අතීතයේ සිටම මෙරට සෞඛ්‍ය විධි, ආරෝග්‍ය ශාලා, වෛද්‍ය ශාස්ත්‍රය, රෝග නිවාරණ මාධ්‍යය පිළිබඳව පැරණි ලේඛනවලින් මෙන්ම අභිලේඛන හා පුරාවිද්‍යාත්මක සාධක බොහෝමයක් දැක ගත හැකිය. දැනට විද්‍යාමානව ඇති ආරෝග්‍ය ශාලාවල නටබුන් අනුව පැහැදිලි වන්නේ සෞඛ්‍ය හා ස්වස්ථතාව සම්බන්ධයෙන් ඉදි කෙරුණු ගෘහ නිර්මාණ ප්‍රභූන් වූ රාජකීය පවුල් සහ භික්ෂුන් උදෙසා ගොඩ නැගුණු බවය. ශිලා ලේඛන අනුව ආරෝග්‍ය ශාලා බොහෝමයක් ඉදිවී ඇත්තේ ආරාම ආශ්‍රිතවය.
සහස්සවත්ථූපකරණය, සද්ධර්ම රත්නාවලිය හා පූජාවලිය යන සාහිත්‍ය කෘති අනුව එකල විසූ බහුතර ගොවිතැන් කටයුතු කළ ගොවි ජනතාව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ බව සඳහන් වූවත් රජු හා ඒ ආශ්‍රිත ප්‍රභූන්ගේ ජීවන රටාව සුඛෝපභෝගී වූ බවට රන්මසු උයනේ නාන තටාක හා ඔවුන් භාවිතා කළ ආනයනික පිඟන් හා මැටි භාණ්ඩ සාක්ෂි දරයි.
වංශකථා අනුව සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව පිළිබඳ වාස්තු විද්‍යාත්මක නිර්මාණ තිබූ බවට සාධක හමුවන අතර වංසත්ථප්පකාසනියේ දැක්වෙන පරිදි සොත්ථිසාලා නමින් පණ්ඩුකාභය අවදියේ දී ඉදිකරන ලද ගෘහයයක් සම්බන්ධව සඳහන් වේ. එය ආරෝග්‍ය ශාලාවක් විය හැකි බවට අදහස් වේ.
පුරාවිද්‍යාත්මක නටබුන්වලින් තහවුරු වන පරිදි ප්‍රධාන විහාරාරාම ආශ්‍රිත භික්ෂු සමාජයේ ජීවන රටාව උසස් මට්ටමක පැවතිණි. අභයගිරි පරිශ්‍රයේ කුට්ටම් පොකුණ, ඇත් පොකුණ ඇතුළු පොකුණු ද වැසිකිළි, කැසිකිළි, ජලය හා අපද්‍රව්‍ය අපහරණය පිණිස යොදා ගත් කානු මෙන්ම අපද්‍රව්‍ය තැන්පත් වීමට වළවල් ද ටෙරාකොටා නළ ද (පුලුස්සන ලද මැටි නළ) භාවිතා කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබේ.
අනුරාධපුර පශ්චාත් අවධියේ සෙල්ලිපිවලින් එකල තිබූ රෝහල් හා බෙහෙත් ගෙවල් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. IV වන මිහිඳු රජුගේ ජේතවනාරාම පුවරු ලිපියේ ගිලන් පුතු සඳහා වෙදහලක් ඉදිකළ බවත් V වන කාශ්‍යප රජුගේ පුවරු ලිපියේ නගරයේ මඟුල් මහාවීදියේ දකුණු දොරටුව අසල රාජකීය වෛද්‍ය ශාලාවක් කරවූ බවත් සඳහන්ය.
එමෙන්ම පුණ්‍ය ක්‍රියාවන් අතර සෞඛ්‍ය කටයුතු සඳහා අනුග්‍රහය දැක් වූ රජවරු අතර දුටුගැමුණු, දෙවන උපතිස්ස, පළමු පරාක්‍රමබාහු ආදීන් දැක්විය හැකිය. ගැබිනි කාන්තාවන්ට, යාචකයින්ට, අන්ධයින්ට මෙන්ම රෝගීන්ට ද මහත් ප්‍රයෝජන පිණිස ශාලාවන් ද දන්හල් ද කරවීය.
පොෙලාන්නරු නගරයේ II දප්පුල විසින් රෝහල් ඉදිකර වූ බවත් IV කාශ්‍යප පොළොන්නරුවේ සහ අනුරාධපුර රෝහල් ඉදිකර ඒවායේ නඩත්තු සඳහා ගම් ද පූජා කළ බවත් V කාශ්‍යප වෛද්‍යශාලා ද ඉදි කරවූ බවත් සඳහන් වන අතර IV වන මහින්ද හා ඔහුගේ පුතු ද සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රියා සඳහා දායක වී ඇති බව විස්තර වේ.
භික්ෂු සමාජයේ පෞද්ගලික පවිත්‍රතාව පිණිස ජල ස්නානය, පදිංචි ස්ථාන හා අවට පිරිසිදුව තබා ගැනීම මෙන්ම දිගු ලොම් හා නිය කැපීම ද පිළිබඳව පැරණි ග්‍රන්ථ වල සඳහන්ව ඇති අතර මහාවග්ගපාලිය හා සමන්තපාසාදිකාව වැනි විනය ග්‍රන්ථවල භික්ෂූන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද වත් පිළිවෙත් පිළිබඳව කරුණු අන්තර්ගත වේ. ඉන්දීය පැරණි ආයුර්වේද ග්‍රන්ථ අතර චරක සංහිතා හා සුශ්‍රැත සංහිතා ව්‍යායාමයන් හි ගුණ පිළිබඳව විශේෂයෙන් ම කරුණු දක්වා තිබේ. ඉන් චරක සංහිතාවේ දැක්වෙන පරිදි පාද හා මළ මාර්ග නිතර පිරිසිදුව කිරීමෙන් ද නිය කෙස් හා රැවුල් නිසි පරිදි නඩත්තු කිරීමෙන් ආයුෂ වැඩි වී සිතත් ශරීරයත් පවිත්‍ර වන බව දක්වා ඇත.
IV වන කාශ්‍යප රජ සමයට අයත් කුකුරුමහන්දමන ටැම් ලිපියේ සඳහන් පරිදි සෙන් නම් සෙනෙවියෙකු විසින් කරවන ලද අනුරාධපුර ඇතුළු නුවර මංගල වීථිය අසල මහින්දාරාම ඉදිරි පස ආරෝග්‍ය ශාලාවට කළ ඉඩම් ප්‍රදානයක් පිළිබඳව දැක්වෙන අතර ඉන් පසක් වනුයේ රාජ්‍ය අනුග්‍රහයට අමතරව රාජ සභාවේ කනිෂ්ඨ නිලධාරීන් ද රෝහල් කරවා ඒවාට ගම්බ්ම් ප්‍රදානය කර ඇති බවයි. එමෙන්ම කිරිබත් වෙහෙර ටැම් ලිපියෙ බමුණු කුඹුර නම් බෙහෙත් ගෙයක් ගැන ද තුනුකායි ටැම්ලිපියෙ පොල්කඩුනම් ගමක් වෙදහලකට පැවරු බව ද පොළොන්නරුව රාජසභා මැදිරි ටැම් ලිපියේ දොතිවලක්නා නම් පුද්ගලයෙක් කරවූ රෝහලක් ගැන ද සඳහන් වේ. පණ්ඩුකාභය පුරාවෘත්තය අනුව අනුරාධ නගරයෙන් බැහැරව සැඩොලුන් උදෙසා ගම් පිහිට වූ බවත් එම සැඩොලුන් ලෙස නගර ශෝධක සැඩොලුන්, වැසිකිළි ශෝධක සැඩොලුන්, මෘත ශරීර ඉවත් කරන සැඩොලුන් හා සොහොන් බිම්වල කටයුතු කරන සැඩොලුන් යන්න දැක්වීය.
අනුරාධපුර අභයගිරි විහාරය හා පොළොන්නරු බද්ධසීමා ප්‍රාසාදයෙහි දක්නට ඇති කැසිකිළි, වැසිකිළි ඉදිකිරීම් තාක්ෂණයෙ වර්ධනීය අවස්ථාවකි. අභයගිරි විහාරයෙ කැසිකිළි හා වැසිකිළි ආරාම පද්ධතියට පිටින් ඉදිකොට ඇති මුත් බද්ධසීමා පාසාදයෙහි භික්ෂූන්ගේ කුටි ආසන්නයේම ඉදිකොට ඇත. එමෙන්ම මැදිරිගිරි විහාර භූමියේ රෝහල ආශ්‍රිතව ඇති වැසිකිළි හා කැසිකිළි වළවල් විහාරයට හා රෝහලට බොහෝ දුරින් පිහිටා ඇත.
පරිසර කළමනාකරණය හා පවිත්‍රතාව පිළිබඳ පැරණි වාස්තු විද්‍යාඥයින් අවධානය යොමු කළ බවට අභයගිරියෙන් හමු වූ කැසිකිළි මුට්ටි සාක්ෂි දරයි. බද්ධසීමා පාසාදයේ සහ අභයගිරියේ කැසිකිළි වලින් පිටවන මුත්‍රා ආවරණය කරන ලද නළ මාර්ගයක් ඔස්සේ කැසිකිළි වළකට එක් වේ. එහෙත් අභයගිරියෙ එකිනෙකට සම්බන්ධ කරන ලද ඉහළ සිට පහළට පිහිටුවන ලද සිදුරු සහිත මුට්ටි තුළින් මුත්‍රා පෙරීමක් සිදුවිය. මෙම මුට්ටිවල වැලි, අළුහුණු, අඟුරු ආදි ලෙස තැන්පත් කොට තිබූ බවත් අවසානයේ දී මුත්‍රා සියල්ල පෙරී පිරිසිදු ජලය ලෙස පරිසරයට මුදා හැරිය බවත් පැවසේ. මුට්ටි එකිනෙකට සම්බන්ධ කිරීමට බදාමයක් භාවිතා කොට තිබුණු අතර ඇතැම් තැන්වල මුට්ටි හතක් පමණ තිබූ බව ද තවත් තැන්වල ඊට අඩු මුට්ටි ප්‍රමාණයක් තිබූ බවද සඳහන්ය.
අතීතයේ දී පැවති විවිධාකාර ආරෝග්‍ය ශාලා අතර ආරාම ආශ්‍රිතව ඉදිකරන ලද භික්ෂූ නේවාසික වෙදහල්, ගිහි නේවාසික වෙදහල්, සූතිකාගාර සහ බාහිර රෝගීන් සඳහා බෙහෙත් ගෙවල් යනාදි වශයෙන් හඳුනාගත හැකිය. මින් ආරාම ආශ්‍රිත නේවාසික රෝහල් සම්බන්ධව බහුල ලෙස පුරාවිද්‍යා සාක්ෂි ලැබේ. මිහින්තලය, මැදිරිගිරිය, දීඝවාපිය, මාලිගාවිල ආසන්න දඹේගොඩ හා පොළොන්නරුව ආලාහන පරිවෙන සංකීර්ණයේ රෝහල්වල නටබුන් දක්නට ලැබේ.
1954 කරන ලද කැණීමේදී මිහින්තලේ රෝහල් භූමියෙන් මැද පෙරදිගින් ආනයන කරන ලද බරණි දෙකක කැබලි හමු වී ඇති අතර මෙම බඳුන් වාතයෙන් ආරක්ෂා වීමට ඇතුළත හා පිටත බදාමයක් ආලේප කොට තිබිණි. මෙම බරණි බෙහෙත් ද්‍රව්‍ය ගබඩා කර තබන්න ඇතැයි යන්න විශ්වාස කෙරේ. මිහින්තලේ වෙදහලේ මෙන් මධ්‍යයේ බුදු මැදුරක් හා නේවාසික රෝගීන් සඳහා කුටි තිබුණු බවට අනුරාධපුර ථුපාරාම චෛත්‍ය ආසන්නයේ ඇති බෙහෙත් ඔරුව සහිත වෙදහලේ නටබුන් සාක්ෂි සපයයි. කිරිබත් වෙහෙර ශිලා ලිපිය අනුව IVවන කාශ්‍යප කළ ථුපාරාමයේ බෙහෙත් ගෙට සිදු කරන ලද ඉඩම් ප්‍රදානයක් ගැන සඳහන් වේ. වංශකථා තොරතුරු අනුව බුද්ධදාස රජු (337-365) සෑම ගමක් පාසාම රෝහල් ඉදි කරවන ලද බවත් ගම් දහයකට වෛද්‍යවරයෙක් පත් කර ඔවුන්ට වැටුප් ගෙවන ලද බවත් කියැවේ. එසේම එම රජුගේ පුත් පළමු උපතිස්ස රජු (365-406) අංග විකල රෝගීන් සහ ගර්භනීන් සඳහා රෝහල් ඉදි කළේ යැයිද සඳහන් වේ.
ගිහි නේවාසික රෝහල් පිළිබඳ ඉතා අල්ප ලෙස පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබෙන අතර වංශකථා තුළින් දුටුගැමුණු රජු දවස ස්ථාන 18 ක ගිලන්හල් පැවති බව දැක්වේ. V වන කාශ්‍යප රජු විසින් රෝග උපද්‍රව නැසීමට අනුරාධපුර ඇතුළු නුවර මංගල මහා වීථියෙහි දකුණු දොරටුව අසල කරවන ලද රාජකීය වෛද්‍ය ශාලාවක් (රජවෙදහල) ගැන අභයගිරියෙන් හමු වූ පුවරු ලිපියේ අන්තර්ගතය.
මහාවංශයට අනුව ගැබිණි මව්වරුන් සඳහා සූතිකාගාර ඉදිකොට පැවති බවත් පණ්ඩුකාභය දවස සිවිකා ශාලා නම් ගොඩනැගිල්ලක් තිබූ බවත් සඳහන්ය. වෛද්‍යවරුන් වෙජ හෝ වෙද යන්නෙන් හඳුන්වනු ලැබූ අතර පිච්චින්දියාව, මඟුල් මහා විහාර, රාජාංගන යන ස්ථාන වලින් හමු වු ආදීම බ්‍රාහ්මී ශිලා ලිපි ලෙන්වල කොටවා භික්ෂූන්ට ප්‍රදානය කළ වෙජ හෙවත් වෛද්‍යවරුන් සිටි බව දැක්වේ.
IV වන මිහිඳු (956-972) ගේ මිහින්තලා පුවරු ලිපිය මගින් වෙදහල්වල සේවය කළ අයට ආරාමය විසින්ම ගෙවීම් කළ බවත් ඒ අනුව ආරාම ආශ්‍රිත වෙදහල් ඊට අදාළ ආරාම මගින්ම කළමනාකරණය වූ බවත් පැහැදිලිය. මෙම පුවරු ලිපිය මගින් මිහින්තලේ රෝහලේ වෛද්‍යවරයාට සහ පුහුඩා වෙදා යන අයට ගෙවීම් කරන ලද බව ප්‍රකාශ වේ.
වෙදහලක ප්‍රධාන වෛද්‍යවරයා මහ වෙදනා ලෙසත් වෙජ හෝ වෙද යන්නෙන් සාමාන්‍ය වෛද්‍යවරු ද ඔවුන්ට තරමක් දෙවෙනි වු වෛද්‍යවරු සුලු වෙදනා ලෙසත් කූඩැල්ලන් මගින් විෂ උරවන වෛද්‍යවරයා පුහුඩා වෙදා ලෙසත් සෙනරත් පරණවිතානයන් අර්ථ දක්වා තිබේ.
වෙදහලේ වෛද්‍ය කටයුතු මෙන්ම පරිපාලන කටයුතු කළ නිලධාරීන් වෙදහල් සම්දරුවන් ලෙස ද සාමාන්‍ය සේවකයින් කුඩින් ලෙස ද භාවිතා කොට ඇත. එමෙන්ම බෙහෙත් නිෂ්පාදනයේ දී උදව් කළ සේවකයින් බෙහෙද් වැරියන් නමින් ද සුළු සේවකයන් දසුන් ලෙස ද සුළු නිලධාරීන් කැමියන් යනුවෙන් ද හඳුන්වා ඇත. බෙහෙත් ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන් ඔඩොටුවන් ලෙස අර්ථ දක්වා ඇති අතර සියලු රෝහල් අධීක්ෂණය කළ නිලධාරීන් රදොල් සම්දරුවන් ලෙස දක්වා තිබේ.
පත්තරෙන් බැලීමට
සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 මාර්තු 08
No comments:
Post a Comment