සඳකඩ පහණ දෙපස ඇති දොරටු අංග මුරගල ලෙස හැඳින්වේ. මුරගලේ විකාශය සඳකඩ පහණට වඩා වේගයෙන් සිදුවිය. අභයගිරි විහාරයෙන් එසේ විකාශනය වූ විවිධ සංවර්ධන අවධීන් හි මුරගල් හමුවේ. කැටයම් කිසිත් නැති දිග හතරැස් ගල් පුවරුවක් සහිත කොරවක් ගල් අග කෙළින් සිටුවා ඇති මුරගල් විකාශනයේ මුල් ම අවස්ථාවයි. පසුකාලීනව එයට නියරක් වැනි කොටසක් එකතු විය. පුන්කලස තුන්වැනිව එක් වූ අංගයකි. ඊට පසු අවස්ථාවේ දී වාමන රූප උපයෝගී කොට ගෙන ඇත.
මුරගලේ විකාශනයේ ඊට පසු අවස්ථාවේ දී දිසා පාලක රූපවලට ප්රමුඛස්ථානයක් දී ඇත. එම දිසා පාලක මහාරජවරුන් හඳුනා ගැනීමට මුරගල්වල සංකේත යොදා තිබේ. උතුර, දකුණ, බටහිර හා නැගෙනහිර නියෝජනය කරමින් මුරගලේ එක් පසෙක කුලුනක් මත සිටින සිවුපා රූප දැක්විය හැකිය. එමඟින් උතුර සඳහා සිංහයා ද දකුණ ට ගවයා ද බටහිරට අශ්වයා ද නැගෙනහිරට ඇතා ද යනුවෙන් සංකේතවත් කොට ඇත.
ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ හා වෛශ්‍රවණ යන සතරවරම් මහරජවරුන්ගේ රූප ඉතා අලංකාර ලෙස මෙම මුරගල්වල නිරූපණය කැර ඇත. දිව්‍යාභරණ හා දිව්‍ය ඇඳුම්වලින් යුක්තව දකුණු අතින් පුන්කලසක් ද කටියේ රඳවන ලද වමතින් මල් ඉත්තක් ද ගෙන සමභංග හෝ ත්‍රිභංග ලෙස මෙම රූප කැටයමට නගා ඇත. මොවුන් දේවත්වයේ ලා සලකන අතර වෛශ්‍රවණ හැර අනිත් තිදෙනා නාග සම්බන්ධය ඇති අය ලෙස හඳුන්වන බැවින් ඔවුන්ගේ හිස් වටා නා පෙණ දක්වා තිබේ.
අභයගිරි විහාර පරිශ්‍රයේ ඇති රත්න ප්‍රාසාදයේ දොරටුව නැගෙනහිරට මුහුණ ලා පිහිටි බැවින් එහි ඇති මුරගලෙහි ඇත් රුව නිරූපණය කර තිබේ. එමෙන් ම කපාරාරාමයේ උතුරට මුහුණ ලා තනා ඇති දොරටුවේ මුරගලෙහි සිංහ රූපය නියෝජනය වේ.
ඒ අනුව උතුරෙහි ප්‍රධාන දිසාපාලක ලෙස වෛශ්‍රවණ හෙවත් කුවේර හඳුනාගත හැකි අතර මුදල් පෙට්ටික් අතැතිව සිටින වාමනයෙකුගේ රූපයක් මෙහි දී නිරූපිතය. එමගින් ඉතා පහසුවෙන් කුවේර හඳුනා ගන්නට හැකි බව සඳහන් ය.
අභයගිරි පරිශ්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මූල හතරක් යටතේ එකල පාලනය වූ බව 10 වන සියවසේ v වන කාශ්‍යප රජුගේ අභයගිරි ශිලා ලේඛනය අනුව පැහැදිලිය. එනම් සතර මූලයෙන් වට වූ අභයගිරි වෙහෙරෙහි රත්නප්‍රාසාදය දිව්‍ය භවනක් සේ දිස් වූ බව දැක්වේ. කපාරාරාම මූලය, මහනෙත්පා මූලය, වහදු මූලය හා උත්තර මූලය ලෙස මෙම සතර මූලයන් හඳුන්වා ඇත.
බහිරව උපත හා බැඳුණු ජනප්‍රවාද අනුව බහිරවගේ උපත වෛදික යුගය හා දිව යයි. බහු දේවවාදි සංකල්පය මත පදනම් ව විවිධ ස්වභාවික ද්‍රව්‍යයන් එනම්, ගස් ගල්, ගාංගා, සුළඟ, අව්ව, වැස්ස, පර්වත ආදි ජූජනීය වස්තූන් ලෙස සලකා වන්දනාමාන කිරීම සිදුවිය. දේව වන්දනාවේ ආරම්භය ඒ ආකාරයෙන් සිදුවන විට බ්‍රහ්මණ අවධිය වන විට ඒක දේව වාදය, පුද්ගල දේව වාදය මත පදනම් ව සමාජය තුළ මුල්බැස ගන්නට විය.
පුරා විද්‍යාත්මක සාක්ෂි ඉතා අල්ප ලෙස විග්‍රහ කෙරෙන පදයක් ලෙස නිදන් දැක්විය හැකිය. සරලව ගත්කළ නිදන් යනු තැන්පත් කිරීම යි. අභයගිරි දාගැබෙහි දකුණු වාහල්කඩින් හමු වී ඇති ශිලාලේඛන දෙකක් ඇසුරින් මේ පිළිබඳ අදහසක් ලබාගත හැකි ය. මළුතිස හෙවත් කණිට්ඨතිස්ස රජු විසින් (ක්‍රිස්තු වර්ෂ 164 – 192) කරවන ලද මෙම ශිලා ලේඛන අනුව,
I. මළුතිස මහරජහ රජිණි මිතබිය ධාතු නිජනෙ
අදහස – මළුතිස මහ රජුගේ බිසව වූ මිතගේ ධාතු මෙහි තැන්පත් කරන ලදි
II. මලිතිස මහරජහ මති සිරබිය ධාතුනිජනෙ
අදහස – මලිතිස මහ රජුගේ මව් වූ සිරිබියගේ ධාතු රජු විසින් මෙහි තැන්පත් කරන ලදි
ක්‍රි.ව. 2 වන සියවසේ සිට නිදන් කිරීමේ සංකල්පය පිළිබඳ සාධක හමු වන අතර මෙහි ධාතු නිජනෙ යනුවෙන් නිදන් කිරීම එසේත් නැතිනම් තැන්පත් කිරීම යන අරුත් සපයයි.
නිදන් සංකල්පය අනුව පට බැඳුණකි බහිරව යන්න. ඒ අනුව බහිරව යනු භූමියට අධිගෘහිත යක්ෂ බලවේගයකි යන්න මතයකි. 11 වෙනි සියවසේ දී රචිත “බෝධි වංශයට” අනුව බහිරව යනු බිය ජනක යන අදහසයි. 12 වන සියවසේ දී ගුරුළු ගෝමීන් විසින් ධර්ම ප්‍රදීපිකාවේ මෙම පදය බිය ජනක රූප යන්න අරුත් ගන්වා ඇත. ජාතක කතා රචකයා විසින් භයානක ස්වරූප යන්න යොදා ඇත. එමෙන් ම කාලිදාසගේ සෘතු සංහාරයට අනුව යක්ෂයාගේ ප්‍රධානියා කුවේරය. කුවේරගේ ආලකමන්දාවේ බහිරවයන් සිටින අතර එම දේව සභාවේ ප්‍රධානීන් දෙදෙනකු ලෙස සංඛ පද්ම හඳුන්වා ඇත.
කාශ්‍යප සීගිරිය ගොඩ නැගීමට කුවේරගේ අලකාපුර සංකල්පීය ලක්ෂණ උපයෝගි කර ගත් බවත්, සංඛ පද්ම නිධි සංකල්පය කුවේර සතු නව නිධානයක් ආරක්ෂා කරන බහිරවයන් ලෙස දැක්වීමටත් යොදා ගෙන ඇත. මේ අනුව කිසියම් වටිනාකමක් ඇති වස්තුවක් සඟවා තැබීම හෝ නිධන් කිරීම යන්න මෙම සංකල්පයේ මූලික අර්ථයයි.
බහිරව උත්පත්ති කතා අනුව බහිරවයන් ගණනාවකි. එනම් මහා බහිරව, හැඩ බහිරව,කෘර බහිරව, කාල බහිරව, නාග බහිරව, සංඛ හා පද්ම බහිරව යනාදි වශයෙනි. අභයගිරි විහාරයේ වලගම්බා රජුගේ කාලයේ සිට සංඛ පද්ම බහිරවයන් වෙනුවෙන් වාර්ෂික පූජා මංග්‍යලයක් පැවැත්විණි.
සංඛ නිධි හා පද්ම නිධි යනුවෙන් හැඳින්වෙන මෙම බහිරවයන් අභයගිරි ස්තූපයේ දකුණු පිවිසුම් දොරටුවෙහි පිහිටුවා ඇති අතර, ඉන් සංඛ දකුණු පසත්, පද්ම වම් පසත් දක්නට ලැබේ. මෙම බහිරව රූප හඳුනා ගැනීමේ සංකේත ලෙස පද්මගේ හිසෙහි නෙළුම් මලක් ද සංඛගේ හිසෙහි හක් ගෙඩියක් ද නිරූපණය කර ඇත. එමෙන් ම දෑස් දල්වාගෙන ඇති අතර ශරීරය හරහා පූන නූලක් පැලඳ, බඳ පටියකින් සැරසී මාල දෙකක් හා අතේ ඉහළ කෙළවරෙහි වළලු දෙකක් පැලඳ සිටියි. ඉනේ වටා යන රෙදි කඩකින් ඇඳුම නිරූපිතය.
විජයබා මාලිගයේ තිබෙන මුරගලේ බහිරව රූප සහිත මුරගල් හා සසඳා බලන විට නිර්මාණ ලක්ෂණ අතින් ඉතා සංකීර්ණ ස්වභාවයක් ගනී. මෙහි විද්‍යමාන වන ලක්ෂණ ලෙස දිගැටි හිස කෙස්, ආභරණ හා කර්ණාභරණ පැළඳගෙන සිටීම යනාදි වශයෙන් දැක්විය හැකි ය. පද්ම බහිරව ඉතා සෞම්‍ය ලෙසත්, සුදු පැහැති මල් මාලයකින් සරසා ඇති බවත් දක්නට ලැබෙන අතර, විභාග ජය, මංගල්‍යය, දරු ඵල, අපල දුරු කර ගැනීම, ගොවිතැන් ඇරඹීම, සුව නොවන රෝග සුව කර ගැනීම ආදි විවිධ අභිලාෂයන් ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් වත්මනේ දී පවා බොහෝ පිරිස් පුද පූජා පවත්වා බාරයන් ගැට ගසති. එමෙන්ම සංඛ බහිරව සඳහා නඩු හබ, පළිගැනීම්, නැති දෙයක් සෙවීමට යනාදි ලෙස රතු රෙදි පටියක කාසියක් ඔතා බාරයන් ගැට ගසනු දක්නට ලැබේ. සංඛ යනු පද්මගේ විරුද්ධ පැත්ත බවත් රතු පැහැති මල් මාලයකින් සරසා තිබීම විශේෂත්වයකි.
ලංකාවේ මෑත ඉතිහාසය තුළ වඩාත් ජනප්‍රිය බහිරව ඇදහීම අභයගිරිය ආශ්‍රය කොට ගෙන සිදු වේ. එමෙන් ම දැනට සංඛ පද්ම අදහන එකම ස්ථානය වන්නේ ද අභයගිරියයි යන්න පැවසේ. සංඛ පද්ම බහිරව රූප සහිත මුරගල් අතරින් අනුරාධපුරයේ ඇති පැරණිත ම මුරගල ලෙස තොළුවිල භූමියේ ඇති මුරගල හැඳින්වේ. කුවේර, නව නිධානයන් ගෙන් යුත් එක් සංකල්පයක් බවත් එය පෙරදිග කලාවේ ධනේශ්වර ලෙස ද හඳුන්වා ඇත. ගිරා සංදේශයට අනුව,
ගත් මෙන් නව නදන්
කෙරෙමින් කලි අකුරු දන්
කර සත සිත නදන්
දේය අවුරුදු පතා මහ දන්
යනුවෙන් දක්වා තිබේ. ගිරා සන්දේශයේ සඳහන් පරිදි නව නදන් හෙවත් නවනිධාන නම් සංඛ පද්ම ඇතුළු බහිරවයන් 9 දෙනෙකි. කාලිදාසයන් විසින් රචිත මේඝදූතයේ දූතයා වූ මේඝ (වැහි වළාව) කුවේරගේ මාලිගය කරා පැමිණෙන විට දොරටුව අසල ඇඳ තිබූ සංඛ පද්ම දෙදෙනාගේ රූප දුටු බව කියවේ. ඉන්දියාවේ කැටයම් අතර නිධි රක්ෂයන් වශයෙන් දක්වා ඇත්තේ සංඛ හෝ පද්ම වෙනුවට කුවේරගේ ම රූප දෙකකි.
මෙම රූප මැද ඇති බඳුන් පද්ම හා සංඛ නිධි තැන්පත් කළ ඒවායැයි සැලකේ. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන්ට අනුව මුරගල් ධන නිධි ආරක්ෂා කරන, ධනයට අධිපති කුවේර දෙවියාගේ නිරූපණයක් ලෙසින් සැලකේ. මෙහි වූ බහිරව රූ ධනයෙහි ආරක්ෂකයන් සේ සැලකේ. බහිරව රූප සහිත මුරගල් මුල දී යක්ෂ රූපයේ පටන් වඩාත් සංකීර්ණ හා විචිත්‍ර ස්වරූපයක් දක්වා අභිවර්ධනයට පත්විය. මුරගලෙහි විකාශනයේ අවසන් අවස්ථාවේ දී නාගයා ජලයෙහි හා ධනයෙහි ආරක්ෂාව සංකේතවත් කරමින් බහිරව රූප ඉක්මවා එම ස්ථානයට පත්විය.
කාලයක් ගත වන විට බහිරවයා ධනයෙහි ආරක්ෂාව පිළිබඳ සිය භූමිකාවෙන් ඉවත් ව ධනය විනාශය සලසන්නෙක් බවට ස්ථානගත විය. මෙලෙසින් මුරගලෙහි සංවර්ධනයේ අවසාන අවස්ථාවේ දී මෙම සියලු සංකේත එකම මූර්තියකට ගොනුවෙමින් එයින් නව අරුතක් ධ්වනිත කරන්නට විය.
සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 පෙබරවාරි 16
පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/Home/ShareArticle?OrgId=6fa2a246&imageview=0
No comments:
Post a Comment