ඇමුණුම්
- ආස්වාදය ලත් පොතක වත (4)
- ඉතිහාසය හා පුරාවිද්‍යාව (4)
- එහෙන් මෙහෙන් (26)
- කවි වගේ කවි (49)
- ජීවිතේ ලස්සන දවස් (1)
- පොතක් කියවා දැනුණු දේ........ (1)
- මං පත්තරේට ලිව්ව දෑ (19)
- මා ගත් සේයා රූ (18)
- මා ලියූ කෙටිකතා (2)
Monday, February 24, 2020
වසර 16,000 කට උරුමකම් කියන කූරගල ප්‍රාග් ඓතිහාසික භූමිය
ප්ලයිටෝසීන යුගයේ අවසානයේ සිටම මානව ජනාවාසයක් වූ කූරගල මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උසකින් පිහිටා ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවට අයත් වේ. පැරණි පියගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී වම් පසින් පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකීර්ණය පිහිටා ඇති අතර දකුණු පසින් හිටුවන්ගල ගල් ගුහා පිහිටා තිබේ. පොදුවේ කූරගල යනුවෙන් මෙම ස්ථාන හැඳන්වූවත් මෙහි පර්වත ශිඛර දෙකකි. එය කූරගල හා හිටුවන්ගල යි.
කූරගල ගල් ලෙන් ප්‍රාග් මානව යුගය දක්වා අතීත ඉතිහාසයක් කරා දිවයන්නකි. කූරගලට ආසන්න ප්‍රාග් ඉතිහාසයට අයත් ස්ථාන ලෙස උඩුපියන් ගල්ගේ, වලව නිම්නයේ රත්කිඳ සහ බුදුගල දැක්විය හැකි ය. ආචාර්ය පී.ඊ.පී. දැරණියගල හා ආචාර්ය ශිරාන් දැරණියගලට අනුව බෙල්ලන්බැඳි පැලැස්සෙන් සොයා ගත් මානව අවශේෂ හා මෙවලම් අදින් වසර 6500 කට අයත් බවට කාල නිර්ණය කර ඇත. එමෙන් ම කූරගලට තරමක් ඈතින් පිහිටිය ද බළංගොඩ මානවයා විසූ ස්ථාන ලෙස රාවණ ඇල්ල ගල්ගේ, හල්දුම්මුල්ල, රංචමඩම සහ ගල්පාය දැක්විය හැකි ය.
බළන්ගොඩ මානවයාගේ නිජබිම් වශයෙන් මධ්‍යම කඳුකරයේ ගල් ලෙන් භාවිතා කොට ඇත. කූරගල ඇතුළු නැගෙනහිර බෑවුමේ ඇති බුදුගල, පබ්බත, සොණගල්ගේ, කිරිමකුළුගොල්ල ලෙන්, පියන්ගිරිය ලෙන, මනෝපදස්සන ලෙන, ලෙන් දොර ලෙන, මනෝරම්‍ය ලෙන, දේවගිරි විහාර ලෙන ආදි වශයෙන් බොහෝ ස්ථානයන් බළංගොඩ මානවයාගේ වාසස්ථාන ලෙස භාවිතා වූ බව සඳහන් වේ. එමෙන්ම බළන්ගොඩ මානවයා පිළිබඳ තොරතුරු රැසක් ඉහත ප්‍රදේශ වලින් සොයා ගැනීමට හැකි වූ බැවින් බළන්ගොඩ සංස්කෘතික සමය “හෝමෝ සේපියින්ස් බළන්ගොඩිංසිස්” යනුවෙන් නම් කිරීමට මෙම මානව අවශේෂ ඉවහල් විය. කූරගල පර්වතය පාමුල ඇති බුදුගල ප්‍රාග් මානවයා විසූ ස්ථානයක් ලෙස එහි ගලේ කොටා ඇති මාළුවා, ත්‍රිශූලය, ස්වස්තිකය, සිංහ රූපය හා මිනිස් රූප දෙකින් ගම්‍ය වේ.
කූරගල සෙල් ලිපි පළමු වරට පිටපත් කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ සී. එච්. කොලින්ස් මහතාට ය.
1932 දී සී.එච්. කොලින්ස් කූරගල ගැන තැබූ සටහන මෙසේ ය.
“මෙයට ළඟාවිය හැක්කේ බළන්ගොඩ- කල්තොට මාර්ගයේ කන්ද කල්තොට දක්වා බෑවුම් වීමට මත්තෙන් ඒ හරහා වැටී ඇති අඩි පාරකිනි. උස් කඳු මුඳුන් දෙකක් සහ ඒ අතර ඇති ප්‍රපාතාකාර කපොල්ල ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්ය. කල්තොටට ආසන්න පළමු කොටසේ ගුහා බොහෝමයක් ඇති අතර එහි දී ශිලා ලේඛන දෙකක් නිරීක්ෂණය කෙරුණි. හිටුවන්ගල නමින් හඳුන්වන උස් කඳු මුදුනේ අනෙක් සාධක දැක ගත හැකි ය” යනුවෙනි.
බළන්ගොඩ, කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ 2013 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගල්ලෙන් ආශ්‍රිතව කළ කැණීම් මගින් ප්‍රාග් ඓතහාසික වාසස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇති බවට සාධක ලැබිණි. අදින් වසර 16000කට පෙර කාලයට අයත් බව කැණිම් වළෙහි පහළම ස්තාරායනයෙන් කළ විකර්ණශීලි දිනවලින් ගණනය කර ඇත. එහිදී සොයා ගන්නට ලැබුණු මානව ඇටසැකිල්ල අදින් වසර 8000ක් පැරණි බවට දින නිර්ණය කර ඇත.
2013 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කැණීම්හි කාල නිර්ණ වාර්තා ඇමරිකා එක්සත් ජනපදයේ බීටා ඇනලයිසීස් ආයතනය විසින් කූරගල ප්‍රාග් ඓතිහාසික පස් තැන්පතු සඳහා ලබාදුන් කාලනිර්ණයන් අනුව අදින් වසර 16000 සිට 6000 දක්වා අවධි 5 කට අයත් බව පැවසේ. ශ්‍රී ලංකාව තුළ අතර මැදි කලාපයක සිදු කරන ලද කැණීම් වලින් මෙතරම් පැරණි සාධක අනාවරණය වන ස්ථානය කූරගලය. එමෙන් ම මෙහි දී සිදු කරන ලද කැණීම් වලින් මුහුදු බෙල්ලන් විශේෂයක් හමු වූ අතර ඉන් අනාවරණය වන්නේ මෙහි ජීවත් වූ මිනිසුන් මුහුද සමඟ සමීපව කටයුතු කර ඇති බව ය. එමෙන් ම මෙහිදි සොයා ගත් ඉතා පිරිසිදු තිරිවාණා පාෂාණයෙන් සෑදු ශිලා මෙවලම් සුවිශේෂි වේ.
ගල් ලෙන් ආශ්රමයක් ලෙස පැවති කූරගල, අනුරාධපුර යුගයේ සිට ම පැවති බෞද්ධ පුද බිමකි. මීට ආසන්න ව පිහිටි අනෙක් බෞද්ධ කේන්ද්‍රස්ථාන ලෙස ගල්ටැම්යාය, බුදුගල, හඳගිරිය, දේවගිරිය, කොට්ටිමුල්වල, ලෙන්දොර, මහ සුදර්ශන ලෙන හා කිරිමකුළුගොල්ල යනාදිය දැක්විය හැකිය. ඒ අනුව කූරගල යනු හුදකලාව පිහිටි ආරණ්‍ය සේනාසනයක් නොවේ. පශ්චාත් අනුරාධපුර යුගයේ දී කූරගල ලෙන්වල සිට භාවනායෝගි භික්ෂූන් බුදුගල පධානඝර ආරණ්‍ය සේනාසනයට වැඩම කර විනයකර්ම කටයුතුවල නිරත වූ බවට සාධක සොයාගෙන තිබේ. අදටත් වාස්තු විද්‍යාත්මක නිර්මාණ රැසක නටබුන් මෙම ස්ථානවල දැක ගත හැකි ය.
කූරගල ඓතිහාසික භූමියේ ඇති ගල්ලෙන් ප්‍රාග් ඓතිහාසික අවධියේ දී විසු මානවයන් තම වාසස්ථාන කර ගත්ත ද ක්‍රි.පූ. 3 වන සියවසත් ක්‍රි.ව. පළමු සියවසත් අතර කාලයට අයත් බෞද්ධ සංඝාරාමයකි. එනම් කූරගල බෞද්ධ අනන්‍යතාවය තහවුරු වන ප්‍රධාන ලෙන් ලිපි තුනකි. (මහාචාර්ය සෙනරත් පරණවිතානයනගේ අර්ථකථනයට අනුව) එනම් ;
01- කූරගල ලෙන් ලිපි අංක 01
පෙළ - --------- දතහ සමුදහ ලෙනෙ
අර්ථය - දත්ත (සහ) සමුද්‍රගේ ලෙන
02- කූරගල ලෙන් ලිපි අංක 02
පෙළ - දම ගුත තෙරස ලෙන
අර්ථය - ධම්මගුප්ත තෙරුන්ගේ ලෙන
03- කූරගල ලෙන් ලිපි අංක 03
පෙළ - (පරුමක) සුමනහ
පරුමකලු ශුමය
අර්ථය - ප්‍රධානී සුමනගේත්, සුම්මා නම් ප්රධානීවරියගේත් (ලෙනයි)
මෙම ලෙන් ලිපි මුල් බ්‍රහ්මී අක්ෂර වලින් ලියා ඇති අතර (ක්‍රි.පූ. 3 ත් ක්‍රි.ව. 1 ත් අතර කාලයේ) කූරගල බෞද්ධ අනන්‍යතාවය අදින් වසර 3000කට පෙර අතීතයකට දිවයයි. පැරණි රජ දවස “තණ්ඩු ල්‍යෙයක පබ්බත” සහ “දත්ත ශෛල පබ්බත” යන නම් වලින් හැඳින්වූ අතර පසුකාලීනව “කුහරගල” නමින් ද එය වත්මනේ දී “කූරගල” නමින් ද හඳුන්වන අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම ඓතිහාසික බෞද්ධ පුදබිමකි.
කූරගල ඇති ලෙන් ලිපි සියල්ලම ඉතා කෙටිය. එය විශේෂත්වයකි. සාමාන්‍යයෙන් බොහෝ ලෙන් ලිපිවල “අගත අනගත චතු දිශ ශගශ දිනෙ” (අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූ ද නොපැමිණියා වූ ද, භික්ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි) යනුවෙන් සඳහන් කර තිබුණ ද මෙහි එසේ දක්නට නොලැබේ. ඊට හේතු ලෙස මෙම ස්ථාන, ලෙන් ආරාම සකස් කිරීමේ ප්‍රාථමික අවධියට අයත් ස්ථානයක් විය හැකිය. මේ පිළිබඳව වටද්දර ඥානිස්සර නාහිමියන් ප්‍රකාශ කරනුයේ මහින්දාගමනයට පෙර, ප්‍රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන් යම් යම් ප්‍රදේශ වලට අයත් අධිපතීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඇති බවයි. එම හේතුව උඩ “අගත අනගත චතු දිශ ශගශ දිනෙ” යන වැකිය භාවිතා නොකරන්නට ඇතැයි යන්න උන් වහන්සේගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ පැරණිතම ආරණ්‍ය සේනාසන ලෙන් වලට අයත් මිහින්තලය, වෙස්සගිරිය, රිටිගල, දිඹුලාගල, සිතුල්පවුව, බුද්ධංගල ආදිය කූරගල ගල් ලෙන් ආරණ්‍ය සේනාසනය හා සම කාලීන අවධිවල දී සංවර්ධනය වූ බෞද්ධ සංස්කෘතික උරුමයන් ය.
කූරගල පිළිබඳව රත්නපුර දිස්ක්‍රික්කයේ එකල රාජකාරි කළ බ්‍රිතානය ජාතික දිසාපතිවරුන් සහ සිවිල් නිලධාරීන්ගේ දිනපොත්, ස්ථානීය පරීක්ෂණ වාර්තාවන් මෙන් ම සංචාරක ගමන් විස්තර සටහන් අනුව ද තොරතුරු ලබාගත හැකි ය. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු දිසාපතිවරයකු වන ආර්.බී. හෙලින්ස් මහතා (1906-1910) කූරගල අවට කළ සංචාරයකින් පසු 1910.02.12 වන දින තබන ලද සටහනක් මෙසේ දැක්විය හැකි ය.
“මට පෙනෙන හැටියට මෙම ස්ථානයේ මූලාරම්භයේ සිට ම වසර ගණනාවක් යන තුරු ශුද්ධ වූ පූජනීය ස්ථානයක් වශයෙන් සහ භවනායෝගීව කටයුතු කිරීමට සුදුසු තැනක් ලෙසටත් ප්‍රසිද්ධව ඇත. එහෙත් එක් අයකු පමණක් දැන් මෙහි තාපස ජීවිතයක් ගත කරයි. මගේ මතකය නිවරැදි නම් මොහු මුලින් ම වාසය කළේ දිල්ලි නගරයට ආසන්න පාඨලීපුත්ර නගරයේ ය.
මොහුගේ පියා එහි සිටි ශුද්ධවන්ත පුද්ගලයකුගේ බිරිඳ නොමග යවා පසුව බලහත්කාරකමින් දූෂණය කරල ඇයගේ සැමියා ද මරා දමන ලද්දේ ය. අවාසනාවන්ත සිද්ධියෙන් ගැබ් ගත් ඇය නිසි කල පිරිමි දරුවකු බිහි කළාය. වයසින් වැඩුණු දරුවා මවගෙන් සිය පියා ගැන අසා සිටි අවස්ථාවක මව සිය පුත්‍රයාට සිදු වූ සියල්ල ඒ පරිද්දෙන් ම කියා සිටියා ය.
මින් කෝපයට පත් පුතා තම මවට අපරාධයක් කළ මිනීමරු පුද්ගලයා හෙවත් තමන්ගේ සහජාතක පියා මරා දමන බවට මව හමුවේ ශපථ කළේ ය. මේ අතර තමන් කළ අපරාධය ගැන පසුතැවුණ මිනීමරු පුද්ගලයා පසුව සිය ජීවිතය බේරා ගැනීම සඳහා ලංකාවට පැමිණ සැඟ වී සිටියේ කූරගල ය. පළි ගැනීමේ අදහසින් මොහු සොයා පැමිණි පුත්‍රයා එක් රාත්‍රියක දරුණු අරගලයකින් පසු මිනීමරුවා මරා දමන ලද්දේ ය. රාත්‍රිය පුරා ඇසුණු බිහිසුණු ශබ්ද ගැන විමසිල්ලෙන් සිටි පුද්ගලයෙකු පසු දින කන්ද නැග එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ වෛරයෙන් දැවෙමින් සිටින තාපසයකු හා ගින්නෙන් දැවෙමින් පවතින අළු ගොඩකි.
කූරගල පිළිබඳ අවසාන විග්රහයේ දී කූරගල සංස්කෘතිමය වශයෙන් මෙන් ම ආගමික වශයෙන් ද ස්ථර දෙකක් නියෝජනය කරයි. එනම් හොලෝසීන යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික සාධක සහ මූල ඓතිහාසික යුගයට අයත් බෞද්ධ සංඝයා වහන්සේලාගේ සාධක වශයෙනි.
සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 පෙබරවාරි
පත්තරෙන් බැලීමට
02http://www.silumina.lk/2020/02/01/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B7%80%E0%B7%83%E0%B6%BB-16000%E0%B6%9A%E0%B6%A7-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%C2%AD%E0%B6%B8%C2%AD%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B7%96%E0%B6%BB%C2%AD%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A-%E0%B6%93%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B7%84%E0%B7%8F%C2%AD%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA?fbclid=IwAR2qr5U2N9bx3Sz1HgJOoem-e7c1jmqPippD74MTYshUQBSrrD2Nec15w6k
සෙල්ලිපි මගින් අනාවරණය වන උතුරු-නැගෙනහිර පළාත්වල පරිපාලනය
ත්රිසිංහල සංකල්පයට අනුව රුහුණ, පිහිටි, මායා යනුවෙන් බෙදීමට පළමුව මහවැලි ගඟෙන් උතුරු පෙදෙස රජරට නමින් ද දකුණ රුහුණු රට (රෝහණය) ලෙස ද හඳුන්වා ඇත. අතීතයේ දී නැඟෙනහිර පළාතේ වැඩි කොටසක් අයත් වූයේ රෝහණ දේශයටය. වර්තමාන බෙදීම් අනුව නැඟෙනහිර සහ උතුරු පළාත දිස්ත්‍රික්ක හැඳින්වීම මත අම්පාර දිශාව, මඩකලපුව දිශාව, ත්‍රිකුණාමල දිශාව, මන්නාරම් දිශාව, වවුනියා දිශාව, මුලතිව් දිශාව, කිලිනොච්චි දිශාව හා යාපනය දිශාව ලෙස කොටස් අටකට බෙදා ඇත.
පැරණි පාලන කොට්ඨාස බෙදීම් අනුව උත්තරපස්සය යනුවෙන් හැඳින්වූ කොටසට උතුරු පළාත අයත් වූ අතර ඓතිහාසික සාධක මත වවුනියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය උත්තරපස්සට අයත්ව තිබිණි.
සෙල්ලිපිවල සඳහන් ගම් දනව් සහ නගර කිහිපයක් ලෙස මයුවෙලස ගාමය (හැඩ ඔය නිම්නයේ), කාම්බෝජගාම (කඹුක්කන් ඔය නිම්නයේ), දීඝවාපිය (ගල්ඔය නිම්නයේ), කසබ නගර, ගිරිතිශගම, විලගම, කරජිනිතිශගම, මලුගම, දහදියගම, ගෝණගාමය, උරුවේලා, මගන යනාදි ලෙස දැක්විය හැකිය.
රජරටේ අගනුවර වූ අනුරාධපුරය සමස්ත දිවයිනේම අගනුවර වූ අතර මහරජතුමා රාජ්‍යය නිලධාරී මණ්ඩලයක් මගින් මුළු රටම පාලනය කළේය. පාලන ඒකකවල ප්‍රධාන නිලධරයා ලෙස රජපවුලේ කෙනෙක්, ආසන්න ඥාතියෙක් හෝ විශ්වාසවන්ත පුද්ගලයෙක් පත් විය.
ඒ අනුව අතීතයේ සිටම නැඟෙනහිර පළාත ද උත්තර පස්සය නම් වූ උතුරු පළාත ද පාලනය කරන ලද්දේ රජු විසින් පත් කරන ලද නිලධරයකු යටතේය. කුඩා පාලන ඒකක ඔස්සේ එම නිලධරයා මහරජුට වගකීමෙන් බැඳී සිටියේය.
ධාතුවංසය සහ මහාවංසයට අනුව දේවානම්පියතිස්ස රජුගේ කාලවකවානුවේ දී ඔහුගේ සහෝදර මහානාග උපරජු, රෝහණයට පැමිණ මාගම නමින් පාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවත් කතරගම සහ චන්දනගම නමින් පාලක පිරිස් දෙකක් සිටි බවත් සඳහන් වේ. බෝවත්තේගල, කොටාදැමුහෙළ, බුදුපැටුන්කන්ද වැනි සෙල්ලිපිවලින් කතරගම පාලකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි.
පාචීන පස්ස (නැඟෙනහිර පෙදෙස) හෙවත් පචිනභූමිය මහානාග යුවරජුගේ කාලයේ සිට රෝහණ දේශයේ නැගෙනහිර කොටස ලෙස සලකා ඇති අතර පචිනභූමිය රජ ලෙස එහි පාලකයා පිළිබඳ සේලිලිපිවල හැඳින්වෙයි.
ධාතුවංසයෙන් පැහැදිලි කෙරෙන ආකාරයට කාවන්තිස්ස රජුගේ කාල වකවානුවේ දී සේරුනුවර, ලෝණනුවර, ගිරිනුවර නමින් මාණ්ඩලික පාලකයන් සිටි ස්ථාන කිහිපයකි. පසු කාලීනව ගිරිනුවර සෝමනුවරට මාරු විය. එම මාණ්ඩලික පාලකයන් රජ නමින් හඳුන්වා ඇති අතර කාවන්තිස්ස රජු යටතේ සමස්ත රෝහණ දේශයම ඒකච්ඡත්ර විය. ඒ අනුව කාවන්තිස්ස රජුගේ පාලන සමය මධ්‍යයේ දී සමස්ත රෝහණය ඒකීය පාලනයට යටත් වූ බව සඳහන් වේ.
රෝහණයේ දකුණු කොටසේ ප්‍රධාන නගරය මාගම වූ අතර උතුරු කොටසේ ප්‍රධාන උපනගරය දීඝවාපිය විය. එම කාලවකවානුවේ දී රජරට ආක්රමණිකයකු වූ එළාර රජුට යටත් ව පැවති රජරට දුටුගැමුණු මහරජු යටතට පත් වීමෙන් ස්වාධීනව පැවති සමස්ත රෝහණ දේශයත් රජරට ඇතුළු මුළු දිවයිනම දුටුගැමුණු මහරජු යටතේ එක්සේසත් විය.
උතුරු පළාත හෙවත් උත්තර පස්ස පිළිබඳ මේ කාලවකවානුවේ දී සලකා බැලීමේ දී රජරට පාලන ප්‍රදේශය පස්ස නමින් හැඳින්වෙන ප්‍රදේශ හතරකට බෙදා තිබිණි. එනම්,
අනුරාධපුර අග නගරයෙන් දකුණු පෙදෙස දක්ඛිණ පස්ස
නැගෙනහිර පෙදෙස පාචීන පස්ස
බටහිර පෙදෙස පච්ඡිම පස්ස
උතුරු පෙදෙස උත්තර පස්ස
යනාදි වශයෙනි.
එම දිශා පාලි ලේඛනවල සඳහන් කර ඇත්තේ “පස්ස” යන වචනයෙනි. සෙල්ලිපිවල සඳහන් පරිදි උතුරු පස (උතුර), පඩි පස (බටහිර), පජිනි පස (නැඟෙනහිර) හා දකිණි පස (දකුණ) යන්නය.
මින් උත්තර පස්සට අයත් භූමි ප්‍රදේශ වශයෙන් වර්තමානයේ වවුනියා, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම්, යාපනය යනාදි වශයෙන් දැක්විය හැකිය. සෙල්ලිපි සාධක අනුව වවුනියාවේ තෝනිගල සෙල්ලිපියේ උත්තර පස්ස ලෙස ද මන්නාරම් සෙල්ලිපියේ උතුරුකරායෙ (කරායෙ යනු මුහුදු වෙරළ ආසන්න ප්‍රදේශය) ලෙස ද සඳහන් වේ.
සෙල්ලිපි මඟින් පැහැදිලි වන තවත් කරුණක් වනනේ දේවානම්පිය තිස්ස රාජ්‍ය සමයට සම වකවානුවේ මන්නාරම් ප්‍රදේශයේ රජ නමින් පෙනී සිටි කණ (කණ්ණ හෝ කෘෂ්ණ) එම ප්‍රදේශයේ පාලකයා යන්නය. එසේ වුව ද ඔහු දේවානම්පිය තිස්ස යටතේ ක්‍රියා කළ බව පෙනේ. පෙරියපුලියම්කුලමේ ඇති සෙල්ලිපිය අනුව වවුනියා ප්‍රදේශයේ නග, උති යනුවෙන් දෙදෙනෙකු රජ නමින් පෙනී සිටි බව සඳහන් වන අතර, උත්තර පස්සයේ වවුනියා, මුලතිව්, කිලිනොච්චි ප්‍රදේශ අනුප්රාප්තිකයන් ලෙස මහරජු යටතේ පාලන කටයුතු සිදු කරන ලද බව පෙනේ. ප්‍රාදේශීය පාලකයන් වූ රජ පවුලේ උදවිය රජ වශයෙන් හෝ අය වශයෙන් සඳහන් වී ඇති අතර අනුරාධපුරයෙන් සිටි රජ, මහරජ ලෙස සඳහන් වීම පැහැදිලි කරුණකි.
ඉහත සඳහන් බෙදීම් අනුව නාගදීපය උත්තර පස්සයෙහි ලා කිනම් පෙදෙසක පිහිටා තිබුණේ ද යන්න විමසා බැලීමේ දී යාපනයේ පැරණි නටබුන් පෙදෙසක් වූ වල්ලිපුරමේ විෂ්ණු දේවාලයක් සෑදීමට බෞද්ධ විහාරස්ථානයක් කණින අවස්ථාවක එහි අත්තිවාරම් බැම්මට ඇතුළත් කර තිබූ රන්පත ඉතා වැදගත් විය. එය වල්ලිපුරම් රන්පත ලෙස හැඳින්වේ. නාගදීපය පාලනය පිණිස පත් වී සිටි ඇමැතිවරයා එහි කටයුතු සංවිධානය කළේ මහරජුගේ අණසකට අනුව බව එමඟින් පැහැදිලි වේ. එම ලිපියේ නාගදීපය හඳුන්වා ඇත්තේ “නකදිව” යනුවෙනි. එය “නකදිව බුජමිනි” (නාගදීපය පාලනය කරමින්) යන්න සඳහන් වේ. මේ ලිපිය අනුව එවක නාගදීපය “ඉසිගිරිය” නම් ඇමතිවරයා විසින් පාලනය කරන ලදී. එමෙන්ම වසභ රජුගේ රාජ්‍යත්වයට අයත් නිලධාරියෙකු බව ඉන් පැහැදිලි වෙයි.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව වල්ලිපුරම් රන්පත අර්ථකථනය කර මෙසේ දැක්විය හැකිය.
සිධ මහරජ වහයහ රජෙහි අමෙතෙ
ඉසිගිරයෙ නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ
අර්ථය
යහපතක් ම වේවා ! වහ (බ) මහරජුගේ රාජ්‍ය සමයෙහි අමාත්‍ය වූ ඉසිගිරිය නකදිව පාලනය කරන කල්හි පියගුකතිස බදකර - අතන නම් ස්ථානයෙහි විහාරයක් කරවන ලදී.
මේ අනුව වසභ රජුගේ කාලයේ දී නාගදීපය ඉසිගිර ඇමැතියා විසින් පාලනය කරන ලද බව පැහැදිලි වේ. එමෙන් ම දිගින් දිගටම උත්තර පස්සෙහි ශාසනික සේවා සිදු වූ බවට “නෙළුගල” සෙල්ලිපියේ සඳහන් පරිදි ඉසිගිරට සමාන ඇමැතිවරයෙකු වූ අසගිරි විසින් නැඟෙනහිර පළාතේ බෞද්ධ පූජනීය ස්ථානයක් සංවර්ධනය කළ ආකාරය පැහැදිලි වේ. මින් තවදුරටත් ඒකීය රාජ්‍යයක් යටතේ පාලනය වූ බවට සාක්ෂී දරයි.
“තුනුකායි” ශිලා ලිපියේ දැක්වෙන පරිදි නැඟෙනහිර පළාතේ තම රාජකාරිය ක්‍රියාත්මක කළ නිලධරයන් තිදෙනෙකු පිළිබඳ සඳහන් වේ. එනම්,
01- නිලවසැමන්දියා
02- කුඩුපසක්කැමිසෙනු
03- සෙනෙවිරත් වදුරා වැරූ මොකාප්පර්
නමු ඩෑ නිලා යනාදි වශයෙනි.
ඒ නිලධරයන් නාගදීපයට ද ගොස් මහරජුගෙන් ලද නියෝග ක්‍රියාත්මක කර ඇත.
හතරවන කාශ්‍යප රජුගේ (ක්‍රි-ව- 898-914) කාලයේ කදුරුගොඩ විහාරයේ ඇති සෙල්ලිපියේ රුහුණෙ සිට උතුරේ කෙළවර දක්වා “තමහට එකත්කොට” ගත් බව රජු ප්‍රකාශ කර තිබේ. එම ලිපියේ අදහස වූයේ කදුරුගොඩ අභයගිරි නම් වෙහෙරට වරප්‍රසාද දීමයි. එහි ඇතුළත කොටා ඇති ලිපියක (14 වන සියවසට අයත්) “උතුරුපස වල්පිට නාවෙහෙර” යනුවෙන් සදඟන් කර තිබේ. 4 වන කාශ්‍යප රජුගේ කාලයේ දී උතුරු පළාතෙන් සහ නැඟෙනහිර පළාතෙන් ලැබෙන සෙල්ලිපිවල අක්ෂර කලාව, භාෂාව, සංස්කෘතිය, පාලන රටාවට සමානව සෙල්ලිපි, වයඹ හා දකුණු පළාත් වලින් ලැබී ඇත. ඉන් පැහැදිලි වන්නේ රාජ්‍යයේ අඛණ්ඩ නායකත්වයක් පැවතුණ බවයි.
වංශකථාවල දැක්වෙන පරිදි දඹදෙණි රාජධානිය හෙබ වූ දෙවන පැරකුම්බා මහරජු (1236-1270) රට එක්සේසත් කිරීමේ දී රජරටේ කඳවුරු බැඳගෙන සිටි කාලිංග මාඝ සේනාවන් පලවා හැර ඇත. දකුණේ ගැටුම් පවතිද්දී යාපන ප්‍රදේශය ස්වාධීන කරගත් ආර්යචක්රවර්තීහු (ඔවුන් කාලිංගයෝය) කෝට්ටේ 6 වන පැරකුම්බා රජතුමාගේ (1412-1467) කාලයේ දී සපුමල් කුමරු අතින් පරාජයට පත් වූහ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් රචිත “සැළලිහිණි සංදේශයේ” සපුමල් කුමරු යාපාපටුන ජය ගෙන පැමිණි අයුරු වර්ණනා කොට ඇත. එමෙන්ම කෝකිල සංදේශයේ ද ආර්යචක්රවර්ති පැරදි රටහැර ගිය බව පවසයි. සපුමල් කුමරු 6 බුවනෙකබා නමින් රජ වූ (1470-1478) පසු වීදාගම හිමියන් යාපනයට වැඩමවා ධර්මදේශනයක් කරවූ බව සඳහන් වේ.
මේ අනුව උතුරු සහ නැඟෙනහිර පළාත්වල පරිපාලනය ඒකීය රාජ්‍යත්වයක් යටතේ පැවති බව සෙල්ලිපි මඟින් අනාවරණය වේ.
Sunday, December 16, 2018
බරොස් මණ්ඩපය
බරොස් මණ්ඩපයඅනුරාධපුර - අභයගිරිය එස්.එම්. බරොස් 1886 දී දානශාලාවේ ගල්ඔරුව අලුත්වැඩියා කරමින් සිටින අතර අවට කැලය පිරික්සා බැලීමේ දී සොයාගනු ලැබීය. මනා නිමාවකින් හා සුපරික්ෂාකාරීව කොටන ලද මකර තොරණින් යුක්ත කවුළු දොරවල් හයක කැටයම් මෙහි කොටා තිබේ. පොළොව කැණීමේ දී එක් පදනමක් හා නොකැඩි තිබූ ගල් කණුවක් ද කැඩුණු ගල් කණු කැබලි ද පියගැට පෙළක් ද හමු වී ඇත. හමු වූ පාදමෙහි දිග පළල වියන් ගල් කැබලි තුනේ දිග පළලට සමාන වී ඇත. මෙය පිළිසකර කිරීම සඳහා දම්වැල් කැබැල්ලක් හැර වෙනත් කිසි උපකරණයක් තිබී නැත. සිටිය එක් පෙදරේරුවා හිරේ වැටී සිට නිදහස් වූවෙකි. ගල් සියල්ල ටොන් තුනකට වඩා බරින් යුක්ත විය. නොකැඩී ඉතිරි වී තිබූ කණුවේ මිම්ම ගෙන ඒ මිම්මට අනුව අවටින් තවත් ගල්කණු 7 ක් තෝරාගෙන තිබේ. කණු සිටුවීමෙන් පසු මෙම පෙදරේරුවා කණු වැසීයන පරිදි පස් පුරවා පියන්ගල් දැව කඳන් හා යකඩ පොලුවල ආධාරයෙන් පිර වූ පස් කන්ද දිගේ ඇද, කණු මුදුනට ගෙන රඳවා ඉන්පසු පස් ඉවත්කර තිබේ. පුරාණ කාලයේත් මෙම ශිල්ප ක්‍රමය උපයෝගී කර ගන්නට ඇතැයි බරෝස් සඳහන් කර තිබේ. බරෝස් විසින් පිළිසකර කිරීම නිසා මෙම ස්මාරකය බරොස් මණ්ඩපය යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇත.Pic by Rukshila Wettamuni
Tuesday, May 23, 2017
සීගිරියේ හෝටල් හදනවට විරුද්ධ වුණාට ‘කටුගෙට’ යවන්න හදන පුරාවිද්‍යා කොමසාරිස්
ශ්‍රී ලංකාවේ පවතින අතිශය වටිනාකමින් ඉහළ කෞතුක වස්තු කීපයක් දකුණු කොරියාවේ ප්‍රදර්ශනය කිරීමට අගමැතිවරයා එකඟ විය. කෞතුක භාණ්ඩ විදෙස් ගත කරවීමේදී ඒවායේ ආරක්ෂාව පිළිබඳවද ගැටලුවක් මතු වේ. කෞතුක භාණ්ඩ කැඩී බිඳී යෑම මෙන්ම කෞතුක වස්තු වෙනුවට ව්‍යාජ භාණ්ඩ මාරු කිරීමට ඉඩකඩ ඇති බැවින් ආවාට ගියාට ඒවා විදෙස් ප්‍රදර්ශනවලට යවන්නට නොහැකිය. අවසානයේ කෞතුක භාණ්ඩ විදෙස් ගතකළ හැකි වන්නේ ඉතා බරපතළ කොන්දේසි යටතේය. එසේ යවනවා නම් යවන්නේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුතු සඳහා පමණි. මේ සියල්ල සලකා බලා කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත්, පුරාවිද්‍යා විද්වතුන්ගේත් විරෝධය නිසා පුරාවස්තු කොරියානු ප්‍රදර්ශනයට යැවීම වැළැකිණි. දේශපාලනික සබඳතා තහවුරු කර ගැනීමට පුරාවස්තු යැවීමේ නාටකයද එතැනින් අවසාන විය.
කෞතුක වස්තු, කෞතුකාගාරයේ පිහිටීම හා ඒ භූමියේ පවතින ඉඩකඩ අනුව කෞතුකාගාරයට හෙළන ආර්ථික බැල්ම එතැනින් නැවතුණේ නැත.
පෞද්ගලික සංවිධානයක් යැයි කියාගනිමින් කොළඹ කටුගෙය ඉදිරිපස මිදුල කොටස විලාසිතා දැක්මකට ඉල්ලා ඇති බව පසුගිය මාස කිහිපයකට පෙර දා පුවත් මවන සිදුවීමක් විය. කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත් පුරාවිද්‍යා පිළිබඳ විද්වතුනුත් එකහෙළා පැවැසුවේ එවැනි කාර්යයක් සඳහා කෞතුකාගාර පරිශ්‍රය ලබාදිය නොහැකි බවයි. එහෙත් අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කෞතුකාගාර භූමිය මේ විලාසිතා ප්‍රදර්ශනයට ඉඩ ලබාදිය යුතු බවට නිගමනය විය. අගමැතිවරයාගේ පැත්තෙන් කෞතුකාගාර පරිශ්‍රය විලාසිතා දැක්මකට ලබාදීමට කොළ එළිය පත්තු කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රතු එළිය පත්තු කළේය. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් කෞතුකාගාර භූමිය විලාසිතා දැක්මකට යොදා ගැනීම වළක්වන ලදී.
ඊළඟට කෞතුකාගාර කොළඹ නගරයේ සංචාරක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ යෝජනාවක් අගමැතිවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ ව්‍යාපාරික කටයුත්තකට කෞතුකාගාරය යොදා ගැනීම මෙහි අරමුණ විය. මේ සඳහා ප්‍රබල ව්‍යාපාරිකයකු සම්බන්ධ භාරයක් පිහිටුවාගත් ආයතනයක් මුල් වූයේය. එහෙත් මේ ආයතනය භාරකාර මණ්ඩලයේ අනුමැතිය හෝ පුණ්‍යාධාර ආයතනයක් විදියට ලියාපදිංචි වී නොතිබිණි. අඩුම ගණනේ කෞතුකාගාරය කොළඹ නගරයේ සංචාරක කේන්ද්‍රස්ථානය කිරීම කියන යෝජනාවට අනුව අදාළ ක්‍රියාවලිය සිදුවන විටදීවත් මෙවැනි ආයතනයක් ලියාපදිංචි කිරීමට ඉල්ලුම්පත්‍ර මහා භාරකාර මණ්ඩලයට ඉල්ලීම් ලැබී තිබුණේ නැත. එසේ වුවත් මේ ක්‍රියාවලියට අදාළ කැබිනට් පත්‍රය අනුමත කරගෙන තිබිණි. එහිදී මේ ආයතනයට කෞතුකාගාරයෙන් අවශ්‍ය පහසුකම් සැලසීමටත් සංචාරක කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කිරීමට වසර තුනක රාජ්‍ය ප්‍රතිපාදන ලබාදීමටත් කැබිනට් අනුමැතිය ලැබුණේය.
මේ කටයුතු සිදුවන විට අදාළ ආයතනය කෞතුකාගාර භූමිය මැනීමට මිනින්දෝරුවන් එව්වේය. එම මැනීම් කටයුතුවලට කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ඉඩ ලබාදුන්නේ නැත. ඉන්පසුව අදාළ ආයතනයේ නියෝජිත කණ්ඩායමක් ආවේ කෞතුකාගාරයේ බිම් සැලැස්මට අදාළ බිම් ලේඛන ලබා ගැනීමටය. කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ඒවා ලබාදුන්නේද නැත.
එහෙත් මේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍යාංශ ලේකම්වරයාගේද අනුමැතිය ලැබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ක්‍රියාවලිය දිගින් දිගට ක්‍රියාත්මක විය. මේ ක්‍රියාවලිය සම්බන්ධ නීත්‍යනුකූල වගකීම ඇත්තේ අමාත්‍යාංශ ලේකම්වරයාටය. ඔහුගේ හැසිරීම අනුව ඔහුට පුරාවස්තු පිළිබඳව හෝ කෞතුකාගාරය හෝ රාජ්‍ය දේපොළ සම්බන්ධ අවබෝධයක් තිබේදැයි සැක සහිත විය.
මේ ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ව්‍යාපාරික ආයතනයේ නියෝජිතයන් සමඟ වරින් වර සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන්ව කැඳවීම් කළේය. මේ කටයුත්තට කෞතුකාගාරයේ විෂයභාර අතිරේක ලේකම් විරුද්ධ බැවින් ඔහු වෙනුවට වෙනත් විෂයක් භාර ලේකම්වරයකු මේ රැස්වීම්වලට සහභාගි කිරීමට නම්කර තිබිණි. රැස්වීම් මවු භාෂාවෙන් නොපැවැත්වෙන අතර නම් කරන ලේකම්වරයාට භාෂා ගැටලුවක් ඇති බැවින් මේ රැස්වීම්වලට සහභාගි නොවන බවක් දන්වා තිබිණි. ඒ වෙනුවට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරියකු හෝ අමාත්‍යාංශයේ වෙනත් කනිෂ්ඨ නිලධාරියකු රැස්වීම්වලට සහභාගි කරවනු ලැබීය. එහිදී රැස්වීම්වලට යවන කනිෂ්ඨ නිලධාරීන්ට ඒ සම්බන්ධව කතා කිරීමට බලයක් නොමැති බැවින් පෞද්ගලික ව්‍යාපාරික අවශ්‍යතා අනුව කටයුතු සිදුවෙමින් ඇත.
මේ ව්‍යාපාරික කටයුත්තට විරුද්ධ වීම නිසා කෞතුකාගාර අධ්‍යක්ෂවරියත්, සංස්කෘතික අමාත්‍යාංශයේ කෞතුකාගාරය භාර ලේකම්වරයාත් මේ වනවිට දැඩි අර්බුධයකට මුහුණ දී සිටිති.
කෞතුකාගාරය පමණක්් නොව පුරාවිද්‍යාත්මක වටිනාකම මෙතෙක් යැයි කියා මැනිය නොහැකි ලෝකප්‍රකට සීගිරියද පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සල්ලි මවන උල්පතක් කරන්නට යන ව්‍යායාමය ආණ්ඩුව අත්හැර නැත. ඒ අනුව සීගිරිය, කලුදිය පොකුණ පරිශ්‍රයේ කටාරම් සහිත ලෙන් දෙකක් ව්‍යාපාරිකයකුට දෙන්නට පිඹුරුපත් සැකසිණි. ඒ සංචාරක හෝටලයකටය. එහෙත් ඒ සඳහා අවශ්‍ය අවසරය ලබාගත යුත්තේ පුරවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ගෙනි. පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සීගිරිය කළුදිය පොකුණ මේ ව්‍යාපාරික කටයුත්තට අනුමැතිය ලබා නොදීම නිසා ඔහුට දිගින් දිගට බලපෑම් පැමිණියේය.
සීගිරිය කළුදිය පොකුණ පරිශ්‍රය පමණක් නොව සීගිරියේ දකුණු ප්‍රවේශ ෙදාරටුව අසල දිය අගලක් කපා ඒ ප්‍රදේශයේ සංචාරක ගිමන්හලක් හැදීමේ ව්‍යාපාරික කටයුත්තකට ද සූදානමක් තිබිණි. මේ පෞද්ගලික ව්‍යාපාරික ව්‍යාපෘතියට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබුණේ නැත.
මේ විරුද්ධකම් නිසා පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාට මේ ආයතනයට සම්බන්ධ දේශපාලන බලාධිකාරියේ ඉහළ තැනින් දිගින් දිගටම වාචික බලපෑම් එන්නට පටන් ගැනිණි. දේශපාලන අධිකාරිය ඔහුගේ ඉල්ලා අස්වීම අපේක්‍ෂා කරයි. එසේ නොවුණහොත් දැනට පුරාවිද්‍යා ප්‍රසම්පාදන කටයුත්තක සිදුවී ඇති අක්‍රමිකතාවකට චෝදනා කර ඔහුගේ සේවය අත්හිටුවන බව වාචිකව දන්වයි. පැන්ෂන් එකක් රහිතව ගෙදර යවන බව කියයි.
කෞතුකාගාරය, පුරාවිද්‍යාත්මක වස්තු හා පුරාවිද්‍යාත්මක ස්ථාන යනු ව්‍යාපාරික අවශ්‍යතාවලට යොදා ගන්නා ආයතන හෝ ස්ථාන නොවේ. එය රටක සංස්කෘතික විකාශනය පිළිබඳව අනාගත පරම්පරාවට කියාදෙන කැටපතකි. අනාගත පරම්පරා වෙනුවෙන් ඒවා ආරක්ෂා කිරීම ජනතාවගේ මෙන්ම බලයට පත්වන ආණ්ඩුවේද වගකීමකි.
නමුත් අපේ රටේ ආණ්ඩුවලට සංස්කෘතිය යනු අමාරුවෙන් කරපින්නාගෙන යන බරම බර තවලමක් පමණි. එක් පැත්තකින් සංස්කෘතිය දේශපාලනඥයන්ගේ නිධානයකි. සංස්කෘතිය ජනතාවගේ හදවතේ රුධිර පීඩනය වැඩි කරන නිලයකි. අවශ්‍ය වන්නේ වෙලාව බලා මඳක් උත්තේජනය කිරීම පමණි. මැතිවරණයකදී, ආණ්ඩු පෙරළියකදී, සංස්කෘතියේ මෙකී ප්‍රයෝජනය එක් පැත්තකින් ගන්නා විට ඔවුන් සංස්කෘතිකමය වටිනාකම හා එහි ජීවමාන සාක්ෂි තම හිතවතුන්ට විකුණා ආර්ථික ලාභ ගැනීමද අත්හරින්නේ නැත.
සංස්කෘතියේ ජීවමාන සාක්ෂි රැකගැනීමට ගිය පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එල්ල වී ඇති බලපෑම් හමුවේ ඔහු මේ ලිපිය ලියන මොහොත වන විට නිවාඩු පිට හිඳී. ඊළග මොහොතේ ඔහු ඉල්ලා අස්වනු ඇත. නොඑසේනම් ඔහුව සේවයෙන් පහ කිරීමට කටයුතු යෙදෙනු ඇත. සීගිරිය ලෝක උරුමය අවියත් ව්‍යාපාරික පරිශ්‍රයක් වනු ඇතිද? කෞතුකාගාරය හෝටලයක් වනු ඇතිද? කටුගෙයි කාමර පෙම් යුවළවලට කුලියට දේවිද?
ආණ්ඩුවේ උත්තර ඔව් වුණත් ජනතාව ඒ උත්තරය පිළිගන්නට සූදානම් නම් නැති බවත් ලියා තැබිය යුතුය.
රසිකා හේමමාලිතීරු ලිපි
http://mawbima.lk/print20170401MB20170630.php?id=13044#.WSJi7nWDjpE.facebook
Sunday, May 21, 2017
Sunday, April 30, 2017
එහෙනම් එන්න.....
------------
ආදරණීය හිතවතුනේ.....
ඔබලා දන්න කියන උසස් පෙළට ඉතිහාසය කරන දරු දැරියන්ට
ආදරණීය හිතවතුනේ.....
ඔබලා දන්න කියන උසස් පෙළට ඉතිහාසය කරන දරු දැරියන්ට
මැයි 03 බදාදා හවස 3 සිට 5 දක්වා තියෙන
මගෙ පන්තියට එන්න කියන්න.
ROYAL තැප්‍රෝබේනියන්
නුගේගොඩ - විජේරාම
ROYAL තැප්‍රෝබේනියන්
නුගේගොඩ - විජේරාම
Saturday, April 29, 2017
Sunday, April 23, 2017
ඉතිහාසය කනපිට හැරවූ සහශ්‍රකයේ මහා දාර්ශනිකයා
සුවිශේෂී හැකියාවන් හා ගුණාංග රාශියක එකතුවක් වූ මිනිසෙකුට හැර , පවත්නා සම්මත බල රටාවන්ට අභියෝග කල නොහැක. පවතින අධිපතිවාදී ජනපීඩක පාලන ක්‍රමය වෙනුවට වඩා යහපත් හෙට දවසක් මානව වර්ගයා වෙනුවෙන් ගොඩනැගීමේ උත්තුංග කර්තව්‍යට උරදීමට ඉදිරිපත් වීම ද පහසු කටයුත්තක් නොවේ. එවන් මිනිසුන් පිළිබඳව ඉතිහාස වංශ කතාව තුල, අනාගත පරපුරට ආඩම්බරයෙන් කතා කිරීමට ඉතිරි වී ඇත්තේ අතලොස්සකි.
මේ එවන් විශ්වීය චරිතයක් ගැන කෙටි විවරණයකි
ගෙවී ගිය සහසක්‍රයේ සිට විශිෂ්ටතම චින්තකයා ලෙස සැලකෙන්නේ කවුරුන්ද යන පැනය ඉදිරිපත් කරමින් 1999 සැප්තැම්බර් මස බී. බි. සි. ප්‍රවෘත්ති "ඔන් ලයින්" සේවය විසින් පවත්වන ලද ඡන්ද විමසීමේදී පළමු ස්‌ථානය හිමිවූයේ කාල්මාක්‌ස්‌ටය. දෙවැනි, තුන්වැනි සහ හතරවැනි ස්‌ථාන හිමිවූයේ පිළිවෙළින් ඇල්බට් අයින්ස්‌ටයින්, අයිසැක් නිව්ටන් සහ චාල්ස් ඩාවින්ටය. 2005 වසරේ ඩී. බී. සී. ගුවන්විදුලිය, 4 විසින් ලොක්‌යේ ඉකුත් සියවසේ විසූ විශිෂ්ටතම දාර්ශනිකයා කවුරුන්දැයි විමසූ ඡන්දයේ දී ද පළමු ස්‌ථානය හිමිවූයේ කාල් මාකස්‌ටය.
විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල්මාක්‌ස් 1818 මැයි මස 05 වැනිදා ජර්මනියේ ට්‍රීර් නගරයේදී උපත ලැබුවේය. ඔහුගේ පියා නීතිවේදියකුවූ හෙන්රිශ් මාක්‌ස් විය. මව ඕලන්දයේ උපත ලැබූ හෙන්රි යට්‌ටා නම්විය. 1835 වන තෙක් මාක්‌ස් ට්‍රීර් නගරයේ දී මූලික අධ්‍යාපනය ලැබුවේය. පසුව බොන් විශ්වවිද්‍යාලයේ නීති විද්‍යා අංශයට ඇතුළු විය. මාක්‌ස් වැඩි වශයෙන් දර්ශනවාදය, ඉතිහාසය හා විද්‍යා විෂයන් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්‌වූවේය. නිර්මාණශීලී සාහිත්‍ය සඳහා ද බොහෝ කාලයක් මිඩංගු කළේය. දැනීම ලබා ගැනීම සඳහා නොසිඳෙන පිපාසයක්‌ද, ගැඹුරු ලෙස සත්‍ය සෙවීමද, තම කටයුතු පිළිබඳව ස්‌වයං විවේචනයද අරගලකාරී හා සටන්කාමී ජීව ගුණයද, තරුණ කාල්මාක්‌ස් සතු විය. 18 වැනි ශත වර්ෂය අවසානයේ බ්‍රිතාන්‍යයේ ඇතිවූ කාර්මික විප්ලවයෙන්පසු යුරෝපා රටවල පැවැති රදල සමාජ සම්බන්ධතාවන්ගේ නටඹුන් බිඳ වැටීමට පටන්ගත් අතර, කාර්මික විප්ලවය යුරෝපා මහාද්වීපය පුරා ව්‍යාප්තවීම ආරම්භ විය. මහා ධනපති කර්මාන්ත සංවර්ධනයක් සමඟ ගොවීහු සහ හස්‌ත කර්මාන්ත ශිල්පියෝ නිෂ්පාදන මාධ්‍යයන්ගේ කිසිවක් අයිති නැති අනුකම්පා විරහිත සූරා කෑමට භාජනය වූ කුලී වැටුප් ලබන කම්කරුවන් බවට පරිවර්තනය වූහ. ඓතිහාසික සිද්ධීන් මුහුකුරා වැඩුණු එවැනි තත්ත්වයක් තුළදී මාක්‌ස්‌ගේ මත සකස් විය. යුරෝපා රටවල ධනවාදය තහවුරුවීම මගින් පන්ති අරගලය උග්‍රවීමටද, ධනපති ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාතික විමුක්‌ති ව්‍යාපාරවල පුළුල් ව්‍යාප්තවීමකට ද, ධනපති ක්‍රමයට විරුද්ධව නැඟී සිටින්නාවූ නිර්ධන පංතියක් ඓතිහාසික කරළියෙහි පෙනී සිටීමකටද, මං පාදමින් කම්රු නැගිටීම් වර්ධනය විය.
පීඩිත ජනතාව
1841 අප්‍රේල් මාසයේදී කාල් මාක්‌ස්‌ට දර්ශනවාදය පිළිබඳව ආචාර්ය උපාධිය හිමි විය. වැඩකරන ජනතාවගේ ජීවිතයේ ද්‍රව්‍යමය සහ ආර්ථික ප්‍රශ්න කෙරහි ගැඹුරු උවමනාවක් දැක්‌වූ මාක්‌ස් ඒ වනවිට පැවැති මනෝරාජිත කොමියුනිස්‌ට්‌වාදී අදහස් පිළිබඳව පිරික්‍ෂා බැලුවේය. විද්‍යාව යටපත්කර ගැනීමට ආගම දැරූ සියලුම ප්‍රයත්න වලට සහ මිනිස් විඥානය බැඳ තැබීමට ඉදිරිපත්වූ සියලුම ප්‍රයත්නවලට විරුද්ධව මාක්‌ස් නැඟී සිටියේය. අහසේ සහ පොළොවේ සිටින සියලුම දෙවිවරුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන මාක්‌ස් සටන්කාමී අදේවවාදියකු හා විප්ලවවාදියකු ලෙස පෙනී සිටියේය.
ලෝකයේ පීඩනයට පත්ව සිටින ජනතාව එයින් මුදා ගැනීමේ විද්‍යාත්මක දර්ශනයක් සකස් කිරීම සඳහා තම ජීවිතය කැප කළ කාල්ස් මාක්‌ස් ස්‌වකීය ද්‍රව්‍යවාදී දෘෂ්ටිය පදනම් කර ගත් ඔහුගේ න්‍යාය ජනතාවට පසක් කරගත හැක්‌කේ එම න්‍යායෙන් ඔවුන්ගේ ඉතා වැදගත් අවශ්‍යතාවන් සහ ප්‍රධාන අයිතිවාසිකම් පිළිබිඹු වුවහොත් පමණකියි යන චින්තනය වර්ධනය කළේය.
සමාජවාදී න්‍යාය
මාක්‌ස්‌ගෙන් මානව වර්ගයාට සිදුවූ අගනා සේවය වන්නේ වැඩ කරන ජනතාවගේ ඓතිහාසික විමුක්‌තිකාමී කාර්යභාරය අරඹයා ප්‍රඥාව හා සංකල්පය සමාජවාදය මනෝරාජිත තත්ත්වයක සිට විද්‍යාවක් දක්‌වා පරිවර්තනය කිරීමයි. වැඩි වැඩියෙන් පෑගී සිටින පංතියට සිය ජීවිතය කැප කළ මාක්‌ස්‌ට තමන්ගේ අදහස්‌වලට සම්පූර්ණයෙන්ම කැපවූ විශ්වාසවත් මිතුරකු වූ පෙඩ්රික් ඒංගල්ස්‌ගේ සහයෝගය ලැබුණි.
කාල්මාක්‌ස් ජාතීන් සහ ජනවර්ග අතර පැනනගින ප්‍රශ්න පිළිබඳව වැදගත් මූලධර්මයන් සම්පාදනය කළේය. වෙනත් ජාතියක් පාගා සිටින ජාතියක් නිදහස් ජාතියක් නොවන බවත් ජාතීන් අතර සමානාත්මකව හා නිර්දන පන්තියක ජාත්‍යන්තරවාදී මූලධර්මය ජාතීන් හා ජනවර්ග අතර පවත්නා ප්‍රශ්න විසඳීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ප්‍රතිපත්තියක් බවත් එයින් විස්‌තර කරනු ලැබීය. කාල්මාක්‌ස් හා පෙඩ්රික් ඒංගල්ස් ලියා පළ කළ "කොමියුනිස්‌ට් පක්‍ෂයේ ප්‍රකාශනය" මගින් මාක්‌ස්‌ගේ ඉගැන්වීම්වල සංයුක්‌ත කොටස් තුන වූ දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, විද්‍යාත්මක සමාජවාදය, පිළිබඳ විස්‌තර කළේය. කම්කරු පංතිය විද්‍යාත්මක විප්ලවාදී න්‍යායකින් සන්නද්ධකොට වැඩ කරන ජනතාවගේ ස්‌වාධීන පක්‍ෂයකට අවශ්‍ය උපාය සහ උපක්‍රමවල පදනම දැමුවේද මාක්‌ස් සහ ඒංගල්ස් විසිනි. තම ඉගැන්වීම් ලෝකයේ වෙනස් කිරීමේ අවිය ලෙස ගැලපූ මාක්‌ස්, සමාජවාදය කම්කරු පංති ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීමටත්, ධනපති සමාජ ක්‍රමය වෙනුවට විද්‍යාත්මක සමාජවාදී ක්‍රමය ඉදිකිරීමේ ඓතිහාසික කාර්යභාරය බාරව සිටින නිර්ධන පංතිය තම න්‍යායයෙන් සන්නද්ධ කිරීමටත් ක්‍රියා කළේය.
අධික වේගයකින් මොළය වෙහෙසා වැඩ කිරීම හා ආර්ථික අමාරුකම්වලට මුහුණපෑම නිසා දිනෙන් දින මාක්‌ස්‌ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය කලක් සිටම පිරිහෙන්නට විය. මේ අතරතුර මාක්‌ස්‌ගේ බිරිඳ රෝගාතුරවීම ඔහුට ඇති බරපතල පහරක් විය. 1881 දෙසැම්බර් මාසයේ 02 වැනිදා මාක්‌ස්‌ගේ බිරිඳ ජෙනී මිය ගියේය. 1883 පෙබරවාරි මාසයේ මාක්‌ස්‌ගේ රෝගී තත්ත්වය උත්සන්නවී ඔහුගේ ශක්‌තිය වේගයෙන් දුර්වලවන්නට විය. මාර්තු 14 වැනිදා දහවල් 02.45 ට පමණ හාන්සි පුටුවේ වාඩිවී සිටියදීම මාක්‌ස් සදහටම නිහඬ විය. මාක්‌ස් අවසන් කාලයේ ජීවත් වූ ලන්ඩන් නගරයේ පිහිටි හයිගේට් සුසාන භූමියේ ඔහුගේ බිරිද වූ ජෙන් මිහිදන් කර තිබූ ස්‌තානයේම මාර්තු 17 වැනිදා මාක්‌ස්‌ගේ මෘතදේහය මිහිදන් කරන ලදී. එහිදී ඔහුගෙන් සමු ගනිමින් කථා කළ මාක්‌ස්‌ගේ කල්‍යාණ මිත්‍රයා වූ ඒංගල්ස් තම මිතුරාගේ යෝධමය කටයුතු ගැන විස්‌තර කළේය. ඒවා අතර ඉතා විශේෂ ස්‌ථානයක් හිමි වූයේ සැබවින්ම මාක්‌ස්‌ගේ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීමක් වූ මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ න්‍යාමය සහ අතිරික්‌ත වටිනාකම පිළිබඳ න්‍යාමය විය. මාක්‌ස් ඉමහත් ප්‍රඥාවෙන් හෙබි චින්තකයකු පමණක් නොව ශ්‍රේෂ්ඨතම විප්ලවාදියා බවත් ඒංගල්ස් එහිදී පැවැසීය. තමාගේ ගුරුවරයා සහ මිතුරාවන මාක්‌ස්‌ගෙන් අවසන් වශයෙන් සමුගත් එංගල්ස් සිය කතාව අවසන් කළේ අනාවැකියකිනි. " මාක්‌ස්‌ගේ නමත්" ඔහුගේ කාර්යභාරයත් ශත වර්ෂ ගණනාවක් පවතිනු ඇත යනු ඒ අනාවැකිය විය.
- චූලක බණ්ඩාරවත්ත -
කලා විෂය ධාරාව තුළ විෂයයන් තෝරා ගැනීමේ දී.....
කලා විෂයය ධාරාව තුළ විෂයයන් තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු මූලික කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරමු........
මෙහිදී විෂයයන් කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කරලා තියෙනවා. ඒ තමයි,
1. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන්
2. ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්
3. සෞන්දර්ය අධ්‍යයන විෂයයන්
4. භාෂා විෂයයන්
මෙහිදී විෂයයන් තේරීමේ දී විකල්පයන් ගණනාවක් තියෙනවා. ඒ අතර කීපයක් පහත පරිදි පෙන්නා දෙන්න පුළුවන්.....
1. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් වලින් විෂයයන් 3ක්ම තෝරා ගැනීමට පුළුවන්......
2. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් දෙකක් තෝරා ගනිමින් අනෙක් ඕනෑම කාණ්ඩයකින් එක් විෂයයක් තෝරා ගැනීමට පුළුවන්........
3. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් එකක් තෝරා ගනිමින් අනෙක් ඕනෑම කාණ්ඩයකින් විෂයයන් දෙකක් තෝරා ගැනීමට පුළුවන්........
4. සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන් අතරින් කිසිවක් තෝරා නොගනිමින් භාෂා විෂයන් 3ක් ම තෝරා ගැනීමට ද අවස්ථාව පවතී.
මෙම මූලික විකල්ප මත පදනම් වෙමින් විෂයයන් තෝරා ගැනීමේ දී තවත් සැලකිිමත් විය යුතු කරුණු තිනෙවා. ඒ පිළිබඳවත් දැනුවත්ව ඔබගේ විෂයයන් තෝරා ගන්න උන්නදු වන්න.
ඔබ තෝරා ගන්නා ඕනෑම විෂයයක් සඳහා නුගේගොඩදී නිෂ්චිත සහ පැහැදිලි මඟ පෙන්වීමක් සිදු වෙනවා
අප්‍රේල් 30 පෙ.ව. 8.00 ට රෝයල් තැප්‍රොබේනියන් හිදී.........
------------------------------------------------------------------------
භාෂා විෂයයන්
++සිංහල++
උපුල් ශාන්ත සන්නස්ගල
Upul Sannasgala
******************************************************
සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන්
++තර්ක ශාස්ත්‍රය++
රුවන් මාපලගම
Ruwan Mapalagama
++ඉතිහාසය++
රුක්ෂිලා වෙත්තමුණි
Rukshila Wettamuni
++දේශපාලන විද්‍යාව++
යාපා බණ්ඩාර
රවින්ද්‍ර අමරසිංහ
බුද්ධික අබේකෝන්
++සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය++
කපිල එම් ගමගේ
ප්‍රභාත් සෙනෙවිරත්න
ගයාන් ඉද්දමල්ගොඩ
++තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය++
සමන් බණ්ඩාර හේරත්
Saman Bandara Herath
++ගිණුම්කරණය++
රෝහාන් කෝදාගොඩ
Rohan Kodagoda
++ආර්ථික විද්‍යාව++
කසුන් සංජීව
************************************
ආගම් හා ශිෂ්ටාචාර විෂයයන්
++බෞද්ධ ශිෂ්ටාචාරය++
අරුණ ගුණසේකර
Aruna Gunasekare
*******************************************
සෞන්දර්ය අධ්‍යයන විෂයයන්
++චිත්‍ර කලාව++
ප්‍රගීත් රත්නායක
Prageeth Rathnayake
++නර්තනය++
ගීත් ප්‍රේමචන්ද්‍ර
රෝහිණි ස්වර්ණමාලී
++සංගීතය++
තිලිනි රැද්‍රිගු
Thilini Rodrigo
++නාට්‍ය හා රංග කලාව++
ගයාත්‍රි මහේෂා ගුණරත්න
ජෙහාන් ශ්‍රි කාන්ත අප්පුහාමි
Jehan Appuhami
සටහන - සමන් බන්ඩාර හේරත්
Monday, April 10, 2017
Sunday, April 9, 2017
ජීවිතේ තවත් එක් දවසක්.... 03
ජීවිතේ තවත් එක් දවසක්.... 03
බලාපොරොත්තු කියන්නෙ මිනිස්සුන්ව ජීවත් කරවන ප්‍රබල සාධකයක්. ඒ සාධකය අතරට ආදරය එකතු වුණාම ජීවිතය කොච්චර සුන්දර වේවිද.....
බස් එකට ගොඩ වුණාම මං බොහෝ විට ඉදගන්න කැමති අන්තිම පේළියෙ. එතකොට මුළු බස් එකේම ඇහැ දුවවන්න පුළුවන්. මං හරිම කැමතියි මිනිස්සුන්ගෙ ජීවිත වලට එබිලා බලන්න.දහඩිය පෙරා ගත්තු ඉතාම වෙහෙසකර මුහුණු. උදේ හිටංම දවසෙ වැඩ කන්දරාවක් එක්ක ඔට්ටු වෙලා තම තමන්ගෙ නවාතැන් කරා යන විවිධ මිනිස් ජීවිත.
බලාපොරොත්තු පොදියක් කර පින්නගෙන රුපියල් පසුපස දුවන මිනිස්සු. ලැබෙන පඩියෙන් යාන්තම් දිවි ගැට ගහන්න උත්සාහ කරන ජීවිත. එකිනෙකා එක එක ලෝකවල. ඇතැම් අයගෙ මුහුණුවල සිනාව කියල නාමයක් නැහැ.
විවිධ ඉරියව් වලින් පෙම් කරන පෙම්වතුන්, දරුවෝ වඩා ගත්තු කාන්තාවො, කටගොන්නක් බී ගත්තු බේබද්දො, ජැක් ගහන්න එන පිරිමි, ඔය විදියෙ නානාවිධි මිනිස් ජීවිත අපට මුණ ගැහෙනවා බස්වලයි කෝච්චිවලයි යද්දි.
ආදරය කියන්නෙ ඇත්තටම ජීවත් වෙන්න තියෙන ආසාව වැඩි කරන ප්‍රධාන මෙවලමක් කිව්වොත් වැරැද්දක් නැහැ කියල හිතෙනවා.
මේ සියලු දුක්ක දෝමනස්සයන් අස්සේ ආදරය පිරුණු ජීවිතයක් ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද...
ඉතිං ආදරෙත් එක්ක ජීවිතේ තවත් එක් දවසකින් මුණ ගැහෙමු....
- රුක්ෂිලා වෙත්තමුණි -
2017
Wednesday, April 5, 2017
Sunday, December 25, 2016
ජීවිතේ තවත් එක් දවසක් - 02
බොහෝ කාලයකින් හිත නිදහස් වුණු නිසා පොතක් කියවන්න පටන් ගත්තා උදෙන්ම. කුරුල්ලන්ගෙ මිහිරි නාදය, නිදහස් වුණු හිතට තවත් අත්වැසිල්ලක්. මට මතක් වුණේ 'විභූතිභූෂණ බන්ද්‍යෙපාධ්‍යායගෙ', චින්තා ලක්ෂ්මි සිංහආරච්චි පරිවර්තනය කරපු 'අරණකට පෙම් බැඳ' කියන පොත.
පුංචි කාලේ ඉදලම පරිසරය එක්ක බද්ධ වෙලා හැදුණු වැඩුණු නිසාද මංදා මං ඒ පොතට පුදුම විදියට ආදරෙයි. කියවන්න ගත්ත පොත පැත්තක තියලා මං අරණකට පෙම් බඳින්න පටන් ගත්තා.
විභූතිභූෂණ තරම් අව්‍යාජ ලෙස, චිත්තාකර්ෂණීය ලෙස ස්වභාවික පරිසරය ගැන වර්ණනා කළ වෙනත් ලේඛකයෙක් නොමැති බවයි ඉන්දියානු විද්වතුන්ගෙ මතය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර්හි වනගත වතුයායක් මේ කතාව සඳහා පාදක වී තිබෙන්නෙ.
'ශාන්ත පරිසරයකදී ඇසෙන විලම්බ ලයකින් වාදනය වන, වස්දඬුවක මිහිරි ස්වර මාලාවක් ලෙසයි' මෙම ග්‍රන්ථය හඳුන් වන්නෙ.
දිනෙන් දින විනාශ වන සොඳුරු පරිසරයෙන් මිනිසා ඈත් වෙද්දි මෙවැනි පොතක් ඇත්තටම දිවි ඔසුවක් මනසට. ස්වභාවික සුන්දරත්වයට පමණක් සීමා නොවී එම පරිසරයෙ ජීවත් වන විවිධාකාර වූ මිනිසුන්ගෙ ජීවිත තුළට එබී ඔවුන් දෙස බලන දෘෂ්ටියට මං බොහෝ කැමතියි.
මේ කතාවේ පිවිසුමයි.
දවස පුරාම කාර්යාලයේ වැඩ කර වෙහෙස වූ මම නගරයේ බලකොටුව ළඟ ඇති පිට්ටනිය අයිනේ හිඳ ගතිමි.....
මාත් බොහෝ වෙලාවට විහාර මහාදේවී පාර්ක් එකට ගිහිං තනිවෙච්චි බංකුවක පැයක් දෙකක් ඉඳගෙන ඉන්න පුරුදු වෙලා හිටියා. විවිධාකාර මිනිස්සු මාව පසුකරගෙන යද්දි මං ඔවුන් දිහා බලාගෙන හිටියෙ ආසාවෙන්. ඒ අය අතරින්, අතින් කරින් වෙලුණු පෙම්වතුන් හා කුඩා දරුවන් තමයි මගෙ හිත පැහැර ගත්තෙ. කොළොම්පුරය සිසාරා හමායන ඒ සිසිල් සුළඟට මං බොහෝ පෙම් බැන්ඳා.
ජීවිතේ හුදකලාවට මං දැං ආදරෙයි. හරිම නිදහස්. තියෙන දෙයක් කාලා පොතක් පතක් බලාගෙන ඉන්න තියෙන එකත් එක්තරා සුන්දර අත්දැකීමක්.
මට වෙලාවකට හිතෙනවා මේ කතා පොතේ ඉන්න 'සත්‍යවරණ' ට වගෙ මටත් වනගත වතුයායක රැකියාවක් ලැබුණා නම් කියල.
දිනපතා අත් විඳින කොළඹ නරගයේ කර්කෂ ජීවිතයෙන් මිදී, බයිහාරයෙ මෙන් සඳ එළියෙන් ආලෝකමත් වූ, තිමිරයෙන් වැසුණු නිහඬ රාත්‍රියෙ වනය මැදින් දුවන ගෝනුන්ගේ පා හඬ අසන්නට, මිටියාවතෙ පිපුණු වර්ණවත් වන මල් වලින් සුසැදි පරිසරයක ජීවත් වන්නට ඇත්නම් කෙතරම් වාසනාවක්ද.
ජීවිතේ තවත් එක් දවසකින් හමුවෙමු.
- රුක්ෂිලා වෙත්තමුණි -
2016 - 12 - 24
Thursday, December 15, 2016
ජීවිතේ තවත් එක් දවසක් - 01
කියවීමට මිනිසා හුරුකළ මහගෙදරට ඒ කියන්නේ පිටකොටුවෙ එම්.ඩී. ගුණසේන සහ සමාගමට අද මං ගොඩ වුණේ මගෙ පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු සඳහා අතවශ්‍ය පොත් කිහිපයක් ගන්න කියලා හිතාගෙනයි.
රත්තරං බඩු කඩයකට හිස පොවන්නවත් අකමැති මං පොත් සාප්පුවකට රිංගන්නනම් බොහෝම කැමතියි.
පිටකොටුව, ගුණසේන සහ සමාගම කියන්නෙ මගෙ ළමා කාලය තුළ ඉතා සුන්දර අතීතයක් එක්කල ස්ථානයක්.
අපි පුංචි කාලේ පාසලට අවශ්‍ය සියලුම පොත් පත් ගන්න ගියෙ එහෙටයි. මගෙ අක්කලා දෙන්නටයි අයියටයි මටයි. තාත්තා පොත් ගේන්න යන දවසට මාත් කොහොම හරි තාත්තගෙ අතේ එල්ලිලා යනවා. අලුත් පොත්වල සුවඳ විඳින්න මං එදා වගේම අදත් මනාපයි.
තාත්තා අපි හතර දෙනාට අවශ්‍ය පොත්, පෑන්, පැන්සල්, පොත් කවර ඔය වගේ ගොඩාක් දේවල් ගද්දි කොහොමත් පැයක් දෙකක් ගත වෙනවා. ඒ වෙලාවට මං කරන්නෙ ළමා කතන්දර පොත් ගොන්නක අතරමං වෙන එකයි. කොහොම හරි පොත් 6 ක් 7 ක් කියවනවා. ඊට පස්සෙ කියවන්න ආස හිතුණු පොත් කිහිපයක් උස්සගෙන ඇවිත් තාත්ගෙ බිලට එකතුකර ගන්නවා කොහොම හරි. ඇත්තටම මට කියවන්න හුරු කළේ මගෙ ආදරණීය තාත්තා.
අද ආයෙමත් මං ඒ සුන්දර අතීතයට ගියා. කාලය බොහෝ වෙනස් වෙලා. මං වැඩිහිටි අවදියට අවතීර්ණ වෙලා. ඒත් ළමා කතන්දර පොත් දකිද්දි ඉස්සර වගේම ආයෙත් කියවන්න ආස හිතුණා. මං ඒ සුන්දර අතීතයත් එක්ක පොත් කිහිපයක් පෙරලලා බැලුවෙ පුංචි දරුවෙක් වගෙයි.
ගන්න හිතාගෙන ගිය කිසිම පොතක් මට හොයා ගන්න නම් බැරි වුණා. ඒත් පොත් එක්ක පැය දෙකක් විතර ගත කරලා අන්තිමට කියවන්න ඕන කියලා හිතුණු පොත් 4 ක් අර ගත්තා. 'සාර භූමි' බොහෝම ඉස්සර දහ දොලොස් වතාවක් කියවල තිබ්බත් අද ආයෙ ආස හිතුණා ඒ පොත සල්ලි දීලා ගන්න. ඒ පොත පුරා ඉන්න දිරිය ගැහැනිය 'ඕලෑං' ට මං හරිම ආදරෙයි.
මගෙ ජීවිත කාලය තුළදි සිදුවුණු විවිධ හැලහැප්පීම් එක්ක බලද්දි මටත් 'ඕලෑං' කෙනෙක් වගෙ ශක්තිමත් වෙන්න ඕනෙ.
පොත් අතර අතරමං වුණාම කාලය ගෙවෙන්නෙ ඉතාම වේගයෙන්. පොත් සාප්පුව වහන්න ආසන්න වුණාම තමයි මං දැන ගත්තෙ රාත්‍රී 7 ත් පහු වෙලා කියල. පොත් කියන්නෙ මගෙ කලණ මිතුරෝ. කිසිම දාක මාව අත් හැරලා නොයන මං බොහෝ සෙයින් පෙම් බඳින සුමිතුරෝ.
පොත් සාප්පුවක වැඩ කරන්න තියෙනවා නම් කියල හිතෙනවා වෙලාවකට. කවදා හරි දවසක පොත් සාප්පුවක හිමිකාරියක් වීම මගෙ හීනයක්. අපි උත්සාහ කළොත් මොනවද කරන්න බැරි ඇත්තටම. හීනය අනාගතයට බාර දීලා මං පොත් ගොන්නෙන් එළියට ආවෙ හුදකලා වෙච්චි මගෙ නවාතැනට යන්න බස් එකට නගින්නයි.
පිටකොටුවෙ දහසක් මිනිස්සු අතර මං තනිවෙලා නේද කියලයි හිතුණෙ. ජීවිතය කියන්නෙ ඇත්තටම හිස් සුදු කඩදාසියක්. ඒ කඩදාසියෙ විවිධ රටා මවා ගන්නෙත් අපිමයි. ඒ රටා විකෘති කර ගන්නෙත් අපිමයි. ජීවිතේ විවිධ අවස්ථා වලදී අපි දුරදිග නොහිතා ගන්න තීරණ වලින් සුදු හිස් කඩදාසිය අපවිත්‍ර වෙනවා. ඒ අපවිත්‍ර වුණු කඩදාසිය ආයෙමත් පවිත්‍ර කර ගන්න ඕනෙත් අපිමයි.
ජීවිතේ තවත් එක් දවසකින් ආයෙ මුණ ගැහෙමු...
- රුක්ෂිලා වෙත්තමුණි -
2016 දෙසැම්බර් මස 14
Sunday, September 11, 2016
එන්න අපි වෙඩි උණ්ඩ වලින් බේරී පිනි වැස්සෙ තෙමෙමු
දුවක් සිටියා නම් ගීතය අහන්න....
https://www.youtube.com/watch?v=B_yxIXYVFuA
සමාජයෙ නිතර ඇහැ ගැටෙන විවිධ තේමාවන් ඔස්සෙ තම නිර්මාණකරනයෙහි යෙදෙන ඔහු ඉතා දක්ෂ ලෙස එම සමාජීය ප්‍රස්තුත තම නිර්මාණ සඳහා උපයෝගිකර ගන්නේය.
'දුවක් සිටියා නම්' ගීතයට අමතරව මර්වින් පෙරේරා ගයන 'තුරු සෙවණක් යට' , කීර්ති පැස්කුවල් ගයන 'මලක් අහනවා', පුෂ්පිකා මුල්ලකන්ද ගයන 'හිරු දෙයියෝ', ජෙනට් ගුරුගේ ගයන 'ගණන් ගුරුතුමී', කපිල හේරත් ගයන 'පිස්සු කෙල්ල' ආදි විවිධ නිර්මාණ බොහෝ ප්‍රමාණයක් ඔහු සමාජයට දායාද කොට තිබේ.
මංජුගෙ කුළුදුල් කාව්‍ය ග්‍රන්ථය කවිවර ප්‍රකාශනයක් ලෙස සැප්තැම්බර් මස 13 වන දින,
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී ප.ව. 3 ට ජනගත කිරීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.
කවියට හිතැති කවියට ආදරයැති දයාබර සහෘදය ඔබටයි මේ ඇරයුම....!
එන්න අපි
වෙඩි උණ්ඩ වලින් බේරී පිණි වැස්සෙ තෙමෙමු.....
- රුක්ෂිලා වෙත්තමුණි -
Subscribe to:
Posts (Atom)















