Tuesday, February 18, 2014

ගිමන් හරිමින්...........


- මා කම්පාවට පත්කළ සරත් විජේසූරියන්ගේ " තාත්තා" -





මට කියවා නිම කළ නොහැකි මහ පොතකි තාත්තා.......!! (සරත් විජේසූරිය)




අම්මාගේ වියෝවෙන් පසු තාත්තා මට තවත් ළං වූවා යැයි මට නිතර  හිතෙනවා. 78 වන වියේ පසුවන මගේ තාත්තා ගේ ජීවිතය, දැන් ජීවිතයත් මරණයත් අතර සටනක පොර බඳිමිනුයි තිබෙන්නේ. මත්පැන්, සිගරට් තියා බුලත් විටක්වත් නොකන මගෙ තාත්තාගේ එක් වකුගඩුවත් දැන් සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි. කාලාන්තරයක් තිස්සේ දියවැඩියා රෝගයට බෙහෙත් ගන්න නිසා මෙවන් අකරතැබ්බයකට මුහුණ දේවි යැයි අපි කිසිකෙනෙක් හිතුවේ නැහැ. සරත් විජේසූරියන්ගේ "තාත්තා" පොත බොහෝ කාලයක් තිස්සේ කියවීමට ආසාවෙන් සිටි පොතක් නිසා, මෙවර කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි මොහොතේ මිලදී ගත්තද ස්වර්ණපුස්තක තරඟයේ හබාගිය පොත් කියවීමට කාලය වැය කළ හෙයින් මේ පොත මගේ මතකයෙන් ගිලිහී තිබුණා. අද දින අප හිතවත් ප්‍රවීණ ගායක සමන් ජයනාත් ජිනදාස අයියාගේ බිරිඳ වු අනෝමා අක්කා "තාත්තා" පොත තියෙනවා නම් එවන්නයැයි මගෙන් කළ ඉල්ලීමට මා අපේ පොත් රාක්ක අතර සැරිසැරුවා. පිටු 80 ක් වැනි පුංචි පොතක් එක හුස්මට කියවා හමාර කළ හැකි නිසා මා කියවා සිටි සුමිත්‍රා රාහුබද්ධගේ "අත අත නෑර" අත්හැර "තාත්තා" කියවීමට උදයෙන්ම සාලයේ දිග පුටුවේ දිගෑදුණා. ඒත් ඒ පොතේ ඉන්න තාත්තා දැක්කම මට මතක් වුණේ මගේ තාත්තව. හැම ඉරිදාකම තාත්තා එක්ක ස්කයිප් එකෙන් කතා කළත් ඉඩ ලද විටෙක ලොකු අක්කාට දුරකථන ඇමතුමක් දී තාත්තා ගැන තතු විමසන්න මං අමතක කළේ නැහැ. "තාත්තා" පොත කියවන්න කලියෙන් මගේම තාත්තාගේ හඬ අහන්නට මට උවමනා වුණා. තාත්තාගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙන බව අක්කා මා සමඟ පැවසූ විට තාත්තාගේ හඬ ඇසීමේ ලෝබ කමින් මා වඩාත් පෙළුණා. 
අම්මාගේ හදිසි වියෝවීමෙන් පසු තාත්තා නිතර කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා අසනීප තත්ත්වය දිනෙන් දින උග්‍ර වීම අපි කාටත් දරාගන්න අමාරු වුණා. තාත්තාගේ ජීවිත අත්දැකීම් පුදුමාකාරයි. මං පුංචි කාලේ හිටන්ම ඒ රසවත් කතා අහන්න පුදුම කැමැත්තක් තිබුණේ. ලංකාවට නිදහස ලැබෙද්දි මගේ තාත්තට වයස අවුරුදු 12 ක් වුනත් තම දෑසින් සජීවිව නැරඹූ නිදහස් දිනයේ අපූර්වත්වය චිත්‍රපටයක් වගේ එක දිගට ගලායන රසවත් සිද්ධී මතකයෙන් කියන්න තරම් වාසනාවන්තයි. තාත්තා හරිම කැමතියි පොත් කියවන්න. ඇත්තටම මටත් පොත් කියවන්න පුරුදු කළේ මගේ ආදරණීය තාත්තා. මට තේරෙන වයසේ ඉදලාම අපේ ගෙදර තිබිච්ච පොත් රාක්කවල, පොත් මං ආදරෙන් රැක බලා ගත්තා. පංච තන්ත්‍රය, අමාවතුර, බුත්සරණ ආදි විවිධ පොත් වලින් රාක්කය පිරී තිබ්බා. "පංචතන්ත්‍රයේ" පොත් නාරටිය ගැලවිලා තියෙන විත්තිය දැක්ක මං කළේ රෙදි කෑල්ලක් තියලා මට පුළුවන් විදියට පොත බැන්ඳ එකයි. මකත හැටියට මං එතකොට 5 වසරේ.

තාත්තා දිගින් දිගටම අම්මා ගැන හිතමින් ඉන්න එක වළක්වන්න ක්‍රමයක් විදියට මං තාත්තට අපූරු යෝජනාවක් කළා. ඒ තමයි තාත්තගේ ජීවිත කතාව ලියන්න කියලා. ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක වුණා. තාත්තා දැන් එක දිගටම ලියනවා. ලොකු අක්කා කියනවා පාන්දර හතරටත් නැගිටලා ලියනවා කියලා. මං ඒ අතර කියවන්න අපේ පොත් ගුලෙන් තාත්තට පොත් ගොඩකුත් දීලා ආවා. තාත්තා හරිම ආසයි "චින්තා ලක්ෂ්මි සිංහආරච්චිගේ" පොත් කියවන්න. 
"'...බන පොත් කියවද්දි දන්නෙම නැතිව නින්ද යනවා පුතේ. ඊටත් මට ඒ පොත් ඇතුලෙන් අම්මව පේන්න ගන්නවා. ඉතිං මට දැන් පොත් කියවන්න අමාරුයි"
මං ඉන්නේ ගව් ගාණක් ඈත. මගේ අම්මගේ මරණයේදී මං අම්මා ළඟ හිටියේ නැහැ. අම්මා නැති වෙන්න දවස් දෙකකට කලින් මාත් එක්ක ස්කයිප් එකෙන් කතා කළා. අනේ ඉතිං අම්මා නින්දෙන්ම මැරෙයි කියලා කවුද හිතුවේ. මගේ තාත්තා තව කවර කාලයක් ජීවත් වෙයිද කියලා මං දන්නෙ නැහැ. ලංකාවේ ඉද්දී මං මට පුළුවන් උපරිමයෙන් මගේ අම්මටයි තාත්තටයි සැලකුවා. අසනීප වුණාම ආදරෙන් බලා ගත්තා. නෑව්වා, බත් කැව්වා, රෙදි හේදුවා. මට අවුරුදු 17 ඉදලා මං මගේ වියදම් පියව ගන්න උත්සාහ කළා. ඒ අනුව උ.පෙළ ලියන ගමන් පෞද්ගලික පන්ති කළා ගෙවල් වලට ගිහින්. මට ලැබිච්ච මුදලින් මං අම්මා තාත්තට මට පුළුවන් උපරිමයෙන්ම සැලකුවා. "අද කළ යුතු දේ අදම කරන්න ඕන" කියන දේ සත්‍යයක් බව මට වඩාත් තේරුම් ගියේ මගේ අම්මා නැති වුණාට පස්සෙයි. මං කසාදයක් බැඳලා අම්මට තාත්තට සලකන්න හිටිය නම් මට අද කොච්චර පසු තැවෙන්න සිද්ධ වෙයිද? මගේ අම්මගේ මරණය මාව කම්පනයට පත් කළත් අම්මා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න පුළුවන් වෙච්ච එක මට සතුටක්. 
සරත් විජේසූරියන්ගේ "තාත්තා" කෙටිකතා සංග්‍රහය කියවද්දී මට මගේ තාත්තා මැවිලා පෙනුණා. ඇත්තමයි මට ඒ පොත කියවන්න අමාරු වුණා. මගෙ පපුව හිරවුණා වගේ දැනුණා. මගේ ඇස් වලින් කඳුළු කඩා වැටුණේ හරියට ටකරන් වහලයකට හයියෙන් වැහි බිඳු කඩා වැටෙනවා වගෙයි. ඒත් මං කොහොම හරි මුළු පොතම කියෙව්වා. ඒ හැම කතාවකවම විවිධ තාත්තලා හිටියා. මගේ තාත්තත් ඒ චරිත අතර හිටිය විත්තිය දැනුණු නිසා වෙන්න ඇති මාව කම්පනයට පත්වුණේ. ආරම්භයේදීම මාව හඬවන්න ගත්තේ මගේ තාත්තා මං දුරකථන ඇමතුම දුන්න වෙලේ කිව්ව දේ නිසා වෙන්න ඇති.
"පුතේ.... මං මේ ජීවිත කතාව ලියන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. මගේ ජීවිතයේ ලැබුණු අත්දැකීම් අලුත් පරම්පරාවේ දරුවෝ එක්ක බෙදා හදා ගන්නයි. මේකේ තියෙන්නේ මං ඉපදිච්ච බත්තරමුල්ලේ ඉදලා විවාහ වෙලා හැඳලට පදිංචියට ආවට පස්සේ තියෙන අත්දැකීම්. අපි සුදුසු කෙනෙක්ට දීලා මේ පොත ප්‍රින්ට් කරමු පුතේ. මං දැන් පිටු 180 ක් විතර ලියලා තියෙන්නේ. පුතා ලංකාවට එනකල් මං බලාගෙන ඉන්නේ. පිටු 250 ක් විතර ලියැවෙයි. සමහර විට ඊටත් වැඩිවෙයි...."
 තාත්තාගේ ජීවිත කතාවේ පිටු ගණනාවක් මං ගිය මාසේ ලංකාවට ගිය වේලේ කියෙව්වා. අපි අහලවග් නැති වචන. ඇත්තටම මගේ තාත්තා කොච්චර නම්  ජීවිත අත්දැකීමෙන් පොහොසත්ද කියලා මට දැනුණේ ඒ මොහොතේදියි. 
වෙනදාට වැඩියෙන් මට තාත්තගේ හඬ දැනෙන්න ගත්තා. මං තාත්තගෙ බාල දියණිය. ඒ වගේම බඩ පිස්සි. ගමනක් යද්දි තාත්තගේ ඔරලෝසුව බැඳපු අත අල්ලගෙන යන්න මාත් මගේ එකම අයියාත් හැමදාම පොරකෑවා. අද අම්මා නැති ගෙදර මගේ ලොකු අක්කාත් පොඩි අක්කාත් එක්ක සැදෑසමය ගත කරන මගේ තාත්තා ගැන දැනෙන හැඟීම් මට වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ හැම කරුණක්ම එක දිගට ලියාගෙන යද්දී ඇස් වලින් වැටෙන කඳුළු වෙනදට වැඩිය හරිම බරයි කියලා මට දැනෙන්නේ. 
මා දියණියක් වූවත් පුතේ.........කියලා තමයි තාත්තා හැමදාම කතා කළේ. ලියන්න ගියොත් නම් පිටු ගණන් ලියන්න පුළුවන්.
ඇත්තටම ...........
මට කියවා නිම කළ නොහැකි මහ පොතකි තාත්තා.......!!



- රුක්ෂිලා වෙත්තමුණි -
2013 - 09 - 24