Thursday, October 8, 2020

අතීත මානව සමා­ජය පිළි­බිඹු කරන ඉබ්බ­න්ක­ටුව සුසා­නය


මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශ­යට අයත් ඉබ්බ­න්ක­ටුව, කලා ඔයේ පෝෂක ශාඛා­වක් වූ දඹුලු ඔයේ වම් ඉවුර කේන්ද්‍ර­ග­ත­කොට ගෙන කුරු­ණෑ­ගල ත්‍රිකු­ණා­ම­ලය පාරේ දඹු­ල්ලට සමී­පව පිහිටා ඇත. ඉබ්බ­න්ක­ටුව ජලා­ශයේ ඉහ­ත්තාවේ ස්වභා­වික ගොඩැ­ල්ලක හෙක්ට­යාර් 13 ක භූමිය වසා පැතිරී පව­තින ඉබ්බ­න්ක­ටුව සුසාන භූමිය මෙග­ලි­තික සම්ප්‍ර­දා­යට (මහා­ශිලා සම්ප්‍ර­දාය) අයත් ශිලා මංජුසා සුසාන (Cist burials) ස්වරූ­පයේ සොහොන් ගණ­නා­ව­කින් සම­න්විත වන අතර, එය මෙර­ටින් සොයා ගත් මනා­ලෙස සංර­ක්ෂිත පූර්ව-ඓති­හා­සික සුසාන භූමි­යකි.

1970 දී එව­කට පුරා­විද්‍යා කොම­සා­රිස් ව සිටි ආචාර්ය රාජා ද සිල්වා විසින් ඉබ්බ­න්ක­ටුව සුසාන භූමි­යෙහි පළමු පුරා­විද්‍යා කැණීම් කට­යුතු කළ අතර 1982 දී මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ දඹුල්ල සංස්කෘ­තික ත්‍රිකෝණ ව්‍යාපෘ­තිය මගින් මූලික ක්ෂේත්‍ර සමී­ක්ෂ­ණ­යක් සිදු කරනු ලැබීය. 1983-1984 යන කාල වක­වානු වලදී එම ව්‍යාපෘ­ති­යෙන් සුසාන භූමියේ උතුරු කෙළ­ව­රෙහි පිහිටි සුසාන ගර්භ පොකු­රක් විවෘත කෙරිණි. කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මැදි­හත් වීම මත 1986 දි සමස්ත සුසාන භූමි­යෙ­හිම අධ්‍ය­න­ය­කින් පසුව විස්ත­රා­ත්මක සැල­සු­මක් සකස් කර­න්නට විය.

ඉන් පසුව 1988 හා 1990 දී මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල, පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නය සහ ජර්ම­නියේ කාවා (The Kommission fur Algemeine und Vergleichende Archaeologie) යන ආය­තන එක්ව දෙස් විදෙස් ගවේ­ෂ­ක­යන් විසින් සිදු­කළ පුරා­වි­ද්‍යා­ත්මක ගවේ­ෂ­ණයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස සොහොන් කොත් 21 ක් සොයා ගන්නට හැකි­විය. ඉබ්බ­න්ක­ටු­වෙන් ලැබුණු අඟුරු සාම්පල රේඩියෝ කාබන් පරී­ක්ෂ­ණ­යට ලක් කිරී­මෙන් අන­තු­රුව එය ක්‍රි.පූ. 6 වන සිය­ව­සට අයත් යැයි නිග­ම­නය විය.

ජර්ම­නියේ කාවා අර­මු­දලේ අනු­ග්‍ර­යෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය මගින් 1988 දී කැණී­මක් ආරම්භ කරන ලද අතර වර්ග මීටර් පහ­ළො­වක් පමණ භූමි ප්‍රමා­ණ­යක් මෙම කැණී­මට යොදා ගෙන තිබුණි. මේ අව­ස්ථාවේ දී සුසාන 10 ක් මතු­කර ගැනී­මට හැකි­විය. එහි මැටි­යෙන් කළ බරණි රාශි­යක් හඳුනා ගනු ලැබීය. එසේම මිනී දැවූ පිලිස්සු ආදා­හන වේදි­කා­වක්ද මතු කර ගැනී­මට හැකි වූ බව සඳ­හන්ය. මැටි බරණි තුළ විචිත්‍ර කානේ­ලි­යන් පබළු සහ ඔනික්ස් ගණයේ මාල හමු වීම සුවි­ශේ­ෂීය.

1988 කරන ලද කැණීමේ දී මතු කර­ගත් එක් සොහො­නක ගල් පිය­නක් මත දකුණු ආසි­යාවේ පැර­ණි­තම ශිලා සට­හ­නක් හමු විය. පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නයේ මහා­චාර්ය රාජ් සෝම­දේව ප්‍රකාශ කරනු ලැබූයේ මෙම පියන් ගල් වලින් හමු වූ සංකේත අක්ෂර දෙක ඉන්දි­යාවේ මොහෙ­න්දෝ­ජාරෝ -හරප්පා වලින් හමු වූ සංකේත හා සමාන බවය. මෙම සංකේ­තය බ්‍රහ්මී “බ” අක්ෂ­ර­යට එකතු කළ සංකේ­ත­යක් ලෙසින් පෙනුන ද මහා­චාර්ය රාජ් සෝම­දේ­ව­යන්ගේ අද­හස වූයේ ඉබ්බ­න්ක­ටුව ශිලා සංස්කෘ­තිය දකුණු ඉන්දි­යාවේ මෙග­ලි­තික සංස්කෘ­ති­යක් හෝ උතුරු ඉන්දි­යාවේ ප්‍රභ­ව­යක් හෝ නොවන බවය. මූල ඓති­හා­සික යුගයේ සභ්‍ය­ය­ත්වය ඉන්දි­යා­වෙන් ආන­ය­නය කරන ලද්දක් නොවන බව මහා­චාර්ය රාජ් සෝම­දේ­ව­යන්ගේ අද­හ­සයි. එහෙත් එකළ දේශ­පා­ලන, සමා­ජීය, ආර්ථික හා සංස්කෘ­ති­ක­මය ලක්ෂණ වලින් දියුණු වුණු සමා­ජ­ය­කින් කලා­පීය සම්බ­න්ධතා තිබෙ­න්නට ඇත.

2015 දී මධ්‍යම සංස්‌කෘ­තික අර­මු­දලේ එව­කට අධ්‍යක්‍ෂ ජන­රාල්ව සිටි මහා­චාර්ය ප්‍රිශාන්ත ගුණ­ව­ර්ධන ගේ මග­පෙ­න්වීම යටතේ පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය රංජිත් බණ්ඩාර දිසා­නා­යක විසින් ඉබ්බ­න්ක­ටුව මහා ශිලා සුසා­නයේ කැණීම් නැවත ආරම්භ කරන ලදී. එය මෙම සුසාන භූමිය සම්බ­න්ධව සිදු­කළ පර්යේ­ෂණ ඉති­හා­සයේ තෙවන අදි­ය­ර­යයි. මෙම පුරා­වි­ද්‍යා­ත්මක කැණීමේ දී මූලික අව­ධා­නය යොමු වූයේ ඉබ්බ­න්ක­ටුව මහා­ශිලා සුසාන භූමියේ මූල ඓති­හා­සික අව­දි­යට අයත් මහා­ශිලා භූමි දර්ශ­නය (Megalithic Landscape) අධ්‍ය­ය­නය කිරී­මයි. ඒ අනුව එහි නිර්මිත පරි­ස­රය (built environment) හා ද්‍රව්‍යා­ත්මක සංස්කෘ­තිය (Material Culture) කෙරෙහි විශේ­ෂ­යෙන්ම සැල­කි­ල්ලක් දැක් වූ අතර තදා­ශ්‍රිත පරි­ස­රය පිළි­බඳ වාර්තා කිරී­මට මෙම කැණීම මගින් හැකි­විය.

මෙහිදී අව­ධා­නය යොමු කර­වනු ලැබූයේ මීට පෙර අව­ස්ථාවේ දී සොයා ගත් 21 සුසාන පොකු­රට මඳක් බට­හි­රින් පිහිටි සුසාන ය. බට­හිර පෙදෙ­සෙහි මතු­පිට සුසාන ගර්භ 2 ක් දක්නට ලැබීම හා එහි පොළො­වෙහි ස්වභා­වය එම ස්ථානය තෝරා ගැනී­මට හේතු­විය. මෙම කැණීමේ දී සුසාන ගර්භ 47 ක්‌ අනා­ව­ර­ණය කර­ගැ­නී­මට හැකි වූ අතර ශිලා මංජුසා (Stone cist) 26 ක්‌ සහ බරණි (Clay urn) සුසාන 21 ක්‌ ම­තු­කර ගැනී­මට හැකි­විය. මින් බරණි සුසාන 6 ක අභ්‍ය­න්තර කැණීම් සිදු­කළ අතර ඒ සියලු බර­ණි­ව­ලින් අස්‌ථි කොටස්‌, පුරාණ පබළු සහ මෙව­ලම් යනාදි වශ­යෙන් මාන­ව­කෘති සොයා ගැනිණි.

මෙග­ලි­තික් යන්නට ග්‍රීක භාෂා­වෙන් විශාල ගල් යන්නට අර්ථ දක්වා ඇති අතර ගල් පුවරු උප­යෝගී කොට ගෙන මෙම සොහොන් කොත් නිමවා ඇත. ඇතැම් සොහොන් කොත් ගල් පිය­න්ව­ලින් වසා තිබුණු අතර එහි අභ්‍ය­න්ත­රයේ විවිධ ප්‍රමා­ණයේ මැටි භාජන තබා ඒවායේ මළ­වුන්ගේ අළු තැන්පත් කොට තිබුණි. මෙම මැටි බඳුන් විවිධ හැඩ­යන් ගත් අතර කාල­රක්ත (කළු රතු) මැටි­බ­දුන් විශේ­ෂය (Black and Red Ware), හා රතු මැටි­බ­දුන් විශේ­ෂය (Red Ware), යනු­වෙන් වර්ග දෙක­කින් යුක්ත විය. මින් විශාල බරණි අයත් වූයේ රතු මැටි බඳුන් විශේ­ෂ­ය­ටයි. එවැනි විශාල බරණි 20 ක් පමණ ද කුඩා ප්‍රමා­ණයේ කළු රතු මැටි බඳුන් 30 කට අධික ප්‍රමා­ණ­යක් හමූ වූ බව ද සඳ­හන්ය.

කැණිම් වාර්තාවේ දැක්වෙන පරිදි මෙහිදි අනා­ව­ර­ණය කර­ගත් මැටි බඳුන් ඒවා හමු වූ සන්දර්භ, භාවි­තය හා ස්වභා­වය අනුව කාණ්ඩ 4 ට වෙන් කරනු ලැබීය. 

ඒකල බරණි (Solitary Urns) - මේවා විශාල භාණ්ඩ විය. සුසාන බඳුන් ලෙස භාවිත වී ඇත. සිරස් ආකා­ර­යට තැන්පත් කොට ඇති මෙම බරණි පිය­න­කින් (Lid cum bowl or Capstone) හෝ පිය­න්ග­ල­කින් ආව­ර­ණය කොට තිබේ.

 තර­මක් විශාල බරණි (Main urns with serving ware in the cist) - මේවා ශිලා­කු­ටීර සොහොන් අභ්‍ය­න්ත­රයේ තැන්පත් කොට ඇති ප්‍රධාන සුසාන භාණ්ඩයි. ඒවා සිරස් හෝ තිරස් ආකා­ර­යට තැන්පත් කොට තිබේ. 

වත් සිරිත් භාණ්ඩ (Supplementary serving ware) - සුසාන ගර්භ අභ්‍ය­න්ත­රයේ තැන්පත් කොට ඇති විවිධ ප්‍රමාණ හා හැඩ­ව­ලින් යුක්තය. 

පිද­විලි භාණ්ඩ (Secondary urns or Offering pots)

මෙම කැණි­මෙන් ලැබුණු බරණි ප්‍රධාන ප්‍රවර්ග (Burial type) දෙක­කට අයත් වන අතර ඒවා ශිලා මංජුසා (Stone cist) ‌ සහ බරණි (Clay urn) සුසාන යනු­වෙන් දක්වා ඇත. එමෙන්ම සුසාන වාස්තු­වි­ද්‍යාව, ඉදි­කි­රීමේ ස්වභා­වය, අන්ත­ර්ගත සුසාන ද්‍රව්‍ය සහා සුසාන බඳුන් තැන්පත් කොට ඇති ආකා­රය යන ලක්ෂණ අනුව ඒවා උප වර්ග 12 කට වර්ග කොට තිබේ.

ආය­තා­කාර හා චතු­ර­ස්‍රා­කාර හැඩ­ව­ලින් යුක්තව විවිධ ප්‍රමා­ණ­ව­ලින් ශිලා මංජුසා සුසාන ගර්භ සම­න්විත විය. එසේම පිය­න්ගල් රහිත හා පිය­න්ගල් සහිත යනු­වෙන් සුසාන දෙයා­කා­ර­යකි. බරණි සුසාන වර්ග කිහි­ප­යකි. එනම්, පිය­නක් සහිත බරණි සුසාන හා මතු­පි­ටින් පිය­න්ග­ලක් තබන ලද සුසාන බරණි යනු­වෙනි. කැණී­මෙන් සොයා­ගැ­නුණු සොහො­න්ගත කළ බරණි 47 අත­රින් 21 ම මළ­වුන්ගේ අළු තැන්පත් වූ මැටි භාජ­නය.

තඹ සහ යකඩ ලෝහ­යෙන් කළ මෙව­ලම් සහ විවිධ අමු­ද්‍ර­ව්‍ය­ව­ලින් හා හැඩ­ව­ලින් යුතු පබළු වර්ග ද ටෙරා­කොටා නිර්මාණ, මාල, වළලු, කරාබු ආදිය ද මෙහි දී හඳු­නා­ග­න්නට හැකි වූ අතර කානී­ලි­යන්, ඇගේඩ් යන දකුණු ඉන්දි­යානු කලා­ප­යට ආවේ­ණික විශේ­ෂිත පබ­ළු­ව­ලින් කළ ආභ­රණ අව­ශේෂ එයින් සොයා­ගත් විශේ­ෂිත පුරා­වස්‌තු අත­රට අයත් වේ.

සුසාන ගර්භ තුළ තැන්පත් කරන ලද පැරණි පබළු බොහෝ ප්‍රමා­ණ­යක් අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි­විය. මෙම පබළු කැණිම් කරන අව­ස්ථාවේ දී මෙන් ම ගර්භයේ තිබුණු පස් ඉවත් කොට වියළි හා තෙත හැලීමේ දී හමු වූ බව සඳ­හන්ය. තිරා­වාණ (Clear quarts) හා කානී­ලි­යන් (Carnilean) යන ඛණිජ වලින් පබළු නිමවා තිබුණු අතර මැටි මුවා පබළු (terra-cotta) ද හමූ වූ බව සඳ­හන්ය.

ඉබ්බ­න්ක­ටුව සුසා­නය ශ්‍රී ලංකා­වෙන් හමු වූ මූල ඓති­හා­සික සුසාන භූමි අතු­රෙන් විශා­ල­තම සුසාන භූමි­යයි. මුල්කා­ලීන යකඩ යුග­යට අයත් වූ මෙර­ටින් සොයා ගැනුණු මානව ජනා­වා­සය හා ඊට අනු­බද්ධ සුසාන භූමිය ලෙස ඉබ්බ­න්ක­ටු­වට නුදු­රින් සොයා­ගත් පොල්වත්ත නමින් හැඳි­න්වෙන ජනා­වාස භූමිය නම් කළ හැකිය. ඉබ්බ­න්ක­ටුව සුසාන භූමි­යට සමා­න්ත­රව ඉබ්බ­න්ක­ටුව වැවට ඉහ­ළින් මෙම පොල් වත්තේ ජනා­වා­ස­යක අව­ශේ­ෂ­යන් හඳු­නා­ගත හැකිය. එම ජනා­වා­සයේ සිටි මිනි­සුන්ගේ මළ­මිනී මෙහි මිහි­දන් කර­න්නට ඇතැයි යන්න අද­හ­සයි. සීගි­රිය සහ යටි­ග­ල්පොත්ත ප්‍රදේශ වලින් මෙම කාල වක­වා­නු­වට අයත් යැයි සැල­කෙන සුසාන හමු වූවද මෙහි විශේ­ෂ­ත්වය වනුයේ ඉබ්බ­න්ක­ටුවෙ මහ­ශිලා සුසා­නය ඉතා විශාල වීමය.

පූර්ව ඓති­හා­සික සංස්කෘ­ති­යට අදාළ (එනම්: ක්‍රි.පූ.1000, අදින් වසර 3000කට පෙර) පැර­ණි­තම සාධක ලෙස වාර්තා වන්නේ අනු­රා­ධ­පුර ඇතුළු-නුව­රිනි. විකි­රණ මාන දින නිය­මය හා ඔක්ස්කැල් කාල­නි­ර්ණය අනුව මේ සංස්කෘ­තිය ක්‍රි.පූ.1000 තරම් ඈතට දිවෙන බව ආචාර්ය ශිරාන් දැර­ණි­ය­ග­ලගේ අද­හ­සයි. එමෙන්ම මෙග­ලි­තික සුසාන ආශ්‍රි­තව පැර­ණි­තම කාල­නිර්ණ (ක්‍රි.පූ.800) දැනට කොක්එබේ ප්‍රදේ­ශ­යෙන් ලැබී තිබේ.මධ්‍ය යාන්ඔය නිම්නය තුළ යකඩ හා තඹ කර්මා­න්තය මෙන් ම රන් කර්මා­න්තය ට අදාළ තොර­තුරු ක්‍රි. පු. 800 පමණ කාලය වන විට ලැබීම ඉතා ම වැද­ගත් වේ.

හුදෙ­කලා කඳු වැට­ය­කින් වටව සරු­ප­සින් යුතු භූමි­යක් ලෙස මධ්‍ය යාන්ඔය නිම්නය ආශ්‍රිත පූර්ව ඓති­හා­සික අව­ධියේ දී එහි පරි­ස­රය සැකසී තිබුණි. එසේ­නම් පරි­ස­රය ඇසුරු කොට ගෙන පූර්ව ඓති­හා­සික ජනා­වාස ගණ­නා­වක් ස්ථාන­ග­තව ඇති බව හඳු­නා­ගත හැකිය. ගුරු­ග­ල්හින්න, දිවු­ල්වැව, කොක්එබේ, රඹෑව, වඩි­ග­වැව, තම්මැ­න්නා­ගො­ඩැල්ල, පරං­ගි­යා­වා­ඩිය යනා­දිය එසේ පරි­සර පද්ධ­තිය මුල්කොට ගෙන බිහි වූ ජනා­වා­ස­යන්ය. මෙවැනි හුදෙ­කලා කඳු හෝ ගොඩැලි සහිත භූවි­ෂ­ම­තාව නිසා ඒ පරි­ස­රයේ ස්වාභා­වික භූප­ත­න­යක් (Hollow) නිර්මා­ණය වී ඇති බවත් මේ භූප­තන ඊසා­න­දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම සමඟ ජලය රැ‍ඳෙන ස්ථාන බවට පත්වන බවත් සඳ­හන්ය. පූර්ව ඓති­හා­සික අව­ධියේ ජනා­වා­ස­වල ස්ථාන­ගත වීම පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මේදී මෙවැනි භූප­තන සහිත ස්ථාන­වල එම ජනා­වාස ස්ථාන­ගත වී ඇති බව මහා­චාර්ය සුද­ර්ශන් සෙනෙ­වි­ර­ත්න­යන්ගේ අද­හ­සයි. ඔහු පෙන්වා දෙන්නේ ඉබ්බ­න්ක­ටුව, ඉද­මො­ර­ළු­ව­වැව, පොම්ප­රි­ප්පුව යනාදි ස්ථාන­ව­ලින් මේ ජනා­වාස පිළි­බ­ඳව හඳු­නා­ගත හැකි බවයි.

දිව­යිනේ විවිධ පෙදෙස්වලින් මෙවැනි සුසාන භූමි ඉතා බහුල ලෙස හමු වූව ද ඉබ්බ­න්ක­ටුව මහා­ශිලා සුසා­නය අතීත මානව සමා­ජයේ එක් පැති­ක­ඩක් නිරූ­ප­ණය කරන ප්‍රබල සාධ­ක­යකි. මෙම තොර­තුරු අනුව සනාථ වනුයේ අතී­තයේ දී ශ්‍රී ලාංකි­ක­යන් පූර්ව ඵෙති­හා­සික යුගයේ දියුණු තාක්ෂ­ණ­ය­කින් හෙබි සංස්කෘ­ති­ය­කට හිමි­කම් කී මානව පිරි­සක් බවය.


සිළුමිණ

2020 ජූලි  12

රුක්ෂිලා වෙත්තමුණි

1 comment: