Friday, November 19, 2021

මහායානික සාධක ශේෂ වූ විජයාරාමය


අනුරාධපුර අභයගිරිය විහාර සීමාවේ සිට උතුරු දෙසට සැතපුම් එකහමාරක් පමණ දුරකින් පිහිටා ඇති විජයාරාමය අක්කර 23 ක භූමි ප්‍රමාණයකින් යුක්තය. අශෝකාරාමය, විජයාරාම හා පෙරිමියම්කුලම් ගම්මාන වලින් වටවුණු මේ ඓතිහාසික භූමිය ඉතා මනස්කාන්ත පරිසරයකට උරුමකම් කියයි.

1884 දී එවකට උතුරු මැද පළාතේ රජයේ ඒජන්ත ලෙස කටයුතු කළ ආර්. ඩබ්ලිව්. අයිවර්ස්ගේ දින පොතෙහි වූ සටහන, විජයාරාමය පිළිබඳ මෑතකාලයේ දී ප්‍රථමයෙන් ම කරුණු දක්වා ඇති ලියවිල්ල බවට සාධක සපයයි. ඔහු සටහන් කරන පරිදි නොවැම්බර් 14 වන දින එස්. එම්. බරෝස් සමඟ තමා ජේතවනයට (වර්තමානයේ අභයගිරිය) උතුරින් කැලය මැද පිහිටි නටබුන් බැලීමට ගිය අතර එවකට විජයපුර යනුවෙන් හැඳින්වූ එහි නියම නාමය හඳුනා ගැනීමට නොහැකි වූ බැවින් විජයාරාමය ලෙස ඔහු එය දැක් වූ බවත්ය. එමෙන්ම අයිවර්ස්ගෙ සටහන් හි දැක්වෙන්නේ නටබුන් කැලයෙන් වැසී තිබුණු අතර ගොඩනැගිලි, ගස්වල මුල් නිසා හානි පැමිණ තිබූ බවත්, නටබුන් පාසි (ලයිකන) වලින් බැඳී ඇති ගලින් යුක්ත වූ බවත් ය. ඒ වන විටත් දාගැබ නිදන් හොරුන් විසින් පතුළටම හාරා තිබූණු බවත් පොකුණු දෙකක් පිහිටි අතර ඉන් එක් පොකුණක ජලය පිරී තිබුණත් අනෙකෙහි ජලය නොමැති වූ බව ද දක්වා ඇත. එමෙන්ම පොකුණ වටකර බඳින ලද ගල් හෝ ගඩොල් බැමි සම්බන්ධ තොරතුරු ද එම සටහනේ අන්තර්ගතය. එමෙන්ම එස්.එම්. බරෝස් ද දක්වා ඇත්තේ ගලින් කළ හතරැස් පදනමක් මත දාගැබ ගඩොලින් බැඳ තිබූ බවය. එසේම සෘජුකෝණාස්රාකාර වූ විශාල ගොඩනැගිල්ල ආරාමයක් විය හැකිය යන්න ඔහුගේ අදහසයි.

මෙරට ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ එච්. සී. පී. බෙල් 1891 දි විජයාරාමයේ ගවේෂණයක් සිදුකොට එහි සංක්ෂිප්ත වාර්තාවක් 1891 හා 1893 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇත. එම වාර්තාවේ මුරගේ, පන්සල, ජන්තාඝරය, දකුණු දොරටුව, පූජනීය භූමිය, දාගැබ, විහාරගේ හා විවිධ ශාලා ගැන කෙටියෙන් සඳහන්ව ඇති අතරම අඩි හයක් පමණ උසට ස්තූපය පසින් වැසී තිබූ බැවින් එහි පස් ඉවත් කොට කැණීමක් කළ බව ද සඳහන් කර ඇත. එහෙත් ඔහුගේ වාර්තාවේ පැවසෙන ගල් කණු හා ජන්තාඝර වල බැඳ තිබු බිත්ති වර්තමානයේ දකින්නට නැති වීම ඉතා කනගාටුදායකය.

විජයාරාම ස්තූපය ගොඩනැංවීමට භාවිතා කළ ඇතැම් ගල්, අනුරාධපුර මුල් යුගයේ නිර්මාණ සඳහා යොදාගත් ස්ඵටික හුණුගල්වන අතර ස්තූපයේ ඉතිරිය තැනීමට කළු ගල් ද භාවිත කොට ඇතැයි යන්න සඳහන්ය. මහාචාර්ය නන්දසේන මුදියන්සේ මෙම ස්තූපයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව හා ස්තූප ගර්භයේ සුන්බුන් අතරින් හමු වූ තඹ තහඩුවල අන්තර්ගත කරුණු මගින් පවසන්නේ මෙය මහායාන නෂ්ටාවශේෂ සේ සැලකෙන බවත්ය.

ස්තූපයේ තාක්ෂණය පිළිබඳව සෙනරත් පරණවිතානයන් ගේ අදහස වූයේ විජයාරාම ස්තූප සැලැස්මට මිහින්තලේ ඉදිකටු සෑයෙ සැලැස්ම සමාන බවකි. එහෙත් ස්තූපයට පිවිසීම සඳහා විජයාරාමයේ සතර දිශානුගතව පියගැට පෙළ හතරක් දක්නට ඇතිමුත් ඉදිකටු සෑයේ දක්නට ලැබෙන්නේ එක් පියගැට පෙළක් පමණි. ආචාර්ය රෝලන්ඩ් සිල්වා ගෙ අදහස වූයේ විජයාරාමය පද්මාකාර ස්තූපයක් යන්නය.

විහාර සම්ප්‍රදාය අනුව අනුරාධපුරයේ පිහිටි පුරාණ විහාර වර්ග කොට ඇති අතර ඒවා මහා විහාර, පබ්බත විහාර (පංචාවාස) හා පධානඝර (පියන්ගල් විහාර) යනුවෙන් දක්වා ඇත. සමස්ත ආරාම භූමියම දිය අගලකින් වට වී තිබීම පධානඝරවල ප්‍රධාන ලක්ෂණයකි. පබ්බත විහාර සම්ප්‍රදාය මහායාන බුද්ධාගමේ බලපෑම මත නිර්මාණය වූ ඒවා සේ සැලකේ.

මහායාන බලපෑමක් මෙම විහාරවලට තිබූ බවට සනාථ කළ හැකි සාධක කිහිපයකි. ඒ අනුව අභයගිරිය ද මහායානය පිළිගත් ආයතනයක් විය. එමෙන්ම පුබ්බාරාමය (පුලියන්කුලම) විහාර භූමියේ ද මහායාන පිළිගැනීමක් වූ “ධර්ම ධාතු” තැන්පත් කර ඇති අතර ඒ පිළිබඳව හමු වූ ශිලා ලිපියක “දහම්දා” යනුවෙන් සඳහන්ව තිබීමෙනුත් එය තව දුරටත් තහවුරු වේ.

මෙම විහාරවල බිම් සැලසුම් පිරික්සීමේ දී ඒ සියල්ල ක්රි.ව. 7-10 සියවස් අතර කාලයේ දී සංවර්ධනය වූ බව පැහැදැලි වන අතර මංජු ශ්‍රී වාස්තුවිද්‍යා ශාස්ත්‍ර ග්‍රන්ථයේ (ක්රි.ව. 5-7 දි රචනාවන්නට ඇතැයි සැලකේ) පබ්බත විහාර නිර්මාණය පිළිබඳ කරුණු අන්තර්ගත කොට ඇත. එහි පබ්බත විහාර නිර්මාණයේ දී විහාර භූමිය වාස්තු දේවතාවුන් අනුව පීඨ හා උප පීඨවලට බෙදීමත් ඒ ඒ ස්ථානවල තැන්පත් කළ යුතු හෝ නිදන් කළ යුතු වස්තූන් අතර ධර්මය ලියූ පත් ඉරු (ධර්ම ධාතු) තැන්පත් කිරීම සම්බන්ධව ද විස්තර කර තිබේ. එසේ තැන්පත් කළ බවට සාක්ෂි ලෙස පබ්බත විහාරයක් වන විජයාරාම ස්තූපය කැණීමේ දී එහි නිදන් කර තිබූ මහායානික ධාරණි ලියූ තඹපත් 13 ක් හමුවීම දැක්විය හැකිය. මෙම තඹ පත්වල මහායාන දේවතාවන්ට කළ යාතිකා පිළිබඳව සටහන්ව ඇත.

දිගින් අඟල් දෙකහමාරක් හා පළලින් අඟල් එකයි කාලක් පමණ වූ මහායාන සූත්‍ර පාඨ ලියූ තඹපතක් 2015 වසරේ දී විජයාරාමය ස්තූපය අසල පස් අතර තිබී හමු විය. මීට පෙර එච්.සී.පී. බෙල් ගේ කාලවකවානුවේදී ද මෙම භූමියෙන් සොයාගත් තඹපත් ඉරුවල සඳහන්ව තිබූ තොරතුරු වලට මෙම තඹපතේ ඇති තොරතුරු සැසදෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංගගේ අදහසයි. නිදන් හොරු විසින් ස්තූපය හාරා ඉවත් කරන ලද පස් අතර තිබී එච්. සී. පී. බෙල්ට එම තඹ පත් ලැබුණු බව සඳහන් වන අතර මෙවර ද තඹපත් ලැබී තිබුණේ එසේ ගොඩගසා තිබුණු පස් අතරිනි.

එමෙන්ම හෝර්කාට් විසින් ඉදිකටු සෑය සංරක්ෂණය කිරීම සඳහා කළ කැණීමේ දී, එච්.සී.පී. බෙල් (1891 -1893 කාලයේ දී) විජයාරාම ස්තූපයේ පස් ගොඩැලි අතර තිබී සොයා ගත් මහායාන සූත්‍ර ලියූ තඹ තහඩුවලට සමාන වූ තඹ පත්‍ර 91 ක් සොයාගත් බව සඳහන්ය. මෙම සියලු තඹ පත්‍රවල සටහන්ව ඇත්තේ සිංහල අක්ෂර වීම විශේෂිතය. සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙනුයේ ඉදිකටු සෑයේ තඹපත් වල අක්ෂර ක්‍රි.ව. 8-9 ට අයත් වූ අතර විජයාරාමයෙන් හමු වූ තඹපත් අක්ෂර ද ඊට සමාන බැවින් එම කාල වකවානුවටම අයත් වන්නට ඇති බවයි. විවිධ බෝධි සත්ත්වරුන්ගේ නම් ඉදිකටු සෑයෙන් හමු වූ තඹ පත් වල ලියා තිබෙන බැවින් බෝධි සත්ත්වයින් උදෙසා නොයෙක් පුදදපූජා කිරීමට ඉහත ස්තූප යොදා ගන්නට ඇතැයි යන්න අදහස් වේ.

මහායානික බලපෑම පිළිබඳ තවත් සාධකයක් ලෙස විජයාරාම විහාරයේ ශාලාව නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ බිත්ති මුහුණතෙහි ඇති ශිලා පුවරුවල නිරූපිත අවලෝකිතේෂ්වර බෝසතුන් හා තාරා දෙවඟනගේ රූප කැටයම් දැක්විය හැකිය.

විජයාරාමයෙන් හමු වූ තඹපත් ඉරුවල සටහන් වූ ලේඛන අනුව වජ්‍රයානය පිළිගත් මහායාන භික්ෂු ආරාමයක් ලෙස මෙම ආරාමය තහවුරු වේ.

වජ්‍රයාන හා තන්ත්‍රයාන යනු මහායානයේ ම ශාඛා දෙකකි. මහායානයට තාන්ත්‍රික අදහස් මිශ්‍ර වීමෙන් වජ්‍රයානය හා තන්ත්‍රයාන බිහි වී ඇත. වජ්‍රයානිකයන්, ථෙරවාදි භික්ෂුන් අනුගමනය කළ භාවනාවට වඩා පුද පූජා හා මන්ත්‍ර සජ්ඣායනා කරමින් විමුක්තිය ලබාගත හැකිය යන අරමුණෙන් ක්‍රියා කරන්නට විය.

අභයගිරිය ස්තූප ගර්භයේ අඩි අනූවකට පමණ ඉහළ ස්ථානයක තැන්පත් කර තිබූ මහායාන ධාරණී මන්ත්‍රයක් සටහන් කරන ලද ගල් පුවරුවක් 2011 දි හමු වූ අතර එය ක්‍රි.ව. 7 සියවස නියෝජනය කරන නාගරී හා ටිබෙට් ත්‍රිකා අක්ෂර වලින් සමන්විත බවත් එය වජ්‍රයානයට අයත් යැයි ද ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන අධ්‍යක්ෂ පවසයි.

මෙහි කිහිප තැනකම වජ්‍රයාන යන වචනය ලියා ඇති බැවින් විජයාරාමය, වජ්‍රයානයට අයත් යැයි සැලකිය හැකිය යන්න මහාචාර්ය ටී. ජී. කුලතුංගගේ අදහසයි. නැගෙනහිර ඉන්දියාවේ වජ්‍රයාන භික්ෂූන් අභයගිරිය හා සම්බන්ධතා පැවැත් වූ බවට ක්රි.ව. 8-9 කාල වලට අයත්ව සාධක ලැබේ. මීට අමතරව අභයගිරි ස්තූප ගර්භයේ තැන්පත් කර තිබූ අවලෝකිතේශ්වර ප්‍රතිමා හා මහායාන කැටයම් ඵලක සොයාගන්නට හැකි විය. උත්තර භාරතීය සම්ප්‍රදායට මෙම නිර්මාණ අයත් යැයි සඳහන්ය.

අභයගිරියේ මෑතක කළ කැණීම් වලදී ලෝකඩ වජ්‍රයක් සොයා ගන්නට හැකි විය. එසේම අභයගිරියෙන් හමු වූ ශිලා ලිපි බොහොමයක මහායානයේ වැදගත් කොට සලකන බුදුබව පැතීම සම්බන්ධව කරුණු අන්තර්ගත වන අතර අභයගිරි නිසවත්ත ශිලා ලිපියෙන් ඒ බැව් සනාථ වේ. එච්. සී. පී. බෙල්ගේ අධීක්ෂණය යටතේ ආචාර්ය ඩී. එම්. ඉසෙඩ් වික්‍රමසිංහ විසින් විජයාරාමයේ කළ කැණීම් වලදී සත්ත්ව රූප සතරක් සොයා ගත් අතර එම රූප සතරවරම් දෙවිවරුන් සමඟ ගොඩනැගිල්ලේ සතර දිගින් පිහිටි ද්වාර මණ්ඩපයක් යට ගිලී තිබූ ගර්බයක් තුළ තැන්පත් කර තිබූණු බව සඳහන්ය. එම සත්ත්ව හා දේව රූප පිහිටුවා තිබුණේ උතුරට සිංහ රූපය හා කුවේරත්, නැගෙනහිරට හස්ති රූපය හා ඉන්ද්‍රත්, දකුණට අශ්ව රූපය හා යමත්, බටහිරට වෘෂභ රූපය හා වරුණත් යනාදි වශයෙනි. මෙම දේව රූප වලින් ඉන්ද්‍ර (ධෘතරාෂ්ට්‍ර) අත වජ්‍රය ද කුවේර (වෛශ්‍රවණ) අත ගදාව ද යම (විරූඪ) අත මුගුර ද වරුණ (විරූපාක්ෂ) අත තොණ්ඩුව ද ලෙසින් නිරූපණය කොට ඇත.

ක්‍රි.ව. 740 දී චීන වාර්තා වල දැක්වෙන පරිදි වජ්‍රයානික ආචාර්යවරයෙක් වූ වජ්‍රබෝධි භික්ෂුව තම ශිෂ්‍ය අමෝසවජ්‍ර සමඟ ලංකාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදා ගත් බවත් ඔවුන්ට සමන්තබද්‍ර නම් වජ්‍රයානික භික්ෂුව හමූ වූ බවත් සඳහන්ය. එසේම වජ්‍රබෝධි හා අසෝමවජ්‍ර භික්ෂූන් සිය ධර්මය මෙරට ප්‍රචාරය කළ අතර සමන්තබද්‍ර භික්ෂුව සතුව වජ්‍රයානික සූත්‍ර 500 ක් තිබූ බව ද දැක්වේ.

ඉහත කී වජ්‍රයානික භික්ෂුවගේ සම්බන්ධය අභයගිරිය සමඟ තිබෙන්නට ඇතැයි යන්න විශ්වාස කෙරෙන්නේ දළදා වහන්සේගේ භාරකාරත්වය අභයගිරිය සතුව පැවති බැවිණි.

එමෙන්ම වජ්‍රයානික හා අභයගිරිය භික්ෂූන් අතර පැවති සබඳතාව තහවුරු කරන තවත් අවස්ථාවක් ලෙස දෙවන සේන සමයේ (ක්‍රි.ව.853) වජ්‍රයාන ආචාර්යවරයකු වූ නැගෙනහිර ඉන්දියාවේ විසූ සෝමපූරි විහාරයේ අධිපති රත්නාකරශාන්ති හිමි මහායාන ග්‍රන්ථ 200 ක් රැගෙන සේන රජුගේ දූතයකු සමඟ මෙරට ට පැමිණීම දැක්විය හැකිය. එසේ පැමිණි උන් වහන්සේ වසර හතක් මෙහි වැඩ සිට ධර්මය දේශනා කළ බවත් උන්වහන්සේ යළි ඉන්දියාවට වඩින විට එම ධර්මය පිළිගත් භික්ෂූන් 500 ක් මෙහි සිටි බවත් සඳහන්ය.

විජයාරාමයේ පිහිටි නටබුන් අතර ප්‍රමුඛස්ථානයක් ජන්තාඝරය ට හිමි වේ. විනය පිටකයේ දැක්වෙන්නේ එය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයක් ලෙසිනි. ස්ථූල භික්ෂූන්ගේ ශරීර සෞඛ්‍ය උදෙසා මෙම ක්‍රමය විශේෂයෙන්ම අනුගමනය කර ඇත. 12 වෙනි සියවසේ රචිත අභිධානප්පදීපිකාවේ අග්ගිසාලා ලෙස ද මංජු ශ්‍රී වාස්තුවිද්‍යා ශාස්ත්‍රයේ වාරිශාලා ලෙස ද පාලි බෝධි වංශයේ ජන්තාඝර ලෙස ද සමන්තපාසාදිකාවේ ගිනිහල්ගෙය ලෙස ද මෙය හඳුන්වා ඇත. ජන්තාඝරය තුළ ලිප ගිනි මොළවා ශරීරය උණඅුසුම් කොට දහඩිය පිට කිරීමෙන් පසු මැටි වර්ග හා විවිධ ශාකමය ඖෂධ වර්ග ඇඟ ගල්වා උණු දිය ස්නානය කිරීම මෙහිදී සිදු කරනු ලැබූ බව ඉහත ග්‍රන්ථවල දක්වා ඇත.

විජයාරාමයේ විවිධ ඉදිකිරීම් සඳහා නයිස් සහ ස්ඵටික හුණුගල් බහුල ලෙස යොදා ගෙන ඇති අතර ගොඩනැගිලිවල මුරගල් වලට Quartzo feldspathic Gneiss පාෂාණ ද ගල් කණු වලට නයිස් පාෂාණ ද උපයෝගිකොට ගෙන ඇත. බුදු පිළිම නිර්මාණය සඳහා Cristalline Limestone යන පාෂාණ වර්ගය භාවිත කොට ඇති බව පෙනේ.


සිළුමිණ
2020 ජූලි 05
රුක්ෂිලා වෙත්තමුණි
 

1 comment:

  1. ගොඩාාක් ස්තූතියි මේ විස්තරයට

    ReplyDelete