Thursday, May 15, 2014

- මොණරු -



          “පත්තර කීයක කියල මංගල දැන්වීම් දැම්මද? අප්පේ..., කොහොම හරි අන්තිමට හොඳ කෙනෙක්ව හොයා ගන්න පුළුවන් වෙච්ච එක ගැන මට නම් හරිම සතුටුයි

          “ඒක නම් සහතික ඇත්ත අමාලිලැ අප්පච්චි. මගේ ඔලුවේ තිබ්බ ලොකු බරක් බිම තිබ්බ වගෙ දැනෙන්නෙ. පුදුම සහනයක්. මං බයේ හිටියෙ මේ ළමයට හතලිහ පැන්නොත් කොහොම මඟුලක් කරල දෙන්නද කියල. මොකද දැන් කාලෙ මිනිස්සු හොයන්නෙ විස්සෙ තිහෙ කෙල්ලන්වනෙ. යාන්තම් හතලිහ පෙනි පෙනීවත් බන්ඳලා දෙන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. පියල්ට කියලත් ඉතිං වයසක්යැ. අවුරුදු 49 යි නේ. හොඳට සල්ලි භාගෙ තියෙන එකේ කාල බීල සැපවත් ජීවිතයක් ගත කරන්න අපේ ලොකු දුවට බැරියැ

          අමාලිගේ දෙමව්පියන් පියල්ට මහත් සේ ආදරය කළේ, ඔහු ඉතා නිර්ලෝබිව වියදම් කරන මුදල් නිසාය. විශ්‍රාමික රජයේ සේවයකු වූ අමාලිගේ අප්පච්චීට තම වැඩිමහල් දියණියගේ මංගල්‍යය ඉතා සරුවීම මහත් සැනසිල්ලට හේතුවක් වූයේ ද පියල්ගේ මුදල්මය.

          කුඩා කල ගංගා, ඇල දොළ පනිමින් ලියදි දිගේ දිව ගිය අමාලි, දෙමහල් නිවසක අතට පයට සේවයට මෙහෙකාරියන්ගේ ද වත්තේ පිටියේ සේවයට මෙහෙකරුවන්ගේ ද සහායයෙන් ගත කළේ ඉතා සැපවත් ජීවිතයකි.

          දින, සති, මාස ඉක්ම වී විවාහ දිවියට වසරක් සම්පූර්ණ වුවද ඇය මවක් වීමට වාසනා නොලද්දීය. විවිධ විශේෂඥ නාම පුවරු යටතේ ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගේ රැකවරණය පතා නොයෙක් වර ගියත්, බෝධි පූජා පවත්වමින්, හොර සාස්තරකාරයන්ගේ හා හොර වෙද්දු පසු පස ගියත් පලක් නොවූ කල දරුවෙකු ළමා නිවාසයකින් හෝ රැගෙන හදා වඩා ගන්නට කළ ඉල්ලීම ද දෙතුන් වරකදීම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඇය දරුවෙකුගේ සුරතල් බැලීමේ ආශාව දවසින් දවස අත් හැරියේ පොත පතට වඩාත් ළංවෙමිනි.

          අමාලිගේ දළ පැහැති සමත් රූපශ්‍රීයත් නිසා ඇගේ දුප්පත්කම තමාගේ අනාගතයට බාධාවක් නොවන බව මුදල් මතම සියල්ල තීරණය කරන පියල්ට නිතර සිහිවිය. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පියල් බොහෝ සේ ඇලුම් කළේ ඉක්මනින්ම පොහොසතෙකු වීමටය.

          සාම්ප්‍රදායික රාමුවට කොටු වී සමාජයේ වෙසෙන මිනිසුන්ට අවශ්‍ය පරිදි ජීවත් වීමට කටයුතු කළ අමාලිගේ දෙමව්පියන් බරින් නිදහස් වීම සඳහා වැඩිමහල් දියණිය සල්ලිකාරයෙකුට විවාහකර දී උදම් අනිමින් දිවි ගෙවූනමුත්, තම දියණිය විඳින මානසික පීඩාව පිළිබඳ සිටියේ අනවබෝධයෙනි.

          “අමාලි...... ඔන්න අපිට වාලම්පූරියක් ලැබෙන්න යන්නෙ
          “ඒ මොකද පියල්.......?

          “මං පොඩි බිස්නස් එකකට අත ගැහුව. ඇත්තම කිව්වොත් ඒක හවුල් ව්‍යාපාරයක්. මාත්තෙක්ක තව තුන් දෙනෙක් ඉන්නව. ඔයා දන්නවද, මට ඒකෙන් ලැබෙන පළවෙනි කමිෂන් එක ලක්ෂ දහයක්.හැබැයි මං පොඩි කැපකිරීමකුත් කරනව.

          “ඒ කිවුවෙ, ඔයා මොකද්ද කරන කැපකිරීම.....?

          “ඒක සුළු දෙයක් ළමයො. මමත් සල්ලි කොටසක් දානව. තව පොඩි පොඩි කාරණා කිහිපයක් ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්නව අපෙ හවුල් කාරයන්ව සතුටු කරන්න. ඒක නෙමෙ අමාලි, ඔයත් මේ ගෙදර හිර වෙලානෙ ඉන්නෙ. අපි යමු නුවර එළියෙ පැත්තෙ පොඩි සංචාරයකට. අපිත් එක්ක තව දෙතුන් දෙනෙක්ම යනව. මං ඔයාට කිව්ව හවුල් කාරයො තුන් දෙනාගෙන් එක් කෙනෙක් ඉන්නෙ නුවර එළියෙ. ඉතිං අපි එහෙදි මීටින් එකක් තියන්න හදන්නෙ. මං හිතුවා ඔයාවත් එක්ක යන්න

          අමාලිගේ සිත සතුටින් ඉපිලී ගියේ ඇය රටතොටේ ඇවිදීමට බෙහෙවින්ම ප්‍රියකළ හෙයිනි. නිතරම මුදල් එක්ක ඔට්ටු වන තම සැමියා විවාහ වී වසරක් ඉක්ම වූ පසු යාමට සූදානම් වන ප්‍රථම සංචාරය ගැන ඇය සිටියේ ඉමහත් සතුටිනි.

          පීඩාකාරි කොළඹ නගරයෙන් මිදී පැමිණි අමාලිට, හරිත වර්ණයෙන් බැබලෙන තේ දළු අතවනා ආචාර කළේ ඉතා සොම්නසිනි. උදුවප් සීතලෙන් ඇගේ ගත මෙන්ම සිතත් හිරිවැටුණේ දළ පැහැති කම්මුල් රෝස පැහැ නංවමිනි. අමාලිලාගේ  නවාතැන්පොළ වූයේ තේ වත්තක හිමිකරුවෙකු වූ අමරසිංහගේ බංගලාවයි. ඔහුගේ පවුලේ සියලු සාමාජිකයින් ඕස්ට්‍රේලියාවේ වාසය කරන බව අමාලි දැන ගත්තේ පසු දා උදෑසන තේ මේසයේදී ඇති වූ කතා බහිනි.

          “මිසිස් බොතේජු කොහොමද ? ඊයෙ රෑ හොඳට නින්ද ගියාද ?

          “අනේ ඔවු මිස්ටර් අමරසිංහ, ගමන් මහන්සියයි මේ සීතලයි නිසා වෙන්න ඇති දන්නෙම නැතිව නින්ද ගියෙ

          “පියල්, අද කීයට විතරද අනිත් අය එනව කිවුවෙ ?

          “මං හිතන්නෙ අමරෙ, හවස තුන හතර වෙද්දි එයි

          “අද එහෙනම් අපි හැමෝටම සුන්දර රාත්‍රියක් වෙයි නේද ?

          “ඔව්, ඔව්, ....නැතිව, නැතිව

          හිරිගඩු පිපෙන සීතලෙන් ගුලිවී බංගලා වත්තේ ඇවිදීමට අමාලිගේ සිත බල කළත් කූඩැල්ලන්ට තියෙන බියෙන් ඇය එම අදහස උපන් ගෙයිහිම මරා දැමීය.
          අමරසිංහගේ පොත් ගුලට රිංගු අමාලි පොත් අතර සැරිසරා        මහල්ලා සහ මුහුද සොයා ගත්තේ පොඩි දරුවෙකු පැණි රස කෑමක් දැකීමෙන් ඇතිවන ගිජුකමිනි. මීට වසර ගණනාවකට උඩ දී විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් මේ පොත කියවා තිබුණද ඇයට නැවත කියවීමේ ආසාව ඇති කළේ බංගලාවේ ඇති හුදකලාවත් සමඟිනි. මහල්ලා සහ මුහුද ඇයගේ අතීතයේ සුන්දර දවස් සිහිපත් කළේ නොදැනුවත්මය. විශ්වවිද්‍යාල භූමියේ අමල්ගේ අතේ එල්ලී කුඩා දැරිවියක සේ ආගිය තැන් සහ කළ කතාබස් ඇයට සිහි ගැන්වූයේ හදවතේ මහත් වේදනාවක් ඇති කරමිනි.

          “අමාලි, අමල්........ෂා නියමෙට ගැලපෙනව. උඹල දෙන්න පතාගෙන ආව ජෝඩුවක් වගෙ. ඇත්තමයි බං, නම් වලිනුයි ගති ගුණයි හැම අතින්ම උඹල දෙන්න ගානට සෙට්

          “අනේ නිකං පලයං බං උදලු දාන්නෙ නැතුව. උඹත් අල්ලගනිංකො උඹටම හරියට කෙල්ලෙක්ව. මං ඕන නම් පොඩි පෝස්ටර් ව්‍යාපාරයක් දෙන්නම්
          ‘උපුල්ගෙ අත ගැනීමට සුදුසු පෙම්වතියක් සොයයි

          “අපිට කොහිද මල්ලි.... එහෙම වාසනාවක්. උඹල ඉතිං පින් කඳන්නෙ

          උපුල්ගේ මුඛරි කතාවලට අමාලිත්, අමලුත් සිනාසුනේ මුලු විශ්වවිද්‍යාල භූමියේම දෝංකාරය නංවමිනි.

          විශ්වවිද්‍යාලයේ දෙවන වසරට පිවිසෙන විට අමල්ගේ නිහඬ චරිතය ටිකෙන් ටික වෙනස් වන්නට පටන් ගත්තේ අමල්, ප්‍රගතිශීලී  ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය ගැනීමත් සමඟය. වෙනදා මෙන් අත්වැල් පටලවා, පෙම්බස් දොඩමින් පාරක් පාරක් ගානේ ඇවිදින්නට දැන් අමල්ට වෙලාවක් කලාවක් නැත. ඊටත් වඩා එසේ යන්නට කැමැත්තක්ද නැත.

          “ඇයි අමල්, ඔයාට ඉස්සර වගෙ සැහැල්ලුවෙන් ඉන්න බැරිද...?

          “මාව තේරුම් ගන්න අමාලි. අපේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් අපි මොනව හරි කරන්න ඕන. මේ පවතින අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව නැගී හිටින්න ඕන. ඉතිං ඔයයි මායි විතරක් සැප විඳින්න හිතන්න එපා. අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි කැපවෙන්න ඕන අමාලි......

          අමල්ගේ දේශපාලන ජීවිතයත් සමඟ ඉතා කාර්ය බහුල වීම හේතුවෙන් දිනපතා මුණ ගැහිච්ච අමල්ව සතියකට හමාරකටවත් දකින්නට නොලැබීමෙන් අමාලි කල්ගෙවුවේ ඉමහත් වේදනාවෙනි. දිනෙන් දින රටේ තත්ත්වය අඳුරු අගාධයකට ඇද වැටෙද්දී විශ්වවිද්‍යාලය වසා දැම්මේ දින නියමයක් නොමැතිවය.

          පියල් බොතේජුගේ බිරිඳ වී වත්මනේ දිවි ගෙවන්නට ඇයට සිදු වූයේ අමල් නාදුනන තුවක්කු කරුවෙකුගේ ඉලක්කයට ගොදුරු වීමෙනි. අමාලිට බාල සොයුරියන් දෙදෙනාම විවාහ දිවියට එළඹුනද ඇය දිනෙන් දින තම කසාදය කල්ඇරියේ අමල්ගේ මතකය විටින් විට ඇගේ සිතේ හොල්මන් කළ බැවිනි.

          කොළඹින් පිටත්ව නුවර එළියේ සංචාරයට පැමිණි අමාලිට පසු දා හිරු  උදා වූයේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය.

          “අමාලි, අපි යමුද ටිකක් ඇවිදින්න. ඔයා ඊයෙ හිටන් කාමරයට වෙලානෙ හිටියෙ. දැනට අපි අමරෙ එක්ක යං. අද හවසට ඉතිං තව දෙතුන් දෙනෙක්ම එකතු වෙනවනෙ. එතකොට බැරියැ තව තැන්වල ඇවිදින්න යන්න

          “අනේ යමු පියල්, ඇත්තටම මං හරිම කම්මැලිකමෙන් හිටියෙ. එළියට බහින්නත් බයයි කූඩැල්ලො නිසා

          “අපොයි ළමයො, මොකටද උංට බය වෙන්නෙ. ඔයා ඉතිං ෆොටෝ ගන්න ආසයිනෙ. මේ ළඟ ලස්සන දිය ඇල්ලක් තියෙනව කියල අමරෙ කිව්ව. අපි එහෙ යං. එතකොට ඔයාට හිතේ හැටියට ෆොටෝ ගන්න බැරියැ.....

          අමරසිංහගේ ජීප් රථයේ නැගි තිදෙනාම දිය ඇල්ල ඇති ඉසව්වට ගියත් රථයෙන් බැසීමට පියලුත් අමරසිංහත් මැලි විය. එහෙත් අමාලි නම් සිටියේ උතුරා යන සතුටිනි. පාරෙන් මදක් ඉවත් කොට වාහනය නතර කළ සැනින් ඉන් බැසගත් අමාලි වශීකෘත වූයේ පරිසරයේ මනස්කාන්ත දර්ශන දැකීමෙනි . ව්‍යාපාර ලෝකයේ සිර වී සිටි පියල්ටත් අමරසිංහටත් ස්වභාය ධර්මයේ ඇති සුන්දරත්වය විඳීමට තරම් සංවේදී බවක් නොතිබුණි. හිතේ හැටියට පරිසරය විඳගත් අමාලි එක් එක් කෝණයන්ගෙන් ඡායාරූප කිහිපයක්ම ගනු ලැබූයේ දක්ෂ කැමරා ශිල්පිනියක ලෙසිනි.

          විවාහයෙන් පසු සතුටින්ම සිටි දවස එදින බව නැවත බංගලාවට පැමිණි මොහොතේම තම දිනපොතේ සටහන් කිරීමට ඇය අමතක නොකළාය.

          පියලුත් අමරසිංහත් බංගලා වත්තේ පෙයාර්ස් ගස් පේළිය යට ඉදි වූ බංකුවේ හිඳගෙන බැරෑරුම් සාකාච්ඡාවක නිරතව සිටිද්දී මැද සාලයේ ඉතා සුව පහසු සෝපාවේ දිගෑදී අමාලි නැවතත් මහල්ලා සහ මුහුද කියවන්නට පටන් ගත්තේ කතාබස් කිරීමටවත් එකදු ගෑනු පුළුටක් බංගලාවේ නොසිටි බැවිනි.

          පොත අතේ තිබෙද්දීම සුව නින්දකට වැටී සිටි අමාලි එක් වරම තිගැස්සී ඇහැරුණේ වාහනයක දොරවල් වැසීමත් කොක් හඬ නඟා සිනාසෙන හඬවල් කිහිපයක් එකවර ඇසීමත් සමඟය. අවුල් වූ හිසකෙස් තම ඇඟිලි තුඩු වලින් සකස් කළ ඇය සෝපාවෙන් නැගී සිටියේ තම කාමරය වෙත යාමට වුවද පියල්ගේ ඇරයුමෙන් ඇයට රැදී සිටීමට සිදුවිය.

          “අමාලි, මේ තමයි සමරවික්‍රම. මේ හැන්ඩියා තමයි විජේපාල. අමරසිංහත් එක්ක හවුල් ව්‍යාපාරය කරන්නෙ මේ දෙන්න. මං ඉතිං සහායට ඩැනී නේ .... නේද ?
          පියල්ගේ කතාවට අනිත් තිදෙනාම මහා හයියෙන් සිනාසුනත් පිරිමි ගොඩක් මැද තනි වූ අමාලි බලා සිටියේ අසරණ ගැහැනියක් ලෙසය.

          “මිසිස් බොතේජු, පොත් කියවන්න ආසයි වගෙ. අපි පස්සෙ නිදහසෙ කතා කරමුකො ඉතිං

          අමාලි කිසිවක් නොකියා කට කොනින් සිහින් සිනහවකින් සංග්‍රහ කළේ පියල්, සමරවික්‍රමව හඳුන්වා දුන් මොහොතේ ඔහු ඇයගේ අත තදින් මිරිකීම හේතුවෙනි.

         “ ඔය සමරෙ අපේ නංගිගෙ පොතක්. උඹ දන්නවනෙ ඉතිං එයා පොත් පිස්සියක් කියල. කැම්පස් යන කාලේ තමයි එයාගේ පිස්සුව වැඩිවුණෙ. එයා නැතිවුණාට පස්සෙ ඔය පොත් රාක්කයේ පොතක් ඇද්ද පළවෙනි කෙනා තමයි මිසිස් බොතේජු.“

         “ ඒ ළමයගෙ වටිනා ජීවිතය අපරාදෙ නැති වුණෙ. දැන් හිටිය නම් මිසිස් බොතේජු වගෙ හිටියි නේද..?

         “ඔව් සමරෙ. පොඩි කාලෙ හිටන්ම එයා හරිම වෙනස් විදියට හිතුවෙ. කැම්පස් එකේදී විප්ලව කරන්න ගිහින් ඔය අකරතැබ්බ වුණේ නැත්නම් අද කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණද.....“

         අමාලිගේ හිත නැවතත් අතීතය කරා දිව ගියේ එක් සැනින්ය. උණ්ඩ වලට ගොදුරු වී වටිනා ජීවිත අහිමි වෙච්ච තරුණ තරුණියෝ අතර අමරසිංහගේ නැගණිය තවත් එක් චරිතයක් පමණි.අපේ සමාජයේ මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දුන් තරුණ පිරිස කෙතරම් දැයි කිව හැක්කේ කාටද....?

          “හරි අපි එහෙනම් මුලින්ම තේ ටිකක් බීලා ඉමු නේද ? මේවා ඉතිං ෆ්‍රෙෂ් ටී. හවස් වෙද්දි බැරියෑ ඇඟ රත්වෙන දේවල් පානය කරන්න

          “ඔව්, ඔව් අමරෙ, ඒක නම් ඉතිං නැතුව බැහැනේ. වල් ඌරු මස් කෑල්ලක් එක්ක කොහොමද ගානට සෙට් වෙද්දී........

          ඉතා නිහඬ චරිතයක් වූ විජේපාල, සමරවික්‍රමගේ තොරතෝංචියක් නැති කියවීමට කිසිවක් නොකියාම සිනාසුණා පමණි.

          රාත්‍රි හතට පමණ සිවු යහළු වික්‍රමය බෝතල් මූඩි අරින්නට පටන් ගත් විට, අමාලි සිටියේ මහල්ලා සහ මුහුදේ අවසන් භාගයට ළංවෙමිනි. එක් වරම කාමරයේ දොරට සන් කරන හඬක් ඇසීමෙන් තිගැස්සුණු ඇය දොර වෙත ගියේ දෙගෙඩියාවෙනි.

          “නෝනා, කෑම ලෑස්තියි. අපේ මහත්තය කිවුවා නෝනට කන්න දෙන්න කියල. මහත්තයල කද්දි ගොඩාක් රෑ වෙයි කිව්ව

          පියල්ගේ ලෝකයේ මේ අවස්ථාව වෙද්දි සිටියේ අමරෙත්, සමරෙත්, විජේත් පමණි. ඇයට කෑමට පවා ආරාධනය ලැබුණේ අමරසිංහ හරහාය. ඉතා සතුටින් ආරම්භ කළ දවස රාත්‍රිය උදාවෙත්ම මොකක්දෝ මූසල හැඟීමකින් වෙළාගත් බව අමාලිට දැනුණේ තමා බංගලාවේ හුදකලා වීමෙන් ඇති වූ පාළුවෙනි. උදුවප් සීතලෙන් මුළු ඇඟම ගල් ගැහී ඇතැයි ඇයට දැනුණි. ඉතා රසවත්ව කෑම පිළියෙළ කොට තිබුණත් අනාගත් බත්කට කෑමටවත් ඇයට රුචියක් නොවීය. පෙයාර්ස් ගෙඩි දෙකක් රාත්‍රී ආහාරයට ගත් අමාලි තම කුටියට වැදුණේ ඉක්මනින්ම නින්දට යාමටය.

          රාත්‍රී නිදන ඇඳුමෙන් සැරසුණු ඇය නින්දත් නොනින්දත් අතර පසුවූයේ පියල් ඇතුළු කණ්ඩායමේ කෑකෝ ගැසීම් නිසාය. පැයකට පමණ පසු යාන්තමට දෑස් පියවී ගෙන එන විටම කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසුණත් ඇය ඇඳටම වී සිටියේ පියල් නම් දොර ඇරගෙන එතැයි යන හැඟීමෙනි. එහෙත් පියල් වෙනුවට දොරෙන් ඇතුළු වූයේ සමරවික්‍රමයි.

          “අං......ආ.. ඇයි මිස්ටර් සමරවික්‍රම ? ඔයාට කාමරය පැටලුනාද ?

          “නැහැ නැහැ ඩාලිං. ඔයා හිතුවද මට වෙරි කියල. අපි තාම හරියට බොන්න පටන් ගත්තෙත් නැහැ. මං මේ ඔයාව හොයාගෙනම තමයි ආවෙ. බය වෙන්න එපා. අයිතිකාරයා ගෙදර නැහැ. ඒ ගොල්ල ටවුමට ගියා මොනාද අරං එන්න

          සීතලෙන් හිරිගඩු පිපී තිබුණු ඇගේ මුළු සිරුරම ගිනි ජාලාවක් මැද දැවී ගියේ නිමේෂයකිනි. සමරවික්‍රමගේ හැඩි දැඩි සිරුර සමඟ ඔට්ටු ඇල්ලීමට නොහැකි වූ අමාලි ඔහුගේ ගොදුරට හසුවූයේ ඇගේ දුබල ස්ත්‍රීත්වය හමුවේය.      

          සතර දිග්භාගයේම මිනිස් වාසස්ථානයක් නැති අක්කර තිහ හතලිහක තේ වත්තක් මැද පිහිටි බංගලාවේ තනි වූ ඇයට පියල්ගේ ව්‍යාපාරික හවුල්කාරයන්ව සතුටු කිරීමට සිදුවූයේ, ඔහු ඇස් කන් නැත්තෙකු සේ සිටීම හේතුවෙනි.
         පසුදා පාන්දරින්ම බංගලාවෙන් පැන යාමට දෙතුන්වර උත්සාහ කළද ඇගේ බලාපොරොත්තු සුන් කරමින් ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි සේ  අසාර්ථක විය.
                    තෙදිනක් තිස්සේ ගත කළ අපුල ජීවිතයෙන් මිදී නැවත කොළඹ පැමිණි මොහොතේ අමාලි වඩාත් කම්පාවට පත්වූයේ පියල් කිවූ කතාවෙනි.

          “අයියෝ අමාලි, මොකටද මූණ එල්ලගෙන ඉන්නෙ. ඕක සුළු දෙයක්නෙ. ඇත්තටම මං ඔයාව කසාද බැන්ඳෙ ඔයාගේ ලස්සන හින්ද. මං හිතුව කවද හරි මගෙ ව්‍යාපාර දියුණුකර ගන්න ඔයාව පාවිච්චි කරනව කියල. අන්න ඒ නිසා තමයි මං ඔයාගෙ දුප්පත්කම ගණන් ගත්තෙ නැත්තෙ. මට කියන්න, දැන් ඔයාට මොනවයින්ද අඩු කියල. යාන වාහන, ගෙවල් දොරවල්, අතට පයට වැඩකාරයො හැම දෙයක්ම තියෙනව. ඉතිං මං වෙනුවෙන් සුළු උදව්වක් කරාට මොකද වෙන්නෙ......

         සැදෑසමයට පා තබා සිටින තම දෙමව්පියන්ගේ හිත් අසතුටු කිරීමට අපොහොසත් වූ අමාලි මෙතරම් නිහීන වැඩක් කළ, නීතියෙන් පමණක් සැමියා වූ පියල් සමඟ කල් යැවුවේ ඉමහත් පිළිකුලකිනි.

         අප්‍රසන්න නුවර එළි සංචාරයෙන් මාසයක් ඉක්ම යාමෙන් පසු අමාලි හදිස්සියේම අසනීප වූයේ ඇගේ දෙමව්පියන්ද පැමිණ සිටි මොහොතකය. තදින් හටගත් හිසරදයත් සමඟ නිතර නිතර ක්ලාන්ත වීම හේතුවෙන් ඇයව වෛද්‍යවරයෙකු වෙත ගෙනයාමට අමාලිගේ දෙමව්පියන්ට සිදුවූයේ පියල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිවසින් බැහැරව සිටි නිසාය. වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු ඇය ගැබ්ගෙන ඇති බව ප්‍රකාශ වීමෙන් අමාලිගේ හිසේ රුදාව තවත් වැඩි විය. එහෙත් ඇයගේ ගැබ් ගැනීමේ ආරංචිය වෛද්‍යවරයා පැවසුවේ අමාලිගේ දෙමාපියන් බොහෝ සතුටු කරමිනි.

         ඇය ගැබිනියක් බව දැන ගත් දා සිටම අමාලිගේ දෙමාපියන් ඇයත් සමඟ එම නිවසේ වාසය කිරීම හේතුවෙන් හදිසියේ ගැබ්ගත් කළලය සම්බන්ධයෙන් කිසිවක් කරකියා ගන්නට අමාලිට නොහැකි විය.

         දිනෙන් දින වර්ධනය වන ඇගේ දරු ගැබ දෙස බලා ඔවුන් බොහෝ සතුටු වූයේ පවුලේ වැඩිමහල් දියණියගේ කුළුදුල් දරුවා වීම හේතුවෙනි. අමාලිගේ රුචි අරුචිකම් හොඳින් දන්නා මව ඇයට උවමනා සියලු කෑම බීම තමන්ගේ අතින්ම පිළියෙල කර දුන්නේ ඉමහත් සැලකිල්ලෙනි.

         පියල්ගේ හැසිරීමේ රටාවද වෙනස් වූයේ අදහාගත නොහැකි ආකාරයකිනි. දිනෙන් දින විශාල වන දරු ගැබ දෙස ඉතා ආසාවෙන් බලා සීටීම ඔහුගේ දවසේ එක් රාජකාරියක් විය.       

         දරුවෙකුගේ සුරතල් බැලීමට පෙරුම් පුරමින් සිටි අමාලි තමන්ට උදා වී තිබෙන්නේ භාග්‍යයක්? දැයි අභාග්‍යයක්? දැයි  යන මහත් පීඩාකාරි හැඟීමෙන් කල්ගෙවත්ම ඇගේ දරු ගැබ මෝරා දරුවා ප්‍රසූත කිරීමේ කාල වකවානු ළංවිය.
         දහසක් සිත් තැවුල් මත ඇය බිහිකළේ පුතෙකි. “මොණරු“ මතම පියාඹන පියල්ට දරුවා කාගේ වූවත් කම්නැත. සමාජය ඉදිරියේ පාරම්බාන්නට දැන් ඔහුට පුතෙකු ඇත.

          පියාගේ නම පියල් බොතේජු ලෙස උප්පැන්නයේ ලියවිණි. එහෙත් මේ දරුවාගේ පියා කවුරුන් විය හැකි දැයි දන්නේ අමාලිත් පියලුත් පමණි. ඒත් ඔවුනුත් නිවැරැදිව නොදන්නා ගානය.

          පුතාගේ තාත්තා අමරසිංහද? සමරවික්‍රමද? විජේපාලද ? යන නොවිසදුණු පැනයෙන් යුක්තව ඇය තම පුතුව තරයේ වැළඳ ගත්තේ ඉමහත් මාතෘ සෙනෙහසිනි.





-       රුක්ෂිලා වෙත්තමුණි - 

Tuesday, May 13, 2014

කිරි කඳුළු.......


වියළි තන පුඩු
උරා හඬනා
පුතුගෙ කඳුළින්
ඇකය පිරුණා

හෙළන කඳුළැලි
මහ ගඟක් වී
සයුර සිඹිමින් 
ගලා හැලුණා

කඳුළු පොකුරක් 
සිප්පි කටුවක
සැඟවිලාවිත්
ගොඩට ඇදුණා

යෝධ පයකට 
තැලී පොඩිවුණ
කඳුළු පොකුරම
හඬා වැටුණා



                                                                  රුක්ෂිලා වෙත්තමුණි

Saturday, May 3, 2014

උඩරට දුම්රිය මග තැනීමට ඉංග්‍රීසිහූ දිය ඇල්ලක් දෙකට පලති..........



වර්ෂ 1815 දී අප රටේ පාලනය මුළුමනින්ම සිය'තට ගත් ඉංග්‍රීසි ජාතිකයන් එය නැවත අප අතට පත් කරන ලද්දේ 1948 වසරේය. එසේ අප රට බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක්ව පැවැති කාලයේ සුද්දන් අපේ රටට සිදු කළ හොඳ නොහොඳ ගැන ඓතිහාසික සහ ජනප්‍රවාද ගත තොරතුරු රැසක්ම තිබේ. එහෙත්, ඉංග්‍රීසි ජාතිකයන් අප රටේ ස්වභාවිකව ගලා හැළුණු දිය ඇල්ලක් දෙකට පලා දැමූ මේ පුවත නම් ඔබ මින් පෙර අසා  නැතුවාට සැක නැත.

'
මීයන් ඇල්ල' යනු අප රටේ සාමාන්‍ය ජනතාව තබා බොහෝ පරිසරවේදීන් සහ දිය ඇලි ලෝලීන්වත් අසා නොමැති දිය ඇල්ලකි. අඩුම තරමින් එය ඇත්තේ කොහිද කියාවත් බොහෝදෙනෙක් නොදනිති. මා එසේ කියනුයේ එවැනි බොහෝ දෙනකුගෙන් ඒ දිය ඇල්ල සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

එහෙත්, ශ්‍රී ලංකාවේ අතීත පරිපාලනමය බෙදීම්වලට අයත් සතර කෝරළයේ මායිමක් වශයෙන් පවා මෙම මීයන් ඇල්ල එකල ප්‍රකටව පැවතුණි.

මීයන් ඇල්ල බලනේ කඩවත් ඇතුළේ 
කඩුගන්නාව පිට සේසත කෙටූ ග‍ලේ
මාවෙල උඩුපිටින් ලගමුව ද පසු කළේ 

මෙ ලකුණුවලට මැදි රට  හතර  කෝරළේ 
                                           යන පැරණි කඩඉම් කවිය වුව ඊට කදිම නිදසුනකි.

මීයන් ඇල්ල නිර්මාණය වන ජල මූලාශ්‍රය ආරම්භ වනුයේ අලගල්ල  කන්දේ පිහිටි හැලංමඩිත්ත නම් ස්ථානයෙනි. එකල එය ඉහළ කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි අලගල්ල කන්දේ පහළ කොටසකට අයත් විශාල ගල් පර්වතයකින් පහළට නිදහසේ රූරා හැළුණි. ඉන්පසුව  වලගොඩ සහ තලගොල්ල යන ගම් අතරින් තලගොල්ල ඔයට එක් වූ එම ජලමූලාශ්‍රය තලගොල්ල ඔය වශයෙන් බෝඇල්ල නම් ස්ථානයේ දී මා ඔය හා සම්බන්ධ විය. මෙම බෝඇල්ල සූර සරදියෙල් පිළිබඳ රමණීය කතා පුවතක් හා සම්බන්ධ ස්ථානයක් ද වෙයි.

මෙසේ ස්වභාවික ලෙස නිදහසේ ගලා හැළුණු මීයන් ඇල්ල 'දෙපළු කිරීමට' ඉංග්‍රීසින්ට සිදුවූයේ ඇයි? ඒ කොළඹ සිට මහනුවර  දක්වා දුම්රිය මග තැනීමේ දී මුහුණ දීමට සිදුවූ දැවැන්ත අභියෝගයකට මුහුණ දීමේ විකල්ප ක්‍රියාමාර්ගයක් ලෙසිනි.

ඒ කතාව  මෙසේ ය;
කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වන දුම්රිය අලගල්ල කන්දේ පාමුලට පිවිසෙනුයේ යටිවල්දෙණිය දුම්රිය පළ පසු කළ  විට හමුවන අංක 05 දරන බිම් ගෙය අද්දරිනි. ඊට හේනෙ‍පොල බිංගෙය කියාත් කදුරාගෙඩිය බිංගෙය  කියාත් ගම්මු කියති.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පනස් හය හමාරේ සැතපුම් කණුව සමීපයේ පිහිටි  එම ස්ථානයේ උස මුහුදු මට්ටමින් අඩි අට සියයක් පමණ වෙයි. ඉන් පසුව අලගල්ල  කන්දේ පාදම ඔස්සේ තවත් සැතපුම් තුනයි කාලක ශීඝ්‍ර නැග්මක යෙදෙන උඩරට දුම්රියට එහි පනස් නවයයි කා‍ලේ සැතපුම් කණුව අද්දරදී ඉහත සඳහන් මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය හමුවෙයි. එම ස්ථානයේ උස මුහුදු මට්ටමින් අඩි දහසක් පමණ වේ.

ඒ අනුව හේනේ‍පොළ බිංගේ අද්දර සිට මෙම ස්ථානය තෙක් වන සැතපුම් තුනයි කා‍ලේ දුර ප්‍රමාණය තුළ  දුම්රිය අලගල්‍ලේ කඳු  පාදම ඔස්සේ අඩි දෙසීයක පමණ උස ප්‍රමාණයක් ඉහළ නැග ඇති බව පැහැදිලි ය.

අලගල්ල කන්ද හරහා වැටී ගත් මහනුවර දුම්රිය මග කන්ද උඩරට හා සම්බන්ධ කිරීමට නම් එය මීයන් ඇල්ල පසු කරවිය යුතුම ය. එහෙත්, දිය ඇල්ලක් මැදින් දුම්රිය මගක් තනන්නේ කෙසේද? බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් මේ පිළිබඳව දහ අතේ  කල්පනා කරන්නට ඇත. එමෙන්ම, ඒ සඳහා  ගත හැකි හොඳම ක්‍රමෝපාය මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය යටින් බිංගෙයක් තැනීම ය. එහෙත් මුලින්ම එම පර්වතයේ දිග මැන බැලූ ඉංජිනේරුවන්ට එය ‍ලේසි පහසු සෙල්ලමක්  නොවන බව වැටහෙන්නට ඇත. ඒ එම පව්ව අඩි දහසකටත් වඩා දිගින් වැඩි බැවිනි. මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය විද  දිය ඇල්ල  යටින් අඩි දහසකටත් වඩා දිග බිංගෙයක් නිර්මාණය කිරීම සුළු පටු කාරියක්  නොවේ.

එබැවින් ඒ දුෂ්කර ක්‍රියාමාර්ගය මඳකට අමතක කළ ඉංජිනේරුවරු මීයන් ඇල්ල ගලා හැලෙන පර්වතය හරහා කෘත්‍රිමව නිර්මාණය කළ කැපුමක් හෙවත් කට්ටයක් ඔස්සේ දුම්රිය මග තැනිය හැකි ක්‍රමයක් පිළිබඳව සිතන්නට වූහ. මීයන් ඇල්ල ඇද හැලෙන කළුගල් පර්වතය විද ඒ තුළින් අඩි දහසක් දිග බිංගෙයක් තැනීමට වඩා එම පර්වතයේ  දිය ඇල්ල කඩා හැලෙන ප්‍රපාතාකාර බෑවුම හරහා එම දුර  ප්‍රමාණයෙන් යුතු කට්ටයක් කැපීම  ඉතා පහසුය. එහෙත්, එම කාරියත් සමඟම කළ යුතු තවත් අතිශය වැදගත් දෙයක් ද තිබේ. එනම්  එම පර්වතයෙන් කඩා හැලෙන මීයන් ඇල්‍ලේ ගමන් මඟ දුම්රිය මාර්ගය මඟ හැරෙන සේ  වෙනස් කිරීම ය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කිහිප අයුරකින් සිතා බැලූ  ඉංජිනේරුවෝ එම පර්වතය මුදුනට ගොස් මීයන් ඇල්‍ලේ ජල ප්‍රවාහය කොටස්  දෙකකට බෙදා  එය පර්වතයේ ස්ථාන දෙකකින් පහළට ඇද හැලෙන සේ දිය ඇල්ල 'දෙපලු කළහ.' එමෙන්ම පර්වතය මැද්දෙන්  වැටෙන හරස් කැපුම මතට නොවැටී මීයන් ඇල්ල පහළට ඇද හැලීම පිණිස එකකට එකක් දුරින් පිහිටි ස්ථාන දෙකකින් කළුගල් පර්වතයේ ඇතුළට  තරමක් ගැඹුරට හෑරෙන සේ  සිරස් අතට කට්ට දෙකක් කැපීමට ද ඉංජිනේරුවෝ තීරණය කළහ.

භූ ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට අලගල්‍ලේ කන්දේ පර්වතයකින් නිදහසේ පහළට ගලා හැළුණු මීයන් ඇල්ල ඉන්පසුව එම පර්වතය මුදුනේ දී, දෙකට පැලී එම පර්වතයේ ඇතුළට හාරන ලද කෘත්‍රිම කට්ට දෙකක් තුළින් පහළට  ඇද හැලෙන්නට වූයේ ඉංග්‍රීසීන් ගේ මෙම ඉංජිනේරුමය සැලසුමත් සමගිනි. ඉන්පසු, එම පර්වතය ඔස්සේ බිංගෙයක් කැපීමේ දුෂ්කර අභියෝගයෙන් කරහැරි ඉංජිනේරුවෝ එම ප්‍රපාතය මැදින්  අඩි එක් දහස් හාරසියයක්  දිගට සහ අඩි දහ අටක් පළලට හරස් කැපුමක් කොට ඒ ඔස්සේ කන්ද උඩරට දුම්රිය  මාර්ගය තැනූහ.
 මුහුදු මට්ටමින් අඩි දහසක් උසින් පිහිටි මීයන් ඇල්ල පර්වතය හරහා වැටුණු මෙම දුර්ග මාර්ගය ඉංග්‍රීසින් විසින් හඳුන්වන ලද්දේ මීන්ගල්ල දූර්ගය  යනුවෙනි. හතර කෝරළ මායිමේ තිබූ ප්‍රසිද්ධ දිය ඇල්ලක් වූ 'මීයන් ඇල්ල' දෙපළු කොට එම කොටස් දෙක  දුර්ග මාර්ගය අද්දරින් වූ සිගිති දිය ඇළි දෙකක් බවට පත් කළ සුද්දන් එම ප්‍රදේශයට මීන්ගල්ල යන නම යෙදුවේ මීයන් ඇල්ල යන්නෙහි උච්චාරණය පහසුව නිසාම බව පෙනේ.

එහෙත්, ඉංග්‍රීසීන් තම සටහන් සහ කෘතීන්වල තැබූ එම වැරදි  ව්‍යවහාරයම හුදෙක් ඔවුන්ගේ එම සටහන් මිස ප්‍රායෝගික කරුණු සැලකිල්ලට නොගෙන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ සටහන් තැබූ  ඇතැම් සිංහල ‍ලේඛකයන් ද එලෙසින්ම භාවිතා කොට තිබේ.

කොළඹ මහනුවර දුම්රිය මාර්ගය ඇරඹූ  මුල් කාලයේ භාවිතයට ගැනුණු මෙම මීයන් ඇල්ල දුර්ගය මුහුදු මට්ටමින්  අඩි දහසක් උසින් පිහිටා  ඇති අතර එම ප්‍රපාතයට පහළින් පිහිටි වලගොඩ, තලගොල්ල, ඉහළ කෝට්ටේ, මාකෙහෙල්වල ආදී ගම්මාන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් අඩි තුන්සිය පනහක් පමණ උසිනි. ඒ අනුව  මෙම මීයන් ඇල්ල දුම්රිය දුර්ග මාර්ගය පිහිටා  ඇත්තේ අඩි හත්සියයක පමණ ප්‍රපාතාකාර බෑවුමක් ඉහත්තාවේ ය.

එහෙත්, සොබා දහමේ අණට අකීකරු වී දෙකඩ වූ මීයන් ඇල්ල ඉන්පසුව යළි දරුණු ලෙස ප්‍රචණ්ඩ වී තිබේ. විශේෂයෙන් වර්ෂා සමයන්හි දී එම ප්‍රපාතයේ  මුල් කොටසේ පිහිටි පර්වතයේ  ඇතුළට ගැඹුරට හෑරී ගිය කට්ටයට ඔරොත්තු නොදෙන තරමින් පහළට ඇද හැළුණු මහා ජල ධාරාවන් ගෙන් එම හරස් කැපුම හරහා වැටී ගත් දුම්රිය මාර්ගයට ද බරපතළ හානි සිදුවී තිබේ.

පසුව මේ තත්ත්වය කෙතරම් දුරදිග  ගොස් තිබුණිද  කිවහොත් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවාහන කටයුතු ඇරඹූ  මුල් සමයේ තද වැසි දිනයෙක මෙම මීයන් ඇල්ල දුර්ගය  හරහා ගමන්  කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන ගැල් දුම්රියක් (හෝ දුම්රියක ගැල් කිහිපයක්) ප්‍රපාතයේ මුල් කොටසේ පිහිටි මීයන් ඇල්ල කට්ටය තුළින් ජල ප්‍රවාහය හා සම්බන්ධ කෙටි දුම්රිය පාලමින්   පහළ ප්‍රපාතයට පෙරළී ගොස් ඇත.
 දුම්රිය දෙපාර්තමේන්තු ‍ලේඛනවල මේ සම්බන්ධ තොරතුරු නැතත් ඒ පිළිබඳව පැතිරුණු කතා ප්‍රවෘත්තීන් තවමත් ප්‍රපාතයෙන් පහළ ගම්වැසියන් අතරේ තිබේ.
ඒ කෙසේ හෝ ස්වභාවික ලෙස අලගල්ලෙන් පහළට ඇද හැළුණු මීයන් ඇල්ල දෙපලුකොට තැනූ මෙම දුර්ග මාර්ගය දුම්රිය ධාවනයට නුසුදුසු අවදානම් සහගත 'මරු ක‍පොල්ලක්' බව විසිවන සියවසේ ආරම්භය වන විට   ඉංග්‍රීසින්ට ඇති පදමට වැටහුණු බවට සැක නැත. එම දුර්ග මාර්ගය කැණීම වෙනුවට ඒ සඳහා මුලින්ම ගත යුතු පියවර වූ එම මීයන් ඇල්ල පර්වතය විද ඒ තුළින් අඩි එක් දහස් තුන්සිය හතක් දිගැති බිං ගෙයක් තැනීමට  ඉංග්‍රීසීන්ට සිදුව ඇත්තේ එබැවිනි.

තනි කළුගලක් විද තැනුණු මෙම බිංගෙය 1905-1906 යන වසරවල  ඉදිවී ඇති අතර ඒ සඳහා 5 ඒ යන අංකය ලබා දී ඇත. ඒ එසේ නොකොට උඩරට මාර්ගයේ බිංගෙවල් අනුපිළිවෙළ අනුව ඊට අංක 06 අංකය ලබා දුනහොත් ඒ වන විට බණ්ඩාරවෙල තෙක් විහිද තිබූ උඩරට මාර්ගයේ සියලු බිංගෙවල්වල අංක ප්‍රතිශෝධනය කිරීමට සිදුවන බැවිනි. ඒ කෙසේ හෝ මෙම බිංගෙය තැනීමෙන් පසු භාවිතයෙන් ඉවත් කරන ලද මීයන් ඇල්ල දුම්රිය දුර්ග මාර්ගය සඳහා තැනූ භූමි සැකැස්ම සහ ඉංග්‍රීසීන් විසින් දෙකට පලා දැමීම නිසා බල බිඳී ගොස් ශ්‍රී ලංකාවේ දිය ඇලි නාමාවලියට එක්වීමට තරම් සුදුසුකම් නොලැබූ  දුප්පත් මීයන් ඇල්ලේ කොටස් දෙක අද ද එහි යන අපට හොඳින් දැක ගත හැක.

                                                      ඡායාරූප-සහන් සංකල්ප සිල්වා
                                                      
තිලක් සේනාසිංහ (ලක්බිම)

Sunday, April 27, 2014

විල්පත්තුවෙන් වළපල්ලට යන පාරිසරික නීති......


විල් දහයක් යන අරුත ඇතිව නම් ලද විල්පත්තුව මෙරට පරිසර පද්ධතියෙහි සුවිශේෂී වූ අංගයකි. මෙරට වනාන්තර පද්ධතියෙහි අඥති සුවිශේෂී වූ වනාන්තරයක් ලෙසට විල්පත්තුව අවිවාදයෙන් පිළිගැනේ.
එලෙසම රැම්සා තෙත්බිමක් ලෙසටද විල්පත්තුව නම් කර තිබේ. මෙලෙස බලන කල විල්පත්තුව යනු ෙජෙව විවිධත්වය අතින් පාරිසරික වටිනාකම අතින් ඉහළ ස්ථානයක රැඳී තිබෙන වනාන්තර පද්ධතියකි.පුරා දශක තුනකට ආසන්න කාලයක් මෙරට උතුරු නැගෙනහිර ප්‍රදේශ වසා පැතිර තිබූ යුද ගිනිදැල් හමුවේ මෙම වන පියස අප්‍රමාණ වූ ගැහැට වින්දේය. මෙරට යුද ගිනිදැල් නිවී ගිය පසුව විල්පත්තුව වන පියස සැහැල්ලුවේ බර හුස්මක් වා තලයට මුදා හරින්නට ඇත. මන්ද දශක තුනක් විඳි කරදර අවසන් කර විල්පත්තු වනයට නිදහසේ හුස්ම ගන්නට හැකියාව ලැබූ නිසාය. ඒ වුවද ඒ නිදහස අත්විඳීමේ වාසනාව වනයට ලැබුණේ ඉතා කෙටි කාලයකි. අද විල්පත්තුවේ සිදුවන මහා වන විනාශය මුළු රටම ඇවිළවීමට සමත්ව තිබේ. වනය ආශ්‍රිත ප්‍රදේශයක අනවසර ලෙසට මිනිසුන් පදිංචි කිරීමට ප්‍රබල දේශපාලනඥයකු මැදිහත් වී ඇතැයි කියන වැඩපිළිවෙළක් නිසා ආගමික නායකයන්, පරිසරවේදීන් මෙන්ම දේශපාලන කරළියද උණුසුම් වී තිබේ.


මෙහිදී අදාළ චෝදනාව එල්ල වන පරිදි මෙලෙස නීතිවිරෝධී ආකාරයෙන් ජනතාව පදිංචි කර තිබෙනුයේ මෙරට පැරණිම අභයභූමි තුනෙන් එකක් වන විල්පත්තු උතුරු අභයභූමියේ අක්කර 500ක පමණ භූමි ප්‍රදේශයකය. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම වන මෝදරගංආරු ඔය හා සම්බන්ධ මෙම වන භූමිය පිහිටා තිබේ. මෙහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 632කි. 1932 අංක 2 දරන පනත ගෙන එමින් එවකට මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් සත්ත්ව ආරක්ෂක ආඥා පනත පළමුව නීතිගත කිරීමෙන් පසුව 1938 පෙබරවාරි 25 වැනිදා මෙම වනපෙත අභයභූමියක් ලෙසට නම් කර තිබේ. මෙම අභයභූමිය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව විහිදී ඇති අතරම මෝදරගංආරු ඔයෙහි ප්‍රධාන ජල ‍පෝෂක ප්‍රදේශයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ප්‍රදේශවලින් සහ කටු පඳුරු සහිත ළඳු කැලෑබිම්වලින් මෙම අභයභූමිය නිර්මිතය. එලෙසම විල්පත්තු උතුරු අභයභූමිය අලි ඇතුන් මෙන්ම කොටින්ද බහුල ලෙසට දිවි ගෙවන ප්‍රදේශයකි. 1938 තරම් ඈත යුගයක මෙම වන පියස අභය භූමියක් ලෙසට නම් කිරීමට තරම් ඉහළ වටිනාකමක් තිබුණි නම් එය අද වනවිට විශාල ලෙස දියුණු වී තිබිය යුතුය. එනමුත් දින දින වන විනාශය හා අනවසර පදිංචි කිරීම් හමුවේ වැනසෙනුයේ මෙරට ජාතික සම්පතකි.




මේ වනවිට විනාශය පිළිබඳව අදහස් දක්වන ඇතැම් පුද්ගලයන් පවසනුයේ මෙම පදිංචි කිරීම් සිදුවනුයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නොව ඉන් පිටත බවයි. ඒ වුවද එයද මෙරට පරිසර නීති මගින් ආරක්ෂාව සපයා තිබෙන අභයභූමියකි. පරිසර සංරක්ෂණ භාරය සඳහන් කරන පරිදි මෙලෙස අදාළ ඉදිකිරීම් විල්පත්තු ජාතික වනෝද්‍යානයට පිටතින් පිහිටි බවට පවසා ඇඟ බේරා ගැනීමට උත්සාහ දරන බව පෙනේ. එහෙත් මෙලෙස පුද්ගල පදිංචි කිරීම් සිදුකර තිබෙනුයේද ෙජෙව විද්‍යාත්මක, පාරිසරික විද්‍යාත්මක හා ජල විද්‍යාත්මක අතින් ඉහළ වටිනාකමින් යුතු අභයභූමි ප්‍රදේශයේය.
 එබැවින් මෙය වැරදි පූර්වාදර්ශයක්ද ලබාදෙන ක්‍රියාවකි.

 මේ ආකාරයට විල්පත්තු උතුරු අභයභූමියෙහි අනවසර පදිංචිකරුවන් පදිංචි කරනු ලබන්නේ මෙරට නීති පද්ධතියෙහි තිබෙන ප්‍රධාන පාරිසරික අනපනත් දෙකක් උල්ලංඝනය කරමින් බවද පරිසරවේදීහු අනාවරණය කර සිටිති. 2009 වර්ෂයේ අංක 22 දරන පනත මගින් අවසන් වරට සංශෝධනය කරන ලද 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව පත් කරන ලද අභයභූමියක මෙලෙස කිසිදු ආකාරයකින් ජනතාව පදිංචි කිරීමට නොහැකිය. මෙම පනතෙහි එන 7 වැනි වගන්තියට අනුව අභයභූමියක වනය එළපෙහෙළි කිරීම, මාර්ග තැනීම, ස්ථිර හෝ තාවකාලික ජනාවාස ඉදිකිරීම, ඒවායේ මිනිසුන් පදිංචි වීම, වනයේ නියම අයිතිකරුවන් වන සතුන්ගේ වාසස්ථාන විනාශ කිරීම ආදී සියලු ක්‍රියාවන් නීතිවිරෝධී වේ. මේ අනුව දැනට එළිපෙහෙළි කර ජනාවාස ඉදිකර තිබෙනුයේ අභයභූමියකය. මේ ජනාවාස තාවකාලික ඉදිකිරීම් බැව් පවසා කිසිවකුට අත පිසදමා ගැනීමට නොහැකිය. මන්ද නීතිය ඉදිරියේ එම ඉදිකිරීම්ද නීත්‍යනුකූල නොවන බැවිනි. ඉහත පනතෙහිම 10 ඈ වගන්තියට අනුව මෙලෙස අභයභූමියට කුමන හෝ ආකාරයකින් හානි පමුණුවනු ලබන පුද්ගලයන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ විට රුපියල් 15,000-50,000 අතර මුදලක් දඩ මුදල් ලෙසට අයකර ගැනීමට අවස්ථාව තිබේ. මීට අමතරව වසර 2-5ක් අතර කාලයකට සිරදඬුවම් ලබාදීමට හෝ අදාළ දණ්ඩන දෙකටම හෝ යටත් කිරීමට හැකියාව තිබේ. එය එසේ වුවද අභයභූමියෙහි භාරකරුවන් වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටද නිසි පරිදි ක්‍රියාමාර්ග ගෙන නොමැත. මෙලෙස අනවසර ලෙසට පදිංචිව සිටින පුද්ගලයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යන බව පැවසුවද ඊට එළැඹෙන දිනය පිළිබඳව මේ වනවිටද දැනුම් දී නොමැත. මෙම සිද්ධිය හදිසියේ හෝ හොර රහසේ සිදුවූවක් නොවේ. විශාල කැලයක් කපා පැල්පත් ඇටවීම එක රැයකින් ඉටු කිරීමට නොහැකිය. මෙය දීර්ඝ කාලයක් පුරා සිදුවූ දෙයකි. මෙලෙස විල්පත්තුව උතුරු අභයභූමියෙහි විශාල කොටසක් කපා එළිපෙහෙළි කරන තුරු එහි පැල්පත් ඉදිකරන තුරු ඒවා නොදුටු බලධාරීන් දැන් හදිසියේ නින්දෙන් අවදිව ඒවාට නඩු දැමීමට කතා කිරීම එක අතකට විහිළුවට කරුණකි.


ඔවුන්ගේ මෙම ක්‍රියාව සිහි ගන්වනුයේ අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසා දැමීම වැනි ක්‍රියාවක් නොවේද? එලෙසම මෙම අනවසර ඉදිකිරීම් පිළිබඳව අදහස් දක්වන ඇතැම් පුද්ගලයන් මේවා ඉදිකර ඇත්තේ අභයභූමියෙන් පිටත සීමාවේ බවයි. එසේ වුව එයද නීතිය ඉදිරියේ වරදකි. මන්ද වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතෙහි 9 අ වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතැපුමක් ඇතුළත සීමාවේ මොන යම් ආකාරයක හෝ සංවර්ධන කටයුත්තක් ඉටු කිරීමට ප්‍රථම ඊට පරිසර ඇගැයීම් බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ අනුව අදාළ බලපත්‍රයට යටත්ව පූර්ව ලිඛිත පරිසර අනුමැතියක්ද ලබාගත යුතුය. මෙම නීතියට අනුව බලන කලද විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාව අසල සිදු කෙරෙන මෙම ඉදිකිරීම් නීතිවිරෝධීය. මෙරට විශාලම ජාතික වනෝද්‍යානය මෙන්ම ලෝකය ඉදිරියේ අතිශය වැදගත් රැම්සා තෙත් බිමක්ද වන විල්පත්තු වනය රැක ගැනීමට හෙවත් ඊට හානි හෝ බලපෑම් එල්ල වීම නතර කිරීමට අවශ්‍ය විධිවිධාන නොගන්නේ කවර අරමුණෙන්ද යන්න දැන් රට ඉදිරියේ ඇති ප්‍රශ්නයයි. දැනට සිදුවන මෙම පදිංචි කිරීම් හමුවේ ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ නීති සියල්ල හෑල්ලුවට ලක්වීම සිදුවේ.
මෙම වනභූමියට ආරක්ෂාව තිබෙනුයේ අදාළ ඉහත පනතින් පමණක්ම නොවේ. මෙරට නීතියේ ක්‍රියාවට නංවා තිබෙන 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධන 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුවද එහි ආරක්ෂාව තහවුරු කර තිබේ. මේ පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වැනි දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුවද අභයභූමියක් තුළ හෝ අභයභූමියක මායිමේ සිට කිලෝමීටර් 100ක ප්‍රදේශයක් ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් හිතුමතේට ඉටු කිරීමට අවසර ලබාදී නොමැත. එහිදී ද පරිසර ඇගැයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතියක් ලබා ගැනීමට පියවර ගත යුතුය. ඒ අනුව බලන කලද මෙම ඉදිකිරීම් අභයභූමියේ සීමාවෙන් පිටත තිබෙන බවට ඇතැම් පුද්ගලයන් පුන පුනා පැවසුවද එයද ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. මන්ද මෙලෙස කිසිදු වගකීමකින් තොරව පුද්ගලයන් පදිංචි කිරීමට පියවර ගනු ලැබූ දේශපාලකයන් හෝ අන් කිසිවකු අදාළ කිසිදු අවසරයක් ගෙන නොමැති බව දැනට ඇති තොරතුරු අනුව පැවසේ. එලෙසම පුද්ගල පදිංචි කිරීම්වලදී ද ලිඛිත පරිසර අනුමැතියක් ලබා ගැනීමට පියවර ගත යුතුය. එයද මෙම පදිංචි කිරීම්වලදී සිදුව නොමැත.


 ඒ ආකාරයට බලන කල මෙම එළිපෙහෙළි කිරීම් මෙන්ම පදිංචි කිරීම්ද මෙරට නීති පද්ධතියෙහි පවතින සියලු පාරිසරික නීතිරීති උල්ලංඝනය වී තිබේ.

මෙරට නීති සම්පාදනයේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව මගින් සම්මත කරනු ලැබූ සියලු පරිසර නීති සුරැකීමට අපේ රටේ ආයතන ගණනාවක් තිබේ. ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව වගකීමට, සොයා බැලීමට, වැරදි නිවැරදි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය යන ආයතනවලට ඇත්තේ උපරිම වගකීමකි. 

රටක නීතිරීති පවතිනුයේ කොළයට සීමාවීමට නොවේ. ඒවා වැරදි ඉදිරියේ ක්‍රියාත්මක නොවන්නේ නම් ‍පොත්පත්වල කොතෙක් තිබුණද කවර පලක්ද?

මේ වනවිට විල්පත්තු අභයභූමියෙහි මිනිසුන් පදිංචි කිරීම හරහා නීතිරීති උල්ලංඝනය වීම මෙන්ම පරිසරය විනාශය සිදුවද්දී පදිංචි වූ පුද්ගලයන්ටද මුහුණ දීමට සිදුව තිබෙනුයේ දුෂ්කරතාවලටය. මෙම ප්‍රදේශය අලි ගැවසුම් ප්‍රදේශයකි. ඒ අනුව අනවසර පදිංචිකරුවන්ට දිවි ගෙවීමට සිදුව තිබෙනුයේ අලි ප්‍රහාරවලට ලක්වීමට සිදුවනු ඇති බවට වූ බියෙනි. මෙය රටේ අලි-මිනිස් ගැටුමට නව ප්‍රදේශයක් එක් කිරීමකි. වනාන්තරයේ වෙසෙන සර්පයන් දෂ්ට කිරීම්වලටද මෙම මිනිසුන් බහුල ලෙසට ලක්වන බවටද තොරතුරු වාර්තා වේ. මීළඟට මෙම පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවන ප්‍රබලම ගැටලුව පානීය ජලය ලබා ගැනීමට තිබෙන්නා වූ අතිශය දුෂ්කරතාවයයි. ප්‍රදේශයේ පිහිටි ප්‍රධානම ජල ධාරාව වන මෝදරගංආරු ඔයෙහි ප්‍රධාන ජල ‍පෝෂක ප්‍රදේශය විල්පත්තු උතුරු අභයභූමියයි. එම ජල ‍පෝෂක ප්‍රදේශය මෙසේ සීග්‍ර ලෙස මහා පරිමාණයෙන් එළිපෙහෙළි වීම හරහා ජල ධාරා සිඳීයෑම හමුවේ ඔයෙහි ජල මට්ටම අඩුවීම සිදුවේ. මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ මෙම පදිංචිකරුවන්ට මෙන්ම ඒ ආසන්නයේ සිටින පාරම්පරික පදිංචිකරුවන්ටද පානීය ජලය ලබා ගැනීමට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවීමයි.

වනයේ මෙලෙස ජනාවාස ඉදිකිරීම හමුවේ ඔවුනට යටිතල පහසුකම් ලබාදීමද අභියෝගයකි. එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවනුයේ වන විනාශය ඉහළ යෑමය. උතුරු නැගෙනහිර ප්‍රදේශයෙහි විශාල ලෙසට සිදුවන වන විනාශයන් හා ඒවායේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නිසා දැනට මෙම ප්‍රදේශවල අක්කර 3000ක් පමණ එළිපෙහෙළි කර මිනිසුන් පදිංචි කිරීමට දේශපාලන හෝ වෙනත් සම්බන්ධකම් සහිත පුද්ගලයන් ක්‍රියා කරනුයේ ඒවා සිය බූදලය ලෙස ගෙනය.

මෙලෙස දිගට හරහට එළිපෙහෙළි වනුයේ මෙරට වියළි ප්‍රදේශවල පිහිටි වනභූමියයි. ප්‍රදේශයේ තෙතමනය රැක දීමට සොබාදහම ලබාදුන් දායාදය මෙලෙස සිය පටු අවශ්‍යතා උදෙසා විනාශ කිරීමේ අවසාන ප්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවනුයේද ඒ මිනිසුන්ටමය. මේ උදෙසා ක්‍රියාත්මක වීමට අප රටේ පවතින පරිසර නීතිය ප්‍රමාණවත් නමුත් ජනතාව මෙන්ම බලධාරීන්ද ඒ පිළිබඳ දැනුවත් නොමැතිකම බරපතළ අවදානමකට අත වැනීමක් බව සියල්ලන්ම තේරුම්ගත යුතුය.

* ඡායාරූප අන්තර්ජාලයෙනි
නයනකේශි විජේකෝන් - රිවිර