Thursday, December 15, 2016

ජීවිතේ තවත් එක් දවසක් - 01



කියවීමට මිනිසා හුරුකළ මහගෙදරට ඒ කියන්නේ පිටකොටුවෙ එම්.ඩී. ගුණසේන සහ සමාගමට අද මං ගොඩ වුණේ මගෙ පශ්චාත් උපාධි අධ්‍යන කටයුතු සඳහා අතවශ්‍ය පොත් කිහිපයක් ගන්න කියලා හිතාගෙනයි.

රත්තරං බඩු කඩයකට හිස පොවන්නවත් අකමැති මං පොත් සාප්පුවකට රිංගන්නනම් බොහෝම කැමතියි.
පිටකොටුව, ගුණසේන සහ සමාගම කියන්නෙ මගෙ ළමා කාලය තුළ ඉතා සුන්දර අතීතයක් එක්කල ස්ථානයක්.
අපි පුංචි කාලේ පාසලට අවශ්‍ය සියලුම පොත් පත් ගන්න ගියෙ එහෙටයි. මගෙ අක්කලා දෙන්නටයි අයියටයි මටයි. තාත්තා පොත් ගේන්න යන දවසට මාත් කොහොම හරි තාත්තගෙ අතේ එල්ලිලා යනවා. අලුත් පොත්වල සුවඳ විඳින්න මං එදා වගේම අදත් මනාපයි.
තාත්තා අපි හතර දෙනාට අවශ්‍ය පොත්, පෑන්, පැන්සල්, පොත් කවර ඔය වගේ ගොඩාක් දේවල් ගද්දි කොහොමත් පැයක් දෙකක් ගත වෙනවා. ඒ වෙලාවට මං කරන්නෙ ළමා කතන්දර පොත් ගොන්නක අතරමං වෙන එකයි. කොහොම හරි පොත් 6 ක් 7 ක් කියවනවා. ඊට පස්සෙ කියවන්න ආස හිතුණු පොත් කිහිපයක් උස්සගෙන ඇවිත් තාත්ගෙ බිලට එකතුකර ගන්නවා කොහොම හරි. ඇත්තටම මට කියවන්න හුරු කළේ මගෙ ආදරණීය තාත්තා.
අද ආයෙමත් මං ඒ සුන්දර අතීතයට ගියා. කාලය බොහෝ වෙනස් වෙලා. මං වැඩිහිටි අවදියට අවතීර්ණ වෙලා. ඒත් ළමා කතන්දර පොත් දකිද්දි ඉස්සර වගේම ආයෙත් කියවන්න ආස හිතුණා. මං ඒ සුන්දර අතීතයත් එක්ක පොත් කිහිපයක් පෙරලලා බැලුවෙ පුංචි දරුවෙක් වගෙයි.
ගන්න හිතාගෙන ගිය කිසිම පොතක් මට හොයා ගන්න නම් බැරි වුණා. ඒත් පොත් එක්ක පැය දෙකක් විතර ගත කරලා අන්තිමට කියවන්න ඕන කියලා හිතුණු පොත් 4 ක් අර ගත්තා. 'සාර භූමි' බොහෝම ඉස්සර දහ දොලොස් වතාවක් කියවල තිබ්බත් අද ආයෙ ආස හිතුණා ඒ පොත සල්ලි දීලා ගන්න. ඒ පොත පුරා ඉන්න දිරිය ගැහැනිය 'ඕලෑං' ට මං හරිම ආදරෙයි.
මගෙ ජීවිත කාලය තුළදි සිදුවුණු විවිධ හැලහැප්පීම් එක්ක බලද්දි මටත් 'ඕලෑං' කෙනෙක් වගෙ ශක්තිමත් වෙන්න ඕනෙ.
පොත් අතර අතරමං වුණාම කාලය ගෙවෙන්නෙ ඉතාම වේගයෙන්. පොත් සාප්පුව වහන්න ආසන්න වුණාම තමයි මං දැන ගත්තෙ රාත්‍රී 7 ත් පහු වෙලා කියල. පොත් කියන්නෙ මගෙ කලණ මිතුරෝ. කිසිම දාක මාව අත් හැරලා නොයන මං බොහෝ සෙයින් පෙම් බඳින සුමිතුරෝ.
පොත් සාප්පුවක වැඩ කරන්න තියෙනවා නම් කියල හිතෙනවා වෙලාවකට. කවදා හරි දවසක පොත් සාප්පුවක හිමිකාරියක් වීම මගෙ හීනයක්. අපි උත්සාහ කළොත් මොනවද කරන්න බැරි ඇත්තටම. හීනය අනාගතයට බාර දීලා මං පොත් ගොන්නෙන් එළියට ආවෙ හුදකලා වෙච්චි මගෙ නවාතැනට යන්න බස් එකට නගින්නයි.
පිටකොටුවෙ දහසක් මිනිස්සු අතර මං තනිවෙලා නේද කියලයි හිතුණෙ. ජීවිතය කියන්නෙ ඇත්තටම හිස් සුදු කඩදාසියක්. ඒ කඩදාසියෙ විවිධ රටා මවා ගන්නෙත් අපිමයි. ඒ රටා විකෘති කර ගන්නෙත් අපිමයි. ජීවිතේ විවිධ අවස්ථා වලදී අපි දුරදිග නොහිතා ගන්න තීරණ වලින් සුදු හිස් කඩදාසිය අපවිත්‍ර වෙනවා. ඒ අපවිත්‍ර වුණු කඩදාසිය ආයෙමත් පවිත්‍ර කර ගන්න ඕනෙත් අපිමයි.
ජීවිතේ තවත් එක් දවසකින් ආයෙ මුණ ගැහෙමු...

- රුක්ෂිලා වෙත්තමුණි - 
2016 දෙසැම්බර් මස 14