Wednesday, February 26, 2020

ජස්ටින් පීරිස් දැරණියගල (1903-1967)



කීර්තිමත් ඉතිහාසඥයෙකු වූ පෝල් ඊ පීරිස් ගේ ( P.E.P. දැරණියගල) පුතෙකු වන ජස්ටින් පීරිස් දැරණියගල මහතා මුලින්ම චිත්‍ර කලාව පිළිබඳ හදාරන ලද්දේ මුඳළිඳු අමරසේකර හා සී.එෆ්.වින්සර් යන ආචාර්යවරුන් යටතේය.1921දී එංගලන්තය බලා පිටත් වන ඒ මහතා විවිධ සාහිත්‍යධරයන් හා කලාකරුවන්ගේ ඇසුර නිසා කලාව කෙරෙහි තිබූ ඇල්ම වර්ධනය වීමත් මෙරට කලාවේ නව පෙරළියක් ඇති කරලීමට පුරෝගාමී වූ ලයනල් වෙන්ඩ්ට් හා හැරී පීරිස් ගේ හමුවීමත් ඔහුගේ ගමන් මග විශාල වෙනසකට ලක් කළේය.
1926දී ලන්ඩනයේ "ස්ලේඩ්"ලලිත කලායතනයෙන්ද 1928දී පැරීසියේ "ජුලියන්"කලායතනයෙන්ද තව දුරටත් චිත්‍ර කලාව ප්‍රගුණ කර 1926දී ලංකාවට පැමිණීමෙන් පසු ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශන ‍රැසක් මෙරටදී මෙන්ම විදෙස් රටවලද පවැත්වීමෙන් ප්‍රසිද්ධියට පත් විය.1936දී ජෝර්ජ් කීට් සමඟ කොලඹ කලාභවනේ පැවැත්වූ ප්‍රදර්ශනය නිසා මධ්‍යම පාන්තික ජනතාව අතර නමක් දිනා ගැනීමට ඔහු සමත් විය.1943 දී ලංකාවේ චිත්‍ර කලාවේ මහා පෙරළියක් කිරීමට සමත් වූ 43කණ්ඩායම ඇරඹී මේ පුරෝගාමියෙකු වූ මොහු නූතන කලාව මෙරට කතාබහට ලක් නොවූ අවධියක ඒ රටට හඳුන්වාදුන් ශිල්පියෙකි.
1953දී පැරීසියේ පෙටිට් පැලස් කලාගාරයේ 43 කණ්ඩායමේ චිත්‍ර සමඟ ඔහුගේ නිර්මාණද ප්‍රදර්ශණය කෙරුණු අතර එහිදී ඔහු ප්‍රථමවතාවට ප්‍රංශ විචාරකයන්ගේ ඇගයීමට ලක්විය.
ස්ංස්කෘතික වශයෙන් අප චිත්‍ර කලා සම්ප්‍රදායයන් 2කට උරුමකම් කියයි.
01.චීන සම්ප්‍රදායය
02.ඉන්දීය සම්ප්‍රදායය






20 වන සියවසේ ලංකාව ඉන්දියානු සම්ප්‍රදයයේ දරුවෙකු පමණක් නොව ලෝක සමාජයේ සාමාජිකයෙකු විය යුතුය යන්න ජස්ටින් ඔහුගෙ නිර්මාණ වලින් හෙළි කරයි. 1954 දී  හි පැවති ප්‍රදර්ශනයේදී ඉංග්‍රීසි කලා විචාරක මොහුව හඳුන්වා දුන්නේ ප්‍රකාශන වාදියෙකු ලෙසය.ඔහුට සමකළ ප්‍රකාශනවාදියෙකු එදා එංගලන්තයේ නොසිටි බවටද ඔහු සටහනක් තබා ඇත.

20වන සියවසේ අපරදිග චිත්‍ර කලාවෙ ඇතිවූ විවිධ වර්ධනයන් හා ශෛලීන්ගේ අභාසයෙන් පෝෂණය ලැබූ මොහුගේ සිතුවම් තුළ පැබ්ලෝ පිකාසෝ,හෙන්රි මතීස්,ජොර්ජ් බ්‍රාක්,පෝල් ගොගෑන් වැනි ව්‍යුක්ත රූපී හා පශ්චාත් උපස්ථිති වාදීන්ගේ ශෛලීන්වල සංකලනයන් දිස්වන බව විමසිල්ලෙන් බැලූවිට පෙනීයයි.43කණ්ඩායමේ සෙසු ශිල්පීන්ට වඩා පරිණත බවක් මොහුගේ සිතුවම් තුළ තිබේ යැයි සැලකෙන්නේ ඉහත කී අභාසයන් නිසා විය හැක.හෙන්රි මතීස් ගේ සිතුවම් ශෛලිය එතුමා කෙරෙහි ප්‍රබලවම බලපානු ලැබ ඇත.මිනිසුන්ගේ දුක් වේදනා,කළකිරීම් තියුණු ලෙස නිරූපනය කිරීමට එතුම සමත් වූයේ මතීස් ගේ මෙම රීතියේ බලපෑම මත බව විචාරක මතයයි.

මානව රූප හා ද්‍රව්‍ය බලා ඇඳීමෙන් මනා නිපුණත්වයක් දැක්වූ මොහුගේ චිත්‍ර කලාව ඒ මත පදනම් වූ බවක් දක්නට ලැබේ. බොහෝ සිතුවම් ජෝර්ජ් කීට් ගේ සිතුවම් මෙන් ශෘංගාරාත්මක හැගීම් දනවන සුළු වුවද මිනිසුන්ගේ දුක්ඛ දොමනස්සයන් හා වේදනවන් සිය තෙලිතුඩට හසු කරගනු ලබන දැරණියගල ශෘංගාර රස ජනනයට වඩා එම සිතුවම් මඟින් මනෝ විද්‍යාත්මක ලක්ෂණ එළිදක්වයි.



සොබාදහමේ දකින දෙය ඒ අයුරින්ම පිටපත් නොකොට අර්ධ ශෛලිගත බවකින් එය දැක්වීමට මෙම ශිල්පියා දරා ඇති උත්සාහය ප්‍රශංසනීයය.දරු සෙනෙහසමිනිසුන් හා සතුන් අතර ඇතිවන භාවමය සබඳතාවය කාව්‍යමය අරුතින් ඉදිරිපත් කිරීමට මොහු දක්වා ඇත්තේ ඉමහත් දක්ෂතාවයකි.ජොර්ජ් කීට් මෙන් මොහුද සමකාලීන සම්ප්‍රදායය ඉස්මතු කිරීම සඳහා යොදාගෙන ඇත්තේ රෝස හා දුඹුරු පැහැයන්ය.ඉන් ඉතා සියුම් හා මෘදු හැගීම් දැනවීමට හෙතෙම සමත් වී තිබේ.සාම්ප්‍රදායික කලාරීතියෙන් බොහෝ සෙයින් බැහැර වී බටහිර චිත්‍ර කලාවේ නව ආරකින් සංකලනය කොට ඔහු යොදාගනු ලැබූ කැඩුනු රේඛා හේතුකොට ගෙන මිනිස් රූපවල යම් විකෘති ස්වභාවයක් ඉස්මතු වී ඇත.එය ඔහුටම අවේනික වූ ස්වභාවයකි..එම රීතිය තුළ දැරණියගල සිය කලාව කෙරෙහි දැක්වූ අකාල්පය හා අවංක බව නිරූපණය කරයි.ඔහු වර්ණ යොදගෙන ඇත්තේ ගූඪත්වය පිළිබඳ හැගීම් දැනවීමට සමත්වන අයුරිනි.වර්ණ හා රේඛා මඟින් ප්‍රබල හැඟීම් ජනනය කිරීමට සමත් ආටෝප බහුල චිත්‍ර සම්ප්‍රදායක් එතුමා කෘතීන් හි දැකිය හැක.



ඔහුගේ සිතුවම් අතර "ආදරවන්තයෝ" නම් සිතුමව ප්‍රධාන වේ.මෙම සිතුවමින් කම්සැප විඳින අයුරු බාහිර වශයෙන් දර්ශනය වුවද එය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් ගැහැණිය විඳින වේදනාව,ලැජ්ජාව,ආදරය,සෙනෙහස,ත්‍යාගශීලී බව ආදී හැඟීම් දනවයි.මෙහි රේඛා හා වර්ණ පදාස වශයෙන් දක්වා ඇත.මෘදු බව දැක්වීම සඳහා කහ,රෝස හා අලු වර්ණ යොදාගෙන ඇත.
"තාපසාරාමය අසළ පව්ව" නැමැති චිත්‍රය පොල් අතු සෙවිලි කළ ගෙයක්ද ගස් තුනක කඳන්ද දක්නට ඇත.මෙම චිත්‍රයේ එතුමා එක්සත් රාජධානියේ ස්ලේඩ් හි ලද පුහුණුව මොනවට කියාපාන්නකි.එහි පරිසරය් නිර්මාණය කිරීම සඳහා අනුගමනය කර ඇති ශෛලිගත ක්‍රමයෙහි දැරණියගල චිත්‍ර කලාව පිළිබඳව මනා ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරතවූ අයුරු කියාපායි.

මතීස් ගේ ශෛලිය දැරණියගල ගේ සිතුවම් කෙරෙහි ප්‍රබල ලෙස බලපෑ අයුරු කියාපාන ප්‍රධානතම සිතුවමක් ලෙස "මල් බඳුන සහ ගැහැණු දෙදෙනා"නැමැති සිතුවම හැදින්විය හැක.මෙම මතීස් නැමැති අද්විතීය ප්‍රංශ සිත්තරාගේ ආභාසය හේතුකොටගෙන දැරණියගල කලාකරුවාගේ සිතුවම් නව මුහුණුවරක් ගත් බව විචාරක මතය වී ඇත.

"රන්මාළුවා අතැති දැරිය"නම් සිතුවමෙන් දැරණියගල සිය හැඟීම් නිරූපණය කරන්නේ කිසිදු ආයාසයකින් තොරවය.දැරියගේ මුහුණින් දුක්මුසු බව දක්වා ඇති ආකාරයෙන් හා වර්ණ යොදා ඇති අයුරින් මෙම සිතුවම තුළින් අසාමාන්‍ය හැගීම් මතු කෙරෙන බවට සැලකෙතත් මෙය යුනෙස්කෝ සම්මානය ද හිමි කරගත් අගනා කෘතියකි.

Tuesday, February 25, 2020

රජවරුන්ට යුද කඳවුරක් වූ රිටි­ගල

රිටි­ගල පුරා විද්‍යා­ත්මක හා වාස්තු විද්‍යා­ත්මක ඓති­හා­සික නට­බුන් භූමි­යකි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටි­ගල කන්ද පිහිටා ඇති අතර අක්කර 7 200 ක පමණ භූමි­ය­කින් යුත් මෙම වන පෙදෙස හබ­රණ - අනු­රා­ධ­පුර මාර්ගයේ ගල­පි­ටි­ගල හා ගනේ­ව­ල්පොල අතර ප්‍රදේ­ශයේ පැතිර ඇත. රිටි­ගල, ඖෂධ කන්ද - කොඩි­ගල කන්ද - උණ කන්ද - ආඬියා කන්ද - පළ­තුරු කන්ද - අම­රා­පති කන්ද - උල්පත් කන්ද යන පරි­වාර කඳු හතක් වට කර­ගෙන පිහිටි ස්‌වභාව ධර්මයේ අපූ­ර්ව­තම නිර්මා­ණ­යකි. ‍රජරට පිහිටි උසම කන්ද ලෙස ද රිටි­ගල හඳු­න්වනු ලබන අතර අනු­රා­ධ­පු­රය, දඹුල්ල හා සීගි­රිය රිටි­ග­ලට ආස­න්නව පිහිටා ඇත.

මහා­වං­ශය හා වෙනත් වංශ­ක­තා­වන් හි සඳ­හන් අරි­ට්ඨ­ගාම, අරිට්ඨ පබ්බත යනු රිටි­ග­ලම බව පැහැ­දිලි වේ. ඒ අනුව අරිට්ඨ පබ්බත යනු­වෙන් හැඳින්වූ මෙම භූමිය රිටි­ගල ලෙස හැඳි­න්වී­මට හේතු ගණ­නා­වක් ඇති අතර සෙල්ලිපි මඟින් තව දුර­ටත් එය තහ­වුරු වේ. 11 වැනි සිය­ව­සට පෙර සිටම රිටි­ගල, ආර­ණ්‍ය­වාසී භික්‍ෂූන් වාසය කළ සේනා­සන සංකී­ර්ණ­යකි. චෝල ආක්‍ර­මණ හේතු­වෙන් මෙම ආරණ්‍ය සේනා­ස­නය කිසි­වෙ­කුගේ අව­ධා­නට ලක් නොවී වල් බිහි වන්නට විය.

රිටි­ගල නාඋ­ල්පත කොටසේ ගිරි­ලිපි අතර “අරිටෙ“ යනු­වෙන් හා වේවැ­ල්තැන්නේ “අරිට මහ­ගම“ යනු­වෙන් සඳ­හන්ව ඇත. රිටි­ගල යනු වචන දෙක­කින් යුත් පද­යකි. එනම් රිටි+ගල යන්නය. පාලි භාෂා­වෙන් රිටි යන්න අරිට්ඨ ලෙස අර්ථ දැක්වේ. ගිරි හෝ පබ්බත ලෙස ගල හැඳින්වේ. අභි­ලේ­ඛඥ ඩී.එම්.ද. ඉසෙඩ් වික්‍ර­ම­සිංහ විසින් රිටි­ගල යන්නෙහි නිරුක්ති කිහි­ප­යක් පරීක්ෂා කරන ලද අතර ඒ සෑම නිර්ව­ච­න­ය­කින් ම කන්දේ සුවි­ශේෂි ලක්ෂණ නිරූ­ප­ණය කොට ඇත.

එසේම රිටි­ගල සම්බ­න්ධව ඇති විවිධ මත අතර මහා අරිට්ඨ මෙහි වාසය කළ නිසා ඒ නම පට බැඳුණු බවත් අරිට්ඨ ශබ්දයේ කාල පාෂාණ (කළු ගල්) යන්න අද­හස් වෙන බැවින් කළු­ගල් පර්ව­තය යන අද­හ­සින් අරිට්ඨ පබ්බත වූ යැයි ද සඳ­හන්ය. තවත් මත­යක් ලෙස ‘රිටි’ යනු පාලි ‘අරිට්ඨ’ යන්නෙන් ‘ආර­ක්ෂාව’ යන අරුත් ඇති පද­යක් වන බැවින් රිටි­ගල යනු ආර­ක්ෂක පර්ව­ත­යකි.

ලංකාවේ පළමු පුරා­විද්‍යා කොම­සා­රිස් වූ එච්.සී.පී බෙල් සඳ­හන් කරන්නේ ආර්ය ලක්දිව යක්ෂ “අරිට්ඨ“ යනු ආර­ක්ෂීත ගල යන්නය. රජ­ව­රුන්ට මෙන් ම හොරුන්ට ද ආර­ක්ෂිත ස්ථාන­යක් ලෙස රිටි­ගල පැවති බව චූල­වං­ශයේ ද සඳ­හන්වේ.එච්.සී.පී බෙල්, රිටි­ගල කන්දේ කරන ලද ගවේ­ෂණ පද­නම් කර­ගෙන එහි ලෙන් හා ශිලා ලිපි හඳු­නා­ගෙන ඇත.

දිග රිට යන අර්ථ­ය­යෙන් ද රිටි­ගල හැඳින්වේ. එසේ ම රිටි­ගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්ව­තය රිටි­ගල නමින් හඳු­න්ව­න්නට ඇත යන්න තවත් මත­යකි. මහා­නාම හිමි විසින් මහා­වං­ශයේ රිටි (අරිට්ඨ) භයා­නක යන්න හැඟ­වී­මට යොද­න්නට ඇති බව ද විශ්වාස කෙරෙයි.

1872 දී රජයේ මිනි­න්දෝ­රු­වකු වූ ජේම්ස් මැන්ටෙල් විසින් සිදු කරන ලද ගවේ­ෂණ හේතු­කොට ගෙන වන­ග­තව පැවති රිටි­ගල ලෝක ප්‍රජා­වගේ අව­ධා­න­යට යොමු විය. කඳු මුදු­නෙහි ත්‍රිකෝ­ණ­මි­තික ස්ථාන­යක් ඔහු විසින් පිහි­ට­වනු ලද අතර රිටි­ගල නට­බුන් ඇසු­රින් සකස් කරන ලද වාර්තාව එම වර්ෂයේ දී ප්‍රකා­ශ­යට පත්විය. එය ප්‍රථම වරට රිටි­ගල නට­බුන් සම්බන්ධ වූ වාර්තා­වයි. ඊට පසුව ජේම්ස් මැන්ටෙල් ගේ සොහො­යුරු වූ ඩී.ජී. මැන්ටෙල් විසින් 1878 දී රිටි­ගල චාරි­කා­වක නිර­තව වාර්තා­වක් සැකසී ය. 1892 දී ජේ.බී.එන්. රිඩ­වුඩ් නම් රජයේ මිනි­න්දෝරු විසින් රාජ­කීය ආසි­යා­තික සමි­තියේ සඟ­රා­වට රිටි­ගල නට­බුන් පිළි­බඳ ව සවි­ස්තර සට­හ­නක් පළ කරනු ලැබීය.

රිටි­ගල පිහිටි වෘක්ෂ­ලතා පරීක්ෂා කොට ඒවායේ එක­තු­වක් ගොඩ නැගූ ප්‍රථම උද්භිද විද්‍යා­ඥයා වූයේ Ceylon Handbook to the Flora of Ceylon නැමැති ග්‍රන්ථයේ කතු­වර හෙන්රි ට්‍රීමන් ය. 1887 දී කීට විද්‍යා­ඥ­යෙක් වූ ඒ.පී. ග්‍රීන් එක්ව රිටි­ගල නරඹා ඊට අදා­ළව සකස් කළ ලිපිය රාජ­කීය ආසි­යා­තික සංග­මයේ ලංකා ශාඛා සඟ­රාවේ පළ­විය.

හෙන්රි ට්‍රීමන් පව­සන පරිදි පහත් තෙත් බිම්වල පිහිටි උස් කලා­ප­වල වෘක්ෂ­ලතා අනෙක් කඳු­කර ප්‍රදේශ වලට වඩා වෙනස් ය. රිටි­ගල කාල­ගු­ණය සෞම්‍ය බවින් යුතු අතර ඒ වටා ඇති වියළි කලා­පීය ප්‍රදේ­ශ­යට වඩා අධික වර්ෂා­වක් ඊසාන දිග මෝසම් සුළ­ඟින් ලැබේ. එමෙන් ම විශේ­ෂ­යෙන් නිරිත දිග මෝසම් කාලයේ දී සිදු­වන අධික වාෂ්ප ඝණී­භ­ව­නය වීම හේතු­වෙන් පහළ තැන්නේ නියං තත්ත්ව­යක් ඇති වුව ද රිටි­ගල කන්දේ පස තෙත­ම­න­යෙන් යුක්තය. 1922 දි රිටි­ගල වෘක්ෂ­ලතා පිළි­බඳ අධ්‍ය­ය­නය කළ උද්භිද විද්‍යාඥ ජේ.සී.විලීස් විසින් Age and Area කෘති­යෙන් වෘක්ෂ­ල­තා­වන්ගේ භූගෝ­ලීය ව්‍යාප්තිය පිළි­බ­ඳව න්‍යායක් ඉදි­රි­පත් කරන ලදී. ලංකා­වට ම ආවේ­ණීක උද්භිද වර්ග 3 ක් රිටි­ගල කඳු මුඳුනේ ඇති බව ඔහු සඳ­හන් කර ඇත.

එමෙන් ම 1933 දී ආර්. එල්. බ්‍රෝහි­යර් විසින් සම්පා­දිත ශ්‍රී ලංකාවේ අතීත වාරි ශිල්පය නමැති ග්‍රන්ථ­යෙන් රිටි­ගල පිහිටි වාරි පද්ධ­තිය ඉතා සුවි­ශේෂි නිර්මා­ණ­යක් බව පෙන්වා දී ඇත. 1941.11.07 දින අංක 8809 දරණ රජයේ ගැස­ට්‌ ­නි­වේ­ද­නය නිකුත් කර­මින් රිටි­ගල කන්දේ වර්ග කිලෝ­මී­ටර් 5.28 ක්‌ වූ භූමි ප්‍රදේ­ශය දැඩි ආර­ක්‍ෂිත කලා­ප­ය­ක්‌ ­බ­වට එව­කට සිටි පුරා­විද්‍යා කොම­සා­රි­ස්‌ ­ආ­චාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රකා­ශ­යට පත් කරන ලදී. 1960 දි ඔහුගේ මූලි­ක­ත්වය යටතේ රිටි­ගල පුරා­වි­ද්‍යා­ත්මක කට­යුතු ආරම්භ කරන ලද අතර 1980 දී පිහි­ටු­වන ලද සංස්කෘ­තික ත්‍රිකෝ­ණය (මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල) ආරම්භ වීමත් සමඟ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව එක්ව එහි කැණීම් හා සංර­ක්ෂ­ණය කර­න්නට විය.

රිටි­ගල ආශ්‍රිත ජන­ප්‍ර­වාද හා ඓති­හා­සික තොර­තුරු අතර රාම-රාවණ පුවත පුමු­ඛ­ස්ථා­න­යක් ගනු ලබයි. එනම් රාවණ විසින් ඉන්දි­යාවේ රාමගේ බිසව වූ සීතා දේවිය පැහැ­ර­ගෙන විත් සඟවා තැබූයේ රිටි­ගල යැයි ව්‍යව­හා­රයේ ඇත. ඇය සොයා පැමිණි රාමගේ සොයුරු ලක්ෂ්මන් අතර මගදි රෝගා­තුර වූ බැවින් ඔහු සමඟ පැමිණ සිටි හනු­මන්තා හිමා­ලය වන­යට ගොස් සෙවු ඖෂ­ධය සොයා ගන්නට නොහැකි වූ බැවින් හිමා­ලය කන්දෙන් කොට­සක් කඩා­ගෙන පැමිණි බවත් එයින් කොට­සක් කැඩි ගොස් රිටි­ගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මා­ණය වූ බවත් එමෙන්ම රූම­ස්සල හා දොළු­කන්ද මෙසේ කඩා වැටුණු කොටස් වලින් ඉතිරි කොටස් ලෙස ද ජන­ප්‍ර­වා­දයේ කියවේ.

එමෙන් ම දුටු­ගැ­මුණු රජ­තු­මාගේ (ක්‍රී.පු. 101 – 77) කාලයේ දි දස­මහා යෝධ­යන් අතර සිටි ගෝඨ­යි­ම්බර හා රිටි­ගල අර­ක්ගත් යක්ෂ ගෝත්‍රික සෙන්ප­ති­යෙක් වු රිටි­ගල ජය­සේන අතර ඇති වූ සටන ජන­ප්‍ර­වා­දයේ එන තවත් කතා­වකි. මේ සට­නේදි ගෝඨ­යි­ම්බර යෝධ­යාගේ පහ­ර­කට ජය­සේ­නගේ හිස වෙන්වි සොයා ගත නොහැකි තැනක වැටුණු බවත්, සෙන­සුරු විසින් කඳේ පණ ඇති බව දැක හදි­සියේ පැමිණ වළ­ස­කුගේ හිසක් ජය­සේ­නට සවි­කල බවද පුරා­වෘ­ත්ත­වල දැක්වෙන අතර හදි­ස්සි­යට හිස සවි­කි­රිමේ දි හිස පසු­ප­සට සවි­කළ බවත් සඳ­හන්ය. එබැ­වින් පසුව ජය­සේන මහ­සෝන් යක්ෂයා විය.

ලක්දිව පළමු මහ රහ­තන් වහන්සේ ලෙස සඳ­හන් වෙන අරිට්ඨ හිමි ප්‍රමුඛ 500 ක් සංඝයා වහ­න්සේලා රිටි­ගල සේනා­ස­න­වල ආර­ණ්‍ය­වා­සීව වැඩ විසූ බව දැක්වේ. පුරා­වි­ද්‍යා­ත්මක අග­ය­ක්‌ ­ඇති විවිධ ගොඩ­නැ­ඟිලි 140 ක පමණ නට­බුන් හා පැරණි ආයු­ර්වේද රෝහ­ලක නට­බුන් වර්ත­මා­නයේ දී පවා රිටි­ගල දී දැක බලා ගත හැකි ය.

කටා­රම් කොටන ලද 70 කට අධික ලෙන් ද බ්‍රාහ්මි අක්‍ෂ­ර­ව­ලින් ලියන ලද ශිලා ලේඛන අත­රින් 35 ක්‌ සහ පරි­ව­ර්ත­නය කරන ලද ලිපි දෙකක් ගල් පර්ව­තයේ ඇති බව සඳ­හන් ය. බට­හිර දෙසට නාම­ළුව සහ නාඋ­ල්පොත වැටිය, ගිනි­කොන දෙසට කුඩා අර­ම්බැද්ද වැටියේ, දකුණු අන්තයේ මර­ක්කල උල්පොත සහ නැගෙ­න­හිර දෙසට ආඬි­යා­කන්ද වැටි­යෙන් විශා­ල­තම ගුහා සංකී­ර්ණ­යන් හමුවේ. කර­ඹේ­හින්න වැටියේ පර්ව­ත­යෙන් ගුහා දෙකක් හමු­වන අතර බන්දා පොකුණ ආස­න්නයේ ලෙන් හයක් දක්නට ලැබේ.

අනු­රා­ධ­පුර රාජ­ධා­නිය බිහි­වී­මට පෙර සිට ම පැහැ­දිලි ඉති­හා­ස­යක් රිටි­ගල සම්බ­න්ධව ඇත. එනම් ක්‍රි.පූ. 437 දී පණ්ඩු­කා­භ­යගේ (ක්‍රි.පූ. 377–307) සටන් මධ්‍ය­ස්ථා­න­යක්ව රිටි­ගල පැව­තුණු බවත් ඔහු සිය මාමා­ව­රුන් සමග කළ සටනේ දී ප්‍රධාන මධ්‍ය­ස්ථා­නය ලෙස මෙම භූමිය යොදා­ගත් බව ද සඳ­හන්ය. පණ්ඩු­කා­භය සමයේ රිටි­ගල යක්ෂ­යින්ගේ නිජ භූමි­යක් ලෙස පැව­තුණු බව ද දුටු­ගැ­මුණු රාජ්‍ය කාලයේ දී යක්ෂ­යින්ට අධි­ප­තී­ත්වය දැරූ ජය­සේන නම් යක්ෂ සේනා­ධි­ප­ති­යෙක් විසූ බව ද පැවැසේ. රිටි­ගල කන්දේ නාඋ­ල්පත ඇති සෙල්ලි­පිය අනුව ක්‍රි.පූ. 119 - 109 සද්ධා­තිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජ­තිස්ස, රිටි­ගල “කන්ද­ර­හී­නක” නම් විහා­ර­යක් සාදා ඇති බව ද අඹ­තලා (අබ­ද­ලක) වැව බඳවා එම විහා­රයේ භික්ෂූන්ට පිදූ බව ද සඳ­හන්ය.

රිටි­ගල ආරා­මය, කන්දේ නැගෙ­න­හිර ට පිහිටා ඇත. මෙහි කළ කැණීම් වල දී පධා­න­ඝර කිහි­ප­යක් හමු විය. එහි ශිලා ස්ථම්භ මුදුනේ පියැසි තිබුණු බවට සාධක ලැබේ. එසේම මෙම භූමි­යට ප්‍රවේශ වීමේ දී හමු­වෙන “බන්දා පොකුණ” අති විශාල වූ ශිලා­මය නිර්මා­ණ­යකි. පොකුණේ ඉවුරු ඇතුළු මුහු­ණතේ ගල් පඩි දක්නට ඇති අතර අතී­තයේ දී මෙම පඩි ජල මට්ටම දක්වා පහ­ළට පව­ති­න්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. ජලා­ශයේ සැලැස්ම බහු කෝණික වේ. එහි පරි­ධිය මීටර් 366 (අඩි 1200) පම­ණය.

මෙම පොකුණ සම්බ­න්ධව විවිධ මත පවතී. ආර­ණ්‍ය­වා­සීව වැඩ වාසය කළ පන්සි­ය­ය­ක්‌ ­සං­ඝ­ර­ත්නයේ පැන් පහ­සුව සඳහා මෙම බන්දා පොකුණ ඉදි කර­න්නට ඇත යන්නත්, ආරා­මයේ තවත් නාන පොකුණු රැසක් පව­තින බැවින් මෙත­රම් විශාල පොකු­ණක් භික්ෂුන්ගේ ස්නානය සඳහා වෙන් වූවක් නොව ආරා­ම­යට පැමි­ණෙ­න්නන්ගේ චාරි­ත්‍රා­නූ­කූල ස්නාන කට­යුතු සඳහා බන්දා පොකුණ භාවිත කර­න්නට ඇතැයි යන්න තවත් අද­හ­සකි.

ආරා­මයේ ප්‍රධාන ගොඩ­නැ­ගිලි දක්වා යාමට තිබෙන ශිලා පදික වේදි­කාව අඩි 8 ක් පළ­ලින් සහ අඩි 15000 දිගින් (මීටර් 437) යුක්ත ය. මීට අම­ත­රව ගල්පා­ලම්, පිය­ගැට පේළි, කවා­කාර ශෛල­මය වේදිකා, ඔප දැමූ සුවි­සල් ගල් පුවරු, සෙල්මුවා පහණ, තටාක, බෙහෙත් ඔරු, සල­ප­තළ මළු, විවි­ධා­කාර ගිම­න්හල් ආදී විශ්මය ජනක ශිලා­මය නිර්මාණ රිටි­ගල දක්නට ලැබේ.


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
23 පෙබරවාරි, 2020


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/Home/Index

සංඛ පද්ම සමඟ බැඳුණු පුරා­වි­ද්‍යා­ත්මක සාධක


සඳ­කඩ පහණ දෙපස ඇති දොරටු අංග මුර­ගල ලෙස හැඳින්වේ. මුර­ගලේ විකා­ශය සඳ­කඩ පහ­ණට වඩා වේග­යෙන් සිදු­විය. අභ­ය­ගිරි විහා­ර­යෙන් එසේ විකා­ශනය වූ විවිධ සංව­ර්ධන අව­ධීන් හි මුර­ගල් හමුවේ. කැට­යම් කිසිත් නැති දිග හත­රැස් ගල් පුව­රු­වක් සහිත කොර­වක් ගල් අග කෙළින් සිටුවා ඇති මුර­ගල් විකා­ශ­නයේ මුල් ම අව­ස්ථා­වයි. පසු­කා­ලී­නව එයට නිය­රක් වැනි කොට­සක් එකතු විය. පුන්ක­ලස තුන්වැ­නිව එක් වූ අංග­යකි. ඊට පසු අව­ස්ථාවේ දී වාමන රූප උප­යෝගී කොට ගෙන ඇත.

මුර­ගලේ විකා­ශ­නයේ ඊට පසු අව­ස්ථාවේ දී දිසා පාලක රූප­ව­ලට ප්‍රමු­ඛ­ස්ථා­න­යක් දී ඇත. එම දිසා පාලක මහා­ර­ජ­ව­රුන් හඳුනා ගැනී­මට මුර­ග­ල්වල සංකේත යොදා තිබේ. උතුර, දකුණ, බට­හිර හා නැගෙ­න­හිර නියෝ­ජ­නය කර­මින් මුර­ගලේ එක් පසෙක කුලුනක් මත සිටින සිවුපා රූප දැක්විය හැකිය. එම­ඟින් උතුර සඳහා සිංහයා ද දකුණ ට ගවයා ද බට­හි­රට අශ්වයා ද නැගෙ­න­හි­රට ඇතා ද යනු­වෙන් සංකේ­ත­වත් කොට ඇත.

ධෘත­රාෂ්ට්‍ර, විරූඪ, විරූ­පාක්ෂ හා වෛශ්‍ර­වණ යන සත­ර­ව­රම් මහ­ර­ජ­ව­රුන්ගේ රූප ඉතා අලං­කාර ලෙස මෙම මුර­ග­ල්වල නිරූ­ප­ණය කැර ඇත. දිව්‍යා­භ­රණ හා දිව්‍ය ඇඳු­ම්ව­ලින් යුක්තව දකුණු අතින් පුන්ක­ල­සක් ද කටියේ රඳ­වන ලද වම­තින් මල් ඉත්තක් ද ගෙන සම­භංග හෝ ත්‍රිභංග ලෙස මෙම රූප කැට­ය­මට නගා ඇත. මොවුන් දේව­ත්වයේ ලා සල­කන අතර වෛශ්‍ර­වණ හැර අනිත් තිදෙනා නාග සම්බ­න්ධය ඇති අය ලෙස හඳු­න්වන බැවින් ඔවුන්ගේ හිස් වටා නා පෙණ දක්වා තිබේ.

අභ­ය­ගිරි විහාර පරි­ශ්‍රයේ ඇති රත්න ප්‍රාසා­දයේ දොර­ටුව නැගෙ­න­හි­රට මුහුණ ලා පිහිටි බැවින් එහි ඇති මුර­ග­ලෙහි ඇත් රුව නිරූ­ප­ණය කර තිබේ. එමෙන් ම කපා­රා­රා­මයේ උතු­රට මුහුණ ලා තනා ඇති දොර­ටුවේ මුර­ග­ලෙහි සිංහ රූපය නියෝ­ජ­නය වේ.

ඒ අනුව උතු­රෙහි ප්‍රධාන දිසා­පා­ලක ලෙස වෛශ්‍ර­වණ හෙවත් කුවේර හඳු­නා­ගත හැකි අතර මුදල් පෙට්ටික් අතැ­තිව සිටින වාම­න­යෙ­කුගේ රූප­යක් මෙහි දී නිරූ­පි­තය. එම­ගින් ඉතා පහ­සු­වෙන් කුවේර හඳුනා ගන්නට හැකි බව සඳ­හන් ය.

අභ­ය­ගිරි පරි­ශ්‍රය පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීමේ දී මූල හත­රක් යටතේ එකල පාල­නය වූ බව 10 වන සිය­වසේ v වන කාශ්‍යප රජුගේ අභ­ය­ගිරි ශිලා ලේඛ­නය අනුව පැහැ­දි­ලිය. එනම් සතර මූල­යෙන් වට වූ අභ­ය­ගිරි වෙහෙ­රෙහි රත්න­ප්‍රා­සා­දය දිව්‍ය භව­නක් සේ දිස් වූ බව දැක්වේ. කපා­රා­රාම මූලය, මහ­නෙත්පා මූලය, වහදු මූලය හා උත්තර මූලය ලෙස මෙම සතර මූල­යන් හඳුන්වා ඇත.

බහි­රව උපත හා බැඳුණු ජන­ප්‍ර­වාද අනුව බහි­ර­වගේ උපත වෛදික යුගය හා දිව යයි. බහු දේව­වාදි සංක­ල්පය මත පද­නම් ව විවිධ ස්වභා­වික ද්‍රව්‍ය­යන් එනම්, ගස් ගල්, ගාංගා, සුළඟ, අව්ව, වැස්ස, පර්වත ආදි ජූජ­නීය වස්තූන් ලෙස සලකා වන්ද­නා­මාන කිරීම සිදු­විය. දේව වන්ද­නාවේ ආර­ම්භය ඒ ආකා­ර­යෙන් සිදු­වන විට බ්‍රහ්මණ අව­ධිය වන විට ඒක දේව වාදය, පුද්ගල දේව වාදය මත පද­නම් ව සමා­ජය තුළ මුල්බැස ගන්නට විය.

පුරා විද්‍යා­ත්මක සාක්ෂි ඉතා අල්ප ලෙස විග්‍රහ කෙරෙන පද­යක් ලෙස නිදන් දැක්විය හැකිය. සර­ලව ගත්කළ නිදන් යනු තැන්පත් කිරීම යි. අභ­ය­ගිරි දාගැ­බෙහි දකුණු වාහ­ල්ක­ඩින් හමු වී ඇති ශිලා­ලේ­ඛන දෙකක් ඇසු­රින් මේ පිළි­බ­ඳ අද­හ­සක් ලබා­ගත හැකි ය. මළු­තිස හෙවත් කණි­ට්ඨ­තිස්ස රජු විසින් (ක්‍රිස්තු වර්ෂ 164 – 192) කර­වන ලද මෙම ශිලා ලේඛන අනුව,

I. මළු­තිස මහ­ර­ජහ රජිණි මිත­බිය ධාතු නිජනෙ

අද­හස – මළු­තිස මහ රජුගේ බිසව වූ මිතගේ ධාතු මෙහි තැන්පත් කරන ලදි

II. මලි­තිස මහ­ර­ජහ මති සිර­බිය ධාතුනිජනෙ

අද­හස – මලි­තිස මහ රජුගේ මව් වූ සිරි­බි­යගේ ධාතු රජු විසින් මෙහි තැන්පත් කරන ලදි

ක්‍රි.ව. 2 වන සිය­වසේ සිට නිදන් කිරීමේ සංක­ල්පය පිළි­බඳ සාධක හමු­ වන අතර මෙහි ධාතු නිජනෙ යනු­වෙන් නිදන් කිරීම එසේත් නැති­නම් තැන්පත් කිරීම යන අරුත් සප­යයි.

නිදන් සංක­ල්පය අනුව පට බැඳු­ණකි බහි­රව යන්න. ඒ අනුව බහි­රව යනු භූමි­යට අධි­ගෘ­හිත යක්ෂ බල­වේ­ග­යකි යන්න මත­යකි. 11 වෙනි සිය­වසේ දී රචිත “බෝධි වංශ­යට” අනුව බහි­රව යනු බිය ජනක යන අද­හ­සයි. 12 වන සිය­වසේ දී ගුරුළු ගෝමීන් විසින් ධර්ම ප්‍රදී­පි­කාවේ මෙම පදය බිය ජනක රූප යන්න අරුත් ගන්වා ඇත. ජාතක කතා රච­කයා විසින් භයා­නක ස්වරූප යන්න යොදා ඇත. එමෙන් ම කාලි­දා­සගේ සෘතු සංහා­ර­යට අනුව යක්ෂ­යාගේ ප්‍රධා­නියා කුවේ­රය. කුවේ­රගේ ආල­ක­ම­න්දාවේ බහි­ර­ව­යන් සිටින අතර එම දේව සභාවේ ප්‍රධා­නීන් දෙදෙ­නකු ලෙස සංඛ පද්ම හඳුන්වා ඇත.

කාශ්‍යප සීගි­රිය ගොඩ නැගී­මට කුවේ­රගේ අල­කා­පුර සංක­ල්පීය ලක්ෂණ උප­යෝගි කර ගත් බවත්, සංඛ පද්ම නිධි සංක­ල්පය කුවේර සතු නව නිධා­න­යක් ආරක්ෂා කරන බහි­ර­ව­යන් ලෙස දැක්වී­ම­ටත් යොදා ගෙන ඇත. මේ අනුව කිසි­යම් වටි­නා­ක­මක් ඇති වස්තු­වක් සඟවා තැබීම හෝ නිධන් කිරීම යන්න මෙම සංක­ල්පයේ මූලික අර්ථ­යයි.

බහි­රව උත්පත්ති කතා අනුව බහි­ර­ව­යන් ගණ­නා­වකි. එනම් මහා බහි­රව, හැඩ බහි­රව,කෘර බහි­රව, කාල බහි­රව, නාග බහි­රව, සංඛ හා පද්ම බහි­රව යනාදි වශ­යෙනි. අභ­ය­ගිරි විහා­රයේ වල­ගම්බා රජුගේ කාලයේ සිට සංඛ පද්ම බහි­ර­ව­යන් වෙනු­වෙන් වාර්ෂික පූජා මංග්‍ය­ල­යක් පැවැ­ත්විණි.

සංඛ නිධි හා පද්ම නිධි යනු­වෙන් හැඳි­න්වෙන මෙම බහි­ර­ව­යන් අභ­ය­ගිරි ස්තූපයේ දකුණු පිවි­සුම් දොර­ටු­වෙහි පිහි­ටුවා ඇති අතර, ඉන් සංඛ දකුණු පසත්, පද්ම වම් පසත් දක්නට ලැබේ. මෙම බහි­රව රූප හඳුනා ගැනීමේ සංකේත ලෙස පද්මගේ හිසෙහි නෙළුම් මලක් ද සංඛගේ හිසෙහි හක් ගෙඩි­යක් ද නිරූ­ප­ණය කර ඇත. එමෙන් ම දෑස් දල්වා­ගෙන ඇති අතර ශරී­රය හරහා පූන නූලක් පැලඳ, බඳ පටි­ය­කින් සැරසී මාල දෙකක් හා අතේ ඉහළ කෙළ­ව­රෙහි වළලු දෙකක් පැලඳ සිටියි. ඉනේ වටා යන රෙදි කඩ­කින් ඇඳුම නිරූ­පි­තය.

විජ­යබා මාලි­ගයේ තිබෙන මුර­ගලේ බහි­රව රූප සහිත මුර­ගල් හා සසඳා බලන විට නිර්මාණ ලක්ෂණ අතින් ඉතා සංකීර්ණ ස්වභා­ව­යක් ගනී. මෙහි විද්‍යමාන වන ලක්ෂණ ලෙස දිගැටි හිස කෙස්, ආභ­රණ හා කර්ණා­භ­රණ පැළ­ඳ­ගෙන සිටීම යනාදි වශ­යෙන් දැක්විය හැකි ය. පද්ම බහි­රව ඉතා සෞම්‍ය ලෙසත්, සුදු පැහැති මල් මාල­ය­කින් සරසා ඇති බවත් දක්නට ලැබෙන අතර, විභාග ජය, මංග­ල්‍ය­ය, දරු ඵල, අපල දුරු කර ගැනීම, ගොවි­තැන් ඇර­ඹීම, සුව නොවන රෝග සුව කර ගැනීම ආදි විවිධ අභි­ලා­ෂ­යන් ඉටු කර ගැනීමේ අපේ­ක්ෂා­වෙන් වත්මනේ දී පවා බොහෝ පිරිස් පුද පූජා පවත්වා බාර­යන් ගැට ගසති. එමෙන්ම සංඛ බහි­රව සඳහා නඩු හබ, පළි­ගැ­නීම්, නැති දෙයක් සෙවී­මට යනාදි ලෙස රතු රෙදි පටි­යක කාසි­යක් ඔතා බාර­යන් ගැට ගසනු දක්නට ලැබේ. සංඛ යනු පද්මගේ විරුද්ධ පැත්ත බවත් රතු පැහැති මල් මාලය­කින් සරසා තිබීම විශේ­ෂ­ත්ව­යකි.

ලංකාවේ මෑත ඉති­හා­සය තුළ වඩාත් ජන­ප්‍රිය බහි­රව ඇද­හීම අභ­ය­ගි­රිය ආශ්‍රය කොට ගෙන සිදු වේ. එමෙන් ම දැනට සංඛ පද්ම අද­හන එකම ස්ථානය වන්නේ ද අභ­ය­ගි­රි­යයි යන්න පැවසේ. සංඛ පද්ම බහි­රව රූප සහිත මුර­ගල් අත­රින් අනු­රා­ධ­පු­රයේ ඇති පැර­ණිත ම මුර­ගල ලෙස තොළු­විල භූමියේ ඇති මුර­ගල හැඳින්වේ. කුවේර, නව නිධා­න­යන් ගෙන් යුත් එක් සංක­ල්ප­යක් බවත් එය පෙර­දිග කලාවේ ධනේ­ශ්වර ලෙස ද හඳුන්වා ඇත. ගිරා සංදේ­ශ­යට අනුව,

ගත් මෙන් නව නදන්
කෙරෙ­මින් කලි අකුරු දන්
කර සත සිත නදන්
දේය අවු­රුදු පතා මහ දන්

යනු­වෙන් දක්වා තිබේ. ගිරා සන්දේ­ශයේ සඳ­හන් පරිදි නව නදන් හෙවත් නව­නි­ධාන නම් සංඛ පද්ම ඇතුළු බහි­ර­ව­යන් 9 දෙනෙකි. කාලි­දා­ස­යන් විසින් රචිත මේඝ­දූ­තයේ දූතයා වූ මේඝ (වැහි වළාව) කුවේ­රගේ මාලි­ගය කරා පැමි­ණෙන විට දොර­ටුව අසල ඇඳ තිබූ සංඛ පද්ම දෙදෙ­නාගේ රූප දුටු බව කියවේ. ඉන්දි­යාවේ කැට­යම් අතර නිධි රක්ෂ­යන් වශ­යෙන් දක්වා ඇත්තේ සංඛ හෝ පද්ම වෙනු­වට කුවේ­රගේ ම රූප දෙකකි.

මෙම රූප මැද ඇති බඳුන් පද්ම හා සංඛ නිධි තැන්පත් කළ ඒවා­යැයි සැලකේ. මහා­චාර්ය අනු­රාධ සෙනෙ­වි­ර­ත්න­යන්ට අනුව මුර­ගල් ධන නිධි ආරක්ෂා කරන, ධන­යට අධි­පති කුවේර දෙවි­යාගේ නිරූ­ප­ණ­යක් ලෙසින් සැලකේ. මෙහි වූ බහි­රව රූ ධන­යෙහි ආර­ක්ෂ­ක­යන් සේ සැලකේ. බහි­රව රූප සහිත මුර­ගල් මුල දී යක්ෂ රූපයේ පටන් වඩාත් සංකීර්ණ හා විචිත්‍ර ස්වරූ­ප­යක් දක්වා අභි­ව­ර්ධ­න­යට පත්විය. මුර­ග­ලෙහි විකා­ශ­නයේ අව­සන් අව­ස්ථාවේ දී නාගයා ජල­යෙහි හා ධන­යෙහි ආර­ක්ෂාව සංකේ­ත­වත් කර­මින් බහි­රව රූප ඉක්මවා එම ස්ථාන­යට පත්විය.

කාල­යක් ගත වන විට බහි­ර­වයා ධන­යෙහි ආර­ක්ෂාව පිළි­බඳ සිය භූමි­කා­වෙන් ඉවත් ව ධනය විනා­ශය සල­ස­න්නෙක් බවට ස්ථාන­ගත විය. මෙලෙ­සින් මුර­ග­ලෙහි සංව­ර්ධ­නයේ අව­සාන අව­ස්ථාවේ දී මෙම සියලු සංකේත එකම මූර්ති­ය­කට ගොනු­වෙ­මින් එයින් නව අරු­තක් ධ්වනිත කර­න්නට විය.


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 පෙබරවාරි 16


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/Home/ShareArticle?OrgId=6fa2a246&imageview=0

Monday, February 24, 2020

කල්පනා මැරූ සීතය - 12.12.12


දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක ලොව සුන්දර ම නගරයක සිදු වූ ඇඟ කිළිපොලන හදවත කීතූ කීතූ වලට ඉරා දමන ඒ බිහිසුණු මිනී මැරුම ජීවිත කාලේම විටින් විට ඇවිත් පපුව කොනිති ගසනු ඇත.

ඇත්තටම බොහෝ සෙයින් හදවත කම්පනය කළ කල්පනා - හසීල් ද්විත්ව ඝාතනය පිළිබඳ අවසානය වන තෙක්ම පාඨකයා නිරුත්සාහයෙන්ම අල්වා තබා ගැනීමට කතුවරයා දරපු වෙහෙස අපූර්ත්වයෙන් පොහොසත්.
"පිරිමි කවුරු ද වරදෙ නොබැඳෙන" යන කියමන නැවත වරක් පසක් කරමින් දිව යන මෙහි භාතිය ගැන හිතට නැගෙන සිතුවිලි අති විශාලයි.


ඉතිහාසය පුරාම විමසූ විට බොහෝ මිනී මැරුම් මෙන්න රටවල් අතර යුද්ධ පවා ඇති වීමට හේතු වූ ප්‍රධාන සාධකයකි ගැහැනිය. ඇගේ ලිංගික ආකර්ෂණය බොහෝ පිරිමින් වසඟයට නතු කිරීම සුලබ කරුණක්. තම බිරිඳ ව අත් හැර වෙනත් ස්ත්‍රියකගේ පහස ලැබීමට ඇතැම් පිරිමින් දරන වෙහෙස මහන්සි ය පුදුම සහගතය. ඒ වගේම වෙනත් පිරිමින්ගේ පහස ලැබීමට විවිධ වෑයම් දරන ගැහැනුන් ද සමාජයේ බහුලය.


භාතිය වෙනත් ස්ත්‍රියකගේ දොතොල්හි පහස ලබන අයුරු සියැසින් දකින කල්පනා ඒ වේදනාත්මක මොහොත දරා ගන්නා අයුරු අපූරුය.


තම බිරිඳ ට කොළේ වහන්නට උත්සාහ දරන ස්වාමීන් පුරුෂයන් අතර භාතිය ද තවත් එක් චරිතයකි . මෙහි පිටු අංක 210 සිට 214 දක්වා දැක්වෙන ඒ මුස්පේන්තු සිද්ධිදාමය මීට සිවු වසරකට පෙර මතකයන් අවදි කරන්නේ හදවතට යවුලකින් අනිමිනි.


ඉතා සූක්ෂම ලෙස පාඨකයාව ග්‍රහණයට නතු කර ගන්නා මංජුල සේනාරත්නයන් මේ කතාව පුරාම අපූරු රහස් පරීක්ෂකයෙකුගේ චරිතයට පණ පොවයි.


ජීවිත කාලය මුලුල්ලෙ බොහෝ පොත් රැසක් කියවා තිබුනද මිනී මැරුමක් සම්බන්ධ ව මෙතරම් කම්පනයට පත් වෙච්චි පොතක් මෙතෙක් කියවීමට නොහැකි විය.
එහි අවසානය පුදුම සහගතය. නොසිතූ ලෙස වට කිහිපයක් කරකවා අත් හැර දැමූ සේය.


මෙතෙක් මේ පොත කියවා නොමැති අය හේතුවෙන් ඒ දැනුණු කුතුහලය කීමට නොහැකි වීම දුකකි. ඒ ඔවුන්ගේ කුතුහලය විනාශ කිරීම අනුචිත හෙයිනි.


අවසානයට මෙසේ සටහන් කරන්නෙමි.
ඒ දරුණු හිම වැටුණු රාත්‍රියෙ සීතලට මාගේ හදවත ද ගල් ගැසුණු බවය.


හදවතින්ම සුබ පැතුම් කතුවරයාණනි ...
ඔබ බොහෝ හදවත් සොරාගත් සුන්දර මංකොල්ලකරුවෙකි.
ජය 👍

- රුක්ෂිලා වෙත්තමුණි -

මා බොහෝ සේ පෙම් බැඳි "තීන්ත නදිය"


කාලයාගේ ඇවෑමෙන් වැළලී ගිය ලාංකීය ඉතිහාසයේ එක්තරා යුගයක් එනම් 13 වෙනි සියවසේ පොලොන්නරුවේ පරාක්‍රම රජතුමන්ගේ රාජකීය කවියා වූ අසංකගෙ ජීවිතය නොසිතූ ඉරණමකට ගොදුරු වේ. ඔහු දමිළ ජාතික යුවතියක් හා පෙමින් වෙලේ. 

අතිශය සැහැසි දරුණු පාලකයෙක් වූ කාලිංග මාඝගෙ ආක්‍රමණය හේතුවෙන් මෙරට සමාජය පත් වූ ව්‍යසනය කේන්ද්‍ර කොට ගෙන paul M.M. Cooper විසින් රචනා කරන ලද River of Ink යන කෘතිය සමන් කළුආරච්චි විසින් " තීන්ත නදිය" ලෙස පරිවර්තනය කරනු ලැබීය.

සිංහල, දෙමළ සහ සංස්කෘත යන භාෂා සියල්ලේම එක්කාසුවෙන් ලාංකීය සංස්කෘතිය හා ඉතිහාසය මනා ලෙස කැටි කොට ලියැවුණු අපූරු ඓතිහාසික නවකතාවක් වූ මෙහි ප්‍රේමය , ත්‍රාසය , භීතිය හා කුතුහලය මනාලෙස ඉස්මතු කොට පෙන්වයි.

ඔයාට මතකයි ද ඔයාගෙ කාමරය ඉස්සරහ මිදුලේ කූඩු හදාගෙන හිටපු මයිනො රංචුව ...? අගනුවර බිඳ වැටිච්ච දවසේ, උන් ඔක්කොම එකට රංචු ගැහිලා මං කවදාවත් දැකලා නැති තරම් මහ හයියෙන් කිචි බිචි ගාගෙන ගහෙන් ගහට පියාඹන්න පටන් ගත්තා. ඒක මහ පුදුම ගෝසාවක්....... (21 පිටුව )

"මගේ රටවැසියන් හාමතේ මැරෙනවා බලාගෙන ඉන්න මට පුළුවන් නම් මං මොන ජාතියෙ රජෙක්ද.....? (පිටුව 30)

"දොරටු අරින්න ..... ඇරල ඒවා විවෘත කරලාම තියන්න. කාලිංග දේශයෙන් ආපු මේ තරුණයා .... මේ මාඝගෙ හිතේ කොතැනක හරි තෙතමනයක් තියේවි කියල ප්‍රාර්ථනා කරන එක විතරයි දැන් අපිට කරන්න පුළුවන් ".(පිටුව 31)

.... පහන් දල්වන්නන් වත්තේ අපි හිටපු කෙළවරට තවමත් ළං වෙලා නොතිබුණු හින්දා පහළට නැමුණු මං ඔයාගෙ අත ඇල්ලුවා. වතුර නිසා ඔයා සීතල වෙලයි හිටියේ......

"ඔයාට මොකද වුණේ ....?" මගේ මුහුණේ තිබුණු දූවිලි සෝදන ගමන් මං ඇහුවා. " අර සොල්දාදුවෝ....උන් ඔයාට හිරිහැර කළාද...?
( පිටුව 72)

ඉතාම සිත් ගන්නා සුළු භාෂා රටාවකින් රචිත මෙම නවකතාව රාජ්‍යය සාහිත්‍ය සම්මාන උළෙලේ පරිවර්තිත නවකතා නිර්දේශිත ග්‍රන්ථ අතරට එක්වීම ඉමහත් සතුටක්.

ඇත්තටම ඔබ කියවා රසවිඳිය යුතු අපුරු නවකතාවක් ....

රුක්ෂිලා වෙත්තමුණි

ප්‍රථම සංදේශය කාව්‍යයට උපත දුන් මානාවුළුපුර රම්බා වෙහෙර


උතුරින් වළවේ ගඟින් ද බටහිරින් හා දකුණින් වලවේ ගඟ ලියන්ගස්තොටින් හරවා එන මාමඩල ඇළින් (කොස්වතු ආර) හා නැගෙනහිරින් වැලි පාරට මායිම්ව ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාමඩල උඩරොට ග්‍රාමානුබද්ධව අක්කර 250 ක භූමි ප්‍රමාණයක රම්බා විහාර සංකීර්ණය පිහිටා ඇත.

අතීතයේ දී වළවේ ගඟේ මෝය වන ගොඩවාය දක්වා පුරාවස්තු විසිරී තිබුණු බවට සාධක ලැබෙන අතර රම්බා වෙහෙර සංකීර්ණය දෙපස ජලවහන පද්ධති නිසා ඉතා සශ්‍රීකව පැවති බව සඳහන් වේ. මෙම භූමි ප්‍රදේශය අර්ධ ශුෂ්ක කලාපයට අයත් වූවත් මාමඩල ඇළෙන් හා වළවේ ගඟෙන් වට වී ඇති හෙයින් කර්කෂ හා වියළි බවින් අඩු තෙතමනය සහිත භූමියක ලක්ෂණ දරයි.

ලංකාවේ ලියැවුණු ප්‍රථම සංදේශ කාව්‍ය වූ පාලි භාෂාවෙන් රචිත මානාවුළු සංදේශ කාව්‍ය පළමු වන පරාක්‍රමබාහු රජු සමයේ (1153-1186) එනම් 1181 රම්බා විහාරයේ දී රචනා කරන ලද්දක් බව සඳහන් වෙන අතර එය පාලි කාව්‍ය 62 කින් යුක්තය. දැනට ශේෂව ඇති ලාංකේය සංදේශ කාව්‍යයන් අතර පැරණීතම කෘතිය වන්නේ රුහුණේ මානාවුළුපුර කදලිනාවලියෙන් යුතු මෙම සංදේශ කාව්‍යයයි.

එය රචනා කරන සමයේ දී සාමණේර භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලද පිරිවෙනක් ලෙස රම්බා විහාරය පැවති බව ඉතිහාසය දක්වයි. එමෙන් ම පියදස්සී නම් තෙරුන් වහන්සේ නමක් විසින් පාලි භාෂාවෙන් රචනා කළ මුගලන් වියරණය පහසු කිරීම සඳහා පද සාධනය කර එය රම්බා විහාරයේ සිට රචනා කළ බව ද සඳහන් වේ.

මානාවුළු සංදේශය අනුව පෙනී යන්නේ රම්බා විහාරය 12 වන සියවසේ දී බුරුමයේ රාමඤ්ඤ දේශය සමඟ සමීප සබදතා පවත්වා ඇති බවය. එනම් රාමඤ්ඤ දේශයේ කාශ්‍යප නම් තෙර නමක් විසින් රම්බා විහාරයට එවන ලද සංදේශයකට පිළිතුරු වශයෙන් පාලි භාෂාවෙන් ලියූ මානාවුළු සංදේශය එකල මෙහි විහාරාධිපතිව වැඩ සිටි නාගසේන නම් යතිවරයෙකු විසින් ලියන ලද්දක් බව සැලකේ.

මානාවුළු සංදේශය අනුව රම්බා විහාරයේ විශාල අලි ඇතුන් ගැවසෙන බවත්, උසස් කුලවතුන් විසින් මේ නගරය දියුණු කරන ලද බවත් සඳහන් වන අතර මෙම සමෘද්ධිමත් නගරය සතුරන්ට ළඟා විය නොහැකි බලකොටුවක් ලෙස නිර්මාණය කොට ඇති බවත් කෙසෙල් ගස් විශාල වශයෙන් ඇති බවත් සඳහන් වේ. ආරාමයක් ලෙස රම්බා විහාර පරිශ්‍රය පැවති බවට මහානාග යුව රජුගේ කාලය දක්වා ඉතිහාසය දිවයයි. මානාවුළුපුරය යුවරජු ලෙස මහානාග රාජධානිය කර ගනිමින් ඉදිකළ වෙහෙර විහාර අතර ප්‍රමුඛස්ථානයක් රම්බා විහාරයට හිමි වේ.

පළමු වන පරාක්‍රමබාහු රජු, බුරුම රට ආක්‍රමණය කිරීමට කටයුතු කරන ලද අතර භික්ෂූන්ගේ මැදිහත්වීම මත කීර්ති නගරගිරි සෙනෙවි විසින් අත්පත් කර ගන්නා ලද කුසුමිය නුවර පවා අතහැර පැමිණියේය. පළමු වන විජයබාහූ රජුට, චොල්යින්ට විරුද්ධව සටන් කිරීම සඳහා බුරුමය සහය දුන්න ද පළමු පරාක්‍රමබාහු රජු දවස බුරුමය ආක්‍රමණය කළ හෙයින් දෙරට අතර දේශපාලන අරගලයක් ඇති විය. මෙසේ රටවල් දෙක අතර ඇති වූ භේදය දෙරටේම භික්ෂුන් වහන්සේ ලා අනුමත නොකළ බැවින් රාජ්‍ය දෙකේ සමගිය සඳහා කළ උත්සාහයක් ලෙස මානාවුළු සංදේශය රචනා වීමට ඉවහල් වූ බව කියවේ.

මේ අනුව විශේෂයෙන් පෙනී යන කරුණක් වන්නේ මානාවුළුපුර රම්බා විහාරය ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් වූ ආගමික මධ්‍යස්ථානයක් ලෙස පළමු වන පරාක්‍රමබාහූ රජු දවස පැවති බවයි. මෙහි වැඩ සිටි භික්ෂුන් වහන්සේලා රාජකීය වශයෙන් වැදගත් මෙහෙවරක් සිදුකර ඇති බව මින් පෙනෙයි. එමෙන්ම රම්බා විහාර භික්ෂූන් සාහිත්‍යමය වශයෙන් සුවිශේෂි ක්‍රියාදාමයක නියැළුණු බව ද සඳහන් වේ. අනුරාධපුර සමයේ දී මහාවිහාරය, අභයගිරි වැනි ජාත්‍යන්තර සබඳතා පැවති විශ්වවිද්‍යාල මඟින් ඉටුකළ මෙහෙයන් සේම එවැනිම ශාසනික සේවාවක් රම්බා විහාරය ආශ්‍රිතව සිදුවිය. එනම් කාව්‍ය, ව්‍යාකරණ, පාලි, සංස්කෘත ආදි භාෂා ශාස්ත්‍ර ඉගැන් වූ විශිෂ්ට විද්‍යා ස්ථානයක් විය.

මානාවුළුපුරයේ රජමහා විහාරය වූ රම්බා විහාරය, අතීතයේ දී සම්බා, කදලි යන නම් වලින් හඳුන්වා ඇති අතර ක්‍රි.ව. 15 වන සියවස දක්වාම රජවරුන්ගේ හා භික්ෂුන් වහන්සේලාගේ අනුග්‍රහය යටතේ සංවර්ධනය විය. රම්බා විහාරයේ හමුවන ශිලා ලිපියක “සිරිසඟබෝ රජු රම්බා චේතියේ මැණික් කොත පළදවා දළදාව ආරක්ෂා කිරීමට මුලාදෑනින් පත් කළ බව” සඳහන් වේ. ඒ අනුව ජනප්‍රවාදයේ පැවත එන ලෙස රම්බා විහාරයේ දන්ත ධාතුන් වහන්සේ කාලයක් වැඩ සිටි බවට පැවැත එන මතය සනාථ වේ.

එසේම මහානාග රජු විසින් ධාතු නිදන් කොට ස්තූපයක් තනවා එහි කොත රනින් නිම කළ නිසා “රම්බා” නමින් හඳුන්වා ඇති බවට ද සඳහන් වේ. තව ද වළගම්බා රාජ්‍ය සමයේ දී ඇති වූ බැමිණිටියාසාය නම් සාගතයේ දී අනුරාධපුර හා තිස්සමහාරාමය විහාරවල වැඩ විසූ භික්ෂුන් දොළොස් දහසක ප්‍රමාණයක් පිඬුසිඟා වඩින අවස්ථාවේ දී දෙගොල්ලෝ ම සම්මුඛ වූ ස්ථානය “සම්බා විහාරය” ලෙස හැදින්වූ බව ජනප්‍රවාදයේ දැක් වේ.

නිශ්ශංකමල්ල රජුගේ අනුග්‍රහය රම්බා විහාරයට ලැබී ඇති බවට සෙල්ලිපි සාක්ෂි දරන බැවින් මෙම විහාරය රාජ්‍ය අනුග්‍රහය නොමදව ලත් ජීවමාන පූජා භූමියක් ලෙස පැවති බවට අනාවරණය වේ. එමෙන් ම 15 වන සියවසේ දී තම ප්‍රථම අධ්‍යාපනය ලැබීමට තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පැමිණ තිබෙන්නේ ද මෙම විහාරස්ථ පිරිවෙන වෙතය.

මානාවුළුපුරයේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී අතිශය වැදගත් ස්ථානයක්, පළමු වන විජයබාහූ (ක්‍රි.ව. 1055-1110) රජුට හිමි වේ. එනම් මෙරට බලය අත්පත් කරගෙන සිටි චෝලයින්ගෙන් රට මුදා ගැනීමට දියත් කළ සටන් ව්‍යාපාරයේ මූලස්ථානය ලෙස රම්බා විහාරය හෙවත් ඉපැරණි මානාවුළුපුර රාජධානිය තෝරා ගත් බව සැලකේ.

පළමු වන විජයබාහු රජු සිය රජ පවුලත් සමඟ රුහුණේ රම්මලේ කන්ද ආශ්‍රිතව කුඩා කාලයත්, තරුණ කාලයත් ගත කළ බව අනාවරණය වේ. කීර්ති කුමරු ලෙස කුඩා අවධියේ දී සිත්නරු බිම් බූදල්නාවන් නම් රුහුණේ සෙන්පතියෙකුගේ ආරක්ෂාව යටතේ හැදී වැඩුණු බව පනාකඩුව තඹ සන්නස අනුව පැහැදිලි වේ. කීර්ති කුමාරයා ක්‍රි.ව. 1055 දී පළමු වන විජයබාහු නමින් රෝහණයේ රාජ්‍යත්වයට පත්ව ක්‍රි.ව. 1070 දි චෝලයින්ගෙන් මෙරට නිදහස් කර ගන්නා තෙක් මහානාගකුල හෙවත් මානාවුළුපුර මධ්‍යස්ථානය කර ගනිමින් ක්‍රියා කළ බව සඳහන් වේ.

ක්‍රි.පූ. 03 වන සියවසේ දී දේවානම්පියතිස්සගෙන් පසු රාජ්‍යත්වය හිමිවීමට එම රජුගේ බාල සොහොයුරෙකු වන මහානාග උරුම කිව්ව ද ජීවිතාරාක්ෂාව පතා අනුරාධපුරය අත්හැර මහාගාමයට පැමිණ රෝහණයේ පාලකයා විය. මහාවංශයට අනුව රෝහණ දේශයේ දේශපාලනය, උපරාජ මහානාගගෙන් ආරම්භ වූ බවත් ඔහු රෝහණයේ ප්‍රථම පාලකයා ලෙසත් සඳහන් වේ. කෙසේ වෙතත් මහානාගට සමකාලීනව කාචරගාම හා චන්දනගාම යනුවෙන් ග්‍රාම මුල්ලකර ගත් රාජ්‍යයක් රෝහණයේ බැවති බව ද මහාවංශයේ දක්වා ඇත.

ධාතුවංශයෙහි සඳහන් මෙම කතරගම දස බෑ රජුගේ ඓතිහාසිකත්වය රෝහණ දේශයේ බෝවත්තේගල, කුසලාකන්ද, කඳුරුපොතාන, මොට්ටයාකල්ලු, හෙන්නානිගල හා සිතුල්පව්ව යන ස්ථාන වලින් ලැබෙන ක්‍රි.පූ. 3 සහ ක්‍රි.පූ. 2 වැනි සියවස් වලට අයත් මුල් කාලීන බ්‍රහ්මීය සෙල්ලිපි වලින් සනාථ වේ. මෙම සෙල් ලිපි ස්ථානගත වී ඇත්තේ කිරිඳිඔය, මැණික්, කුඹුක්කන්, ගල්ඔය සහ මුන්දෙණි ආරු යන ගංගා ද්‍රෝණි පදනම් කරගෙනය.

පළමු වන පරාක්‍රමබාහූ රජුගෙන් පසු මානාවුළුපුර පිළිබඳ තොරතුරු බොහෝමයක් අනාවරණය කර ගැනීමට නිශ්ශංකමල්ල රජුගේ කාලයේ ගාවුත කණු ඇසුරු කරගෙන පිහිටුවන ලද ශිලා ලිපි ඉවහල් වේ. රම්බා විහාරයෙන් ලැබුණු පුවරු ලිපියට අනුව නිශ්ශංකමල්ල රජු එම ප්‍රදේශයට පැමිණෙන විට එහි සෞභාග්‍ය හීන වී තිබු බැවින් රම්බා විහාරය අවට ප්‍රදේශවලින් අයබදු රැස් කිරීම අවුරුදු හතරකට නතර කළ බව සඳහන් වේ. එහෙමන් ම එකල මෙම විහාරය අසල විසූ විවිධ ජන කොටස් හා පරම්පරා දැක්වෙන අතර ඔවුන්ගේ ආර්ථික අපහසුතාවයන් පිළිබඳව ද සෙල් ලිපියේ සටහන්ව ඇත.

කෝට්ටේ යුගයේ දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත බුද්ධපසාදිනි ටීකාවේ රම්බා විහාරය ගැන සඳහන් කර ඇත. එමෙන් ම හයවන පරාක්‍රමබාහු සමයේ ලියවුණු පැරකුම්බා සිරිත නම් වූ ප්‍රශස්ති කාව්‍යයේ මානාවුළුපුර රාජ පරම්පරාව පිළිබඳව කරුණු අන්තර්ගත වේ.

1925 දී කොඩ්රින්ටන් විසින් Ceylon Topography in the twelth century නම් ග්‍රන්ථයේත් පැරණි රම්බා විහාරය හා පැරණි මාළිගා පිහිටි ස්ථාන පිළිබඳව දක්වා ඇත. ඩබ්. නිකලස්ගේ පුරාණ මධ්‍යම ලංකාවේ ඓතිහාසික විස්තරය නම් ග්‍රන්ථයෙන් ද රම්බා විහාරය පිළිබඳ සඳහන් කරන අතර රෝහණයේ වළවේ ගං මෝය අසල පිහිටි රුහුණේ දෙවෙනි අගනුවර වූ මහානාගහුල පිහිටා තිබුණේ අම්බලන්තොට ස්ථානයේය යනුවෙන් විල්හෙල්ම් ගයිගර් විසින් රචිත ග්‍රන්ථයේ දක්වා ඇත. එමෙන් ම රම්බා විහාරය ආශ්‍රිත ප්‍රදේශය පිළිබඳ 1880 දී අම්බලන්තොට හා මාමඩල ආශ්‍රිත ප්‍රදේශයේ වාරිමාර්ග කටයුතු වල නිරත වූ ආර්.එල්. බ්‍රෝහියර් විසින් විස්තර කර ඇත.

1950 දී මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් රම්බා විහාරය හා නටබුන් සහිත ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත්තොට ඇති අතර 1959 දී Archaeological Survey of Ceylon Annual හි රම්බා විහාරය පිළිබඳව සඳහන් කර ඇත.

රම්බා විහාර භූමිය තුළ කරන ලද ගවේෂණ හා කැණීම් මඟින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක දත්ත මත ගොඩනැගිලිවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව අනුරාධපුර අවසාන භාගයේ දී ඉදි කරන්නට ඇතැයි යන්න සිතිය හැකි සාධක හමු වී ඇත. මෙතෙක් සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස ගොඩනැගිලි සංකීර්ණ 15 ක් පමණ හඳුනාගත හැකිය. එක් ගොඩනැගිලි සංකීර්ණයක් වටා ගඩොල් ප්‍රාකාර බැමි දක්නට ලැබෙන අතර එම සංකීර්ණයක් ඇතුළත ගොඩනැගිලි 04 ක් හෝ 05 ක් ඉදිකොට ඇත. එසේ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව බෝධිඝර, සන්නිපාත ශාලා, ස්තූප, ප්‍රතිමා ගෘහ, පොකුණු, භික්ෂු කුටි, කැසිකිළි සහ වැසිකිලි ගල් යනාදිය දැක්විය හැකිය.

අංක 21 සංකීර්ණයේ ඇති ප්‍රතිමා ගෘහය හුණු බදාම පිරියම් කර වර්ණ ගන්වා ඇත. මෙහි නිර්මාණ ලක්ෂණ අනුව පොලොන්නරු යුගයේ දී නිර්මාණය කරන්නට ඇතැයි යන්න සිතිය හැකිය. එමෙන් ම අංක 22 සංකීර්ණයේ ඇති ස්ඵටික හුනු ගලින් නිර්මිත හිටි පිළිමය සහිත ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වන්නට ඇති බව පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු වී ඇත. අංක 15 සංකීර්ණයේ ඇති සාධක බෝධිඝරයක ලක්ෂණ දරන අතර ගඩොලින් නිර්මාණය කර ඇත. ක්‍රි.ව. 5-10 සියවස්වලට අයත් බෝධිඝරය චතුරස්‍රාකාර හැඩයක් ගනු ලබන අතර සතර දිශාවට බුද්ධ ප්‍රතිමා 4 ක් තිබුණු බවට සාධක හමු වේ. එමෙන් ම බෝධිඝරයේ තිබී හමු වී ඇති මැටි පාත්‍රය බෝධිය රෝපණය කිරීමට භාවිත කරන ලද පාත්‍රය බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.

විහාර භූමියෙන් හිටි, හිඳි, සැතපෙන යන බුද්ධ ප්‍රතිමා වර්ග තුනම හමුවෙන අතර එම ප්‍රතිමාවන් නිර්මාණය කිරීමට හුණු ගල්, මැටි හා ශෛලමය වශයෙන් මාධ්‍යයන් භාවිතා කොට ඇත.

එමෙන් ම මෙහෙදී කැණීම් මගින් මතුකර ගත් ආභරණ අතර වළලු, මුදු දැක්විය හැකි අතර ඒවා පබළු හා තඹ ලෝහයෙන් නිර්මාණය කර ඇත. මෙම ආභරණ ආගමික ස්මාරක ආශ්‍රිතව හමු වූ බැවින් ආගමික පුද පූජා සඳහා උපයෝගී කර ගන්නට ඇතැයි සැලකේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් රම්බා විහාරයේ සිදු කරන ලද පර්යේෂණවලින් විහාර පරිශ්‍රයේ පිටත ප්‍රාකාර බැම්මේ උතුරු දෙසට විහිදුණ ගොඩනැගිල්ලක තිබූ පහන් කණුවක පාදස්ථ කොටසේ තිබී රාජ්‍යත්ව අවදි තුනකට අයත් කාසි 231 ක් සොයාගනු ලැබීය.

එම කාසි පොළොන්නරු යුගය නියෝජනය කරමින් ලීලාවති රැජින, චොඩගංගදේව රජු හා සහස්සමල්ල රජු විසින් නිකුත් කරන කර ඇති බවට හෙළි වේ. මෙම කාසි, පස් සමඟ ගුළියක් ලෙස තිබී හමු විය.

රම්බා විහාරය පරිශ්‍රයේ දැනට අත්තාණි කනු දෙකක් දක්නට ලැබෙන අතර ඒවා ක්‍රි.ව. 10-12 සියවස් නියෝජනය කෙරෙයි.


සිළුමිණ

වසර 16,000 කට උරුමකම් කියන කූරගල ප්‍රාග් ඓතිහාසික භූමිය


ප්ලයි­ටෝ­සීන යුගයේ අව­සා­නයේ සිටම මානව ජනා­වා­ස­යක් වූ කූර­ගල මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උස­කින් පිහිටා ඇති අතර රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ බලං­ගොඩ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශයේ, කඩ­වත් මැද කෝරළේ, හෙළ උඩ පත්තු­වට අයත් වේ. පැරණි පිය­ගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී වම් පසින් පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකී­ර්ණය පිහිටා ඇති අතර දකුණු පසින් හිටු­ව­න්ගල ගල් ගුහා පිහිටා තිබේ. පොදුවේ කූර­ගල යනු­වෙන් මෙම ස්ථාන හැඳ­න්වූ­වත් මෙහි පර්වත ශිඛර දෙකකි. එය කූර­ගල හා හිටු­ව­න්ගල යි.

කූර­ගල ගල් ලෙන් ප්‍රාග් මානව යුගය දක්වා අතීත ඉති­හා­ස­යක් කරා දිව­ය­න්නකි. කූර­ග­ලට ආසන්න ප්‍රාග් ඉති­හා­ස­යට අයත් ස්ථාන ලෙස උඩු­පි­යන් ගල්ගේ, වලව නිම්නයේ රත්කිඳ සහ බුදු­ගල දැක්විය හැකි ය. ආචාර්ය පී.ඊ.පී. දැර­ණි­ය­ගල හා ආචාර්ය ශිරාන් දැර­ණි­ය­ග­ලට අනුව බෙල්ල­න්බැඳි පැලැ­ස්සෙන් සොයා ගත් මානව අව­ශේෂ හා මෙව­ලම් අදින් වසර 6500 කට අයත් බවට කාල නිර්ණය කර ඇත. එමෙන් ම කූර­ග­ලට තර­මක් ඈතින් පිහි­ටිය ද බළං­ගොඩ මාන­වයා විසූ ස්ථාන ලෙස රාවණ ඇල්ල ගල්ගේ, හල්දු­ම්මුල්ල, රංච­ම­ඩම සහ ගල්පාය දැක්විය හැකි ය.

බළන්­ගොඩ මාන­ව­යාගේ නිජ­බිම් වශ­යෙන් මධ්‍යම කඳු­ක­රයේ ගල් ලෙන් භාවිතා කොට ඇත. කූර­ගල ඇතුළු නැගෙ­න­හිර බෑවුමේ ඇති බුදු­ගල, පබ්බත, සොණ­ගල්ගේ, කිරි­ම­කු­ළු­ගොල්ල ලෙන්, පිය­න්ගි­රිය ලෙන, මනෝ­ප­ද­ස්සන ලෙන, ලෙන් දොර ලෙන, මනෝ­රම්‍ය ලෙන, දේව­ගිරි විහාර ලෙන ආදි වශ­යෙන් බොහෝ ස්ථාන­යන් බළං­ගොඩ මාන­ව­යාගේ වාස­ස්ථාන ලෙස භාවිතා වූ බව සඳ­හන් වේ. එමෙන්ම බළන්­ගොඩ මාන­වයා පිළි­බඳ තොර­තුරු රැසක් ඉහත ප්‍රදේශ වලින් සොයා ගැනී­මට හැකි වූ බැවින් බළන්­ගොඩ සංස්කෘ­තික සමය “හෝමෝ සේපි­යින්ස් බළන්­ගො­ඩිං­සිස්” යනු­වෙන් නම් කිරී­මට මෙම මානව අව­ශේෂ ඉව­හල් විය. කූර­ගල පර්ව­තය පාමුල ඇති බුදු­ගල ප්‍රාග් මාන­වයා විසූ ස්ථාන­යක් ලෙස එහි ගලේ කොටා ඇති මාළුවා, ත්‍රිශූ­ලය, ස්වස්ති­කය, සිංහ රූපය හා මිනිස් රූප දෙකින් ගම්‍ය වේ.

කූර­ගල සෙල් ලිපි පළමු වරට පිට­පත් කිරීමේ ගෞර­වය හිමි විය යුත්තේ සී. එච්. කොලින්ස් මහ­තාට ය.

1932 දී සී.එච්. කොලින්ස් කූර­ගල ගැන තැබූ සට­හන මෙසේ ය.

“මෙයට ළඟා­විය හැක්කේ බළන්ගොඩ- කල්තොට මාර්ගයේ කන්ද කල්තොට දක්වා බෑවුම් වීමට මත්තෙන් ඒ හරහා වැටී ඇති අඩි පාර­කිනි. උස් කඳු මුඳුන් දෙකක් සහ ඒ අතර ඇති ප්‍රපා­තා­කාර කපොල්ල ප්‍රදේ­ශය පුරා­වි­ද්‍යා­ත්මක වශ­යෙන් වැද­ගත්ය. කල්තො­ටට ආසන්න පළමු කොටසේ ගුහා බොහෝ­ම­යක් ඇති අතර එහි දී ශිලා ලේඛන දෙකක් නිරී­ක්ෂ­ණය කෙරුණි. හිටු­ව­න්ගල නමින් හඳු­න්වන උස් කඳු මුදුනේ අනෙක් සාධක දැක ගත හැකි ය” යනු­වෙනි.

බළන්ගොඩ, කූර­ගල පුරා­විද්‍යා රක්ෂි­තයේ 2013 වස­රේදී පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් ගල්ලෙන් ආශ්‍රි­තව කළ කැණීම් මගින් ප්‍රාග් ඓත­හා­සික වාස­ස්ථා­න­යක් ලෙස භාවිතා කර­න්නට ඇති බවට සාධක ලැබිණි. අදින් වසර 16000කට පෙර කාල­යට අයත් බව කැණිම් වළෙහි පහ­ළම ස්තාරා­ය­න­යෙන් කළ වික­ර්ණ­ශීලි දිනවලින් ගණ­නය කර ඇත. එහිදී සොයා ගන්නට ලැබුණු මානව ඇට­සැ­කිල්ල අදින් වසර 8000ක් පැරණි බවට දින නිර්ණය කර ඇත.

2013 වසරේ අප්‍රේල් මස සිට දෙසැ­ම්බර් දක්වා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව විසින් සිදු­ක­රන ලද කැණීම්හි කාල නිර්ණ වාර්තා ඇම­රිකා එක්සත් ජන­ප­දයේ බීටා ඇන­ල­යි­සීස් ආය­ත­නය විසින් කූර­ගල ප්‍රාග් ඓති­හා­සික පස් තැන්පතු සඳහා ලබා­දුන් කාල­නි­ර්ණ­යන් අනුව අදින් වසර 16000 සිට 6000 දක්වා අවධි 5 කට අයත් බව පැවසේ. ශ්‍රී ලංකාව තුළ අතර මැදි කලා­ප­යක සිදු කරන ලද කැණීම් වලින් මෙත­රම් පැරණි සාධක අනා­ව­ර­ණය වන ස්ථානය කූර­ග­ලය. එමෙන් ම මෙහි දී සිදු කරන ලද කැණීම් වලින් මුහුදු බෙල්ලන් විශේ­ෂ­යක් හමු වූ අතර ඉන් අනා­ව­ර­ණය වන්නේ මෙහි ජීවත් වූ මිනි­සුන් මුහුද සමඟ සමී­පව කට­යුතු කර ඇති බව ය. එමෙන් ම මෙහිදි සොයා ගත් ඉතා පිරි­සිදු තිරි­වාණා පාෂා­ණ­යෙන් සෑදු ශිලා මෙව­ලම් සුවි­ශේෂි වේ.

ගල් ලෙන් ආශ්‍ර­ම­යක් ලෙස පැවති කූර­ගල, අනු­රා­ධ­පුර යුගයේ සිට ම පැවති බෞද්ධ පුද බිමකි. මීට ආසන්න ව පිහිටි අනෙක් බෞද්ධ කේන්ද්‍ර­ස්ථාන ලෙස ගල්ටැ­ම්යාය, බුදු­ගල, හඳ­ගි­රිය, දේව­ගි­රිය, කොට්ටි­මු­ල්වල, ලෙන්දොර, මහ සුද­ර්ශන ලෙන හා කිරි­ම­කු­ළු­ගොල්ල යනා­දිය දැක්විය හැකිය. ඒ අනුව කූර­ගල යනු හුද­ක­ලාව පිහිටි ආරණ්‍ය සේනා­ස­න­යක් නොවේ. පශ්චාත් අනු­රා­ධ­පුර යුගයේ දී කූර­ගල ලෙන්වල සිට භාව­නා­යෝගි භික්ෂූන් බුදු­ගල පධා­න­ඝර ආරණ්‍ය සේනා­ස­න­යට වැඩම කර වින­ය­කර්ම කට­යු­තු­වල නිරත වූ බවට සාධක සොයා­ගෙන තිබේ. අද­ටත් වාස්තු විද්‍යා­ත්මක නිර්මාණ රැසක නට­බුන් මෙම ස්ථාන­වල දැක ගත හැකි ය.

කූර­ගල ඓති­හා­සික භූමියේ ඇති ගල්ලෙන් ප්‍රාග් ඓති­හා­සික අව­ධියේ දී විසු මාන­ව­යන් තම වාස­ස්ථාන කර ගත්ත ද ක්‍රි.පූ. 3 වන සිය­ව­සත් ක්‍රි.ව. පළමු සිය­ව­සත් අතර කාල­යට අයත් බෞද්ධ සංඝා­රා­ම­යකි. එනම් කූර­ගල බෞද්ධ අන­න්‍ය­තා­වය තහ­වුරු වන ප්‍රධාන ලෙන් ලිපි තුනකි. (මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තා­න­ය­නගේ අර්ථ­ක­ථ­න­යට අනුව) එනම් ;

01- කූර­ගල ලෙන් ලිපි අංක 01

පෙළ - --------- දතහ සමු­දහ ලෙනෙ

අර්ථය - දත්ත (සහ) සමු­ද්‍රගේ ලෙන

02- කූර­ගල ලෙන් ලිපි අංක 02

පෙළ - දම ගුත තෙරස ලෙන

අර්ථය - ධම්ම­ගුප්ත තෙරුන්ගේ ලෙන

03- කූර­ගල ලෙන් ලිපි අංක 03

පෙළ - (පරු­මක) සුම­නහ

පරු­ම­කලු ශුමය

අර්ථය - ප්‍රධානී සුම­න­ගේත්, සුම්මා නම් ප්‍රධා­නී­ව­රි­ය­ගේත් (ලෙනයි)

මෙම ලෙන් ලිපි මුල් බ්‍රහ්මී අක්ෂර වලින් ලියා ඇති අතර (ක්‍රි.පූ. 3 ත් ක්‍රි.ව. 1 ත් අතර කාලයේ) කූර­ගල බෞද්ධ අන­න්‍ය­තා­වය අදින් වසර 3000කට පෙර අතී­ත­ය­කට දිව­යයි. පැරණි රජ දවස “තණ්ඩු ල්‍යෙයක පබ්බත” සහ “දත්ත ශෛල පබ්බත” යන නම් වලින් හැඳින්වූ අතර පසුකාලී­නව “කුහ­ර­ගල” නමින් ද එය වත්මනේ දී “කූර­ගල” නමින් ද හඳු­න්වන අනු­රා­ධ­පුර යුගයේ මුල් අව­ධියේ සිටම ඓති­හා­සික බෞද්ධ පුද­බි­මකි.

කූර­ගල ඇති ලෙන් ලිපි සිය­ල්ලම ඉතා කෙටිය. එය විශේ­ෂ­ත්ව­යකි. සාමා­න්‍ය­යෙන් බොහෝ ලෙන් ලිපි­වල “අගත අන­ගත චතු දිශ ශගශ දිනෙ” (අතීත අනා­ගත සතර දිසා­වෙන් පැමි­ණියා වූ ද නොපැ­මි­ණියා වූ ද, භික්ෂු සංඝයා වහ­න්සේ­ලාට පූජා කළ වගයි) යනු­වෙන් සඳ­හන් කර තිබුණ ද මෙහි එසේ දක්නට නොලැබේ. ඊට හේතු ලෙස මෙම ස්ථාන, ලෙන් ආරාම සකස් කිරීමේ ප්‍රාථ­මික අව­ධි­යට අයත් ස්ථාන­යක් විය හැකිය. මේ පිළි­බ­ඳව වට­ද්දර ඥානි­ස්සර නාහි­මි­යන් ප්‍රකාශ කර­නුයේ මහි­න්දා­ග­ම­න­යට පෙර, ප්‍රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන් යම් යම් ප්‍රදේශ වලට අයත් අධි­ප­තීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කර­න්නට ඇති බවයි. එම හේතුව උඩ “අගත අන­ගත චතු දිශ ශගශ දිනෙ” යන වැකිය භාවිතා නොක­ර­න්නට ඇතැයි යන්න උන් වහ­න්සේගේ අද­හ­සයි.

ශ්‍රී ලංකාවේ පැර­ණි­තම ආරණ්‍ය සේනා­සන ලෙන් වලට අයත් මිහි­න්ත­ලය, වෙස්ස­ගි­රිය, රිටි­ගල, දිඹු­ලා­ගල, සිතු­ල්ප­වුව, බුද්ධං­ගල ආදිය කූර­ගල ගල් ලෙන් ආරණ්‍ය සේනා­ස­නය හා සම කාලීන අව­ධි­වල දී සංව­ර්ධ­නය වූ බෞද්ධ සංස්කෘ­තික උරු­ම­යන් ය.

කූර­ගල පිළි­බ­ඳව රත්න­පුර දිස්ක්‍රි­ක්කයේ එකල රාජ­කාරි කළ බ්‍රිතා­නය ජාතික දිසා­ප­ති­ව­රුන් සහ සිවිල් නිල­ධා­රීන්ගේ දින­පොත්, ස්ථානීය පරී­ක්ෂණ වාර්තා­වන් මෙන් ම සංචා­රක ගමන් විස්තර සට­හන් අනුව ද තොර­තුරු ලබා­ගත හැකි ය. ඒ අනුව රත්න­පුර දිස්ත්‍රි­ක්කයේ හිටපු දිසා­ප­ති­ව­ර­යකු වන ආර්.බී. හෙලින්ස් මහතා (1906-1910) කූර­ගල අවට කළ සංචා­ර­ය­කින් පසු 1910.02.12 වන දින තබන ලද සට­හ­නක් මෙසේ දැක්විය හැකි ය.

“මට පෙනෙන හැටි­යට මෙම ස්ථානයේ මූලා­ර­ම්භයේ සිට ම වසර ගණ­නා­වක් යන තුරු ශුද්ධ වූ පූජ­නීය ස්ථාන­යක් වශ­යෙන් සහ භව­නා­යෝ­ගීව කට­යුතු කිරී­මට සුදුසු තැනක් ලෙස­ටත් ප්‍රසි­ද්ධව ඇත. එහෙත් එක් අයකු පම­ණක් දැන් මෙහි තාපස ජීවි­ත­යක් ගත කරයි. මගේ මත­කය නිව­රැදි නම් මොහු මුලින් ම වාසය කළේ දිල්ලි නග­ර­යට ආසන්න පාඨ­ලී­පුත්‍ර නග­රයේ ය.

මොහුගේ පියා එහි සිටි ශුද්ධ­වන්ත පුද්ග­ල­ය­කුගේ බිරිඳ නොමග යවා පසුව බල­හ­ත්කා­ර­ක­මින් දූෂ­ණය කරල ඇයගේ සැමියා ද මරා දමන ලද්දේ ය. අවා­ස­නා­වන්ත සිද්ධි­යෙන් ගැබ් ගත් ඇය නිසි කල පිරිමි දරු­වකු බිහි කළාය. වය­සින් වැඩුණු දරුවා මව­ගෙන් සිය පියා ගැන අසා සිටි අව­ස්ථා­වක මව සිය පුත්‍ර­යාට සිදු වූ සියල්ල ඒ පරි­ද්දෙන් ම කියා සිටියා ය.

මින් කෝප­යට පත් පුතා තම මවට අප­රා­ධ­යක් කළ මිනී­මරු පුද්ග­ලයා හෙවත් තමන්ගේ සහ­ජා­තක පියා මරා දමන බවට මව හමුවේ ශපථ කළේ ය. මේ අතර තමන් කළ අප­රා­ධය ගැන පසු­තැ­වුණ මිනී­මරු පුද්ග­ලයා පසුව සිය ජීවි­තය බේරා ගැනීම සඳහා ලංකා­වට පැමිණ සැඟ වී සිටියේ කූර­ගල ය. පළි ගැනීමේ අද­හ­සින් මොහු සොයා පැමිණි පුත්‍රයා එක් රාත්‍රි­යක දරුණු අර­ග­ල­ය­කින් පසු මිනී­ම­රුවා මරා දමන ලද්දේ ය. රාත්‍රිය පුරා ඇසුණු බිහි­සුණු ශබ්ද ගැන විම­සි­ල්ලෙන් සිටි පුද්ග­ල­යෙකු පසු දින කන්ද නැග එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ වෛර­යෙන් දැවෙ­මින් සිටින තාප­ස­යකු හා ගින්නෙන් දැවෙ­මින් පව­තින අළු ගොඩකි.

කූර­ගල පිළි­බඳ අව­සාන විග්‍ර­හයේ දී කූර­ගල සංස්කෘ­තිමය වශ­යෙන් මෙන් ම ආග­මික වශ­යෙන් ද ස්ථර දෙකක් නියෝ­ජ­නය කරයි. එනම් හොලෝ­සීන යුග­යට අයත් ප්‍රාග් ඓති­හා­සික සාධක සහ මූල ඓති­හා­සික යුග­යට අයත් බෞද්ධ සංඝයා වහ­න්සේ­ලාගේ සාධ­ක වශයෙනි.


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 පෙබරවාරි 


පත්තරෙන් බැලීමට
02http://www.silumina.lk/2020/02/01/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B7%80%E0%B7%83%E0%B6%BB-16000%E0%B6%9A%E0%B6%A7-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%C2%AD%E0%B6%B8%C2%AD%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B7%96%E0%B6%BB%C2%AD%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A-%E0%B6%93%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B7%84%E0%B7%8F%C2%AD%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA?fbclid=IwAR2qr5U2N9bx3Sz1HgJOoem-e7c1jmqPippD74MTYshUQBSrrD2Nec15w6k

සෙල්ලිපි මගින් අනා­ව­ර­ණය වන උතුරු-නැගෙ­න­හිර පළා­ත්වල පරි­පා­ල­නය



ත්‍රිසිං­හල සංක­ල්ප­යට අනුව රුහුණ, පිහිටි, මායා යනු­වෙන් බෙදී­මට පළ­මුව මහ­වැලි ගඟෙන් උතුරු පෙදෙස රජ­රට නමින් ද දකුණ රුහුණු රට (රෝහ­ණය) ලෙස ද හඳුන්වා ඇත. අතී­තයේ දී නැඟෙ­න­හිර පළාතේ වැඩි කොට­සක් අයත් වූයේ රෝහණ දේශ­ය­ටය. වර්ත­මාන බෙදීම් අනුව නැඟෙ­න­හිර සහ උතුරු පළාත දිස්ත්‍රික්ක හැඳි­න්වීම මත අම්පාර දිශාව, මඩ­ක­ල­පුව දිශාව, ත්‍රිකු­ණා­මල දිශාව, මන්නා­රම් දිශාව, වවු­නියා දිශාව, මුල­තිව් දිශාව, කිලි­නොච්චි දිශාව හා යාප­නය දිශාව ලෙස කොටස් අට­කට බෙදා ඇත.

පැරණි පාලන කොට්ඨාස බෙදීම් අනුව උත්ත­ර­ප­ස්සය යනු­වෙන් හැඳින්වූ කොට­සට උතුරු පළාත අයත් වූ අතර ඓති­හා­සික සාධක මත වවු­නි­යාව, මුල­තිව්, මන්නා­රම, කිලි­නො­ච්චිය සහ යාප­නය උත්ත­ර­ප­ස්සට අයත්ව තිබිණි.

සෙල්ලි­පි­වල සඳ­හන් ගම් දන­ව් සහ නගර කිහි­ප­යක් ලෙස මයු­වෙ­ලස ගාමය (හැඩ ඔය නිම්නයේ), කාම්බෝ­ජ­ගාම (කඹු­ක්කන් ඔය නිම්නයේ), දීඝ­වා­පිය (ගල්ඔය නිම්නයේ), කසබ නගර, ගිරි­ති­ශ­ගම, විල­ගම, කර­ජි­නි­ති­ශ­ගම, මලු­ගම, දහ­දි­ය­ගම, ගෝණ­ගා­මය, උරු­වේලා, මගන යනාදි ලෙස දැක්විය හැකිය.

රජ­රටේ අග­නු­වර වූ අනු­රා­ධ­පු­රය සමස්ත දිව­යි­නේම අග­නු­වර වූ අතර මහ­ර­ජ­තුමා රාජ්‍යය නිල­ධාරී මණ්ඩ­ල­යක් මගින් මුළු රටම පාල­නය කළේය. පාලන ඒක­ක­වල ප්‍රධාන නිල­ධරයා ලෙස රජ­ප­වුලේ කෙනෙක්, ආසන්න ඥාති­යෙක් හෝ විශ්වා­ස­වන්ත පුද්ග­ල­යෙක් පත් විය.

ඒ අනුව අතී­තයේ සිටම නැඟෙ­න­හිර පළාත ද උත්තර පස්සය නම් වූ උතුරු පළාත ද පාල­නය කරන ලද්දේ රජු විසින් පත් කරන ලද නිල­ධරයකු යට­තේය. කුඩා පාලන ඒකක ඔස්සේ එම නිලධරයා මහ­ර­ජුට වග­කී­මෙන් බැඳී සිටි­යේය.

ධාතු­වං­සය සහ මහා­වං­ස­යට අනුව දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ කාල­ව­ක­වා­නුවේ දී ඔහුගේ සහෝ­දර මහා­නාග උප­රජු, රෝහ­ණ­යට පැමිණ මාගම නමින් පාලන මධ්‍ය­ස්ථා­න­යක් ස්ථාපිත කළ බවත් කත­ර­ගම සහ චන්ද­න­ගම නමින් පාලක පිරිස් දෙකක් සිටි බවත් සඳ­හන් වේ. බෝව­ත්තේ­ගල, කොටා­දැ­මු­හෙළ, බුදු­පැ­ටු­න්කන්ද වැනි සෙල්ලි­පි­ව­ලින් කත­ර­ගම පාල­ක­යන් පිළි­බඳ තොර­තුරු අනා­ව­ර­ණය වෙයි.

පාචීන පස්ස (නැඟෙ­න­හිර පෙදෙස) හෙවත් පචි­න­භූ­මිය මහා­නාග යුව­ර­ජුගේ කාලයේ සිට රෝහණ දේශයේ නැගෙ­න­හිර කොටස ලෙස සලකා ඇති අතර පචි­නභූ­මිය රජ ලෙස එහි පාල­කයා පිළි­බඳ සේලි­ලි­පි­වල හැඳි­න්වෙයි.

ධාතු­වං­ස­යෙන් පැහැ­දිලි කෙරෙන ආකා­ර­යට කාව­න්තිස්ස රජුගේ කාල වක­වා­නුවේ දී සේරු­නු­වර, ලෝණ­නු­වර, ගිරි­නු­වර නමින් මාණ්ඩ­ලික පාල­ක­යන් සිටි ස්ථාන කිහි­ප­යකි. පසු කාලී­නව ගිරි­නු­වර සෝම­නු­ව­රට මාරු විය. එම මාණ්ඩ­ලික පාල­ක­යන් රජ නමින් හඳුන්වා ඇති අතර කාව­න්තිස්ස රජු යටතේ සමස්ත රෝහණ දේශ­යම ඒක­ච්ඡත්‍ර විය. ඒ අනුව කාව­න්තිස්ස රජුගේ පාලන සමය මධ්‍යයේ දී සමස්ත රෝහ­ණය ඒකීය පාල­න­යට යටත් වූ බව සඳ­හන් වේ.

රෝහ­ණයේ දකුණු කොටසේ ප්‍රධාන නග­රය මාගම වූ අතර උතුරු කොටසේ ප්‍රධාන උප­න­ග­රය දීඝ­වා­පිය විය. එම කාල­ව­ක­වා­නුවේ දී රජ­රට ආක්‍ර­ම­ණි­ක­යකු වූ එළාර රජුට යටත් ව පැවති රජ­රට දුටු­ගැ­මුණු මහ­රජු යට­තට පත් වීමෙන් ස්වාධී­නව පැවති සමස්ත රෝහණ දේශ­යත් රජ­රට ඇතුළු මුළු දිව­යි­නම දුටු­ගැ­මුණු මහ­රජු යටතේ එක්සේ­සත් විය.

උතුරු පළාත හෙවත් උත්තර පස්ස පිළි­බඳ මේ කාල­ව­ක­වා­නුවේ දී සලකා බැලීමේ දී රජ­රට පාලන ප්‍රදේ­ශය පස්ස නමින් හැඳි­න්වෙන ප්‍රදේශ හත­ර­කට බෙදා තිබිණි. එනම්,

අනු­රා­ධ­පුර අග නග­ර­යෙන් දකුණු පෙදෙස දක්ඛිණ පස්ස

නැගෙ­න­හිර පෙදෙස පාචීන පස්ස

බට­හිර පෙදෙස පච්ඡිම පස්ස

උතුරු පෙදෙස උත්තර පස්ස

යනාදි වශයෙනි.

එම දිශා පාලි ලේඛ­න­වල සඳ­හන් කර ඇත්තේ “පස්ස” යන වච­න­යෙනි. සෙල්ලි­පි­වල සඳ­හන් පරිදි උතුරු පස (උතුර), පඩි පස (බට­හිර), පජිනි පස (නැඟෙ­න­හිර) හා දකිණි පස (දකුණ) යන්නය.

මින් උත්තර පස්සට අයත් භූමි ප්‍රදේශ වශ­යෙන් වර්ත­මා­නයේ වවු­නියා, මුල­තිව්, කිලි­නොච්චි, මන්නා­රම්, යාප­නය යනාදි වශ­යෙන් දැක්විය හැකිය. සෙල්ලිපි සාධක අනුව වවු­නි­යාවේ තෝනි­ගල සෙල්ලි­පියේ උත්තර පස්ස ලෙස ද මන්නා­රම් සෙල්ලි­පියේ උතු­රු­ක­රායෙ (කරායෙ යනු මුහුදු වෙරළ ආසන්න ප්‍රදේ­ශය) ලෙස ද සඳ­හන් වේ.

සෙල්ලිපි මඟින් පැහැ­දිලි වන තවත් කරු­ණක් වනනේ දේවා­න­ම්පි­ය ­තිස්ස රාජ්‍ය සම­යට සම වක­වා­නුවේ මන්නා­රම් ප්‍රදේ­ශයේ රජ නමින් පෙනී සිටි කණ (කණ්ණ හෝ කෘෂ්ණ) එම ප්‍රදේ­ශයේ පාල­කයා යන්නය. එසේ වුව ද ඔහු දේවා­න­ම්පි­ය ­තිස්ස යටතේ ක්‍රියා කළ බව පෙනේ. පෙරි­ය­පු­ලි­ය­ම්කු­ලමේ ඇති සෙල්ලි­පිය අනුව වවු­නියා ප්‍රදේ­ශයේ නග, උති යනු­වෙන් දෙදෙ­නෙකු රජ නමින් පෙනී සිටි බව සඳ­හන් වන අතර, උත්තර පස්සයේ වවු­නියා, මුල­තිව්, කිලි­නොච්චි ප්‍රදේශ අනු­ප්‍රා­ප්ති­ක­යන් ලෙස මහ­රජු යටතේ පාලන කට­යුතු සිදු කරන ලද බව පෙනේ. ප්‍රාදේ­ශීය පාල­ක­යන් වූ රජ පවුලේ උද­විය රජ වශ­යෙන් හෝ අය වශ­යෙන් සඳ­හන් වී ඇති අතර අනු­රා­ධ­පු­ර­යෙන් සිටි රජ, මහ­රජ ලෙස සඳ­හන් වීම පැහැ­දිලි කරු­ණකි.

ඉහත සඳ­හන් බෙදීම් අනුව නාග­දී­පය උත්තර පස්ස­යෙහි ලා කිනම් පෙදෙ­සක පිහිටා තිබුණේ ද යන්න විමසා බැලීමේ දී යාප­නයේ පැරණි නට­බුන් පෙදෙ­සක් වූ වල්ලි­පු­රමේ විෂ්ණු දේවා­ල­යක් සෑදී­මට බෞද්ධ විහා­ර­ස්ථා­න­යක් කණින අව­ස්ථා­වක එහි අත්ති­වා­රම් බැම්මට ඇතු­ළත් කර තිබූ රන්පත ඉතා වැද­ගත් විය. එය වල්ලි­පු­රම් රන්පත ලෙස හැඳින්වේ. නාග­දී­පය පාල­නය පිණිස පත් වී සිටි ඇමැ­ති­ව­රයා එහි කට­යුතු සංවි­ධා­නය කළේ මහ­ර­ජුගේ අණ­ස­කට අනුව බව එම­ඟින් පැහැ­දිලි වේ. එම ලිපියේ නාග­දී­පය හඳුන්වා ඇත්තේ “නක­දිව” යනු­වෙනි. එය “නක­දිව බුජ­මිනි” (නාග­දී­පය පාල­නය කර­මින්) යන්න සඳ­හන් වේ. මේ ලිපිය අනුව එවක නාග­දී­පය “ඉසි­ගි­රිය” නම් ඇම­ති­ව­රයා විසින් පාල­නය කරන ලදී. එමෙන්ම වසභ රජුගේ රාජ්‍ය­ත්ව­යට අයත් නිල­ධා­රි­යෙකු බව ඉන් පැහැ­දිලි වෙයි.

මහා­චාර්ය සෙන­රත් පර­ණ­වි­තා­න­යන්ට අනුව වල්ලි­පු­රම් රන්පත අර්ථ­ක­ථ­නය කර මෙසේ දැක්විය හැකිය.

සිධ මහ­රජ වහ­යහ රජෙහි අමෙතෙ

ඉසි­ගි­රයෙ නක­දිව බුජ­මෙනි

බද­කර අත­නෙහි පිය­ගුක තිස

විහර කරිතෙ

අර්ථය

යහ­ප­තක් ම වේවා ! වහ (බ) මහ­ර­ජුගේ රාජ්‍ය සම­යෙහි අමාත්‍ය වූ ඉසි­ගි­රිය නක­දිව පාල­නය කරන කල්හි පිය­ගු­ක­තිස බද­කර - අතන නම් ස්ථාන­යෙහි විහා­ර­යක් කර­වන ලදී.

මේ අනුව වසභ රජුගේ කාලයේ දී නාග­දී­පය ඉසි­ගිර ඇමැ­තියා විසින් පාල­නය කරන ලද බව පැහැ­දිලි වේ. එමෙන් ම දිගින් දිග­ටම උත්තර පස්සෙහි ශාස­නික සේවා සිදු වූ බවට “නෙළු­ගල” සෙල්ලි­පියේ සඳ­හන් පරිදි ඉසි­ගි­රට සමාන ඇමැ­ති­ව­ර­යෙකු වූ අස­ගිරි විසින් නැඟෙ­න­හිර පළාතේ බෞද්ධ පූජ­නීය ස්ථාන­යක් සංව­ර්ධ­නය කළ ආකා­රය පැහැ­දිලි වේ. මින් තව­දු­ර­ටත් ඒකීය රාජ්‍ය­යක් යටතේ පාල­නය වූ බවට සාක්ෂී දරයි.

“තුනු­කායි” ශිලා ලිපියේ දැක්වෙන පරිදි නැඟෙ­න­හිර පළාතේ තම රාජ­කා­රිය ක්‍රියා­ත්මක කළ නිල­ධරයන් තිදෙ­නෙකු පිළි­බඳ සඳ­හන් වේ. එනම්,

01- නිල­ව­සැ­ම­න්දියා

02- කුඩු­ප­ස­ක්කැ­මි­සෙනු

03- සෙනෙ­වි­රත් වදුරා වැරූ මොකා­ප්පර්

නමු ඩෑ නිලා යනාදි වශ­යෙනි.

ඒ නිලධරයන් නාග­දී­ප­යට ද ගොස් මහ­ර­ජු­ගෙන් ලද නියෝග ක්‍රියා­ත්මක කර ඇත.

හත­ර­වන කාශ්‍යප රජුගේ (ක්‍රි-ව- 898-914) කාලයේ කදු­රු­ගොඩ විහා­රයේ ඇති සෙල්ලි­පියේ රුහුණෙ සිට උතුරේ කෙළ­වර දක්වා “තම­හට එක­ත්කොට” ගත් බව රජු ප්‍රකාශ කර තිබේ. එම ලිපියේ අද­හස වූයේ කදු­රු­ගොඩ අභ­ය­ගිරි නම් වෙහෙ­රට වර­ප්‍ර­සාද දීමයි. එහි ඇතු­ළත කොටා ඇති ලිපි­යක (14 වන සිය­ව­සට අයත්) “උතු­රු­පස වල්පිට නාවෙ­හෙර” යනු­වෙන් සද­ඟන් කර තිබේ. 4 වන කාශ්‍යප රජුගේ කාලයේ දී උතුරු පළා­තෙන් සහ නැඟෙ­න­හිර පළා­තෙන් ලැබෙන සෙල්ලි­පි­වල අක්ෂර කලාව, භාෂාව, සංස්කෘ­තිය, පාලන රටා­වට සමා­නව සෙල්ලිපි, වයඹ හා දකුණු පළාත් වලින් ලැබී ඇත. ඉන් පැහැ­දිලි වන්නේ රාජ්‍යයේ අඛණ්ඩ නාය­ක­ත්ව­යක් පැව­තුණ බවයි.

වංශ­ක­ථා­වල දැක්වෙන පරිදි දඹ­දෙණි රාජ­ධා­නිය හෙබ වූ දෙවන පැර­කුම්බා මහ­රජු (1236-1270) රට එක්සේ­සත් කිරීමේ දී රජ­රටේ කඳ­වුරු බැඳ­ගෙන සිටි කාලිංග මාඝ සේනා­වන් පලවා හැර ඇත. දකුණේ ගැටුම් පව­තිද්දී යාපන ප්‍රදේ­ශය ස්වාධීන කර­ගත් ආර්ය­ච­ක්‍ර­ව­ර්තීහු (ඔවුන් කාලිං­ග­යෝය) කෝට්ටේ 6 වන පැර­කුම්බා රජ­තු­මාගේ (1412-1467) කාලයේ දී සපු­මල් කුමරු අතින් පරා­ජ­යට පත් වූහ. තොට­ග­මුවේ ශ්‍රී රාහුල හිමි විසින් රචිත “සැළ­ලි­හිණි සංදේ­ශයේ” සපු­මල් කුමරු යාපා­ප­ටුන ජය­ ගෙන පැමිණි අයුරු වර්ණනා කොට ඇත. එමෙන්ම කෝකිල සංදේ­ශයේ ද ආර්ය­ච­ක්‍ර­වර්ති පැරදි රට­හැර ගිය බව පව­සයි. සපු­මල් කුමරු 6 බුව­නෙ­කබා නමින් රජ වූ (1470-1478) පසු වීදා­ගම හිමි­යන් යාප­න­යට වැඩ­මවා ධර්ම­දේ­ශ­න­යක් කරවූ බව සඳ­හන් වේ.

මේ අනුව උතුරු සහ නැඟෙ­න­හිර පළා­ත්වල පරි­පා­ල­නය ඒකීය රාජ්‍ය­ත්ව­යක් යටතේ පැවති බව සෙල්ලිපි මඟින් අනා­ව­ර­ණය වේ.