Monday, February 24, 2020
වසර 16,000 කට උරුමකම් කියන කූරගල ප්රාග් ඓතිහාසික භූමිය
ප්ලයිටෝසීන යුගයේ අවසානයේ සිටම මානව ජනාවාසයක් වූ කූරගල මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක උසකින් පිහිටා ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කඩවත් මැද කෝරළේ, හෙළ උඩ පත්තුවට අයත් වේ. පැරණි පියගැට පෙළ ඔස්සේ ගමන් කිරීමේ දී වම් පසින් පූර්ව බ්රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකීර්ණය පිහිටා ඇති අතර දකුණු පසින් හිටුවන්ගල ගල් ගුහා පිහිටා තිබේ. පොදුවේ කූරගල යනුවෙන් මෙම ස්ථාන හැඳන්වූවත් මෙහි පර්වත ශිඛර දෙකකි. එය කූරගල හා හිටුවන්ගල යි.
කූරගල ගල් ලෙන් ප්රාග් මානව යුගය දක්වා අතීත ඉතිහාසයක් කරා දිවයන්නකි. කූරගලට ආසන්න ප්රාග් ඉතිහාසයට අයත් ස්ථාන ලෙස උඩුපියන් ගල්ගේ, වලව නිම්නයේ රත්කිඳ සහ බුදුගල දැක්විය හැකි ය. ආචාර්ය පී.ඊ.පී. දැරණියගල හා ආචාර්ය ශිරාන් දැරණියගලට අනුව බෙල්ලන්බැඳි පැලැස්සෙන් සොයා ගත් මානව අවශේෂ හා මෙවලම් අදින් වසර 6500 කට අයත් බවට කාල නිර්ණය කර ඇත. එමෙන් ම කූරගලට තරමක් ඈතින් පිහිටිය ද බළංගොඩ මානවයා විසූ ස්ථාන ලෙස රාවණ ඇල්ල ගල්ගේ, හල්දුම්මුල්ල, රංචමඩම සහ ගල්පාය දැක්විය හැකි ය.
බළන්ගොඩ මානවයාගේ නිජබිම් වශයෙන් මධ්‍යම කඳුකරයේ ගල් ලෙන් භාවිතා කොට ඇත. කූරගල ඇතුළු නැගෙනහිර බෑවුමේ ඇති බුදුගල, පබ්බත, සොණගල්ගේ, කිරිමකුළුගොල්ල ලෙන්, පියන්ගිරිය ලෙන, මනෝපදස්සන ලෙන, ලෙන් දොර ලෙන, මනෝරම්‍ය ලෙන, දේවගිරි විහාර ලෙන ආදි වශයෙන් බොහෝ ස්ථානයන් බළංගොඩ මානවයාගේ වාසස්ථාන ලෙස භාවිතා වූ බව සඳහන් වේ. එමෙන්ම බළන්ගොඩ මානවයා පිළිබඳ තොරතුරු රැසක් ඉහත ප්‍රදේශ වලින් සොයා ගැනීමට හැකි වූ බැවින් බළන්ගොඩ සංස්කෘතික සමය “හෝමෝ සේපියින්ස් බළන්ගොඩිංසිස්” යනුවෙන් නම් කිරීමට මෙම මානව අවශේෂ ඉවහල් විය. කූරගල පර්වතය පාමුල ඇති බුදුගල ප්රාග් මානවයා විසූ ස්ථානයක් ලෙස එහි ගලේ කොටා ඇති මාළුවා, ත්‍රිශූලය, ස්වස්තිකය, සිංහ රූපය හා මිනිස් රූප දෙකින් ගම්‍ය වේ.
කූරගල සෙල් ලිපි පළමු වරට පිටපත් කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ සී. එච්. කොලින්ස් මහතාට ය.
1932 දී සී.එච්. කොලින්ස් කූරගල ගැන තැබූ සටහන මෙසේ ය.
“මෙයට ළඟාවිය හැක්කේ බළන්ගොඩ- කල්තොට මාර්ගයේ කන්ද කල්තොට දක්වා බෑවුම් වීමට මත්තෙන් ඒ හරහා වැටී ඇති අඩි පාරකිනි. උස් කඳු මුඳුන් දෙකක් සහ ඒ අතර ඇති ප්‍රපාතාකාර කපොල්ල ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්ය. කල්තොටට ආසන්න පළමු කොටසේ ගුහා බොහෝමයක් ඇති අතර එහි දී ශිලා ලේඛන දෙකක් නිරීක්ෂණය කෙරුණි. හිටුවන්ගල නමින් හඳුන්වන උස් කඳු මුදුනේ අනෙක් සාධක දැක ගත හැකි ය” යනුවෙනි.
බළන්ගොඩ, කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ 2013 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගල්ලෙන් ආශ්‍රිතව කළ කැණීම් මගින් ප්රාග් ඓතහාසික වාසස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇති බවට සාධක ලැබිණි. අදින් වසර 16000කට පෙර කාලයට අයත් බව කැණිම් වළෙහි පහළම ස්තාරායනයෙන් කළ විකර්ණශීලි දිනවලින් ගණනය කර ඇත. එහිදී සොයා ගන්නට ලැබුණු මානව ඇටසැකිල්ල අදින් වසර 8000ක් පැරණි බවට දින නිර්ණය කර ඇත.
2013 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද කැණීම්හි කාල නිර්ණ වාර්තා ඇමරිකා එක්සත් ජනපදයේ බීටා ඇනලයිසීස් ආයතනය විසින් කූරගල ප්රාග් ඓතිහාසික පස් තැන්පතු සඳහා ලබාදුන් කාලනිර්ණයන් අනුව අදින් වසර 16000 සිට 6000 දක්වා අවධි 5 කට අයත් බව පැවසේ. ශ්‍රී ලංකාව තුළ අතර මැදි කලාපයක සිදු කරන ලද කැණීම් වලින් මෙතරම් පැරණි සාධක අනාවරණය වන ස්ථානය කූරගලය. එමෙන් ම මෙහි දී සිදු කරන ලද කැණීම් වලින් මුහුදු බෙල්ලන් විශේෂයක් හමු වූ අතර ඉන් අනාවරණය වන්නේ මෙහි ජීවත් වූ මිනිසුන් මුහුද සමඟ සමීපව කටයුතු කර ඇති බව ය. එමෙන් ම මෙහිදි සොයා ගත් ඉතා පිරිසිදු තිරිවාණා පාෂාණයෙන් සෑදු ශිලා මෙවලම් සුවිශේෂි වේ.
ගල් ලෙන් ආශ්රමයක් ලෙස පැවති කූරගල, අනුරාධපුර යුගයේ සිට ම පැවති බෞද්ධ පුද බිමකි. මීට ආසන්න ව පිහිටි අනෙක් බෞද්ධ කේන්ද්‍රස්ථාන ලෙස ගල්ටැම්යාය, බුදුගල, හඳගිරිය, දේවගිරිය, කොට්ටිමුල්වල, ලෙන්දොර, මහ සුදර්ශන ලෙන හා කිරිමකුළුගොල්ල යනාදිය දැක්විය හැකිය. ඒ අනුව කූරගල යනු හුදකලාව පිහිටි ආරණ්‍ය සේනාසනයක් නොවේ. පශ්චාත් අනුරාධපුර යුගයේ දී කූරගල ලෙන්වල සිට භාවනායෝගි භික්ෂූන් බුදුගල පධානඝර ආරණ්‍ය සේනාසනයට වැඩම කර විනයකර්ම කටයුතුවල නිරත වූ බවට සාධක සොයාගෙන තිබේ. අදටත් වාස්තු විද්‍යාත්මක නිර්මාණ රැසක නටබුන් මෙම ස්ථානවල දැක ගත හැකි ය.
කූරගල ඓතිහාසික භූමියේ ඇති ගල්ලෙන් ප්රාග් ඓතිහාසික අවධියේ දී විසු මානවයන් තම වාසස්ථාන කර ගත්ත ද ක්‍රි.පූ. 3 වන සියවසත් ක්‍රි.ව. පළමු සියවසත් අතර කාලයට අයත් බෞද්ධ සංඝාරාමයකි. එනම් කූරගල බෞද්ධ අනන්‍යතාවය තහවුරු වන ප්‍රධාන ලෙන් ලිපි තුනකි. (මහාචාර්ය සෙනරත් පරණවිතානයනගේ අර්ථකථනයට අනුව) එනම් ;
01- කූරගල ලෙන් ලිපි අංක 01
පෙළ - --------- දතහ සමුදහ ලෙනෙ
අර්ථය - දත්ත (සහ) සමුද්‍රගේ ලෙන
02- කූරගල ලෙන් ලිපි අංක 02
පෙළ - දම ගුත තෙරස ලෙන
අර්ථය - ධම්මගුප්ත තෙරුන්ගේ ලෙන
03- කූරගල ලෙන් ලිපි අංක 03
පෙළ - (පරුමක) සුමනහ
පරුමකලු ශුමය
අර්ථය - ප්‍රධානී සුමනගේත්, සුම්මා නම් ප්රධානීවරියගේත් (ලෙනයි)
මෙම ලෙන් ලිපි මුල් බ්රහ්මී අක්ෂර වලින් ලියා ඇති අතර (ක්‍රි.පූ. 3 ත් ක්‍රි.ව. 1 ත් අතර කාලයේ) කූරගල බෞද්ධ අනන්‍යතාවය අදින් වසර 3000කට පෙර අතීතයකට දිවයයි. පැරණි රජ දවස “තණ්ඩු ල්‍යෙයක පබ්බත” සහ “දත්ත ශෛල පබ්බත” යන නම් වලින් හැඳින්වූ අතර පසුකාලීනව “කුහරගල” නමින් ද එය වත්මනේ දී “කූරගල” නමින් ද හඳුන්වන අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම ඓතිහාසික බෞද්ධ පුදබිමකි.
කූරගල ඇති ලෙන් ලිපි සියල්ලම ඉතා කෙටිය. එය විශේෂත්වයකි. සාමාන්‍යයෙන් බොහෝ ලෙන් ලිපිවල “අගත අනගත චතු දිශ ශගශ දිනෙ” (අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියා වූ ද නොපැමිණියා වූ ද, භික්ෂු සංඝයා වහන්සේලාට පූජා කළ වගයි) යනුවෙන් සඳහන් කර තිබුණ ද මෙහි එසේ දක්නට නොලැබේ. ඊට හේතු ලෙස මෙම ස්ථාන, ලෙන් ආරාම සකස් කිරීමේ ප්‍රාථමික අවධියට අයත් ස්ථානයක් විය හැකිය. මේ පිළිබඳව වටද්දර ඥානිස්සර නාහිමියන් ප්‍රකාශ කරනුයේ මහින්දාගමනයට පෙර, ප්රාග් බෞද්ධ සමයේ මෙම ගල් ලෙන් යම් යම් ප්‍රදේශ වලට අයත් අධිපතීන් විසින් බුදුන් වහන්සේ උදෙසා පූජා කරන්නට ඇති බවයි. එම හේතුව උඩ “අගත අනගත චතු දිශ ශගශ දිනෙ” යන වැකිය භාවිතා නොකරන්නට ඇතැයි යන්න උන් වහන්සේගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ පැරණිතම ආරණ්‍ය සේනාසන ලෙන් වලට අයත් මිහින්තලය, වෙස්සගිරිය, රිටිගල, දිඹුලාගල, සිතුල්පවුව, බුද්ධංගල ආදිය කූරගල ගල් ලෙන් ආරණ්‍ය සේනාසනය හා සම කාලීන අවධිවල දී සංවර්ධනය වූ බෞද්ධ සංස්කෘතික උරුමයන් ය.
කූරගල පිළිබඳව රත්නපුර දිස්ක්‍රික්කයේ එකල රාජකාරි කළ බ්‍රිතානය ජාතික දිසාපතිවරුන් සහ සිවිල් නිලධාරීන්ගේ දිනපොත්, ස්ථානීය පරීක්ෂණ වාර්තාවන් මෙන් ම සංචාරක ගමන් විස්තර සටහන් අනුව ද තොරතුරු ලබාගත හැකි ය. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු දිසාපතිවරයකු වන ආර්.බී. හෙලින්ස් මහතා (1906-1910) කූරගල අවට කළ සංචාරයකින් පසු 1910.02.12 වන දින තබන ලද සටහනක් මෙසේ දැක්විය හැකි ය.
“මට පෙනෙන හැටියට මෙම ස්ථානයේ මූලාරම්භයේ සිට ම වසර ගණනාවක් යන තුරු ශුද්ධ වූ පූජනීය ස්ථානයක් වශයෙන් සහ භවනායෝගීව කටයුතු කිරීමට සුදුසු තැනක් ලෙසටත් ප්‍රසිද්ධව ඇත. එහෙත් එක් අයකු පමණක් දැන් මෙහි තාපස ජීවිතයක් ගත කරයි. මගේ මතකය නිවරැදි නම් මොහු මුලින් ම වාසය කළේ දිල්ලි නගරයට ආසන්න පාඨලීපුත්ර නගරයේ ය.
මොහුගේ පියා එහි සිටි ශුද්ධවන්ත පුද්ගලයකුගේ බිරිඳ නොමග යවා පසුව බලහත්කාරකමින් දූෂණය කරල ඇයගේ සැමියා ද මරා දමන ලද්දේ ය. අවාසනාවන්ත සිද්ධියෙන් ගැබ් ගත් ඇය නිසි කල පිරිමි දරුවකු බිහි කළාය. වයසින් වැඩුණු දරුවා මවගෙන් සිය පියා ගැන අසා සිටි අවස්ථාවක මව සිය පුත්‍රයාට සිදු වූ සියල්ල ඒ පරිද්දෙන් ම කියා සිටියා ය.
මින් කෝපයට පත් පුතා තම මවට අපරාධයක් කළ මිනීමරු පුද්ගලයා හෙවත් තමන්ගේ සහජාතක පියා මරා දමන බවට මව හමුවේ ශපථ කළේ ය. මේ අතර තමන් කළ අපරාධය ගැන පසුතැවුණ මිනීමරු පුද්ගලයා පසුව සිය ජීවිතය බේරා ගැනීම සඳහා ලංකාවට පැමිණ සැඟ වී සිටියේ කූරගල ය. පළි ගැනීමේ අදහසින් මොහු සොයා පැමිණි පුත්‍රයා එක් රාත්‍රියක දරුණු අරගලයකින් පසු මිනීමරුවා මරා දමන ලද්දේ ය. රාත්‍රිය පුරා ඇසුණු බිහිසුණු ශබ්ද ගැන විමසිල්ලෙන් සිටි පුද්ගලයෙකු පසු දින කන්ද නැග එහි ගිය පසු දැක ගන්නට ලැබුණේ වෛරයෙන් දැවෙමින් සිටින තාපසයකු හා ගින්නෙන් දැවෙමින් පවතින අළු ගොඩකි.
කූරගල පිළිබඳ අවසාන විග්රහයේ දී කූරගල සංස්කෘතිමය වශයෙන් මෙන් ම ආගමික වශයෙන් ද ස්ථර දෙකක් නියෝජනය කරයි. එනම් හොලෝසීන යුගයට අයත් ප්රාග් ඓතිහාසික සාධක සහ මූල ඓතිහාසික යුගයට අයත් බෞද්ධ සංඝයා වහන්සේලාගේ සාධක වශයෙනි.
සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 පෙබරවාරි
පත්තරෙන් බැලීමට
02http://www.silumina.lk/2020/02/01/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B7%80%E0%B7%83%E0%B6%BB-16000%E0%B6%9A%E0%B6%A7-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%C2%AD%E0%B6%B8%C2%AD%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B7%96%E0%B6%BB%C2%AD%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A-%E0%B6%93%E0%B6%AD%E0%B7%92%C2%AD%E0%B7%84%E0%B7%8F%C2%AD%E0%B7%83%E0%B7%92%E0%B6%9A-%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA?fbclid=IwAR2qr5U2N9bx3Sz1HgJOoem-e7c1jmqPippD74MTYshUQBSrrD2Nec15w6k
No comments:
Post a Comment