් අද්විතීය ස්‌ථානයක් හිමිකර ගනී.

පෘතුගීසි සොල්දාදුවෙකු විසින් අහම්බෙන් තබන ලද වෙඩිල්ලකින් මිය ගියේ යැයි කියැවෙන හත්වැනි භුවනෙකබාහු රජුගේ මරණයත් සමඟ මෙම රාජ්‍ය අවසන් වූවා යැයි සඳහන් වේ. ඊට හේතු වූයේ භුවනෙකුබාහූගේ මුණුපුරු ධර්මපාල ක්‍රි.ව. 1551 දී කෝට්ටේ රජු බවට නිරායාසයෙන්ම පත් වීමයි. එනම් දොන් ජුවන් ධර්මපාල පෘතුගීසින්ගේ රූකඩ පාලකයකු ලෙස කටයුතු කළ අයෙකි.

සීතාවකෙන් එල්ල වූ තර්ජනවලට බියෙන් ධර්මපාලයන් කෝට්ටේ බලකොටුවෙහි වාසය නොකොට පෘතුගීසීන් විසින් ඉදි කරන ලද කොළඹ බලකොටුවට රැකවරණය පිණිස පලා යාම හේතුවෙන් කෝට්ටේ නගරය අභාවයට පත්ව ඇත. එමෙන්ම වරින් වර සීතාවකින් එල්ල වූ ප‍්‍රහාර නිසා කෝට්ටේ නගරයේ ගොඩනැගිලි විනාශ වූ අතර සීතාවක රාජසිංහගේ මරණයෙන් පසුව පෘතුගීසීන් කෝට්ටේ නගරයේ තිබූ ආගමික ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් කඩා බිඳ දමා කොළඹ නගරයේ නව ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස භාවිතයට පැහැර ගෙන ගොස් ඇත.

කෝට්ටේ තිබුණු කළු ගල් විශාල ප්‍රමාණයක් කොළඹ කොටුව ශක්තිමත් කිරීම පිණිස සහ දේවස්ථාන ඉදිකිරීමට පෘතුගීසීන් විසින් ගලවා ගෙන ගොස් ඇති අතර ලන්දේසීන් ද පැරණි නගරයේ ශේෂව පැවති කොටස් වලින් නිවාස තැනීමටත් ආදුරුප්පු වීදියේ වුල්ෆන්ඩල් (Wolfondhol) වැනි දේවස්ථාන ඉදිකරීමටත් පාලම් සෑදීමටත් භාවිතා කොට ඇත.

ක්වේරොස් සඳහන් කරන පරිදි ක්‍රි.ව. 1566 වර්ෂයට පසුව නගරය අතහැර දමන ලදුව අවලක්ෂණ මට්ටමක පැවතුණි. ගොඩනැඟිලිවල බිත්ති ඉවත් වෙමින් අලි ඇතුනට හා වෙනත් වන සතුන්ට එහි ඉඩකඩ ඇති විය.



සිළුමිණ
2020 අප්‍රේල් 19
රුක්ෂිලා වෙත්තමුණි

1 comment:

  1. අගනා තොරතුරු රැසක්...ස්තූතියි 👌✌️

    ReplyDelete