Wednesday, April 1, 2020

නාමල් උයනේ සැඟවුණු විවිධත්වය

අදින් වසර මිලි­යන 550 ක ඈත ඉති­හා­ස­යක් නියෝ­ජ­නය කරන ජාතික නාමල් උයන රෝස තිරි­වානා කඳු­වැ­ටිය අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ පලා­ගල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ගල්කි­රි­යා­ගම ග්‍රාමයේ පිහිටා ඇත. ශාක හා සත්ත්ව විවි­ධ­ත්ව­යෙන් පොහො­සත් පරි­සර පද්ධ­ති­ය­කින් යුත් මෙම භූමිය ඓති­හා­සික නට­බුන් රැස­කින් සම­න්වි­තය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වූ නා ගස පද­නම් කොට ගෙන 1991 වස­රේදී නා වන­යක්ව පැවති භූමි භාගය නා උය­නක් බවට පත්විය. ඒ වන­වාසී රහුල හිමිගේ ප්‍රධා­න­ත්ව­යෙනි. අදින් වසර 29 කට පෙර 1991 මාර්තු 28 වන දින රාහුල හිමි­යන් නා වනයේ පදිං­චි­යට යාම හේතු­කොට ගෙන මෙම ජාතික උරු­මය ආරක්ෂා විය.
නාමල් උයනේ ඓති­හා­සි­ක­ත්වය පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරීමේ දී එය අතී­තයේ දී සංඝා­රා­ම­යක් ලෙස පැව­තුණ යැයි විශ්වාස කෙරේ. වත්ම­නේදී ද ශේෂ වූ නට­බුන් රැසක් දක්නට ලැබේ. 2018 වසරේ දී මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල විසින් සිදු කරන ලද ගවේ­ෂණ කට­යුතු වලින් පුරා­වි­ද්‍යා­ත්මක, භූ විද්‍යා­ත්මක, ජෛව විද්‍යා­ත්මක කරුණු මෙන්ම ජාතික, ආග­මික හා අධ්‍යා­ප­නික වටි­නා­කම ඉස්මතු කරනු ලැබීය.
2018 වසරේ අව­සන් භාගයේ සිට මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ ව්‍යාපෘ­ති­යක් ලෙස ස්ථාපිත කොට ජාතික නාමල් උයනෙ පූර්ණ අයි­තිය පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සතු වන අතර චෛත්‍ය හා බෝධි­ඝ­රය මීට ඉහ­තදී කැණීම් කොට ඇත. නාමල් උයනේ අක්කර 60 ක පමණ භූමි භාගය පුරා­විද්‍යා භූමි­යක් ලෙස නම් කොට තිබේ. ලංකාවේ විශා­ල­තම නා උයන ලෙස මෙය සැල­කෙන අතර දඹුලු ඔය, ඉබ්බ­න්ක­ටුව වැව හා ඉඳි­ගොල්ල වැව නා උය­නෙන් පෝෂ­ණය වේ.
ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ වර්ෂ 2005 අප්‍රේල් මස 07 වැනි බ්‍රහ­ස්ප­තින්දා අංක 138/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් වන ආඥා­ප­නතේ 1966 අංක 13, 1979 අංක 56, 1982 අංක 13, 1988 අංක 84, 1995 අංක 23 දරන සංශෝ­ධිත පනතේ 451 වැනි “අ”වග­න්තිය 3“අ”වග­න්තියේ නිය­ම­යන්ට පරිදි රණව කන්ද හෙවත් නාමල් උයන 2005 අප්‍රේල් 26 වන දින සිට රක්ෂිත වනා­න්ත­ර­යක් බවට පත්විය. එව­කට අක්කර 260 ක භූමි භාග­යක වවන ලද නා ගස් දහස් ගණ­න­කින් යුක්ත වී ඇත. ජාතික නාමල් උයන වර්ත­මා­නය වන විට අක්කර 2000 ට (හෙක්ට­යාර් 972) වැඩි භූමි ප්‍රදේ­ශ­යක් නා ගස් වලින් පම­ණක් පෝෂ­ණය වන අතර බටු නා ප්‍රභේ­ද­යට අයත් නා ශාක මෙහි දක්නට ඇත. එය 85% ක ප්‍රති­ශ­ත­යකි. නා ගස ශ්‍රී ලංකා­වට ඒක දේශිය ශාක­යක් වන අතර දිය නා ප්‍රභේ­ද­යට අයත් නා ගස් ද මෙහි දක්නට ලැබේ.
වනය පුරා දිය­පා­ර­වල් ඔස්සේ ගලා යන ජලය, රෝස තිරි­වානා කඳු ශිඛ­රය ආර­ම්භ­යේ­දීම අඩි 5 ක් පමණ ඉහළ සිට පහළ ගල් පාත්‍රය (ගල් පහන) මතට දිය ඇල්ලක් ආකා­ර­යෙන් ඇද හැලේ. ගල් පාත්‍රය මතින් ගලා­යන ජලය මඳ දුරක් ගොස් අතු­රු­ද­හන්ව නැවත ඌරා කොටේ ප්‍රදේ­ශ­යෙන් මතු වේ. එසේ මතු­වන්නේ කිලෝ­මී­ට­ර­යක් පමණ දුරක් ගලා ගිය පසුය. එසේම වනය මැදින් ගලා යන අනෙක් දිය කඩිති උල්ප­ත­ගම සහ මහ ඉදි­ගොල්ල අස­ලින් නැවත දිය උල්ප­තක් ලෙස මතු වේ.
බෞද්ධ සාහිත්‍ය අනුව නා ගස බෞද්ධ­යන්ගේ පූජ­නීය වෘක්ෂ­යකි. එනම් මංගල, සුමන, රේවත හා සෝභිත නම් වූ බුදු­වරු නා ගස් සෙවණේ බුද්ධ­ත්ව­යට පත්වී­මයි. නාමල් උයනේ පිහිටා තිබෙන ඓති­හා­සික ස්මාරක අතර ස්තූපය, බෝධි­ඝ­රය, සීමා මාල­කය, ගල් පහන, භික්ෂූ ආවාස කුටි­වල නට­බුන් හා සඳ­කඩ පහණ විශේ­ෂ­ත්ව­යක් හිමි­කර ගනී. නාමල් උයන සම්බ­න්ධව සෘජුව ලේඛ­න­ගත තොර­තුරු හමු නොවූව ද පුරා­වි­ද්‍යා­ත්මක සාධක රැසක් දක්නට ලැබේ. නාමල් උය­නට පිවි­සෙන මඩා­ටු­ගම රණව ගම්මා­නය ජන­ප්‍ර­වා­ද­යට අනුව දුටු­ගැ­මුණු රජුගේ සේනා­වට ආයුධ නිප­දවා සේනාව රැස්කළ ස්ථාන­යකි. එළාර දුටු­ගැ­මුණු යුද්ධය ඉතා දරු­ණුව සිදු වූ විජි­ත­පු­ර­යට සැත­පුම් 5 ක් පමණ දුරින් මඩා­ටු­ගම ගම්මා­නයේ දෙව්රද රන්දද විහා­රය පිහිටා ඇත.
එහි මනාව කැට­යම් කරන ලද අට­ප­ට්ටම් ගල් කණු­වක ශිලා ලේඛ­න­යක් දක්නට ඇති අතර එය ආඬි­යා­ගල සෙල්ලි­පිය ලෙස හැඳින්වේ. IV වන දප්පුල රජු විසින් මෙම සෙල්ලි­පිය පිහිටු බවත් එම­ඟින් සඳ­හන් වනුයේ නා උයන පැවති ප්‍රදේ­ශ­යට ඇතුළු වූ රාජ­ද්‍රෝ­හි­යෙකු අල්ලා ගැනී­මට රජුට පවා බල­යක් නොමැ­තිය යන්නය. එමෙන්ම කිසිම පුද්ග­ල­යෙ­කුට හිංසා පීඩා කිරී­මට මෙම ප්‍රදේ­ශ­යට ඇතුළු විය නොහැකි යන්නය.
මින් ගම්‍ය වනුයේ නා උයන සතුන්ට මෙන්ම මිනි­සුන්ට ද අභය දානය දුන්, මිනිස් අභය භූමි­යක් බවය. මෙය මිනිස් අභය භූමි­යක් සම්බ­න්ධව සට­හන් වූ ලොව ප්‍රථම හා එකම ලේඛ­න­ගත සට­හන වන්නට ඇති බවට මත­යක් පවතී.
අති­ෂය මානූ­ෂීය මෙන්ම අවි­හිං­සා­වාදි රාජ ආඥා­වක් ලෙස මෙම සෙල්ලි­පිය සැලකේ. පරි­ස­රය හා මිනිස් අයි­ති­වා­සි­කම් පිළි­බ­ඳව අතී­තයේ විසූ රජ­වරු කෙත­රම් සැල­කි­ල්ලක් දක්වා තිබුණි ද යන්න මින් පැහැ­දි­ලිය. ජන­ප්‍ර­වාද අනුව දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ රාජ­කීය උද්‍යා­නය ලෙස මෙම නා උයන නිර්මා­ණය කිරී­මට ඇර­ඹුව ද අත­ර­මග නවතා දමා රාජ­කීය උයන ලෙස අනු­රා­ධ­පු­රයේ මහ­මෙ­වු­නාව පිහිට වූ බව කියැවේ. III වැනි දප්පුල රජු විසින් නාව­ඩුන්න නැමැති විහා­ර­යක් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බව මහා­වං­ශයේ සඳ­හන් වන අතර I වැනි විජ­ය­බාහු රජු රුක් විහා­ර­යක් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ බව ද දැක්වේ. එම විහා­ර­යන් නාමල් උයන ආශ්‍රි­තව තැනූ විහාර විය හැකි යැයි සැලකේ. මිනිස් අභය භූමි­යක් ස්ථාපිත කළ IV වන දප්පුල රජු රත්දෙ­ම­ට­මල් පිරි­වෙන නමින් පිරි­වෙ­නක් කරවූ බවත් දැනට නා උයන තුළ නට­ඹුන්ව පව­තින විහා­රය මෙම පිරි­වෙන විය හැකිය යන්න මත­යක් පවතී.
එසේම IV වන කාශ්‍යප රජු රත්ම­ල­ගල නමින් හැඳින් වූ විහා­ර­යක කුටි සෑදු බවට මහා­වං­ශයේ සඳ­හන් වන අතර එම රත්ම­ල­ගල යන්න රෝස තිරි­වාන කන්ද විය හැකිය. IV වන දප්පුල රජු විසින් නාමල් උයන වනා­න්තර ප්‍රදේ­ශය මිනිස් අභය භූමි­යක් ලෙස නම් කොට තිබූ බැවින් මෙම වනා­න්ත­රය අවට ප්‍රදේ­ශය ජනා­වාස භූමි­යක් ලෙස පැවති බවට විශ්වාස කෙරෙයි. මෙග­ලි­තික සුසාන භූමි­යක් වූ ඉබ්බ­න්ක­ටුව ආදි මානව සොහොන් බිම පිහිටා තිබෙන්නේ ද මෙම නා වන­යට තර­මක් දුරිනි.
නා උයනේ සුව­දා­ය­කම පරි­ස­ර­යක නාමල් සෑය ඉදි­කොට ඇති අතර පොළොව මට්ට­මින් අඩි 4-5 ක් තරම් උස් හත­රැස් මළු­වක මෙම චෛත්‍ය ගොඩ­නගා ඇත. සතර දිශා­වෙන් ඇතුළු විය හැකි ආකා­ර­යට කළු ගලින් නිර්මිත දොරටු 4 ක් දක්නට ලැබේ. එමෙන්ම මල් පහන් පූජා කිරී­මට ආසන සත­රක් සතර දිශා­නු­ග­තව පිහිටා තිබේ. මෙම ස්තූපය ගල් සහ ගඩොල් භාවිතා කර නිමවා ඇත.
එමෙන්ම නාමල් සෑයට නැගෙ­න­හිර දෙසින් බෝධි­ඝ­ර­යක නට­බුන් දක්නට ලැබේ. මාලක දෙක­කින් යුත් බෝධි­ඝ­ර­යක් යන්න ඉති­රිව ඇති නට­බුන් මගින් අව­බෝධ වේ. ලංකාව තුළ හමු­වන ඉතා විශි­ෂ්ට­තම බෝධි­ඝ­රය ලෙස සැල­කෙන නිල්ල­ක්ගම බෝධි­ඝ­රය මෙන් චතු­ර­ස්‍රා­කාර බෝධි­ඝ­ර­යක් වූ නාමල් උයනේ බෝධි­ඝ­රය කැට­ය­මින් තොරව සර­ලව නිර්මා­ණය කොට ඇති අතර මීටර් 1.3 ක උස­කින් යුත් මළුවේ පිට බැම්ම රෝස තිරි­වානා ගලින් ඉදි­කොට ඇත. එසේම සතර දෙසින් ගල් කණූ සත­රක් සිටුවා බැම්ම ශක්ති­මත් කොට ඇති බව දක්නට ලැබේ.
දොර­ටුවේ පළල අඩි 1.5 ක් වන අතර උස මීටර් 1.4 කි. මින් සිතිය හැක්කේ බෝධි වන්ද­නා­වට කෙනෙකු පිටු­පස අනෙකා යා හැකි වන අයු­රින් මෙම දොරටු නිමවා ඇති බවය.
තිරි­වානා කන්ද සමී­පව පොදු ගොඩ­නැ­ගිලි වලින් තර­මක් බැහැ­රව ආවාස ගෙය යැයි හඳුනා ගත් ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය පිහිටා ඇත. බට­හිර දෙසට මුහුණ ලා එකම ගොඩ­ලැ­ගිල්ල තුළ වෙන් වෙන්ව ඉදි­කළ ආවාස කුටි මෙහි දක්නට ලැබේ. රෝස තිරි­වානා ගල් භාවිතා කොට මෙහි අත්ති­වා­රම ඉදි­කොට ඇති අතර ගොඩ­නැ­ගි­ල්ලට පිවි­සී­මට ඇති පඩි පෙළ ගලින් නිමවා තිබේ.
චෛත්‍ය මළු­වට දකුණු පසින් සෙන්ටි මීටර් 90 ක පමණ විශ්ක­ම්භ­ය­කින් යුතු හා සෙන්ටි­මී­ටර් 10 ක් ගැඹු­ර­කින් යුතු ගල් පහ­නක් දක්නට ලැබේ. මෙහි තිර 8 ක් දැමිය හැකි ලෙස නිමවා තිබේ. ඉතා හොඳින් ඔප මට්ටම් කොට ඇති මෙම පහන දොළොස් මහ පහ­නක් ලෙස භාවිතා කර­න්නට ඇත. නාමල් උයන ආශ්‍රි­තව සක්මන් මළු කිහි­ප­යක් දක්නට ලැබෙන අතර ‍මෙම මළු බොර­දම් සහිත ගල් පතුරු යොදා සකස් කොට ඇත. භාව­නා­යෝගී භික්ෂූන් වහ­න්සේ­ලාට සක්මන් කිරීම පිණිස වැලි හා ගල් පතුරු යොදා සක්මන් මළු සකස් කරනු ලැබේ.
මෙම සක්මන් මළු භාව­නා­යෝගී භික්ෂුන්ට අත්‍ය­ව­ශ්‍යය ම අංග­යක් වන අතර පධා­න­ඝර ආශ්‍රි­තව ඉදි­කර තිබීම සුවි­ශේෂි ලක්ෂ­ණ­යකි. භික්ෂූන් වහ­න්සේ­ලාට භාව­නා­යෝ­ගීව වැඩ සිටීම සඳහා යොදා­ගත් ගොඩ­නැ­ගිලි පධා­න­ඝර ලෙස හැඳි­න්වෙන අතර පිය­න්ගල් නමින් ද අර්ථ ගන්වා ඇත.
මේ අනුව බලන කළ ජාතික නාමල් උයන හා ඒ ආශ්‍රි­තව දක්නට ලැබෙන ජෛව විවි­ධ­ත්වය හේතු­කොට ගෙන වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් සංර­ක්ෂණ වනා­න්ත­ර­යක් (Conservation forest) ලෙස ද ඒ හා බැඳුණු සංස්කෘ­තික විවි­ධ­ත්වය, ඓති­හා­සික හා පුරා­වි­ද්‍යා­ත්මක, පාරි­ස­රික සංචා­රා­ත්මක වටි­නා­කම සලකා බලා ජාතික භූ ගර්භ සමී­ක්ෂණ හා පතල් කැණීම් කාර්යාං­ශය මඟින් පුරා­වි­ද්‍යා­ත්මක වටි­නා­ක­මක් සහිත ස්ථාන­යක් (Archaeological Reserve) ලෙසට ද ප්‍රකා­ශ­යට පත්කර ඇත. එසේම සංචා­රක මණ්ඩ­ලය මඟින් සංචා­රක ප්‍රව­ර්ධන කලා­ප­යක් ලෙස ද නාමල් උයන නම්කර ඇත.

සිළුමිණ
2020 මාර්තු 29
රුක්ෂිලා වෙත්තමුණි


පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/?fbclid=IwAR3AiklFy5FliNZ21G3_Qse1jw8CY0vJNQlso23lUZM4oK-Io2b91RuhIA8

No comments:

Post a Comment