Tuesday, April 1, 2014

අහසින් අතුරුදහන් වුවද ඉතිහාසයෙන් අතුරුදහන් නොවුණු ගුවන් යානා.............

   ‘ඇමෙලියා ඉයර්හාර්ට්යනු ඇමරිකානු කාන්තා ගුවන් නියමුවරියකි. ඇය ගුවන් යානයකින් ලොව වටා සැරිසරද්දී එය හිටිහැටියේ අතුරුදන් වූයේ වර්ෂ 1937 ජූලි 2 වැනිදාය. 
අත්ලාන්තික් සාගරය හරහා තනිව ගුවන් යානයක් ප්‍රථමවරට පදවාගෙන ගිය කාන්තාව වන්නේද ඇයය. පැසිෆික් සාගරය මධ්‍යයේ හෝල්න්ඩ් දූපත් ප්‍රදේශයේ මෙම යානය හිටිහැටියේ අතුරුදන්විය. බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ මෙහි ඉන්ධන අවසන් වී මුහුදට කඩා වැටෙන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ ඇමෙලියා ඇමරිකානු ජනපතිවරයකු වූ ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් වෙනුවෙන් ඔත්තු බැලීමෙහි නිරත වූ බැවින් ජපනුන් විසින් අල්ලා ගන්නට ඇති බවය. තවත් අදහසක් වන්නේ යානය ජපාන දූපතකට කඩා වැටී ඇමේලියා එහිදී මිය යන්නට ඇති බවය. 


ඇය මෙම අනතුරින් ජීවිතය ගලවාගත් බවත් පසුව නිව්ජර්සියට ගොස්  නම වෙනස්කොට රහසේ ජීවත් වූ බවට අදහසක්ද ඇති අතර පිටසක්වලයන් විසින් පැහැරගත් බවටත් ඇතැමෙක් අදහස් දක්වති.

                         ග්ලෙන් මිලර්                     
       ග්ලෙන් මිලර් යනු දෙවැනි ලෝක යුද සමයේ මිත්‍ර හමුදා වෙනුවෙන් සටන් වැදුණු අති දක්ෂ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් හමුදාවට අයත් නියමුවෙකි. ඔහු මෙලොව ජීවත්ව සිටි අවසන් රාත්‍රිය ලෙස සටහන් වන්නේ 1944 දෙසැම්බර් 14 වැනිදාය. 
ඒ බ්‍රිතාන්‍යයේ බෙඩ්ෆෝර්ඩ්වලට අයත් මිල්ටන් අර්නස්ට් හිදීය. පසුදා ඔහුට ප්‍රංශය බලා පියාසර කරන්නට නියමිතව තිබිණි. ඔහු ඇතුළු පිරිස රැගත් යානය ආර්.ඒ.එෆ්. ටින්වුඩ් ගොවිපළ භූමියෙන් පිටත්ව ගිය අතර ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී එය අතුරුදන්  විය.

ඉංග්‍රීසි ඕඩයට ඉහළ අහසේදී අතුරුදන් වූ ග්ලෙන් මිලර්ගේ යානය

        අතුරුදන් වීම පිළිබඳ ඉදිරිපත් වූ එක් මතයක් වූයේ තනි එංජිමක් සහිත මෙම යානයේ ඇති වූ ගින්නක් නිසා කඩා වැටෙන්නට ඇති බවය. ජර්මනියට අයත් පුවත්පතකින් පැවැසුණේ ඔහු ප්‍රංශයට ගිය බවත් එහි ගණිකා නිවාසයකදී හෘදයාබාධයකින් මියගිය  බැවින් එම සිදුවීම බ්‍රිතාන්‍ය වසන් කරන බවත්ය.



බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස උපත ලබමින් අතුරුදන් වූ ගුවන් යානා

        1945 දෙසැම්බර් 5 වැනිදා වර්තමාන බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළින් වූ අහසේදී ගුවන්යානා හයක් හිටිහැටියේ අතුරුදන් විය. බර්මියුඩා ත්‍රිකෝණයේ අබිරහස් කතන්දරයද ඒ සමගම උපත ලැබුවේය. දක්ෂ පළපුරුදු ගුවන් නියමුවකු වූ චාර්ල්ස් ටේලර්ගේ මූලිකත්වයෙන් පුහුණු වීමේ ගුවන් සැරියක් සඳහා මෙම යානා හය ෆ්ලොරිඩාවේ ෆෝර්ට් ලෝර්ඩඩේල් වෙතින් අහසට නැගුණි. පැය එකහමාරකට පමණ පසු  නියමුවන් වාර්තා කළේ තම ගමන් මාර්ගය හිටිහැටියේ වෙනස් වූ බවත් පහළින් ඇති කිසිදු භූමි ලක්ෂණයක් හඳුනාගන්නට හැකියාවක් නොමැති බවත්ය. ටේලර් වැඩිදුරටත් පවසා තිබුණේ තම මාලිමා යන්ත්‍රය නිවැරැදිව ක්‍රියා නොකරන බවය. ගුවන් යානා මෙහෙයුම් කුටියේ කාර්ය මණ්ඩලය කොතෙක් උත්සහ ගත්ද මෙම යානා පිහිටි ඛණ්ඩාංකයන් සොයා ගන්නට හැකියාවක් ලැබුණේ නැත. කාලගුණයද අයහපත් වූ අතර යානා සියල්ලම මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කෙරිණි.

        තවත් කනගාටුදායක සිදුවීමක් වන්නේ මෙම යානා අතුරුදන් වීම පිළිබඳ සොයා බලන්නට පිටත්ව ගිය යානයද අතුරුදන් වීමය. එම යානය රාත්‍රී 7.30ට පිටත්ව ගොස් තිබූ අතර නැවත එයින් කිසිදු පණිවුඩයක් ලැබුණේ නැත. එහි සිටි 13 දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලයද මියගිය බවට සැක කෙරේ.

 

ස්ටාර් ඩස්ට් යානය සහ අභිරහස් මෝර්ස් කේත

        ලැන්කැස්ටර් වර්ගයේ බෝම්බ හෙළීමේ යානා මාදිලියට අයත් සාමාන්‍ය මගී ගුවන් යානයක් වූ බි.එස්.ඒ.ඒ. ස්ටාර් ඩස්ට්ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් සිට චීලියේ සන්තියාගෝ බලා පියාසර කරමින්  තිබියදී අතුරුදන් විය. එම අතුරුදන්වීමත් සමග අභිරහස් රැසක් ලොව හමුවේ ඉතිරි විය.
මෙම ගුවන් යානය අයත්ව තිබුණේ බ්‍රිටිස් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට වූ අතර එහි පැදවූයේ පළපුරුදු ගුවන් හමුදා නියමුවකු වූ රෙජිනෝල්ට් කුක්ය.
        ඔහු 1947 අගෝස්තු 2 වැනිදා ප.ව. 1.46ට බුවනෝර්ස් අයර්ස් කෙරෙන් පිටත්ව අන්දීස් කඳු මතින් යානය ධාවනය කොට ඇත.
        යානය ගමනාන්තයට ළඟා නොවූ මුත් එය අතුරුදන් වන්නට පෙර එහි සිටි ගුවන් විදුලි සංඥා මෙහෙයවන්නා මෝර්ස් කේතයකින් පණිවුඩයක් එවා තිබිණි. ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න සහ මෙම මෝර්ස් සංඥාවෙහි අරුත පිළිබඳ වසර ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයෝ විවිධ මත ඉදිරිපත් කළහ.
        ඇතැමෙකු පැවැසුවේ එය පිටසක්වල යානයක ප්‍රහාරයකට ලක් වූ බවය. එහි ගමන්ගත් මගියකු සතුව තිබූ  රාජ්‍ය තාන්ත්‍රික ලියකියැවිලි විනාශ කිරීමේ අරමුණින් යමෙකු විසින් මෙය පුපුරුවා හැරී බවටද මතයක් ද පළවිය.
වඩාත් පිළිගත හැකි මතයක් වූයේ මෙම යානය අත්වැරදීමකින් සිරස් හිම ක්‍ෂේත්‍රයක් අසලින් ගමන් කරද්දී ඇති වූ හිම නායයාමකට අසුව කඩා වැටී මුළු යානයම හිමෙන් වැසී යන්නට ඇති බවය.

        වසර 5ක් ගත වන තුරු ද ස්ටාර් ඩස්ට් යානය සොයාගත නොහැකි විය. අවසානයේ එය සොයා ගනුලැබුයේ කඳු තරණය කළ ආර්ජන්ටිනානුවන් දෙදෙනකු විසිනි. ඔවුනට මෙහි ඇංජිමේ කොටස් සහ රෙදි කැබලි කිහිපයක් සොයා ගන්නට හැකිවිය.




බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදන් වූ ස්ටාර් ටයිගර්

        ඇසෝරස් හි සැන්ටා මාරියාවල සිට බර්මියුඩාව දක්වා ගමන් ගත්
බ්‍රිටිෂ් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට අයත් ස්ටාර් ටයිගර්යානය 1948 ජනවාරි 30 වැනිදා හදිසියේම අතුරුදන් විය. මෙම යානය ගුවනට නංවන ලද්දේ අධික සුළං සහිත අවස්ථාවක වන අතර එහි මගීහු 25 දෙනෙකු සිටියහ. ඔවුන් අතර දෙවැනි ලෝක යුද සමයේ යුධ වීරයකු වූ එයාර් මාර්ෂල් ශ්‍රීමත් ආතර් කොනින්ග්හැම්ද සිටියේය. අධික සුළඟ හේතුවෙන් යානය ගමන් කළේ බොහෝ පහළිනි. අයහපත් කාලගුණය නිසා මෙම මගී යානය සඳහා මග පෙන්වීමට ලැන්කැස්ට්‍රියානු යානයක්ද ඉදිරියෙන් ගමන් කළේය.
යානය හදිසියේම මාර්ගයෙන් ඉවතට ගිය අතර බර්මියුඩාව අසලදී කුණාටුවකට මැදිවිය.
එහි යහමින් ඉන්ධනද තිබිණි. අලුයම 4න් පසු මග පෙන්වන යානය සුරක්ෂිතව ගමනාන්තයට පැමිණයද ස්ටාර් ටයිගර් යානය පැමිණියේ නැත.
මෙහිදී පළ වූ අදහසක් වූයේ මෙය බොහෝ පහළිින් ගමන් කළ බැවින් ප්‍රබල කුණාටුවකට හසුව මෙය මුහුදට ගසාගෙන යන්නට ඇති බවය. එසේත් නැත්නම් උන්නතාංශමානයේ වැරදි සටහන් හේතුවෙන් මෙය සාගරය මතට ධාවනය කරන්නට ඇති බවය.



ෆ්ලයිට් 191 යානාවල අබිරහස

        එක්තරා අංකයක් නිසා යම් අනතුරක් වූයේ යැයි පැවැසුවහොත් එය ඇතැම් විට යමෙකු විහිළුවකට ගනු ඇත. නමුත් ඒ අංකය නිසා අනතුරු කිහිපයක්ම සිදු වූයේ නම් එහි යම්කිසි දෙයක් තිබිය හැකිය. මේ එවැනි කතාවකි.
ඇමෙරිකානු ගුවන් ගමන් ඉතිහාසයේ බිහිසුණුතම අනතුර වාර්තා වන්නේ 1979 වසරෙනි. ඒ ෆ්ලයිට් 191 යානයේ අනතුරයි. එය චිකාගෝ හි ඕ හෙයාර් ගුවන් තොටුපළෙන් අහසට නංවා මිනිත්තු කිහිපයක් ඇතුළත  එහි සිටි මගීන් 258 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනාගේ ජීවිත බිලිි ගනිමින් අනතුරට ලක්විය.

        ෆ්ලයිට් 191 වර්ගයේ තවත් ගුවන් යානයක අනතුරක් වාර්තා වන්නේ 1967 වසරෙනි. එක්ස් - 15 ලෙස නම් කොට තිබූ එය අත්හදා බැලීමේ ධාවනයකදී අනතුරකට ලක්විය. එහිදී ගුවන් නියමුවා මියගියේය. අනතුරුව 2012 වසරේදී ජෙට් බ්ලූ එයාර්වේස් සේවයට අයත් ෆ්ලයිට් 191ක යානයක නියමුවෙක් ගුවන් ගමන අතරතුර උමතුවෙන් මෙන්  හැසිරී මගියකුගේ පහරකෑමට ලක් වූ බැවින් යානයේ ගමන අතරමගදී නවත්වන්නට සිදු වී හදිසි ගොඩබෑමකට ලක්විය.
        ෆ්ලයිට් 191 යානා සම්බන්ධව මෙබඳු අබිරහස් බොහෝ පවතී

ස්ටාර් ඒරියල් යානය අතුරුදන් වීමේ අබිරහස

බ්‍රිටිෂ් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමට අයත් ස්ටාර් ඒරියල්යානය බර්මියුඩාවේ සිට ජැමෙයිකාව කරා ගමන් කරමින් තිබියදී 1949  ජනවාරි 17 වැනිදා අතුරුදන් විය.
මෙයද කලින් සඳහන් කළ ස්ටාර් ටයිගර්යානය මෙන් ගුවන්ගත වුයේ පැහැදිලි අහස්තලයක් පවතින විටය. නමුත් ගමන්ගත් මොහොතේ සිට සන්නිවේදන ගැටලුවලට ලක්විය.
මෙය ගමනාන්තයට ළඟා නොවූ අතර එහි සිටි මගීන් 25 දෙනා සහ කාර්ය මණ්ඩලය සෙවීමේ මෙහෙයුමක් දියත් කළ අතර ජනවාරි 25 වැනිදා එම මෙහෙයුම අතහැර දමනු ලැබිණි.
මෙම විමර්ශනයේ නිගමනය වූයේ අනතුරට හේතුව නොදන්නා බවය.  එසේ වුවද බ්‍රිටිෂ් සවුත් ඇමෙරිකා එයාර්වේස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ ඩොන් බෙනට් පැවැසුවේ ස්ටාර් ටයිගර්සහ ස්ටාර් ඒරියල්යානා දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ කඩාකප්පල්කරුවකුගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල ලෙස විනාශ වූ බවය.
ඔහු තවදුරටත්  පවසා සිටියේ   එවකට සිටි අගමැති ක්ලෙමන්ට් ඇට්ලි මෙම යානා පිළිබඳ විමර්ශන නවතා දමන ලෙස පෞද්ගලිකවම විධාන දුන් බවය.

ෆ්ලයිට් 571 - අන්දීස් අනතුර

        උරුගුවේ රාජ්‍යයට අයත් ගුවන් හමුදා යානයකින් 45 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් ප්‍රවාහනය කරමින් තිබිණි. මෙම පිරිස අතර මොන්ටිවීඩියෝවට අයත් රග්බි කණ්ඩායමක්ද සිටියහ. මෙම යානය අයහපත් කාලගුණය නිසා අන්දීස් කඳු අතර අනතුරට ලක්විය.
        මෙහිදී යානයේ ගමන්ගත් මගීන් 45 දෙනාගෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඉන්පසුව ගත වූ දින කිහිපයේදී තවත් 6 දෙනෙකු මිය ගියේය. තවත් දින කිහිපයක් ඇතුළත සිදු වූ හිම නාය යාමක් නිසා යානයේ සුන්බුන් අතර රැකවරණයෙහි සිටි 8 දෙනෙකු මරු මුවට පත්විය. ඉතිරි 16 දෙනා කුසගිනි නිවා ගනිමින් ජීවිත ආරක්ෂා කරගනු වස් මියගිය මගීන්ගේ මාංශ අනුභව කළහ.


අනතුරින් දින 72ක් ගෙවී යන තුරු මොවුන්ව සොයාගත නොහැකි විය. මගීන් දෙදෙනකු දින දහයක් තිස්සේ කඳු ශිඛර මැදින් උදව් සොයා ගමන් කළහ. අවසානයේ ඔවුන්ට චිලී ජාතික වෙළෙන්දකු හමුවිය. ඔහු මොවුන්ට ආහාර  දී බලධාරීන්ට මේ බව දන්වා යැවීය.

මෙම සිදුවීම අනුස්මරණය කරමින් 1993 දී එලයිව් නමින් චිත්‍රපටයක්ද නිර්මාණය කෙරිණි.


ඊජිප්තු එයාර් ෆ්ලයිට් 990 අනතුර

 ඊජිප්තුවට අයත් එයාර් ෆ්ලයිට් 990’ අනතුර වටා අබිරහස් සිදුවීම් කිහිපයක්ම පවතී. එය 1999 ඔක්තෝබර් 31 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපළින් කයිරෝ බලා ගමන් ඇරඹීය.

බෝයිං 767 යානයක් වූ මෙය මැසචුසෙට්ස් ප්‍රාන්තයට දකුණින් අත්ලාන්තික් සාගරයේදී මගීන් 217 දෙදෙනා සහ කාර්ය මණ්ඩලය සමග අනතුරට ලක්විය.
මෙහි සහය නියමුවා වූ ගැමියෙල් එල් - බටොවුටි එම යානයේම ගුවන් සේවිකාවක සමග ලිංගික ඇසුරක් පැවැත්වීම නිසා දැඩි අවවාදයකට ලක් වීමක් මෙම ගමන ආරම්භයට ආසන්න අවස්ථාවක සිදුවිය.

ගුවන් සේවයේ නියමු කණ්ඩායමේ ප්‍රධානී හාතෙම් රුෂ්ඩි, එල් - බටොවුටි ට පැවැසුවේ මේක ඔහේගේ අන්තිම ගුවන් ගමන කියාය. එයට පිළිතුර ලෙස එල්- බටොවුටි පැවැසුයේ ඔහේගේ අන්තිම ගුවන් ගමනත් මේක තමයියනුවෙනි.
 පසුව ප්‍රධාන නියමුවා නාන කාමරයට යාම පිණිස සිය අසුනින් ඉවත්වුණු අතර එල් - බටොවුටි සෙමින් මම දෙවියන් ගැන විශ්වාසය තබමි. යනුවෙන් පවසනු පටිගත කිරීමේ යන්ත්‍රයේ සටහන් වී තිබිණි. ඔහු එසේ පවසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලියෙහි පැවැති යානය ඉන් මුදා එය සයුර දෙසට ධාවනය වන්නට සලස්වා ඇත.

ගුවන් යානය පහළට ගමන් කරන අතරේ කිහිප වතාවක්ම ඔහු මෙය පවසා ඇත. ප්‍රධාන නියමුවා යළි නියමු කුටියට පැමිණියද යානය මහ සයුරට ඇද වැටීමෙන් වළක්වා ගන්නට ඔහුට හැකියාවක් ලැබි  නැත.
එක්සත් ජනපද ජාතික ප්‍රවාහන සුරක්ෂිතතා මණ්ඩලය නිගමනය කළේ මෙම අනතුර එල් - බටොවුටිගේ ක්‍රියාව නිසා සිදු වූවක් බවය.

ප්‍රංශයට අයත් ෆ්ලයිට් 447 අනතුර


 2009 වර්ෂයේදී බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ සිට පැරීසිය දක්වා මගීන් 288ක් ද රැගෙන ගමන් කරමින් තිබු මෙම ගුවන් යානය අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී අතුරුදන් විය.

  මේ අතුරුදන්වීම පිළිබඳ කළ විමර්ශනයේ අවසන් වාර්තාවේ සඳහන් වූයේ යානයේ නල තුළ අයිස් කැට සිරවීම නිසා ස්වයංක්‍රීය නියමු ක්‍රියාවලිය බිඳ වැටී මෙය අනතුරට ලක් වූ බවය.

        මෙහි කාර්ය මණ්ඩලය වරද නිවැරැදි කර ගන්නට උත්සාහ දරා ඇති අතර එය ව්‍යර්ථවීමේ ප්‍රතිඵලයක් ලෙස යානය මුහුදට කඩා වැටී තිබේ. අනතුරින් පසුව ගෙවුණු මාස කිහිපයේදී මළ සිරුරු 50ක් සොයා ගන්නට හැකිවිය. තවත් මළ සිරුරු 104ක් සමග මෙම යානයට අයත් කළු පෙට්ටිය 2011 මැයි මාසයේදී සොයා ගන්නට හැකිවිය. මගීන් 74 දෙනෙකුගේ මළ සිරුරු මෙතෙක් හමු වී නැත.

* *උපුටා ගන්නා ලද්දකි...............(සමුදුර)



Monday, March 24, 2014

ඉතිහාසය වෙනස් කළ පෙම් කතා........

වර්තමානය වන විට විවිධ ජාතීන් අතර සුහදත්වය වර්ධනය වී, අන්තර් ජාතීය සබඳතා වඩාත් සංකීර්ණ තලයකට ළඟා වී තිබුණද මීට දශක ගණනාවකට පෙරදී එබඳු තත්ත්වයක් පැවැතියේ නැත. විශේෂයෙන්ම එකිනෙකට වෙනස් ජාතීන් අතර සිදුවන විවාහයන්ට දැඩි ලෙස තහංචි පැනවී තිබෙන ලද්දේ, එවැන්නන්ට නීතියෙන් දඬුවම් ලබාදීමටද ඉඩ ප්‍රස්ථා සලස්වමිනි. වර්තමානයේදී ජාතීන් අතර වන සබඳතා දියුණු තලයකට ළඟා වී ඇත්තේද, අතීතයේදී එලෙස සම්මතයන්ට හා නීතින්ට  එරෙහිව යමින් එකිනෙකට වෙනස් වෙනස් ජාතීන්ට අයත්  පුද්ගලයන් අතර හටගත් අන්තර් සබඳතා විශේෂයෙන්ම විවාහ සබඳතා හේතුවෙනි. මෙම ලිපියෙන් විස්තර කෙරෙනුයේ එලෙස පැවැතියා වූ නීතින්ට අභියෝගයක් වෙමින් ජාති, කුල, ආගම් භේද ඉක්මවා යමින් විවාහයන්ට එළැඹී ඉතිහාසයේ විප්ලවීය යුවළවල් පිළිබඳ විස්තරය.



මිල්රඩ් හා රිචඩ් ලවින්

        1958 ජූලි 11 දා රාත්‍රියේදී සුවබර නින්දක පසුවෙමින් සිටි අලුත විවාහ වූ යුවළක් වන රිචඩ් හා මිල්රඩ් ලවින් නිදි යහන මතදීම ‍පොලිස් අත්අඩංගුවට පත්වූයේ එකල ඇමෙරිකාවේ ප්‍රාන්ත විසිහතරක ක්‍රියාත්මක වූ එකිනෙකට වෙනස් ජාතීන්ට අයත් පුද්ගලයන් දෙදෙනකු අතර විවාහ සිදුවීම තහනම් කෙරෙන නීතියට පටහැනිව ඔවුන් දෙදෙනා විවාහවීම හේතුවෙනි. සිර දඬුවම් හිමිවන නීතියකට එරෙහිව ගොස් විවාහ වීමට ලවින් යුවළ පෙළඹී සිටියේ අත්අඩංගුවට පත්වීමට සති පහකට  පෙරදී මිල්රඩ් ගැබ්ගෙන ඇති බව දැන ගැනීමට ලැබිම නිසාය. වර්ජීනියා ප්‍රාන්තයේ මෙලෙස අන්තර්ජාතීය විවාහයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ නීතිය මගහැරීම සඳහා ලවින් යුවළ විවාහ උත්සවය පවත්වා තිබුණේ වොෂිංටන් නුවරදී වූ නමුදු යළිත් වර්ජීනියා ප්‍රාන්තය වෙත පැමිණි සැණින් ඔවුහු අත්අඩංගුවට පත්ව තිබිණි.


        1963 දී ඔවුහු තමන්ට සිදු වූ අසාධාරණය ඇමෙරිකානු ප්‍රජා නිදහස් සංසදය වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර ඉතා සංකීර්ණ වූද දුෂ්කර වූද නීතිමය සටනකින් පසුව, එබඳු අන්තර් ජාතීය විවාහයන් තහනම් කිරීම ආණ්ඩුක්‍රම විරෝධී වූවක් ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලවින් යුවළට පමණක් නොව එලෙස ජාතීන් දෙකකට අයත් විවාහක යුවළවල් සියලු දෙනාටම දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. අන්තර්ජාතීය විවාහයන්  තහනම් කරමින් ක්‍රියාත්මක වූ නීතිය අවසන් වරට අවලංගු කරන ලද්දේ 2000 වසරේදී ඇලබාමා ප්‍රාන්තයේදීය.


රූත් විලියම්ස් කාමා හා ශ්‍රීමත් සෙරෙට්සේ කාමා

        රූත් හට ශ්‍රීමත් සෙරෙට්සේ කාමා නොහොත් සෙරෙට්සේ කාමා කුමරුව මුණ ගැසෙන ලද්දේ ඇය බ්‍රිතාන්‍යයේ නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේදීය. 1966 වසරේදී බොට්ස්වානා රාජ්‍යයේ පළමු ජනපතිවරයා බවට පත් වූ ශ්‍රීමත් සෙරෙට්සේගේ බිරිය ලෙසත් ජනපති ආර්යාව ලෙසත් රූත් ක්‍රියාකාරී දේශපාලනික භූමිකාවක නිරත වූවාය. එසේ වුවද ඊට පෙර ජාතීන් දෙකකට අයත් වූ රූත් හා සෙරෙට්සේ හට විවාහ වීම සඳහා බාධක වැටකඩොලු රාශියක් ජය ගැනීමට සිදුව තිබිණි.
        1948 වසරේදී ඔවුන් දෙපළ සිය විවාහය පිළිබඳ පුවත නිවේදනය කිරීමත් සමග රූත්්ගේ පියාගෙන් මෙන්ම සෙරෙට්සේගේ මාමාගෙන්ද ඊට එරෙහිව තර්ජන ඉදිරිපත්ව තිබිණි. බ්‍රිතාන්‍ය රජය පවා යුවළට තර්ජනය කරමින් විවාහයට බාධා කිරීමට කටයුතු කොට තිබුණු අතර පසුව යුවළ බොට්ස්වානා රාජ්‍යය බලායාම  වැළැක්වීමටද උත්සහ දරා තිබිණි.
        අට වසරක කාලයක් එංගලන්තය තුළ පිටුවහළුන් ලෙස සැඟවුණු ජීවිතයක් ගත කළ කාමා යුවළට නිදහස හිමි වුයේ සෙරෙට්සේ නායකත්වය දැරූ බමාන්ග්වටෝ ගෝත්‍රයේ සාමාජිකයින් විසින් බ්‍රිතාන්‍ය මහ රැජිණට පෞද්ගලික මට්ටමින් යවනු ලැබූ කේබල් පණිවුඩයක ප්‍රතිඵලයක් ලෙසයි. පසු කාලීනව ඔවුන් දෙපළගේ පුතුන් වූ ඉයන්හා ෂෙකෙඩිදදේශපාලනික
කරළියේ කැපී පෙනෙන චරිත බවට පත් වූ අතර කාමා යුවළගේ කතාව අළලා චිත්‍රපටයක් හා කෘතියක්ද රචනා කරනු ලැබිණි.

        ශ්‍රීමත් සෙරෙට්සේ කාමාගේ ප්‍රතිමාවක් අදටද බොට්ස්වානාවේ ගැබොරෝන්අගනුවර දැකගත හැකිය.


ආර්කේඩියා හුවාන්ග් හා මේරි ක්ලෝඩ් රෙග්නියර්

        දහ අටවන සියවසේ මුල් භාගයේදී යුරෝපියානු විද්වතුන් තුළ චීන  සංස්කෘතිය හා චීන භාෂාව පිළිබඳව දැඩි උනන්දුවක් හටගන්නා ලද අතර මේ සම්බන්ධයෙන් ගෞරවය හිමි විය යුත්තේ චීනයේ ඉපිද පසුව ප්‍රංශයට සංක්‍රමණය වූ ආර්කේඩියෝ හුවාන්ග් නමැති තරුණයාටය.

        කතෝලික දෙමාපිය යුවළකට දාව උපන් හුවාන්ග් සිය දෙමාපිය ඉල්ලීම මත පැවිදි දිවියට එළැඹීම සඳහා ප්‍රංශය බලා ගියද පසුව ඔහු ප්‍රංශ විද්වතුන් පිරිසක් සමග එක්වන ලද්දේ චීන - ප්‍රංශ භාෂා ශබ්ද කෝෂයක්
නිර්මාණය කිරීම සඳහායි. ක්‍රි.ව. 1713 දී එනම් ජාතීන් දෙකකට අයත් යුවළක් අතර සිදු කෙරෙන විවාහයක් සමාජ සම්මතයෙන් බැහැර වූවක් ලෙස සැලකුණු අවධියකදී, හුවාන්ග් මධ්‍යම පාන්තික ප්‍රංශ ජාතික කාන්තාවක වූ මාරී - ක්ලෝඩ් රෙග්නියර් හා විවාහ වූයේය. සම්මතයෙන් බැහැර වූවක්  වුවද මේ සඳහා තරුණියගේ දෙමාපියන්ගේ ආශිර්වාදයද හිමිව තිබුණි. චීන ජාතිකයකු හා යුරෝපීය ජාතිකයකු අතර ඉතිහාසයේ සිදු වූ මෙබඳු ගණයේ පළමු විවාහය මෙය ලෙස ඉතිහාසඥයන් විසින් සලකනු ලැබේ.

ගොන්සේලෝ ගුඑරෙරෝ හා සසිල්

        ස්පාඤ්ඤ හා මායා ඒකාබද්ධ සංස්කෘතියෙන් බිහි  වූ බොහෝ අයවලුන්ට එවැනි දෙමුහුම් සංස්කෘතියකට උරුමකම් කීමට සිදුවන ලද්දේ මායා ජාතික කාන්තාවක හා ස්පාඤ්ඤ ජාතික ගොන්සාලෝ ගුඑරෙරෝනැමැත්තා අතර සිදු වූ විවාහයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒයද සිදුවූයේ ෙදෙවයේ තවත් එක් අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් ලෙසයි. යුකාටන් වෙරළ තීරයට ඔබ්බේදී මුහුදුබත් වූ නැවකින් දිවි ගලවා ගැනීමට සමත් වූ එකම පුද්ගලයා වූ ගොන්සේලෝ, මායාවරුන්ගේ ග්‍රහණයට පත් වූ අතර, ඔවුන්ගෙන් සිය ජීවිතය ගලවා ගනු සඳහා ඔහු විසින් අනුගමනය කරනු ලැබූ උපක්‍රමශීලී පිළිවෙත වූයේ මායාවරුන්ගේ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් පිළිගනිමින් ඊට අනුගත වීමට තමන් කැමැති බව ඔවුන්ට හැඟවීමයි.
        ඒ අතරම ස්පාඤ්ඤ ජාතිකයන් අතර භාවිතා වන සටන් උපක්‍රම ඔවුන්ට ඉගැන්වීමටද ගොන්සේලෝ සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූයේ මායාවරුන්ගේ විශ්වාසය පමණක් නොව ඔවුන්ගේ ගෞරවයද හිමි කරගනිමිනි. ඔහුට මායාවරුන් අතර කෙතරම් ඉහළ පිළිගැනීමක් හිමි වූයේද යත් පසුව ඔහුට සසිල් හා නමැති මායා කුමාරිකාව සරණ පාවා ගැනීමේ වරප්‍රසාදයද හිමිවිය.
        පසු  කලෙකදී ගොන්සේලෝ මායාවරුන්ගේ ආධිපත්‍යයෙන් මුදා ගැනීම සඳහා ස්පාඤ්ඤ ජාතිකයන් උත්සහ ගනු ලැබුවද ඒ වන විටත් මායාවරුන්ගේ සංස්කෘතියේම සාමාජිකයකු බවට පත්ව සිටි ගොන්සේලෝ ආපසු මවුරට බලා පැමිණීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින ලද්දේ තමන්ව මායාවරුන් විසින් දේවත්වයෙහිලා සලකනු ලබන හෙයින් ඔවුන්ව අතහැර ඒමේ බලා‍පොරොත්තුවක් තමන්ට නොවන බවයි. ඒ වන විට ඔහු මායා සම්භවය සහිත දරුවන් තිදෙනකුගේ පියෙකුවද සිටි බව කියැවේ.

ලුයිසා හා ලූයිස් ගේ‍රගරි

        අප්‍රිකානු ඇමෙරිකානුවෙකු වූ ලුයිස් ගේ‍රගරි හා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වූ ලුයිසා මැතිව්ස්යුවළ එකිනෙකා දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ 1911 වසරේදී ඔවුන් ඊජිප්තුවේ ශු. දේශයේ සංචාරයක නිරත වත්දීය. බහායිනමැති ධර්මය අනුසාර කරන්නා වූ බැතිමතුන් දෙදෙනකු වූ ලුයිසා හා ලුයිස්ගේ ප්‍රේමයට සමාජ සම්මතයන්ගෙන් බාධක එල්ල වන ලද්දේ එකල සමාජයේ විශේෂයෙන් ඇමෙරිකාව තුළ මෙබඳු අන්තර් ජාතීන් අතර සිදු කෙරෙන විවාහයන්ට එරෙහිව තහංචි සේම වර්ගවාදයද තදින් මුල්බැස ගෙන තිබූ නිසාය.
        සමානාත්මතාව සිය විශ්වාසයේ එක් අංගයක් ලෙස සැලකූ බහායිලබ්ධිකයන් අතර පවා වර්ගවාදය පිළිගැනීමට ලක්වීම ඇත්තෙන්ම ඛිෙදයට කරුණක් විය.
ඒ සියලු බාධා ජයගනිමින් 1912 ලුයිසා හා ලුයිස් යුවළ නිව්යෝක් නුවරදී විවාහප්‍රාප්ත වන ලද්දේ, ජාතීන් දෙකකට අයත් පළමු විවාහක බහායි ආගමික යුවළ බවට පත්වෙමිනි. පසු කාලෙකදී ලුයිස් ගේ‍රගරි ඇමෙරිකාව තුළ මෙන්ම බහායි ලබ්ධික සමාජය තුළද වර්ගවාදයට එරෙහිව සටන් වැදියා වූ ප්‍රකට චරිතයක් බවට පත් වූ අතර 1951 වසරේදී ඔහුගේ මරණය සිදුවන තෙක්ම ගේ‍රගරි යුවළ බාධක මධ්‍යයේ වුවද සාර්ථක යුග දිවියක් ගත කිරීමට සමත් වූහ.


ලෙනාඩ් කිප් රයින්ලන්ඩර් හා ඇලිස් ජෝන්ස්

        කිප් රයින්ලන්ඩර් නමැති උසස් පැළැන්තියේ සුදු ජාතිකයා හා ඇලිස් ජෝන්ස් නමැති කළු ජාතික තරුණිය අතර සිදු වූ විවාහය මෙන්ම දික්කසාදයද මෙම වර්ගවාදය පිළිබඳ ආන්දෝලනය අධිකරණය හමුවට ගෙනෙන ලද්දේ, නීතිමය වශයෙන් පුද්ගලයකු කළුද නැතහොත් සුදුද ලෙස තීරණය කරනුයේ කවර සාධක පදනම් කර ගනිමින්ද යන්න ප්‍රශ්න කරමිනි.

        නිව්යෝක් නුවර වංශක්කාර පවුලක තරුණයකු වූ කිප් හා ජාතීන් දෙකකට අයත් වැඩ කරන පන්තියේ දිළිඳු යුවළකට දාව උපන් ඇලිස් අතර සම්බන්ධයක් හට ගනුයේ 1921 වසරේදී ඔවුන් දෙදෙනා කනෙක්ටිකට් නුවර වූ වෛද්‍ය සායනයකදී හමුවීමත් සමගය. තෙවසරක දීර්ඝ ඇසුරකින් පසුව 1924 දී ඔවුන් විවාහ වනුයේ, කිප්ගේ ජනප්‍රියත්වය හේතුවෙන් එම විවාහය මාධ්‍ය ලෝකයේ ඉහළ අවධානයක් හිමි කර ගනිමිනි. ඒ ජනප්‍රියත්වය කෙතරම් වීද යත් නිව්යෝක්සමාජ ලියාපදිංචි ‍ලේඛනයට නම ඇතුළත් වූ ප්‍රථම කළු ජාතික කාන්තාව වන්නේද ඇලිස් ජෝන්ස්ය.
        කෙසේ වුවද මෙම විවාහය වැඩිකලක් පැවැතුණේ නැත. සිය දෙමාපියන්ගේ බලකිරීම මත දික්කසාදයට සිය කැමැත්ත පළ කළ කිප් අධිකරණය හමුවේ කියා සිටියේ සුදු ජාතිකයකු වීමට ජෝන්ස් හට ප්‍රමාණවත් සුදුසුකම් තිබෙන බවයි.
        අවසානයේදී ජෝන්ස් හට සාධාරණය ඉටු වන පරිදි නඩුව අවසන් වන ලද්දේ ඇයට වාර්ෂිකව නඩත්තු මුදලක් ගෙවන ලෙසට කිප්ට නියෝග කරමිනි.


ජේම්ස් ඇචිලස් කර්ක් පැට්‍රික් හා කෙයාර්උන්

        ජේම්ස් ඇචිලස් කර්ක් පැට්‍රික් හා කෙයාර්උන් නිසා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් ඉන්දියාවේ සංචාරයේ නියුතු වූ නැගෙනහිර ඉන්දියානු සමාගමේ ඉහළ පෙළේ නිලධාරියකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකුද වූ ජේම්ස් කර්ත් ප්‍රැටික් එම සංචාරයේදී ඉන්දියානු සංස්කෘතිය සමග කෙතරම් සමීප සබැඳියාවක් ඇති කර ගනු ලැබුවේද යත් කෙටි කලකින්ම සිය බටහිර පන්නයේ ගති පැවැතුම් සියල්ල ඉවතලා ඉන්දීය සම්ප්‍රදායන්ට අනුගත වී ඉන්දියානුවෙකු ලෙස එහි පදිංචි වීමට පෙළඹුණි.
        පසුව ඉස්ලාම් ධර්මය වැළඳ ගනු ලැබූ කර්ක්ප්‍රැටික් 1801 දී හයිද්‍රා බාද් නුවර අගමැතිවරයාගේ ළාබාල මිණිබිරිය වූ කෙයාර් උන් නිසාහා විවාහ වූ නමුදු ඊට ඉන්දීය බලධාරීන්ගේ අවසරය හිමිවන ලද්දේ, හයිද්‍රාබාද් රජයේ නීතින්ට එකඟව හැමවිටම ක්‍රියා කිරීමට ඔහු එකඟ වීමේ කොන්දේසිය මතය.
        එසේ වුවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් වෙළාගනු ලැබ තිබූ ඉන්දියාව  තුළ මෙම විවාහයට එරෙහිව දැවැන්ත විරෝධයක් හටගත් අතර, කර්ක් පැට්‍රික් ඉහළ පෙළේ නිලධාරියකු වීමද මීට එක් හේතුවක් වී තිබිණි. ඉන්දියාවේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්ව ආ රිචඩ් වෙසෙස්ලිසාමිවරයා හමුවට කැඳවනු ලැබූ කර්ක් ප්‍රැටික්ගේ සියලු නම්බුනාම හා තනතුරු ඔහු වෙතින් ඉවත් කෙරුනද, සිය විවාහය අවලංගු කිරීමට තරම් ඔහු බෙලහීනයකු නොවීය. පසුව සිය දරු දෙදෙනාට අධ්‍යාපනය ලබාදීම සඳහා ඔවුන්ව එංගලන්තයට යැවුණු අතර හදිසියේ හටගත් උණ රෝගයක් හේතුවෙන් ඔහු මිය යන ලද්දේ 1807 දීය.
ඔහුගේ මරණයෙන් වසරකට පසුව ඔහුගේ බිරිය උන් නිසාද මිය ගියාය.

බිල් ඩී බ්‍ලේසියෝ හා චර්‍ලේන් මැක්රේ
        මේ වන විට ඇමෙරිකාව තුළ ජාතීන් දෙකකට අයත් යුවළවල් අතර සිදුවන විවාහයන්ට නීතියෙන් අවසර ලැබි තිබුණ ද, ප්‍රධාන පෙළේ රජයේ නිලධාරී ධුරයකට තේරී පත් වූ කළු ජාතික කාන්තාවක සිය බිරිය කර ගත් පළමු තැනැත්තා වනුයේ 2013 වසරේදී නිව්යෝර්ක් නුවර නගරාධිපති ලෙස තේරී පත් වූ බිල් ඩී බ්‍ලේසියෝය චර්‍ලේන් මැක්රේ නමැති ඔහුගේ බිරිය කළු ජාතික කාන්තාවකි.

* *උපුටා ගැනීම (සමුදුර)

Thursday, March 13, 2014

ඉන්දීය බිතුසිතුවම් කලාවේ නිදන් ගබඩාව අජන්තා බිතුසිතුවම්..............

            පුරාවිද්‍යාඥ ජේම්ස් බර්ජස් හා විලියම් ජිල් මෙම සිතුවම්වල සංරක්ෂණ කටයුතු පළමුවරට ආරම්භ කර ඇත. මොවුන් වර්ෂ 1866 දී එංගලන්තයේ ක්‍රිසල් පැලස් හිදී මේ චිත්‍රවල ප්‍රදර්ශනයක් පැවත්වීය.නමුත් අවාසනාවකට මෙන් එම චිත්‍ර ගින්නකට හසුව විනාශ වූ බව සඳහන් වේ. ඊට පසු ග්‍රිෆිත් හා හෙරිංහැම් ආර්යාව සතුව තිබූ පිටපත් නැවත මුද්‍රණය කර 1896 - 1915 කාල වකවානුවේ ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ.

වර්ෂ 1933 දී හයිද්‍රබාද්හි නිසාම් මහරාජාගේ අනුග්‍රහය යටතේ මේ ගුහා චිත්‍රවල සංරක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇත. හයිද්‍රබාද්හි පුරාවිද්‍යා අධ්‍යක්ෂ යෂ්ඩනිගේ මූලිකත්වයෙන් ඉතාලි චිත්‍ර කලා තාක්ෂණවේදීන්ගේ ආධාරය ඇතුව චිත්‍රවල පුනරුත්ථාපන කටයුතු සිදුකර ඇති බව සඳහන් වේ.        මේ චිත්‍ර ආසියානු බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායට අයත් වන්නේ යැයි ඔවුන් සඳහන් කරයි. බටහිර පාතීනත්, චිත්‍රකලා සම්ප්‍රදායේද, නේපාල, මධ්‍යම ආසියා, චීන, ජපන්, බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායන්ගේද සමහර සමාන ලක්ෂණ මේ චිත්‍රවලද දක්නට ලැබෙන බව කියැවේ. මේ අජන්තා ගුහා චිත්‍රද නැගනහිර බෞද්ධ සම්භාව්‍ය කලා සම්ප්‍රදායට අයත් නිර්මාණ වේ. මේ චිත්‍රවල වස්තු විෂයයන් බෞද්ධ කතා හා විවිධ ආගමික සංසිද්ධී ඇසුරෙන් තෝරාගෙන ඇත.   
 ජාතක කතා මින් ප්‍රධාන වෙයි. අජන්තා ගුහා සිතුවම් 28ක් දක්නට ලැබෙයි.     
අජන්තා බිතුසිතුවම් බටහිර ෆෙස්කෝ බිතුසිතුවම් කලාවෙන් සම්පූර්ණයෙන් වෙනස්වන බව කියැවේ. තෙත් හුණුගල් බදාමයක් මත අඳින බිතුසිතුවම් ෆෙස්කො නමින් හඳුන්වයි. නමුත් අජන්තා සිතුවම් ඇඳ තිබෙන්නේ වියළි බදාමයක් මත යයි සොයාගෙන ඇත.

අජන්තා ගුහා බිතුසිතුවම් ඇඳ තිබෙන ගල්බිත්ති චිත්‍රකරණයට සකස් කරගෙන ඇත්තේ මෙසේය.  පළමුව ගල්මතුපිට මඩ පස් ආවරණයකින් වසාදමයි. එම මඩ ආවරණය ගොමවලින්ද, කුඩාවට කපන ලද ගොයම් ඉපැනැලි හෝ සත්ත්ව කෙස්වලින්ද මිශ්‍රණය කර සකස් කරගෙන ඇත. මෙහි ඝනකම අඟල් 1 1/2 පමණ වෙයි. ඊටපසු ජිප්සම් ගල් ඉතා කුඩාවට කුඩුකර, පෙනේරයෙන් හලා එම කුඩුවලින් පළමු ආවරණය වසා ඇත. එසේ නැතහොත් හුණුගල්කුඩු මේ දෙවන ආවරණයට යොදාගෙන ඇත. මෙහි මතුපිටේ මූලික චිත්‍ර රූප ඇඳීම කර ඇත. මේ රේඛා ඇඳීම සඳහා රතු ඛනිජ නැතහොත් රත්හිරියල් උපයෝගිකරගෙන ඇත. 

මේ ගුහා සිතුවම් ශතවර්ෂ ගණනාවක් පුරා සිතුවම්කර ඇති බව සඳහන් වේ. වකටක හා චාලුක්‍ය අධිරාජ්‍යයන්ගේ කාලයේ එනම් ක්‍රි.ව. 4-7 දක්වා කාලයේ බොහොමයක් මේ සිතුවම් නිර්මාණය කර ඇතැයි කියැවේ.පළමු ගුහා චිත්‍ර සිතුවම් පුලකේෂි රජතුමාගේ කාලයේ පළමු ශතවර්ෂයේ නිර්මාණය වී ඇත. මේ රජතුමා  ක්‍රි.ව. 642 දී මියැදින. මේ අජන්තා චිත්‍රවලින් බොහෝ දුරට ස්වභාවික හැඩතල ප්‍රදර්ශනය වෙයි. වර්ණ සංයෝජනයද එසේමය. හැඩතල, ප්‍රමාණය, හැඟීම් ප්‍රකාශනය, සමානතාවය යන චිත්‍ර කලා ගුණාංග මේ චිත්‍රවල දක්නට ලැබෙයි.  

ඉන්දියාවේ 5 ශතවර්ෂයේ ගුප්ත යුගයේ චිත්‍ර කලා සංස්කෘතියේ අවසානය මේ අජන්තා සිතුවම් යැයි සඳහන් වේ. ඉන්දියාවේ බෞද්ධ චිත්‍රකලා ඉතිහාසයේ අවසානය සනිටුහන් කරන්නේද මේ චිත්‍රයි. ඊට පසු යුගය දේවාත්වරෝපණ සම්ප්‍රදායට අයත් වෙයි. යුරෝපීයනට යම්සේ පාතීනන් පළිඟු චිත්‍ර වැදගත් වන්නේද එලෙසම ආසියානුවන්ට අජන්තා ගුහා චිත්‍ර වැදගත් වෙයි.   


අජන්තා ගුහා සිතුවම්වල ප්‍රධාන තේමාව වී ඇත්තේ බුදුන් වහන්සේගේ පුනර්භව කතාය. ජාතක කතා මින් ප්‍රධාන වෙයි. 17 වන ගුහාවේ වෙස්සන්තර ජාතක කතාවේ චිත්‍ර ප්‍රදර්ශනය වෙයි. කරුණා, දයාව, ජීවිතයේ මරණය හා අනිත්‍යයද මේ චිත්‍රවලින් ප්‍රකාශනය වෙයි

6-7 ශතවර්ෂවලනිර්මාණය වූ ගුහා චිත්‍රවල බටහිර ආසියානු ඇසිරියන් චිත්‍ර කලා සම්ප්‍රදායේ චිත්‍ර කලා ලක්ෂණ දක්නට ලැබෙන බව සඳහන් වේ. ලලනා චිත්‍ර විශේෂයෙන් අප්සරාවන් හා නාටිකාංගනාවන් ඉතා විචිත්‍ර ලෙස විවිධ ඇඳුම් පැළඳුම් හා ආභරණවලින් සරසා චිත්‍රගත කර ඇත. 
ආගමික ප්‍රකාශන තේමා ලක්ෂණ පසුකාලීන ගුහා චිත්‍රවලින් බැහැර වී ඇති බව මින් පෙනේ. මෙම චිත්‍ර අධ්‍යයනය කිරීමේදී පසුකල ගුහා චිත්‍රවල මහායාන බෞද්ධ දේවාත්ව රෝපණ චිත්‍ර සම්ප්‍රදායක් දක්නට ලැබෙයි. ‍පොදුවේ ගත්කල මෙම චිත්‍ර ඉන්දියාවේ ගුප්ත හා චාලුක්‍ය රාජ්‍ය යුගවල භෞතික සංස්කෘතිය හැදෑරීමට උපයෝගි වෙයි.  


රූගත කතුන්ගේ ආභරණ, ඇඳුම් පැළඳුම්, මල්, පලතුරු, ගස්, පක්ෂීන් ආදියෙන් සරසන ලද පසුතල හා චිත්‍ර එවක මානව සංස්කෘතිය කෙසේ වූයේ දැයි ප්‍රකාශනය කරයි. අජන්තා ගුහා සිතුවම් බෞද්ධ ආසියානු චිත්‍රකලාව විස්තර කරන්නා සේම ඊට නිර්මාණ පසු යුගයේ නිර්මාණය වූ එල්ලෝරාහින්දු චිත්‍රකලා ඉතිහාසය විස්තර කරයි. අජන්තාවේ පළමු ගුහා චිත්‍ර සැරසිලි  ශ්‍රී ලංකාවේ ‍පොළොන්නරු යුගයේ චිත්‍රකලා කෘති කෙරෙහි ආභාෂය ලබා දී ඇති බව සඳහන් වේ. 

සීගිරි චිත්‍රවලද අජන්තා සිතුවම්වල සමාන ලක්ෂණ දක්නට ලැබෙයි. 

ලොව උතුරු හා නැගෙනහිර දෙසට බුදු දහම ව්‍යාප්ත වීමත් සමග අජන්තා ඉන්දියානු බෞද්ධ චිත්‍ර කලාව තුර්කිස්ථානය, චීනය වැනි රටවල චිත්‍රකලාව කෙරෙහි බලපා ඇත. එයට කදිම  නිදසුන ඇෆ්ගනිස්ථානයේ අඩි 175 උස වූ බාමියන් බෞද්ධ පිළිරුවයි. එහි නිර්මාණ කලා ලක්ෂණ අජන්තා කලා සම්ප්‍රදායට සමාන බව සඳහන් වේ. ඉරානයේ තුර්ෆාන් කයිසිල් ආදී ස්ථානයන්හි ඇති චිත්‍රවලට අජන්තා චිත්‍ර ෙශෙලියේ බලපෑම් ලැබි ඇත. චීනයේ 6-7 ශත වර්ෂවලට අයත් වූ ටුන්හුආං හි චිත්‍රවලද අජන්තා ශෛලිය දක්නට ලැබෙන බව ‍පොතපතේ සඳහන් වේ. ක්‍රි.ව. 7-8 ශතවර්ෂවල චීනයේ ටෑන්ග් අධිරාජ්‍යාගේ කාලයේ චීනය හා ඉන්දියාව අතර සුහද දේශපාලන සම්බන්ධතාවක් තිබි ඇත.















6-7 ශත වර්ෂවල ජපානයේ නිර්මාණය කරන ලද චිත්‍ර කලා කෘති කිහිපයක අජන්තා ශෛලියේ නිර්මාණ දක්නට ලැබෙන බව කියයි. ඊට නිදසුන් ලෙස නාරා හි දක්නට ලැබෙන තචිබාන සිද්ධස්ථානය පෙන්වා දිය හැකිය. මේ සිද්ධස්ථානයේ කලා නිර්මාණවලට චීන චිත්‍ර සම්ප්‍රදායන් බලපා නැති බවද සඳහන් වේ.
8 වන ශතවර්ෂය අයත් යයි සැලකෙන 1948 ද විනාශ වූ හෝර්යුජිහි දක්නට ලැබුණු චිත්‍ර නිර්මාණවල අජන්තා ශෛලියේ නිර්මාණ තිබූ බව සඳහන් වේ.
ග්‍රීක හා රෝම චිත්‍ර කලාවේ ආභාෂය මුළු යුරෝපය පුරා පැතිර ගිය අයුරින් අජන්තා බිතුසිතුවම් චිත්‍ර කලා ෙශෙලිය හා සම්ප්‍රදාය මුළු ආසියාව පුරාවට ඉරානයේ සිට ජපානය දක්වා පැතිර ගිය බව සඳහන් වේ.  



*උපුටා ගන්නා ලද්දකි...............(සමුදුර)