මවු නැති දා

හ්ම් මලේ සුවඳ
මේක මගෙ අම්මාට
අම්මගෙ සුවඳ
මේ වගේම වෙන්න ඇති

කඩා ගත්තාට වැඩක් නැහැනෙ
මගෙ ආදරෙත් එක්ක
මේ මල පරවෙනවනෙ
හරියට මගෙ ජීවිතය වගෙ

අනෙ මගෙ අම්මේ
ලෝකයේ කොහේ හරි ඉදලා
මගෙ තුරුලට එන්න
අම්මගෙ උණුසුම මොන වගෙද කියලා
මට කියන්න තේරෙන්නෙ නැහැ

ඉඩෝරය




තෙතමනයක් නැති 
   හදකින්
ආදරය පැතීම
වලාකුළක් නැති
   අහසින්
වැස්ස ඉල්ලීමකි

අරගලය

 
වැරෙන් හති හලමින්
දෙපයට ගොදුරු වූ
බයිසිකල් පැඩලය
වේගයෙන් කැරකෙත්ම
ජීවන අරගලයේ රෝදය
හදවතේ ලබ් ඩබ් ශබ්දය පරයා
සීරුවෙන් ඉරිදියට ඇදෙන සඳ.....

සරුව පිත්තල සංගීත රාවය
පරිසරයේ නිහඬ බව බිඳගෙන
ඔච්චම් කරමින් මා පසුකරත්ම
කෙළි පොඩිත්තිගේ කුස ගින්දරින්
මගේ මුළු සර්වාංගයම
දැවී අළු විය මොහොතකට..............



 (බුද්ධදාස ගලප්පත්ති සොයුරාගේ
"හෙට නැවත එයි" පොතේ
'දවසක් නිමාවෙයි' කතාවට ලියවුණු මගේ හදට දැනුණු සිතුවිල්ල...............)







බහරේන් සිට.....

අලුයම හතරටයි ඉර මල පිපෙන්නේ
සැවුල් නාදෙ නැත සවනත වැකෙන්නේ
ගහ කොළ නොවෙයි බිල්ඩින්මයි පෙනෙන්නේ
රෑන් පිටින් විහඟුන් නැත දකින්නේ

ගිනියම් සුළඟවිත් සිරුරම දවන්නේ
දූවිලි පිරුණු කණ අහසයි පෙනෙන්නේ
නිල්වන් ගුවන කවදා නම් දකින්නේ
නිරන්තරෙන් නෙත් දෙක මගෙ තෙමෙන්නේ

පිනි බිඳු පිරුණු තණ පලසක් කොයින්දෝ
මලින් වැසුණු ගස් වැල් මෙහෙ කොයින්දෝ
ලේන ගිරා මුව මී මැසි කොයින්දෝ
මහකතරක වැව් අමුණක් කොයින්දෝ

මුහුද ගොඩ දමා බිල්ඩින් තැනෙන්නේ
රට ඉඳි ගස්ය තැන තැන නෙත ගැටෙන්නේ
මා පිය නෑසියන්ගෙන් දුර වෙසෙන්නේ
කවදා කොහොම යළි ගම රට දකින්නේ

Saturday, March 10, 2012

දරා ගැනීම

ඉරිතලා මියැදෙමින්
පණ අදින බිමි කඩට
අහම්බෙන් වට වැස්ස
උහුලන්ට හැකි වේදෝ......





අලුත් වැස්සක්

පාලු කතරක අතරමංවී
හුදකලාවක රජයමින් සිත
අයාලේ යන මාරුතය ඉම
ගෙවූ කාලය නිමා වූ වග
කෑ ගසා මම කියමි ලොවටම

මාගේ ප්‍රාණේ ජීවයයි නුඹ
ආදරේ උණුහුමින් සතපන
හුදකලාවක සුසුම් අතරින
මගේ හදවත අරක් ගත් ඔබ
වැළඳ ගමි මම සදා බැතියෙන

අලුත් වැස්සක් වැටී හිනැහෙන
නැවුම් සුවඳක් තිලිණ කර දෙන
පිපි දිදුලන කුසුම් පෙති මත
ඔබේ සෙනෙහස දැනේ තව තව
සදාතනිකව රැඳෙමි ඔබ ළඟ.......