Wednesday, March 18, 2020

ලෝක උරුමයන් අතරට එක්වූ අප්සරාවන්ගේ පාරාදීසය


යුනෙස්කෝව විසින් 1982 දී සීගිරිය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. අපරදිග වාසීන්ගේ අවධානය මුල්වරට සීගිරිය වෙත යොමු වූයේ 1840 දි ඉංග්‍රීසි ජාතික මේජර් එච්.ෆෝබ්ස් විසින් රචිත Eleven years in Ceylon නම් ග්‍රන්ථය හේතුවෙනි. එසේම සීගිරිය පිළිබඳ අධ්‍යනය කළ තවත් පුද්ගලයින් ලෙස ඒ.වයි.ඇඩම්ස්, ජේ.බේලි, රීස් ඩේවිස්, මහජන වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්ලෙක් හා මරේ දැක්විය හැකිය. ඉතිහාසඥයෙක් වූ එමර්සන් ටෙනන්ට් Ceylon නමින් කෘතියක් පළ කළ අතර එහි සීගිරිය පිළිබඳ විස්තර කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් වූ H.C.P. බෙල් සීගිරිය පිළිබඳ ප්‍රාරම්භක පුරාවිද්‍යාත්මක සොයා ගැනීම කළ අතර 1894 අප්‍රේල් 15 වන දා සීගිරි ගල මුදුනට නැග කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබීය. එසේ ආරම්භ කළ කටයුතු 1895 සිට 1905 දක්වා ක්‍රියාත්මක විය.

ක්‍රි.ව. 5 වන සියවසේ දී පළමු කාශ්‍යප රජු විසින් සීගිරිය ඉදිකළ අතර එකල ලංකාවේ පැවති නගර නිර්මාණ ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, කලාව, භූමි දර්ශිත උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ සුවිශේෂි එක්තැන්වීම් නිරූපිත ස්ථානයකි. සීගිරිය බලකොටුවක් ලෙසත් පසුව නගරයක් ලෙසත් පුරා විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබේ.

1930 දි සීගිරියේ කුරුටු ගීත කියවීම ලංකාවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ආරම්භ කරන ලද අතර ඔහු විසින් කුරුටු ගීත 685 ක් කියවන ලදී. 1956 දී එම කුරුටු ගීත ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්විය. මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන්ගේ අධීක්ෂණයෙන් යුතුව 1982 දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සීගිරියේ මංගල උද්‍යානයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස වාස්තු විද්‍යාත්මක හා වාරි තාක්ෂණයෙන් පොහොසත් ක්ෂුද්‍ර ජල උද්‍යානය පාදා ගැනීමට හැකිවිය. එම කාලවකවානුවේ දී සිදු වූ තවත් සුවිශේෂි සිද්ධියක් වූයේ ආචාර්ය බෙනිල් ප්‍රියංක විසින් පරණවිතානයන් කියවූ කුරුටු ගීත වලට අමතරව කුරුටු ගීත හා කුරුටු ගී කොටස් 800 ක් කියවා අර්ථ ගැන්වීමයි.

සීගිරිය පිළිබඳ පුළුල් පර්යේෂණයක් සිදු කරනු ලැබූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට පසුව ආචාර්ය රාජා ද සිල්වා, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර හා ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න යනාදි වියතුන් දැක්විය හැකිය. සීගිරියේ මෙතෙක් කරන ලද පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව පුරාවිද්‍යාඥයින් විසින් සීගිරියේ ඓතිහාසික අවදීන් 08 ක් හඳුනාගෙන තිබේ.

ආදි ආරාමික අවදිය - ක්‍රි.පූ. 3 සහ 2 සිට ක්‍රි.ව. 1 දක්වා අයත් බ්‍රහ්මී ශිලා ලිපි මෙයට අයත් වේ. පූර්ව කාශ්‍යප යුගය - ක්‍රි.ව. 1 සියවස සිට 5 වන සියවස දක්වා, කාශ්‍යප යුගය - ක්‍රි.ව. 477-495, පශ්චාත් කාශ්‍යප යුගය - ක්‍රි.ව. 6-7 සියවස් දක්වා වූ පසු ආරාමික යුගය, පශ්චාත් කාශ්‍යප යුගය‍ සීගිරිය අත් හැරීමේ යුගය - ක්‍රි.ව. 13 -17 අතර කාලය, නුවර යුගය - ක්‍රි.ව.17- 19 , නූතන පුනරුදය - 1830 ගණන් වල සිට 70 දශකය දක්වා, කෞටිල්‍ය‍ගේ අර්ථ ශාස්ත්‍රයට අනුව බලකොටුවත් දුර්ගයත් නිර්මාණ කිරීම පිළිබඳව කරුණු දක්වා ඇත. ඔහු පවසන පරිදි රාජ්‍යයක හෝ නගරයක සතර දිශාවේ ම බලකොටු ගොඩනැඟිය යුතුය. ලංකාවේ බලකොටු හඳුන්වා තිබෙන්නේ ‘පුර‘ යන වචනයෙනි. බලකොටුවක් යනු රජමාලිගයක හෝ කඳවුරක ආරක්ෂාවට තනනු ලැබූ පවුරු සහ දිය අගල්වලින් සමන්විත ආරක්ෂිත විධි ක්‍රමයකි. ජල දුර්ග හා පර්වත දුර්ග ජනාකීර්ණ ප්‍රදේශ සඳහා වඩා වැදගත් වන බව කෞටිල්‍ය‍ දක්වා ඇත. බලකොටු නිර්මාණාත්මක අතින් ශිඛර, වාහිනී, මුඛ, ස්ථානීය, දොණක, සංවිධික, වර්ධක, කෝලක, නිගම, සකන්ධවාර ආදි විවිධ ස්වරූප වලින් යුක්තය.

සීගිරිය නටබුන් පමණකින් හෝ දැනට කරුණු සාධනය කර ගැනීමට ඇති පැරණිම බලකොටුවකි. ස්වභාවික දුර්ගයක් උපයෝගි කොට ගෙන සීගිරිය නිර්මාණය කර ඇති අතර මෙහි බටහිර හා නැගෙනහිර යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. මෙම කොටස්වල රජමාලිගය ඇතුළු රාජාංගන අංග ගොඩනංවා ඇති අතර දිය අගල් හා පවුරු වලින් වට වී ඇත. සීගිරියේ මාලිගා සංකීර්ණයේ ආරක්ෂාව පිණිස දිය අගළ දෙකක් සහ පවුරු තුනක් ඉදිකොට තිබේ. පිටතින්ම පිහිටි ප්‍රාකාරය මැටිවලින් ද මැද ප්‍රාකාරය ගඩොලින් ද ඇතුළු ප්‍රාකාර ගල්, ගඩොල්, මැටි යනාදියෙන් තනා ඇති බවද සඳහන්ය. මෙම පවුරු උසින් එකිනෙකට වෙනස්ය. ඇතුළු පවුර ඉතා උසින් හා ශක්තිමත් බවින් යුක්ත වූ අතර මැද පවුර පිටත පවුරට වඩා උසින් යුක්තය.

දිය අගළ දෙකකින් යුත් සීගිරිය පිටතින් වූ දිය අගළ ඇතුළු දිය අගළ මෙන් පළලින් තුන් ගුණයයක් වන අතර ඇතුළු දිය අගළ පිට දිය අගළ මෙන් තුන් ගුණයක් ගැඹුරින් යුක්තය. ප්‍රධාන වශයෙන් බලකොටුවට ඇතුළු වීමට දොරටු තුනක් තිබුණු බව සඳහන්ය. හැකිළිය හැකි පාලමකින් යුත් බටහිර දොරටුව ප්‍රධාන දොරටුව වූ අතර අනෙක් දොරටු උතුරින් හා දකුණින් පිහිටි දැවැන්ත ගඩොල් නිර්මාණයන් විය. මේවායේ ද හැකිළිය හැකි දොරවල් තිබුණු බවට විශ්වාස කළ හැකි සාධක හමුවෙයි. සීගිරියේ පැවති ජනාවාස රටාව අවබෝධ කර ගැනීමට පිදුරංගල, පොතාන, දඹුල්ල, මාපාගල ආදී ස්ථානවලින් සොයා ගත් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සාධකත් රොටවැව, ඉබ්බන්කටුව, පන්සල්ගොඩැල්ල ආදී ස්ථාන වලින් සොයා ගත් පූර්ව ඓතිහාසික යුගයේ සාධකත් ඉවහල් වේ.

ආසියාවේ සොයා ගන්නා ලද පැරණිම රජ මාලිගා ගොඩනැගිලි පදනම් අතර සීගිරියේ පර්වත මුදුනේ ඇති රජමාලිගා ගොඩනැගිල්ලේ පදනම සුවිශේෂි ස්ථානයක් හිමිකර ගනී. එමෙන්ම ලොව පුරාවිද්‍යාත්මකව ස්ථාපිත කර ඇති පැරණිම උද්‍යානයක් ලෙස සීගිරි රාජ්‍ය උද්‍යානය සැලකිය හැකිය.

සීගිරියේ දක්නට ලැබෙන රාජකීය උද්‍යානය වූ කලි ලෝකයේ වෙනත් තැනක පෙනෙන්නට නොමැති විශේෂංගවලින් හෙබි උද්‍යානයකි. රජමාලිගාවක් කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලැබූ මේ උද්‍යානය තුළ දැනට දෘෂ්‍යමාන වන්නේ බටහිර අංගනය පුරා විසිරී ගිය නටබුන් පමණකි. නටබුන් වූ පමණින් ම එය විනාශ වී ඇති බවක් නොපෙනෙන බැවින්, එහි අතීතයේ තිබූ උද්‍යානයේ වගතුග කෙසේ වී දැයි සිතාගැනීමට තරම් හැකියාවක් ලැබේ. ක්‍රි.ව. 5 වන සියවසේ ලංකාවේ වාස්තු විද්‍යාත්මක දැනුම කොතරම් ද යන්න මනාව පිළිබිඹු කරන මෙහි පොකුණු, මණ්ඩප, ගුහා සහ මල්වතු ආදියෙන් ද, චීනයේ ඇති මළුපෙත් උද්‍යාන ලක්ෂණයන්ගෙන් ද අලංකාරවත් වී තිබේ යන්න සඳහන් කරයි. එමෙන්ම පරණවිතානයන් මේ උද්‍යානය ප්‍රමද වනයක් ලෙස හඳුවනු ලබන අතර ප්‍රමද වනයක් යනු බොහෝ විට විනෝද උයන් සඳහා යෙදෙන පර්යාය පදයකි යන්න දක්වයි.

ප්‍රධාන වශයෙන් සීගිරි උද්‍යානය කොටස් කිහිපයකට බෙදෙන අතර ඒවා ජල උද්‍යානය, ශිලා උද්‍යානය, මාලක උද්‍යානය සහ ගල උඩ උද්‍යානය ලෙස නම් කෙරෙයි. එසේම ජල උද්‍යානය නැවත ක්ෂුද්‍ර ජල උද්‍යානය සහ වතුර මල් උද්‍යානය ලෙස බෙදෙයි. මෙම උද්‍යානයේ තිබෙන සුවිශේෂි ලක්ෂණයකි, ජ්‍යාමිතිකානුකූල ව සමමිතිකව කොටස් දෙකකට බෙදී තිබීම. බටහිර ද්වාරයෙන් ඇතුළු වූ විට ප්‍රථමයෙන් ජල උද්‍යානයට ප්‍රවේශ විය හැකිය. ක්ෂුද්‍ර ජල උද්‍යානයේ තැනින් තැන මණ්ඩප වටා රවුම් ගල් සහ ස්පටික හුණු ගල් යොදා නිර්මාණය කොට තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

හුණුගල් වලින් නිර්මිත භූගත නල දෙකක් වර්තමානයේ ද වැසි දිනවල ක්‍රියාත්මක වන බව දක්නට ලැබේ.ඉහළ මාලයේ සිට එන ජලය මෙම නල තුළින් ගමන් කරන අතර එම නල මාර්ග හුණුගල් පුවරු වලින් ආවරණය කර තිබේ.

මාලක උද්‍යානයේ දක්නට ලැබෙන සුවිශේෂි වාස්තු විද්‍යාත්මක නිර්මාණය වන්නේ දෙපා පමණක් ඉතිරිව ඇති සිංහයෙකුගේ ප්‍රතිමාවයි. මහාවංශයේ මෙම සිංහ රුව පිළිබඳව දක්වා ඇති අතර ක්‍රි.ව. 7 වෙනි සියවසට අයත් යැයි සැලකෙන කුරුටු ගී කිහිපයක් ද කැටපත් පවුරේ ලියා ඇත. එනම්

සී රජු යසස සිරි - තැබූ මුළු ලොව පැතිරී

නිළුපුල් ඇසුන් ඇසිරී - බැලුමො සිහිගිරි

අර්ථය - මේ මහා සිංහ රාජයාගේ කීර්ති කදම්බයත් තේජස් බල පරාක්‍රමයත් මුළු ලොව පැතිරී ඇත.

නැගි ඇති බලනට - බැලිමි සිහිමියන් සිහිගිරි

මනදොල පුරය ඇය - බලන රිසි නොව බෙයන් ද රන්වන්අර්ථය - එහි කුමක් ඇත් දැයි බැලීමට සිංහ ගිරියට නැඟුණු මම එය සිත් සේ බලාගතිමි. මහා සිංහ රාජයා ද දුටිමි. කැටපත් පවුරේ ලියා ඇති කුරුටු ගීයක් අනුව නිශ්ශංකමල්ල රජු සීගිරිය නැරඹීමට පැමිණි බව ද පොළොන්නරු යුගයේ අග භාගයේ දී රජුන් කිහිප දෙනෙකු සීගිරියට පැමිණි බව ද කුරුටු ගී වලින් අනාවරණය වේ.

සීගිරිය දේශපාලනමය වශයෙන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් සේ ක්‍රියා කොට ඇති බව පුරාවිද්‍යාත්මක සාධක වලින් තහවුරු වේ. රෝම කාසි 1000 කට අධික සංඛ්‍යාවක් කැණීම් වලින් හමු වූ අතර මධ්‍යධරණී ප්‍රදේශයෙන් ගෙන්වන ලදැයි විශ්වාස කරන මැටි බඳුන් කිහිපයක් ද සාක්ෂි සපයයි. සීගිරියේ බටහිර පර්වතයෙහි ගුහා 22 ක චිත්‍ර දක්නට ලැබේ. මෙම චිත්‍රවල නිරූපිත ස්ත්‍රින් පිළිබඳව බොහෝ විද්වත් මත දක්නට ලැබේ. ඒ අතර H.C.P බෙල් සඳහන් කරන්නේ පිදුරංගල විහාරය කරා පා නගන රජ කුමරියන් බවයි. ආනන්ද කුමාරස්වාමි ප්‍රකාශ කරන්නේ වලාකුළු මත පාවී යන දිව්‍ය අප්සරාවන් බවයි. සෙනරත් පරණවිතානයන් දක්වන්නේ කුවේරගේ වාස භවනය වූ කෛලාස පර්වතය වටා ගැවසෙන මේඝලතාවන් හා විජ්ජුලතාවන් බවයි. සීගිරි චිත්‍ර ඇදීමට භාවිත කරන ලද නිල් පැහැය ඇෆ්ගනිස්ථානයෙන් ආනයනය කරන්නට ඇතැයි යන්න අදහසයි.

සීගිරි අඟනන්ගේ මුහුණු නරඹා ගීයක් ලියන මානාමි පවසා සිටින්නේ, මෙවැනි ප්‍රිය ජනක වූ ද සරාගී වූ ද සීගිරි අඟනන්ගේ පිටිපස තමන්හට දැක ගැනීමට නොහැකි වීම සිතෙහි ඇති වූ අනුරාගයේ ශෝකාලාපය බවයි.

බෙයන්ද්හි රන්වනුන් එහි තුබු මුළුල් (ලෙ)න්

බැලුමො මුහුණේ පිටපස් නො දුට්මො මුළුල්ලෙන්

අර්ථය - එහි බෙයදයෙහි තුබූ රන්වන් (ලියන්ගේ) මුහුණු සම්පූර්ණයෙන් බැලුවෙමු. (එහෙත් ඔවුන්ගේ) පිටිපස මුළුමනින්ම නුදුටුවෙමු.

ස්ත්‍රියගේ සිරුරේ පිටිපස ද ඇතැම් පුරුෂයන් තුළ ප්‍රබල අනුරාගී හැඟිම් මතු කිරීමට හේතුවන බව මෙම කුරුටු ගීතය මඟින් ගම්‍ය වේ.



පත්තරෙන් බැලීමට
http://www.silumina.lk/2020/03/14/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%A7-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B7%83%E0%B6%BA?fbclid=IwAR0jZStAMqi5Fqgm7QAuAq-Amqyl5XZPuCFOEWH29wkoIJFhUyW-WDdxprc

සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි


15 මාර්තු, 2020

රෝග නිවාරණයට අතීත පාඩම්


අතීතයේ සිටම මෙරට සෞඛ්‍ය විධි, ආරෝග්‍ය ශාලා, වෛද්‍ය ශාස්ත්‍රය, රෝග නිවාරණ මාධ්‍යය පිළිබඳව පැරණි ලේඛනවලින් මෙන්ම අභිලේඛන හා පුරාවිද්‍යාත්මක සාධක බොහෝමයක් දැක ගත හැකිය. දැනට විද්‍යාමානව ඇති ආරෝග්‍ය ශාලාවල නටබුන් අනුව පැහැදිලි වන්නේ සෞඛ්‍ය හා ස්වස්ථතාව සම්බන්ධයෙන් ඉදි කෙරුණු ගෘහ නිර්මාණ ප්‍රභූන් වූ රාජකීය පවුල් සහ භික්ෂුන් උදෙසා ගොඩ නැගුණු බවය. ශිලා ලේඛන අනුව ආරෝග්‍ය ශාලා බොහෝමයක් ඉදිවී ඇත්තේ ආරාම ආශ්‍රිතවය.


සහස්සවත්ථූපකරණය, සද්ධර්ම රත්නාවලිය හා පූජාවලිය යන සාහිත්‍ය කෘති අනුව එකල විසූ බහුතර ගොවිතැන් කටයුතු කළ ගොවි ජනතාව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ බව සඳහන් වූවත් රජු හා ඒ ආශ්‍රිත ප්‍රභූන්ගේ ජීවන රටාව සුඛෝපභෝගී වූ බවට රන්මසු උයනේ නාන තටාක හා ඔවුන් භාවිතා කළ ආනයනික පිඟන් හා මැටි භාණ්ඩ සාක්ෂි දරයි.

වංශකථා අනුව සනීපාරක්ෂාව සහ ස්වස්ථතාව පිළිබඳ වාස්තු විද්‍යාත්මක නිර්මාණ තිබූ බවට සාධක හමුවන අතර වංසත්ථප්පකාසනියේ දැක්වෙන පරිදි සොත්ථිසාලා නමින් පණ්ඩුකාභය අවදියේ දී ඉදිකරන ලද ගෘහයයක් සම්බන්ධව සඳහන් වේ. එය ආරෝග්‍ය ශාලාවක් විය හැකි බවට අදහස් වේ.

පුරාවිද්‍යාත්මක නටබුන්වලින් තහවුරු වන පරිදි ප්‍රධාන විහාරාරාම ආශ්‍රිත භික්ෂු සමාජයේ ජීවන රටාව උසස් මට්ටමක පැවතිණි. අභයගිරි පරිශ්‍රයේ කුට්ටම් පොකුණ, ඇත් පොකුණ ඇතුළු පොකුණු ද වැසිකිළි, කැසිකිළි, ජලය හා අපද්‍රව්‍ය අපහරණය පිණිස යොදා ගත් කානු මෙන්ම අපද්‍රව්‍ය තැන්පත් වීමට වළවල් ද ටෙරාකොටා නළ ද (පුලුස්සන ලද මැටි නළ) භාවිතා කළ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබේ.

අනුරාධපුර පශ්චාත් අවධියේ සෙල්ලිපිවලින් එකල තිබූ රෝහල් හා බෙහෙත් ගෙවල් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. IV වන මිහිඳු රජුගේ ජේතවනාරාම පුවරු ලිපියේ ගිලන් පුතු සඳහා වෙදහලක් ඉදිකළ බවත් V වන කාශ්‍යප රජුගේ පුවරු ලිපියේ නගරයේ මඟුල් මහාවීදියේ දකුණු දොරටුව අසල රාජකීය වෛද්‍ය ශාලාවක් කරවූ බවත් සඳහන්ය.

එමෙන්ම පුණ්‍ය ක්‍රියාවන් අතර සෞඛ්‍ය කටයුතු සඳහා අනුග්‍රහය දැක් වූ රජවරු අතර දුටුගැමුණු, දෙවන උපතිස්ස, පළමු පරාක්‍රමබාහු ආදීන් දැක්විය හැකිය. ගැබිනි කාන්තාවන්ට, යාචකයින්ට, අන්ධයින්ට මෙන්ම රෝගීන්ට ද මහත් ප්‍රයෝජන පිණිස ශාලාවන් ද දන්හල් ද කරවීය.

පො‍ෙලාන්නරු නගරයේ II දප්පුල විසින් රෝහල් ඉදිකර වූ බවත් IV කාශ්‍යප පොළොන්නරුවේ සහ අනුරාධපුර රෝහල් ඉදිකර ඒවායේ නඩත්තු සඳහා ගම් ද පූජා කළ බවත් V කාශ්‍යප වෛද්‍යශාලා ද ඉදි කරවූ බවත් සඳහන් වන අතර IV වන මහින්ද හා ඔහුගේ පුතු ද සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රියා සඳහා දායක වී ඇති බව විස්තර වේ.

භික්ෂු සමාජයේ පෞද්ගලික පවිත්‍රතාව පිණිස ජල ස්නානය, පදිංචි ස්ථාන හා අවට පිරිසිදුව තබා ගැනීම මෙන්ම දිගු ලොම් හා නිය කැපීම ද පිළිබඳව පැරණි ග්‍රන්ථ වල සඳහන්ව ඇති අතර මහාවග්ගපාලිය හා සමන්තපාසාදිකාව වැනි විනය ග්‍රන්ථවල භික්ෂූන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද වත් පිළිවෙත් පිළිබඳව කරුණු අන්තර්ගත වේ. ඉන්දීය පැරණි ආයුර්වේද ග්‍රන්ථ අතර චරක සංහිතා හා සුශ්‍රැත සංහිතා ව්‍යායාමයන් හි ගුණ පිළිබඳව විශේෂයෙන් ම කරුණු දක්වා තිබේ. ඉන් චරක සංහිතාවේ දැක්වෙන පරිදි පාද හා මළ මාර්ග නිතර පිරිසිදුව කිරීමෙන් ද නිය කෙස් හා රැවුල් නිසි පරිදි නඩත්තු කිරීමෙන් ආයුෂ වැඩි වී සිතත් ශරීරයත් පවිත්‍ර වන බව දක්වා ඇත.

IV වන කාශ්‍යප රජ සමයට අයත් කුකුරුමහන්දමන ටැම් ලිපියේ සඳහන් පරිදි සෙන් නම් සෙනෙවියෙකු විසින් කරවන ලද අනුරාධපුර ඇතුළු නුවර මංගල වීථිය අසල මහින්දාරාම ඉදිරි පස ආරෝග්‍ය ශාලාවට කළ ඉඩම් ප්‍රදානයක් පිළිබඳව දැක්වෙන අතර ඉන් පසක් වනුයේ රාජ්‍ය අනුග්‍රහයට අමතරව රාජ සභාවේ කනිෂ්ඨ නිලධාරීන් ද රෝහල් කරවා ඒවාට ගම්බ්ම් ප්‍රදානය කර ඇති බවයි. එමෙන්ම කිරිබත් වෙහෙර ටැම් ලිපියෙ බමුණු කුඹුර නම් බෙහෙත් ගෙයක් ගැන ද තුනුකායි ටැම්ලිපියෙ පොල්කඩුනම් ගමක් වෙදහලකට පැවරු බව ද පොළොන්නරුව රාජසභා මැදිරි ටැම් ලිපියේ දොතිවලක්නා නම් පුද්ගලයෙක් කරවූ රෝහලක් ගැන ද සඳහන් වේ. පණ්ඩුකාභය පුරාවෘත්තය අනුව අනුරාධ නගරයෙන් බැහැරව සැඩොලුන් උදෙසා ගම් පිහිට වූ බවත් එම සැඩොලුන් ලෙස නගර ශෝධක සැඩොලුන්, වැසිකිළි ශෝධක සැඩොලුන්, මෘත ශරීර ඉවත් කරන සැඩොලුන් හා සොහොන් බිම්වල කටයුතු කරන සැඩොලුන් යන්න දැක්වීය.

අනුරාධපුර අභයගිරි විහාරය හා පොළොන්නරු බද්ධසීමා ප්‍රාසාදයෙහි දක්නට ඇති කැසිකිළි, වැසිකිළි ඉදිකිරීම් තාක්ෂණයෙ වර්ධනීය අවස්ථාවකි. අභයගිරි විහාරයෙ කැසිකිළි හා වැසිකිළි ආරාම පද්ධතියට පිටින් ඉදිකොට ඇති මුත් බද්ධසීමා පාසාදයෙහි භික්ෂූන්ගේ කුටි ආසන්නයේම ඉදිකොට ඇත. එමෙන්ම මැදිරිගිරි විහාර භූමියේ රෝහල ආශ්‍රිතව ඇති වැසිකිළි හා කැසිකිළි වළවල් විහාරයට හා රෝහලට බොහෝ දුරින් පිහිටා ඇත.

පරිසර කළමනාකරණය හා පවිත්‍රතාව පිළිබඳ පැරණි වාස්තු විද්‍යාඥයින් අවධානය යොමු කළ බවට අභයගිරියෙන් හමු වූ කැසිකිළි මුට්ටි සාක්ෂි දරයි. බද්ධසීමා පාසාදයේ සහ අභයගිරියේ කැසිකිළි වලින් පිටවන මුත්‍රා ආවරණය කරන ලද නළ මාර්ගයක් ඔස්සේ කැසිකිළි වළකට එක් වේ. එහෙත් අභයගිරියෙ එකිනෙකට සම්බන්ධ කරන ලද ඉහළ සිට පහළට පිහිටුවන ලද සිදුරු සහිත මුට්ටි තුළින් මුත්‍රා පෙරීමක් සිදුවිය. මෙම මුට්ටිවල වැලි, අළුහුණු, අඟුරු ආදි ලෙස තැන්පත් කොට තිබූ බවත් අවසානයේ දී මුත්‍රා සියල්ල පෙරී පිරිසිදු ජලය ලෙස පරිසරයට මුදා හැරිය බවත් පැවසේ. මුට්ටි එකිනෙකට සම්බන්ධ කිරීමට බදාමයක් භාවිතා කොට තිබුණු අතර ඇතැම් තැන්වල මුට්ටි හතක් පමණ තිබූ බව ද තවත් තැන්වල ඊට අඩු මුට්ටි ප්‍රමාණයක් තිබූ බවද සඳහන්ය.

අතීතයේ දී පැවති විවිධාකාර ආරෝග්‍ය ශාලා අතර ආරාම ආශ්‍රිතව ඉදිකරන ලද භික්ෂූ නේවාසික වෙදහල්, ගිහි නේවාසික වෙදහල්, සූතිකාගාර සහ බාහිර රෝගීන් සඳහා බෙහෙත් ගෙවල් යනාදි වශයෙන් හඳුනාගත හැකිය. මින් ආරාම ආශ්‍රිත නේවාසික රෝහල් සම්බන්ධව බහුල ලෙස පුරාවිද්‍යා සාක්ෂි ලැබේ. මිහින්තලය, මැදිරිගිරිය, දීඝවාපිය, මාලිගාවිල ආසන්න දඹේගොඩ හා පොළොන්නරුව ආලාහන පරිවෙන සංකීර්ණයේ රෝහල්වල නටබුන් දක්නට ලැබේ.

1954 කරන ලද කැණීමේදී මිහින්තලේ රෝහල් භූමියෙන් මැද පෙරදිගින් ආනයන කරන ලද බරණි දෙකක කැබලි හමු වී ඇති අතර මෙම බඳුන් වාතයෙන් ආරක්ෂා වීමට ඇතුළත හා පිටත බදාමයක් ආලේප කොට තිබිණි. මෙම බරණි බෙහෙත් ද්‍රව්‍ය ගබඩා කර තබන්න ඇතැයි යන්න විශ්වාස කෙරේ. මිහින්තලේ වෙදහලේ මෙන් මධ්‍යයේ බුදු මැදුරක් හා නේවාසික රෝගීන් සඳහා කුටි තිබුණු බවට අනුරාධපුර ථුපාරාම චෛත්‍ය ආසන්නයේ ඇති බෙහෙත් ඔරුව සහිත වෙදහලේ නටබුන් සාක්ෂි සපයයි. කිරිබත් වෙහෙර ශිලා ලිපිය අනුව IVවන කාශ්‍යප කළ ථුපාරාමයේ බෙහෙත් ගෙට සිදු කරන ලද ඉඩම් ප්‍රදානයක් ගැන සඳහන් වේ. වංශකථා තොරතුරු අනුව බුද්ධදාස රජු (337-365) සෑම ගමක් පාසාම රෝහල් ඉදි කරවන ලද බවත් ගම් දහයකට වෛද්‍යවරයෙක් පත් කර ඔවුන්ට වැටුප් ගෙවන ලද බවත් කියැවේ. එසේම එම රජුගේ පුත් පළමු උපතිස්ස රජු (365-406) අංග විකල රෝගීන් සහ ගර්භනීන් සඳහා රෝහල් ඉදි කළේ යැයිද සඳහන් වේ.

ගිහි නේවාසික රෝහල් පිළිබඳ ඉතා අල්ප ලෙස පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබෙන අතර වංශකථා තුළින් දුටුගැමුණු රජු දවස ස්ථාන 18 ක ගිලන්හල් පැවති බව දැක්වේ. V වන කාශ්‍යප රජු විසින් රෝග උපද්‍රව නැසීමට අනුරාධපුර ඇතුළු නුවර මංගල මහා වීථියෙහි දකුණු දොරටුව අසල කරවන ලද රාජකීය වෛද්‍ය ශාලාවක් (රජවෙදහල) ගැන අභයගිරියෙන් හමු වූ පුවරු ලිපියේ අන්තර්ගතය.

මහාවංශයට අනුව ගැබිණි මව්වරුන් සඳහා සූතිකාගාර ඉදිකොට පැවති බවත් පණ්ඩුකාභය දවස සිවිකා ශාලා නම් ගොඩනැගිල්ලක් තිබූ බවත් සඳහන්ය. වෛද්‍යවරුන් වෙජ හෝ වෙද යන්නෙන් හඳුන්වනු ලැබූ අතර පිච්චින්දියාව, මඟුල් මහා විහාර, රාජාංගන යන ස්ථාන වලින් හමු වු ආදීම බ්‍රාහ්මී ශිලා ලිපි ලෙන්වල කොටවා භික්ෂූන්ට ප්‍රදානය කළ වෙජ හෙවත් වෛද්‍යවරුන් සිටි බව දැක්වේ.

IV වන මිහිඳු (956-972) ගේ මිහින්තලා පුවරු ලිපිය මගින් වෙදහල්වල සේවය කළ අයට ආරාමය විසින්ම ගෙවීම් කළ බවත් ඒ අනුව ආරාම ආශ්‍රිත වෙදහල් ඊට අදාළ ආරාම මගින්ම කළමනාකරණය වූ බවත් පැහැදිලිය. මෙම පුවරු ලිපිය මගින් මිහින්තලේ රෝහලේ වෛද්‍යවරයාට සහ පුහුඩා වෙදා යන අයට ගෙවීම් කරන ලද බව ප්‍රකාශ වේ.

වෙදහලක ප්‍රධාන වෛද්‍යවරයා මහ වෙදනා ලෙසත් වෙජ හෝ වෙද යන්නෙන් සාමාන්‍ය වෛද්‍යවරු ද ඔවුන්ට තරමක් දෙවෙනි වු වෛද්‍යවරු සුලු වෙදනා ලෙසත් කූඩැල්ලන් මගින් විෂ උරවන වෛද්‍යවරයා පුහුඩා වෙදා ලෙසත් සෙනරත් පරණවිතානයන් අර්ථ දක්වා තිබේ.

වෙදහලේ වෛද්‍ය කටයුතු මෙන්ම පරිපාලන කටයුතු කළ නිලධාරීන් වෙදහල් සම්දරුවන් ලෙස ද සාමාන්‍ය සේවකයින් කුඩින් ලෙස ද භාවිතා කොට ඇත. එමෙන්ම බෙහෙත් නිෂ්පාදනයේ දී උදව් කළ සේවකයින් බෙහෙද් වැරියන් නමින් ද සුළු සේවකයන් දසුන් ලෙස ද සුළු නිලධාරීන් කැමියන් යනුවෙන් ද හඳුන්වා ඇත. බෙහෙත් ද්‍රව්‍ය මිශ්‍ර කරන්නන් ඔඩොටුවන් ලෙස අර්ථ දක්වා ඇති අතර සියලු රෝහල් අධීක්ෂණය කළ නිලධාරීන් රදොල් සම්දරුවන් ලෙස දක්වා තිබේ.

පත්තරෙන් බැලීමට


සිළුමිණ
රුක්ෂිලා වෙත්තමුණි
2020 මාර්තු 08