හෘදය සංවේදී ලේඛකයෙක් සමඟ පිටු 261 පුරා දිවෙන නේපාල් වැසියන්ගේ හදවත් හි කැකෑරුණු දුක, සතුට, ආදරය, කරුණාව, ද්‍රරිද්‍රතාවය යනාදි නොයෙකුත් මාතෘකා ඔස්සේ "යාත්‍රාහාරි" විඳගත්තා කිව්වොත් මං නිවරැදියි.
වසන්තා කේ. මිහිඳුකුලසූරිය යනු රාජ්‍ය සම්මානලාභි ළමා ගීත රචිකාවියක්. ඇගෙ ප්‍රථම පරිවර්තිත නවකතාව වුව ද "යාත්‍රාහාරි" ඉතා විශිෂ්ටය. ඉතා ළගන්නා සුළු බස් වහරකින් හා මනා පරිචයෙන් යුතුව ඇය තම පරිවර්තන කාර්‍ය් සිදුකර ඇති බව නොරහසකි. පාදක සටහන් උපයෝගී කොට ගෙන නේපාලය හා බැඳුණු සමාජ, සංස්කෘතික හා ආගමික පරිසරය පිළිබඳව අපගේ නිම් වළලු පුළුල් කිරීමට ඇය දැරූ වෙහෙස ඉමහත් ය. මුල් කෘතියේ අන්තර්ගතයට හානියක් නොකර අලංකාර බස් වහරකින් අපේ සිත් බැඳ ගැනීමට කළ උත්සාහය අමිලය.
එසේම නේපාල ජාතික කවියෙක් වූ භීෂ්ම උප්‍රෙටි ගෙ Paaila Paaila නම් ප්‍රථම නවකතාව සඳහා ඇය ඉතා සාධාරණයක් සිදුකර ඇති බව ද සඳහන් කළ යුතුමය. එහි ඉංග්‍රීසි පරිවර්තනය An Endless Journey නමින් නේපාල ජාතිකයෙකු වූ මහේෂ් පෞද්‍යාල් විසින් සිදුකර ඇති අතර ඔහුට ද ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීම යුතුකමකි.
රටපුරා ඇවිදීමට බොහෝ සේ ආසා කරන මගේත් එක් හීනයක් තමයි ලෝකයෙ රටවල් කිහිපයක සංචාරය කිරීම. ඇවිද්ද පය දහස් වටී කියනවා වගේ ඒ තුළින් ලැබෙන අත් දැකීම් මිල කරන්න බැරි බව අපි හැමෝම දන්නා කාරණයක්.
" යාත්‍රාහාරි " පුරාම දිග හැරෙන මිනිස් සන්තානයේ හටගත් හැඟීම් විටෙක හදවතට යවුලකින් අනිනවා වගෙයි. එම නිසා මෙහි සඳහන් මගේ හදවතේ ලැඟුම් ගත් ඇතැම් කොටස් ගැන සටහනක් තබන්න හිතුවේ ඉන් අපට ගතහැකි ආදර්ශය මූලික කරගෙනයි. විවිධ ජන කණ්ඩායම් නියෝජනය කරමින් දේශගුණික කලාප කිහිපයක් හරහා දිවෙන සංචාරික ජීවිතයක අත් දැකීම් මේ තුළින් අපට විඳ ගැනීමට හැකියි.
"තමුන්නාන්සෙ ටවුමෙන් ආපු වැදගත් මහත්තයෙක්. අපි වගේ දුප්පතුන්ට ආචාර කරන්නේ ඇයි "
"ඔයත් මං වගේම මනුස්සයෙක්. හැම මනුස්සයෙක් ම එක සමානයි." (20 පිටුව )
මෙතැනදි කූඩවල ජලය පුරවාගත් කාන්තාවක් හා ඇගෙ දියණිය හා කතාවට වැටෙන භාෂ්කර් ෂර්මා ගෞතම් නම් සංචාරකයා අතර සිදුවන්නේ ඉතා ගැඹුරින් අවධානය යොමුවිය යුතු කාරණයක්. කුල භේදය නිසා මිනිස්සු කොච්චර පීඩා විඳිනවා දැයි අපට යම් අවබෝධයක් ලබාගන්න මේ සංවාදය හේතු වෙනවා.
දැඩි ලෙස දරිද්‍රතාවයෙන් පීඩා විඳින ඔවුන්ගේ ජීවිත තුළ වඩා වැදගත් වූයේ අධ්‍යාපනය නොව ජීවන අරගලය බව ඒ දියණියගේ ප්‍රකාශය තුළින් මැනවින් විද්‍යාමාන වෙනවා.
ඔයා ඉස්කොලේ යනවා ද?
මම කලින් එකකට ගියා. ඒක අතෑරියා ...
ඒ මොකද ?
" ඉස්කෝලෙ අපට ගඟෙන් වතුර ගෙනැත් දෙන්නෙ නෑ, අපේ කෑම උයන්නෙවත් අපට ඇඳුම් ගන්ඩ සල්ලි දෙන්නෙවත් නෑනෙ, ඒකට අපි සල්ලි ගෙවනවා මිසක්...." (22 පිටුව)
ඒ වගේම දියණියගේ ඊළඟ ප්‍රකාශය කොච්චර ප්‍රබල ද කියලා දැනුණේ ඇගේ ජීවන අත් දැකීම් කෙතරම් නම් බලපාලා තියෙනවා ද කියල හිතෙන නිසයි.
" අම්මත් ඔයා වගේම හරි ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවට ද ඔයා වැඩියෙන්ම කැමති ? "
" පිට කොන්ද "
" ආහ්... ඇයි ඒ ?"
" හීන්දෑරී, කෙට්ටු එකක් වුණාට ඒක හුඟාක් ශක්තිමත්. අපේ හැම කරදරයක්ම, දුකක්ම දරාගන්ඩ අම්මට හයිය හත්තිය දෙන්නෙ එතනින්... බඩගින්නෙන්වත් හෙලුවෙන්වත් තියන්නෙ නැතුව අම්මා අපිව ආරස්සා කරන්නෙ එයාගෙ කොන්ද පණ තියෙන හින්දා..." ( 23 පිටුව )
සමාජයේ ඇත්ත කියන මිනිස්සු දිහා අනෙකා දකින දෘෂ්ටි කෝණය කතුවරයා දකින්නේ මෙසේයි.
'සමාජය, ඇත්ත කියන කෙනාට උන්මන්තක ලේබලය අලවනවා. ඒක ප්‍රවාදයක් වගේ ලුහුබඳිනවා.... ' (35 පිටුව )
කෙතරම් අඟ හිඟ පැවතුනද කඳුකරයේ වෙසෙන කාරුණික නේපාල ජාතිකයෙකුගේ ආගන්තුක සත්කාරය සම්බන්ධ සටහන මගේ හිත් ගත්තේ එහි සඳහන්ව තිබුණු කෑම ජාතිවල නම් නිසාය.
2018 දී කයිට්ස් බලකොටුවෙ සිදුකළ කැණීමේ දී අපිත් එක්ක යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කරපු සොයුරියන් වැඩ කළා. එක් දිනක් එක් සොයුරියකගෙ ආරාධනයෙන් අපි ඇගේ නිවසට ගියේ සති දෙකක් තිස්සේම කඩ කෑම කාලා අප්‍රිය වෙලා හිටිය මොහොතකයි.
ඇත්තටම ඒ කෑම අපිට එදානම් අමෘතයක් වගේ. ගෙදරකින් බත් ටිකක් කන්න ලැබීමත් ඒ ලැබුණු කෑම අපේ සංස්කෘතියට වඩා වෙනස් වීමත් අමුතුම රසයක් වගේම සතුටක් ගෙන දුන්නෙ. පහත ඡේදයේ තියෙන්නේ ඇත්තටම එදා අපි කාපු කෑම වට්ටෝරුවමයි.
.... නිවසේ ස්වාමිදුව අපට බත්, පරිප්පු, මෝරු සහ අඹ අච්චාරු ආදියෙන් බොහෝ ආදරයෙන් සංග්‍රහ කළාය. මවක් තම දරුවන්ට කෑම කවන ආකාරයටම ඇය අපට කෑම බීමෙන් සංග්‍රහ කළාය. (151 පිටුව )
මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළාන්තයටම කිඳා බහින කතුවරයා එක් තැනකදී ධීවර පිරිසක් ඉලක්ක කොට ගෙන කළ ප්‍රකාශය ඉතාම ගැඹුරුයි.
" බාබා, ඒ කට්ටිය මාළු පහක් - හයක් අල්ලා ගත්තා"
" මාළු විතරක් නෙමෙයි පුතේ... ඒ අල්ලා ගන්නේ ඒ ගොල්ලන්ගේ අනාගතය, ඒ මිනිස්සුන්ගෙ හීන..." ( 165 පිටුව )
ගැහැනියක් එසේත් නැත්නම් බිරිඳක් කියන්නෙ ජීවිතයකට කෙතරම් ශක්තියක් ද බැඳීමක් ද කියල මනාලෙස ඉස්මතු වෙන අවස්ථාවක් ලෙස ගෞතම් නම් මහල්ලාගේ ප්‍රකාශය දැක්විය හැකියි.
"ඒ ගොල්ලො ඉන්නවා තමයි. ඒත් ටික කාලෙකට විතරයි. ජීවිත කාලෙටම පිරිමියෙක් එක්ක ඉන්න එකම කෙනා එයාගෙ පවුල විතරයි. එයා... හෙවණැල්ලයි, ආදරෙයි දෙකම.... " ( 175 පිටුව )
මේ තවත් එක්තරා මවක්. ඇයට හැබෑකර ගන්න නොහැකි වුණු හීන තම දරුවන්ගෙන් හැබෑකර ගන්න වෙහෙසෙන්නියක්. බොහෝ දෙමව්පියන් එහෙමයි. තමන් වින්ඳ දුක් දරුවන්ට නොදෙන්නයි ඔවුන්ගේ ඒකායන පරමාර්ථය.
" මේ ග්‍රීස්මෙ වැඩ කරන්න අමාරු නැද්ද "
" අමාරුයි, ඒත් මට මගේ දරුවො ඉස්කෝලෙ යවන්ඩ ඕනි. අපේ කාලෙ මට එහෙම වාසනාවක් තිබ්බෙ නෑ. ඒත් ළමයි ඉස්කෝලෙ ගියොත් ඒ දරුවන්ට කන්තෝරු රස්සාවක් හොයා ගන්ඩ පුළුවන් ...." ( 214 පිටුව )
එසේම දරුවෙක්ගෙ සතුට වෙනුවෙන් එකී පාර්ෂවයේ කුලය නොසලකා හරින්න මැලි නොවන දෙමව්පියන් සිටින බවත් ඒ වෙනුවෙන් ඇතැම් නේපාල්ගුන්ජ් හි වැසියන් බසුනොබටන බවටත් කදිම සාක්ෂියක් ලෙස භීම් ප්‍රසාද්ගෙ චරිතය දැක්විය හැකිය.
..... " අපේ පුතා ෂර්පා කෙල්ලෙකුට කැමති වුණාම අපට කරන්න දෙයක් නැති වුණා. පුතා සතුටින් ඉන්නවා නම් එයාගෙ අම්මා සතුටු වෙනවා. එයා සතුටින් ඉන්නවා නම් මටත් සතුටුයි " ( 219 පිටුව )
රටක ආණ්ඩු තිස්සේම දුප්පත්කම දකින්නෙ ඡ්න්දය ඉල්ලන කාලෙට විතරයි. එතකොට දේශපාලකයා පුළුවන් නම් දුප්පතුන්ගේ රෙදිත් අපුල්ලලා දේවී. ජීවිතේ අන්තිම අඩියටම වැටුණු බඩ ඉරිඟු වෙළෙඳාමේ නිරත වෙච්චි ජගදීශ්වර්, සැහැල්ලුවෙන් පැවසුව ද ආණ්ඩුව ගැන කළ ප්‍රකාශය ඉතා බැරෑරුම් විය.
" අපේ කටහඬ එච්චර දුරක් කොහොම යන්ඩද සර්? ඒ පාරෙ උස් කඳු තියෙනවා. ඒවා මගදි අපේ හඬවල් පහළට ඇදගෙන යාවි" ( 232 පිටුව )
මේ තවත් ගැමියෙකුගේ ආණ්ඩු විවේචනයක්. අපේ රටේ ආණ්ඩු ද ඒ ආකාරයයි. වෙනසකට තියෙන්නේ ජාතිය හා භාෂාව විතරයි.
" සේරම අතුගාලා දාලා ආණ්ඩුව සහන ගැන කතා කරනවා. සේරම විනාස වෙලා. ඔය කියන 'සහන' අපේ ජීවිත කාලෙටම ඇතිද? අපට ඕනි සහනය ඒක නෙමෙයි. අපට ඕනි කරන්නේ අස්සද්දල යමක් හොයා ගන්ඩ ඉඩම්" ( 233 පිටුව )
කිසියම් කෙනෙක් මෘදු සිනහවක් පා ආදරණීය වදනක් කියන්නේ නම්, මේ අහිංසක මිනිස්සු ඔහු විශ්වාස කරති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට රජය ගැන අසන්නට ලැබෙන්නේ වසර කිහිපයකට වරක් පැවැත්වෙන මැතිවරණවලදී පමණි. ඉන් පසු කිසිදු රජයක් ඔවුන් ගැන විමසන්නේ නැත. ( 254 පිටුව )
හදවතින්ම සුබ පැතුම් ආදරණීය වසන්තා අම්මේ. ඔබ අපව මුළු නේපාලය පුරාම රැගෙන ගියාට බෙහෙවින්ම තුති.
ජය 💗 💐
රුක්ෂිලා වෙත්තමුණි
2020 නොවැම්බර් 13
ෂා..........🎀🎀🎀
ReplyDelete