බොහෝ කාලයකින් හිත නිදහස් වුණු නිසා පොතක් කියවන්න පටන් ගත්තා උදෙන්ම. කුරුල්ලන්ගෙ මිහිරි නාදය, නිදහස් වුණු හිතට තවත් අත්වැසිල්ලක්. මට මතක් වුණේ 'විභූතිභූෂණ බන්ද්යෙපාධ්යායගෙ', චින්තා ලක්ෂ්මි සිංහආරච්චි පරිවර්තනය කරපු 'අරණකට පෙම් බැඳ' කියන පොත.
පුංචි කාලේ ඉදලම පරිසරය එක්ක බද්ධ වෙලා හැදුණු වැඩුණු නිසාද මංදා මං ඒ පොතට පුදුම විදියට ආදරෙයි. කියවන්න ගත්ත පොත පැත්තක තියලා මං අරණකට පෙම් බඳින්න පටන් ගත්තා.
විභූතිභූෂණ තරම් අව්‍යාජ ලෙස, චිත්තාකර්ෂණීය ලෙස ස්වභාවික පරිසරය ගැන වර්ණනා කළ වෙනත් ලේඛකයෙක් නොමැති බවයි ඉන්දියානු විද්වතුන්ගෙ මතය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පූර්හි වනගත වතුයායක් මේ කතාව සඳහා පාදක වී තිබෙන්නෙ.
'ශාන්ත පරිසරයකදී ඇසෙන විලම්බ ලයකින් වාදනය වන, වස්දඬුවක මිහිරි ස්වර මාලාවක් ලෙසයි' මෙම ග්‍රන්ථය හඳුන් වන්නෙ.
දිනෙන් දින විනාශ වන සොඳුරු පරිසරයෙන් මිනිසා ඈත් වෙද්දි මෙවැනි පොතක් ඇත්තටම දිවි ඔසුවක් මනසට. ස්වභාවික සුන්දරත්වයට පමණක් සීමා නොවී එම පරිසරයෙ ජීවත් වන විවිධාකාර වූ මිනිසුන්ගෙ ජීවිත තුළට එබී ඔවුන් දෙස බලන දෘෂ්ටියට මං බොහෝ කැමතියි.
මේ කතාවේ පිවිසුමයි.
දවස පුරාම කාර්යාලයේ වැඩ කර වෙහෙස වූ මම නගරයේ බලකොටුව ළඟ ඇති පිට්ටනිය අයිනේ හිඳ ගතිමි.....
මාත් බොහෝ වෙලාවට විහාර මහාදේවී පාර්ක් එකට ගිහිං තනිවෙච්චි බංකුවක පැයක් දෙකක් ඉඳගෙන ඉන්න පුරුදු වෙලා හිටියා. විවිධාකාර මිනිස්සු මාව පසුකරගෙන යද්දි මං ඔවුන් දිහා බලාගෙන හිටියෙ ආසාවෙන්. ඒ අය අතරින්, අතින් කරින් වෙලුණු පෙම්වතුන් හා කුඩා දරුවන් තමයි මගෙ හිත පැහැර ගත්තෙ. කොළොම්පුරය සිසාරා හමායන ඒ සිසිල් සුළඟට මං බොහෝ පෙම් බැන්ඳා.
ජීවිතේ හුදකලාවට මං දැං ආදරෙයි. හරිම නිදහස්. තියෙන දෙයක් කාලා පොතක් පතක් බලාගෙන ඉන්න තියෙන එකත් එක්තරා සුන්දර අත්දැකීමක්.
මට වෙලාවකට හිතෙනවා මේ කතා පොතේ ඉන්න 'සත්‍යවරණ' ට වගෙ මටත් වනගත වතුයායක රැකියාවක් ලැබුණා නම් කියල.
දිනපතා අත් විඳින කොළඹ නරගයේ කර්කෂ ජීවිතයෙන් මිදී, බයිහාරයෙ මෙන් සඳ එළියෙන් ආලෝකමත් වූ, තිමිරයෙන් වැසුණු නිහඬ රාත්‍රියෙ වනය මැදින් දුවන ගෝනුන්ගේ පා හඬ අසන්නට, මිටියාවතෙ පිපුණු වර්ණවත් වන මල් වලින් සුසැදි පරිසරයක ජීවත් වන්නට ඇත්නම් කෙතරම් වාසනාවක්ද.
ජීවිතේ තවත් එක් දවසකින් හමුවෙමු.
- රුක්ෂිලා වෙත්තමුණි -
2016 - 12 - 24