Monday, September 7, 2020

මෛථුන්‍ය කැටයමින් සුසැදූ නාලන්දය


මෛථුන්‍ය කැටයමින් සුසැදූ නාලන්දය

මාතලේ සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ නාලන්ද ඔයට දකුණු දෙසින් නාලන්ද ග්රාමය පිහිටා ඇති අතර එහි ගෙඩිගේ සම්ප්රදායට අයත් විහාර නටබුන් දක්නට ලැබේ. මාතලේ දඹුල්ල ප්රධාන මාර්ගයේ 48 වන කි.මී. කණුව ආසන්නයෙන් දකුණු දෙසට හැරී කි.මී. එකහමාරක පමණ දුරක් ගමන් ගත් විට මෙම භූමියට පිවිසිය හැකිය.

මහබලිපුරම් හි පල්ලව සම්ප්රදායට අයත් අංග ලක්ෂණ සහිත ලංකාවේ අවශේෂව පවත්නා එකම බුද්ධ ප්රතිමා මන්දිරය ලෙස නාලන්ද ගෙඩිගේ හැඳින්වේ. සමස්තයක් ලෙස කළු ගල් භාවිතා කොට ශිලාමය නිර්මාණයක් ලෙස මෙය නිමවා ඇත. ක්රි.ව. 7 වන සියවසට අයත් මෙම ගෘහ නිර්මාණ ශිල්පීය ක්රමය ඉතා සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. පුරාවිද්යා සාධක අනුව මෙම ප්රතිමා මන්දිරය 8 ත් 10 ත් වූ සියවස් කාලය නියෝජනය කරතැයි විශ්වාස කෙරේ. නාලන්ද ගෙඩිගේ බෞද්ධ හා හින්දු ආගමික ඇදහිලිවල සංකලනයත්, ථෙරවාදය හා මහායාන සංකල්ප මතත් ගොඩ නැගී ඇති බැවින් එය විශේෂිත ස්ථානයකි.ලංකාවේ මධ්ය කේන්ද්රීය ස්ථානයේ මෙම ගෙඩිගේ ඉදිකර ඇති බව විශ්වාසයයි. එමෙන්ම අතීතයේ සිටම සිංහල රජුන් දවසත් බ්රිතාන්ය යටත් විජිත සමයේ ත් මෙම භූමියට ප්රමුඛත්වයක් හිමි විය. එයට හේතු වූයේ අනුරාධපුරය, පොලොන්නරුව හා මහනුවර යන නගරයන් කේන්ද්රීයව මෙම ස්ථානය පිහිටීමයි.

මහාවංශයට අනුව නාලන්ද බලකොටුවක් ලෙස පළමුවන පරාක්රමබාහූ (ක්රි. 1153- 1186) විසින් පිහිටුවා ගත් බවත් ඔහු සිය රාජ්යත්වය ලැබීමට පෙර පොලොන්නරුවේ ගජබාහුත් රුහුණේ මානාභරනත් අතර ඇති වූ සටන් වලදී මෙම ස්ථානය උපයෝගි කරගෙන ඇත. පරාක්රමබාහු, පොලොන්නරුව යටත් කර ගැනීමට ප්රථම ඇළහැර පෙදෙස යටත් කර ගැනීමේ දී නාලන්ද බලකොටුව ඉහමත් ප්රයෝජනවත් විය.

නාලන්දයට නැගෙනහිරින් පිහිටි වර්තමාන ඇළහැර ප්රදේශය පුරාණයේ දී ආළිසාර නමින් හැඳින් වූ අතර එහි අනුරාධපුර යුගයට අයත් නටබුන් රාශියක් විසිර ඇතැයි සඳහන් වේ. එම නටබුන් අතර අතරගල්ලෑවේ ගලින් නෙළා ඇති සැතපෙන බුදු පිළිමය සුවිශේෂීය.

යුධමය කටයුතු සඳහා ඉතා යෝග්ය තැනක් බව පසක් වූ බ්රිතාන්යයන් ද 1818 දී ඇතිවුණු උඩරට මහ කැරැල්ල අවස්ථාවේ දී හමුදා මූලස්ථානයක් ලෙස නාලන්ද තෝරාගෙන තිබේ. එසේ පිහිටුවා ගත් බ්රිතාන්ය බල කොටුව පිහිටි ස්ථානය කුඩා කඳු ගැටයක ඇති බවත් වර්තමානයේ කොටුවේගොඩැල්ල ලෙස ව්යවහාර වන බවත් දැක්වේ. නාලන්ද විහාරය ඉතා සුවිශේෂී ප්රතිමා මන්දිරයකින් සමන්විත වූවත් මේ සම්බන්ධව ඓතිහාසික මූලාශ්ර හිඟ වූව ද මෙහි දී සොයා ගත් ශිලා ලිපිය ඇසුරින් කරුණු අනාවරණය කර ගැනීමට හැකි විය. එමගින් දකුණු ඉන්දියානූ පල්ලව නිර්මාණ නියෝජනය කරන ගෙඩිගේ හි වාස්තු විද්යාත්මක ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය.

වැඩි කොටසක් මැකී ගිය 9 හා 10 වෙනි සියවසට අයත් ටැම් ලිපියෙහි, නොනිසි ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත්, සොරුන් හා මිනීමරුවන් වැන්නන් විහාරස්ථානයට ඇතුළත් නොවිය යුතු බවත්, ආරාමය පිළිබඳව වූ සියලු කටයුතු සංඝ සම්මුතියකින් කළ යුතු බවත් මෙහි අන්තර්ගතය.

ඇළහැර හා මැණික්දෙණ ආරාමික ස්ථාන අනුරාධපුරය අවසන් භාගයේ දී ඉදිකරන්නට ඇතැයි සාක්ෂි ලැබෙන අතර නාලන්දෙද මෙම ආරාම සමීපයේ පිහිටි බැවින් එකල සැලකිය යුතු බෞද්ධ ආරාමයක් ලෙස පවතින්නට ඇතැයි යන්න අදහසයි.

නාලද්දාව පිළිබඳව මෙරට මුල්ම පුරාවිද්යා කොමසාරිස් වූ එච්.සී.පී. බෙල් දක්වා ඇති අදහස වූයේ, (නාලන්දේ ගෙඩිගෙය) නොසළකා හරින ලදුව පිහිටුවා ඇති අතර කලාතුරකින් පමණක් මෙහි පැමිණෙන නරඹන්නකුගේ නෙතට ලක්වෙමින්, එහි නිර්මාණය පිළිබඳව වාර්තාගත තොරතුරකින් හෝ සාම්ප්රදායික ජනවහර තුළින් හෝ හැඟිමක් පවා අප තුළ ඇති කරන්නට අසමත් වන බවයි.

1890 දි පුරාවිද්යා දෙපාර්තුමේන්තුව පිහිටුවීමෙන් පසු වැඩි කලක් යන්නට මත්තෙන් ගෙඩිගේ පිළිබඳව එච්.සී.පී. බෙල්ගෙ අවධානය යොමුවිය. නාලන්ද ගෙඩිගෙය තහවුරු කිරීමේ කටයුතු රජයේ ප්රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව විසින් 1893 දී ආරම්භ කරනු ලැබීය. මෙම කාලවකවානුව වනවිට ගොඩනැගිල්ලේ සැලකිය යුතු ප්රමාණයක් පසින් යට වී තිබු බැවින් රජයේ වැඩ දෙපාර්තමේන්තුව ගෙඩිගෙයි දකුණු පස ආරක්කුව තෙක් බිත්තිය හා අනෙකුත් කොටස් කිහිපයක් ඉදිකරවීය.

එච්.සී.පී. බෙල් 1911 දි කැණීම් කොට පසින් යට වී පැවති ගොඩනැගිල්ලේ කොටස් මතුකර ගත් නමුදු එය අවසන් කිරීමට ප්රථම ඔහුට විශ්රාම යාමට සිදුවිය. ඔහු විසින් ඉතා වැදගත් සේවයක් නාලන්දාව වෙනුවෙන් කරනු ලැබීය. එනම් විවිධ ශිලාමය නිර්මාණ ඉතා ක්රමානූකූලව තැන්පත් කිරීමයි.

නැවත නාලන්ද ගෙඩිගේ පිළිබඳ අවධානය යොමු වී තිබෙන්නේ වසර 10 කට අධික කාලයකට පසුවය. සී.පී. වින්සර් 1927 හා 1928 යන කාලයේ දී පුරාවිද්යා කොමසාරින් තනතුර හොබවන ලද අතර ඔහුගේ අවධානය මේ සඳහා යොමුවිය. වින්සර් පෙන්වා දෙන පරිදි ගෙඩිගෙ පුරාම නුග මුල් අරක්ගෙන තිබූ බවත් ඉන් දැඩි හානියක් සිදුව තිබූ බැවින් මෙම නුග මුල් ඉවත් කිරීමට ගෙඩිගේ වේදිකාවෙන් කොටසක් ගලවා ඉවත් කරන්නට සිදුවිය.ඉන් අනතුරුව ප්රථම ශ්රී ලාංකික පුරාවිද්යා කොමසාරිස් ලෙස පත් වූ සෙනරත් පරණවිතානයන්ගේ කාල වකවානුව වන තෙක් ගෙඩිගේ හුදෙක් කටුහොහොල් හරිනු ලැබූ ස්ථානයක් පමණක් විය. ඒ අනුව 1953 දි පරණවිතානයන් විසින් ගෙඩිගේ මළුවේ පනාබැමි පදාගනු ලැබු අතර ගෙඩිගෙට උතුරින් පිහිටි ගරා වැටුණු ස්තූපයේ පර්යේෂණ කටයුතු ද ආරම්භ කරන ලදී.

1970 දී රජය විසින් සැලසුම් කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්යාපාරය හේතුවෙන් ගෙඩිගේ පිහිටි සමස්ත වෙල්යායම ජලයෙන් යට වීමට නියමිත විය. මෙවැනිම අර්බුදකාරී තත්ත්වයක් ලෝක ඉතිහාසයේද වාර්තා වේ. එනම් ඊජිත්තුවේ අස්වාන් වේල්ල තැනීමේ දී ගලෙන් නිර්මිත අබුසිම්බල් දේවස්ථානය ද ජලයෙන් යට වී යාමට නියමිත වීමය. එහෙත් මෙම දේවස්ථානය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට වෙනත් ස්ථානයක ඉඳිකිරීම සිදුවිය.

එසේම ලංකාවේ ද නාලන්ද ගෙඩිගේ සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට පසු කලෙක ප්රතිනිර්මාණය කිරීම පිණිස පුරාවිද්යා කාර්යාල භූමියේ තැන්පත් කරවීය. මෙම අවස්ථාවේ ගෙඩිගේ පිහිටා තිබූ භූමිය කැණීම් කරන ලද අතර එහිදී ගෙඩිගේ මන්දිරය යට නිමවා තිබූ ශිලාමය පදනමක් මතු කර ගැනීමට හැකිවිය. එය චතුරස්රාකාර හැඩයක් ගනු ලැබීය. බෝවතැන්න ජලවිදුලි යෝජනා ක්රමය පිහිටි කඳු මුදුනක ගෙඩිගේ නිර්මාණය නාලන්දෙන් ඉවත් කොට එහි ඉදිකිරීමට යෝජනා වූ නමුත් අවසානයේ දී එය ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේම ඉදිකිරීමට තීරණය විය.

එවක සංස්කෘතික කටයුතු අමාත්ය ඊ.එල්.බී. හුරුල්ලේ ගේ මග පෙන්වීම යටතේ 1977 දි තිබුණු ස්ථානයේ ම ඉදිකිරීමට වූ තීරණය ක්රියාත්මක විය. එම නිර්මාණ කාර්යයේ භාරකාරත්වය හිමි වූයේ පේරාදෙණිය විශ්වවිද්යාලීය පුරාවිද්යා අංශය භාර මහාචාර්ය පී.එල්. ප්රේමතිලකයන්ටය.

ඒ අනුව මූලික පියවර ලෙස ගෙඩිගේ පිහිටි භූමිය අඩි 23 ක් පමණ උස්කොට තැනීම මහවැලි සංවර්ධන මණ්ඩලය විසින් සිදු කරනු ලැබීය. මෙම ස්ථානයට පිවිසුම් මාර්ගය ද එම උසින්ම නිමවීය. මහාචාර්ය පී.එල්. ප්රේමතිලකයන්ගේ උපදෙස් අනුව මූලික සැලසුම් වලින් අනතුරුව 1980 දී පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ එම්. විමලදාස නම් වූ පළපුරුදු මේසන් බාස් කෙනෙකු ප්රධාන කම්කරු පිරිසක් විසින් ගෙඩිගේ තහවුරු කරනු ලැබීය. ගොඩනැගිල්ල ගලවා ඉවත් කරන අවස්ථාවේ පැවති ප්රමාණයට තිබූ වැරදි නිවරැදි කරමින් සැකසීම හා ගර්භගෘහයත් මණ්ඩපයත් සහිත ගෙඩිගේ හැකිතාක් පරිපූර්ණ ලෙස තහවුරු කිරීම යන පියවර දෙක යටතේ ගෙඩිගේ තහවුරු කිරීම සිදුවිය.

නාලන්ද ගෙඩිගේ වැදගත් වන තවත් ප්රධාන සාධකයක් ලෙස එහි බිත්තියෙ පහළ පේකඩක මෛථුන්ය ඉරියව්වෙන් සිටින කැටයම දැක්විය හැකිය. මෙහි තිදෙනෙක් එකවර පසුපසින් ලිංගිකව එක්ව රමණයේ යෙදෙන අයුරු දැක්වේ. ඉන්දියාවේ කජුරාහෝ දේවාලයේ ඉතා සුලභ ලෙස මෙවැනි කැටයම් දක්වා තිබුණ ද ලංකාවේ එවැනි කැටයමක් හමුවන එකම ස්ථානය මෙයයි. මෙම කැටයම හේතුකොට ගෙන මේ ස්ථානය තාන්ත්රික බෞද්ධ ඇදහීම් කළ ස්ථානයක් වන්නට ඇතැයි ඇතමුන්ගේ මතයයි. 1910 -11 කාලයේදී මෙවැනි කැටයමක් පිළිබඳව අදහසක් එච්.සී.පී. බෙල් විසින් තම පුරාවිද්යා ගවේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ. ඔහුට අනුව මෙම ස්ථානයේ කණුවක මෙවැනිම මෛථුන්ය කැටයමක් තිබී ඇත. එහෙත් වර්තමානයේදී එම කැටයම මෙහි දක්නට නැත.

ගර්භය ශිලා ස්තම්භ 24 කින් සමන්විත ආලින්දයකින් යුක්ත අතර අන්තරාලයක් හා මණ්ඩපයකින් නිර්මිත මෙහි අනුරාධපුර යුගයට අයත් ලක්ෂණ සහිත බුද්ධ ප්රතිමාවක් දක්නට ලැබේ. එය අභය මුද්රාවෙන් නිරූපිත අතර ගොඩනැගිල්ලේ මධ්යයෙහි පිහිටි ගර්භය තුළ තැන්පත් කර ඇත.

මෙහි ගොඩනැගිල්ලේ ඇතුළත වටා පැදකුණු කිරීමට ප්රදක්ෂිණා පථයක් ද නිමවා තිබේ. එමෙන් ම මෙම ගෙඩිගේ ගොඩනැගිල්ල වටේම පිහිටි බිත්ති වාමන හිස්, විවිධ සත්ත්ව රූප, චෛත්ය කාවාට සහ පේකඩ ආදි විවිධ කැටයමින් නිරූපිතය.

වත්මනේ දී බෝවතැන්න ජලාශයෙන් වටව උස් බිමක පිහිටි නාලන්ද ගෙඩිගෙය වේදිකාවක් මත ඉදි කළ ස්ථූපය , බෝධි වෘක්ෂය සහ භූමිය වට කරමින් තැනූ ගඩොලින් බැඳි ප්රාකාරයකින් ද යුක්ත වූ අපූර්ව නිර්මාණයකි.

සිළුමිණ
17 මැයි, 2020
රුක්ෂිලා වෙත්තමුණි

 

5 comments:

  1. ආව්.. නිකමට නාලන්ද ගෙඩිගේ කියල අහල තිබ්බට මෙහෙව් විස්තරයක් දැනගෙන හිටියේ නෑනේ. වෙලාවක යන්නොනි බලලම එන්න. :)

    ReplyDelete
  2. ඔය මෛථූන කැටයම අද කාලෙක ඉදි කළා නං බලාගන්ඩ තිබ්බ අපේ බෞද්ධාගමික අන්තවාදීන්ගෙ කෙරුවාව...

    ReplyDelete
  3. සැඟව ඇති විශිෂ්ට ගෘහ නිර්මාණයක්...ඇත්තෙන්ම නැවත තහවුරු කිරීමත් විශිෂ්ටයි.... අර ගල් ටැඹ අතුරු දහන් ව ඇත්තේ කුමන කාලයකද....මෙවැනි අනාවරණයක් කළ ඔබට ගොඩක් ස්තූති
    යි

    ReplyDelete