Thursday, March 13, 2014

ඉන්දීය බිතුසිතුවම් කලාවේ නිදන් ගබඩාව අජන්තා බිතුසිතුවම්..............

            පුරාවිද්‍යාඥ ජේම්ස් බර්ජස් හා විලියම් ජිල් මෙම සිතුවම්වල සංරක්ෂණ කටයුතු පළමුවරට ආරම්භ කර ඇත. මොවුන් වර්ෂ 1866 දී එංගලන්තයේ ක්‍රිසල් පැලස් හිදී මේ චිත්‍රවල ප්‍රදර්ශනයක් පැවත්වීය.නමුත් අවාසනාවකට මෙන් එම චිත්‍ර ගින්නකට හසුව විනාශ වූ බව සඳහන් වේ. ඊට පසු ග්‍රිෆිත් හා හෙරිංහැම් ආර්යාව සතුව තිබූ පිටපත් නැවත මුද්‍රණය කර 1896 - 1915 කාල වකවානුවේ ප්‍රකාශයට පත් කළ බව සඳහන් වේ.

වර්ෂ 1933 දී හයිද්‍රබාද්හි නිසාම් මහරාජාගේ අනුග්‍රහය යටතේ මේ ගුහා චිත්‍රවල සංරක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇත. හයිද්‍රබාද්හි පුරාවිද්‍යා අධ්‍යක්ෂ යෂ්ඩනිගේ මූලිකත්වයෙන් ඉතාලි චිත්‍ර කලා තාක්ෂණවේදීන්ගේ ආධාරය ඇතුව චිත්‍රවල පුනරුත්ථාපන කටයුතු සිදුකර ඇති බව සඳහන් වේ.        මේ චිත්‍ර ආසියානු බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායට අයත් වන්නේ යැයි ඔවුන් සඳහන් කරයි. බටහිර පාතීනත්, චිත්‍රකලා සම්ප්‍රදායේද, නේපාල, මධ්‍යම ආසියා, චීන, ජපන්, බෞද්ධ චිත්‍රකලා සම්ප්‍රදායන්ගේද සමහර සමාන ලක්ෂණ මේ චිත්‍රවලද දක්නට ලැබෙන බව කියැවේ. මේ අජන්තා ගුහා චිත්‍රද නැගනහිර බෞද්ධ සම්භාව්‍ය කලා සම්ප්‍රදායට අයත් නිර්මාණ වේ. මේ චිත්‍රවල වස්තු විෂයයන් බෞද්ධ කතා හා විවිධ ආගමික සංසිද්ධී ඇසුරෙන් තෝරාගෙන ඇත.   
 ජාතක කතා මින් ප්‍රධාන වෙයි. අජන්තා ගුහා සිතුවම් 28ක් දක්නට ලැබෙයි.     
අජන්තා බිතුසිතුවම් බටහිර ෆෙස්කෝ බිතුසිතුවම් කලාවෙන් සම්පූර්ණයෙන් වෙනස්වන බව කියැවේ. තෙත් හුණුගල් බදාමයක් මත අඳින බිතුසිතුවම් ෆෙස්කො නමින් හඳුන්වයි. නමුත් අජන්තා සිතුවම් ඇඳ තිබෙන්නේ වියළි බදාමයක් මත යයි සොයාගෙන ඇත.

අජන්තා ගුහා බිතුසිතුවම් ඇඳ තිබෙන ගල්බිත්ති චිත්‍රකරණයට සකස් කරගෙන ඇත්තේ මෙසේය.  පළමුව ගල්මතුපිට මඩ පස් ආවරණයකින් වසාදමයි. එම මඩ ආවරණය ගොමවලින්ද, කුඩාවට කපන ලද ගොයම් ඉපැනැලි හෝ සත්ත්ව කෙස්වලින්ද මිශ්‍රණය කර සකස් කරගෙන ඇත. මෙහි ඝනකම අඟල් 1 1/2 පමණ වෙයි. ඊටපසු ජිප්සම් ගල් ඉතා කුඩාවට කුඩුකර, පෙනේරයෙන් හලා එම කුඩුවලින් පළමු ආවරණය වසා ඇත. එසේ නැතහොත් හුණුගල්කුඩු මේ දෙවන ආවරණයට යොදාගෙන ඇත. මෙහි මතුපිටේ මූලික චිත්‍ර රූප ඇඳීම කර ඇත. මේ රේඛා ඇඳීම සඳහා රතු ඛනිජ නැතහොත් රත්හිරියල් උපයෝගිකරගෙන ඇත. 

මේ ගුහා සිතුවම් ශතවර්ෂ ගණනාවක් පුරා සිතුවම්කර ඇති බව සඳහන් වේ. වකටක හා චාලුක්‍ය අධිරාජ්‍යයන්ගේ කාලයේ එනම් ක්‍රි.ව. 4-7 දක්වා කාලයේ බොහොමයක් මේ සිතුවම් නිර්මාණය කර ඇතැයි කියැවේ.පළමු ගුහා චිත්‍ර සිතුවම් පුලකේෂි රජතුමාගේ කාලයේ පළමු ශතවර්ෂයේ නිර්මාණය වී ඇත. මේ රජතුමා  ක්‍රි.ව. 642 දී මියැදින. මේ අජන්තා චිත්‍රවලින් බොහෝ දුරට ස්වභාවික හැඩතල ප්‍රදර්ශනය වෙයි. වර්ණ සංයෝජනයද එසේමය. හැඩතල, ප්‍රමාණය, හැඟීම් ප්‍රකාශනය, සමානතාවය යන චිත්‍ර කලා ගුණාංග මේ චිත්‍රවල දක්නට ලැබෙයි.  

ඉන්දියාවේ 5 ශතවර්ෂයේ ගුප්ත යුගයේ චිත්‍ර කලා සංස්කෘතියේ අවසානය මේ අජන්තා සිතුවම් යැයි සඳහන් වේ. ඉන්දියාවේ බෞද්ධ චිත්‍රකලා ඉතිහාසයේ අවසානය සනිටුහන් කරන්නේද මේ චිත්‍රයි. ඊට පසු යුගය දේවාත්වරෝපණ සම්ප්‍රදායට අයත් වෙයි. යුරෝපීයනට යම්සේ පාතීනන් පළිඟු චිත්‍ර වැදගත් වන්නේද එලෙසම ආසියානුවන්ට අජන්තා ගුහා චිත්‍ර වැදගත් වෙයි.   


අජන්තා ගුහා සිතුවම්වල ප්‍රධාන තේමාව වී ඇත්තේ බුදුන් වහන්සේගේ පුනර්භව කතාය. ජාතක කතා මින් ප්‍රධාන වෙයි. 17 වන ගුහාවේ වෙස්සන්තර ජාතක කතාවේ චිත්‍ර ප්‍රදර්ශනය වෙයි. කරුණා, දයාව, ජීවිතයේ මරණය හා අනිත්‍යයද මේ චිත්‍රවලින් ප්‍රකාශනය වෙයි

6-7 ශතවර්ෂවලනිර්මාණය වූ ගුහා චිත්‍රවල බටහිර ආසියානු ඇසිරියන් චිත්‍ර කලා සම්ප්‍රදායේ චිත්‍ර කලා ලක්ෂණ දක්නට ලැබෙන බව සඳහන් වේ. ලලනා චිත්‍ර විශේෂයෙන් අප්සරාවන් හා නාටිකාංගනාවන් ඉතා විචිත්‍ර ලෙස විවිධ ඇඳුම් පැළඳුම් හා ආභරණවලින් සරසා චිත්‍රගත කර ඇත. 
ආගමික ප්‍රකාශන තේමා ලක්ෂණ පසුකාලීන ගුහා චිත්‍රවලින් බැහැර වී ඇති බව මින් පෙනේ. මෙම චිත්‍ර අධ්‍යයනය කිරීමේදී පසුකල ගුහා චිත්‍රවල මහායාන බෞද්ධ දේවාත්ව රෝපණ චිත්‍ර සම්ප්‍රදායක් දක්නට ලැබෙයි. ‍පොදුවේ ගත්කල මෙම චිත්‍ර ඉන්දියාවේ ගුප්ත හා චාලුක්‍ය රාජ්‍ය යුගවල භෞතික සංස්කෘතිය හැදෑරීමට උපයෝගි වෙයි.  


රූගත කතුන්ගේ ආභරණ, ඇඳුම් පැළඳුම්, මල්, පලතුරු, ගස්, පක්ෂීන් ආදියෙන් සරසන ලද පසුතල හා චිත්‍ර එවක මානව සංස්කෘතිය කෙසේ වූයේ දැයි ප්‍රකාශනය කරයි. අජන්තා ගුහා සිතුවම් බෞද්ධ ආසියානු චිත්‍රකලාව විස්තර කරන්නා සේම ඊට නිර්මාණ පසු යුගයේ නිර්මාණය වූ එල්ලෝරාහින්දු චිත්‍රකලා ඉතිහාසය විස්තර කරයි. අජන්තාවේ පළමු ගුහා චිත්‍ර සැරසිලි  ශ්‍රී ලංකාවේ ‍පොළොන්නරු යුගයේ චිත්‍රකලා කෘති කෙරෙහි ආභාෂය ලබා දී ඇති බව සඳහන් වේ. 

සීගිරි චිත්‍රවලද අජන්තා සිතුවම්වල සමාන ලක්ෂණ දක්නට ලැබෙයි. 

ලොව උතුරු හා නැගෙනහිර දෙසට බුදු දහම ව්‍යාප්ත වීමත් සමග අජන්තා ඉන්දියානු බෞද්ධ චිත්‍ර කලාව තුර්කිස්ථානය, චීනය වැනි රටවල චිත්‍රකලාව කෙරෙහි බලපා ඇත. එයට කදිම  නිදසුන ඇෆ්ගනිස්ථානයේ අඩි 175 උස වූ බාමියන් බෞද්ධ පිළිරුවයි. එහි නිර්මාණ කලා ලක්ෂණ අජන්තා කලා සම්ප්‍රදායට සමාන බව සඳහන් වේ. ඉරානයේ තුර්ෆාන් කයිසිල් ආදී ස්ථානයන්හි ඇති චිත්‍රවලට අජන්තා චිත්‍ර ෙශෙලියේ බලපෑම් ලැබි ඇත. චීනයේ 6-7 ශත වර්ෂවලට අයත් වූ ටුන්හුආං හි චිත්‍රවලද අජන්තා ශෛලිය දක්නට ලැබෙන බව ‍පොතපතේ සඳහන් වේ. ක්‍රි.ව. 7-8 ශතවර්ෂවල චීනයේ ටෑන්ග් අධිරාජ්‍යාගේ කාලයේ චීනය හා ඉන්දියාව අතර සුහද දේශපාලන සම්බන්ධතාවක් තිබි ඇත.















6-7 ශත වර්ෂවල ජපානයේ නිර්මාණය කරන ලද චිත්‍ර කලා කෘති කිහිපයක අජන්තා ශෛලියේ නිර්මාණ දක්නට ලැබෙන බව කියයි. ඊට නිදසුන් ලෙස නාරා හි දක්නට ලැබෙන තචිබාන සිද්ධස්ථානය පෙන්වා දිය හැකිය. මේ සිද්ධස්ථානයේ කලා නිර්මාණවලට චීන චිත්‍ර සම්ප්‍රදායන් බලපා නැති බවද සඳහන් වේ.
8 වන ශතවර්ෂය අයත් යයි සැලකෙන 1948 ද විනාශ වූ හෝර්යුජිහි දක්නට ලැබුණු චිත්‍ර නිර්මාණවල අජන්තා ශෛලියේ නිර්මාණ තිබූ බව සඳහන් වේ.
ග්‍රීක හා රෝම චිත්‍ර කලාවේ ආභාෂය මුළු යුරෝපය පුරා පැතිර ගිය අයුරින් අජන්තා බිතුසිතුවම් චිත්‍ර කලා ෙශෙලිය හා සම්ප්‍රදාය මුළු ආසියාව පුරාවට ඉරානයේ සිට ජපානය දක්වා පැතිර ගිය බව සඳහන් වේ.  



*උපුටා ගන්නා ලද්දකි...............(සමුදුර)

Sunday, March 9, 2014

සියවස් ගණනක අතීතයකින් හමුවන "සිහින" ගැන ජනප්‍රවාද........


 හැමෝම  “සිහින“  දකින්න ආසයි. ඒත් සමහර සිහින හරිම භයංකාරයි. ඒ වගේම ජීවිත කාලයේදී තමාට ළඟාකර ගත නොහැකි යම් දෙයක් හෝ යම් කෙනෙක් සිහිනෙන් හරි අයිතිකර ගන්න අපි හැමෝම කැමතියි. 






ඉතිං 2010 වසරෙදි මං “සිහින“ ගැන ලිව්වේ මෙන්න මේ විදියට.......

ෆේස්බුක් එකේ  හිතවතුන් මගෙ  “සිහිනය“ දැක්ක විදිය


https://www.facebook.com/photo.php?fbid=1209428491266&set=a.1151971294872.16522.1695358034&type=3&theater



අද “සිහින“ ගැන ලියන්න ඕනෙ කියල හිතුණෙ “සමුදුර“ පත්තරේ ගිය අපූරු “සිහින“ ලිපියක් දැකලයි. ඒ නිසා මේ වියමන මං බිත්තියේ එල්ලන්නම්.

සියවස් ගණනක අතීතයකින් හමුවන සිහින ගැන ජනප්‍රවාද........


            - බකු -             

                   ජපානයේ ජනප්‍රවාදයන්ට අනුව  බකුයනු සිහින කා දමන බිහිසුණු රාක්ෂයෙකි. ටපීර්වර්ගයේ ඌරෙකුගේ ශරීර ස්වභාවයෙන් යුතු බකුනැමැති ආධ්‍යාත්මික ජීවියා සතුව දිගු හොම්බක්ද ඇති අතර මධ්‍යම රාත්‍රියේදී නිවෙස්වලට කඩා වදින මොහු කරුණාවන්ත හදැති අයෙකු ලෙස සැලකෙන්නේ මිනිසුන් දකින බියකරු සිහින කා දමා නින්දේදී එවැනි බිහිසුණු අත්දැකීම් ලැබිමෙන් මිනිසුන් ආරක්ෂා කරවන නිසාය.


                                              දාහතරවන සියවසේදී ජපානයට සංක්‍රමණය වූ බකුසංකල්පය සම්භවය වී ඇත්තේ චීනයේය. කාලයත් සමග බකුනැමැති ජීවියාගේ ශරීර ස්වභාවය පිළිබඳ වන විස්තරයන් විවිධාකාරයට වෙනස් වූ අතර දාහත්වන සියවසේදී එය කයිමීරාවෙකුගේ ස්වභාවයට එනම් කොටියෙකුගේ පාදද අලියෙකුගේ හිසක්ද රයිනෝසිරස් සත්වයෙකුගේ විනිවිද යන බැල්මෙන් යුතු දෑස්ද හිමි අයෙකු ලෙසට වන පිළිගැනීමක් බිහිව තිබිණි. බකුයන නමද මෝයන්නට වෙනස් වූ අතර ඔහුගෙන් තමාට ඇවැසි ආරක්ෂාව ලැබිමට නම් නින්දට යාමට ප්‍රථම මෝගේරූපසටහනක් ඇඳිය යුතු බවට පිළිගැනීමක්ද විය.


        - මෝර්ෆියස් -                      

                                ආදි ග්‍රීකයන් තරම් සිහින ලෝකය පිළිබඳව ගවේෂණය කළ තවත් මානව සංස්කෘතියක් වේ යැයි සිතිය නොහැකි තරම්ය. ග්‍රීකයන්ගේ දෛනික ජීවිතයේ සෑම සියලුම දෙයකට මෙන්ම සිහින සඳහාද අධිපති වූ දෙවි කෙනෙකු සිටි අතර මෝර්ෆියස්නම් වූ ඔහු නින්දට අධිපති වූ හිප්නෝස්දෙවිඳුගේ පුතුය. දෙවියන්ගෙන් ලැබෙන්නාවූ පණිවුඩයක් මිනිසුන්ට ලබාදීම සඳහා ඔවුන්ගේ සිහිනවලට ඇතුළුවීමේ හැකියාවක් මෝර්ෆියස්ට තිබෙන අතර එකී අවස්ථාවලදී ඔහු මිනිසුන්ට පෙනී සිටින්නේ මිනිසෙකුගේ ස්වරූපයක් ආරූඪ කර ගනිමිනි. 

                       ‘මෝර්ෆියස්පිළිබඳව අපට මුල්වරට අසන්නට ලැබෙන්නේ පළමු ශතවර්ෂයේ විසූ ඕවිඩ්නැමැති කිවියා විසින් රචනා කළ මෙටාමෝර්ෆෝස්නැමැති වීර කාව්‍යය ඔස්සේය. සිහින ලෝකය හරහා පහසුවෙන් පියඹා යා හැකි වන සේ දැවැන්ත කළු පැහැති පිහාටු යුගලකින්ද, පක්ෂියෙකුගේ බඳු කයකින්ද යුතු මෝර්ෆියස්ව පණිවුඩකරුවෙකු ලෙස සිය දහස් ගණනක් වූ තමන්ගේ සෙසු දරුවන් අතරින් හිප්නෝස්’ තෝරා ගනු ලැබ ඇත්තේ මිනිසෙකු ලෙස වෙස් මාරුකර ගැනීමට කවරෙකුටවත් සම කළ නොහැකි හැකියාවක් මෝර්ෆියස්හට තිබූ නිසාය.


             - මාරා -  
                   

                         ජර්මානු ගැමි ජනප්‍රවාදයන්ට අනුව මාරායනු මිනිසුන් නිදියන කල ඔවුන්ගේ පපුව මත හිඳිමින් ඔවුන්ගේ ශ්වසන මාර්ගය ක්‍රමයෙන් අවහිර කරමින් හුස්ම හිර කරමින්, සුන්දර නිදි සිහින, බිහිසුණු අත්දැකීම් බවට පත් කරන්නා වූ නපුරු බලවේගයකි. මාරායන නමින් හෝ වෙනත් නම් යටතේ සියලුම ජර්මානු සංස්කෘතීන් තුළ අනිවාර්යයෙන් හමු වන බිහිසුණු බවින් යුතු මාරාඉංග්‍රීසි භාෂාවේදී හැඳින්වෙනුයේ මෙයා’ (ථචපඥ) ලෙසය. බිහිසුණු සිහින හැඳින්වීමට ඉංග්‍රීසියේදී භාවිතා වන දඪඨඩබථචපඥ (නයිට්මෙයාර්) යන වදන සම්භවය වන්නට ඇත්තේද මෙයාඇසුරින් බව පිළිගැනීමට සාධක බොහෝය. කේ‍රායේෂියානුවන්ගේ විශ්වාසයට අනුව මාරා යනු රාත්‍රියේ රූමත් කාන්තාවකගේ විලාශයෙන් පැමිණ පිරිමින් දැඩි වදහිංසනයට ලක්කොට ඔවුන්ගේ ජීව ශක්තිය ක්‍රමක්‍රමයෙන් උකහා ගන්නා වූ බිහිසුණු ජීවියෙකි.


             - සිහින අල්ලන්නා -                       

                                ඇමෙරිකා එක්සත් ජනපදයේ සුපිරීයර් ජලාශය අවට විල් තීරයේ විසූ ස්වදේශික ඇමෙරිකානු ජන කණ්ඩායමක් වන ඔජිබ්වාගෝත්‍රිකයින් අතර සිහින සම්බන්ධයෙන් මුල්බැසගෙන ඇත්තේ අපූර්ව ආකාරයේ පිළිගැනීමකි. ඒ අනුව මුල්ම ඔජිබ්වා ගෝත්‍රිකයින් සම්භවය වූ ටර්ට්ල්නම් වූ මිථ්‍යා කල්පිත දිවයිනේ විසූ අසිබිකාෂි නම් වූ මකුළු වනිතාව සෑම උදෑසනකම හිරු ඇල්ලීම සඳහා විශේෂිත මකුළු දැලක් වියනු ලැබූ අතර ඒ ඔස්සේ ඔජිබ්වා වැසියන් රැක බලා ගැනීමද සිදු කළාය. නමුත් පසුව ඔජිබ්වා ගෝත්‍රිකයන් විශාල වශයෙන් ව්‍යාප්තව යාමත් සමග සිය පිළිවෙත තවදුරටත් පවත්වාගෙන යාම අපහසු වූ අසිබිකාෂිසෑම ගෝත්‍රිකයෙකුටම මෙයාකාරයේ දැලක් නිර්මාණය කිරීමේ හැකියාව ලබා දෙන ලද්දේ බිහිසුණු සිහින දැකීමෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහායි. ජනප්‍රවාදයන්ට අනුව මෙබඳු සිහින අල්ලනදැලක් සිය සායනයට ඉහළින් එල්ලීම මගින් එහි වන සිදුරු ඔස්සේ පෙරී එන යහපත් සිහින පමණක් දැකීමේ වරම මිනිසුන්ට හිමි වනු ඇත.



      - ෆොබිටර් හා ඔනෙයිරෝයි -            

                           සිහින හා සම්බන්ධ විවිධ අංගයන් නිරූපණයට ග්‍රීක සාහිත්‍යයෙන් හමුවන විවිධාකාරයේ දේවතාවුන් බොහෝමයකි. මීට පෙර හඳුන්වා දුන් සිහින පණිවුඩකරුවා වන මෝර්ෆියස්ඉන් එක් අයෙකු පමණක්ය. ඔහුගේ සොහොයුරා වන ෆොබිටර් එනම් ග්‍රීක භාෂාවෙන් බිය ගෙනෙනයන අර්ථය ඇති දේවතාවාගේ කාර්යභාරය වී ඇත්තේ මිනිස් සිහින ලෝකය භීතියෙන් පුරවාලීමයි. අඳුරේපුතු වන ෆොබිටර් යනු දැවැන්ත පියාපත් යුගලයකින් හෙබි යක්ෂයෙකු සේම ග්‍රීක විශ්වාසයන්ට අනුව පාතාල ලෝකයේ එක් පාර්ශ්වයක් වන ඊරොබොස්හි වන සර්ව දේව මණ්ඩලයේද එක් සාමාජිකයෙකි. 


                   - නිදි පක්ෂාඝාතය -                

              නිදි පක්ෂාඝාතය ලෙස හැඳින්වෙන්නේ හදිසියේම නින්දෙන් නැගී සිටීමත් සමග යමෙකුට චලනය වීමට හෝ කතා කිරීමට හෝ නොහැකි අසාමාන්‍ය එමෙන්ම තැති ගන්වන සුළු තත්ත්වයකට පත් වීමයි. ඇතැම්විට තමන් දෙස යමෙකුගේ පරීක්ෂාකාරී බැල්ම යොමුව ඇති බවක්ද මෙම අත්දැකීමට මුහුණ දෙන්නෙකුට හැඟී යනු ඇත. ඇතැම් විට සිය කාමරයේ යම්කිසි ගුප්ත ජීවියෙකු පිටසක්වල ජීවියෙකු හෝ වෙනත් කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් සිටින බවක්ද හැඟී යනු ඇත. මෙය හුදෙක්ම මනසින් මවා ගන්නා මනඃකල්පිත තත්ත්වයක් වුවද, එකී අත්දැකීමට ලක් වන්නාට එහි ඇති බියකරු භාවය මිස එහි සත්‍ය අසත්‍යතාවක් හැඟී නොයනු ඇත. නින්දේදී අත්විඳිනු ලබන මෙම තත්ත්වය විවිධ සංස්කෘතීන් තුළ විවිධාකාරයෙන් අර්ථ ගන්වා තිබෙනු දැකිය හැක. ජර්මානු සංස්කෘතියේදී මාරාලෙසද කාශ්මීරයේදී පඩින්දාර්නැමැති අදෘශ්‍යමාන පක්ෂියෙකු ලෙසද, තුර්කියේදී ඩිජින්නැමැති රාක්ෂයෙකු ලෙසද පාකිස්තාන  ජනප්‍රවාදයේදී ෂහිතාන්නැමැති සාතන් ලෙසද හඳුන්වා ඇත්තේ නින්දේ පසුවන පුද්ගලයාට වින කටීමට එන බවට විශ්වාස කරන මෙම නපුරු බලවේගයයි. නිදි පක්ෂඝාතය හට ගන්නේ එවැනි බලවේගයක බලපෑමකට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙසය. 


                   - බ්‍රව්නීස් -                       


                      ස්කොට්ලන්ත වැසියන් අතර වන ජනප්‍රවාදයකට අනුව කියැවෙන්නේ, ඔවුන් නින්දට ගිය පසු නිවෙස් කරා පැමිණෙන බ්‍රව්නීස්ලෙස හැඳින්වෙන කුඩා මිනිස් ජීවීන් විශේෂයක් විසින් නිවසේ සියලු වැඩපළ කර දෙන බවයි. මොවුන් තවත් එවැනිම ජනප්‍රවාදයකින් කියැවෙන ගොවි‍පොළවල වැඩ කර දෙන හොබ්නම් වූ ජීවීන් විශේෂයට සමාන වුවද හොබ්වරු මෙන් බ්‍රව්නීස්ලා විනාශකාරී නොවේ. කෙතරම් වැඩපළ කර දුන්නද සුළු දෙයකින් කුපිත වී සියල්ල විනාශ කර දමන හොබ්ස්ලා මෙන් නොව බ්‍රව්නීස්ලා මෘදු ගති ස්වභාවයෙන් යුතු පිරිසකි. මිනිසුන් විසින් තමන්ව දකිනු ලැබිමට අකමැති බ්‍රව්නීස්ලා නිවෙසක වැඩපළ කර දීමට පැමිණෙන්නේ නිවැසියන් සිහින දකිමින් තද නින්දේ පසුවන කලය.




          - නිසු -         


              ජපාන ජනකතාවන්ට අනුව නිසුලෙස හැඳින්වෙන්නේ රෝ බිය හා අවාසනාව ලෝකයට ගෙන එන කයිමීරා සත්වයෙකි. කොටියෙකුගේ ගාත්‍රාවලින්ද, වඳුරෙකුගේ බඳු මුහුණකින්ද, වලිගය ලෙස විෂඝෝර සර්පයෙකුද ඇති නිසුපිළිබඳ ජපාන සංස්කෘතියෙන් මුල්වරට ඇසෙන්නේ දොළොස්වන     සියවසේදී විරුද්ධවාදී කණ්ඩායම් දෙකක් අතර හට ගත් යුද්ධයක් පිළිබඳ කියැවෙන ද ටේල් ඔෆ් ද හයිකිජනප්‍රවාදයෙනි. එහි දැක්වෙන කතාවට අනුව කළු වලාකුළක ස්වරූපයක් ගනිමින් ජපාන අධිරාජ්‍යයා වෙත පැමිණි නිසුඅධිරාජ්‍යයාව දැඩි ලෙස රෝගාතුර කොට තිබේ. අවසානයේදී ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වූයේ සමුරායිවරයෙකු විසින් කළු වලාකුළට ඊතලයක් විද එය විනාශ කිරීමෙනි. අදටද නිසුගේ සොහොන ලෙස සැලකෙන දැවැන්ත පස්කන්දක් ජපානයේ වෙරළ තීරයක දැක ගත හැකිය.  


           - වැලි මිනිසා -         

                     හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතාවක් ඔස්සේ පළමුවරට ලෝකයා විසින් හඳුනා ගනු ලැබූ වැලි මිනිසායනු නින්දට යන දරුවන්ට සිහින පෙන්වීම සඳහා ඔවුන්ගේ දෑස් මත සියුම් වැලි විශේෂයක් හෙළනු ලබන කරුණාවන්ත ජීවියෙකි. නින්දෙන් අවදි වන විට යමෙකුගේ දෑස් වටා කුඩු වැනි අවශේෂයක් රැඳී තිබේ නම් ඉන් ඇඟවෙනුයේ පෙරදා රාත්‍රියේදී වැලි මිනිසා ඔහුව බැලීමට පැමිණ ඇති බවකි. කෙසේ වුවද වැලි මිනිසා යනු ඉතා බිහිසුණු කෲර ජීවියෙකු ලෙස ළමා සිත් තුළ අරක්ගැනීමට හේතු වූයේ 1816 දී එළිදැක්වුණු  කතාවකි. එහි වැලි මිනිසා නිරූපණය කෙරෙනුයේ, නින්දට යෑම ප්‍රතික්ෂේප කරන දරුවන්ගේ ඇස්වලට වැලි ගසා ඔවුන්ගේ දෑස් ඉවතට වැටීමට සලස්වා ඒවා එකතු කොටගෙන සිය යක්ෂ ළමුන්ට ආහාර පිණිස ලබා දෙන අයෙකු ලෙසටය. 

Thursday, March 6, 2014

සියවස් ගණනාවක් මුළුල්‍ලේ දිවි පරදුවට තබා සොයාගිය රත්තරන් දේශය එල් ඩොරාඩෝ......


















                                 මෙම අනුරුවින් පෙන්නුම් කළේ රජකු සිය ආරක්ෂකයින් සමග යාත්‍රාවක් මත සිටිනා නිර්මාණයකි. මෙය සම්පූර්ණයෙන් පිරිසිදු රනින් නිම කරන ලද්දක් විය. මෙම අනුරුවෙහි ඇති සුවිශේෂී බව වූයේ එය පමණක් නොවේ. 19 වැනි සියවසේදී ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය කණ්ඩායමක් මෙම රන් දේශය සොයාගිය ගමනේදී හමුවූ රත්රන් අනුරුවත් මෙම අනුරුවත් අතර කිසිදු වෙනසක් නොතිබිමය. මිනිසුනට මෙම කතාව එතරම් කාලයක් මතකයේ තිබුණේ නැත. නමුත් 1969 වසරේදී මෙම රත්රන් අනුරුව නැවත සොයාගැනීමත් සමග රත්රන් දේශය සොයාගන්නට මිනිසුන් තුළ තිබූ කැමැත්ත යළිත් අවදිවන්නට විය.


           දිවි පරදුවට තබමින් රත්රන් සොයා යන්නට මිනිසා පටන්ගත්තේ 1530 දී පමණ වන්නට ඇත. ඒ ස්පාඤ්ඤ ජාතික ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ පේරු හි ඉන්කා අධිරාජ්‍යයේ ධන නිධාන සොයමින් පැනමා ඇළ ඔස්සේ කළ චාරිකාවය. ඉන්කාවරුනගේ ධන නිධාන පිළිබඳ විශේෂඥයකු මෙන්ම ඉක්වදෝරයේ අගනගරය වන කිටෝ හි නිර්මාතෘවරයා ද වන සෙබස්තියන් ඩි බෙලාල්කසාර් 1535 දී රතු ඉන්දියානුවකු මුණගැසුණේය. සිරුර පුරා රත්රන් කුඩු තවරා කඳුකරයේ වූ පූජනීය විලකින් දිය ස්නානය කළ ගොත්‍රික නායකයකු පිළිබඳ පුවතක් ඔහු එහිදී පැවැසුයේය. මෙම පුවත ඇසීමෙන් පසු බෙලාල්කසාර් මේ ගෝත්‍රික නායකයාට ‘එල්ඩොරාඩෝ’ ලෙස නමක් තැබුවේය. ‘රත්රන් මිනිසා’ යන්න එහි අරුත විය. වීර වික්‍රමයන් ප්‍රිය කරන්නන් අතර ඉන් පසුව මෙම නම ඉතා ජනප්‍රිය වන්නට පටන්ගත්තේය. ඇතැම් පුද්ගලයන් මෙය ‘රත්රන්  මිනිසා’ ලෙස අර්ථ දක්වන්නටත්,  ඇතැම් පුද්ගලයන් ‘රත්රන් දේශය’ වශයෙන් අර්ථ දක්වන්නටත් පටන්ගත්තේය. කෙසේමුත් එල්ඩොරාඩෝ යනු බොහෝ පුද්ගලයන්ගේ සිහින දේශයක් බවට අවසානයේ පත් වූ අතර, සිදුවූයේ මෙම දේශය සොයායන්නට කළ උත්සාහයන් හිදී ඔවුන්ට සිය වාසනාව, කීර්තිය, ධනය පමණක් නොව ජීවිතය ද අහිමිව යාමය.



එල්ඩොරාඩෝ සොය ගිය මුල්ම පුද්ගලයා වූයේ ගොන්සාලෝ ජිමෙන්ස් ඩි ක්වෙසාඩාය. ඔහු සිය චාරිකාව වර්ෂ 1536 දී ආරම්භ කළ අතර ඊට කොලොම්බියාවේ උතුරු වෙරළේ පිහිටි සැන්ටා මාර්තාවෙන් 900ක පමණ පිරිසක් ද එකතු විය.
ක්වෙසාඩාගේ චාරිකාව ව්‍යසනයන්ගෙන් පිරීගිය එකක් විය. ඔහුට සහ ඔහුගේ පිරිසට විවිධ සතුන්ගේ ගැහැටවලට මුහුණ දෙන්නට සිදුවූ අතර විවිධ ලෙඩරෝග සමග සටන් කරන්නට සිදුවිය. චිබෙහාස් ප්‍රදේශයට ළඟාවන්නට පෙර ගෝත්‍රික ප්‍රහාරවලටද ලක්වූහ. චිබෙහාස්වලදී ඔවුනට රත්රන් මිනිසා පිළිබඳ තවත් තොරතුරු අසන්නට ලැබිණි. එම කතාන්දරවලට අනුව රතු ඉන්දියානු මගපෙන්වන්නකු ද සමග ක්වෙසාඩා, ‘ගුටාවිටා’ විල කරා ළඟා වූයේය. ඉතා ගැඹුරු වූ එම විල සෑදී තිබුණේ අක්‍රිය යමහලක ආවාටයේය. එය මුහුදු මට්ටමේ සිට අඩි 9000ක පමණ උසකින් පිහිටා තිබිණි. පැල්පත් කිහිපයක් එහි තිබූ මුත්, ක්වෙසාඩා හෝ ඔහුගේ පිරිසෙන් ඒ වන විට ඉතිරිව සිටි 200 දෙනාට හෝ රත්රන් මිනිසෙක්වත් රත්රන් දේශයක්වත් දැකගන්නට ලැබුණේ නැත.


  ක්වෙසාඩා ආපසු පැමිණියේය. නමුත් ඔහු පැමිණියේ ටික කලකින් නැවත යාමේ බලා‍පොරොත්තුවෙනි. එය 1568 වර්ෂය විය. ඒ වන විට ක්වෙසාඩා මහලු වියෙහි පසුවිය. “ගුටාවිටා” විල අවට හෝ පතු‍ලේ හෝ නිධානයක් ඇතැයි යන විශ්වාසයෙන් ඔහු එහි වසර තුනක පමණ කාලයක් ගත කළේය. එහෙත් කිසිවක් සොයා ගන්නට හැකි වූයේ නැත. ඔහු උත්සාහය අත්හැර දැමුවේය. දශක 40ක පමණ කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් උත්සාහ කළද කිසිවකුට හෝ රත්රන් මිනිසා හෝ රත්රන් දේශය හෝ සොයාගන්නට නොහැකි විය. අනෙක් අතට මේ ගවේෂණයන් සඳහා අධික ධනස්කන්ධයක්ද වැය වී තිබිණි. ඒ කෙසේ වෙතත් මෙහි රත්රන් නිධානයක් ඇතැයි යන විශ්වාසය නිසා එය සොයාගැනීමේ තණ්හාව මිනිසුන්ගෙන් දුරස් කරන්නට මේ කිසිවකට හෝ නොහැකි විය. නමුත් 16 වැනි සියවසෙහි අගභාගය වන විට මිනිසුන්ගේ  අවධානය කොලොම්බියාවේ සිට ගයනාව දක්වා මාරුවිය.එනම් එල්. ඩොරාඩෝ පිහිටියේ ගයනාවේ යනුවෙන් කටකතාවක් පැතිර ගියේය. වර්ෂ 1584 දී ඇමේසන් සහ ඔරිනාකෝ ගංගා අතර තිබූ භූමියේ ආණ්ඩුකාරවරයා වූ ඇන්ටෝනියෝ ඩී බෙරියෝ මධ්‍යම කොලොම්බියාවේ ටුන්ජා නගරයේ සිට ගයනාවේ මධ්‍යම ප්‍රදේශය දක්වා ගවේෂණයක් දියත් කළේය. කඳුවලින් වටවී ඇති විලක රත්රන් මිනිසා ඇතැයි ඔහු විශ්වාස කළේය. නමුත් ඔහුගේ චාරිකාවද සාර්ථක වූයේ නැත. ඔහු වර්ෂ 1585 සිට 1588 දක්වා තවත් ගවේෂණ චාරිකාවක් ගිය අතර එහිද ප්‍රතිඵලයක් නොවීය.



වර්ෂ 1591 දී බෙරියෝ සිය තෙවැනි ගවේෂණ චාරිකාව දියත් කළ අතර මෙවර ඔහුගේ ගමන්මග වැටී තිබුණේ ඔරිනාකේ ගංගාවේ පහළ දෙසටය. ඔහු ට්‍රිනිඩෑඩ් දූපත් කරා යාත්‍රා කොට එල් ඩොරාඩෝව පිළිබඳ අනාගතයේ කෙරෙන ගවේෂණයන් සඳහා ප්‍රයෝජන ගැනීම සඳහා එහි කඳවුරක් පිහිටුවූයේය. ඔහුට එහිදී වෝල්ටර් රැ‍ලේ හමුවිය. වෝල්ටර්
සිටියේ පළමු එලිසබෙත් රැජින වෙනුවෙන් නව ධන නිධාන සොයමිනි. බෙරිගෝ තමා දන්නා සියලු දේ වෝල්ටර් සමග පැවැසූ අතර රැ‍ලේ මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් නමින් පුවත් පතක පළ කළේය. ඔහු එම ලිපියෙන් රත්රන් දේශය පිළිබඳ තොරතුරු සම්භාරයක් ඉදිරිපත් කළේය. එහි ‘පරීමා’ නම් විලක් පිළිබඳව ද සඳහන් විය. නමුත් එහි අඩංගු තොරතුරු සියල්ලක්ම සත්‍ය වූයේ නැත. එලිසබෙත් රැජින වර්ෂ 1603 දී මිය ගියාය. රාජද්‍රෝහීත්වය හා විශ්වාස කඩකිරීම නිසා වෝල්ටර් රැ‍ලේට මරණ දඬුවම නියම කෙරිණි. කෙසේ මුත් දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රැ‍ලේ දෙවැනි ගවේෂණ චාරිකාවද ආරම්භ කළේය. නමුත් එයද අසාර්ථක වූ අතර නැවත සිය රටට පැමිණි වහාම, වර්ෂ 1618 දී ඔහුගේ හිස ගසා දැමිණි.


ඔහු මරණ දඬුවම ලැබුණද රත්රන් දේශය සොයායෑමට අනෙක් මිනිසුන්ට ඇති කැමැත්ත නතර කර දමන්නට එය හේතුවක් වූයේ නැත. 18 වැනි සියවස අවසන් වනතුරුම පරීමා විල සොයන්නට බොහෝ දෙනෙක් නිරන්තර උත්සාහයක යෙදිණි. රැ‍ලේ සිය ලිපියේ සඳහන්කොට තිබූ පරිදි රත්රන් දේශයේ රාජකීය ‘මනෝවා’ නගරය පිහිටියේ මෙම විලෙහි ඉවුරෙහිය. නමුත් කිසිවකුට හෝ එවැනි විලක් සොයා ගන්නට නොහැකි විය. එල් ඩොරාඩෝ සොයමින් ගිය අවසන් පෘතුගීසි ජාතිකයා වූයේ ඩියෙස් ඩි ලා ෆුවෙන්ටේය. ඔහු සිය චාරිකාව ආරම්භ කළේ ගිනිකොණදිග වෙනිසුවෙලාවේ කැරෝනි ගංගා ප්‍රදේශයෙනි. ඔහු සිය චාරිකාව කොටස් තුනකට වෙන් කළේය. චාරිකාව මෙහෙය වූයේ ගොන්සාලෝ සුවාරෙස් රොන්ඩොන් විසිනි. ඔවුන් සිතුවේ තමා පරීමා විල අසලට පැමිණි බවය. නමුත් රතු ඉන්දියානුවන්ගේ ක්ෂණික පහරදීමක් නිසා ස්පාඤ්ඤ ජාතිකයන්ට ආපසු හැරෙන්නට සිදුවිය. අවසානයේ ඔවුනට මෙම ගවේෂණය අතහැර දමා ගයනාවෙන් පිටවන්නට සිදුවිය. මෙවැනි විවිධ සිදුවීම්වලින් පසුව බොහෝ දෙනෙක් එල් ඩොරාඩෝ යනුවෙන් භූමි ප්‍රදේශයක් තිබුණේ දැයි සිතන්නට පටන් ගත්තේය. නමුත් මිනිසුන්ගේ තණ්හාව හා මිථ්‍යා විශ්වාසයන් පහසුවෙන් මරා දමන්නට හැකියාවක් නැත. 


19 වැනි සියවසෙහි ආරම්භයත් සමග එල් ඩොරාඩෝ සොයා යන්නට නව ගවේෂක කණ්ඩායම් බිහිවන්නට පටන් ගත්තේය. මේ අතුරින් හම්බෝල්ඩ් යනු එක් අයෙකි. බොන්ප්ලාන්ඩ් තවත් පුද්ගලයෙකි. ඔවුහු ඉතා පුළුල් ලෙස එල් ඩොරාඩෝ සොයන්නට පටන් ගත් අතර එල් ඩොරාඩෝ සොයා යාම නිරර්ථක ව්‍යායාමයක් බැව් දෙදෙනාම අවසානයේදී නිගමනය කළහ. පරීමා යනුවෙන් විලක් නොමැති බැව්ද ඔවුහු පැවැසූහ. කෙසේමුත් හම්බෝල්ඩ් සිය වාර්තාවේ එක තැනෙක යමහලක ආවාටයක් තුළ තැනුණු විලක් පිළිබඳව සඳහන්කොට තිබිණි. මේ නිසා “ගුවාටාවිටා” විල පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නට පටන් ගත්තේය. හම්බෝල්ඩ්ට් හට මෙහි ඇතැයි පැවසුණු නිධානයක් පිළිබඳව විශ්වාසයක් නොතිබුණද අනෙක්  අයට එසේ නොවිය. මේ නිසා වර්ෂ 1920 දී ‘කන්ට්‍රැක්ටර්ස් ලිමිටඩ්’ නම් බ්‍රිතාන්‍ය සමාගම ඇමරිකන් ඩොලර් 150,000ක් වටිනා උපකරණ ද රැගෙන කොලොම්බියාව කරා පැමිණියේය. ඔවුනගේ අරමුණ වූයේ ගුවාටාවිටා විලෙහි ජලය සිඳ නිධානය සොයාගැනීමය. ඔවුනට විලෙහි ජලය හිස්කරන්නට හැකි විය. නමුත් ඔවුනට සොයාගන්නට හැකි වූයේ කිසිදු වටිනාකමක් ඇති දෙයක් නොවේ. පතුළ මඩවලින් වැසී තිබුණු අතර රත්රන් ස්වල්පයක් තිබිණි. ඔවුන්ට වැය වූ ධනස්කත්ධයෙන් අල්පයක් හෝ පියවන්නට එය ප්‍රමාණවත් වූයේ නැත.


මේ ආකාරයට එල් ඩොරාඩෝ සෙවීමේ උත්සහයන් කෙළවරකට පැමිණියේය. රත්රන් දේශය සොයාගන්නට කිසිවකුට හෝ හැකි වූයේ නැත. කෙසේමුත් රත්රන් දේශය වෙනුවට මෙම ගවේෂණයන් සිදුකළ කණ්ඩායම්වලට එතෙක් සොයාගන්නට නොහැකි වුණු ගෝත්‍ර, ප්ලැටිනම්, රිදී, බෝක්සයිට් සහ මැංගනීස් වැනි ලෝහ සොයාගන්නට හැකි විය. මේ සියල්ලටම වඩා වටිනා දෙය වූයේ වෙනිසුවෙලාවේ මැරකයිබො විල පිහිටි සානුවේ වූ තෙල් සංචිතයයි. කෙසේ මුත් රත්රන් පහුරේ සිටිනා රත්රන් මිනිසා තවමත් කියන්නේ ‘පුළුවන්නම් මගේ රහස හෙළිකරගන්න’ යන්නයි.


*උපුටා ගන්නා ලද්දකි...............(සමුදුර)

Tuesday, March 4, 2014

ආදර ඉබ්බො...........

ආදරය යනු බැඳීම සහ ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි.

(එහෙම සඳහන් වෙන්නේ විකිපීඩියා, නිදහස් විශ්වකෝෂයේ)


ආදරය කියන දේ ඇත්තටම වචනයෙන් විස්තර කරන්න අමාරුයි මට නම්. ආදරය විවිධාකාරයෙන් තමයි පුද්ගලයන්ට දැනෙන්නෙ. අපි පුංචි කාලේ හිටන්ම දෙමාපියන්ගෙ ආදරය මැද්දේ හැදී වැඩෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික වයසින් මුහුකුරා යද්දි සමාජයේ විවිධ පුද්ගලයන්ගේ අවධානයට අපි හැමෝම ලක්වෙනවා. දෙමාපියන්ගෙන් ලබන ආදරයට එහා ගිය ආදරයක් ප්‍රේමවන්තයාගෙන් හෝ ප්‍රේමවන්තියගෙන් ලබා ගන්න උත්සාහ කරනවා. ආදරය හිමි වුණාම සතුටු වෙනවා. අහිමි වුණාම විරහ කවි ලියනවා. නිතරම විරහ කවි, ගීත රසවිඳිනවා. ලෝකේ තියෙන ලස්සනම ගීත විරහ ගීත හැටියට තමයි ඔබත් මමත් බොහෝ දුරට සලකන්නේ.

ඉතිං ආදරය ගැන අටුවා ටීකා ලියන්න ගියෝතින් නම් පිටු ගණන් ලියන්න පුළුවන් වෙයි. ඒ නිසා "ආදර ඉබ්බො" ගැන කතා කරන්නයි දැන් සූදානම් වෙන්නේ.

ඇත්තටම කවුද මේ "ආදර ඉබ්බෝ" ....?

ඔබේ ආදරය ඔබ කවදා හෝ දිනයක ඉබ්බො දාලා හිර කරල තියෙනවද? අනේ ඉතිං හැබෑටම කොහොමද හරි හමන් ආදරයක් හිර කරල යතුරු දාන්නෙ නේද?

 ආදරය කියන දේ බලෙන් අයිතිකර ගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. දෙදෙනාගේම කැමැත්ත ඇතිව තමයි ඉතා යහපත් මට්ටමින් ආදර සබඳතාවයක් ගොඩානගා ගන්න පුළුවන් වෙන්නේ. 

ජීවිතයට ළඟාකර ගන්න නොහැකි ඕනෑම කෙනෙක්ට අපිට හිතින් නම් ඉතිං  හිතේ හැටියට ආදරය කරන්න පුළුවන්. අප්‍රකාශිත ප්‍රේම වෙච්ච ඒකපාර්ෂවීය ආදරය ඇත්තටම හරිම සුන්දරයි. හැබැයි අනිත් පාර්ෂවය ඒ ගැන නොදන්නා තෙක් විතරයි. දැන ගත්ත දාට ඔහුට හෝ ඇයට මුහුණ දෙන්න වෙන්නෙ ලොකු අර්බුදයකට. ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියනවනේ. ඉතිං ඒකපාර්ෂවීය ආදරයත් හැමදාමත් හංඟගෙන ඉන්න ටිකක් අමාරුයි. කොයිවෙලේ හරි කාට හෝ ඉව වැටෙනවා. අනික ඉතිං අපේ මිනිස්සු ඉන්නෙම අනුන්ගෙ ජීවිතවලමනෙ. ලෝකයා තමන් දෙස බලාගෙන ඉන්න විත්තිය කාට කාටත් තේරෙන්න පටන් ගන්නේ සියලුම දේ හොඳට හෝ නරකට සිද්ධ වුණාට පස්සෙයි.

ආදරය ගැන ලියන්න හිතිච්ච නිසා මං ටිකක් අන්තර්ජාලයේ සැරිසැරුවා. එතකොට ආදරය ගැන ලියවිච්ච ගොඩාක් දේවල් ඇස ගැටුණා. ඒ ඇස ගැට්ට තැන් වලදී මං ආදරය සම්බන්ධ විවිධ රූප සටහන් කිහිපයක් උපුටා ගන්නත් අමතක කළේ නැහැ.






මේ ඒ විදියට උපුටා ගත්ත එක් රූප සටහනක්. ඒකේ ආදරයේ විවිධ ප්‍රභේද දක්වල තියෙන්නේ. මේ වියමන කියවන ඔබගේ ආදරය මින් කවර අවස්ථා පසු කරන්න ඇතිද? ඒ වගේම පසු කරමින් ඇතිද නේද? 






දෙමව්පිය සෙනෙහස යටතේ ගෙවන ජීවිතය තමයි අපේ ජීවිතවල සුන්දරම කාලය. ඒ සුන්දරත්වය බොහෝ විට දැනෙන්නේ ජීවිතේ මැද භාගයේදී කියලයි මට නම් හිතෙන්නේ. 


















ඉතිං විවිධ ආදර බැඳීම් ගැන සොයමින් අන්තර්ජාලයේ සැරි සරද්දි ලැබිච්ච අපූරු යුටියුබ් එකක් ඔබත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුණා. සමහර විට ඔබ දැනටමත් මේ ආදර ඉබ්බො දැකලා ඇති. ඒත් මට කියන්න තියෙන්නේ යතුරු දාලා හිර කරල තියෙන මේ ඉබ්බො තාමත් යාරා නදියෙ පාලමේ අව්වට වැස්සට ඔරොත්තු දීලා හිටියට කීයෙන් කී දෙනාද ඇත්තටම ආදර වන්තයින් හෝ ආදර වන්තයන් වෙන්න ඇත්තේ.....?

තව ටික කාලයක් ගියාම අපේ ලංකවේ ඈයොත් ප්‍රසිද්ධ පාලම් වල ඉබ්බෝ එල්ලයිද දන්නෙ නැහැ නේද....?

එහෙම නම් ගිහිල්ලම බලන්නකෝ මේ ලින්ක් එකට..........
ආදර ඉබ්බෝ............

http://www.youtube.com/watch?v=82Kw6FI4RZo#t=53

Monday, March 3, 2014

ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය විදේශ ලේඛකයෝ




ඈත අතීතයේ පටන්ම අප රට ලෝකයේ බොහෝ ජාතීන් සමඟ විවිධ සබඳතා පවත්වා ඇති ජාතියක්‌ වන්නෙමු. දැනට හමුවන සාධකයන්ට අනුව ශ්‍රී ලාංකීය ජාතිය පැරණි ඉන්දු නිම්න සභ්‍යත්වය සමඟද සබඳතා පවත්වා ඇති බව විශ්වාස කෙරේ. හලාවත, පොම්පරිප්පු වැනි ස්‌ථානයන්ගෙන් හමුවන නටබුන් හා හරප්පා නටබුන් අතර සමානතා දක්‌නට ඇත. එවන් දිගු ඉතිහාසයක්‌ ඇති අප රට පිළිබඳ ලෝකයේ විවිධ ජාතීන් තොරතුරු වාර්තා කර ඇත. ග්‍රීක, රෝම, ඉතාලි, චීන, අරාබි මෙන්ම ඉන්දීය යන ජාතීන් අප රට පිළිබඳ ඈත අතීතයේදීද පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය වැනි ජාතීන් මෑත ඉතිහාසයේද ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. විශාල ලේඛකයන් ප්‍රමාණයක්‌ අප රට පිළිබඳ තොරතුරු වාර්තා කර ඇති අතර මේ ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගෙන් කිහිපදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා කිරීමටයි.

ඇරිස්‌ටෝටල්

දැනට ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කර ඇති ආදීම ලේඛකයා ලෙස සලකන්නේ ඇරිස්‌ටෝටල්ය. ග්‍රීක ජාතිකයෙක්‌ වන මොහු දේශපාලන විද්‍යාවේ පියා ලෙසද සලකනු ලැබේ. පොලිටික්‌ස්‌ නම් ග්‍රන්ථය ඇරිස්‌ටෝටල් විසින් රචනා කරන ලද දේශපාලනය පිළිබඳ මා හැඟි ග්‍රන්ථයයි. ඩිමුන්ඩෝ නම් ඇරිස්‌ටෝටල් රචනා කරන ලද කෘතිය තුළින් අප රට පිළිබඳ වැදගත් තොරතුරු රැසක්‌ ලබා ගත හැක. ක්‍රි.පූ. 07 සියවසේ පමණ ජීවත් වන්නට ඇතැයි සිතන මොහු නුවණැත්තන්ගේ ගුරුවරයා ලෙසද සලකනු ලැබේ. ශාස්‌ත්‍රීය විවේචනය, අලංකාර ශාස්‌ත්‍රය, තර්කය, දේශපාලනය පිළිබඳ ග්‍රන්ථ ලියූ මොහු පුනරුප්පත්තිය පිළිබඳ විශ්වාසය තැබූ අයෙකි.

මෙගස්‌තීනිස්‌

මොහුද ග්‍රීක ජාතිකයෙකි. ක්‍රි.පූ. 4 වැනි සියවසේ පමණ ජීවත් වන්නට ඇතැයි සිතන මොහු චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජයාගේ රාජ සභාවේ ග්‍රීක තානාපතියා ලෙස කටයුතු කළ අයෙකි. සෙලියුකස්‌ නිකේටර් වෙනුවෙන් ඔහුගේ තානාපතියා ලෙස මෞර්ය රාජ සභාවේ කටයුතු කළ මොහු තමන් ඉන්දියාවේ සිටියදී අසා දැනගත් තොරතුරුත් තමන් දුටු තොරතුරුත් පදනම් කරගෙන ග්‍රන්ථයක්‌ රචනා කරන ලදී. එය අප "ඉන්ඩිකා" නමින් හදුන්වනු ලැබේ. එම ග්‍රන්ථය තුළින් මෙගස්‌තීනිස්‌ අප රට පිළිබඳ ඔහු අසා දැනගත් දේ වාර්තා කර ඇත. එවකට ලංකාවේ පාලකයා වන්නට ඇත්තේ පණ්‌ඩුකාභය රජුය. නමුත් ඒ රජු පිළිබඳ ඉන්ඩිකාහි තොරතුරු වාර්තා වන්නේ නැත, අද මේ කෘතියේ මුල් පිටපත දක්‌නට නැති අතර එහි ඉතිරිව ඇත්තේ පසු කාලීන ලේඛකයන්ගෙන් උපුටා ගන්නා ලද කොටස්‌ය. මෙගස්‌තීනිස්‌ කිසි දිනෙක ලංකාවට පැමිණ නැති නිසා මොහු ඉදිරිපත් කරන තොරතුරු 100% ක්‌ නිවැරදිද යන්න ගැටලුවක්‌ව පවතී.

කොස්‌මස්‌

ක්‍රි.ව. 6 වැනි සියවසේ පමණ ජීවත් වන්නට ඇතැයි සිතන කොස්‌මස්‌ ඉන්ඩි කොප්ලස්‌ටස්‌ ද ලංකාව පිළිබඳ තොරතුරු වර්තා කර ඇත. මොහු රචනා කරන ලද කෘතිය ටොපොග්‍රැපියා ක්‍රිස්‌තියානා නමින් හඳුන්වනු ලැබේ. කොස්‌මස්‌ගේ කෘතිය තුළ දක්‌නට ඇති ඇතැම් තොරතුරු වෙනත් කිසිදු විදේශ මූලාශ්‍රයකින් හඳුනාගැනීමටද නොහැකිය. මොහු එවකට ලංකාවේ දිග පළල පිළිබඳ තොරතුරු වාර්තා කරයි. කොස්‌මස්‌ වාර්තා කරන ආකාරයට ලංකාව ගෞඩියා 300 බැගින් දිගින් හා පළලින් යුක්‌ත වේ. ටොපොග්‍රැපියා ක්‍රිස්‌තියානා කෘතියට අනුව එවකට ලංකාවේ එකිනෙකාට විරුද්ධ රජුන් දෙදෙනෙක්‌ ලංකාව පාලනය කර ඇත. ඇතැම් විට එම රජවරු දෙදෙනා අතර බලය සඳහා මේ කාලයේ අරගලයක්‌ පවතින්නට ඇතැයි අපට සිතිය හැකිය.

මෙම ග්‍රන්ථයෙන් අපට එවකට ලංකාවේ පෙර අපර දෙදිග වෙළෙ¹ම පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. ඉන්දියාව, පර්සියාව, ඉතියෝපියාව ආදී රටවලින් ලංකාවට වෙළෙඳුන් ආ බව කොස්‌මස්‌ තම කෘතියේ වාර්තා කරයි. එම නැව්වලට චීනය වැනි රටවලින් ගෙනා පට රෙදි වර්ග, සඳුන් දර ආදිය මෙරට වෙළෙඳුන් විසින් ලබාදුන් බව කියවේ. මෙයින් පෙනෙන්නේ මේ කාලයේදී ලංකාව පෙර අපර දෙදිග වෙළෙ¹මේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස ක්‍රියාත්මක වූ බවය. කොස්‌මස්‌ට අනුව ක්‍රි.ව. 6 වැනි සියවසේදී ද ලංකාව තුළ පර්සියානු නිකායට අයත් කතෝලිකයන් ජීවත් වී ඇත. එය ඉතා වැදගත් වාර්තාකරණයකි. සාමාන්‍යයෙන් අප පිළිගන්නා ආකාරයට මෙරට කතෝලික දහම ගලා ආවේ ක්‍රි.ව. 16 සියවසේ පෘතුගීසි ආගමනයත් සමඟය. කොස්‌මස්‌ගේ වාර්තාකරණය නිවැරදි නම් ක්‍රි.ව. 6 වැනි සියවස වන විටත් මෙරට තුළ කතෝලිකයන් ජීවත් වී ඇත. තවද කොස්‌මස්‌ වාර්තා කර ඇති ආකාරයට පර්සියාවෙන් මෙරටට අශ්වයන් පවා ආනයනය කර තිබේ. එලෙස ගෙනා අශ්වයන්ට තීරු බදු අය නොකළ බව ඔහු සඳහන් කර ඇත. මේ පුද්ගලයන්ට අමතරව ඔනෙසික්‍රිටස්‌, ඉරටොස්‌තිනිස්‌, ටොලමි, ප්‍රකෝපියස්‌, කොස්‌මස්‌ වැනි පුද්ගලයන්ද ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. මේ අතරින් ටොලමිගේ ජියෝග්‍රොපියා ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියකි.

ප්ලිනී, ඇමිනස්‌, මර්සලින් වැනි රෝම ලේඛකයන්ද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා තබා ඇති අතර ඒවා තුළින්ද අප රට පිළිබඳ අධ්‍යයනය කළ හැකිය.

හියුත්සාං

ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කළ ආසියාතිකයන් අතරින් වැදගත්ම ලේඛකයෙක්‌ ලෙස මොහු පෙන්වාදීමට පුළුවන. ක්‍රි.ව. 603 දී චීනයේ හෝනං නම් ගමේ උපත ලැබූ මොහු හර්ෂවර්ධන රජු දවස ඉන්දියාවට ආ ලේඛකයෙකි. වසර 16 ක්‌ ඉන්දියාව තුළ ගතකළ මොහු එරට බොහෝ තැන්වල සංචාරය කරන ලද්දෙකි. දකුණු ඉන්දියානු ප්‍රදේශයන් තුළද සංචාරය කළ මොහු එම ප්‍රදේශයෙන් විවිධ පුද්ගලයන්ගෙන් අසා දැනගත් තොරතුරු තම රට බලා ආපසු ගිය පසු සිය දේශාටන වාර්තාව තුළට ඇතුළත් කර තිබේ. අප එම වාර්තාව හියුත්සාංගේ භ්‍රමණ වෘත්තාන්තය හෙවත් ගමන් විස්‌තරය නමින් හඳුන්වනු ලැබේ. මෙම කෘතියේ 11 වැනි පරිච්ඡේදය තුළ සිංහල දේශය හෙවත් ලංකාව පිළිබඳ වැදගත් විස්‌තර ගණනාවක්‌ රචනා කර ඇත.

භ්‍රමණ වෘත්තාන්තය වාර්තා කරන වැදගත්ම කාරණයක්‌ වන්නේ මෙරට ජනවාස වීම පිළිබඳය. හියුත්සාං හිමියන්ට අනුව ලංකාව ජනාවාස කර ඇත්තේ සිංහල නම් වෙළෙඳ පුත්‍රයෙකි. එයට අමතරව ලංකාවේ නිකාය භේදය. අනුරාධපුර දළදා මාළිගාව, මහාපාලි දන්සැල ආදි මාතෘකාද සාකච්ඡා කර ඇත. හියුත්සාං තම වාර්තාව තුළ ලංකාව හඳුන්වා ඇත්තේ රත්නදීප යන නමිනි. එහි අදහස මැණික්‌ දිවයින යන්නයි. හියුත්සාං භික්‍ෂුවට අනුව රත්නදීපය සිහලදීපය වූයේ සිංහලයන් විසින් එහි සිටි පුද්ගලයන් පරාජය කර බලය ලබා ගැනීමෙන් පසුවය.

පාහියන්

අප රට පිළිබඳ තොරතුරු වාර්තා කළ තවත් චීන ජාතිකයෙකු වන්නේ පාහියන් හිමියන්ය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සියෑසින් දැක අප රට පිළිබඳ තොරතුරු වාර්තා කළ අයෙකි. ක්‍රි.ව. 412-414 අතර කාලය තුළ පාහියන් හිමි ලංකාව තුළ රැඳෙමින් තොරතුරු වාර්තා කර ඇත. එය සීයූකී නමින් හඳුන්වනු ලැබේ. අභයගිරි විහාරය පිළිබඳ පාහියන් හිමි ඉදිරිපත් කරන තොරතුරු ඉතා වැදගත් කරුණු වේ. උන්වහන්සේ ලංකාවට එන විට අභයගිරි විහාරයේ භික්‍ෂූණ්‌ වහන්සේලා 5000 ක්‌ පමණ ජීවත් වී ඇත. ථෙරවාදයේ ප්‍රධාන මූලස්‌ථානය වූ මහාවිහාරය තුළ භික්‍ෂුන් වහන්සේලා 3000 ක්‌ පමණ වාසය කර ඇත. මිහින්තලේ භික්‍ෂූණ්‌ 2000 ක්‌ පමණ වාසය කර ඇත. පාහියන් හිමි ලංකාව ජනාවාස වීම පිළිබඳ කරන විස්‌තරය වඩාත් සංක්‍ෂිප්ත හා විශ්වාසදායක වාර්තාකරණය ලෙස පිළිගනු ලැබේ. පාහියන් හිමියන්ට අනුව ලංකාව ජනාවාස වීමට පෙර මෙරට මිනිස්‌ වාසයක්‌ තිබුණේ නැත. එය මකරුන්ගේ හා යක්‍ෂයන්ගෙන් පිරුණ බිමක්‌ විය. මෙරටට වරින් වර විදේශ රටවලින් ආ වෙළෙඳුන් හරහා එය ජනාවාස වූ බව පාහියන් හිමි වාර්තා කරයි.

පාහියන් හිමි තම වාර්තාව තුළ මෙරට පැවැති දළදා පෙරහැර පිළිබඳවද වාර්තා කර ඇත. ඒ වනවිට දළදාව තැන්පත් කර තිබුණේ අභයගිරි විහාරයේ බව උන්වහන්සේගේ එම වාර්තාකරණයෙන් හඳුනාගත හැක. එමෙන්ම පාහියන් හිමියෝ ලංකාවට ආ චීන වෙළෙඳුන් පිළිබඳවද තම වාර්තාව තුළ තොරතුරු ඉදිරිපත් කරයි. එයින් පෙනෙන්නේ ක්‍රි.ව. 5 සියවසේදී පවා අප චීනය සමඟ සමීප වෙළෙඳ සබඳතා පැවැත්වූ බවයි.

මොවුන් දෙදෙනාට අමතරව චීන ජාතිකයන් වන හුඩෝ, ඉත්සිං, පාඕචාං, චාඕජුකුවා ආදින්ද අප රට පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත.

කෞටිල්‍යය

කෞටිල්‍යය යනු ඉන්දීය ජාතිකයෙකි, ක්‍රි.පූ. 4 වැනි සියවසේ ජීවත් වූ මොහු මෞර්ය චන්ද්‍රගුප්ත අධිරාජයාට රාජ්‍ය බලය ලබා ගැනීම පිළිබඳ ඉගැන්වූ පුද්ගලයාය. චානක්‍ය යන නමින්ද විෂ්ණු ගුප්ත යන නමින් ද හඳුන්වන මොහු රචනා කළ ග්‍රන්ථය අර්ථ ශාස්‌ත්‍රය නම් වේ. මෙය ලෝක ඉතිහාසයේ රාජ්‍ය පාලනය පිළිබඳ ලියෑවුණ පැරණි වැදගත්ම ග්‍රන්ථය ලෙසද පෙන්වාදිය හැකිය. කෞටිල්‍යයගේ අර්ථ ශාස්‌ත්‍රය තුළ ලංකාව පිළිබඳවද තොරතුරු සඳහන් කර ඇත. කෞටිල්‍යය ලංකාව හඳුන්වා ඇත්තේ "පාර සමුද්‍ර" යන විශේෂ නාමයෙනි. ග්‍රීක රෝම හා චීන මූලාශ්‍ර සමඟ සසඳද්දී අර්ථ ශාස්‌ත්‍රය තුළ ලංකාව පිළිබඳ ඇත්තේ ඉතාමත් අඩු තොරතුරු ප්‍රමාණයකි.

රොබට්‌ නොක්‌ස්‌

ක්‍රි.ව. 17 වැනි සියවසේ ජීවත් වූ ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කළ වැදගත්ම බ්‍රිතාන්‍ය ජාතිකයකු ලෙස රොබට්‌ නොක්‌ස්‌ හඳුන්වා දීමට පුළුවන. මොහු ලංකාව තුළ වසර 19 කුත් මාස 6 ක්‌ හා දින 14 ක්‌ සිරකරුවකු ලෙස ගත කර ඇත. 1660-1679 ත් අතර කාලයේ ලංකාව තුළ සිරකරුවකු ලෙස ගතකළ මොහු අත් අඩංගුවෙන් මිදී නැවත සියරට බලා ගොස්‌ තමන් ගතකළ ජීවිතය පිළිබඳ කෘතියක්‌ සම්පාදනය කළේය. ලංකාවේ ඉතිහාසය කතාන්තරය හෙවත් එදා හෙළදිව නම් එම කෘතියට ඉංග්‍රීසි සාහිත්‍යය තුළ හිමි වන්නේ ඉතා වැදගත් ස්‌ථානයකි. Historical Relation of Ceylon නම් ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය වූ මේ කෘතිය ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත.

රොබට්‌ නොක්‌ස්‌ ඇතුළු පිරිස ලංකාවට ගොඩ බැස ඇත්තේ ඔවුනගේ නැව ඉන්දියන් සාගරය මැදදී කුණාටුවකට හසුවීම නිසාය. ඔවුන් එම කුණාටුවෙන් මිදීම සඳහා සිදු කර ඇත්තේ ගමන් ගත් නැවේ කුඹගස කපා දැමීමයි. එනිසා ඔවුන්ට ඉදිරි ගමන අපහසු වූයෙන් නැවට අවශ්‍ය කුඹ ගසක්‌ කපා ගැනීම සඳහා කොට්‌ටියාරම වරායට සමීප වී ඇත. දින 20 ක්‌ පමණ ඒ ප්‍රදේශයේ ගත කරමින් සිටියදී ඒ බව දැනගත් රජුගේ කණ්‌ඩායමක්‌ පැමිණ ඔවුන් උපක්‍රමශීලීව අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත් රොබට්‌ නොක්‌ස්‌ හා පිරිස ගණනින් 16 ක්‌ පමණ විය. ඔවුන් අතර නොක්‌ස්‌ගේ පියාද වුණි. එලෙස අත්අඩංගුවට පත් රොබට්‌ නොක්‌ස්‌ ලංකාව තුළ වසර 19 ක්‌ පමණ ගතකර ඇත. රොබට්‌ නොක්‌ස්‌ හා ඔහුගේ පියා උඩරට සිරුකරුවන් ලෙස ගත කළේ කන්ද උඩරටට අයත් සත්කෝරලය නම් බිමේ බණ්‌ඩාර කොස්‌වත්ත ග්‍රාමයේය.

රොබට්‌ නොක්‌ස්‌ රචනා කළ ලංකාවේ ඉතිහාස කතාන්තරය නම් කෘතිය තුළින් අපට උඩරට රාජධානිය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක්‌ අවබෝධ කර ගත හැකිය. රොබට්‌ නොක්‌ස්‌ ඇතුළු පිරිස මෙරට සිරකරුවන් බවට පත් වූ ආකාරය, ඔහුගේ පියාගේ මළගම, උණ රෝගයෙන් ඔවුන් පීඩා විඳි ආකාරය, නොක්‌ස්‌ අලුතෙන් නිවසක්‌ තනා ගත් ආකාරයත් එහිදී ඔහු රාජ උදහසකට ලක්‌ වූ අයුරුත් මේ කෘතිය තුළින් අපට හඳුනාගත හැකිය.

ලංකාවේ භූගෝලීය පිහිටීම මෙන්ම උඩරට රාජධානියේ බෙදීම් ආදිය පිළිබඳවද නොක්‌ස්‌ වාර්තා කරයි. සෙංකඩගල හෙවත් කන්දේ නුවර පිළිබඳවත්, පුත්තලම ලුණු ලේවාය පිළිබඳවත් ලංකාවේ ග්‍රාම නිර්මාණය වූ ආකාරය පිළිබඳවත් එදා හෙළදිවෙන් තොරතුරු හඳුනා ගත හැකිය. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ප්‍රධාන ජීවනෝපාය වූ වී ගොවිතැන පිළිබඳවත්, ධාන්‍ය වර්ග පිළිබඳවත් අපට මේ කෘතියෙන් අවබෝධයක්‌ ලබාගත හැකිය. හාතියල්, හොඩරවාල, හීනටි, ඇල් වැනි වී වර්ග පිළිබඳවද එදා හෙළදිවේ තොරතුරු ඇත. මේ වී වර්ගයන්ට අමතරව ලංකාවේ පලතුරු වර්ග පිළිබඳවද මෙතුළින් අවබෝධයක්‌ ලැබේ. නොක්‌ස්‌ වාර්තා කරන ආකාරයට මෙරට බෞද්ධයන්ගේ ශුද්ධ වෘක්‍ෂය හෙවත් දේව වෘක්‍ෂය වන්නේ බෝගසය. කන්ද උඩරට රාජධානිය තුළ ක්‍රියාත්මක වූ දඬුවම් ක්‍රම, උඩරට රාජධානිය තුළ දක්‌නට ලැබුණ විවාහ ක්‍රම, රජවාසල විත්ති, තානාපතීන් පිළිගන්නා ක්‍රම, රජුගේ බලතල හා කාර්ය භාරයන් මෙරට ජනයාගෙන් අය කරන ලද බදු මෙන්ම රාජකීය ධාන්‍යාගාරය පිළිබඳවද මෙම කෘතියෙන් තොරතුරු ලබා ගත හැකිය. පරිච්ඡේද 34 ක්‌ යටතේ කරුණු දක්‌වා ඇති නොක්‌ස්‌ගේ කෘතියෙන් ඔහු අනුරාධපුරය හරහා මන්නාරමට ගොස්‌ එතනින් කොළඹට ආ හැටිත් කොළඹින් බතාවිය බලා ගොස්‌ එතැනින් එංගලන්තය කරා ගමන් කළ අයුරුත් අපට හඳුනාගත හැකිය.

ආර්. එල්. බ්‍රෝහියර්

ක්‍රි. ව. 1910 වර්ෂයේ සිට 1949 දක්‌වා ලංකාවේ මිනින්දොaරු දෙපාර්තමේන්තුවේ සේවය කළ ආර්. එල්. බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව නම් කෘතිය තුළින්ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා වැදගත් තොරතුරු ප්‍රමාණයක්‌ අපට හඳුනා ගත හැකිය. මේ කෘතිය තුළින් ඉදිරිපත් වන බොහෝ තොරතුරු බ්‍රෝහියර් සියෑසින් දැක වාර්තා කරන ලද ඒවාය. ඔහු, වෙනත් පුද්ගලයන් සාමාන්‍යයෙන් නොයන ලංකාවේ ප්‍රත්‍යන්ත ප්‍රදේශයන් කරා ගමන් කර ඒවායේ දක්‌නට ලැබුණ දේ සියෑසින් දැක ඒ පිළිබඳ තම කෘතියේ වාර්තා කර ඇත්තෙකි.

බ්‍රෝහියර් තම කෘතිය තුළ වාර්තා කිරීමට උත්සාහ දරා ඇත්තේ මෙරට ඉපැරණි ශිෂ්ටාචාරයේ කතාන්තරයයි. එහිදී ඔහු මෙරට වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ පැවත ආ ජනකතා, සම්ප්‍රදායන් ඉදිරිපත් කිරීමට ක්‍රියාකර ඇත. ලංකාවට විජය රජු ඇතුළු පිරිස ගොඩ බැසි ස්‌ථානය පිළිබඳව බ්‍රෝහියර් මහතා තමා ලද අත්දැකීම් සමඟ විස්‌තරයක්‌ ඉදිරිපත් කරයි. විජය ඇතුළු පිරිස ගොඩ බැසි ස්‌ථානය පිළිබඳ අන් ඉතිහාසකරුවන් දක්‌වන අදහස්‌ දක්‌වා දැනට පිළිගන්නා මතය සනාථ කිරීමට මොහු කරුණු ඉදිරිපත් කරයි. බ්‍රෝහියර්ට අනුව විජය ඇතුළු පිරිස ගොඩබැස ඇත්තේ වයඹ දිග වෙරළේ පුත්තලම අසල පිහිටි මඟුල් තොටමුණ නම් ස්‌ථානයටය. මඟුල් තොටමුණ නම් නම එම ස්‌ථානයට ලැබීමට ප්‍රධාන හේතුව ලෙස බ්‍රෝහියර් දක්‌වන්නේ විජය හා කුවේණිය එම ස්‌ථානයේදී විවාහ වූ නිසා බව පවසයි.

කොළඹ පුත්තලම මාර්ගයේ හමුවන උඩප්පු නම් ධීවර ගම්මානයේ සෑම වසරකම පවත්වන උත්සවයක්‌ පිළිබඳවද බ්‍රෝහියර් විස්‌තර කරයි. මෙය හින්දු ආගමේ ශිව භක්‌තිකයන් විසින් පවත්වන්නාවූ උත්සවයකි. ලංකාවේ ජීවත් වූ කාපිරි ජනතාව පිළිබඳ තම කෘතිය තුළ විස්‌තර කිරීමට අමතක නොකිරීමටද බ්‍රෝහියර් මහතා ක්‍රියාකර ඇත. කපිරිඤ්ඤා ගීත පිළිබඳවද අපට මේ කෘතියෙන් හඳුනාගත හැකිය. බ්‍රෝහියර් මහතා තම කෘතිය තුළ පුත්තලම ලුණු ලේවාය පිළිබඳ විස්‌තර කිරීමටද අමතක කර නැත. කල්පිටිය නගරය පිළිබඳවත් එය පෘතුගීසි හා ලන්දේසි බලපෑම්වලට නතුව තිබූ ආකාරය පිළිබඳවත් බ්‍රෝහියර් දක්‌වන විස්‌තරය ඉතා වටින්නේය.

මෙරට සාමාන්‍ය ජනයාගේ ජීවිතය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කර ගැනීමටද අපට බ්‍රෝහියර් මහතා විසින් රචනා කරන ලද බ්‍රෝහියර් හඳුනා ගත් ලංකාව තුළින් හැකියාවක්‌ ලැබේ. ඔවුන්ගේ ජන ජීවිතයේ ප්‍රධාන ජීවනෝපාය වූ වී ගොවිතැන ප්‍රමුඛ කෘෂිකර්මාන්තය, ගැමියන්ගේ සමාජ පදනම වූ ගම, ගම් තුළ ජීවත් වන දරුවන් සිදුකරන ක්‍රීඩා ආදිය පිළිබඳවද බ්‍රෝහියර් මහතා තොරතුරු වාර්තා කරයි. මෙරට සාමාන්‍ය ජනයාගේ පෙර නිමිති හා ඇදහිලි පිළිබඳවද අපට මෙතුළින් අධ්‍යයනය කළ හැකිය. අදටත් මෙරට ජනයා තුළ පවතින හූනු ශාස්‌ත්‍රය පිළිබඳවද බ්‍රෝහියර් මහතා තොරතුරු වාර්තා කර තිබේ. කන්ද උඩරට රාජධානිය පිළිබඳවද බ්‍රෝහියර් මහතා තොරතුරු වාර්තා කරයි. මහනුවර මෙන්ම ගම්පොල නගරයන් පිළිබඳවද ඔහු විස්‌තර වාර්තා කරයි.

ජෝන් ඩොයිලි

ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‌ ලෙස ජෝන් ඩොයිලි හඳුන්වා දිය හැක. ක්‍රි.ව. 1774 දී මහා බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ඩොයිලි ක්‍රි.ව. 1801 දී මාතර ප්‍රදේශයේදී අයකැමි තනතුරට පත්ව ක්‍රි.ව. 1805 දී ලංකා බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තක ලෙස පත්වීම් ලැබීය. තෝමස්‌ මෙට්‌ලන්ඩ් ආණ්‌ඩුකාරයා උඩරට වක්‍රාකාරව යටත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර ගැනීමට යොදා ගත්තේ මේ තරුණ බ්‍රිතාන්‍ය ජාතිකයාය. එතැන් පටන් ඩොයිලි කන්ද උඩරට රජු සමඟත් මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරු සමඟත්, උඩරට රදලයන් සමඟත් විවිධ ස්‌වරූපයේ සබඳතා පැවැත්වූහ. ඒවායේ අවසන් ප්‍රතිඵලය වූයේ ක්‍රි.ව. 1815 දී කන්ද උඩරට බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතට පත්වීමයි.

ජෝන් ඩොයිලි මෙරට ජීවිතය ගත කරන සමයේ ඔහු ලැබූ අත්දැකීම් සටහන් කර තබන්නට අමතක කර නැත. ඒවා ආශ්‍රය කරගෙන පසු කාලීන වැදගත් කෘති දෙකක්‌ සම්පාදනය විය. ඉන් එකක්‌ සිංහලේ ආණ්‌ඩුක්‍රමයයි. අනෙක ඩොයිලිගේ දිනපොතයි. මේ කෘති දෙකෙන් වඩාත් වැදගත් වන්නේ සිංහලේ ආණ්‌ඩුක්‍රමයයි. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා විසින් සංස්‌කරණය කරන ලද ඇල්ලේපොල එච්. එම්. සෝමරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද සිංහලේ ආණ්‌ඩුක්‍රමය දැනට අප අතර ඇති වඩාත් දුර්ලභ ග්‍රන්ථයක්‌ වේ.

මේ මාහැඟි කෘතිය අරඹන්නේම මෙරට දේශපාලනයේ ප්‍රධානම සංස්‌ථාව නාමයෙනි.

"මහ රජුගේ බලය අතිශ්‍රේෂ්ඨය, අසීමිතය" යනුවෙන් කෘතිය ආරම්භ කරයි. මේ කෘතිය තුළින් කන්ද උඩරට ක්‍රියාත්මක වූ රාජාණ්‌ඩු ක්‍රම, රජු පිළිබඳ මෙන්ම ඔහුගේ නිලධාරි යාන්ත්‍රණය පිළිබඳවද තොරතුරු හඳුනා ගත හැකිය. උඩරට රාජ්‍ය තුළ ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙදීම් පිළිබඳව ඩොයිලි වාර්තා කර ඇත. උඩරට රාජ්‍යය තුළ ජීවත් වූ විවිධ ජන කොටස්‌ පිළිබඳවද අපට මේ කෘතිය තුළින් කරුණු හඳුනාගත හැක්‌කේය. මහනුවර යුගයේ ක්‍රියාත්මක වූ බද්ද සංවිධානය පිළිබඳවද ඩොයිලි සඳහන් කරයි. කොට්‌ටල් බද්ද, බඩහැල බද්ද, රදා බද්ද, හද බද්ද, කුරුවේ බද්ද, මෙන්ම මඩිගේ බද්ද පිළිබඳවද සිංහලේ ආණ්‌ඩුක්‍රමයේ සඳහන් වේ.

උඩරට රාජධානිය තුළ ක්‍රියාත්මක වූ අධිකරණ පද්ධතිය හෙවත් මහනඩුව පිළිබඳවද මේ කෘතියේ තොරතුරු ඇතුළත්ය. මහනුවර රාජධානිය තුළ ක්‍රියාත්මක වූ අදිකාරම්, දිසාවේ ලේකම්ලා, රටේ මහත්තයා වැනි නිලධාරීන්ට හිමිව තිබූ අධිකරණ බලතල පිළිබඳවද අපට මෙතුළින් අධ්‍යයනය කළ හැකිය. මහනුවර යුගය තුළ ක්‍රියාත්මක වූ සිරිත් විරිත් අපරාධ හා ඒවාට දුන් දඬුවම්, ඉඩම් භුක්‌ති ක්‍රමය, ණය හා ගිවිසුම්, ඔප්පු තිරප්පු ආදිය පිළිබඳවද අපට මේ කෘතියෙන් හඳුනාගත හැකිය. මහනුවර යුගය තුළ දක්‌නට ලැබුණ විවාහ ක්‍රමය, වහල් මෙහෙය මෙන්ම මෙම රාජධානිය තුළ දක්‌නට ලැබුණ කුල ක්‍රමය පිළිබඳවද මේ කෘතියේ තොරතුරු ඇතුළත්ය.

මේ පුද්ගලයන්ට අමතරව ජෝන් ෆයිබස්‌, තෝමස්‌ ස්‌කිනර්, විලියම් ෙෆdaබර්ස්‌, එමර්සන් ටෙනන්ට්‌, ලෙනාඩ් වුල්ෆ් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන්ද අප රට පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත්තේය. මොවුන් අතරින් වසර 50 ක්‌ පමණ මෙරට මහා මාර්ග ඉදි කිරීමේ කටයුතුවල නිරතව සිටි තෝමස්‌ ස්‌කිනර්ගේ ලංකාවේ පනස්‌ වසරක්‌ කෘතියද ඉතා වැදගත් නිර්මාණයක්‌ ලෙස පෙන්වාදිය හැකිය.


සුජීව දිසානායක
රතනසෙල මහ පිරිවෙන රත්මලේ, ඊතණවත්ත


උපුටා ගන්නා ලද්දේ දිවයින බදාදා අතිරේකයෙනි.......

http://www.divaina.com/2013/06/26/badada02.html