නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් තුනකට රජගල කන්ද අයත් වන අතර රජගල ආරාමික පුරාවිද්‍යා භූමිය අම්පාර මහඔය මාර්ගයේ කිලෝ මීටර් 26 කින් පසුව බක්කිඇල්ල හන්දියට නුදුරින් පිහිටා තිබේ.
1940 අංක 69 දරණ පුරාවස්තු ආඥා පනත මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක් ලෙස මෙම පෞරාණික ආරාම සංකීර්ණය නම් කොට ඇත. අනුරාධපුර යුගය නියෝජනය කරනු ලබන ස්මාරක අවශේෂ හා පුරාවස්තු මෙම භූමිය පුරාම විසිරි පවතී. 1968.09.28 වන දින රජයේ මිණුම් දෙපාර්තමේන්තුව විසින් අක්කර 1025 පර්චස් 16ක භූමි ප්‍රදේශයක් පුරාවිද්‍යා රක්ෂිත භූමියක් ලෙස නම් කෙරුණු අතර 1977.02.14 වන දින නැවත මිණුම්ගත කර එම අක්කර ගණන තහවුරු කොට තිබේ.
2012 සැප්තැම්බර් මස 01 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව ගිවිසුම් ප්‍රකාරව රජගල පුරාවිද්‍යා රක්ෂිතයේ ගවේෂණ , කැණීම් සහ සංරක්ෂණ කටයුතු ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයට පවරන ලදී. ඒ අනුව රජගල ඉදිරි සියලු කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විශ්වවිද්‍යාලයේ අදාළ අංශය විසින් සිදු කරනු ලැබීය.
ගිරිකුම්භීල යන්න රජගල සඳහා භාවිත කළ අතීත නාමයයි. වර්තමානයේ දී රජගල හෝ රාස්සහෙළ යනුවෙන් මෙම පුරාවිද්‍යා භූමිය නම්කොට තිබේ. ගිරිකුම්භීල යන්නෙහි කුම්භීල යනු පාලි භාෂාවෙන් කිඹුලා යන්නය. ගිරි යනු කන්ද හෙවත් පර්වතයයි. කුම්භීලගිරි ලෙස අතීතයේ දී රජගල කඳුවැටිය සඳහා නම්කොට තිබුණේ කිඹුල් කන්ද යන අර්ථය හේතුවෙනි. එල්ලාවල මේධානන්ද හිමියන් සඳහන් කරන්නේ ඈත සිට බලන විට රජගල කඳු වැටිය වැතිරී සිටින කිඹුලෙකුගේ ස්වරූපයෙන් පෙනෙන බැවින් කිඹුල් කන්ද යන අදහසින් කුම්භීලගිරි ලෙස නම් කරන්නට ඇති බවයි.
මහාවංශයේ මෙන්ම සහස්සවත්ථුපකරණය හා සද්ධර්මාලංකාරයේ රජගල, ගිරිකුම්භීල ලෙස මුලින් හැඳින්වුවද පසුව අරියාකර විහාරය හෝ අරිකාරි වෙහෙර ලෙස සඳහන් කොට ඇත. අරියවංශ දේශනාවට ප්‍රසිද්ධ ස්ථානයක් වීම හේතුවෙන් අරියාකර විහාරය යන්න ප්‍රචලිත විය. මෙතෙක් හමු වී ඇති ශිලා ලිපි අනුව වඩාත් පැරණිම නාමය ලෙස කූඨකණ්ණ තිස්ස රජුගේ කාලයේ දී යුව රජු වූ මහාදාඨික මහානාග විසින් කරවන ලද ගිරි ලිපියක කුම්බිලපිතිසපවත විහර යන්න දක්වා තිබේ.
ලජ්ජිතිස්ස රජු විසින් ගිරිකුම්භීල විහාරය කරවූ බව සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි සාක්ෂි දරනු ලැබේ. දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්සගේ වැඩිමහල් පුත් ලෙස ලජ්ජිතිස්ස සඳහන්ය. මෙම රජු විසින් ශීත ලෙන් 25ක් කර වූ බව රජගලින් අනාවරණය කරගත් ශිලා ලිපියකින් තහවුරු වේ. ඒ අනුව අතීතයේ සිටම එනම් ක්‍රි.පූ. දෙවන සියවසේ දී ලක්දිව ශීත ලෙන් තනා ඇති බවට සාක්ෂි සපයයි. රජගල කඳුවැටිය හරහා හමා එන සිහිල් සුළඟ ගල්ලෙන් තුළට පැමිණීමට සලස්වා ශීත ලෙන් ඉඳිකොට තිබුණු බව වියතුන්ගේ මතයයි.
සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙන පරිදි ගිරිකුම්භීල විහාරය හා ලජ්ජිතිස්ස රජු අතර විශාල සබඳතාවක් පැවත ඇත. රජගලින් හමු වූ ශිලා ලේඛන 07 න් එක් ලිපියක මෙසේ සඳහන් කොට තිබේ.
දෙවනපිය මහරජ ගාමිණි තිස්සගේ පුත් ලංජක රජු යන්නය. පරණවිතානයන්ට අනුව දෙවනපිය මහරජු යනු සද්ධාතිස්ස රජු යන්නත් ලංජක රජු යනු සද්ධාතිස්සගේ පුත් ලජ්ජිතිස්ස බවත්ය.
රජගලෙන් හමු වූ මෙම ශිලා ලිපි 07 අතර ඉතිරි ලිපි 06 න් 04 ක් තිශ අය හෝ මහ අය ලෙස හැඳින්වෙන අයෙකුගේ භාර්යාවන් විසින් ලෙන් පූජා කරන ලද ඇති බවත් එම භාර්යාවන් ලෙස යසස්සිනී, බුද්ධදත්තා, සාමිකා හා අභිජාතා යන්න දක්වා ඇත. තිශ අය හෝ මහ අය නමින් හැඳින්වූ අයෙක් ලෙන් පූජා කළ බව අනෙක් ලිපි දෙකෙහි සඳහන්ව ඇත.
සාමිකා නම් වූ භාර්යාව විසින් පූජා කරන ලද ලෙනේ ඇති ශිලා ලේඛනයේ මෙසේ සඳහන්ය.
දෙවනපිය මහරඣහ ගමණි තිශහ පුතහ තිශ අයහ ඣය උපශික ශමිකය ලෙණෙ
අර්ථය - දෙවියන්ට ප්‍රිය වූ ගාමිණිතිස්ස මහරජුගේ පුත්‍ර තිස්ස කුමාරයාගේ භාර්යා උපාසිකා සාමිකාගේ ලෙන
මිහින්තලය, රිටිගල, අරන්කැලේ, කුඩුම්බිගල ආදී ආරණ්‍යවාසී භික්ෂු වාසස්ථාන මෙන් අනුරාධපුර යුගයේ දී ප්‍රචලිත ආරණ්‍ය සේනාසනයක් ලෙස රජගල හැඳින්විය හැකිය. එහෙත් අනුරාධපුර රාජධානිය බිඳ වැටීම හේතුකොටගෙන කාලයාගේ ඇවෑමෙන් භික්ෂූන්ගෙන් තොර භූමියක් බවට පත්ව රජගල වනගත විය. රජගල සිදුකළ ගවේෂණ හා කැණීම්වලදී තහවුරු වූයේ අනුරාධපුර යුගයට පසුව කිසිදු කාලවකවානුවක මෙහි ප්රතිසංස්කරණයක් හෝ ඉදිකිරීමක් කර නොමැති බවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික මැදිහත් වීමෙන් 1935 දී ලෝංහස්ට් නම් එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ සමයෙහි රජගල භූමියේ සෙල්ලිපි පිටපත් කිරීම ආරම්භ කර ඇත. ගල්ඔය සංවර්ධන ව්‍යාපාරය 1949 දී ආරම්භ කිරීම හේතුකොට ගෙන එහි නිලධාරියෙකු වූ පී. දාබරේ මහතාගේ මූලිකත්වයෙන් වනගතව පැවති රජගල භූමියේ පෞරාණික ස්මාරක සැලකිය යුතු ප්‍රමාණයක් මතුකර ගැනීමට හැකිවිය.
1950න් පසුව මෙම භූමියේ ස්මාරක හඳුනා ගැනීමටත්, ශිලා ලේඛන පිටපත් කිරීම හා කැණීම් කටයුතු සිදුකිරීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යොමුවිය. 1959 දී නිකුත් කළ පුරාවිද්යාා පාලන වාර්තාව අනුව රජගල සම්බන්ධව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. එනම්,
“නො.33 ගම අසල පිහිටි තේක්ක වත්තක් හරහා වැටී ඇති අඩි පාරකින් රජගල කන්ද නැමැති කැලෑ බිහි වූ කන්දකට පැමිණේ.... එහි නටබුන් දේ අතර ස්තූපයක හා වටකුරු ගොඩනැගිල්ලක ද ගල් කුළුණු සහිත හතරැස් පායක හා නෙලා අවසන් නොකළ සෙල්මුවා බුදු පිළිමයක ද නෂ්ඨාවශේෂයෝ වෙත්. අඩි 19 ක් උස මේ බුදුරුව අවුකන ප්‍රතිමාව සිහිපත් කරවයි” යන්න සඳහන්ව ඇත.
එමෙන්ම 1962 පාලන වාර්තාව අනුව “මෙහි ලැබුණු එකම බුදු පිළිමය තරමක් දුරට වැඩ කර නැවැත්වූවක්ය. එය තවමත් තියෙන්නේ ශිල්පියා ගල තියාගෙන වැඩ කළ තැනමය” යනුවෙන් විස්තර කොට ඇති අතර එම වාර්තාවේම මෙම වර්ෂයේ දී ලෙන් ලිපි 22 ක් හා තවත් සෙල්ලිපි 5 ක් ලැබුණු බව ද මෙහි කොරවක් ගල්, ගල්පාත්‍ර, ස්තූප හා ගොඩනැගිලි පිළිබඳව ද කරුණු අන්තර්ගතය.
1960 පාලන වාර්තාෙව් දැක්වෙන පරිදි රජගල පුරාවිද්‍යාභූමිය පුරාවිද්‍යා තහනම් ඉඩමක් බවට පත්කොට තිබේ. එමගින් එහි සම්පූර්ණ අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුවිය.
රජගල භූමියේ ඇතැම් ගල්ලෙන් වන වැදී තිබුණු කාලවකවානුවේ දී දිවුලාන හරහා පැමිණෙන ආදිවාසීන්ගේ තාවකාලික වාසභූමි බවට පත්ව තිබී ඇත. එසේ පැමිණි වැදි ජනයා විසින් ඇතැම් ලෙන්වල සටහන් කරන ලද චිත්‍ර හා රේඛා සටහන් මෙහි ශේෂව ඇත. රාස්සගල සිටි නාගකච්චා නම් ආදිවාසියා ගැන ආර්.එල්.ස්පිට්ල් මහතා තම සංචාරක සටහන්හි දක්වා තිබේ.
මෙම පුරාවිද්යාභූමියෙන් හමු වූ යකඩින් තැනූ මල කෑ කෙටේරිය එම ආදිවාසීන් විසින් භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ඉට්ඨිය තෙරුන් හා මිහිඳු තෙරුන්ගේ නම් සඳහන් ශිලා ලිපිය රජගලින් හමු වූ ශිලා ලිපි අතර එහි ඓතිහාසිකත්වය පදනම් කොට ගෙන ප්රමුඛස්ථානයක් ගනු ලබයි. පරණවිතානයන් දක්වන පරිදි එම ශිලා ලේඛනය,
යෙ ඉමදිප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිදතෙරහ තුබෙ
අර්ථය - මේ දිවයිනට පළමුවෙන් සමුර්ධිය සඳහා පැමිණි ඉත්තිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ස්තූපයයි
මෙම ශිලා ලිපිය අසල පිහිටි කුඩා ස්තූපයේ ඉට්ඨිය හා මිහිඳු යන හිමිවරුන්ගේ ධාතු නිධන් කොට තිබෙන්නට ඇතැයි යන්න විශ්වාස කෙරේ. පරණවිතානයන් ප්‍රකාශ කරන්නේ මිහිඳු හිමිගේ පරිනිර්වාණයෙන් නොබෝ කලකින් ම මෙම ස්තූපය ගොඩ නංවන්නට ඇති බවයි. චාල්ස් ගොඩකුඹුර තම වාර්තාවක දක්වා තිබෙන්නේ මෙම ශිලා ලේඛනය ක්‍රි.පූ. 3 වන සියවසට පමණ අයත් විය හැකිය යන්නය.
රජගලින් හමු වී ඇති ශිලා ලේඛන අනුව ලජ්ජිතිස්ස රජුගෙන් පසු කාලයේ සිටි රජවරු ද රුහුණේ සිටි උප රජවරු ද වෙනත් ප්‍රභූවරුන් ද රජගල ආරාමයේ සමෘද්ධිය උදෙසා විවිධ පරිත්‍යාග කළ බවත්, ගම්බිම් පූජා කොට ඇති අතර විවිධ ගොඩනැගිලි තැනීම ද සිදුකොට ඇති බව පැහැදිලි වේ.
විහාරස්ථානයේ ප්‍රයෝජනය පිණිස කූඨකණ්ණ තිස්ස රජු උපරාජ අවදියේ දී ගම් දෙකක් පූජා කොට ඇත. එමෙන් ම භාතික අභය රජු විසින් යජිනි නම් සංඝාරාමයක් කරවීම, මරගම නැමැති වැව විහාරයට පූජා කිරීම, බෝධිඝරයක් සහ ආසන කරවීම, මහරජ ඇළේ බද්දෙන් කොටසක් විහාරයට පූජා කිරීම, වෙනත් වැව් හා ජල බදු විහාරයට ලබා දීම යනාදිය කරවන ලද බව සෙල්ලිපි ඇසුරින් තහවුරු වේ.
මහාචාර්ය සිරිමල් රණවැල්ල විසින් කියවා ප්‍රකාශයට පත්කොට ඇති ක්‍රි.ව. 9-10 ට අයත් ශිලා ලේඛනය අනුව පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ අවසානය දක්වා භික්ෂු වාසස්ථානයක් ලෙස රජගල විහාර සංකීර්ණය පැවති බවය.
කඳුවැටියක මුදුනේ මෙම ආරාම සංකීර්ණය පිහිටා ඇති බැවින් අතීතයේ දී වූව ද එම ස්ථානය කරා පිය මැනීමට පා ගමනින්ම කඳුවැටියට නැගීමට සිදු වූ බව සිතිය හැකිය. අතීතයේ දී තැනූ මාවත් දෙකක් ඔස්සේ මෙහි මුදුනට නැගිය හැකි අතර එහි අඩි ප්‍රමාණය 1038 ක් ලෙස සඳහන්ය. රජගල වත්මනේ දී ඉදිකොට ඇති රථගාලට දකුණු පසින් හා නැගෙනහිර පසින් මෙම අතීත මාර්ග දෙකට පිවිසිය හැකි අතර මිහිඳු සෑය අසල දී මෙම මාර්ගයන් ඒකාබද්ධ වේ. වසර දහසක පමණ කාලයක් වනගතව පැවති මෙම මාර්ගවල පියගැට පේළී සැලකිය යුතු හානියක් සිදුව පැවතුණි. 2013 වසරේ දී රජගල ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පියගැට පෙළ හා පෙත් මඟ සංරක්ෂණය කරන්නට විය.
මෙහි පිය ගැට පෙළ ඉදිකිරීමේ දී ගෝමුත්රිකා රටාවකට (Zigsag ක්‍රමයට) එය සකස් කොට තිබේ. එනම් පියගැට කිහිපයක් පසු කිරීමෙන් අනතුරුව සමතලා අංගනයකට පිවිසීමට ඇති අතර නැවත පිටගැට පෙළක් හා සමතලා අංගනයක් ලෙසින් නිර්මාණය කොට තිබීමයි. පියගැට පෙළ නගින්නන් හට අවම වෙහෙසක් ගෙන දෙන්නට එසේ මාලක සකසා තිබීම අතීත නිර්මාණකරුවාගේ දක්ෂතාවයයි. ඔවුන් මෙම මාලක සකස් කිරීමට පස් මෙන්ම ගල් ද භාවිත කොට ඇත.
රජගල ආරාම සංකීර්ණය ආශ්‍රිතව සෙල් ලිපි 80 ක ට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන තිබෙන අතර මැටි කරඬුවක හා උළු කැටයක ලියන ලද ලිපි හමුවීම මෙහිදි සුවිශේෂි වේ. 2009 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද ගවේෂණයක දී දැනට කැණීම් කොට සංරක්ෂණය කොට ඇති ප්‍රධාන දාගැබ් දෙකෙන් විශාල දාගැබ අසන්නයේ තිබී මෙම මැටි කරඬු ලිපිය සොයා ගන්නා ලදී. මෙබඳු මැටි කරඬු කිහිපයක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව හමූවූව ද ඒවායේ අක්ෂර සටහන්ව නොතිබුණි. මෙම අක්ෂර සහිත කරඬුව පියන හා බඳ වශයෙන් කොටස් දෙකකින් යුක්තය. පියන කේතුකාර හැඩයක් ගන්නා අතර බඳ පාත්රයකට සමාන වේ. අඟල් 07ක උසකින් යුත් මෙහි මුවවිටට මදක් ආසන්නව අක්ෂර පේළි දෙකක් ලෙස ලියා ඇත. දැනට ලංකාවෙන් හමු වී ඇති මැටි බඳුනක ලියන ලද පැරණිම ලිපිය ලෙස මෙය හැඳින්වේ. මෙහි අක්ෂර ලක්ෂණ අනුව ක්‍රි.ව. 1-2 සියවස් වලට අයත් යැයි සඳහන්ය.
අංක 10 දරණ ජන්තාඝර ගොඩනැගිලි භූමියෙන් මතුපිට සිට සෙ.මි. 23ක ගැඹුරින් මැටි උළු කැටයක ලියන ලද ලිපිය හමුවිය. කොටස් 03 කට කැඩී තිබුණු මෙය අසම්පූර්ණ උළු කැටයක් ලෙසත් මෘදු මැටි විශේෂයක් භාවිතා කොට නිර්මාණය කරල ලද බවත් සඳහන්ය. ලේඛනය හුරු අයෙක් විසින් සිහින් තුඩකින් මෙම අක්ෂර සටහන් කරන්නට ඇතැයි යන්නත් එය පේළි 03 කින් සමන්විත යන්න දැක්වේ. මෙහි සඳහන් ලිපියේ අර්ථය ලෙස දක්වා ඇත්තේ, බුදල් නම් තීරු බදු අය කරන නිලධාරියා විසින් පිනට කරවන ලද උළු කැටයයි යන්නය.
රජගල මහලෙන තුළ කළ කැණීම්වලින් මධ්‍ය ශිලා යුගයට අයත් මානව අවශේෂ ලැබුණු අතර නැගෙනහිර පළාතෙන් හමු වූ පළමු ප්රාග් ඓතිහාසික සාධක සහිත ස්ථානය ලෙස රජගල ඉතිහාසගත විය.
සිළුමිණ
2020 අප්‍රේල් 05
රුක්ෂිලා වෙත්තමුණි
No comments:
Post a Comment