Saturday, June 27, 2015

මලය දේශයට තවත් පිවිසුමක්: කඩුගන්නාව පහළ මාවෙල රජමහා විහාරය පිළිබඳ ව සිදුකෙරුණු නව පුරාවිද්‍යාත්මක අනාවරණය කිරීම් හා මලය දේශයේ පුරාවිද්‍යාව

අධ්‍යයන සංක්‍ෂිප්තය
පහළ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත ප‍්‍රදේශයෙ සිදුකළ පුරාවිද්‍යා, මූලික අධ්‍යයන මඟින් අනාවරණය කරගත් දත්ත වඩා පුළුල් සන්දර්භයක බහා ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පුරාවිද්‍යාව, සමාජ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික භූගෝලීය විද්‍යා දෘෂ්ටියකින් විග‍්‍රහ කිරීම මෙම පත‍්‍රිකාවේ අරමුණයි. පහළ මාවෙල රජමහා විහාරය, වළගම්බා විහාරය, මාවෙල රජමහා විහාරය ආදි විවිධ නම්වලින් අනන්‍යගත වී පවත්නා මෙම ස්ථානය මාවනැල්ල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාකඩවර ග‍්‍රාම නිලධාරි වසමේ ස්ථානගත වෙයි. වළගම්බා රජු විසින් සකස් කරන ලද විහාරයක් බව කියැවෙන මෙහි ඇතැම් අංග ගම්පොළ රාජධානි සමයේ හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය විසින් සකසන ලද බවට ද විශ්වාසයක් පවතී. කටාර කොටන ලද ගල්ලෙන් පහකින් යුත් මෙම ක්‍ෂේත‍්‍රයේ විහාරය ආශ‍්‍රිත ව දාගැබ් ගෙය, පිළිම ගෙය හා ආවාස ගෙය දැකගත හැකි වෙයි. ප‍්‍රථම වතාවට මෙම ස්ථානයෙන් ආදී බ‍්‍රාහ්මී අභිලේඛන 4ක් අනාවරණය කරගැනීමට මෙම අධ්‍යයන මඟින් හැකි විය. මෙම ස්ථානයේ මෙන් ම කල්‍යාණිප‍්‍රදේශයේ සිට මධ්‍යම කඳුකරය දක්වා විහිදුණු ආදි බ‍්‍රාහ්මී ලිපි සහිත පිළිකුත්තුව, ලෙනගල, දීවෙල හා හීනටිපොනේ ආදී ස්ථාන රැසක් මඟින් මධ්‍යම දේශය දක්වා පිවිසුම් මඟක් සනිටුහන් කරන බව හඳුනාගත හැකි වෙයි. දිවයිනේ උතුරු, බටහිර හා හැගෙනහිර දෙසින් ආරම්භ වී මළය දේශය වෙත පැවැති පිවිසුම් මාර්ග මෙන් ම උක්ත මාර්ගය ද තෙත් කලාපය ඔස්සේ මලය දේශය වෙත ප‍්‍රවේශ වූ බව සිතිය හැකි වෙයි. මාවෙල විහාරය ද අයත් විස්තෘත කලාපයෙන් මධ්‍යශිලා, නවශිලා හා මූල ඓතිහාසික යකඩ යුග නිරූපණය කරන සාධක රැසක් අනාවරණය වීම මගින් මෙම කලාපයේ පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වෙනස් වීම ප‍්‍රතිනිර්මාණය කිරීමට හැකි වෙයි. මේ අනුව දිවයිනේ බටහිර කලාපයේ සිට මධ්‍යම කඳුකරය දක්වා තීරය මධ්‍යශිලා නවශිලා මූලඓතිහාසික යකඩ යුගය ඓතිහාසික යුගය යනුවෙන් ප‍්‍රධාන ස්තර තුනකින් සමන්විත ක‍්‍රමාවලියක් ගොඩනඟන බව පෙනේ. මෙමගින් ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට වර්තමානය දක්වා මලය රට වෙත මානවයාගේ සංක‍්‍රමණය පැහැදිලි කරන සංස්කෘතික මාවතක් සනිටුහන් කරයි.  ඒ අනුව, ඓතිහාසික යුගයේ මූලාශ‍්‍ර තුළ අඩු සැලැකිල්ලක් ලැබී ඇති මලය දේශය වෙත උතුරු, නැගෙනහිර මෙන් ම බටහිර දෙසින් ද සිදු වූ සම්පත් හුවමාරු මාර්ග ප‍්‍රතිනිර්මාණය කිරීමට හැකි වෙයි. මෙම සාධක මධ්‍යම කඳුකරයේ සම්පත් පරිහරණය හා හුවමාරුව, සමාජ පුරාවිද්‍යාව හා මූල ඓතිහාසික යුගයේ පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා නිර්මිත සුසමාදර්ශය පෝෂණය කිරීම සඳහා සාදාරණ වන බව තහවුරු වෙයි.
මූල පද : මාවෙල රජමහා විහාරය, ආදී බ‍්‍රාහ්මී අභිලේඛන,  මූල ඓතිහාසික යකඩ යුගය, පුරාවිද්‍යාත්මක භූ දර්ශනය, මලය දේශය
පළමු වන කොටස
හැඳින්වීම
ඓතිහාසික යුගයේ මලය දේශය, මලය රට්ඨ ආදී වශයෙන් හඳුනාගන්නා ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර කලාපය නව්‍ය හා අර්ථකථනාත්මක පුරාවිද්‍යාත්මක දෘෂ්ටියකින් යුක්ත ව විග‍්‍රහයනට බදුන් කිරීම තවමත් පසුගාමි තත්වයක පසුවෙයි. පුරාවිද්‍යාඥයන් කීපදෙනෙකු විසින් මධ්‍යම කඳුකරය පිළිබඳ සමාජ හා පුරාදේශගුණ විද්‍යාත්මක දෘෂ්ටීන් ඔස්සේ අධ්‍යයනය කිරීමට සාර්ථක උත්සාහයක් ගෙන ඇති අතර මෙම අධ්‍යයනය මඟින් මධ්‍ය කඳුකරයේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් සාදාරණ දායකත්වයක් දක්වනු ඇතැයි උපකල්පනය කෙරේ. ලංකාවේ වර්තමාන අගනගරයේ සිට මධ්‍යම කඳුකරයට ප‍්‍රවේශය සපයන කොළඹ-මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මර්මස්ථාන පිහිටුමක් පෙන්නුම් කරන පහළ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත කලාපය සම්බන්ධයෙන් සිදුකරන ලද ආරම්භක හා මූලික අධ්‍යයනය මඟින් අනාවරණය කරගන්නා ලද දත්ත හා ඒවායේ සමෝධානාත්මක ඵලයන් මෙම පත‍්‍රිකාව මඟින් ඉදිරිපත් කෙරේ.
ක්‍ෂේත‍්‍රයේ ස්ථානගතවීම
මාවෙල රජමහා විහාරය, වලගම්බා විහාරය, පහළ කඩුගන්නාව පහළ මාවෙළ රජමහා විහාරය ආදී විවිධ නම්වලින් අනන්‍යගත වී පවත්නා මෙම බෞද්ධ ක්‍ෂේත‍්‍රය සබරගමු පළාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාෂයට අයත් මාකඩවර ග‍්‍රාම නිලධාරි වසමේ ස්ථානගත වෙයි. පුරාණ පාලන ඒකක බෙදීම් අනුව සතර කෝරළයේ ගනේ පත්තුවට මෙම ක්‍ෂේත‍්‍රය අයත් විය. නිරපේක්‍ෂ වශයෙන් උත්තර අක්‍ෂාංශ 0715’14” හා නැගෙනහිර දේශාංශ 80 29’ 54” ස්ථානගත වීමක් සටහන් වෙයි. කොළඹ-මහනුවර ප‍්‍රධාන මාර්ගයේ මානවැල්ල-ගනේතැන්න පසුකොට කඩුගන්නාව දුර්ගයේ පළමු අර්ධය පසු කරන විට සම්මුඛ වන කඩුගන්නාව පැරණි අම්බලම ඉදිරියෙන් ආරම්භව ගමන් ගන්නා පදික මාර්ගයේ මීටර් 500ක් පමණ ගමන් කිරීමේදි ප‍්‍රස්තුත ස්ථානයට ප‍්‍රවේශ විය හැකි වෙයි. වර්තමානයේ උඩුනුවර ලංකාතිලක විහාරයට අයත් ප‍්‍රධාන උප විහාර 5න් එකක් වශයෙන් මෙම විහාරයේ පාලන කටයුතු සිදු වෙයි.
පූර්ව අධ්‍යයන
ලාංකේය පුරාවිද්‍යා වංසකතාව පිරික්සා බැලීමේදි මෙම ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ අවම වශයෙනි. කෑගල්ල දිස්ත‍්‍රික්කය සම්බන්ධයෙන් ප‍්‍රශස්ත රචනයක් සැපැයූ හැරී චාල්ස් පර්විස් බෙල් විසින් තම වාර්තාවේ මෙම විහාරය සම්බන්ධයෙන් සංක්‍ෂිප්ත විස්තරයක් සපයයි. මහනුවර යුගයේ ප‍්‍රාථමික අධ්‍යාපනය හා සම්බන්ධ ග‍්‍රන්ථයක් වූ විහාර අස්න හෙවත් නම් පොත පිළිබඳ ව විචාරයක් ඉදිරිපත් කළ පන්නිල සාරානන්ද හා  ඕපාත ශ‍්‍රී සරණංකර යන හිමිවරුන් විසින් මෙම විහාරය පිළිබඳ ව සංක්‍ෂිප්ත විචාරයක් සපයා එම ස්ථානය විහාර අස්නේ දැක්වෙන මාවෙල විහාරය වශයෙන් හඳුනාගනී.
යටගියාව
මානවවංශ විද්‍යාත්මක සාධක අනුව මෙම විහාර වලගම්බා රජු මලය දේශයට වැදී අප‍්‍රකට දිවියක් ගතකරන සමයේ තම පරිහරණය සඳහා යොදාගෙන පසුව විහාරයක් බවට පරිවර්ථනය කරන ලද බව කියැවෙයි. එමෙන්ම ගම්පොල රාජධානි සමයේ හෙණකඳ බිසොබණ්ඩාර දේවිය විසින් මෙම විහාරයේ කර්මාන්ත සිදුකරන ලද බවත් ජනප‍්‍රවාදයේ එයි.  තත් අධ්‍යයනය මඟින් මෙම විහාරය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා දිවයන යටගියාවකින් යුක්ත බව නිසැක ලෙස ම තහවුරු කිරීමට අවැසි සාධක පූරණය කරයි.
ක‍්‍රමවේදය හා උපකරණ
මෙම අධ්‍යයනය සඳහා පහත දැක්වෙන ක‍්‍රමවේදය අනුගමනය කරන ලද අතර පහත දැක්වෙන උපකරණයන්ගේ පිටිවහල ලබාගන්නා ලදී.
පර්යේෂණ ක්‍රමවේදය

උපකරණ: මීටර් 20 මිනුම් පටිය, ඩිජිටල් කැමරාව, බයිනෝක්‍යුලර්, ජී.පී.එස්, උපකරණය, ක්‍ෂේත‍්‍ර සටහන් පොත්
පුරාවිද්‍යාත්මක සාධකමෙම ක්‍ෂේත‍්‍රය කටාර කපන ලද ගල්ලෙන් 5කින් සමන්විත වෙයි. එයින් තුනක් විහාරය ආශ‍්‍රිත ව ස්ථානගත වන අතර දෙකක් විහාරයට මීටර් 50-100 නුදුරින් පිහිටා ඇත. විහාරය ආශ‍්‍රිත ව චෛත්‍ය ශාලාව, පිළිම ගෙය හා ආවාස ගෙය දැකගත හැකි වෙයි.  චෛත්‍ය ශාලාව තුළ අඩි 11.6ක් උසකින් යුතු ස්තූපය පිහිටා ඇති අතර අවස්ථා ගණනාවක දී නිධන් පහරන්නන්ගේ අබාධයට ලක් ව ඇත. එම ස්තූපය හෙණකඳ බිසෝබණ්ඩාර දේවීය විසින් සාදවන ලද්දක් බව ද විශ්වාස කෙරේ. නමුත් එම ස්තූපය සකස් කොට ඇති ගඩොළු පිළිබඳ අපගේ නිරීක්‍ෂණ අනුව ඉතා පැරණි කාලයකට අයත් විය හැකි බව උපකල්පණය කළ හැකි වෙයි. චෛත්‍ය ශාලාවේ ප‍්‍රවේෂය ඓතිහාසික යුගයේ මුල් කාලයට අයත් විය හැකි සඳකඩපහණක්, කොරවක්ගල් 2ක් හා පඩිපෙළකින් සමන්විත වෙයි. මෙයින් දකුණු කොරවක්ගල මත ආදීම බ‍්‍රාහ්මී ලේඛනයකි. (විස්තර සඳහා අභිලේඛන ශීර්ෂය යටතේ බලන්න) පිළිමගෙය තුළ අඩි 36ක දිගකින් යුතු මහනුවර ප‍්‍රදේශයේ දී හමුවන විශාලම සැතපෙන බුදුපිළිමයකි. ශ‍්‍රාවක ප‍්‍රතිමා මෙන් ම විශ්ණු ආදී දේව ප‍්‍රතිමාවන්ගෙන් ද සමන්විත මෙම විහාරය මහනුවර යුගයේ සිතුවම් සම්ප‍්‍රදාය නිරූපණය කරන සිතුවම් පෙළකින් ද සමන්විත වෙයි. රහතන් වහන්සේලා, රටා හා සැරසිලි මෝස්තර ආදියෙන් මෙම සිතුවම් සමන්විත වෙයි.
අභිලේඛන
පළමු වතාවට මෙම ක්‍ෂේත‍්‍රයෙන් ආදීම බ‍්‍රාහ්මී යුගයට අයත් අභිලේඛන 3ක් මේ දක්වා අනාවරණය කරගැනීමට මෙම අධ්‍යයන මගින් හැකි වී ඇත (මීට ඉහත දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍ෂේත‍්‍රයෙන් තවත් අදී බ‍්‍රාහ්මී අභිලේඛනයක් අනාවරණය කොටගෙන ඇත.) මෙම ක්‍ෂේත‍්‍රයේ විසිරී ඇති කටාර කපන ලද ගුහාවන්ගේ කටාරයට පහළින් ලිපි 3ක් දැකගත හැකි අතර අනෙක චෛත්‍ය ශාලාවට පිවිසෙන ස්ථානයේ කොරවක්ගල මත සටහන් ව ඇත. ක්‍ෂේත‍්‍රය හා තදාසන්න ගුහාවක කටාරයට පහළින් නිරූපණය කරන ලද චතුරස‍්‍රාකාර සංකේතය ද වැදගත් අනාවරණය කිරීමකි.
[1] [පරු]ම(ක) (කු)යන ච ගපති ශම කුලශ [ලෙනේ]
ප‍්‍රමුඛ කුයන ද ගෘහපති ශම පවුලේ ද ලෙනයි
අභිලේඛන අංක 1


[2] (1) (ප)රුමක.. ම .. හ .. [ඣ]
(2) (ක ච .. .. .. ..)
ප‍්‍රමුඛ . . . .
අභි‍ලේඛන අංක 2

3] බතිමශ
බත්තිම (නම් තැනැත්තා)ගේ
අභිලේඛන අංක 3
[4]   සමචතුරස්‍රාකාර සංකේතයකි - [බ]

අභිලේඛන අංක 4


දෙවන කොටස
විස්තෘත කලාපය - පුරාවිද්‍යාත්මක භූ දර්ශනය හා එහි ගතිකත්වය
මාවෙල විහාරයෙන් අනාවරණය වූ සාධක විස්තෘත කලාපයක තබා විග‍්‍රහ කිරීම මෙම ක්‍ෂේත‍්‍රයේ පවත්නා වැදගත්කම ඉස්මතු කරගැනීමෙහිලා වැදගත් වෙයි. මෙම අධ්‍යයනයට බඳුන් වූ ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වන ආදීතම සාධක මූල ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 500-ක‍්‍රි.ව. 300) දක්වා දිවයයි. එහෙත් කොළඹ සිට මහනුවර වෙරළබඩ තැන්න අඩතැන්න හා කඳුකරය දක්වා තීරය පරික්‍ෂා කිරීමේදී ප‍්‍රාග් ඓතිහාසික තත්වයන්ගේ සිට සාධක සංකේන්ද්‍රණය වන බව තහවුරු වෙයි. එබැවින්, කොළඹ -මහනුවර දක්වා තීරයේ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යාත්මක අධ්‍යයන අනුව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ සිදු වූ වෙනස්කම් පිළිබඳ අවධානයක් යොමු කිරීම වැදගත් වනු ඇත. ඒ අනුව අනාවරණය වන පැරණිම සාධක ප‍්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයයි.
ගම්පහ වාරණ, අලවල පොත්ගුල්ලෙන, කිතුල්ගල බෙලිලෙන හා අත්තනගොඩ අළුලෙන ආදී ස්ථාන මඟින් නිසැක ලෙස ම මධ්‍යශිලා යුගයට අයත් සාධක අනාවරණය වන බව තහවුරු වෙයි. එමෙන් ම වරකාපොළ දොරවකකන්ද හා ගම්පහ වාරණ යන ස්ථාන මඟින් "පශ්චාත් මධ්‍යශිලා" තත්වයක් පිළිබඳ සාධක අනාවරණය වන බව පෙන්වා දීමට පුරාවිද්‍යාඥයෝ සමත් වී ඇත. (එහෙත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු තත්වයක් පවතී.) එනම් මධ්‍යශිලා යුගයෙන් පසුව හා ප්‍රොටෝ ඓතිහාසික යුගයට පෙර නවශිලා යුගය නිරූපණය කරන සාධක අනාවරණය වන ක්‍ෂේත‍්‍ර මෙම ප‍්‍රදේශයේ ස්ථානගත වන බව සැකයකින් යුතු ව වුවත් පැහැදිළි වෙයි.

සිතියම් අංක 1 - ප්‍රාග් ඓතිහාසික ස්ථානයන්ගේ ව්‍යාප්තිය


මෙම විස්තෘත කලාපයට අයත් අලවුව හක්බෙලිකන්ද, වරකාපොළ දොරවකකන්ද හා මොලගොඩ ආදි ස්ථාන මඟින් ප‍්‍රාථමික ශෛලියට අයත් ගුහා සිතුවම් (engravings) හමු වන බව පෙනී යයි.
පසුව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වෙනස පැහැදිළි කරමින් ප්‍රොටෝ ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 1,000-ක‍්‍රි.පූ. 500)නිරූපණය කරන සාධක රැසක් ද මෙම කලාපයෙන් අනාවරණය වෙයි. ඒ අනුව කලඔටුවාව, ගල්අතර, රුවන්වැල්ල, අස්මඬල හා රඹුක්කන පදවිගම්පොල යන ස්ථාන මඟින් මෙම අවධියේ සාධක අනාවරණය වෙයි.
සිතියම් අංක 2 - ප්‍රොටෝ ඓතිහාසික ස්ථාන

එයින් පසු මූල ඓතිහාසික අවධිය (ක‍්‍රි.පූ. 500-ක‍්‍රි.ව. 300) යුගය නිරූපණය කරමින් කටාර කපන ලද ගුහා ක්‍ෂේත‍්‍ර මෙන් ම ආදිම බ‍්‍රාහ්මී අභිලේඛන සහිත ස්ථාන හමු වෙයි. ඒ අනුව පිළිකුත්තුව, වාරණ, ලෙනගල, සල්ගහවනේ, අටුගොඩ, දීවෙල, ධනගිරිගල හා හීනටිපොනේ මෙන් ම මෙම අධ්‍යයනයේ ඉලක්කගත ක්‍ෂේත‍්‍රය වන මාවෙල රජමහා විහාරය ද අයත් වෙයි. තත්කාලීන පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ ලක්‍ෂණ නිරූපණය කරන උච්ච ම ස්ථානය වශයෙන් මාවෙල වැඩිදුරටත් හඳුනාගත හැකි වෙයි. මෙම අභිලේඛන තුළ ”පරුමක” වැනි පූර්ව රාජ්‍ය සමයේ නියෝජනයක් විය හැකි අභිධාන අන්තර්ගත වී තිබීම බෙහෙවින් ම සැලැකිල්ලට ගත යුත්තෙකි.
සිතියම් අංක 3 - ආදී බ්‍රාහ්මී අභිලේඛන ව්‍යාප්තිය


මෙම ආදීම අභිලේඛන අතර පූර්ව රාජ්‍යය යුගයේ පැවැති පාලන අධිකාරි පිළිබඳ සාධක අන්තර්ගත වූ අභිලේඛන සහිත ස්ථාන වූ යටහලෙන, ගොනාවත්ත හා බඹරගල යන ස්ථානයන් පිළිබඳ සාධක ස්ථානගත වී ඇත. මෙම ස්ථාන අතර කේන්ද්‍රීය ස්ථානගත වීමක් මාවෙල විහාර ක්‍ෂේත‍්‍රය පෙන්නුම් කරයි.
සිතියම් අංක 4 - පූර්ව රාජ්‍ය පාලන අධිකාරි

සිතියම් අංක 5 - විවිධ පුරාස්ථානයන්ගේ ව්‍යාප්තිය

උක්ත සාධක පිළිබඳ ව සලකා බැලීමේදී නිසැක වශයෙන් ම සමාජ-තාක්‍ෂණික වශයෙන් සිදුවන්නා වූ වර්ධනයට සාපේක්‍ෂකව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ වූ වෙනස්වීම් මැනවින් සටහන් කරන බව පෙනී යයි. එය පහත රූප සටහනේ දැක්වෙන ආකාරයට ක‍්‍රමාවලියක් නිරූපණය කරන බව හඳුනාගත හැකි වෙයි.


සමෝධානාත්මක කථිකාව
උක්ත කරුණු අනුව ලංකාවේ බටහිර වෙරළ කලාපයේ ස්ථානගත වූ කොළඹ සිට මධ්‍යම කඳුකරයේ මහනුවර දක්වා අවිච්ජින්න සංස්කෘතික මාවතක් ගමන් ගන්නා බව පුරාවිද්‍යාත්මක භූ දර්ශනයේ ක‍්‍රමික වෙනස්වීමේ ලක්‍ෂණ අනුව මැනවින් පෙනී යයි. එනම් ප‍්‍රාග් ඓතිහිසික යුගයේ සිට වර්තමානය දක්වාම පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් ක‍්‍රියාත්මක වූ ද්විපොෂණාත්මක සංස්කෘතික මාවතක් පැවැති බව පෙනී යන අතර ම ඒ ඔස්සේ මධ්‍යශිලා මානවයා කඳුකරයේ සිට පල්ලම් බැසීමටත් නොහොත් මහඑළියේ සිට බෙල්ලන්බැඳිපැලැස්ස හරහා දක්‍ෂිණ වෙරළ තීරය දක්වා පල්ලම් බැස වෙරළ තීරය ඔස්සේ බටහිර වෙරළට පැමිණ නැවැතත් තමන්ගේ අවසන් නවාතැන වෙත සොයා කඳු තරණය කළ බවත් උපකල්පනය කිරීමට යම් සම්භාවිතාමය අවස්ථාවක් මෙයින් හමු වෙයි. මෙම ද්වි ස්වරූපී ගමනේ පිවිසුම් ද්වාරයක් කඩුගන්නාව පහළ මාවෙළ ස්ථානය අයත් කරගන්නා බව පැහැදිළි වෙයි. වර්තමානයේ භෞතික වශයෙන් ශේෂගත වී පවත්නා කටාර කැපීමට ලක් වූ ගුහා හා ආදීම බ‍්‍රාහ්මී ලේඛන මෙයට සාධක සපයයි. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සංස්කෘතිය පිළිබඳ තවත් පිටුවක් මෙම ස්ථාන හා ආබද්ධ බව විධිමත් දීර්ඝකාලීන අධ්‍යයන මඟින් අනාවරණය කරගත හැකි බව නිසැක ය.
නිගමන
ඉහත විග‍්‍රහය අනුව ශ‍්‍රි ලංකාවේ බටහිර වෙරළ තීරයේ සිට මධ්‍යම කඳුකර කලාපය වෙත ඇදී ආ හා මධ්‍යම කඳුකරයේ සිට වෙරළ තීරය දක්වා ඇදී ගිය සංස්කෘතික මාවතක් පිළිබඳ සාධක අනාවරණය කරගත හැකි වෙයි. වර්තමාන සමාජ-ආර්ථික පසුබිම තුළ දිවයිනේ කැපීපෙනෙන මාවතක් වන සේම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම තත් මාවත වැදගත් වු බව පෙනී යයි.  මෙම පත‍්‍රිකාවෙන් ඉදිරිපත් කළ කේන්ද්‍රිය ක්‍ෂේත‍්‍රය වූ මාවෙල රජමහා විහාරය හා තදාශ‍්‍රිත මෙම සංස්කෘතික මාවතේ ”කඩදොරක” ස්වභාවයක් නිරූපණය කළ බව උපකල්පනය කළ හැකි වෙයි.















 ලිපියෙහි සම්පත් දායකත්වය
චන්දිම බණ්ඩාර අඹන්වල
මහින්ද කරුණාරත්න
උපුටා ගන්නා ලද්දේ...
http://si.archaeology.lk/article.php?articleID=1318

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

  • Ambanwala, C.B. & M. Karunaratna, (2009) Another Approach to the Malaya Desa in Ancient Sri Lanka: New Archaeological Revelation in and around Pahala Mavela Temple at Kadugannava, Peradeniya University Research Sessions - PURSE 2009, University of Peradeniya, Sri Lanka.
  • Bell, H.C.P. (1904) Report on The Kegalla District of the Province of Sabaragamuwa, Archaeological Survey of Ceylon.
  • Gunawardhana, R.A.L.H. (1998) Prelude to the State An Early phase in the Evolution of Political Institutions in Ancient Sri Lanka, Reflection on a Heritage, Central Cultural Fund, Sri Lanka.
  • Nandadeva, B.D. (1986) Rock Art Sites Of Sri Lanka: A Catalogue, Ancient Ceylon No. 6, Department of Archaeology, Sri Lanka.
  • Paranavitana, S. (1970) Inscriptions of Ceylon Vol.I, Archaeological Survey of Ceylon, Colombo.
  • Perera, N. (1996) Excavations of Early Historic Clay Cist Graves Attanagalla Kalotuwawa In Gampaha District" Department Of Archaeology, Colombo.
  • Seneviratna, S. (1984) The Archaeology of the Megalithic Black and Red Ware Complex in Sri Lanka, Ancient Ceylon No. 5, Department of Archaeology, Sri Lanka.
  • Wijeypala, W. H. (1997) New Light On The Prehistory Of Sri Lanka∙ In The Context Of Resent Investigations At Cave Sites,  A thesis submitted for the degree of Doctor of Philosophy of the University of Peradeniya, Sri Lanka, (unpublished)











3 comments:

  1. වටිනා තොරතුරු රැසක්.... නමුත් මෙහි වර්ණ සන්යෝජනය නිසා කියවීම මට මහත් අපහසු වු බව ලියා තබන්නේ ඔබට ඒ ගැන මදක් සිතන්නටය

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි දැනුවත් කිරීමට....!

      Delete
    2. ඔන්න දැන් නම් අපහසුවක් නැතිව ඇති. මං වර්ණ සංයෝජනය වෙනස් කළා.

      Delete