Thursday, May 15, 2014

- මොණරු -



          “පත්තර කීයක කියල මංගල දැන්වීම් දැම්මද? අප්පේ..., කොහොම හරි අන්තිමට හොඳ කෙනෙක්ව හොයා ගන්න පුළුවන් වෙච්ච එක ගැන මට නම් හරිම සතුටුයි

          “ඒක නම් සහතික ඇත්ත අමාලිලැ අප්පච්චි. මගේ ඔලුවේ තිබ්බ ලොකු බරක් බිම තිබ්බ වගෙ දැනෙන්නෙ. පුදුම සහනයක්. මං බයේ හිටියෙ මේ ළමයට හතලිහ පැන්නොත් කොහොම මඟුලක් කරල දෙන්නද කියල. මොකද දැන් කාලෙ මිනිස්සු හොයන්නෙ විස්සෙ තිහෙ කෙල්ලන්වනෙ. යාන්තම් හතලිහ පෙනි පෙනීවත් බන්ඳලා දෙන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. පියල්ට කියලත් ඉතිං වයසක්යැ. අවුරුදු 49 යි නේ. හොඳට සල්ලි භාගෙ තියෙන එකේ කාල බීල සැපවත් ජීවිතයක් ගත කරන්න අපේ ලොකු දුවට බැරියැ

          අමාලිගේ දෙමව්පියන් පියල්ට මහත් සේ ආදරය කළේ, ඔහු ඉතා නිර්ලෝබිව වියදම් කරන මුදල් නිසාය. විශ්‍රාමික රජයේ සේවයකු වූ අමාලිගේ අප්පච්චීට තම වැඩිමහල් දියණියගේ මංගල්‍යය ඉතා සරුවීම මහත් සැනසිල්ලට හේතුවක් වූයේ ද පියල්ගේ මුදල්මය.

          කුඩා කල ගංගා, ඇල දොළ පනිමින් ලියදි දිගේ දිව ගිය අමාලි, දෙමහල් නිවසක අතට පයට සේවයට මෙහෙකාරියන්ගේ ද වත්තේ පිටියේ සේවයට මෙහෙකරුවන්ගේ ද සහායයෙන් ගත කළේ ඉතා සැපවත් ජීවිතයකි.

          දින, සති, මාස ඉක්ම වී විවාහ දිවියට වසරක් සම්පූර්ණ වුවද ඇය මවක් වීමට වාසනා නොලද්දීය. විවිධ විශේෂඥ නාම පුවරු යටතේ ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගේ රැකවරණය පතා නොයෙක් වර ගියත්, බෝධි පූජා පවත්වමින්, හොර සාස්තරකාරයන්ගේ හා හොර වෙද්දු පසු පස ගියත් පලක් නොවූ කල දරුවෙකු ළමා නිවාසයකින් හෝ රැගෙන හදා වඩා ගන්නට කළ ඉල්ලීම ද දෙතුන් වරකදීම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඇය දරුවෙකුගේ සුරතල් බැලීමේ ආශාව දවසින් දවස අත් හැරියේ පොත පතට වඩාත් ළංවෙමිනි.

          අමාලිගේ දළ පැහැති සමත් රූපශ්‍රීයත් නිසා ඇගේ දුප්පත්කම තමාගේ අනාගතයට බාධාවක් නොවන බව මුදල් මතම සියල්ල තීරණය කරන පියල්ට නිතර සිහිවිය. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පියල් බොහෝ සේ ඇලුම් කළේ ඉක්මනින්ම පොහොසතෙකු වීමටය.

          සාම්ප්‍රදායික රාමුවට කොටු වී සමාජයේ වෙසෙන මිනිසුන්ට අවශ්‍ය පරිදි ජීවත් වීමට කටයුතු කළ අමාලිගේ දෙමව්පියන් බරින් නිදහස් වීම සඳහා වැඩිමහල් දියණිය සල්ලිකාරයෙකුට විවාහකර දී උදම් අනිමින් දිවි ගෙවූනමුත්, තම දියණිය විඳින මානසික පීඩාව පිළිබඳ සිටියේ අනවබෝධයෙනි.

          “අමාලි...... ඔන්න අපිට වාලම්පූරියක් ලැබෙන්න යන්නෙ
          “ඒ මොකද පියල්.......?

          “මං පොඩි බිස්නස් එකකට අත ගැහුව. ඇත්තම කිව්වොත් ඒක හවුල් ව්‍යාපාරයක්. මාත්තෙක්ක තව තුන් දෙනෙක් ඉන්නව. ඔයා දන්නවද, මට ඒකෙන් ලැබෙන පළවෙනි කමිෂන් එක ලක්ෂ දහයක්.හැබැයි මං පොඩි කැපකිරීමකුත් කරනව.

          “ඒ කිවුවෙ, ඔයා මොකද්ද කරන කැපකිරීම.....?

          “ඒක සුළු දෙයක් ළමයො. මමත් සල්ලි කොටසක් දානව. තව පොඩි පොඩි කාරණා කිහිපයක් ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්නව අපෙ හවුල් කාරයන්ව සතුටු කරන්න. ඒක නෙමෙ අමාලි, ඔයත් මේ ගෙදර හිර වෙලානෙ ඉන්නෙ. අපි යමු නුවර එළියෙ පැත්තෙ පොඩි සංචාරයකට. අපිත් එක්ක තව දෙතුන් දෙනෙක්ම යනව. මං ඔයාට කිව්ව හවුල් කාරයො තුන් දෙනාගෙන් එක් කෙනෙක් ඉන්නෙ නුවර එළියෙ. ඉතිං අපි එහෙදි මීටින් එකක් තියන්න හදන්නෙ. මං හිතුවා ඔයාවත් එක්ක යන්න

          අමාලිගේ සිත සතුටින් ඉපිලී ගියේ ඇය රටතොටේ ඇවිදීමට බෙහෙවින්ම ප්‍රියකළ හෙයිනි. නිතරම මුදල් එක්ක ඔට්ටු වන තම සැමියා විවාහ වී වසරක් ඉක්ම වූ පසු යාමට සූදානම් වන ප්‍රථම සංචාරය ගැන ඇය සිටියේ ඉමහත් සතුටිනි.

          පීඩාකාරි කොළඹ නගරයෙන් මිදී පැමිණි අමාලිට, හරිත වර්ණයෙන් බැබලෙන තේ දළු අතවනා ආචාර කළේ ඉතා සොම්නසිනි. උදුවප් සීතලෙන් ඇගේ ගත මෙන්ම සිතත් හිරිවැටුණේ දළ පැහැති කම්මුල් රෝස පැහැ නංවමිනි. අමාලිලාගේ  නවාතැන්පොළ වූයේ තේ වත්තක හිමිකරුවෙකු වූ අමරසිංහගේ බංගලාවයි. ඔහුගේ පවුලේ සියලු සාමාජිකයින් ඕස්ට්‍රේලියාවේ වාසය කරන බව අමාලි දැන ගත්තේ පසු දා උදෑසන තේ මේසයේදී ඇති වූ කතා බහිනි.

          “මිසිස් බොතේජු කොහොමද ? ඊයෙ රෑ හොඳට නින්ද ගියාද ?

          “අනේ ඔවු මිස්ටර් අමරසිංහ, ගමන් මහන්සියයි මේ සීතලයි නිසා වෙන්න ඇති දන්නෙම නැතිව නින්ද ගියෙ

          “පියල්, අද කීයට විතරද අනිත් අය එනව කිවුවෙ ?

          “මං හිතන්නෙ අමරෙ, හවස තුන හතර වෙද්දි එයි

          “අද එහෙනම් අපි හැමෝටම සුන්දර රාත්‍රියක් වෙයි නේද ?

          “ඔව්, ඔව්, ....නැතිව, නැතිව

          හිරිගඩු පිපෙන සීතලෙන් ගුලිවී බංගලා වත්තේ ඇවිදීමට අමාලිගේ සිත බල කළත් කූඩැල්ලන්ට තියෙන බියෙන් ඇය එම අදහස උපන් ගෙයිහිම මරා දැමීය.
          අමරසිංහගේ පොත් ගුලට රිංගු අමාලි පොත් අතර සැරිසරා        මහල්ලා සහ මුහුද සොයා ගත්තේ පොඩි දරුවෙකු පැණි රස කෑමක් දැකීමෙන් ඇතිවන ගිජුකමිනි. මීට වසර ගණනාවකට උඩ දී විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් මේ පොත කියවා තිබුණද ඇයට නැවත කියවීමේ ආසාව ඇති කළේ බංගලාවේ ඇති හුදකලාවත් සමඟිනි. මහල්ලා සහ මුහුද ඇයගේ අතීතයේ සුන්දර දවස් සිහිපත් කළේ නොදැනුවත්මය. විශ්වවිද්‍යාල භූමියේ අමල්ගේ අතේ එල්ලී කුඩා දැරිවියක සේ ආගිය තැන් සහ කළ කතාබස් ඇයට සිහි ගැන්වූයේ හදවතේ මහත් වේදනාවක් ඇති කරමිනි.

          “අමාලි, අමල්........ෂා නියමෙට ගැලපෙනව. උඹල දෙන්න පතාගෙන ආව ජෝඩුවක් වගෙ. ඇත්තමයි බං, නම් වලිනුයි ගති ගුණයි හැම අතින්ම උඹල දෙන්න ගානට සෙට්

          “අනේ නිකං පලයං බං උදලු දාන්නෙ නැතුව. උඹත් අල්ලගනිංකො උඹටම හරියට කෙල්ලෙක්ව. මං ඕන නම් පොඩි පෝස්ටර් ව්‍යාපාරයක් දෙන්නම්
          ‘උපුල්ගෙ අත ගැනීමට සුදුසු පෙම්වතියක් සොයයි

          “අපිට කොහිද මල්ලි.... එහෙම වාසනාවක්. උඹල ඉතිං පින් කඳන්නෙ

          උපුල්ගේ මුඛරි කතාවලට අමාලිත්, අමලුත් සිනාසුනේ මුලු විශ්වවිද්‍යාල භූමියේම දෝංකාරය නංවමිනි.

          විශ්වවිද්‍යාලයේ දෙවන වසරට පිවිසෙන විට අමල්ගේ නිහඬ චරිතය ටිකෙන් ටික වෙනස් වන්නට පටන් ගත්තේ අමල්, ප්‍රගතිශීලී  ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ගැනීමත් සමඟය. වෙනදා මෙන් අත්වැල් පටලවා, පෙම්බස් දොඩමින් පාරක් පාරක් ගානේ ඇවිදින්නට දැන් අමල්ට වෙලාවක් කලාවක් නැත. ඊටත් වඩා එසේ යන්නට කැමැත්තක්ද නැත.

          “ඇයි අමල්, ඔයාට ඉස්සර වගෙ සැහැල්ලුවෙන් ඉන්න බැරිද...?

          “මාව තේරුම් ගන්න අමාලි. අපේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් අපි මොනව හරි කරන්න ඕන. මේ පවතින අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව නැගී හිටින්න ඕන. ඉතිං ඔයයි මායි විතරක් සැප විඳින්න හිතන්න එපා. අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි කැපවෙන්න ඕන අමාලි......

          අමල්ගේ දේශපාලන ජීවිතයත් සමඟ ඉතා කාර්ය බහුල වීම හේතුවෙන් දිනපතා මුණ ගැහිච්ච අමල්ව සතියකට හමාරකටවත් දකින්නට නොලැබීමෙන් අමාලි කල්ගෙවුවේ ඉමහත් වේදනාවෙනි. දිනෙන් දින රටේ තත්ත්වය අඳුරු අගාධයකට ඇද වැටෙද්දී විශ්වවිද්‍යාලය වසා දැම්මේ දින නියමයක් නොමැතිවය.

          පියල් බොතේජුගේ බිරිඳ වී වත්මනේ දිවි ගෙවන්නට ඇයට සිදු වූයේ අමල් නාදුනන තුවක්කු කරුවෙකුගේ ඉලක්කයට ගොදුරු වීමෙනි. අමාලිට බාල සොයුරියන් දෙදෙනාම විවාහ දිවියට එළඹුනද ඇය දිනෙන් දින තම කසාදය කල්ඇරියේ අමල්ගේ මතකය විටින් විට ඇගේ සිතේ හොල්මන් කළ බැවිනි.

          කොළඹින් පිටත්ව නුවර එළියේ සංචාරයට පැමිණි අමාලිට පසු දා හිරු  උදා වූයේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය.

          “අමාලි, අපි යමුද ටිකක් ඇවිදින්න. ඔයා ඊයෙ හිටන් කාමරයට වෙලානෙ හිටියෙ. දැනට අපි අමරෙ එක්ක යං. අද හවසට ඉතිං තව දෙතුන් දෙනෙක්ම එකතු වෙනවනෙ. එතකොට බැරියැ තව තැන්වල ඇවිදින්න යන්න

          “අනේ යමු පියල්, ඇත්තටම මං හරිම කම්මැලිකමෙන් හිටියෙ. එළියට බහින්නත් බයයි කූඩැල්ලො නිසා

          “අපොයි ළමයො, මොකටද උංට බය වෙන්නෙ. ඔයා ඉතිං ෆොටෝ ගන්න ආසයිනෙ. මේ ළඟ ලස්සන දිය ඇල්ලක් තියෙනව කියල අමරෙ කිව්ව. අපි එහෙ යං. එතකොට ඔයාට හිතේ හැටියට ෆොටෝ ගන්න බැරියැ.....

          අමරසිංහගේ ජීප් රථයේ නැගි තිදෙනාම දිය ඇල්ල ඇති ඉසව්වට ගියත් රථයෙන් බැසීමට පියලුත් අමරසිංහත් මැලි විය. එහෙත් අමාලි නම් සිටියේ උතුරා යන සතුටිනි. පාරෙන් මදක් ඉවත් කොට වාහනය නතර කළ සැනින් ඉන් බැසගත් අමාලි වශීකෘත වූයේ පරිසරයේ මනස්කාන්ත දර්ශන දැකීමෙනි . ව්‍යාපාර ලෝකයේ සිර වී සිටි පියල්ටත් අමරසිංහටත් ස්වභාය ධර්මයේ ඇති සුන්දරත්වය විඳීමට තරම් සංවේදී බවක් නොතිබුණි. හිතේ හැටියට පරිසරය විඳගත් අමාලි එක් එක් කෝණයන්ගෙන් ඡායාරූප කිහිපයක්ම ගනු ලැබූයේ දක්ෂ කැමරා ශිල්පිනියක ලෙසිනි.

          විවාහයෙන් පසු සතුටින්ම සිටි දවස එදින බව නැවත බංගලාවට පැමිණි මොහොතේම තම දිනපොතේ සටහන් කිරීමට ඇය අමතක නොකළාය.

          පියලුත් අමරසිංහත් බංගලා වත්තේ පෙයාර්ස් ගස් පේළිය යට ඉදි වූ බංකුවේ හිඳගෙන බැරෑරුම් සාකාච්ඡාවක නිරතව සිටිද්දී මැද සාලයේ ඉතා සුව පහසු සෝපාවේ දිගෑදී අමාලි නැවතත් මහල්ලා සහ මුහුද කියවන්නට පටන් ගත්තේ කතාබස් කිරීමටවත් එකදු ගෑනු පුළුටක් බංගලාවේ නොසිටි බැවිනි.

          පොත අතේ තිබෙද්දීම සුව නින්දකට වැටී සිටි අමාලි එක් වරම තිගැස්සී ඇහැරුණේ වාහනයක දොරවල් වැසීමත් කොක් හඬ නඟා සිනාසෙන හඬවල් කිහිපයක් එකවර ඇසීමත් සමඟය. අවුල් වූ හිසකෙස් තම ඇඟිලි තුඩු වලින් සකස් කළ ඇය සෝපාවෙන් නැගී සිටියේ තම කාමරය වෙත යාමට වුවද පියල්ගේ ඇරයුමෙන් ඇයට රැදී සිටීමට සිදුවිය.

          “අමාලි, මේ තමයි සමරවික්‍රම. මේ හැන්ඩියා තමයි විජේපාල. අමරසිංහත් එක්ක හවුල් ව්‍යාපාරය කරන්නෙ මේ දෙන්න. මං ඉතිං සහායට ඩැනී නේ .... නේද ?
          පියල්ගේ කතාවට අනිත් තිදෙනාම මහා හයියෙන් සිනාසුනත් පිරිමි ගොඩක් මැද තනි වූ අමාලි බලා සිටියේ අසරණ ගැහැනියක් ලෙසය.

          “මිසිස් බොතේජු, පොත් කියවන්න ආසයි වගෙ. අපි පස්සෙ නිදහසෙ කතා කරමුකො ඉතිං

          අමාලි කිසිවක් නොකියා කට කොනින් සිහින් සිනහවකින් සංග්‍රහ කළේ පියල්, සමරවික්‍රමව හඳුන්වා දුන් මොහොතේ ඔහු ඇයගේ අත තදින් මිරිකීම හේතුවෙනි.

         “ ඔය සමරෙ අපේ නංගිගෙ පොතක්. උඹ දන්නවනෙ ඉතිං එයා පොත් පිස්සියක් කියල. කැම්පස් යන කාලේ තමයි එයාගේ පිස්සුව වැඩිවුණෙ. එයා නැතිවුණාට පස්සෙ ඔය පොත් රාක්කයේ පොතක් ඇද්ද පළවෙනි කෙනා තමයි මිසිස් බොතේජු.“

         “ ඒ ළමයගෙ වටිනා ජීවිතය අපරාදෙ නැති වුණෙ. දැන් හිටිය නම් මිසිස් බොතේජු වගෙ හිටියි නේද..?

         “ඔව් සමරෙ. පොඩි කාලෙ හිටන්ම එයා හරිම වෙනස් විදියට හිතුවෙ. කැම්පස් එකේදී විප්ලව කරන්න ගිහින් ඔය අකරතැබ්බ වුණේ නැත්නම් අද කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණද.....“

         අමාලිගේ හිත නැවතත් අතීතය කරා දිව ගියේ එක් සැනින්ය. උණ්ඩ වලට ගොදුරු වී වටිනා ජීවිත අහිමි වෙච්ච තරුණ තරුණියෝ අතර අමරසිංහගේ නැගණිය තවත් එක් චරිතයක් පමණි.අපේ සමාජයේ මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දුන් තරුණ පිරිස කෙතරම් දැයි කිව හැක්කේ කාටද....?

          “හරි අපි එහෙනම් මුලින්ම තේ ටිකක් බීලා ඉමු නේද ? මේවා ඉතිං ෆ්‍රෙෂ් ටී. හවස් වෙද්දි බැරියෑ ඇඟ රත්වෙන දේවල් පානය කරන්න

          “ඔව්, ඔව් අමරෙ, ඒක නම් ඉතිං නැතුව බැහැනේ. වල් ඌරු මස් කෑල්ලක් එක්ක කොහොමද ගානට සෙට් වෙද්දී........

          ඉතා නිහඬ චරිතයක් වූ විජේපාල, සමරවික්‍රමගේ තොරතෝංචියක් නැති කියවීමට කිසිවක් නොකියාම සිනාසුණා පමණි.

          රාත්‍රි හතට පමණ සිවු යහළු වික්‍රමය බෝතල් මූඩි අරින්නට පටන් ගත් විට, අමාලි සිටියේ මහල්ලා සහ මුහුදේ අවසන් භාගයට ළංවෙමිනි. එක් වරම කාමරයේ දොරට සන් කරන හඬක් ඇසීමෙන් තිගැස්සුණු ඇය දොර වෙත ගියේ දෙගෙඩියාවෙනි.

          “නෝනා, කෑම ලෑස්තියි. අපේ මහත්තය කිවුවා නෝනට කන්න දෙන්න කියල. මහත්තයල කද්දි ගොඩාක් රෑ වෙයි කිව්ව

          පියල්ගේ ලෝකයේ මේ අවස්ථාව වෙද්දි සිටියේ අමරෙත්, සමරෙත්, විජේත් පමණි. ඇයට කෑමට පවා ආරාධනය ලැබුණේ අමරසිංහ හරහාය. ඉතා සතුටින් ආරම්භ කළ දවස රාත්‍රිය උදාවෙත්ම මොකක්දෝ මූසල හැඟීමකින් වෙළාගත් බව අමාලිට දැනුණේ තමා බංගලාවේ හුදකලා වීමෙන් ඇති වූ පාළුවෙනි. උදුවප් සීතලෙන් මුළු ඇඟම ගල් ගැහී ඇතැයි ඇයට දැනුණි. ඉතා රසවත්ව කෑම පිළියෙළ කොට තිබුණත් අනාගත් බත්කට කෑමටවත් ඇයට රුචියක් නොවීය. පෙයාර්ස් ගෙඩි දෙකක් රාත්‍රී ආහාරයට ගත් අමාලි තම කුටියට වැදුණේ ඉක්මනින්ම නින්දට යාමටය.

          රාත්‍රී නිදන ඇඳුමෙන් සැරසුණු ඇය නින්දත් නොනින්දත් අතර පසුවූයේ පියල් ඇතුළු කණ්ඩායමේ කෑකෝ ගැසීම් නිසාය. පැයකට පමණ පසු යාන්තමට දෑස් පියවී ගෙන එන විටම කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසුණත් ඇය ඇඳටම වී සිටියේ පියල් නම් දොර ඇරගෙන එතැයි යන හැඟීමෙනි. එහෙත් පියල් වෙනුවට දොරෙන් ඇතුළු වූයේ සමරවික්‍රමයි.

          “අං......ආ.. ඇයි මිස්ටර් සමරවික්‍රම ? ඔයාට කාමරය පැටලුනාද ?

          “නැහැ නැහැ ඩාලිං. ඔයා හිතුවද මට වෙරි කියල. අපි තාම හරියට බොන්න පටන් ගත්තෙත් නැහැ. මං මේ ඔයාව හොයාගෙනම තමයි ආවෙ. බය වෙන්න එපා. අයිතිකාරයා ගෙදර නැහැ. ඒ ගොල්ල ටවුමට ගියා මොනාද අරං එන්න

          සීතලෙන් හිරිගඩු පිපී තිබුණු ඇගේ මුළු සිරුරම ගිනි ජාලාවක් මැද දැවී ගියේ නිමේෂයකිනි. සමරවික්‍රමගේ හැඩි දැඩි සිරුර සමඟ ඔට්ටු ඇල්ලීමට නොහැකි වූ අමාලි ඔහුගේ ගොදුරට හසුවූයේ ඇගේ දුබල ස්ත්‍රීත්වය හමුවේය.      

          සතර දිග්භාගයේම මිනිස් වාසස්ථානයක් නැති අක්කර තිහ හතලිහක තේ වත්තක් මැද පිහිටි බංගලාවේ තනි වූ ඇයට පියල්ගේ ව්‍යාපාරික හවුල්කාරයන්ව සතුටු කිරීමට සිදුවූයේ, ඔහු ඇස් කන් නැත්තෙකු සේ සිටීම හේතුවෙනි.
         පසුදා පාන්දරින්ම බංගලාවෙන් පැන යාමට දෙතුන්වර උත්සාහ කළද ඇගේ බලාපොරොත්තු සුන් කරමින් ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි සේ  අසාර්ථක විය.
                    තෙදිනක් තිස්සේ ගත කළ අපුල ජීවිතයෙන් මිදී නැවත කොළඹ පැමිණි මොහොතේ අමාලි වඩාත් කම්පාවට පත්වූයේ පියල් කිවූ කතාවෙනි.

          “අයියෝ අමාලි, මොකටද මූණ එල්ලගෙන ඉන්නෙ. ඕක සුළු දෙයක්නෙ. ඇත්තටම මං ඔයාව කසාද බැන්ඳෙ ඔයාගේ ලස්සන හින්ද. මං හිතුව කවද හරි මගෙ ව්‍යාපාර දියුණුකර ගන්න ඔයාව පාවිච්චි කරනව කියල. අන්න ඒ නිසා තමයි මං ඔයාගෙ දුප්පත්කම ගණන් ගත්තෙ නැත්තෙ. මට කියන්න, දැන් ඔයාට මොනවයින්ද අඩු කියල. යාන වාහන, ගෙවල් දොරවල්, අතට පයට වැඩකාරයො හැම දෙයක්ම තියෙනව. ඉතිං මං වෙනුවෙන් සුළු උදව්වක් කරාට මොකද වෙන්නෙ......

         සැදෑසමයට පා තබා සිටින තම දෙමව්පියන්ගේ හිත් අසතුටු කිරීමට අපොහොසත් වූ අමාලි මෙතරම් නිහීන වැඩක් කළ, නීතියෙන් පමණක් සැමියා වූ පියල් සමඟ කල් යැවුවේ ඉමහත් පිළිකුලකිනි.

         අප්‍රසන්න නුවර එළි සංචාරයෙන් මාසයක් ඉක්ම යාමෙන් පසු අමාලි හදිස්සියේම අසනීප වූයේ ඇගේ දෙමව්පියන්ද පැමිණ සිටි මොහොතකය. තදින් හටගත් හිසරදයත් සමඟ නිතර නිතර ක්ලාන්ත වීම හේතුවෙන් ඇයව වෛද්‍යවරයෙකු වෙත ගෙනයාමට අමාලිගේ දෙමව්පියන්ට සිදුවූයේ පියල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිවසින් බැහැරව සිටි නිසාය. වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු ඇය ගැබ්ගෙන ඇති බව ප්‍රකාශ වීමෙන් අමාලිගේ හිසේ රුදාව තවත් වැඩි විය. එහෙත් ඇයගේ ගැබ් ගැනීමේ ආරංචිය වෛද්‍යවරයා පැවසුවේ අමාලිගේ දෙමාපියන් බොහෝ සතුටු කරමිනි.

         ඇය ගැබිනියක් බව දැන ගත් දා සිටම අමාලිගේ දෙමාපියන් ඇයත් සමඟ එම නිවසේ වාසය කිරීම හේතුවෙන් හදිසියේ ගැබ්ගත් කළලය සම්බන්ධයෙන් කිසිවක් කරකියා ගන්නට අමාලිට නොහැකි විය.

         දිනෙන් දින වර්ධනය වන ඇගේ දරු ගැබ දෙස බලා ඔවුන් බොහෝ සතුටු වූයේ පවුලේ වැඩිමහල් දියණියගේ කුළුදුල් දරුවා වීම හේතුවෙනි. අමාලිගේ රුචි අරුචිකම් හොඳින් දන්නා මව ඇයට උවමනා සියලු කෑම බීම තමන්ගේ අතින්ම පිළියෙල කර දුන්නේ ඉමහත් සැලකිල්ලෙනි.

         පියල්ගේ හැසිරීමේ රටාවද වෙනස් වූයේ අදහාගත නොහැකි ආකාරයකිනි. දිනෙන් දින විශාල වන දරු ගැබ දෙස ඉතා ආසාවෙන් බලා සීටීම ඔහුගේ දවසේ එක් රාජකාරියක් විය.       

         දරුවෙකුගේ සුරතල් බැලීමට පෙරුම් පුරමින් සිටි අමාලි තමන්ට උදා වී තිබෙන්නේ භාග්‍යයක්? දැයි අභාග්‍යයක්? දැයි  යන මහත් පීඩාකාරි හැඟීමෙන් කල්ගෙවත්ම ඇගේ දරු ගැබ මෝරා දරුවා ප්‍රසූත කිරීමේ කාල වකවානු ළංවිය.
         දහසක් සිත් තැවුල් මත ඇය බිහිකළේ පුතෙකි. “මොණරු“ මතම පියාඹන පියල්ට දරුවා කාගේ වූවත් කම්නැත. සමාජය ඉදිරියේ පාරම්බාන්නට දැන් ඔහුට පුතෙකු ඇත.

          පියාගේ නම පියල් බොතේජු ලෙස උප්පැන්නයේ ලියවිණි. එහෙත් මේ දරුවාගේ පියා කවුරුන් විය හැකි දැයි දන්නේ අමාලිත් පියලුත් පමණි. ඒත් ඔවුනුත් නිවැරැදිව නොදන්නා ගානය.

          පුතාගේ තාත්තා අමරසිංහද? සමරවික්‍රමද? විජේපාලද ? යන නොවිසදුණු පැනයෙන් යුක්තව ඇය තම පුතුව තරයේ වැළඳ ගත්තේ ඉමහත් මාතෘ සෙනෙහසිනි.





-       රුක්ෂිලා වෙත්තමුණි - 

25 comments:

  1. මේ සියලු අභාග්‍යයන් එකම දම්වැලක පුරුක් වාගෙයි නේද රුක්ෂිලා - ජීවිතය - සෙනෙහස - එක් වකවානුවක මැරුණ හැටිත් - සිත් පිත් නැති මොණරුන් රඟන - පතන ලෝකයක අසරණ ජීවිත මැරි මැරී උපදින හැටිත්. එක් චරිතයක් වටා ගොඩ නැගුනත් මට නම් මේ කෙටි කතාව කතාව මහා කතාවක් කියනවා වාගෙයි. ඉතා අපූරු කතාවක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සොයුරිය............!

      Delete
  2. හම්මේ හරිම අපූරු කෙටි කතාව, මේවගේ පාවිච්චි වෙන බිරින්දෑ වරු කොච්චර නම් ඇතිද?, එත් කනගාටුවට කරුණ තම දුවව පුතාව හරියටම තේරුම් නොගත් දෙමාපියන් තවමත් සිටීමයි. තව මුද්හල් වලින් හැමදේම මනින මිනිස්සුත් එක්ක ඔය වගේ සිද්ධි අරුමයක්ම නෙවේ. කතාවේ අවසානය වෙනමම අන්තයකට පාටකයව අරගෙන ගියා, කතාව හොඳට රසවින්දා, ඔබේ නිර්මාණ හැකියාව උපරිමයි, ඔබට ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඔබට.........
      මං තාමත් ආධුනිකයි. මේ මගේ තුන්වෙනි කෙටිකතාව. අනිත් කතා දෙකත් ඉදිරියේදී දාන්නම්. ඒවත් බලල ගුණ දොස් කියන්න. ඒක මගේ ඊළඟ නිර්මාණයට ලොකු පිටුවහලක් වේවී.

      Delete
  3. mamath kiyewwa akke... Lassana kathawak... :)

    ReplyDelete
  4. ස්තූතියි රුචිර.........!

    ReplyDelete
  5. හොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
    මෙය ඇඩ් එකකි.
    http://premalathaa.blogspot.com/

    ReplyDelete
  6. ඇත්තටම මෙහෙම දේ මේ සමාජයේ වෙනවා. එහෙම දේවල් ගැන ලියන එක හොඳ දෙයක්. මොකෝ සමහරු හිතන්නේ මේ දේවල් හිතලුය කියලා. ඒත් උන් නම් පිරිමි නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන් සොයුර මේ පැත්තට ගොඩ වැදුනට.............!
      ඔව් ඒක නම් ඇත්ත. මේ වගේ සිද්ධි අපි නොදැනුවත්වම කොච්චර සිද්ධ වෙනවා ඇතිද. නීතියෙන් පමණක් ස්වාමියා වූ මෙවන් සල්ලි කෑදරයෝ නිසා දුක් විඳින කාන්තාවන් සමාජයෙන් වහන් වෙලා කොපමණ ඇතිද කියල මට නිතරම හිතුනා.

      Delete
  7. මට නං මුල හරිය කියවන කොටම තේරුණා මේ ගොනා හැරිල තියෙන්නෙ එසේ මෙසේ හැරිල්ලක් නෙවී කියල... මොනව වුණත් ළමය හම්බුණ එකෙන් එයා අතින් අතට යන එකෙන් බේරුණ එක නං ලොකු දෙයක්...
    අපූරු කෙටි කතාව..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් සොයුර.........!

      Delete
  8. රුක්ෂිලා ඔබේ ඔබට හුරු වූ කවියෙත් ලේඛණ කලාවෙත් රස නුමුසු බස ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.

    බොහොම අපූර්වත්වයෙන් ගලාගෙන ආ කෙටි කතාවක්. මිනිස් ලෝකයේ තවත් පැතිකඩක්

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ..........!

      Delete
  9. godak hoda keti kathawak.mama oyata thawa deyak kiyanna kamathi.gahaniya gana thawa adyanayaka yeddenna.thawa radical widihata yatharthaya baluwaki.suba pathanawa thawa hoda keti kathawak liyanna

    Derrick

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි..........!

      Delete
  10. රතු මාමාThursday, May 22, 2014 6:43:00 PM

    අප්පේ දැන්නෙ බොලේ මේ දැරිවිගේ “මොණරා“ දැක්කේ.
    ඇත්තටම මේ වගේ කරුම ජීවිත ගෙවන කාන්තාවෝ අපේ සමාජයේ කෙතරම් නම් ඇතිද?
    හොඳයි අමුතුම ප්‍රස්තුතයක්......
    දිගටම ලියන්න
    ජය......!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතු මාමේ...........!

      Delete
  11. සමහර වාක්‍යවලින් නියමිත් අර්තය එන්නේ නෑ කියා හිතුණා. උදාහරණ පසුව ඩෙන්නම්.Phone එකෙන් copy and paste කිරීම අසීරුයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කකා. ඔව් ඒ වැරදි පෙන්නල දෙනවා නම් සතුටුයි.

      Delete
    2. බොහෝම ස්තූතියි ඉතා විස්තරාත්මකව ලියා අඩු පාඩු පෙන්වා එවු මැසේජ් එකට..........

      Delete
  12. මේ කතාව මීට පස්සෙ ලියපු කතාවට වැඩි හොඳයි. කොහොම උනත් කතාවක් කියන ආකාරයට කෙටි කතාවක් ලියන්නෙ නැතිව කෙට්කතාවක ස්වභාවයෙන් ලිව්වනං තවත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රාජ්..........!
      මේ මං ලිව්ව තුන්වෙනි කෙටිකතාව. කලින් දාලා තිබ්බේ දෙවෙනියට ලිව්ව කතාව. ඒ කියන්නේ “පුනරාගමනය“.
      තාම කෙටිකතා කලාවට පුංචි කළලයක් විතරයි. තව කාලයක් යයි ටිකක් පණ ගහල එන්න. මේ පුහුණුවෙන කාලයනෙ.

      Delete
    2. අභිමාන්වලට කල් තියෙනවා!

      Delete
    3. එසේය එසේය කකා...........

      Delete