Thursday, August 14, 2014

රජීව් ගාන්ධි ගුවනින් පරිප්පු දමද්දි ජවිපෙ ගුවන් කඳවුරු ආක්‍රමණය කරයි ( ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා)

උතුරේ වඩමාරච්චි ප්‍රදේශය කොටින්ගෙන් මුදා ගැනීම සදහා විමුක්ති මෙහෙයුම 1987 මැද භාගයේදී ආරම්භ කොට සාර්ථක ලෙස ඉදිරියට යමින් පැවතිණි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න සහ ජෙරී ද සිල්වා යන යුධ හමුදා අණ දෙන නිළධාරින්ගේ දායකත්වයෙන් ඇරඹුණ වඩමාරච්චි සටනට නවීනතම අවි ආයුධ වලින් සන්නද්ධ යුධ හමුදා සෙබළු 4,300ක් එක්ව සිටියහ.

මෙම හමුදා මෙහෙයුමට දේශපාලන නායකත්වය ලබාදුන්නේ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලිය. වඩමාරච්චි ප්‍රදේශය සම්පුර්ණයෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට සමත්වූ මෙම විමුක්ති මෙහෙයුම නොහොත් ඔබරේෂන් ලිබරේෂන් 1987 ජූනි 03වැනිදා ජයග්‍රාහීව නිමාකිරීමට හමුදාවන්ට හැකිවිය.

වඩමාරචිචි මෙයෙයුම අතරතුරදී 1987 මැයි 28වැනිදා අගමැති රජීව් ගාන්ධි හමුවූ තමිල්නාඩු මහ ඇමති එම්.ජී. රාමචන්ද්‍රන් ශ්‍රී ලංකා රජයේ හමුදා මෙහෙයුම් නිසා උතුරේ ජනයා මියයන බවද ඉන්ධන සහ ඖෂධ නොමැතිව මහත් පීඩාවට පත්ව සිටින බවද කියා සිටියේය. එබැවින් ශ්‍රී ලංකා රජයට විරුද්ධව ඉන්දීය රජය වහ වහා පියවරක් ගත යුතු බවට එහිදී බලකර සිටියහ. තමිල්නාඩුවේ සහනාධාර රැගත් බෝට්ටු ශ්‍රී ලංකාවට යැවීමට ඉන්දීය අගමැතිවරයා ගෙන් අවසරද ලබාගත්තේය.

මේ අතර 1987 ජුනි 2වැනිදා රාත්‍රී සමස්ත ඉන්දීය ගුවන් විදුලිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමිල්නාඩු රජය ශී්‍ර ලංකාවේ උතුරේ දෙමල ජනයා සදහා සහල්, ධාන්‍ය, පිටිකිරි, ටින් කෑම සහ ඖෂධ රැගත් බෝට්ටු 25ක් එවීමට කටයුතු කරගෙන යන බවය. එම බෝට්ටුවල නිරීක්ෂකයින් ලෙස දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්ද රතු කුරුස නියෝජිතයින් ඇතුළු 94 දෙනෙක්ද එවන බවද එහි වැඩිදුරටත් සදහන් විය.

මේ පිළිබදව ශ්‍රී ලංකා රජයේ, විපක්ෂයේ සහ ජනතාවගේ සියළු විරෝධයන් තොතකා රාමේෂ්වරම් තොටුපොලේ සිට පැමිණි ඉන්දීය බෝට්ටු 19ක් ජූනි මස 03වැනදා පස්වරු 6.00ට උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර උපදෙස් පරිදි එඩිතර නැවේ සිට නාවික භටයෝ මුහුදේ නැවක සිට එම බෝට්ටු ඉදිරියට ඒම නවතනු ලැබීය. එඩිතර නැවේ අණදෙන නිලධාරි වූයේ කපිතාන් සුරාජ් මුණසිංහය. ඇමති ලලිත් ඇතුළත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය ලබාදුණි.








උතුරට යැවීමට සූදානම් කළ බෝට්ටුවලට සහනාධාර පටවන තමිල්නාඩු ධීවරයින්







පැය තුන හමාරක් කාලයක් මුහුදේ නතර වී සිටි ඉන්දීය බෝට්ටු රාත්‍රී 9.30ට යළි ආපසු ගියහ. කොළඹ පදිංචි ඉන්දීය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතර වන ලෙසට ජුනි 03 සහ 04 දිනයන්හිදී ඉන්දිය තානාපති කාර්යාලය නිවේදනය කළේය. ඉන්දියාව අනතුරුව ජුනි 04වැනිදා පස්වරු 3.15ට ගුවනින් ශ්‍රී ලංකාවට ආධාර හෙළුවේ බෝට්ටුවලට පැමිණීමට නොදීමට එකට එක කිරීමක් වශයෙනි. මෙය ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නට පවා දැනුම් දුන්නේ පස්වරු 2.30ටය.



සහනාධාර මෙ‍හෙයුමට එක්වූ බෝට්ටු උතුරට පැමිණෙමින් තිබූ අයුරු

ජනාධිපති ජයවර්ධන යුද, නාවික සහ ගුවන් හමුදා ප්‍රධානීන් කැදවා කියා සිටියේ ඉන්දියාව ගුවනින් යාපනයට භාණ්ඩ හෙළා දැමීමට පැමිණීම සම්බන්ධයෙන් කිසිදු හමුදාමය කි්‍රයාමාර්ගයක් නොගන්නා ලෙසය. බැංගලෝරයේ පිහිටි යෙලන්කා හුමුදා ගුවන් තොටුපොළින් ඒ.එන් 32 වර්ගයේ් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පහක් ටොන් 25ක්ද රැගෙන ගුවනින් භාණ්ඩ හෙලීමට ඉන්දියාව කටයුතු කළේය. ඉන්දියාවේ මිග් ප්‍රහාරක යානා හතරක් මගින් එම සහනාධාර ඛෙදාදීමට ආරක්ෂාව ලබාදෙමින් ඉදිරියෙන් පියාසර කළේය. මෙම මෙහෙයුම හැදින්වූයේ ඔබරේෂන් පුමාලෙයි නමිනි.

යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට යානා මගින් පැරෂුට් වල සවිකල භාණ්ඩ පෙට්ටි ගුවනේ සිට මුදාහරින ලදී. පස්වරු 5.30ට භාණ්ඩ හෙලීමේ මෙහෙයුම නිමවිය. එක් භාණ්ඩ ප්‍රවාහනය කල යානාවක මෙය නිරීක්ෂණයට ඉන්දීය මාධ්‍යවේදීන් 17ක්ද රොයිටර්, බීබීසි, ඒ.එෆ්.පී ඇතුළු විදේශ මාධ්‍ය සේවාවන්හි වාර්තාකරුවන් 18ක්ද ගමන් ගත්හ. ශී්‍ර ලංකාවේ ෙසෙවරීභාවය උල්ලංඝනය කල මෙම මෙහෙයුමට එරෙහිව ශ්‍රී ලංකිකයින්ගේ දැඩි අප්‍රසාදයට මෙන්ම ප්‍රබල විරෝධයටද හේතු විය.







ගුවනින් සහනාධාර ගෙනා ගුවන් යානයක්







මෙම කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් මාලාව වාර්තා කිරීමට විදේශ මාධ්‍යයන් බොහෝ උත්සුක විය. රොයිටර් වාර්තාකරු ඩෝල්ටන් ද සිල්වාට අමතරව ඇන්ඩෘ ටානොවිස්කි ශී්‍ර ලංකාවේ සිට කියාසිටියේ ෙජ්. ආර්. මරමු යැයි රට පුරා සටන් පාඨ ලියා ඇති බවද ප්‍රසිද්ධ වේදිකාවලදී ජනතාව විසින් ලඟදිම ජනාධිපති ජයවර්ධනට ගල්ගසා පන්නා දැමීමට සූදානම්බව කියන බවය.

අනතුරුව ජුනි 17වැනිදා අගමැති රජිව් ගාන්ධි සහ ඉන්දීය විදේශ අමාත්‍ය නත්වාර් සිං නවදිල්ලියේදී හමුවූ විදේශ ඇමති ඒ.සී.එස් හමීඩ් යම් එකඟත්වයක් ඇතිකර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාව නොඉල්ලාම ඉන්දියාව ආහාර සහ ඖෂධ ටොන් 681ක තොගයක් ඉන්දියාවේ අයිලන්ඩ් ෆයිඩ් නෞකාවෙන් කන්කසස්තුරේ වරායට ජුනි 22වැනිදා එවන ලදී. මේවා උතුරේ සමූපකාර මගින් ඛෙදාදීමට රජය පියවර ගත්තේය.

යාපනය අල්ලා ගැනිමේ ආරක්ෂක හමුදා මෙහෙයුම ජුනි මස මැදදී ආරම්භ වීමට තිබූ අතර රජය මගින් එය නතර කිරීමට හේතු වූයේ මෙම ගුවනින් ආහාර හෙලීමේ සිද්ධියයි. එම තීරණය ජනාධිපති ජයවර්ධන ජාතික ආරක්ෂක ඇමති ඇතුළත්මුදලිට දැනුම් දුන්නේය. උතුරේ යුධ මෙහෙයුම් නතර විය. ඇමති ඇතුලත්මුදලි විසිවී ඇමති ගාමිණී දිසානායක කරලියට පැමිණියේය.

උතුරේ සන්නද්ධ කි්‍රයාකාරිත්වයේ වර්ධනය හමුවේ පමණක් නොව එයට පෙර 60 දශකයේ අවසාන භාගයේ සිට ඉන්දීයානු ආක්‍රමණයක් පිලිබදව නිශ්චිතව පෙර සිටම දැකිමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව තිබිණි. එබැවින් ඉන්දියාව ගුවනින් ලංකාව ආක්‍රමණය කිරීම තුළින් ජනතාව ජවිපෙ දෙසට ආකර්ෂණය වෙමින් තිබිණි.
ඉන්දියානු ආක්‍රමණයක් පිළිබදව ජවිපෙ මගින් 1986 අග භාගයේ සිට ජාතික මට්ටමේ පුළුල් උද්ඝෝෂණයක්ද දියත්කර තිබිණි. ජවිපෙ සටන්පාඨ අතර එකල

 "ජේ. ආර් වියරුවෙන් - ජනතාව සීරුවෙන් "
"ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තයක් බවට පත්කිරීමට ඉඩ නොදෙමු"
"ජේ. ආර් මරමු" 
ඉන් කිහිපයකි. ජවිපෙ මගින් 1986දී පණගන්වන ලද දේශප්‍රේමි අරගලය මූලික වශයෙන්ම ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව ආණ්ඩු විරෝධී ස්වරූපයක් ගනු ලැබීය.
ගුවනින් බලහත්කාරයෙන් පරිප්පු දමන විට එයට එරෙහිව ති්‍රවිධ හමුදාවට ඒ සදහා බලය පාවිචිච් කිරීමට හෝ විකල්ප කි්‍රයාමාර්ගයක් ගැනීමට ජනාධිපති ජයවර්ධන ඉඩ නොදුන්නේය. සන්නද්ධව එයට ප්‍රතිචාර දැක්වීමට විෂය මූල අවශ්‍යතාවයක් වහා වහා අවශ්‍යව ඇතැයි ජවිපෙ රටටම කියා සිටියේය. එවැනි දේශප්‍රේමි අරගලයකට සහාය වන්නයැයි ඔවුහු ඉල්ලා සිටියේය. දේශප්‍රේමී ජනතා ව්‍යාපරයේ සන්නද්ධ කි්‍රයාමාර්ග උත්සන්නකර ගැනීමට එය කදිම අවස්ථාවක්ද විය.
නීති විරෝධී, දේශදෝහී එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමල ඛෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්‍රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජවිපෙ සන්නද්ධ හස්තය වූ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කියා සිටියේය. ඒ අනුව ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින තුනකට පසු එනම් 1987 ජුනි 07 වැනිදා දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලානේ ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට කඩා පැන ප්‍රහාරයන් දෙකක් දියත් කරන ලදී. ආරක්ෂ හමුදාවන්ට එල්ල කරන ලද මෙම ප්‍රහාරයන් මුළු රටටම අදහා ගත නොහැකි විය.
කටුනායක ගුවන් හමුදා සහ රත්මලාන කොතලාවල පීඨයේ ප්‍රහාරයන් සැලසුම් කලේ මෙන්ඩිස් මහත්තයාය. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකි. ඔහු ගනේමුල්ලේ පදිංචි කරුවෙකි. නමින් සෙල්ලප්පෙරුම සමන් පි්‍රයසිරි ප්‍රනාන්දුය. නැතහොත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රධානියාවන කීර්ති විජයබාහුය. ජවිපෙ සන්නද්ධ අංශයේ වගකීම් දැරුවේ ඔහුය.

එම ප්‍රහාරයන් මෙහෙයවන ලද්දේ සිරිපාල සහ ෂෙල්ටන් රාජපක්ෂය. ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල කොටුගොඩවත්තේ පදිංචි කරුවෙකි. ෂෙල්ටන් රාජපක්ෂ යනු රාගම සෝමේය. ගම්පහ කොස්වාඩියේ පදිංචිකරුවෙකි. දෙදෙනාම සැකපිට ප්‍රශ්න කිරීමට කලින් අත්අඩංගුවට ගත්තද ඉන් මිදී පලාගොස් තිබිණි. සීදුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිස්ස කුඩාහෙට්ටිට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්ද මොවුන් අවශ්‍යව සිටියෝය.
කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට පහරදුන් කණ්ඩායම ප්‍රථමයෙන් 1987 ජුනි 04වැනිදා පස්වරු 5ට හමුවූයේ මීගමුවේ සිරගෙදර ලඟ තිඛෙන පිට්ටනියටය. කණ්ඩායම් හතරක් වශයෙන් ඔවුන් ගෙන්වා තිබිණි. සවස 7.30ට වෑන් රථයක නැඟ මීගමුවේ නිවසකට ඔවුන් කැදවා ගෙන එන ලදි. එහි වූයේ 31 දෙනෙකි. මෙන්ඩිස් මහත්තයා පැමිණ රටේ දේශපාලන තත්ත්වය සහ යෝජිත පළාත් සභා ගැනද විග්‍රහ කළේය. ඉන්දීයාව ඊයේ අහසින් පරිප්පු දැමූ බවද අද හෙටම රට ගොඩබිමින් ආක්‍රමණය කරන බවද එයට එරෙහිව නායකත්වය දීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තීරණය කර ඇතැයිද අවධාරණය කළේය.
පසුදින එනම් ජුනි 05වැනිදාද ඔවුන් එම නිවසේම රැදී සිටියේය. ජුනි 06 වැනිදා රාතී්‍ර 10ට ඔවුන්ට මෙන්ඩිස් මහත්තයා කියා සිටියේ කටුනායක ගුවන් හමුදා කඳවුරට පහරදී ආයුධ ලබාගත යුතු බවය. ඉන්දීය ආක්‍රමණයට එරෙහිව එම ආයුධ අවශ්‍ය බවය. අතින් අදින ලද කඳවුරේ සිතියමක් පෙන්වා කඳවුරට පහර දෙන ආකාරය විග්‍රහ කර සියළු අයට වගකීම් පවරන ලදී. සියළු දෙනාම ලොරියක නංවාගෙන කටුනායක කඳවුරේ පිටුපස අතුරු පාරක ලොරිය නවතා සියළු දෙනාම බස්සවන ලදී.
හමුදා කඳවුරේ වැටෙන් ඇතුළුවී වැඩ භාරගත් අයුරින් විවිධ කාර්යයන් ඔවුන් නිරත විය. නිළධාරින් යටත් කරගෙන බැඳ දමා පැහැරගත් ජීප් රථ වලින් ආයුධ පිටතට ගෙන එන ලදී. ඇතමෙකු මීගමු පාරට පැමිණ කොළඹ ආවේ පාන්දර 4.00 බස් රථයෙනි. කැරලි කරුවන් තිදෙනෙකු මියගොස් තිබිණි. පලායෑමට නොහැකිවූ තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. එක් ගුවන් සෙබලෙකු මිය ගොස් තිබිණි.
මියගිය කැරලිකරුවන් තිදෙනා අතර රාගම සුමිත්, දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සභාපති ජ~පුර සරසවියේ කාරියප්පෙරුම අතුකෝරලගේ රනිල් නොහොත් රනිල් රෝයල්ද විය. ප්‍රහාරයට පැමිණි කණ්ඩායමට ෂෙල්ටන් රාජපක්ෂ, නිමල් ජයරත්න, සුනිල් ප්‍රේමචන්ද්‍ර, අහම්පොඩි පියදාස, පුෂ්පමාලි රණසිංහ, උපාලි, කේ.ඒ.පී නිමලරත්න, මහින්ද, එන්.එම්. ශි්‍රයානන්ද, කේ විජිත කරුණාරත්න යන අයද එක්වී සිටියහ.





කටුනායක ප්‍රහාරයට සහභාගිවී මෝටර් රථයකින් පලායෑමට කළ උත්සාහයේදී වෙඩි වැදී මරණයට පත්වූ දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාචාරයේ ආරම්භක සභාපති රනිල් රෝයල්(ඉහළ ඡායාරූපයේ) සහ ප්‍රහාරය මෙහෙයවූ නායකයින් වමේ සිට( ප්‍රධාන සැලසුම්කරු වූ සමන් පියසිරි නොහොත් මෙන්ඩිස් මහත්තයා, ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් රාගම සෝමේ, ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල)


කටුනායක සහ කොතලාවල ආරක්ෂක පීඨයට පහරදී ආයුධ පැහැර ගැනීම සම්බන්ධයෙන් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ජුනි 07වැනිදා නිවේදනයක් නිකුත් කරමින් වගකීම භාර ගත්තේය. ආයුධ තිබිය යුත්තේ නියම දේශප්‍රේමින් අතේ බැවින් ඉන්දීය ආක්‍රමනිකයා හමුවේ මුළු ගැන්වූ මව්බිමේ ආරක්ෂාවට නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි ලබාගත් බවද එහි සදහන් විය. මෙහිදී ටී. 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලූ යාන්තී්‍රක තුවක්කු 02, පිස්තෝල 06ක් වෙඩි උණ්ඩ 3,300ක් පැහැරගත් බව කියති. ආණ්ඩු විරෝධී සහ ඉන්දීය විරෝධී බොහෝ කොටස් අතර ජවිපෙ ජනපී්‍රයතාවයට මෙය ඛෙහෙවින් ආකර්ෂණීය තත්ත්වයක් උදා කළේය.

මේ අතර තුළ රෝ සංවිධානයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජ්‍යෙතින්ද්‍රනාත් ඩික්සිට්, හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම් සහ ඇමති ගාමිණී දිසානායක අතර ඉන්දු ලංකා ගිවිසුමක් ඇතිකර ගැනීමට පිඹුරුපත් සැකසෙමින් පැවතිණි. එයට ජනාධිපති ජයවර්ධනගේද ආශිර්වාදය නොඅඩුව ලැබිණි


ධර්මන් වික්‍රමරත්න විසින් ලියන ලද ඉරිදා රිවිර පුවත්පතේ 2014 අගෝස්තු 10 ඉරිදා පලවූ ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්ධනය කල 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා - 07