Friday, December 4, 2015

ඉතිහාසයේ සැබෑ වීරවරයන්



ඉතිහාසයේ සැබෑ වීරවරයන්ගේ අගය හා වැදගත්කම වඩාත් දැනෙන්නේ ඔවුන් ජීවත්ව සිටි යුගයට වඩා ඉන් පසු යුගයන්ටය. තත්කාලීන බලසබඳතා හා ප්‍රචාරණය තුළින් ඉස්‌මතු වන හුදු දැවැන්ත දැන්වීම් පුවරු වීරයන්ගේ මතකය ඔවුන් බලයෙන් පහව යැමෙන් පසුව ගිලිහී යන නමුත් සැබෑ යුගපුරුෂයන් ගේ මතකය, නිලඹර දිදුලන තාරකාවන් සේ යුගයෙන් යුගයට හා පරම්පරාවෙන් පරම්පරාවට ආලෝකය ලබාදෙමින් හා දිශානතිය සනිටුහන් කරමින් දීර්ඝ කාලීනව පවතී. 

මේ එවන් මිනිසෙකු ගැන විවරණයයි ....
 
ජුලියස් පුචික්  

ජුලියස් පුචික් යනු ලොව මෙතෙක් බිහි වූ අග්‍රගන්‍ය පුවත්පත් කලාවේදියෙක් මෙන්ම නොබියව පැසිසිට්වාදයට එරෙහිව සිය පන්හිඳ එසවූ මාකස්වාදී දේශපාලන ක්‍රියාකරුවෙකි. 1903 පෙබරවාරී 23 වෙනි දින චෙකොස්ලෝවැකියාවේ දිළිඳු කම්කරු පවුලක ඔහු උපත ලැබීය.

ඔහුගේ ලේඛන හැකියාවන් ඔප් නැංවුයේ දොළොස් හැවිරිදි වියේදීය. එවකට චෙකොස්ලෝවැකියාවේ පැවැති කොමියුනිස්ට්වාදී " වහලා " නම් පුවත් පතට ඔහුගේ නිර්මාණ ඉදිරිපත් කළේය. වසර විස්ස වන විට ඔහුගේ ජීවිතය පුර්ණකාලීන දේශපාලනයට යොමු විය. චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ දීප්තිමත් ක්‍රියාකරුවෙකු ලෙස පක්ෂය තුළ ප්‍රසාදයට ලක් විය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ප්‍රාග් විශ්වවිද්‍යාලයට බැඳෙමින් ජනමාධ්‍යවේදී උපාධිය හිමි කර ගත්තේය. ඉන් පසුව ජනතාව අතර ඉමහත් ජනප්‍රියට පත් වූ සඟරා කිහිපයකත් , Rudé právo ("Red Law") නම් සමාජවාදී පුවත්පතේ කතෘ වරයා ලෙසත් කටයුතු කළේය.

පක්ෂයේ තවත් දේශපාලන ක්‍රියාකාරිනියක් වූ ගුස්ටා පුචිකොවා සමග ජුලියස් පුචික් 1938 දී විවාහ වීය. එම වසර ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසරද විය. එවකට පැවැති ධනේශ්වර පාලනය ඔහුගේ පක්ෂය වූ චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්ෂය තහනම් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස රහසිගත දේශපාලනයට ඔහු ඇතුළු පක්ෂ නායකත්වය තල්ලු කරනු ලැබීය.

1939 නාසි ජර්මානුවන් චෙකොස්ලෝවකියානු අගනුවර ආක්‍රමණය කිරීමත් සමගම පළමුවෙන්ම දඩයමට ලක් වුයේ කොමියුනිස්ට්වාදීන්ය. නාසි පොලිසිය වූ ගෙස්ටාපෝ ඒකකයේ ප්‍රධානතම ඉලක්කය වුයේ කොමියුනිස්ට්වරුන්ය. නාසි ආක්‍රමණයට එරෙහිව ඔහු දිනෙන් දින ජනතාව දැනුවත් කරමින් සිය අවිය බඳු පන්හිඳ බිම නොතැබුවේය. තහනම් දේශපාලනය තුළද Rudé právo ("Red Law") පුවත්පත මුද්‍රණය කිරීම නොකඩවා කරගෙන ගිය ජුලියස් , පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් විය. නාසි ජර්මානුවන්ගේ අමානුශිකත්වයට එරෙහිව ජනතාවගේ පරමාර්ථ දිනවීමට දිවි පරදුවට තබමින් ඔහුගේ ලේඛන කටයුතු කරගෙන ගියේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු අව්‍යාජ කොමියුනිස්ට්වාදියෙකු විය.

පක්ෂයේ රහසිගත මුද්‍රණාලය තුළ දී 1942 අප්‍රේල් 24 දින ඔහු ඇතුළු තවත් හය දෙනෙකු නාසි ගෙස්ටාපෝ පොලිසියට හසුවිය. අනතුරුව ඔහු Pankrác සිපිරිගෙය තුල සිරකළේය. එහිදී මිනිසෙකුට විඳිය නොහැකි දරුණු වධ හිංසාවලට ඔහු ලක් කළේය. එහෙත් විප්ලවවාදී සදාචාරය රකිමින් තමාගේ දේශපාලන ව්‍යාපාරයත් එහි සගයිනුත් ඔහු ආරක්ෂා කළේය. වධකාගාරය තුළදීද ඔහු ලිවීම අත් නොහළේය. Notes from the Gallows හෙවත් " පෝරකයේ සටහන් " නම් සුප්‍රකට ග්‍රන්ථයට පාදක වුයේ ඔහු වධකාගාරය තුළ මරණය පෙනී පෙනී ලිවූ සටහන්ය. ජුලියස් එම රචනා සටහන් කළේ සිගරට් පෙට්ටිෙවල ඇති කුඩා තීරු මතය. පසු කාලීනව ලුයිජි නෝනෝ විසින් Notes from the Gallows නමින් ඔහුගේ සියලු සටහන් ලෝකයේ යුක්තිගරුක මිනිසුන්ගේ , සත්‍ය ගවේෂණය කරන පුවත්පත් කලාවේදීන්ගේ පරමාදර්ශය ලෙස අගනා කෘතියක් නිර්මාණය කළේය.

1943 දී ඔහු චෙකොස්ලෝවැකියාවේ සිට ජර්මනියේ බර්ලින් නගරයට රැගෙන ආවේය. ඔහුට එල්ලකළ ප්‍රධානතම චෝදනාව වුයේ නාසි ජර්මානු පාලනයට එරෙහි පුවත් ලිවීම හා රහසිගත කොමියුනිස්ට් ව්‍යාපාරයක ක්‍රියාකරුවෙකු වීමය. අධිකරණය ඉදිරියේදී නිර්භීතව නාසි පාලනය විවේචනය කළ ජුලියස් පුචික් , පුවත්පත් කලාවේදීන් යනු පාලකයන්ගේ සට්ටම්බියන් නොවන බව ලොවට පෙන්වීය. මරණය තෙක්ම ජනතාවගේ යහපත් හෙට දිනක් වෙනුවෙන් පෙනීසිටි ඔහු මෙන්ම සිය දේශපාලන සගයා වූ ජරස්ලෝව් ක්ලේකාන් සමග 1943 සැප්තැම්බර් 8 වන දින එල්ලා මරාදැමීය.

නාසි ජර්මානුවන්ගෙන් නිදහස් වූ චෙකොස්ලෝවකියාව පුර්ණ සමාජවාදී රාජ්‍යක් බවට පත් විය. ඉන් අනතුරුව ජුලියස් පුචික් එරට ජනතා වීරයෙක් බවට පත් විය. එරට පාලනය හෙබවූ කොමියුනිස්ට් පක්ෂයේ සංකේතය බවට ජුලියස් පුචික් පත් විය.

උපුටා ගන්නා ලද්දේ - චූලක බණ්ඩාරවත්ත සොයුරාගෙ රතු වැස්සෙන්..........

4 comments:

  1. වීරයරයින්ගේ ලක්ෂණ.............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ගොඩ වුණාට..!

      Delete
  2. මේක වටින සටහනක්. ඕං මාත් ෂෙයා කළා...

    ReplyDelete