අදින් වසර මිලියන 550 ක ඈත ඉතිහාසයක් නියෝජනය කරන ජාතික නාමල් උයන රෝස තිරිවානා කඳුවැටිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම ග්‍රාමයේ පිහිටා ඇත. ශාක හා සත්ත්ව විවිධත්වයෙන් පොහොසත් පරිසර පද්ධතියකින් යුත් මෙම භූමිය ඓතිහාසික නටබුන් රැසකින් සමන්විතය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වූ නා ගස පදනම් කොට ගෙන 1991 වසරේදී නා වනයක්ව පැවති භූමි භාගය නා උයනක් බවට පත්විය. ඒ වනවාසී රහුල හිමිගේ ප්‍රධානත්වයෙනි. අදින් වසර 29 කට පෙර 1991 මාර්තු 28 වන දින රාහුල හිමියන් නා වනයේ පදිංචියට යාම හේතුකොට ගෙන මෙම ජාතික උරුමය ආරක්ෂා විය.
නාමල් උයනේ ඓතිහාසිකත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී එය අතීතයේ දී සංඝාරාමයක් ලෙස පැවතුණ යැයි විශ්වාස කෙරේ. වත්මනේදී ද ශේෂ වූ නටබුන් රැසක් දක්නට ලැබේ. 2018 වසරේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සිදු කරන ලද ගවේෂණ කටයුතු වලින් පුරාවිද්‍යාත්මක, භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක කරුණු මෙන්ම ජාතික, ආගමික හා අධ්‍යාපනික වටිනාකම ඉස්මතු කරනු ලැබීය.
2018 වසරේ අවසන් භාගයේ සිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතියක් ලෙස ස්ථාපිත කොට ජාතික නාමල් උයනෙ පූර්ණ අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු වන අතර චෛත්‍ය හා බෝධිඝරය මීට ඉහතදී කැණීම් කොට ඇත. නාමල් උයනේ අක්කර 60 ක පමණ භූමි භාගය පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබේ. ලංකාවේ විශාලතම නා උයන ලෙස මෙය සැලකෙන අතර දඹුලු ඔය, ඉබ්බන්කටුව වැව හා ඉඳිගොල්ල වැව නා උයනෙන් පෝෂණය වේ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්ෂ 2005 අප්‍රේල් මස 07 වැනි බ්‍රහස්පතින්දා අංක 138/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් වන ආඥාපනතේ 1966 අංක 13, 1979 අංක 56, 1982 අංක 13, 1988 අංක 84, 1995 අංක 23 දරන සංශෝධිත පනතේ 451 වැනි “අ”වගන්තිය 3“අ”වගන්තියේ නියමයන්ට පරිදි රණව කන්ද හෙවත් නාමල් උයන 2005 අප්‍රේල් 26 වන දින සිට රක්ෂිත වනාන්තරයක් බවට පත්විය. එවකට අක්කර 260 ක භූමි භාගයක වවන ලද නා ගස් දහස් ගණනකින් යුක්ත වී ඇත. ජාතික නාමල් උයන වර්තමානය වන විට අක්කර 2000 ට (හෙක්ටයාර් 972) වැඩි භූමි ප්‍රදේශයක් නා ගස් වලින් පමණක් පෝෂණය වන අතර බටු නා ප්‍රභේදයට අයත් නා ශාක මෙහි දක්නට ඇත. එය 85% ක ප්රතිශතයකි. නා ගස ශ්‍රී ලංකාවට ඒක දේශිය ශාකයක් වන අතර දිය නා ප්‍රභේදයට අයත් නා ගස් ද මෙහි දක්නට ලැබේ.
වනය පුරා දියපාරවල් ඔස්සේ ගලා යන ජලය, රෝස තිරිවානා කඳු ශිඛරය ආරම්භයේදීම අඩි 5 ක් පමණ ඉහළ සිට පහළ ගල් පාත්‍රය (ගල් පහන) මතට දිය ඇල්ලක් ආකාරයෙන් ඇද හැලේ. ගල් පාත්‍රය මතින් ගලායන ජලය මඳ දුරක් ගොස් අතුරුදහන්ව නැවත ඌරා කොටේ ප්‍රදේශයෙන් මතු වේ. එසේ මතුවන්නේ කිලෝමීටරයක් පමණ දුරක් ගලා ගිය පසුය. එසේම වනය මැදින් ගලා යන අනෙක් දිය කඩිති උල්පතගම සහ මහ ඉදිගොල්ල අසලින් නැවත දිය උල්පතක් ලෙස මතු වේ.
බෞද්ධ සාහිත්‍ය අනුව නා ගස බෞද්ධයන්ගේ පූජනීය වෘක්ෂයකි. එනම් මංගල, සුමන, රේවත හා සෝභිත නම් වූ බුදුවරු නා ගස් සෙවණේ බුද්ධත්වයට පත්වීමයි. නාමල් උයනේ පිහිටා තිබෙන ඓතිහාසික ස්මාරක අතර ස්තූපය, බෝධිඝරය, සීමා මාලකය, ගල් පහන, භික්ෂූ ආවාස කුටිවල නටබුන් හා සඳකඩ පහණ විශේෂත්වයක් හිමිකර ගනී. නාමල් උයන සම්බන්ධව සෘජුව ලේඛනගත තොරතුරු හමු නොවූව ද පුරාවිද්‍යාත්මක සාධක රැසක් දක්නට ලැබේ. නාමල් උයනට පිවිසෙන මඩාටුගම රණව ගම්මානය ජනප්රවාදයට අනුව දුටුගැමුණු රජුගේ සේනාවට ආයුධ නිපදවා සේනාව රැස්කළ ස්ථානයකි. එළාර දුටුගැමුණු යුද්ධය ඉතා දරුණුව සිදු වූ විජිතපුරයට සැතපුම් 5 ක් පමණ දුරින් මඩාටුගම ගම්මානයේ දෙව්රද රන්දද විහාරය පිහිටා ඇත.
එහි මනාව කැටයම් කරන ලද අටපට්ටම් ගල් කණුවක ශිලා ලේඛනයක් දක්නට ඇති අතර එය ආඬියාගල සෙල්ලිපිය ලෙස හැඳින්වේ. IV වන දප්පුල රජු විසින් මෙම සෙල්ලිපිය පිහිටු බවත් එමඟින් සඳහන් වනුයේ නා උයන පැවති ප්‍රදේශයට ඇතුළු වූ රාජද්‍රෝහියෙකු අල්ලා ගැනීමට රජුට පවා බලයක් නොමැතිය යන්නය. එමෙන්ම කිසිම පුද්ගලයෙකුට හිංසා පීඩා කිරීමට මෙම ප්‍රදේශයට ඇතුළු විය නොහැකි යන්නය.
මින් ගම්‍ය වනුයේ නා උයන සතුන්ට මෙන්ම මිනිසුන්ට ද අභය දානය දුන්, මිනිස් අභය භූමියක් බවය. මෙය මිනිස් අභය භූමියක් සම්බන්ධව සටහන් වූ ලොව ප්‍රථම හා එකම ලේඛනගත සටහන වන්නට ඇති බවට මතයක් පවතී.
අතිෂය මානූෂීය මෙන්ම අවිහිංසාවාදි රාජ ආඥාවක් ලෙස මෙම සෙල්ලිපිය සැලකේ. පරිසරය හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳව අතීතයේ විසූ රජවරු කෙතරම් සැලකිල්ලක් දක්වා තිබුණි ද යන්න මින් පැහැදිලිය. ජනප්‍රවාද අනුව දේවානම්පියතිස්ස රජුගේ රාජකීය උද්‍යානය ලෙස මෙම නා උයන නිර්මාණය කිරීමට ඇරඹුව ද අතරමග නවතා දමා රාජකීය උයන ලෙස අනුරාධපුරයේ මහමෙවුනාව පිහිට වූ බව කියැවේ. III වැනි දප්පුල රජු විසින් නාවඩුන්න නැමැති විහාරයක් ප්‍රතිසංස්කරණය කළ බව මහාවංශයේ සඳහන් වන අතර I වැනි විජයබාහු රජු රුක් විහාරයක් ප්‍රතිසංස්කරණය කළ බව ද දැක්වේ. එම විහාරයන් නාමල් උයන ආශ්‍රිතව තැනූ විහාර විය හැකි යැයි සැලකේ. මිනිස් අභය භූමියක් ස්ථාපිත කළ IV වන දප්පුල රජු රත්දෙමටමල් පිරිවෙන නමින් පිරිවෙනක් කරවූ බවත් දැනට නා උයන තුළ නටඹුන්ව පවතින විහාරය මෙම පිරිවෙන විය හැකිය යන්න මතයක් පවතී.
එසේම IV වන කාශ්‍යප රජු රත්මලගල නමින් හැඳින් වූ විහාරයක කුටි සෑදු බවට මහාවංශයේ සඳහන් වන අතර එම රත්මලගල යන්න රෝස තිරිවාන කන්ද විය හැකිය. IV වන දප්පුල රජු විසින් නාමල් උයන වනාන්තර ප්‍රදේශය මිනිස් අභය භූමියක් ලෙස නම් කොට තිබූ බැවින් මෙම වනාන්තරය අවට ප්‍රදේශය ජනාවාස භූමියක් ලෙස පැවති බවට විශ්වාස කෙරෙයි. මෙගලිතික සුසාන භූමියක් වූ ඉබ්බන්කටුව ආදි මානව සොහොන් බිම පිහිටා තිබෙන්නේ ද මෙම නා වනයට තරමක් දුරිනි.
නා උයනේ සුවදායකම පරිසරයක නාමල් සෑය ඉදිකොට ඇති අතර පොළොව මට්ටමින් අඩි 4-5 ක් තරම් උස් හතරැස් මළුවක මෙම චෛත්‍ය ගොඩනගා ඇත. සතර දිශාවෙන් ඇතුළු විය හැකි ආකාරයට කළු ගලින් නිර්මිත දොරටු 4 ක් දක්නට ලැබේ. එමෙන්ම මල් පහන් පූජා කිරීමට ආසන සතරක් සතර දිශානුගතව පිහිටා තිබේ. මෙම ස්තූපය ගල් සහ ගඩොල් භාවිතා කර නිමවා ඇත.
එමෙන්ම නාමල් සෑයට නැගෙනහිර දෙසින් බෝධිඝරයක නටබුන් දක්නට ලැබේ. මාලක දෙකකින් යුත් බෝධිඝරයක් යන්න ඉතිරිව ඇති නටබුන් මගින් අවබෝධ වේ. ලංකාව තුළ හමුවන ඉතා විශිෂ්ටතම බෝධිඝරය ලෙස සැලකෙන නිල්ලක්ගම බෝධිඝරය මෙන් චතුරස්රාකාර බෝධිඝරයක් වූ නාමල් උයනේ බෝධිඝරය කැටයමින් තොරව සරලව නිර්මාණය කොට ඇති අතර මීටර් 1.3 ක උසකින් යුත් මළුවේ පිට බැම්ම රෝස තිරිවානා ගලින් ඉදිකොට ඇත. එසේම සතර දෙසින් ගල් කණූ සතරක් සිටුවා බැම්ම ශක්තිමත් කොට ඇති බව දක්නට ලැබේ.
දොරටුවේ පළල අඩි 1.5 ක් වන අතර උස මීටර් 1.4 කි. මින් සිතිය හැක්කේ බෝධි වන්දනාවට කෙනෙකු පිටුපස අනෙකා යා හැකි වන අයුරින් මෙම දොරටු නිමවා ඇති බවය.
තිරිවානා කන්ද සමීපව පොදු ගොඩනැගිලි වලින් තරමක් බැහැරව ආවාස ගෙය යැයි හඳුනා ගත් ගොඩනැගිලි සංකීර්ණය පිහිටා ඇත. බටහිර දෙසට මුහුණ ලා එකම ගොඩලැගිල්ල තුළ වෙන් වෙන්ව ඉදිකළ ආවාස කුටි මෙහි දක්නට ලැබේ. රෝස තිරිවානා ගල් භාවිතා කොට මෙහි අත්තිවාරම ඉදිකොට ඇති අතර ගොඩනැගිල්ලට පිවිසීමට ඇති පඩි පෙළ ගලින් නිමවා තිබේ.
චෛත්‍ය මළුවට දකුණු පසින් සෙන්ටි මීටර් 90 ක පමණ විශ්කම්භයකින් යුතු හා සෙන්ටිමීටර් 10 ක් ගැඹුරකින් යුතු ගල් පහනක් දක්නට ලැබේ. මෙහි තිර 8 ක් දැමිය හැකි ලෙස නිමවා තිබේ. ඉතා හොඳින් ඔප මට්ටම් කොට ඇති මෙම පහන දොළොස් මහ පහනක් ලෙස භාවිතා කරන්නට ඇත. නාමල් උයන ආශ්‍රිතව සක්මන් මළු කිහිපයක් දක්නට ලැබෙන අතර මෙම මළු බොරදම් සහිත ගල් පතුරු යොදා සකස් කොට ඇත. භාවනායෝගී භික්ෂූන් වහන්සේලාට සක්මන් කිරීම පිණිස වැලි හා ගල් පතුරු යොදා සක්මන් මළු සකස් කරනු ලැබේ.
මෙම සක්මන් මළු භාවනායෝගී භික්ෂුන්ට අත්‍යවශ්‍යය ම අංගයක් වන අතර පධානඝර ආශ්‍රිතව ඉදිකර තිබීම සුවිශේෂි ලක්ෂණයකි. භික්ෂූන් වහන්සේලාට භාවනායෝගීව වැඩ සිටීම සඳහා යොදාගත් ගොඩනැගිලි පධානඝර ලෙස හැඳින්වෙන අතර පියන්ගල් නමින් ද අර්ථ ගන්වා ඇත.
මේ අනුව බලන කළ ජාතික නාමල් උයන හා ඒ ආශ්‍රිතව දක්නට ලැබෙන ජෛව විවිධත්වය හේතුකොට ගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණ වනාන්තරයක් (Conservation forest) ලෙස ද ඒ හා බැඳුණු සංස්කෘතික විවිධත්වය, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක, පාරිසරික සංචාරාත්මක වටිනාකම සලකා බලා ජාතික භූ ගර්භ සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මඟින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් (Archaeological Reserve) ලෙසට ද ප්‍රකාශයට පත්කර ඇත. එසේම සංචාරක මණ්ඩලය මඟින් සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙස ද නාමල් උයන නම්කර ඇත.
සිළුමිණ
2020 මාර්තු 29
රුක්ෂිලා වෙත්තමුණි
පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/?fbclid=IwAR3AiklFy5FliNZ21G3_Qse1jw8CY0vJNQlso23lUZM4oK-Io2b91RuhIA8
සිළුමිණ
2020 මාර්තු 29
රුක්ෂිලා වෙත්තමුණි
පත්තරෙන් බැලීමට
http://epaper.silumina.lk/?fbclid=IwAR3AiklFy5FliNZ21G3_Qse1jw8CY0vJNQlso23lUZM4oK-Io2b91RuhIA8