Monday, July 7, 2014

අවුකන පිළිමය හදලා තියෙන්නෙ මහා පුරුෂ ලක්ෂ ණ 32ම යොදලා............

ශ්‍රී  ලංකාවේ කලාකරුවාගේ අද්විතීය නිර්මාණ බොහොමයක් ලෝකප්‍රකට කලාකෘති ලෙස සම්භාවනාවට පත්වී ඇත. මහමෙව්නාවේ සමාධි පිළිමය, තොළුවිල පිළිමය, සීගිරි සිතුවම් මෙන්ම වෙහෙරගල රන් ආලේපිත අවලෝකිතේශ්වර පිළිමය හා අවුකන පිළිමය එසේ සම්භාවනාවට පාත්‍ර වූ කිහිපයක් පමණි. ලෝකය හමුවේ ප්‍රෞඪ ජාතියක් ලෙසින් නැඟී සිටින්න සමත් මෙම නිර්මාණ සැබැවින්ම ජාතියේ දායාදයන්ය.
මේ අතරින් අපගේ සාකච්ඡාවට බඳුන්වන අවුකන පිළිමය ශ්‍රේෂ්ඨ කලා පරපුරක අතීත සාඩම්බර දක්ෂතාව ලෝකය හමුවේ දිගහැරීමට සමත් කෘතියක් බවට අමුතුවෙන් කිවයුතු නොවේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවට බටහිරින් අවුකන ගමේ කලාවැව දෙසට මුහුණලා මහ කළු ගලක මුහුණතේ නෙළා ඇති මෙම පිළිමය අඩි 38ක් අඟල් 10ක් උසින් යුක්තය. ක්‍රි.ව. 5 වැනි සියවසේ ලංකා රාජ්‍ය පාලනය කළ ධාතුසේන නම් මහා නරපතියාගේ විශිෂ්ට කෘතියක් ලෙසට ඇතැම් විද්වතුන් සලකන කලා වැව දෙසට මුහුණලා වසර දහස් ගණනක් තිස්සේ මහා කරුණාවෙන් යුතුව වැඩ සිටින මෙම පිළිම වහන්සේ ලංකාවෙන් හමුවන හිටි ආබද්ධ පිළිම අතරින් විශිෂ්ටතම පිළිමය බවට අවිවාදයෙන් යුතුව පිළිගැනේ.

‘මෙම පිළිමයේ කාලනිර්ණය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් අතර එකඟතාවක් නැත. ඊට අනුව බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙය ධාතුසේන රජතුමා කරවූ කාලසේල සත්ථු පටිමාව ලෙසයි. ඊට අනුව මෙය ක්‍රි.ව. 05 වැනි සියවසට අයත් බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. එහෙත් මේ පිළිබඳ අදහස් දක්වන එස්.එම්. බරෝස් මහතා මෙය ක්‍රි.ව. 12 වැනි සියවසේදී මහාපරාක්‍රමබාහු රජු කරවූවක් යැයි කියයි. නමුත් මේ කාරණාව සනාථ කිරීමට එතුමා සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැත. එසේම වින්සන්ට් ඒ. ස්මිත් මහතාද ඉහත මතය පිළිගනී. එසේම අනන්ද කුමාරස්වාමි මහතා පවසන්නේ අවුකන බුදු පිළිමය දොළොස්වැනි ශතවර්ෂයේ අග භාගයට හෝ දහතුන්වැනි ශතවර්ෂයේ මුල් භාගයට අයත් වන බවයි. 

තවද මහාචාර්ය ‍දොහානියන් මෙම පිළිමයේ ඉදිකිරීම් අවධිය පිළිබඳ සඳහන් කරමින් මෙය ක්‍රි.ව. 8 වැන සියවසට පමණ අයත් බව පවසයි. ඒ සඳහා මෙම පිළිමයේ දක්නට ලැබෙන අමරාවතී ශෛලියේ ලක්ෂණ   උපයෝගි කර ගනී.
මෙම සුවිශේෂී ප්‍රතිමාව කුමන කාලපරිච්ඡේදයක දී ඉදිවීද යන්න අනුමාන කළ හැකි ශිලා ලිපියක් 1952 අවුකන පිළිමයේ නැඟෙනහිර බිත්තියේ තිබී සොයාගෙන ඇත. මෙම ශිලා ලේඛනයේ සඳහන් කරුණු හා අක්ෂරවල ලක්ෂණවලට අනුව එම ලිපිය ක්‍රි.ව. 8 වැනි සියවසට අයත්ය. නමුත් ගැටලුව වන්නේ එම පිළිමයට අයත් පිළිමගේ ඉදිකළ වර්ෂය ලෙසට එය සැලකිය හැකි වීම නිසා පිළිමය ඉදිකිරීම සම්බන්ධයෙන් එයින් එතරම් ආලෝකයක් නොලැබීමයි. නමුත් පිළිමයේ ඉදිකිරීම් මෙම ශිලා ලිපියට අනුව ස්ථීර වශයෙන් ක්‍රි.ව. 8 වැනි සියවසට වඩා ඈතට ගමන් කරන බවට පැහැදිලි සාක්ෂි දැක්විය හැක්කේ පිළිමය ඉදිකළාට පසු එයට පිළිමගෙය ඉදිකරවන බැවිනි. මේ අනුව මෙම ශිලා ලේඛනය ලැබුණත් පිළිමය ඉදිවූ කාලසීමාව පිළිබඳ පරණවිතාන මහතා දෙන කාලය පිළිබඳ ඔහු දක්වන මතය අත්හැරීමට සූදානම් නොවේ.


ඒ අනුව එතුමා පවසන්නේ ධාතුසේන රජ සමයේ ඉදි වූ පිළිමයට ඊට වසර 300කට පසු පිළිම ගෙයක් ඉදිකළ බවයි. එසේම තවදුරටත් ඒ පිළිබඳ විග්‍රහයක යෙදෙන පරණවිතාන මහතා පවසන්නේ ක්‍රි.ව. 3, 4, 5 සියවස්වල ලංකාවේ කලාව ඉතා දියුණුව පැවැති බවයි. අනුරාධපුර යුගයේ අග භාගය අඳුරු යුගයක් බැවින් එකල මෙවැනි විශිෂ්ට නිර්මාණ බිහිවීමට තිබූ ඉඩකඩ ඉතා අඩු බවයි. නමුත් මේ මතය පිළිනොගන්නා මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගේ මහතා පවසන්නේ අනුරාධපුර යුගයේ අගභාගයේදීද ලාංකික ශිල්පියා අතින් විශිෂ්ට නිර්මාණ බිහිවූ බවයි. ඊට නිදසුන් ලෙස එතුමා පන්කුලිය පිළිමය, අභයගිරියේ මහසෙන් මාලිගයේ විශිෂ්ට සඳකඩපහණ, බිසෝමාලිගයේ සඳකඩපහණ, රත්නප්‍රාසාදයේ මුරගල වැනි නිර්මාණ පෙන්වමින් ඒවා සියල්ල ක්‍රි.ව. 8 වැනි සියවසට අයත් කළ හැකි බව පවසමින් ඉහත පරණවිතාන මතය නිෂ්ප්‍රභ කරයි.
අවුකන ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ කුමන බුදුන් වහන්සේ කෙනෙකු ද යන්නටද විද්වතුන් අතර එතරම් පිළිගැනීමක් නැත. මෙම පිළිමයේ ප්‍රතිමා පාදයේ තිබී හමුවූ ලෝකඩ ප්‍රතිමා 5ක් කෙරේ සැලකිලිමත් වූ පරණවිතාන මහතා එම පිළිම පහෙන් ඉන්දු, බ්‍රහ්ම, යම, කුවේර, වරුණ යන දෙවිවරුන් නිරූපණය වන බව පවසයි. මෙයින් බුදුන්ගේ දේවාතිදේවභාවය හා බ්‍රහ්මාතිබ්‍රහ්මභාවය නිරූපණය වන්නේ යැයි එතුමා වැඩිදුරටත් කියයි. මෙම දේවරූප ප්‍රතිමා පාදයේ නිධන් කර තිබී ඇත. මෙම ප්‍රතිමාව ආරම්භයේදී එසේ ආසනයක් නොතිබූ බවත් පසුකලෙක ගල්පතුරුවලින් පද්මාසනයක් කරවා ඉහත කී දේවරූප නිධන් කරන්නට ඇතැයි පරණවිතාන මහතා කල්පනා කරයි.

ඉහත කී පිළිම 5 සැලකිල්ලට ගනිමින් මෙම පිළිමයෙන් නිරූපණය වන්නේ දීපංකර බුදුන් වහන්සේ යැයි කඹුරුපිටියේ වනරතන හිමියෝ ප්‍රකාශ කරති. ඊට අනුව එහි පාදයේ තිබී හමු වූ ඉන්ද්‍ර, බ්‍රහ්ම, යම පිළිම ඒ අයුරින් ම හඳුනා ගන්නා කඹුරුපිටියේ වනරතන හිමියෝ අනෙක් පිළිම දෙක සුයාම හා සන්තුසිත ලෙස හඳුනා ගනිති. මහාසාංඝික ලෝකෝත්තරවාදීන්ගේ විනය ග්‍රන්ථයක් වූ මහා වස්තුවෙහි දීපංකර බුදුරජාණන් වහන්සේගේ පරිවාර දේවතාවන් ලෙස ඉන්දු, බ්‍රහ්ම, යම, සුයාම හා සන්තුසිත දෙවිවරුන් සිටින බව කියා තිබේ. ඊට අනුව බුද්ධ ප්‍රතිමාවේ පාදයේ තිබී හමු වූ එම පිළිම පහට අනුව මෙම පිළිමය දීපංකර බුදුන්ගේ පිළිමයක්ය යන්න උන්වහන්සේ පවසති.
අනාගත බුදුවරයා වන මෛත්‍රිය බුදුන්, අප බුදුන්ට විවරණ දුන් දීපංකර බුදුන් යන දෙදෙනාම අසූරියන් උස යැයි කියා තිබේ. රැස්වෙහෙර පිළිමය මෛත්‍රිය බුදුන් ලෙස අර්ථ නිරූපණය කරන කඹුරුපිටියේ වනරතන හිමියන් මෙම පිළිමයෙන් දීපංකර බුදුන් නිරූපණය වන්නේ යැයි තවදුරටත් කියයි. දීපංකර බුදුන් නාවිකයන්ගේ ආරක්ෂකයෙක් ලෙසටද පිළිගැනීමක් ඇත. ධාතුසේන පුත්‍ර මුගලන් රජු ‘සයුර අරක්බැඳ දීපය නිර්භය කෙළේය යයි’ චූලවංශ කතුවරයා දක්වා ඇත. ඔහු එසේ ලියන්නට ඇත්තේ මේ දීපය ආරක්ෂා කිරීම දීපංකර බුද්ධ පිළිබඳ විශ්වාසය තබා විය හැකිය. මෙකල දීපංකර ප්‍රතිමා ගෘහයක් ද තිබූ බව කියන උන්වහන්සේ මේ ප්‍රතිමාවේ දකුණත මුද්‍රාව වෙනස් වූයේද එය දීපංකර බුද්ධ වූ නිසා යැයි සිතයි.
 මහසයුරක් සමාන කලාවේ ආරක්ෂාව පේකඩ හා මේ ප්‍රතිමාව කරවන ලදැයි ජනප්‍රවාදය ඇති වූයේද මේ සංකල්පය නිසා බවට උන්වහන්සේගේ නිගමනයයි

මෙම ප්‍රතිමාවේ නිර්මාණ ලක්‍ෂණ දෙස බැලීමේදී මුහුණ ගැඹුරු හැඟීමෙන් බරව නිර්මාණය කර ඇත. එය බොහෝවිට එහි ඇති උදාරත්වය පිළිබිඹු කරන්නට ගත් උත්සාහයක් වැනිය. පිළිමයේ හිසකෙස් දක්‍ෂිණාවර්තව අක්බඹරු ආකාරයෙන් ක්‍රමානුකූලව පැහැදිලිව නෙළා ඇත. පිරිපුන් හිසක් දක්නට ලැබේ. සිහින් ඇහිබැම, දිගටි ඇස, ස්ථිර ගන දෙතොල්, පුළුල් නළලත මහත් වූ ගෙල යනාදී ලක්‍ෂණ ඉතා වැදගත්ය. දෑස ගැඹුරු හැඟීමක් නිරූපණය කරයි. එසේම මෙහි ආණ්ඩකාර මුහුණ ලම්බකර්ණ හා දිගටි ඇස් යන ලක්‍ෂණයන් ගුප්ත කලා සම්ප්‍රදායට සමාන වුවත් එම ශෛලිය අභිභවා යන ලෝකෝත්තර ගුණයක් මෙම පිළිමයේ මුහුණින් පිළිබිඹු වේ. 



මුහුණේ ගැඹුරු බව බුදුන්ගේ දසබලධාරීත්වය ඉස්මතු කරයි.

අවුකන පිළිමයේ හිසේ දක්නට ලැබෙන සුවිශේෂ නිර්මාණය සිරස්පත ලෙස හැඳින්වේ. මෙය පසුකාලයේදී ඇද වැටී තිබී නැවත ස්ථාපිත කර ඇත. මෙය ශාඛා 05 කින් යුක්තය. මෙහි මධ්‍ය ශිඛාව ක්‍රමයෙන් උසින් යුක්තව නිර්මාණය කර ඇත. උෂ්ණිෂයක් නැති නමුත් සිරස්පතත් හිසත් අතර කොටස උෂ්ණිෂයක් මෙන් උස්ව දක්වා ඇත.
මෙම සිරස්පත ගැලවී බිමවැටී තිබී 1870 දී සොයාගෙන ඇත.

අවුකන පිළිමයේ ප්‍රධාන වශයෙන්ම දැක්වෙන ලක්‍ෂණයක් වන්නේ ඒකාංශ පාරූපණයෙන් යුතු රැලි සහිත සිවුරයි. මෙහි රැලි එකිනෙකට සමාන්තරව ගලා වැටෙන සේ දක්වා තිබේ. සිවුරේ රැලි ඉතා තීව්‍ර ආකාරයට මතුකර තිබේ. මෙය අමරාවතී ශෛලියට බොහෝ සෙයින් සමාන බවට සමහර විද්වතුන් කරුණු දක්වයි. පිළිමයේ සිවුර දැක්වීමේදී අන්තරාවාසකයෙහි පහළ කොටස චීවරයට වැඩියෙන් පහළට දික්ව ඇත. දුහුල් චීවරය හා අඳනය නිසා දෙපා හා උදර බන්ධනය මතුවී පෙනේ. වම් උරහිසට යොදා ඇති සිවුරුපට පහළට වැටීම වැළැක්වීම සඳහා වම් අත වැළමිටෙන් නවා උරය දෙසට යොමු කර ගෙන සිටියි. එම වම් අතට සිරවූ සිවුරු පට වම් අත දිගේ පහළට කලාත්මකව වැටෙන ලෙස දක්වා ඇත.
මෙම සිවුරු පොට නිසා එය පිළිමයට ප්‍රතාපවත් බවක් එක් කරයි. සිවුර බෙහෙවින් දුහුල්ව දක්වා තිබීම නිසා ශරීරයේ හැඩය මනාව ඉස්මතුවී පෙනේ.

අවුකන පිළිමය මහාපුරුෂ ලක්‍ෂණවලින් සමන්විත වූ පිළිමයකි. ඊට අනුව කකුල්වල පිටි පතුල් දෙක, දෙඅත්වල පිටි අල්ල දෙක උරහිස් දෙක හා ශරීරය පිරී තිබෙන ආකාරයෙන් නිර්මාණය කර ඇත. පිළිමයේ දකුණතින් ආශිංශන මුද්‍රාව දරන අතර වම් අතින් කටකහස්ත මුද්‍රාව දරයි. දෙකකුල එකිනෙකට ආසන්නයෙන් දක්වා ඇත. ශරීරය ආරෝහපරිණාහ සම්පත්තියෙන් යුක්තය. ඒ තුළින් දසබලධාරීත්වය මැනවින් පෙන්නුම් කරයි.
මහාපුරුෂ ලක්‍ෂණ බෙහෙවින් නිරූපණය කර ඇති මෙම පිළිමය ශිල්ප ශාස්ත්‍ර න්‍යාය ග්‍රන්ථ හොඳින් අනුගමනය කරමින් නිර්මාණය කර ඇති බව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතා පවසයි.

අවුකන පිළිමය පිහිටුවා ඇත්තේ පද්මපීඨයක් මතය. සාමාන්‍යයෙන් බුදුන් වහන්සේගේ පිළිමයක් ස්ථාපිත කරනුයේ පද්මපීඨයක් මතය. ඉන් බුදුන්ගේ ලෝකෝත්තර බව සංකේතවත් කරන්නේ යැයි වික්‍රමගමගේ මහතා කියයි. මෙම පිළිමයේ පද්මාසනය තුළ තිබී යන්ත්‍ර ගලක් හෙවත් ගර්භපාත්‍රයක් හමුවිය. එය ගර්භ 25 කින් යුක්ත විය.

සාමාන්‍යයෙන් බුදුපිළිම යට මෙසේ යන්ත්‍රගල් පිහිටුවීම එකල සම්ප්‍රදාය විය.

අවුකන පිළිමය වටා පිළිම ගෙයක් ඉදිකළ බවට ඉහත විස්තර විය. සම්පූර්ණ පිළිමය වැසෙන සේ එකල එය ඉදිකරන්නට ඇත. මෙම පිළිම ගේ පහළ කොටස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම පිළිම ගෙයි භූමිය මීටර් 7×14 ප්‍රමාණයෙන් යුක්තය. ප්‍රදක්ෂිණාපථයක්ද සහිත මෙම පිළිම ගේ 8 වැනි සියවසේදී ඉදිකළ බවට ඉහත විස්තර විය.

කලාවැව අසබඩ ඉවුරේ සිහිල් මඳනල පහස විඳිමින්ද වරෙක දැඩි හිරුරැස්වල කටුක බව ලබමින්ද මහාකරුණා සමාපත්තියෙන් ඒවා සමසිතින් විඳදරා ගනිමින්ද අප වෙනුවෙන් යොමු වූ මහාකරුණාවෙන් යුක්තව වසර දහස් ගණනක් තිස්සේ අපගේ දුක සැප සම සිතින් දරමින් අවුකන බුදුන් නොසැලී හිඳී. මහකළුගලකින් මෙතරම් මානුෂීය ගුණාංග මතුකිරීමට සමත්වූ අතීත හෙළ කලාකරුවා සැබවින්ම නිවුණු හදවතක් ඇති තැනැත්තෙක් විය යුතුය. ඔහු තුළ තිබූ සංයමය ඔහු තුළ තිබූ තැන්පත් බව ඔහු තුළ තිබූ මානව දයාව මෙම රළු ගිරිකුලට ආරෝපණය කළේ ආශ්චර්යකින් නොවේ. මෙතරම් රළු කළුගලක් ඔහු ඉදිරියේ සුමට වූ හැටි විස්මයජනකය. මහා කලාකරුවාණනි ඔබ තැනූ මේ විශිෂ්ට උත්කෘෂ්ට නිර්මාණය තවත් වසර දහස් ගණනක් මෙලෙසම පවතිනු ඇත.
එසේම ඒ කාලය පුරාවටම අවුකන බුදුන්ගේ මහා කරුණාව අප හට ලැබෙනු නිසැකය.

සුන්දර කලා වැවේ දියරැලි අතරින් මතුවන සිසිලසත් අවුකන බුදුන්ගේ මහාකරුණාවත් එකට කැටි වූ මඳ සුළඟ මෙම ස්ථානයට සපැමිණෙන කවර නම් තරමේ කෙනකුගේ වුවද සිත සමාධිගත කරවන්නේ නිරායාසයෙනි.
 අවුකන සමිඳුනි ඔබගේ මෙත් දහරින් පුහුදුන් අපගේ සිත් සතන් තෙමාලමින් තවත් සහස්‍රකයක් අප වෙනුවෙන් හිඳිනු මැනවි.


බුද්ධි නාගොඩවිතාන -පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව


උපුටා ගන්නා ලද්දේ - මව්බිම

ඡායාරූප - අන්තර්ජාලයෙනි.......





Tuesday, June 3, 2014

සිහින.............





එන්නකෝ එන්නකෝ 
මා වැළඳ ගන්නකෝ
සාදරයෙන් පිළිගනිමි
හනි හනික එන්නකෝ
නින්දෙන් මා වෙළා
තදින් බැඳ ගන්නකෝ
සොඳුරු වූ සිහිනයන්
අනේ පෙන්වන්නකෝ
සැබෑ වූ ලොවෙහිදී
ලබාගත නොහැකි දේ
සිහිනෙන්වත් ඇවිත්
මට හනික දෙන්නකෝ


- රුක්ෂිලා වෙත්තමුණි -


**සිහින ගැන කලකට ඉහතදී පළ කළ ලිපියක්. කියවන්න බැරිවෙච්ච අය පහත ලින්ක් එකෙන් කියවන්න

Thursday, May 22, 2014

- පුනරාගමනය -



          දින ගණනාවකින් ඉදලක පහස නොලැබූ මිදුල මිදුල අඹ කොළ, බෙලි කොළ වලින් වසාගෙනය. සුදු වැලි තලාවේ කොහේ හෝ තැනක තාත්තාගේ අඩි සලකුණක් තිබේදැයි දකින්නට පාලිත උත්සාහ කළ මුත් ගෙයි පිළිකන්නේ හිඳ ගත්තේ එය අසාර්ථක වෑයමක් බව  දැනුණි හෙයිනි. ඈලි මෑලි ගතියෙන් යුතුව මිදුල අමදින සඳමාලි විටින් විට හීල්ලුවාය. බිසෝමැණිකා සුසුම් ලෑවේ දරුවන් පස් දෙනෙකුගේ බර තනිවම දරාගන්නේ කෙසේ දැයි සිතමිනි. තාත්තාගේ මරණයෙන් දෙසතියක් ගත වී තිබුණත් දරුවන් සිටියේ බලාගත් අතම බලාගෙනය.

          දරුවන්ගේ තාත්තා ජීවත්ව සිටිද්දීත්, බිසෝමැණිකා සුළු මුදලක් සොයා ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දීමෙනි. එහෙත් දැන් ඒ මුදල පවුලේ නඩත්තුවට කෙසේවත් ප්‍රමාණවත් වන්නේ නැත.

          “ ලොකු පුතේ, හන්දියේ කඩ දෙක තුනකින් අහගෙන වරෙන්කෝ ඉදිආප්ප ඕනෙද කියලා.නැත්නම් අපිට ඔලුව උස්සන්න වෙන්නෙ නැහැ. දවසින් දවස බඩුවල ගණන් නගින්නේ හරියට මූදේ රළ ගහනවා වගේනෙ”  

          පාලිත ඉගෙනීමට දක්ෂ වූවත් වැඩිදුර අධ්‍යාපනයට මුල නොපිරුවේ ගෙදර අඟහිඟකමින් වෙළාගත් හෙයිනි. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ ඔහු කුමන හෝ රැකියාවක් කිරීමට නිතර උත්සාහ කළේය. පාලිත පත්තර බැලීමට දිනපතාම  හේරත් මුදලාලිගේ කඩයට ගියේ පොත් පත් කියවීමට බොහෝ සේ ඇලුම් කළ බැවිණි. පත්තරේ පළ වන රැකියා පිළිබඳ දැන්වීම් තීරය දිනපතා ඔහුගේ අවධානයට ලක් වූයේ තාත්තාගේ අකල් මරණයත් සමඟ රැකියාවක අවශ්‍යතාවය තදින්ම දැනුණ නිසාය.

          පත්තරේ දැන්වීම් තීරයේ ගිලී සිටි පාලිතට ඉමහත් සතුටක් දැනුණේ ඇඟලුම්කම්හලක ලිපිකාර තනතුරක් සඳහා වූ දැන්වීම දැකීමෙනි. හේරත් මුදලාලිගෙන් පෑනක් සහ කොළයක් ඉල්ලා ගත් ඔහු කඩයේදීම අයදුම් පතක් සකස් කොට හන්දියට ගොස් එය තැපැල් කළේ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙනය. මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ රැකියා සඳහා අයදුම් කළද ඒ කිසිවකගෙන් ආරංචියක්වත් නොවූවත් ඔහු මේ සඳහා උනන්දුවෙන් අයදුම් කළේ ඉල්ලා තිබුණාටත් වඩා සුදුසුකම් ඔහුට තිබුණු බැවිණි.  

          පාලිත කඩ කිහිපයකින්ම අම්මා කී පණිවිඩය පිළිබඳව විපරම් කළත් ඉන් ඵලක් නොවූයේ ඒ වන විටත් හන්දියේ කඩ සියල්ලම වෙනත් සැපයුම් කරුවන් විසින් ගිල ගෙන තිබූ නිසාය.
          රැකියාවක් ලැබෙන තෙක් කුලියක් මලියක් කිරීමට පාලිත උත්සාහ කළත්,ගමේ එවැනි වාතාවරණයකට අවස්ථාවන් දුලබ වූයේ  ඉතා සරල ජීවන රටාවකට හුරු වූ ගම් වැසියෝ ස්වයං පෝෂිත ආර්ථික රටාවකින් දිවි ගෙවූ බැවිණි. එකිනෙකාගේ සහායෙන් තිබෙන වැඩක් පලක් සාමූහිකව කිරීම ඔවුන්ගේ පුරුද්දය.

          පාලිතගේ ලොකු නංගී සඳමාලි, තාත්තාගේ මරණයෙන් මාසයක් ඉක්ම යන්නට පෙර වැඩිවියට පත් වූයේ  වයස දොළහ සම්පූර්ණ වීමත් සමඟය.ලොකු අයියා මෙන් ඇයද ඉගෙනීමට ඉතා දක්ෂය. වාරාවසාන විභාගයෙන් සඳමාලි පන්තියේ පළවෙනියා වූයේ සියලුම විෂයයන් වලට වැඩිම ලකුණු ලබා ගනිමිනි.

          තාත්තා ජීවත්ව සිටිද්දි මසා දුන් සුදු ගවුම දිනෙන් දින වැඩෙන ඇගේ සිරුරට හිර වැඩිය. ඒත් ඈ කිසි දිනක ඒ පිළිබඳව මැසිවිලි නොකීවාය. සැතපුම් හතරක දුරක් ගෙවා පාසලට ඇවිද යෑමෙන් සඳමාලිගේ සෙරෙප්පු කුට්ටම ද පොත්තටම ගෙවී ගොස්ය. සියලුම විෂයයන් වලට වෙන් වෙන්ව අභ්‍යාස පොත් නොතිබුණ බැවින් කිහිප වර ගුරුවරුන්ගේ වේවැල් පහර කෑමට ඇයට සිදුවූයේ එකම පොත විෂයයන් කිහිපයකටම වෙන් කොට ගෙන තිබූ හෙයිනි.

          පාලිතට, ගුණදාස අමරසේකරගේ “ අපටත් දවසක ඉර පායාදෝ ” කියන කෙටි කතාවේ එන සිරියාවතීව සිහිපත් වූයේ තමන්ගේ නංගීද දිනක් අම්මාගෙන් චිත්‍ර තරඟයට යාමට පාට කූරු පෙට්ටියක් ඉල්ලු දිනයේදීය. ඇය කිසි දිනක අම්මාගෙන් කිසිවක් නොඉල්ලූවත් පාට පෙට්ටියක් ඉල්ලුවේ චිත්‍ර වලට ඇයට තිබූ උපන් හපන්කම නිසාමය. පාසලේ කණිෂ්ඨ අංශයෙන් පළවෙනියා වී පළාත් තරඟයට  සඳමාලි තේරී තිබීම පාසලේ ගෞරවයටද හේතු විය.
          රස්සාවක් ලැබුණු දවසක මුල්ම පඩියෙන් ඇයට සුදු ගවුම් දෙකක් මසා දීමට පාලිත සිතා ගත්තත් එය සඳමාලි සමඟ නොකීවේ රස්සාවක සේයාවක් තවම දක්නට නොතිබූ බැවිනි. පවුලක තාත්තා මිය ගිය විට එහි ලොකුම බර දැනෙන්නේ වැඩිමහල් සහෝදරයාට හෝ සහෝදරියට නොවේ දැයි පාලිතට නිතරම මතක් වූයේ පවුලේ අඟහිඟකම් දිනෙන් දින වැඩි වන විටය.

          දරුවන් පස් දෙනෙකු ජීවත් කරවන්න අම්මා විඳින දුක් කන්දරාව දකින පාලිතට නිතරම දැනුණේ මහත් වේදනාවකි. බිසෝමැණිකා තම්බන ඉදි ආප්ප වලින් කොටසකින් දරුවන්ගේ කුසගින්න නිවන්නට ද සිදු වූ නිසා සිතූ තරම් ලාභයක් උපයා ගන්නට නොහැකි විය. ඇයගේ ගත දිනෙන් දින වැහැරී යන්නට පටන් ගත්තේ දරාගන්නට සිදු වූ දුක් කන්දරාව හේතුවෙන්  වයසට වඩා දෙතුන් ගුණයක තලතුනා පෙනුමක් එක් කරමිනි.

          ඕපාදූප සේවීමට මහත් සේ රුචිකළ හේරත් මුදලාලි, කඩයට අල්ලපු ඉඩමේ ගේ කෑල්ලේ දින කිහිපයකට පෙර අලුතින් පදිංචියට පැමිණි අඹු සැමි යුවල පිළිබඳ විමසිල්ලෙන් පසුවූයේ වඩාත් සැලකිල්ලෙනි. සතියක් හමාරක් ගත වෙද්දී දේවාල කුටියක් අටවා ගෙන මළවුන් ගෙන්වා ඔවුන් සාස්තර කියන්නට පටන් ගත්තේ ගම්මුන් පුදුම කරමින්ය. අදෘශ්‍යමාන දෙවි දේවතාවුන්ට පුද සත්තාර කරමින් කල් ගෙවූ ගැමි කාන්තාවන් කිහිප දෙනෙකු සාස්තර අසා “ කිරි ගහට ඇන්නා වගේ ” යැයි කළ කී දැයින් කාගෙත් සිත් කුතුහලයෙන් යුතුවිය.

          දිනෙන් දින වැඩිවන සාස්තර අසන්නට එන්නවුන් නිසා හේරත් මුදලාලිගේ කඩයටද වාසි වැඩිවිය. මේ හේතුවෙන් වෙනදාට වැඩියෙන් ඉදිආප්ප දෙතුන් සීයයක් තැම්බීමට සිදුවීමෙන් බිසෝමැණිකාගේ ද අතමිට සරුවිය. දින කිහිපයකින් පසු ඇයට ඉදිආප්ප වලට අමතරව ලැවරිය සහ පිට්ටු තැම්බීමට ද හේරත් මුදලාලිගෙන් ඇනවුමක් ලැබුණි. බිසෝමැණිකාගේ දෙවෙනි පුතා වූ උපුල් පාසලට යන විට මුදලාලිගේ කඩයට කඩයප්පම් දමා ආපසු දහවලේ ගනු දෙනු බේරාගෙන පැමිණීම ඇයට මහත් පහසුක් විය.

          අවසන් වරට අයදුම් කළ ඇඟලුම්කම්හලේ රැකියාවට තමා තේරී ඇති බව සඳහන් ලිපිය පාලිත කියවූයේ  රැකියා කිහිපයකට අයදුම් කළත් කෙදිනකවත් පිළිතුරු ලිපියක් නොලැබුණු නිසා ඇති වූ විශ්මයෙනි.

          “ පුතේ, අද හවසට පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට වැඳලා කාරණේ කියලා වරෙං. උන්නාස්සෙ බොහෝම සතුටු වෙයි. උඹව මහන කරගන්න කැමැත්තෙන් හිටියේ. ඒත් මං හිතන් හිටියේ උඹට හොඳට උගන්නලා ලොකු මහත්තයෙක් කරන්න. තාත්තගෙ හදිසි මරණෙන් ඒ හීන ඔක්කෝම බොඳ වුණා මයෙ පුතේ. හ්ම්......ඒකට කාරි නැහැ. උඹේ වාසනාව. ඒකයි කොළඹ රටේ රස්සාවක් ලැබුණේ. ”

          සන්ධ්‍යා භාගයේ ගම ඉස්මත්තේ වැව, ඉර මල ගිල ගන්නා විට මැවෙන අපූරු සිතුවම බලන්න පාලිත කවදත් ඉතා ආසා කළේය. අද ඒ සුන්දරත්වය දකින අන්තිම දවස බව දැනුණු විට ඔහුගේ දෙකොපුල් තෙමමින් දෙනෙතින් කඳුළු ගැලූයේ ඔහු නොදැනුවත්මය. ජීවිතේ එක් වරක් පමණක් කොළඹ ගොස් තිබූ පාලිතට එහි දිවි ගෙවන්නට සිදුවීම භාග්‍යයක්ද අභාග්‍යයක්ද යන්න නිශ්චිතව සිතාගත නොහැකි විය.

          අම්මාගේ දෙපා වැඳ හිමිදිරියේම පාලිත කොළඹ බලා පිටත් වූයේ ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුතා දුන් සපත්තු ජෝඩුවත් ඇඳුමත් ඇඳ පැළඳ ගෙනය. කඩුල්ලෙන් පැන නියර දිගේ ඈතට ඇදෙන ලොකු පුතුගේ රූපය නොපෙනී යන තෙක්ම බිසෝමැණිකා බලා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගනිමිනි.

          දේවාලය දිනෙන් දින මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත්තේ කපුවා නොයෙක් දෑ බලා සිටියා සේ කියන්න පටන්ගත් බැවිණි. බිසෝමැණිකාගේ සිවු හැවිරිදි බාල පුතු හැර ඉතිරි තිදෙනා දේවාලයේ අත් උදව්වට ගියේ පාසල් නිවාඩු කාලය වූ නිසාය. ඔවුන්ට පැවරී තිබු රාජකාරිය වූයේ සාස්තර ඇසීමට පැමිණෙන මිනිසුන්ගේ කතා බස් අසාගෙන සිට සාස්තර කියන ගැහැනියට පැවසීමය.

          පහළොස් හැවිරිදි වියෙහි පසු වූ උපුල් එම රාජකාරිය සඳහා ගජ හපනා විය. දේවාලේ ගැහැනිය දවසේ වැඩ අවසන් කොට කීයක් හෝ අතේ ගුලිකළේ ඔවුන් තිදෙනා සන්තෝෂ කිරීමටය. බිසෝමැණිකා දරුවන් දේවාලයට යනවාට අකමැති නොවූයේ දෙවියන්ට ලැබෙන පූජා වට්ටි වලින් උන්ගේ කුස පිරෙන නිසාය. ඉතුරු පහදු වෙච්ච පලතුරක්, කැවිල්ලක් අම්මාටත් මල්ලීටත් ගෙන එන්න සඳමාලි අමතක නොකළාය.

          දේවාලයෙන් ලැබෙන මුදල දවසින් දවස ඉහළ යාමෙන් සඳමාලිගේ සුදු ගවුමක් මසා ගැනීමේ සිහිනය ද සැබෑවිය. ඇය එම මුදල් කුස්සියේ පරණ ටින් කබලක් අස්සේ සැඟවූවේ පොඩි අයියා හොරකම් කරතැයි යන බියෙනි. දේවාලයේ වැඩ රාජකාරි කිහිපයක් කළ නිසා උපුල්ට ලැබුණු මුදලේ ප්‍රමාණය වැඩි වූවත් ඔහු ඒවා නාස්ති කළේ ඉන් නිසි ප්‍රයෝජනයක් නොගෙනය.

          ලොකු පුතා කොළඹ රැකියාවට ගොස් දෙසතියක් ගත වූවත් ලියුමක් නොඑවීම පිළිබඳ බිසෝමැණිකා සිටියේ කනස්සල්ලෙනි. දේවාලයට පින් සිද්ධ වෙන්න පොඩි එවුන්ගේ බඩ ගින්දර නිවීමෙන් ඇය සැනසුණාය. ගෙදරට අවශ්‍ය හාල් තුන පහ ඇය මිලදී ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දී ලැබුණු මුදලෙනි.

          “ අම්මේ...... අම්මේ මෙන්න ලොකු අයියාගෙන් ලියුමක් ”

          ඒ බිසෝමැණිකාගේ නව හැවිරිදි දෙටු දියණිය වූ නිර්මලීගේ හඬය. ඇය ලොකු අයියාට බොහෝ සේ ආදරය කළාය. පාලිත කොළඹ රටින් ලස්සන බෝනික්කියක් ඇයට ගෙනවිත් දෙන්නට දුන් පොරොන්දුව නිසා ඒ ආදරය තවත් වැඩි වන්නට විය.

          තෙරුවන් සරණයි!
          ආදරණීය අම්මේ,
          මම හොඳින් ඉන්නවා. මට ඉන්න තැනක් ලැබුණා. ලියුමක් එවන්න පරක්කු වුණාට සමාවෙන්න. අලුත් රස්සාව නිසා වැඩ ඉගෙන ගන්න ටිකක් කල් ගියා. මං මේ මාසේ අන්තිමට පඩි ලැබුණාම ඇවිත් යන්න එන්නම්. මට කරදරයක් නැහැ. බය වෙන්න එපා. අම්මාත්, නංගිලාත්, මල්ලිලාත් සුවෙන් ඇතැයි හිතනවා. හැමෝම ආදරෙන් මතක් කළා කියන්න.
මීට                                                                                                     
ආදරණීය ලොකු පුතා

          ලිපිය කියවා අවසානයේ බිසෝමැණිකා දීර්ඝ හුස්මක් හෙළුවේ මහත් සැනසීමෙනි. ඇය සුපුරුදු පරිදි ගෙදර දොර වැඩ කටයුතු වලත් කඩයප්පං තැම්බීමේත් නිරතව සිටියාය.
          දින සති ගෙවෙද්දී පාසල් නිවාඩු කාලය අහවර වූවත් උපුල් පාසල් යාමට මැලිවූයේ ඉගෙනීමට ඇති අකමැත්ත නිසා පමණක් නොව දේවාලයෙන් ලැබෙන කෑමට හා මුදලටත් ලොල් වූ නිසාය. වයසට වඩා මුහුකුරා යමින් කරදඬු උස් මහත් වූ හිතුවක්කාරයාව මෙල්ල කිරීමට බිසෝමැණිකා අපොහොසත් වූවාය.

          දේවාලයෙන් ලැබෙන මුදලට ආස හිතුනත් ඉගෙනීම ඊට වඩා වටින නිසා සඳමාලි අලුතින් මැසූ සුදු ගවුමත් හැඳගෙන වෙනදාටත් වඩා උදයෙන්ම පාසල් ගියේ ඉමහත් සතුටිනි. බිසෝමැණිකාගෙන් ඇයට ලැබුණු අලුත් සෙරෙප්පු කුට්ටම මැටි පොළොව සිඹ ගත්තේ ඇය එය පළඳමින් සීරුවට හැඩ බලමින් ඇවිද්ද විටය. සඳමාලිගේ ඊළඟ අදිටන වුයේ දේවාලයේ හවස් භාගයේ වැඩ කොට පොත් පැන්සල් මිලදී ගැනීමට යම් මුදලක් එකතු කොට ගැනීමය.

          හදිසියේම දිනක ගමට පොලිස් ජීප් රියක් පැමිණීමෙන් ගම්මූ කලබලයට පත්වූයේ පොලිස් වාහනයක් ගමට පැමිණියේ ඉතා කලාතුරකින් නිසාය. දේවාලය වැටලූ පොලිස් නිලධාරීන් සාස්තර ගැහැනියට හා කපුවාට මාංචු දමා රැගෙන ගියේ මීට හත් අට මාසයකට ඉහතදී සිදු වූ මිනී මැරුමක ප්‍රධාන සැකකරුවන් වීම හේතුවෙනි.

          රැස්ව හුන් මිනිසුන් අතර සිටි බිසෝමැණිකාට දැනුණේ තමාට මාංචු දැම්මාසේය.  දේවාලයේ දොර වැසීමත් සමඟ තම දරුවන්ගේ කුස ගින්දරේ දොර ඇරෙන බව ඇය සිතුවේ වේදනාවෙනි.

          දේවාලය වැසීයාම නිසා හේරත් මුදලාලිගේ කඩයටද වෙනදා මෙන් සාරයක් නොවූයෙන් බිසෝමැණිකාගේ ඉදිආප්ප තැම්බීමද අඩුවිය. ලොකු පුතා කොළඹ ගොස් තුන් මාසයක් ගෙවී ඇතත් ඔහුගේ නොපැමිණීම ඇයට දරාගන්නට නොහැකිය. දිනෙන් දින ගෙදර අඟහිඟකම් දළු දාන්න පටන් ගත් විට කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් තම්බා පොඩි උන්ගේ බඩගින්දර නිවන්නට ඇයට සිදුවිය.

          කුස්සිය මුල්ලේ මැටි මුට්ටියක හාල් හුණ්ඩුවක් ඇය සඟවා තැබූයේ ලොකු පුතා පැමිණි දිනක උයා දීමේ චේතනාවෙනි. තුන් වේලටම බත් ඇටයක් නැති දාට ඇය හාල්ටික මුට්ටියෙන් ගෙන අතගා නැවත මුට්ටියටම දැමූයේ සුසුමක් හෙළමින්ය. හාල් හුණ්ඩුවක් දරුවන් හතර දෙනෙකුට කිසිසේත් ප්‍රමාණවත් නොවූමුත් ඇය එසේ කළේ ලොකු පුතුට ඇති සෙනෙහස නිසාමය.

          “ මද්දු පුතේ, හිච්චි මාමලාගෙ කොස් ගහෙන් හොඳට පැහිච්ච කොස් ගෙඩියක් කඩන් වරෙන්කො. අද දවල්ට පොඩි එවුන්ට කොස් ටිකක්වත් තම්බලා දෙන්න. ඊයේ කෑවෙත් දෙල්නෙ මයෙ පුතේ ”

          යොවුන් වියට එළැඹිමින් සිටි උපුල් අනුන්ට අතපාන්නට සිදුවීම පිළිබඳව සිටියේ බඩගින්නට යට වුණු ලැජ්ජාවකිනි.

          “ අනේ අම්මේ, හැමදාම ඔහොම අනුන්ගෙ ගස්වලින් ගෙඩි කඩාගෙන එන්න පුළුවන්ද? මොකක්ද මේකේ තේරුම. කෝ...අම්මගේ මහලොකු පුතා සල්ලි එවුවද? සල්ලි එවන්න තියා මිනිහා ගෙදරවත් ආවේ නැහැ. දැන් මාස පහක් ගියා. මාත් මොකක් හරි රස්සාවක් හොයා ගන්නවා. එතකල් සිරාගේ කසිප්පු වාඩියේ වැඩට යනවා. හැමදාම කොස් දෙල් කකා ඉන්නද......? ”

                                   *                   *                      *
          ගෝල්ෆේස් පිටියේ මුහුද මළහිරු ගිල ගනිද්දී නිම්මි, පාලිතගේ උරහිසේ හිස තබා ගත්තේ ඔහුගේ ඇඟිලි තුඩු තදින් මිරිකමිනි.

“ අනේ පාලිත, හැමදාම මෙහෙම මුහුද දිහා බලන් ඉඳලා , කඩල ගොට්ටක් එක්ක බැදපු ඉස්සෝ කාලා රෑ වුණාම ආයෙත් යනවා. අපි දවසක ගල්කිස්සේ බීච් එකේ තියෙන හට් එකකටවත් යමුකො. ටිකක් නිදහසේ ඉන්න පුළුවන් එතනට ගියාම. මෙතන හතර වටේම මිනිස්සු බලාගෙන ඉන්නවා. මට ඔයාගෙ ආදරය තාම හරියට දැනිලවත් නැහැනේ ”
          පාලිත ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියේ නිම්මි විසින් කියල ලද ගල්කිස්ස මුහුදු වෙරළේ ඇති ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති කමිනි. ඒ ගැන විමසා දැන ගන්නට ඔහු කළ උත්සාහය ඇයගේ හාස්‍යයට ලක්විය.

          “ අයියෝ ළමයෝ, ඔයා නම් මහ ගොඩයෙක්. ඒ වගේ දෙයක්වත් දන්නෙ නැද්ද? දැන් කොළඹට ඇවිත් මාස කීයක් ගියාද? ඔයා කමල්ගෙන්වත් අහලා දැන ගන්නකෝ ”

          පාලිත, නිම්මිව ළඟින් ඇසුරු කරන්න පටන්ගෙන සිවුමසක් ඉක්මවූවා පමණි. හැම මසකම අවසානයේ ගමේ යන්නට සිතා සිටියත් ඇගේ නොයෙක් ඉල්ලීම් ඉටු කිරීමට සිදුවීමෙන් ඔහුගේ අතේ ගමේ යාමට තරම් මුදලක් ඉතිරි වූයේ නැත.

           නිම්මි සේවය කළේ පාලිත වැඩ කළ ඇඟලුම්කම්හලේමය. ඇය සිනාසෙන විට මුහුණේ දකුණු පස කම්මුල වළ ගැසෙයි. පාලිත ගමේ ඉස්කෝලයට යන විට ඔහුගේ පන්තියේ සිටි කුසුම්ගේ දකුණු කම්මුලද  සිනාසෙන විට වළ ගැසුණ බව ඔහුට මතක් විය. කුසුම්ගේ අව්‍යාජ බවටත් අහිංසක කමටත් වඩා ඔහු ලොල් වූයේ ඇගේ කම්මුලේ වළ ගැසීමටය. ඇය පිළිබඳ ආදර හැඟීමක් ඇති වූවත් දිනෙන් දින ඒ ගැන කුසුම්ට ප්‍රකාශ කිරීමේ අවස්ථාව පාලිත කල් දැම්මේ මිත්‍රකම අහිමි වේ යැයි ඇති වූ බියටය. ඒ අතර කාලයේ පන්තියේ සිටි වෙන අයෙක් කුසුම්ට ළං වීමෙන් ඇය පිළිබඳ උපන් සිතුවිලි ඔහු යටපත් කරගත්තේ හිත් වේදනාවෙනි.

          අතීත සුන්දර මතකයන් මෙනෙහි කරමින් සිටින විට නොදැනුවත්වම නිම්මි පාලිතට ළංවිය. ඇය පාලිතට ඉක්මනින්ම ආකර්ෂණය වූයේ මනා පෞරුෂයකින් හෙබි කඩවසම් පෙනුමකින් ඔහු පොහොසත් වීම නිසාය.

          නිම්මි, පාලිත සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නට පෙර සිටම විටින් විට ඔහුගෙන් නොයෙක් හේතු කියා ණයට මුදල් ඉල්ලා ගත්තද ඒවා නැවත නොදුන් බොල් ණය විය.
          සති අන්තයේ නිවාඩු දිනවල හා පෝය දිනවල පාලිත කල් ගෙවූයේ නිම්මිගේ ඇසුර ලබමින්ය. ඔවුන් කොළඹින් පිටත්වන පාන්දර කෝච්චියේ නැගී නොයෙක් පැති වලට ගොස් කාලය ගෙවා දමන්නට පුරුදු වූයේ අතේ ඇති මුදල රෙස්ටුරන්ට් වලට පූජා කරමින්ය. සතියේ දිනවල රෑ නිදිවරමින් ලබා ගන්නා අතිකාල දීමනාව මෙසේ නිම්මිගේ සුඛ විහරණයට ඔහු වියදම් කළේ කිසිම ලෝබ කමක් නොමැතිවය.  

          නිම්මි නොයෙක් පිරිමි රවටා මුදල් ගන්නා බවත් ඔවුන් සමඟ විවිධ සම්බන්ධකම් පවත්වන බවත් කමල් කිහිප විටෙක පැවසුවද පාලිත සිටියේ ඇයගේ ආලිංගනයෙන් මත් වීය. ඇය වෙනුවෙන් හිතු හිතු ලෙස වියදම් කළේ ගැහැනියකගේ ඇසුර මින් පෙර කෙදිනකවත් නොලැබ සිටි නිසාය. ඔහුට නිම්මිගේ පහසින් මිදෙන්නට නොහැකි වූයේ රාගයෙන් මත් වී සිටි බැවිණි. අම්මා ගැන විටින් විට මතක් වූවත් නිම්මිව එක් මොහොතක් හෝ අත්හැර යන්නට නොහැකි තරම් මානසිකත්වයකින් ඔහු පෙළුණු බැවින් ගමේ යාම දිනෙන් දින කල් යන්ට විය. පාලිත ඔහුගේ ජීවිතයේ අංගයක් ලෙස සලකා  නිම්මිට ආදරය කළද ඇය එසේ නොවූයේ ඔහු ඇයට තව එක් පිරිමියෙකු පමණක් වූ බැවිනි.

          පාලිතගේ අහිසංකකමත් අවංකබවත් අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා නිම්මි පිළිබඳ ඔහුගේ බෝඩිම් සගයා වූ කමල්ට තිබුණේ වේදනාවකි. කෙසේ හෝ මේ මර උගුලෙන් තම මිතුරා ගලවා ගන්නට ඔහු නිතර උත්සාහ කළේ පාලිත කෙරෙහි ඇති ළැදියාවෙනි.

          “ මචං පාලිත, මං උඹට හිතවත් නිසා කියන්නෙ. ඔය ගෑනිව විශ්වාස කරන්න එපා බං. බලපන් දැන් මාස කීයක්ද?. උඹ අම්මව බලන්න ගමේ ගියාද? අඩුම තරමින් අම්මට සල්ලි කීයක්වත් යැව්වද? උඹෙ මුළු පඩියම ඒකිට පුදනවා. උඹට මාව විශ්වාස නැහැනේ. දවසක මං පෙන්වන්නංකො උඹේ ඔය උර චක්කරමාලේ වැඩ කොහොමද කියලා.  ”

          කමල්ගේ චවන පාලිතට දැනුණේ තියුණු පිහි පහරවල් ලෙසය.  පුරා සත් මසක් දුක් මහන්සියෙන් ඉපයූ දෑ ගෑනියක් නිසා දිය වී ගොස් ඇති බව ඔහු තේරුම් ගත්තේ නිම්මි ගල්කිස්ස මුහුදු වෙරළේ වෙනත් පිරිමියෙක් සමඟ වෙළී පැටලී සිටි අයුරු දුටු දවසේය.

                                 *                   *                      *

          මාස ගණනක් තිස්සේ වැස්සක සේයාවක් නොලැබූ ඈත වෙල්යායට ඉහළින් සුදු වළා රොදක් පාවී යන අයුරු බිසෝමැණිකා බලා සිටියේ සාංකාවෙනි. කසිප්පු වාඩියේ වැඩට ගොස් දෙමාසයකින් උපුල්, මහ උළු ගෙදර බත් කෑමට ගියේ චවන හුවමරුවකින් ඇති වූ පිහි ඇනුමෙන් කසිප්පු මුදලාලි සදාතනික නින්දට යැවීමෙනි.

          කුස්සිය මුල්ලේ සඟවා තිබූ හාල් හුණ්ඩුව‍ මේ අවස්ථාව වන විට බිසෝමැණිකා විසිතිස් වතාවක් අතගා නැවත මුට්ටියටම දමා තිබුණි. සත් මසක් ගත වූවත් විටින් විට ගෙදරට හාල් සේරුවක් දෙකක් ගෙනාවද ඇය ලොකු පුතා වෙනුවෙන් වෙන් කළ හාල් හුණ්ඩුව ආහාරයට නොගත්තාය. දවස් දෙකකින් බත් ඇටයක් නොකෑ අනිත් ළමයි තිදෙනාගේ කුසගිනි නිවනු වස් ඇය සැඟවු හාල් හුණ්ඩුව පිටතට ගෙන සුසුම්ළමින්ම ලිප තබා මදි පාඩුවට කොස් ගෙඩියක් ද තැම්බීය.

          වත්ත පහළ කලපු දියේ සරුවට වැවී තිබුණු කැරන් කොකු දළු ටිකක් කඩාගෙනවිත් ගෙදර තිබුණු අන්තිම පහේ සියල්ල දමා කැරන් කොකු මාලුව ඇය රසට ඉවුවේ ලොකු පුතුව සිහිකරගෙනය.

          “ ලොකු පුතා හරිම ආසයි කැරන්කොකු මාලුවට ”

          කුස්සියේ පොල් ගාමින් සිටි සඳමාලිට ඇය එසේ කීවේ දෙනෙතින් කඳුළු වගුරවමිනි.

          “ මොනවා කරන්නද අම්මේ, අයියා ගැන අපි කොහෙන් හොයන්නද? ”

          පොල් සම්බෝලය සාදා අහවරව බත් බෙදන්නට සූදානම් වූ බිසෝමැණිකා පොඩි දියණියගේ කෑ ගැසීමෙන් තිගැස්සිණි.

          “ අම්මේ...... අම්මේ..... ලොකු අයියා..........”

          බිසෝමැණිකාගේ හදවත නතර වූවා සේ දැනිණි. ඇය ගෙයි ඉදිරිපසට දිව ආයේ දෑසට නැගුණු කඳුළු දෙකොපුලේ රූ රා වැටෙද්දීමය.

          “ ලොකු පුතේ, ඇයි මයෙ රත්තරං පුතේ උඹට මොකද වෙලා තිබ්බේ. මං කී දවසක් නම් මේ ගින්දර උහුලන් හිටියද? ඇයි උඹට අම්මව අමතක වුණාද? උඹ ඉන්න ඉසව්වක් දන්නව නම් මං මෙලහකට උඹව හොයා ගෙන ඇවිත්. උඹ ඇදිලා ගිහින් මයෙ පුතේ. වැඩරාජකාරි නිසා වෙන්න ඇති මයෙ හිතේ. අනේ වරෙං. උඹ බඩ ගින්නෙ ඇත්තෙ. උඹ ආස කෑම අද උයලා තියෙන්නෙ.මට හීනෙන් වගෙ හිතුණා උඹ අද එයි කියලා..... ”

          පුරා සත් මසක් මුලුල්ලේ සඟවා තැබූ හාල් හුණ්ඩුවේ උරුමක්කාරයා වූයේ පාලිතමය. අනෙක් දරුවන්ට ලොකු අයියා වෙනුවෙන් තම බත්පත පිදීමට සිදු වූවත් කිසිවෙකුත් මැසිවිලි නොනැගුවේ ඔහුට ඇති සෙනෙහසිනි. සිහියක් පතක් නැතිව බත්පත ගිල දමන ලොකු පුතු දෙස බිසෝමැණිකා බලා සිටියේ සතුටත් වේදනාවත් මුසු බැල්මෙනි.

          “ අනේ අම්මේ, පුදුම රසක් තියෙන්නෙ. මට තව බත් ටිකක් දෙනවද....? ”

          ලොකු පුතුගේ අනපේක්ෂිත ඉල්ලීමෙන් අසරණ වූ බිසෝමැණිකා කිසිවක් කියාගත නොහැකිව සිටිද්දී පාලිත බත් පත ඇයට දිගු කොට බලා සිටියේය.

          “ අයියේ, වෙන බත් නැහැ ගෙදර. අපිත් දවස් දෙකකින් බත් කාලා නැහැ. ”

          තම පුංචි නැගණියගේ චවන පාලිතගේ දෙසවන් බිහිරි කරන්නට තරම් දෝංකාර දුණි. ඇඳි වත පමණක් රැගෙන ගෙදර ඒමට සිදුවීම ගැන පාලිත මහත්සේ කම්පාවට පත්වූවේ නැගණියට ලස්සන බෝනික්කියෙකු ගෙන ඒමට දුන් පොරොන්දුව ද මෙනෙහි කරමිනි.


  


රුක්ෂිලා වෙත්තමුණි