ඇමුණුම්
- ආස්වාදය ලත් පොතක වත (4)
- ඉතිහාසය හා පුරාවිද්‍යාව (4)
- එහෙන් මෙහෙන් (26)
- කවි වගේ කවි (49)
- ජීවිතේ ලස්සන දවස් (1)
- පොතක් කියවා දැනුණු දේ........ (1)
- මං පත්තරේට ලිව්ව දෑ (19)
- මා ගත් සේයා රූ (18)
- මා ලියූ කෙටිකතා (2)
Sunday, February 23, 2014
ආණ්ඩුව ෆේස්බුක් තහනම් කළොත් ඉන් රිංගා යා හැක්කේ කෙසේද?
මොකක්ද මේ ෆේස්බුක්.............
"ෆේස්බුක් කියන්නේ ඇත්තටම දැලි පිහියෙන් කිරි කනව වාගේ තැනක්". ඒ නිසා සුදුසු නුසුදුසු දෑ තෝරා බේරා ගෙන කෑම අප කාගෙත් වගකීමය. ඉතිං මේ දවස්වල ෆේස්බුකිය ගැන විවිධ අයුරින් චෝදනා, මඩ ප්‍රහාර එල්ලවෙමෙනුයි පවතින්නෙ. මාත් බොහෝ කාලයක් ෆේස්බුක් ගිණුමක් අටවාගෙන ඇති මුත් අද වෙනතුරු සිදු වූ අකරතැබ්බක් නම් නැත. ඒත් මේ පෝස්ට් එක පළ කළාට පස්සේ නම් කුමක් වනු ඇතැයි දන්නේ කවුරුන්ද? කවුරු කොහොම කිව්වත් ෆේස්බුක් එක කියන්නෙ අද මුළු ලෝකෙම දළු දාමින් පැතිරී යන විශාල සමාජ ජාලයක්. කොටින්ම කිව්වොත් භාණ්ඩයක් මිලදී ගත්තත් එහි පසෙකින් යොදා තිබෙන්නෙ ඔවුන්ගෙ ෆේස්බුක් ගිණූමේ ලිපිනයයි.
පැණිම පැණි රස අඹ යායක් මැද්දේ කොහොඹ ගහක් පැළ කළාම, ඒ ආසන්නයේ තියෙන අඹ ගහේ අඹ, කොහොඹ ගහේ තිත්ත නිසා පැණි රස වෙනුවට තිස්ස රස ආවොතින්, අපි කරන්නේ මුළු අඹ යායම කපලා විනාශ කරල දාන එකද? නැතිනම් අර කොහොඹ පැළේ කපල දාන එකද?
අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි දැන් මේ ෆේස්බුකියටත් වෙලා තියෙන්නෙ. එකෙක් දෙන්නෙක් හෝ තුන් හතර දෙනෙක් මළාට ලක්ෂ සංඛාත ජනයාගෙ ෆේස්බුක් ගිණුම් අත් හිටෙව්වම ප්‍රශ්න විසදෙනවද?
ජරා ජීර්ණ වෙච්ච දේශපාලන සමාජයක ෆේස්බුකියෙන් සිදුවන හානියට වඩා කෙතරම් හානියක් සමාජයට සිදු වෙනවාදැයි සිතන්න ලොකු පුටුවල ඉන්නා ලොකු මිනිසුන්ට හිතන්නට වෙලාවක් නැත.
ඉතිං කාරණා කෙසේ වෙතත් මේ ෆේස්බුකියෙ තහනම ගැන විවිධ කරුණු කාරණා බොහෝමයක් විවිධ මාධ්‍ය හරහා අසන්නට දකින්නට ලැබුණා. ඒ අතරින් සිත් ගත් ලිපි කිහිපයක් ඔබත් සමඟ බෙදා ගන්න හිතුණේ ඔබත් දැනටමත් මේ ෆේස්බුක් වාරණයට එරෙහිව හිතින් හෝ සටන් වදින අයෙක් බව දැනෙන නිසයි.
එහෙනම් ඉතිං පහත දාලා තියෙන ලින්ක් වලටම ගිහින් බලන්නකො කොහොමද මේ තහනමින් බේරෙන්න පුළුවන් කියල...............
නිම්තෙර අඩවිය.........
http://upullive.blogspot.com/2014/02/ban-facbook.html#.Uwmt1vmSwrV
මාතලන්ගෙ අඩවිය
http://maathalan.blogspot.com/2014/02/facebook-cannibal-media.html
තවත් අඩවියක්
http://www.apps-lanka.com/2014/02/3-ways-to-open-facebook-when-its-blocked.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+Lankablogs+%28Lanka+Blogs%29&utm_content=FeedBurner
Friday, February 21, 2014
වැලන්ටයින් ඉතිහාසය......
ඔන්න
ඉතිං අද හිතුනා මේ හැමෝම සතුටුවන, බනින වැලන්ටයින් ගැන
ටිකක් හොයල බලන්න.
දැන්
ඉතිං වැලන්ටයින් හමාර වෙලා සතියකුත් ඉක්මවෙලත් ඉවරයිනේ. හදිස්සියේම මේ විදියට සටහනක්
ලියන්න හිතුණෙ අපේ හිතවත් තරුණ ජෝඩුවක් මේ වැලන්ටයින් උන්මාදය නිසා, මං
මහන්සි වෙලා ඉවුව රසවත් රාත්‍රී භෝජනයකුත් ප්‍රතික්ෂේප කරල වැලන්ටයින් සමරන්න ගිය
නිසයි.
ෆේස්බුක්
එකේ දසුන් රාජපක්ෂ සොයුරාගේ වැලන්ටයින් විරෝධය ගැන දාල තිබ්බ පෝස්ට් එකේ, මෙන්න මේ විදියට තමයි වැලන්ටයින් ගැන අමිල සම්පත් සොයුරා සඳහන් කරල තිබ්බේ.
පුරාණ රෝම දේව කථා අනුව "ජුනා" තමයි ආදරයේ හා විවාහයේ දෙවඟන.
මීට අමතරව දෙව්ලොව රුජින හැටියට සැලකුණෙත් "ජුනා" දෙවඟනයි.
පුරාණ රෝමානුවන් සෑම වර්ෂයකම පෙබරවාරි 14 දා "ජුනා" දෙවඟන වෙනුවෙන් ප්‍රීති උත්සව පැවැත්වූවා.
මේ උත්සව සමයේදී තිබූ තවත් අපූරු චාරිත්‍රයක් තමයි රෝම යුවතියන් තම නම ලියපු තුණ්ඩුවක් භාජනයකට දැමීම. ඒ භාජනයට අත දාලා රෝම තරුණයන් එක් එක් තුණ්ඩු කෑලි තෝරා ගන්නවා. තමන්ගේ අතට ලැබුණූ තුණ්ඩුවේ නම සහඳන් යුවතිය සමඟ අර උත්සව සමය ගත කරන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහෙම අහම්බෙන් එකතු වුණූ බොහෝ දෙනා නතර වුණේ ස්ථීර විවාහයෙන්.
"ජුනා" දෙවඟන හා පෙබරවාරි 14 දිනය පෙම්වතුන්ට විශේෂ දිනයක් වුණේ ඒ විදිහට කියලයි ඉතිහාසය කියන්නේ. රෝම පුරාණයට අනුව මේ සිරිත ශතවර්ෂ ගණනක් අඛණ්ඩව පැවති බව කියවෙනවා.
ඔහොම ඇවිත් දෙවැනි ක්ලෝඩියස් කියන රෝම අධිරාජයාගේ කාලයත් උදා වුණා. සියල්ල කනපිට හැරුණෙ ඔය කියන නරුම රාජ්‍ය සමයේදීයි.
ක්ලෝඩියස් යුද උම්මන්තකයෙක්. ඔහුට බලවත් උවමනාවක් තිබුණා රෝම හමුදාවක් හදලා අනිත් රටවල් යටත් කරගන්න. ක්ලොඩියස්ගෙ උමතුවට තරුණයන් නම්මගන්න බැරි වුණා. තරුණයන් හමුදාවට බැඳෙන්න ආවේ නෑ. ඔවුන් ඒ වන විට තමන්ගෙ පවුලට, බිරියට පෙම්වතියට තදින් ඇළුම් කරමිනුයි සිටියේ. ක්ලෝඩියස්ට මල පනින්නේ ඔය තත්ත්වය මතයි. ඒ නිසා ඔහු කසාද බැඳීම තහනම් කරල නියෝගයක් දැම්මා.
එහෙත් එක් පුද්ලයෙක් නැඟී සිටියා ක්ලෝඩියස්ට එරෙහිව. ඒ තමා වැලන්ටයින් පූජකතුමා. පෙම්වතුන්ට අනුශාසනා කිරීම හා ඔවුන් විවාහ කරවීම වැලන්ටයින් පූජකතුමාගේ ප්‍රියතම කටයුත්තක්. ක්ලෝඩියස් මොන නීති දැම්මත් වැලන්ටයින් පූජකතුමා තරුණ තරුණයින්ව රහසින් විවාහ කළා.
ඒත් එතුමාට මේ ආදර මෙහෙවර කරගෙන යන්න පුළුවන් වුණේ ක්ලෝඩියස්ට ඒ ගැන ආරංචි වන තුරු පමණයි. වැලන්ටයින් පූජකතුමා හිරේ වැටුණා. රෝම තරුණියෝ හිර ගෙදරට මල් පොකුරු විසි කළා. සුබ පැතුම් ලියූ පුවරු ප්‍රදර්ශනය කරන්න ගත්තා. වැලන්ටයින් පූජකතුමා පෙම්වතුන් ගේ ශුද්ධ වූ වීරයෙක් පවට පත්වුණා.
මේ අතර බන්ධනාගාර පාලකයාට හිටියා රූමත් දියණියක්. ඒත් ඇගේ දෑස් අන්ධයි. මේ තරුණියට නිදහස ලැබුණා වැලන්ටයින් පූජකතුමා එක්ක පැය ගණන් කතා කරන්න. ප්‍රතිඵලය වුණේ භක්තිමත් බැඳීමක් හට ගැනීමයි. මේ අතර ක්ලෝඩියස් වැඩේ අත්හැරියෙ නැහැ. වැලන්ටයින් පූජකයව කියල නම්මගන්න බැලුවා. ගහල අතපය කඩල නම්මගන්න බැලුවා. එයත් අසාර්ථකයි. අන්තිමේදී හිස ගසා මරා දමන්න අණ කළා.
ක්‍රිස්තු වර්ෂ 270 පෙබරවාරි 14 දා වැලන්ටයින් පූජකතුමා ඝාතනය කෙරුණා. පෙබරවාරි 14 දෛවෝපගත දිනයක්. මොකද පුරාණ රෝම සිරිත අනුව ආදරයේ දෙවඟන ජුනා සමරන දිනය යෙදී තිබුණෙත් මෙදාටමයි.
අවසන් හුස්ම හෙළන්න කලින් වැලන්ටයින් පූජකතුමා බන්ධනාගාරයේ පාලකයා ගේ දියණියට ලිපියක් ලියා තිබුණා.
"Love From Your Valentine"
මෙයින් පසුව ආදරයේ නාමයෙන් "ජුනා" දෙවඟන ඉතිහාසයෙන් මැකී ගොස් ඒ තැන "වැලන්ටයින්" මුනිවරයාට ලැබුණා.
ශ්‍රී ලංකාවේ මේ වැලන්ටයින් සැලකියයුතු මට්ටමින් සැමරීම ආරම්භ වුණේ 1990 දශකයේදී විතර. අපේ රටේ නම් මේ දිනය ආගමික ස්වරූපයක් නොගන්නා මුත් හුදෙක් වාණිජමය සහ සමාජයීයමය ස්වරූපයක් ගනී. වැලන්ටයින් පූජකයාගේ දේහය මිහිදන් කරනු ලැබූයේ පෙබරවාරි 14 වන දින හේතුවෙනි මෙම දිනය ආගමික ස්වරූපයක් ගනු ලබන්නේ. පෙම්වතුන් වෙනුවෙන් දිවි පිදූ නිසා ඔහු වීරවරයෙක් විය. එමෙන්ම 1969 වසරේදි ඔහු සාන්තුවරයෙක් ලෙස ද නම් කෙරෙණි.
කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ යටගියාව නැවත සමාජය තුළ මතුකරන්නේ නම් කොම්පනිකාරයින්ය. ඒ පෙබරවාරි මාසය ආරම්භ වනවාත් සමගම නොයෙක් ආකාරයේ විච්චූර්ණ දෑ තරුණ පරම්පරාවේ ගොදුරු බවට පත් කරමිනි. විවිධාකරයෙන් හැඩ ගැන් වූ හදවත් කේක්, සපත්තු, ඇඳුම් හා සුබ පැතුම්පත් වලින් සුපිරි වෙළඳසැල් පිරී ඉතිරි යන්නේ, ගන්න ගන්න මෙන්න වැලන්ටයින් කියන්නාක් මෙනි. එමෙන්ම අවන්හල් අතුරු සිදුරු නැතිව පිරී යන්නේද හමුවන සියල්ලන්ටම "හැපි වැලන්ටයින්ස් ඩේ" කියමින්ය. ඒ වගේම ආදරවන්තයින් පමණක් නොව සැමියා හා බිරිඳද තෑගි බෝග හුවමාරු කරමින් සුබ පතා ගන්නා තරමටම අපේ රටෙත් දැන් වැලන්ටයින් මුල් බැස ගොස් හමාරය.
වැලන්ටයින් ගැන ලියවෙච්චි ගීතයක් අහමුද එහෙනම්...
වැලන්ටයින් ශාන්ත වැලන්ටයින්
ඇයි ඔබ මේ අපේ රටේ...
පෙම්වතුන්ගෙ දිනයක් හදලා
පෙබරවාරි මස දාහතර...
ස්වීට් හාර්ට් අකුරු දිලිසෙන...
හදවත් ලාබෙට විකිණෙනවා...
වැලන්ටයින් රෝමෙන් ඇවිදින්...
අපේ හදේ ඊතළ ඇනලා...
හදවත් ලාබෙට විකිණෙනවා...
වැලන්ටයින් රෝමෙන් ඇවිදින්...
අපේ හදේ ඊතළ ඇනලා...
වැලන්ටයින් ඔබට වාගෙම...
මව්වරුන්ට වැඩිහිටියන්ට...
අවුරුද්දේ දින වෙන් කරලා...
ඒරොප්පෙන් ආ චාරිත්ර...
මව්වරුන්ට වැඩිහිටියන්ට...
අවුරුද්දේ දින වෙන් කරලා...
ඒරොප්පෙන් ආ චාරිත්ර...
තුන්සිය හැටපස් දවසේම...
කාටත් සළකන පෙම් කරන...
අපට වෙනම දින මොනවටද...
වැලන්ටයින් රෝමෙට යන්න...
කාටත් සළකන පෙම් කරන...
අපට වෙනම දින මොනවටද...
වැලන්ටයින් රෝමෙට යන්න...
ගායනය - නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගීතය අහන්න මෙතනින්...
Tuesday, February 18, 2014
- මා කම්පාවට පත්කළ සරත් විජේසූරියන්ගේ " තාත්තා" -
මට කියවා නිම කළ නොහැකි මහ පොතකි තාත්තා.......!! (සරත් විජේසූරිය)
අම්මාගේ වියෝවෙන් පසු තාත්තා මට තවත් ළං වූවා යැයි මට නිතර හිතෙනවා. 78 වන වියේ පසුවන මගේ තාත්තා ගේ ජීවිතය, දැන් ජීවිතයත් මරණයත් අතර සටනක පොර බඳිමිනුයි තිබෙන්නේ. මත්පැන්, සිගරට් තියා බුලත් විටක්වත් නොකන මගෙ තාත්තාගේ එක් වකුගඩුවත් දැන් සම්පූර්ණයෙන්ම අප්‍රාණිකයි. කාලාන්තරයක් තිස්සේ දියවැඩියා රෝගයට බෙහෙත් ගන්න නිසා මෙවන් අකරතැබ්බයකට මුහුණ දේවි යැයි අපි කිසිකෙනෙක් හිතුවේ නැහැ. සරත් විජේසූරියන්ගේ "තාත්තා" පොත බොහෝ කාලයක් තිස්සේ කියවීමට ආසාවෙන් සිටි පොතක් නිසා, මෙවර කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි මොහොතේ මිලදී ගත්තද ස්වර්ණපුස්තක තරඟයේ හබාගිය පොත් කියවීමට කාලය වැය කළ හෙයින් මේ පොත මගේ මතකයෙන් ගිලිහී තිබුණා. අද දින අප හිතවත් ප්‍රවීණ ගායක සමන් ජයනාත් ජිනදාස අයියාගේ බිරිඳ වු අනෝමා අක්කා "තාත්තා" පොත තියෙනවා නම් එවන්නයැයි මගෙන් කළ ඉල්ලීමට මා අපේ පොත් රාක්ක අතර සැරිසැරුවා. පිටු 80 ක් වැනි පුංචි පොතක් එක හුස්මට කියවා හමාර කළ හැකි නිසා මා කියවා සිටි සුමිත්‍රා රාහුබද්ධගේ "අත අත නෑර" අත්හැර "තාත්තා" කියවීමට උදයෙන්ම සාලයේ දිග පුටුවේ දිගෑදුණා. ඒත් ඒ පොතේ ඉන්න තාත්තා දැක්කම මට මතක් වුණේ මගේ තාත්තව. හැම ඉරිදාකම තාත්තා එක්ක ස්කයිප් එකෙන් කතා කළත් ඉඩ ලද විටෙක ලොකු අක්කාට දුරකථන ඇමතුමක් දී තාත්තා ගැන තතු විමසන්න මං අමතක කළේ නැහැ. "තාත්තා" පොත කියවන්න කලියෙන් මගේම තාත්තාගේ හඬ අහන්නට මට උවමනා වුණා. තාත්තාගේ තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙන බව අක්කා මා සමඟ පැවසූ විට තාත්තාගේ හඬ ඇසීමේ ලෝබ කමින් මා වඩාත් පෙළුණා.
අම්මාගේ හදිසි වියෝවීමෙන් පසු තාත්තා නිතර කල්පනා කරමින් කාලය ගත කිරීම නිසා අසනීප තත්ත්වය දිනෙන් දින උග්‍ර වීම අපි කාටත් දරාගන්න අමාරු වුණා. තාත්තාගේ ජීවිත අත්දැකීම් පුදුමාකාරයි. මං පුංචි කාලේ හිටන්ම ඒ රසවත් කතා අහන්න පුදුම කැමැත්තක් තිබුණේ. ලංකාවට නිදහස ලැබෙද්දි මගේ තාත්තට වයස අවුරුදු 12 ක් වුනත් තම දෑසින් සජීවිව නැරඹූ නිදහස් දිනයේ අපූර්වත්වය චිත්‍රපටයක් වගේ එක දිගට ගලායන රසවත් සිද්ධී මතකයෙන් කියන්න තරම් වාසනාවන්තයි. තාත්තා හරිම කැමතියි පොත් කියවන්න. ඇත්තටම මටත් පොත් කියවන්න පුරුදු කළේ මගේ ආදරණීය තාත්තා. මට තේරෙන වයසේ ඉදලාම අපේ ගෙදර තිබිච්ච පොත් රාක්කවල, පොත් මං ආදරෙන් රැක බලා ගත්තා. පංච තන්ත්‍රය, අමාවතුර, බුත්සරණ ආදි විවිධ පොත් වලින් රාක්කය පිරී තිබ්බා. "පංචතන්ත්‍රයේ" පොත් නාරටිය ගැලවිලා තියෙන විත්තිය දැක්ක මං කළේ රෙදි කෑල්ලක් තියලා මට පුළුවන් විදියට පොත බැන්ඳ එකයි. මකත හැටියට මං එතකොට 5 වසරේ.
තාත්තා දිගින් දිගටම අම්මා ගැන හිතමින් ඉන්න එක වළක්වන්න ක්‍රමයක් විදියට මං තාත්තට අපූරු යෝජනාවක් කළා. ඒ තමයි තාත්තගේ ජීවිත කතාව ලියන්න කියලා. ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක වුණා. තාත්තා දැන් එක දිගටම ලියනවා. ලොකු අක්කා කියනවා පාන්දර හතරටත් නැගිටලා ලියනවා කියලා. මං ඒ අතර කියවන්න අපේ පොත් ගුලෙන් තාත්තට පොත් ගොඩකුත් දීලා ආවා. තාත්තා හරිම ආසයි "චින්තා ලක්ෂ්මි සිංහආරච්චිගේ" පොත් කියවන්න.
"'...බන පොත් කියවද්දි දන්නෙම නැතිව නින්ද යනවා පුතේ. ඊටත් මට ඒ පොත් ඇතුලෙන් අම්මව පේන්න ගන්නවා. ඉතිං මට දැන් පොත් කියවන්න අමාරුයි"
මං ඉන්නේ ගව් ගාණක් ඈත. මගේ අම්මගේ මරණයේදී මං අම්මා ළඟ හිටියේ නැහැ. අම්මා නැති වෙන්න දවස් දෙකකට කලින් මාත් එක්ක ස්කයිප් එකෙන් කතා කළා. අනේ ඉතිං අම්මා නින්දෙන්ම මැරෙයි කියලා කවුද හිතුවේ. මගේ තාත්තා තව කවර කාලයක් ජීවත් වෙයිද කියලා මං දන්නෙ නැහැ. ලංකාවේ ඉද්දී මං මට පුළුවන් උපරිමයෙන් මගේ අම්මටයි තාත්තටයි සැලකුවා. අසනීප වුණාම ආදරෙන් බලා ගත්තා. නෑව්වා, බත් කැව්වා, රෙදි හේදුවා. මට අවුරුදු 17 ඉදලා මං මගේ වියදම් පියව ගන්න උත්සාහ කළා. ඒ අනුව උ.පෙළ ලියන ගමන් පෞද්ගලික පන්ති කළා ගෙවල් වලට ගිහින්. මට ලැබිච්ච මුදලින් මං අම්මා තාත්තට මට පුළුවන් උපරිමයෙන්ම සැලකුවා. "අද කළ යුතු දේ අදම කරන්න ඕන" කියන දේ සත්‍යයක් බව මට වඩාත් තේරුම් ගියේ මගේ අම්මා නැති වුණාට පස්සෙයි. මං කසාදයක් බැඳලා අම්මට තාත්තට සලකන්න හිටිය නම් මට අද කොච්චර පසු තැවෙන්න සිද්ධ වෙයිද? මගේ අම්මගේ මරණය මාව කම්පනයට පත් කළත් අම්මා වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න පුළුවන් වෙච්ච එක මට සතුටක්.
සරත් විජේසූරියන්ගේ "තාත්තා" කෙටිකතා සංග්‍රහය කියවද්දී මට මගේ තාත්තා මැවිලා පෙනුණා. ඇත්තමයි මට ඒ පොත කියවන්න අමාරු වුණා. මගෙ පපුව හිරවුණා වගේ දැනුණා. මගේ ඇස් වලින් කඳුළු කඩා වැටුණේ හරියට ටකරන් වහලයකට හයියෙන් වැහි බිඳු කඩා වැටෙනවා වගෙයි. ඒත් මං කොහොම හරි මුළු පොතම කියෙව්වා. ඒ හැම කතාවකවම විවිධ තාත්තලා හිටියා. මගේ තාත්තත් ඒ චරිත අතර හිටිය විත්තිය දැනුණු නිසා වෙන්න ඇති මාව කම්පනයට පත්වුණේ. ආරම්භයේදීම මාව හඬවන්න ගත්තේ මගේ තාත්තා මං දුරකථන ඇමතුම දුන්න වෙලේ කිව්ව දේ නිසා වෙන්න ඇති.
"පුතේ.... මං මේ ජීවිත කතාව ලියන්නේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. මගේ ජීවිතයේ ලැබුණු අත්දැකීම් අලුත් පරම්පරාවේ දරුවෝ එක්ක බෙදා හදා ගන්නයි. මේකේ තියෙන්නේ මං ඉපදිච්ච බත්තරමුල්ලේ ඉදලා විවාහ වෙලා හැඳලට පදිංචියට ආවට පස්සේ තියෙන අත්දැකීම්. අපි සුදුසු කෙනෙක්ට දීලා මේ පොත ප්‍රින්ට් කරමු පුතේ. මං දැන් පිටු 180 ක් විතර ලියලා තියෙන්නේ. පුතා ලංකාවට එනකල් මං බලාගෙන ඉන්නේ. පිටු 250 ක් විතර ලියැවෙයි. සමහර විට ඊටත් වැඩිවෙයි...."
තාත්තාගේ ජීවිත කතාවේ පිටු ගණනාවක් මං ගිය මාසේ ලංකාවට ගිය වේලේ කියෙව්වා. අපි අහලවග් නැති වචන. ඇත්තටම මගේ තාත්තා කොච්චර නම් ජීවිත අත්දැකීමෙන් පොහොසත්ද කියලා මට දැනුණේ ඒ මොහොතේදියි.
වෙනදාට වැඩියෙන් මට තාත්තගේ හඬ දැනෙන්න ගත්තා. මං තාත්තගෙ බාල දියණිය. ඒ වගේම බඩ පිස්සි. ගමනක් යද්දි තාත්තගේ ඔරලෝසුව බැඳපු අත අල්ලගෙන යන්න මාත් මගේ එකම අයියාත් හැමදාම පොරකෑවා. අද අම්මා නැති ගෙදර මගේ ලොකු අක්කාත් පොඩි අක්කාත් එක්ක සැදෑසමය ගත කරන මගේ තාත්තා ගැන දැනෙන හැඟීම් මට වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ හැම කරුණක්ම එක දිගට ලියාගෙන යද්දී ඇස් වලින් වැටෙන කඳුළු වෙනදට වැඩිය හරිම බරයි කියලා මට දැනෙන්නේ.
මා දියණියක් වූවත් පුතේ.........කියලා තමයි තාත්තා හැමදාම කතා කළේ. ලියන්න ගියොත් නම් පිටු ගණන් ලියන්න පුළුවන්.
ඇත්තටම ...........
මට කියවා නිම කළ නොහැකි මහ පොතකි තාත්තා.......!!
- රුක්ෂිලා වෙත්තමුණි -
2013 - 09 - 24
Wednesday, June 26, 2013
Wednesday, April 10, 2013
Friday, April 5, 2013
Tuesday, February 26, 2013
Tuesday, February 5, 2013
Subscribe to:
Posts (Atom)
















































