Tuesday, February 25, 2014

කර්නල් පදිවි කුමටදැයි මිහිපිට දෙවියන්ට........



කර්නල් පදවි නැතිවාට තමාගේ යුතුකම මැනවින් ඉටු කරන මෙවන් විදුහල්පතිවරු මිහිපිට සිටිනා දෙවිවරුන්ය.  ඉතිං එවන් උතුම් මිනිසෙකුට කරන ගෞරවයක් විදියට අද මේ සටහන දිවයින පුවත් පතින් උපුටා දක්වන්න හිතුණා.

හරි පුදුම ඉස්‌කෝලයක්‌ හැදූ  වලස්‌බැද්දේ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා...........

* පාසලට විදුලිය ගන්නෙ විදුලි බලය හෝ සූර්ය කෝෂ නැතිව
* අඩි සීයක්‌ උඩින් තියන ඉස්‌කෝලෙට වතුර ගන්නෙ මෝටරයක්‌ නැතිව
* පාසලට තියෙන්නේ වයින් නොකර බැටරි නැතිව ක්‍රියාත්මක වන ඔරලෝසුවක්‌



                  වලස්‌බැද්ද ඉස්‌කෝලය වසා දමන්නට නියමිතව තිබුණේය. වලස්‌බැද්ද ඉස්‌කෝලය පිහිටා තිබුණේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේය. ඇල්ල අධ්‍යාපන කොට්‌ඨාසයේය. කුඹල්වල බස්‌රථයෙන් හල්පේට පැමිණ එතැන් සිට වලස්‌බැද්ද කන්ද නගිමින් දුෂ්කර ක්‍රියාවක්‌ කර පැමිණිය යුතුව තිබූ වලස්‌ගල ඉස්‌කෝලයට ගුරුවරයෙක්‌වත් එන්නට කැමති වූයේ නැත. එන ගුරුවරුන් මොනම හෝ කනපින්දමක්‌ ගහගෙන පුළුවන් ඉක්‌මනින් පාසල හැර තම සේවයට සුකර පහසුකම් සහිත ස්‌ථාන සොයාගෙන ගියහ.

                     කෙසේ වෙතත් වලස්‌ගල ඉස්‌කෝලය මුලින් සාර සුබාවට තිබුණු එකකි. ඒ ඉස්‌කෝලයේ මුලින්ම සිසුහු 400 ක්‌ පමණ ඉගෙන ගත්හ. එහෙත් 1994 පමණ වනවිට පාසලේ සිටියේ දරුවන් 20 ක්‌ පමණය. දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා වලස්‌ගල ඉස්‌කෝලයට එන්නේ ඔය අස්‌සේය. දයානන්ද මහත්තයා වලස්‌ගල ඉස්‌කෝලයට එන්නට කලින් හිටියේ බොහෝම ගෞරවයට පාත්‍රවෙමින් තිබුණ බණ්‌ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙසය. ඉන් පස්‌සේ පේරන්දෝරුව විදුහලේ විදුහල්පතිව සිටි හෙතෙම වැහෙන්නට යන වලස්‌වැව ඉස්‌කෝලයට එන්නේ වර්ෂ 1994 දීය. අද වලස්‌වැව ඉස්‌කෝලය මධ්‍යම පළාත බබළවන පාසලකි. මේ වනවිට පාසලේ දරුවෝ දෙසීය තිස්‌පහක්‌ අධ්‍යාපනය ලබති. වලස්‌වැව පාසල ගොඩනැගූ දයානන්ද රත්නායක ඉස්‌කෝලෙ මහත්තයා ඒ දුෂ්කර වු සද්ක්‍රියාව ගැන අපට කියන්නේ මෙසේය.

               "මං දැනගෙන හිටියා මට තියෙන අභියෝගය ගැන. මං ඇවිත් හිටියෙ ඈවර කරන්න හදන පාසලකට. මේ වගේ ඉස්‌කෝලයක්‌ ගොඩනගන එක ඉතාම සරල දෙයක්‌ නෙමෙයි. මොකද ආකල්පමය වශයෙන්ම ඉස්‌කෝලෙ මිනිස්‌සුන්ගෙන් ඈත් වෙලා තිබුණෙ. පාසල් වත්ත වත් නෑ.

                අක්‌කර 05 ක්‌ පමණ තිබෙන පාසල් වත්ත අහල පහල අය අල්ලා ගෙන තිබුණා. ඒ නිසා පාසල් භූමිය නිරවුල් කිරීමේ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන්න මුලින්ම සිද්ධ උනා. නොයෙක්‌ බාධක ආවා. තර්ජන ආවා. ඒවා එච්චර හිතුවෙ නෑ. අන්තිමට පාසල් වත්ත නිරවුල් කරගත්තා."

           "මුලින්ම පාසලේ භෞතික සම්පත් ටික දියුණු කළ යුතු වුනා. ඉස්‌කෝලෙට වතුර තිබුණෙ නෑ. කම්කරුවා උනෙත් මම... ඉංජිනේරුවා උනෙත් මම... අන්තිමට මං පරීක්‌ෂණ කරලා වතුර මෝටරයක්‌ නොමැතිව අඩි සීයක්‌ පමණ ඉහළින් තියෙන ඉස්‌කෝලෙට ජලය ලබා ගත්තා... ඒ වැඩේ සරලව කියනවනම් මෙහෙමයි සිද්ධ උනේ... මං ළිං පත්ලට උමගක්‌ කපලා අ`ගල් 6 ක බටයක්‌ එළුවා. එතෙන්ට අ`ගල් පහ හමාරක බටයක්‌ සවි කරලා පියවරෙන් පියවර ඉහළට එන්නට කුඩා බට යොදා ගත්තා... ඒ ක්‍රමයට මට මුළු පාසලටම වතුර දෙන්න පුළුවන් උනා..."

           "අතීතයේ සීගිරියේ ගල මුදුනටම ජලය ගෙන ගියෙත් මේ මූලධර්මය පාවිච්චි කරලා. වතුර මෝටරයක්‌ නැතිව පාසල් භූමියෙ අඩි 100 ක්‌ උසට වතුර ගෙනිච්ච අපි පාසල් භූමියේ වතුර මල් පවා සවි කර තිබෙනවා. මෙම නිර්මාණයට හිමිකම් පත්‍රයක්‌ (පේටන් බලපත්‍රයක්‌) ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස්‌ කර ගෙනයන බැවින් එම ජල සැපයුම් ක්‍රමය පිළිබඳව අදාළ කරුණු සම්පූර්ණයෙන්ම අනාවරණය කිරීමට නොහැකියි. මේ වන විට විදුහලේ සියලුම අවශ්‍යතාවයන් සඳහා මෙම ළිෙඳන් වසර පුරාවටම ජලය ලබා ගන්න පු`ඵවන්. කිසිම වියදමක්‌ යන්නේ නැහැ."


                පාසලට විදුලිය තිබුණෙ නෑ... පරිගණක වැඩ කළේ සූර්ය කෝෂ වලින්.. ඒ හින්දා මං විදුලිය නැතිව ක්‍රියාත්මක වන ජංගම විදුලි නිෂ්පාදන යන්ත්‍රයක්‌ හැදුවා... විදුලිය අවශ්‍ය ශබ්ද විකාශන ක්‍රියාත්මක කිරීම, කැසට්‌ රෙකෝඩර් හා රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම වාගේ විදුලිය අවශ්‍ය කටයුතු පවත්වාගෙන යන්නෙ මේ ජංගම විදුලි කෝෂයෙන්... විදුලි පහන් දල්වන්නත් මේ ජංගම විදුලි කෝෂයෙන් පුළුවන්... මේ විදුලි කෝෂය යොදාගෙන කාමරයක්‌ සිසිල් කිරීමේ පද්ධතියකුත් මම සකස්‌ කරලා තිබෙනවා. මෙම උපකරණයට සවිකර තිබෙන ඕල්ටනේටරය (ඩයිනෝමෝවක්‌ වැනි) නිසා මෙහි ස්‌විචයක්‌ දැමූ ගමන් මේ විදුලි කෝෂය ක්‍රියාත්මක වෙලා විදුලිය නිපදවනවා. වැහි කාලෙට සූර්ය කෝෂ වලින් පරිගණක වැඩ කරන්නෙ නෑ... ඒ වෙලාවට මෙමගින් පාසලේ පරිගණක කිහිපයක්‌ ක්‍රීයා කරන්නෙ මේ ජංගම විදුලි උත්පාදකයෙන්. ඒ වාගේම මෙම උපකරණය මගින් විදුලිය නිෂ්පාදනය කරන අතරම එම උපකරණයට අවශ්‍ය විදුලිය තැන්පත් කර ගැනීමක්‌ සිදු වෙනවා. zවිදුලිය නිෂ්පාදනය වැඩිපුර සිදුවෙනවා නම් මෙම උපකරණයෙන් පෙන්නුම් කරනවා. එ වාගේම විදුලිය නිෂ්පාදනය වන ප්‍රමාණය අඩුනම් ඒ ආකාරයේ දැනුම්දීමක්‌ සිදු කෙරෙනවා. එවිට මෙම උපකරණය මගින් අවශ්‍ය මට්‌ටමට විදුලිය නිෂ්පාදනය කරනු ලබනවා."



                   "මෙය සැකසීම සඳහා මම භාවිතා කලේ අපතේ යන දේවල්. නිෂ්පාදනයට මට වැය වුණේ රුපියල් 3500 ක මුදලක්‌ පමණයි. ඉදිරියේදීත් මෙය තවත් වැඩි දියණු කර මෙම ජංගම විදුලි උත්පාදන යන්ත්‍රය වෙළෝදපළ සඳහා නිෂ්පාදනය කිරීමට කටයුතු කරන්න මං හිතාගෙන ඉන්නවා. දැනට මේ උපකරණයට පේටන්ට්‌ බලපත්‍රය ලබාගන්න ඉල්ලුම් කරලා තියෙන්නෙ."

            "මේ විදිහට පියවරෙන් පියවර පාසල ගොඩනැගෙද්දී දෙමව්පියන් පාසල වටා එකතු වුණා. දෙමව්පියන්ගේ සිත්ද දිනාගනිමින් පාසල ගොඩනගද්දී දිනෙන් දින පාසලට සිසුන් වැඩි වැඩියෙන් ඇතු`ඵ වන්නට වුණා. වසර කිහිපයක්‌ යනවිට 9 ශ්‍රෝණිය දක්‌වා පන්ති පැවැත්තුවා. ඉතින් 10 ශ්‍රෝණීය සමත් සිසුන් ඒ ආසන්න පාසලකට ගියා. ඒත් ඒ විදුහලේ විදුහල්පතිවරයා වලස්‌බැද්ද ඉස්‌කෝලෙන් 10 පන්තියට එන ළමයින්ව "හි`ගන්නෝ මේ පාසලට ගන්නේ නැහැ" කියලා අමානුෂික විදිහට එළවගෙන තිබුණා. අවසානයේදී අධ්‍යාපන බලධාරීන්ගේ නිසි අවසරය සමගින් තාවකාලික මඩුවක්‌ තුළ සාමාන්‍ය පෙළ දක්‌වා පංති ආරම්භ කළා. පසුව එය උසස්‌ පෙළ දක්‌වා වර්ධනය කළා."

            "අන්තිමට 2013 අවුරුද්දෙ අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි දරුවෝ සියලුම දෙනා විභාගයෙන් සමත් කරන්න අපට හැකි වුණා. අපේ රටේ දරුවො දක්‌ෂයි... මේ පුංචි ක්‍රිඩා පිටියෙ පුහුණු වෙච්චි දරුවො සමස්‌ථ ලංකා තරගවලින් දිනුවා... කථික තරග වලින්, සාහිත්‍ය තරග වලින් ජාතික මට්‌ටමෙන් දස්‌කම් දැක්‌වීමටත් අපේ ඉස්‌කෝලෙ දරුවන්ට හැකි වුණා."

                මේ පුදුමාකාර ගුරුතුමා අපව මවිත කරන්නේය. මෙහෙම මිනිස්‌සු මෙවන් සමාජ ක්‍රමයක්‌ තුළ ඉතිරිවී ඇති බව දැනෙන විට ඊටත් වඩා පුදුම හිතෙන්නේය. සැතපුම් තුනහමාරක්‌ පා ගමනින් එන විදුහල්පතිවරයා පාසල උදෑසන 6.30 ට ආරම්භ කර භාවනා වැඩසටහනක්‌ පවත්වනු ලබයි. විදුහලේ අනෙකුත් ගුරු පිරිවර උදෑසන 7.30 වන විට පාසලට පැමිණ සිසුනට ඉගැන්වීම් කටයුතු= මැනවින් සිදුකරයි. දැන් බණ්‌ඩාරවෙල අධ්‍යාපන කලාපයේ සෑම දෙනා අතර ජනප්‍රියම සුවිශේෂී පාසල වලස්‌බැද්ද ඉස්‌කෝලේය. මේ ඉස්‌කෝලේ ගැන තවත් අරුම කතා බොහෝ තිබේ.

                  වලස්‌බැද්ද අවට හැම ඉස්‌කෝලයටම විද්යුත් ඔරලෝසු ලැබුණේය. ඒත් වලස්‌බැද්දට ලැබුණේ නැත. හේ ඇස්‌බැස්‌ටොස්‌ ෂීට්‌ එකක්‌ උපයෝගී කරගෙන බැටරි බලයෙන් හෝ වයින් නොකර ක්‍රියාකරන ඔරලෝසුවක්‌ හැදුවේය. යු හැඩයේ නළයකට පුරවා ඇති ජල බිංදු මගින් මේ ඔරලෝසුව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වුණේය. මේ ඔරලෝසුව තුන් වරක්‌ කිසිවෙක්‌ විසින් කඩා දා තිබිණි.

                  අවසානයේ එහි තාක්‌ෂණික ක්‍රියාකාරීත්වය එළිදක්‌වන කොටස ගලවා ඉවත්කර තැබීමට ඔහු පියවර ගත්තේය.

                    වලස්‌ගල ඉස්‌කෝලේ හරි පුදුම ඉස්‌කෝලයක්‌ වන්නේ මේ වික්‌ෂිප්ත තාක්‌ෂණික මෙවලම් නිසාම නොවේ. වෙන කිසිම පාසලක අපට ප්‍රකට නොවන විනයක්‌ මේ ඉස්‌කෝලේ තිබීම නිසාය. ස්‌වයං විනයක්‌ පවත්වා ගැනීමට දරුවෝ මෙහෙයවා සිටිති.

             පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී බිස්‌කට්‌ පැකට්‌ එකක්‌වත් රැගෙන ඒම තහනම්ය. ඔවුන් රැගෙන ආ යුත්තේ බුලත් හුරුල්ලක්‌ පමණි. එම දරුවන්ට පාසල් බෑගය සහ පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ලැබෙන්නේ විදුල්පතිවරයාගේ පඩිපතිනි. නිවාසාන්තර ක්‍රීඩා උළෙළ තිබුණද එයටද මුදල් එකතු කිරීම තහනම්ය. සහතික පත් සහ අනෙකුත් වියදම් සඳහාද මුදල් ලැබෙන්නේ රත්නායක විදුහල්පතිවරයෙගේ සාක්‌කුවෙනි.
                 ඒ සඳහා විදුහලේ ගුරු මණ්‌ඩලයද නිරන්තරයෙන් දායකත්වය ලබා දෙමින් සිටිති. විදුබිමෙහි වගා කරන ලද ගොටු කොළ වගාවෙන් නෙළන අලුත්ම ගොටුකොළවලින් සතියකට වතාවක්‌ සිසු දරුවන්ගේ පෝෂණය නංවාලීම සඳහා කොළ කැඳ ලබාදීම සිදුකරනු ලබයි. පාසලේ සරුවට වැවී තිබෙන කෙසෙල් වගාවේ අස්‌වැන්න දිනපතාම වාගේ සිසු දරුවන් හට ආහාරයට ලැබේ. විදුහල්පතිවරයාගේ කෙතේ වගා කරනා දේශීය වී වර්ග සහල් කර මත තබා ගෙන සැතපුම් ගණන් දුෂ්කර මාර්ගයේ පා ගමනින් ගෙනවිත් පාසලට පැමිණෙන සියලු දෙනාහට ආහාර සකස්‌ කරදෙන්නට හේ නිර්ලෝභී වේ.

                   අපි හරිපුදුම ඉස්‌කෝලේ දෙස මහා ප්‍රසන්න හැඟිමකින් බලා සිටියෙමු... මිනිසුන්ට ලෝකය වෙනස්‌ කළ හැකි ප්‍රමාණය පිළිබඳ සජීවී ආදර්ශයක්‌ ඈත දුෂ්කර ඇල්ල වලස්‌බැද්දෙන් ලෝකයට ලබා දී ඇති අයුරු මොහොතකට අප දෙනෙත් බොඳ කරනු ලැබුවේය.
                                                                                                                                -සුසන්ත අමරබන්දු-




Sunday, February 23, 2014

ආණ්ඩුව ෆේස්බුක් තහනම් කළොත් ඉන් රිංගා යා හැක්කේ කෙසේද?


මොකක්ද මේ ෆේස්බුක්.............

"ෆේස්බුක් කියන්නේ ඇත්තටම දැලි පිහියෙන් කිරි කනව වාගේ තැනක්". ඒ නිසා සුදුසු නුසුදුසු දෑ තෝරා බේරා ගෙන කෑම අප කාගෙත් වගකීමය. ඉතිං මේ දවස්වල ෆේස්බුකිය ගැන විවිධ අයුරින් චෝදනා, මඩ ප්‍රහාර එල්ලවෙමෙනුයි පවතින්නෙ. මාත් බොහෝ කාලයක් ෆේස්බුක් ගිණුමක් අටවාගෙන ඇති මුත් අද වෙනතුරු සිදු වූ අකරතැබ්බක් නම් නැත. ඒත් මේ පෝස්ට් එක පළ කළාට පස්සේ නම් කුමක් වනු ඇතැයි දන්නේ කවුරුන්ද? කවුරු කොහොම කිව්වත් ෆේස්බුක් එක කියන්නෙ අද මුළු ලෝකෙම දළු දාමින් පැතිරී යන විශාල සමාජ ජාලයක්. කොටින්ම කිව්වොත් භාණ්ඩයක් මිලදී ගත්තත් එහි පසෙකින් යොදා තිබෙන්නෙ ඔවුන්ගෙ ෆේස්බුක් ගිණූමේ ලිපිනයයි.

පැණිම පැණි රස අඹ යායක් මැද්දේ කොහොඹ ගහක් පැළ කළාම, ඒ ආසන්නයේ තියෙන අඹ ගහේ අඹ, කොහොඹ ගහේ තිත්ත නිසා පැණි රස වෙනුවට තිස්ස රස ආවොතින්, අපි කරන්නේ මුළු අඹ යායම කපලා විනාශ කරල දාන එකද? නැතිනම් අර කොහොඹ පැළේ කපල දාන එකද?

අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි දැන් මේ ෆේස්බුකියටත් වෙලා තියෙන්නෙ. එකෙක් දෙන්නෙක් හෝ තුන් හතර දෙනෙක් මළාට ලක්ෂ සංඛාත ජනයාගෙ ෆේස්බුක් ගිණුම් අත් හිටෙව්වම ප්‍රශ්න විසදෙනවද?

ජරා ජීර්ණ වෙච්ච දේශපාලන සමාජයක ෆේස්බුකියෙන් සිදුවන හානියට වඩා කෙතරම් හානියක් සමාජයට සිදු වෙනවාදැයි සිතන්න ලොකු පුටුවල ඉන්නා ලොකු මිනිසුන්ට හිතන්නට වෙලාවක් නැත.

ඉතිං කාරණා කෙසේ වෙතත් මේ ෆේස්බුකියෙ තහනම ගැන විවිධ කරුණු කාරණා බොහෝමයක් විවිධ මාධ්‍ය හරහා අසන්නට දකින්නට ලැබුණා. ඒ අතරින් සිත් ගත් ලිපි කිහිපයක් ඔබත් සමඟ බෙදා ගන්න හිතුණේ ඔබත් දැනටමත් මේ ෆේස්බුක් වාරණයට එරෙහිව හිතින් හෝ සටන් වදින අයෙක් බව දැනෙන නිසයි.

එහෙනම් ඉතිං පහත දාලා තියෙන ලින්ක් වලටම ගිහින් බලන්නකො කොහොමද මේ තහනමින් බේරෙන්න පුළුවන් කියල...............


නිම්තෙර අඩවිය.........
http://upullive.blogspot.com/2014/02/ban-facbook.html#.Uwmt1vmSwrV

මාතලන්ගෙ අඩවිය
http://maathalan.blogspot.com/2014/02/facebook-cannibal-media.html

තවත් අඩවියක්
http://www.apps-lanka.com/2014/02/3-ways-to-open-facebook-when-its-blocked.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+Lankablogs+%28Lanka+Blogs%29&utm_content=FeedBurner


Friday, February 21, 2014

වැලන්ටයින් ඉතිහාසය......



ඔන්න ඉතිං අද හිතුනා මේ හැමෝම සතුටුවන, බනින වැලන්ටයින් ගැන ටිකක් හොයල බලන්න. 
දැන් ඉතිං වැලන්ටයින් හමාර වෙලා සතියකුත් ඉක්මවෙලත් ඉවරයිනේ. හදිස්සියේම මේ විදියට සටහනක් ලියන්න හිතුණෙ අපේ හිතවත් තරුණ ජෝඩුවක් මේ වැලන්ටයින් උන්මාදය නිසා, මං මහන්සි වෙලා ඉවුව රසවත් රාත්‍රී භෝජනයකුත් ප්‍රතික්ෂේප කරල වැලන්ටයින් සමරන්න ගිය නිසයි. 

ෆේස්බුක් එකේ දසුන් රාජපක්ෂ සොයුරාගේ  වැලන්ටයින් විරෝධය ගැන දාල තිබ්බ පෝස්ට් එකේ, මෙන්න මේ විදියට තමයි වැලන්ටයින් ගැන අමිල සම්පත් සොයුරා සඳහන් කරල තිබ්බේ. 

පුරාණ රෝම දේව කථා අනුව "ජුනා" තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන.
මීට අමතරව දෙව්ලොව රුජින හැටියට සැලකුණෙත් "ජුනා" දෙවඟනයි.
පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා "ජුනා" දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.

මේ උත්සව සමයේදී තිබූ තවත් අපූරු චාරිත්‍රයක් තමයි රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දැමීම. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. තමන්ගේ අතට ලැබුණූ තුණ්ඩුවේ නම සහඳන් යුවතිය සමඟ අර උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණූ බොහෝ දෙනා නතර වුණේ ස්ථීර විවාහයෙන්.

"ජුනා" දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි ඉතිහාසය කියන්නේ. රෝම පුරාණයට අනුව මේ සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවති බව කියවෙනවා.

ඔහොම ඇවිත් දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ කාලයත් උදා වුණා. සියල්ල කනපිට හැරුණෙ ඔය කියන නරුම රාජ්‍ය සමයේදීයි.

ක්ලෝඩියස් යුද උම්මන්තකයෙක්. ඔහුට බලවත් උවමනාවක් තිබුණා රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. ක්ලොඩියස්ගෙ උමතුවට තරුණයන් නම්මගන්න බැරි වුණා. තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. ඔවුන් ඒ වන විට තමන්ගෙ පවුලට, බිරියට පෙම්වතියට තදින් ඇළුම් කරමිනුයි සිටියේ. ක්ලෝඩියස්ට මල පනින්නේ ඔය තත්ත්වය මතයි. ඒ නිසා ඔහු කසාද බැඳීම තහනම් කරල නියෝගයක් දැම්මා.

එහෙත් එක් පුද්ලයෙක් නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. ඒ තමා වැලන්ටයින් පූජකතුමා. පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම වැලන්ටයින් පූජකතුමාගේ ප්‍රියතම කටයුත්තක්. ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් පූජකතුමා තරුණ තරුණයින්ව රහසින් විවාහ කළා.

ඒත් එතුමාට මේ ආදර මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. වැලන්ටයින් පූජකතුමා හිරේ වැටුණා. රෝම තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු විසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න ගත්තා. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් පවට පත්වුණා. 

මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතා කරන්න. ප්‍රතිඵලය වුණේ භක්තිමත් බැඳීමක් හට ගැනීමයි. මේ අතර ක්ලෝඩියස් වැඩේ අත්හැරියෙ නැහැ. වැලන්ටයින් පූජකයව කියල නම්මගන්න බැලුවා. ගහල අතපය කඩල නම්මගන්න බැලුවා. එයත් අසාර්ථකයි. අන්තිමේදී හිස ගසා මරා දමන්න අණ කළා.

ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණා. පෙබරවාරි 14 දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජුනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි.

අවසන් හුස්ම හෙළන්න කලින් වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාරයේ පාලකයා ගේ දියණියට ලිපියක් ලියා තිබුණා.

"Love From Your Valentine"

මෙයින් පසුව ආදරයේ නාමයෙන් "ජුනා" දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන "වැලන්ටයින්" මුනිවරයාට ලැබුණා.

ශ්‍රී ලංකාවේ මේ වැලන්ටයින් සැලකියයුතු මට්ටමින් සැමරීම ආරම්භ වුණේ 1990 දශකයේදී විතර. අපේ රටේ නම් මේ දිනය ආගමික ස්වරූපයක් නොගන්නා මුත් හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී. වැලන්ටයින් පූජකයාගේ දේහය මිහිදන් කරනු ලැබූයේ පෙබරවාරි 14 වන දින හේතුව‍ෙනි මෙම දිනය ආගමික ස්වරූපයක් ගනු ලබන්නේ. පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරවරයෙක් විය. එමෙන්ම 1969 වසරේදි ඔහු සාන්තුවරයෙක් ලෙස ද නම් කෙරෙණි.


කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ යටගියාව නැවත සමාජය තුළ මතුකරන්නේ නම් කොම්පනිකාරයින්ය. ඒ පෙබරවාරි මාසය ආරම්භ වනවාත් සමගම නොයෙක් ආකාරයේ විච්චූර්ණ දෑ තරුණ පරම්පරාවේ ගොදුරු බවට පත් කරමිනි. විවිධාකරයෙන් හැඩ ගැන් වූ හදවත් කේක්, සපත්තු, ඇඳුම් හා සුබ පැතුම්පත් වලින් සුපිරි වෙළඳසැල් පිරී ඉතිරි යන්නේ, ගන්න ගන්න මෙන්න වැලන්ටයින් කියන්නාක් මෙනි. එමෙන්ම අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යන්නේද හමුවන සියල්ලන්ටම "හැපි වැලන්ටයින්ස් ඩේ" කියමින්ය. ඒ වගේම ආදරවන්තයින් පමණක් නොව සැමියා හා බිරිඳද තෑගි බෝග හුවමාරු කරමින් සුබ පතා ගන්නා තරමටම අපේ රටෙත් දැන් වැලන්ටයින් මුල් බැස ගොස් හමාරය.



වැලන්ටයින් ගැන ලියවෙච්චි ගීතයක් අහමුද එහෙනම්...


වැලන්ටයින් ශාන්ත වැලන්ටයින්
ඇයි ඔබ මේ අපේ රටේ...
පෙම්වතුන්ගෙ දිනයක් හදලා
පෙබරවාරි මස දාහතර...

ස්වීට් හාර්ට් අකුරු දිලිසෙන...
හදවත් ලාබෙට විකිණෙනවා...
වැලන්ටයින් රෝමෙන් ඇවිදින්...
අපේ හදේ ඊතළ ඇනලා...

වැලන්ටයින් ඔබට වාගෙම...
මව්වරුන්ට වැඩිහිටියන්ට...
අවුරුද්දේ දින වෙන් කරලා...
ඒරොප්පෙන් ආ චාරිත්ර...

තුන්සිය හැටපස් දවසේම...
කාටත් සළකන පෙම් කරන...
අපට වෙනම දින මොනවටද...
වැලන්ටයින් රෝමෙට යන්න...

ගායනය - නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ

ගීතය අහන්න මෙතනින්...

Thursday, February 20, 2014

රජ පහස ලද අසිරිමත් වාරණ වෙහෙර

       කොළඹ - නුවර පාරේ (ගම්පහ දිස්ත්‍රික්කයේ ) තිහාරිය හන්දියෙන් දකුණට වැටී ඇති මාර්ගයේ සැතපුම් 2 ක් පමණ ගිට විට සියනෑ කෝරලයේ මැදපත්තුවේ මංගලතිරිය නම් ගම්මානයේ නිල්වන් කෙත් යායක් මැදිකොට ඉහළට නෙරා ගිය රමණීය කඳුගැටය වාරණ විහාරස්ථානය පිහිටි තැනයි. එම පර්වතය ඇතෙකු වැනි හැඩයෙන් යුතු වු නිසා වාරණ නම් වූ බවට මතයකි. එමෙන්ම “වා” නැමැති ගස් විශේෂයකින් බහුල අරණක් වූ නිසා වා-අරණ, වාරණ වී යයිද මතයකි.එමෙන්ම බෞද්ධයින්ගේ පැරණි වන්දනා කවියකද වාරණ ගැන මෙසේ සඳහන් වේ.

ආරණ පොල්වතු උයන්                ලැබෙන්ඩයි
මෝරන පොල් ගෙන හිඳ             පේවෙන්ඩයි
පායන පුන්සඳ සේ                     බැබලෙන්ඩයි
වාරණ ගල යට බුදුන්                        වඳින්ඩයි



             මෙම විහාරය වළගම්බා, කීර්ති ශ්‍රී නිශ්ශංක, සවැනි පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන්ගේ අනුග්‍රහය ලද බව කියවේ. කෝට්ටේ රාජ්‍ය, සමය විහාරස්ථානයේ පුනරුදයක් ඇති වූ යුගයකි. සවැනි පරාක්‍රමබාහු රජතුමා කීරවැල්ලේ බිසවුන් සමඟ පැමිණ මෙහි ඉඩම්ගල අභියස බණ මඩුවක් සාදවා පිරිත් පිංකමක් කරවූ බවත් එහි අනුශාසනාව දේශනා කළ සෙන්දිරිප්පෙරුම නම් තෙරුන් වහන්සේට නායක පදවියත් සමඟ ගම්වරයක් පූජා කළ බවත් දොරකඩ අස්න කී අල්පිටිගම ළමයාට “ ශ්‍රී වර්ධන දොරකඩ මුදලි” යන නම් වූ නාමය සමඟ නින්දගමක් දුන් බවත් “අල්පිටිගම” නම් පාරම්පරික තඹ සන්නයක සඳහන් වන බව “වාරණ වරුණෙහි” අන්තර්ගත වේ.

  විහාරස්ථානයට පිවිසෙත්ම දකුණු පසින් විශාල ගල් පර්වතයක් දිස් වේ. මෙය “ඉඩම් ගල” නමින් හැඳින්වෙන අතර උසින් අඩි 100 කට වැඩිය. තුන් පැත්තකට විහිදී ගිය ලෙන් පිහිටා ඇති අතර නැගෙනහිර පෙදෙසට විහිදුණු ගල් තලාවකි. එය දික් ගලකි. මෙහි පැරණි බ්‍රහ්මී අක්ෂරයෙන් කළ සෙල් ලිපියක් හමුවේ. 

“බත මඣිමශ බතික බත තිශ දතශ දනෙ” යනුවෙන් සඳහන් වන එහි අර්ථය වන්නේ “ මජ්ඣිම ස්වාමින් වහන්සේගේ සහෝදර තිස්ස දත්ත ස්වාමීන් වහන්සේගේ දීමනාවයි” යන්නය. 

       තිස්ස දත්ත තෙරුන් වහන්සේ මිහිඳු මහ රහතන් වහන්සේගේ සද්ධි විහාරියන් වහන්සේ බව “තිස්සදත්ත, කාලසුමන, දීඝසුමනාදයොව, මහාරට්ඨ තෙරස්ස අන්තේවාසික” යන සමන්ත පාසාදිකා නම් විනය අටුවා පාඨයෙන් සනාථ වේ. මහා වංශයට අනුව දෙවන පැතිස් රජු යොදුනෙන් යොදුන විහාර කරවු බව සඳහන් වන අතර ඉන් එක් විහාරයකි වාරණ රජමහා විහාරය. හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයෙක් වූ සෙනරත් පරණවිතාන මහතා මෙම සෙල් ලිපියේ සඳහන් අක්ෂර පිළිබඳව අධ්‍යනය කොට එය ක්‍රි.පූ. 3 වන සියවසේ මුල් භාගයට අයත් බ්‍රහ්මී අක්ෂර ලෙස “Inscription of Ceylon” නම් වූ සෙල් ලිපි සංග්‍ර්‍රහයේ සඳහන් කර තිබේ.

          විහාරයෙහි දකුණු පෙදෙසෙහි පිහිටි ලෙන තුළ වු පැරණි සංඝාවාසය කඩා ඉවත් කොට “කොස්සින්නේ ශ්‍රී පඤ්ඤානන්ද අනුස්මරණ පිරිවෙන් ශිෂ්‍ය නිවාසය” අලුතින් ඉදිකොට තිබේ. 

          එමෙන්ම භික්ෂුන් වහන්සේලාට පැන් ලබා ලැනීමට පහසුවන ආකාරයට දකුණු පස ඇති ලෙන් තුළම ළිං සාදා තිබේ. 



උතුරු පෙදෙසෙහි අර්ධ ලෙන තුළ විශාල තෙමහල් ධර්ම මන්දිරය නිමවා තිබේ. එහි මණ්ඩපයට ඉහළින් සදෙව්ලෝ හා බ්‍රහ්ම ලෝකය , ජම්බුද්දීපය ආදිය නිරූපණය වන සිතුවම් ඇඳ තිබේ. 





ලෙනෙහි කෝට්ටේ යුගයේ කරවූ යැයි සැලකෙන වෙස්සන්තර කථා පුවත ඇතුළත් පැරණි සිතුවම් දක්නට ලැබෙන අතර ඉන් බොහෝමයක් අභාවයට ගොස් තිබේ. පහත මළුවේ තෙරුවන් මැදුර පිහිටා ඇති අතර, එහි උඩු මහලෙහි ධාතු මන්දිරයත්, දෙවන මහලෙහි මංගලතිරි පිරිවෙන් පුස්තකාලය සහ කියවීම් ශාලාවත් , බිම් මහලෙහි සංඝාවාසයත් පිහිටා තිබේ. 

           මින් පසු එළඹෙන්නේ විහාරාධිපති හිමි වැඩ වසන ලෙන තුළ පිහිටි සංඝාවාසයයි. මෙම ලෙන අසල ගල් වියනක් ඇති අතර ඉන් ඔබ්බට දාන ශාලාවද ඊට උතුරින් “ කොප්පරාගල” නමින් හැඳින්වෙන ගල් පව්ව යට, උඩ පන්සල නම් වූ නවීකරණය කළ සංඝාවාස ලෙන් කුටිය පිහිටා ති‍බේ. 



දකුණු පෙදෙසට වන්නට මැද මළුවට පිවිසීමට ඇති ගල් පඩි හමුවේ. එය ගණනින් සියයකි. මෙහි මදක් ගමන් කළ විට පසෙකින්“ කොස්සින්නේ පඤ්ඤාකක්දාභිධාන” නායක ස්වාමින්ද්‍ර ස්මාරකය හා ඒ අසල පිහිටි පොකුණ දක්නට ලැබේ. 



    ඝණ්ටාර කුලුන යටින් මැද මළුවට පිවිසෙත්ම ඉදිරියෙන්ම මහා විහාර මන්දිරය පිහිටා ති‍බේ. මෙය කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු කොටසේ දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේද , ඉන් දෙපස විෂ්ණු , සමන් , නාථ යන දේව රූපද, ආනන්ද මහ රහතන් වහන්සේගේ රුව සහිත ප්‍රතිමාද දක්නට ලැ‍බේ. එමෙන්ම වළගම්බා රජුගේ රුවෙහි බිතු සිතුවම්ක්ද මෙහි ඇද තිබේ. දෙවන කොටසෙහි සූවිසි විවරණ හා සත්සතිය පෙන්වන ප්‍රතිමාද , විෂ්ණු දේව රුවද ඇති අතර ලෙන් වියන පැරණි සිතුවමින් සරසා තිබේ. මෙම සිතුවම් අතර මහින්දාගමනය, මහ මෙවුනාවේ බද්ධ සීමාව පිහිටුවීම, දන්ත ධාතුන් වහන්සේගේ වැඩම වීම, මහමෙවුනා උයන් පූජාව, සෝමා දේවිය තම සැමියා බේරා ගැනීම පිණිස රියෙන් බැස සතුරා ඉදිරියට යාම, අනුලා දේවිය පැවිදි වීම, වළගම්බා රජු කටාරම් කෙටවීම ආදි කතා පුවත් හා බිමිබිසාර රජුගේ රුවක්ද සිතුවටම නගා තිබේ. 

           විහාර මන්දිරයට උතුරින් සතර දේවාලයද මෙම ගල් ලෙන තුළම පිහිටා තිබේ. බටහිර දෙසට වූ ලෙනෙහි පොහොය සීමාව ඇති අතර ඉදිරියෙන් මෑත කාලීනව කරවන ලද දොලොස්මහේ පහන් ගෙය දක්නට ලැබේ. 





        විහාර මන්දිරයට දකුණු දෙසින් ඇති ලෙන තුළ පැරණි චෛත්‍යයක් දක්නට ලැබේ. එය මුල්කාලීන චෛත්‍ය ගෘහයන්ගේ ආකෘතිය නියෝජනය කරන්නකි. 










මින් පසුව පඩි 125 ක් පමණ නැගීමෙන් පසු ඉතා රමණීය පරිසරයක පිහිටි උඩ මළුවට පිවිසේ. 







           මළුවේ මැද බෝධි වෘක්ෂය පිහිටා ඇති අතර පසෙකින් විහාර ගෙය දක්නට ලැබේ. විහාරගෙට පිවිසෙත්ම දකුණු පසින් දැඩිමුණ්ඩ දේව රුවද ඇතුළු වන දොරටුවෙහි අලංකාර මකර තොරනක්ද දක්නට ලැබේ. සදෙව්ලොව නිරූපණය කරමින් ලෙනෙහි වියන සරසා තිබේ. ඒ වටා ඇති බිත්ති දේවාරාධනාව, සිදුහත් උපත, කාලදේව තවුස් හිස මත සිදුහත් කුමරු පා තැබීම, වප් මඟුල හා ශිල්ප දැක්වීම යනාදි සිතුවමින් අලංකාර කර තිබේ. ඇතුළු ලෙනෙහි දහඅට රියන් බුද්ධ ප්‍රතිමාවද , දකුණු පසින් ඔත් පිළිම තුනක්ද , උතුරු පෙදෙසට මල් තොරණ සහිත තවත් ඔත් පිළිමයක් හා හිටි පිළිමයක්ද දක්නට ලැබේ. එහි පසෙකින් මෛත්‍රී බෝසත් රුව හා වළගම්බා රුව තිබේ. 

        වාරණ විහාරස්ථානයේ චිත්‍ර යුග කිහිපයකටම අයත් වන අතර වැඩි වශයෙන් නියෝජනය වන්නේ මහනුවර යුගය හා මෑත යුගයයි. අලුතින් ඉදිකරන ලද ධර්ම ශාලාව කේන්ද්‍ර කොට ගෙන ඇති ලෙනෙහි වෙස්සන්තර ජාතකය නිරූපණය කරන චිත්‍ර දක්නට ලැබේ. එය තීරුවලට බෙදා අඛණ්ඩ කථන ක්‍රමයට මහනුවර ශෛලියෙන් රේඛා භාවිතා කොට එම රේඛා මැද වර්ණ ගන්වා අදින ලද සිතුවම් රැසකි. ඇමි. සාර්ලිස් නම් චිත්‍ර ශිල්පියාගේ ආභාෂය ඔස්සේ අඳින ලද නූතන යුගය නියෝජනය කරන සිතුවම් උඩ මළුවේ විහාර ගෙය තුළ දක්නට ලැබේ.

     සීතාවක රාජධානි සමයේදී හා පෘතුග්‍රීසි කාලයේදී මෙම විහාරස්ථානයට දැඩි ලෙස හානි සිදු වු නිසා විහාරය වල් බිහි වී ගියේය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය නොමදව ලබා විහාරය ඉතා දියුණු තත්ත්වයකට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.


රුක්ෂිලා වෙත්තමුණි
2011 ජුනි මස 21 වන අඟහරුවාදා දිනමිණ පුවත් පතේ පළ වූ ලිපියකි

Tuesday, February 18, 2014

ගිමන් හරිමින්...........


- මා කම්පාවට පත්කළ සරත් විජේසූරියන්ගේ " තාත්තා" -





මට කියවා නිම කළ නොහැකි මහ පොතකි තාත්තා.......!! (සරත් විජේසූරිය)




අම්මාගේ වියෝවෙන් පසු තාත්තා මට තවත් ළං වූවා යැයි මට නිතර  හිතෙනවා. 78 වන වියේ පසුවන මගේ තාත්තා ගේ ජීවිතය, දැන් ජීවිතයත් මරණයත් අතර සටනක පොර බඳිමිනුයි තිබෙන්නේ. මත්පැන්, සිගරට් තියා බුලත් විටක්වත් නොකන මගෙ තාත්තාගේ එක් වකුගඩුවත් දැන් සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි. කාලාන්තරයක් තිස්සේ දියවැඩියා රෝගයට බෙහෙත් ගන්න නිසා මෙවන් අකරතැබ්බයකට මුහුණ දේවි යැයි අපි කිසිකෙනෙක් හිතුවේ නැහැ. සරත් විජේසූරියන්ගේ "තාත්තා" පොත බොහෝ කාලයක් තිස්සේ කියවීමට ආසාවෙන් සිටි පොතක් නිසා, මෙවර කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි මොහොතේ මිලදී ගත්තද ස්වර්ණපුස්තක තරඟයේ හබාගිය පොත් කියවීමට කාලය වැය කළ හෙයින් මේ පොත මගේ මතකයෙන් ගිලිහී තිබුණා. අද දින අප හිතවත් ප්‍රවීණ ගායක සමන් ජයනාත් ජිනදාස අයියාගේ බිරිඳ වු අනෝමා අක්කා "තාත්තා" පොත තියෙනවා නම් එවන්නයැයි මගෙන් කළ ඉල්ලීමට මා අපේ පොත් රාක්ක අතර සැරිසැරුවා. පිටු 80 ක් වැනි පුංචි පොතක් එක හුස්මට කියවා හමාර කළ හැකි නිසා මා කියවා සිටි සුමිත්‍රා රාහුබද්ධගේ "අත අත නෑර" අත්හැර "තාත්තා" කියවීමට උදයෙන්ම සාලයේ දිග පුටුවේ දිගෑදුණා. ඒත් ඒ පොතේ ඉන්න තාත්තා දැක්කම මට මතක් වුණේ මගේ තාත්තව. හැම ඉරිදාකම තාත්තා එක්ක ස්කයිප් එකෙන් කතා කළත් ඉඩ ලද විටෙක ලොකු අක්කාට දුරකථන ඇමතුමක් දී තාත්තා ගැන තතු විමසන්න මං අමතක කළේ නැහැ. "තාත්තා" පොත කියවන්න කලියෙන් මගේම තාත්තාගේ හඬ අහන්නට මට උවමනා වුණා. තාත්තාගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙන බව අක්කා මා සමඟ පැවසූ විට තාත්තාගේ හඬ ඇසීමේ ලෝබ කමින් මා වඩාත් පෙළුණා. 
අම්මාගේ හදිසි වියෝවීමෙන් පසු තාත්තා නිතර කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා අසනීප තත්ත්වය දිනෙන් දින උග්‍ර වීම අපි කාටත් දරාගන්න අමාරු වුණා. තාත්තාගේ ජීවිත අත්දැකීම් පුදුමාකාරයි. මං පුංචි කාලේ හිටන්ම ඒ රසවත් කතා අහන්න පුදුම කැමැත්තක් තිබුණේ. ලංකාවට නිදහස ලැබෙද්දි මගේ තාත්තට වයස අවුරුදු 12 ක් වුනත් තම දෑසින් සජීවිව නැරඹූ නිදහස් දිනයේ අපූර්වත්වය චිත්‍රපටයක් වගේ එක දිගට ගලායන රසවත් සිද්ධී මතකයෙන් කියන්න තරම් වාසනාවන්තයි. තාත්තා හරිම කැමතියි පොත් කියවන්න. ඇත්තටම මටත් පොත් කියවන්න පුරුදු කළේ මගේ ආදරණීය තාත්තා. මට තේරෙන වයසේ ඉදලාම අපේ ගෙදර තිබිච්ච පොත් රාක්කවල, පොත් මං ආදරෙන් රැක බලා ගත්තා. පංච තන්ත්‍රය, අමාවතුර, බුත්සරණ ආදි විවිධ පොත් වලින් රාක්කය පිරී තිබ්බා. "පංචතන්ත්‍රයේ" පොත් නාරටිය ගැලවිලා තියෙන විත්තිය දැක්ක මං කළේ රෙදි කෑල්ලක් තියලා මට පුළුවන් විදියට පොත බැන්ඳ එකයි. මකත හැටියට මං එතකොට 5 වසරේ.

තාත්තා දිගින් දිගටම අම්මා ගැන හිතමින් ඉන්න එක වළක්වන්න ක්‍රමයක් විදියට මං තාත්තට අපූරු යෝජනාවක් කළා. ඒ තමයි තාත්තගේ ජීවිත කතාව ලියන්න කියලා. ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක වුණා. තාත්තා දැන් එක දිගටම ලියනවා. ලොකු අක්කා කියනවා පාන්දර හතරටත් නැගිටලා ලියනවා කියලා. මං ඒ අතර කියවන්න අපේ පොත් ගුලෙන් තාත්තට පොත් ගොඩකුත් දීලා ආවා. තාත්තා හරිම ආසයි "චින්තා ලක්ෂ්මි සිංහආරච්චිගේ" පොත් කියවන්න. 
"'...බන පොත් කියවද්දි දන්නෙම නැතිව නින්ද යනවා පුතේ. ඊටත් මට ඒ පොත් ඇතුලෙන් අම්මව පේන්න ගන්නවා. ඉතිං මට දැන් පොත් කියවන්න අමාරුයි"
මං ඉන්නේ ගව් ගාණක් ඈත. මගේ අම්මගේ මරණයේදී මං අම්මා ළඟ හිටියේ නැහැ. අම්මා නැති වෙන්න දවස් දෙකකට කලින් මාත් එක්ක ස්කයිප් එකෙන් කතා කළා. අනේ ඉතිං අම්මා නින්දෙන්ම මැරෙයි කියලා කවුද හිතුවේ. මගේ තාත්තා තව කවර කාලයක් ජීවත් වෙයිද කියලා මං දන්නෙ නැහැ. ලංකාවේ ඉද්දී මං මට පුළුවන් උපරිමයෙන් මගේ අම්මටයි තාත්තටයි සැලකුවා. අසනීප වුණාම ආදරෙන් බලා ගත්තා. නෑව්වා, බත් කැව්වා, රෙදි හේදුවා. මට අවුරුදු 17 ඉදලා මං මගේ වියදම් පියව ගන්න උත්සාහ කළා. ඒ අනුව උ.පෙළ ලියන ගමන් පෞද්ගලික පන්ති කළා ගෙවල් වලට ගිහින්. මට ලැබිච්ච මුදලින් මං අම්මා තාත්තට මට පුළුවන් උපරිමයෙන්ම සැලකුවා. "අද කළ යුතු දේ අදම කරන්න ඕන" කියන දේ සත්‍යයක් බව මට වඩාත් තේරුම් ගියේ මගේ අම්මා නැති වුණාට පස්සෙයි. මං කසාදයක් බැඳලා අම්මට තාත්තට සලකන්න හිටිය නම් මට අද කොච්චර පසු තැවෙන්න සිද්ධ වෙයිද? මගේ අම්මගේ මරණය මාව කම්පනයට පත් කළත් අම්මා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න පුළුවන් වෙච්ච එක මට සතුටක්. 
සරත් විජේසූරියන්ගේ "තාත්තා" කෙටිකතා සංග්‍රහය කියවද්දී මට මගේ තාත්තා මැවිලා පෙනුණා. ඇත්තමයි මට ඒ පොත කියවන්න අමාරු වුණා. මගෙ පපුව හිරවුණා වගේ දැනුණා. මගේ ඇස් වලින් කඳුළු කඩා වැටුණේ හරියට ටකරන් වහලයකට හයියෙන් වැහි බිඳු කඩා වැටෙනවා වගෙයි. ඒත් මං කොහොම හරි මුළු පොතම කියෙව්වා. ඒ හැම කතාවකවම විවිධ තාත්තලා හිටියා. මගේ තාත්තත් ඒ චරිත අතර හිටිය විත්තිය දැනුණු නිසා වෙන්න ඇති මාව කම්පනයට පත්වුණේ. ආරම්භයේදීම මාව හඬවන්න ගත්තේ මගේ තාත්තා මං දුරකථන ඇමතුම දුන්න වෙලේ කිව්ව දේ නිසා වෙන්න ඇති.
"පුතේ.... මං මේ ජීවිත කතාව ලියන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. මගේ ජීවිතයේ ලැබුණු අත්දැකීම් අලුත් පරම්පරාවේ දරුවෝ එක්ක බෙදා හදා ගන්නයි. මේකේ තියෙන්නේ මං ඉපදිච්ච බත්තරමුල්ලේ ඉදලා විවාහ වෙලා හැඳලට පදිංචියට ආවට පස්සේ තියෙන අත්දැකීම්. අපි සුදුසු කෙනෙක්ට දීලා මේ පොත ප්‍රින්ට් කරමු පුතේ. මං දැන් පිටු 180 ක් විතර ලියලා තියෙන්නේ. පුතා ලංකාවට එනකල් මං බලාගෙන ඉන්නේ. පිටු 250 ක් විතර ලියැවෙයි. සමහර විට ඊටත් වැඩිවෙයි...."
 තාත්තාගේ ජීවිත කතාවේ පිටු ගණනාවක් මං ගිය මාසේ ලංකාවට ගිය වේලේ කියෙව්වා. අපි අහලවග් නැති වචන. ඇත්තටම මගේ තාත්තා කොච්චර නම්  ජීවිත අත්දැකීමෙන් පොහොසත්ද කියලා මට දැනුණේ ඒ මොහොතේදියි. 
වෙනදාට වැඩියෙන් මට තාත්තගේ හඬ දැනෙන්න ගත්තා. මං තාත්තගෙ බාල දියණිය. ඒ වගේම බඩ පිස්සි. ගමනක් යද්දි තාත්තගේ ඔරලෝසුව බැඳපු අත අල්ලගෙන යන්න මාත් මගේ එකම අයියාත් හැමදාම පොරකෑවා. අද අම්මා නැති ගෙදර මගේ ලොකු අක්කාත් පොඩි අක්කාත් එක්ක සැදෑසමය ගත කරන මගේ තාත්තා ගැන දැනෙන හැඟීම් මට වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ හැම කරුණක්ම එක දිගට ලියාගෙන යද්දී ඇස් වලින් වැටෙන කඳුළු වෙනදට වැඩිය හරිම බරයි කියලා මට දැනෙන්නේ. 
මා දියණියක් වූවත් පුතේ.........කියලා තමයි තාත්තා හැමදාම කතා කළේ. ලියන්න ගියොත් නම් පිටු ගණන් ලියන්න පුළුවන්.
ඇත්තටම ...........
මට කියවා නිම කළ නොහැකි මහ පොතකි තාත්තා.......!!



- රුක්ෂිලා වෙත්තමුණි -
2013 - 09 - 24