Monday, August 15, 2011

මතකයන්

හැරී බැලුමුත්
යළි යළිත්
වෙරළේ තැබු
බර අඩි මගේ
ගසාගෙන ගොස්
යෝධ රැළවිත්
සලකුණක්වත්
ඉතිරි නොකොටම

Monday, August 8, 2011

විඳීම

සෙමින් සෙමින්
හද කිති කවමින්

ටික ටික
මා හද කොනිත්තමින්

සැරෙන් සැරේ ඇන
උල් කටුවෙන්

කෑලි කපන
හද අතීත මන්දිර

ආදරයේ වෙනස

ගැඹුරු ගං දිය
පත්ල සිඹ ගත්
ඔරු කඳකි
ඔහු පිදු
ආදරේ

 අඳුර රජයන
පාළු කුටියකි
හැරදමා ගිය
ආදරේ

වැරදීමක්

ඔහු
ආදරය කරන්න
පටන් අරං
හදවතේ
ගැඹුරුම තැනින්
මට නෙමේ
මගේ විෂයට

සුසුම්

සට සට ගා
වහලෙන්
ඇද වැටෙන
වැහි බිඳු වගේ
සොවින් බර වූ
දෙනෙතින්
කඩා වැටෙන
කඳුළු

ඉරණම

තනිකම දැනේ
වෙනදාටත් වැඩියෙන්
හදවත ගැහේ
රිද්මය දෙපලු කරං

අහිමි පෙම

කාලය ඇවිත්
ඔබ මා හට අහිමි කළත්

දෝර ගලයි සෙනෙහස
හද විවිර කරන්

නොසිතූ කෙනෙකු හා
දීගෙක යන්න ගියත්

තරහක් නැහැ ප්‍රියේ සත්තයි
මම පතමි පැතුම්

Saturday, August 6, 2011

අපේක්ෂාව

මග බලා සිටියමුත්
දකින තෙක් ඔ‍බේ රුව
මිරිඟුවක් පසු පසම
හඹා යන බව දනිමි

ආදරයේ මුතු වැස්ස
අනෝරාවක්ව ගොස්
දෙගොඩතලා ඉතිරීම
හීනයක් බව දැනිණි

යථාර්තය

හැමෝම
සතුටින් තියන්න
උන්ගේ කඳුළු බීපු
මං

මදය හූරාගෙන
විසි කරපු
මුරුංගා පොත්තක් වගේ
දැන්

වෑයම

සිඳී ගිය
තටු සඟළ
පියාඹන්ට
නොහැකිව

කඩියෙක්ට
ගොදුරක්ව
පණ අදින
මෙරුවෙක්

සොඳුරු පෙම

සඳට මං පෙම් බැන්ඳට
හිරු තරහා වුනේ නැහැ
තරු එළියට ලොබ වුනත්
අයිති කර ගත්තේ නැහැ

රිදීවන් රේඛාව අහස් කුස සිම්ඹාට
මේඝ දූතයන් ඇවිත් ගෝරනාඩු කෙරුවාට
කළුවර දෙනෙත් හිමි නිශා කුමරී ළඟට
දිව ගිහින් හිමි සඳුනි ඔබේ රැස් දුන්නාට

සඳ එළිය රෑ පුරා විහිදුවා හතිලන්න
අඳුර ඇති හැම තැනම අලු කරවාලන්න
සොමි ගුණය උතුරුවා හදවත් සනසන්න
ඔබ උතුම් හිමිය මගේ සදා ළංවී සිටින

පරාජය

මං උත්සාහයෙන්
සිතුවමක් ඇන්දාම
ඔයා ඒක බොඳ කළා

මං ආයාසයෙන්
කවියක් ලියද්දී
ඔයා ඒ පද විකෘති කළා

මං ආදරය කරන්න පටන් ගද්දි
ඔයා මට අවසාන තිත තිබ්බා

දැන් මට ඉතිරි බොඳ වෙච්ච
අතීත සේයාරුවක් විතරමයි

පෙම් - බෝ පත්

ඉඳහිට හමන
මන්ද මාරුතයෙන්
අපේ පෙම් පිටු
පෙරළී පෙරළී
මට ඔච්චම් කරයි

අ‍තොරක් නැතිව
සර සර ගාමින්
සැලෙන බෝ පත්
දිවියේ අරුත
පසක් කරයි

ආයාචනය

කාන්තිමත් සඳ මඩල
ඔබ ඔතැනම ඉන්න
කපනතුරු පමණක්
මම මේ පුහුල

සඟවා ගන්න
උඹේ ඔය සඳ කිරණ
කැපූ පසු පුහුල
කැමති නම් ආපසු එන්න
මා පුහුල් හොරා වග
කාටවත් නොකියන්න

බැල්ම

හද අරක් ගත්
බහිරවයෙක්
යන්නෙම නැති හැඩයි
පිදේනි දෙන තෙක්ම

අනේ බහිරවය
උඹ දැන් නටබුන්ය
හැර දමා යන්න
රකින්නට නම්
නිධානයක් නැත

අවසරයි

නිල් ගගන සුදු සේලේ
මත වෙළී පාවෙන්න
බැඳි පෙම් හුය ලිහා
නොතැවෙන්න මේ දුකින්

ඔබ ගන්න ඔබේ සිහින
මට දෙන්න අතීතය
පාට තැවරූ දේදුන්න
මට අයිති නැතිද දැන්

නෙතට ඉණු කඳුළු ගඟ
ආපසු හරවා ගන්න
අවසරයි අවසරයි ඔබට
මිදී යන්නට මගෙන්

හැඟුම්

හිරු ගියත් අවරටම
සඳ නැගෙයි එළිය දී

නුඹ ගියත් දුර ඈත
ඔබේ සිහින මටම දී

සිතුම්

එළිය ඇති
හැම මොහොතකම
අඳුරේ
ගුලි වෙන්න
හීන දකින
අතීතය

සුසුමක්

හැරී බැලි මුත්
යළි යළිත්
වෙරළේ තැබු
බර අඩි මගේ
ගසා ගෙන ගොස්
යෝධ රැළවිත්
සලකුණක්වත්
ඉතිරි නොකොටම

අතීතය

සීතල ඇවිත්
අනිනවා
සැරෙන් සැරේ
අතීත සිතුවිල්ලට
හිරි වැටෙන්න
මුළු හිතම

දිනිතිය

රාත්‍රිය
සඳරැස් සේලයෙන් සැරසී
පිනිබර වන මල් සුවඳ
ගත තවරා
තාරකා මාලා
ගෙල පළදා
සුරඟනකගේ වෙසින්
මා සිත් වෙළාගත්
රුවැත්තිය ඇයයි

අසම්මත පෙම

අමාවක රැය
සඳ නිදන කල
උයන්පල්ලා
හාද කොට ගෙන
අසම්මත මල්
නෙළා ගන්නට
වැටත් බිඳගෙන
වෙර යොදා ගෙන
ගියේ මන් දැයි
කියන් මට සකි

මිලින හද විල

නුඹ ගෙනා වසන්තය
හදවත් විලෙහි සරුවට
පිපුණා සෙනෙහස් මල්
දෝර ගලමින් ආදරය

හදෙහි තෙතමනයක් නැති වග
දැන ගත්තා මං සැනින්
හද විලෙහි පිපි ආදර මල්
තලා පොඩිකර පලා ගිය විට

ආදර හැඟීම...........


ඔයා විසි කරප
කදුළු කැටේට 
මගේ ඔළුව
හත් කඩකට පැලුණා



Friday, August 5, 2011

ආවර්ජනය........


හිමින් හිමින් වැස්ස වැටෙද්දි සැණින් අතීතයට දිව ගියා හිත....
මාව ඒ සුන්දරත්වයට ආයෙමත් ඇබ්බැහි වුණා ....
වැස්ස කියන්නේ පුංචි කාලයේදී කෙතරම් සුන්දර අවස්ථාවක්ද...
වැහි බිඳු වැටෙන්න පටන් ගන්න කොටම 
පරණ පොත්වල කොළ බරස් ගගා ඉරාගෙන'විත් තරඟයට කඩදාසි බෝට්ටු හදපු කාලය මතක් වුණා
අක්කලා දෙන්නයි අයියගෙයි සෙනෙහෙට මැදි වෙලා හැදිව්ව මට ඒ අතීතය නම් හරිම සුන්දරයි...
ඒ සුන්දර අතීතයේ අපි අතරමංවෙලා අසරණ වෙලා දැන්....
ආයේ ඒ කාලය කොහොම ලබන්නද
තරඟයට කවි ගීත කියපු
හැංඟිමුත්තං කරපු.....
අනේ ඇත්තටම කොච්චර සුන්දරද ඒ අතීතය....
තාත්තාගේ උකුලට වෙලා රජ කාලේ කතන්දර අහපු...
අම්මාගේ අතින් අනපු රස බත් පිඩවල් කාපූ...
ඒ ළමා විය කෙතරම් සුන්දරද...

මං දැන් නිදහස් ...........

හිතට දැනෙන සහනය
කියන්නේ කොහොමද
හැබෑටම...

සියලු බන්ධනයන්ගෙන්
මං දැන් නිදහස්

ඇත්තම කිව්වොත්
සදාකාලිකවම
මට ඒ නිදහස උරුමයි

ඉහළ අහසේ
නිදහසේ සැරිසරණ
කිරිල්ලියක් මං දැන්.............