Tuesday, February 25, 2020

රජවරුන්ට යුද කඳවුරක් වූ රිටි­ගල

රිටි­ගල පුරා විද්‍යා­ත්මක හා වාස්තු විද්‍යා­ත්මක ඓති­හා­සික නට­බුන් භූමි­යකි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 766 ක උසින් රිටි­ගල කන්ද පිහිටා ඇති අතර අක්කර 7 200 ක පමණ භූමි­ය­කින් යුත් මෙම වන පෙදෙස හබ­රණ - අනු­රා­ධ­පුර මාර්ගයේ ගල­පි­ටි­ගල හා ගනේ­ව­ල්පොල අතර ප්‍රදේ­ශයේ පැතිර ඇත. රිටි­ගල, ඖෂධ කන්ද - කොඩි­ගල කන්ද - උණ කන්ද - ආඬියා කන්ද - පළ­තුරු කන්ද - අම­රා­පති කන්ද - උල්පත් කන්ද යන පරි­වාර කඳු හතක් වට කර­ගෙන පිහිටි ස්‌වභාව ධර්මයේ අපූ­ර්ව­තම නිර්මා­ණ­යකි. ‍රජරට පිහිටි උසම කන්ද ලෙස ද රිටි­ගල හඳු­න්වනු ලබන අතර අනු­රා­ධ­පු­රය, දඹුල්ල හා සීගි­රිය රිටි­ග­ලට ආස­න්නව පිහිටා ඇත.

මහා­වං­ශය හා වෙනත් වංශ­ක­තා­වන් හි සඳ­හන් අරි­ට්ඨ­ගාම, අරිට්ඨ පබ්බත යනු රිටි­ග­ලම බව පැහැ­දිලි වේ. ඒ අනුව අරිට්ඨ පබ්බත යනු­වෙන් හැඳින්වූ මෙම භූමිය රිටි­ගල ලෙස හැඳි­න්වී­මට හේතු ගණ­නා­වක් ඇති අතර සෙල්ලිපි මඟින් තව දුර­ටත් එය තහ­වුරු වේ. 11 වැනි සිය­ව­සට පෙර සිටම රිටි­ගල, ආර­ණ්‍ය­වාසී භික්‍ෂූන් වාසය කළ සේනා­සන සංකී­ර්ණ­යකි. චෝල ආක්‍ර­මණ හේතු­වෙන් මෙම ආරණ්‍ය සේනා­ස­නය කිසි­වෙ­කුගේ අව­ධා­නට ලක් නොවී වල් බිහි වන්නට විය.

රිටි­ගල නාඋ­ල්පත කොටසේ ගිරි­ලිපි අතර “අරිටෙ“ යනු­වෙන් හා වේවැ­ල්තැන්නේ “අරිට මහ­ගම“ යනු­වෙන් සඳ­හන්ව ඇත. රිටි­ගල යනු වචන දෙක­කින් යුත් පද­යකි. එනම් රිටි+ගල යන්නය. පාලි භාෂා­වෙන් රිටි යන්න අරිට්ඨ ලෙස අර්ථ දැක්වේ. ගිරි හෝ පබ්බත ලෙස ගල හැඳින්වේ. අභි­ලේ­ඛඥ ඩී.එම්.ද. ඉසෙඩ් වික්‍ර­ම­සිංහ විසින් රිටි­ගල යන්නෙහි නිරුක්ති කිහි­ප­යක් පරීක්ෂා කරන ලද අතර ඒ සෑම නිර්ව­ච­න­ය­කින් ම කන්දේ සුවි­ශේෂි ලක්ෂණ නිරූ­ප­ණය කොට ඇත.

එසේම රිටි­ගල සම්බ­න්ධව ඇති විවිධ මත අතර මහා අරිට්ඨ මෙහි වාසය කළ නිසා ඒ නම පට බැඳුණු බවත් අරිට්ඨ ශබ්දයේ කාල පාෂාණ (කළු ගල්) යන්න අද­හස් වෙන බැවින් කළු­ගල් පර්ව­තය යන අද­හ­සින් අරිට්ඨ පබ්බත වූ යැයි ද සඳ­හන්ය. තවත් මත­යක් ලෙස ‘රිටි’ යනු පාලි ‘අරිට්ඨ’ යන්නෙන් ‘ආර­ක්ෂාව’ යන අරුත් ඇති පද­යක් වන බැවින් රිටි­ගල යනු ආර­ක්ෂක පර්ව­ත­යකි.

ලංකාවේ පළමු පුරා­විද්‍යා කොම­සා­රිස් වූ එච්.සී.පී බෙල් සඳ­හන් කරන්නේ ආර්ය ලක්දිව යක්ෂ “අරිට්ඨ“ යනු ආර­ක්ෂීත ගල යන්නය. රජ­ව­රුන්ට මෙන් ම හොරුන්ට ද ආර­ක්ෂිත ස්ථාන­යක් ලෙස රිටි­ගල පැවති බව චූල­වං­ශයේ ද සඳ­හන්වේ.එච්.සී.පී බෙල්, රිටි­ගල කන්දේ කරන ලද ගවේ­ෂණ පද­නම් කර­ගෙන එහි ලෙන් හා ශිලා ලිපි හඳු­නා­ගෙන ඇත.

දිග රිට යන අර්ථ­ය­යෙන් ද රිටි­ගල හැඳින්වේ. එසේ ම රිටි­ගල දක්නට ඇති 'රිටි' නැමති ගස් වර්ගය නිසා මෙම පර්ව­තය රිටි­ගල නමින් හඳු­න්ව­න්නට ඇත යන්න තවත් මත­යකි. මහා­නාම හිමි විසින් මහා­වං­ශයේ රිටි (අරිට්ඨ) භයා­නක යන්න හැඟ­වී­මට යොද­න්නට ඇති බව ද විශ්වාස කෙරෙයි.

1872 දී රජයේ මිනි­න්දෝ­රු­වකු වූ ජේම්ස් මැන්ටෙල් විසින් සිදු කරන ලද ගවේ­ෂණ හේතු­කොට ගෙන වන­ග­තව පැවති රිටි­ගල ලෝක ප්‍රජා­වගේ අව­ධා­න­යට යොමු විය. කඳු මුදු­නෙහි ත්‍රිකෝ­ණ­මි­තික ස්ථාන­යක් ඔහු විසින් පිහි­ට­වනු ලද අතර රිටි­ගල නට­බුන් ඇසු­රින් සකස් කරන ලද වාර්තාව එම වර්ෂයේ දී ප්‍රකා­ශ­යට පත්විය. එය ප්‍රථම වරට රිටි­ගල නට­බුන් සම්බන්ධ වූ වාර්තා­වයි. ඊට පසුව ජේම්ස් මැන්ටෙල් ගේ සොහො­යුරු වූ ඩී.ජී. මැන්ටෙල් විසින් 1878 දී රිටි­ගල චාරි­කා­වක නිර­තව වාර්තා­වක් සැකසී ය. 1892 දී ජේ.බී.එන්. රිඩ­වුඩ් නම් රජයේ මිනි­න්දෝරු විසින් රාජ­කීය ආසි­යා­තික සමි­තියේ සඟ­රා­වට රිටි­ගල නට­බුන් පිළි­බඳ ව සවි­ස්තර සට­හ­නක් පළ කරනු ලැබීය.

රිටි­ගල පිහිටි වෘක්ෂ­ලතා පරීක්ෂා කොට ඒවායේ එක­තු­වක් ගොඩ නැගූ ප්‍රථම උද්භිද විද්‍යා­ඥයා වූයේ Ceylon Handbook to the Flora of Ceylon නැමැති ග්‍රන්ථයේ කතු­වර හෙන්රි ට්‍රීමන් ය. 1887 දී කීට විද්‍යා­ඥ­යෙක් වූ ඒ.පී. ග්‍රීන් එක්ව රිටි­ගල නරඹා ඊට අදා­ළව සකස් කළ ලිපිය රාජ­කීය ආසි­යා­තික සංග­මයේ ලංකා ශාඛා සඟ­රාවේ පළ­විය.

හෙන්රි ට්‍රීමන් පව­සන පරිදි පහත් තෙත් බිම්වල පිහිටි උස් කලා­ප­වල වෘක්ෂ­ලතා අනෙක් කඳු­කර ප්‍රදේශ වලට වඩා වෙනස් ය. රිටි­ගල කාල­ගු­ණය සෞම්‍ය බවින් යුතු අතර ඒ වටා ඇති වියළි කලා­පීය ප්‍රදේ­ශ­යට වඩා අධික වර්ෂා­වක් ඊසාන දිග මෝසම් සුළ­ඟින් ලැබේ. එමෙන් ම විශේ­ෂ­යෙන් නිරිත දිග මෝසම් කාලයේ දී සිදු­වන අධික වාෂ්ප ඝණී­භ­ව­නය වීම හේතු­වෙන් පහළ තැන්නේ නියං තත්ත්ව­යක් ඇති වුව ද රිටි­ගල කන්දේ පස තෙත­ම­න­යෙන් යුක්තය. 1922 දි රිටි­ගල වෘක්ෂ­ලතා පිළි­බඳ අධ්‍ය­ය­නය කළ උද්භිද විද්‍යාඥ ජේ.සී.විලීස් විසින් Age and Area කෘති­යෙන් වෘක්ෂ­ල­තා­වන්ගේ භූගෝ­ලීය ව්‍යාප්තිය පිළි­බ­ඳව න්‍යායක් ඉදි­රි­පත් කරන ලදී. ලංකා­වට ම ආවේ­ණීක උද්භිද වර්ග 3 ක් රිටි­ගල කඳු මුඳුනේ ඇති බව ඔහු සඳ­හන් කර ඇත.

එමෙන් ම 1933 දී ආර්. එල්. බ්‍රෝහි­යර් විසින් සම්පා­දිත ශ්‍රී ලංකාවේ අතීත වාරි ශිල්පය නමැති ග්‍රන්ථ­යෙන් රිටි­ගල පිහිටි වාරි පද්ධ­තිය ඉතා සුවි­ශේෂි නිර්මා­ණ­යක් බව පෙන්වා දී ඇත. 1941.11.07 දින අංක 8809 දරණ රජයේ ගැස­ට්‌ ­නි­වේ­ද­නය නිකුත් කර­මින් රිටි­ගල කන්දේ වර්ග කිලෝ­මී­ටර් 5.28 ක්‌ වූ භූමි ප්‍රදේ­ශය දැඩි ආර­ක්‍ෂිත කලා­ප­ය­ක්‌ ­බ­වට එව­කට සිටි පුරා­විද්‍යා කොම­සා­රි­ස්‌ ­ආ­චාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රකා­ශ­යට පත් කරන ලදී. 1960 දි ඔහුගේ මූලි­ක­ත්වය යටතේ රිටි­ගල පුරා­වි­ද්‍යා­ත්මක කට­යුතු ආරම්භ කරන ලද අතර 1980 දී පිහි­ටු­වන ලද සංස්කෘ­තික ත්‍රිකෝ­ණය (මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල) ආරම්භ වීමත් සමඟ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව එක්ව එහි කැණීම් හා සංර­ක්ෂ­ණය කර­න්නට විය.

රිටි­ගල ආශ්‍රිත ජන­ප්‍ර­වාද හා ඓති­හා­සික තොර­තුරු අතර රාම-රාවණ පුවත පුමු­ඛ­ස්ථා­න­යක් ගනු ලබයි. එනම් රාවණ විසින් ඉන්දි­යාවේ රාමගේ බිසව වූ සීතා දේවිය පැහැ­ර­ගෙන විත් සඟවා තැබූයේ රිටි­ගල යැයි ව්‍යව­හා­රයේ ඇත. ඇය සොයා පැමිණි රාමගේ සොයුරු ලක්ෂ්මන් අතර මගදි රෝගා­තුර වූ බැවින් ඔහු සමඟ පැමිණ සිටි හනු­මන්තා හිමා­ලය වන­යට ගොස් සෙවු ඖෂ­ධය සොයා ගන්නට නොහැකි වූ බැවින් හිමා­ලය කන්දෙන් කොට­සක් කඩා­ගෙන පැමිණි බවත් එයින් කොට­සක් කැඩි ගොස් රිටි­ගල කන්දට යාව පිහිටි ඖෂධ කන්ද නිර්මා­ණය වූ බවත් එමෙන්ම රූම­ස්සල හා දොළු­කන්ද මෙසේ කඩා වැටුණු කොටස් වලින් ඉතිරි කොටස් ලෙස ද ජන­ප්‍ර­වා­දයේ කියවේ.

එමෙන් ම දුටු­ගැ­මුණු රජ­තු­මාගේ (ක්‍රී.පු. 101 – 77) කාලයේ දි දස­මහා යෝධ­යන් අතර සිටි ගෝඨ­යි­ම්බර හා රිටි­ගල අර­ක්ගත් යක්ෂ ගෝත්‍රික සෙන්ප­ති­යෙක් වු රිටි­ගල ජය­සේන අතර ඇති වූ සටන ජන­ප්‍ර­වා­දයේ එන තවත් කතා­වකි. මේ සට­නේදි ගෝඨ­යි­ම්බර යෝධ­යාගේ පහ­ර­කට ජය­සේ­නගේ හිස වෙන්වි සොයා ගත නොහැකි තැනක වැටුණු බවත්, සෙන­සුරු විසින් කඳේ පණ ඇති බව දැක හදි­සියේ පැමිණ වළ­ස­කුගේ හිසක් ජය­සේ­නට සවි­කල බවද පුරා­වෘ­ත්ත­වල දැක්වෙන අතර හදි­ස්සි­යට හිස සවි­කි­රිමේ දි හිස පසු­ප­සට සවි­කළ බවත් සඳ­හන්ය. එබැ­වින් පසුව ජය­සේන මහ­සෝන් යක්ෂයා විය.

ලක්දිව පළමු මහ රහ­තන් වහන්සේ ලෙස සඳ­හන් වෙන අරිට්ඨ හිමි ප්‍රමුඛ 500 ක් සංඝයා වහ­න්සේලා රිටි­ගල සේනා­ස­න­වල ආර­ණ්‍ය­වා­සීව වැඩ විසූ බව දැක්වේ. පුරා­වි­ද්‍යා­ත්මක අග­ය­ක්‌ ­ඇති විවිධ ගොඩ­නැ­ඟිලි 140 ක පමණ නට­බුන් හා පැරණි ආයු­ර්වේද රෝහ­ලක නට­බුන් වර්ත­මා­නයේ දී පවා රිටි­ගල දී දැක බලා ගත හැකි ය.

කටා­රම් කොටන ලද 70 කට අධික ලෙන් ද බ්‍රාහ්මි අක්‍ෂ­ර­ව­ලින් ලියන ලද ශිලා ලේඛන අත­රින් 35 ක්‌ සහ පරි­ව­ර්ත­නය කරන ලද ලිපි දෙකක් ගල් පර්ව­තයේ ඇති බව සඳ­හන් ය. බට­හිර දෙසට නාම­ළුව සහ නාඋ­ල්පොත වැටිය, ගිනි­කොන දෙසට කුඩා අර­ම්බැද්ද වැටියේ, දකුණු අන්තයේ මර­ක්කල උල්පොත සහ නැගෙ­න­හිර දෙසට ආඬි­යා­කන්ද වැටි­යෙන් විශා­ල­තම ගුහා සංකී­ර්ණ­යන් හමුවේ. කර­ඹේ­හින්න වැටියේ පර්ව­ත­යෙන් ගුහා දෙකක් හමු­වන අතර බන්දා පොකුණ ආස­න්නයේ ලෙන් හයක් දක්නට ලැබේ.

අනු­රා­ධ­පුර රාජ­ධා­නිය බිහි­වී­මට පෙර සිට ම පැහැ­දිලි ඉති­හා­ස­යක් රිටි­ගල සම්බ­න්ධව ඇත. එනම් ක්‍රි.පූ. 437 දී පණ්ඩු­කා­භ­යගේ (ක්‍රි.පූ. 377–307) සටන් මධ්‍ය­ස්ථා­න­යක්ව රිටි­ගල පැව­තුණු බවත් ඔහු සිය මාමා­ව­රුන් සමග කළ සටනේ දී ප්‍රධාන මධ්‍ය­ස්ථා­නය ලෙස මෙම භූමිය යොදා­ගත් බව ද සඳ­හන්ය. පණ්ඩු­කා­භය සමයේ රිටි­ගල යක්ෂ­යින්ගේ නිජ භූමි­යක් ලෙස පැව­තුණු බව ද දුටු­ගැ­මුණු රාජ්‍ය කාලයේ දී යක්ෂ­යින්ට අධි­ප­තී­ත්වය දැරූ ජය­සේන නම් යක්ෂ සේනා­ධි­ප­ති­යෙක් විසූ බව ද පැවැසේ. රිටි­ගල කන්දේ නාඋ­ල්පත ඇති සෙල්ලි­පිය අනුව ක්‍රි.පූ. 119 - 109 සද්ධා­තිස්ස රජුගේ දෙටු පුත් ලජ්ජ­තිස්ස, රිටි­ගල “කන්ද­ර­හී­නක” නම් විහා­ර­යක් සාදා ඇති බව ද අඹ­තලා (අබ­ද­ලක) වැව බඳවා එම විහා­රයේ භික්ෂූන්ට පිදූ බව ද සඳ­හන්ය.

රිටි­ගල ආරා­මය, කන්දේ නැගෙ­න­හිර ට පිහිටා ඇත. මෙහි කළ කැණීම් වල දී පධා­න­ඝර කිහි­ප­යක් හමු විය. එහි ශිලා ස්ථම්භ මුදුනේ පියැසි තිබුණු බවට සාධක ලැබේ. එසේම මෙම භූමි­යට ප්‍රවේශ වීමේ දී හමු­වෙන “බන්දා පොකුණ” අති විශාල වූ ශිලා­මය නිර්මා­ණ­යකි. පොකුණේ ඉවුරු ඇතුළු මුහු­ණතේ ගල් පඩි දක්නට ඇති අතර අතී­තයේ දී මෙම පඩි ජල මට්ටම දක්වා පහ­ළට පව­ති­න්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. ජලා­ශයේ සැලැස්ම බහු කෝණික වේ. එහි පරි­ධිය මීටර් 366 (අඩි 1200) පම­ණය.

මෙම පොකුණ සම්බ­න්ධව විවිධ මත පවතී. ආර­ණ්‍ය­වා­සීව වැඩ වාසය කළ පන්සි­ය­ය­ක්‌ ­සං­ඝ­ර­ත්නයේ පැන් පහ­සුව සඳහා මෙම බන්දා පොකුණ ඉදි කර­න්නට ඇත යන්නත්, ආරා­මයේ තවත් නාන පොකුණු රැසක් පව­තින බැවින් මෙත­රම් විශාල පොකු­ණක් භික්ෂුන්ගේ ස්නානය සඳහා වෙන් වූවක් නොව ආරා­ම­යට පැමි­ණෙ­න්නන්ගේ චාරි­ත්‍රා­නූ­කූල ස්නාන කට­යුතු සඳහා බන්දා පොකුණ භාවිත කර­න්නට ඇතැයි යන්න තවත් අද­හ­සකි.

ආරා­මයේ ප්‍රධාන ගොඩ­නැ­ගිලි දක්වා යාමට තිබෙන ශිලා පදික වේදි­කාව අඩි 8 ක් පළ­ලින් සහ අඩි 15000 දිගින් (මීටර් 437) යුක්ත ය. මීට අම­ත­රව ගල්පා­ලම්, පිය­ගැට පේළි, කවා­කාර ශෛල­මය වේදිකා, ඔප දැමූ සුවි­සල් ගල් පුවරු, සෙල්මුවා පහණ, තටාක, බෙහෙත් ඔරු, සල­ප­තළ මළු, විවි­ධා­කාර ගිම­න්හල් ආදී විශ්මය ජනක ශිලා­මය නිර්මාණ රිටි­ගල දක්නට ලැබේ.


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
23 පෙබරවාරි, 2020


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/Home/Index

2 comments:

  1. වටිනා දැනුම් සම්හාරයක් අක්කා
    නොදත් කරුණු රැසක් මේ ඔස්සේ දැන ගත්තා

    ReplyDelete