Thursday, October 8, 2020

අතීත මානව සමා­ජය පිළි­බිඹු කරන ඉබ්බ­න්ක­ටුව සුසා­නය


මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රි­ක්කයේ ගලේ­වෙල ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ශ­යට අයත් ඉබ්බ­න්ක­ටුව, කලා ඔයේ පෝෂක ශාඛා­වක් වූ දඹුලු ඔයේ වම් ඉවුර කේන්ද්‍ර­ග­ත­කොට ගෙන කුරු­ණෑ­ගල ත්‍රිකු­ණා­ම­ලය පාරේ දඹු­ල්ලට සමී­පව පිහිටා ඇත. ඉබ්බ­න්ක­ටුව ජලා­ශයේ ඉහ­ත්තාවේ ස්වභා­වික ගොඩැ­ල්ලක හෙක්ට­යාර් 13 ක භූමිය වසා පැතිරී පව­තින ඉබ්බ­න්ක­ටුව සුසාන භූමිය මෙග­ලි­තික සම්ප්‍ර­දා­යට (මහා­ශිලා සම්ප්‍ර­දාය) අයත් ශිලා මංජුසා සුසාන (Cist burials) ස්වරූ­පයේ සොහොන් ගණ­නා­ව­කින් සම­න්විත වන අතර, එය මෙර­ටින් සොයා ගත් මනා­ලෙස සංර­ක්ෂිත පූර්ව-ඓති­හා­සික සුසාන භූමි­යකි.

1970 දී එව­කට පුරා­විද්‍යා කොම­සා­රිස් ව සිටි ආචාර්ය රාජා ද සිල්වා විසින් ඉබ්බ­න්ක­ටුව සුසාන භූමි­යෙහි පළමු පුරා­විද්‍යා කැණීම් කට­යුතු කළ අතර 1982 දී මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ දඹුල්ල සංස්කෘ­තික ත්‍රිකෝණ ව්‍යාපෘ­තිය මගින් මූලික ක්ෂේත්‍ර සමී­ක්ෂ­ණ­යක් සිදු කරනු ලැබීය. 1983-1984 යන කාල වක­වානු වලදී එම ව්‍යාපෘ­ති­යෙන් සුසාන භූමියේ උතුරු කෙළ­ව­රෙහි පිහිටි සුසාන ගර්භ පොකු­රක් විවෘත කෙරිණි. කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ මැදි­හත් වීම මත 1986 දි සමස්ත සුසාන භූමි­යෙ­හිම අධ්‍ය­න­ය­කින් පසුව විස්ත­රා­ත්මක සැල­සු­මක් සකස් කර­න්නට විය.

ඉන් පසුව 1988 හා 1990 දී මධ්‍යම සංස්කෘ­තික අර­මු­දල, පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නය සහ ජර්ම­නියේ කාවා (The Kommission fur Algemeine und Vergleichende Archaeologie) යන ආය­තන එක්ව දෙස් විදෙස් ගවේ­ෂ­ක­යන් විසින් සිදු­කළ පුරා­වි­ද්‍යා­ත්මක ගවේ­ෂ­ණයේ ප්‍රති­ඵ­ල­යක් ලෙස සොහොන් කොත් 21 ක් සොයා ගන්නට හැකි­විය. ඉබ්බ­න්ක­ටු­වෙන් ලැබුණු අඟුරු සාම්පල රේඩියෝ කාබන් පරී­ක්ෂ­ණ­යට ලක් කිරී­මෙන් අන­තු­රුව එය ක්‍රි.පූ. 6 වන සිය­ව­සට අයත් යැයි නිග­ම­නය විය.

ජර්ම­නියේ කාවා අර­මු­දලේ අනු­ග්‍ර­යෙන් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලය මගින් 1988 දී කැණී­මක් ආරම්භ කරන ලද අතර වර්ග මීටර් පහ­ළො­වක් පමණ භූමි ප්‍රමා­ණ­යක් මෙම කැණී­මට යොදා ගෙන තිබුණි. මේ අව­ස්ථාවේ දී සුසාන 10 ක් මතු­කර ගැනී­මට හැකි­විය. එහි මැටි­යෙන් කළ බරණි රාශි­යක් හඳුනා ගනු ලැබීය. එසේම මිනී දැවූ පිලිස්සු ආදා­හන වේදි­කා­වක්ද මතු කර ගැනී­මට හැකි වූ බව සඳ­හන්ය. මැටි බරණි තුළ විචිත්‍ර කානේ­ලි­යන් පබළු සහ ඔනික්ස් ගණයේ මාල හමු වීම සුවි­ශේ­ෂීය.

1988 කරන ලද කැණීමේ දී මතු කර­ගත් එක් සොහො­නක ගල් පිය­නක් මත දකුණු ආසි­යාවේ පැර­ණි­තම ශිලා සට­හ­නක් හමු විය. පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නයේ මහා­චාර්ය රාජ් සෝම­දේව ප්‍රකාශ කරනු ලැබූයේ මෙම පියන් ගල් වලින් හමු වූ සංකේත අක්ෂර දෙක ඉන්දි­යාවේ මොහෙ­න්දෝ­ජාරෝ -හරප්පා වලින් හමු වූ සංකේත හා සමාන බවය. මෙම සංකේ­තය බ්‍රහ්මී “බ” අක්ෂ­ර­යට එකතු කළ සංකේ­ත­යක් ලෙසින් පෙනුන ද මහා­චාර්ය රාජ් සෝම­දේ­ව­යන්ගේ අද­හස වූයේ ඉබ්බ­න්ක­ටුව ශිලා සංස්කෘ­තිය දකුණු ඉන්දි­යාවේ මෙග­ලි­තික සංස්කෘ­ති­යක් හෝ උතුරු ඉන්දි­යාවේ ප්‍රභ­ව­යක් හෝ නොවන බවය. මූල ඓති­හා­සික යුගයේ සභ්‍ය­ය­ත්වය ඉන්දි­යා­වෙන් ආන­ය­නය කරන ලද්දක් නොවන බව මහා­චාර්ය රාජ් සෝම­දේ­ව­යන්ගේ අද­හ­සයි. එහෙත් එකළ දේශ­පා­ලන, සමා­ජීය, ආර්ථික හා සංස්කෘ­ති­ක­මය ලක්ෂණ වලින් දියුණු වුණු සමා­ජ­ය­කින් කලා­පීය සම්බ­න්ධතා තිබෙ­න්නට ඇත.

2015 දී මධ්‍යම සංස්‌කෘ­තික අර­මු­දලේ එව­කට අධ්‍යක්‍ෂ ජන­රාල්ව සිටි මහා­චාර්ය ප්‍රිශාන්ත ගුණ­ව­ර්ධන ගේ මග­පෙ­න්වීම යටතේ පුරා­විද්‍යා පශ්චාත් උපාධි ආය­ත­නයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය රංජිත් බණ්ඩාර දිසා­නා­යක විසින් ඉබ්බ­න්ක­ටුව මහා ශිලා සුසා­නයේ කැණීම් නැවත ආරම්භ කරන ලදී. එය මෙම සුසාන භූමිය සම්බ­න්ධව සිදු­කළ පර්යේ­ෂණ ඉති­හා­සයේ තෙවන අදි­ය­ර­යයි. මෙම පුරා­වි­ද්‍යා­ත්මක කැණීමේ දී මූලික අව­ධා­නය යොමු වූයේ ඉබ්බ­න්ක­ටුව මහා­ශිලා සුසාන භූමියේ මූල ඓති­හා­සික අව­දි­යට අයත් මහා­ශිලා භූමි දර්ශ­නය (Megalithic Landscape) අධ්‍ය­ය­නය කිරී­මයි. ඒ අනුව එහි නිර්මිත පරි­ස­රය (built environment) හා ද්‍රව්‍යා­ත්මක සංස්කෘ­තිය (Material Culture) කෙරෙහි විශේ­ෂ­යෙන්ම සැල­කි­ල්ලක් දැක් වූ අතර තදා­ශ්‍රිත පරි­ස­රය පිළි­බඳ වාර්තා කිරී­මට මෙම කැණීම මගින් හැකි­විය.

මෙහිදී අව­ධා­නය යොමු කර­වනු ලැබූයේ මීට පෙර අව­ස්ථාවේ දී සොයා ගත් 21 සුසාන පොකු­රට මඳක් බට­හි­රින් පිහිටි සුසාන ය. බට­හිර පෙදෙ­සෙහි මතු­පිට සුසාන ගර්භ 2 ක් දක්නට ලැබීම හා එහි පොළො­වෙහි ස්වභා­වය එම ස්ථානය තෝරා ගැනී­මට හේතු­විය. මෙම කැණීමේ දී සුසාන ගර්භ 47 ක්‌ අනා­ව­ර­ණය කර­ගැ­නී­මට හැකි වූ අතර ශිලා මංජුසා (Stone cist) 26 ක්‌ සහ බරණි (Clay urn) සුසාන 21 ක්‌ ම­තු­කර ගැනී­මට හැකි­විය. මින් බරණි සුසාන 6 ක අභ්‍ය­න්තර කැණීම් සිදු­කළ අතර ඒ සියලු බර­ණි­ව­ලින් අස්‌ථි කොටස්‌, පුරාණ පබළු සහ මෙව­ලම් යනාදි වශ­යෙන් මාන­ව­කෘති සොයා ගැනිණි.

මෙග­ලි­තික් යන්නට ග්‍රීක භාෂා­වෙන් විශාල ගල් යන්නට අර්ථ දක්වා ඇති අතර ගල් පුවරු උප­යෝගී කොට ගෙන මෙම සොහොන් කොත් නිමවා ඇත. ඇතැම් සොහොන් කොත් ගල් පිය­න්ව­ලින් වසා තිබුණු අතර එහි අභ්‍ය­න්ත­රයේ විවිධ ප්‍රමා­ණයේ මැටි භාජන තබා ඒවායේ මළ­වුන්ගේ අළු තැන්පත් කොට තිබුණි. මෙම මැටි බඳුන් විවිධ හැඩ­යන් ගත් අතර කාල­රක්ත (කළු රතු) මැටි­බ­දුන් විශේ­ෂය (Black and Red Ware), හා රතු මැටි­බ­දුන් විශේ­ෂය (Red Ware), යනු­වෙන් වර්ග දෙක­කින් යුක්ත විය. මින් විශාල බරණි අයත් වූයේ රතු මැටි බඳුන් විශේ­ෂ­ය­ටයි. එවැනි විශාල බරණි 20 ක් පමණ ද කුඩා ප්‍රමා­ණයේ කළු රතු මැටි බඳුන් 30 කට අධික ප්‍රමා­ණ­යක් හමූ වූ බව ද සඳ­හන්ය.

කැණිම් වාර්තාවේ දැක්වෙන පරිදි මෙහිදි අනා­ව­ර­ණය කර­ගත් මැටි බඳුන් ඒවා හමු වූ සන්දර්භ, භාවි­තය හා ස්වභා­වය අනුව කාණ්ඩ 4 ට වෙන් කරනු ලැබීය. 

ඒකල බරණි (Solitary Urns) - මේවා විශාල භාණ්ඩ විය. සුසාන බඳුන් ලෙස භාවිත වී ඇත. සිරස් ආකා­ර­යට තැන්පත් කොට ඇති මෙම බරණි පිය­න­කින් (Lid cum bowl or Capstone) හෝ පිය­න්ග­ල­කින් ආව­ර­ණය කොට තිබේ.

 තර­මක් විශාල බරණි (Main urns with serving ware in the cist) - මේවා ශිලා­කු­ටීර සොහොන් අභ්‍ය­න්ත­රයේ තැන්පත් කොට ඇති ප්‍රධාන සුසාන භාණ්ඩයි. ඒවා සිරස් හෝ තිරස් ආකා­ර­යට තැන්පත් කොට තිබේ. 

වත් සිරිත් භාණ්ඩ (Supplementary serving ware) - සුසාන ගර්භ අභ්‍ය­න්ත­රයේ තැන්පත් කොට ඇති විවිධ ප්‍රමාණ හා හැඩ­ව­ලින් යුක්තය. 

පිද­විලි භාණ්ඩ (Secondary urns or Offering pots)

මෙම කැණි­මෙන් ලැබුණු බරණි ප්‍රධාන ප්‍රවර්ග (Burial type) දෙක­කට අයත් වන අතර ඒවා ශිලා මංජුසා (Stone cist) ‌ සහ බරණි (Clay urn) සුසාන යනු­වෙන් දක්වා ඇත. එමෙන්ම සුසාන වාස්තු­වි­ද්‍යාව, ඉදි­කි­රීමේ ස්වභා­වය, අන්ත­ර්ගත සුසාන ද්‍රව්‍ය සහා සුසාන බඳුන් තැන්පත් කොට ඇති ආකා­රය යන ලක්ෂණ අනුව ඒවා උප වර්ග 12 කට වර්ග කොට තිබේ.

ආය­තා­කාර හා චතු­ර­ස්‍රා­කාර හැඩ­ව­ලින් යුක්තව විවිධ ප්‍රමා­ණ­ව­ලින් ශිලා මංජුසා සුසාන ගර්භ සම­න්විත විය. එසේම පිය­න්ගල් රහිත හා පිය­න්ගල් සහිත යනු­වෙන් සුසාන දෙයා­කා­ර­යකි. බරණි සුසාන වර්ග කිහි­ප­යකි. එනම්, පිය­නක් සහිත බරණි සුසාන හා මතු­පි­ටින් පිය­න්ග­ලක් තබන ලද සුසාන බරණි යනු­වෙනි. කැණී­මෙන් සොයා­ගැ­නුණු සොහො­න්ගත කළ බරණි 47 අත­රින් 21 ම මළ­වුන්ගේ අළු තැන්පත් වූ මැටි භාජ­නය.

තඹ සහ යකඩ ලෝහ­යෙන් කළ මෙව­ලම් සහ විවිධ අමු­ද්‍ර­ව්‍ය­ව­ලින් හා හැඩ­ව­ලින් යුතු පබළු වර්ග ද ටෙරා­කොටා නිර්මාණ, මාල, වළලු, කරාබු ආදිය ද මෙහි දී හඳු­නා­ග­න්නට හැකි වූ අතර කානී­ලි­යන්, ඇගේඩ් යන දකුණු ඉන්දි­යානු කලා­ප­යට ආවේ­ණික විශේ­ෂිත පබ­ළු­ව­ලින් කළ ආභ­රණ අව­ශේෂ එයින් සොයා­ගත් විශේ­ෂිත පුරා­වස්‌තු අත­රට අයත් වේ.

සුසාන ගර්භ තුළ තැන්පත් කරන ලද පැරණි පබළු බොහෝ ප්‍රමා­ණ­යක් අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි­විය. මෙම පබළු කැණිම් කරන අව­ස්ථාවේ දී මෙන් ම ගර්භයේ තිබුණු පස් ඉවත් කොට වියළි හා තෙත හැලීමේ දී හමු වූ බව සඳ­හන්ය. තිරා­වාණ (Clear quarts) හා කානී­ලි­යන් (Carnilean) යන ඛණිජ වලින් පබළු නිමවා තිබුණු අතර මැටි මුවා පබළු (terra-cotta) ද හමූ වූ බව සඳ­හන්ය.

ඉබ්බ­න්ක­ටුව සුසා­නය ශ්‍රී ලංකා­වෙන් හමු වූ මූල ඓති­හා­සික සුසාන භූමි අතු­රෙන් විශා­ල­තම සුසාන භූමි­යයි. මුල්කා­ලීන යකඩ යුග­යට අයත් වූ මෙර­ටින් සොයා ගැනුණු මානව ජනා­වා­සය හා ඊට අනු­බද්ධ සුසාන භූමිය ලෙස ඉබ්බ­න්ක­ටු­වට නුදු­රින් සොයා­ගත් පොල්වත්ත නමින් හැඳි­න්වෙන ජනා­වාස භූමිය නම් කළ හැකිය. ඉබ්බ­න්ක­ටුව සුසාන භූමි­යට සමා­න්ත­රව ඉබ්බ­න්ක­ටුව වැවට ඉහ­ළින් මෙම පොල් වත්තේ ජනා­වා­ස­යක අව­ශේ­ෂ­යන් හඳු­නා­ගත හැකිය. එම ජනා­වා­සයේ සිටි මිනි­සුන්ගේ මළ­මිනී මෙහි මිහි­දන් කර­න්නට ඇතැයි යන්න අද­හ­සයි. සීගි­රිය සහ යටි­ග­ල්පොත්ත ප්‍රදේශ වලින් මෙම කාල වක­වා­නු­වට අයත් යැයි සැල­කෙන සුසාන හමු වූවද මෙහි විශේ­ෂ­ත්වය වනුයේ ඉබ්බ­න්ක­ටුවෙ මහ­ශිලා සුසා­නය ඉතා විශාල වීමය.

පූර්ව ඓති­හා­සික සංස්කෘ­ති­යට අදාළ (එනම්: ක්‍රි.පූ.1000, අදින් වසර 3000කට පෙර) පැර­ණි­තම සාධක ලෙස වාර්තා වන්නේ අනු­රා­ධ­පුර ඇතුළු-නුව­රිනි. විකි­රණ මාන දින නිය­මය හා ඔක්ස්කැල් කාල­නි­ර්ණය අනුව මේ සංස්කෘ­තිය ක්‍රි.පූ.1000 තරම් ඈතට දිවෙන බව ආචාර්ය ශිරාන් දැර­ණි­ය­ග­ලගේ අද­හ­සයි. එමෙන්ම මෙග­ලි­තික සුසාන ආශ්‍රි­තව පැර­ණි­තම කාල­නිර්ණ (ක්‍රි.පූ.800) දැනට කොක්එබේ ප්‍රදේ­ශ­යෙන් ලැබී තිබේ.මධ්‍ය යාන්ඔය නිම්නය තුළ යකඩ හා තඹ කර්මා­න්තය මෙන් ම රන් කර්මා­න්තය ට අදාළ තොර­තුරු ක්‍රි. පු. 800 පමණ කාලය වන විට ලැබීම ඉතා ම වැද­ගත් වේ.

හුදෙ­කලා කඳු වැට­ය­කින් වටව සරු­ප­සින් යුතු භූමි­යක් ලෙස මධ්‍ය යාන්ඔය නිම්නය ආශ්‍රිත පූර්ව ඓති­හා­සික අව­ධියේ දී එහි පරි­ස­රය සැකසී තිබුණි. එසේ­නම් පරි­ස­රය ඇසුරු කොට ගෙන පූර්ව ඓති­හා­සික ජනා­වාස ගණ­නා­වක් ස්ථාන­ග­තව ඇති බව හඳු­නා­ගත හැකිය. ගුරු­ග­ල්හින්න, දිවු­ල්වැව, කොක්එබේ, රඹෑව, වඩි­ග­වැව, තම්මැ­න්නා­ගො­ඩැල්ල, පරං­ගි­යා­වා­ඩිය යනා­දිය එසේ පරි­සර පද්ධ­තිය මුල්කොට ගෙන බිහි වූ ජනා­වා­ස­යන්ය. මෙවැනි හුදෙ­කලා කඳු හෝ ගොඩැලි සහිත භූවි­ෂ­ම­තාව නිසා ඒ පරි­ස­රයේ ස්වාභා­වික භූප­ත­න­යක් (Hollow) නිර්මා­ණය වී ඇති බවත් මේ භූප­තන ඊසා­න­දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම සමඟ ජලය රැ‍ඳෙන ස්ථාන බවට පත්වන බවත් සඳ­හන්ය. පූර්ව ඓති­හා­සික අව­ධියේ ජනා­වා­ස­වල ස්ථාන­ගත වීම පිළි­බඳ විම­ර්ශ­නය කිරී­මේදී මෙවැනි භූප­තන සහිත ස්ථාන­වල එම ජනා­වාස ස්ථාන­ගත වී ඇති බව මහා­චාර්ය සුද­ර්ශන් සෙනෙ­වි­ර­ත්න­යන්ගේ අද­හ­සයි. ඔහු පෙන්වා දෙන්නේ ඉබ්බ­න්ක­ටුව, ඉද­මො­ර­ළු­ව­වැව, පොම්ප­රි­ප්පුව යනාදි ස්ථාන­ව­ලින් මේ ජනා­වාස පිළි­බ­ඳව හඳු­නා­ගත හැකි බවයි.

දිව­යිනේ විවිධ පෙදෙස්වලින් මෙවැනි සුසාන භූමි ඉතා බහුල ලෙස හමු වූව ද ඉබ්බ­න්ක­ටුව මහා­ශිලා සුසා­නය අතීත මානව සමා­ජයේ එක් පැති­ක­ඩක් නිරූ­ප­ණය කරන ප්‍රබල සාධ­ක­යකි. මෙම තොර­තුරු අනුව සනාථ වනුයේ අතී­තයේ දී ශ්‍රී ලාංකි­ක­යන් පූර්ව ඵෙති­හා­සික යුගයේ දියුණු තාක්ෂ­ණ­ය­කින් හෙබි සංස්කෘ­ති­ය­කට හිමි­කම් කී මානව පිරි­සක් බවය.


සිළුමිණ

2020 ජූලි  12

රුක්ෂිලා වෙත්තමුණි

Monday, October 5, 2020

කටුවන ඕලන්ද කොටුව සඟවා ගත් ඉතිහාසය


 මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ, මිද්දෙනිය නගරය පසුකර වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහළවක් පමණ ගමන් කළ විට ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවට පිවිසිය හැකිය. කටුවන යනු අනාදිමත් කාලයක පටන් ඓතිහාසික භූමියක් බව මහාවංශය අනුව සනාථ වේ. 12 වන සියවසෙහි දි පරාක්රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු රැඳී සිටි ස්ථානයක් ලෙස ද කටුවන පිළිබඳව සඳහන්ව ඇත.


ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමට අයත් වූ උතුරු දිග සීමාවේ උඩරට රාජ්යයේ දකුණු දිගට මායිම්ම පිහිටවන ලද විශාලතම බලකොටුව ලෙස කටුවන හැඳින්වෙන අතර එය ක්රි. ව. 1697 දි ඉදිකරනු ලැබීය. රට අභ්යන්තරයෙ පිහිටි වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති ලන්දේසි බලකොටුව වීම එහි ඓතිහාසික වැදගත්කම ඉහළ දැමීමට ඉවහල් වේ. ජර්මන් ජාතික සැලසුම් ශිල්පියකු වු ජොහාන් වුල්ෆ්ගෑන්ග් හෙයිත් ((Johann Wolfgang Heydt) ) 1734 දි බලකොටුවට පැමිණ එකල පැවති තත්ත්වය පිළිබඳව සඳහන් කරනුයේ බලකොටුව සමචතුරශ්රාකාර, කපරාරු කළ බිත්ති සහිත ගොඩනැඟිල්ලක් බවත් එහි සමචතුරශ්රාකාර හැඩය ප්රතිමුඛ කොන් දෙකක මුරපලවල් (බැස්ටියන්) දෙකක් පිහිටීම හේතුවෙන් මඳක් විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය. එසේම මෙම එක් මුරපලක කාලතුවක්කු හය බැගින් තිබූ බැව් ද සඳහන් කරයි.

ඔහුගේ විස්තරයට අනුව කටුවන බලකොටුවේ බිම් සැලසුමෙහි ගොඩනැඟිලි පහත පරිදි ස්‌ථාපිත වී ඇත. එනම්, එයට ඇත්තේ එක්‌ ඇතුළු වීමේ දොරටුවක්‌ පමණි. දොරටුව අසලින්ම දකුණු පැත්තේ බලකොටුව අධිපති තැන වසන නිවාසය ඇත. ඔහු සාජන්ට්‌වරයෙකි. මෙය සමීපයේ තිර බිත්තිය දිගට ගබඩා ගෙයකි. සියලුම වර්ගවල බඩු ගබඩා කර ඇත්තේ මෙහිය. මෙහි කෙළවර වෙඩි බෙහෙත් ගබඩාවකි. ඊට යාබදව ඇත්තේ යුධෝපකරණ ගබඩාවයි. මෙය තට්‌ටු දෙකකින් යුත් ගොඩනැඟිල්ලකි. අනතුරුව ඇත්තේ කාලතුවක්‌කුකරුගේ නවාතැනය. මෙය ළඟට ඇත්තේ ආරක්ෂක භටයන්ගේ මුරපොළය. මෙම මුරගෙය කෙළවර ශල්ය වෛද්යවරයාගේ නවාතැනයි. බලකොටුවේ ගොඩනැගිලි ස්‌ථාපිත කර තිබෙනුයේ තුන් පැත්තක්‌ ආවරණය වන ආකාරයෙන් පමණක්‌ වීම විශේෂිත ලක්ෂණයකි. මෙහි මධ්යයේ හතරැස්‌ විවෘත මිදුලකි. කොටුවට ඇතුළු වන දොරටුවට වම් පැත්තෙන් ළිඳකි. එමෙන්ම හෙයිත්ගේ වාර්තාව අනුව බලකොටුවේ පිරිස් බලය 40 දෙනෙකුගෙන් පමණ සමන්විත වී ඇති අතර බලකොටුවේ වැසි වතුර බැසයාමට ක්රමවේදයක් වූ බව ද සඳහන් ය. එහෙත් ආර්.එල්.බ්රොහියර් පවසන්නේ කටුවන බලකොටුවේ ලන්දේසීන් 30 ක ගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ වාසය කළ බවය.

දිගින් සහ පළලින් අඩි 150 ක් වන චතුරශ්රාකාර ගොඩනැගිල්ලක් වූ මෙහි ප්රධාන කොටු පවුර පිටතින් අඩි 20 ක් පමණ උසින් යුක්තය. එහි අභ්යන්තරය අඩි 8 සිට 12 දක්වා වෙනස් වන උසකින් සමන්විත වූ අතර ප්රාකාරය විශාල ගල් කුට්ටි උපයෝගී කොට ගෙන හුණු බදාමයෙන් තනා ඇත. ගොඩනැගිල්ලට එක් ප්රවේශ දොරටුවක් පමණක් තිබුණි. වම් පසින් බලකොටුව තුළ ඉතා උස් වූ ගොඩනැගිල්ලක් ස්ථාපිත විය. එහි ඔර්ලෝසුවක් ද සවිකර තිබී ඇත. එය යුද්ධෝපකරණ ගබඩාවට ඉහළින් දර්ශනය වූ බවත්, කොටුවේ ප්රාකාරයට යාබදව දකුණු පසින් ප්රධාන අණ දෙන නිලධාරියාගේ නිල නිවස පිහිටා තිබූ බවත්, බලකොටුව සම්බන්ධව ඇති ඓතිහාසික තොරතුරු ඇතුළත් සැලැස්මේ අන්තර්ගතය.

ලන්දේසීන් කටුවන බලකොටුව ඉදි කිරීමේදී මූලික වශයෙන් අවධානය යොමු කරවන ලද අරමුණු දෙකක් විය. එනම් දකුණු මුහුදු තීරයේ සිය දේශ සීමාව හා කන්ද උඩරට දේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම හා වාණිජ අරමුණු ඉටු කර ගැනීමේ දී කලාපීය භාණ්ඩ මිලදී ගැනීමේ මධ්යස්ථානයක් ලෙස යොදා ගැනීමය. අගනුවර වූ මහනුවර සිට ලන්දේසීන්ගේ ප්රධාන නගරයක් වූ මාතර දක්වා දිවෙන මාර්ගය ආරක්ෂා කරගැනීමට හා උඩරට සමග වෙළඳ සබඳතා ආරක්ෂා කර ගැනීමට ද මෙම බලකොටුව පවත්වා ගැනීමට හේතුවක් විය.

බලකොටුවක් නිර්මාණය කිරීම උදෙසා සුදුසු පරිසරයක් කටුවන බලකොටුව අවට ප්රදේශයේ පිහිටීම ද මෙහිදී සුවිශේෂි හේතුවක් වී ඇත. මෙහි රැළි බිම් සහිත භූමි ලක්ෂණ පෙන්නුම් කළ ද, බටහිර හා වයඹ දිග මායිම්වල තරමක් උස කඳු පන්ති පිහිටා තිබීම දැකිය හැකිය. ඒ අතරින් රම්මලකන්ද, හිඟුරකන්ද, කරවිලකන්ද ප්රමුඛස්ථානයක් හිමිකර ගනී. වෙරළ ඉම දක්වා සමතලා භූමි ප්රදේශයක් ලෙස බලකොටුවට නැඟෙනහිර දෙසින් වූ බිම් කඩ පැතිරීම බලකොටුවේ විශේෂත්වට හේතුවිය.

ලන්දේසීන් විසින් නිර්මාණය කරනු ලැබූ හංවැල්ල හා අවිස්සාවේල්ල යන බළකොටුවලට සමගාමීව කටුවන බලකොටුව ඉදිකරන ලද මුත් වර්තමානය වන විට එම බළකොටු මෙතරම් ආරක්ෂා වී නැත.

මහනුවර රාජ්ය සමයේ උඩරට රාජ්යයත්, මුහුදුබඩ ප්රදේශයත් වෙන් කරන වැදගත් මුර පොළක් ලෙසට කටුවන බලකොටුව භාවිත විය. මුහුදුබඩ පළාත්හි ආරක්ෂක මර්මස්ථානවල බලකොටු ඉදිකිරීම විදේශිකයන් තම බලය පතුරුවාලීමටත් ආරක්ෂාවටත් උපයෝගි කරගනු ලැබීය. වෙරළාසන්න ප්රදේශයන්හි ලන්දේසීන් විසින් ඉදිකර ඇති බලකොටු අතර ගාල්ල, මාතර, යාපනය, ත්රිකුණාමලය හා කල්පිටිය ප්රමුඛස්ථානයක් ගනී. ඔවුන් වෙරළ තීරයේ මෙන්ම රට අභ්යන්තරයේ ද සිය යුද ශක්තිය විහිදුවා තම බලපරාක්රමය තහවුරු කිරීමට කටයුතු කරනු ලැබීය. එසේ මුහුදු සීමාවට සැතපුම් 20 ක් පමණ ඈතින් පිහිටුවන ලද බලකොටු අතර කටුවන කදිම සාක්ෂියකි.

කටුවන බලකොටුවක්‌ වශයෙන් ගත් කළ කුඩා ආරක්ෂක මුරපළක්‌ වශයෙන් ද ආහාර ද්රව්ය හා වෙනත් අත්යවශ්ය ද්රව්ය එක්‌රැස්‌ කරනු ලබන එසේම බෙදාහැරීමේ ගබඩා මධ්යස්‌ථානයක්‌ වශයෙන් ද ක්රියාකර ඇති බව පැහැදිලිය.

ආර්.එල්. බ්රෝහියර්ගේ සටහන්වල දැක්වෙන්නේ කැලෑවෙන් වට වූ මේ කුඩා බලකොටුවේ රන්පැහැති කෙස් ඇති, හිරු රැසින් දැවුණු සිරුරු ඇති ලන්දේසීන් තිස් දෙනෙක් ජීවත් වූ බවත්, ඔවුන් නියත වශයෙන් ම රටකින් පිටුවහල් කළ හෝ සිර කඳවුරක රැඳවූ පිරිස්‌ මෙන් ජීවිතය ගත කළ බවත්ය. ඔවුන්ගේ එකම විනෝදාංශය‌ වූයේ ගඟේ මාළු බෑමත්, මොණරුන් හෝ මුවන් දඩයම් කිරීමත්ය.

මෙසේ කල්ගත වත්ම, මාර්තු මාසයේ එක්‌ දිනෙක බලකොටුවේ භටයෝ රාත්රි ආහාරය ගනිමින් සිටිය දී හදිසියේම මුරපළින් අනතුරු හැඟවීමේ සංඥාව නිකුත් වූ අතර ආහාර ගැනීම නවතා දැමූ ඕලන්ද සොල්දාදුවන් වහ වහා තමන්ගේ ස්‌ථාන කරා ළඟා විය. ඈත කඳුකරයේ දුර්ග මාර්ගය දෙසින් පහළට දිවෙන පන්දම් පෙළ අතරින් සිංහල වැසියන්ගේ ජය ඝෝෂා හඬත්, බෙර හඬත් නැගෙන්නට විය. එසේ වුව ද මෙම දසුනින් බලකොටුවේ අණ දෙන නිලධාරියා වූ ආනවුඩ් වාන් වර්ඩේ එතරම් කලබලයට පත්වූ බවක්‌ පෙනෙන්නට නොතිබිණ. කන්ද උඩරට රජුගේ සේනා සිය බලකොටුවට පහර දෙන්නේ නම් ඊට සැලකිය යුතු කාලයක්‌ ගනු ලබන්නේය යන්න ඔහුගේ නිගමනය වීම ඊට හේතුව විය. නිදිවර්ජිතව සිටි ඔහු සිය බලකොටුවට නිසැකවම ප්රහාර එල්ල කිරීම සඳහා මෙම පිරිස පැමිණ ඇති බැව් වටහා ගත්තේය. එවැන්නකට මුහුණ දීමට තරම් ප්රබල ආත්ම ශක්‌තියක්‌ ඔහු සතු විය. එබැවින් පැයකට පමණ පසු භටයන් හය දෙනකු මුරට තබා සෙසු පිරිස්‌ හට නින්දට යැමට ඔහු අවසර ලබා දුණි. කිසිදු අනතුරකින් තොරව එදින රාත්රිය පහන් විය. පසු දින උදෑසන අවදි වූ සෙසු සොල්දාදුවන් යුහුසුළුව සිය ස්‌ථානයන් කරා ගොස්‌ සිංහල හමුදා සේනාවන්ට පෙනෙන පරිදි පෙළ ගැසුණහ. සතියක්‌ පමණ ගත විය. අවස්‌ථා කිහිපයක දී බලකොටුවට පහර දෙන ලෙසින් සංඥා නිකුත් කළ ද ප්රහාර එල්ල කිරීමක්‌ සිදු නොවීය. එහෙත් ලන්දේසි හේවායන් හට රාත්රි නින්දක්‌ නොවීය. ඇතැම් රාත්රියක බලකොටුව මුරකරන්නන් හට සිංහල භටයන් මරණීය ප්රහාර එල්ල කිරීම ඊට හේතුවයි. කටුවන කොටුවේ ඕලන්දයන් දුබල කිරීමේ සැලසුම් සහගත ප්රයත්නයක්‌ මෙසේ දියත් කළ සිංහල සේනාවෝ එය අතිශය සාර්ථක මෙහෙයුමක්‌ බවට පත්කර ගැනීමට සමත් විය.

අනතුරුව එක්‌ හිමිදිරි උදෑසනක මෙම බලකොටුව තරණය කිරීම ආරම්භ කළ දේශීය ජනයා උණ බම්බුවලින් සකසන ලද හිනිමං ආධාරයෙන් අඩි 15 ක්‌ පමණ උසැති කොටු පවුර තරණය කළ අතර තවත් පිරිසක්‌ කොටුව වටකර ඒ දෙසට වෙඩි ප්රහාර එල්ල කරන්නට විය. දේශීය වැසියන්ගේ ප්රහාරයකට මුහුණ දීමට තරම් ප්රමාණවත් පිරිසක්‌ කටුවන කොටුවේ නොවීය. එතෙක්‌ එල්ල වූ ප්රහාරයන්ගෙන් එකොළොස්‌ දෙනෙකු මියගොස්‌ සිටි අතර සෙසු පිරිස්‌ අතරින් කිහිප දෙනකු දැඩි ලෙස තුවාල ලබා සිටියහ. එසේම කොටුව තුළ වූ වෙඩි බෙහෙත් සංචිතය ද නිමාවට පත්ව තිබිණ. එබැවින් තවදුරටත් ප්රහාරයකට නොගොස්‌ උපක්රමශීලි විය යුතු බව අණ දෙන නිලධාරියාගේ අදහස විය. ඒ අනුව දේශීයයන්ට පහර නොදිය යුතු බවත් සියලු ද්වාර විවර කළ යුතු බවත් එක්‌ ඕලන්ද සොල්දාදුවකු පමණක්‌ කොටුවේ රැඳී සිටිය යුතු බවත් ඔහු සිය සොල්දාදුවන් වෙත දන්වන ලදී. රාත්රිය වන විට කොටුවේ ද්වාර විවර කර ඇති බව දැක්‌වීමට එහි ගිනිමැලයක්‌ දල්වන ලෙසත් ඔහු අණ කළේය. ගිනිමැලයේ ආලෝකයෙන් බලකොටුව දෙසින් කිසියම් උගුලක්‌ අටවා ඇතැයි සිතූ සිංහල සොල්දාදුවෝ පසු බසින්නට වූහ. පසු දින පහන් වන විට සිංහල හමුදාවෝ ගිරි දුර්ගය දිගේ ආපසු ගමන් කරනු දුටු වාන් වර්ඩේ අණ දෙන නිලධාරියා සැනසුම් සුසුමක්‌ හෙළන්නට ඇත.

ඈතින් යුද බෙර හඬ ඇසෙත්ම තැන් තැන්වල විසිරී සිටි ලන්දේසීහු කොටුව තුළට වැද දොරගුළුලා කොටු පවුර තද කොට සතුරාට ප්රතිප්රහාර දීමේ සටනට සූදානම් වූහ. කොටුව වටා රැකවල් දැමූ අපේ හමුදාවෝ කොටුවෙ තාප්පයට මදක්‌ දුරින් ශක්‌තිමත් ලෙස විශාල අට්‌ටාලයක්‌ බැඳ ඒ මත කාලතුවක්‌කු සවිකර දිවා රාත්රි නොකඩවා කොටුව තුළට වෙඩි තැබූහ. මෙසේ ප්රහාර එල්ල වන තෙවන දිනය වන විට කොටුව දෙසින් සමාදාන වීම හෝ යටත් වීමේ සංකේතය ලෙසින් සුදු කොඩියක්‌ ලෙළ දිණි. ඒ සමගම කොටුවේ ප්රධාන දොරටුව ද විවර විය. ආරක්ෂක භටයන් පිරිවරාගත් යුද්ධ හමුදාවත් සමග දිසාවේ, කොටුව තුළට පැමිණ අසුන් ගත් අතර කොටුවේ ඉතිරිව සිටි සියලු පිරිස්‌ හට සිය නිල ඇඳුමින් සැරසී ඉදිරියට පැමිණෙන ලෙසත් යටත් වන ලෙසත් ඔහු නියෝග කළේය. ලන්දේසි හමුදාව හිස නමා එම නියෝගය පිළිගනු ලැබීය. මෙම කොටුව තුළ සිට තමන් කුමක්‌ කළේ දැයි ඔහු ඕලන්දයන්ගෙන් විමසීය. එයට පිළිවදන් දී ඇත්තේ ජා මිනිසුන් අට දෙනෙකු පමණි. ඔවුන්ගෙන් සයදෙනෙක්‌ මෙහෙකරුවන් බවත් ඉතිරි දෙදෙනා හොරනෑ පිඹීම සහ බෙර වැයීම සිදුකරන බවත් පවසා ඇත. නිහඬව සිටි සියලු දෙනා මහ රජුගේ රාජධානියට විරුද්ධව සටන් කළවුන් බැවින් කැලයට රැගෙන ගොස්‌ මරා දැමූහ. පෙර කී ජා මිනිසුන් අට දෙනා සිර භාරයට පත්විය.

ක්රි.ව 1761 පෙබරවාරි මස 06, 07, හා 08 යන තෙදින පුරා කාලතුවක්කු ද උපයෝගී කර ගනිමින් සිංහල සේනාව විසින් එල්ල කර ඇති අඛණ්ඩ ප්රහාරය සමඟ කටුවන බලකොටුවේ අවසානය උදාවිය. 1761.02.08 වන දින මේ බලකොටුව සිංහල හමුදාව අත්පත් කරගන්නා ලද අතර මෙම ප්රහාරයෙන් කොටුවේ ප්රධාන දොරටුව මෙන්ම අභ්යන්තර ගොඩනැගිලි ද විනාශ විය. සිංහල රණකාමීන් තම යුද ශක්තිය මෙන්ම උපාය ඥානය ද යොදා ගනිමින් කොටුව විනාශ කිරීමට හේතු වූයේ උඩරට රාජ්යයට මෙම ස්ථානයේ සිට සංවිධානය වී පහර දීමට ඉඩ ඇති බවට සැක කළ බැවිනි.

මහනුවර මහා වාසලේදී කටුවන සටන ජය ගැනීම සඳහා සහභාගී වූ සබරගමුවේ ප්රධානින් 15 දෙනෙකුට පමණ නින්දගම් ප්රදානය කළ බව කියැවේ.

නටබුන්ව පැවති බලකොටුව 1980 දී පුරාවිද්යා ස්මාරකයක් ලෙස ප්රකාශයට පත් වූ අතර 2007 දී නෙදර්ලන්ත රජය හා පුරාවිද්යා දෙපාර්තමේන්තුව එක්ව කටුවන කොටුවෙ සංරක්ෂණ ව්යාපෘතියක් ද ක්රියාත්මක කරන ලදී.

සිළුමිණ
2020 ජුනි 28
රුක්ෂිලා වෙත්තමුණි

Saturday, October 3, 2020

නැගෙනහිර උරුමය හෙළිකරන ඓතිහාසික ප්‍රෞඪත්වය


පාචීනපස්ස හා උත්තරපස්ස ලෙස අරුත් ගැන්වෙන නැගෙනහිර හා උතුරු පළාතට අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, වව්නියාව, මුලතිව්, මන්නාරම, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක අයත්ය. මහවැලි ගඟ, මෙම ප්‍රදේශ දෙක වෙන් කරන සීමාව වූ අතර එය අවසානයේ දී නැගෙනහිරට ගලා ගොස් මිණිපේ පෙදෙස හරහා  ත්‍රිකුණාමලයේ ගෝකණ්ණතිත්ථ නමින් හැඳින් වූ කොට්ඨසාර (කොඩ්ඩියාර්) දෙසින් මුහුදට ගලා බසී.

නැගෙනහිර පළාතේ වැඩි කොටසක් නියෝජනය කරනුයේ රෝහණ දේශයයි. මහවැලි ගඟෙන් උතුරින් රජරටත් (පිහිටි)  දකුණෙන් රෝහණයත් පිහිටා ඇත. වර්තමානයේ නැගෙනහිර පළාතේ දකුණු සීමාව කුඹුක්කන් ඔය ලෙසට සැලකේ. කකුධ නදී, කකුබන්ධ නදී, කුඹුබන් නදී ආදි වශයෙන් කුඹුක්කන් ඔය ව්‍යවහාර විය.


අතීතයේ දී දිගාමඩුල්ල නමින් හැඳින් වූ අම්පාර දිස්ත්‍රික්කය වර්තමාන බෙදීම් අනුව නැගෙනහිර පළාතට අයත් වන අතර මඩකලපුව, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්ට සීමා මායිම් වේ. මෙහි පරිපාලන කටයුතු අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, මහඔය, පොතුවිල්, අක්කරපත්තුව, ඉරක්කාමන, දමන, පදියතලාව, උහන, සමන්තුරය, ලාහුගල හා අට්ටාලච්චේනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා සිදුවේ. අම්පාර පෙදෙසේ ඇති විශේෂත්වය වූයේ මෙම කලාපය පුරා විසිරී ඇති වඩාත් උස් නොවූ පර්වත මුදුන් ආශ්‍රිතව වෙහෙර විහාර ඉදිකර තිබීමයි. පැරණි සෙල්ලිපි වල දැක්වෙන ස්ථාන නාම හා වාරි නාම අනුව මෙම පෙදෙස ජනාවාසව පැවති බවට කදිම සාධකයකි. ඓතිහාසික ජනාවාසරකරණය පිළිබඳ සාධක සපයන සෙල්ලිපි, ස්ථානගත වී ඇති බොහෝ පෙදෙස් අතර ගනේගම කන්ද, උහන, වේරපුදාව, සන්ගමන්කන්ද, මුල්ලිකුලම්මලේ, පොකුණු දෙන, කොණ්ඩවටවන, රජගල යානාදි ස්ථාන විශේෂ වශයෙන් දැක්විය හැකිය. 


ක්‍රි.ව. 9-10 සියවස් වලදී එකල මෙරට පැවති සමාජ, ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අම්පාර පිහිටි කොණ්ඩවටවන ටැම් ලිපිය ඉවහල් වේ. මෙම ලිපිය මඟින් දිගාමඩුල්ලේ ඇරෑගම හි පාලනය සම්බන්ධව පනවන ලද නීති පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වන අතර ප්‍රාදේශීය පාලනය, බඳු එකතු කිරීම් හා බැඳුණු තොරතුරු දැකගත හැකිය.  එය IV වන දප්පුල රජු කල පිහිටුවන ලද ටැම් ලිපියකි.


කුමන ජාතික වනය ආශ්‍රිතව පිහිටා ඇති බෝවත්තේගල හා කොට්ටදැමූහෙල සෙල් ලිපි අනුව අනුරාධපුර යුගයේ දී මෙම පෙදෙස රුහුණේ ක්ෂත්‍රීයන් විසින් පාලනය කරන ලදැයි යන්න සඳහන්ය. අම්පාර පිහිටි සෙල් ලිපි විශාල ප්‍රමාණයකින් මෙරට පාලනය කළ රජවරු පිළිබඳ තොරතුරු බහුතරයක් අනාවරණය කර ගැනීමට හැකිය.  ක්‍රි.ව. 650 දි පමණ රුහුණ පාලනය කළ දප්පුල රජු රුහුණු විහාරය කරවන ලද බවත් වර්තමානයේ එය මඟුල් මහා විහාරය යැයි හඳුනා ගැනීමටත් සෙල්ලිපි ඉවහල් විය. එමෙන්ම මහාදාඨික රජු අම්පාරෙ දකුණු දිශානුගතව පිහිටි කුඹුක්කන් ඔය ආසන්නයේ සමුද්ද විහාරය නමින් විහාරයක් කර වූ බව දැක්වේ. එය සමුද්‍රගිරි විහාරය නමින් වත්මනේ ව්‍යවහාර වේ. 


අම්පාර ආශ්‍රිතව සියයකට අධිකව පෞරාණික ස්ථාන හඳුනා ගැනීමට හැකිය. ඒ අතර රජගල, දීඝවාපිය, සමන්ගල (බ්‍රාහ්මී අක්ෂර වලින් යුතු සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ගල් ලෙන් සමූහයක් ඇත), සමනබැද්ද, මඟුල් මහා විහාරය, කුඩුම්බිගල, නීලගිරිය, මුහුදු මහා විහාරය, ශාස්ත්‍රවෙල විහාරය, පරගහකැලේ නටබුන්, ලාහුගල කොටවෙහෙර, කඳුරුගොඩ, හෙනානිගල, නුවරගල කන්ද, ගොනාගොල්ල (පැරණි සිතුවම් ඇත), පියංගල ආරණ්‍ය සේනාසනය , පියංගල චිත්‍ර ලෙන, වැද්දාගල කන්ද නටබුන්, හීතවන්නිය කඳුබෑවුම, කොටිගල නටබුන්, බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, කොණ්ඩවටවන නටබුන් හා ටැම් ලිපිය, නියුගුණ විහාරය යනාදි  ස්ථාන ප්‍රධාන කොට දැක්විය හැකිය.


නැගෙනහිර පළාතට අයත් අනෙක් දිස්ත්‍රික්කය වන මඩකලපුව ද පෞරාණික නටඹුන් බහුල ලෙස විසිර පවත්නා භූමි පෙදෙසකි. සියඹලාදීපය යන්න අරුත්ව පුලියන්තිව් යන්න ද්‍රවිඩ භාෂාවෙන් ද මඩ බහුල කලපුවක් සහිත වූ බැවින් මැටි කලපු වී පසු කලෙක මඩකලපු වූ බව ද අදහසයි.  එච්. සී. පී. බෙල්ගේ සටහන අනුව 1766 දී පෙරදිග ඉන්දියාවේ ලන්දේසි සමාගම මෙරට සමඟ අත්සන් තබන ලද ගිවිසුමේ සටහන්ව තිබෙන්නේ මඩකලපුව එම කාල වකවානුවේ දී කඳුකර පළාතට අයත්ව පැවති බවය. කඩඉම් පොතෙහි, මුල්කාල වකවානුවේ දී මඩකලපුව ඇතුළු පෙදෙස දීඝවාපිය ලෙස හැඳින්වූ බවත් 1833 ඔක්තෝම්බර් 01 දින කරන ප්‍රකාශයකින් සමස්ත දිවයිනම පළාත් පහකට කට බෙදා ඊට අදාළව ප්‍රදේශ නම් කළ බවත් දැක්වේ.


මඩකලපු ප්‍රදේශයට මුස්ලිම් ජනයා ව්‍යාප්ත වූයේ යැයි සැලකෙන්නේ ක්‍රි.ව. 8 වන සියවසේ දී මෙරටට පැමිණි අරාබි වෙළෙන්දුන්ගෙනි. එසේම පෘතුගීසින් විසින් 1622 දී මඩකලපුව අල්ලා ගත්  අතර ඔවුන්ගේ ආගම ප්‍රචාරය කිරීම සඳහා එහි විසූ ද්‍රවිඩ ජනයා යොදා ගත් බව ද සඳහන්ය. පසුව 1639 දී ලන්දේසීන් මඩකලපුවේ  බලය අත්පත් කරගත් අතර ඉංග්‍රීසි පාලන සමය වනතුරුම ලන්දේසීන් තම පරිපාලන කටයුතු මෙහෙය වනු ලැබූයේ එහි වූ බල කොටුවේ සිටය.  නැගෙනහිර පළාතේ දිසාපතිවරයකු වූ R.A.G. Festing 1918 දී, කනගරත්නම් ගෙ මඩකලපුව විස්තරයට පෙරවදන ලියමින් ප්‍රකාශ කරනු ලැබූයේ, අතීතයේ දී සිංහල ජනයාගෙන් පිරී පැවති ප්‍රදේශයක් වූ මඩකලපුව තුළ තිබූ බොහෝ පෞරාණික නටඹුන් සියසින් දුටු බවය.


මඩකලපුව ආශ්‍රිතව දක්නට ලැබෙන පෞරාණික ස්ථාන අතර මඩකලපුව ලන්දේසි කොටුව ප්‍රමුඛස්ථානයක් හිමිකර ගන්නා සේම  කල්අඩි පාලම හා සම්බන්ධ පැරණි මාර්ගය, පුළුකුණාව රජමහා විහාරය, මඩකලපුව ප්‍රදීපාගාරය, රූගම වැව, කුසලානකන්ද, කලුදුපොතනමලේ, කොකාගල, එරුවිල, වහෙර උඩුමහලේ නටබුන් හා මාමංග පුල්ලෙයාර් දේවාලය යනාදිය ප්‍රධාන කොට සඳහන් කළ හැකිය.                                                      


ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන වැදගත් ස්‌ථාන රැසක්‌ පවතී. පදවි ශ්‍රීපුර, ත්‍රිකුණාමලය, සේරුවිල, වෙරුගල්, කඩවත්සතර, කුච්චවේලි, ගෝමරන්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යටතේ එහි පරිපාලනමය කටයුතු සිදුවේ. ත්‍රිකුණාමලය පුරා විසිරි ඇති පෞරාණික ස්ථාන අතර රන්මඩු රජ මහා විහාරය, ලංකාපටුන සමුද්‍රගිරි විහාරය, සේරුවිල මංගල රජමහා විහාරය, පාෂාණ පබ්බත විහාරය, කන්නියා (කින්නියා) උණුදිය ළිං, ත්‍රිකුණාමලය කොටුව, අසිරිමලේ රජමහා විහාරය, තිරියාය වටදාගෙය, වෙල්ගම් වෙහෙර, රිදී කන්ද (පැරණි ආරාම සංකීර්ණයක්) හා රංගිරි උල්පත විහාරය (පැරණි ආරාම සංකීර්ණයක්) යනාදිය පුමුඛස්ථානයක් ගනී.


සංවිධානාත්මකව සිදුකරනු ලබන පුරාවස්තු හානිය අද ඉතා බරපතළ තත්ත්වකට පත්ව ඇත. ත්‍රිකුණාමලය, ජිලාන්කුලම, කුච්චවේලි, තඹලගමුව, සේරුවිල, කින්නියා වැනි ප්‍රදේශ එසේ අවධානමට ලක්වුණු ස්ථාන අතර ප්‍රමුඛස්ථානයක් ගනී.


කුච්චවේලි හි පුරාවස්‌තු රැසක්‌ ත්‍රිකුණාමලයෙ මනරම් වෙරළ තීරයක්‌ වන නිලාවැලි ප්‍රදේශයට උතුරු දෙසින් පිහිටා ඇත.  මුහුදු  ඛාදනය හේතුවෙන් මෙම නටඹුන් ශිඝ්‍ර ලෙස විනාශ වෙමින් පවතී. මෙම ප්‍රදේශය තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ලංකාවට ගොඩ බැස්ස ස්‌ථානය යැයි සැලකෙන අතර එය වර්තමානයේ කල්ලරාම  යනුවෙන් හඳුන්වයි. 


1979 දි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුච්චවේලි පුරාණ රජමහා විහාරය සම්බන්ධව අවධානය යොමුකොට එහි ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්නට උත්සාහ දරන ලද අතර  1984 දි කුච්චවේලි ආසන්නයේ පිහිටා තිබූ තානායම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සිදුකරගනු ලැබීය. එසේම පිච්ච මල් විහාරය නමින් ද මෙම විහාරය  හැඳින්වේ. 2013 අගෝස්තු 13 දින අංක 1823/73 දරන ගැසට් නිවේදනය මගින් පිච්චමල් විහාරයේ පිහිටි පැරැණි දාගැබ හා ලෙන් ඇතුළු අවශේෂ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ද ප්‍රකාශයට පත් කෙරිණි.


1998 වසරේ දි දීඝවාපිය ප‍්‍රදේශයේ ඉඩම් බෙදීමක් සිදු කිරීමට දරන ලද උත්සාහයක් සමාජයෙන් එල්ල කරන ලද දැඩි විරෝධය හේතුවෙන් නතර කරන්නට සිදුවිය. දීඝවාපියෙන් පසුව දැවැන්ත ලෙස බෞද්ධ උරුමයන් සංහාරය සිදුවූයේ අක්කරපත්තුවේය. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව - ආලියඩිවේම්බු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඵෙතිහාසික දාගැබක් ඩෝසර් කර විනාශ කිරීම මින් ප්‍රධාන තැනක් ගනී.


මොට්ටයාගල පර්වතය පාමුල තිබූ ඉපැරැණි ගරා වැටුණු චෛත්‍යයක්  ද 2012 වසරේ සැප්තැම්බර් මස දි එම ස්ථානයේ ගොවිතැන් කටයුතු කළ පුද්ගලයකු විසින් ඩෝසර් කර දමා විනාශ කරණු ලැබීය.  මෙම ස්ථානය ඓතිහාසික තොරතුරු ඇතුළත් පුදබිමක් වන අතර රජවරුන්ගේ නොමද අනුග්‍රහය ලද භූමියක් බව ද සඳහන්ය. මහානාග, යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස යන රජවරුන්ගේ  තොරතුරු ඇතුළත් සෙල්ලිපි මෙහි දක්නට ඇත. එමෙන්ම මෙම ස්ථානය මොට්ටයාපල්ලු හා මොට්ටයාමල නමින්ද හැඳින්වේ.  පියගැට පේළි ඔස්සේ පර්වතයට නැගිය යුතු අතර කටාරම් සහිත ලෙන්, පොකුණු මෙන්ම  පර්වතය මුදුනේ පෞරාණික ලක්ෂණ විද්‍යාමාන වන දාගැබ් හා ගොඩනැගිලිවල සලකුණු ද දක්නට ලැබේ. 


මෙම පර්වතයේ සඳහන් සෙල්ලිපියෙහි අන්තර්ගතය ලෙස සෙනරත් පරණවිතානයන් පෙන්වා දෙනුයේ  දසභානික පරම්පරාවට අයත් (කතරගම ක්‍ෂත‍්‍රීයන්ගේ පරම්පරාව විය හැකිය) උපථර නාග නාග නම් රජකෙනෙක් ගමිණි තිස්ස විහාරය කරවා පැමිණ නොපැමිණ සංඝයාට පූජා කළ බව ය.


 මෙම පෙදෙසේ ඇති ස්ථාන අතර උස් පර්වතයක පිහිටි සෙම්බුමලේ විහාරය ද විශේෂ ස්ථානයක් ගනී. එම පුදබිම වටා ඓතිහාසිකමය වටිනාකමකින් යුත් ආරණ්‍ය සේනාසන කිහිපයක් දර්ශනය වේ. බඹරගල වන සෙනසුන සෙම්බුමලේ සෑයට නැගෙනහිර දෙසින් ද දෙඹරගල වන සෙනසුන උතුරින් ද වසන්වැව චෛත්‍යය බටහිරෙන් ද, තිරියාය සහ රංගිරි උල්පත ඊසාන දිසාවෙන් ද සෙම්බුමලේ  වටා මෙලෙස පිහිටා ඇත. 


අක්‌කර දෙසීයක පමණ වපසරියක පැතිරුණු භූමියක් පර්වතය සිසාරා දක්නට ඇති අතර එම භූමිය පුරාම ඓතිහාසික වටිනාකමකින් යුත් සාධක බහුලව දක්නට තිබේ.  එහි ස්‌තූපය පිහිටි මළුවට පිවිසීමේ දොරටුව බටහිර දිශානුගතව ඇත. එසේම හුණු ගලින් නෙළන ලද හිටි පිළිමයක් නැගෙනහිර දෙසට වන්නට දැකගත හැකි වුවද එම පිළිමයේ හිස විනාශයට පත්ව තිබේ. එහි සිවුරේ රැළි මැනවින් නිරූපණය කොට ඇති අතර එක් හස්තයක් අස්ථානගතය. ඊට නුදුරින් පොකුණු දෙකක් ද ගොඩනැගිල්ලක ශේෂ වූ නටබුන් ද ස්තූපයට ඊසාන දෙසින් දර්ශනය වේ. එසේම උස් ගල් කණු නවයකින් යුක්ත විශාල ගොඩනැගිල්ලක නටඹුන් ද දැකගත හැකිය. හුණු ගලින් නෙළන ලද පාද ලාංඡනයක් දාගැබට නැගෙනහිරින් ඇති අතර ගොඩනැගිලි පාදම් කිහිපයක කොටස්  ද මතුව ඇත. 

මෙලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැඩි අවධානමකට හා ව්‍යසනයන්ට ලක්ව ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් උසුලන පෞරාණික ස්ථාන රැසකින් සමන්විත නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරමින් කාලීන අවශ්‍යතාවයක් සපුරාලීම අතිශය ප්‍රශංසා සහගතය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ද ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් එම පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කර ආරක්ෂා කිරීම ද කඩිනමින් කළ යුතු සේම මෙම ක්‍රියාවලිය පිළිබඳ සැමගේම අවධානය ද යොමුවිය යුතුව ඇත. 

සිළුමිණ

2020 ජුනි 21

රුක්ෂිලා වෙත්තමුණි